වෙබ් ලිපිනය:

Showing posts with label අතුරු අයවැය. Show all posts
Showing posts with label අතුරු අයවැය. Show all posts

Saturday, December 20, 2025

අතුරු අයවැයෙන් වෙන්නේ කුමක්ද?


මේ වන විට ඉදිරි 2026 වර්ෂය සඳහා රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් සම්මත කරගෙන තිබෙනවා. මේ විදිහට අතුරු අයවැයක් සම්මත කර ගැනෙන්නේ ඉදිරි වර්ෂය සඳහා අයවැය සම්මත කරගෙන ආපහු හැරෙන්නත් කලින්. නමුත් එම අයවැය සම්මත කර ගන්නා අවස්ථාවේදී දිත්වා සුළි කුණාටුව ඇවිත් තිබුණේ නැහැ. එම සුළි කුණාටුවෙන් අනපේක්ෂිත සහ සැලකිය යුතු ආර්ථික බලපෑමක් සිදු වුනා.

ලංකාවේ රාජ්‍ය මූල්‍යනය ඔය මට්ටමේ අනපේක්ෂිත ආපදාවකට මුහුණ දිය හැකි පරිදි කලින් සැලසුම් කරලා නැහැ. ඒ නිසා, ඔය වගේ සිද්ධියකින් පසුව අතුරු අයවැයක් ඉදිරිපත් කරන්නට සිදු වීම අසාමාන්‍ය දෙයක් නෙමෙයි. දැන් එය සිදු වී තිබෙනවා.

රජය විසින් තවමත් ආපදාවේ හානිය පිළිබඳ නිල ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරලා නැහැ. අතුරු අයවැය සම්මත කරගෙන තියෙන්නේ එවැන්නක් කරන්න කලින්. නමුත් හානියේ ආසන්න අගය පිළිබඳ අදහසක් ආණ්ඩුවට ඇති. අතුරු අයවැයක් හදන්න හානිය හරියටම තක්සේරු කරනකම් බලාගෙන ඉන්න අවශ්‍ය නැහැ. 

ආපදාව වෙනුවෙන් වෙන් කර තිබෙන රුපියල් බිලියන 500ක මුදල ඕනෑවට වඩා වැඩි මුදලක්ද? එසේ නැත්නම් මේ මුදලත් මදිද? 

මේ වගේ ප්‍රශ්නයකට දිය හැක්කේ දේශපාලනික පිළිතුරක් පමණයි. මෙම නිශ්චිත මුදල දේශපාලනික තීරණයක ප්‍රතිඵලයක්. එසේ කීමෙන් අදහස් කරන්නේ එය හොඳ හෝ නරක බව නෙමෙයි. කෙසේ වුවත්, මෙම අතුරු අයවැය කෙටි කාලයක් ඇතුළත සකස් කර සම්මත කර ගැනීමනම් හොඳ දෙයක්. ආර්ථික ක්‍රියාකාරකම් හා අදාළව නරකම දෙය මෙවැනි තීරණ ප්‍රමාද වීම නිසා ඇති වන අවිනිශ්චිතතාවයයි. ආර්ථික බලපෑම කුමක් වුවත් දැන් මේ හා අදාළ අවිනිශ්චිතතාවයෙන් සැලකිය යුතු කොටසක් ඉවත් වෙලා.

රුපියල් බිලියන 500ක මුදල තීරණය කරද්දී ආණ්ඩුව විසින් යොදාගත් නිර්ණායකය කුමක්ද කියන එකනම් සෑහෙන තරමකට පැහැදිලියි. මෙහිදී ආණ්ඩුව විසින් කර තිබෙන්නේ මූල්‍ය අරමුදලේ රාමුව තුළ රැඳී සිටින අතරම එයින් තාවකාලිකව දුරස් විය හැකි උපරිම සීමාව දක්වාම දුරස් වීමයි. එහිදී පසුගිය වසර තුළ මෙම ආණ්ඩුව විසින් මෙන්ම ඊට පෙර වසර වලදී පෙර ආණ්ඩුව විසින්ද වාර්තා කළ අතිරික්ත කාර්ය සාධනයේ වාසිය මේ වෙලාවේ ආණ්ඩුව විසින් උපරිම වශයෙන්ම ප්‍රයෝජනයට අරගෙන තිබෙනවා. 

අතුරු අයවැය යෝජනා හේතුවෙන් ඉදිරි වසරේ රාජ්‍ය වියදම දදේනියෙන් 20.5% සිට 21.9% දක්වා 1.4%කින් ඉහළ යනවා. ඒ අතර, සුළි කුණාටුවෙන් පසුවද අපේක්ෂිත රාජ්‍ය ආදායම් එලෙසම ලැබෙනු ඇතැයි උපකල්පනය කර තිබෙනවා. මේ අනුව, ඉදිරි වසරේ රාජ්‍ය අයවැය හිඟය දදේනියෙන් 5.1% සිට 6.5% දක්වා 1.4%කින් ඉහළ යනවා. ප්‍රාථමික අයවැය අතිරික්තය කලින් සැලසුම් කළ 2.5% සිට දදේනියෙන් 1.0% දක්වා පහත වැටෙනවා. රජයේ ප්‍රාථමික වියදම් ව්‍යවස්ථාපිත උපරිම සීමාව වන 13.0% ඉක්මවා 14.3% දක්වා ඉහළ යනවා. 

මෙම අතුරු අයවැය යෝජනා සම්මත වීම මගින් පැහැදිලි වන පරිදි, රජයේ ප්‍රාථමික වියදම් හා අදාළ ව්‍යවස්ථාපිත උපරිම සීමාව වන 13.0% සුවිශේෂී තත්ත්වයක් යටතේ සීමාකාරී සාධකයක් වන්නේ නැහැ. එවැනි අවස්ථාවකදී සීමාව ඉක්මවා යාම සඳහා අදාළ පණතෙහි ප්‍රතිපාදන සපයා තිබෙනවා. මේ අවස්ථාවේදී දදේනියෙන් 14.3% දක්වා ප්‍රාථමික වියදම් වැඩි කිරීමට පණත වෙනස් කළ යුතු නොවූයේ ඒ නිසා. 

රජය විසින් මෙලෙස ඉදිරි වර්ෂයේ වියදම් වැඩි කරන්නේ ආපදාව හමුවේ ගන්නා තාවකාලික පියවරක් ලෙසයි. ඉන් පසු වර්ෂ වලදී ප්‍රාථමික අතිරික්තය දදේනියෙන් 2.6% මට්ටමේ පවත්වා ගැනීම මගින් අදාළ "පාඩුව පියවා ගැනීම" සැලසුමයි. 

රුපියල් බිලියන 500ක මුදල වැය කරන්නේ මේ විදිහටයි.

කැඩුණු නිවාස පිළිසකර කිරීමට - රුපියල් බිලියන 100

කැඩුණු යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීමට - රුපියල් බිලියන 250

අනෙකුත් සෘජු සහනාධාර - රුපියල් බිලියන 150

මෙම වියදම් වලින් මුල් ප්‍රවර්ග දෙක ප්‍රාග්ධන වියදම් ලෙසත්, අවසන් ප්‍රවර්ගය පුනරාවර්තන වියදමක් ලෙසත් සලකා තිබෙනවා. ඒ අනුව, පුනරාවර්තන වියදම් දදේනියෙන් 0.4%කින් වැඩි වෙද්දී ප්‍රාග්ධන වියදම් දදේනියෙන් 1.0%කින් ඉහළ යනවා. 

එසේ වුවත්, ආර්ථික අර්ථයකින්, අනෙකුත් සෘජු සහනාධාර මෙන්ම කැඩුණු නිවාස පිළිසකර කිරීමද සැලකිය හැක්කේ පරිභෝජන වියදමක් ලෙසයි. ආයෝජන වියදමක් සේ සැලකිය හැක්කේ කැඩුණු යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් වෙන් කෙරෙන මුදල පමණයි. ඒ නිසා මෙහිදී අවම වශයෙන් දදේනියෙන් 0.7%කින් පරිභෝජන වියදම් සෘජුව ඉහළ යනවා. මෙම වියදම් මගින් උද්ධමනකාරී බලපෑමක් මිස ආර්ථික වර්ධනය කෙරෙහි සාධනීය බලපෑමක් සිදු කෙරෙන්නේ නැහැ. 

කැඩුණු යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීම ආයෝජන වියදමක් වුවත් එමගින් රටේ ප්‍රාග්ධන සංචිතය ආපදාවට පෙර පැවති මට්ටම ඉක්මවා ඉහළ නැංවෙන්නේ නැහැ. මෙම වියදම් මගින් සිදු කෙරෙන්නේ පහත වැටී ඇති ප්‍රාග්ධන සංචිතය නැවත ප්‍රතිපූරණය කිරීමයි. ඒ නිසා, මෙයින්ද ආර්ථිකය ප්‍රසාරණය වීමක් සිදු වන්නේ නැහැ. එහෙත් ආර්ථිකය සංකෝචනය වීමේ විභවය සීමා කෙරෙනවා. 

රාජ්‍ය වියදම් මේ අයුරින් වැඩි කිරීමේදී එම වියදම් රටේ කිසියම් පිරිසකගේ ආදායම් බවට පත් වීම නිසා දෙවන වටයකින්ද පරිභෝජන ඉල්ලුම ඉහළ යාමක් සිදු වෙනවා. මීට අනුරූපව නිෂ්පාදනයද ඉහළ යාමට හේතු වන යාන්ත්‍රණයක් නොමැති නිසා පරිභෝජන ඉල්ලුම ඉහළ යාම බොහෝ දුරට ආනයන ඉල්ලුම ඉහළ යාමක් බවට පත් වෙනවා. ආයෝජන වියදම් වැඩි වීමේ ප්‍රතිඵලයක් ලෙසද ආනයන ඉල්ලුම ඉහළ යනවා. මේ සියල්ලේ ප්‍රතිඵලය ජංගම ගිණුමේ හිඟය ඉහළ යාමයි.

ජංගම ගිණුමේ හිඟය ඉහළ යද්දී විණිමය අනුපාතය මත ඇති වන පීඩනය සීමා කර ගැනීම සඳහා අමතර විදේශ ණය ලබා ගැනීමට සිදු වෙනවා. මේ සඳහා අවම වශයෙන් අමතර ඩොලර් මිලියන 500ක් අවශ්‍යයැයි රජය විසින් තක්සේරු කර ඇති බව පේනවා. ඒ කියන්නේ දදේනියෙන් 0.5%ක පමණ අමතර ආනයන වියදමක් සිදු වනු ඇතැයි රජය විසින් සලකා ඇති බවයි. රුපියල් වලින් බිලියන 150ක් පමණ. අවම අගයක් ලෙස මෙය නරක ඇස්තමේන්තුවක් නොවුනත් මෙම අවශ්‍යතාවය මීට වඩා වැඩි විය හැකියි. 

මේ තත්ත්වය හමුවේ රජයට තිබෙන ලොකුම වාසිය රජය සතු රුපියල් සංචිතයයි. මේ ආණ්ඩුව බලයට පත් වෙද්දී එකතු කර තිබුණු රුපියල් බිලියන 650ක පමණ රුපියල් සංචිතයට මේ ආණ්ඩුව විසින් තවත් රුපියල් බිලියන 600ක පමණ මුදලක් එකතු කර තිබෙනවා. මේ රුපියල් සංචිතයේ තිබෙන්නේත් ණයම තමයි. නමුත් මේ විදිහට කලින්ම ණය අරගෙන තිබෙන නිසා රුපියල් බිලියන 500ක අමතර වියදම පියවා ගන්න තවත් වැඩිපුර ණය ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් රුපියල් සංචිතය යොදා ගන්න පුළුවන්.

ඔය විදිහට රුපියල් ප්‍රශ්නය විසඳා ගන්න පුළුවන් වුනත් එයින් ඩොලර් ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. ආනයන සඳහා අවශ්‍ය වන්නේ ඩොලර්. රුපියල් තිබුණු පලියටම ඩොලර් මිල දී ගන්න බැහැ. ඒ ඩොලර් රටට කොහෙන් හෝ පැමිණිය යුතුයි. මූල්‍ය අරමුදලෙන් අමතර ණයක් ගන්න අවශ්‍ය වී තිබෙන්නේ ඔන්න ඔය හේතුව නිසා. නමුත් ඒ ණය සහ වෙනත් ණය වලින් පසුවත් විණිමය අනුපාතය මත යම් පීඩනයක් ඇති වෙන්න පුළුවන්. එය ඉන්ධන, විදුලි ගාස්තු ආදිය කෙරෙහි බලපෑමක් කරන්න ඉඩ තිබෙනවා. ඒ වගේම, ඉදිරි මාස වලදී එළවලු වැනි දේවල් වල මිල ගණන් ඉහළ යාමකුත් අපේක්ෂා කළ හැකියි. මේ කරුණු නිසා ඉදිරි මාස වලදී උද්ධමනයේ යම් වැඩිවීමකුත් වෙන්න පුළුවන්.

Thursday, December 5, 2024

අතුරු අයවැය ඉතා කෙටියෙන්...


සාමාන්‍යයෙන් වසරක් අවසන් වීමට පෙර ඉදිරි වසරේ රාජ්‍ය ආදායම් හා වියදම් ඇස්තමේන්තු සමඟ අයවැයක් ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නා නමුත් අලුත් ආණ්ඩුවට ඒ සඳහා කාලය ප්‍රමාණවත් නොවන බැවින් මේ කටයුත්ත මාස කිහිපයකට කල් දමා තිබෙනවා. මෙහිදී රජයේ කටයුතු අඛණ්ඩව පවත්වා ගැනීම  ප්‍රශ්නයක් වෙනවා. එයට පිළියමක් ලෙස මාස හතරක කාලයක් සඳහා අතුරු අයවැයක් මේ වන විට සම්මත කරගෙන තිබෙනවා. මෙය වසර සඳහා සම්පූර්ණ අයවැයක් සකස් කරන තුරු ගත් තාවකාලික ක්‍රියාමාර්ගයක් ලෙස හැඳින්විය හැකියි. 

මේ අතුරු අයවැය අනුව ඉදිරි වසරේ පළමු මාස හතරක කාලය තුළ රාජ්‍ය මූල්‍යනය සිදු වන්නේ පහත පරිදියි.

අපේක්ෂිත ආදායම = රුපියල් බිලියන 1,600

අපේක්ෂිත වියදම (ණය හා පොලී ගෙවීම් හැර) = රුපියල් බිලියන 1,425

ණය හා පොලී ගෙවීම් = රුපියල් බිලියන 1,175

අපේක්ෂිත මුළු වියදම = රුපියල් බිලියන 2,600

අපේක්ෂිත අරමුදල් හිඟය = රුපියල් බිලියන 1,000

මේ අනුව, ඉදිරි වසරේ පළමු මාස හතර ඇතුළත පමණක් රජය තවත් රුපියල් බිලියන 1000ක් හෙවත් රුපියල් ට්‍රිලියනයක් ණය වීමට නියමිතයි. මෙය ආසන්න වශයෙන් රටේ එක් අයෙකු මාස හතරක් ඇතුළත තවත් රුපියල් 50,000ක් පමණ ණය වීමට සමානයි.

කෙසේ වුවත්, රජයට මෙලෙස ණය වීමට තනිකරම මෙන් හේතු වී තිබෙන්නේ පරණ ණය හා පොලී ගෙවීමේ අවශ්‍යතාවයයි. ණය නොවී ණය ගෙවිය හැකි කිසිදු මැජික් විසඳුමක් තවමනම් යෝජනා වී නැහැ. 

පරණ ණය හා පොලී ගෙවීම් නොවීනම් රජය සතුව රුපියල් බිලියන 175ක මුදලක් ඉතිරි වෙනවා. ප්‍රාථමික අයවැය අතිරික්තය නමින් හඳුන්වන්නේ එම ඉතිරියයි. 

මේ (2024) වසරේ පළමු මාස හතර ඇතුළත ප්‍රාථමික අයවැය අතිරික්තය රුපියල් බිලියන 365ක් වූ අතර, වසරේ පළමු මාස නවය ඇතුළත එම අතිරික්තය රුපියල් බිලියන 785ක්ව පැවතුණා. මේවා ඇස්තමේන්තු නොව ඇත්තම ගණන්. මෙම සංඛ්‍යාලේඛණ සමඟ සැසඳීමේදී පැහැදිලිව පෙනී යන්නේ අලුත් ආණ්ඩුව රාජ්‍යමූල්‍ය විනය කෙරෙහි පැවති ආණ්ඩුව තරමට බරක් තබා නොමැති බවයි. 

ඇතැම් විට ආණ්ඩුව උත්සාහ කරන්නේ ස්ථායිකරණ වැඩ පිළිවෙළ අනුව පවත්වා ගත යුතු අවම ප්‍රාථමික අයවැය අතිරික්තය පමණක් යාන්තමින් පවත්වා ගනිමින් වියදම් ඉහළ දැමීම විය හැකියි. එවැනි ප්‍රවේශයක අවදානම වන්නේ අපේක්ෂිත ආදායම් එලෙසම නොලැබී යා හැකි වීමයි. 

ඉදිරි (2025) වර්ෂයේ පළමු මාස හතරේ අපේක්ෂිත ආදායම් හා වියදම් මේ (2024) වසරේ පළමු මාස හතර හා සෘජුව සංසන්දනය කළ හැකියි.

2024 පළමු මාස හතරේ ආදායම = රුපියල් බිලියන 1,218

2024 පළමු මාස හතරේ වියදම (ණය හා පොලී ගෙවීම් හැර) = රුපියල් බිලියන 853

මේ අනුව පෙනී යන්නේ අතුරු අයවැය ඇස්තමේන්තු අනුව රාජ්‍ය ආදායම 31%කින් වැඩි වෙද්දී ණය හා පොලී ගෙවීම් හැර රජයේ අනෙකුත් වියදම් 67%කින් ඉහළ යාමට නියමිත බවයි. 2024 පළමු මාස පහක කාලයේ රාජ්‍ය ආදායම 2025 පළමු මාස හතරේ අපේක්ෂිත රාජ්‍ය ආදායමට ආසන්නව සමාන නිසා (මාස ගණන වෙනස් වුවත්), අපට එම මාස පහ සමඟද මෙවැනිම සංසන්දනයක් කළ හැකියි.

2024 පළමු මාස පහේ ආදායම = රුපියල් බිලියන 1,619

2024 පළමු මාස පහේ වියදම (ණය හා පොලී ගෙවීම් හැර) = රුපියල් බිලියන 1,065

මේ අනුව, 2024 පළමු මාස පහට සාපේක්ෂව 2025 පළමු මාස හතර තුළ අපේක්ෂිත රාජ්‍ය ආදායම 1%කින් අඩු වුවත් රාජ්‍ය වියදම් 34%කින් ඉහළ යාමක් දැකිය හැකියි. 

 "හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ" කියන්නාක් මෙන් ආණ්ඩුව විසින් ඉදිරියේදී ඉදිරිපත් කරන්නට නියමිත සම්පූර්ණ අයවැයෙහි දිශානතිය පිළිබඳව මේ අතුරු අයවැය අනුසාරයෙන් යම් අදහසක් ලබා ගත හැකියි. ආණ්ඩුව විසින් ප්‍රදර්ශනාත්මක ලෙස යම් වියදම් අඩු කිරීම් ගැන කතා කළත්, අයවැය ඇස්තමේන්තු වලින් වියදම් අඩු වීමක් පෙන්නුම් කෙරෙන්නේ නැහැ. 

රජයේ වියදම් වැඩි වී තිබෙන්නේ ඇයිදැයි විමසා බැලීමට විස්තරාත්මක අයවැය ඇස්තමේන්තු ලැබෙන තුරු බලා සිටින්නට සිදු වෙනවා.

වෙබ් ලිපිනය: