වෙබ් ලිපිනය:

Showing posts with label තාරකා විද්‍යාව. Show all posts
Showing posts with label තාරකා විද්‍යාව. Show all posts

Friday, April 14, 2023

අවුරුදු චක්‍රය


මේ වෙද්දී තවත් සිංහල අලුත් අවුරුද්දක් උදා වෙලා. මෙවර සිංහල අවුරුදු උදාව හෙවත් සූර්යයාගේ මේෂ සංක්‍රාන්තිය සිදු වුනේ ග්‍රෙගෝරියන් දින දසුන අනුව ලංකාවේ වේලාවෙන් අප්‍රේල් මස 14 දින පස්වරු 2:29ටයි. එම මොහොතේදී ශක වර්ෂයෙන් 1944 වසර ගෙවී 1945 වසර උදා වුනා. 

මේ වන විට, සිංහල අලුත් අවුරුද්ද උදාවන්නේ ග්‍රෙගෝරියන් දින දසුන අනුව අප්‍රේල් මස 13 දින හෝ 14 දිනයි. පහතින් ඇත්තේ පසුගිය වසර කිහිපය තුළ එම ව්‍යවහාර දින දසුන අනුව මේෂ සංක්‍රාන්තිය හෙවත් නව අවුරුදු උදාව සිදු වූ මොහොතයි.

2009 අප්‍රේල් 14 පෙරවරු 12:47

2010 අප්‍රේල් 14 පෙරවරු 6:58

2011 අප්‍රේල් 14 පස්වරු 1:01

2012 අප්‍රේල් 13 පස්වරු 7:20

2013 අප්‍රේල් 14 පෙරවරු 1:29

2014 අප්‍රේල් 14 පෙරවරු 7:37

2015 අප්‍රේල් 14 පස්වරු 1:47

2016 අප්‍රේල් 13 පස්වරු 7:48

2017 අප්‍රේල් 14 පෙරවරු 2.04

2018 අප්‍රේල් 14 පෙරවරු 8.13

2019 අප්‍රේල් 14 පස්වරු 2.09

2020 අප්‍රේල් 13 පස්වරු 8.23

2021 අප්‍රේල් 14 පෙරවරු 2.33

2022 අප්‍රේල් 14 පෙරවරු 8.41

2023 අප්‍රේල් 14 පස්වරු 2.59

මේ අනුව පෙනෙන්නේ මේ වන විට අප්‍රේල් 13 දිනක අවුරුදු උදාව සිදුවන්නේ ව්‍යවහාර වර්ෂ ක්‍රමය අනුව අධික අවුරුදු වලදී පමණක් බවයි. එසේ නැත්නම් එය සිදුවන්නේ අප්‍රේල් 14 දිනකයි. එහෙත්, මෙය හැමවිටම මේ අයුරින්ම සිදුවී නැහැ. ඉදිරියේදී එලෙසම සිදුවන්නේද නැහැ. දශක තුන හතරකට පෙර, මා කුඩා කාලයේදී, අවුරුදු උදාව වැඩි වශයෙන්ම සිදුවුනේ අප්‍රේල් 13 දිනකයි.

සිංහල අවුරුදු දිනය ග්‍රෙගෝරියන් දින දසුන අනුව, වසරින් වසර ඉදිරියට තල්ලු වෙනවා. ඒ, සිංහල අවුරුද්දක් ග්‍රෙගෝරියන් අවුරුද්දකට වඩා මඳක් දිග වැඩි නිසා. පසුගිය වසර වල අවුරුදු උදාවන් අතර ගතවූ කාලය පිරික්සූ විට මෙය පැහැදිලි වෙනවා.

2009/10 : දින 365 පැය 6 විනාඩි 11

2010/11 : දින 365 පැය 6 විනාඩි 03

2011/12 : දින 365 පැය 6 විනාඩි 19

2012/13 : දින 365 පැය 6 විනාඩි 09

2013/14 : දින 365 පැය 6 විනාඩි 08

2014/15 : දින 365 පැය 6 විනාඩි 10

2015/16 : දින 365 පැය 6 විනාඩි 01

2016/17 : දින 365 පැය 6 විනාඩි 16

2017/18 : දින 365 පැය 6 විනාඩි 09

2018/19 : දින 365 පැය 5 විනාඩි 56

2019/20 : දින 365 පැය 6 විනාඩි 14

2020/21 : දින 365 පැය 6 විනාඩි 10

2021/22 : දින 365 පැය 6 විනාඩි 08

2022/23 : දින 365 පැය 6 විනාඩි 18

මේ අනුව, සූර්යයාගේ සාපේක්ෂ චලිතය මත පදනම්ව ගණනය කෙරෙන සිංහල අවුරුද්දක් සාමාන්‍යයක් ලෙස දින 365ක් සහ  පැය 6කට වඩා විනාඩි 9-10ක් පමණ දීර්ඝ බව පෙනෙනවා. 

ග්‍රෙගෝරියන් කැලැන්ඩරයේ සාමාන්‍ය වසරක දින ගණන 365ක් වුවත් වසර 4කට වරක් දින 366කින් යුත් අධික අවුරුද්දක් එළැඹෙනවා. ඒ නිසා, සිංහල අවුරුද්දේ දිග හරියටම දින 365ක් සහ පැය 6ක් වීනම්, ග්‍රෙගෝරියන් දින දසුන අනුව වසර හතරක කාලයකට පසුව සිංහල අවුරුදු උදාව සිදු විය යුත්තේ එකම මොහොතකදීයි. එහෙත්, සිංහල අවුරුද්ද දින 365ක් සහ  පැය 6කට වඩා විනාඩි 9-10ක් පමණකින් දීර්ඝ නිසා ග්‍රෙගෝරියන් දින දසුන අනුව මේ මොහොත වසර හතරක චක්‍රයක් තුළ විනාඩි 37කින් පමණ කල් යනවා.

ඉහත හේතුව නිසා සිංහල අවුරුද්ද දවසකින් ඉදිරියට යාමට සියවස් එකහමාරක් පමණ ගත වන නමුත් වෙනත් හේතුවක් නිසා සිංහල අවුරුද්ද මීට වඩා වේගයෙන් ඉදිරියට යනවා. ග්‍රෙගෝරියන් දින දසුන අනුව 1900 වසර වැනි සියවස් වසරක් අධික අවුරුද්දක් වන්නේ සියවස් හතරකට වරක් පමණයි. මේ අනුව, වසර 400ක කාලයක් තුළ සිංහල අවුරුදු උදාව තවත් අමතර දින තුනකින් ඉදිරියට යනවා. සිංහල අවුරුද්ද මේ වන විට අප්රේල් මස 13 හෝ 14 දිනක උදාවන්නේ වසර ගණනක් පුරා මෙසේ ඉදිරියට තල්ලු වීමේ ප්‍රතිඵලයක් ලෙසයි.

ක්වේරෝස් පියතුමා විසින් සටහන් කර ඇති පරිදි (පෙරේරා පියතුමාගේ ඉංග්‍රීසි පරිවර්තනය, වෙළුම 1 පිටුව 107) පෘතුගීසි සමයේදී බක් මහ එළැඹී ඇත්තේ මාර්තු මාසයේදීයි. එමෙන්ම, වෙසක් හා පොසොන් උත්සව පැවතී ඇත්තේ පිළිවෙලින් අප්‍රේල් හා මැයි මාස වලදීයි. රොබර්ට් නොක්ස් ලංකාවේ සිටි කාලයේදී සිංහල අවුරුදු උදාව සිදු වී තිබෙන්නේ මාර්තු මස 27, 28 හෝ 29 වන දිනකයි. ("Their New year is always either the 27th, or the 28th, or the 29th of March"- An Historical Relation of the Island Ceylon in the East Indies. CHAP IV.) 

රොබර්ට් නොක්ස් විසින් හා ක්වේරෝස් පියතුමා විසින් මේ දින වාර්තා කර ඇත්තේ ජුලියන් කැලැන්ඩරය අනුවයැයි සැලකුවහොත්, නිරයන ජ්‍යෝතිෂය අනුව මේ කාලයේ මේෂ සංක්‍රාන්තිය සිදුවිය යුතුව තිබුණු, ග්‍රෙගෝරියන් කැලැන්ඩරය අනුව අප්‍රේල් 8 ආසන්න දිනයක් සමඟ මෙය තරමකට ගැලපෙනවා. එහෙත්, ජේ ඩබ්ලිවු බෙනට් විසින් වාර්තා කර ඇති පරිදි 1841 දී සිංහල අවුරුදු දිනය සමරා ඇත්තේ මාර්තු මස 21 වෙනි දිනයි. ඒ දිනය ගැලපෙන්නේ සායන ජ්‍යෝතිෂය සමඟයි.

සිංහල අවුරුදු උත්සව දිනය මෙන්ම වෙසක් දිනයද ලංකාවේ ප්‍රසිද්ධ නිවාඩු දින බවට පත් කෙරුණේ 1885 මාර්තු 27 දින නිකුත් කළ ගැසට් නිවේදනයක් මඟිනුයි. කොටහේනේ දීපදුත්තාරාමයේ පැවති පෙරහැරට අන්‍යාගමිකයින් විසින් පහර දීමෙන් පසු ඇති වූ ආගමික ගැටුම් හමුවේ කිසියම් සංහිඳියාවක් ඇති කිරීමේ අරමුනින් මෙම නිවාඩු දින ලබා දීම සිදු වෙනවා. ශක වර්ෂ 1805 (ක්‍රිස්තු වර්ෂ 1885/86) ඈපා පංචාංග ලිත අනුව එම වසරේ මේෂ සංක්‍රාන්තිය සිදු වී ඇත්තේ අප්‍රේල් මස 11 දිනයි. ඒ අනුව, 1885 අවුරුදු නිවාඩුව අප්‍රේල් මස 11 වන දිනත්, මේ අයුරින්ම වෙසක් නිවාඩුව අප්‍රේල් මස 28 දිනත් ලබාදී තිබෙනවා. බෞද්ධ කොඩිය පළමුව එළි දක්වා ඇත්තේද 1885 අප්‍රේල් 28 එළැඹුණු වෙසක් පුන් පෝ දිනයේදීයි.

නිවර්තන වසර සමඟ ආසන්නව ගලපමින් සාදා ඇති ග්‍රෙගෝරියන් කැලැන්ඩරයේ අවුරුද්දක් නක්ෂත්‍ර වසරක කාලය සමඟ ගලපමින් සකසා ඇති සිංහල අවුරුද්දකට වඩා මඳක් කෙටි නිසා ඉදිරි වසරකදී සිංහල අවුරුදු උදාව අප්‍රේල් 13 දිනක සිදුවනු ඇත්තේ අධික අවුරුදු වලදී පමණයි. උදාහරණයක් ලෙස ඉදිරි 2024 වසරේදී මෙය සිදු වීමට නියමිතයි. 

එහෙත් මෙයද සිදුවනු ඇත්තේ 2024 වසරද ඇතුළුව තවත් වසර පහකදී පමණයි. බොහෝ විට අවසන් වරට අප්‍රේල් 13 දිනක සිංහල අවුරුද්ද උදාවනු ඇත්තේ 2040 වසරේදීයි. ඉන් පසුව, 2083 වැනි වසරකදී සිංහල අවුරුදු උදාව අප්‍රේල් 15 දක්වා තල්ලු වී, ඉදිරි සියවස ආරම්භ වීමෙන් පසුව, 2103 වැනි වසරකදී සිංහල අවුරුදු උදාව අප්‍රේල් 16 දක්වා තල්ලු වීමට නියමිතයි.

මේ විදිහට සිංහල අවුරුද්ද වසරින් වසර ඉස්සරහට යන්නේ ඇයි?

මෙය තේරුම් ගන්නටනම් අවුරුද්දක් කියන්නේ කුමක්ද කියා තේරුම් ගත යුතුයි. අවුරුද්දක් කියා කියන්නේ අනාගතය පුරෝකථනය කිරීම හා සැලසුම් කර ගැනීම සඳහා මිනිසා විසින් හදාගත් සංකල්පයක්. දවස හා මාසය කියන්නේත් මේ වගේ සංකල්ප දෙකක්.

බොහෝ විට මිනිසා විසින් මුලින්ම හදා ගන්න ඇත්තේ දවස කියන සංකල්පයයි. එය පෘථිවියේ භ්‍රමණය නිසා ඇති වන දිවා රාත්‍රී චක්‍ර වලට සම්බන්ධයි. රෑ වුනාට පස්සේ නැවත එළි වෙනවා කියන එක මිනිස්සුන්ට මුලින්ම නිවැරදිව පුරෝකථනය කරන්න පුළුවන් වූ දෙයක් වෙන්න ඇති.

දවස කියන සංකල්පය හදාගත්තට පස්සේ මාසය කියන සංකල්පයත් හදා ගන්න ඇති. එය හැදෙන්නේ හඳේ චක්‍රයත් එක්ක. අවුරුද්ද කියන සංකල්පය හැදෙන්නේ ඊටත් පස්සේ සෘතු වෙනස්කම් එක්ක සම්බන්ධ වෙලා. මේ සංකල්ප, එකම විදිහටම නොවුනත්, ලෝකය පුරා විවිධ තැන් වල ජීවත් වූ මිනිසුන් විසින් වෙන වෙනම හදාගෙන තිබෙනවා. 

සමහර සංස්කෘති වල දවස පටන් ගන්නේ ඉර උදාවෙන්. තවත් සමහර සංස්කෘති වල ඉර බැසීමේ ඉඳලා. නමුත් පදනම දිවා රාත්‍රී චක්‍රය. ඔය විදිහටම සමහර සංස්කෘති වල පසළොස්වක දවසෙන් මාසය අවසන් වෙනවා. තවත් සමහර සංස්කෘති වල අමාවක දවසෙන් මාසය අවසන් වෙනවා. නමුත් එකම චක්‍රය. 

දවස හා මාසය වගේම අවුරුද්ද කියන සංකල්පය හැදෙන්නෙත් ස්වභාව ධර්මය එක්ක වුනත් අවුරුද්දක් සලකුණු කරන චක්‍රය හරියටම හඳුනා ගන්න එක දවස හෝ මාසය හඳුනා ගන්නා තරම්ම පහසු දෙයක් නෙමෙයි. ඒ නිසා, අවුරුද්ද හරියට හඳුනා ගන්න යම් කාලයක් ගත වෙලා තියෙනවා. ඒ වගේම ලෝකයේ විවිධ සංස්කෘති වල මෙය එක විදිහටම වෙලා නැහැ. අවුරුද්ද හඳුනා ගන්න උදවුවෙන කාලගුණ චක්‍ර දිවා රාත්‍රී චක්‍ර හෝ හඳේ චක්‍ර තරම් නිශ්චිත නොවීම ඊට හේතුවයි. 

කාලගුණ චක්‍ර හැදෙන්නේ ඉර වටා සිදු වන පොළොවේ චලිතය නිසා. මේ චක්‍රය හරියටම විස්තර කරන්නේ නිවර්තන වර්ෂයෙන්. නමුත් කාලගුණ චක්‍ර මිසක් ඉර වටා සිදු වන පොළොවේ චලිතය සෘජුව නිරීක්ෂණය කරන්න බැහැ. ඒ වැඩේට යොදා ගෙන තිබෙන්නේ නිරීක්ෂණය කළ හැකි තාරකා රටාවන්ගේ චලිතයන්. මේ රටාවන් සමපාත වෙන්නේ නක්ෂත්‍ර වර්ෂය එක්ක. නක්ෂත්‍ර වර්ෂය සහ නිවර්තන වර්ෂය අතර තිබෙන පොඩි වෙනස බොහෝ කාලයක් යන තුරු මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි වූ දෙයක්.

ග්‍රෙගෝරියන් දින දසුනට හා ව්‍යවහාර වර්ෂ වලට පාදක වී තිබෙන නිවර්තන වසරක සාමාන්‍ය දිග දින 365ක් පැය 5ක් මිනිත්තු 48ක් හා තත්පර 46ක්. සිංහල අවුරුද්දට පාදක වී තිබෙන නක්ෂත්‍ර වසරක් නිවර්තන වසරකට කාලය දින 365ක් පැය 6ක් මිනිත්තු 9ක් හා තත්පර 10ක්. නිවර්තන වර්ෂයක් නක්ෂත්‍ර වර්ෂයකට වඩා විනාඩි 20කුත් තත්පර 24ක් පමණ දිගින් වැඩියි. මේ වෙනසට හේතුව පෘථිවිය තමා වටා භ්‍රමණය වන අක්ෂයද වසර 26,000කට ආසන්න කාලයකදී සම්පූර්ණ කරන චක්‍රීය චලිතයක යෙදී සිටීමයි. 

උත්තර අර්ධගෝලයේ පිහිටි රටවල වසන්ත සෘතුව ආරම්භ වන වසන්ත විෂුවය වෙනත් වර්ෂ ක්‍රම ගණනාවක මෙන්ම සිංහල අවුරුද්දේද සම්භවයයි. මේ වන විට වසන්ත විෂුවය සිදු වන්නේ මාර්තු 21 හෝ ආසන්න දිනකයි. එනම් සිංහල අවුරුදු දිනට දින 24කට පමණ පෙරයි. මේ වෙනසට හේතුව දීර්ඝ කාලයක් තිස්සේ නිවර්තන වර්ෂය හා නක්ෂත්‍ර වර්ෂය අතර විනාඩි 20ක පමණ කාල වෙනස නොසලකා හැරීමයි. ඊට අමතරව නිවර්තන වර්ෂය මැන ගැනීමේදී ග්‍රෙගෝරියන් දින දසුන හා ඊට පෙර ජුලියන් දින දසුන තුළ සිදුව ඇති මිනුම් වරදත්, සිංහල අවුරුද්ද ගණනය කිරීම සඳහා නක්ෂත්‍ර වසර මැන ගැනීමේදී සිදුව ඇති මිනුම් වරදත් මෙම වෙනස අඩු වැඩි කර තිබෙනවා. 

අපට පසු ගණනය කර සොයා ගත හැකි පරිදි, ක්‍රිස්තු වර්ෂ 543 මාර්තු 19 ආසන්න දිනක මේෂ සංක්‍රාන්තිය මෙන්ම වසන්ත විෂුවයද එකවර සිදු වී තිබෙනවා. ක්‍රිස්තු වර්ෂ 543 කියා කීවත් මේ වන විට ඩයනීසියස් එක්සීජියස් විසින් මුල් වරට ක්‍රිස්තු වර්ෂ නම් වූ සංකල්පය හඳුන්වාදී වසර 18ක් ගතවී තිබුනා පමණයි. ඒ වන විට ක්‍රිස්තු වර්ෂ දැන් මෙන් ප්‍රචලිත වී තිබුණේ නැහැ. පොළොවේ පෙනෙන වාර්ෂික සෘතු විපර්යාස චක්‍රයේ ඇරඹුම් දිනය සේ සැලකිය හැකි වසන්ත විෂුවය සිදු වන දිනය ආකෘතිගත කිරීම සඳහා අහසේ පෙනෙන සංක්‍රාන්ති චක්‍රයේ මේෂ සංක්‍රාන්ති දිනය ගැලපීම සිදු වෙන්න ඇත්තේ මීට ආසන්න කාලයකයි. 

අද අපි දන්නා පරිදි, නක්ෂත්‍ර වර්ෂයක දිග දින 365ක් පැය 6ක් මිනිත්තු 9ක් හා හා තත්පර 9.76ක් වුවත්, සූර්ය සිද්ධාන්තය ඇතුළු පැරණි ජ්‍යෝතිෂ ග්‍රන්ථ සම්පාදනය කළ විද්වතුන් දැනසිටි නක්ෂත්‍ර වර්ෂයක දිග අද අප දන්නා තරමටම නිරවද්‍ය වූයේ නැහැ. මේ ග්‍රන්ථ අතරින් දැනට ඉතිරිව ඇති පැරණිම ග්‍රන්ථය වන සූර්ය සිද්ධාන්තයට අනුව, නක්ෂත්‍ර වසරක දිග දින 365ක් පැය 6ක් මිනිත්තු 12ක් හා තත්පර 36.56ක්. අනෙක් ග්‍රන්ථ වල සඳහන් කාලයද මේ කාලයට ආසන්නයි. මෑතක් වන තුරුම, සියවස් ගණනාවක් පුරා, මේෂ සංක්‍රාන්තිය සිදුවන අවස්ථාව ගණනය කිරීම සඳහා යොදාගෙන ඇත්තේ මේ කාලය මිස දැන් අප දන්නා නිවැරදිම කාලය නෙමෙයි. 

ඒ කාලයේදී භාවිතා වුනු ජුලියන් දින දර්ශනයේ වසරක සාමාන්‍ය දිග දින 365කුත් පැය 6ක් පමණක් නිසා, ජුලියන් දින දර්ශනයට සාපේක්ෂව, එම වසරේ සිට වසරකට මිනිත්තු 12ක් හා තත්පර 36.56 බැගින් මේෂ සංක්‍රාන්තිය සිදුවන වෙලාව ඉදිරියට ගොස් තිබෙනවා. 1582දී ග්‍රෙගෝරියන් දින දර්ශනය හඳුන්වාදෙන විට වසර 1039ක් තිස්සේ වසරකට මිනිත්තු 12ක් හා තත්පර 36.56 බැගින් (ජුලියන් දින දර්ශනයට සාපේක්ෂව) දින 9ක් පමණ ඉදිරියට පැමිණි මේෂ සංක්‍රාන්තිය මාර්තු 26 ආසන්න දිනක සිදු වී තිබෙනවා. රොබර්ට් නොක්ස්ගේ හා ක්වේරෝස් පියතුමාගේ වාර්තා වල ඇති සිංහල අවුරුදු දිනය මේ දිනය සමඟ සැසඳීමෙන් පෙනී යන්නේ 1582 වසරින් පසුවද ජුලියන් දින දර්ශනය ලංකාවේ දිගටම භාවිතා කර ඇති බවයි. 

බ්‍රිතාන්‍යය විසින් 1752දී ග්‍රෙගෝරියන් දින දර්ශනය භාවිතා කිරීම නීත්‍යානුකූලව ආරම්භ කරමින් පණතක් හඳුන්වා දුන් කාලය වෙද්දී ජුලියන් දින දර්ශනය අනුව ලංකාවේ සිංහල අවුරුද්ද ඇරඹී තිබෙන්නේ මාර්තු 27 ආසන්න දිනයකයි. එමෙන්ම, 1751 දක්වා බ්‍රිතාන්‍යයේ (ස්කොට්ලන්තයේ හැර) අවුරුද්ද ඇරඹුණේද ජනවාරියේදී නොව මාර්තු 26 දිනයි. නව පණත හඳුන්වාදීමත් සමඟ බ්‍රිතාන්‍යයේ හා යටත් විජිත වල නීත්‍යානුකූලව වසරේ ආරම්භය ජනවාරි පළමුවනදා වූවා පමණක් නොව දින 11ක් කැලැන්ඩරයෙන් ඉවත් කෙරුණා. 

ලංකාව තුළ ග්‍රෙගෝරියන් දින දර්ශනය භාවිතයට ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස සිංහල අවුරුද්ද අප්‍රේල් 9 පමණ දක්වා කල් ගොස් තිබෙනවා. එයට අනුරූපව වෙසක් පෝය ඇතුළු අනෙකුත් පෝය දිනද, ව්‍යවහාර දින දර්ශනයට සාපේක්ෂව, කල් ගොස් තිබෙනවා. 

නිවර්තන අවුරුද්ද අනුව සකසා ඇති ග්‍රෙගෝරියන් අවුරුද්ද නිවර්තන අවුරුද්දට වඩා මිනිත්තුවකට ආසන්න කාලයක් (තත්පර 58ක් පමණ) කෙටි වුවත්, ජුලියන් අවුරුද්දකට වඩා මිනිත්තු 10කුත් තත්පර 48ක් දිගින් වැඩි නිසා ග්‍රෙගෝරියන් දින දර්ශනය භාවිතයට ගැනීමෙන් පසුව සිංහල අවුරුද්ද ජුලියන් අවුරුද්ද පැවති සමයේදී සිදුවූවාට වඩා දෙගුණයක පමණ වේගයෙන්, වසරකට මිනිත්තු 23.4ක් පමණ කාලයකින් ඉදිරියට යනවා. එහෙත් මෙය දිගු කාලයක් තුළ සාමාන්‍ය වශයෙන් සිදු වන්නක් මිස වසරින් වසර එක ලෙස සිදු වන දෙයක් නෙමෙයි. 

මේ වන විට මේෂ සංක්‍රාන්තිය සිදුවන දිනය ගණනය කිරීම සඳහා සූර්ය සිද්ධාන්තයේ සඳහන් වර්ෂයක කාලය වෙනුවට නිවර්තන වර්ෂයක නිවැරදි දිග යොදා ගන්නා බව පෙනෙනවා. ඒ නිසා, ඉහත වෙනස මිනිත්තු 19ක් පමණ දක්වා අඩු වී තිබෙනවා. මේ අනුව, ග්‍රෙගෝරියන් දින දර්ශනය තුළ සාමාන්‍ය වශයෙන් වසර 71කට පමණ වරක් සිංහල අවුරුද්ද හා සිංහල චන්ද්‍රමාස දවසකින් ඉදිරියට තල්ලු වෙනවා.

හැබැයි එයින් අදහස් වන්නේ මෙය වසර 71ක චක්‍රයක් ලෙස සිදුවන බව නෙමෙයි. ඒ ග්‍රෙගෝරියන් දින දර්ශනයේ චක්‍රය විධිමත් නොවන එකක් නිසා. වසර 1200ක කාලයක් සැලකුවොත්, 400, 800, 1200 අවුරුදු වලදී හැර, සියයෙන් බෙදෙන අනෙක් අවුරුදු 9දීත්, ඊට අමතරව ආසන්න වශයෙන් වසර 157කට වරක් ලෙස තවත් 7-8 වරකුත් ලෙස දින 16-17කින් සිංහල අවුරුද්ද ඉදිරියට යනවා. එවිට සාමාන්‍ය වශයෙන් වසර 71කට ආසන්න කාලයක්. 

Thursday, April 13, 2023

සුබ අලුත් අවුරුද්දක්!

හෙට (2023 අප්‍රේල් 14) තවත් සිංහල අලුත් අවුරුද්දක් උදාවෙනවා. මෙවර සිංහල අවුරුදු උදාව හෙවත් සූර්යයාගේ මේෂ සංක්‍රාන්තිය සිදු වන්නේ ග්‍රෙගෝරියන් දින දසුන අනුව අප්‍රේල් මස 14 දින පස්වරු 2:29ටයි. ඒ මොහොතේදී ශක වර්ෂයෙන් 1944 වසර ගෙවී 1945 වසර උදා වෙනවා. 


මේ සමඟ පළ කර ඇති පළමු ඡායාරූපයෙන් පෙනෙන්නේ මීන රාශිය ලෙස හඳුනාගන්නා තාරකා රටාවයි. හඳුනාගැනීමේ පහසුව සඳහා අදාළ තාරකා ඉරිවලින් යා කර තිබෙනවා. මේ තාරකා රටාව නූලකින් බැඳුණු මාළුන් දෙදෙනෙකු ලෙස මුලින්ම බැබිලෝනියානුවන් විසින් හඳුනා ගනු ලැබූ අතර මීන යන සංස්කෘත නම මෙන්ම ඒ සඳහා බටහිර භාවිතා වන ලතින් නමද (Pisces) මාළුවා/ මාළු යන අරුත සපයනවා (දෙවන රූපය බලන්න).


මේ තාරකා එක් පොකුරක් ලෙස පොළොවට මෙසේ පෙනුණත් ඒවා ඇත්තටම තියෙන්නේ එකිනෙකට ආලෝක වර්ෂ ගණනක් දුරිනුයි. එම තාරකා වලින් දහයකම හඳුනාගත් ග්‍රහලෝක තිබෙනවා. මීන රාශි මණ්ඩලයේ දීප්තිමත්ම තාරකාව වන ඊටා පිසියම් (Eta Piscium) ආලෝක වර්ෂ 294ක් ඈතින් පිහිටා ඇති කහ යෝධයෙක්. ඉර මෙන් 26 ගුණයක් විශාල, 3.5-4 ගුණයක ස්කන්ධයක් ඇති එහි දීප්තිය ඉරේ දීප්තිය මෙන් 316 ගුණයක් [1].

දෙවෙනියට දීප්තිමත්, ඉර මෙන් දහ ගුණයක් විශාල හා 61 ගුණයක් දීප්තිමත් ගැමා පිසියම් තාරකාවද කහ යෝධයෙක් වන අතර ආලෝක වර්ෂ 138ක් දුරින් පිහිටා තිබෙනවා. ආලෝක වර්ෂ 106ක් දුරින් පිහිටා ඇති ඔමේගා පිසියම් ඉර මෙන් 20 ගුණයක් විශාල වන අතර, අයෝටා පිසියම් තරුව ආලෝක වර්ෂ 44.73ක් දුරින් පිහිටා ඇති ඉරට වඩා තරමක් විශාල තරුවක්.

මේ තාරකා පද්ධතියේ ඉතිරි තාරකා ඔමික්රොන් පිසියොන්, ඇල්ෆා පිසියම්, එප්සිලෝන් පිසියම්, ඩෙල්ටා පිසියම්, තීටා පිසියම්, නියු පිසියම්, බීටා පිසියම් (අරාබි බසින් ෆුම් අල්-සම්මක් හෙවත් මාළු කට), කප්පා පිසියම්, ලැම්ඩා පිසියම්, සීටා (zeta) පිසියම්, 19 පිසියම් (TX පිසියම්), 107 පිසියම්, 96G පිසියම්, 54 පිසියම්, 6G පිසියම් හා වැන් මානන්ගේ තරුව ලෙස නම් කර තිබෙනවා. තාරකා රටාවේ ෂඩාශ්‍රය සැදී ඇත්තේ ගැමා, කප්පා, ලැම්ඩා, අයෝටා, තීටා හා 19 පිසියම් තරු හයෙනුයි. ආලෝක වර්ෂ 148ක් ඈතින් පිහිටි සීටා පිසියම් (ζ Psc) යනු ජ්‍යෝතිෂයේදී රේවතී නැකත ලෙස හඳුනාගන්නා තාරකාවයි.


මීන රාශිය ලෙස හඳුනාගන්නා තාරකා රටාවට සාපේක්ෂව, මේෂ රාශියට අදාළ තරු රටාව සාපේක්ෂව ඉතා සරල එකක් (තෙවන ඡායාරූපය). මෙය බැබිලෝනියානුවන් විසින් මුලින්ම ගොවියෙකු ලෙස හඳුනාගත් නමුත් පසුව ගොවියා එළුවෙකු වෙනවා (සිවුවන රූපය). 


මේෂ රාශිය ලෙස හඳුනාගන්නා තාරකා මණ්ඩලයේ හඳුනාගත් ග්‍රහලෝක සහිත තාරකා පහක් තිබෙනවා. මෙහි ප්‍රධාන තාරකා ඇල්ෆා ඒරියටිස්, බීටා ඒරියටිස්, ඩෙල්ටා ඒරියටිස්, ගැමා ඒරියටිස්, සී ඒරියටිස් හා එප්සිලෝන් ඒරියටිස් ලෙස හැඳින්වෙනවා. බීටා හා ගැමා ඒරියටිස් ලෙස හැඳින්වෙන්නේ පළමු නැකත වන අස්විද නැකත ලෙස ජ්‍යෝතිෂයේදී හඳුනාගන්නා තාරකා රටාවයි. 35 ඒරියටිස්, 39 ඒරියටිස් හා සී ඒරියටිස් හෙවත් 41 ඒරියටිස් ලෙස හැඳින්වෙන්නේ දෙවන නැකත වන බෙරණ නැකත ලෙස ජ්‍යෝතිෂයේදී හඳුනාගන්නා තාරකා රටාවයි. 

අරාබි බසින් රාස්-අල්-හමාල් (එළු හිස) ලෙස හැඳින්වෙන ඇල්ෆා ඒරියටිස් තරුව ආලෝක වර්ෂ 66ක් දුරින්ද, බීටා ඒරියටිස් ආලෝක වර්ෂ 59.6ක් දුරින්ද, ගැමා ඒරියටිස් ආලෝක වර්ෂ 160ක් දුරින්ද, ඩෙල්ටා ඒරියටිස් ආලෝක වර්ෂ 168ක් දුරින්ද, සී ඒරියටිස් හෙවත් බෙරණ තරුව ආලෝක වර්ෂ 160ක් දුරින්ද, එප්සිලෝන් ඒරියටිස් ආලෝක වර්ෂ 293ක් දුරින්ද පිහිටා තිබෙනවා.

මීන හා මේෂ රාශි ඇතුළු රාශි දොළහත්, නැකැත් ලෙස සිංහලෙන් හඳුන්වන නක්ෂත්‍ර තාරකා මණ්ඩල විසිහතත් අහසේ ස්ථානගත වී ඇති ආකාරය අනුව නැගෙනහිර ක්ෂිතිජයෙන් චක්‍රීය රටාවකට මතු වෙනවා. හඳ එළිය වැඩි දවසක දැකිය නොහැකි වුවත්, හඳ එළිය අඩු, වලාකුළුද අඩු දවසක අහස නිරීක්ෂණය කළොත් මේ රාශි දොළහ මෙන්ම නැකැත් විසිහතද හඳුනාගැනීමට බැරිකමක් නැහැ. එහෙත්, මෙම රාශි හා නැකැත් සියල්ලම එකවර දැකීමේ හැකියාවක් නැහැ. පියවි ඇසින් දැක හඳුනාගත හැකි රාශි හා නැකැත් දවස හා වෙලාව අනුව තීරණය වෙනවා. 

මේෂ රාශිය මෙන්ම මීන රාශියද අපට පියවි ඇසින් නිරීක්ෂණය කළ හැකියි. සූර්යයාද අපට නිරීක්ෂණය කළ හැකියි. එහෙත්, මේෂ සංක්‍රාන්තිය අපට පියවි ඇසින් නිරීක්ෂණය කළ නොහැකියි. හෙට (අප්‍රේල් 14) මේෂ සංක්‍රාන්තිය සිදු වන විට ලංකාවට හවස් කාලයයි. ඒ වෙලාවේ ඉර අහසේ පෙනෙන්නට තිබුණත්, ඉර එළිය නිසා මීන රාශිය හෝ මේෂ රාශිය පියවි ඇසින් දැකිය නොහැකියි. ඒ නිසාම මේෂ සංක්‍රාන්තිය සිදුවන ආකාරයද පියවි ඇසින් දැකිය නොහැකියි

මේ වසරේ මේෂ සංක්‍රාන්තිය සිදුවන්නේ දිවා කාලයේ වුවත්, ලබන (2024) වසරේදී මෙය සිදු වීමට නියමිතව ඇත්තේ ලංකාවේ වේලාවෙන් පස්වරු නවයට පමණ නිසාත්, හඳ එළිය අඩුවෙන් ඇති අමාවක පෝය පසු වී දින කිහිපයකට පසු දිනක නිසාත්, වැසි දිනයක් නොවුවහොත් පහසුවෙන්ම අහසේ තාරකා රටා පියවි ඇසින් දැක හඳුනාගත ගත හැකියි. එහෙත්, ඒ වෙලාවේ මීන හා මේෂ රාශි මෙන්ම ඉරද තිබෙන්නේ පොළොවේ අනෙක් පැත්තේ නිසා මේෂ සංක්‍රාන්තිය දෑසින් දකින්නට කෙසේවත් ඉඩක් නැහැ.

මේෂ සංක්‍රාන්තිය යනු පොළොවේ සිටින නිරීක්ෂකයෙකුට "දැකිය හැකි" පරිදි සූර්යයා මීන රාශියේ හා මේෂ රාශියේ සීමා වෙන් කරන බෙදුම් ඉර පසු කිරීමයි. මෙය සිදුවන්නේ රාත්‍රී කාලයකනම්, පොළොවට ආවරණය වන නිසා, කෙසේවත් දැකිය නොහැකියි. දිවා කාලයේ මෙය සිදු වුවද, සූර්යයාගේ ආලෝකය නිසා මීන හා මේෂ රාශි නියෝජනය කරන තාරකා පන්ති පියවි ඇසින් දැකිය නොහැකියි. හරියටම සිදුවන මොහොත කෙසේවත් දැකිය නොහැකි වුවත්, මෙම සංසිද්ධිය ආසන්න ලෙස හෝ පියවි ඇසින් දැකිය හැක්කේ දිවා කාලයක මේෂ සංක්‍රාන්තිය සිදු වී, හරියටම ඊට ආසන්න මොහොතක පූර්ණ සූර්යග්‍රහණයක් සිදු වුවහොත් පමණයි. එයද ඉතාම දුලබ සිදුවීමක්. ඒ නිසා, මේෂ සංක්‍රාන්තිය යනු වියුක්තව සිතා මනසින් දැකිය යුතු දෙයක්. 

වසර දහස් ගණනකට පෙර ජීවත් වූ විද්‍යාර්ථින්ටද මේෂ සංක්‍රාන්තිය කවදාවත් පියවි ඇසින් දැකිය හැකි වූයේ නැහැ. එහෙත්, දිවා කාලයේ ඉරේ ගමනත්, රාත්‍රී කාලයේ තාරකා වල ගමනත් නිරීක්ෂණය කිරීම මගින් පියවි ඇසට නොපෙනෙන අවස්ථා වල අදාළ ග්‍රහවස්තු හා තාරකා වල සාපේක්ෂ චලිතය ආකෘතිගත කිරීම මගින් මේෂ සංක්‍රාන්තිය සිදුවන වෙලාව හරියටම නිගමනය කිරීමට ඔවුන්ට හැකි වුනා. සංයුක්ත නිරීක්ෂණ මත පදනම්ව වියුක්ත ආකෘතියක් ගොඩනගා ගෙන වසර දෙදහසකට පමණ පෙර ඔවුන්ට මෙවැනි ගණනය කිරීමක් කළ හැකි වීම අපූරු දෙයක්.

මේෂ සංක්‍රාන්තිය සමරන සියල්ලන්ටම සුබ අළුත් අවුරුද්දක්!

(මෙම ලිපිය 2017 අප්‍රේල් 13 දින පළ කළ ලිපියක් තරමක් සංශෝධනය කර නැවත පළ කිරීමක්.)

Wednesday, April 18, 2018

දෙවුරම් වෙහෙරෙන් උදවු ඉල්ලූ දේවපුත්‍රයා


සංයුත්ත නිකායේ සගාථා වර්ගයේ දේවපුත්ත සංයුත්තයේ සූරිය සුත්‍රය නම් වූ සූත්‍රයක් තිබේ. එහි පෙළ පහත දැක්වේ.

"මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි සූර්‍ය්‍යදෙව්පුත් තෙම රාහු අසුරිඳු විසින් අල්ලා ගන්නා ලද්දේ විය. එකල සූර්‍ය්‍ය දෙව්පුත් තෙම භාග්‍යවතුන් වහන්සේ සිහි කරනුයේ මේ ගාථාව කීය.

’’බුද්ධ වීරයන් වහන්ස, ඔබට නමස්කාර වේවා. ඔබ හැමතන්හි මිදුණෝය. (මම) පීඩාවට පැමිණියෙම් වෙමි, එසේවූ මට පිහිට වන්න.’’

එකල්හි භාග්‍යවතුන් වහන්සේ සූර්‍ය්‍ය දෙව්පුතු අරභයා රාහු අසුරිඳුට (මෙසේ) ගාථායෙන් වදාළහ.

’’එම්බා රාහු, සූර්‍ය්‍ය දෙව්පුත් තෙම අර්‍හත්වූ තථාගතයන් සරණ ගියේය. ඒ සූර්‍ය්‍ය දෙව්පුතු අතහරුව. බුදුවරු ලොවට අනුකම්පා කරන්නෝය.’’

’’එම්බා රාහු, අන්‍ධකාරයෙහි යමෙක් එලිය කරන්නේද, බබළන්නේද, මඬුලු සටහන් ඇත්තේද, උග්‍ර තේජස් ඇත්තේද, එසේවූ අහස හැසිරෙන සූර්‍ය්‍යයා නොගිලුව, මගේ ශ්‍රාවක බවට පැමිණි සූර්‍ය්‍යයා අතහරුව,’’

එකල රාහු අසුරිඳු සූර්‍ය්‍ය දෙව්පුතු අතහැර ඉක්මන් ස්වභාවය ඇත්තේ වේපචිත්ති අසුරිඳු වෙත පැමිණියේය. පැමිණ, කැලැඹුණේ ලොමු දැහැගැනුම ඇත්තේ, එක් පසෙක සිටියේය. එක් පසෙක සිටි රාහු අසුරිඳුට වේපචිත්ති අසුරිඳුට ගාථායෙන් (මෙසේ) කීය:

’’එම්බා රාහු, කවර හෙයින් ඉක්මන්ව මෙන් හිරු දෙව්පුතු අතහැරියෙහිද? කවර හෙයින් කැලැඹුණු, ස්වභාවය ඇතිව, බිය ගත්තකු මෙන් සිටිනෙහිද?’’

(එවිට රාහු අසුරිඳු මෙසේ කීය:) ’’බුදුරජුන් විසින් ගාථායෙන් ආමන්‍ත්‍රණය කරණලදුයෙමි. (ඒ මම) ඉදින් සූර්‍ය්‍ය දෙව්පුතු නොමුදාලීම් නම්, මා හිස සත්කඩකට පැලෙන්නේය. ජීවත්වන්නෙම් නම් සැපයක් නම් නොලබන්නෙමි.’’

දේවපුත්ත සංයුත්තයේම ඇති චන්දිම සූත්‍රයේ පෙළද බොහෝ දුරට මෙයට සමානය. එහි වෙනස සූර්‍ය්‍ය දෙව්පුතු වෙනුවට චන්දිම දෙවු පුතු සිටීමයි. සූරිය සූත්‍රය හා චන්දිම සූත්‍රය දැනටත් ලංකාවේ සෙත් පිරිතක් ලෙස නිතරම භාවිතා වන්නකි. වෙනත් බොහෝ සූත්‍ර වල කියැවෙන ආලෝකය විහිදා රාත්‍රී යාමයේ බුදුන් හමුවට පැමිණෙන දේවතාවන් මෙන් සූර්‍ය්‍ය දෙව්පුතු හෝ චන්දිම දෙවු පුතු බුදුන් වෙත නොපැමිණීමද විශේෂත්වයකි. සූත්‍ර අනුව ඔවුන් කරන්නේ බුදුන් සිහි කිරීම පමණි.

මෙහි කියැවෙන සූර්‍ය්‍ය හා චන්දිම දේවපුත්‍රයින් යනු ඉර හා හඳ බවත්, මේ කියන්නේ සූර්යග්‍රහණ හා චන්ද්‍රග්‍රහණ ගැන බවත්  තේරුම් ගැනීම එතරම් අපහසු දෙයක් නොවේ. සූර්යග්‍රහණ හා චන්ද්‍රග්‍රහණ ඇතිවීම පිළිබඳව බුද්ධ කාලයේ පැවති දැනුම චන්දිම සූත්‍රයෙන් හා සූරිය සූත්‍රයෙන් පිළිබිඹු වේ. බුද්ධ කාලයෙන් වසර සහශ්‍රයකට පමණ පසුව සූර්ය සිද්ධාන්තය ලියැවෙන කාලය වන විට මේ ස්වභාවික සංසිද්ධි පැහැදිලි කිරීමට පමණක් නොව නිවැරදිව පුරෝකථනය කිරීමටද හැකි තරමට ජ්‍යෝතිෂය දියුණු වී තිබුනත් ක්‍රිස්තු පූර්ව හයවන සියවස ආසන්න කාලයේදී සූර්යග්‍රහණ හා චන්ද්‍රග්‍රහණ බොහෝ දෙනෙකුට බිය උපදවන දෙයක් වූ බව සිතා ගැනීම අපහසු නැත.

සූරිය සූත්‍රයේ පෙළ අනුව බුදුන් සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවිසූ කිසියම් අවස්ථාවක සූර්යග්‍රහණයක් සිදුවන්නට ඇති බවට අපට ප්‍රවාදයක් ගොඩනැගිය හැකිය. මේ අයුරින්ම චන්ද්‍රග්‍රහණයක්ද සිදුවන්නට ඇති නමුත් අපට වඩා වැදගත් වන්නේ මේ කාලයේදී සිදුවීමට ඉඩ තිබුණේයැයි අප සිතන සූර්යග්‍රහණයයි. හදිසියේම දවල් කාලයේ ඉර නොපෙනී ගොස් අඳුරු වුවහොත් බොහෝ දෙනෙකු බියට පත් වන බවත්, තමන්ට වඩා බොහෝ දැනුම් තේරුම් ඇති අයෙකු සේ සලකන බුදුන් වැනි කෙනෙකුගෙන් පිහිට අයදින්නට ඉඩ ඇති බවත් වටහාගැනීම අපහසු දෙයක් නොවේ. එවැනි විටෙක, බුදුන් ශ්‍රාවක පිරිසගේ බිය දුරු කිරීම පිණිස කිසියම් දෙයක් කරන්නටද ඉඩ තිබේ.

චන්ද්‍රග්‍රහණ මෙන් නොව සූර්යග්‍රහණ දුර්ලභය. පොළොවේ කොතැනකට හෝ සූර්යග්‍රහණයක් පෙනීම දුලබ දෙයක් නොවූවත් පොළොවේ කිසියම් නිශ්චිත ස්ථානයකට වසර දහසකට පූර්ණ සූර්යග්‍රහණ හත අටකට වඩා පෙනෙන්නේ නැත. සූරිය සූත්‍රය අනුව ඉහත සූර්යග්‍රහණය සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයට පෙනුණු එකකි. එසේනම්, මෙය සිදුව තිබෙන්නේ ජේතවන පූජාව සිදු කිරීමෙන් පසුව සම්බුද්ධ පරිනිර්වාණයට පෙර වසරකදී විය යුතුය.

සැවැත් නුවර ජේතවනාරාමය පැවති තැන සේ සැලකෙන්නේ උත්තර ප්‍රදේශ්හි සහේත් නගරයයි. මේ ස්ථානය උත්තර අක්ෂාංශ 27.5086443 හා නැගෙනහිර දේශාංශ 82.0392016 හි මුහුදු මට්ටමේ සිට මීටර් 105-110 ක පමණ උසක පිහිටා ඇති තැනකි. මේ තොරතුරු වල උපකාරයෙන් අපට සැවැත් නුවර ජේතවනාරාමයට පූර්ණ සූර්යග්‍රහණයක් දකින්නට ලැබුණු අවස්ථා ගණනය කර සොයාගත හැකිය. එවිට අපට පෙනෙන පරිදි, ක්‍රිස්තු පූර්ව පළමු සහශ්‍රය තුළ එවැනි පූර්ණ සූර්යග්‍රහණ තිබී ඇත්තේ හයක් පමණි. ඒවා පහත දැක්වේ.

1. ක්‍රිස්තු පූර්ව 986 දෙසැම්බර් 26 හවස 4:29:49 සිට මිනිත්තු 1:16ක්.
2. ක්‍රිස්තු පූර්ව 848 අගෝස්තු 4 උදේ 6:14:54 සිට මිනිත්තු 2:54ක්.
3. ක්‍රිස්තු පූර්ව 794 සැප්තැම්බර් 6 උදේ 6:34:57 සිට මිනිත්තු 2:23ක්.
4. ක්‍රිස්තු පූර්ව 769 මැයි 5 හවස 5:08:22 සිට මිනිත්තු 1:34ක්.
5. ක්‍රිස්තු පූර්ව 548 ජූනි 19 උදේ 10:11:32 සිට මිනිත්තු 5:41ක්.
6. ක්‍රිස්තු පූර්ව 309 අගෝස්තු 15 හවස 2:13:02 සිට මිනිත්තු 3:29ක්.

මේ අතරින් මුල් හතර සිදුව ඇත්තේ බුද්ධ කාලය ලෙස බොහෝ දෙනෙකු විසින් පිළිගන්නා කාලයට බොහෝ කලිනි. අවසන් පූර්ණ සූර්යග්‍රහණය සිදුව තිබෙන්නේ අශෝක කාලයට ඉතා ආසන්නවය. ඒ නිසා බුද්ධ කාලයේදී සිදු වූවා විය හැක්කේ පස්වැන්න පමණි. එමෙන්ම එය මිනිත්තු 5:41ක් පුරා පැවති දීර්ඝ සූර්යග්‍රහණයක් වීමද විශේෂත්වයකි.

එසේනම්, ක්‍රිස්තු පූර්ව 548 ජූනි 19 උදේ 10:11:32 සිට මිනිත්තු 5:41ක් මහ දවාලේ ඉර නොපෙනී ගියේ බුදු හිමියන් සැවැත් නුවර සිටි සමයකදීද?

ථෙරවාද සම්ප්‍රදාය අනුව සම්බුද්ධ පරිනිර්වාණය සිදුව තිබෙන්නේ ක්‍රිස්තු පූර්ව 543දීය. එසේනම්, මේ සූර්යග්‍රහණය සිදුව තිබෙන්නේ සම්බුද්ධ පරිනිර්වාණයට වසර පහකට පෙරය. එහෙත්, දැනට වැඩියෙන් පිළිගන්නා ගයිගර්ගේ ගණනය කිරීම් අනුව සම්බුද්ධ පරිනිර්වාණය සිදු වී තිබෙන්නේ ක්‍රිස්තු පූර්ව 483දී වන අතර මෙය ඊට වසර 65කට පෙර වසරකි. ඒ වන විට සිදුහත් කුමරාට වයස අවුරුදු 15ක් පමණි. ක්‍රිස්තු පූර්ව 483ට පෙර වසර 45 තුළ (ගයිගර්ගේ ගණනය කිරීම් අනුව බුද්ධත්වයෙන් පසු පරිනිර්වාණය දක්වා කාලය තුළ) අඩු වශයෙන් ජේතවනාරාමය පිහිටි ප්‍රදේශයට සැලකිය යුතු බලපෑමක් කරන (දැනෙන තරමට අහස අඳුරු කරන) අර්ධ සූර්යග්‍රහණයක් හෝ සිදු වී නැත.

එසේනම්, භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන කල්හි සූර්‍ය්‍යදෙව්පුත් තෙම රාහු අසුරිඳු විසින් සැබෑවටම අල්ලා ගන්නා ලද්දේ වීද?

Wednesday, June 21, 2017

වසන්තයත් ඉවරයි!



අද (ජූනි 21) උත්තරාර්ධගෝලයේ රටවලට ගිම්හාන සූර්ය නිවෘත්තිය සිදුවන දිනයයි. මේ අනුව, උතුරු ඇමරිකාවේ හා යුරෝපයේ රට වල වසන්ත සෘතුව අදින් අවසන් වී ග්‍රීෂ්ම සෘතුව ආරම්භ වෙයි. ඒ සමඟම සූර්යයා දක්ෂිණායනය අරඹන නිසා මෙතෙක් කල් ක්‍රමයෙන් දීර්ඝ වුනු දවසක කාලය හෙට සිට නැවතත් ක්‍රමයෙන් කෙටි වන්නට පටන් ගනී. අද උත්තරාර්ධගෝලයේ රටවල දිවාකාලය වැඩිම දවසයි. ඇමරිකාවේ නිවුයෝර්ක් වැනි නගරයකට අද දිවා කාලය පැය 15කට වඩා වැඩිය. දක්ෂිණාර්ධගෝලයේ රටවල සිදුවන්නේ හරියටම මෙහි විරුද්ධ පැත්තයි.

බටහිර රටවල වර්ෂය සෘතු හතරකට බෙදේ. ඒ, වසන්ත (Spring), ග්‍රීෂ්ම (Summer), හේමන්ත (Fall/ Autumn) හා ශිශිර (Winter) වශයෙනි. මේ එක් සෘතුවක කාලය ආසන්න වශයෙන් මාස තුනක් වුවත් බටහිර සෘතු ග්‍රෙගෝරියන් කැලැන්ඩරයේ හෝ වෙනත් කැලැන්ඩරයක මාස සමඟ හරියටම සමපාත නොවේ. එමෙන්ම, මේ බෙදීමද ජනප්‍රිය වී ඇත්තේ සියවස් පහකට පමණ පෙරය. ඊට පෙර, වසන්ත හා හේමන්ත සෘතු වලට ලොකු වැදගත්කමක් ලැබී නැත.

ඉන්දියානු කලාපයේ දින දර්ශන වල සෘතු හයක් තිබේ. ඒ, ග්‍රීෂ්ම, වර්ෂා, සරත්, හේමන්ත, ශිශිර හා වසන්ත ලෙසිනි. ඒ නිසා සෘතුවක කාලය ආසන්න වශයෙන් මාස දෙකකි. ඉන්දියානු කලාපයේ ග්‍රීෂ්ම සෘතුව, වසන්ත සෘතුව ආදී ලෙස හඳුන්වන්නේ  බටහිර එසේ හඳුන්වන සෘතුවම නොවේ.

මේ අයුරින් වර්ෂයක කාලය සෘතු හයකට බෙදීම ඉන්දියානු කලාපයේ ඉතා පැරණි භාවිතයක් වන අතර වර්ෂයක කාලය මාස වලට බෙදා නම් කිරීමටද පෙර අතීතයට දිව යන්නකි. ත්‍රිපිටකයේ බොහෝ තැන් වල කාලය ගැන සඳහන් වන්නේ කිසියම් සෘතුවක පෙර (පූර්ව) හෝ පසු (පශ්චිම) මාසය වශයෙනි. දීපවංශයේ දකින්නට හැක්කේද මේ භාවිතාවයි. මහාවංශයේ සිංහල පරිවර්තනයක් මිස එහි පාලි ගාථා සහිත ග්‍රන්ථයක් මා සතුව නැති බැවින් එහි මාස සඳහා පරිවර්තනයේදී යොදාගෙන ඇති නම් මුල් ගාථා වල තිබෙන්නේ කෙසේදැයි මා දන්නේ නැත.

වේදය පිළිගත් ආස්තිකයන්ට සාපේක්ෂව බුදු හිමියන් විසින් කාලය එතරම් වැදගත් දෙයක් ලෙස සලකා නැත. උතුරු ඉන්දියාවේ කාලගුණ රටා අනුව වැඩි අපහසුවක් නැතිව හඳුනාගත හැකි සෘතු හා හඳේ කලාව වෙනස්වීම අනුව "හේමන්ත සෘතුවේ පශ්චිම මාසය" වැනි භාවිතාවක් වඩා ප්‍රායෝගික වන්නට ඇත.

පැරණි ඉන්දියානු කැලැන්ඩර වල සෘතු හා මාස අතර සෘජු සම්බන්ධයක් තිබේ. ඒ අනුව, සෘතුවකට මාස දෙකකි. බෙංගාලයේ  හැර උතුරු ඉන්දියාවේ අනෙක් ප්‍රදේශ වල මෑතකාලීනව භාවිතා වී ඇති දිනදර්ශන අනුව ග්‍රීෂ්ම සෘතුවේ පළමු මාසය චෛත්‍ර මාසය වන අතර දෙවන මාසය විශාඛ මාසයයි. එහෙත්, බෙංගාලි දින දර්ශනයේ ග්‍රීෂ්ම සෘතුවේ පළමු මාසය විශාඛ මාසයයි. දෙවන මාසය ජ්‍යෙෂ්ඨ මාසයයි.

උතුරු ඉන්දියාවේ පැහැදිලිව පෙනෙන්නට ඇති සෘතු භේද දකුණු ඉන්දියාවේදී හෝ ලංකාවේදී එසේ නොපෙනේ. ඒ අනුව, දකුණු ඉන්දියාවේ සෘතු සඳහා භාවිතා වන නම් උතුරු ඉන්දියානු (සංස්කෘත) නම් වලින් බිඳී ආ නම් නොවේ. මඳ උණුසුම්, දැඩි උණුසුම්, අඳුරු, ශීතල, මුල් මිහිදුම්, පසු මිහිදුම් යන අදහස් ඇති නම් වලින් මේ සෘතු හැඳින්වේ. ලංකාව මෙහිදී තමන්ට වඩා සමීප දකුණු ඉන්දියානු සෘතු බෙදීම් අනුව ගොස් නැති අතර, දීපවංශයේ ඇති තොරතුරු අනුව ලංකාවේ භාවිතය බෙංගාලයේ වත්මන් භාවිතයට සමානය.

බුද්ධ කාලයේදී වර්ෂය ආරම්භ වී ඇත්තේ වසන්ත විෂුවය ආසන්න දිනක වුවත් එය හරියටම වසන්ත විෂුවය සිදු වන දින සිදු වී ඇති බවක් නොපෙනේ. ඒ වෙනුවට අවුරුද්දේ ආරම්භය ලෙස සලකා ඇත්තේ වසන්ත විෂුවය දිනට ආසන්න අමාවක (අමාන්ත ක්‍රමයේදී) හෝ පුර පසළොස්වක (පූර්ණාන්ත ක්‍රමයේදී) පෝයට පසුව එන දිනයයි. දැනට ඉන්දියානු කලාපයේ භාවිතා වන චෛත්‍ර, විශාඛ ආදී ලෙස නැකැත් වල නම් මත පදනම් වන මාස වල නම් ඒ කාලයේ වේදය උගත් අය විසින් භාවිතා කරන්නට ඇතත් සාමාන්‍ය ව්‍යවහාරයේ නොතිබුණා විය හැකිය.

වේද ග්‍රන්ථ වල මුලින්ම සඳහන් වන මාස නම් කර තිබී ඇත්තේ නැකැත් අනුව නොවේ. මුලින්ම භාවිතා වී ඇති මාස වල නම් වනුයේ මධු, මාධව, ශුක්‍ර, ශුචි, නාභ, නාභත්ස්‍ය, ඉෂා, ඌර්ජා, සහස්, සහස්‍ය, තපස්, තපස්‍ය යන ඒවාය. වසර කිහිපයකට වරක් යෙදී ඇති අධික මාසය අම්හස්පත්‍ය ලෙස නම් කර තිබේ. මධු හා මාධව යනු වසන්ත සෘතුවේ පළමු හා දෙවන මාසයි. මේ නම් අදාළ සෘතුව සමඟ හොඳින් ගැලපේ. මධු මාසය අවසන් වී මාධව මාසය ඇරඹෙන දිනට ආසන්න දිනක් සමඟ වසන්ත විෂුවය සමපාත විය. ඉෂා හා ඌර්ජා යන නම් අදාළ මාස සඳහා ලංකාවේ භාවිතා වන ඉල් හා උඳුවප් යන නම් වලට යාන්තමින් සමානය.

වෛදික යුගය ආරම්භයේදී භාවිතා වී ඇති ඉහත මාස වල නම් ක්‍රමයෙන් භාවිතයෙන් ඉවත් වී පසුව ඒ වෙනුවට දැනට භාවිතා වන නැකැත් වල නම් ආදේශ වී ඇත. බුද්ධ කාලය වන විට මධු, මාධව ආදී නම් භාවිතයේ තිබී නැත. ක්‍රිස්තු පූර්ව පළමු සියවසෙහිදී පමණ ලියැවුණු ග්‍රන්ථයක චෛත්‍ර හා විශාඛ යනු පෙර මධු හා මාධව ලෙස හඳුන්වා ඇති මාසම බව සඳහන්ව තිබේ. ග්‍රීසිය හරහා රාශි චක්‍රය ඉන්දියාවට පැමිණ ඇත්තේත්, කාලය මැනීමට මූලික වශයෙන් යොදාගත් ශාස්ත්‍රයක් වූ  ජ්‍යෝතිෂය ක්‍රමයෙන් අනාවැකි කීමේ ශාස්ත්‍රයක් ලෙස රූපාන්තරණය වී ඇත්තේත් පසුකාලීනවය.

කාලගුණ චක්‍රය මත පදනම් වූ සෘතු ක්‍රමය හා මධු, මාධව ආදී මාස ක්‍රමය වෙනුවට නක්ෂත්‍ර තාරකා මත පදනම් වූ චෛත්‍ර, විශාඛ ආදී මාස ක්‍රමය ආදේශ වන කාලය වන විට වසන්ත විෂුවය සමග සමපාත වී ඇත්තේ සූර්යයා බෙරණ නැකතින් කැති නැකතට සම්ප්‍රාප්ත වීමයි.

කාලගුණ චක්‍රය පදනම් වන්නේ නිවර්තන වසර සමඟ වුවත් නක්ෂත්‍ර තාරකා වල චලනය පදනම් වන්නේ නක්ෂත්‍ර වර්ෂය මතය. මේ දෙක එකක් නොවේ. නක්ෂත්‍ර අවුරුද්දක් නිවර්තන අවුරුද්දකට වඩා විනාඩි විස්සකින් පමණ දිග වැඩි නිසා කාලයක් යද්දී වසන්ත විෂුවය සිදු වන දිනය කැලැන්ඩරයට අනුව වෙනස් වෙයි. ඒ අනුව සියවස් ගණනක් යද්දී චෛත්‍ර මාසය එළැඹෙන්නට පෙර වසන්තය එළැඹී තිබේ. ක්‍රිස්තු වර්ෂ පස්වන සියවස පමණ වෙද්දී වසන්ත විෂුවය සිදු වී ඇත්තේ සූර්යයා රේවතී නැකතෙන් අස්විද නැකතට යාමට ආසන්නවය. එනම්, සූර්යයා බෙරණ නැකතින් කැති නැකතට සම්ප්‍රාප්ත වීමට දින 27කට පමණ පෙරය.


පස්වන සියවස වන විට රාශි චක්‍රය ග්‍රීසිය හරහා ඉන්දියාවට පැමිණ තිබුණු අතර ඒ කාලයේදී වසන්ත විෂුවය මේෂ සංක්‍රාන්තිය සමඟ සමපාත විය. එවකට භාවිතයේ පැවති නැකැත් ක්‍රමය අනුව, සූර්යයා රේවතී නැකතින් අස්විද නැකතට යාමද වසන්ත විෂුවය හා මේෂ සංක්‍රාන්තිය සමඟ සමපාත විය. මේ අනුව, කැති නැකත තෙවන නැකත වී අස්විද නැකත පළමු නැකත බවට පත් විය.

වසන්ත විෂුවය හා මේෂ සංක්‍රාන්තිය එක වර සිදු වී ඇත්තේ ක්‍රිස්තු වර්ෂ ක්‍රිස්තු වර්ෂ 543 මාර්තු 19 වන දින විය හැකි බව පසු ගණනය කිරීමෙන් සොයාගත හැකිය. ඒ වන විටද භාවිතයේ තිබී ඇති සූර්ය සිද්ධාන්තයේ කාලය මැනීමේ ක්‍රමවේදයන් ආර්යභට්ට විසින් සංස්කරණය කරන්නට ඇත්තේ ඒ වසරේදී වන්නට පුළුවන. ආර්යභට්ට ජීවත් වී ඇති ලෙස සැලකෙන්නේ ක්‍රිස්තු වර්ෂ 476-550 අතරදීය. රාශි චක්‍රය, නැකැත් චක්‍රය හා සෘතු චක්‍රය පසුගිය සියවසට පෙර අවසන් වරට සමචක්‍රීය කර ඇත්තේ ඒ කාලයේදීය.

මේ අනුව, ක්‍රිස්තු වර්ෂ 543දී වසන්ත විෂුවය සූර්යයා රේවතී නැකතෙන් අස්විද නැකතට ගමන් කිරීම සමඟ සමපාත වී තිබිය යුතුය. එසේනම්, වසන්ත විෂුවය සූර්යයා බෙරණ නැකතෙන් කැති නැකතට ගමන් කිරීම සමඟ සමපාත වී තිබිය යුත්තේ ඊට වසර 1905කට පමණ පෙර එනම් ක්‍රිස්තු පූර්ව 1362දී පමණය. නිවර්තන වසර මත පදනම් වූ මධු, මාධව ආදී මාස වෙනුවට නක්ෂත්‍ර වසර මත පදනම් වූ චෛත්‍ර, විශාඛ ආදී මාස භාවිතයට පැමිණෙන්නට ඇත්තේ ඒ කාලයේදීය.
 

ක්‍රිස්තු පූර්ව පළමු සියවස වන විට හිපාර්කස් විසින් වසර දහස් ගණනක් තිස්සේ බැබිලෝනියානුවන් විසින් සටහන් කර තිබුණු ග්‍රහ පිහිටීම් පිළිබඳ වාර්තා අධ්‍යයනය කිරීමෙන් වසර 26,000ක පමණ චක්‍රයක් ලෙස සිදුවන සූර්යයාගේ පූර්වායනය ගැන දැන සිටියේය. මේ දැනුම ඉන්දියාවටද නොලැබෙන්නට හේතුවක් නැත. කෙසේ වුවද, ඉන්දියානු ජ්‍යෝතිෂ්‍යය ක්‍රිස්තු වර්ෂ 543 පමණ සිට සූර්යයාගේ පූර්වායනය නොසලකා හැරියේය. දින දර්ශනය සෘතු මාරුවීම් සමඟ සමපාත කරනවාට වඩා කාලය නිවැරදිව මැනීම ඔවුන්ට වැදගත් වූවා විය හැකිය.

සෘතු විපර්යාස නිවර්තන වර්ෂය මත පදනම් වීමත්, මේෂ සංක්‍රාන්තිය නක්ෂත්‍ර වර්ෂය මත පදනම් වීමත් නිසා වසන්ත විෂුවය හා මේෂ සංක්‍රාන්තිය අතර පරතරය එන්න එන්නම වැඩි වේ. ග්‍රෙගෝරියන් කැලැන්ඩරය සැලසුම් කර ඇත්තේ වසන්ත විෂුවය මාර්තු 21 ආසන්න දිනක සිදුවන පරිදි නිවර්තන වසර අනුව නිසා ග්‍රෙගෝරියන් කැලැන්ඩරයට සාපේක්ෂව  මේෂ සංක්‍රාන්තිය වසරින් වසර ඉදිරියට ගොස් මේ වන වන විට දින 24ක පමණ පරතරයක් ඇති වී තිබේ. දැන් වසන්ත විෂුවය සිදු වන්නේ සූර්යයා මීන රාශියේ, එසේත් නැත්නම් උතුරුපල් නැකතේ සිටියදීය. සායන හා නිරයන ගණනය කිරීම් අතර මේ වන විට ඇති ඉහත දින 24ක පමණ වෙනස ගිම්හාන හා ශිශිර සූර්ය නිවෘත්තීන් වලටද බලපායි. 


බටහිර ක්‍රමයට ග්‍රීෂ්ම සූර්ය නිවෘත්තිය සමඟ ග්‍රීෂ්ම සෘතුව ඇරඹෙන නමුත් ඉන්දියානු (සායන) ක්‍රමයට එදින ග්‍රීෂ්ම සෘතුව අවසන් වී වර්ෂා සෘතුව ආරම්භ වේ. ලංකාවේ (හා ඉන්දියාවේ) භාවිතා වන නිරයන ජ්‍යෝතිෂ ක්‍රමය අනුව ග්‍රීෂ්ම සෘතුව අවසන් වන්නේ සූර්ය නිවෘත්තියෙන් දින 24කට පමණ පසුව සිදුවන කටක සංක්‍රාන්තියත් සමඟය. ඒ අනුව, මැයි 15 ආසන්න දිනක ඇරඹුණු ලංකාවේ ග්‍රීෂ්ම සෘතුවට අයත් මාස දෙකෙන් දෙකෙන් අඩකටත් වඩා මේ වන විට ගෙවී අවසන්ය. ලංකාවේ ග්‍රීෂ්ම සෘතුව ජූලි 15 පමණ අවසන් වී වර්ෂා සෘතුව ආරම්භ වේ.

ඉන්දියාවෙන් ආනයනය කර ඇති (ජ්‍යෝතිෂයේදී භාවිතා වන) සෘතු ලංකාවේ කාලගුණ රටා සමඟ ගැලපෙන්නේ නැත. ග්‍රීෂ්ම හා වර්ෂා සෘතු මාරු වුනානම් ලංකාවේ කාලගුණ රටාවට වඩා ගැලපේයැයි සිතේ.

ගිම්හාන සූර්ය නිවෘත්තියෙන් පසුව එලඹෙන සිවු මාසයක කාලය එනම් වර්ෂා හා සරත් සෘතු දෙක ඉන්දියානු ආගම් වල විශේෂ කාලයක් ලෙස සලකා තිබේ. බෞද්ධ භික්ෂුන්ගේ වස් කාලය යෙදෙන්නේත් මේ මාස හතර තුළය. මේ මාස හතර අවසානයේ පැරණි ඉන්දියාවේ චතුමාස කෞමුදී ලෙස හැඳින්වුණු විශාල උත්සවයක් පැවැත්වී තිබේ. ශ්‍රී මහා බෝධිය රැගෙන එන්නට පැළලුප් නුවරට ගිය ලංකා නියෝජිත පිරිස එහි ගොස් ඇත්තේද ඒ උත්සවය පැවැත්වෙද්දීය. කඨින පෙරහැර හා උත්සව පැවැත්වෙන්නේද මේ චතුමාස කෞමුදී මහෝත්සවය පවත්වා ඇති දිනමය.

Sunday, April 23, 2017

තාරකා තියෙන්නේ කොහේද?

අද අප බොහෝ දෙනෙක් දන්නා තරමින් අහසේ පෙනෙන තාරකා බොහොමයක් තියෙන්නේ ආලෝක වර්ෂ ගණනක් දුරිනි. ආලෝක වර්ෂයක් යනු ආලෝකය වර්ෂයක් තුළ ගමන් කරන දුරයි. ආලෝකයේ වේගය එය ගමන් කරන මාධ්‍යය අනුව වෙනස් වුවත්, රික්තකයක් තුළදී නියතයක් වන බව සාමාන්‍යයෙන් පිළිගැනේ.

1975දී පැවැත්වුණු කිරුම් මිනුම් පිළිබඳ 15වන මහා සමුළුවේදී ආලෝකයේ වේගය තත්පරයට මීටර 299,792,458 බවට එකඟත්වයකට පැමිණුනත්, මේ එකඟත්වයට හේතුවුණේ ඒ වන විට දැන සිටි දේවල්ය. රික්තකයක් කොයි තරම් හිස්ද, ආලෝකය සෑදී ඇති ෆෝටෝන වලට ස්කන්ධයක් තිබේද, ඕනෑම සමුද්දේශ රාමුවකට සාපේක්ෂව ආලෝකයේ වේගය නියතද වැනි ප්‍රශ්න අපි දැනට පැත්තකින් තියමු. 1983දී පැවැත්වුණු කිරුම් මිනුම් පිළිබඳ 17වන මහා සමුළුවේදී මීටරයක් යනු ආලෝකය රික්තකයක් තුළ තත්පරයෙන් 1/299,792,458ක කාලයක් තුල ගමන් කරන දුර ලෙස අර්ථ දක්වා ඇති නිසා ආලෝකයේ වේගය තත්පරයට මීටර 299,792,458ක් බව රුපියලකට සතසීයක් තිබීම තරම්ම නොවූවත් සෑහෙන දුරට සත්‍යයකි.

වඩා වැදගත් ප්‍රශ්නය ආලෝකය ආලෝක වර්ෂයක දුර ගමන් කිරීමට ගතවන කාලය කුමක්ද යන්නයි. අවුරුද්දක් කීම ප්‍රමාණවත් පිළිතුරක් නොවන්නේ අවුරුදු ඇත්තේ එකක් පමණක් නොවන බැවිනි. ලංකාව පමණක් ගත්තද, සිංහල අවුරුද්ද ගණනය කිරීමේදී හා හින්දු ආගමික උත්සව වල දින තීරණය කිරීමේදී යොදාගන්නා නක්ෂත්‍ර අවුරුද්ද, පෝය ගණනය කිරීමට යොදාගන්නා චන්ද්‍ර-සූර්ය අවුරුද්ද, පාස්කුව ගණනය කිරීමට යොදාගන්නා නිවර්තන අවුරුද්ද, ඉස්ලාම් ආගමිකයින් විසින් උපවාස කාලය තීරණය කිරීමට භාවිතා කරන චන්ද්‍ර මාස දොළහේ අවුරුද්ද හා සිවිල් දින දර්ශනයට පාදක වන ග්‍රෙගෝරියන් අවුරුද්ද එකිනෙකට සමාන නැත. ඒ නිසා ආලෝකයේ වේගය නියතයක් ලෙස සැලකුවත් ආලෝක වර්ෂය නියත වීමටනම් නියත අවුරුද්දක්ද අවශ්‍ය වේ. මේ නියත අවුරුද්ද ඉහත අවුරුදු එකක්වත් නොවන අතර දවස් 365.25ක ජුලියන් අවුරුද්දයි. දවසක කාලය නියතද යන ප්‍රශ්නයත් අපි පැත්තකින් තියමු.

මේ එකක්වත් විශාල ප්‍රශ්න ලෙස සැලකිය යුතු නොවන්නේ නාසා ආයතනයට අනුව අභ්‍යකාශ විද්‍යාවේදී (ඉතා ඈතින් ඇති තාරකා වලට දුර මැනීම වැනි කරුණු වලදී) නියම ගණනට වඩා දහගුණයක් විශාල හෝ දහගුණයකින් අඩු අගයක් හොඳ මිනුමක් ලෙස සලකන බැවිනි. ඒ මිනුම් වරද කෙසේවුවත්, අහසේ අපට පෙනෙන තාරකා බොහොමයක් තිබෙන්නේ ආලෝක වර්ෂ සියගණනක් දුරිනි. ආලෝක වර්ෂයක් යනු කිලෝමීටර 9,460,730,472,580.80 කි. ආලෝක වර්ෂයක් ඈතින් තිබෙන තාරකාවක් අපට පෙනෙන්නේ ජුලියන් වසරකට හෙවත් දින 365.25කට පසුවය. (මේ අයුරින්ම, අපට නැගෙනහිර ක්ෂිතිජයෙන් ඉර පායනු පෙනෙන්නේද ඉර "ඇත්තටම පායා" විනාඩි අටකට පමණ පසුවය.)

ඉරෙන්, හඳෙන් හා බ්‍රහස්පති වැනි ග්‍රහයන්ගෙන් කෙසේ වුවත්, මේ තරම් ඈතින් තිබෙන තාරකා වලින් පෘථිවියට බලපෑමක් තිබෙන්නට ඇති ඉඩකඩ ඉතාම සීමිතය. හොලිවුඩ් චිත්‍රපටයක මෙන්, ඔළුව ලොකු, කන් දිග ඒලියන් කෙනෙක් හෙට උදේ දොරට තට්ටු කර ලංකාවේ කුණු ප්‍රශ්නයට විසඳුමක් කියාදී යන්නට ඇති ඉඩකඩ මුළුමනින්ම බැහැර කළ නොහැකි වුවත්, එසේ වෙන්නට ඇති ඉඩකඩ විය නොහැකි තරමටම ඉතාම සීමිතය. මෙතැනදී "ඉතාම සීමිතය" යන්න මගේ පෞද්ගලික විශ්වාසයක් පමණක් වන අතර වෙනත් අයෙකු එසේ නොසිතන්නට පුළුවන.

ඒ ආකාරයේ බලපෑමක් නැතත් මේ ඈතින් තිබෙන තාරකා පොළොවේ ජනජීවිතයට කොයිතරමට බලපාන්නේද යන්නට ඇති හොඳම සාක්ෂිය ලෝකයේ රටවල් වලින් තුනෙන් එකක පමණ ජාතික කොඩි වල විවිධ තරු සලකුණු තිබීමයි. මේ රටවල් අතර පළමුවෙනි, දෙවෙනි හා තෙවෙනි ලෝක ලෙස කලකට පෙර හැඳින්වූ ධනවාදී, සමාජවාදී හා අඩු ආදායම් රටවල්ද, ක්‍රිස්තියානි, කතෝලික, ඉස්ලාම්, බෞද්ධ, යුදෙවු හා අදේවවාදී රටවල්ද ඉතා හොඳින් නියෝජනය වේ.

පෙර ලිපියෙන් කතාකළ ඕස්ට්‍රේලියානු ජාතික කොඩියේ දක්නට ඇති දකුණු කුරුසිය උදාහරණයකි. රටවල් පහකම ජාතික කොඩිවල මේ දකුණු කුරුසියට තැනක් ලැබී තිබේ.

ඕස්ට්‍රේලියානු කොඩියේ තිබෙන්නේ දකුණු කුරුසියට අයත් තරු පහ පමණක් නොවේ. එහි හයවන තරුවක්ද තිබේ. මුළු හතකින් යුතු මේ තරුව හැඳින්වෙන්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය තාරකාව වශයෙනි. එහි මුළු හයකින්, ඕස්ට්‍රේලියාවේ මුල් ප්‍රාන්ත හයත් හත්වන මුල්ලෙන් පසුව එකතු වූ හෝ එකතු විය හැකි ප්‍රාන්තත් සංකේතවත් කරයි. මේ තාරකාව දකුණු කුරුසියට අයත් ඇල්ෆා කෘෂියස් හා බීටා කෘෂියස් ආදී තාරකා මෙන් අහසේ දැකිය නොහැකි, ඕස්ට්‍රේලියානුවන්ගේ (හා වෙනත් අයගේ) පොදු ජන විඥානයේ ඇති තරුවකි. ඕස්ට්‍රේලියානු කොඩියේ ඇති, අහසේ දැකිය නොහැකි, මේ තරුව ඕස්ට්‍රේලියානුවන් බහුතරයක් පොදු රාජ්‍ය මණ්ඩලීය තරුව ලෙස හඳුනනවා විය යුතුය.

බොහෝ රටවල ජාතික කොඩි හා ප්‍රාදේශීය කොඩි වල තිබෙන තරු ඇත්තටම තිබෙන්නේ ඒ රටවල ජීවත්වන මිනිසුන්ගේ සාමූහික විඥානය තුළ මිස අහසේ නොවේ. ඒ නිසා, තරු වලින් පොළොවට ඇති බලපෑම තීරණය වන්නේ ඒ තරු වලට ඇති ආලෝක වර්ෂ ගණන මතද නොවේ.


(Images: www.ausflag.com.au)

Saturday, April 22, 2017

දකුණු කුරුසිය



ලංකාව වැනි සමකය ආසන්න රටක සිට දැකිය හැකි රෑ අහසේ තරු රටා සියල්ල සමකයෙන් ඈත රටක සිට දැකිය නොහැකිය. උතුරු ඇමරිකාවේදී රාත්‍රී කාලය පුරාවටම අහසේ දැකිය හැකි "බැස නොයන" ධ්‍රැව තාරකාව ඕස්ට්‍රේලියාවේ සිට දැකිය නොහැක. සප්තාර්ශි තාරකා මණ්ඩලයද ඕස්ට්‍රේලියාවේ දකුණු වෙරළේ පිහිටි ප්‍රධාන නගර වලට නොපෙනේ. මේ අයුරින්ම, දක්ෂිණ ධ්‍රැවය ඉහළින් ඇති, ඕස්ට්‍රේලියානු අහසින් බැස නොයන ඇතැම් තාරකා මණ්ඩල ඇමරිකාවේ උතුරු ප්‍රාන්තයක සිට දැකිය නොහැකිය. දකුණු කුරුසිය එවැනි තාරකා මණ්ඩලයකි.

උතුරු අර්ධගෝලයේදී ධ්‍රැව තාරකාව නාවිකයින්ට මඟ පෙන්වා ඇති අයුරින්ම, දකුණු කුරුසිය වසර දහස් ගණනක් පුරා දකුණු අර්ධගෝලයේ යාත්‍රා කළ නාවිකයින්ට මඟ පෙන්වා තිබේ.

දකුණු කුරුසිය කුරුසියක හැඩයට පෙනෙන ප්‍රධාන තාරකා හතරකින්ද, සාපේක්ෂව කුඩා පස්වන තාරකාවකින්ද සමන්විත කුඩා තාරකා මණ්ඩලයකි. ප්‍රධාන තාරකා හතර ඇල්ෆා කෘෂියස්, බීටා කෘෂියස්, ගැමා කෘෂියස් හා ඩෙල්ටා කෘෂියස් ලෙස හඳුන්වන අතර කුඩා තාරකාව එප්සිලෝන් කෘෂියස් ලෙස හැඳින්වේ.

ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, පැපුවා නිවුගිනි, සමෝවා හා බ්‍රසීලය යන ලෝකයේ රටවල් පහක ජාතික කොඩිවල දකුණු කුරුසිය දකින්නට ලැබේ. නවසීලන්ත කොඩියේ දැකිය හැක්කේ ප්‍රධාන තාරකා හතර පමණි. 





 (Image: http://scienceblogs.com/startswithabang/2012/06/15/its-my-______-in-a-box/)

Wednesday, April 19, 2017

පාර කියන තාරකා...

හඳේ මූණ එතරම් පිරී නැති රැයක අහස බලන අයෙකුට සමන් පිච්ච මල් ඉහිරුණු නිල් තණකොළ පිට්ටනියක් ලෙස හෝ වෙනත් අයුරකින් දිස්වන තරු පිරි අහස එක වරම පෙනෙන්නේ අපිළිවෙලකට ඇඳි සිතුවමක් ලෙසිනි. අහසේ ඇති තාරකා අතර රටාවක් හෝ පිළිවෙලක් ආධුනික තාරකා නිරීක්ෂකයෙකුට එක් වර නොපෙනේ. එහෙත්, දිගින් දිගටම මේ කටයුත්ත කරන්නේනම් අහසේ ඇති තරු රටා මෙන්ම ඒ තරු චලනය වන රිද්මයන්ද හඳුනා ගත හැකිය.

තරමක පුහුණුවක් ලැබූ පසු පහත පළමු රූප සටහනේ ඇති තරු සිතියම වැන්නක් බලා දෙවන රූප සටහනේ ඇති සප්තාර්ශි තාරකා මණ්ඩලය වැනි තාරකා මණ්ඩල හඳුනාගන්නට පුළුවන. 



රාශි චක්‍රය ලෙස හඳුනාගන්නේ ඉහත සිතියමේ කහ පැහැයෙන් ලකුණු කර ඇති තාරකා මණ්ඩල දොළොසයි. මේ තාරකා මණ්ඩල වල සිංහල හා බටහිර නම් හා සංකේත පහත පරිදිය. සිංහල නම් හැදෙන්නේ සංස්කෘත නම් වලින් වන අතර සංස්කෘත නම් (කර්කටක යන්න කටක වීම හැර) බොහෝ දුරට සිංහල නම් වලට සමානය.

1. මේෂ  (Aries) එළුවා
2. වෘෂභ (Taurus) ගවයා
3. මිථුන (Gemini) යුවලක්
4. කටක (Cancer) කක්කුට්ටා
5. සිංහ (Leo) සිංහයා
6. කන්‍යා (Virgo) කන්‍යාව
7. තුලා (Libra) තරාදිය
8. වෘශ්චික (Scorpio) ගෝනුස්සා
9. ධනු (Sagittarius) දුනුවායා
10. මකර (Capricorn) මකරා
11. කුම්භ (Aquarius) කලය
12. මීන (Pisces) මාළු දෙන්නා


මේ රාශි තාරකා මණ්ඩල වල ඇති විශේෂත්වය වන්නේ පොළොව සිය අක්ෂය වටා කැරකෙන හා ඉර වටා භ්‍රමණය වන තලයට ආසන්නව මේ තාරකා මණ්ඩල පිහිටා තිබීමයි. රාශි තාරකා මණ්ඩල වලට සාපේක්ෂව සප්තාර්ශි තාරකා මණ්ඩලය වැනි තාරකා මණ්ඩල පිහිටා ඇත්තේ උතුරිනි.

මේ සුවිශේෂී පිහිටීම නිසා පොළොව සිය අක්ෂය වටා භ්‍රමණය වන විට මේ තාරකා නැඟෙනහිරින් උදාවී, අහසේ මුදුන් වී, බටහිරින් බැස යන සේ පෙනේ. මෙය සෑම තාරකා මණ්ඩලයකටම පොදු දෙයක් නොවේ. පහත රූප සටහනේ, වැඩි දෙනෙකු ඉගෙන ගෙන ඇති සූර්ය කේන්ද්‍රීය ආකෘතිය යොදාගනිමින් මේ රාශි තාරකා මණ්ඩල වල පිහිටීම පෙන්වා තිබේ.




මෙහිදී විශේෂයෙන් මතක තබාගත යුතු කරුණක් වන්නේ ආලෝක වර්ෂ ගණනාවක් ඈතින් පිහිටි මේ තාරකා වලට සාපේක්ෂව ඉර හා පොළොව අතර ඇත්තේ නොසලකා හැරිය හැකි තරම් ආසන්න දුරක් බවයි. ඒ නිසා, ඉර වටා පොළොව කැරකෙන තලයේ සිටින්නේනම් ඉරේ සිට බැලුවද, පොළොවේ සිට බැලුවද මේ තාරකා රටා වෙනස්ව පෙනෙන්නේ නැත.

මේ රූප සටහනෙන් පැහැදිලි වන පරිදි, වසරේ කිසියම් දිනක උදේ ඉර පායන්නට ආසන්න වන විට ඉර කෙළින් පෙනෙන්නට තිබෙන්නේ ඉරෙන් පොළොවට ප්‍රතිවිරුද්ධ පැත්තේ ඇති තාරකා රටාවයි. මේ අනුව, මාර්තු 14- අප්‍රේල් 14 අතර දිනක ඉර උදාවන විට ඔබට නැගෙනහිර ක්ෂිතිජයේ දකින්නට ලැබෙන්නේ මීන රාශි තාරකා මණ්ඩලයයි. අප්‍රේල් 14- මැයි 14 අතර ඉර උදාවන විට එහි ඇත්තේ මේෂ රාශි තාරකා මණ්ඩලයයි. මෙය ආසන්න වශයෙන් දින 30.5කට පමණ වරක් වෙනස් වන අතර වසරක කාලයක් තුළ චක්‍රීය ලෙස සිදුවේ.

බටහිර ජ්‍යෝතිෂයේදී ලග්නය ලෙස හඳුනාගන්නේ මෙසේ පොළොව ඉර වටා භ්‍රමණය වීමේදී පොළොවට විරුද්ධ දිශාවේ ඇති රාශි තාරකා මණ්ඩලයයි. ඒ ක්‍රමයට, කිසියම් මාසයක් තුළ උපදින අයට හිමි වන්නේ එකම ලග්නයයි. ඒ, පොළොවේ සිට ඉර පිහිටි දිශාවේ ඇති තාරකා රාශියයි.

කෙසේ වුවද, පෙරදිග ක්‍රමයට ලග්නය තීරණය කිරීමේදී පොළොව ඉර වටා ගමන් කිරීම මෙන්ම පොළොව සිය අක්ෂය වටා භ්‍රමණය වීම ගැනද සලකයි. මේ රූප සටහනෙන් පෙනෙන පරිදි, පොළොව සිය අක්ෂය වටා කැරකෙන නිසා පොළොව මත කිසියම් තැනක සිටින කෙනෙකුට දවසක් තුළ රාශි තාරකා දොළහම අහසේ නිශ්චිත තැනක දකින්නට හෝ පවතින බව නිගමනය කරන්නට පුළුවන.

පෙරදිග ක්‍රමයට, ලග්නය යනු පොළොවේ සිටින නිරීක්ෂකයෙකුට තමන් සම්මුඛව නැගෙනහිර ක්ෂිතිජයෙහි දැකිය හැකි තාරකා රාශියයි. ඉර උදාවන වෙලාවේ මෙය පොළොවේ සිට බලන විට ඉර පිහිටි දිශාවේ ඇති රාශියයි. ඉර බසින විට මෙය පොළොවේ සිට බලන විට ඉරට විරුද්ධ දිශාවේ ඇති රාශියයි. 


මේ විස්තරය ඉදිරිපත් කිරීමෙන් පසු කිව යුතු වැදගත්ම දෙය, පැහැදිලි කිරීමේ පහසුවට, අරුන්දතී තාරකාව පෙන්වන ක්‍රමයට විස්තර කළත්, ලග්නයක් හෝ රාශියක් යනු මේ වන විට ලිපි කිහිපයකින්ම විස්තර කරමින් පැවසූ පරිදි අහසේ පෙනෙන්නට තිබෙන මේ තාරකා රාශි මණ්ඩල නොවේ.

ලග්න හෝ රාශි යනු ප්‍රත්‍යක්ෂ කළ නොහැකි, සෘජුව නිරීක්ෂණය කළ නොහැකි, සංකල්ප ඇසුරින් ගොඩ නඟා ඇති වියුක්ත ප්‍රවාදයකි. ඇඟිල්ල දිගු කර පෙන්විය හැකි අහසේ ඇති රාශි තාරකා මණ්ඩල යනු මේ වියුක්ත සංකල්පය තේරුම් ගැනීම පහසු කිරීමට යොදාගෙන ඇති සංකේත හෙවත් හැඟවුම්කාරක පමණි.


වසර දහස් ගණනකට පෙර නිරීක්ෂණ ඇසුරින් මේ වියුක්ත ප්‍රවාද ගොඩනඟා ඇත්තේ අද බටහිර විද්‍යාවේ ප්‍රවාද ගොඩනඟන ආකාරයටමය. රාශියක් යනු ඇත්තටම අපට පෙනෙන අහස මනඃකල්පිත ලෙස කොටස් දොළහකට බෙදූ විට ලැබෙන එක් කොටසකි. ඒ අනුව, අහසේ මීන රාශියට හා මේෂ රාශියට අයත් කොටස් වෙන් කරන මනඃකල්පිත බෙදුම් ඉරක් තිබේ. ඉර වටා යන පොළොව සිංහල අවුරුදු දා මේ මනඃකල්පිත බෙදුම් ඉර පසු කරයි. වසරක් තුළ එවැනි බෙදුම් ඉරි දොළහක් පහු කරයි.

තාරකා අවශ්‍ය වන්නේ මේ එක් කොටසක් හඳුනා ගැනීම සඳහාය. එක් එක් කොටසක් හඳුනාගැනීම සඳහා ඒ කොටස නියෝජනය කරන කිසියම් තාරකා මණ්ඩලයක් යොදාගෙන තිබේ. තාරකා මණ්ඩල යනු ප්‍රවාදයේ කොටසක් නොවන නිසා ප්‍රවාදය තේරුම් ගත් පසු තාරකා අවශ්‍ය වන්නේද නැත. ඒ නිසා, මේ රාශියක් තුළ අදාළ තාරකා මණ්ඩලය ඇත්තටම තිබෙනවාද යන්නද එතරම්ම  වැදගත් කරුණක් නොවේ.

Tuesday, April 18, 2017

වික්ටර්ගේ අරුන්දතී හා ජෝතිපාලගේ අරුන්දතීලා

ජාන වලින් එන බලපෑමක් නිසා හෝ පුරුද්ද නිසා හෝ වෙනත් කවර හෝ හේතුවක් නිසා සමහර අයට බොහෝ වෙලාවටත්, බොහෝ අයට සමහර වෙලාවටත් රාත්‍රීය උදාවී බොහෝ වෙලාවක් අවදිව සිටින්නට සිදුවේ. රෑ බෝ වී ඇතත් නිදිමත අහලකවත් නැත්නම් මොකද කරන්නේ?

මේ වගේ වෙලාවට පොඩ්ඩක් මිදුලට බැස අහස නිරීක්ෂණය කරන එක එතරම් නරක පුරුද්දක් නොවේ.

"නින්ද නේන රාත්‍රියේ
මේ පාළු කාන්සියේ
පායා අරුන්දතී තරුවෙන්
එන්න කාන්තියේ..."

එච් ආර් ජෝතිපාල ගයන මේ ගීතයේ මුල් හින්දි තනුවට ගී පද ලියා ඇත්තේ අජන්තා රණසිංහයන් විසිනි. ගීතය ලියැවුණු පසුබිම මෙහි තිබේ.  



මුල් හින්දි ගීතය ඇරඹෙන්නේ මෙසේය. 

"චෞද්හවිං කා චාන්ද් හෝ
යා ආෆ්තාබ් හෝ
ජෝ භී හෝ තුම්, ඛුදා කී කසම්, ලාජ්වාබ් හෝ...

चौदहवीं का चाँद हो, या आफ़ताब हो
जो भी हो तुम खुदा कि क़सम, लाजवाब हो...

ඔබ පසළොස්වක සඳද?
නැත්නම් ඉරද?
ඔබ කවුරු වුවත්, දෙයියම්පල්ලා, ඔබට සමාන කළ හැකි කිසිවෙක් නෑ..."

සිංහල ගීතයේ මෙන්ම හින්දි ගීතයේද පදවැල් මිහිරිය. එහෙත්, අරුත් සමාන නැත. හින්දි ගීතයේ පසළොස්වක සඳ හා ඉර වෙනුවට, අජන්තා රණසිංහ විසින් අරුන්දතී තාරකාව ගීතයට එකතු කර තිබේ.



නින්ද නේන රාත්‍රියේ අහසේ සිටි අරුන්දතිය ගැන කතා කළ එච් ආර් ජෝතිපාලයන් විසින්, වෙසක් මහේ දොසක් නොමැති නැකතක් බලා ගෙට කැන්දාගෙන එන්නට බලාපොරොත්තුවෙන් සිටි පොළොවේ සිටි අරුන්දතියක්ද විය.

"දොළොස්මහේ පහණ වාගේ පැලට එළිය දුන්න
මවයි පියයි සනස්සමින් සන්තෝසෙන් ඉන්න
අරුන්දතී මල්ලි මොටද ගමන් බිමන් යන්න
අදින් පස්සේ මේ පාරෙන් ඔබ තනියම යන්න..."


මේ අරුන්දතී තාරකාව ගැන අමරදේවයෝද ගැයූහ.

"තරු අරුන්දතී නෙතු පහන් නිවා
දුර නිසොල්මනේ හිඳිනා.."

මේ මියුරු ගීයේ පදමාලාවද අජන්තා රණසිංහයන්ගේය. 



අරුන්දතී තාරකාව ගැන ගී ලියා ඇත්තේ අජන්තා රණසිංහ පමණක් නොවේ. වික්ටර් රත්නායක ගයන අරුන්දතී තාරකාව සේ ගීතය සුනිල් ආරියරත්නයන්ගේ වියමනකි.

"අරුන්දතී..තාරකාව සේ දිලී දිලී
නුවන් පෙතී..විදා බලා නොව මැලී මැලී
බ්‍රහස්පතී.. නැණින් යොවුන් සිත් බැඳී බැඳී
දවස්පතී..රුවින් සිනාසෙයි නැගී නැගී..."

මේ ගීතයේ අරුන්දතී තාරකාව සමඟ පැත්තකින් බ්‍රහස්පති ග්‍රහයා හා දවස්පති හෙවත් සූර්යයාද පෙනෙන්නට සිටී.


ඉර, හඳ, බ්‍රහස්පති ඇතුළු ග්‍රහයන්, දොළොස්මහ හා වෙසක් මහ මෙන්ම නැකැත් ගැනත් අපි බොහෝ දෙනෙකු දනිතත් අහසේ තාරකා අතර දිදුලන අරුන්දතී තාරකාව ගැන වැඩි දෙනෙක් නොදන්නවා විය හැකිය.

අරුන්දතී තාරකාව රෑ අහසේ පෙනෙන සිය දහස් ගණනක් තාරකා අතරින් තවත් එක් තාරකාවකි. වැඩි දීප්තියක් නැති, කුඩා තාරකාවක් වන අරුන්දතී තාරකාව තනිව ගත් කළ එහි විශේෂත්වයක් නැත. එහෙත්, ඒ සමීපයේම ඇති වඩා දීප්තිමත් වශිෂ්ඨ තාරකාව හේතුවෙන් මේ කුඩා තාරකාවට වසර දස දහස් ගණනක් තිස්සේ ලෝකයේ සෑම ප්‍රධාන ශිෂ්ඨාචාරයකම වාගේ වැදගත් තැනක් ලැබී තිබේ. වශිෂ්ඨ තාරකාව සප්තාර්ශී තාරකා මණ්ඩලයට අයත් තාරකා හතෙන් එකකි. ඉතිරි තාරකා මරිචි, පුලස්ති, පුලහ, අංගීරස, අත්‍රි හා ක්‍රතු ලෙස හැඳින්වේ.



ඇත්තටම ආලෝක වර්ෂ 0.5-1.5 පමණ ඈතින් පිහිටියත්, පොළොවට පෙනෙන පරිදි, වසර දහස් ගණනක් තිස්සේ ඈත් නොවී එක ලඟින්ම හිඳින වශිෂ්ඨ තාරකාව හා අරුන්දතී තාරකාව සදා වෙන් නොවී පෙමින් බැඳී සිටින ආදරබර යුවලක් ලෙසත්, සාර්ථක විවාහයක සංකේතයක් ලෙසත් ලොව පුරා විවිධ සංස්කෘතීන්හි හඳුනා ගෙන තිබේ. ලොකු විශේෂත්වයක් නැති බිරිඳකට බලවත් සැමියෙකු නිසා ලැබෙන ආකර්ෂණය වැනි ආකර්ෂණයක් වශිෂ්ඨ තාරකාව නිසා අරුන්දතී තාරකාවට ලැබී තිබේ. අනෙක් අතට, එක සේ දීප්තිමත් සප්තාර්ශි තරු අතරින් සමීප සහකාරියක් සිටින එකම තරුව වන වශිෂ්ඨ තාරකාවටද අරුන්දතී තාරකාව නිසා විශේෂ අවධානයක් ලැබී තිබේ.

සප්තාර්ශී තාරකා අතරින් පුලහ හා ක්‍රතු තාරකා දෙස බලා ඒ එල්ලේම ඉහළට ඇස ගෙන ගිය විට ධ්‍රැව තාරකාව හමුවේ. ආසන්න ලෙස පොළොවේ උත්තර ධ්‍රැවය කෙළින් පිහිටි ධ්‍රැව තාරකාව වසර දස දහස් ගණනක් තිස්සේ නාවිකයින්ට හා කාන්තාර වල සංචාරය කරන්නට මඟ පෙන්වා ඇත. එහි පිහිටීම හේතුවෙන් පොළොව භ්‍රමණය වෙද්දී මේ තාරකාව ස්ථිර තැනක පවතින සේ පෙනේ. ලෝකයේ විවිධ සංස්කෘතීන්හි සප්තාර්ශී තාරකා මණ්ඩලය ගැන ඇති ජනශ්‍රැති පිළිබඳව සිදු කර ඇති අධ්‍යයනයකට අනුව මේ සියළු ජනශ්‍රැති වසර 13,000කට පමණ පෙර එකම මූලයකින් ඇරැඹී තිබේ.




ඇමරිකාවේ හතළිස් නවවන ප්‍රාන්තය වන ඇලස්කාවේ කොඩියේ තිබෙන්නේ මේ සප්තාර්ශී තාරකා මණ්ඩය හා ධ්‍රැව තාරකාව අහසේ දිදුලන ආකාරයයි. එහෙත්, එහි අරුන්දතී තාරකාව දැකිය නොහැක. 


සප්තාර්ශී තාරකා මණ්ඩලය බටහිර රටවල මහ වලහා ලෙසත්, බිග් ඩිපර් ලෙසත්, අර්සා මේජර්  (Ursa Major) ලෙසත් හැඳින්වේ. වශිෂ්ඨ තාරකාව බටහිරදී මිසාර් ලෙසත් අරුන්දතී තාරකාව ඇල්කෝර් (Mizar and Alcor) ලෙසත් ඒවායේ අරාබි නම් අනුව හැඳින්වේ. මේ තාරකා මණ්ඩලය ආධුනික තාරකා නිරීක්ෂකයින් අහස අධ්‍යයනය කිරීම අරඹන විට මුලින්ම වාගේ හඳුනා ගන්නා තාරකා මණ්ඩලයකි.

සමකය කෙළින් නොව වඩා උතුරෙන් පිහිටි අරුන්දතී තාරකාව රාශි චක්‍රයේ හෝ නැකැත් චක්‍රයේ කොටසක් නොවේ.

සමහර බරපතල දේවල් වෙනත් අයෙකුට එකවර කී විට නොතේරේ. එවිට හොඳ ගුරුවරයෙකු කරන්නේ මුලින්ම තේරුම් ගැනීම අපහසු නැති සරල දෙයක් කියා දීමයි. එය ධාරණය කරගත් පසු තරමක් ගැඹුරු දෙයක්ද, එයත් ධාරණය කරගත් පසු වඩාත් ගැඹුරු දෙයක්ද කියා දෙන්නට පහසුය. මේ ප්‍රවේශය සංස්කෘත බසින් හඳුන්වන්නේ අරුන්දතී තාරකාව පෙන්නන්නාක් මෙන් (අරුන්ධතී දර්ශන්‍යායඃ) යනුවෙනි. ලොකු දීප්තියක් නැති අරුන්දතී තාරකාව යමෙකුට පෙන්වීමටනම් පළමුව සප්තාර්ශි
තාරකා මණ්ඩලය (Ursa Major constellation) පෙන්විය යුතුය. ඉන්පසුව, වශිෂ්ඨ තාරකාවද, එයට ඇස හුරුවූ පසු ඒ ලඟින්ම ඇති දීප්තියෙන් අඩු අරුන්දතී තාරකාවද දැකිය හැකිය.

යමෙක් මිය යන්නට ආසන්න වන විට අරුන්දතී තාරකාව නොපෙනී යන බව බොහෝ ආසියාතික රටවල ඇති විශ්වාසයකි. මේ කතාවේ ඇත්තක් තිබේ. එතරම් දීප්තිමත් නැති අරුන්දතී තාරකාව නොපෙනේනම් හෝ එය වශිෂ්ඨ තාරකාවෙන් වෙන් කර හඳුනාගත නොහැකි තරමට බොඳ වී පෙනේනම් එයින් පෙනෙන්නේ පිනක් දහමක් කරගන්නට කාලය හරි බවයි. මේ පිනක් දහමක් කතාව එක් එක් අය තේරුම් ගන්නේ වෙනස් ආකාරයෙන් නිසා, තමන්ගේ මරණයෙන් පසුව ඉතිරි වන ලෝකය වෙනුවෙන් යමක් කිරීම ලෙස එය පුළුල් ලෙස අර්ථ දක්වන්නට මා වඩා කැමතිය. කෙසේ වුවත්, දැන් ලේසර් ප්‍රතිකර්ම ආදියෙන් ඇස් පෙනීම දියුණු කරගෙන වැඩි කලක් අරුන්දතී තාරකා දකින්නට බොහෝ දෙනෙකුට ඉඩ සැලසී තිබේ.



(Image: https://soundcloud.com/vimasuma-com/victor-rathnayaka-to-release-a-cd-with-hindi-songs-vimasumacom)

Saturday, April 15, 2017

සෙනසුරු, බ්‍රහස්පති හා ඇමරිකාවේ දේශපාලනය


ලංකාවේ බොහෝ දෙනෙකු සූර්යයාගේ මේෂ සංක්‍රාන්තිය සමරමින් කාර්ය බහුල වී සිටියදී, මේෂ සංක්‍රාන්තියට දෙතුන් පැයකට පෙර, ඇමරිකාවේ නාසා ආයතනය විසින් සෙනසුරු හා බ්‍රහස්පති ග්‍රහයන්ගේ චන්ද්‍රයන් වෙත නුදුරු දිනක සිදුවිය හැකි නෑදෑ ගමන් ගැන ඉඟි පළ කරමින් විශේෂ පුවත් සාකච්ඡාවක් පැවැත්වුවේය.

සෙනසුරු ග්‍රහයාගේ කක්ෂයේ සිට තොරතුරු එවන මිනිසුන් රහිත කැසිනි අභ්‍යවකාශ යානය හා හබල් දුරේක්ෂය උපකාරයෙන් ලබාගත් අළුත් තොරතුරු මේ සාකච්ඡාවට පදනම් විය. මෙහිදී අනාවරණය කෙරුණු ප්‍රධාන කරුණ වූයේ ජලය යනු අපේ සූර්ය ග්‍රහ මණ්ඩලයේ පෘථිවියට පමණක් විශේෂ වූ දුලබ දෙයක් නොවන බවයි.

කැසිනි අභ්‍යවකාශ යානය මඟින් සෙනසුරුගේ එන්සලඩස් චන්ද්‍රයා මත ජීවය පවතින බවට සාක්ෂි කිසිවක් සොයාගෙන නැතත්, ජීවය පැවතීමට අවශ්‍ය මූලික තත්ත්වයන් ගණනාවක් එහි පවතින බව හඳුනාගෙන තිබේ. පෘථිවියේ ඇති ආකාරයේ කාබනික ජීවයක පැවැත්ම සඳහා ද්‍රව තත්ත්වයේ පවතින ජලය, ආහාර ලෙස සුදුසු ශක්ති ප්‍රභවයක් හා කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, පොස්පරස් හා සල්ෆර් යන මූලද්‍රව්‍ය තිබිය යුතුය.

එන්සලඩස් චන්ද්‍රයා මත පොස්පරස් හා සල්ෆර් මූලද්‍රව්‍ය හැර අනෙකුත් අවශ්‍ය සාධක ඇති බව හඳුනාගෙන ඇති අතර චන්ද්‍රයාගේ මධ්‍යයේ මේ මූලද්‍රව්‍ය දෙකද ඇති බව නාසා විද්‍යාඥයෝ සිතති. එහි පෘෂ්ඨයේ සිට ඉහළට විදින වාෂ්ප විශ්ලේෂණය කිරීමෙන් පසුව එම වාෂ්ප වල 98%ක් ජලයද, 1%ක් හයිඩ්‍රජන් වායුවද, ඉතිරිය කාබන් ඩයොක්සයිඩ්, මීතේන් හා ඇමෝනියා ආදිය අඩංගු මිශ්‍රණයක් බවද හඳුනාගෙන තිබේ.

කැසිනි අභ්‍යවකාශ යානය සෙනසුරු වෙත යවන විට එන්සලඩස් මත ජීවය ඇති බව සොයා බැලීමේ අදහසක් නොවූ අතර එහි පෘෂ්ඨයෙහි වාෂ්ප විදින තැන් (Plumes) ඇති බව එහි යන තුරුම නොදැන සිටි දෙයකි.

මේ අතර, හබල් දුරේක්ෂය මඟින් ලබා ගත් ඡායාරූප අනුව බ්‍රහස්පතිගේ යුරෝපා චන්ද්‍රයා මත
ද මෙසේ වරින් වර සැතපුම් ගණනක් ඉහළට වාෂ්ප විදින නිශ්චිත උණුසුම් ස්ථාන ඇති බව හඳුනාගෙන තිබේ. ආතර් සී ක්ලාක්ගේ විද්‍යා ප්‍රබන්ධ කිහිපයකමද බ්‍රහස්පතිගේ යුරෝපා චන්ද්‍රයා මත ජීවය පැවතිය හැකි බවට අදහස් පළ කෙරී තිබිණි.

මාස කිහිපයකට පෙර නාසා ආයතනය විසින් ආලෝක වර්ෂ 40ක දුරින් ජීවය පැවතීමේ ඉඩකඩ ඇති ග්‍රහලෝක තුනක් සහිත සූර්යයෙකු හඳුනාගත් බව නිවේදනය කළේය.  ආලෝක වර්ෂ හතළිහක් විශ්වයේ ප්‍රමාණයට සාපේක්ෂව ළඟ දුරක් වුවත්, දැන් අපට ජීවය ඇති බවට සාක්ෂි ලැබී ඇත්තේ අපේම අසල්වාසී ගෙදරකිනි.

සූර්ය ග්‍රහ මණ්ඩලයේ වෙනත් ග්‍රහයෙකු වෙත යානයක් යැවීම ග්‍රහයන්ගේ සාපේක්ෂ චලනයන් සියුම් ලෙස හදාරමින් සිදු කළ යුතු සංකීර්ණ කාර්යයකි. කෙසේ වුවද, ග්‍රහයින්ගේ පිහිටීම් සැලකිය යුතු තරමින් නිවැරදිව හඳුනා ගැනීම මිනිසුන්ට වසර දහස් ගණනකට පෙරද  කරන්නට හැකි වූ දෙයකි. කැසිනි වැනි යානා සෙනසුරුගේ චන්ද්‍රයින් වෙත යැවීමට හැකි වී තිබෙන්නේ මේ දැනුම අවුරුදු දහස් ගණනක් තිස්සේ දියුණු කළ සියළු විද්‍යාර්ථීන්ගේ කැපකිරීම් නිසාය. 


අභ්‍යවකාශ නිරීක්ෂණය යනු වසර දහස් ගණනකට පෙරද වසර ගණනාවක පුහුණුවක් ලබා ප්‍රගුණ කළ යුතු විද්‍යාවක් විය. එවැනි කැප කිරීමක් කිරීමට මේ කටයුතු වල නිරත වූ ආදි විද්‍යාර්ථින්ට ලැබුණු මහජන සහයෝගය හා රාජ්‍ය අනුග්‍රහයද උදවු වෙන්නට ඇත.

තාරකා විද්‍යාවට සාපේක්ෂව මිනිසාගේ සම්භවය ගැන අපේ දැනුම බොහෝ අළුත් දැනුමකි. ජීවය බිහිවීම පැහැදිලි කිරීමට අවුරුදු දහස් ගණනක් තිස්සේ ගොඩ නැඟුණු විවිධ ප්‍රවාද අතර තාරකා විද්‍යා ප්‍රවාද වල තරම් ඒකමිතියක් දකින්නට නොලැබුනේය. එන්සලඩස් හා යුරෝපා චන්ද්‍රයින් මත අප ජීවය සොයන්නේද ජීවයේ සම්භවය පිළිබඳව වඩා හොඳින් තේරුම් ගැනීමටය.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති වීමෙන් පසුව නාසා ඇතුළු බොහෝ පර්යේෂණ ආයතන වලට සපයන අරමුදල් කපා හැරීමට යෝජනා කර ඇතත් නාසාහි ග්‍රහලෝක අධ්‍යයන අංශය වෙනුවෙන් ලබාදෙන අරමුදල් ඩොලර් බිලියන 1.6 සිට 1.9 දක්වා වැඩි කර තිබීම විශේෂත්වයකි. මේ අරමුදල් වලින් කොටසක් බ්‍රහස්පතිගේ යුරෝපා චන්ද්‍රයා මත ජීවය ඇත්දැයි පිරික්සීම සඳහා වෙන් කෙරෙනු ඇත.



Image: http://www.politicalgarbagechute.com/donald-trump-says-president-hed-annex-jupiter/

Thursday, April 13, 2017

මේෂ සංක්‍රාන්තිය දැක තිබේද?

මෙය ලියන විට සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට පැමිණ සුළු වේලාවක් ගතවී තිබේ. මේ අවස්ථාව විශේෂ සිද්ධියක් ලෙස සලකා සමරන ලොව පුරා ජීවත්වන බොහෝ අය ඒ සඳහා දැන් සූදානම් වනවා විය යුතුය. මේ සමරන අය අතරින් කී දෙනෙක් මීන රාශිය හෝ මේෂ රාශිය දැක තිබේද?

පසළොස්වක පෝය යාන්තම් පහුවුනා පමණක් නිසා මේ දවස් වල අහසේ වැඩිපුර තාරකා දැකිය නොහැකිය. ඒ නිසා අද හෝ හෙට අහස දෙස බලා මීන රාශිය හෝ මේෂ රාශිය හඳුනා ගත හැකි නොවනු ඇත. එහෙත් තව දෙසතියකින් පමණ ඉර පායන්නට කිට්ටුව නැගෙනහිර ක්ෂිතිජය දෙස බැලුවොත් මීන රාශිය හඳුනාගැනීමට හැකි වනු ඇත.




© T. Credner & S. Kohle, AlltheSky.com

ඉහත පළමු ඡායාරූපයෙන් පෙනෙන්නේ මීන රාශිය ලෙස හඳුනාගන්නා තාරකා රටාවයි. හඳුනාගැනීමේ පහසුව සඳහා අදාළ තාරකා ඉරිවලින් යා කර තිබේ. මේ තාරකා රටාව නූලකින් බැඳුණු මාළුන් දෙදෙනෙකු ලෙස මුලින්ම බැබිලෝනියානුවන් විසින් හඳුනා ගනු ලැබූ අතර මීන යන සංස්කෘත නම මෙන්ම ඒ සඳහා බටහිර භාවිතා වන ලතින් නමද (Pisces) මාළුවා/ මාළු යන අරුත සපයයි.



මේ තාරකා එක් පොකුරක් ලෙස පොළොවට මෙසේ පෙනුණත් ඒවා ඇත්තටම තියෙන්නේ එකිනෙකට ආලෝක වර්ෂ ගණනක් දුරිනි. එම තාරකා වලින් දහයකම හඳුනාගත් ග්‍රහලෝක තිබේ. මීන රාශි මණ්ඩලයේ දීප්තිමත්ම තාරකාව වන ඊටා පිසියම් (Eta Piscium) ආලෝක වර්ෂ 294ක් ඈතින් පිහිටා ඇති කහ යෝධයෙකි. ඉර මෙන් 26 ගුණයක් විශාල, 3.5-4 ගුණයක ස්කන්ධයක් ඇති එහි දීප්තිය ඉරේ දීප්තිය මෙන් 316 ගුණයකි [1].

දෙවෙනියට දීප්තිමත්, ඉර මෙන් දහ ගුණයක් විශාල හා 61 ගුණයක් දීප්තිමත් ගැමා පිසියම් තාරකාවද කහ යෝධයෙක් වන අතර ආලෝක වර්ෂ 138ක් දුරින් පිහිටා ඇත. ආලෝක වර්ෂ 106ක් දුරින් පිහිටා ඇති ඔමේගා පිසියම් ඉර මෙන් 20 ගුණයක් විශාල වන අතර, අයෝටා පිසියම් තරුව ආලෝක වර්ෂ 44.73ක් දුරින් පිහිටා ඇති ඉරට වඩා තරමක් විශාල තරුවකි.

මේ තාරකා පද්ධතියේ ඉතිරි තාරකා ඔමික්රොන් පිසියොන්, ඇල්ෆා පිසියම්, එප්සිලෝන් පිසියම්, ඩෙල්ටා පිසියම්, තීටා පිසියම්, නියු පිසියම්, බීටා පිසියම් (අරාබි බසින් ෆුම් අල්-සම්මක් හෙවත් මාළු කට), කප්පා පිසියම්, ලැම්ඩා පිසියම්, සීටා (zeta) පිසියම්, 19 පිසියම් (TX පිසියම්), 107 පිසියම්, 96G පිසියම්, 54 පිසියම්, 6G පිසියම් හා වැන් මානන්ගේ තරුව ලෙස නම් කර තිබේ. තාරකා රටාවේ ෂඩාශ්‍රය සැදී ඇත්තේ ගැමා, කප්පා, ලැම්ඩා, අයෝටා, තීටා හා 19 පිසියම් තරු හයෙනි. ආලෝක වර්ෂ 148ක් ඈතින් පිහිටි සීටා පිසියම් (ζ Psc) යනු ජ්‍යෝතිෂයේදී රේවතී නැකත ලෙස හඳුනාගන්නා තාරකාවයි.



මේෂ රාශියට අදාළ තරු රටාව සාපේක්ෂව ඉතා සරල එකකි. මෙය බැබිලෝනියානුවන් විසින් මුලින්ම ගොවියෙකු ලෙස හඳුනාගත් නමුත් පසුව ගොවියා එළුවෙකු විය. 

මේ තාරකා මණ්ඩලයේ හඳුනාගත් ග්‍රහලෝක සහිත තාරකා පහක් තිබේ. මෙහි ප්‍රධාන තාරකා ඇල්ෆා ඒරියටිස්, බීටා ඒරියටිස්, ඩෙල්ටා ඒරියටිස්, ගැමා ඒරියටිස්, සී ඒරියටිස් හා එප්සිලෝන් ඒරියටිස් ලෙස හැඳින්වේ. බීටා හා ගැමා ඒරියටිස් ලෙස හැඳින්වෙන්නේ පළමු නැකත වන අස්විද නැකත ලෙස ජ්‍යෝතිෂයේදී හඳුනාගන්නා තාරකාවන්ය. 35 ඒරියටිස්, 39 ඒරියටිස් හා සී ඒරියටිස් හෙවත් 41 ඒරියටිස් ලෙස හැඳින්වෙන්නේ දෙවන නැකත වන බෙරණ නැකත ලෙස ජ්‍යෝතිෂයේදී හඳුනාගන්නා තාරකාවන්ය. 

අරාබි බසින් රාස්-අල්-හමාල් (එළු හිස) ලෙස හැඳින්වෙන ඇල්ෆා ඒරියටිස් තරුව ආලෝක වර්ෂ 66ක් දුරින්ද, බීටා ඒරියටිස් ආලෝක වර්ෂ 59.6ක් දුරින්ද, ගැමා ඒරියටිස් ආලෝක වර්ෂ 160ක් දුරින්ද, ඩෙල්ටා ඒරියටිස් ආලෝක වර්ෂ 168ක් දුරින්ද, සී ඒරියටිස් හෙවත් බෙරණ තරුව ආලෝක වර්ෂ 160ක් දුරින්ද, එප්සිලෝන් ඒරියටිස් ආලෝක වර්ෂ 293ක් දුරින්ද පිහිටා තිබේ.

මීන හා මේෂ රාශි ඇතුළු රාශි දොළහත්, නැකැත් ලෙස සිංහලෙන් හඳුන්වන නක්ෂත්‍ර තාරකා මණ්ඩල විසිහතත් අහසේ ස්ථානගත වී ඇති ආකාරය අනුව නැගෙනහිර ක්ෂිතිජයෙන් චක්‍රීය රටාවකට මතු වේ. අද වැනි හඳ එළිය වැඩි දවසක නොහැකි වුවත්, තවත් සති දෙකකින් පමණ අහස නිරීක්ෂණය කළොත් මේ රාශි දොළහ මෙන්ම නැකැත් විසිහතද හඳුනාගැනීමට බැරිකමක් නැත.

මේෂ රාශිය මෙන්ම මීන රාශියද අපට පියවි ඇසින් නිරීක්ෂණය කළ හැකිය. සූර්යයාද අපට නිරීක්ෂනය කළ හැකිය. එහෙත්, මේෂ සංක්‍රාන්තිය අපට පොළොවේ එක් නිශ්චිත තැනක සිට එසේ නිරීක්ෂණය කළ නොහැක. අද මේෂ සංක්‍රාන්තිය සිදු වන විට මා සිටින නගරයට හවස් කාලයයි. ඒ වෙලාවේ ඉර අහසේ පෙනෙන්නට තිබුණත්, ඉර එළිය නිසා මීන රාශිය හෝ මේෂ රාශිය පියවි ඇසින් දැකිය නොහැක. ලංකාවට මේෂ සංක්‍රාන්තිය සිදු වුණේ රාත්‍රී කාලයේදීය. ඒ වෙලාවේ, මීන හා මේෂ රාශි මෙන්ම ඉරද තිබුණේ පොළොවේ අනෙක් පැත්තේ නිසා මේෂ සංක්‍රාන්තිය දෑසින් දකින්නට කෙසේවත් ඉඩක් නැත.

වසර දහස් ගණනකට පෙර ජීවත් වූ විද්‍යාර්ථින්ටද මේෂ සංක්‍රාන්තිය පියවි ඇසින් දැකිය නොහැකි විය. එහෙත්, දිවා කාලයේ ඉරේ ගමනත්, රාත්‍රී කාලයේ තාරකා වල ගමනත් නිරීක්ෂණය කිරීමෙන් මේෂ සංක්‍රාන්තිය සිදුවන වෙලාව හරියටම නිගමනය කිරීමට ඔවුන්ට හැකි විය. වසර දෙදහසකට පමණ පෙර ඔවුන්ට එසේ කිරීමට හැකි වීම අපූරු දෙයකි.


මේෂ සංක්‍රාන්තිය සමරන සියල්ලන්ටම සුබ අළුත් අවුරුද්දක්!

(Image: pinrest.com)

Wednesday, April 12, 2017

පහන් තරුව ඔබ...

මේ ලිපිය සමඟ පළවන්නේ දැන් ටික වෙලාවකට කලින් ගත් ඡායාරූප තුනකි. දිනය අප්‍රේල් 11 ලෙස සටහන්ව ඇත්තේ කැමරාවේ දිනය නිවැරදිව සකස් කර නැති බැවිනි. නිවැරදි දිනය අප්‍රේල් 12 විය යුතුය. එමෙන්ම, ඡායාරූප ගත් කැමරාව හොඳ එකක් නොවීමත්, ඉකොනොමැට්ටා හොඳ ඡායාරූප ශිල්පියෙකු නොවීමත් නිසා මේ ඡායාරූපනම් කිසිම කමකට නැත.



අද උදේ 6.45ට පමණ එළියට බහින විට නැගෙනහිර අහසේ ක්ෂිතිජයට ඉහළින් දීප්තිමත්ව දකින්නට ලැබුණු පහන් තරුව හෙවත් සිකුරු ග්‍රහයා මනරම් දසුනක් විය. සැලකිල්ලෙන් බැලුවොත් පළමු ඡායාරූපයේ මැද තරමක් දකුණට වන්නට කුඩා තිතක් ලෙස ඔබට සිකුරු ග්‍රහයා දැකිය හැකිය.

අද අපට ඉර උදාවුණේ උදේ 7.10 ටය. නැවත නිවසට පැමිණ කැමරාව එළියට ගෙන ඉහත පළමු ඡායාරූපය ගන්නා විට උදේ 6.50ට පමණ විය. ඒ අනුව, ඒ වන විට අපේ ඉර උදාව සිදුවීමට මිනිත්තු 20ක් පමණ තිබුණේය. පොළොව මිනිත්තු 20ක් තුළ අංශක 5ක් පමණ භ්‍රමණය වෙයි. ඒ නිසා ඉර උදාවීමටනම් පොළොව තවත් අංශක 5කින් භ්‍රමණය විය යුතුය. වෙනත් විදිහකින් කියනවානම් මේ වෙලාවේ ඉර තිබිය යුත්තේ නැගෙනහිර ක්ෂිතිජයට අංශක 5ක් පමණ පහළිනි.

අප දන්නා පරිදි, ඉර මේ දවස්වල ගමන් කරන්නේ මීන රාශියේය. තවත් දින දෙකකින් ඉර මේෂ රාශියට ගමන් කිරීමට නියමිතය. මේ එක් රාශියකට අංශක 30ක් අයත් වේ. මේෂ රාශියේ මුල සිට ගණන් ගත් විට මීන රාශියට අයත් වන්නේ අහසේ අංශක 330-360 අතර කොටසයි.

ඉර තවමත් මීන රාශියේ ගමන් කළත් මේ වන විට එහි අවසන් කොටසට පැමිණ සිටී. ඉර ආසන්න වශයෙන් දිනකට එක් අංශකයක් ගමන් කරන අතර දින දෙකකින් මේෂ රාශියට සම්ප්‍රාප්ත වීමට නියමිත නිසා මේ වන විට ඉන්නේ 358වන අංශකයේ හෙවත් මීන රාශියේ 28 වන අංශකයේය.

මේ දවස් වල සිකුරු ග්‍රහයා සිටින්නේද මීන රාශියේය. එහෙත්, මීන රාශියේ මුලම හරියේ දෙවන අංශකයේය. එනම්, ඉරට අංශක 26ක් දුරින් 332 අංශකයේය. පළමු ඡායාරූපය ගත්තේ ඉර උදාවීමට මිනිත්තු 20කට පෙර හෙවත් ඉර නැගෙනහිර ක්ෂිතිජයෙන් මතුවීමට අංශක 5ක් තිබියදීය. ඒ අනුව, මේ වෙලාවේ නැගෙනහිර ක්ෂිතිජයේ තිබුණේ 353 වන අංශකය හෙවත් මීන රාශියේ 23 වන අංශකයයි.

මීන රාශියේ 28වන අංශකයේ සිටි ඉර මේ වන විටද තිබුණේ ක්ෂිතිජයට පහළින් වුවත්, මීන රාශියේ දෙවන අංශකයේ සිටි සිකුරු ඒ වන විට නැගෙනහිර ක්ෂිතිජයෙහි අංශක 21ක් ගමන් කර අවසන්ය. ඒ අනුව, පළමු ඡායාරූපයේ සිකුරු ග්‍රහයා දක්නට ලැබෙන්නේ නැගෙනහිර ක්ෂිතිජයේ සිට අංශක 21ක් ඉහළිනි.

මේ ඡායාරූපය ගෙන ආපසු හැරෙන විට දකින්නට ලැබුණු අනෙක් මනහර දසුන බටහිර ක්ෂිතිජයෙහි ගිලී යන්නට පෙර අහසේ බැබළෙමින් සිටි පූර්ණ චන්ද්‍රයාය. ඊයේ බක් පුර පසළොස්වක දිනයයි. පුර පසළොස්වක දින හඳ තිබෙන්නේ පොළොවෙන් ඉරට ප්‍රතිවිරුද්ධ පැත්තේය. එනම් ආසන්න වශයෙන් අංශක 180ක දුරිනි. 




ආසන්න ලෙස වසරක් තුළ නක්ෂත්‍ර තාරකා හරහා වටයක් සම්පූර්ණ කරන ඉර දවසකට ගමන් කරන්නේ එක් අංශකයක් වුවත්, මසකට පමණ වරක් වටයක් සම්පූර්ණ කරන හඳ දිනකට අංශක 12කට මඳක් වැඩියෙන් ගමන් කරයි. ඊයේ 180 වැනි අංශකය අවසානයේ දැකිය හැකි වූ හඳ අද පෙනෙන්නේ 193 වන අංශකය එල්ලේය. මෙය හත්වන රාශිය වන තුලා රාශියේ 23 වන අංශකයයි.

මෙහි දෙවන ඡායාරූපය ගත්තේද පළමු ඡායාරූපය ගත් වහාම, උදේ 6.50ට පමණය. ඒ වෙලාවේ නැගෙනහිර ක්ෂිතිජයේ තිබුණේ 353 වන අංශකය හෙවත් මීන රාශියේ 23 වන අංශකයයි. ඒ නිසා බටහිර ක්ෂිතිජයේ තිබුණේ එයට ප්‍රතිවිරුද්ධ 173 වන අංශකය හෙවත් හයවන රාශිය වන කන්‍යා රාශියේ 23 වන අංශකයයි. ඒ නිසා, 193 වන අංශකයේ වූ හඳ තිබෙන්නේ බටහිර ක්ෂිතිජයට අංශක 20ක් ඉහළිනි.

ඡායාරූප ගන්නා වෙලාවේ සිකුරු ග්‍රහයා හා හඳ අහසේ දෙපැත්තේ ආසන්නව සමාන ඉහළකින් පෙනුණේ සිකුරු ග්‍රහයා නැගෙනහිර ක්ෂිතිජයේ අංශක 21ක් ඉහළිනුත්, හඳ බටහිර ක්ෂිතිජයේ අංශක 20ක් ඉහළිනුත් පැවති නිසාය. හඳ හා සිකුරු අතර අංශක 139ක කෝණයද මේ වෙලාවේ ඉතා පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි විය. මේ කෝණය එළෙසම පැවතෙද්දී, සිකුරු ග්‍රහයා ක්‍රමයෙන් නැගෙනහිර අහසේ ඉහළට නැඟීමත්, හඳ බටහිරින් බැස යාමත් ඡායාරූපය ගැනීමෙන් පසුව නිරීක්ෂණය කළ හැකි වුවත්, ඉර උදාව ආසන්න වෙද්දී ඉර එළිය හේතුවෙන් සිකුරු ග්‍රහයා නොපෙනී ගියේය.

හරියටම උදේ 7.10ට ඉර උදාව සිදු වූ අතර තෙවන ඡායාරූපය ගත්තේ ඒ මොහොතේය.




උදෑසන ව්‍යායාම පිණිස හෝ වෙනත් කටයුත්තක් සඳහා ඇවිදින්නට යන අයෙකුට අහස නිරීක්ෂණය කිරීම නරක විනෝදාංශයක් නොවේ. මෙය ලෝකයේ පැරණිම විනෝදාංශයක් ලෙසද සැලකිය හැකිය. මේ දවස්වල අනෙකුත් ග්‍රහයින්ද නිරීක්ෂණය කිරීම එතරම් අමාරු නැති අතර, විශේෂයෙන්ම බ්‍රහස්පති හා සෙනසුරු ග්‍රහයින් ඉර බැස යාමෙන් පසුව හඳ ආසන්නව දකින්නට පුළුවන.


පසු එකතු කිරීම:

අද අපේ ඉර බැස්සේ පස්වරු 8.20ටය. අද උදේ 358 වන අංශකයේ වූ ඉර බටහිර ක්ෂිතිජයෙන් බැස යන විට නැගෙනහිර ක්ෂිතිජයෙහි ඇත්තේ 178 අංශකයයි. ඉර බැස පැයකට පසු මා අහස නිරීක්ෂණය කරන විට තවත් අංශක 17කින් පමණ රාශි චක්‍රය භ්‍රමණය වී ඇති නිසා නැගෙනහිර ක්ෂිතිජයේ ඇත්තේ 195 අංශකය හෙවත් තුලා රාශියේ මැදයි. බටහිර ක්ෂිතිජයෙහි ඇත්තේ 15 අංශකය හෙවත් මේෂ රාශියේ මැදයි.

මේ දිනවල කන්‍යා රාශියේ 23 වන අංශකයේ හෙවත් මේෂ රාශියේ මුල සිට 173වන අංශකයේ සිටින බ්‍රහස්පති ග්‍රහයා නැගෙනහිර ක්ෂිතිජයේ සිට අංශක 22ක් ඉහළින් ඉතා පැහැදිලිව දැකිය හැකිය. වෘෂභ රාශියේ මුල, 30 වන අංශකයේ සිටින අඟහරු ග්‍රහයාද බටහිර ක්ෂිතිජයේ අංශක 15ක් ඉහළින් රතු පැහැයෙන් දැකිය හැකිය. පියවි ඇසින් ඉතා පැහැදිලිව  හැකි වුවත් මගේ කැමරාව එතරම් හොඳ එකක් නොවන නිසා මේ ග්‍රහයින් දෙදෙනා ඡායාරූප වල පැහැදිලිව සටහන් වී නැත.

මීන රාශියේ හා මේෂ රාශියේ ඡායාරූප ගැනීමට බලාපොරොත්තු වුවත් පසළොස්වක පෝය අවසන් වුනා පමණක් නිසා අහසේ තරු රටා බොහොමයක් පැහැදිලිව දර්ශනය නොවේ.

ඔබ මේ ගැන උනන්දුවක් දක්වනවානම් හෙට දිනයේද ඉර පායන්නට ආසන්නව නැගෙනහිර ක්ෂිතිජයෙන් තරමක් ඉහළින් සිකුරු ග්‍රහයාද, ඉර බැස ගොස් පැයකට පමණ පසුව නැගෙනහිර ක්ෂිතිජයෙන් තරමක් ඉහළින් බ්‍රහස්පති ග්‍රහයාද, බටහිර ක්ෂිතිජය ආසන්නව රතු පැහැයෙන් අඟහරු ග්‍රහයාද දැක ගන්නට පුළුවන් වනු ඇත. තාරකා මෙන් නිවී නිවී නොදැල්වෙන බැවින් හා ප්‍රමාණයෙන් සාමාන්‍ය තාරකාවකට වඩා විශාල නිසා (පොළොවට පෙනෙන පරිදි) මේ ග්‍රහයින් පහසුවෙන් හඳුනාගත හැකිය. අඟහරු ග්‍රහයා ප්‍රමාණයෙන් විශාල නොවූවත් එහි වෙනස් පැහැය නිසා හඳුනාගත හැකිය. 



දෙවන පසු එකතු කිරීම:

අද උදේ ඉර උදාව ආසන්නව 193 අංශකයේ තිබුණු හඳ පැය 16කට පමණ පසුව ඉහත ඡායාරූපය ගන්නා විට 200 වන අංශකයට පැමිණ ඇත. ඉර බැස ගොස් දෙපැයක් ගෙවී ඇති බැවින් දැන් නැගෙනහිර ක්ෂිතිජයේ ඇත්තේ 208 වන අංශකයයි. ඒ අනුව, නැගෙනහිර ක්ෂිතිජයට අංශක 8ක් පමණ ඉහළින් හඳ දර්ශනය වේ. මේ වන විට බ්‍රහස්පති ග්‍රහයා දැකිය හැක්කේ අංශක 35ක් ඉහළිනි. ඡායාරූපයේ පැහැදිලිව සටහන් වී නැත. තවත් දෙපැයක් පමණ බලා සිටියහොත් සෙනසුරු ග්‍රහයාද දැකගන්නට පුළුවන් විය හැකිය.

Sunday, April 2, 2017

ගෑණු කේන්දර හා නොවරදින අනාවැකි

ලංකා හේතුවාදී සංගමයේ මූලාරම්භක හා පළමු සභාපති වූ ඒබ්‍රහම් ටී කොවූර් විසින් 1963 වසරේදී ප්‍රසිද්ධ අභියෝගයක් කරමින් සාමාන්‍ය පුද්ගලයෙකුට කළ නොහැකි, එහෙත් ඇතැම් පුද්ගලයින්ට කළ හැකියැයි බොහෝ දෙනෙකු සිතන දේවල් 23ක ලැයිස්තුවක් ඉදිරිපත් කරමින් මේ ලැයිස්තුවේ ඇති දේවල් වලින් එකක් පිළිගත හැකි තත්ත්වයන් යටතේ සිදු කර පෙන්වන අයෙකුට රුපියල් ලක්ෂයක ත්‍යාග මුදලක් ලබා දෙන බව ප්‍රසිද්ධ කළේය. 1978දී කොවූර් මියයන තුරුත් විවෘතව පැවති මේ අභියෝගය කිසිවකුට ජයගත නොහැකි විය.

කොවූර්ගේ ලැයිස්තුවේ අවසාන අයිතමය වූයේ ඔවුන් විසින් මිනිත්තුවක නිරවද්‍යතාවයක් සහිතව ලබාදෙන පුද්ගලයින් දහදෙනෙකුගේ (හෝ විසිදෙනෙකුගේ) උපන් වේලාවන් හා ඔවුන් උපන් ස්ථාන භාවිතා කරමින් එම පුද්ගලයින්ගේ කේන්ද්‍ර පිටපත් සාදා ඒ අනුසාරයෙන් (හෝ ඔවුන් විසින් ලබා දෙන හස්ත රේඛා සටහන් අනුසාරයෙන්) අදාළ පුද්ගලයින්ගේ ස්ත්‍රී පුරුෂ භාවය හා ජීවත්ව සිටිනවාද නැද්ද යන්න 95%ක නිරවද්‍යතාවයක් සහිතව පැවසිය යුතු බවයි. මෑතකදී, කාලෝ ෆොන්සේකා විසින් ත්‍යාග මුදලද ඉහළ දමමින් මේ අභියෝගය නැවත අළුත් කළ බව වාර්තා වී තිබුණු අතර මා සිතන පරිදි එම අභියෝගය තවමත් විවෘතව පවතී.

පුද්ගලයෙකුගේ උපන් වේලාව ඇසුරෙන් එම පුද්ගලයාගේ ස්ත්‍රී පුරුෂ භාවය 95%ක නිරවද්‍යතාවයකින් කියන්නට පුළුවන් කමක් නැත. මෙය දරුවන්ගේ උපන් වේලාවන් පරීක්ෂා කිරීමෙන් සංඛ්‍යානමය ලෙස තහවුරු කරගත හැකි දෙයකි. ඒ නිසා, අද වුවද මේ අභියෝගය භාර ගැනීමට කිසිදු ජ්‍යෝතිර්වේදියෙකු ඉදිරිපත් වේයැයි සිතිය නොහැකිය.

මේ සම්බන්ධව අද බොහෝ ජ්‍යෝතිර්වේදීන් විසින් ලබාදෙන ජනප්‍රිය පිළිතුරක් තිබේ. ඒ, තමන්ගේ සේවාදායකයින් කිසිවකු කේන්ද්‍රය හිමි පුද්ගලයාගේ ස්ත්‍රී පුරුෂ භාවය දැන ගැනීමට ජ්‍යෝතිර්වේදියෙකු වෙත නොපැමිණෙන බවයි. මේ කතාව ඇත්තකි. එමෙන්ම, බොහෝ විට කේන්ද්‍ර සටහන සහිත ලේඛණයක උපන් වේලාව සමඟ ස්ත්‍රී පුරුෂ භාවයද සටහන් කරන නිසා ජ්‍යෝතිර්වේදියෙකුට මෙය අනුමාන කරන්නට අවශ්‍යතාවයක්ද නැත.

කෙසේ වුවද, කොවූර්ගේ අභියෝගය මුලින්ම ප්‍රකාශයට පත් කරන්නට දශක කිහිපයකට පෙර කාලය දක්වාම ලංකාවේ ජ්‍යෝතිර්වේදියෙකුට එම කාලයේ ජීවත්ව සිටි අයෙකුගේ කේන්ද්‍ර සටහන පරීක්ෂා කර අදාළ පුද්ගලයාගේ ස්ත්‍රී-පුරුෂ භාවය සැලකිය යුතු තරම් නිවැරදිව අනුමාන කරන්නට පුළුවන්කම තිබුණේය. ජ්‍යෝතිර්වේදියෙකු වෙත පැමිණෙන සේවාදායකයෙකු එසේ පැමිණෙන්නේ කේන්ද්‍රහිමියාගේ ස්ත්‍රී-පුරුෂ භාවය දැනගන්නට නොවූවත්, එය නිවැරදිව පැවසීම මඟින් ජ්‍යෝතිර්වේදියෙකුට තමන් ප්‍රකාශ කරන අනෙකුත් අනාවැකි වල නිරවද්‍යතාවය පිළිබඳව සිය සේවාදායකයා තුළ විශ්වාසය තහවුරු කළ හැකිය.

අඩ සියවසකට පමණ පෙරත් ලංකාවේ බොහෝ ජ්‍යෝතිර්වේදීන්ට තිබුණු ඉහත හැකියාව අද වන විට නැති වී ඇත්තේ ඇයි?

වසර දහස් ගණනකට පෙරද, ඉර හඳ හා අනෙකුත් ආකාශ වස්තූන්ගේ චලනයන් ගැන හොඳ දැනීමක් පෙර අපර දෙදිග විද්‍යාර්ථීන් සතු විය. එහෙත්, ඒ දැනුමට සාපේක්ෂව ජීව විද්‍යාව පිළිබඳව තිබුණේ ඉතා අඩු මට්ටමක දැනුමකි. අළුත ඉපදෙන දරුවෙකුගේ ස්ත්‍රී පුරුෂ භාවය තීරණය වන ආකාරය තබා දරුවකු බිහිවීමේ ක්‍රියාවලිය පිළිබඳවද ඉතා මෑතක් වන තුරු පෙර අපර දෙදිගම තිබුණේ සීමිත දැනුමකි.

ස්ත්‍රී පුරුෂ භාවය තීරණය වන ආකාරය පමණක් නොව, දෙමවුපියන්ගේ ලක්ෂණ දරුවන්ට ලැබීම, කාලයකට පෙර මියගිය පවුලේ වැඩිහිටියෙකුගේ ලක්ෂණ අළුත ඉපදෙන දරුවෙකුට ලැබීම මෙන්ම ඇතැම් දරුවන් උපතින්ම යම් රෝගාබාධ සහිතව බිහිවීම සඳහා හේතුවන කරුණු මිනිසුන් විසින් නිවැරදිව තේරුම් ගෙන සියවස් කිහිපයකය වඩා ගත වී නැත. මේ ඇතැම් දැනුම් තවමත් බහුතරයකගේ දැනුමක් බවට පත් වී නැත.

මිනිසාගේ ජීවී ක්‍රියාවලිය මිනිසුන් විසින් මෑතක් වන තුරුම නිවැරදි ලෙස අවබෝධ කරගෙන නොතිබුණත්, මේ කරුණු ගැන මිනිසාගේ කුතුහලය වසර දහස් ගණනක් තිස්සේම නොඅඩුව පැවතුණේය. ඒ නිසා, මේ නොදන්නා කරුණු ගැන පැහැදිලි කිරීම් කරමින් කලින් කලට ප්‍රවාද ඉදිරිපත් විය. ඒ ඇතැම් ප්‍රවාද කලින් කලට සමාජයේ පිළිගැනීමට ලක් විය. මෙසේ පිළිගැනුණු ප්‍රවාද වලින් ඇතැම් ඒවා පසුව ප්‍රතික්ෂේප විය. තවත් ඒවා වැඩි කාලයක් ප්‍රතික්ෂේප නොවී පැවතුණේය.

අළුත උපන් දරුවෙකුගේ ස්ත්‍රී-පුරුෂ භාවය තීරණය වන ආකාරය උපන් වේලාව මත තීරණය වන බවට ප්‍රවාදයක් යම් අවස්ථාවක කිසිවෙකු අතින් ඉදිරිපත් වුණු අතර, මේ සංසිද්ධිය පැහැදිලි කළ හැකි වඩා හොඳ ප්‍රවාදයක් නොතිබුණු බැවින් එම ප්‍රවාදයට යම් පිළිගැනීමක් ලැබිණි.

පෙර ලිපියකින් විස්තර කළ පරිදි, කිසියම් පුද්ගලයෙකුගේ උපන් ලග්නය තීරණය වන්නේ ඔහු හෝ ඇය උපන් වේලාව ඇතුළත් වන ආසන්න වශයෙන් පැය දෙකක කාල පරාසය මතය. මේ කියන කාලයේදී, බොහෝ දෙනෙකුට කාලය අද මෙන් නිවැරදිව දැන ගැනීමට හැකියාවක් නොතිබුණත්, පැය දෙකක කාල වෙනසකට සමාජය සංවේදී විය. ඒ නිසා, පැය දෙකක කාලය තුළ, එකම ලග්නය හා ලග්න කේන්ද්‍රය සහිතව ගැහැණු හා පිරිමි දරුවන් ඉපදෙන බව බොහෝ දෙනෙකුට රහසක් නොවීය. එසේනම්, ගැහැණු පිරිමි උපත් තීරණය වීම ඊට වඩා කුඩා කාල පරාසයක් තුළ සිදුවන දෙයක් විය යුතුය.

පුද්ගලයෙකුගේ කේන්ද්‍ර සටහනක ලග්න කේන්ද්‍රයට අමතරව නවාංශක කේන්ද්‍රය නම් වූ තවත් සටහනක් තිබේ. මෙයින් කරන්නේ ආසන්න වශයෙන් පැය දෙකක් පමණ වන ලග්නයක කාලය තවත් කොටස් නවයකට බෙදීමයි. ඒ අනුව, නවාංශකයක් ගෙවීමට ගතවන කාලය ආසන්න වශයෙන් මිනිත්තු 13ක් පමණ වේ. ස්ත්‍රී-පුරුෂ භාවය තීරණය වීම පිළිබඳව කිසියම් අයෙකු විසින් ඉදිරිපත් කළ ප්‍රවාදය අනුව කිසියම් නවාංශකයක් ගෙවීමට ගතවන විනාඩි 13කට මඳක් වැඩි කාලය තුළ ඉපදෙන්නේ ගැහැණු හෝ පිරිමි දෙවර්ගයෙන් එක් වර්ගයකට අයත් දරුවන් පමණි.

ඉහත ප්‍රවාදය ඉදිරිපත් වන කාලයේදී මෙන්ම, බොහෝ දරු උපත් නිවෙස් වලම සිදුවුණු පසුගිය සියවසේ මුල් කාලය දක්වාත් රෝහල් වලින් පිටත සිදුවූ ලංකාවේ දරු උපත් සිදුවූ වේලාවන් හරියටම සටහන් කර ගැනීමේ හැකියාවක් තිබුණේ නැත. ඒ නිසා, ජ්‍යෝතිර්වේදියෙකු වෙත යන අයෙකු ඉදිරිපත් කළේ ආසන්න වෙලාවක් මිස උපත සිදුවූ නිවැරදිම වෙලාව නොවේ. අද වුවත් අප බොහෝ විට වෙලාව සටහන් කරන්නේ මිනිත්තුවකට ආසන්නව මිස හරියටම තත්පරයට නොවේ. සියවසකට පෙර, ඔරලෝසු භාවිතා නොකළ ලංකාවේ බොහෝ නිවෙස් වල වෙලාව සටහන් වන්නට ඇත්තේ පැය භාගයකට පමණ ආසන්නව වන්නට පුළුවන.

ස්ත්‍රී-පුරුෂ භාවය තීරණය වීම පිළිබඳව කලකට පෙර පිළිගැනුණු ප්‍රවාදය අනුව ස්ත්‍රී නවාංශක හා පුරුෂ නවාංශක මාරුවෙන් මාරුවට ගෙවෙන බව බොහොමයක් ජ්‍යෝතිර්වේදීහු විශ්වාස කළහ. තමන් වෙත වේලාපත්කඩයක් (තාවකාලික කේන්ද්‍ර සටහනක්) සාදා ගැනීමට එන අයෙකු බොහෝ විට දරුවාගේ ස්ත්‍රී පුරුෂ භාවයද දැනුම් දුන් බැවින් මෙය පරීක්ෂා කිරීම අපහසු නොවීය. සේවාදායකයා දැනුම්දෙන වෙලාවට අදාළ නවාංශකය ඇතැම් විට (50%ක සම්භාවිතාවකින්) දරුවාගේ ස්ත්‍රී පුරුෂ භාවය සමඟ ගැලපුණේය. ඇතැම් විට එය එසේ නොවුණේය.

මේ කාලයේදී දරුවාගේ උපත සිදුවූ වේලාව ලෙස සේවාදායකයා දැනුම් දෙන වෙලාව හරියටම නිවැරදි නොවන බව පොදු දැනුමක් විය. ජ්‍යෝතිර්වේදියාගේ කාර්ය භාරයේ කොටසක් වූයේ මේ "වෙලාව සුද්ද කිරීමයි". තමන් පිළිගත් ප්‍රවාදය අනුව, දරුවාගේ ස්ත්‍රී-පුරුෂ භාවය සම්බන්ධ නිරීක්ෂණ උපයෝගී කරගනිමින්, දරුවාගේ ලිංගය සමඟ ගැලපෙන නවාංශකයක් දරුවාට ලැබෙන පරිදි මිනිත්තු හතකට නොවැඩි කාලයක් සේවාදායකයා විසින් දැනුම් දුන් වෙලාවට එකතු කරමින් හෝ අඩු කරමින් ජ්‍යෝතිර්වේදියා දරුවා ඉපැදුණු වෙලාව "හරියටම" හොයාගත්තේය. දරුවා අඩු වයසින් මිය නොගියේනම්, පසුව  ස්ථිර කේන්ද්‍ර ලේඛණයක් පුස්කොළයක ලිවුවේ මුලින් මෙසේ "සුද්ද කරනු ලැබූ" දරුවාගේ "නිවැරදි" වෙලාව උපයෝගී කර ගනිමිනි.

ඉහත පරිදි ජ්‍යෝතිර්වේදීන් බහුතරයක් කේන්ද්‍ර සටහන් හැදුවේ දරුවන්ගේ උපන් වේලාවන් "නිවැරදි කිරීමෙන්" පසුව නිසා, බොහෝ විට ගැහැණු දරුවෙකු ඉපදී ඇති බව පෙනෙන්නට තිබුණේ ස්ත්‍රී නවාංශකයක් තුළය. පිරිමි දරුවෙකු ඉපදී ඇති බව පෙනෙන්නට තිබුණේ පුරුෂ නවාංශකයක් තුළය. ඒ නිසා, ජ්‍යෝතිර්වේදියෙකුට තමන් අතට ලැබෙන කේන්ද්‍ර සටහනක් පරීක්ෂා කර අදාළ පුද්ගලයාගේ ස්ත්‍රී-පුරුෂ භාවය හරියටම වාගේ කියන්නට පුළුවන් විය.

ඉහත පරිදි, කලාතුරකින් හෝ උපන් වෙලාවක් හරියට සුද්ද කර නොතිබුණේනම් ස්ත්‍රී-පුරුෂ භාවය ගැන ජ්‍යෝතිර්වේදියාගේ අනාවැකිය වැරදුණු අතර, බොහෝ විට සේවාදායකයා එවිට කළේ වෙනත් ජ්‍යෝතිර්වේදියෙකු වෙත යාමයි. එහෙත්, දෙවැන්නාත් ස්ත්‍රී-පුරුෂ භාවය තීරණය කරන්නේ වැරදියටය. එවිට, වැරැද්ද ඇත්තේ ජ්‍යෝතිර්වේදියාගේ නොව කේන්ද්‍රයේ බව මේ පුද්ගලයා අවබෝධ කරගනී. ඒ අනුව, ජ්‍යෝතිර්වේදියෙකු හමු වී පසුව හෝ කේන්ද්‍රය හරියට හදා ගනී. ඉන්පසුව, නැවත ජ්‍යෝතිර්වේදියෙකු වෙත ගිය විට ස්ත්‍රී-පුරුෂ භාවය නොවරදී.

ස්ත්‍රී-පුරුෂ භාවය පිළිබඳ නවාංශක ප්‍රවාදය සෑහෙන කාලයක් සමාජයේ පොදු දැනුමක් වී තිබුණේය. මේ පොදු දැනුම ආධිපත්‍යය උසුලන තාක් කල්, ඒ ප්‍රවාදය මත පදනම්ව තීරණද ගැනුණු නිසා ප්‍රවාදය "වැඩ කළේය".  එහෙත්, දරුවකු ඉපදෙන වෙලාව වෙනස් කර ගැනීමේ වෛද්‍ය විද්‍යාත්මක හැකියාවක් නොතිබුණු නිසා, රජෙකුට වුවද මේ  දැනුම උපයෝගී කරගෙන  දුවෙකු වෙනුවට පුතෙකු ලබා ගැනීමට හැකියාවක් නොතිබුණේය.

කොවූර්ගේ අභියෝගය පිළිගත් අයෙකු වෙත ඉදිරිපත් කෙරුණු උපන් වේලාවන් ලබා ගත්තේ පසුගිය සියවසේ මුල භාගයේ හෝ ඊට පෙර ඉපදුණු පුද්ගලයින්ගේ කේන්ද්‍ර සටහන් වලින්නම්, කොවූර්ගේ රුපියල් ලක්ෂය අහිමි වන්නට වුවද කිසියම් ඉඩක් තිබුණේය!

කේන්ද්‍ර සටහන පරීක්ෂා කර පුද්ගලයෙකු ජීවත්ව සිටිනවාද යන්න පැවසීම එතරම්ම සරල නැතත්, එහි ග්‍රහ පිහිටීම් අනුව පුද්ගලයෙකු මේ වන විට ජීවත්ව සිටීමට ඉඩක් නොමැති බව ස්ථිරව කියන්නට ඇතැම් විට බැරිකමක් නැත. ඒ, ග්‍රහ පිහිටීමක් නැවත ඒ ආකාරයෙන්ම ඇති වීමට ගත වන කාලය මිනිසෙකුගේ සාමාන්‍ය ජීවිත කාලයට වඩා බොහෝ වැඩි නිසාය.

මිනිසුන් හා සමාජය සම්බන්ධ අනාවැකි වල නිරවද්‍යතාවය කිසියම් සමාජයක මිනිසුන් හැසිරෙන ආකාරයට, පොදු දැනුමට හා සංස්කෘතියටද සාපේක්ෂය. බහුතරයක් විසින් නිදහස් වෙළඳපොළ ක්‍රමය පිළිබඳව විශ්වාසය තබන ඇමරිකාව වැනි රටක කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා වන ඉල්ලුම හෝ එහි මිල ගැන පුරෝකථනය කළ හැකි තරම් පහසුවෙන් ලංකාවේදී එය කළ නොහැක්කේ ලංකාවේ බොහෝ දෙනෙකු අතාර්කික හා අහඹු තීරණ ගන්නා බැවිනි. (ඒ තීරණ ගන්නා අයට මේවා තාර්කික තීරණ ලෙස පෙනෙනවා විය හැකිය.) ඒ නිසා, ලංකාවේ පොලී අනුපාතික, විණිමය අනුපාතික ආදී සාර්ව ආර්ථික විචල්‍ය වල උච්ඡාවචනයන් සිදුවිය හැකි ආකාරය පිළිබඳව ඇත්තේ විශාල අවිනිශ්චිතතාවයකි.

මිනිසුන් බොහෝ දෙනෙකු කිසියම් විශ්වාසයක එලැඹ සිටින විට ඒ මත පදනම්ව ඇතැම් "අනාවැකි" කියන්නට පුළුවන. ලංකාවේ බොහෝ දෙනෙකු දරුවන්ට නම් තැබීමේදී, උපන් වෙලාව අනුව ශුභ අකුරු තෝරා ගනිති. මේ පුරුද්ද නිසා දරුවෙකුගේ නම පරීක්ෂා කිරීමෙන් පමණක් වුවත්, එම දරුවා ගැන ඇතැම් දේ දැනගන්නට පුළුවන. සේතික සේනිය වැනි නමක් ඇති දරුවෙකු පුවපුටුප නැකතේ ප්‍රථම පාදයෙන් ඉපදී තිබෙන්නට බොහෝ දුරට ඉඩ ඇති අතර, ඒ ඔත්තුව ඔස්සේ තවත් දේවල් සොයාගන්නට පුළුවන. එහෙත්, දරුවෙකුට නම තබා ඇත්තේ උපන් වෙලාව නොසලකමින්නම් එවැන්නක් කිරීමේ හැකියාවක් නැත.

මේ වන විට ආසන්න මිනිත්තුවට වෙලාව දැනගැනීම සරල කරුණකි. ඒ නිසා දරුවෙකු උපන් වෙලාව නිවැරදි නොවන බව සිය සේවාදායකයාට තහවුරු කිරීමට ජ්‍යෝතිර්වේදියෙකුට නුපුළුවන. ඒ නිසා, ස්ත්‍රී-පුරුෂ භාවය පිළිබඳ නවාංශක ප්‍රවාදය තවදුරටත් වැඩ නොකරන අතර කේන්ද්‍ර පිටපතක් පරීක්ෂා කර ස්ත්‍රී-පුරුෂ භාවය නිවැරදි ලෙස පැවසීමේ හැකියාවක් දැන් ජ්‍යෝතිර්වේදියෙකුට නැත.

කෙසේවුවද, ඇතැම් මිනිසුන් ඇතැම් දේ විශ්වාස කිරීම මතම ඇතැම් සිදුවීම් ගැන නිවැරදි අනාවැකි පළ කරන්නට පුළුවන. යාපනය සරසවියේ මානව හිමිකම් සඳහා වන සරසවි ඇදුරු සංසදයේ නිරීක්ෂණ අනුව, එල්ටීටීඊ සංවිධානය විසින් ඔවුන්ගේ ප්‍රධාන ක්‍රියාන්විත අරඹා ඇත්තේ 5, 14, 23 වැනි එකතුව පහක් වන දින වලදීය. රජයේ ආරක්ෂක හමුදා විසින් එසේ කර ඇත්තේ 8, 17, 26 වැනි එකතුව අටක් වන දින වලදීය. ඒ නිසා, උතුරේ සාමාන්‍ය ජනතාව එවැනි දින වල වඩා සුපරීක්ෂාකාරීව සිට "මාරක වලින් බේරී" තිබේ.


(Image: www.123rf.com/)

වෙබ් ලිපිනය: