වෙබ් ලිපිනය:

Showing posts with label සංගීතය. Show all posts
Showing posts with label සංගීතය. Show all posts

Friday, August 21, 2026

ගලන ගඟකි ජීවිතේ...


ශ්‍රී ලාංකික කාන්තාවකගේ අපේක්ෂිත සාමාන්‍ය ආයු කාලය අවුරුදු අසූ එකක්. කෙනෙකු තමන්ගේ අපේක්ෂිත සාමාන්‍ය ආයු කාලය ගත කරලා මිය යනවානම් එය අකල් මරණයක් නෙමෙයි. ඉතාම සාමාන්‍ය මරණයක්. එවැනි මරණයක් ගැන විශේෂයෙන් දුක් වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් යම් කෙනෙකුගේ මරණය කියන්නේ මරණය දක්වා ගත කළ ජීවිතය ගැන සහ මරණයෙන් පසු ඉතිරි කර ගොස් තිබෙන දේවල් ගැන යම් පසු විපරමක් කිරීම සඳහා හොඳ අවස්ථාවක්. 

ශ්‍රී ලාංකික කාන්තාවක වූ මගේ මව මිය යන විට ඈ ගෙවා තිබුණේ ශ්‍රී ලාංකික කාන්තාවකගේ අපේක්ෂිත සාමාන්‍ය ආයු කාලයට වඩා බොහෝ අඩු කාලයක්. එය අකල් මරණයක්. මෙවැනි අකල් මරණයකින් පසුව ජීවත් වන්නන් තුළ ඉතිරි වන දුක සාමාන්‍ය මරණයක දුකට වඩා ගොඩක් වැඩියි. විශේෂයෙන්ම කුඩා වයසක සිටින දරුවන්ට එවැනි මරණයකින් විශාල බලපෑමක් වෙනවා. සමහර විට මුළු අනාගත ජීවිතයේ දිශානතියම වෙනස් වෙනවා.

සංගීතය ගැන කතා කරන්න තරම් විෂය දැනුමක් මට නැහැ. පසුකාලීනව අපේ නිවසේ තිබුණු වටාපිටාව තුළ සංගීතයට සහ කලාවට ලොකු ඉඩක් වෙන් වෙලා තිබුණේත් නැහැ. ඊට හේතුව මගේ පියාට සංගීතය හෝ පොදුවේ කලාව පිළිබඳව එතරම් රුචියක් නොතිබීම. ඔහු කිසිම දවසක සිංදුවක් අහපු බවක් මට මතක නැහැ. ටෙලිනාට්‍යයක් වුනත් බැලුවා කියලා මම හිතන්නේ නැහැ. චිත්‍රපට, වේදිකා නාට්‍ය හෝ වෙනත් කලා ප්‍රසංග සඳහා ආරාධනා හෝ නොමිලේ ප්‍රවේශපත්‍ර ලැබුණු බොහෝ අවස්ථා වලදී පවා අපිව ඇතුළට දමලා ප්‍රසංගය අවසන් වන වෙලාවට ඇවිත් ගන්න එකයි ඔහු කළේ. 

මගේ පියාට කලාව කෙරෙහි උනන්දුවක් නොතිබුණු නමුත් ඔහුගේ සහෝදර සහෝදරියන් එවැනි අය නෙමෙයි. ඒ අය සංගීතය රස විඳපු අය. මගේ මවගේ පාර්ශ්වයේනම් ගොඩක් අය සංගීතය එක්ක ජීවත් වුනා. ඒ නිසාම, ඉතාම කුඩා කාලයේ, සාමාන්‍ය නැළවිලි ගී වලින් එහාට ගිය නැළවිලි ගී මට අහන්න ලැබුණා. ඒ ගී අතරින්, එක් ගීයක් ඉතාම කුඩා කාලයේ මගේ ප්‍රියතම නැළවිලි ගීයක් වී තිබුණා.

"රුවන් වළා දුහුල් කඩින් පෙරී ස‍ඳේ රිදී කැළුම් 

තුෂාර හාර හා එතී ගලා හැළෙනවා

පුතුගෙ සිඟිති දෙතොල් වලට සිනා ගෙනෙනවා..

සිනා ගෙනෙනවා..


අනෝතත්ත නෙළුම් විලේ පාවෙන මල් රේණු වලින්

සුවඳ උරා හෙමින් හෙමින් සුළං ඇදෙනවා...

සඳුන් සෙමෙර සලා පුතුට පවන් සලනවා..

පවන් සලනවා..


අතු අග මල් කුමාරියන් බිඟුමිණි දැල් සැලෙන හඬින්

නිදන පුතුගෙ කණට මිහිරි කතා කියනවා..

සිහින ලොවේ ළපටි සිහින සිතේ අඳිනවා..

සිතේ අඳිනවා..


රාජ ඉසුරු බරට වටින වාසනාව කිරුළු දරන

මාළිගාව එළිය කරන බිළිඳු නිදනවා..

සීත නළින සිහින ලොවට බිළිඳු වඩිනවා..

බිළිඳු වඩිනවා.."

මේ ගීය බිහි වී තිබුණේ මහගගමසේකර, අමරදේව සහ නන්දා මාලනී කියන පසුකාලීනව මගේ ප්‍රියතම කලාකරුවන් වූ තිදෙනෙකුගේ සුසංයෝගයෙන් කියලා මම ඒ දවස් වල දැනගෙන හිටියේ නැහැ. සිංදුව මුලින්ම ඇහුනේ ඒ වගේ දේවල් ගැන උනන්දුවක් තිබුණු හෝ තේරුම් ගත හැකි වූ වයසකදී නෙමෙයි. ඒ වගේම මට ගොඩක් වෙලාවට සිංදුව ඇහුනේ නන්දා මාලිනියගේ කටහඬිනුත් නෙමෙයි. 

පසුව දැනගත් පරිදි මේ ගීය තිබී ඇත්තේ වෙසතුරු සිරිත චිත්‍රපටයේ. එය ප්‍රදර්ශනය කෙරී තියෙන්නේ මා ඉපදෙන්න දෙවසරකට පමණ කලින්. මා ඉපදෙන කාලය වන විට මේ ගීය ජනප්‍රිය ගීයක්ව තියෙන්න ඇති. මා ඉපදුනු පසුව මගේ මව ඇයගේ කුළුඳුල් දරුවාව නිදි කරවන්න මේ ගීය ගයන්න ඇති. 

රුවන් වලා ගීතය ඉතාම කුඩා කාලයේ මිහිරි මතකයක් විදිහට මගේ මතකය තුළ තවමත් රැඳී තිබෙනවා. දැන් වුනත් මේ ගීතය ඇහෙද්දී මට දැනෙන්නේ තොටිල්ලක නිදන කුඩා බිලිඳෙකුට දැනෙන විදිහේ සැනසිලිදායක හැඟීමක්. 

මුලින්ම මේ ගීතය ඇහුනේ කොයි කාලයේද කියලා මම දන්නේ නැහැ. සමහර විට ඉපදුනු අලුතම වෙන්න ඇති. නමුත් යාන්තම් මතක තියෙන වයසේදී නිදා ගන්න කලින් මේ ගීතය ඉල්ලා සිටි බවනම් හොඳටම මතකයි. ගීතය අහගෙන ඉඳිද්දී දන්නෙම නැතිව නින්ද යනවා. 

අම්මාගේ අකල් මරණයෙන් පස්සේ අප්පච්චීට මුහුණ දෙන්න වුනු බරපතල අභියෝග ගණනාවක් අතරින් එකක් වුනේ රෑට දරුවන් නිදි කරවන එක. දරුවන් නිදි කරවිය හැකි මිහිරි තාලයකින් ගී ගැයීමේ හැකියාවක් ඔහුට කිසිසේත්ම තිබුණේ නැහැ. නමුත් මවගේ බාල සොහොයුරියක් සහ පියාගේ බාල සොහොයුරියක් පුළුවන් වෙලාවට ඒ අඩුව පිරෙවුවා.

රුවන් වලා ගීය ගැයූ අම්මාගේ කටහඬ දැන් මට මතක නැහැ. නමුත් පියාගේ හා මවගේ බාල සොහොයුරියන් විසින් ගැයූ රුවන් වලා ගී වල මතකය තවමත් මා සමඟ රැඳී තිබෙනවා. ඔවුන් ඒ ගීය ගැයූ හැම වෙලාවකම මට දැනුනේ මිය ගිය මව ළඟ ඉන්නවා වගේ හැඟීමක්. දශක ගණනකට පසුව අන්තර්ජාලය හරහා නන්දා මාලිනියගේ හඬින් මේ ගීතය අහද්දී දැන් වුනත් මට ඒ හැඟීමම දැනෙනවා. හිතට දුකක් දැනෙන සමහර අවස්ථා වලදී දැනුත් මම මේ ගීතය අහනවා. 

කුඩා කාලයේදී මව අහිමි වන දරුවෙකුගේ ජීවිතයට එකතු වෙන හිස් බව නැවත කවදාවත් පිරෙන්නේ නැහැ. අම්මා කෙනෙකුට වෙනත් කිසිම ආදේශකයක් නැහැ. මවගේ මරණයෙන් පසුව ශේෂ වී ඇති ඇගේ වෙනත් භෞතික හෝ භෞතික නොවන ස්වරූපයක් නැති බව කොයි තරම් හොඳින් අවබෝධ කරගෙන සිටියත්, ජීවිතයේ අසීරු අවස්ථාවන් වලදී දුක කියන්න ඉතිරි වී සිටින්නේ ඒ මිය ගිය අම්මාම පමණයි. ඇත්තක් නොවන බව කොයි තරම් හොඳින් දැනගෙන හිටියත්, අම්මා ළඟ ඉන්නවා කියන හැඟීම පමණක්ම පවා හිතට විශාල සහනයක් ගෙන දෙනවා. අම්මාවරු කවදාවත් මැරෙන්නේ නැහැ. 

"අම්මාවරුනේ... අම්මාවරුනේ...

සම්මා සම්බුදු අම්මාවරුනේ

දරුවන්ගේ දුක් කඳුළු දකින දා

සුර ලොව සිට අත පා

ඒ කඳුළැලි පිසිනා...


අම්මාවරු නැති දරුවන්නේ

සංකා දුක් කවුදෝ දන්නේ

ඒ දුක දන්නා අම්මාවරුමයි

යම් මතු දිනයක බුදු වන්නේ

සංසාරේ මතු බුදු වන්නේ

අම්මාවරුනේ... අම්මාවරුනේ...


සෙනෙහස වැඩි දා

සිතද බොළද වේ

ලොවම ආදරේ කියා සිතී

මායාවක්වී එහි තනිවූ දා

අම්මා පමණයි ළඟ ඉන්නේ

අම්මා පමණයි ළඟ ඉන්නේ

අම්මාවරුනේ... අම්මාවරුනේ..."

ධර්මසිරි ගමගේ, කේමදාස, නන්දා මාලනී සුසංයෝගයෙන් මේ ගීය හැදෙන කොට මම තොටිල්ලේ නිදන බිලිඳෙක් නෙමෙයි. සැලකිය යුතු ලෝකාවබෝධයක් තිබුණු පාසැල් දරුවෙක්. මතක විදිහට මේ සිංදුව තිබුණු යසඉසුරු චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරුණේ අසූ දෙකේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු කෙරෙන කාලයේ. ඒ කියන්නේ ජූලි කෝලාහල වලට කලින්. විජේවීර හිරෙන් නිදහස් වෙලා නිදහසේ දේශපාලනය කරපු කාලයේ. 

අම්මාවරුනේ ගීතය කියන්නේ මිය ගිය මව පිළිබඳ මතකයත් එක්ක මගේ ආත්මය තුළට කිඳා බැසපු අමතක කළ නොහැකි තවත් ගීතයක්. අම්මා ගැන මතකය එක්ක බැඳී තිබුණු රුවන් වලා ගීතයේ වගේම මේ ගීතයේත් මුල් ගායිකාව වූයේ නන්දා මාලිනියයි. මේ නිසාම හෝ වෙනත් හේතු නිසා ඈ කෙරෙන් වහනය වූයේ මවකගේ සුවඳයි.

රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ප්‍රශ්නය ඔඩු දුවන කාලය වන විට නන්දා මාලිනිය මගේ ප්‍රියතම ගායිකාව වී අවසානයි. ඒ තැනට ඉන් පසුව වෙනත් ගායිකාවකට ආදේශ විය හැකි වුයේ නැහැ. කැසට් පටයකට එකතු කරගත් ඇගේ මා වඩාත්ම ප්‍රිය කළ ගී එකතුව කාලයක්ම මා ළඟ තිබුණා. එම ගීත එකතුවෙහි වූ මා කැමතිම ගීත ගණනාවක් අතරින් තවත් එක් ගීතයක් වනුයේ සැදෑ කළුවර ගීතයයි. මඩවල එස් රත්නායක විසින් ලියා ඇති එම ගීතයේ ගායනය මෙන්ම තනුවද නන්දා මාලනීගේයි. කවර හේතුවක් නිසා හෝ තනිකම දැනෙන ගොඩක් වෙලාවල් වලදී ඒ තනිකම එක්ක සැදෑ කළුවර ගීතය සුසර වෙනවා. නන්දා මාලිනිය විසින් මුල් කාලයේ ගැයූ මෙවැනි ගීත ගණනාවක් තිබෙනවා. 

කෙනෙකුගේ ආයු කාලය ගැන කතා කරද්දී අප විසින් උපත හා මරණය අතර ජීවත් වන පුද්ගලයෙකු පිළිබඳ ආකෘතියක් හදා ගන්නවා. මෙය අප විසින් නිරන්තරයෙන් ප්‍රයෝජනයට ගන්නා නැතිවම බැරි සහ මූලික මට්ටමේ ආකෘතියක් පමණයි. අවසාන වශයෙන් උපත හා මරණය කියන්නේත් සම්මුතීන් දෙකක් පමණයි. ඒ සම්මුතීන් දෙක අපට නැතිවම බැරි වන්නේ උපතක් හා මරණයක් නොමැතිව ජීවත් වන පුද්ගලයෙකු අර්ථ දැක්විය නොහැකි නිසා. ජීවත් වන පුද්ගලයෙකු අර්ථ දැක්විය නොහැකි වන මොහොතේ අපිට අපිවම නැති වෙනවා. අප විසින් නිර්මාණය කර ගන්නා ලෝකයම ක්ෂණයකින් අහෝසි වී යනවා. 

ජීවත් වන හෝ ජීවත් වූ පුද්ගලයෙකු ලෙස අප විසින් අපේ පහසුවට අර්ථ දක්වා ගන්නේ නිරන්තරයෙන් වෙනස් වන ප්‍රපංචයක්. එහිදී අප විසින් අපට පුද්ගලයෙකු අර්ථ දැක්විය යුතු වන නිසාම මෙසේ කාලයත් සමඟ නිරන්තයෙන් වෙනස් වන ප්‍රපංචයක එසේ වෙනස් නොවන්නේයැයි අප සිතන කොටස් වෙන් කර ගන්නවා. නමුත් එක් එක් පුද්ගලයා විසින් එසේ වෙන් කර ගන්නේ එකම කොටස් ටිකක් නෙමෙයි. ඒ නිසාම, තමන් විසින් අර්ථ දක්වා ගත් පුද්ගලයාගේ තමන් විසින් වෙනස් නොවන සේ සලකන ලද ලක්ෂණ වෙනස් වෙද්දී අප විසින් හදා ගන්නා ආකෘති අර්බුදයට යනවා. 

ගායිකාවක් ලෙස සැලකුවහොත් නන්දා මාලිනී කියන්නේ කාලයත් සමඟ වරින් වර සැලකිය යුතු ලෙස වෙනස් වූ ප්‍රපංචයක්. ඇගේ ගායන ජීවිතයේ එක් තැනකින් පමණක් අල්ලා ගන්නවා කියන්නේ අන්ධ පුද්ගලයෙකු අලියෙකුගේ සිරුරේ කොටසක් ස්පර්ශ කර අලියා ගැන නිගමනය කරනවා වැනි දෙයක්. නන්දා මාලිනී මගේ ප්‍රියතම ගායිකාව වූයේ ඇගේ ගායන දිවියේ මුල් කාලයේදී. ඒ ගායිකාව පිළිබඳව කලකට පෙර නිර්මාණය කරගත් ආකෘතිය නඩත්තු කරද්දී මා ඇගේ පසුකාලීන හැරීම් ප්‍රශ්නයක් කර ගන්නේ නැහැ. මගේ ප්‍රියතම ගායිකාව විසින් නියෝජනය කරන්නේ නන්දා මාලිනියගේ ගායන දිවියේ එක් කාල පරාසයක් පමණයි.

පවන යුගය නන්දා මාලිනී විසින් විශාල සමාජ බලපෑමක් කළ කාලයක්. කාලයත් සමඟ මගේද සමාජ දේශපාලනික අදහස් වෙනස් වී තිබෙනවා. පවන ගීත ප්‍රචලිත වූ කාලයේදී පෞද්ගලිකව මා පවන ගීත ගැන සිතුවේ වුවද අද හිතන විදිහට නෙමෙයි. ඒ නිසා මා මගේ අද දෘෂ්ටි කෝණයෙන් බලා එම ගීත විචේචනය කරන්නේ නැහැ. නමුත් ඒ දිනවල වුවද මේ ගීත ඇසෙද්දී ඒවා සංගීතමය සටන් පාඨ ලෙස මිස ප්‍රියතම ගීත ලෙස මට දැනුනේ නැහැ. ඒ ගීත ඇහෙද්දී මවකගේ සුවඳ දැනුනේ නැහැ. මේ ගීත හරහා සිදු වුනේ ඒ දින වල පැවති සමාජ ඉල්ලුම සහ සැපයුම ගැලපීමක්. 

බාහිර තත්ත්වයන් වෙනස් වෙද්දී පවන මාදිලියේ ගීත සමාජය විසින් දිගින් දිගටම තව දුරටත් ඉල්ලා සිටියේ නැහැ. සමාජය පිළිබඳව සංවේදීව සිටි කලාකාරිනියක වූ නන්දා මාලිනියට, මම හිතන විදිහට, ඉන් පසුව වෙනස් වූ තත්ත්වයන්ට ගැලපෙන තවත් හැරුමක් අවශ්‍ය වී තිබුණා. නමුත් ඒ වෙද්දී නන්දා මාලිනී පවන එක්ක ආපහු හැරෙන්න බැරි තරම් දුරක් ගිහින් තිබුණා. 

ඉන්පසු කාලයේදී එළි දැක්වූ යනවානම් අනේ මං අරන් ගීතය ඇතැම් අය විසින් නන්දා මාලිනියගේ දුර්වල ගීතයක් ලෙස හඳුනා ගෙන තිබෙනු දැක්කා. මුලින්ම කී පරිදි, ගීයක් විචාරය කළ හැකි විෂය දැනුමක් මට නැහැ. නමුත් මා දකින විදිහට මේ ගීතයේ විශේෂත්වයක් තිබෙනවා. 

මේ ගීයේ බොහෝ වාමාංශික කලා නිර්මාණ වල කතා කර ඇති රාගයෙන් තොර, සඳ එළිය සේ අචින්ත්‍ය, පාරිශුද්ධ, සුරම්‍ය ප්‍රේමයක් ගැන කතා කරන්නේ නැහැ. ඒ වෙනුවට මෙහි සිදු කෙරෙන්නේ බොළඳ ප්‍රේමය සමච්චලයට ලක් කිරීමයි. ඊනියා උත්තරීතර ප්‍රේමයේ සීමාව ආර්ථික ශක්තිය මගින් සීමා කෙරෙනවා. ලුණුයි බතුයි කකා උත්තරීතර ප්‍රේමය නඩත්තු කරන්න බැහැ!

නන්දා මාලිනී කියන්නේත් වෙනත් බොහෝ කලාකරුවන් වගේම වෙළඳපොළ ඉල්ලුම අනුව වෙනස් වූ කලාකාරිනියක්. ඇගේ ගීත සම්පාදනය වූයේ ඒ ඒ අවස්ථා වල සමාජයේ පැවති ඉල්ලුම සැපිරෙන පරිද්දෙනුයි. එය වරදක් නෙමෙයි. යනවානම් අනේ මං අරන් වැනි ගීත මා දකින්නේ පශ්චාත් පවන යුගයේදී තවත් හැරවුමකට ගත් අසාර්ථක උත්සාහයක කොටසක් ලෙසයි.

ප්‍රසිද්ධ චරිත වලට තමන්ගේ අනන්‍යතාවය කිහිප වරක් නැවත නැවත වෙනස් කර ගැනීම පහසු වැඩක් නෙමෙයි. විශේෂයෙන්ම පවන යුගයේදී නන්දා මාලිනී ගමන් කළ දුර අනුව, ඉන් පසුව ඇයට ආපසු හැරෙන්න පහසු වූයේ නැහැ. ඒ නිසාම, පශ්චාත් පවන යුගයේ නන්දා මාලිනියට අපේ හිතට දැනෙන අලුත් නිර්මාණ කිරීමේ හැකියාවද සීමා වුනා කියා මම හිතනවා. 

මගේ අදහස අනුව නන්දා මාලිනිගේ රසිකයින් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එක් කොටසක් පවන ඇතුළු විරෝධාකල්ප ගී වලට ආශක්ත වූ පිරිසයි. අනෙක් කොටස, මා වැනි, ඇගේ මුල් කාලීන ගී වලට කැමති රසික පිරිසයි. ඔය කොටස් දෙක හැරුණු විට, නන්දා මාලිනීගේ පසුකාලීන නිර්මාණ නිසා ඈ වටා එකතු වූ රසිකයින් එතරම් ඇතැයි මා සිතන්නේ නැහැ. 

නන්දා මාලිනීගේ භෞතික මරණයට කලකට පෙර ගායිකාවක ලෙස ඇගේ මෙහෙවර අවසන්ව තිබුණු බව මගේ අදහසයි. එහෙත්, ජීවත්ව සිටි කාලය තුළ, තවත් විශාල කාලයකට මිය නොයන මතකයක් නන්දා මාලිනිය විසින් බොහෝ දෙනෙකු තුළ ඉතිරි කර ගොස් තිබෙනවා. මරණය කියන සම්මුතිය නොසලකා හැරියොත්, එලෙස අප තුළ ඉතිරිව ඇති මතකය කියන්නේ තව දුරටත් ගලා යන ඇගේ ජීවිතයම තමයි. ඇගේම හඬින් අප අසා ඇති පරිදි, ගලන ගඟකි ජීවිතේ. 

Sunday, December 8, 2024

වම දකුණ පැටලවූ AᗺBA

මෑතකදී AЯRIVAL FROM SWEDEN සංගීත කණ්ඩායම ලංකාවට පැමිණීම නිසා ලංකාවේ බොහෝ දෙනෙකුගේ AᗺBA සංගීත කණ්ඩායම පිළිබඳ වූ මතකය අලුත් වුනා කියා මම හිතනවා. AЯRIVAL FROM SWEDEN සංගීත කණ්ඩායම AᗺBA සංගීත කණ්ඩායම අනුකරණය කරන සංගීත කණ්ඩායම් සියයකට වැඩි ප්‍රමාණය අතරින් වඩාත්ම ජනප්‍රිය සංගීත කණ්ඩායමක්. 

AᗺBA සංගීත කණ්ඩායම කාලයක් ලෝකයේ ජනප්‍රියම සංගීත කණ්ඩායමක්. ඒ වගේම, මේ සංගීත කණ්ඩායම ලංකාවේ බොහෝ දෙනෙක් එවකට දැන සිටි බටහිර සංගීත කණ්ඩායම් අතළොස්සෙන් එකක් කියා කියන්නත් පුළුවන්. 

AᗺBA සංගීත කණ්ඩායමේ ස්වර්ණමය යුගය හැත්තෑව දශකය කියා කිව හැකි වුවත්, මට පෞද්ගලිකවව AᗺBA සංගීත කණ්ඩායම සම්මුඛ වූයේ එම දශකයේ අවසන් කාලයේදී විය යුතුයි. ලංකාවේ තවත් බොහෝ දෙනෙකුට මෙන්ම මටත් ඒ කාලයේ ඉංග්‍රීසි සිංදුවක් අහන්න තිබුණු එකම ක්‍රමය වූයේ ගුවන් විදුලියේ ඉංග්‍රීසි සේවයයි. 

ආසන්න වශයෙන් ඔය කාලයේදී රූපවාහිණිය ව්‍යාප්ත වුනා. මුල් කාලයේදී රූපවාහිනි කාලයෙන් සැලකිය යුතු කොටසක් වෙන් වී තිබුණේ ඉංග්‍රීසි සංගීත වැඩසටහන් ඇතුළු ඉංග්‍රීසි මාධ්‍ය වැඩ සටහන් වලටයි. ඒ වෙද්දී සිංහල වැඩ සටහන් විශාල ලෙස නිෂ්පාදනය වුනේ නැහැ. ඔය කාලයේදී, ඒ කියන්නේ අසූව දශකයේ මුල් කාලයේදී, AᗺBA සංගීත කණ්ඩායම ගුවන් විදුලිය හරහා මෙන්ම රුපවාහිණිය හරහාද ඉදහිට හෝ හමු වුනා කියා මම හිතනවා.

මීට සමාන්තරව ලංකාවේ ව්‍යාප්ත වූ කැසට් වෙළඳපොළක්ද තිබුණා. මගේ මතකය වනුයේ AᗺBA වැනි ජනප්‍රිය බටහිර සංගීත කණ්ඩායම් වල ගීත ඔය යුගයේදී කැසට් පට ලෙසද ලංකාවේ අලෙවි වූ බවයි. මේ ගැන දැන් සිතා බලද්දී පෙනී යන්නේ මෙවැනි කැසට් පට ලංකාව තුළ ප්‍රති නිෂ්පාදනය කළ "හොර කොපි" විය යුතු බවයි.

මෙවැනි කැසට් පටයක් හොයා ගෙන මිල දී ගැනීමට විකල්පයක් වූයේ රෙකෝඩ් බාර් එකකින් හිස් කැසට් පටයක් මිල දී ගෙන අවශ්‍ය සිංදු ලැයිස්තුව රෙකෝඩ් කර ගැනීමයි. මෙහිදී එක් ගීතයකට යම් මුදලක් ගෙවිය යුතු වුනා. මෙහි වූ වාසිය තමන් කැමති සිංදු ලැයිස්තුවක් රෙකෝඩ් කර ගත හැකි වීමයි. කඩෙන් සෘජුව මිල දී ගන්නා කැසට් පට වල අදාළ ගායකයාගේ හෝ සංගීත කණ්ඩායමේ කැමති ගීත වගේම ඒ තරම් කැමැත්තක් නැති ගීතත් කලවමේ තිබුණා. මේ අයුරින් මා සතු වූ රෙකෝඩ් කරගත් ඉංග්‍රීසි සිංදු කැසට් පටයක AᗺBA සිංදු කිහිපයක්ද තිබුනා.  

AᗺBA සංගීත කණ්ඩායමේ සිංදු අහනවාට අමතරව විවිධ පුවත්පත් හා සඟරා ආදියේ මෙම සංගීත කණ්ඩායම පිළිබඳ තොරතුරු පළ වූ අවස්ථාද තිබුණා. එසේ එම සංගීත කණ්ඩායම ගැන තොරතුරු පළ වූයේ ඉංග්‍රීසි පුවත්පත් හා සඟරා ආදියේ පමණක් නෙමෙයි. සිංහල පුවත්පත් හා සඟරා ආදියේද මෙවැනි තොරතුරු පළ වුනා. ඒ නිසා, AᗺBA සිංදු ගැන පමණක් නොව AᗺBA සංගීත කණ්ඩායම ගැනද ලංකාවේ සැලකිය යුතු පිරිසක් දැනගෙන සිටියා කියා මම හිතනවා.

AᗺBA සිංදු වගේම AᗺBA නමද හොඳින් මතක හිටින නමක්. ඊට හේතුව ඒ නම ලියන අපූරු ආකාරය සහ විශේෂයෙන්ම එහි ඇති සමමිතියයි. එම සංගීත කණ්ඩායම තුළද මෙම සමමිතිය දැකගත හැකි වුනා. දැන් AᗺBA අනුකරණය කරන AЯRIVAL FROM SWEDEN වැනි සංගීත කණ්ඩායම් වල දැකිය හැකි විශේෂ ලක්ෂණයක් වන්නේද මෙම සමමිතිය එලෙසම පවත්වා ගෙන යාමයි. 

AᗺBA සංගීත කණ්ඩායමේ සාමාජිකයින් සිවු දෙනෙකු සිටි අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු පිරිමින්ද ඉතිරි දෙදෙනා ගැහැණුන්ද වුනා. මැද අකුරු දෙකෙන් සංකේතවත් වන්නේ පිරිමි සාමාජිකයින් දෙදෙනා. අන්ත වල අකුරු දෙකෙන් අදහස් වන්නේ ගැහැණු සාමාජිකයින් දෙදෙනා. ඔවුන් විවාහක යුවල දෙකක්වද සිටියා.

ඒ වගේම, මේ අකුරු වලින් ඔවුන්ගේ නම් නිරුපණය වෙනවා. පිරිමි දෙදෙනා Björn (බියෝන්) සහ Benny (බෙනී). මුලින්ම එකට එකතු වී වැඩ කරන්න පටන් ගන්නේ මේ B අකුරු දෙකයි. ඒ හැටේ දශකයේදී. එම දශකය අවසන් වෙද්දී ඔවුන්ගේ සහකාරියන් වන A අකුරු දෙක, එනම් Agnetha (අහ්නීතා) සහ Anni-Frid (අනිෆ්‍රිඩ් හෙවත් ෆ්‍රිඩා), එකතු වීමෙන් AᗺBA සංගීත කණ්ඩායම හැදෙනවා. 

බියෝන් සහ අහ්නීතා 1971දී විවාහ වෙනවා. 1979දී ඔවුන්ගේ විවාහය දික්කසාදයකින් කෙළවර වෙනවා. අවිවාහක සහකරුවන් සේ එකට ජීවත් වන බෙනී සහ ෆ්‍රිඩා විවාහ වෙන්නේ 1978දී. 1981දී ඔවුන්ගේ විවාහයද දික්කසාදයකින් අවසන් වෙනවා. මේ ආකාරයෙන් පෞද්ගලික ජීවිතයේ සම්බන්ධතා බිඳී යද්දී AᗺBA සංගීත කණ්ඩායමද බිඳී යනවා. ඒ 1981දී පමණ. ඊට පෙර දශකයක පමණ කාලය AᗺBA සංගීත කණ්ඩායමේ ස්වර්ණමය යුගය සේ සැලකිය හැකියි. 

සිංහල, ඉංග්‍රීසි වැනි භාෂා කියවන්නේ වමේ සිට දකුණටයි. අරාබි වැනි ඇතැම් භාෂා දකුණේ සිට වමට කියවනවා. AᗺBA නමෙහි විශේෂත්වය වන්නේ එය වමේ සිට දකුණට මෙන්ම දකුණේ සිට වමටද කියවිය හැකි වීමයි. මෙවැන්නක් Ambigram යන නමින් හඳුන්වනවා. Ambigram එකක් වීමට එය ලියන ආකාරයේ සමමිතිය බලපානවා. ABBA ලෙස නොලියා AᗺBA ලෙස ලියන්නේ මේ සමමිතිය ගන්නයි.

මේ අයුරින් B අකුරේ පැත්ත වෙනස් නොකර නියම විදිහටම ලිවුවොත් එය Palindrome එකක්. Palindrome එකක් වමේ සිට මෙන්ම දකුණේ සිටද කියවිය හැකියි. එහෙත්, අකුරෙන් අකුර එකින් එක ගෙන කියවිය යුතුයි. Palindrome එකක් Ambigram එකක්ද වෙන්නේ අඩංගු අකුරු සියල්ලම සමමිතිකනම් පමණයි. 

සිංහල අකුරු මෙන් නොව ඉංග්‍රීසි අකුරු විශාල ප්‍රමාණයක් සමමිතිකයි. ඒ වගේම, ඇතැම් අකුරු වල පැත්ත මාරු කිරීමෙන් වෙනත් අකුරක් හදාගන්න පුළුවන්. b පැත්ත මාරු කළ විට d. ඒ වගේම, p පැත්ත මාරු කළ විට q. සිංහල අකුරු වල මේ ලක්ෂණය නැහැ. සිංහල අකුරු අතරින් සමමිතික අකුරු වන්නේ ප, පි, ෆ, ෆි, ඝ වැනි අකුරු කිහිපයක් පමණයි. ඒ නිසා, සිංහල Palindrome හදා ගැනීම ඒ තරම්ම අමාරු නැතත් සිංහල Ambigram හදන එක ටිකක් අමාරු වැඩක්. "පිංපි" වැනි වචනයක මෙම සමමිතිය දකින්න පුළුවන්. 

AᗺBA සංගීත කණ්ඩායම හදද්දී ස්වීඩනයේ එනමින් ටින් මාළු ව්‍යාපාරයක් තිබුනා. ඒ නිසා එම සන්නාමයේ අයිතිය තිබුණේ අදාළ සමාගමටයි. කෙසේ වුවත්, AᗺBA සංගීත කණ්ඩායමට මෙම සන්නාමය භාවිතා කිරීමට දීමට එම සමාගම එකඟ වුනා. දැන් මේ සන්නාමය අයිති AᗺBA සංගීත කණ්ඩායමටයි.

AᗺBA සංගීත කණ්ඩායම ලොව පුරා ජනප්‍රිය වීම සහ පසුව එම කණ්ඩායම බිඳ වැටීම හේතුවෙන් "AᗺBA උපහාර සංගීත කණ්ඩායම්" යනුවෙන් සංගීත කණ්ඩායම් මාදිලියක් ලොව පුරා බිහි වුනා. ඇමරිකාවේ, බ්‍රිතාන්‍යයේ, ස්වීඩනයේ මෙන්ම තවත් රටවල් වල මෙවැනි සංගීත කණ්ඩායම් සිය ගණනක් තිබෙනවා. ලංකාවට පැමිණි AЯRIVAL FROM SWEDEN සංගීත කණ්ඩායම ඒ අතරින් ප්‍රමුඛතම කණ්ඩායමක් සේ සැලකෙනවා. උපහාර සංගීත කණ්ඩායම් කියා කීවත් මෙවැනි සංගීත කණ්ඩායම් විසින් කරන්නේ AᗺBA අනුකරණය කරමින් එම සංගීත කණ්ඩායමේ ජනප්‍රිත්වය මුදල් කර ගැනීමයි.

මෙවැනි උපහාර සංගීත කණ්ඩායම් වලට එරෙහිව AᗺBA සංගීත කණ්ඩායම විසින් වරින් වර නඩු පවරා ඇති අතර සිය සංගීත කණ්ඩායමේ නමේ කොටසක් ලෙස ABBA යන්නට කිට්ටු නමක් යොදාගත් ඇතැම් සංගීත කණ්ඩායම් වලට පසුව නම වෙනස් කරගන්නට සිදු වී තිබෙනවා. එහෙත්, BANDABBA, ABBAFAB, ABBAMANIA ආදී කිට්ටුවෙන් යන නම් මෙවැනි සංගීත කණ්ඩායම් වල නම් ලෙස දැනටත් භාවිතා වෙනවා. 

ලංකාවට පැමිණි AЯRIVAL FROM SWEDEN සංගීත කණ්ඩායමේ නමෙහි ABBA යන්න නැහැ. ඔවුන්ගේ ප්‍රචාරක දැන්වීම් වල ABBA යන නම යොදාගෙන තිබුණත්, එම නම AᗺBA ලෙස ප්‍රචාරය කෙරුණේ නැහැ. ඒ නිසා, ලංකාවේදී දැකිය හැකි වූයේ වමෙන් පමණක් කියවිය හැකි, දකුණෙන් කියවිය නොහැකි නමක්. එය Palindrome එකක් වුනත් Ambigram එකක් වුනේ නැහැ.

මෙම සංගීත කණ්ඩායම ලංකාවට පැමිණීම විශේෂ අවධානයට යොමු වූයේ ආණ්ඩුවේ සහ ආණ්ඩු පක්ෂයේ ලොක්කන් සඳහා එහි විශේෂ මේසයක් වෙන් වීමයි. මෙම සිද්ධිය සමාජ ජාලා වල විශාල ලෙස කතාබහට ලක් වුවත්, එයින් ආණ්ඩුව කලබල වූ බවක් පෙනුනේ නැහැ. මා හිතන විදිහට මෙහිදී වුයේ සමාජ ජාල වල සිදු වූ ප්‍රචාරයන් ආණ්ඩුවේ දේශපාලනික අවශ්‍යතා සමඟ සමාපත වීමයි. 

පැවති ජාතික මැතිවරණ වලට පෙර මෙන්ම දැනටත් ආණ්ඩු විරෝධීන් විසින් සිදු කරන බැලු බැල්මට ආණ්ඩු විරෝධී ප්‍රචාරක කටයුතු බොහොමයකින් ඇත්තවශයෙන්ම සිදු වන්නේ ආණ්ඩුවට අවශ්‍ය දෙයයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිව සිටියදීද මෙවැනි තත්ත්වයක් දැකිය හැකි වුනා.

ලංකාවේදී ABBA නම දකුණෙන් නොකියවී වමෙන් පමණක් කියැවුණු අයුරින්ම, ආණ්ඩුවට එරෙහිව කරන දකුණේ ප්‍රචාර බොහොමයක්ද වමෙන් කියවා කරන විවේචනයි. ආණ්ඩුවේ ඉහළ තට්ටුවෙන් කොටසක් AЯRIVAL FROM SWEDEN ප්‍රසංගයට සහභාගී වී සිදු කළේ බොහෝ දෙනෙකුගේ, විශේෂයෙන්ම ආණ්ඩු විරෝධී කඳවුරේ, වම දකුණ පැටලවීමයි. ඒ උපක්‍රමය සාර්ථක වුනා. 

මෙය ආණ්ඩුව විසින් බොහෝ දෙනෙකුගේ වම දකුණ පටලවනු ලැබූ එකම අවස්ථාව නෙමෙයි. මැතිවරණ වලට පෙර සිටම මෙය දිගින් දිගටම සිදු වෙමින් පවතිනවා. දේශපාලනයේදී වත්මන් ආණ්ඩු පක්ෂ කණ්ඩායම ඉන්නේ වත්මන් විපක්ෂ කණ්ඩායම් වලට වඩා ගවු ගණනක් ඉදිරියෙන්. ඒ ගැන දැනට ඇති. 

Tuesday, April 19, 2022

සීතා ගීතා මේ බලන්නකෝ...


මේක අලුතෙන් දිවුරුම් දුන්නු රාජ්‍ය ඇමතිනියන් ගැන ලිපියක් නෙමෙයි. ආර්ථිකේ ගැනම දිගටම කතා කරපු නිසා පොඩි වෙනසකටත් එක්ක සිංදුවක් ගැන කතා කරන්න හිතුණා. අවුරුදු දවස් නිසා අවුරුදු සිංදුවක්ම තෝරා ගත්තා.

"සීතා ගීතා මේ බලන්නකෝ 

ලස්සන මගෙ මේ ඇඳුම් කට්ටලේ 

ලස්සන අවුරුදු ඇඳුම් කට්ටලේ..."

නිරංජලා සරෝජනී සහ ගීතා කාන්ති ජයකොඩි ගායනා කරන හැත්තෑව දශකයේ මුල් කාලයේ ගීයක්. අර හැත්තෑ හතට කලින් සමගි පෙරමුණු ආණ්ඩුව කියලා එකක් තිබුණේ. අන්න ඒ කාලේ. 

ඔය කාලේ ඇඳුමක් ගන්නවා කියන එක මේ දවස් වල ගෑස් සිලින්ඩරයක් ගන්න තරම්වත් ලේසි නැහැ. කොහොමත් ගොඩක් පවුල් වල දරුවන්ට ඇඳුම් කට්ටලයක් ලැබුණේ ඔය අවුරුදු කාලෙට තමයි. හැමදාම හිතේ හැටියට ළමයින්ට ඇඳුම් අරන් දෙන්න තරම් මිනිස්සු අතේ සල්ලි තිබුණේ නැහැ. සල්ලි තිබුණා වුනත් සල්ලි වලට ගන්න බඩු නැහැ. සමුපකාරෙට එන භූමිතෙල් ගඳ ගහන චීත්ත රෙදි කෑල්ලක් ගන්නත් මැනේජර් මහත්තයා එක්ක හිතවත්කමක් තියෙන්න ඕනෑ. දැන් කිරිපිටි ගන්නවා වගේ.

"ආනේ නීතා කොයින්ද ඔයාට ලැබුණේ...?"

නීතාටනම් කොහොම හරි ලස්සන අවුරුදු ඇඳුම් කට්ටලයක් ලැබිලා. නීතා ගිහින් ඒක සීතාටයි ගීතාටයි පෙන්නනවා. තුන් දෙනාම හිච්චි කෙල්ලෝ. ඔන්න එහෙනම් අහගන්න නීතාට ලස්සන අවුරුදු ඇඳුම් කට්ටලේ ලැබුණේ කොහොමද කියලා.

"බෝගන්විලා පැළ උදුරාලා 

මමම හැදුව මගෙ තක්කලි කොටුවේ 

පොකුරු පොකුරු හැදුණා හැම නටුවේ 

ඒව විකුණලා කාසි ගෙනැල්ලා 

කාසි විකුණලා ඇඳුම් ගෙනැල්ලා 

ඇඳුම් කට්ටලේ මහගත්තා"


"පස පෙරළලා ගිනි අවුළාලා 

මමම හැදුව මගෙ පොඩි මුං හේනේ 

කරල් ඇතිවී තිබුණා පැළ ගානේ 

ඒව විකුණා කාසි ගෙනැල්ලා 

කාසි විකුණලා ඇඳුම් ගෙනැල්ලා 

ඇඳුම් කට්ටලේ මහගත්තා"

කොහොම කට්ටක් කන්න ඇද්ද ඇඳුම ගන්න. ඔය සමගි පෙරමුණු ආණ්ඩුවේ වගා සංග්‍රාම කාලෙනේ. විකුණන එක කොහොම වෙතත් කන්න බොන්න හරි වත්තේ මොනවා හරි වවා ගත්තේ නැත්නම් ඉතිං බඩගින්නේ තමයි.

ඇඟලුම් කර්මාන්තය ප්‍රචලිත වුනේ හැත්තෑ හතෙන් පස්සෙනේ. ඔය කාලයේ ගම් වල තරුණියන්ට කරන්න කියලා රස්සා එහෙමට තිබුණේ නැහැ. හේනේ කුඹුරේ වැඩක් කරගෙන ගෙදර උයන පිහන එක දරු මල්ලෝ බලා ගෙන ඉන්න එක තමයි ඉතිං ගොඩක් තරුණියන්ගේ ඉරණම. දරු මල්ලෝ කිවුවේ බාල සහෝදර සහෝදරියෝ, වැඩිහිටි සහෝදර සහෝදරියන්ගේ දරුවෝ එහෙම.

සමහර අම්මලා ගෑණු දරුවන්ට පොඩි කාලේ ඉඳලම ගෙදර දොරේ වැඩ හුරු කළත්, එහෙම නැතුව දරුවන්ව "මල් වගේ" හදපු අම්මලත් හිටියා. එහෙම ටිකක් "පොෂ්" ගෑණු දරුවෝ මැහුම් පන්ති, කුකරි ක්ලාස්, ටයිපිං ෂෝට් හෑන්ඩ් පංති ආදියට යන අතර ගෙදර ඉන්න වෙලාව මල් වවන්න යොදවනවා. සේපාලිකා, සමන් පිච්ච, දාස් පෙතියා, වතුසුදු වගේ වැඩි මහන්සියක් නැතිව ඔහේ හැදෙන මල් අතරේ ඕකිඩ්, ඇන්තූරියම් වගේ ඒවා ටිකක් පොෂ් මල්. ඒවාට දිනපතා සාත්තු කළ යුතුයි. බෝගන්විලා වලට ඒ තරමටම සාත්තු කළ යුතු නොවුනත් ඒකෙත් පොඩි පොෂ් ගතියක් තිබුණා.

මල් වලට ගෑණු ළමයි සාත්තු කරන්නේ පණ ඇරලා. එහෙම තත්ත්වයක් තියෙද්දී තමයි නීතා තමන්ගේ බෝගන්විලා පැළ ටික උදුරලා තක්කාලි හිටවන්නේ. වත්තේ හැම බිම් අඟලකම කන්න පුළුවන් මොනවා හෝ දෙයක් වගා නොකර බෝගන්විලා වවන එක දරුණු අපරාදයක් වගේ පෙනුණු කාලයක්නේ ඕක. නීතා තමන්ගේ බෝගන්විලා ටික උදුරා දමලා ඒ ඉඩේත් තක්කාලි වවලා සීතාට සහ ගීතාට ආදර්ශයක් දෙනවා. බෝගන්විලා ටික බේරගන්න හිතුවානම් ඇඳුම් නැතුව තමයි ඉන්න වෙන්නේ.

ගෙවතු වගා වැඩේ හොඳයි. අපිත් ඔය වැඩේ කරනවා. ගෙදරට එළවලුත් ලැබෙනවා තමයි. හැබැයි වැඩිපුර තියෙන්නේ සතුට. ආර්ථික පැත්තෙන් බැලුවොත් බෝගන්විලා වවන එකෙයි තක්කාලි වවන එකෙයි වැඩිපුරම තියෙන්නේ රුචිකත්වයන් පිළිබඳ වෙනස. මේවා රටක ආහාර ප්‍රශ්නයට විසඳුම් නෙමෙයි. හැබැයි වෙන විකල්පයක් නැති වුනාම ඔය වගේ දේවල් නොකරම බැරි වෙන්නත් පුළුවන්. 

මේ සිංදුවේ පදමාලාවේ මම ආසම කොටස "කාසි විකුණලා ඇඳුම් ගෙනැල්ලා" කියන කොටස. සාමාන්‍ය භාවිතයේදී අපි මේ වගේ සන්දර්භයකදී කාසි විකුණලා කියා කියන්නේ නැහැ. සිංදුව ලියා තිබෙන චන්ද්‍රසේන රංගේගේ දේශපාලන අදහස් ගැන මම දන්නේ නැහැ. නමුත් ඔය කාලය ගොඩක් කලාකරුවෝ, ලේඛකයෝ මාක්ස්වාදය එක්ක තදින් බැඳී සිටි කාලයක්. සමහර විට මේ රචකයාත් එවැන්නෙක්ව සිටියා වෙන්න පුළුවන්. එසේ නොවෙන්නත් පුළුවන්.

"ඒව විකුණලා කාසි ගෙනැල්ලා- කාසි විකුණලා ඇඳුම් ගෙනැල්ලා" කියන කොටස ඇහෙන හැම වෙලාවකම මට මතක් වෙන්නේ දාස් කැපිටාල් පොතේ C-M-C ආකෘතිය. ඕක ඉල්ලුම් සැපයුම් න්‍යාය වැඩි දියුණු වෙන්නත් කලින් යුගයේ යල් පැන ගිය ආකෘතියක් වුවත් දාස් කැපිටාල් ආගමික ග්‍රන්ථයක් විදිහට සලකන සමහර අය තවමත් ඔය ආකෘතිය ගැන කතා කරනවා මම දැකල තියෙනවා. මෙයින් විස්තර කරන්නේ පාරිභෝගික භාණ්ඩයක් මුදල් වෙලා දෙවනුව මුදල් පාරිභෝගික භාණ්ඩයක් වෙන එක. තව M-C-M කියලා එකකුත් තියෙනවා. ඒකෙදී මුදල් පාරිභෝගික භාණ්ඩයක් වෙලා දෙවනුව පාරිභෝගික භාණ්ඩය මුදල් වෙනවා. මාක්ස්වාදයේ ගොඩක් ප්‍රවාද පටන් ගන්නේ ඔය දෙවන ආකෘතියේ ඉඳලා. 

මේ පද පේලි දෙක අපට නූතන සන්දර්භයක පිහිටුවා විග්‍රහ කරන්නත් පුළුවන්. විකුණන එක ජාත්‍යන්තර සන්දර්භයකට ගෙනිහින් කාසි ඩොලර් විදිහට සලකන එකයි කරන්න තියෙන්නේ. දැන් පාරිභෝගික භාණ්ඩය අපනයන භාණ්ඩයක් වෙලා ඩොලර් ගේනවා. දෙවනුව, ඒ ඩොලර් ආනයනික පාරිභෝගික භාණ්ඩයක් වෙනවා. ඊළඟ අලුත් අවුරුද්දට අලුත් ඇඳුම් කට්ටලයක් ගන්නනම් නීතාට වගේම සීතාට හා ගීතාටත් ඩොලර් වලට විකිණිය හැකි දෙයක් නිපදවන්න වෙනවා. සමහර විට ඒ වැඩේට තක්කාලි ගලවලා බෝගන්විලා හිටවන්න වෙන්නත් පුළුවන්. 

#ඉකොනොමැට්ටා 

Tuesday, September 7, 2021

මේ කුරුමිට්ට්ටන් යෝධයින් වන කාලයක්!


සිංහල සංගීතය කියා කියන්නේම පසුගිය සියවසක හෝ එකහමාරක කාලය තුළ අනුකරණ හරහා ගොඩ නැගුනු දෙයක්. ලංකාවේ සංස්කෘතියට සියවස් ගණනක් තිස්සේ බොහෝ දේවල් නිසගවම එකතු වුනේ යාබද දකුණු ඉන්දියාවෙන්. ඒ ක්‍රමයටම දකුණු ඉන්දීය සංගීතය ඇසුරෙන් ලංකාවේ සංගීත ආරක් හැදෙමින් තිබුණා. උතුරු ඉන්දියානුවන් විසින් සිංහලයින්ව දකින්නේ තවත් දකුණු ඉන්දියානුවන් කණ්ඩායමක් සේ වුවත්, සිංහලයින් අතර තමන්ගේ උතුරු ඉන්දීය සම්භවය පිළිබඳ අදහස මුල් බැස ගෙන තිබීම මත දකුණු ඉන්දියානු සංගීතය සිංහලයින් හමුවේ බාල සංගීතයක් බවට පත් වුනා. ඒ අනුව, සිංහලයෝ වඩා හොඳ සංගීතයක් හොයන්න උතුරු ඉන්දියාවට ගියා. ශාන්ති නිකේතන් වගේ තැන් වලට.

කොහොමටත් සිංහලයින් හා වංගයින් අතර සියවස් ගණනාවක ඉතිහාසයේ කඩතුරාවෙන් වැහුණු සංස්කෘතික සම්බන්ධයක් තිබුණු නිසා රාබීන්ද්‍ර ශන්ගීත් වගේ සංගීත ආරකට සිංහල ගැමියෙකු සුසර වීම පුදුමයක් නෙමෙයි. මටනම් මේ සිංදු වෙනත් සියළුම සංගීත ආරවල් වලට වඩා සමීපව දැනෙනවා. දැනටත් මම මේ සිංදු අහන්න ගොඩක් කැමතියි.

හැබැයි උතුරු ඉන්දීය රාගධාරී සංගීතය අගය කරන අයට රාබීන්ද්‍ර ශන්ගීත් වගේ ආරවල් ටිකක් අඩු කුලේ වගේ.  රාබීන්ද්‍ර ශන්ගීත් ශෛලිය ඇතුළේ උතුරු ඉන්දීය රාගධාරී සංගීත ශෛලියේදී තරම් පුහුණුවක් අවශ්‍ය නොවනවා විය හැකියි. මමනම් සිංදු අහනවා මිසක් සංගීතය ගැන හදාරා හෝ සංගීතය ගැන වැඩිපුර දන්නා කෙනෙක් නෙමෙයි. ඒ නිසා මේ ලියන දේවලුත් සංගීතය ගැන දන්න මගුලක් නැති මට හිතෙන දේවල් පමණයි.

කොහොමින් කොහොම හරි උතුරු ඉන්දීය රාගධාරී සංගීතය ලංකාවේ අධිපතිවාදී සංගීත ආර බවට පත් වුනා. සමාජවාදීන් විසින් එසේ පත් කරනු ලැබුවා කියා කිවුවත් වැරැද්දක් නැහැ. හැත්තෑ හත වෙද්දී තිබුණේ මේ තත්ත්වයයි.

උතුරු ඉන්දීය රාගධාරී සංගීතය මත පදනම් වූ ලංකාවේ සංගීත ආර මතු වුනේ දකුණු ඉන්දීය "බාල" සංගීතය යට කරගෙන. එහෙම මතු වෙන්නනම් එහි අනෙක් මාදිලියේ නැති විශේෂත්වයක් තියෙන්න ඕනෑ. මුලින්ම මේ මාදිලිය ජනප්‍රිය වෙන්නේ "අපේ නොවන" දකුණු ඉන්දීය සංගීතයට එරෙහිව "අපේ සංගීතයක්" වෙනුවෙන් රටේ ඇති වෙන ඉල්ලුමට සමාන්තරවයි. හැබැයි මේ "අපේ දේ" හොයා ගන්න වෙන්නෙත් ඉන්දියාවෙන්ම නිසා ඔතැන උභතෝකෝටිකයක් ඇති වෙනවා. දෙකම ඉන්දියන් බඩුනම් එකක් අනෙකට වඩා වැඩියෙන් අපේ වෙන්නේ කොහොමද? 

ලංකාවේ සම්භාව්‍ය සංගීතය කියන එක තුළ අර්ථ රසයට විශාල වටිනාකමක් ලැබෙනවා. මේක සුවිශේෂී තත්ත්වයක් කියලයි මම හිතන්නේ. සමහර විට ඔය වැඩේ ඔය විදිහට වෙන්න ඇත්තේ ඉහත උභතෝකෝටිකයට පිළියමක් ලෙස වෙන්න ඇති. කොයි සිංදුවේත් තනු ඉන්දියන්නම්, අපේ කම තියෙන්නේ වචන වල විතරක්නම්, එකක් අනෙකට වඩා හොඳයි කියන්න පුළුවන් වෙන්නේ වචන වල පැහැදිලි වෙනසක් තිබේනම් පමණයි. අවසාන වශයෙන් වුනේ සාමාන්‍ය මනුස්සයෙක්ට නොතේරෙන වචන තිබෙන සිංදු සම්භාව්‍ය සිංදු වෙලා එහෙම නැති සිංදු පීචං සිංදු වෙන එක.

පෞද්ගලිකව මම ගත්තොත්, කුඩා කාලයේ සිටම මට වැඩි කැමැත්තක් තිබුණේ සම්භාව්‍ය ගණයේ සැලකුණු අමරදේව, නන්දා මාලිනී වගේ අයගේ සිංදු වලට. මම මේ කියන්නේ නන්දා මාලිනී සිංදු විතරක් කියපු කාලය ගැන. සටන් පාඨ සිංදු විදිහට ඉදිරිපත් කරන්න කලින් යුගය. ඒ දවස් වල පීචං ගණයේ සැලකුණු ජෝතිපාල වගේ අයගේ සිංදු වලට මගේ ඒ තරම්ම කැමැත්තක් තිබුණේ නැහැ. මේක තනිකරම කැමැත්ත මත සිදුව තිබුණු දෙයක්. එහෙම නැතුව ප්‍රබුද්ධ පීචං වෙනස නිසා සිදු වී තිබුණු දෙයක් නෙමෙයි. ඒ කාලය ජෝතිපාලට කැමති එහෙත් ප්‍රසිද්ධියේ අමරදේව අහන අයත් හිටපු කාලයක්නේ.

හැබැයි දැන් හිතලා බැලුවහම මගේ ඒ පෞද්ගලික කැමැත්ත වුනත් අහම්බයක් නෙමෙයි. හැත්තෑ හත වන තුරු ලංකාවේ ගොඩක් පවුල් වලට ලෝකය හා සම්බන්ධ විය හැකිව තිබුණු එකම ක්‍රමය ගුවන් විදුලිය පමණයි. ඔය ගොඩේ හිටපු මටත් ඉතිං  කුඩා කාලයේදී සිංදු අහන්න ලැබුණේ ගුවන් විදුලියෙන් පමණයි. ඔය සිංදු අපට තෝරලා දෙන්න කට්ටිය හිටියා. අපට නිතර අහන්න ලැබුණේ ඒ අය හොඳ සිංදු කියා හිතපු සිංදු. වෙනත් ගොඩක් දේවල් වගේම සිංදු වලට තිබෙන කැමැත්තත් ඇබ්බැහියක්. එක දිගට අහද්දී ඒ අහන සිංදු වලට කැමැත්තක් ඇති වෙනවා.

ඕක වෙනස් වෙන්න පටන් ගත්තේ හැත්තෑ හතෙන් පස්සේ ගම් වලට කැසට් යන්ත්‍ර එන්න පටන් ගත්තට පස්සේ. විශේෂයෙන්ම ගම් වල කාන්තා පාර්ශවය මැදපෙරදිග රැකියා වලට යන්න පටන් ගැනීමෙන් පසුව ගෙවල් වලට ටූ ඉන් වන්, ත්‍රී ඉන් වන් එන්න ගත්තා. ඕවා ගමටම ඇහෙන්න දමන ප්‍රවණතාවයන්ද ඇති වුනා. 

මේ එක්කම ජනතාවට හොඳ සිංදු තෝරා දීමේ ගුවන් විදුලියේ ඒකාධිකාරය බිඳ වැටුනා. නිහාල් නෙල්සන් වගේ අයගේ "විකල්ප ධාරාවේ" සිංදු මාකට් වෙන්න පටන් ගත්තා. කැසට් වෙළඳපොළේ සම්භාව්‍ය සිංදු පරද්දලා පීචං සිංදු ඉදිරියට ආවා. හොඳ සිංදු කියන්නේ ජනප්‍රිය සිංදු නෙමෙයි කියන "සමාජවාදී" අදහස ජනගත කරන්න දරපු උත්සාහයත් එක්ක සම්භාව්‍ය-පීචං බෙදීම ඉදිරියට ගියා. හැබැයි ඔය ගොඩවල් දෙකේම හරි හරියට වගේ ඉන්දියන් කොපි තිබුණා. සමහර විට සම්භාව්‍ය සිංදු පීචං සිංදු තරමටම අමු අමුවේ කොපි නොකළා වෙන්න පුළුවන්. කොහොම වුනත් ඉන්දියාව එක්ක තිබුණු සමීප භූගෝලීය හා සංස්කෘතික සම්බන්ධය නිසා කොපියක් කොපියක් බව හංගන එක ලේසි වුනේ නැහැ. මිනිස්සුන්ට ඕකේ ප්‍රශ්නයක් තිබුණේත් නැහැ.

ඔය අස්සේ ඉන්දියන් කොපි වෙනුවට බටහිර සිංදු කොපි කරලා හදන සංගීත ආරකුත් හීනියට හැදිලා තිබුණා. මේ සංගීත ආර වැඩිපුර ජනප්‍රියව තිබුණේ සමහර සමාජ තීරු ඇතුළේ පමණයි. ක්ලැරන්ස්, ක්‍රිස්ටෝපර් පෝල් වගේ අයගේ සිංදු ඔය ගොඩේ තිබුණා. ඉන්දියන් කොපි අහුවෙනවා වගේ ලේසියෙන් බටහිර සින්දු වල කොපි කොපි බව අහුවුනේ නැහැ. සුනිල් පෙරේරාගේ ජිප්සීස් සිංදු තියෙන්නෙත් මේ ගොඩේ.

රජය විසින් මිනිස්සුන්ට හොඳ දේ තෝරා දීම බාර ගත්තට පස්සේ ඉල්ලුම සැපයුම අතර නොගැලපීමක් ඇති වෙනවා. ඒ නිසා, මිල තීරණය කරන්න වෙන්නේත් රජයටමයි. ගුවන් විදුලියේ ඒකාධිකාරයක් තිබුණු යුගයේදී ගායක ගායිකාවන්ට ලැබුණේ වාදනය කෙරෙන වාර ගණන හා ගායකයාගේ ශ්‍රේණිය අනුව රජය විසින් නියම කළ සොච්චම් මුදලක් පමණයි. සමාජවාදී මතවාදය අනුව මිනිස්සු වඩා කැමති දෙය සහ හොඳ දෙය එකක්ම නොවූ නිසා ගායක ගායිකාවන් හිඟන්නන් වීම වැරැද්දක් නොවන බවට වූ අදහසද සමාජවාදීන් විසින්ම ජනගත කර තිබුණා. ඒ අනුව, ගායක ගායිකාවන් බොහෝ දෙනෙකු රජය විසින් රැක බලා ගත යුතු හිඟන්නන් පිරිසක් බවට පත් කරනු ලැබ තිබුණා.

ගුවන් විදුලි යුගයෙන් කැසට් යුගයට යද්දී ඉහත තත්ත්වය වෙනස් වුනා. නිහාල් නෙල්සන්ලා වගේ අයට වැඩි පිරිසක් අතරට යන්න සහ තමන්ගේ නිර්මාණයේ වටිනාකම හොයා ගන්න විකල්ප මාවතක් ඇරුණා. ජෝතිපාලලා ජනතාවගේ ගායකයෝ වුනා. මේ දේවල් වුනේ හැත්තෑ හතේ වෙනසින් පසුවයි.

හැත්තෑ හතේදී ලංකාවේ ආර්ථිකය විවෘත වූ බව ගොඩක් අය හිතා සිටියත් ආනයන බලපත්‍ර අහෝසි වීම වගේ දේවල් ටිකක් හැර ආර්ථිකය මහා ලොකුවට විවෘත වුණේ නැහැ. කලින් පැවති රාජ්‍යමූලික සමාජවාදී ආර්ථික ව්‍යුහය තවදුරටත් එලෙසම තිබුණා වගේම ඉතා නිවැරදිව ජේආර් ජයවර්ධන විසින් ලංකාව නිල වශයෙන්ම සමාජවාදී ජනරජයක් ලෙස නම් කළා. ආර්ථිකයට වඩා බාහිරට විවෘත වුනේ රටේ සංස්කෘතිය කියා කියන්න පුළුවන්. ලංකාව එතෙක් මෙතෙක් බටහිරින් අරගෙන තිබෙන ගොඩක් දේවල් බටහිරින් ගත හැකි හොඳම දේවල්ම නොවන බව තේරුම් ගන්නනම් බටහිර රටක ජීවත් වෙලාම බලන්න ඕනෑ.

Petrus Antonius Laurentius (Vader Abraham): Smurfenlied


සුනිල් පෙරේරා ප්‍රමුඛ ජිප්සීස් කණ්ඩායමේ හොඳම කාලය ආරම්භ වන්නේ හැත්තෑ හතේදී ඉහත අර්ථයෙන් රට විවෘත වීමෙන් පසුවයි. තවත් විදිහකට කිවුවොත් ගම් වලට කැසට් යන්ත්‍ර යාමට සමාන්තරව. හැබැයි අපේ ගෙදරනම් හැත්තෑ හතෙන් පසුවත් කාලයක් යන තුරු කැසට් යන්ත්‍රයක් තිබුණේ නැහැ. කැසට් යන්ත්‍රයක් මිල දී ගැනීමෙන් පසුවත් කාගෙන් හෝ ඉල්ලාගෙන ඇහුවොත් මිසක් එන එන කැසට් ගන්න තරම් අපට සල්ලි තිබුණේත් නැහැ. ඒ වගේම, අපේ ගෙදර වැඩිහිටියන්ට ලොකු සංගීත රුචිකත්වයක් තිබුණේත් නැහැ. මේ ආදී හේතු නිසා, මම බොහෝ කාලයක් යන තුරු සිංදු ඇහුවේ ගුවන් විදුලියෙන්. සම්භාව්‍ය සිංදු වලට වැඩි රුචිකත්වයක් ඇති වෙන්න මෙය හේතුවක් වෙන්න ඇති. හැබැයි මීටරේ මාරු කරලා ඉංග්‍රීසි සිංදුත් අඩුවක් නැතුව ඇහුවා. ඒවත් ඉතිං තෝරලා දෙන ඒවාම තමයි.

ජිප්සීස්ලා හිටියේ සම්භාව්‍ය ගොඩේ නෙමෙයි. පීචං ගොඩේ. මේ පීචං ගායකයින්ගේ වූ විශේෂත්වය වුනේ ඔවුන් වෙළඳපොල ඉල්ලුම මත ගායකයින් සේ බැබලීමයි. මෙයින් වෙනස්ව සම්භාව්‍ය ගොඩේ ගොඩක් අය ගායකයින් සේ දිලිසුනේ යම් තරමකට හෝ රජයේ උදවුවෙන්. 

Tiny Winey - Byron Lee & The Dragonaires



වෙළඳපොළ ඉල්ලුම තුළින්ම ගායකයින් වී පීචං ගොඩේ සිටි අය අතරින් එක් නිශ්චිත කරුණකින් සුනිල් පෙරේරා ජෝතිපාල වැනි කණ්ඩායමේ අනෙක් අයගෙන් වෙනස් වුනා. අනෙක් හැම දෙනෙක්ම වගේ ඉස්සරහට ගියේ මිල සාධකය උදවු කරගෙන නෙමෙයි. ඔවුන් කළේ මිල අඩු මට්ටමක තියෙද්දී එම මිලට වැඩි ඉල්ලුමක් ජනිත වූ නිසා ඉල්ලුමට සරිලන තරමට සැපයුම වැඩි කරන එකයි. සමහර අය සතිපතා වගේ කැසට් ගැහුවා. සෑහෙන්න මහන්සි වුනා. ඒ අය සමාජවාදී ක්‍රමයටම හිතමින් තමන්ගේ මහන්සියට ප්‍රතිලාභ ලබා ගත්තා මිසක් වෙළඳපොළ ඉල්ලුම තමන්ගේ වාසියට යොදා ගන්නා ආකාරය ගැන හොඳින් දැනුවත්ව සිටියේ නැහැ.

මේ අනෙක් අයගෙන් වෙනස්ව සුනිල් පෙරේරා මිල සාධකය සාර්ථක ලෙස ප්‍රයෝජනයට ගත්තා. සමහර විට ඔහු ලංකාවේ මේ වැඩේ මුලින්ම කළ ගායකයෙකු විය හැකියි. සුනිල් පෙරේරා ඉතා සාර්ථක ලෙස සැපයුම සීමා කිරීම හරහා ඉල්ලුම කළමණාකරණය කරමින් මිල ඉහළ මට්ටමක පවත්වා ගත්තා. සමහර විට ඔහුගේ ව්‍යපාරික පවුල් පසුබිම මෙයට උදවුවක් වුනා වෙන්න පුළුවන්.

සුනිල් පෙරේරා මගේ කැමතිම ගායකයෙක් කියා මම කියන්නේ නැහැ. එහෙත්, ඔහු මම කැමති ගායකයෙක්. ඒ වගේම ඔහු සිංහල සංගීතයට බොහෝ අලුත් දේ එකතු කළ අයෙක්. සරසවියට ගියාට පස්සේනම් බොහෝ දුරට තිබුණේ කපුගේගේ ඒකාධිකාරයක්. කපුගේ කියන්නේ තවමත් මම කැමතිම ගායකයෙක්. හැබැයි ඒ ඔහුගේ සිංදු වලට මම කැමති නිසා මිසක් ඔහුගේ දේශපාලනය නිසා නෙමෙයි. සමහර අය කපුගේට කැමතිව සිටියේ ඔහුගේ දේශපාලනය නිසා. 

කපුගේගේ සිංදු වලට කොයි තරම් කැමති වුවත් සරසවි පරිසරය ඇතුළේ කපුගේ වැනි ඇතැම් ගායකයින්ට ඕනෑවට වඩා වැඩි බරක් වැටී තිබීම ගැන මගේ එතරම් කැමැත්තක් තිබුණේ නැහැ. ජිප්සීස් සිංදු ඇහීම හෝ ගායනා කිරීම ඔය වගේ පසුබිමක සිටිද්දී වෙනස් අනන්‍යතාවයක් පෙන්වීමට අවශ්‍ය වූ අයෙකුට කළ හැකිව තිබුණු දෙයක්. ඊට වඩා ඉදිරියට ගොස් ජිප්සීස්ලාව සරසවියට ගෙන්වනවා වගේ දෙයක්නම් ලේසියකට කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. එවැන්නක් කළ හැකිව තිබුණේ ගුටිකන්න බලාගෙන පමණයි.

Jimmy the hover Tantalise (Wo Wo Ee Yeh Yeh)


මම හිතන විදිහට අසූව දශකය මුල පටන් ගත් ජිප්සීස්ලාගේ හොඳම කාලය අනූව දශකය අවසන් වෙද්දී කෙළවර වී ගියා. මම පළමු හා අවසන් වරට ජිප්සීස්ලාගේ එළිමහන් ප්‍රසංගයක් බැලුවේ අනූව දශකය අවසානයේ. ඒක කළේත් සෑහෙන ගේමක් දීලා. ඒ ගැන කලින් ලියූ ලිපියක් පහත තිබෙනවා. 

පූජ්‍ය පක්ෂයට පමණයි!


අගනුවර ප්‍රධාන පාසැලක ආදි සිසු සංගමය විසින් සංවිධානය කළ ප්‍රසංගයක පටිගත කිරීමක් ලීක් වුණෙත් ඔය ආසන්න කාලයකදී. අර ඇඟිලි වලින් ගිටාර් ගහනවා හැර තවත් දේ කළ හැකි බව පෙන්වපු එක. පසුව මෑතකදී ඇමරිකාවේ ආසන්න නගරයක ජිප්සීස් ප්‍රසංගයක් පැවැත්වුනත් එහි යාම දැරිය යුතු ආවස්ථික පිරිවැයට වඩා වටිනවා කියා මට හිතුනේ නැහැ. 

සුනිල් පෙරේරාට කෝවිඩ් හමුවේ ජීවිතයෙන් පැරදෙන්න සිදු වීම කණගාටුවට කරුණක්. අපි ඔහුට සුබ ගමන් පතමු!

හැබැයි සුනිල් පෙරේරා ඔහුගේ ජීවිතය ජීවත් වී අවසන්ව සිටියා කියා මම හිතනවා. තව කාලයක් හිටියත් සංගීතය පැත්තෙන් ඔහුගෙන් අමුතු දෙයක් වෙන්න තිබුණු ඉඩකඩ ගොඩක් අඩුයි. ගූගල් හම් වගේ මෘදුකාංග තව ටිකක් දියුණු වීමෙන් පසුව ජිප්සීස් සිංදු ගැන විස්තර තවත් ප්‍රචලිත වෙයි. කෝවිඩ් නිසා මියගිය මංගල සමරවීර වගේම සුනිල් පෙරේරාත් මිය යාමෙන් පසුව යෝධයින් වී සිටිනවා. සැබෑවටම යෝධයින් වූ ඔවුන් ජීවත්ව සිටියදී කුරුමිට්ටන් සේ පෙනුනාද? එසේ නැත්නම්, ඔවුන් මිය යාමෙන් පසුව යෝධයින් වුනාද?

අඟුටුමිට්ටන්ගේ ලෝකයකදී කවුරු වුනත් යෝධයෙක් වෙනවා. මෑත කාලයේදී සුනිල් පෙරේරාව අගය කළ හා මරණයෙන් පසුව ඔහුව අගය කරන ගොඩක් අය තිස් වසරකට පෙර සරසවි කාලයේදී තමන්ගේ සගයෙකු එවැන්නක් කළේනම් අතින් පයින් සලකන්නට වුවත් නොපැකිළෙන අය වීම හිතන්නට අවශ්‍ය කාරණයක්.

ගොඩක් අය මංගලව වගේම සුනිල් පෙරේරාවත් අගය කරන්නේ ඔවුන් තමන්ට අවශ්‍ය පරිදි ජීවත් වූ, ජීවත් වන ආකාරය හංගාගෙන වෙනත් මූණක් නොපෙන්වූ අය ලෙස සලකමිනුයි. ප්‍රසිද්ධ චරිත අතර මෙවැන්නන් දුලබයි. ඔවුන් ඇත්තටම එවැනි චරිත වූවාද කියන එකත් මතභේදාත්මක කරුණක් වුවත්, එක දෙයක්නම් ඉතා පැහැදිලියි. ප්‍රසිද්ධ චරිතයක්ව සිටියදී,  තමන්ගේ ඇත්ත මුහුණ නොපැකිළ පෙන්විය හැකි අය සඳහා මේ මොහොතේ ලංකාවේ විශාල දේශපාලන රික්තයක් ඇති වී තිබෙනවා. මෙය ඒ ලක්ෂණය ඇති කුරුමිට්ටේකුට වුවත් යෝධයෙකු විය හැකි මොහොතක්. ඒ වගේම, යෝධයින් සේ පෙනී සිටින ඇතැම් අය කුරුමිට්ටන්ම පමණක් බව පෙනෙන එකත් වැළැක්විය නොහැකි කාලයක්!

Wednesday, August 18, 2021

කරාබු කඩා හැදූ මැණිකේ මගේ හිතේ


සිංහල සිංදුවක් ජාත්‍යන්තරයට ගිහින් තිබෙනවා. ජාත්‍යන්තරයට කියා කිවුවත් ඇත්තටම වෙලා තියෙන්නේ සිංහල සිංදුවක් ඉන්දියාව පුරා හිට් වීමයි. 

මෙසේ කීමෙන් මා කිසිසේත්ම මේ සිංදුව අවතක්සේරු කිරීමක් කරන්නේ නැහැ. සිංහල සිංදුවක් කවදාවත්ම ඉන්දියානු කලාපයෙන් පිටත, ලෝකය පුරා ජනප්‍රිය වී නැහැ. මා දන්නා තරමින් මීට පෙර ඉන්දියානු කලාපය පුරා හෝ ජනප්‍රිය වී තිබෙන්නේ එකම එක සිංහල සිංදුවක් පමණයි. ඒ නිසා, මේ සිංදුව ඉන්දියානු කලාපය පුරා ජනප්‍රිය වීම පට්ටයි කියලා කට පුරා කියන්න පුළුවන්.

මැණිකේ මගේ හිතේ සිංදුව ඉන්දියාව පුරා වගේම, ඉන්දියානු කලාපයේ යාබද රටවල ප්‍රේක්ෂකයින් අතරත්, ලොව පුරා විසිරී සිටින එම රටවල ඩයස්පෝරිකයින් අතරත් ජනප්‍රිය වී තිබෙනවා. ඒ අර්ථයෙන් සිංදුව ජාත්‍යන්තරයට ගිහින් කීමේ වරදකුත් නැහැ. ඒ වගේම මෙය ඉන්දියානු සංස්කෘතියෙන් පිටතද ජනප්‍රිය වීමේ යම් විභවයක් තිබෙනවා. එසේ වේවා කියා අප ප්‍රාර්ථනා කරනවා.

සිංදුවක් ජනප්‍රිය වීමට එහි සංගීතය, ගායනය, පද මාලාවේ අර්ථ රසය, පද මාලාවේ ශබ්ද රසය ඇතුළු බොහෝ කරුණු බලපානවා. මේ කරුණු අතරින් පද මාලාවේ අර්ථ රසය වැදගත් වන්නේ සිංදුව ලියැවී තිබෙන භාෂාව දන්නා අයට පමණයි. එම භාෂාව නොදන්නා අයට වැදගත් වන්නේ ඉතිරි කරුණු තුන හා වෙනත් කරුණුයි. මේ වෙනත් කරුණු අතර මේ වන විට රූප රසයද වැදගත් කරුණක්ව තිබෙනවා.

කාලයක් තිස්සේ ලංකාව තුළ හොඳ සිංදු සේ සැලකුනේ පද මාලාවේ අර්ථ රසය ඉහළ මට්ටමක වූ සිංදුයි. මෙවැනි බොහෝ සිංදු වල අර්ථය සිංහල භාෂාව මුල් බස වූ අයෙකුට වුවත් හරියටම තේරුම් ගන්න අමාරුයි. ඒ වගේ සිංදු, ඉතිරි සාධක නිසා නොවේනම්, ලංකාවේ කොයි තරම් ජනප්‍රිය වුවත්, ජාත්‍යන්තරයට යන්නේ නැහැ. ඕනෑනම් වැඩිම වුනොත් සිංහල බස මුල් බස වූ සංක්‍රමණිකයින් අතර ජනප්‍රිය වෙයි. 

මා දන්නා තරමින් වෙනත් භාෂා වලින් ලියැවෙන සිංදු බොහොමයක තිබෙන්නේ සරල අර්ථයක්. වෙනත් රටවල සිංදු හැදෙද්දී සිංහල සිංදු වල මෙන් පද මාලාවේ අර්ථ රසය බොහෝ වැදගත් සේ සැලකෙන බවක් මා දන්නේ නැහැ. 

මැණිකේ මගේ හිතේ සිංදුවේ පද මාලාවේ අර්ථ රසයක්නම් නැහැ. සම්ප්‍රදායික සම්මත අනුව බැලුවොත් මෙය කසිකබල් සිංදුවක් කියන්න පුළුවන්. එහෙත් මේ පද මාලාවේ ශබ්ද රසය තිබෙනවා. සිංදුව හිට් වීමට වැඩිපුරම දායක වී තිබෙන්නේ එහි සංගීතය විය හැකි වුවත්, පද මාලාවේ ශබ්ද රසයද එයට සැලකිය යුතු දායකත්වයක් ලබා දී තිබෙන බව පැහැදිලියි.

මීට පෙර මේ ආකාරයෙන් ඉන්දියාව පුරා හිට් වූ සිංහල සිංදුවක් ඇත්නම් ඒ සුරංගනීට මාළු ගෙනාවා ගීතය පමණයි. දශක ගණනාවකට පෙර ඉන්දියාවේ හිට් වූ සුරංගනී ගීතය ඉන්දියානුවන් අතර තවමත් ජනප්‍රියයි. සිංදුව දන්නා නමුත් එය සිංහල සිංදුවක් බව බොහෝ ඉන්දියානුවන් දන්නේ නැහැ. සුරංගනී ගීතය ඉන්දියාව පුරා ජනප්‍රිය කළේ සිලෝන් මනෝහර් ලෙසද  ප්‍රසිද්ධව සිටි ඒ ඊ මනෝහරන් විසිනුයි. ඔහු තෙවසරකට පෙර වකුගඩු ආබාධයකින් මිය ගියා. 

මැණිකේ මගේ හිතේ ගීතය මෙන්ම සංගීතය හා පද මාලාවේ ශබ්ද රසය නිසා ජනප්‍රිය වූ සුරංගනී ගීතය ඉන්දියාවේ විවිධ භාෂා වලට මිශ්‍ර වී තිබෙනවා. මේ ආකාරයෙන්ම මේ වන විට මැණිකේ මගේ හිතේ ගීතයද ඉන්දියාවේ විවිධ භාෂා ගණනාවක් සමඟ මිශ්‍ර වී තිබෙනවා. ඊට අමතරව ඉංග්‍රීසි භාෂාව සමඟ මිශ්‍ර කළ වර්ෂන් එකක්ද තිබෙනවා. මනෝහර්ට නොතිබුණු තාක්ෂනයේ වාසිය වගේම කාලයේ වාසියත් මැණිකේ මගේ හිතේ ගීතයේ නිෂ්පාදකයින්ට මේ ගීතය ඉතා කෙටි කලකින් ඉන්දියාව පුරා ජනප්‍රිය කර ගැනීමට උදවු වී තිබෙනවා. එය යම් තරමකට වාසනාව මත සිදුව ඇති දෙයක් වුවත් සැලසුම් සහගත මහන්සියක් මේ ගීතය පසුපස ඇති බව ඉතාම පැහැදිලියි.

ගීතය මුලින්ම බිහි වී තිබෙන්නේ කෑගල්ලේ තරුණයෙකු වන සතීෂාන් රත්නායකට ගීතයක් එළිදැක්වීමට තිබුණු උවමනාව මතයි. සම්මුඛ සාකච්ඡාවකදී ඔහු කියන විදිහට මේ සිංදුව හදන්න සල්ලි හොයා ගැනීම සඳහා ඔහු කවුරුවත් නොකරන දේවල් පවා කර තිබෙනවා. ඔහුට අනුව මේ කවුරුවත් නොකරන දේ කරාබු කැඩීමයි.

ඔහු මේ කියන්නේ කෝච්චියේ මාල කැඩීම වගේ දෙයක් ගැන නෙමෙයි. කරාබු ගස් වලින් කරාබු කැඩීම ගැනයි. අදාළ සාකච්ඡාව මෙහෙයවන්නාට හෝ එය නරඹන අයට කරාබු කැඩීම කවුරුවත් නොකරන දෙයක් වන්නේ ඇයි කියා අවබෝධයක් නැතුව ඇති. මෙය ඉතා අසීරු වැඩක්. 


කරාබු ගස් අඩි විස්සක් විසිපහක් උසට වැවෙනවා. ඒ නිසා, කරාබු කැඩීම තේ දළු කඩනවා වගේ පහසුවෙන් කළ හැකි දෙයක් නෙමෙයි. කරාබු මල් පිපෙද්දී නටුවද සමඟ පොහොට්ටු කඩා ගන්න ගහට නැග අතු අග්ගිසි වලට යා යුතුයි. කරාබු නැටි අපනයනය හෝ දේශීය වෙළඳපොළ සඳහා සකස් කරන්නේ මේ පොහොට්ටු අව්වේ වේලලා. මේ වැඩේ අමාරු වන්නේ ගහට නගින්න වීම නිසා හෝ අතු අග්ගිසි වලට යන්න අවශ්‍ය නිසාම නෙමෙයි. කරාබු ගහේ හැම කොටසකම වගේ ලොකු සැරක් තියෙනවා. ගහට නැගලා පැය කිහිපයක් කරාබු කඩන කොට මුළු ඇඟම දැවිල්ල හැදෙනවා.

කරාබු කඩන්න ශ්‍රමිකයින් හොයා ගන්න එක ගොඩක් අමාරු වැඩක්. වැඩේට කැමති අයට හොඳ මිලක් ලැබෙනවා. බොහෝ විට සල්ලි ලැබෙන්නේ කඩන කරාබු ප්‍රමාණය අනුවයි. මේ මිල ගෙවා ලාබයක් ලැබිය හැකි තරමට කරාබු නැටි මිල ඉහළ මට්ටමක නැත්නම් කරාබු නොකඩා ඉන්න වෙලාවල් තියෙනවා. 

සතීෂාන් රත්නායක විසින් ගායනා කරන චමත් සංගීත් විසින් සංගීතය යොදා ඇති දුලාන් ARXගේ පද මාලාවේ මුල් වර්ෂන් එකද ජනප්‍රියව ඇතත් ඉන්දියාව පුරා හිට් වී තිබෙන්නේ ඉන්පසුව ඔහු යොහානි දිලෝකා ද සිල්වා සමඟ ගයන වර්ෂන් එකයි. යොහානිගේ හැඟීම්බර ගායනය වගේම සංගීත වීඩියෝවේ රූප රසයද සිංදුව ජනප්‍රිය වීමට හේතු වී ඇති බව පැහැදිලියි. ඉන්දියාවේ විවිධ භාෂා වලින් නිපදවා තිබෙන වර්ෂන් වල යොහානි විසින් ගයන සිංහල කොටස එසේම තිබියදී සතීෂාන්ගේ රැප් කොටසට වෙනම ගායකයින් ආදේශ වී තිබෙනවා. 

යොහානිගේ හා සතීෂාන්ගේ වර්ෂන් එකේ යූටියුබ් වීඩියෝව මේ වන විට මිලියන 38කට වඩා වැඩි පිරිසක් විසින් නරඹා ඇති අතර සතීෂාන්ගේ මුල් වර්ෂන් එකද මිලියන 13කට වැඩි පිරිසක් විසින් නරඹා තිබෙනවා. සුපිරි නළු අම්තාබ් බච්චන්ගේ මිණිපිරිය නව්‍යා නවේලි නන්දා විසින් අමිතාබ් රඟන චිත්‍රපට රූප රාමුවකට මේ ගීතය මුසු කොට ප්‍රසිද්ධ කිරීමෙන් පසුව අමිතාබ් විසින් පවසා තියෙන්නේ මේ ගීය කොපමණ ඇසුවත් ඇති නොවන බවයි.


ලංකාවේ බොහෝ දෙනෙකුට ඉන්දියානු භීතිකාවක් තිබෙනවා. මෙහිදී බොහෝ දෙනෙකු හිතන්නේ ඉන්දියානුවන් දේශීය වෙළඳපොළට අවතීර්ණ වීම තුළ තමන්ගේ වෙළඳපොළ අහිමි වී යනු ඇති බවයි. එහෙත්, එක් ශ්‍රී ලාංකිකයකුට දැවැන්ත ඉන්දියානු වෙළඳපොළට ඇතුළු විය හැකිනම් එහි වාසිය තුළින් ඉන්දියානු තරඟය නිසා දේශීය නිෂ්පාදකයින් පණහක් විනාශ වීමෙන් වන අවාසිය මැකෙනවා. මා මෙයින් අදහස් කරන්නේ දේශීය නිෂ්පාදකයින් පරාජය භාර ගත යුතු බව නෙමෙයි. එහි අනෙක් පැත්තයි. 

ලංකාවේ කලාකරුවන්ට, ව්‍යවසායකයන්ට වගේම වෘත්තිකයින්ටත් ජාත්‍යන්තරය ජය ගැනීමට අවශ්‍යනම් හොඳම ආරම්භය වන්නේ ඉන්දියානු වෙළඳපොළ ජය ගැනීමයි. මෙහිදී දූපත් මානසිකත්වයෙන් මිදී ලොකුවට සිතීම වැදගත්. මැණිකේ මගේ හිතේ නිෂ්පාදක කණ්ඩායම විසින් පෙන්වා දී තිබෙන්නේ එය කළ හැක්කක් බවයි.

Wednesday, March 25, 2020

තිස්ස නාගොඩවිතාන


අසූව දශකයේ මුල් කාලයේ සතියකට වරක් රූපවාහිණියෙන් සිංහල චිත්‍රපටියක් පෙන්නුවා. ඒ වන විට රූපවාහිණිය ලංකාව පුරා ව්‍යාප්ත වෙන්න පටන් අරන් තිබුණා පමණයි. අපේ ගෙදර රූපවාහිණියක් තිබුණේ නැහැ. මේ මැජික් පෙට්ටියෙන් පෙන්නන බයිස්කෝප් බලන්න අපි ගියේ ගමට මුලින්ම රූපවාහිණියක් ගෙනා අසල්වැසි නිවසකටයි. ඒ ගෙදර එළිපත්තේ සිට මිදුල දක්වා නරඹන්නන්ගෙන් පිරී තිබුණා.

සිංහල චිත්‍රපට දර්ශන වල කොනක වරින් වර දර්ශනය වන "ති.නා." අකුරු නිතර දැක ඒ ගැන කුතුහලයක් ඇති වුනේ ඔය දවස් වලමයි. "ති.නා." කවුද කියා විස්තර කරන්න වචන නාස්ති කරන එකේ තේරුමක් නැහැ. තිස්ස නාගොඩවිතානගේ සිංහල චිත්‍රපට සංරක්ෂණය කිරීමේ භූමිකාව ගැන කියවන අය අතර නොදන්නා කෙනෙක් නැතුව ඇති.

ලෝකයේ දස අතින්ම කොවිඩ්-19 මරණ වාර්තා වන මේ වෙලාවේ මරණය ගොඩක් ලාබ වී තිබුණත් තිස්ස නාගොඩවිතානගේ මරණය ගැන දැනගන්නට ලැබුණු විට කෙටි හෝ සටහනක් තැබිය යුතුයි කියා හිතුනා. ඔහු ගැන වඩා හොඳින් දන්න අය වැඩි විස්තර ලියයි. මට අනුවනම් ඔහු සුවිශේෂී වන්නේ වෙනත් අය අත නොගසන දෙයකට අත ගැසූ නිසයි. ඒ වැඩෙන් ඔහුට මුදල් ලැබෙන්න නැතිව ඇති. ඒ වුනත් ඔහු ව්‍යවසායකයෙක්. විශාල උපයෝගීතාවයක් ජනනය කළ හැකි නිකේතන වෙළඳපොළක් (Niche කියන වචනයට මේ පරිවර්තනය ගැලපෙනවද මන්දා) හඳුනාගත් දක්ෂ ව්‍යවසායකයෙක්.

තිස්ස නාගොඩවිතාන හැත්තෑව දශකයේ මුල් යුගයේදී බොහෝ දෙනෙක් දැන සිට තිබෙන්නේ ගායකයෙකු ලෙසයි. ඔහුට නිවන් සුව!




Thursday, January 16, 2020

උඹ යකින්නක් වුනේ කොහොමද?


"සුරඟනට අමතකව දරුවන් හඬද්දී කුණු බක්කියේ
උඹ යකින්නක් වුනේ කොහොමද කියා දීපන් නංගියේ..."

සමන් ලෙනින් ඔහොම අහන්නේ මෝහිණීගෙන්. මෝහිණී ගැන නොදන්නා කෙනෙක් නැහැනේ. ගොර සපුන් ඇහැරෙන ඇඳිරියේ දොළ හඩන තුන්මං හන්දියේ ඈ බලා ගෙන ඉන්නේ අතේ ඉන්න දරුවාව දෙන්න කෙනෙක් එන තුරුයි. අතේ ඉන්න දරුවා ඇයට කරදරයක් වෙන්න ඇති. නමුත්, යකින්නක් වන ඇය මේ දරුවාව කුණු බක්කියකට දමන්නේ නැහැ. පණ පිටින් වලලන්නෙත් නැහැ.

ඒ අතින් බැලුවහම මෝහිණීගේ අතේ ඉන්න දරුවා නැත්නම් දැරිවිය වාසනාවන්තයි. සමහර දරුවෝ ඒ තරම් වාසනාවන්ත නැහැ.

"සුරඟනට අමතකව දරුවන් හඬද්දී කුණු බක්කියේ
උඹ යකින්නක් වුනේ කොහොමද කියා දීපන් නංගියේ..."

රජී වසන්ත වෙල්ගම සමන් ලෙනින් හරහා අහන්නේ සාධාරණ ප්‍රශ්නයක්. අද උදේ වැඩට එද්දී කාර් එකේදී ඔය සිංදුව ඇහෙද්දී මතක් වුනේ රත්නපුර කොස්ගල වත්තේ පදිංචි අවිවාහක තරුණියකට දාව උපන් බව කියන, උපන් මොහොතේම නිවස පිටුපස පස්ගොඩක් යට පැය පහක් තිස්සේ වළ දමනු ලැබ සිටීමෙන් පසුව අසල්වැසියකුගේ ඇස ගැටී පණ බේරා ගෙන තිබෙන බිළිඳියවයි.

මේ මව විසින් කරලා තිබෙන්නේ මෝහිණීවත් නොකරන දෙයක් වුණත් ඈ යකින්නක් කියා අපට එක වරම කියන්න බැහැ. බොහෝ විට ඇගේ පැත්තෙනුත් අපි නොදන්නා කතාවක් ඇති.

උපන් හැටියේම දරුවන්ව මරා දැමීම හෝ මැරෙන්නට අත හැර දැමීම ලෝකය පුරාම අතීතයේ සිටම සිදු වූ දෙයක්. රොබට් නොක්ස් ලංකාවේ සිටි කාලයේදී "දරුවා ආහාර නොමැති කමින් මිය යන තුරු හාමත් කර තැබීමෙන්, දිය බඳුනක හිස ඔබා තබා හුස්ම හිරවී මැරෙන්නට සැලැස්වීමෙන් හෝ පණ පිටින්ම වළලා දමමින්" මැරෙන්නට ඉඩ හළ බව ඔහු ලියා තිබෙනවා. මේ වගේ දේවල් අදටත් ලෝකයේ බොහෝ රටවල සිදු වෙනවා. ඇමරිකාවේ පවා.

ලෝකයේ බොහෝ සමාජ වල ඉතිහාසය පුරාම මේ විදිහට බිළිඳු දරුවන් මරා දැමීම හෝ මැරෙන්නට හැරීම කර තිබෙන්නේ ජනගහණ පාලන උපක්‍රමයක් විදිහටයි. මේක අර ඕස්ට්‍රේලියාවේ ඔටුවන් මැරීම වගේම වැඩක්. උපත් පාලන ක්‍රම ප්‍රචලිත වීමෙන් පසුව ජනගහණ පාලනය සඳහා වඩා "සදාචාර සම්පන්න" විකල්පයක් ලැබුණා. එහෙත්, අදටත් අනවශ්‍ය ගැබ් ගැනීම් සුලබව සිදු වෙනවා.

ලංකාවේ කාන්තාවකට අනවශ්‍ය ගැබ් ගැනීමකින් පහසුවෙන් නිදහස් වීමේ හැකියාවක් නැහැ. එහෙත්, සෑම දිනකම නීති විරෝධී ගබ්සා විශාල ප්‍රමාණයක් රටේ සිදු වන බව ප්‍රසිද්ධ රහසක්. නිසි ලිංගික අධ්‍යාපනයක් නැතිකම අනවශ්‍ය ගැබ් ගැනීම් වලට හේතුවක් වුවත් එය එක් හේතුවක් පමණයි. ලිංගික අධ්‍යාපනයක් තිබුණත් එතැනින් එහාට බොහෝ දේවල් තීරණය වෙන්නේ රටේ බහුතරය හිතන හා ක්‍රියා කරන ආකාරය මතයි.

හතේ අපේ පොත පසුගිය දවස් වල බොහෝ කතාබහට ලක් වුනා. ඔය පොත වසර කිහිපයකට කලින් ලබා දී තිබුණානම් කොස්ගල වත්තේ තරුණියට ඇගේ දරුවාව පණ පිටින් වළලන්න සිදු වෙන එකක් නැද්ද?

හතේ අපේ පොත සර්ව සම්පූර්ණ නැහැ. එහි පැහැදිලි අඩුපාඩු තිබෙනවා. නමුත්, එවැන්නක් එළිදැක්වීම හොඳ ආරම්භයක්. රන්ජන් හඬපට වලින් දරුවන් ලිංගික අධ්‍යාපනය ලබා ගන්නවාට වඩානම් එය අනිවාර්යයෙන්ම හොඳයි. දරුවන් ලිංගික අධ්‍යාපනයක් ලැබිය යුතුයි. එහෙත්, බටහිර රටවල ක්‍රමය ලංකාවට ඒ විදිහටම යොදා ගන්න අමාරුයි.

ඇත්තටම කියනවානම් හතේ පන්තිය කියන්නේත් මේ වැඩේට තරමක් වැඩි වයසක්. ලංකාවේ දරු දැරියන් බොහෝ දෙනෙක් විවිධ ආකාර වල ලිංගික අතවර වලට ලක් වෙන්නේ ඊට වඩා ගොඩක් අඩු වයස් වලදී.

ඇමරිකාවේ දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දෙන්නේ පෙර පාසැල් කාලයේ ඉඳලයි. හැබැයි මෙතැනදී ලිංගික අධ්‍යාපනය කියා කියන්නේ විවිධ ලිංගික ක්‍රියා ගැන කියා දෙන එක නෙමෙයි. මෙවැනි වයසකදී ලිංගික අධ්‍යාපනය කියා කියන්නේ දරුවෙකුට පුද්ගලිකත්වය ගැන කියා දීමයි. පුළුල් ලෙස කියනවානම් දරුවෙකුගේ අයිතිවාසිකම් ගැන හා පෞද්ගලිකත්වය කියන සංකල්පය ගැන ඔවුන්ව දැනුවත් කිරීමකුයි වෙන්නේ. අනෙක් අතට ලොකු පන්ති වලදී වුවත් වඩා බරපතල දේවල් කියා දෙන්නේ දෙමවුපියන් විසින් ලිඛිත අවසරයක් ලබා දී ඇත්නම් පමණයි. ඇමරිකාවේ කිවුවත් මම දන්නා පැති වල. මෙය හැම ප්‍රාන්තයකම වෙන ආකාරය ගැන මම හොයා බලලා නැහැ.

උපන් හැටියේම දරුවන් අතහැර දැමීමේ සිට දරුවන්ට සිදුවන ලිංගික අතවර දක්වා බොහෝ දේ පොදුවේ ගත් විට ළමයින්ට සිදුවන අතවර වල කොටසක්. කායික වධ හිංසා වලට නිතරම ලක් වෙන දරුවෙක් කොයි වෙලේ හෝ ලිංගික අතවරයකට ලක් වීමේ අවදානම වැඩියි. ඒ නිසා, වඩා සුදුසු වන්නේ වධ හිංසා වලට ලක් නොවීමට දරුවෙකුට තිබෙන අයිතිය ගැන පොදුවේ දැනුවත් කරන අතරම නිසි වයසේදී  ලිංගික අතවර ගැනත් යම් දැනුවත් කිරීමක් කරන එකයි. ලිංගිකත්වය හා අදාළ සෞඛ්‍යමය කරුණු ගැන වෙනම දැනුවත් කිරීමක් කළ හැකියි.

පසුගිය දවස් වල සංසරණය වූ දරුවෙකුට අමානුෂික ලෙස පහර දෙන වීඩියෝව දරුවන්ට සිදු වන වධ හිංසා පිළිබඳ ඇස් අරවන්නක් වෙන්න පුළුවන්. එහෙත්, කොළඹ ගමයා විසින් පළ කර තිබුණු සුමීර ගුණසේකරගේ ලිපියේ ඇති පරිදි, මේ වගේ දේවල් ඉතාම සුලබ දේවල්. වධකයින් වන වැඩිහිටියන් අසල්වැසියන් එක්ක ප්‍රශ්න ඇති කරගෙන නැත්නම් බොහෝ විට ඔවුන් වින්දිතයින් වන දරුවන් වෙනුවෙන් පෙනී නොසිට ඇහැ කණ පියාගෙන ඉන්න එකයි කරන්නේ.

ලිංගික අතවර වේවා, වෙනත් වධ හිංසා වේවා, තමන්ගේ නිවසේදීම දරුවෙක් අතවර වලට ලක් වන විට දරුවා ඉතාම අසරණ තත්ත්වයකට පත් වෙනවා. දරුවෙකු මේ වගේ වෙලාවක කට පියාගෙන ඉන්න පුරුදු වෙන්නේ මුළු ලෝකයම ඉන්නේ වධක වැඩිහිටියන්ගේ පැත්තේ මිසක් තමන්ගේ පැත්තේ නොවන බව තේරුම් ගැනීමෙන් පසුවයි. හැකි ඉක්මණින් ලොකු මහත් වී වැඩිහිටියන්ගෙන් නිදහස් වීම හැර දරුවා දකින වෙනත් විකල්පයක් නැහැ.

මේ විදිහට කුණු ගොඩවල් වල ළමා කාලයම ජීවත් වෙන්න සිදු වී ඇති දරුවන් කුඩා කාලයේම කුණු ගොඩකට වීසි කරනු ලැබ මිය යන දරුවන්ට වඩා අවාසනාවන්තයි. හැම විටම නොවූවත්, සොයා බැලුවොත් ඔවුන් බොහෝ විට තමන්ගේ ජීව විද්‍යාත්මක මවුපියන් දෙදෙනා සමඟ ජීවත් නොවන දරුවන්. අර වීඩියෝවේ සුළු මවගෙන් පහර කන දැරිය වගේ.

ඇමරිකාවේදීනම් මේ වගේ වෙලාවක පාසැලේ ගුරුවරයෙකුට දැනුම් දීමට දරුවන්ව දැනුවත් කරනවා. එසේ දරුවෙකු විසින් දැනුම් දීමක් කළ විට, එසේත් නැත්නම් දරුවෙකු නිවසේදී කිසියම් වධ බන්ධනයකට ලක් වන බව ගුරුවරයෙකුට සැක සිතුණු විට අනුගමනය කළ යුතු නිශ්චිත ක්‍රියා පටිපාටියක් තිබෙනවා. ගුරුවරයෙකුට ඒ ක්‍රියාපටිපාටියෙන් බැහැර වෙන්න බැහැ.

ලංකාවේනම් හැමෝම නැතත් බොහෝ දෙමවුපියන් වගේම ගුරුවරුනුත් වධකයින්. කණගාටුවට කරුණ එය වරදක් කියා බොහෝ දෙනෙක් නොසිතන එකයි. මෙය සංස්කෘතියේ කොටසක්නම් එය වෙනස් විය යුතු කොටසක්.

කුඩා කාලයේ ලිංගික අතවර වලට හෝ වෙනත් ශාරීරික හෝ මානසික වධ හිංසා වලට ලක්වන හැම දරුවෙක්ම වැඩිහිටියෙකු වූ විට සමාජ විරෝධියෙකු හෝ මානසික රෝගියෙකු වෙන්නේ නැතත් එවැනි වැඩිහිටියන් අතර කුඩා කාලයේ අතවර වලට ලක් වූ අය වැඩියි. කිසියම් සමාජයක් දරුවන්ට හා වෙනත් දුර්වල අයට සලකන ආකාරයෙන් අදාළ සමාජයේ නිරෝගී භාවය පිළිබිඹු වෙනවා. එසේ වුවත්, සමාජයක් සැබෑවටම නිරෝගී බව කිව හැක්කේ ආකල්පමය වෙනසකින් එය සිදු වී ඇත්නම් මිසක් දැඩි නීති රීති හරහා කෘතිමව එවැනි තත්ත්වයක් පෙනෙන්නට සලස්වා ඇති අවස්ථා වලදී නෙමෙයි.


Thursday, January 2, 2020

ගමනාගමන කොමිසමෙන් නිවේදක තෝරයි!


රූපවාහිණී සුලභ වෙන්න කලින් යුගයේ ගුවන් විදුලියේ ජනප්‍රිය සංගීත වැඩ සටහන් දෙකක් වුනේ "අසන්නන්ගේ ඉල්ලීම්" හා  "නිවේදක තෝරයි". ආර්ථික විද්‍යා වචන වලින් කියනවානම්  මේ දෙකෙන් පළමුවැන්නේදී ඉල්ලුම් සාධක වලටත්, දෙවැන්නේදී සැපයුම් සාධක වලටත් ප්‍රමුඛතාවය ලැබුණා.

නමෙන් කියන විදිහටම "නිවේදක තෝරයි" වැඩ සටහනක ගීත තේරුවේ අදාළ වැඩ සටහනේ නිවේදක විසිනුයි. එයින් වෙනස්ව "අසන්නන්ගේ ඉල්ලීම්" වැඩ සටහනේදී රසිකයින්ගේ කැමැත්තට ඉඩක් ලැබුණා. වැඩ සටහනක නිවේදකයා කිසියම් නිශ්චිත පුද්ගලයෙක් වූ නිසා "නිවේදක තෝරයි" වැඩ සටහනෙන් පිළිබිඹු වුනේ කිසියම් තනි පුද්ගලයෙකුගේ රුචිකත්වය. ඒ නිසා, "නිවේදක තෝරයි" ගීත තේරුණේ ඒකාධිකාරයක් යටතේ කියා කියන්න පුළුවන්.

මෙයින් වෙනස්ව "අසන්නන්ගේ ඉල්ලීම්" ගීත තේරුණේ තරඟකාරී පදනමකිනුයි. ඒ වුනත්, ප්‍රායෝගිකව "අසන්නන්ගේ ඉල්ලීම්" ගීත තේරීම සිදු වුනේ කතිපයාධිකාරී පදනමක කියා කියන්න පුළුවන්. මේ ගීත ඉල්ලා සිටි පිරිස සීමිත පිරිසක් වූ නිසා ඒ අතර සිටි ගාමා ගාමිණී සුබසිංහ, පත්මාවෝ මහේෂ්වරී, පර්ල් අයිරින් වගේ නම් නිතරම කියැවුනා. "අසන්නන්ගේ ඉල්ලීම්" යටතේ වුවත්, "නිවේදක තෝරයි" යටතේ වුවත්, ගුවන් විදුලියෙන් ප්‍රචාරය වූ ගීත අහන්න සිදු වුනේ ඒ ගීත වලට කැමති අයට පමණයි.

කලක සිටම ලංකාවේ පෞද්ගලික බස් මගීන්ට බොහෝ විට කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් සිංදු අහන්න සිදු වී තිබුණා. අද සිට මේ ගීත තෝරා දීමේ කාර්යයත් කරන්නේ ආණ්ඩුවෙනුයි. ජාතික ගමනාගමන කොමිසම විසින් අද (2020 ජනවාරි 01) දින සිට ක්‍රියාත්මක වන පරිදි "මගීන්ට විවේක බුද්ධියෙන් යුතුව රස විඳිය හැකි ගීත දහසකින් සමන්විත සුභාවිත ගීත සමුච්ඡයක්" හඳුන්වා දීමට නියමිත අතර ඊට අමතරව බස්රථයේ ගමන්ගන්නා මගීන්ට වැදගත් වන පණිවුඩ රැසක් සහිත විඩීයෝ පට හඳුන්වා දීමට ද පියවර ගෙන තිබෙනවා. මේ අනුව, අද සිට ලංකාවේ බස් මගීන්ට කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් ආණ්ඩුව කැමති ගී අහන්න සිදු වෙනවා.

ජාතික ගමනාගමන කොමිසම කියන ආකාරයට ඔවුන් මෙය කරන්නේ "අසන්නන්ගේ ඉල්ලීම්" අනුවයි. එම කොමිසම විසින් සිංහල, ද්‍රවිඩ හා මුස්ලිම් මගී ජනතාවගෙන් 15,000ක නියැදියක් ආශ්‍රිතව සිදුකරන ලද අධ්‍යයනයක් අනුව එකී සියලුම දෙනා සියයට 100 ක්ම දැනට එම බස්රථවල අධික ශබ්දයෙන් යුතුව වාදනය කරන ගීත තමන්ට මහත් හිරිහැරයක් හා කන්කරච්චලයක් බව ප්‍රකාශ කර ඇති බව කියනවා. මේ අනුව, "අසන්නන්ගේ ඉල්ලීම්" මත ගීත තේරීම වෙනුවට ආණ්ඩුවේ තේරීම වී තිබෙන්නේ "නිවේදක තෝරයි" ක්‍රමයයි. නිවේදක රාජකාරිය කරන්න ආණ්ඩුව විසින් විද්වත් මණ්ඩලයක් යොදා ගැනීමට නියමිතයි.

මෙතෙක් කල් ලංකාවේ බස් රථ වල ප්‍රචාරය කෙරෙන ගීත නියාමනයකට ලක් වුණේ නැහැ. එහෙත්, මේ ගීත තේරුණේ එම බස් රථවල රියදුරු කොන්දොස්තරවරුන්ගේ රුචිකත්වය මත මිස බස් මගීන්ගේ රුචිකත්වය මත පදනම්ව නෙමෙයි. ආණ්ඩුවට මැදිහත් වීමට අවකාශයක් ලැබී තිබෙන්නේ මේ රියදුරු කොන්දොස්තරවරුන්ගේ හා බහුතර බස් මගීන්ගේ රුචිකත්වයන් අතර තිබෙන නොගැලපීමයි.

ලංකාවේ පෞද්ගලික බස් රථ වල නිතර ප්‍රචාරය වූ නිසාම "බස් සිංදු" ලෙස හඳුනා ගැනෙන ගීත කාණ්ඩයක් තිබෙනවා. මේ ගීත වලට පොදු ලක්ෂණ ගණනාවක් තිබෙනවා. බස් රථයේ හා පාරේ ඝෝෂාවන් නිසා හෝ බසය තැනින් තැන නවත්වද්දී හඬ අඩු වැඩි වීම් නිසා මේ සිංදු වල ගලා යාමට බාධාවීම ලොකු ප්‍රශ්නයක් නොවීම මූලික ලක්ෂණයක්. විවේක බුද්ධියෙන් යුතුව රස විඳිය යුතු සුභාවිත ගීත කියා හඳුන්වන ගීත ඔය විදිහට වාත වෙවී අහන්න අමාරුයි. අමරදේවගේ "උකුළ ළැම හස මලවි කරළිය" වාදනය වෙද්දී කොන්දොස්තර මළයා "ඔටුවා පිටෝටුවා" කියලා කෑගහන එකත් අහන්න වුනොත් ඒක හරියට ලුණුමිරිස් එක්ක අයිස්ක්‍රීම් කනවා වගේ වෙන්න පුළුවන්. ඒ නිසා, මේ වැඩෙන් අන්තිමට ඔය සුභාවිත සිංදු කියන ඒවත් බස් සිංදු ගාණටම වැටෙන්න පුළුවන්.

ආණ්ඩුව කැමති ගී ගැන ඉතා ඉක්මණින් දැනගන්න ලැබෙයි. පහතින් තියෙන්නේ බස් සිංදු සේ හඳුනාගත හැකි ගීත කිහිපයක්.

1. සුදු අරලියා මල - අජිත් මුතුකුමාරණ


2. තනමල්විල මල් පිපුණත් - චාමර වීරසිංහ


3. වෙන් වී ගියත් පෙරදා - රුවන් හෙට්ටිආරච්චි


4. මට දුන්න දුක් ගින්න -දමිත් අසංක


5. මගෙ දුප්පත් ඇස් දෙක - චාමික සිරිමාන්න


6. ඩේලියා මලෙන් - කිංස්ලි පීරිස්


7. පාසැල් බිමේ හමු වූ - අජිත් මුතුකුමාරණ



Tuesday, October 17, 2017

සමන්තභද්‍ර හිමි දමනය වුනාද?


පිටිදූවේ සිරිධම්ම නොහොත් සමන්තභද්‍ර හිමි යනු පසුගිය වසර කිහිපය මුළුල්ලේම කලින් කලට පුවත් මැවූ අයෙකි. ඔහු ජනප්‍රිය වන්නට පටන් ගත්තේ සමන්තභද්‍ර වන්නට පෙර සිරිධම්ම කාලයේදීමය. එහෙත්, තමන් රහත් භාවයට පත්ව සිටින බව ප්‍රකාශ කිරීමෙන්  අනතුරුව මේ ජනප්‍රියත්වය විශාල ලෙස ඉහළ ගියේය. මේ කාලය තුළ සමන්තභද්‍ර හිමිගේ ප්‍රසිද්ධිය ඔහුගේ ජනප්‍රියත්වයටත් වඩා වේගයෙන් ඉහළ ගියේය.

සමන්තභද්‍ර හිමි රහත් වී සිටීද යන්න පෞද්ගලිකව මට කිසිසේත්ම වැදගත් කරුණක් නොවේ. එය මට පරීක්ෂා කර නිගමනය කළ හැකි දෙයක්ද නොවේ. වෙනත් අයෙකුට එසේ කිරීමේ හැකියාවක් ඇතැයි මා සිතන්නේද නැත. එසේ කිරීමේ හැකියාවක් ඇත්නම් ඒ හැකියාව හේතුවෙන්ම එසේ පරීක්ෂා කරන දෙය රහත් භාවය නොවන වෙනත් දෙයක් බවට පත් වේ.

සමන්තභද්‍ර හිමි යනු එක්තරා ආකාරයක කැරලිකරුවෙකි. ඔහු මේ කැරැල්ල ගැසුවේ ලංකාවේ සියවස් ගණනක් තිස්සේ ස්ථාපිත වී තිබුණු ආයතනික ව්‍යුහයකට විරුද්ධවය. මෙය සටනක් නොවී කැරැල්ලක් වන්නේ ඔහු සටන් කළේ මේ ආයතනික ව්‍යුහය ඇතුළේම සිට මිස එයින් පිටතට බැස නොවූ බැවිනි.

සමන්තභද්‍ර හිමිගේ කැරැල්ලේ පැත්තකට වී බලා සිටින්නට තරම් දෙයක් තිබුණේය.

පිටිදූවේ සිරිධම්ම හිමි යනු විද්‍යා උපාධියක් ලබා ගැනීමෙන් අනතුරුව, දැනුම් තේරුම් ඇති තරුණ වයසේදී පැවිදි දිවියට ඇතුළු වූ අයෙකි. මේ වන විට මා පෞද්ගලිකව දැන සිටි ඉංජිනේරු උපාධිධාරීන්ද කිහිප දෙනෙක්ම පැවිදි දිවියට ඇතුලත්ව ජනප්‍රිය ධර්ම දේශකයන්ව සිටියත් දශක කිහිපයකට පෙර විද්‍යා උපාධිධාරියෙකු පැවිදි දිවියට ඇතුළත් වීම හෝ තරුණ වයසේ අය පැවිදි දිවියට ඇතුළු වීම සුලභ සිදුවීම් නොවීය.

මා කුඩා කාලයේ දැන සිටි බොහෝ බෞද්ධ භික්ෂූන් ඉතා කුඩා කාලයේදී පැවිදි දිවියට ඇතුළු වූ අයයි. එසේ නැත්නම්, ගිහි සැප විඳ මහළු වයසේ පැවිදි වූ අයයි. තරුණ වයසේ අයෙකු පැවිදි වීම සිදු වුණේ ඉතා කලාතුරකිනි. අපේ දහම් පාසැලේ භක්ති ගීත කණ්ඩායමට සංගීතය පුහුණු කළ ප්‍රසන්න අයියා (සැබෑ නම නොවේ) මෙසේ තරුණ වයසේදී පැවිදි වූ, එවකට මා දැන සිටි එකම පුද්ගලයාය. ඒ දින වල අසන්නට ලැබුණු පරිදි, ඔහු පැවිදි වීමට හේතු වුනේ පෙම් සබඳතාවක් බිඳ වැටීම නිසා ඇති වූ කලකිරීමයි.

ඒ කාලයේ, මේ අයුරින් කුඩා කාලයේදී පැවිදි වූ බොහෝ හිමිවරුන් උසස් අධ්‍යාපනය ලැබීමට සරසවියට ඇතුළු වුවත් ඒ කලා අංශයකින් මිස විද්‍යා අංශයෙන් නොවේ. එසේ ඇතුළු වූ අයගෙන් විශාල පිරිසක්ද උපාධිය හා රජයේ රැකියාවක් , බොහෝ විට ගුරු පත්වීමක්, ලබා ගැනීමෙන් අනතුරුව, ඇතැම් විට ඊටත් පෙරම, උපැවිදි වූහ. මෙයට ප්‍රධාන වශයෙන්ම ආර්ථික හා සමාජයීය කරුණු මුල් වන්නට ඇති බව කියන්නට බැරි නැතත් වැඩිදුර අධ්‍යාපනයට සමාන්තරව ලැබෙන "විද්‍යාත්මක අවබෝධය" හා පෙර පැවති ආගමික විශ්වාස අතර ගැටුමද මෙයට හේතුවක් වන බව  සිතිය හැකිය.

උපාධියක් ලබා ගැනීමෙන් පසුව, විශේෂයෙන්ම විද්‍යා උපාධියක් ලබාගැනීමෙන් පසුව තරුණයෙක් පැවිදි බිමට පිවිසීම දශක දෙක තුනකට පෙර දැන් තරම්වත් සාමාන්‍ය සිදුවීමක් වූයේ නැත. එවැනි පසුබිමක, විද්‍යා උපාධිධාරී තරුණයෙක් පැවිදි වූ විට ඔහුට පෙනෙන, වෙනත් අයට නොපෙනෙන "සිරා දෙයක්" එහි ඇති බව සිතන්නට බොහෝ දෙනෙකු පෙළඹීම තේරුම් ගන්නට අපහසු නැත. සාමාන්‍යයෙන් බණ අහන්නට උනන්දුවක් නොදක්වන මගේ ඇතැම් මිතුරන් පවා මෙවැනි උපාධිධාරී හා තරුණ වියේදී පැවිදි වූ හිමිවරුන්ට ආකර්ෂණය විය.

මා එක් වරක් පිටිදූවේ සිරිධම්ම හිමියන්ගේ ධර්ම දේශනයකට සවන් දී තිබේ. ඒ ඔහු සමන්තභද්‍ර වන්නට පෙරය. ඒ කාලයේ ඔහුගේ ධර්ම දේශනා වෙනත් අයගේ ධර්ම දේශනා වලින් වෙනස් වුණේ අන්තර්ගතයේ වූ "විද්‍යාත්මක" ගතිය නිසාය. මේ ධර්ම දේශනා හරහා පිටිදූවේ සිරිධම්ම හිමි වටා පිරිසක් එකතු වුවත්, එසේ එකතු වුනේ විද්‍යාව විශ්වාස කළ අයයි.

විද්‍යාවට හා ආගමික විශ්වාස වලට එක්ව ගමනක් යා හැකි නිශ්චිත සීමාවක් තිබේ. මේ සීමාව විසින් පිටිදූවේ සිරිධම්ම හිමිගේ ගමනාන්තයද සලකුණු කළේය. සිරිධම්ම හිමිගේ අනුගාමිකයින්ට (එවැනි ස්ථිර පිරිසක් සිටියේනම්) ඔහුගේ ධර්ම දේශනා තමන්ගේ "විද්‍යාත්මක" විශ්වාස වලට අනුපූරකයක් වූවා මිස විකල්පයක් වුණේ නැත. ඒ නිසා, ලංකාවේ සංඝ සමාජය ප්‍රමුඛ බෞද්ධ ආයතනික ව්‍යුහය සමඟ ඔහුගේ ගැටුමක් තිබුණේද නැත.

පිටිදූවේ සිරිධම්ම හිමි සිරි සමන්තභද්‍ර ලෙස රූපාන්තරණය වන්නේ මෙවැනි පසුබිමකය. මේ සමඟම ඔහු විසින් ප්‍රකාශයට පත් කළේ මෙතෙක් ලංකාවේ බෞද්ධ ආයතනික ව්‍යුහය තුළ කිසිවෙකුට ලඟා කරගත නොහැකි වූ ඉලක්කයක් වූ රහත් භාවය තමන් විසින් ලබාගෙන සිටින බවයි.

සිංහල බෞද්ධයින් යනු නිවන් දකින්නට බලාගෙන සිටින පිරිසකි. එහෙත් ඒ නිවන කොහේවත් පෙනෙන්නට නැත. නිවන් දුටු අය ගැන ඔවුන් අසා ඇතත් එවැනි අය අහල පහළ දකින්නටද නැත. ඒ නිසා, නිවන ගැන එක් එක් පුද්ගලයාට තිබෙන්නේ තමන්ට සාපේක්ෂ අදහසක් පමණි.

අතුරු කතාවක් ලෙස, ඇතැම් අයට ප්‍රශ්නයක් වී තිබෙන්නේ නිවන් දකින පුද්ගලයෙකු නොසිටීනම් නිවන් "දකින්නේ" කවුද යන්නයි. ආගමික කරුණු පැහැදිලි කිරීම මගේ වපසරියෙන් පිටත දෙයක් වුවත්, මා මේ සංකල්පය තේරුම් ගන්නා ආකාරය අනුව නිවන් දකින්නේ සෝවාන් වූ පුද්ගලයාය. සෝවාන් වන තුරු පෘතග්ජන පුද්ගලයෙකුට නිවන "දැකිය" නොහැකිය. එතෙක් දුර යා යුත්තේ ශ්‍රද්ධාවෙනි. රහත් වූ පසු "නිවන් සැප විඳින" පුද්ගලයෙක් නැත. ඒ නිසා නිවන් දැකීම යනු සෝවාන් වීම විය යුතුය.

තමන්ට දැකිය නොහැකි, හරියටම නොදන්නා දෙයක් හඹා යන පුද්ගලයෙකුට ඒ සඳහා අවශ්‍ය වන විශ්වාසය ඇති කර ගැනීම පහසු කරුණක් නොවේ. එහෙත්, එසේ කළ හැකි බොහෝ අය සිටිති. පවතින සමාජයට වඩා සාධාරණයයි තමන් විශ්වාස කරන, සුළු පිරිසක් විසින් බහුතරයකගේ කැමැත්ත නොතකා සැලසුම් කරන සමාජයක් කෘතීම ලෙස හදන්නට මහන්සිවන සමාජවාදීන් උදාහරණ ලෙස දැක්විය හැකිය. ලෝකයේ කිසිදිනක පැවතී නැති, සාධාරණ සමාජයක් හදන්නටයයි කියමින් වෙනත් අයගේ නිදහස පැහැරගන්නට එවැනි අය පැකිලෙන්නේ නැත.

කෙසේවුවද, මිනිසුන්ට විශ්වාස අවශ්‍යය. හෘද සැත්කමකට මුහුණ දෙන රෝගියෙකු ජීවිත අවදානමක් ගන්නේ එයින් තමන්ට යහපතක් සැලසෙනු ඇතැයි යන විශ්වාසයෙනි. සරසවියක වෛද්‍ය විද්‍යා හෝ ඉංජිනේරු විද්‍යා පාඨමාලාවක් හැදෑරීම සඳහා සිය ජීවිත කාලයෙන් වසර ගණනාවක් කැප කරන අයෙකු ඒ සඳහා පෙළඹෙන්නේ එමඟින් සිය අනාගත ජීවිතය යහපත් වනු ඇතැයි යන විශ්වාසයෙනි.

සමාජවාදය නිසා අමාරුවේ වැටුණු රටවල් මිස ගොඩ ගිය රටවල් නැතත්, හෘද සැත්කම් අසාර්ථක වී මිය ගිය අය මෙන්ම  සුවය ලැබූ අයද පෙනෙන්නට සිටිති. මිය ගිය ගණනට වඩා සුවය ලබන අය වැඩි බව පෙනෙන්නට තිබේ. වෛද්‍ය විද්‍යා හෝ ඉංජිනේරු විද්‍යා පාඨමාලාවක් හැදෑරීමෙන් පසුවද ජීවිත සාර්ථක කර නොගන්නා අය සිටියත්, එවැනි පාඨමාලාවක් හදාරන බොහෝ දෙනෙකු ජීවිත සාර්ථක කරගන්නා බව පෙනෙන්නට තිබෙන දෙයකි.

ස්වර්ගයේදී ලැබෙන කන්‍යාවන් හෝ මනෝරාජික සමාජවාදී රාජ්‍ය මෙන් නොව සරසවි පාඨමාලාවක් හැදෑරීමෙන් පසුව හෝ හෘද සැත්කමකින් පසු ලැබෙන සාර්ථකත්වය සඳහා උදාහරණ පෙනෙන්නට තිබේ. ඒ නිසා, එවැනි දේවල් ගැන ගැන විශ්වාස කිරීම තමන්ට නොපෙනෙන දේවල් විශ්වාස කිරීම අපහසු අයටද කළ හැකිය.

සමන්තභද්‍ර හිමි විසින් තමන් රහත් භාවයට පත් වූ බව ප්‍රකාශ කිරීම නිසා සිංහල බෞද්ධ සමාජයේ ඇති වූ කම්පනය තේරුම් ගත යුත්තේ මේ සන්දර්භයේය. මෙතෙක් කල් තමන් දැක නැති, දුටු අයෙකුද දැක නැති නිවන පසුපස හඹා ගිය බොහෝ දෙනෙකු ඉදිරිපිට දැන් හදිසියේම තමන්ට දැකිය නොහැකි නිවන දුටු අයෙකු සිටී. මෙය සමාන කළ හැක්කේ සුව කළ නොහැකි  ලෙස සැලකෙන රෝගයකින් සුවය ලැබූ පුද්ගලයෙකු පළමු වරට දකින්නට ලැබීමටය. එහි වැදගත්කම මිනිය නොහැකි තරම්ය.

කෙසේ වුවත් මෙහි පොඩි පරහක්ද තිබේ. ලෙඩා ඇත්තටම සුව වූවාද යන්න වෙනත් අයට පරීක්ෂා කළ නොහැකිය. එයද විශ්වාස කළ යුත්තකි. සමන්තභද්‍රවාදීන් හා සමන්තභද්‍ර විරෝධීන් දෙපිල බෙදෙන්නේ මේ කරුණේදීය.

රහත් භාවය යනු, අර්ථදැක්වීම අනුවම, සාමාන්‍ය පුද්ගලයෙකුට සිය ඉන්ද්‍රිය පද්ධතිය හරහා ග්‍රහණය කරගත නොහැකි සංකල්පයකි. එසේ කළ හැකිනම් එය රහත් භාවය විය නොහැකිය. ඒ නිසා, කෙනෙකුගේ රහත් භාවය වෙනත් අයෙකුට පරීක්ෂා කළ නොහැකිය. මේ සංකල්පීය උගුලේ වාසිය සමන්තභද්‍ර හිමියන්ට ලැබුණේය. ටික කලකට පෙර සමන්තභද්‍ර හිමිගේ රහත් භාවය පරීක්ෂාවට ලක් කරන්නට ගිය සංසරණී බ්ලොග් අඩවිය ලියන අතුල සිරිවර්ධන වැනි අය මේ උගුලේ හිරවුණේය. සමන්තභද්‍ර හිමිගේ ප්‍රකාශය විශ්වාස කළේයැයි සිතිය නොහැකි බොහෝ බෞද්ධ භික්ෂූන් ඔහුට අභියෝග කරන්නට පෙරට නොපැමිණියේ උගුලේ ස්වභාවය ගැන මනා අවබෝධයක් තිබුණු නිසායැයි සිතිය හැකිය.

සියවස් ගණනක් තිස්සේ නිවන සොයා යන්නට පුහුණු කර ඇති සමාජයක් තුළ නිවන සාක්ෂාත් කරගත් අයෙකු හොයා ගන්නට ඉල්ලුමක් ඇතිවීම ස්වභාවිකය. සිංහල බෞද්ධ සමාජය විසින් කලින් කලට නිවන් මාර්ගයට පිවිසි අයෙකු ලෙස තමන් විසින් හඳුනා ගන්නා සංකල්පීය පුද්ගලයා සමඟ ආසන්න ලෙස සමපාත වන පුද්ගලයින් වෙත සෝවාන් තත්ත්වය හෝ රහත් තත්ත්වය ආරෝපණය කරන්නට උනන්දු වූයේය. බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හිමි වැනි අය උදාහරණයි. එහෙත්, ඒ කිසිවෙකු සමන්තභද්‍ර හිමි මෙන් තමන්ගේ රහත් භාවය ප්‍රකාශයට පත් කළේ නැත.

පිටිදූවේ සිරිධම්ම හිමි සමන්තභද්‍ර ලෙස රූපාන්තරණය වීම ලංකාවේ බෞද්ධ සමාජයේ සිදුවූ එක්තරා ආකාරයක සුසමාදර්ශීය වෙනසකි. බොහෝ දෙනෙකු විසින් සොයමින් සිටින, එහෙත් හරියටම කුමක්දැයි නොදන්නා සංකල්පීය ඔසුව ගැන හරියටම දන්නා බව කියන, පළමෝත අත්දැකීම් ඇති අයෙකු ලෙස පෙනී සිටින අයෙකු දැන් පෙනෙන්නට සිටී. ඔහුව පිළිගැනීම හෝ නොගැනීම එක් එක් පුද්ගලයාගේ කාර්යයකි.

මෙතැනදී සමන්තභද්‍රවාදීන් හා සමන්තභද්‍ර විරෝධීන් දෙපිල බෙදෙන්නේ රහත් භාවයට පැමිණි පුද්ගලයෙකු ලෙස තමන් තුල සිටින සංකල්පීය පුද්ගලයා කවුද යන්න මතය. සිංහල බෞද්ධයන් බොහෝ දෙනෙකුට අනුව මේ පුද්ගලයා සන්සුන් ගමන් ඇති, සන්සුන් කතා ඇති, අල්පේච්ඡ ජීවන රටාවක් ඇති, සුපේශල ශික්ෂාකාමී භික්ෂුවකි. සමන්තභද්‍ර චරිතය මේ ආකෘතිය සමඟ ගැටෙන තැන් බොහෝ තිබුණේය.

සමන්තභද්‍ර හිමි තමන් රහත් තත්ත්වයට පත්වූ බව ප්‍රකාශ කරනවාට අමතරව තවත් බොහෝ දේද කළේය. මේ බොහෝ දේ, සමස්තයක් ලෙස, ලංකාවේ කාලයක් තිස්සේ පැවති බෞද්ධ ආයතනික ව්‍යුහයට පහර දීමක් ලෙස සැලකිය හැකිය. වෙනත් බොහෝ බෞද්ධ භික්ෂූන් රහසිගතව කරන දේවල් වලින් කොටසක් ඔහු ප්‍රසිද්ධියේම කරන්නට පටන් ගත්තේය. ඇතැම් අයගේ මනසේ සිටි රැස් විහිදෙන, අහසින් යන, දහ අට රියන් බුදුන් සමන්තභද්‍ර හිමියන් විසින් මහ පොළොවට ගෙනාවේය. මෙහිදී, සමන්තභද්‍ර හිමි කටයුතු කළ ආකාරය පිටිදූවේ සිරිධම්ම කාලයේදී කළ දෙයෙහිම දිගුවක් ලෙස සැලකිය හැකිය.

පරීක්ෂා කර බැලීමේ හැකියාවක් කිසිවෙකුට නැති රහත් භාවය වැනි කරුණු පැත්තකින් තිබ්බොත් සමන්තභද්‍ර හිමිගේ විවේචන බොහොමයකට කිසියම් පදනමක් තිබුණේය. ඔහුගේ විවේචකයින්ට පවා ඔහු කියන ඇත්ත බැහැර කර සිටින්නට නොහැකි විය. සිය ස්වයං ප්‍රකාශිත රහත් භාවය නිසා සමන්තභද්‍ර හිමිගේ විවේචන වලට කිසියම් වලංගු භාවයක් ලැබුණේය. සාමාන්‍ය භික්ෂුවක ලෙස බෞද්ධ ආයතනික ධුරාවලියේ පහළ තැනක සිටි ඔහුට සිය ස්වයං ප්‍රකාශිත රහත් භාවය හරහා එහි ඉහළටම එසවෙන්නට හැකි විය. එහෙත්, එය කළ හැකි වූයේ ඔහුගේ සීමිත, එහෙත් භක්තිවන්ත අනුගාමික පිරිස හමුවේදී පමණි.

කෙසේ වුවද, එක දෙයක් විශේෂයෙන්ම කිව යුතුය. කෙතරම් රැඩිකල් බව පෙනෙන්නට තිබුණත් සමන්තභද්‍ර හිමි හැමදාමත් හිටියේ සිංහල බෞද්ධ ආයතනික ව්‍යුහය ඇතුළේය. ඔහු එහි පරිධියට මිස එයින් පිටතට ගියේ නැත.

සමන්තභද්‍ර හිමි බෞද්ධ ධර්ම ග්‍රන්ථ හොඳින් පරිශීලනය කර ඒවායේ අන්තර්ගතය අවබෝධ කරගෙන තිබුණේය. ඔහු ඒ ධර්ම ග්‍රන්ථ හෝ බෞද්ධ ධර්මයේ මූලික කරුණු විවේචනය කළේනම් ඒ ඉතා සැලකිල්ලෙනි. ඔහු බොහෝ විට විවේචනය කළේ වත්මන් ආයතනික ව්‍යුහය හෝ භාවිතාවයි. එහිදී හැමවිටම වාගේ ඔහු භාවිතයේ ඇති ධර්ම ග්‍රන්ථ වල ඇති කරුණු මූලාශ්‍ර කර ගත්තේය. ඔහු සිය ශ්‍රාවකයින්ව නිවන් මඟට යොමු කරනවා මිස (ඒ මඟ කුමක් වුවත්) වෙනත් ලෞකික අරමුණු කෙරෙහි යොමු නොකළේය.

ජනාධිපතිවරයාගේ චර්යාවක් වරක් විවේචනය කළත් සාමාන්‍යයෙන් සමන්තභද්‍ර හිමි දේශපාලනයට මැදිහත් වුණේ නැත. "නිදහස් අධ්‍යාපනය රැකගැනීම", "සාධාරණ සමාජයක් හැදීම" වැනි අරමුණු වලට තබා  "රට ජාතිය බේරාගැනීම" වැනි අරමුණු වලට හෝ ඔහු ඔහුගේ ශ්‍රාවකයින්ව යොමු නොකළේය. ඔහුගේ එකම ප්‍රකාශිත අරමුණ වුනේ සිය ශ්‍රාවකයින්ට නිවන් දකින්නට උදවු කිරීමයි. මෙය බෞද්ධයෙකුගේ මූලික අරමුණයි.

නිවන් දකින්නට බලාපොරොත්තුවෙන් සිටින සිය ශ්‍රාවකයින්ට සමන්තභද්‍ර හිමි විසින් ලබා දුන්නේ ඉන්ස්ටන්ට් රෙසිපියකි. මේ රෙසිපිය අනුගමනය කරන අය සිය අරමුණ සාක්ෂාත් කරගන්නට සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් බලා සිටින්නට අවශ්‍ය නැත. ඔහුගේ බොහෝ අදහස් ඕෂෝගේ අදහස් වලට කිට්ටුවෙන් ගියේය. ඇතැම් අදහස් මහායානික අදහස් මෙන් පෙනෙන්නට තිබුණේය. එහෙත්, හැම විටකම වාගේ ඔහු තමන්ගේ දේශනා ලංකාවේ ප්‍රධාන ධාරාව තුළ පිළිගැනෙන ථෙරවාද බෞද්ධ ධර්මය සමඟ ගැලපීමට සැලකිලිමත් විය.

සිංහල බෞද්ධයින් අතරද නිවන් දැකීමේ අපේක්ෂා හා අදාළව, හරියටම ඉරකින් බෙදිය හැකි නොවුවත්, කොටස් දෙකක් සිටී. එයින් බහුතරයට නිවන් දකින්නට හදිස්සියක් නැත. ඒ අයට, අවශ්‍ය වන්නේ හැකි තරම් දෙවු මිනිස් සැප වළඳා ඔහේ පුළුවන් වූ දවසක නිවන් දකින්නටය. ඒ නිසා, පන්සලේ පින්කමට සහභාගී වී පැමිණ හවසට සෙට් වෙන එක, දිනපතා ගන්නා අල්ලස් මුදලින් අට පිරිකරක් මිලදී ගෙන පූජා කිරීම හෝ රට ජාතිය වෙනුවෙන් මිනියක් දෙකක් මැරීම වුවත් ඒ තරම්ම ලොකු ප්‍රශ්න නොවේ. ඔය හැම එකම හරියටම කරන්නට පුහුණු වන්නට කල්ප ගනනක කාලයක් තිබේ.

කෙසේ වුවද, ඔය අස්සේ හදිස්සි කාරයෝ කොටසක්ද සිටිති. ඒ අයට, නිවන් දකින්නට ඔය තරම් කාලයක් බලා ඉන්නට පුළුවන් කමක් නැත. විප්ලව වලින් සමාජය ක්ෂණිකව වෙනස් කරන්නට බලා සිටින අය මෙන්ම ෂෝට් කට් වලින් නිවන් යන්නට කැමති පිරිස්ද ලංකාවේ සිටිති.

සමන්තභද්‍ර හිමි වටා එකතු වන්නේ මෙහි සඳහන් දෙවන පිරිසයි. එයට අමතරව, පවතින ආයතනික ව්‍යුහය සමඟ ප්‍රශ්න ඇති, එහෙත් ඒ තුළම රැඳී සිටින්නටද අවශ්‍ය පිරිස්ද සමන්තභද්‍ර හිමි වටා එකතු වේ. මේ අය අතර ලංකාවේ කතෝලික ආයතනික ව්‍යුහය සමඟ ප්‍රශ්න ඇති කිතුණුවෝ වැනි අය පවා සිටිති.

මෑතකදී කතාබහට ලක්වුණු ඉරාජ් වීරරත්න සමන්තභද්‍ර හිමිගේ අනුගාමිකයින් සඳහා උදාහරණයකි. ඔහුට ලංකාවේ ස්ථාපිත ආයතන සමඟ මෙන්ම පොදුවේ ලංකාවේ සංස්කෘතිය සමඟත් ප්‍රශ්න තිබේ. ඔහු එම සංස්කෘතිය තුළම රැඳෙමින් එහි අධිපති මතවාදයන්ට එරෙහිව කැරලි ගසයි. එහෙත්, ඔහුටද සමන්තභද්‍ර හිමිට මෙන්ම මේ සංස්කෘතියේ හා ආයතනික ව්‍යුහයන්හි පරිධියට මිස එයින් ඔබ්බට යන්නට තරම් ධෛර්යයක් නැත. ඒ නිසා, මේ දෙදෙනාම කලක සිට කරමින් ඉන්නේ තමන් රැඳී සිටින සංස්කෘතික වපසරියේ පරිධිය විශාල කිරීමයි.

මේ කටයුත්ත අවදානම් සහගත වැඩකි. තමන් ඇතුළු සමාජය රැඳී සිටින ඉඩකඩ පුළුල් කිරීම ඕනෑවට වඩා වේගයෙන් සිදු කරන අයෙකු නොදැනීම එයින් ඔබ්බට විසි වී කිසිදු වටිනාකමක් නැති, සමාජයට පිටින් සිටින හුදෙකලා පුද්ගලයෙකු වන්නට ඉඩ තිබේ. ඉරාජ් වීරරත්න මෙන්ම සමන්තභද්‍ර හිමිද මේ ගැන මනා අවබෝධයකින් සිටියේය. ඔවුන් හැමවිටම වාගේ පසුපස පාදය ඉදිරියට ගත්තේ ඉදිරිපස පාදය ස්ථාවර ලෙස රඳවා ගැනීමෙන් පසුවය.

සමන්තභද්‍ර හිමි සෑහෙන කාලයක් පරිස්සමෙන් ක්‍රීඩා කළේය. ඒ නිසා, සමන්තභද්‍ර විරෝධීන් අතරත් ඔහුට කිසියම් තැනක් තිබුණේය. එවැන්නන්ට ඔහුගේ රහත් භාවය ප්‍රශ්න කළ හැකි වුවත් භික්ෂු භාවය ප්‍රශ්න කිරීමට වලංගු පදනමක් නොතිබුණු බැවින් බෞද්ධ ආයතනික ව්‍යුහය තුළ ඔහුට අයිති වූ කිසියම් නිශ්චිත ඉඩක් තිබුණේය. ඒ ඉඩ නැති කර නොගැනීමට ඔහු සැලකිලිමත් විය. ඔහුගේ සියලු ප්‍රහාර එල්ල කෙරුණේ මේ ඉඩ නැති වීමේ අවදානම ගැන සැලකිලිමත් වෙමිනි.

සමන්තභද්‍ර හිමි විසින් පරිධියේ සිට පරිධිය දිගින් දිගටම විශාල කිරීම කේන්ද්‍රයේ රැඳී සිටි අයට ප්‍රශ්නයක් විය. පරිධිය ඈතට යන විට කේන්ද්‍රය ආසන්නයේ සිටින පිරිස් ක්‍රමයෙන් කේන්ද්‍රයෙන් ඈත් වේ. ඒ නිසා, මේ කටයුත්තට තිරිංග දැමීමට ඔවුන්ට අවශ්‍ය විය. එහෙත්, සමන්තභද්‍ර හිමිගේ උපක්‍රමික චලනයන් හමුවේ එය කිරීම පහසු වූයේ නැත. පහසු නොවූවද, කිසියම් මොහොතක එය සිදු විය යුතුව තිබුණි.

අන්තිමේදී ඒ අවස්ථාව එළැඹී තිබේ. තමන් රහත් භාවයට පත්ව සිටීයැයි කලක් තිස්සේ ප්‍රකාශ කරන, රජෙක් මෙන් සිංහ සෙය්යාවෙන් වැජඹුණු සමන්තභද්‍ර හිමියන් විසින් දැන හෝ නොදැන කළ ප්‍රකාශයක් වෙනුවෙන් ලිඛිතව හා වාචිකව සමාව ගනිමින් මහනායක හිමිවරුන් අභියස පසඟ පිහිටුවා තෙවරක් වැඳ වැටීම තුළ ප්‍රකාශ වන්නේ සිංහල බෞද්ධ ආයතනික ව්‍යුහය තුළම රැඳෙමින් එයට අභියෝග කළ හැකි උපරිම සීමාවයි. සමන්තභද්‍ර හිමියන් විසින් පසුව කවර පැහැදිලි කිරීමක් කළත් ඒ සීමාව දැන් සටහන් වී අවසන්ය.

මේ ආකාරයෙන්ම සංගීතය හරහා පවතින සම්ප්‍රදායට අභියෝග කරමින් කිසියම් ආකාරයක සීමා පුළුල් කිරීමක් කළ ඉරාජ් වීරරත්නද එහි ආන්තික සීමාවට පැමිණ හිර වී වැඩි දවසක් නැත. සමන්තභද්‍ර අනුගාමිකයෙකු වන ඉරාජ් දැන් මාධ්‍ය හමුවට පැමිණ කියන්නේ ඔහුගේ වීඩියෝවේ කෙසෙල් ගෙඩි පෙන්වන්නේ කෙසෙල් වල පොටෑසියම් තිබෙන නිසා බවයි. සමන්තභද්‍ර හිමි මාධ්‍ය වලට කියන්නේ ඔහු දළදා වහන්සේට අපහාස නොකළ බව හා ඔහුගේ කතාවෙන් කොටසක් මාධ්‍ය මඟින් උලුප්පා පෙන්වූ බවයි.

ළඟ ළඟ සිදු වූ මේ සිදුවීම් දෙක සම්බන්ධයක් නැති අහඹු සිදුවීම් දෙකක්ද?

සමන්තභද්‍ර හිමි මෙන්ම ඉරාජ් වීරරත්නද කැරලි ගැසූ අයයි. ඔවුහු කාලයක් දිගින් දිගටම ඉදිරියට ගියහ. මට තේරෙන හැටියටනම් දැන් ඒ ගමන් තීරණාත්මක ලෙස නැවතී හෝ ආපසු හැරී තිබේ. මෙයින් සංකේතවත් වන දේශපාලනය දෙස අපි විමසිල්ලෙන් බලා සිටිමු.

Monday, October 9, 2017

බනානා සංගීතය, සමාජ මාධ්‍ය හා ලිංගික අධ්‍යාපනය


ටික කලකට පෙර සිදු වූ වික්ටර් රත්නායකගේ විවාහය සමාජ මාධ්‍ය වල ලොකුවටම හිට් විය. වික්ටර් රත්නායක ප්‍රසිද්ධ, ප්‍රවීණ හා ජනප්‍රිය ගායකයෙකු වුවත් ඔහුගේ විවාහය එයින් පරිබාහිර පෞද්ගලික කටයුත්තක් විය. මේ විවාහය නිසා වික්ටර්ගේ ජනප්‍රියත්වය හා ප්‍රසිද්ධිය තවත් ඉහළ ගියත් එය නිරායාසයෙන් සිදු වූවක් මිස වික්ටර් විසින් සැලසුම්ගත ලෙස සිදු කළ දෙයක් නොවේ. මෙය විශේෂයෙන් සඳහන් කළ යුත්තේ ලංකාවේ හා ලෝකයේ ඇතැම් කලාකරුවන් තමන්ගේ ප්‍රසිද්ධිය අඩුවන විට එවැනි දේවල් කරන අවස්ථාද දුලබ නැති බැවිනි. වික්ටර් විසින් එසේ කළේනම් වුවද එහි ඇති වැරැද්දක්ද නැත.

වාර්තා වී තිබුණු තොරතුරු අනුව වික්ටර්ගේ විවාහය සිදුව තිබුණේ ක්ෂණික තීරණයක් ලෙස නොවේ. ඔහු විසින් නීත්‍යානුකූල ලෙස විවාහ කරගෙන තිබුණේ වසර ගණනක් තිස්සේ ඇසුරු කරමින් සිටි කාන්තාවකි. කෙසේ වුවද, මේ විවාහය බොහෝ දෙනෙකුගේ විවේචනයට බඳුන් විය. ඒ විවේචන තවත් බොහෝ දෙනෙකුගේ විවේචනයට බඳුන් විය. මේ සංවාදය බොහෝ දුරට සිදුවුණේ සමාජ මාධ්‍ය ඇතුළේය. මේ හේතුවෙන් වික්ටර් රත්නායකගේ ප්‍රසිද්ධිය විශාල ලෙස ඉහළ ගියත් ඔහු ඒ ප්‍රසිද්ධිය මුදල් කරන්නට පෙළඹුණේ නැත. එසේ කළේනම් ඔහුට සැලකිය යුතු මුදලක් උපයාගත හැකිව තිබුණේය.

