වෙබ් ලිපිනය:

Showing posts with label විභව ආර්ථික වර්ධනය. Show all posts
Showing posts with label විභව ආර්ථික වර්ධනය. Show all posts

Saturday, January 10, 2026

විභව ආර්ථික වර්ධන වේගය වැඩි වෙන්නේ කොහොමද?


නාමික දළ දේශීය නිෂ්පාදිතය සහ මූර්ත දළ දේශීය නිෂ්පාදිතය අතර වෙනස ගැන පෙර ලිපියක පැහැදිලි කළා. මේ දෙක අතරින්, රටක ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ දැමීමට ඉවහල් වෙන්නේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ ඉහළ යාමයි. සාමාන්‍යයෙන් ආර්ථික වර්ධනය ලෙස හඳුන්වන්නේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගයයි.

රටක ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ යන්නේ දිගුකාලීනව ආර්ථිකය වර්ධනය වන්නේනම් පමණයි. ඒ නිසා රටකට වඩා වැදගත් වන්නේ දිගුකාලීනව, සාමාන්‍ය වර්ධන වේගය ඉහළ දමා ගැනීමයි. මෙම දිගුකාලීන සාමාන්‍ය වර්ධන වේගය විභව ආර්ථික වර්ධන වේගය ලෙස හැඳින්වෙනවා.

කෙසේ වුවත්, කිසියම් නිශ්චිත වසරක් ගත්තොත්, සත්‍ය ආර්ථික වර්ධන වේගය විභව ආර්ථික වර්ධන වේගයට හරියටම සමාන වෙන්නේ නැහැ. එය අඩු හෝ වැඩි වෙන්න පුළුවන්. 

කොළඹ සිට ගාල්ල දක්වා ගමන් කරන වාහනයක් දිගටම එකම නිශ්චිත වේගයකින් ගමන් කරන්නේ නැහැ. නමුත් අවසාන වශයෙන් වැදගත් වන්නේ ගාල්ල දක්වා යන්න කොපමණ කාලයක් ගත වුනාද කියන එකයි. මේ ගමන හැකි ඉක්මණින් යන එක වැදගත් වුනත්, ඒ සඳහා අනුගමනය කළ යුතු හොඳම උපාය මාර්ගය පුලුවන්ම තරම් වේගයෙන් ගමන යන එක නෙමෙයි. 

වංගු වැනි අවදානම් තැන් වලදී වේගය අඩු කරන්න සිදු වෙනවා. ලොකුවට වැස්සොත් වේගය අඩු කරන්න සිදු වෙනවා. ඒ වගේ තැන් වල සහ ඒ වගේ අවස්ථා වල වේගය අඩු කළේ නැත්නම් අනතුරක් වී ගමන වඩා ප්‍රමාද වෙන්න පුළුවන්. සමහර වෙලාවට වාහන තදබදය වැනි හේතු නිසාත් වේගය අඩු කරන්න වෙනවා. ඔය වගේ ප්‍රශ්නයක් නැති තැන් වල සහ අවස්ථා වල වැඩි වේගයකින් වාහනය ධාවනය කරන්න පුළුවන්. අවසාන වශයෙන් ගාල්ලට යන්න ගත වන කාලය තීරණය වන්නේ සාමාන්‍ය වේගය මතයි.

පසුගිය වසර 75ක පමණ කාලය දෙස ආපසු හැරී බැලුවොත්, ලංකාවේ ආර්ථිකය වර්ධනය වී තිබෙන්නේ 4.4%ක පමණ සාමාන්‍ය වේගයකින්. 1977 සිට වසර 50කට ආසන්න කාලය සැලකුවත්, මෙම වේගය 4.6%ක් පමණ. ඇතැම් වසර වල සත්‍ය වර්ධන වේගය මෙම අගයට වඩා වැඩි වුවත්, එවැනි ඉහළ වර්ධන වේගයක් පැවති හැම විටකම මෙන් පසුව එම වර්ධන වේගය අඩු වී තිබෙනවා. ඒ වගේම, වර්ධන වේගය අඩු වූ වකවානු වලින් පසුව නැවත වර්ධන වේගය වැඩි වී තිබෙනවා. අවසාන වශයෙන්, පැහැදිලිව දැකිය හැකි කරුණක් වන්නේ, සත්‍ය වර්ධන වේගය වරින් වර වෙනස් වුවද, එහි සාමාන්‍ය අගය, එනම් විභව වර්ධන වේගය, 4.5%ට ආසන්න මට්ටමක නොවෙනස්ව තිබී ඇති බවයි.

අපට මෙවැනි ගණනයක් වෙනත් රටවල් හා අදාළවද කළ හැකියි. එවිට පෙනී යන්නේ බොහොමයක් ඉහළ ආදායම් රටවල විභව ආර්ථික වර්ධන වේගය 2%-3% අතර මට්ටමක නොවෙනස්ව ඇති බවයි. ලංකාවට ආසන්න ආදායම් මට්ටමක සිටින රටවල වර්ධන වේගය බොහෝ විට 4%-5% වැනි මට්ටමක්. මෙය සාමාන්‍ය තත්ත්වයයි. ඔය අතර යම් කාලයක් වඩා අඩු වේගයකින් හෝ වඩා වැඩි වේගයකින් වර්ධනය වී ඇති රටවල්ද තිබුණත් එය පොදුවේ දැකගත හැකි තත්ත්වයක් නෙමෙයි.

මූර්ත දළ දේශීය නිෂ්පාදිතය කියා කියන්නේ කිසියම් වසරක, කිසියම් රටක සිදු වන භාණ්ඩ හා සේවා නිෂ්පාදිතය. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා අපට ශ්‍රමය, ප්‍රාග්ධනය සහ තාක්ෂනය අවශ්‍ය වෙනවා. මේ අතරින්, අද වන විට, නිෂ්පාදිතය වැඩි කර ගැනීම සඳහා ප්‍රායෝගිකව ප්‍රයෝජනවත් වන්නේ ප්‍රාග්ධනය සහ තාක්ෂනය කියන සාධක දෙකයි. අද වන විට මූලික ශ්‍රමය ඒ තරම්ම වැදගත් සාධකයක් නෙමෙයි. පුහුණු ශ්‍රමයේ කාර්ය භාරය අප‍ට තාක්ෂනය යටතේම සලකා බලන්න පුළුවන්. ඒ නිසා, ප්‍රායෝගිකව විභව ආර්ථික වර්ධන වේගය වැඩි කර ගැනීමට ඉවහල් කර ගත හැක්කේ ප්‍රාග්ධනය සහ තාක්ෂනය කියන සාධක දෙකයි.

රටක ප්‍රාග්ධන සංචිතය තිරසාර ලෙස වැඩි කර ගැනීමට ඉවහල් වන්නේ ඉතිරි කිරීමේ අනුපාතිකයයි. විදේශ ණය ගැනීම මගින්ද ප්‍රාග්ධන සංචිතය වැඩි කරගත හැකි නමුත් එම ණය ආපසු ගෙවන විට නැවතත් ප්‍රාග්ධන සංචිතය අඩු වෙනවා. ඒ නිසා මේ ක්‍රමයට ප්‍රාග්ධනය වැඩි කරගෙන තාවකාලිකව ආර්ථික වර්ධන වේගය ඉහළ දමා ගත හැකි වුවත්, ඒ වර්ධනය තිරසාර වර්ධනයක් නෙමෙයි. ඒ ක්‍රමයට විභව ආර්ථික වර්ධන වේගය වැඩි කරගන්න අමාරුයි.

රටක ඉතිරි කිරීම් අනුපාතය ඉහළ ගියහොත් තිරසාර ලෙස ප්‍රාග්ධන සංචිතයද ඉහළ යනවා. ඒ හේතුවෙන් ආර්ථිකයේ ප්‍රමාණයද විශාල වෙනවා. මෙය සිදු වන කාලය තුළ ආර්ථික වර්ධන වේගයද ඉහළ යනවා. නමුත් ආර්ථිකයක් විශාල වන තරමට ආර්ථිකය ඒ මට්ටමේ පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වන ප්‍රාග්ධන සංචිතයයේ ප්‍රමාණයද ඉහළ යනවා. ඒ නිසා, ඉතිරි කිරීම් අනුපාතය ඉහළ ගියත් ඒ හේතුවෙන් ආර්ථිකය දිගින් දිගටම වර්ධනය වෙන්නේ නැහැ. විදේශ ණය ගැනීමට සාපේක්ෂව මෙහි තිබෙන ප්‍රධාන වෙනස වන්නේ වර්ධන වේගය පසුව අඩු වුනත්, ආර්ථිකය කඩා වැටී ඒ වන විට සිදු වූ වර්ධනය අහිමි නොවීමයි. නමුත් විදේශ ණය වල උදවුවෙන් ආර්ථිකය ප්‍රසාරණය කළ විට වර්ධන වේගය අඩු වීමට අමතරව, ආර්ථිකය කඩා වැටී ඒ වන විට සිදු වූ වර්ධනයේ ප්‍රතිලාභ වුවද අහිමි වෙන්න පුළුවන්. 

රටක ආර්ථිකයේ ප්‍රමාණය තිරසාර ලෙස දිගින් දිගටම ප්‍රසාරණය වන්නේ ඵලදායීත්වය ඉහළ යාම නිසායි. මෙය බොහෝ දුරට සිදු වන්නේ තාක්ෂනය වැඩි දියුණු වීම නිසා. 

ඇමරිකාව වැනි ඉහළ ආදායම් රටක තාක්ෂනය වැඩි දියුණු වී ඵලදායීත්වය ඉහළ යාම සඳහා නවෝත්පාදන අවශ්‍ය වෙනවා. දිගින් දිගටම නවෝත්පාදන බිහි කිරීම පහසු කාර්යයක් නෙමෙයි. එහෙත්, ඇමරිකාවේ ආර්ථිකය දිගුකාලීනව 3%ක පමණ වේගයකින් වර්ධනය වෙනවා. මෙයින් පෙනී යන්නේ ඇමරිකන් සමාජය තුළ නවෝත්පාදන බිහි වීම සඳහා උපකාරී වන තත්ත්වයන් දිගින් දිගටම පැවතී ඇති ආකාරයයි. 

වසර 75කට පෙරත් (1950දී) ඇමරිකාවේ ඒක පුද්ගල ආදායම 2024 ඩොලර් වලින් 20,327ක්. ලංකාවේ 2024 ඒක පුද්ගල ආදායම වුවද ඩොලර් 4,516ක් පමණයි. ඒ කියන්නේ වසර 75කට පෙරත්, ඇමරිකාවේ ඵලදායීතා මට්ටම ලංකාවේ දැන් මට්ටම මෙන් හතර ගුණයකටත් වඩා වැඩියි. වෙනත් අඩු හා මැදි ආදායම් රටවල් සැලකුවත්, ඒ රටවල් තවමත් ඉන්නේ ඉහළ ආදායම් රටවල් සියවසකටත් කලින් හිටපු මට්ටමටත් වඩා පහළින්. 

මේ වගේ විශාල ඵලදායීතා පරතරයක් පැහැදිලිව පෙනෙන්න තියෙද්දී, ලංකාව වැනි රටකට සිය නිෂ්පාදිතය සහ ආදායම් මට්ටම වැඩි කරගැනීම සඳහා ඇමරිකාව මෙන් නවෝත්පාදන බිහි කරන්න අවශ්‍ය නැහැ. ඒ වගේම, ප්‍රායෝගිකව අද ලෝකයට අවශ්‍ය නවෝත්පාදන ලංකාව වැනි රටක සිට බිහි කරන එක පහසු කටයුත්තකුත් නෙමෙයි. ඇමරිකාව වැනි රටක් අද ඉන්න තැනට ආවේ කොහොමද කියන එක දිහා බලාගෙන අවශ්‍ය දේවල් කිරීමෙන් පමණක් ලංකාවේ ආර්ථිකය දැන් තිබෙන මට්ටම මෙන් විසි ගුණයක් පමණ දක්වා විශාල කර ගන්න පුළුවන්. 

ඉහත කී විභවය තිබුණත්, ලංකාව වැනි රටකට වසරක් හෝ වසර කිහිපයක් ඇතුළත රටේ ඵලදායීතාව ඇමරිකාවේ මට්ටමට වැඩි කරගන්න බැහැ. දැනට වෙනත් රටක තිබෙන තාක්ෂනය ලබා ගන්න වුනත් රටකට සැලකිය යුතු කාලයක් යනවා. 

ඇමරිකාව වැනි රටක විභව ආර්ථික වර්ධන වේගය කියා කියන්නේ නවෝත්පාදන බිහි කර ගැනීම මගින් ඵලදායීත්වය ඉහළ දමා ගන්නා වේගය. ලංකාව වැනි රටක විභව ආර්ථික වර්ධන වේගය කියා කියන්නේ ඇමරිකාව වැනි රටක දැනටම දියුණු කර තිබෙන තාක්ෂනය සහ ඵලදායීත්වය වැඩි කරන ක්‍රමවේද උකහා ගන්නා වේගය. දැනටම කවුරු හෝ කළ දෙයක් ඒ විදිහටම කරන එක ඵලදායීත්වය තවත් වැඩි කරගත හැකි ක්‍රම අලුතෙන්ම හොයා ගන්න එක තරම් අමාරු නැහැ. චැට්ජීපීටී වගේ මෙවලමක් හදන්න විශාල ආයෝජනයක් කරන්න වෙනවා. නමුත් එවැනි මෙවලමක් කවුරු හෝ විසින් හැදුවට පස්සේ එය ප්‍රයෝජනයට ගන්න එක පහසුවෙන් කළ හැකි දෙයක්. 

ඉහත හේතුව නිසා, අඩු ආදායම් රටකට වැඩි වේගයකින් වර්ධනය වීමේ හැකියාවක් තිබෙනවා. නමුත් ආදායම ක්‍රමයෙන් ඉහළ යද්දී ඒ හැකියාවත් ක්‍රමයෙන් අඩු වෙනවා. ඊට හේතුව ආදායම ක්‍රමයෙන් ඉහළ යද්දී වෙනත් අයගෙන් ගත හැකි දේවල් අවසන් වෙන්න පටන් ගැනීමයි. මේ ප්‍රශ්නය ඇති වන්නේ ජපානය, සිංගප්පූරුව වගේ මට්ටමකට පැමිණියාට පසුවයි. ලංකාව වගේ රටකට තවත් විශාල කාලයක් මේ ක්‍රමයට වර්ධනය වෙන්න පුළුවන්.

ලංකාව වගේ රටක් හා අදාළව විභව ආර්ථික වර්ධන වේගය වැඩි කර ගැනීම කියා කියන්නේ දැනටම වෙනත් රටවල් විසින් අනුගමනය කරන සාර්ථක ක්‍රම උකහා ගන්නා වේගය වැඩි කර ගැනීම. ලංකාව වැනි රටකට අවශ්‍ය ව්‍යවසායකත්වය කියා කියන්නෙත් මේක. මේ ක්‍රමයට විභව ආර්ථික වර්ධන වේගය වැඩි කරගන්නම්, වෙනත් අයගෙන් ගත හැකි දේවල් ගන්න තිබෙන බාධාවන් හඳුනාගෙන ඒවා ඉවත් කරගන්න වෙනවා.

මේ කාර්යයේදී වුවත්, ප්‍රාග්ධනය හා මානව ප්‍රාග්ධනය සීමාකාරී සාධක වෙනවා. ප්‍රාග්ධනය ප්‍රමාණවත් නැත්නම් දියුණු රටවල් කරන සමහර දේවල් කරන්න බැහැ. ප්‍රාග්ධනය තිබුණත් අවශ්‍ය මානව ප්‍රාග්ධනය නැත්නම් දියුණු ක්‍රමවේද උකහා ගන්න බැහැ. 

කොළඹ සිට ගාල්ල දක්වා ගමන් කරන වාහනයකට එක දිගටම එකම නිශ්චිත වේගයකින් ගමන් කරන්න බැහැ. වේගය අවශ්‍ය පරිදි අඩු වැඩි කරන්න වෙනවා. නමුත් බොරළු පාරක් කාපට් පාරක් වෙද්දී මේ ගමනට ගත වෙන සාමාන්‍ය කාලය අඩු වෙනවා.  කාපට් පාර අධිවේගී මාර්ගයක් වෙද්දී මේ ගමනට ගත වෙන සාමාන්‍ය කාලය තවත් අඩු වෙනවා. ඔය බැව් දැනගෙන හිටියත්, පාර කාපට් කරන්න අවශ්‍ය ප්‍රාග්ධනය නැත්නම්, කරන්න දෙයක් නැහැ. ප්‍රාග්ධනය තිබුණත්, අවශ්‍ය මානව ප්‍රාග්ධනය නැත්නම් සමහර දේවල් කරන්න බැහැ. මැදපෙරදිග රටවල් බොහොමකට විදෙස් ශ්‍රමිකයින් අවශ්‍ය වී තිබෙන්නේ මේ නිසා.

ඔය සීමාවන් නිසා රටකට වෙනත් රටවල් වලින් ගත හැකි දේ අරගෙන වුවද ඵලදායීතාවය වැඩි කරගත හැකි වන්නේ ප්‍රාග්ධනය සහ මානව ප්‍රාග්ධනයද ක්‍රමයෙන් වැඩි කරගන්නා අතරයි. ලංකාව හා අදාළව මානව ප්‍රාග්ධනය විශාල ප්‍රශ්නයක් නෙමෙයි. ලංකාවට අවශ්‍ය ආකාරයේ දියුණුවක් ලබා ගන්න නොබෙල් තෑග්ග ගන්න පුළුවන් මට්ටමේ අය අවශ්‍ය වන්නේ නැහැ. විදේශගත වන ලංකාවේ වෘත්තිකයින් බොහෝ දෙනෙකුගේ ඵලදායීතාවය ක්ෂණිකව ඉහළ යන්නේ අවශ්‍ය මානව ප්‍රාග්ධනය ඔවුන් සතුව තිබෙන නිසා. ලංකාවේ සීමාකාරී සාධකය භෞතික ප්‍රාග්ධනය.

භෞතික ප්‍රාග්ධනය සීමාකාරී සාධකයක් වන්නේ ලංකාවට පමණක් නෙමෙයි. මෙය අඩු ආදායම් රටවලට පොදු තත්ත්වයක්. ප්‍රශ්නයට විසඳුමක් ලෙස කාලයක් තිස්සේ ලංකාව ඇතුළු බොහෝ රටවල් විසින් අනුගමනය කර තිබෙන ක්‍රමයක් වන්නේ විදේශ ප්‍රාග්ධනය ලබා ගැනීම. නමුත් ඒ ක්‍රමයට ගොඩ ගිය රටවල් දකින්න නැහැ. අඩු ආදායම් මට්ටමක සිට වේගයෙන් ඉහළට ආ රටවල් බොහොමයක් එසේ කර තිබෙන්නේ ඉතිරි කිරීම් අනුපාතය කාලයක් තිස්සේ එක දිගටම ඉහළ මට්ටමක තබා ගැනීම මගින්. 

ඉතිරි කිරීම් අනුපාතය වැඩි කර ගැනීම මගින් ලංකාව වැනි රටකට යම් කිසි කාලයක් වේගයෙන් වර්ධනය වෙන්න පුළුවන්. දකුණු කොරියාව, චීනය, සිංගප්පූරුව වගේ රටවල් බොහොමයක් ආදායම් මට්ටම වෙනම තලයකට උස්සා ගත්තේ ඔය ක්‍රමයට. හදිසියේ තෙල් නිධියක් හමු වීම වැනි හේතුවක් නිසාත් ප්‍රාග්ධන සංචිතය ඉහළ ගිහින් රටක තත්ත්වය ඉහළට එසැවෙන්න පුළුවන්. නමුත් ඒවා වාසනාවට වෙන දේවල් මිසක් සැලසුම් කර කළ හැකි දේවල් නෙමෙයි.

ඉතිරි කිරීම් අනුපාතය ඉහළ දමා ගැනීම සඳහා රජයට කළ හැකි කාර්ය භාරයක් තිබෙනවා. නමුත් මෙය ප්‍රධාන වශයෙන්ම තීරණය වන්නේ රටේ ජනතාවගේ චර්යාවන් මතයි. තනි තනි පුද්ගලයින් විසින් තමන්ගේ පරිභෝජනය සීමා කර ඉතිරි කිරීම් වැඩි කරද්දී සමස්තයක් ලෙස රටේ ඉතිරි කිරීම්ද ඉහළ යනවා. මේ ක්‍රමයට ආර්ථිකයේ විභවය දිගින් දිගටම වැඩි වෙන්නේ නැතත්, වසර 20ක පමණ කාලයක් වේගවත් වර්ධනයක් පවත්වා ගැනීම මගින් වෙනම මට්මකට යන්න පුළුවන්.

මීට අමතරව, විභව වර්ධන වේගය වැඩි කරගැනීම සඳහා කළ හැකි වෙනත් දේවල්ද තිබෙනවා. ඒ දියුණු රටවල් දියුණු වීමට හේතු වූ දේ අනුගමනය කිරීමට බාධාවක් වන මානසික හා සංස්කෘතික සීමා වලින් මිදීම. එම බාධා වැඩි රටවල් වල ආදායම් මට්ටම අඩු වුනත්, දියුණු රටවල් එක්ක පරතරය වඩා වැඩි වුවත්, විභව වර්ධන වේගය සීමා වෙලයි තියෙන්නේ. මේ බාධාවන් ඉවත් කරගත් සමාජ කෙටි කාලයක් ඇතුලත වේගයෙන් දියුණු වී තිබෙනවා. ඒ එක්කම සමාජයේ වේගවත් සංස්කෘතික පරිවර්තනයකුත් වෙනවා. ඒ සංස්කෘතික පරිවර්තනය ජපානයේ, සිංගප්පූරුවේ, දකුණු කොරියාවේ සිට තායිලන්තය දක්වා දකින්න පුළුවන්.

මෙවැනි සංස්කෘතික පරිවර්තනයක් සමාජය වේගයෙන් බටහිරකරණය වීමක් ලෙස හඳුන්වන්නත් පුළුවන්. අපි කැමති වුනත් අකැමැති වුනත්, නූතන සංවර්ධනයේ තිඹිරිගෙය බටහිර සංස්කෘතිය කියන එක අපට අමතක කරන්න බැහැ.

Monday, January 5, 2026

විභව ආර්ථික වර්ධනය


රටක ආර්ථික වර්ධනය යන්නෙන් අදහස් වන්නේ කුමක්ද කියන එකත්, නාමික දළ දේශීය නිෂ්පාදිතය සහ මූර්ත දළ දේශීය නිෂ්පාදිතය අතර වෙනස ගැනත් පෙර සටහනෙන් පැහැදිලි කළා. මේ ලිපිය තේරුම් ගැනීම සඳහා එම ලිපියෙහි පැහැදිලි කර ඇති සංකල්ප මුලින් තේරුම් ගත යුතුයි. ඒ නිසා, පෙර ලිපිය කියවූයේ නැත්නම් කරුණාකර මුලින් එම ලිපිය කියවන්න. 

සංඛ්‍යාලේඛණයක් ලෙස වැදගත් වුනත්, රටක ජනතාවගේ ජීවන තත්ත්වය පිළිබඳ නිර්ණායකයක් විදිහට නාමික දළ දේශීය නිෂ්පාදිතයෙන් කිසිම වැඩක් නැහැ. ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ යන්නේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතය ඉහළ යද්දී. ඒ කියන්නේ රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදිතය ඉහළ යද්දී. 

රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදිතය ඉහළ යනවානම්, ඒ භාණ්ඩ හා සේවා වල මිල ගණන් ඉහළ හෝ පහළ යාමේ ලොකු වැදගත්කමක් නැහැ. ඔබට අවසාන වශයෙන් හාල් කිලෝවක් හා පොල් ගෙඩියක් අනිවාර්යයෙන්ම පරිභෝජනය කරන්න ලැබෙනවානම්, හාල් හා පොල් වල මිල කීයද කියන එකේ විශේෂ වැදගත්කමක් නැහැ. ඒ කියන්නේ මූර්ත ආර්ථිකය වර්ධනය වේනම්, උද්ධමනය ජීවන තත්ත්වය කෙරෙහි සෘජුව බලපාන සාධකයක් නෙමෙයි. 

උද්ධමනය නිසා සිදු වන නාමික දළ දේශීය නිෂ්පාදිතයේ ඉහළ යාම රටක ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ දමන්නේ නැහැ. ඒ වගේම, පහළ දමන්නේත් නැහැ. ඒ නිසාම, මූර්ත ආර්ථිකය වර්ධනය නොවී උද්ධමනය අඩු වුනා කියලා රටක ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ යන්නේත් නැහැ. මිල මට්ටම පහළ ගියත් මේ තත්ත්වයේ වෙනසක් නැහැ. අවසාන වශයෙන් වැදගත් වන්නේ මූර්ත ආර්ථික වර්ධන වේගය පමණයි. 

උද්ධමනය නිසා සිදු වන නාමික දළ දේශීය නිෂ්පාදිතයේ ඉහළ යාම ඇඟට දැනෙන එකක් නෙමෙයි. ඇඟට දැනෙන්නනම් එහි සැබෑ බලපෑමක් තිබිය යුතුයි. සැබෑ බලපෑමක් නැති, නාමික වෙනසක් කොහෙත්ම ඇඟට දැනෙන්නේ නැහැ. 

නමුත් මූර්ත දළ දේශීය නිෂ්පාදිතය ඉහළ යාම එවැනි දෙයක් නෙමෙයි. එය ඇඟට දැනෙනවා. නයිජීරියාවේ ජීවන තත්ත්වයට වඩා ඕස්ට්‍රේලියාවේ ජීවන තත්ත්වය ඉහළ බව හයේ පන්තියේ පෙළ පොත් කියවපු දරුවෙක් වුනත් දන්නවා. ඒ පෙළ පොතේ නැතත්, නයිජීරියාවේ අද ජීවන තත්ත්වය වසර තිහකට පමණ පෙර එහි ජීවන තත්ත්වයට වඩා ගොඩක් හොඳයි. අද ලංකාවේ සාමාන්‍ය ජීවන තත්ත්වය සහ අවුරුදු තිහකට පෙර තත්ත්වය අතර විශාල වෙනසක් තිබෙනවා. සමහර අය පිළිගන්න අකැමැති විය හැකි නමුත් මෙය ඇඟට දැනෙන වෙනසක්.

කෙසේ වුවත්, මේ විදිහට ආර්ථික වර්ධනය ඇඟට දැනෙන්නේ සැලකිය යුතු වෙනසක් ඇති විට හෝ එවැනි වෙනසක් සිදු වීමෙන් පසුවයි. වසරක් තුළ සිදුවන 2%ක නොව 5%ක ආර්ථික වර්ධනයක් වුවත් ඒ විදිහට ඇඟට දැනෙන්නේ නැහැ. ඇතැම් විට එවැනි කෙටිකාලයක් තුළ සිදුවන ආර්ථික වර්ධනයක ප්‍රතිලාභ සමාජයේ ඇතැම් කොටස් වෙත ඇත්තටම ගිහින් නැති වෙන්න පුළුවන්. සමාජයේ සියළුම ස්ථර වලට ආර්ථික වර්ධනය දැනෙන්න ඇතැම් විට වසර දහයක් පමණ වුවත් යන්න පුළුවන්. නමුත් අවසාන වශයෙන් මෙය සිදු වෙනවා. 

සාර්ව ආර්ථික විද්‍යාවේදී ආර්ථික වර්ධනය ප්‍රවාදගත කරද්දී එය දිගුකාලීන ආර්ථික වර්ධනය සහ කෙටිකාලීන ආර්ථික වර්ධනය ලෙස වෙන් කරනවා. රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති සහ මුදල් ප්‍රතිපත්ති හරහා කෙටිකාලීනව ආර්ථික වර්ධනය කෙරෙහි බලපෑමක් කරන්න පුළුවන්. නමුත් දිගුකාලීනව මෙවැනි බලපෑම් වල දායකත්වය නිශේධනය වෙනවා. ඒ නිසා, රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති සහ මුදල් ප්‍රතිපත්ති වල උදවුවෙන් දිගුකාලීන ආර්ථික වර්ධන වේගය වෙනස් කරන්න බැහැ. 

රටක ජනතාවගේ ජීවන තත්ත්වය කෙරෙහි බලපාන්නේත්, අවසාන වශයෙන් ඇඟට දැනෙන්නේත්, දිගුකාලීනව සිදු වන ආර්ථික වර්ධනයයි. කිසියම් රටකට දිගුකාලීනව තිරසාර ලෙස පවත්වා ගත හැකි සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය විභව ආර්ථික වර්ධන වේගය ලෙස හැඳින්වෙනවා. එය සාමාන්‍යයෙන් ලේසියෙන් වෙනස් වෙන්නේ නැහැ. වෙනස් කරන්නත් අමාරුයි.

විභව ආර්ථික වර්ධන වේගය ලේසියෙන් වෙනස් නොවුනත්, සත්‍ය ආර්ථික වර්ධන වේගය වසරින් වසර වෙනස් වෙනවා. ඒ වගේම, රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති සහ මුදල් ප්‍රතිපත්ති හරහා සත්‍ය ආර්ථික වර්ධන වේගය වෙනස් කරන්නත් පුළුවන්. 

සමහර වසර වලදී විවිධ ස්වභාවික හේතු නිසා සත්‍ය ආර්ථික වර්ධන වේගය විභව වේගයට වඩා අඩු වෙනවා. නමුත්, කිසිදු මැදිහත්වීමකින් තොරව වුවත්, බොහෝ විට පසුව නැවත ආර්ථික වර්ධනය ඉහළ ගොස් විභව මට්ටමට එනවා. මේ වගේ වෙලාවක රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති සහ මුදල් ප්‍රතිපත්ති මගින් වඩා ඉක්මණින් ආර්ථික වර්ධනය විභව මට්ටමට එසැවීමට උදවු කරන්න පුළුවන්. දිත්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානියේ බලපෑම උදාහරණයක්.

ඉහත කී ආකාරයේ අවශ්‍යතාවයක් නැති අවස්ථා වලදී වුවත්, කෙටිකාලීනව, රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති සහ මුදල් ප්‍රතිපත්ති මගින් ආර්ථික වර්ධන වේගය වැඩි කරන්න පුළුවන්. එහෙත්, එහිදී ඇති වන තත්ත්වය ස්ථායී තත්ත්වයක් නෙමෙයි. මේ වගේ තත්ත්වයක් යටතේදී සත්‍ය ආර්ථික වර්ධන වේගය විභව වේගයට වඩා වැඩි වෙනවා. එසේ වූ විට එම වේගය නැවත විභව මට්ටම දක්වා පහත වැටීමේ ස්වභාවික නැඹුරුව නිසා මෙවැනි අස්ථායී වර්ධනයක් බොහෝ විට කෙළවර වන්නේ ආර්ථිකයේ කඩා වැටීමකින්. ඔය ක්‍රමයට ආර්ථිකය වැඩියෙන් පුම්බවන තරමට කඩා වැටීමේ හානියද ඉහළ යනවා. ඒ නිසා, හොඳ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයෙකුගේ ඉලක්කය වන්නේ රටක සත්‍ය ආර්ථික වර්ධන වේගය විභව මට්ටමට ආසන්නව පවත්වා ගැනීමයි.

මේ සමඟ පළ කරන රූප සටහනෙහි නිල් පැහැති කඩ ඉරෙන් නිරූපණය කරන රේඛාවේ බෑවුම 0.044ක්. රතු ඉරෙන් සලකුණු කර තිබෙන්නේ 2024 රුපියල් වලින් ලංකාවේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ ලඝු අගයයි. රූප සටහන දෙස බැලූ විට ඔබට පැහැදිලිව පෙනී යනු ඇත්තේ රතු ඉරේ ගමන් පථය නිල් ඉර මගින් මාර්ගෝපදේශනය වී ඇති ආකාරයයි. මෙයින් අදහස් වන්නේ, සාමාන්‍ය අගයක් ලෙස, රතු ඉරේ බෑවුමද 0.044ක් බවයි. මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ ලඝු අගය වසරකට 0.044කින් ඉහළ යාම මගින් පෙන්වන්නේ ලංකාවේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතය වසරකට 4.4%ක සාමාන්‍ය වේගයකින් වර්ධනය වී ඇති බවයි. 

මෙහි අප බලන්නේ වසර 75කට ආසන්න දීර්ඝ කාලයක් දෙසයි. එම දීර්ඝ කාලය තුළ, ආර්ථික වර්ධන වේගය කෙටිකාලීනව වෙනස් වී ඇතත්, දිගුකාලීනව ඇහැට පෙනෙන වෙනසක් වී නැහැ. මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදයක් හා වෙළඳපොළ ආර්ථිකයක් ඇති වෙනත් රටක මූර්ත දළ දේශීය නිෂ්පාදිතය දෙස බැලුවද බොහෝ විට මෙවැනි තත්ත්වයක් දැකිය හැකියි. විභව වර්ධන වේගය රටින් රටට වෙනස් වුවද, සත්‍ය වර්ධන වේගය එම කවර හෝ විභව වර්ධන වේගය වටා විචලනය වන බව පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි දෙයක්. දත්ත දෙස බැලූ විට පැහැදිලිව පෙනෙන කරුණක් බැවින්, ආර්ථික විද්‍යා ප්‍රවාද මගින් පැහැදිලි කෙරෙන මෙය සිදු වන යාන්ත්‍රනය මා මෙහි විස්තර කරන්නේ නැහැ. 

උදාහරණ ලෙස 1970-77 සමාජවාදී පරීක්ෂණ කාලය තුළ රතු ඉර ගමන් කරන්නේ නිල් කඩ ඉරට පහතින් වුවත්, පසුව නැවත නිල් කඩ ඉර වෙත පැමිණෙනවා. ඉන් පසුව නැවතත් 1988/89 භීෂණ කාලයේදී ආර්ථික වර්ධනය පහත වැටෙනවා. යළි විභව මට්ටම කරා පැමිණෙනවා. 2001 කටුනායක ප්‍රහාරයෙන් පසුවද මෙවැන්නක් සිදු වෙනවා. 

රාජපක්ෂ දශකය තුළ සත්‍ය ආර්ථික වර්ධන වේගය විභව වේගය ඉක්මවා ඉහළ ගොස් ඇති ආකාරය අපට දැකිය හැකියි. මින් පෙර මෙවැනි තත්ත්වයක් ඇති වීමට හේතු වූයේ 1950 දශකයේ මුල් භාගයේදී කොරියන් යුද්ධය නිසා රබර් මිල ඉහළ යාම තුළ ඇති වූ ලංකාවට වාසිදායක තත්ත්වයයි. එහෙත්, රාජපක්ෂ දශකය තුළ රටට විදේශ විණිමය පැමිණුනේ විදේශ ණය ලෙස මිස ආදායම් ලෙස නෙමෙයි. හේතුව කුමක් වුවත්, රටක සත්‍ය ආර්ථික වර්ධන වේගය විභව වේගය ඉක්මවා ඉහළ මට්ටමක පැවතීම ස්ථායී තත්ත්වයක් නෙමෙයි. එවැනි තත්ත්වයක් කොයි වෙලාවේ හෝ නිවැරදි වෙනවා. 


 
රටක විභව වර්ධන වේගය දිගටම එකම මට්ටමක තිබිය යුතුද? එය වෙනස් වෙන්න බැරිද?

ඉහත කොටස කියවීමෙන් පසුව, රටක විභව වර්ධන වේගය යනු වෙනස් කළ නොහැකි ස්ථිර දෙයක් වැනි අදහසක් එන්න පුළුවන්. වෙනත් ඕනෑම දෙයක් මෙන් විභව වර්ධන වේගයද වෙනස් වන සහ වෙනස් කළ හැකි දෙයක්. මා කියා තිබෙන්නේ සාමාන්‍යයෙන් වෙනස් නොවන බව සහ වෙනස් කිරීම අසීරු බව පමණයි. 

මුදල් හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති මගින් කෙටිකාලීනව සත්‍ය වර්ධන වේගය වෙනස් කිරීම සාපේක්ෂව පහසුවෙන් කළ හැකි දෙයක්. එහෙත් මෙහිදී විභව වර්ධන වේගයේ වෙනසක් සිදු වන්නේ නැහැ. එසේ වුවද, රටක ජනතාවගේ ජීවන තත්ත්වය තිරසාර ලෙස ඉහළ යාමටනම් වෙනස් විය යුත්තේ විභව ආර්ථික වර්ධන වේගයයි.

අර්ථදැක්වීම අනුවම, විභව ආර්ථික වර්ධන වේගය යනු දිගුකාලීන සාමාන්‍ය වර්ධන වේගයයි. ඒ නිසා, එහි සැබෑ වෙනස් වීමක් නිරීක්ෂණය කළ හැක්කේ දීර්ඝ කාලයකට පසුවයි. ඇතැම් විට, විභව ආර්ථික වර්ධන වේගය වෙනස් නොවී, වසර දහයක් පමණ වන දීර්ඝ කාලයක් තිස්සේ වුවද සත්‍ය ආර්ථික වර්ධන වේගය ඉහළ මට්ටමක පවතින්න පුළුවන්. මෙවැනි තත්ත්වයක් ප්‍රතිපත්ති සම්පාදකයින් හා වෙනත් විශ්ලේෂකයින් විසින් විභව ආර්ථික වර්ධන වේගය ඉහළ යාමක් ලෙස වරදවා තේරුම් ගන්නත් පුළුවන්.

ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති හා අදාළව තීරණාත්මකම හැරවුම සේ සැලකිය හැක්කේ 1977 වෙනසයි. මෙය තීරණාත්මක හැරවුමක් වන්නේ එම වසරේදී ක්ෂණිකව සිදු වූ වෙනස්කම් නිසාම නෙමෙයි. ඉන් පසු වරින් වර ආණ්ඩු වෙනස් වුවද නැවත 1970-77 ආකාරයේ ප්‍රතිපත්ති කරා ආපසු නොගිය නිසා. මේ පදනම මත, 1977ට පෙර යුගය ඉවත් කර ඉහත නිල් කඩ ඉර නැවත ඇන්දොත් අපට පෙනෙන්නේ ඉන් පසු කාලය තුළ ලංකාවේ විභව ආර්ථික වර්ධන වේගය 4.6% මට්ටමේ තිබී ඇති බවයි. මේ අනුව, පැහැදිලි වන්නේ ප්‍රතිපත්ති වෙනස්කම් මගින් විභව ආර්ථික වර්ධන වේගය වුවද වෙනස් කර ගත හැකි බවයි. එහෙත්, එක වර විශාල වෙනසක් කළ නොහැකියි. 

දත්ත අනුව දැකිය හැකි පරිදි, රාජපක්ෂ දශකය සත්‍ය වර්ධන වේගය විභව මට්ටමට වඩා ඉහළින් පැවති කාලයක්. එම කාලයේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය 6.4%ක්. මෙම ඉහළ වර්ධන වේගය විභව වර්ධන වේගයේ වැඩි වීමක් ලෙස අපට සැලකිය නොහැකිද?

අදාළ කාලයේ මේ ප්‍රශ්නය කිසිවකු විසින් ඇසුවේනම් ප්‍රශ්නයට පිළිතුරක් දෙන එක අසීරු වැඩක්. එහෙත්, මේ වෙද්දී ප්‍රශ්නයට පිළිතුර පැහැදිලියි. ඇතැම් අයට අනුව, ඒ කාලයේ ඉහළ මට්ටමක පැවති වර්ධන වේගය අඩු වීමට හේතුව ආණ්ඩු වෙනසයි. අප එය එසේයැයි පිළිගතහොත්, එම තර්කය මගින්ම පෙන්වා දෙන්නේ රාජපක්ෂ දශකය තුළ විභව වර්ධන වේගයේ ඉහළ යාමක් සිදු වී නොමැති බවයි. එසේ වීනම් ආණ්ඩු වෙනසකින් පසුව වර්ධන වේගය අඩු වන්නේ නැහැ. විභව වර්ධන වේගය කියන්නේ රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති හෝ මුදල් ප්‍රතිපත්ති වල උදවුවෙන් නඩත්තු කරන වර්ධන වේගයක් නෙමෙයි.

මෙය පෙන්වා දීම දැන් වඩා පහසු වුවත්, ආර්ථික විචල්‍යයන්ගේ හැසිරීම ගැන අදහසක් ඇති අයෙකුට මේ බැව් තේරුම් ගැනීම අපහසුව තිබුණේ නැහැ. අප විසින්ම වසර ගණනකට පෙර සිට අපේක්ෂිත කඩා වැටීම පිළිබඳව පුරෝකථනය කර තිබුණේ එසේ කළ හැකිව තිබුණු නිසා. ඒ කඩා වැටීම වලක්වා ගැනීම සඳහා කළ හැකිව තිබුණු දේ නොකිරීම කණගාටුවට කරුණක්. එහෙත් මේ වෙද්දී එම කඩා වැටීම සිදු වී අවසන්. ඒ වගේම, ඒ හරහා කළ යුතුව තිබුණු නිවැරදි කිරීමක් ඉබේටම සිදු වී ආර්ථිකය ස්ථාවර වීමක් සිදු වුනා. දැන් කරන්නට තිබෙන්නේ පරණ වැරදි නැවත නොකර මේ තත්ත්වය දිගටම පවත්වා ගෙන යාමයි. 

පරණ වැරදි නැවත නොකර සිටිය යුතු බැවින් ඇතැම් විට ඉතිහාසය දෙස පසු විපරමක් කළ යුතු වුවත්, අප වඩා උනන්දුවක් දක්වන්නේ අනාගතවාදීව ලියන්නටයි. දැන් අපි ඉහත සංකල්ප ඇසුරෙන් ලංකාවේ අනාගතය දෙස බලමු.

අතීත වාර්තාව අනුව, ලංකාවට 7%ක් වැනි විභව වර්ධන වේගයක් ඉලක්ක කිරීමේ හැකියාවක් පෙනෙන්නට නැහැ. එහෙත්, වත්මන් සාර්ව ආර්ථික සැලසුම තුළ ඉලක්ක කර තිබෙන මට්ටම 3.1% විභව වේගයයි. එය ලංකාවේ සැබෑ විභවයද?

මෙයට මගේ පිළිතුර වන්නේ ලංකාවේ සැබෑ විභවය 3.1% මට්ටමට වඩා වැඩි විය යුතු බවයි. එසේනම්, මූල්‍ය අරමුදල විසින් ඔවුන්ගේ සාර්ව ආර්ථික සැලසුම තුළ 3.1% මට්ටම ඉලක්ක කර තිබෙන්නේ ඇයි?

රාජපක්ෂ දශකය තුළ ඉදිරියට ගෙන ගියේ ජේ ආර් ජයවර්ධන විසින් හඳුන්වා දුන් රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තියයි. ඉතා පුළුල් පදනමකින්, වෙළදපොළ ආර්ථිකයක් ඇති රටවල ආර්ථික ප්‍රතිපත්ති අපට කාණ්ඩ තුනක් යටතේ වර්ග කළ හැකියි. 

1. විශාල රාජ්‍ය ආදායමක් හා විශාල රාජ්‍ය වියදමක් සමඟ තුලිත අයවැයක් (ස්කැන්ඩිනේවියානු ක්‍රමය)
2. අඩු රාජ්‍ය ආදායමක් හා අඩු රාජ්‍ය වියදමක් සමඟ තුලිත අයවැයක් (දකුණු ඉවුර කණ්ඩායම විසින් යෝජනා කරන ක්‍රමය)
3. අඩු රාජ්‍ය ආදායමක් හා විශාල රාජ්‍ය වියදමක් සමඟ රාජ්‍ය ණය මගින් පියවන අයවැයක් (ශ්‍රී ලංකාව ඇතුළු ණය අර්බුද වලට මුහුණ දුන් රටවල් බොහොමයක් විසින් අනුගමනය කළ ක්‍රමය)

මේ වෙන් කිරීම තුළ මූලික ආර්ථික විද්‍යා සංකල්ප වලින් එහාට ගිය දේශපාලනික බෙදීමක් දකින්න පුළුවන්. මේ එක් එක් ක්‍රමයේ වාසි හා අවාසි තිබෙනවා. කෙසේ වුවත්, දැනට අපට මේ සාකච්ඡාව ගෙන යාමට අවශ්‍ය එතැනට නෙමෙයි. 

ඇත්ත වශයෙන්ම ජේ ආර් ජයවර්ධන විසින් ඉහත තුන් වන ක්‍රමය ලංකාවට හඳුන්වා දුන්නේ 1977දී නෙමෙයි. ඔහු එය කළේ 1947දී මුදල් ඇමති වූ වහාමයි. 1977දී ඔහු එය වෙනම මට්ටමකට ගෙන ගියා. මහින්ද රාජපක්ෂ විසින් එය තවත් ඉහළ මට්ටමකට ගෙන ගියා. මේ හැම මට්ටමකදීම ආර්ථික වර්ධනයට යම් තල්ලුවක් ලැබුණත් ආර්ථික අස්ථායීතාවය ක්‍රමක්‍රමයෙන් ඉහළ ගියා. මේ ක්‍රමයට වඩා වෙනස් ක්‍රමයක් අනුගමනය කළේ රනිල්ගේ පාලන කාල වලදී පමණයි. එය ඉහත දෙවන ක්‍රමයට කිට්ටු ක්‍රමයක්. දැන් මාලිමා ආණ්ඩුව විසින් අනුගමනය කරන්නේද එම ක්‍රමයයි. 

ආර්ථික අර්බුදය දක්වා ලංකාවේ වර්ධන ගමන් මග දෙස ආපසු හැරී බලන්නේනම්, ලංකාවට අපහසුවකින් තොරව 4.4%ක වර්ධන වේගයක් තිරසාර ලෙස පවත්වා ගෙන යාමේ හැකියාවක් තිබෙනවා. එහෙත්, මෙහිදී අපට අමතක කළ නොහැකි කරුණක් වන්නේ එම වර්ධන වේගය පවත්වා ගෙන ගියේද දිගින් දිගටම ආදායම ඉක්මවා වියදම් කරමින් බවයි. එසේ දිගින් දිගටම ණය නොගෙන 4.4%ක වර්ධන වේගයක් තිරසාර ලෙස පවත්වාගෙන යා හැකිද? එසේ නැත්නම් එසේ පවත්වා ගෙන යා හැකි වර්ධන වේගය 3.1% පමණක්ද?

රාජපක්ෂ දශකය තුළ පවත්වා ගත් 6.4%ක වර්ධන වේගය තිරසාර නොමැති බව ඉතා පැහැදිලියි. නමුත් 1977 සිට අඩු වශයෙන් වසර 30ක් පමණ එක දිගට 4.8%ක පමණ සාමාන්‍ය වර්ධන වේගයක් පවත්වා ගැනීම ලංකාවට අසීරු කරුණක් වූයේ නැහැ. මෙවැන්නක් සිදු කළේ දිගින් දිගටම ණය ගනිමින් වුවත්, එම ණය ගැනීම් ණය පැහැර හැරීමට සිදු වන අර්බුදයක් දක්වා වර්ධනය වූයේ නැහැ. වරින් වර ගෙවුම් ශේෂ අර්බුද ආවත් මූල්‍ය අරමුදලේ උදවුවෙන් එම ගෙවුම් ශේෂ අර්බුද විසඳා ගත හැකි වුනා. ඒ නිසා, එසේ කළ යුතුයැයි සිදු කෙරෙන යෝජනාවක් නොවුනත්, නැවතත් යම් මට්ටමකින් ණය ගනිමින් 4.8%ක පමණ වර්ධන වේගයක් තිරසාර ලෙස පවත්වා ගෙන යාම නොකළ හැක්කක් නෙමෙයි. 

මෙහි අප ගොනු කළ තර්ක අනුසාරයෙන් ලංකාවේ විභව වර්ධන වේගයේ පරාසය 3.1%-4.8% ලෙස අපට සැලකිය හැකියි. එය කවර අගයක් වුවද, ඉහත ප්‍රස්ථාර අනුව පෙනී යන්නේ මේ වන විට ලංකාවේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතය පවතින්නේ විභව මට්ටමට වඩා පහතින් බවයි. එවැනි තත්ත්වයක් යටතේ, විභව වර්ධන පථය දක්වා යන තුරු, ආර්ථිකය විභව මට්ටමට වඩා වේගයෙන් වර්ධනය වීම සාමාන්‍ය තත්ත්වයයි. ඒ නිසා, ඉදිරි වසර කිහිපය තුළ විභව මට්ටම ඉක්මවා යන වර්ධනයක් ලඟා කර ගැනීමේ විභවයක් ලංකාවට තිබෙනවා. ඒ වගේම, රාජ්‍යමූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති මගින් මේ වර්ධනයට තල්ලුවක් දීමේ හැකියාවද තිබෙනවා. එහෙත්, එසේ කළ යුත්තේ ස්ථායීතාවය අවදානමේ නොහෙලමිනුයි.

වෙබ් ලිපිනය: