යම් නිශ්චිත මොහොතක අප සිටිනා තැන සිට ආපසු හැරී බැලූ විට අපට දැන් සිටිනා තැනට පැමිණීමට උදවු වූ ඉදිරිගාමී මතය මෙන්ම එය නියෝජනය කළ ඉදිරිගාමීන්ද හඳුනාගැනීම අපහසු නැත. ප්‍රශ්නයක් මතුවන්නේ මේ මොහොතේ ඉදිරිගාමී මතය කුමක්දැයි හඳුනාගැනීමේදීය. සමාජයක් ඉදිරියට ගෙනයන මතය ඉදිරිගාමී මතයයි. එහෙත්, මේ 'ඉදිරිය' අද අපට හරියටම නොපෙනේ. ඒ නිසා අපේ දැනුම, අත්දැකීම් ආදිය ඇසුරෙන් අපට සමාජ ප්‍රගමනය සිදුවන ආකාරය ගැන හෝ සිදුවිය යුතු ආකාරය ගැන තීරණය කිරීමට සිදුවේ. මෙහිදී අප එකිනෙකා දකින අනාගතයන් බොහෝ විට එකම නොවේ.
දිගුකාලීනව සමාජයක් පරිණාමය වීමේදී වඳ නොවී ඉදිරියටම යා හැක්කේ ඉදිරිගාමීන්ටය. මේ අනුව, අද ජීවත්වන සියල්ලෝම යම් කාලයක ජීවත් වූ ඉදිරිගාමින්ගෙන් පැවතෙන්නෝය. පසුගාමීන්ගෙන් පැවතෙන්නෝ අප අතර නැත. මේ අයුරින්ම අනාගතය යනු අද ජීවත්වන ඉදිරිගාමීන්ගේ ලෝකයකි.
උදාහරණයක් ලෙස සම්මතයක් ලෙස දරුවන් බිහි නොකරන හෝ ඔවුන් ලොකු මහත් වන තුරු රැකවරණය නොසපයන සමාජයක් දරුවන් බිහිකර හොඳින් රැකබලාගන්නා සමාජයකට සාපේක්ෂව පසුගාමී සමාජයකි. කාලයත් සමඟ පළමු ආකාරයේ සමාජ ක්ෂය වී පසුව වඳ වී ගොස් දෙවැන්න ස්වභාවිකවම සම්මතය වේ. යම් මතයක් හෝ චර්යාවක් ඉදිරිගාමීදැයි හඳුනා ගත හැකි එක් නිර්ණායකයක් වන්නේ, විකල්පයකට සාපේක්ෂව, අදාළ මතයේ හෝ චර්යාවේ අනාගත පැවැත්මයි. අනාගත පැවැත්ම නිශ්චය කිරීමේදී අද අප සිටින තැනට පැමිණීමට උපකාරී වූ චර්යාවන් හඳුනාගැනීමෙන් යම් ඉඟියක් ලබා ගත හැකිය.
ආගම් බිහි වී ඇත්තේත්, ප්‍රචලිත වී ඇත්තේත් කිසියම් කාලයකදී කිසියම් සමාජයකට මතු වූ ගැටළුවකට හෝ ගැටළු ගණනාවකට විසඳුම් ලෙසිනි. මේ ගැටළු වල ස්වභාවය වෙනස් වෙද්දී මුල් විසඳුම් තවදුරටත් ප්‍රමාණවත් හෝ ප්‍රයෝජනවත් නොවන විට ආගම් පරිණාමය වීම, අළුත් ආගම් හෝ නිකාය බිහිවීම මෙන්ම වෙනත් ආගමක් විසින් ප්‍රතිස්ථාපනය කරනු ලැබීම සිදුවී තිබේ. ආගම් මෙන්ම නීති, දඬුවම් ක්‍රම හා දේශපාලන ආකෘති බිහි වී ඇත්තේද මේ අයුරිනි.
පුද්ගල අභිලාශ හා පොදු අභිලාශ අතර ගැටුම මානව සංස්කෘතියේ ආරම්භයේ සිටම පැවති ප්‍රශ්නයකි. ඇතැම් විට පුද්ගල අභිලාශ හා පොදු අභිලාශ මැනවින් ගැලපේ. ඇතැම් විට එසේ නොවේ. ප්‍රාථමික සමාජයක ජීවත් වන යමෙකුට වෙනෙකෙකුට අයිති දෙයක් පරිභෝජනය කිරීම ස්වකීය සන්තුෂ්ඨිය වැඩි කරවන ක්‍රියාවකි. එහෙත්, වෙනත් අයෙකු තමා සතු දෙයක් එසේ පරිභෝජනය කිරීම කණගාටුවට කරුණකි. මේ අසමතුලිතතාවට විසඳුමක් ලෙස අන්සතු දේ ගැනීමට එරෙහිව නීති, දඬුවම් මෙන්ම ආගමික මත බිහිවිය. මේ විසඳුම් භාවිතයට ගන්නා සමාජයක් අනුන්ගේ දේ සොරා ගැනීම සම්මතය වූ සමාජයකට වඩා ඉදිරිගාමී එකක් වූ බැවින් සොරකමට එරෙහි නීති, දඬුවම් මෙන්ම ආගමික තහංචි මේ වන විට සම්මතයයි.
තමාගේ කණ්ඩායමේ සාමාජිකයින් සුළු කරුණකට වුවත් මරා දැමීම සම්මතය වූ සමාජයක් කාලයත් සමඟ ක්ෂය වී, වඳ වී යයි. එවැනි පසුගාමී චර්යාවන් වලක්වා ගත හැකි විසඳුමක් සොයාගත් සමාජයක් සාපේක්ෂව ඉදිරිගාමී සමාජයකි. මිනීමරුවන් ප්‍රසිද්ධියේ ගල් ගසා මරා දැමීම මඟින් මිනීමැරුම් අධෛර්යමත් කිරීම වඩා හොඳ විකල්පයක් ගැන නොදන්නා ප්‍රාථමික සමාජයකට ඉදිරිගාමී පියවරකි. මරණින් මතු සිදුවන ලොකු අවාසියක් පෙන්වා මිනීමැරුම් පාලනය කිරීම වඩා හොඳ විකල්පයකි. එමෙන්ම, සමාජ විරෝධියෙකු සමාජයෙන් වෙන්කර තබාගැනීමේ පිරිවැය දරාගැනීම අපහසු, වෙනත් විසඳුමක් ගැනද නොදන්නා සමාජයකට මිනීමැරුමකට වඩා අඩු වරදක් කරන්නෙකු වුවද මරා දැමීම ඉදිරිගාමී පියවරකි.
වරදකරුවකු ගල් ගසා මරා දැමීම තිබුණු හොඳම විකල්පය වූ තැන සිට දැන් අප බොහෝ දුර පැමිණ තිබේ. ගල් ගසා හෝ දෙතිස් වධ දී මරා දමන තැන සිට 'මානුෂික ලෙස' මරා දමන තැනටත්, මරණ දඬුවම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන තැනටත් බොහෝ සමාජ මේ වන විට පරිණාමය වී තිබේ. ඇමරිකාවේ මරණ දඬුවම තවමත් ක්‍රියාත්මක වන නමුත් එය ක්‍රමක්‍රමයෙන් ඉවත් වෙමින් යන පසුගාමී චර්යාවකි. කෙසේ වුවද මේ හා අදාලව ඇමරිකාව රටක් වශයෙන්ද සිටින්නේ පසුගාමී තැනකය.
ඇමරිකාව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සාමාන්‍යයෙන් සිදු කරන්නේ නිර්වින්දනය කිරීමෙන් අනතුරුව, පළමුව මාංශ පේශීන්ද දෙවනුව හදවතද අක්‍රිය වන අයුරින් විෂ එන්නත් කිරීම මඟිනි. ලංකාවේදී එල්ලා දැමීම නියම කෙරුනද අප දන්නා පරිදි කලක සිටම එල්ලුම් ගස ක්‍රියාත්මක නොවේ. එංගලන්තයේ එල්ලුම් ගස ප්‍රයෝජනයට ගන්නා ආකාරය මා පෙර පලකළ මේ ලිපියේ උඩින්ම ඇති ඡායාරූපයෙන් බලාගත හැකිය (ඡායාරූපය විශාල කර බලන්න). එය ක්‍රියාත්මක වන ආකාරය දැක ගැනීමට අවශ්‍යනම් යායුතු තැන එම ලිපිය අවසානයේ තිබේ. මේ එය තිබිය යුතු නිසි තැනයි.
මේ අනුව, අතීතයේ සිට ආ ගමනේ රේඛීය දිගුවක් ලෙස අනාගතය දෙස බැළුවොත් මරණ දඬුවම යනු අනාගතයේදී ලෝකයෙන් තුරන් වීමට නියමිත පසුගාමී චර්යාවකි. කෙසේ වුවද, සමාජ ප්‍රගමනය සිදුවන්නේ හරියටම රේඛීයව නොවේ. ඇතැම් විට මේ මාර්ගයේ වංගු තිබේ. ඇතැම් සමාජ මේ වංගු කෙටි පාරවල් වලින් තරණය කරයි. තවත් විටක ආපසු ගොස් හැරී ඒමට සිදුවේ. එමෙන්ම, රවුමේ කැරකෙන වෙලාවල්ද තිබේ. මෙසේ වංගු ගන්නා, ආපසු යන හෝ රවුමේ කැරකෙන අවස්ථාවල ඉදිරිගාමියෙකු පසුගාමියෙකු ලෙසද පසුගාමියෙකු ඉදිරිගාමියෙකු ලෙසද පෙනිය හැකිය.
බොහෝ රටවල් බටහිර සංස්කෘතියෙන් බැහැරවීම ඉදිරිගාමී පියවරක් ලෙස සලකන කාලයක තුර්කිය කළේ බටහිර සංස්කෘතිය වැළඳ ගැනීමයි. කෙමල් අතතුර්ක් මේ පරිවර්තනයට නායකත්වය සැපයීය. දශක ගණනාවකට පසුව ලී ක්වාන් යූගේ නායකත්වය යටතේ සිංගප්පුරුවේ වූයේද එවැන්නකි. මේ පියවර ඉදිරිගාමී පියවරක් බව දැන් අපට පෙනේ. එහෙත්, යමෙක් මෙවැනි ප්‍රතිසංස්කරණ මුලින්ම ක්‍රියාත්මක කරන විට අවසන් ප්‍රතිපලය කවරෙක්දැයි ඉඳුරාම කිව නොහැකිය. සමාජ පරිණාමයේදී ඉතිරි වන්නේ ජයග්‍රාහකයින් පමණි. පරාජිතයින් ඉතිහාසයෙන් ඉවත් වේ. ඊළාම් අරගලය වෙනස් අයුරකින් නිමවීනම් වේලුපිල්ලේ ප්‍රභාකරන් අද ජාතියේ පියෙකි. මේ වන විට කිසියම් හෙයකින් ඉස්ලාම් රාජ්‍ය පාලනය ලෝකයේ ප්‍රධානම දේශපාලන ව්‍යුහය වී ලෝක ආර්ථිකය හා මාධ්‍ය හැසිරවීමේ බලය ඔවුන් අත සංකේන්ද්‍රනය වී තිබුණේනම් ඉස්ලාමීය ප්‍රතිසංස්කරණ වෙනුවෙන් මුලින්ම හඬ නැඟූ අය ඉදිරිගාමින් ලෙස බොහෝ දෙනෙකු දකිනු ඇත. අද ඉදිරිගාමියා කවරෙක්දැයි තීරණය කරන්නේ අනාගත ලෝකයේ දේශපාලන බලතුලනය විසිනි.
කෙමල් අතතුර්ක්ගේ තුර්කිය ආගම රාජ්‍ය පාලනයෙන් ඉවත් කළ එකම මුස්ලිම් රට නොවේ. අතතුර්ක්ගේ ප්‍රතිසංස්කරණ සිදු කෙරෙන කාලයේම යාබද පිහිටි ඉරානයේ ඔටුනු පලන් රිසා ෂා විසින් 1924දී ඉරානයේද ඉස්ලාම් අතු ඉති කපා දැම්මේය. ඔහු විසින් හඳුන්වාදුන් ප්‍රතිසංස්කරණද අතතුර්ක් ප්‍රතිසංස්කරණ වලට බොහෝ කිට්ටු ඒවාය. වෙනකක් තබා ප්‍රසිද්ධියේ මුස්ලිම් ආගමික උත්සව පැවැත්වීම මෙන්ම ගැහැණුන්ගේ හිජාබය පමණක් නොව පිරිමින්ට උඩුරැවුල හැර රැවුල වැවීම පවා තහනම් කෙරුණේය. ෂා රජ පරපුර බලයෙන් පහකෙරෙන තුරුම ඉරානයේ රාජ්‍ය පාලනය ආගමික නොවූ එකක් විය.
ඉහත තත්ත්වය උඩුයටිකුරු කෙරුණේ අයතොල්ලා කොමෙයිනි විසින් 1979දී ෂා පාලනය පෙරලා බලය පිහිටුවා ඉස්ලාමීය රාජ්‍ය පාලනයක් ඇරඹීමෙන් පසුවය. ඉරාන විප්ලවය ලෝක දේශපාලනයේ හැරුම් ලක්ෂ්‍යයකි. බටහිරකරණය වෙමින් හෝ සමාජවාදය වෙත යමින් තිබූ දේශපාලන ප්‍රවාහ දෙකට අමතරව තෙවැන්නක් තීරණාත්මක විකල්පයක් ලෙස මතු වුනේ ඉරාන විප්ලවයෙන් පසුවය.
තුර්කියේ අද සිදුවන්නේද ඉරාන විප්ලවයෙන් පසු ඇරඹුණු ආපසු ගමනයි. මෙය එහි ජනතාවගෙන් සැලකිය යුතු කොටසකගේ ආශීර්වාදය ඇතුව සිදුවන දෙයක් මිස එර්ඩොගන්ගේ තනි කැමැත්තෙන්ම සිදුවන දෙයක් නොවේ. එය මා කැමති වුවද අකමැති වුවද ලොව පුරා සීග්‍රයෙන් වර්ධනය වන ප්‍රවණතාවකි. ජනප්‍රියත්වය ගිලිහෙමින් තිබූ ඉස්ලාමීය දේශපාලනය නැවතත් ජනප්‍රිය වීමට හේතු වූ කරුණු මා මෙහි සාකච්ඡා කරන්නේ නැත. රටක ජනතාවකගෙන් බහුතරය කැමති පාලන ක්‍රමයක් තෝරාගැනීම ඔවුන්ගේ අයිතියකි. එහෙත්, මේ තෝරාගැනීමේ ඇති භයානකකම වන්නේ මේ මාර්ගය යොමුවී ඇත්තේ නැවත ආපසු පැමිණීම ඉතා අසීරු ගමනාන්තයක් වෙත වීමයි.
ලංකාවේ මුස්ලිම් ප්‍රජාව අතරින් කොටසක් තුළ මේ වන විට සිදුවන ඇතැම් වෙනස්කම් තේරුම් ගතයුත්තේ මේ ලෝක ප්‍රවණතාවන්ද හඳුනාගනිමිනි. ඒවාට සෙවිය යුත්තේ උපක්‍රමික විසඳුම් මිස හදිසි විසඳුම් නොවේ.
පහත වීඩියෝවේ ඡායාරූප එකතුවෙන් දැකගත හැක්කේ ඉස්ලාමීය විප්ලවයට පෙර ඉරානයයි. තුර්කියනම් තවමත් මේ වගේ තිබේ.