වික්ටර් රත්නායක විසින් යම් හෙයකින් තමන්ගේ විවාහය හේතුවෙන් ලැබුණු ප්‍රසිද්ධිය මුදල් කළේනම් එය වරදක් වන්නේවත්, එසේ නොකිරීම නිසා ඔහු විශිෂ්ඨයෙකු වන්නේවත් නැත. එය ඔහුගේ පෞද්ගලික තීරණයක් පමණි.

කෙසේ වුවද, වික්ටර් රත්නායකගේ විවාහය නිසා ඔහුට ලැබුණු ප්‍රසිද්ධිය ඔහු විසින් මුදල් කර නොගැනීම නිසා ඇති වුණු නොසන්සිඳුණු ඉල්ලුම සපුරමින් මුදල් හොයන්නට ඉරාජ් ඉදිරිපත් විය. ඇතැම් අය කියන පරිදි ඉරාජ්ගේ ගීතයේ සංවාදයට ලක් වෙන්නේ පොදු ප්‍රශ්නයකි. අමරසිරි පීරිස්ගේ 'මගේ පුංචි රෝස මලේ ගීතයේ' තේමාවද ඉරාජ්ගේ අලුත් ගීතයේ තේමාවට තරමක් ආසන්නය. තේමාව පොදු එකක් වුවත් නොවුවත්, ඉරාජ් විසින් තමන්ගේ අලුත් ගීතය අලෙවි කිරීම සඳහා වික්ටර් රත්නායකට ඔහුගේ විවාහය නිසා ලැබුණු ප්‍රසිද්ධිය ප්‍රයෝජනයට ගෙන ඇති බව පැහැදිලි කරුණකි.

ඉරාජ් කියන්නේද විශාල රසික පිරිසක් සිටින ප්‍රසිද්ධ ගායකයෙකි. වෙනත් බොහෝ ගායකයින්ගේ ගීත මෙන් ඉරාජ්ගේ අලුත් ගීත බොහොමයක් ශ්‍රව්‍ය අත්දැකීමක් ලෙස පමණක් රස විඳිය නොහැකිය. ඉරාජ් විසින් පැකේජ් කර අලෙවි කරන කලා නිර්මාණ බොහොමයක් වීඩියෝවක් ලෙස රස විඳිය යුතු, සාමාන්‍ය ගීතයකට වඩා වැඩි දෙයකි. ඒ නිර්මාණ වල ගීතයේ පද මාලාව, සංගීතය හා ගායනයට අමතරව, බොහෝ විට මේ අංග වලටත් වඩා වැඩියෙන්, රූප රචනය කෙරෙහි අවධානය යොමු කර තිබේ. ඒ කරුණ බැහැර කර ඉරාජ්ගේ නිර්මාණ දෙස බැලිය නොහැකිය.

ඉරාජ් යනු මගේ ප්‍රියතම ගායක ලැයිස්තුවේ ඉහළින් සිටින්නෙකු නොවේ. වික්ටර් රත්නායක ඒ ලැයිස්තුවේ සාපේක්ෂව ඉහළින් සිටින ගායකයෙකි. ඒ මගේ රුචිකත්වය සමඟ මේ දෙදෙනාගේ නිර්මාණ ගැලපෙන ආකාරය අනුව මිස ඉරාජ්ගේ නිර්මාණ "බාල" ඒවා ලෙස මා විසින් ලේබල් කරන නිසා නොවේ. කලා නිර්මාණයක ගුණාත්මක භාවය රසිකයාට සාපේක්ෂ දෙයකි.

ඉරාජ්ගේ නිර්මාණ වල ඔහුගේම අනන්‍යතාවයක් තිබේ. ඒ අනන්‍යතාවයට කැමැත්තක් දක්වන විශාල පිරිසක් සිටී. ඔහු වෙනත් ගායකයින් සාමාන්‍යයෙන් කතා නොකරන ලිංගික තේමා ගැන ඔහුගේ නිර්මාණ හරහා කතා කරයි. එම නිර්මාණ වලට යොදා ගන්නා රූප රචනා සන්දර්භයට ගැලපේ. බොහෝ විට මෙවැනි කරුණු ඔහු අමුවෙන්ම කියයි. අමුවෙන්ම පෙන්වයි. ඔහු එසේ කරන හෝ කර ඇති එකම කලාකරුවා නොවේ. කියන්නට තියෙන දෙය අමුවෙන්ම කියා දමන තවත් බොහෝ කලාකරුවෝ අතීතයේ සිටම සිටියහ. දැනුදු සිටිති.

ඉරාජ් මගේ ප්‍රියතම ගායකයෙකු නොවුවත් ඔහුගේ නිර්මාණ රස විඳින්නට මට බැරිකමක් නැත. යම් හේතුවකින් ඔහුගේ ගීත වීඩියෝවක් නැරඹීමට යොමු වූ අවස්ථා කිසිවකදී මා එය සම්පූර්ණයෙන් නරඹන්නේ නැතිව අතරමඟ නවතා නැත. එහෙත්, වරක් ඇසූ හෝ නැරඹු ඉරාජ්ගේ ගීතයක් නැවත අහම්බෙන් රස විඳින්නට නොලැබුණේනම් මා විසින් දිගින් දිගටම තබා දෙවන වරට හෝ අසා/ නරඹා ඇති බවක් මතක නැත. එමෙන්ම ඔහුගේ මුල් කාලයේ නිර්මාණ කිහිපයක් හැර අලුත් නිර්මාණ කිසිවක් මගේ මතකයේ රැඳීද නැත. වරක් ඇසූ ගීතයක් හෝ නැරඹු ගීත වීඩියෝවක් නැවත නැවත රස විඳින්නට මා පෙළඹෙන්නේ එය රස විඳි පළමු වරම කිසියම් කම්පනයක් ඇති කරන්නට සමත් වන්නේනම් පමණි. එවැනි ගීත ඕනෑ තරම් තිබේ. මට නොදැනුනත්, ඉරාජ්ගේ ගීත වලින්ද එවැනි කම්පනයක් දැනෙන අය සිටින්නට පුළුවන.

ඉරාජ්ගේ අලුත් ගීත වීඩියෝව විශාල ලෙස හිට් විය. එමෙන්ම එය සමාජ මාධ්‍ය වල විශාල ලෙස විවේචනයටද ලක් විය. ඒ විවේචනද සමාජ මාධ්‍ය වල විවේචනයට ලක් විය.

ඉරාජ්ගේ වීඩියෝව විවේචනය කළ අය එසේ කිරීමට අඩු වශයෙන් වෙනස් හේතු තුනක් තිබුණේය. පළමුව, මෙය වික්ටර් රත්නායකට මඩ ගැසීමක් ලෙස හැඳින්වුනේය. දෙවනුව, මේ වීඩියෝවේ සංකේතාත්මක ලෙස කෙසෙල්ගෙඩි හා සොසේජස් යොදාගෙන තිබුණු රූප රාමු විවේචනයට ලක් විය. තෙවනුව, මුදල් පිණිස "අම්මා අප්පා වුවත් විකිණීමේ" ප්‍රවේශය විවේචනයට ලක් විය.

මේ වීඩියෝව හිතාමතාම වික්ටර් රත්නායකට මඩ ගැසීම ප්‍රධාන අරමුණ කරගෙන සැදූවක්යැයි මා විශ්වාස කරන්නේ නැත. එමෙන්ම, ඉරාජ්ගේ නිර්මාණ දෙස සමස්තයක් ලෙස බැලූ විට දෙවන කරුණේද අමුත්තක් නැත. අදාළ රූප රාමු ඔහුගේ ශෛලියට ගැලපේ. එහෙත්, තුන් වන කරුණ බොරුවක්ම නොවේ. ඉරාජ් විසින් කර ඇත්තේ වෙළඳපොළ ඉල්ලුම හඳුනාගෙන විකිණිය හැකි දෙයක් නිර්මාණය කිරීමය. එහිදී ඔහු සම්මත සීමාවන් තුළ හිර වී නැත. මේ කටයුත්තේදී වෙළඳපොළ තුළ ඉරාජ් විසින් අපේක්ෂිත ඉලක්කය සපුරාගෙන තිබේ.

ඉරාජ් මෙහිදී වැරැද්දක් කර තිබේද? ඇතැම් අයට අනුව වැරැද්ද තියෙන්නේ සමාජ මාධ්‍ය හරහා ලැබී ඇති අසීමිත නිදහසේය. ඉරාජ් විසින් මේ තත්ත්වය තමන්ගේ වාසියට හරවා ගෙන තිබේ.

ඉරාජ් විසින් සමාජ මාධ්‍ය සිය වාසිය වෙනුවෙන් යොදාගෙන ඇති බව ඇත්තකි. එහෙත් ඔහු විසින් කිසිවක් බලහත්කාරයෙන් කාගේවත් ඇඟේ ගසා නැත. ඔහු විසින් සිදු කර ඇත්තේ පවතින ඉල්ලුමක් සැපිරීමයි.

ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ පෞද්ගලික ජීවිත ගැන හාරා අවුස්සන්නට බොහෝ මිනිසුන්ට උනන්දුවක් තිබේ. මේ උනන්දුව සමාජ ජාලා නිසා ඇති වූවක් නොවේ.

වික්ටර්ගේ විවාහය ඇතැම් අයව කම්පනයට ලක් කළේය. ඒ ඔවුන්ගේ සම්මත සමඟ එය නොගැලපුණු බැවිනි. එවැන්නන්ගේ විරෝධය තවත් අයව කම්පනයට ලක් කළේය. මෙවැනි පෞද්ගලික සිදුවීම් මෙන්ම පසුගිය කාලයේ සිදුවූ මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටී විශාල පිරිසක් මිය යාම වැනි ඛේදවාචකද විශාල පිරිසක් කම්පනය කළේය.

ඉරාජ් හෝ වෙනත් අයෙක් විසින් මීතොටමුල්ල සිදුවීම සිදු වූ අලුත ඒ ගැන ගීතයක් නිර්මාණය කළේනම් එයද ජනප්‍රිය විය හැකිව තිබුණේය. එමෙන්ම, මීතොටමුල්ල මරණ විකුණාගෙන කෑම ගැන එවැන්නෙකුට ඇතැම් අයගේ විවේචන එල්ල විය හැකිවද තිබුණේය.

කලකට පෙර ඇන්ටන් ජෝන්ස් විසින් මෙවැනි ඛේදවාචක ගැන 'අමුවෙන්ම' විස්තර කරන ගීත ගණනාවක්ම අවස්ථාව බලා එළියට දමමින් ආර්ථික වාසියක් ලැබුවේය. ඇන්ටන් ජෝන්ස් විසින් එසේ විකිණූ ගීත අතර වන "ප්‍රේමවතී මනම්පේරි තරුණිය",  "කන්දේ හැපුණු මහ වනන්තරේ", "සයුර බලා බඳ ලෙලවා" වැනි ගීත අදටත් ජනප්‍රියව තිබේ. හැත්තෑව දශකය පමණ වන තුරු ලංකාවේ විශාල ලෙස ජනප්‍රියව තිබුණු කවි කොළ වෙළඳපොළ තුළ තනිකරම සිදු වුණේ මෙවැනි එදිනෙදා ජනප්‍රිය සිද්ධි ගැන බොහෝ දෙනෙකුට තිබුණු උනන්දුව මුදල් කර ගැනීමයි. අද සමාජ ජාලා හරහා සිදුවන දෙය ඒ කාලයේදී කවි කොළ වැනි වෙනත් මාධ්‍ය හරහා සිදුවිය.


ඉරාජ් විසින් කළේ පැවති රික්තකයක් පිරවීමයි. වෙනත් අයට පෙර මේ රික්තකය පිරවීම නිසා ඔහුට පුරෝගාමියාගේ වාසිය ලැබුණේය. මෙහිදී සමාජ මාධ්‍ය විසින් ඉටු කළ කාර්ය භාරය වුණේ ඔහුගේ ගීත වීඩියෝව ඒ සඳහා ඉල්ලුමක් ඇති තැන් වලට  යොමු කරන්නට මෙවලමක් වීම පමණි.

සමාජ මාධ්‍ය සැලකිය හැක්කේ අවම පරිපාලන රෙගුලාසි ප්‍රමාණයකට යටත්, වාරණයකින් තොර හෝ වාරණය ඉතාම අඩුවෙන් සිදුවන නිදහස් මාධ්‍ය ලෙසිනි. එවැන්නක් හේතුවෙන් අත්වෙන අවසන් ප්‍රතිඵලය වඩා කාර්යක්ෂම එකක් මිස අකාර්යක්ෂම එකක් වන්නට හේතුවක් නැත. කවර මිනුම් දණ්ඩක් භාවිතා කරමින් නියාමනය කළත් අවසන් වශයෙන් නියාමනය විසින් ඉඩ සලසන්නේ අකාර්යක්ෂමතාවයන්ටය.

ඇතැම් අය සිතන පරිදි ඉරාජ්ට මේ වීඩියෝව ප්‍රචාරණය කරන්නට ඉඩ ලැබීමේ කුමක් හෝ වරදක් තිබේ. මේ වරද නියාමනයක් නැති අසීමිත නිදහසද?

නිදහස් වෙළඳපොලක් මෙන්ම සමාජ මාධ්‍ය වැනි නිදහස් මාධ්‍යද ස්වයං නියාමනයට ලක්වේ. එය ස්වභාවිකවම සිදුවන දෙයක් මිස කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් විසින් සැලසුම් කළ යුතු දෙයක් නොවේ.

ඉරාජ්ගේ වීඩියෝව නිසා කිසියම් තාවකාලික අසමතුලිතතාවයක් ඇති වූයේනම් ඉතා ඉක්මණින් ස්වභාවික ලෙසම එය නැවත සමතුලිත විය යුතුය. ඒ සඳහා කිසිවකු මැදිහත් වීම අවශ්‍ය නොවේ. ඉරාජ්ට පක්ෂව මෙන්ම ප්‍රතිපක්ෂවද ක්ෂණිකව අදහස් දක්වන්නට බොහෝ දෙනෙකුට ඉඩ සැලසුණේ සමාජ මාධ්‍ය නිසාය.

මේ වීඩියෝව නිසා ඉරාජ්ට එරෙහිව විශාල ජනමතයක්ද ඇති වුණේය. වීඩියෝවේ පෙනී සිටි නිලියකට කොරියාවේදී ප්‍රශ්න වලට මුහුණ දෙන්නටද සිදු වී තිබේ. මේ අනුව, පෙනෙන්නේ ඉරාජ්ගේ වීඩියෝව එළියට දැමීමෙන් පසු ඔහුගේ නිර්මාණ වලට විරුද්ධ මතවාදය වෙනුවෙන් පෙනී සිටින්නන්ටද ඉල්ලුමක් ඇති වී ඇති බවයි.

ඉල්ලුමක් ඇති වූ විට එහි වෙළඳපොළ අවස්ථාවක්ද තිබේ. මෙවැනි වෙළඳපොළ අවස්ථාවක් මුලින් හෝ පසුව යම් කිසිවකු විසින් හඳුනා ගැනීම සාමාන්‍ය තත්ත්වයයි. මේ වන විට එය සිදු වී තිබේ. දැනටම විශාල ලෙස හිට් වී ඇති අම්බලම වීඩියෝව එයට හොඳම සාක්ෂියයි.

අම්බලම වීඩියෝව එළියට එන්නේ ඉරාජ් විරෝධය අලෙවිකරණ උපායක් ලෙස ප්‍රයෝජනයට ගනිමිනි. මෙයට කැමති නැති අයෙකුට මෙය තනිකරම මඩ වීඩියෝවක් ලෙස හඳුවන්නට පුළුවන. එහෙත්, එයට පක්ෂ අයෙකුට මෙය ලිංගික අධ්‍යාපනය ලබාදෙන, උපත් පාලන ක්‍රම ගැන දැනුවත් කරන වීඩියෝවක් ලෙස හඳුවන්නට වුවද බැරිකමක් නැත. වීඩියෝවේ පෙන්වන පරිදි උපත් පාලන කොපු යතුරු කැරැල්ල සමඟ එකට සාක්කුවේ දමාගෙන සිටින විට තෙරපුම නිසා එහි කඩතොළු ඇති වී, ඒ හේතුව නිසා ලිංගිකව එක්වන විට පුපුරා යාමෙන් ගැබ් ගැනීම හෝ සමාජ රෝග වැළඳීම වැනි අනපේක්ෂිත ප්‍රතිඵල ලැබෙන්නට ඇති ඉඩකඩ ඉහළ යා හැකිය යන්න නැවුම් අදහසකි.


සමාජ මාධ්‍ය හරහා එළියට එන්නේ සාමාන්‍ය මිනිසුන් හිතන පතන ආකාරයයි. සමාජ මාධ්‍ය නොතිබුණා කියා හෝ වාරණය කළා කියා මිනිසුන් හිතන හා තීරණ ගන්නා ආකාරය වෙනස් වන්නේ නැත. කිසියම් කලා නිර්මාණයකට හෝ මතවාදයකට ඉල්ලුමක් තිබේනම් සමාජ මාධ්‍ය නැතත් එය කවර ආකාරයකින් හෝ මතුවීම වැළැක්විය නොහැකිය. මිනිසුන් හිතන හා තීරණ ගන්නා ආකාරය වෙනස් වේනම් එය සමාජ මාධ්‍ය තුළද ස්වභාවික ලෙසම පිළිබිඹු වනු ඇත.

Tuesday, May 9, 2017

සුරා පෝලිමට නොගිය වේපචිත්තිගේ පුතා


සිංහල මාස ආරම්භ වන්නේ අමාවක පෝයෙන් පසුව එළැඹෙන පුර පෑලවියෙනි. මේ අනුව, පසළොස්වක පෝය යෙදෙන්නේ මාසයේ මැද, පහළොස්වන දවසේය. අද මෙන් කෘතීම ආලෝකය නොතිබුණු පෙර කාලයේ, රාත්‍රී කාලයේද හොඳින් එළිය ඇති පසළොස්වක පෝය දවස උත්සව කටයුතු සඳහා වඩා යෝග්‍ය දවසක් විය.

රන් රැස් කෙඳි දසත විදා අහස් ගඟේ මැද
තරු මුතුහර ගෙල පළඳා වළා සේල ඇඳ
බිනරමලී එක්ක එන්න බිනර මහේ මැද
පායාපන් මගේ පැලට පායාපන් සඳ

බිනර මාසය බක් මාසයේ සිට හයවන මාසයයි. බිනර මාසයේ මැද පායන්නේ බිනර පුර පසළොස්වක හඳයි. මේ හඳ සාමාන්‍යයෙන් සිංහල අවුරුද්දෙන් පසුව පායන පස්වන අලුත් හඳෙන් පසු පායන පසළොස්වක හඳ වුවත් ඔය අතරට අධික මාසයක් වැටුනේනම් එය අවුරුද්දෙන් පසුව පායන හයවන අලුත් හඳට පසුව එන පසළොස්වක හඳ වන්නත් බැරි නැත. වෙනත් විදිහකින් කියනවානම් බිනර පසළොස්වක හඳ සිංහල අවුරුද්දෙන් පසුව පායන පස්වන හෝ හයවන පුර පසළොස්වක හඳ වන්නට පුළුවන.

සිංහල මාස චන්ද්‍ර මාස නිසා මාසයකට වැටෙන සාමාන්‍ය දින ගණන 29.5ක් පමණ වේ. එහෙත්, සිංහල අවුරුද්ද සූර්ය අවුරුද්දක් නිසා අවුරුද්දකට දින 365.25ක් පමණ ඇති අතර සූර්ය මාසයක් දින 30.5ක් පමණ වේ. චන්ද්‍ර මාස බක්, වෙසක්, පොසොන් ආදී ලෙස ගණන් ගැනෙන අතර සූර්ය මාස මේෂරවි, වෘෂභරවි, මිථුනරවි ආදී ලෙස සූර්යයා ගමන් කරන රාශිය අනුව තීරණය වේ. අමාවක ආසන්නව හඳ තිබෙන්නේ පොළොවත් ඉරත් අතර සරල රේඛාවක නිසා චන්ද්‍රමාසයක් ඇරැඹෙන විට හඳ තිබෙන්නේද ඉර තිබෙන රාශියේමය. ඒ නිසා, මාසය ඇරඹෙන විට හඳ තිබිය යුතු තැන දැකිය හැකි රාශිය අනුව චන්ද්‍ර මාසය තීරණය වන බව වුවද කියන්නට පුළුවන.

සූර්ය මාසයක් චන්ද්‍ර මාසයකට වඩා දිග නිසා මේ මාස ක්‍රම දෙක එකතු කරන්නට අතරින් පතර අධික චන්ද්‍ර මාස එකතු කරන්නට සිදුවේ. බොහෝ විට සූර්ය මාසයක් තුළ ආරම්භවන්නේ එක් චන්ද්‍රමාසයක් පමණක් වුවත්, සූර්ය මාසය ඇරැඹුණු වහාම වාගේ චන්ද්‍ර මාසයද ඇරඹුනොත්, සූර්ය මාසය අවසන් වන්නට ඔන්න මෙන්න කියා තවත් චන්ද්‍ර මාසයක් ආරම්භ වන්නට පුළුවන. එවිට මේ මාස දෙකෙන් එකක් අධික මාසයක් ලෙස නම් කෙරේ.

ලංකාවේ දැනට චන්ද්‍ර මාස ගණනය කරන ක්‍රමය අනුව සූර්යයා මේෂ රාශියේ සිටියදී ආරම්භ වන චන්ද්‍ර මාස බක් මාස වන අතර, සූර්යයා වෘෂභ රාශියේ සිටියදී ඇරඹෙන මාස වෙසක් මාසයි. බිනර මාස ආරම්භ වන්නේ සූර්යයා පස්වන රාශිය වන සිංහ රාශියේ සිටියදීය. එහෙත්, බිනර මහේ මැද, පසළොස්වක පෝය එළැඹෙන විට සූර්යයා සිංහ රාශියේම සිටින්නට හෝ සිංහ රාශියෙන් කන්‍යා රාශියට සංක්‍රමණය වී සිටින්නට ඉඩ තිබේ.

පසළොස්වක දවසකදීද ඉර, හඳ හා පොළොව සරල රේඛාවක පිහිටියත්, අමාවක දවසේදී මෙන් නොව පසළොස්වක දවසකදී ඉර හා හඳ ස්ථානගත වී තිබෙන්නේ පොළොවෙන් ප්‍රතිවිරුද්ධ දිශා වලය. ඒ නිසා බිනර මහේ මැද, පසළොස්වක පෝය එළැඹෙන විට හඳ තිබෙන්නේ ඉරට අංශක 180ක් දුරින් කුම්භ හෝ මීන රාශියකය. පොළොවේ සෙවනැල්ල හරහා හඳ ගමන් කිරීම නිසා හඳ ටික වෙලාවකට නොපෙනී යාමෙන් ඇතැම් පසළොස්වක පෝය දිනවල චන්ද්‍රග්‍රහණ ඇතිවන්නේද මෙසේ ඉර හා හඳ පොළොව දෙපැත්තේ එකම සරල රේඛාවක් මත පිහිටීම නිසාය. පායා ඇති හඳ හිටිවනම "රාහු ගිලීම" කලින් සැලසුම් කර ඇති වැඩ බොහොමයක් අවුල් කරයි.

පායපු සඳ නැත පුදුමෙකි රාහු ගිල්ලදෝ
පායපු ඉර වලාගැබේ පතුලට වීදෝ
මැවූ සිහින මාලිගාව බිඳී වැ‍ටුනදෝ
මටත් හොරෙන් බිනර මලී දීග ගියාදෝ      



සූර්යග්‍රහණ හා චන්ද්‍රග්‍රහණ ස්වභාව ධර්මයේ අපූරු නිමැවුම්ය. පසළොස්වක පෝය දවසක පොළොවේ සෙවනැල්ල හරහා හඳ ගමන් කරන විට චන්ද්‍රග්‍රහණයක් ඇති වේ. අමාවක පෝය දිනක ඉර හා පොළොව අතරින් හඳ ගමන් කරද්දී ඉර හඳට ආවරණය වීම නිසා සූර්යග්‍රහණ ඇතිවේ.

පොළොවට කිලෝමීටර මිලියන 149.6ක් පමණ දුරින් පිහිටි ඉරේ විෂ්කම්භය කිලෝමීටර් 1,391,400ක් පමණ වේ. මෙයට සාපේක්ෂව, පොළොවට කිලෝමීටර 384,400ක් පමණ සාමාන්‍ය දුරකින් පිහිටි හඳේ විෂ්කම්භය කිලෝමීටර 3,474ක් පමණි. කෙසේවුවද, ඉරේ විෂ්කම්භය ඉරට ඇති දුරින් බෙදීමෙන් සොයා ගත හැකි, පොළොවට පෙනෙන පරිදි ඉර විසින් හදන කෝණය (අංශක 0.53), හඳ විසින් එසේ හදන කෝණයට (අංශක 0.52) ආසන්නව සමාන නිසා පොළොවට ඉර හා හඳ පෙනෙන්නේ ආසන්න ලෙස එකම විශාලත්වයෙනි. මේ නිසා පූර්ණ සූර්යග්‍රහණයක් සිදුවන විට ඉර හඳෙන් මුළුමනින්ම ආවරණය වෙයි.

දිගු කාලයක් තුළ සිදුවන සාමාන්‍ය සූර්යග්‍රහණ ප්‍රමාණය හා චන්ද්‍රග්‍රහණ ප්‍රමාණය ආසන්න වශයෙන් සමාන වුවත්, පොළොවේ නිශ්චිත ස්ථානයකට පෙනෙන සූර්යග්‍රහණ ප්‍රමාණය එසේ පෙනෙන චන්ද්‍රග්‍රහණ ප්‍රමාණයට වඩා බොහෝ අඩුය. හඳ ගමන් කරන පථය ආසන්නයේදී පොළොවේ සෙවනැල්ලේ විෂ්කම්භය සාපේක්ෂව විශාල නිසා පූර්ණ චන්ද්‍රග්‍රහණයක් පොළොවේ රාත්‍රී කාලය පවතින ස්ථාන බොහොමයක සිට නිරීක්ෂණය කළ හැකි වුවත්, කිසියම් පූර්ණ සූර්යග්‍රහණයකදී හඳ විසින් ඉර මුළුමනින්ම ආවරණය කරනු දැකිය හැක්කේ පොළොවේ පටු තීරුවක් තුළ පිහිටි ස්ථාන වල සිට පමණි. ඒ නිසා, සෑම වසරකම සූර්යග්‍රහණ ගණනාවක් සිදුවුවත්, කිසියම් නිශ්චිත තැනක සිට පූර්ණ සුර්යග්‍රහණයක් දැකිය හැක්කේ සාමාන්‍ය වශයෙන් වසර 350-375 අතර කාලයකට වරකි.

චන්ද්‍රග්‍රහණ සූර්යග්‍රහණ වලට වඩා වැඩිපුර දකින්නට ලැබෙන නිසා චන්ද්‍රග්‍රහණ ගැන ජනශ්‍රැති වැඩිපුර අසන්නට ලැබේ. බොහෝ සංස්කෘතීන්හි චන්ද්‍රග්‍රහණ තේරුම් ගැනුණේ සැබෑ ලෝකයේ දැකිය හැකි හෝ මනඃකල්පිත කිසියම් සතෙකු විසින් හඳ ගිලගැනීමක් ලෙසිනි. ඉන්කාවරුන් සිතූ පරිදි මෙසේ හඳ ගිලගන්නට ආවේ ජගුවරයෙකි. මේ ප්‍රවාදය ඇසුරෙන් චන්ද්‍රග්‍රහණයකදී හඳ රත් පැහැ ගැනීම ඔවුන්ට පැහැදිලි කළ හැකි විය. ඒ අනුව, හඳ ආහාරයට ගැනීමෙන් පසු මේ ජගුවරයා පොළොවටද පැමිණීම වැළැක්වීමට ඔවුහු ආරක්ෂාකාරී පියවර ගත්හ.

චීන ජාතිකයින් විශ්වාස කළ පරිදි චන්ද්‍රග්‍රහණයකදී හඳ ගිලින්නේ දැවැන්ත මකරෙකි. මාතලන් චිත්‍රපටයේ එන "හඳ රාහු මුඛයේහි ගිලුණා ලෙසේ" ගීතය ආරම්භයේ පෙන්වන බිත්තියේ ගසා ඇති චිත්‍රයේ සිටින්නේ මේ චීන මකරාය. ඉර හා හඳ ගිලින රාහු ලෙස ඉන්දියානුවන් හඳුනාගෙන සිටියේ මේ ආකාරයේ මකරෙක් නොවේ.



හින්දු විශ්වාස අනුව රාහු හා කේතු බවට පත්වන්නේ ස්වර්භානු නම් වූ අසුරයාය. ස්වර්භානු අසුරයා විසින් ඉර හා හඳ ගිලින බව ක්‍රිස්තු පූර්ව 15 වන සියවසේදී පමණ ප්‍රබන්ධ කෙරුණු සෘග් වේදයේ (40:9 ශ්ලෝකය) සඳහන්ව තිබේ.

පසුකාලීනව පුරාණ ග්‍රන්ථ වලත්, මහා භාරතයේත් මේ ප්‍රවාදය විස්තරාත්මක කථාපුවතක් ලෙස දිග හැරෙන අතර බොහෝ හින්දු කථාවලදී සිදුවනවාක් මෙන් සුර අසුර යුද්ධයටද සම්බන්ධවේ. සුරයන් හා සුරයන් එක්ව කිරිමුහුද කළඹද්දී අමෘතය පහළ වේ. ඒ සමඟම මෝහිණියගේ වෙස් ගන්නා විෂ්ණු දෙවි අමෘතය බෙදා දීම පිණිස පොළොවට පැමිණේ. ඔහුගේ සැලසුම වන්නේ සුරයින් හා අසුරයින් වෙන් වෙන්ව පෝලිම් ගස්වා සුරයින්ට අමෘතයත්, අසුරයින්ට සුරාවත් බෙදීමයි. කිරි මුහුද කැළඹීමේ අරමුණ වූයේම අසුරයින් රවටා ඔවුන්ගේ උදවු ගැනීමෙන් පසුව සුරයින්ට පමණක් අමෘතය ලබා ගැනීමයි.

කෙසේ හෝ සුරයන්ගේ පෝලිමට හොරෙන්ම එකතු වන ස්වර්භානු අසුරයාට මෝහිණී ලෙස වෙස්ගෙන සිටින විෂ්ණු විසින් අමෘතය බෙදන අතර ඔහුගේ දෙපැත්තෙන් සිටින සූර්යයා හා චන්ද්‍රයා මේ බව පෙන්වා දෙන විටත් ස්වර්භානු අසුරයා අමෘතය කටට හලාගෙන අවසන්ය. විෂ්ණු ක්ෂණිකව ක්‍රියාත්මක වී ස්වර්භානුගේ හිස කඳෙන් වෙන් කරන නමුත් ඒ වන විට ඔහු ප්‍රමාද වැඩිය.

අමෘතය දැනටමත් පානය කර අවසන් නිසා ස්වර්භානු මරණයට පත් නොවන අතර ඔහුගේ හිස රාහු බවටත් හිසසුන් කඳ කේතු බවටත් පත් වේ. පසුව රාහුට නාග සිරුරක්ද, කේතුට නාග හිසක්ද හිමිවන අතර සූර්යග්‍රහණ හා චන්ද්‍රග්‍රහණ යනු තමන්ගේ දෙපැත්තේ සිට අමෘතය සොරාගත් බව විෂ්ණුට පෙන්වූ සූර්ය දිව්‍ය රාජයාගෙන් හා චන්ද්‍ර දේවතාවාගෙන් ස්වර්භානු අසුරයා වාඩුව ගන්නා ආකාරයයි.

හින්දු කථා අනුව ස්වර්භානු යනු සොහොයුරන් සියයක් හා එක් සොහොයුරියක් සිටින පවුලක වැඩිමලාය. ඔහුගේ මව හිරණ්‍යකාශ්‍යපගේ දියණිය වන සිංහිකාය. පියා විප්‍රචිත්තිනම් අසුරයාය. සංයුත්ත නිකායේ සගාථාවග්ගපාළියේ දේවපුත්ත සංයුත්තයේ අවසන් සූත්‍ර දෙක චන්දිම සූත්‍රය හා සූරිය සූත්‍රයයි. සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනා වලදී අසන්නට ලැබෙන මේ සූත්‍ර දේශනා දෙකේ රාහු අසුරයා ගැනත්, විප්‍රචිත්ති හෙවත් වේපචිත්ති අසුරයා ගැනත් අසන්නට ලැබේ.

චන්දිම සූත්‍රයේ පෙළ ඇති සැටියෙන්ම මෙසේය.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි චන්‍දිම දේවපුත්‍ර තෙමෙ රාහු අසුරිඳු විසින් අල්ලා ගන්නා ලද්දේ විය. එකල චන්‍දිම දෙව්පුත් තෙම භාග්‍යවතුන් වහන්සේ සිහි කෙරෙමින් ඒ වේලායෙහි මේ ගාථාව කීය.

’’බුද්ධ වීරයන් වහන්ස, ඔබට නමස්කාර වේවා. ඔබ සියලු තන්හි මිදුණෝය. (මම) පීඩාවට පැමිණියෙම් වෙමි, එසේවූ මට පිහිට වන්න.’’

එකල්හි භාග්‍යවතුන් වහන්සේ චන්‍දිම දෙව්පුතු අරභයා රාහු අසුරිඳුට (මෙසේ) ගාථායෙන් වදාළහ.

’’එම්බා රාහු, චන්‍දිම තෙම අර්‍හත්වූ තථාගතයන් සරණ ගියේය. ඒ චන්‍දිම දෙව්පුතු අතහරුව. බුදුවරු ලොවට අනුකම්පා කරන්නෝය.’’

එවිට රාහු අසුරිඳු චන්‍දිම දෙව්පුතු අතහැර ඉක්මන් ස්වභාව ඇත්තේ වේපචිත්ති අසුරිඳු යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, කැළඹුණු සිතැත්තේ, හටගත් ලොමු දහගැනුම් ඇත්තේ, එක් පසෙක සිටියේය. එක් පසෙක සිටි රාහු අසුරිඳුට වේපචිත්ති අසුරිඳු ගාථායෙන් (මෙසේ) කීය.

’’එම්බා රාහු, කවර හෙයින් ඉක්මන්ව මෙන් චන්‍දිම දෙව්පුතු අතහැරියෙහිද? කවර හෙයින් කැලැඹුණු ස්වභාව ඇතිව, බිය ගත්තෙකු මෙන් සිටිනෙහිද?’’

(එවිට රාහු අසුරිඳු මෙසේ කීය:) ’’බුදුරජුන් විසින් ගාථායෙන් ආමන්‍ත්‍රණය කරණලද්දෙමි. (ඒ මම) ඉදින් චන්‍දිම දෙව්පුතු නොමිදුයෙම් නම් මා හිස සත්කඩෙක්ව පැලෙන්නේය..ජීවත්වුවද සැපක් නම් නොලබන්නෙමි.’’


සූරිය සුත්‍රයේ පෙළද බොහෝ දුරට මෙයට සමානය.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි සූර්‍ය්‍යදෙව්පුත් තෙම රාහු අසුරිඳු විසින් අල්ලා ගන්නා ලද්දේ විය. එකල සූර්‍ය්‍ය දෙව්පුත් තෙම භාග්‍යවතුන් වහන්සේ සිහි කරනුයේ මේ ගාථාව කීය.

’’බුද්ධ වීරයන් වහන්ස, ඔබට නමස්කාර වේවා. ඔබ හැමතන්හි මිදුණෝය. (මම) පීඩාවට පැමිණියෙම් වෙමි, එසේවූ මට පිහිට වන්න.’’

එකල්හි භාග්‍යවතුන් වහන්සේ සූර්‍ය්‍ය දෙව්පුතු අරභයා රාහු අසුරිඳුට (මෙසේ) ගාථායෙන් වදාළහ.

’’එම්බා රාහු, සූර්‍ය්‍ය දෙව්පුත් තෙම අර්‍හත්වූ තථාගතයන් සරණ ගියේය. ඒ
සූර්‍ය්‍ය දෙව්පුතු අතහරුව. බුදුවරු ලොවට අනුකම්පා කරන්නෝය.’’

’’එම්බා රාහු, අන්‍ධකාරයෙහි යමෙක් එලිය කරන්නේද, බබළන්නේද, මඬුලු සටහන් ඇත්තේද, උග්‍ර තේජස් ඇත්තේද, එසේවූ අහස හැසිරෙන සූර්‍ය්‍යයා නොගිලුව, මගේ ශ්‍රාවක බවට පැමිණි සූර්‍ය්‍යයා අතහරුව,’’

එකල රාහු අසුරිඳු සූර්‍ය්‍ය දෙව්පුතු අතහැර ඉක්මන් ස්වභාවය ඇත්තේ වේපචිත්ති අසුරිඳු වෙත පැමිණියේය. පැමිණ, කැලැඹුණේ ලොමු දැහැගැනුම ඇත්තේ, එක් පසෙක සිටියේය. එක් පසෙක සිටි රාහු අසුරිඳුට වේපචිත්ති අසුරිඳුට ගාථායෙන් (මෙසේ) කීය:

’’එම්බා රාහු, කවර හෙයින් ඉක්මන්ව මෙන් හිරු දෙව්පුතු අතහැරියෙහිද? කවර හෙයින් කැලැඹුණු, ස්වභාවය ඇතිව, බිය ගත්තකු මෙන් සිටිනෙහිද?’’

(එවිට රාහු අසුරිඳු මෙසේ කීය:) ’’බුදුරජුන් විසින් ගාථායෙන් ආමන්‍ත්‍රණය කරණලදුයෙමි. (ඒ මම) ඉදින් සූර්‍ය්‍ය දෙව්පුතු නොමුදාලීම් නම්, මා හිස සත්කඩකට පැලෙන්නේය. ජීවත්වන්නෙම් නම් සැපයක් නම් නොලබන්නෙමි.’’


සූර්යග්‍රහණ හා චන්ද්‍රග්‍රහණ ඇතිවීම පිළිබඳව බුද්ධ කාලයේ පැවති දැනුම චන්දිම සූත්‍රයෙන් හා සූරිය සූත්‍රයෙන් පිළිබිඹු වේ. කෙසේවුවද, බුද්ධ කාලයෙන් වසර සහශ්‍රයකට පමණ පසුව සූර්ය සිද්ධාන්තය ලියැවෙන කාලය වන විට මේ ස්වභාවික සංසිද්ධි පැහැදිලි කිරීමට පමණක් නොව නිවැරදිව පුරෝකථනය කිරීමටද හැකි තරමට ජ්‍යෝතිෂය දියුණු වී තිබුණේය.

දැන් අප දන්නා පරිදි පොළොව, හඳ හා ඉර ඒ පිළිවෙලට සරල රේඛාවක පිහිටි විට සූර්ය ග්‍රහණයද, හඳ, පොළොව හා ඉර ඒ පිළිවෙළට සරල රේඛාවක පිහිටි විට චන්ද්‍රග්‍රහනද ඇතිවේ. පොළොව, හඳ හා ඉර ඒ පිළිවෙලට සරල රේඛාවක පිහිටන්නේ අමාවක දිනවල නිසා සූර්යග්‍රහණ ඇතිවිය හැක්කේ අමාවක දින වල පමණි. හඳ, පොළොව හා ඉර ඒ පිළිවෙළට සරල රේඛාවක පිහිටන්නේ පසළොස්වක පෝය දිනක පමණක් නිසා චන්ද්‍රග්‍රහණ ඇති විය හැක්කේ පසළොස්වක පෝය දින වල පමණි.

කෙසේවුවද, අප දන්නා පරිදි සෑම අමාවක පෝය දිනකම සූර්යග්‍රහණ ඇති නොවන අතර සෑම පසළොස්වක දිනකම චන්ද්‍රග්‍රහණද ඇති නොවේ. එයට හේතුව පොළොව ඉර වටා ගමන් කරන තලයත්, හඳ පොළොව වටා ගමන් කරන තලයත් එකම තලයක් නොවීමයි. මේ තල දෙක අතර ආනතියක් ඇති නිසා ඉර, හඳ හා පොළොව එකම ඉරක් මත දිශානුගත වන අමාවක හා පසළොස්වක පෝය දින බොහොමයකදීම හඳ පිහිටන්නේ පොළොවට වඩා එක්කෝ තරමක් ඉහළිනි. නැත්නම් පහළිනි. 



හඳ පොළොවේ සෙවනැල්ලට උඩින් හෝ යටින් සෙවනැල්ල පසුකර ගියහොත් පසළොස්වක දිනක චන්ද්‍රග්‍රහණයක් ඇති නොවේ. එමෙන්ම, ඉර හා පොළොව අතරින් යද්දී ඉරට උඩින් හෝ ඉරට යටින් ගියහොත් අමාවක දිනක සූර්යග්‍රහණයක් ඇති නොවේ. සිරිබෝ අයියා චිත්‍රපටයේ එන මියුරු ජනකවි වල "සඳට හොරෙන් සඳ මුදුනින් රාහු ගියා" කියන්නේ පසළොස්වක දිනක පොළොවේ සෙවණැල්ල හඳ මඟහැර හඳට උඩින් (හෝ යටින්) යාම ගැන වන්නට පුළුවන.


ග්‍රහණයක් ඇතිවීමට ඉර, හඳ හා පොළොව එකම රේඛාවක පිහිටීම ප්‍රමාණවත් නොවන අතර මේ රේඛාව එකම තලයක තිබීමද අවශ්‍යය. තල දෙකක ඡේදනය රේඛාවකි. ග්‍රහණයක් ඇතිවීම සඳහා ඉර, හඳ හා පොළොව එකම රේඛාවක පිහිටීමට අමතරව, පොළොව ඉර වටා ගමන් කරන තලයත්, හඳ පොළොව වටා ගමන් කරන තලයත් එකිනෙක ඡේදනය වන රේඛාව ඉහත රේඛාව සමඟ ආසන්න ලෙස සමපාත වීමද අවශ්‍යය.

සූර්යග්‍රහණ හා චන්ද්‍රග්‍රහණ නිවැරදිව පුරෝකථනය කිරීම සඳහා පොළොව ඉර වටා ගමන් කරන තලයත්, හඳ පොළොව වටා ගමන් කරන තලයත් එකිනෙක ඡේදනය වන රේඛාව පවතින තැන නිවැරදිව දැන සිටීම අවශ්‍යය. කේන්ද්‍ර සටහනක රාහු හා කේතු ලෙස එකිනෙකට හරියටම ප්‍රතිවිරුද්ධ පැති වල ලකුණු කරන්නේ පොළොවේ සිට අඳින මේ රේඛාවේ දෙපැත්තයි. මා මේ පැහැදිලි කිරීම කරන්නේ වැඩිදෙනෙකු පිළිගන්නා සූර්ය කේන්ද්‍ර ආකෘතිය අනුව යමිනි.



සූර්යග්‍රහණයක් සිදුවන්නේ රාහු සිටින අංශකයට ආසන්න අංශකයකට ඉරත් හඳත් එකවර පැමිණි විටය. එසේ වූ විට, ඉරත්, හඳත්, පොළොවත් එකම රේඛාවක පිහිටන අතර එම රේඛාව පොළොව ඉර වටා ගමන් කරන තලයත්, හඳ පොළොව වටා ගමන් කරන තලයත් එකිනෙක ඡේදනය වන රේඛාවම හෝ එයට ආසන්නව ඇති රේඛාවකි. මේ වෙලාවේ කේතු ඉරට හඳට හා රාහුට ප්‍රතිවිරුද්ධ දිශාවේ පිහිටයි.

චන්ද්‍රග්‍රහණයක් සිදුවන විට රාහු සිටින අංශකයට ආසන්න අංශකයකට හඳත්, එයින් ප්‍රතිවිරුද්ධ පැත්තේ කේතු සිටින අංශකයට ඉරත් පැමිණේ.  එසේ වූ විටද, ඉරත්, හඳත්, පොළොවත් එකම රේඛාවක පිහිටන අතර එම රේඛාව පොළොව ඉර වටා ගමන් කරන තලයත්, හඳ පොළොව වටා ගමන් කරන තලයත් එකිනෙක ඡේදනය වන රේඛාවම හෝ එයට ආසන්නව ඇති රේඛාවකි.

ජ්‍යෝතිෂයේ එන රාහු හා කේතු යනු මේ අයුරින් සූර්යග්‍රහණ හා චන්ද්‍රග්‍රහණ නිවැරදිව පුරෝකථනය කිරීම සඳහා ගොඩනඟාගෙන ඇති වියුක්ත සංකල්ප දෙකකි. මේ මනඃකල්පිත ග්‍රහයින් දෙදෙනා සිටින තැන්වල කිසිදු විශේෂ ශක්තියක් හෝ ආකර්ශනයක් නැත. එහෙත්, රාහු නම් වූ මනඃකල්පිත ග්‍රහයා පසළොස්වක පෝය දිනකදී හඳට ආසන්න වුවහොත් චන්ද්‍ර ග්‍රහණයක්ද, අමාවක දිනකදී ඉරට ලංවුවහොත් සූර්යග්‍රහණයක්ද ඇති වේ. මෙහිදී, ආසන්න වුවහොත් කියා කියන්නේ ඉර මෙන්ම හඳද පොළොවට පෙනෙන්නේ ලක්ෂ්‍ය ලෙස නොව කිසියම් විශ්කම්භයක් සහිත වස්තු ලෙසින් බැවිනි. ඒ නිසා, රාහු හරියටම ඉර හෝ හඳ මැදට නොපැමිණ ආසන්නයට පැමිණීම ග්‍රහණයක් ඇති වීමට ප්‍රමාණවත් සාධකයකි.

රාහු හඳ හා ඉර ග්‍රහණයට ගැනීම පිළිබඳ අදහස ඉහත ගණිතමය ආකෘතිය ගොඩ නැඟෙන්නට බොහෝ කලකට පෙර, බුද්ධ කාලයටත් පෙර සිටම පැවති අදහසකි. පොළොව ඉර වටා ගමන් කරන තලයත්, හඳ පොළොව වටා ගමන් කරන තලයත් එකිනෙක ඡේදනය වන රේඛාව පොළොවට සාපේක්ෂව චලනය වන ආකාරය නිවැරදිව ආකෘතිගත කිරීමෙන් පසු එහි දෙපැත්ත සටහන් කිරීමට අලුතින් නම් නොදමා එවකට භාවිතා කළ රාහු හා කේතු යන සංකල්පම යොදාගත් විට හඳ රාහු ඇල්ලීම මෙන්ම හඳට
හොරෙන් හඳ මුදුනින් රාහු යාමද පහසුවෙන් පැහැදිලි කළ හැකිය. හතරවන සියවසේදී පමණ සිදුවුණේ මෙයයි. කෙසේ වුවද, හඳ ඇල්ලීමට ගොස් බුදු අණට බියෙන් වැඩේ අත හැර දමන රාහු ඔහුගේ අප්පච්චී ලෙස සැලකෙන වේපචිත්ති අසුරයා වෙත ගොස් බිය පළකළ බව වැනි කතා අපේ ආගමික සාහිත්‍යය තුළ තවමත් ඉතිරි වී තිබේ.




(Image: Gemstoneuniverse, http://www.cnyo.org/tag/orbital-plane/)

වෙබ් ලිපිනය: