වෙබ් ලිපිනය:

Showing posts with label සහල් වෙළඳපොළ. Show all posts
Showing posts with label සහල් වෙළඳපොළ. Show all posts

Saturday, February 8, 2025

ලෝක සහල් වෙළඳපොළ තරඟකාරීද?


පෙර සටහනක සංඛ්‍යාලේඛණ සමඟ පෙන්වා ඇති පරිදි, ලෝක සහල් නිෂ්පාදනයෙන් 50.6%ක් සිදු වන්නේත්, ලෝක සහල් පරිභෝජනයෙන් 50.9%කට වග කියන්නේත් චීනය හා ඉන්දියාවයි. එහෙත්, මේ දෙරටේම සහල් ප්‍රධාන ආහාරය වන්නේත්, සහල් නිපදවන්නේත්, රටේ එක් කොටසකයි. ඒ චීනයේ මෙන්ම ඉන්දියාවේද දකුණු හා ඊසානදිග කලාප වලයි. දෙරටේම වයඹදිග කොටස් තිරිඟු කලාපයි. 

ඉහත හේතුව නිසා ලෝකයේ වැඩියෙන්ම තිරිඟු වවන සහ වැඩියෙන්ම තිරිඟු පරිභෝජනය කරන රටවල් වන්නේද චීනය සහ ඉන්දියාවයි. සහල් ඉන්දියාවක් සහ තිරිඟු ඉන්දියාවක් ඇති අතර සහල් චීනයක් හා තිරිඟු චීනයක්ද තිබෙනවා. මේ හේතුව නිසා, ඒක පුද්ගල සහල් පරිභෝජනය අනුව ඉදිරියෙන්ම සිටින රටවල් අතර චීනය හෝ ඉන්දියාව නැතත්, එම රටවල සහල් කලාප පමණක් සැලකුවහොත් වෙනස් රූපයක් දැකිය හැකියි. 

ඉහත රටවල් දෙකට අමතරව බංග්ලාදේශය, වියට්නාමය, ඉන්දුනීසියාව, පිලිපීනය, තායිලන්තය සහ මියන්මාරය යන රටවල් ඇතුළත් ප්‍රධාන "සහල් රටවල්" අට ලෝක සහල් පරිභෝජනයෙන් 76.8%කට වගකියන අතර (2023/24 දත්ත අනුව), ලෝක සහල් නිෂ්පාදිතයෙන් 76.4%ක් සිදු වන්නේද එම රටවලයි. 

මෙම රටවල් අතරින් පිලිපීනය තුළ ප්‍රමාණවත් සහල් නිෂ්පාදනයක් සිදු වන්නේ නැහැ. පිලිපීනය වියට්නාමයෙන් සහල් ආනයනය කරනවා. එම ප්‍රමාණය පිලිපීනයේ මුළු සහල් ආනයන වලින් 85%ක් පමණ ප්‍රමාණයක්. වියට්නාමය පැත්තෙන් බැලුවත්, එහි ප්‍රධාන සහල් ගැනුම්කරු පිලිපීනයයි. පිලිපීනයට කිට්ටුවෙන්ම තිබෙන සහල් අපනයනය කරන රට වියට්නාමය වීමත්, එම දෙරට තුළ නිපදවන සහල් වර්ග අතර සමානත්වයත් මීට හේතු වෙනවා විය හැකියි. ඊට අමතරව, වියට්නාමය විසින් චීනයටද සහල් යම් ප්‍රමාණයක් අපනයනය කරනවා. ලංකාව සාමාන්‍යයෙන් වියට්නාමයෙන් සහල් ආනයනය කරන්නේ නැහැ. 

බොහෝ දුරට තායිලන්තයේ නිෂ්පාදනයක් සේ සැලකිය හැකි සුවඳ සමන් එසේත් නැත්නම් ජැස්මින් සහල ලෝකය පුරාම විශාල ඉල්ලුමක් තිබෙන සහලක්. අස්වැන්න අඩු වුනත්, එම සහල අධි මිලකට විකිණිය හැකියි. තායිලන්තය ලෝක සහල් වෙළඳපොළ අල්ලාගෙන සිටින්නේ මෙම දේශීය සහල් වර්ගය සඳහා තිබෙන සුවිශේෂී ඉල්ලුම නිසා. කෙසේ වුවත්, ජැස්මින් සහල ලංකාවේ සාමාන්‍ය පාරිභෝගික රුචිකත්වය හා ගැලපෙන සහලක් නෙමෙයි. 

ලෝකයේ ප්‍රධාන සහල් රටවල් අට අතර නැති පකිස්ථානය ලෝකයේ ප්‍රධාන සහල් අපනයනකරුවෙක්. මෙහිදී පකිස්ථානය සතු සුවිශේෂී වාසිය වනුයේ එරට තුළ සැලකිය යුතු සහල් නිෂ්පාදනයක් සිදු වුනත්, පකිස්ථානයේ ප්‍රධාන ආහාරය සහල් නොව තිරිඟු බැවින්, රටේ නිපදවන සහල් වලින් සැලකිය යුතු කොටසක් අපනයනය කළ හැකි වීමයි. ලංකාවද ඇතැම් විට පකිස්ථානයෙන් සහල් ආනයනය කරන නමුත් බොහෝ විට ලංකාවට සහල් ආනයනය කරන්නේ ඉන්දියාවෙන්. 

පකිස්ථානය මෙන්ම ඉන්දියාව විසින්ද සැලකිය යුතු අධි මිලකට බාස්මතී සහල් අපනයනය කරනවා. එම සහල් මැදපෙරදිග කලාපයේ සහ බටහිර රටවල විකිණෙනවා. එහෙත්, ලංකාව සාමාන්‍ය පරිභෝජනය පිණිස ඉන්දියාවෙන් ආනයනය කරන්නේ දකුණු ඉන්දියාවේ නිපදවන ලාබ සහල් වර්ගයි. ඉන්දියාව එම සහල් වර්ග නිපදවන්නේ දේශීය පරිභෝජනය පිණිසයි. මිල අඩු මෙම සහල් වර්ග අප්‍රිකානු රටවලටද අපනයනය කෙරෙනවා.

ලෝකයේ ප්‍රධානම සහල් අපනයනකරු වන ඉන්දියාව ඒ ස්ථානයේ සිටින්නේ මිල තරඟය තුළ ඉදිරියෙන් සිටීම මගිනුයි. සහල් වෙළඳපොළ තුළ තායිලන්තය සහ පකිස්ථානය වැනි රටවලට ඉන්දියාව සමඟ මිලෙන් තරඟ කළ නොහැකියි. මීට ප්‍රධානම හේතුව ඉන්දියාව විසින් සහනාධාර මගින් වී ගොවිතැන විශාල ලෙස සුබසාධනය කිරීමයි. වී ගොවිතැන සුබසාධනය කිරීම ලංකාව ඇතුළු බොහෝ රටවල රජයයන් විසින්ද සිදු කරන දෙයක් වුවත් මේ කාරණයේදී ඉන්දියාව සිටින්නේ "සම කළ නොහැකි" තැනකයි. 

සාමාන්‍යයෙන් කිසියම් රජයක් වී වැනි කර්මාන්තයක් සුබසාධනය කරන්නේ දේශීය ගොවිතැන රැකගැනීම සහ ඒ හරහා ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරගැනීම යන අරමුණු පෙරදැරිවයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස දේශීය පාරිභෝගිකයින්ට අඩු මිලට සහල් මිල දී ගැනීමේ අවස්ථාවද ලැබෙනවා. කෙසේ වුවත්, මේ අයුරින් සුබසාධනය කර අඩු මිලට නිපදවන සහල් එම මිලටම අපනයනය කළහොත් සිදු වන්නේ රටේ ජනතාව ගෙවන බදු මුදල් වලින් වෙනත් රටක පාරිභෝගිකයින් සුබසාධනය කිරීමක්. ඒ නිසා, මෙසේ දේශීය වී ගොවිතැන විශාල ලෙස සුබසාධනය කරන ඉන්දියාව වැනි රටවල් සෘජු ලෙස සිදු කරන අපනයන පාලනය සහ අපනයන බදු පැනවීම මගින් මේ තත්ත්වය කළමනාකරණය කරනවා. සහල් සැපයුම පහත වැටෙන අවස්ථා වලදී මෙම අපනයන පාලනය විශේෂයෙන්ම දැකගත හැකියි.

කෙසේ වුවද, සැපයුම දේශීය අවශ්‍යතාවය ඉක්මවා විශාල ලෙස ඉහළ ගිය විට මේ ප්‍රතිපත්තිය වෙනස් වෙනවා. ඊට හේතු තේරුම් ගන්න අසීරු නැහැ. ඉල්ලුම ඉක්මවා රටේ දේශීය සැපයුම ඉහළ ගිය විට මිල විශාල ලෙස පහත වැටෙන අතර, රජයට සහතික මිලකට වී මිල දී ගැනීමට (හෝ සහතික මිලක් වී ගොවියාට ලැබෙන පරිදි සහනාධාර දීමට) විශාල මුදලක් වැය කරන්නට සිදු වෙනවා. අපනයන සීමා තාවකාලිකව ඉවත් කිරීම සහ අපනයන බදු තාවකාලිකව ඉවත් කිරීම මගින් මේ තත්ත්වය වෙනස් කර ගත හැකියි. එවිට රට ඇතුළේ වී මිල ඉහළ ගොස් ස්ථාවර වෙනවා. නමුත් එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස, ජාත්‍යන්තර වෙළඳපොළේ සහල් මිල විශාල ලෙස පහත වැටෙනවා.

ඉන්දියාව විසින් ඉහත කී පරිදි දේශීය සහල් ඉල්ලුම සහ සැපයුම තුලනය වන පරිදි අපනයන කළමනාකරණය කරද්දී, ජාත්‍යන්තර සහල් මිල ඊට අනුරූපව උච්ඡාවචනය වෙනවා. ඒ නිසා, ඉන්දියාවේ දේශීය වී නිෂ්පාදනය පහත වැටී මිල ඉහළ යන විට, ඊට වඩා වැඩි වේගයකින් ජාත්‍යන්තර සහල් මිල ඉහළ යනවා. එවිට පකිස්ථානය සහ තායිලන්තය වැනි තරඟකරුවන්ට වාසිදායක පිටියක් සකස් වෙනවා. ඉන්දියාවේ වී සැපයුම ඉහළ යන විට මේ තත්ත්වය කණපිට හැරී ජාත්‍යන්තර වෙළඳපොළේ සහල් මිල විශාල ලෙස පහත වැටෙනවා. 

මෑතකාලීන ප්‍රවණතා දෙස බැලුවොත්, 2023 ජූනි 20 දෙන ඉන්දියාව විසින් බාස්මතී හැර අනෙකුත් සහල් වර්ග අපනයනය කිරීම තහනම් කළා (Notification No 20/2023). ඒ වන විටද ඉන්දියාව විසින් බාස්මතී හැර අනෙකුත් සහල් වර්ග අපනයනය කරමින් සිටියේ 20%ක අපනයන බද්දකට යටත්වයි (2022 සැප්තැම්බර් 9 සිට). මෙය දේශීය සහල් මිල ඉහළ යද්දී ඉන්දියාව විසින් සාමාන්‍යයෙන් කරන දෙයක්. පසුගිය (2024) සැප්තැම්බර් මාසයේදී මෙම අපනයන තහනම ඉවත් කෙරුණු අතර 20% අපනයන බද්දද ඉවත් කෙරුණා. ඒ නිසා, මේ අවස්ථාවේදී ඉන්දියාව විසින් සහල් අපනයනය කෙරෙන්නේ සැලකිය යුතු අඩු මිලකට වුවත්, ඒ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි.

මීට අමතරව මේ වන විට (2024 නොවැම්බර් 11) ඉන්දියාව විසින් විශාල ලෙස සහල් මිල සුබසාධනය කිරීමට එරෙහිව ඇමරිකාව විසින් කැනඩාව, ඕස්ට්‍රේලියාව, ආජන්ටිනාව සහ යුක්‍රේනය යන රටවල්ද සමඟ එකතුව ලෝක වෙළඳ සංවිධානයට පැමිණිලි පත්‍රයක් යවා තිබෙනවා (G/AG/W/250). එම රටවල් විසින් එහිදී ගණනය කර පෙන්වා දෙන පරිදි, ඉන්දියානු රජය විසින් ලබා දෙන සහනාධාර වල වටිනාකම එකතු කළහොත් ඉන්දියාවේ සහල් මිල 87.9%කින් ඉහළ යනවා. ඉන්දියාව විසින් එකඟ වී තිබෙන උපරිම සීමාව 10%යි. මෙම වෙනස සලකා බැලීමේදී ඉන්දියාවේ අවාසියට තීන්දුව ලැබෙන්නට සැලකිය යුතු ඉඩක් තිබෙන අතර එය එසේ වුවහොත් ඉන්දියානු සහල් අපනයන වල මිල සැලකිය යුතු ලෙස ඉහළ යාමට ඉඩ තිබෙනවා.

මේ අවස්ථාවේදී ලංකාවේ සහල් මිලට වඩා ඉන්දියාවේ සහල් මිල සැලකිය යුතු තරම් අඩු මට්ටමක තිබෙන්නේ ඉහත තත්ත්වයන් සියල්ලේ ප්‍රතිඵලයක් ලෙසයි. ඒ නිසා, මේ අවස්ථාව කිසිසේත්ම සහල් ආනයන මත අය කෙරෙන බදු මුදල ඉවත් කිරීම සඳහා සුදුසු අවස්ථාවක් නෙමෙයි. 

(Image: https://www.ifpri.org/blog/indias-new-ban-rice-exports-potential-threats-global-supply-prices-and-food-security/)

Thursday, February 6, 2025

ලෝක සහල් සිතියම


රටක ආර්ථිකය සංවෘතව තබා ගැනීමට සාපේක්ෂව විවෘතව තබා ගැනීමේ වාසි ගණනාවක් තිබෙනවා. ඒ වගේම සමහර අවාසිත් තිබෙනවා. රට තුළ නිෂ්පාදනය කර ගැනීම අසීරු දෙයක්නම් කොහොමටත් ආනයනය කරන්න වෙනවා. විශේෂයෙන්ම අත්‍යාවශ්‍ය භාණ්ඩ. උදාහරණයක් විදිහට ලංකාවට ඉන්ධන ආනයනය කරන්නම වෙනවා. එහෙත්, රට තුළ අපහසුවක් නොමැතිව නිෂ්පාදනය කර ගත හැකි සහල් වැනි දෙයක් ආනයනය කළ යුත්තේ ඇයි?

විශේෂයෙන්ම සහල් සම්බන්ධව ලංකාව තුළ ධ්‍රැවීකරණය වූ මත දෙකක් දැකිය හැකියි. පළමු මතය රට සහලින් ස්වයංපෝෂිත කරගත යුතු බවයි. නිදහසින් පසු සෑම ආණ්ඩුවක් මෙන්ම අඩු වැඩි වශයෙන් සිටියේ මේ මතය තුළයි. දෙවන මතය "වී වෙනුවට රෝස" මතයයි. මෙයින් සංකේතාත්මකව අදහස් කෙරෙන්නේ වී වැවීම නවතා වඩා ලාභදායී අපනයන භෝගයක් වැවීම මගින් උපයන විදේශ විණිමය යොදා ගෙන සහල් ආනයනය කළ යුතු බවයි.

පළමු මතය වෙනුවෙන් ලංකාවේ සැලකිය යුතු පිරිසක් පෙනී සිටීම තේරුම් ගන්න අපහසු නැහැ. පොදුවේ වෙළඳපොළ පිළිබඳ විශ්වාසයක් නොමැති වීම, අහේතුක වෙළඳපොළ විරෝධය, සංස්කෘතික සාධක, ආහාර සුරක්ෂිතතාව පිළිබඳ බිය මෙන්ම විශාල පිරිසක් වී ගොවිතැන ආශ්‍රිත රැකියා වල නිරතව සිටීම හා එවැනි පවුල් පසුබිමක් තිබීම මීට හේතු වන බව සිතිය හැකියි. එසේනම්, දෙවන මතයටද සැලකිය යුතු සහයෝගයක් ලැබී තිබෙන්නේ කොහොමද?

මෙහිදී විශේෂයෙන් දැකිය හැකි කරුණක් වන්නේ මේ අයුරින් දෙවන මතය වෙනුවෙන් පෙනී සිටින සියල්ලන් පොදුවේ වෙළඳපොළ නිදහස වෙනුවෙන් පෙනී සිටින අය නොවන බවයි. එවැනි අය ඒ අතරින් කොටසක් පමණයි. මේ මතය වෙනුවෙන් පෙනී සිටීම පසුපස දැකිය හැකි ප්‍රධාන සාධකය වන්නේ එසේ කිරීමෙන් "අඩුවට හාල් කන්න" ලැබෙනු ඇතැයි යන විශ්වාසයයි. 

ලංකාවේ "හාල් සිතියම්" දෙස බැලීමෙන් මේ දේශපාලනික බෙදීම තේරුම් ගන්න පුළුවන්. යාපනය හැර උතුරු නැගෙනහිර පළාත්, උතුරු මැද පළාත සහ හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්ක අයත් වියලි කලාපයේ විශාල කොටසක් වී වවන ප්‍රදේශයි. මෙම දිස්ත්‍රික්ක වල සහල් පරිභෝජනයට සාපේක්ෂව විශාල වී අතිරික්තයක් පවතින අතර එම දිස්ත්‍රික්ක වල බොහෝ පවුල් වල ප්‍රධාන යැපුම් මාර්ගයක් වන්නේ වී වගාවයි. සාපේක්ෂව අඩු වුවත්, කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්ක වලද වී අතිරික්තයක් තිබෙනවා. රටට අඩු මිලට ආනයනික සහල් පැමිණෙනවා කියන්නේ මෙම දිස්ත්‍රික්ක වල ජීවත් වන බොහෝ ගොවි පවුල් වල ප්‍රධාන ආදායම් මාර්ගයක් ඇහිරෙනවා කියන එකයි.

මෙයින් වෙනස්ව බස්නාහිර හා සබරගමු පළාත, ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය, පුත්තලම දිස්ත්‍රික්ක ඇතුළත් තෙත් කලාපයේ දැකිය හැක්කේ වෙනස් තත්ත්වයක්. ජනගහණ ඝණත්වය වැඩි එම දිස්ත්‍රික්ක වල සහල් පරිභෝජනය ඉහළ මට්ටමක තිබුණත් ඊට සාපේක්ෂව ප්‍රමාණවත් සහල් නිෂ්පාදනයක් සිදු වන්නේ නැහැ. ඒ ප්‍රදේශ වල ජීවත් වන බොහෝ දෙනෙකුට අවශ්‍ය වන්නේ හැකි අඩුම මිලට සහල් මිල දී ගැනීමටයි. රටේ දේශපාලන බලය තිබෙන්නේද මේ පිරිස අතේ බැවින් "වී වෙනුවට රෝස" ව්‍යාපෘතියට නොමැති දේශපාලන බලයක් "සහලින් ස්වයංපෝෂිත රටක්" ව්‍යාපෘතියට ලැබී තිබෙන්නේ ඇයි කියන එකත් විමසා බැලීම වටින කරුණක්.

මෙහිදී බොහෝ දෙනෙකු පටලවා ගෙන තිබෙන කරුණ වනුයේ "හැකි තරම් අඩුවට භාණ්ඩ මිල දී ගැනීම මහින් ආනයන ආදේශනය" සහ "වෙළඳපොළ විවෘත කිරීම" කියන්නේ වෙනස් කරුණු දෙකක් බවයි. ආනයන සඳහා වෙළඳපොළක් විවෘත කළ පමණින් රටක දේශීය නිෂ්පාදනය නැති වී යන්නේ නැහැ. ඒ වගේම, වෙළඳපොළක් විවෘත කිරීමේ අරමුණ පුළුල් අර්ථයකින් දේශීය නිෂ්පාදන රැක ගැනීමම මිස දේශීය නිෂ්පාදන විනාශ කිරීම නෙමෙයි.  

රටක වෙළඳපොළක් විවෘත කර තබා ගැනීමේ ප්‍රධානම වාසිය වනුයේ එවැනි රටකට ලෝක මට්ටමේදී තරඟකාරී ලෙස නිෂ්පාදනය කළ හැකි වීමයි. ලෝකයේ රටවල් අතරින් වඩාත්ම විවෘත ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරන රටක් සේ සැලකිය හැකි ඇමරිකා එක්සත් ජනපදය ලෝකයේ විශාලතම ජාතික ආර්ථිකය සතු රටද වන්නේ මේ නිසා. ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් විවෘත ආර්ථික ප්‍රතිපත්තිය පසෙක ලා ආරක්ෂණවාදී ප්‍රතිපත්ති වෙත පසු බැසීමට ඇමරිකාව නොපැකිළෙන බව මේ දවස් වල ඇමරිකාව දෙස බලා සිටි ඕනෑම කෙනෙකුට පෙනුණු දෙයක්. රටක වෙළඳපොළක් හැකි තරම් බාහිර තරඟයට විවෘත කළ යුතු වුනත්, එසේ කිරීමේ අරමුණ විය යුත්තේ තරඟයට නිරාවරණය කිරීම මගින් කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීම මිස කර්මාන්තය විනාශ කර ගෙන ඉල්ලං කෑම නෙමෙයි. 

සියලුම මිනිසුන්ට පොදු "මිනිස් ගුණ" තිබුණත්, එක් එක් මිනිසා වෙනස් මිනිසෙක්. ඒ වගේම, සියලුම වෙළඳපොළ වලට පොදු මූලික ලක්ෂණ ගණනාවක් තිබුණත්, එක් එක් වෙළඳපොළ වෙනස් වෙළඳපොළක්. එක් එක් වෙළඳපොළ සතු අනන්‍ය ලක්ෂණ තිබෙනවා. 

නූතන ආර්ථික විද්‍යාවේ මූලික ආකෘතියක් වන ඉල්ලුම්-සැපයුම් ආකෘතිය කියන්නේ ආර්ථික විද්‍යා විෂය ඉගැන්වීමේදී යොදා ගන්නා එක් මූලික හා සරල ආකෘතියක් පමණයි. ඒ ආකෘතිය පමණක් ඇසුරෙන් ආර්ථිකය තේරුම් ගත හැකියැයි සිතීම හෝඩිය ඉගෙන ගැනීමෙන් පසුව භාෂා විශාරදයෙකුයැයි සිතීමට වඩා වෙනස් නැහැ. "අර වෙළඳපොලට එහෙමනම්, මේ වෙළඳපොළට එහෙම නැත්තේ ඇයි?" වගේ ප්‍රශ්න සමහර අයට මතු වන්නේ ආර්ථික විද්‍යාව ඉගැන්වීමේදී මුලින්ම උගන්වන සරල ඉල්ලුම්-සැපයුම් ආකෘතිය ගැන දැන ගැනීමෙන් පසුව ආර්ථික විද්‍යාව කියා ඊට වඩා දෙයක් නැතැයි සිතන නිසා. කෙසේ වුවත්, එවැනි ප්‍රශ්න මතු කරන එක හොඳ දෙයක්. 

වෙළඳපොළ ක්‍රමය තුළ හැම විටම තරඟකාරී වෙළඳපොළවල් හැදෙන්නේ නැහැ. එය කිසියම් භාණ්ඩයක නිෂ්පාදන තාක්ෂනය ඇතුළු වෙනත් කරුණු ගණනාවක් මත තීරණය වන්නක්. වෙළඳපොළ ක්‍රමය තුළ කතිපයාධිකාර මෙන්ම ඇතැම් විට ඒකාධිකාරද හැදෙන එක සාමාන්‍ය, නෛසර්ගික තත්ත්වයක්. ඒ වගේම, වෙළඳපොළ යාන්ත්‍රණය පරිපූර්ණ එකක් නෙමෙයි. එය අකාර්යක්ෂම විය හැකි විවිධ හේතු තිබෙනවා. වෙළඳපොළක් අකාර්යක්ෂම විය හැකි එකම හේතුව රාජ්‍ය මැදිහත්වීම් නොවන්නාක් මෙන්ම රාජ්‍ය මැදිහත්වීම මගින් වෙළඳපොළක් වඩා කාර්යක්ෂම කරගත හැකි තත්ත්වයන්ද ඕනෑ තරම් තිබෙනවා. 

තරඟකාරී ජාත්‍යන්තර වෙළඳපොළකට නිරාවරණය කිරීම මගින් දේශීය කර්මාන්තයක් වඩා කාර්යක්ෂම හා තරඟකාරී කරගත හැකියි. ජාත්‍යන්තර සහල් වෙළඳපොළ එවැනි තරඟකාරී වෙළඳපොළක්ද?

ලෝක සහල් පරිභෝජනය (2023/24 වර්ෂය සඳහා USDA-FAS PS&D දත්ත අනුව) මෙට්‍රික් ටොන් මිලියන 520ක්. එයින් ආනයන ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 53ක් පමණයි. මීට හේතුව ලෝකයේ සහල් පරිභෝජන අවශ්‍යතාවයෙන් 90%ක් පමණම දේශීයව සිදු වීමයි. වෙනත් වසරක් සැලකුවද දැකිය හැක්කේ මීට සමාන තත්ත්වයක්. අස්වනු හොඳ මට්ටමක ඇති වසරකදී ලෝක සහල් නිෂ්පාදිතයෙන් 10%කට ආසන්න ප්‍රමාණයක් අපනයනය කෙරෙන අතර අස්වනු අඩු මට්ටමක ඇති විට මෙම ප්‍රමාණය තවත් පහත වැටෙනවා.

සහල් යනු ලෝකයේ වැඩිම පිරිසකගේ ප්‍රධාන ආහාරය වන අතර විශේෂයෙන්ම ආසියානු කලාපයේ ප්‍රධානම ආහාරයයි. සාමාන්‍යයෙන් කිසියම් ප්‍රදේශයක ජනතාවගේ ප්‍රධාන ආහාරය වන්නේ එම ප්‍රදේශයේ පහසුවෙන් වැවෙන දෙයක්. ලෝකයේ වැඩිපුරම සහල් නිෂ්පාදනය වන කලාපය වන්නේද ආසියාවයි. ලෝකයේ ජනගහණය වැඩිම රටවල් දෙක වන ඉන්දියාව හා චීනය තිබෙන්නේ මෙම ආසියානු කලාපයේ වනවා පමණක් නොව එම එක් එක් රටේ වැඩි කොටසක ප්‍රධාන ආහාරය වන්නේ සහල්. එබැවින් ලෝකයේ සමස්ත සහල් පරිභෝජන අවශ්‍යතාවයෙන් බාගයක්ම චීනයේ හා ඉන්දියාවේ සහල් පරිභෝජන අවශ්‍යතාවයයි.

ලෝක සහල් පරිභෝජනයෙන් 51%කට වග කියන චීනය හා ඉන්දියාව හැරුණු විට වැඩියෙන්ම සහල් පරිභෝජනය කරන රටවල් වන්නේ බංග්ලා දේශය, ඉන්දුනීසියාව සහ වියට්නාමයයි. මෙම ප්‍රධාන රටවල් පහ ලෝක සහල් පරිභෝජනයෙන් 69%කට වග කියනවා. පහත තිබෙන්නේ 2023/24 වර්ෂයේදී වැඩිපුරම සහල් පරිභෝජනය කළ රටවල්.

1. චීනය - මෙට්‍රික් ටොන් මිලියන  148.1 (28.5%)

2. ඉන්දියාව - මෙට්‍රික් ටොන් මිලියන  116.4 (22.4%)

3. බංග්ලා දේශය - මෙට්‍රික් ටොන් මිලියන  37.6 (7.2%)

4. ඉන්දුනීසියාව - මෙට්‍රික් ටොන් මිලියන  36.1 (6.9%)

5. වියට්නාමය - මෙට්‍රික් ටොන් මිලියන  22.4 (4.3%)

6. පිලිපීනය - මෙට්‍රික් ටොන් මිලියන  16.6 (3.2%)

7. තායිලන්තය - මෙට්‍රික් ටොන් මිලියන  12.3 (2.4%)

8. මියන්මාරය - මෙට්‍රික් ටොන් මිලියන  9.8 (1.9%)

අනෙකුත් සියලුම රටවල් - මෙට්‍රික් ටොන් මිලියන  120.5 (23.2%)

චීනය සහ ඉන්දියාව බිලියන 1.4ක ජනගහණයකට ආහාර සැපයීමේ අභියෝගය දරාගෙන සිටින රටවල්. එවැනි විශාල ජනගහණයක් සිටින රටක් තමන්ගේ ප්‍රධාන ආහාරය වෙනත් රටකින් ආනයනය කිරීම කිසිසේත්ම ප්‍රායෝගික කරුණක් නෙමෙයි. ඒ නිසා, ලෝකයේ සහල් නිපදවන රටවල් අතරින්ද ඉදිරියෙන්ම සිටින්නේ එම රටවල් දෙකයි. එම ප්‍රධාන රටවල් දෙකට අමතරව ලෝකයේ වැඩියෙන්ම සහල් පරිභෝජනය කරන අනෙකුත් රටවල්ද දේශීය වශයෙන් සහල් නිපදවා ගැනීම සඳහා යොමු වී ඇති බැවින් ලෝකයේ වැඩියෙන්ම සහල් නිපදවන රටවල් වන්නේද ඉහත රටවල්මයි. පහත තිබෙන්නේ 2023/24 වර්ෂයේදී වැඩිපුරම සහල් නිපදවූ රටවල්.

1. චීනය - මෙට්‍රික් ටොන් මිලියන 144.6 (28.3%)

2. ඉන්දියාව - මෙට්‍රික් ටොන් මිලියන 137.8 (22.3%)

3. බංග්ලා දේශය - මෙට්‍රික් ටොන් මිලියන  37.0 (7.2%)

4. ඉන්දුනීසියාව - මෙට්‍රික් ටොන් මිලියන 33.0 (6.9%)

5. වියට්නාමය - මෙට්‍රික් ටොන් මිලියන 26.3 (4.3%)

6. තායිලන්තය - මෙට්‍රික් ටොන් මිලියන 20.0 (2.4%)

7. පිලිපීනය - මෙට්‍රික් ටොන් මිලියන 12.3 (3.2%)

8. මියන්මාරය - මෙට්‍රික් ටොන් මිලියන 11.9 (1.9%)

අනෙකුත් සියලුම රටවල් - මෙට්‍රික් ටොන් මිලියන 123.3 (23.6%)

මේ අනුව පැහැදිලි වන්නේ, පරිභෝජනය අනුව බැලුවත්, නිෂ්පාදනය අනුව බැලුවත්, ලෝක සහල් වෙළඳපොළ කියන්නේ ආසියානු කලාපයේ පිහිටි ඉහත රටවල් අට බවයි. එම රටවල් අටේ වෙළඳපොළ පංගුව හතරෙන් තුනකටත් වඩා වැඩියි. ඒ නිසා, මේ රටවල් වල සහල් වෙළඳපොළ මග හැර ලෝක සහල් වෙළඳපොළ ගැන කතා කිරීමේ හැකියාවක් නැහැ. එම රටවල් අතරින්ද චීනය සහ ඉන්දියාව ප්‍රධානයි. 

එසේ වුවද, ඊළඟ වැදගත් කාරණය වන්නේ සහල් පරිභෝජනය කරන සෑම ප්‍රධාන රටක්ම සහලින් ස්වයංපෝෂිතව සිටීම පිණිස මහත් පරිශ්‍රමයක් දරන බවයි. ඉහත රටවල් අතරින් ඉන්දියාව, වියට්නාමය, තායිලන්තය සහ මියන්මාරය සහල් අපනයනය කරන අතර ඉතිරි රටවල් වල සහල් අවශ්‍යතාවයෙන් වැඩි කොටසක් රට තුළම නිපදවා ගන්නවා.

චීනය - 97.6%

බංග්ලා දේශය - 98.4%

ඉන්දුනීසියාව - 91.5%

පිලිපීනය - 74.2%

මෙහිදී කිව යුත්තේ මේ රටවල් බොහොමයක් මෙන්ම සහලින් ස්වයංපෝෂිතව සිටින ඉන්දියාව වැනි රටවල්ද සිය දේශීය සහල් නිෂ්පාදනය ඉහළ මට්ටමක පවත්වා ගන්නේ කර්මාන්තය විශාල ලෙස සුබසාධනය කිරීම මගින් බවයි. එසේ කිරීමේ අරමුණ ආහාර සුරක්ෂිතතාවය පවත්වා ගැනීමයි. 

ලෝකයේ වැඩිපුරම සහල් පරිභෝජනය කරන, එමෙන්ම වැඩිපුරම සහල් නිපදවන රට වන චීනය යනු තව දුරටත් 1952දී ලංකාව සමඟ රබර්-සහල් ගිවිසුම අත්සන් කළ රට නෙමෙයි. මේ වෙද්දී චීනය විශාල ලෙස කාර්මීකරණය වී ඇති රටක්. ගම් වල සිටි ගොවීන් දැන් නගර වලට සංක්‍රමණය වෙලා. ඒ වගේම, ඉතිරි වෙලා ඉන්න ගොවීනුත් "වී වෙනුවට රෝස" වවන්න පෙළඹිලා. රෝස කෙසේ වුවත්, ඔවුන් ඩ්‍රැගන් ෆ්‍ර්රුට්, නෙලුම් අල වැනි මුදල් භෝග වවනවා. මේ දේවල් කියන්නේ අන්තර්ජාලයෙන් ඉගෙන ගෙන නෙමෙයි. චීන කෘෂි-ආර්ථික පර්යේෂකයින් එක්ක සමීපව කටයුතු කරන අයෙක් ලෙසයි. රැකියා අවස්ථා වැඩි වෙද්දී ලංකාවේ වී ගොවීනුත් කරනු ඇත්තේ ඔය වැඩේම තමයි. ඒ සඳහා අමුතු පෙළඹවීමක් අවශ්‍ය වෙන එකක් නැහැ.

චීනය කියන්නේ කොමියුනිස්ට් පක්ෂයක් විසින් මධ්‍යගත සැලසුමකට අනුව පාලනය කරන ආර්ථිකයක් තිබෙන රටක්. දේශීය නිෂ්පාදිතය ඉහළ මට්ටමක පවත්වා ගැනීම මගින් රටේ ආහාර සුරක්ෂිතතාව පවත්වා ගැනීම චීන ආර්ථික සංවර්ධන සැලසුමේ ප්‍රධාන අංගයක්. මේ අනුව, චීනය විවිධ ආකාර වලින් වී ගොවිතැන සුබසාධනය කරනවා.එමගින් දේශීය සහල් නිෂ්පාදිතය පරිභෝජන අවශ්‍යතාවයට ආසන්න මට්ටමක පවත්වා ගන්නවා. කෙසේ වුවත් චීනය තව දුරටත් ශුද්ධ වශයෙන් සහල් අපනයනය කරන රටක් නෙමෙයි.

මේ වන විට ලෝක සහල් වෙළඳපොළ තුළ අපනයනකරුවෙකු ලෙස කැපී පෙනෙන භූමිකාවක් ඉටු කරන්නේ අසල්වැසි ඉන්දියාවයි. ඉන්දියාවට ලෝක සහල් වෙළඳපොළ තුළ විශාල බලපෑමක් කළ හැකියි. ලෝක වෙලඳ සංවිධානයේ දත්ත අනුව 2023 වර්ෂයේදී ලෝකයේ රටවල් 124ක්ම ශුද්ධ වශයෙන් සහල් ආනයනය කළත්, ශුද්ධ වශයෙන් සහල් අපනයනය කරන රටවල් තිබුණේ 23ක් පමණයි. මෙම රටවල් 23 විසින් සිදු කළ ශුද්ධ සහල් අපනයනය මෙට්‍රික් ටොන් මිලියන 30.2ක් පමණයි. එනම් ලෝක සහල් පරිභෝජනයෙන් 5.8%ක් පමණයි.

පහත තිබෙන්නේ 2023දී ශුද්ධ වශයෙන් සහල් අපනයනය කළ ලෝකයේ ප්‍රධාන රටවල්. එනම්, සහල් අතිරික්තයක් තිබුණු ප්‍රධාන රටවල්.

1. ඉන්දියාව - මෙට්‍රික් ටොන් මිලියන 16.3 (54.1%)

2. තායිලන්තය - මෙට්‍රික් ටොන් මිලියන 7.6 (25.3%)

3. පකිස්ථානය - මෙට්‍රික් ටොන් මිලියන 3.2 (10.7%)

අනෙකුත් සියලුම රටවල් - මෙට්‍රික් ටොන් මිලියන 3.0 (9.9%)

කවර හෝ හේතුවක් නිසා, ශුද්ධ වශයෙන් සහල් අපනයනය කරන ප්‍රධාන රටක් වන වියට්නාමය හා අදාළ සංඛ්‍යාලේඛණ මෙහි ඇතුළත්ව නැහැ. එම ප්‍රමාණයද මෙට්‍රික් ටොන් මිලියන 3-4 අතර ප්‍රමාණයක්. මේ අනුව පැහැදිලි වන පරිදි, ජාත්‍යන්තර සහල් වෙළඳපොළ යනු ඉහත රටවල් තුන සහ වියට්නාමයයි. මෙම රටවල් හතරට අමතරව, සෑම වෙළඳපොළකටම මෙන් කිසියම් බලපෑමක් කරන ඇමරිකා එක්සත් ජනපදයද ලෝක සහල් වෙළඳපොළට යම් බලපෑමක් කළ හැකි රටක්. ඊට හේතුව ශුද්ධ වශයෙන් සහල් අපනයනය කරන්නේ අඩුවෙන් වුවත්, ආනයන හා අපනයන දෙකම සිදු කරන බැවින් ඇමරිකා එක්සත් ජනපදයේ වෙළඳ පරිමාව ඉහළ මට්ටමක පැවතීමයි.

ඉහත රටවල් අතරින් ප්‍රධානම රට වන ඉන්දියාවේ විශේෂත්වය වන්නේ ඉන්දියාව අපනයනය මූලික ඉලක්කය කරගෙන සහල් නිපදවන රටක් නොවීමයි. චීනය වැනි රටවල් මෙන්ම ඉන්දියාව විසින්ද වී වගාව ප්‍රවර්ධනය කරන්නේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කර ගැනීමේ මූලික අරමුණ පෙරදැරිවයි. ඉන්දියානු සහල් අපනයන යනු මෙම අරමුණ කරා යාමේ අතුරු ප්‍රතිඵලයක් පමණයි. ඒ නිසා, විශාල ලෙස සුබසාධනය කිරීම මගින් ආරක්ෂා කෙරෙන ඉන්දියාවේ සහල් කර්මාන්තය එලෙස පවත්වා ගැනීම සඳහා අස්වනු අධික වසර වලදී ඉන්දියාව විසින් අඩු මිලට ජාත්‍යන්තර සහල් වෙළඳපොළට සහල් සපයන (ඩම්ප් කරන) නමුත් අස්වනු සීමා වන වසර වලදී අපනයන පාලනය කිරීමට ඉන්දියාව පැකිලෙන්නේ නැහැ. මෙහි ප්‍රතිඵලය වනුයේ සමස්ත ලෝක සහල් නිෂ්පාදිතයට හා පරිභෝජනයට සාපේක්ෂව කුඩා වෙළඳපොළක් වන ජාත්‍යන්තර සහල් වෙළඳපොළ තුළ මිල ගණන් නිරන්තරයෙන් විශාල ලෙස උච්ඡාවචනය වීමයි.

මතු සම්බන්ධයි.

Saturday, February 1, 2025

සහල් වෙළඳපොළ තුලනය වන හැටි...


ලංකාවේ සහල් වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම පිළිබඳ වැදගත් මූලික නිරීක්ෂණ කිහිපයක් පසුගිය ලිපියක තිබෙනවා. සාමාන්‍ය වසරකදීනම් රටේ මුළු සහල් අවශ්‍යතාවයම මෙන් දේශීය වශයෙන් සැපිරෙනවා. එවැනි වසරකදී වුවද, විශේෂ සහල් වර්ග රටට ආනයනය කෙරෙන නමුත් එසේ ආනයනය කෙරෙන්නේ දේශීය සහල් වර්ග සඳහා ආදේශක සේ නොසැලකිය හැකි මිල අධික සහල් වර්ගයි.

වෙළඳපොලේ සහල් වර්ග ගණනාවක් තිබෙනවා. එම සහල් වර්ග විවිධ මිල ගණන් වලට විකිණෙනවා. පාරිභෝගිකයින් විසින් එම සහල් වර්ග අතරින් තෝරා ගැනීමක් කරනවා. එහිදී ඔවුන් සාධක දෙකක් සලකා බලනවා. පළමුවැන්න විවිධ සහල් වර්ග සඳහා ඔවුන්ගේ රුචිකත්වයයි. දෙවැන්න විවිධ සහල් වර්ග වල මිලයි. 

පාරිභෝගිකයෙකුගේ සහල් රුචිකත්ව අනුපිළිවෙළ අනන්‍ය එකක්. දකුණේ බොහෝ දෙනෙකුගේ පළමු තේරීම රතු කැකුළු සහල් වෙද්දී, යාපනයේ ප්‍රමුඛ තේරීම රතු නාඩු සහලයි. බදුල්ලේ වැඩි කැමැත්ත සුදු කැකුළු වලට වෙද්දී කොළඹ පළමු මනාපය සම්බා සහලයි. එහෙත් රටේම වැඩිපුරම විකිණෙන්නේ සුදු නාඩු සහලයි. 

සහල් මිල දී ගැනීම සඳහා වෙළඳසැලකට යන පාරිභෝගිකයෙකු විසින් මුලින්ම සොයන්නේ තමන් වැඩියෙන්ම කැමති සහලයි. එහෙත් එයින් අදහස් වන්නේ අනිවාර්යයෙන්ම එම සහල මිල දී ගන්නා බව නෙමෙයි. මිල දී ගැනීමේ තීරණයට සහල් වර්ග වල සාපේක්ෂ මිල ගණන්ද බලපානවා. තමන් වඩාත්ම කැමති සහල මිල අඩුම සහලනම් වෙනත් සහලක් තෝරා ගැනීමට කිසිම හේතුවක් නැහැ. නමුත් තමන් වඩාත්ම කැමති සහල මිල අඩුම සහල නොවේනම් මිල සහ රුචිකත්ව අනු පිළිවෙළ අතර තේරීමක් කරන්නට පාරිභෝගිකයෙකුට සිදු වෙනවා.

උදාහරණයක් ලෙස රුචිකත්ව අනු පිළිවෙළ සහ වෙළඳපොළ මිල පහත පරිදියැයි සිතමු.

1. රතු කැකුළු - රුපියල් 240

2. රතු කැකුළු සම්බා - රුපියල් 250

3. සුදු කැකුළු - රුපියල් 230

4. සුදු කැකුළු සම්බා - රුපියල් 240

5. සුදු නාඩු - රුපියල් 230

දැන් මේ පාරිභෝගිකයාට රතු කැකුළු සම්බා මිල දී ගැනීමට කිසිදු තර්කානුකුල හේතුවක් නැහැ. ඊට වඩා අඩු මිලකට වඩා කැමති සහල් වර්ගයක් මිල දී ගත හැකියි. එමෙන්ම, සුදු කැකුළු සම්බා හෝ සුදු නාඩු මිල දී ගැනීමටද හේතුවක් නැහැ. ඊට හේතුව එකම මිලට ඊට වඩා කැමති සහල් වර්ගයක් වෙළඳපොළේ තිබීමයි. නමුත්, රතු කැකුළු සහ සුදු කැකුළු අතරින් තේරීමක් කිරීම ඒ තරම්ම පහසු නැහැ. 

රතු කැකුළු වඩාත්ම කැමති සහල වුවත්, අඩුවෙන් කැමති සුදු කැකුළු වල මිල රුපියල් දහයක් අඩුයි. ඒ නිසා, කළ යුත්තේ රුපියල් දහයක් වැඩියෙන් ගෙවා වඩා කැමති සහල මිල දී ගැනීමද එසේ නැත්නම් අඩු මිලකට අඩු කැමැත්තක් තිබෙන සහල් වර්ගය මිල දී ගැනීමද? 

මෙය තීරණය වන්නේ සුදු කැකුළු වලට සාපේක්ෂව රතු කැකුළු වලට තිබෙන කැමැත්ත කෙතරම් ප්‍රබලද යන්න මතයි. එම කැමැත්ත ඉතා ප්‍රබලනම් පාරිභෝගිකයෙකු විසින් සැලකිය යුතු වැඩි මිලක් ගෙවන්නට පෙළඹෙනවා. නමුත් එය තරමක් වැඩි කැමැත්තක්නම්, මිල වෙනස සැලකිල්ලට ගෙන සුදු කැකුළු මිල දී ගන්නවා. ඒ නිසා, වෙළඳපොළ හැසිරීම් දෙස බලා අපට විවිධ සහල් වර්ග සඳහා තිබෙන පාරිභෝගික කැමැත්ත ගැන නිශ්චිතවම කියන්න බැහැ, නමුත් අදහසක් ගන්න පුළුවන්. 

මිල අඩුනම් හෝ මිල වැඩි වුවත් මිල පරතරය අඩුනම් පාරිභෝගිකයෙකු විසින් තමන්ගේ පළමු කැමැත්ත තෝරා ගන්නවා. එහෙත් මිල පරතරය ඉහළ යද්දී දෙවන හෝ තෙවන කැමැත්ත තෝරා ගැනීමට පෙළඹෙනවා. මෙය සාමාන්‍ය පාරිභෝගික හැසිරීමයි. ඒ අනුව, එක් එක් වර්ගයෙන් විකිණෙන සහල් ප්‍රමාණය තීරණය වෙනවා.

සාමාන්‍ය වසරකදීනම් ඉහත සහල් ප්‍රමාණය වෙළඳපොළට පැමිණෙන්නේ රට ඇතුළෙන්මයි. ආනයන සිදු වන්නේ ඉතා අඩුවෙන්. සහල් පරිභෝජනය වගේම සහල් සැපයුමද සමජාතීය නැහැ. සහල් සැපයුමේ සංයුතිය තීරණය වන්නේ කෙසේද?

සහල් නිපදවන්නන් එසේ කරන්නේ තමන්ට උපරිම ලාබයක් ලැබෙන පරිදියි. කැකුළු සහල් නිපදවීම වැනි වෙනස්කම් සිදු වන්නේ පසු-අස්වනු අදියරකදී වුවත් සහල් සැපයුමේ විවිධත්වය පටන් ගන්නේ වී වගා කරන අවස්ථාවේදීමයි. වී ගොවියෙකු විසින් වගා කරන වී වර්ගය තෝරා ගන්නේ කොහොමද?

මේ සඳහා කරුණු ගණනාවක් බලපානවා. අදාළ ප්‍රදේශයේ කාලගුණ තත්ත්වය, පසේ ස්වභාවය ආදිය අනුව වෙනස් වන අපේක්ෂිත අස්වැන්න සහ විකිණිය හැකි මිල ඒ අතරින් ප්‍රධානයි. අස්වැන්න අඩු, මිලද අඩු වී වර්ගයක් වගා කිරීම සඳහා තෝරා ගැනීමට කිසිම හේතුවක් නැහැ. එහෙත් අස්වනු අඩු මිල වැඩි සහල් වර්ගයක් සහ අස්වනු වැඩි මිල අඩු සහල් වර්ග දෙකක් අතර තේරීමක් තිබෙනවා. වෙළඳපොළ මිල වෙනස අනුව මේ තේරීමද වෙනස් වෙනවා. 

මේ අනුව පෙනී යන්නේ සහල් ඉල්ලුමේ සංයුතිය මෙන්ම සහල් (වී) සැපයුමේ සංයුතිය කෙරෙහිද එක් එක් සහල් වර්ගය අලෙවි වන මිල බලපාන බවයි. කිසියම් සහල් වර්ගයක මිල අනෙක් සහල් වර්ග වලට සාපේක්ෂව ඉහළ යද්දී එම සහල් වර්ගය සඳහා ඉල්ලුම අඩු වෙනවා. ඊට හේතුව කිසියම් පිරිසක් එම සහල් වර්ගය අතහැර තමන්ගේ දෙවන තේරීම වෙත යාමයි. නමුත් එසේ වෙද්දී කිසියම් වී ගොවීන් පිරිසක්ද මිල අඩු සහල් වර්ගය හදන වී වර්ගය අත හැර මිල වැඩි සහල් වර්ගය හදන වී නිපදවන්නට පෙළඹෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මිල අඩු සහල් වර්ගයේ සැපයුම අඩු වී මිල වැඩි සහල් වර්ගයේ සැපයුම ඉහළ යනවා. ඒ හේතුවෙන් මිල පරතරය අඩු වෙනවා.

ලංකාවේ ජනප්‍රිය සහල් වර්ග සඳහා තිබෙන රුචිකත්වයන් කාලයත් සමඟ ඉතා ඉක්මණින් වෙනස් වෙන්නේ නැහැ. දකුණේ රතු කැකුළු කා හැදුනු පවුලක අයෙකු මහනුවරට ගොස් පදිංචි වුනත් රතු කැකුළු රුචිකත්වය වහාම නැති වෙන්නේ නැහැ. ඒ නිසා, රටේ සහල් ඉල්ලුමේ සංයුතිය බොහෝ දුරට පොදු දැනුමක්. මේ පොදු දැනුම මත පදනම්ව සැපයුම කාලයක් තිස්සේ සකස් වී තිබෙනවා. ඒ නිසාම, විවිධ සහල් වර්ග වල මිල ගණන් අතර වෙනස්කම් ඒ තරම්ම විශාල නැහැ.

දෙදහස් විසි තුන (2023) වසරේදී සහල් ආනයන ලංකාවේ සහල් පරිභෝජනයෙන් 1%කටත් වඩා අඩුයි. එම වසර සාමාන්‍ය වසරක්. 2023 ජනවාරි තෙවන සතියේදී විවිධ සහල් වර්ග වල සිල්ලර මිල ගණන් පැවතුණේ පහත පරිදියි.

දේශීය සහල් වර්ග:

රතු කැකුළු - රුපියල් 215.00

සුදු කැකුළු - රුපියල් 211.67

රතු නාඩු - රුපියල් 233.82

සුදු නාඩු - රුපියල් 215.68

සම්බා - රුපියල් 233.88

ආනයනික සහල් වර්ග:

රතු කැකුළු - නැත

සුදු කැකුළු - රුපියල් 190.71

රතු නාඩු - නැත

සුදු නාඩු - රුපියල් 200.43

සම්බා - රුපියල් 222.67

මේ ඇසුරෙන් අපට නිරීක්ෂණ කිහිපයක් කළ හැකියි. පළමුව, රතු කැකුළු සහ රතු නාඩු සඳහා වෙළඳපොළේ ආනයනික ආදේශක තිබී නැති බවයි. දෙවැන්න, ආනයනික සහල් දේශීය සහල් වලට වඩා අඩු මිලකට වෙළඳපොළේ විකිණී ඇති බවයි. තෙවැන්න, විවිධ දේශීය සහල් වර්ග අතර මිල පරතරය ඒ තරම්ම විශාල නැති බවයි.

ආනයනික සහල් වර්ග අඩු මිලකට විකිණෙන්නේ ඉන්දියාව වැනි ඇතැම් රට වල එම සහල් වර්ග වල මිල අඩු නිසා. මෙසේ රුපියල් 10-20 අතර අඩු මිලකට ආනයනික සහල් විකිණෙන්නේ රජය විසින් බද්දක් අය කිරීමෙන්ද පසුවයි. එහෙත්, ඒ සමඟම නිරීක්ෂණය කළ යුත්තේ රතු සහල් වර්ග ඒ අයුරින් ආනයනය නොකෙරෙන බවයි. ඊට හේතුව එම සහල් වර්ග ආනයනය කර ලංකාවේ වෙළඳපොළ මිලට විකිණීය නොහැකි වීමයි.

ආනයනික සහල් වර්ග රුපියල් 10-20 පමණ මිල අඩු වුවද දේශීය සහල් වෙළඳපොළේ විකිණුනේ දේශීය සහල් වර්ග සඳහා වන ඇබ්බැහිය එවැනි මිල වෙනසක පාඩුවට වඩා ප්‍රබල නිසයි. මේ අවස්ථාවේදී (2023 ජනවාරි) බදු අඩු කර ආනයනික සහල් මීටත් වඩා අඩු මිලකට විකිණෙන්නට හැරියේනම්, දේශීය සහල් විකුණා ගැනීම අසීරු වී මිල අඩු කරන්නට සිදු වෙනවා. එසේ වීනම්, එය ඊළඟ වර්ෂයේ වී නිෂ්පාදනය කෙරෙහි අහිතකර ලෙස බලපානවා. නමුත්, රුපියල් 10-20 අතර මිල වෙනසක් එවැනි හානියකට තුඩු දුන්නේ නැහැ. එම මිල වෙනස තිබියදීද රටේ නිපදවනු ලැබූ සහල් ටික ප්‍රශ්නයක් නැතිව වීකිණුනා. 

මීට සාපේක්ෂව 2022 වර්ෂය සහල් සැපයුම හා අදාළව සාමාන්‍ය වර්ෂයක් නෙමෙයි. එම වර්ෂයේදී රට තුළ නිපදවුනේ රටේ සහල් අවශ්‍යතාවයෙන් 75.8%ක් පමණයි. අඩුව පිරවීම සඳහා සහල් ආනයනය කෙරුණා. 2022 ජනවාරි තෙවන සතියේදී පැවති මිල ගණන් මෙසේයි. 

දේශීය සහල් වර්ග:

රතු කැකුළු - රුපියල් 165.83

සුදු කැකුළු - රුපියල් 163.05

රතු නාඩු - රුපියල් 158.46

සුදු නාඩු - රුපියල් 162.58

සම්බා - රුපියල් 173.93

ආනයනික සහල් වර්ග:

රතු කැකුළු - නැත

සුදු කැකුළු - රුපියල් 131.28

රතු නාඩු - නැත

සුදු නාඩු - රුපියල් 137.71

සම්බා - රුපියල් 139.31

මේ අනුව අපට පෙනෙන පළමු කරුණ විවිධ දේශීය සහල් වර්ග වල මිල ගණන් අතර ලොකු වෙනසක් නැති බවයි. එහෙත් ආනයනික සහල් වර්ග විකිණී තිබෙන්නේ රුපියල් 25-35 අතර අඩු මිලකටයි. ආනයනික සහල් එපමණ අඩු මිලකට විකිණෙද්දී දේශීය සහල් මිල අඩු නොවුනේ ඇයි?

මීට හේතුව තමන් කැමති හාල් වර්ගයට තිබෙන ඇබ්බැහිය සහ ඒ ඇබ්බැහිය වෙනුවෙන් වැඩි මිලක් ගෙවන්නට මිනිසුන්ගේ තිබෙන කැමැත්තයි. පෙර කී පරිදි, 2022 රටේ සහල් සැපයුම 25%කින් අඩු වූ වසරක්. මෙම අඩුවීම රතු කැකුළු කෙරෙහි අනුපාතිකව බලපෑවේයයි සිතමු. එසේනම් එහි ප්‍රතිඵලය වන්නේ සාමාන්‍යයෙන් රතු කැකුළු කන හතර දෙනෙකුගෙන් එක් අයෙකුට රතු කැකුළු කන්නට නොලැබෙන බවයි. වෙළඳපොළ මිල කීයක් වුවත් මෙහි වෙනසක් නැහැ.

රතු කැකුළු සැපයුම සීමිතයි. රතු කැකුළු වලට කැමති පිරිස වඩා වැඩියි. දැන් ඔවුන්ට රටේ තිබෙන සීමිත රතු කැකුළු ප්‍රමාණය සදහා තරඟ කරන්නට සිදු වෙනවා. රතු කැකුළු මිල වැඩි වන තරමට කලින් රතු කැකුළු කෑ යම් පිරිසක් අඩුවට තිබෙන වෙනත් හාල් වර්ගයකට මාරු වෙනවා. මිල යම් මට්ටමක් දක්වා ඉහළ යාමෙන් පසුව රතු කැකුළු වෙළඳපොළේ තිබුණත්, පාරිභෝගිකයින්ගෙන් 25%ක් වෙනත් හාල් වර්ගයක් මිල දී ගැනීමට පෙළඹෙනවා. එය ඔවුන්ගේ දෙවන හෝ තෙවන තේරීම වෙන්න පුළුවන්. කෙසේ වුවත් යම් පිරිසක් රතු කැකුළු ඉල්ලන එක නැවතුනු විට, රතු කැකුළු ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙනවා. ඒ නිසා, වෙළඳපොළේ රතු කැකුළු හිඟයක් ඇති වෙන්නේ නැහැ. මිල ගෙවන්නට කැමති අයට රතු කැකුළු අඩු නැතිව තිබෙනවා.

රතු කැකුළු වලට වගේම ආනයනික ආදේශක නොමැති රතු නාඩු වලටත් වෙන්නේ ඔය දේමයි. යම් මට්ටමකට මිල වැඩි වූ පසු, ඉල්ලුම 25%කින් අඩු වෙනවා. ඒ අයට ප්‍රමාණවත් සැපයුමක් රටේ තිබෙනවා.

මේ විදිහට මිල වැඩි වීම නිසා රතු කැකුළු හෝ රතු නාඩු අත හැර දෙවන තේරීම සොයන අය ඉන් පසු හොයන්නේ සුදු කැකුළු, සුදු නාඩු හෝ සම්බා වැනි වෙනත් දේශීය සහලක්. එහෙත්, ඒ සහල් වලද සැපයුම 25%කින් අඩු වෙලා. ඒ වගේම දැන් අමතර ඉල්ලුමකුත් ඇති වෙලා. මෙහි ප්‍රතිඵලය ඒ සහල් වර්ග වල මිලද ඉහළ යාමයි. 

රතු සහල් වර්ග වලට කැමති ප්‍රමාණය 30%ක් සහ ඉතිරි පිරිස 70%ක් යැයි සිතමු. දැන් රතු සහල් සැපයුම 22.5%ක් සහ අනෙක් දේශීය සහල් වර්ග සැපයුම 52.5%ක්. රතු සහල් පාරිභෝගිකයින් 7.5%ක් එකතු වූ විට අනෙක් සහල් සඳහා ඉල්ලුම 77.5% දක්වා ඉහළ යනවා. වෙළඳපොල සමතුලිත වීමටනම්, එම ප්‍රමාණය 52.5% දක්වා අඩු විය යුතුයි. ඒ කියන්නේ 25%ක් දේශීය සහල් අතහැර ආනයනික සහල් ඉල්ලා සිටිය යුතුයි. එය සිදු වන තුරු ආනයනික සහල් සහ දේශීය සහල් අතර මිල පරතරය වැඩි විය යුතුයි. 2022දී එම පරතරය රුපියල් 25-35 දක්වා ඉහළ ගොස් තිබෙන්නේත්, 2023දී රුපියල් 10-20 මට්ටමේ තිබෙන්නේත් 2022දී දේශීය සහල් ඉල්ලුම හා සැපයුම අතර සැලකිය යුතු පරතරයක් තිබීම සහ 2023දී එවැනි තත්ත්වයක් නොතිබීම නිසායි.

මිල පාලනය කිරීමේදී මෙන්ම බදු හා කෝටා හරහා වෙළඳපොළට මැදිහත්වීමේදීද වෙළඳපොළ විකෘතියක් සිදු වෙනවා. නමුත් මේ විකෘති වීම් වල බලපෑම් සමාන නැහැ. ආනයන බදු හා ආනයන කෝටා දැමීමෙන් පසුවද වෙළඳපොළ මිල සංඥාව නැති වී යන්නේ නැහැ. ඒ නිසා ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙනවා. බඩු හිඟ වෙන්නේ නැහැ. කළු කඩ ඇති වෙන්නේ නැහැ. නමුත් මිල පාලනය කළ විට මිල සංඥාව සම්පූර්ණයෙන්ම නැතිව යනවා. ඒ නිසා, ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙන්නේ නැහැ. බඩු හිඟ වෙනවා. කළුකඩ හැදෙනවා. දැන් සහල් වෙළඳපොළ ඇති වී තිබෙන්නේ එවැනි තත්ත්වයක්.

පහත තිබෙන්නේ 2025 ජනවාරි තෙවන සතියේදී පැවති තත්ත්වයයි.

දේශීය සහල් වර්ග:

රතු කැකුළු - රුපියල් 310.00

සුදු කැකුළු - රුපියල් 244.00

රතු නාඩු - රුපියල් 260.00

සුදු නාඩු - රුපියල් 238.33

සම්බා - රුපියල් 248.33

ආනයනික සහල් වර්ග:

රතු කැකුළු - නැත

සුදු කැකුළු - රුපියල් 223.33

රතු නාඩු - නැත

සුදු නාඩු - රුපියල් 226.67

සම්බා - රුපියල් 246.50

රතු කැකුළු සහල් සඳහා අඩු මිල ආනයනික ආදේශක නැහැ. අනුර කුමාර දිසානායකට අනුව රතු කැකුළු සහල් කිලෝවක් ආනයනය කිරීම සඳහා රුපියල් 380ක් වැය වෙනවා. හරියටම ගණන කීයක් වුවත් මේ කියන කතාව ඇත්ත. සුදු නාඩු සහල් අඩුවට ආනයනය කළ හැකි වුනත්, රතු කැකුළු අඩු මිලට ආනයනය කරන්න බැහැ. නමුත් මිල පාලනයක් නොතිබුනානම් මෙය ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. 2022දී රටේ හාල් හිඟයක් ඇති නොවුනේ ඒ නිසා.

මිල පාලනයක් නොතිබුණේනම්, රතු කැකුළු කන පිරිසක් රතු කැකුළු මිල දෙස බලා සුදු කැකුළු වලට මාරු වෙනවා. එවිට සුදු කැකුළු මිල ඉහළ ගොස් සුදු කැකුළු කෑ පිරිසක් අඩු මිලට තිබෙන ආනයනික සහල් වලට මාරු වෙනවා. වෙළඳපොළේ තව දුරටස් සෑම වර්ගයකම සහල් තියෙනවා.

මිල පාලනය නිසා ආනයනික සහල් රටට පැමිණියත් මේ ආදේශනය වුනේ නැහැ. රතු කැකුළු සාමාන්‍ය මිලටම විකිණුනා. ඒ නිසා, රතු කැකුළු වලට කැමති අය තව දුරටත් රතු කැකුළුම මිල දී ගත්තා. රතු කැකුළු වේගයෙන් ඉවර වුනා. ඉතිරි වී තිබෙන රතු කැකුළු සඳහා විශාල තරඟයක් තිබෙනවා. වැඩිම මිලක් ගෙවන්න කැමති අය රතු කැකුළු මිල දී ගන්නවා. හරි පාරෙන් බැරිනම් කළු කඩෙන් ගන්නවා. 

වෙළඳපොළේ රතු කැකුළු නැති නිසා රතු කැකුළු අහිමි වන අය තමන්ගේ දෙවන කැමැත්ත හොයනවා. ඒ නිසා, වෙනත් දේශීය හාල් වර්ග වල ඉල්ලුමද ඉහළ ගොස් තිබෙනවා. මිල පාලනය නිසා ඒ ඉල්ලුම අඩු වීමේ යාන්ත්‍රණයද ක්‍රියාත්මක වුනේ නැහැ. ඒ නිසා, අනෙකුත් සහල් වර්ගද හිඟ වී තිබෙනවා. 

Thursday, January 30, 2025

සහල් වෙළඳපොළ තනි වෙළඳපොළක් නොවේ!

විවිධ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රම තුළ ලංකාවේ සහල් වෙළඳපොළ ගතිකත්වයන් වෙනස් විය හැක්කේ කෙසේද? මෙය තේරුම් ගැනීම පිණිස අප විසින් පළමුව ලංකාවේ සහල් වෙළඳපොළෙහි ස්වභාවය මනා සේ හඳුනාගත යුතුයි.

- ලංකාවේ සහල් ඉල්ලුම බොහෝ දුරට දේශීයව සැපිරෙනවා. දිගුකාලීනව (2010-2023) රටේ සහල් නිෂ්පාදනය සහල් අවශ්‍යතාවයෙන් 93.2%ක් පමණ වෙනවා.

- ලංකාවෙන් අපනයනය කෙරෙන්නේ රටේ සහල් නිෂ්පාදීතයෙන් ඉතා සුළු කොටසක් (0.3%) පමණයි. මෙම සහල් ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලාංකික ඩයස්පෝරාව ඉලක්ක කර අපනයනය කෙරෙන අතර ඉතා ඉහළින් මිල කෙරෙනවා. 

- රටේ සහල් නිෂ්පාදනය හොඳ මට්ටමක ඇති විට පොදු පරිභෝජනය සඳහා සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. එහෙත්, එවැනි වසර වලදීද සහල් සුළු ප්‍රමාණයක් ආනයනය කෙරෙනවා. මෙසේ ආනයනය කෙරෙන්නේ බාස්මතී වැනි මිල අධික සහල් වර්ගයි. මෙම සහල් ඉල්ලුම සාමාන්‍යයෙන් රටේ සහල් ඉල්ලුමෙන් 1%කට වඩා අඩුයි.

- එහෙත් රටේ සහල් නිෂ්පාදනය අඩු වන වසර වලදී පොදු පොදු පරිභෝජනය සඳහා සහල් ආනයනය කිරීමට සිදු වෙනවා. මෙම අවශ්‍යතාවය රටේ සහල් ඉල්ලුමෙන් 25%ක් පමණ දක්වා ඉහළ යා හැකියි. 

- ඉහත පරිදි සහල් ආනයනය කෙරෙන්නේ රටේ සහල් සැපයුම අඩු වකවානු වලදී බැවින් එවැනි අවස්ථා වල සාමාන්‍යයෙන් දේශීය සහල් මිල තිබෙන්නේ ඉහළ මට්ටමකයි. ඒ නිසා, කලාපයේ රට වලින් ඊට වඩා අඩු මිලකට සහල් ආනයනය කළ හැකියි. 

කෙසේ වුවද, සහල් යනු සමීප ආදේශක ගණනාවක් හඳුන්වන තනි වචනයක් මිස සමජාතීය භාණ්ඩයක් නෙමෙයි. විවිධ සහල් වර්ග ගණනාවක් තිබෙනවා. ලංකාවේ සහල් භාවිතයේ විවිධත්වය පහත පරිදියි.

සුදු කැකුළු - 17.8%

සුදු කැකුළු සම්බා - 2.2%

රතු කැකුළු - 23.9%

රතු කැකුළු සම්බා - 1.0%

සම්බා - 15.6%

රතු නාඩු - 3.5%

සුදු නාඩු - 33.7%

බාස්මතී - 0.2%

වෙනත් - 1.9%

රටේ දිස්ත්‍රික්ක ගණනාවකම ජනප්‍රියම සහල සුදු නාඩු සහලයි. මෙම දිස්ත්‍රික්ක රටේ මැද කොටසේ සහ නැගෙනහිර පළාතේ පිහිටි දිස්ත්‍රික්කයි. දකුණු, බටහිර හා උතුරු කලාප වල වෙරළබඩ දිස්ත්‍රික්ක වල වෙනස් රුචිකත්වයන් හඳුනා ගත හැකියි. සුදු නාඩු වඩාත්ම ජනප්‍රිය දිස්ත්‍රික්ක වල ඊළඟට ජනප්‍රිය සහල සුදු කැකුළු හෝ සම්බා සහලයි. මෙම දිස්ත්‍රික්ක වල රතු කැකුළු ඇතුළු රතු සහල් වර්ග භාවිතා වෙන්නේ ඉතා අඩුවෙන්. පහත තිබෙන්නේ දිස්ත්‍රික්ක කිහිපයක සුදු කැකුළු, සම්බා සහ සුදු නාඩු භාවිතයේ ප්‍රමාණයයි. 

අනුරාධපුර - 95%

පොළොන්නරුව - 96%

කුරුණෑගල - 97%

පුත්තලම - 96%

කෑගල්ල - 94%

මහනුවර - 91%

මාතලේ - 96%

ත්‍රිකුණාමලය - 90%

අම්පාර - 87%

ගම්පහ දිස්ත්‍රික්කයේද ජනප්‍රියම සහල් වර්ග තුන ඉහත තුනම වුවත් ඒ අතරින් වඩා ජනප්‍රිය සම්බා සහලයි. රතු කැකුළු එතරම් ජනප්‍රිය නැහැ.

ගම්පහ - 88%

මෙයින් වෙනස්ව දකුණේ ජනප්‍රියම සහල රතු කැකුළු සහලයි. දෙවන තේරීම සුදු කැකුළු සහලයි. ඌව පළාත තුළ සුදු කැකුළු මුල් තැනට පමණ රතු කැකුළු දෙවන තැනට පැමිණෙනවා. නාඩු භාවිතය ඉතා අඩු එම ප්‍රදේශ වල රතු කැකුළු හා සුදු කැකුළු සහල් භාවිතය ඉතා ඉහළ මට්ටමක තිබෙනවා. 

ගාල්ල - 84%

මාතර - 95%

හම්බන්තොට - 96%

රත්නපුර - 84%

බදුල්ල - 87%

මොණරාගල - 93%

උතුරේ යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්ක වල ජනප්‍රියම සහල රතු නාඩු සහල වන අතර රතු කැකුළු සහ සම්බා ඔවුන්ගේ ඊළඟ තේරීම් දෙකයි. මුලතිවු සහ වවුනියා දිස්ත්‍රික්ක වලදී රතු කැකුළු මුල් තැනට පැමිණෙන අතර, මන්නාරමේදී සම්බා මුල් තැනට එනවා. එම ප්‍රදේශ වල සුදු නාඩු සහල් ජනප්‍රිය නැහැ. අදාළ දිස්ත්‍රික්ක වල රතු නාඩු, රතු කැකුළු සහ සම්බා සහල් භාවිතය පහත පරිදියි.

යාපනය - 95%

කිලිනොච්චි - 84%

මුලතිවු - 85%

වවුනියා - 74%

මන්නාරම - 79%

කොළඹ සහ කළුතර දිස්ත්‍රික්ක වල දැකිය හැක්කේ මිශ්‍ර රටාවක්. කොළඹදී සම්බා සහල් සහ කළුතරදී රතු කැකුළු සහල් මුල් තැනට පැමිණෙන නමුත් ලංකාවේ ජනප්‍රිය අනෙකුත් සහල් වර්ග භාවිතයද ආසන්න මට්ටම් වල තිබෙනවා. 

මේ අනුව, ලංකාවේ සහල් රුචිකත්වය අනුව ප්‍රධාන කලාප හතරක් සහ අතුරු කලාප ගණනාවක් හඳුනා ගත හැකියි. ඒ අතරින් විශාලම කලාපය සුදු නාඩු - සුදු කැකුළු - සම්බා කලාපයයි. එහි අනු කලාප තුනක් තිබෙනවා.

සුදු නාඩු - සුදු කැකුළු ප්‍රදේශ 

සුදු නාඩු - සම්බා ප්‍රදේශ 

සම්බා - සුදු නාඩු ප්‍රදේශ 

සම්බා භාවිතය රුචිකත්වයට වඩා ආදායම් මට්ටම මත තීරණය වන්නක් විය හැකියි.

දෙවන ප්‍රධාන කලාපය කැකුළු කලාපයයි. ඒ තුළ රතු කැකුළු අනු කලාපයක් සහ සුදු කැකුළු අනු කලාපයක් තිබෙනවා.

තෙවන ප්‍රධාන කලාපය උතුරේ රතු නාඩු - රතු කැකුළු - සම්බා කලාපයයි. එහිද අනු කලාප තුනක් දැකිය හැකියි. 

සිවු වන ප්‍රධාන කලාපය මිශ්‍ර කලාපයක් වන අතර එය ඉහත පළමු කණ්ඩායම් දෙකේ මිශ්‍රණයක් ලෙසද සැලකිය හැකියි.

සාමාන්‍ය වසරකදී ඉහත සියලු පාරිභෝගික කණ්ඩායම සඳහා අවශ්‍ය සහල් ප්‍රමාණය රට තුළ නිෂ්පාදනය වෙනවා. එහෙත් එම සහල් නිපදවෙන්නේ රටේ එක් කොටසකයි. සහල් අතිරික්ත කලාපය ලෙස හඳුනාගත හැකි එම කලාපයන් බාහිරව සහල් හිඟ කලාප දෙකක් තිබෙනවා. ඒ නිරිතදිග තෙත් කලාපයේ දිස්ත්‍රික්ක දහයක් අයත් විශාල කලාපය සහ උතුරේ යාපනය දිස්ත්‍රික්කයයි. මේ කලාප වලට සහල් අතිරික්ත කලාපයෙන් සහල් සැපයෙනවා.

එහෙත් අස්වනු අඩු වසර වලදී රටේ සහල් අවශ්‍යතාවය සඳහා සහල් ආනයනය කිරීමට සිදු වෙනවා. එවැනි අවස්ථා වලදී මෙන්ම සාමාන්‍ය වසරකදී වුවද සහල් හිඟ කලාපයේ වැසියන්ට අවශ්‍ය වන්නේ හැකි තරම් අඩු මිලට සහල් මිල දී ගැනීමටයි. එහෙත් සහල් අතිරික්ත කලාපයේ වැසියන්ට අවශ්‍ය වන්නේ හැකි තරම් වැඩි මිලකට තමන්ගේ වී අස්වනු විකුනා ගැනීමටයි. රජය විසින් ආනයන බදු හා ආනයන පාලනය මගින් මේ කණ්ඩායම් දෙකේ අවශ්‍යතා අතර තුලනයක් පවත්වා ගන්නවා. 

මතු සම්බන්ධයි.

වෙබ් ලිපිනය: