වෙබ් ලිපිනය:

Showing posts with label නලින් ද සිල්වා. Show all posts
Showing posts with label නලින් ද සිල්වා. Show all posts

Thursday, May 2, 2024

මගේ ලෝකයේ කාලය නැවතීම


"දින කිහිපයක් ලිපි පළ නොකෙරෙන බව කරුණාවෙන් සලකන්න"

නලින් ද සිල්වාගේ ලිපි පළ කෙරෙන කාලය වෙබ් අඩවියේ ඊයේ (මැයි 1) දැකිය හැකි වූයේ ඉහත වාක්‍යය පමණයි. මීට පෙරද අවස්ථා කිහිපයක මීට ආසන්නව සමාන පාඨ එම වෙබ් අඩවියේ පළ වී තිබුණා. එම අවස්ථා වලදී සටහනේ පරිදිම දින කිහිපයකින් පසුව නැවත ලිපි පළ වෙන්න පටන් ගත්තා. එහෙත් මෙවර එය එසේම සිදු වීමේ ඉඩක් නැති බව පැහැදිලියි.

ඉහත සටහන අනුව පෙනෙන්නේ මේ තරම් ඉක්මණින් දිවි සැරිය නිමා කිරීමේ අරමුණක් නලින් ද සිල්වාට නොතිබුණු බවයි. ඔහු අවසන් මොහොත දක්වාම ක්‍රියාශීලීව සිටියා.

මා කිසිදු දිනක සම්මත අර්ථයෙන් නලින් ද සිල්වාගේ ශිෂ්‍යයෙක්ව සිට හෝ පෞද්ගලිකව ඔහුව හමු වී නැහැ. අවස්ථා දෙකකදී පමණක් ඔහු සහභාගී වූ ප්‍රසිද්ධ සම්මන්ත්‍රණ වලට සහභාගී වී තිබෙනවා. ඒ 1986දී සහ 1991දී. එහෙත් ඔහුගෙන් මා ඉගෙන ගෙන ඇති බොහෝ දේ තිබෙන බැවින් නොපැකිළ ඔහුව ගුරුවරයෙකු සේ හැඳින්විය හැකියි. අද මා හිතන ආකාරය තීරණය වීමට නලින් ද සිල්වාගේ අදහස් වලින් විශාල බලපෑමක් සිදු වී තිබෙනවා. මගේ ජීවිතයට එවැනි බලපෑම් කර තිබෙන පුද්ගලයින් ගණන ඉතාම සීමිතයි. 

පවුල් පසුබිම අනුව මා සිංහල බෞද්ධ සංස්කෘතික පසුබිමක හැදුණු කෙනෙක්. ඒ නිසාම, කුඩා කාලයේ සිටම මා සිංහල බෞද්ධ දැනුම උකහා ගත්තා වගේම එම දැනුම ප්‍රශ්න කරන්නටද  පෙළඹුණා. මේ ප්‍රශ්න කිරීම කළේ බටහිර දැනුම් ආධිපත්‍යයේ බලපෑම නිසා නෙමෙයි. මගේ දැනුමක් වූ ඇතැම් දේ මගේම බුද්ධියට ගෝචර නොවූ නිසා. 

ඔය විදිහට සම්ප්‍රදායික සිංහල බෞද්ධ දැනුම සම්බන්ධව ඇති වුනු ප්‍රශ්න වලට විසඳුම් ලැබුණේ කොවූර්ගේ පොත් කියවීමෙන්. ඒ වයස අවුරුදු දහයක පමණ කාලයේදී. ඒ අනුව, මගේ ජීවිතයට මුලින්ම ලොකුම බලපෑමක් කළේ කොවූර්. (හේතුවාදය එක්කම මාක්ස්වාදයත් ආකර්ශනීය වුනා.)

හැබැයි ටික කාලයක් යද්දී ඔය අන්තයේත් අඩුවක් තිබෙන බව පෙනෙන්න ගත්තා. ඔය අතර අඥෙයවාදය ගැන දැන ගන්න ලැබුණා. හේතුවාදය වෙනුවට අඥෙයවාදය ආදේශ වුනා. ඒ වයස අවුරුදු දහ අටක පමණ කාලයේදී. "මගේ ලෝකය" කියවන්න ලැබුණේ එයින් වසර දෙක තුනකට පසුවයි. එය මා හිතන විදිහ විශාල පරිවර්තනයකට ලක් කළ පොතක්.

මම හිතන විදිහට නලින් ද සිල්වාගේ "මගේ ලෝකය" අදහස් පසුව පරිණාමය වුණා. ඒ වගේම, "මගේ ලෝකය" අදහස් කාලයකට පෙර ඇතැම් බටහිර දාර්ශනිකයින් විසින් ඉදිරිපත් කළ අදහස් බව ඇතැම් අය වරින් වර පෙන්වා දෙන්න උත්සාහ කළා. කෙසේ වුවත්, නලින් ද සිල්වාගේ "මගේ ලෝකය" අදහස් පසුව පරිණාමය වීම හෝ එම අදහස් වලට සමාන අදහස් ඊට පෙර වෙනත් අය විසින් ඉදිරිපත් කර තිබීම හෝ නොතිබීම මට අදාළ වුනේ නැහැ. "මගේ ලෝකය" "මගේ ලෝකය" පුළුල් කළා. අනෙක් දේවල් අදාළ නැහැ. 

මම හිතන විදිහට අවම වශයෙන් එක් හේතුවක් නිසා නලින් ද සිල්වා ඔහුගේ අදහස් පිළිගන්නා හා නොගන්නා කණ්ඩායම් දෙකටම පරමාදර්ශී පුද්ගලයෙක්. ඔහු දේශපාලකයෙකු නොවී දශක ගණනාවක් තිස්සේ දේශපාලනය කළා. ලංකාවේ සමාජ-දේශපාලනයට තනි පුද්ගලයෙකු ලෙස මෙවැනි බලපෑමක් කළ තවත් අය ඇත්නම් ඒ ඉතා සීමිත පිරිසක් විය යුතුයි.

නලින් ද සිල්වාගේ පූර්ණ අනුගාමිකයෙකු ලෙස හැඳින්විය හැකි කිසිවෙකු ඉන්නවාද කියා මා දන්නේ නැහැ. ඔහු අනුගාමිකයින් හදාගන්න උනන්දුවක් නොදැක්වූ බව මගේ අදහසයි. එහෙත් ඔහුගෙන් ආභාෂය ලැබූ අය විශාල පිරිසක් ඉන්නවා. 

යම් කාලයක් නලින් ද සිල්වාගේ අනුගාමිකයින්ව සිටි අය වරින් වර ඔහුගෙන් ඉවත් වුනා. මුල් කාලයේදී එසේ ඔහුගෙන් ඉවත් වූ පිරිසකගේ විවේචනය වූයේ ඔහුගේ න්‍යාය කොයි තරම් හොඳ වුවත් ඔහු ප්‍රායෝගිකව වැඩකට ඇති කිසිවක් නොකරන බවයි. මෙවැනි කණ්ඩායමකට මගේ පිළිතුර වූයේ ලෝකය නිර්මාණය කර ගන්නේ මා විසින්නම් මගෙන් බාහිරව පවතින ලෝකය වෙනස් කිරීමට උත්සාහ කිරීම තේරුමක් නැති කාර්යයක් බවයි.  ඒ නිසා, මට අනුව නලින් ද සිල්වාගේ ප්‍රායෝගික භාවිතය ඔහුගේ දාර්ශනික අදහස් හා ගැලපෙන බවයි. මෙය මා ක්‍රියාකාරී දේශපාලනයේ අවදානම මග හැරීම සඳහා දුන් වංක පිළිතුරක් නෙමෙයි. 

නමුත් ඇත්තටම පසුකාලීනව නලින් ද සිල්වා විසින් දිගින් දිගටම බාහිර ලෝකය වෙනස් කිරීමට ක්‍රියාකාරී ලෙස දායක වුනා. එහි සමහර ප්‍රතිඵල නරක අන්ත වලින් කෙළවර වුනා. මම හිතන්නේ නලින් ද සිල්වා දිවිසැරිය නිමා කරන්නේ ඔහුට ප්‍රායෝගිකව ඉදිරියට තල්ලු කළ හැකි වූ දේශපාලන ව්‍යාපෘතිය එයට ලඟා කර ගත හැකි වූ ඉලක්ක සියල්ල ලඟා කර ගෙන තර්කානුකූල අවසානයකට පැමිණීමෙන් පසුවයි. 

නලින් ද සිල්වා ගොඩ නැගෙන්නේ මාක්ස්වාදියෙකුව සිට මාක්ස්වාදයේ විවේචකයෙකු වෙමිනුයි. ඔහු කවදාවත් ධනවාදී ආර්ථික විද්‍යාව ගැන මූලික හැදෑරීමක් හෝ කළා කියා මම හිතන්නේ නැහැ. එවැනි හැදෑරීමක් කළේනම් ඔහුට ධනවාදය සහ මගේ ලෝකය දර්ශනය අතර සම්බන්ධය පෙනෙනවා. මුල් කාලයේදී මෙවැන්නක් වී නම් ඔහු හිතන විදිහ මීට වඩා වෙනස් විය හැකිව තිබුණා. 

"මගේ ලෝකය" අදහස් වලින් පසුව ඉදිරිපත් වූ නලින් ද සිල්වාගේ පසුකාලීන අදහස් මට ඒ තරම් ආකර්ශනීය වුනේ නැහැ. ඒ වගේම, ඔහුගේ ප්‍රායෝගික දේශපාලන ක්‍රියාකාරිත්වය සමඟ මට බොහෝ විට එකඟ විය හැකි වුයේ නැහැ. "බටහිර දැනුම් ආධිපත්‍යය" පිළිබඳ ඔහුගේ අදහස් පිළිබඳව මට එතරම් ප්‍රශ්නයක් නොතිබුණත්, එම ආධිපත්‍යයට එරෙහිව වෙනත් දැනුම් ආධිපත්‍යයක් ආදේශ කිරීමේ ව්‍යාපෘතිය මට කිසි විටෙක ආකර්ශනීය වූයේ නැහැ.

නලින් ද සිල්වාව අගය කරන හා ඔහුට විරුද්ධ වන ගොඩක් අය එසේ කරන්නේ ඔහුගේ ජාතිකවාදී භූමිකාව මත පදනම්වයි. මට අනුවනම් ඔහුගේ හොඳම ඉදිරිපත් කිරීම මගේ ලෝකයයි. පසුකාලීනව නලින් ද සිල්වා විසින් ඉදිරිපත් කළ ප්‍රවාද අතරින් මට වඩාත්ම ආකර්ශනීය වන්නේ නිවන පිළිබඳ ඔහුගේ අර්ථ දැක්වීමයි.

නලින් ද සිල්වා පෙනී සිටි දේශපාලන ව්‍යාපෘතිය අසාර්ථක වුනේ එම ව්‍යාපෘතිය තුළ ආර්ථිකය හා අදාළ නිවැරදි දැක්මක් නොවූ නිසයි. ඒ ව්‍යාපෘතියට අනාගතයක් තිබෙන්නේ ධනවාදී හැරවුමක් සමඟ පමණයි. නලින් ද සිල්වා තවත් වසර කිහිපයක් ජීවත්ව සිටියේනම් මේ හැරවුම ඔහු හරහාම සිදු විය හැකිව තිබුණා. දැන් නලින් ද  සිල්වා නික්ම ගොස් ඇතත්, ඔහුගේ වියෝවෙන් පසු ඉතිරි වූ හිස් අවකාශය තුළ ඒ හැරවුම සිදු වීමේ ලකුණු පෙනෙන්න තිබෙනවා.

නලින් ද සිල්වාට ඔහු පැතූ නිවන ලැබේවා!

Thursday, January 4, 2024

නැති රුපියල් හා නැති ඩොලර්

 

මේ සමඟ පළ කර තිබෙන පළමු රූප සටහනේ දැකිය හැක්කේ පවර් අවුට්ලට් හතරක් තිබෙන එක්ස්ටෙන්ෂන් කෝඩ් එකක්. මේ විදිහේ එක්ස්ටෙන්ෂන් කෝඩ් එකක් තිබේනම් එය පවර් අවුට්ලට් එකකට සම්බන්ධ කිරීමෙන් පසුව විදුලි උපකරණ හතරකට එයින් විදුලිය ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඊට පස්සේ මෙහි තිබෙන පවර් අවුට්ලට් හතරෙන් එකකට තව ඔය වගේම එක්ස්ටෙන්ෂන් කෝඩ් එකක් සම්බන්ධ කළොත් ඒකෙනුත් විදුලි උපකරණ හතරකට විදුලිය ලබා ගන්න පුළුවන්. (සම්බන්ධ කරන විදුලි පරිපථය ඕවර්ලෝඩ් වුනොත් ෆියුස් එක යයි. ඒක වෙනම කතාවක්.)

රූප සටහනේ තියෙන එක්ස්ටෙන්ෂන් කෝඩ් එකත් පවර් අවුට්ලට් එකකට සම්බන්ධ කරලයි තියෙන්නේ. හැබැයි ඒ විදිහට සම්බන්ධ කරලා තියෙන්නේ ඒකෙම පවර් අවුට්ලට් හතරෙන් එකකට. එක්ස්ටෙන්ෂන් කෝඩ් එක පවර් අවුට්ලට් එකකට සම්බන්ධ කරලා තව උපකරණ හතරකට එයින් විදුලිය ගන්න පුලුවන්නම්, මේ එක්ස්ටෙන්ෂන් කෝඩ් එක පවර් අවුට්ලට් එකකට සම්බන්ධ කරලත්නම්, ඉතුරු වෙලා තිබෙන පවර් අවුට්ලට් තුනෙන් විදුලි උපකරණ තුනකට අවශ්‍ය විදුලිය ලබා ගන්න බැරිද? 

කෙනෙකුට ඉහත ආකාරයෙන් තර්ක ගොඩ නගන්න පුළුවන්. සමහර විට ඒ වගේ තර්ක සමාජගත කරන්නත් පුළුවන්. නමුත්, මේ වගේ දෙයක් කරන්න බැරි බව ඔකපතන ඉස්කෝලේ පහේ පන්තියේ ළමයෙක් වුනත් කියයි. ඒකට භෞතික විද්‍යාව ලොකුවට දැන ගන්න අවශ්‍ය නැහැ. විදුලි පරිපථ ගැන ලොකුවට දැන ගන්න ඕනෑ නැහැ. ප්‍රායෝගික අත්දැකීම් මත සාමාන්‍ය බුද්ධියට තේරෙන දෙයක්. ඇයි බැරි කියලා ඇහුවොත් ගොඩක් අය මේ වගේ උත්තරයක් දෙයි.

"එතකොට කොහෙන්ද මේකට කරන්ට් එක එන්නේ?"

ඕක තේරෙන්නේ ප්‍රායෝගික අත්දැකීම් වලින්. ඔය වගේ සාමාන්‍ය පුද්ගලයෙක්ට වැඩි මහන්සියක් නැතුව තේරුම් ගන්න පුළුවන් දේවල් සමහර වෙලාවට ටිකක් වැඩිපුර හිතන කෙනෙක්ට තේරෙන්නේ නැහැ. ඒකෙන් ඒ වගේ කෙනෙක් සාමාන්‍ය පුද්ගලයෙක්ට තේරෙන දෙයක්වත් නොතේරෙන මෝඩයෙක් කියා අදහස් වෙන්නේ නැහැ. අලුත් දැනුමක් නිෂ්පාදනය කරන්න පුළුවන් වෙන්නේ සාමාන්‍ය පුද්ගලයෙක් හිතන විදිහට නොහිතන කෙනෙක්ට. නමුත් සාමාන්‍ය පුද්ගලයෙක් හිතන විදිහට නොහිතා කෙනෙක් යමක් කී පමණින් එය අලුත් දැනුමක් වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ කලාතුරකින්.

පළමු රූප සටහනේ වගේ පද්ධතියකින් විදුලිය ගන්න බැරි බව තේරුම් ගන්න කාට වුනත් වැඩි අමාරුවක් නැතත්, ඔය සංකල්පයම ටිකක් රට පටලවලා ඉදිරිපත් කළොත් හැමෝටම එක පාරට අවුල මොකක්ද කියලා තේරෙන්නේ නැහැ. මේ සමඟ පළ කර තිබෙන දෙවන රූප සටහනේ තියෙන්නේ ඒ වගේ පද්ධතියක්. 


මේ දෙවන රූප සටහනේ පද්ධතියෙන් ජෙනරේටරයක් කරකවලා විදුලිය ලබා ගන්නවා. ජෙනරේටරය කරකවන්න යොදා ගන්නේ හුළං පුරවපු බැලුන් වැලක්. බැලුන් ටික වතුර භාජනයක් ඇතුළෙන් යනවා. භාජනයේ අඩියේ බැලුන් වලට ඇතුළට යන්න ඉඩ සලසන එහෙත් වතුර ලීක් නොකරන වෑල්වයක් තියෙනවා. ඒ වෑල්වයෙන් භාජනය ඇතුළට යන බැලුන් එකින් එක උඩුකුරු තෙරපුම නිසා වතුරේ උඩට යද්දී ජෙනරේටරය කැරකෙනවා. හුළං පිරවූ බැලුන් වල ඝණත්වය වතුරේ ඝණත්වයට වඩා අඩු වුනත්, සාමාන්‍ය වාතයේ ඝණත්වයට වඩා වැඩියි. ඒ නිසා, අනෙක් පැත්තෙන් ගුරුත්වය නිසා පහළට බලයකුත් යෙදෙනවා. 

මේ පද්ධතියේ තිබෙන අවුල මෙය කියවන බොහෝ දෙනෙක් විසින් තේරුම් ගෙන විස්තර කරන්න ඉඩ තිබුණත්, පළමුවෙනි රූප සටහනේ පද්ධතියේ අවුල තේරුම් ගන්න තරමටම ඒක ලේසි නෑ කියන එක මගේ අදහසයි. වෙන වචන වලින් කිවුවොත් ඒ අවුල ඕනෑම පොඩි ළමයෙකුට තේරෙන එකක් නැහැ. රටේ ප්‍රසිද්ධ, සැලකිය යුතු සමාජ ප්‍රාග්ධනයක් එකතු කරගත්ත කෙනෙක් ප්‍රසිද්ධ මාධ්‍යයක ඔය වගේ පද්ධතියක් හඳුන්වා දී විස්තර කළොත් වැඩේ තවත් සීරියස්. ඒ වගේ අවස්ථාවකදී ඔය වගේ අදහසක් සමාජගත වෙන්න වුනත් පුළුවන්.

ආර්ථිකය සම්බන්ධ කාරණා වලදීනම් ඔය වගේ දේවල් දුර්ලභ නැහැ. එක්ස්ටෙන්ෂන් කෝඩ් එකක් අතපත ගානවා වගේ රටක සාර්ව ආර්ථිකය අතපත ගාන්න අවස්ථාව ලැබෙන්නේ කලාතුරකින් කෙනෙක්ට. ඒ නිසා, ඒ වගේ කෙනෙක්ට හිතන්නවත් තරම් නොවන දේ වෙනත් අයට මාර සීරියස් අදහස් විදිහට පේනවා. ඒක වැරැද්දක් කියන්නත් බැහැ.

මේ වගේ ටිකක් දිග පූර්විකාවක් ලිවුවේ නලින් ද සිල්වාගේ ලිපියක තිබෙන පහත අදහස ගැන කතා කරන්න.

"වැට් බද්ද පනවා ඇත්තේ ජාමුල අවශ්‍යතාවක් පරිදි. එයට මූලික හේතුව වූයේ ජාමුලට අවශ්‍ය පරිදි රුපියල පා කිරීම. ගෝඨාභය හා කබ්රාල් මුල දී කළාක් මෙන් ඩොලරයට නිශ්චිත අගයක් නියම කළා නම් මුදල් අමාත්‍යාංශයට ඩොලර් මිල දී ගැනීමේ දී මහා බැංකුවට රුපියල් විශාල ප්‍රමාණයක් ගෙවන්න සිද්ධ වෙන්නෙ නැහැ. අද එසේ ගෙවන්න මුදල් අමාත්‍යංශයට රුපියල් නැහැ. රුපියල් හොයා ගන්න වෙන්නෙ මුදල් අච්චු ගැසීමෙන් බදු පැනවීමෙන්. ජාමූල කියනවා මුදල් අච්චු ගහන්න එපා කියලා. ඉතින් වැට් බද්දයි මරාල බද්දයි අර බද්දයි මේ බද්දයි පනවන්න ඕන."

මෙය නලින් ද සිල්වා විසින් මේ අදහස ඉදිරිපත් කර තිබුණු මුල් අවස්ථාව නෙමෙයි. පෙර ලිපියක හෝ කිහිපයකත් මේ කතාව කියා තිබුණා. මෙය නලින් ද සිල්වාගේ ලිපියට පිළිතුරක් හෝ ඔහුට උගන්වන්න ලියන ලිපියක් නෙමෙයි. නමුත්, ස්වාධීනව හිතා ස්වාධීනව අදහස් කළ කරන නලින් ද සිල්වා වගේ කෙනෙක්ට මෙහෙම හිතෙනවානම් රටේ තවත් බොහෝ දෙනෙකුට මෙහෙම හිතෙන එකේ පුදුමයක් නැහැ. 

ආර්ථික විද්‍යාව පිළිබඳ මූලික මට්ටමේ හෝ දැනුමක් තිබෙන කෙනෙකුට මෙය විස්තර කළ යුතු නැතත්, එසේ නොවන බොහෝ දෙනෙකුට කතාවේ අවුල තේරුම් ගන්න එක ඒ තරම්ම සරල නැතුව ඇති කියා හිතෙන්නේ නලින් ද සිල්වා වගේ කෙනෙක් විසිනුත් මේ කතාව ලියා තිබෙන නිසා. 

මෙහි තිබෙන්නේ රාජපක්ෂ ආර්ථික ක්‍රමයේ ඉතා කෙටි සාරංශයක්. විශේෂයෙන්ම 2010-2012 කාලයේදීත්, ඉන්පසුව 2020-2021 වසර වලදීත් කළ දේ තමයි මෙහි කෙටියෙන් තියෙන්නේ. එහෙම කරලා රට ඉතිහාසයේ වැටුණු නරකම තැනකට වැටිලා හොඳම එකෙන් කෙළ වුණු විදිහ ඇස් පනාපිට දැක්කට පස්සේ තවමත් ඔය ක්‍රමය ගැන කතා කරන අය ඉන්නවා කියන්නේ බැරෑරුම් ලෙස සිතිය යුතු කරුණක්. විශේෂයෙන්ම ඒ ගොඩේ ඉන්න ඇතැම් අය සාමාන්‍ය පුද්ගලයින්ම නොවන නිසා. 

මෙය කියවන ගොඩක් අයටනම් මේකේ ලිපියක් ලියා විස්තර කරන්න තරම් දෙයක් නැතුව ඇති. නමුත්, මේ කතාවේ අවුල නැවත නැවත මතක් නොකළොත්, අද හෙට නොවෙතත්, නැවත කවදා හෝ දවසක රෑ වැටුණු වලේ දවල් වැටෙන්න පුළුවන්.

දැන් මෙහි තර්කය මේ වගේ එකක්. ඩොලරයක මිල පා වෙන්න නොදී රුපියල් 200 වගේ මට්ටමක නොවෙනස්ව තියාගෙන හිටියානම් රජයට ඒ මිලට මහ බැංකුවෙන් ඩොලර් මිල දී ගන්න තිබුණා. එහෙමනම්, රජයේ වියදම් මේ තරම් ඉහළ යන්නේ නැහැ. ඒ නිසා, බදු වැඩි කරන්න වෙන්නෙත් නැහැ. ඒ කියන්නේ බදු වැඩි කරන්න අවශ්‍ය වුනේ ඩොලරය පා කළ නිසා. 

පළමුව, රජයේ වියදම් වැඩි ප්‍රමාණයක් රුපියල් වියදම් මිසක් ඩොලර් වියදම් නෙමෙයි. රටේ උද්ධමනය වැඩි වෙද්දී මේ වියදම් කොහොමටත් වැඩි වෙනවා. ඒ වැඩි වූ වියදම් යම් ක්‍රමයකින් හොයා ගන්න වෙනවා. උද්ධමනය වැඩි වෙද්දී බදු ආදායම්ද නිකම්ම ඉහළ යන නමුත් පටන් ගනිද්දීම රජයේ ආදායම් හා වියදම් අතර විශාල පරතරයක් තිබුණොත් උද්ධමනය නිසා වෙන්නේ ඒ පරතරය වැඩි වෙන එක. 

රජය විසින් ආනයනික භාණ්ඩයක් මිල දී ගත්තත් බොහෝ අවස්ථා වලදී එසේ මිල දී ගන්නේ රට ඇතුළේම ඉන්න සැපයුම්කරුවෙක්ගෙන්. සෘජුවම ආනයනය කරන්නේ නැහැ. ඒ නිසා, ගෙවන්නේ රුපියල් වලින් මිසක් ඩොලර් වලින් නෙමෙයි. රුපියල් වලින් ගෙවුවත් ඩොලරය ඉහළ යද්දී මේ වගේ වියදම් ඉහළ යනවා තමයි. නමුත් රජය විසින් ආනයනික භාණ්ඩ මිල දී ගැනීම සඳහා යන වියදම රජයේ මුළු වියදම් වල එක් කොටසක් පමණයි. අනෙක් පැත්තෙන් ඩොලරයක මිල ඉහළ යද්දී ආනයන බදු ආදායම් ආදියත් නිකම්ම ඉහළ යනවා. මෙහිදීත් ඩොලරයක මිල ඉහළ යාම ප්‍රශ්නයක් වෙන්නේ පටන් ගනිද්දී ඩොලරයක මිල මත තීරණය වන වියදම් හා ඩොලරයක මිල මත තීරණය වන ආදායම් අතර පරතරයක් තිබුනොත් පමණයි. 

මීට අමතරව රජයට ඩොලර් අවශ්‍ය වෙන්නේ කලින් ගත් විදේශ ණය වල වාරික හා පොලී ගෙවන්න. ඒවා ඩොලර් වලින්ම ගෙවන්න වෙනවා වගේම ඒ සඳහා රුපියල් ගෙවා මහ බැංකුවෙන් ඩොලර් මිල දී ගන්නත් වෙනවා. නමුත් ඒ වගේම මෙහි අනෙක් පැත්තකුත් තිබෙනවා. රජය විසින් අලුතෙන් ගන්න විදේශ ණය මහ බැංකුවට විකුණලා රුපියල් කරන්නත් වෙනවා. රජය ශුද්ධ වශයෙන් විදේශ ණය ගෙවනවානම් ඩොලරයක මිල පහළින් තියෙන එක වාසියි. නමුත් වෙන්නේ ඒකේ අනෙක් පැත්තනම් ඩොලරයක මිල පහළින් තියෙන තරමට රජයට පාඩුයි. දැන් පොඩි වෙනසක් වී තිබුණත් බොහෝ විට ලංකාවේ තිබුණු තත්ත්වය දෙවැන්න මිසක් පළමුවැන්න නෙමෙයි. 

කොහොම වුනත්, මේ තර්කයේ තිබෙන ප්‍රධාන වැරැද්ද ඕක නෙමෙයි. රජයට මහ බැංකුවෙන් අඩු මිලට ඩොලර් මිල දී ගන්න පුළුවන් වුනත් එහෙම කරද්දී මහ බැංකුවේ සංචිත අඩු වෙනවා. ඒ නිසා, මහ බැංකුවේ සංචිත එලෙසම පවත්වා ගනිමින් ඔය වැඩේ කරන්නනම් මහ බැංකුව විසින් රජයට විකුණන ඩොලර් ප්‍රමාණය නැවත කාගෙන් හෝ මිල දී ගන්න වෙනවා. මිල අඩු මට්ටමක තියාගෙන ඉඳිද්දී කවුරුවත් ඒ මිලට මහ බැංකුවට සංචිත විකුණන්නේ නැහැ. ඒ නිසා, මේ වැඩේ කරද්දී මහ බැංකුවේ සංචිත ටිකෙන් ටික හිඳී ගිය ආකාරයත්, රටේ හා රටට සල්ලි එවන රටින් පිට ඉන්න මිනිස්සු බැංකු ක්‍රමය අත ඇරලා උන්ඩියල් වලට මාරු වුන ආකාරයත් අපි ඇස් පනාපිටම දැක්කා. සෙල්ලම නතර වෙද්දී සංචිත හිඳිලා රටත් බංකොලොත් වෙලා.

කවුරුවත් ඩොලර් විකුණන්න කැමති නොවන අඩු මිලක ඩොලරය තියාගෙන ප්‍රශ්නය විසඳගන්න හදන එක මුලින් කී පද්ධති දෙකෙන් එකකින් විදුලිය ගන්න හදනවා වගේ වැඩක්. හැබැයි මේ වගේ දෙයක් ඉතා කෙටි කාලයක් කරන්න පුළුවන්. ඒ මහ බැංකුව සතුව යම් විදේශ සංචිත ප්‍රමාණයක් තිබෙන නිසා. මේක හරියට බැටරියක විදුලිය ගබඩා කර ගන්නවා වගේ දෙයක්.

නිතර ලයිට් කපපු පහු ගිය කාලයේ ගොඩක් ගෙවල් වල ලයිට් ගිය වෙලාවට ස්වයංක්‍රීය ලෙස පත්තු වෙන විදුලි පහන් තියාගෙන හිටියා. මේ විදුලි පහන් ක්‍රියාත්මක වෙන්නේ බැටරියකින්. විදුලි බලය තියෙන වෙලාවට බැටරිය චාජ් වෙනවා. ලයිට් ගියාම ඒ චාජ් එකෙන් බල්බ් එක පත්තු වෙනවා. නැවත විදුලි බලය ලැබුණු විට බල්බ් එක ස්වයංක්‍රීය ලෙස නිවී ගිහින් බැටරිය චාජ් වෙන්න පටන් ගන්නවා.

ඔය වගේ විදුලි පහන් වලින් ලයිට් ගිය වෙලාවට එළිය ගන්න පුළුවන් වුනේ එක දිගටම ලයිට් නොකපපු නිසා. විදුලි පහනේ බැටරිය බහින්න කලින් හැම විටම වගේ නැවත ලයිට් එනවා. එහෙම වුනේ නැත්නම් චාජ් එක ඉවර වුනාට පස්සේ ඔය විදුලි පහණත් නිවී යනවා. එක දිගටම ඩොලරයක මිල පහළින් තියා ගනිද්දී වෙන්නෙත් හරියටම ඔය වැඩේ. බැටරියේ චාජ් එක ඉවර වෙනවා වගේම රටේ නිල සංචිතත් ඉවර වෙනවා. ඊට පස්සේ ඉතිං රටම කළුවරේ තමයි.

ආර්ථික විද්‍යාඥයෝ මේ වෙන්න යන දේ පෙන්වලා දුන්නේ අවුරුදු ගණනකට කලින්. අපිම වුනත් අවුරුදු හත අටකට කලින් සිට බ්ලොග් එක හරහා වෙන්න යන දේ ගැන කියා තිබුණා. ඒ දවස් වල කියද්දී නොතේරුණු එකේ ලොකු ප්‍රශ්නයක් නැතත් ඒ කියපු දේවල් ඒ විදිහටම වෙලා රටම මේ තරම් ලොකු අමාරුවක වැටුනට පස්සේ තවමත් තේරෙන්නේ නැත්නම් ඉතිං අනේ මන්දා...

රාජපක්ෂ ආර්ථික ක්‍රමයේ තිබුණේ යෙදවුම් නැතුව සම්පත් මවන ආකෘතියක්. මුලින් ඉදිරිපත් කළ පද්ධති වැඩ කරන්නේ නැහැ වගේම මේ වගේ ක්‍රමයක් වැඩ කරන්නේ නැහැ. පද්ධතිය ඇතුළට කොහෙන් හෝ කරන්ට් එක ගන්නම වෙනවා. නලින් ද සිල්වාගේ ලිපියේ මෙහෙම කොටසකුත් තිබෙනවා.

"මේ කවුරුත් කරන වරද තමයි ජාමුල මත පමණක් රැඳීම. ඔවුන් ආර්ථික නොබැඳි පිළිවෙතක් අනුගමනය කරන්නෙ නැහැ. ඔවුන් බ්‍රික්ස් කණ්ඩායමේ සංවර්ධන බැංකුවට යන්නෙ නැහැ."

මෙහි යෝජනා කරන්නේ ජාත්‍යයන්තර මූල්‍ය අරමුදල වෙත නොගොස් වෙන තැනකින් කරන්ට් එක ගත යුතු බව. වෙන තැන ඉතිං චීනයනේ. ඒ කියන්නේ ඩොලරයක මිල දිගටම පහළින් තියාගෙන සිටිමින්, ඒ මිලට කවුරුවත් ඩොලර් සපයන්නේ නැති අඩුවට දිගින් දිගටම ණය ගන්න කියන එක. ඒ විදිහට එළියෙන් කරන්ට් එක එනවානම් එහෙම එනකම් ලයිට් පත්තු වෙනවා. රාජපක්ෂ ක්‍රමය ඇතුළේ ලයිට් පත්තු වුනේ ඔය ක්‍රමයට.

හැබැයි ඔය ක්‍රමයට ගිහින් අන්තිමට ලයිට් නිවුනා. ඔය විදිහට දිගින් දිගටම ණය අරගෙන තවත් ණය ගන්න බැරි වෙලාවක් ආවා. ඩොලරයක මිල පාලනය කරගන්න බැරි වුනේ ඊට පස්සේ.

මම ජාජබ ආර්ථික ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. නමුත්, ඒ ප්‍රතිපත්ති වල ප්‍රශ්න කොයි තරම් තිබුණත්, එයින් අදහස් වන්නේ ඒ ප්‍රතිපත්ති වල හැම කොටසක්ම නරක බව නෙමෙයි. ඒ වගේම, රාජපක්ෂ ක්‍රමයේ සහ ජාජබ ක්‍රමයේ යම් සමානකම් තිබුණත් ඒ දෙක එකක්ම නෙමෙයි. පැහැදිලි වෙනස්කම් තිබෙනවා. 

විණිමය අනුපාතය පාලනය කිරීම ඇතුළු මිල පාලනය සමාජවාදීන් අතර ජනප්‍රිය ක්‍රමයක්. නලින් ද සිල්වා යෝජනා කරන්නෙත් ඒ සමාජවාදී ක්‍රමය. නමුත්, රජය ආදායම ඉක්මවා වියදම් කරන එක සාමාන්‍යයෙන් සමාජවාදී භාවිතාවක් නෙමෙයි. ඒ වැඩේ ගොඩක් වෙලාවට වෙන්නේ "පාලනය" වෙනුවට "නිදහස" වෙනුවෙන් පෙනී සිටින අය අතින්. ඒ වගේ සමහර තැන් වල රජයයන් විසින් රාජ්‍යමූල්‍ය පාලනය අමතක කරලා නිදහසේ ණය වෙනවා. 

රාජපක්ෂ ක්‍රමයේත් ජාජබ යෝජනා වලත් වෙනස කුමක්ද කියලා සමහර අය අහනවා. රාජපක්ෂ ක්‍රමයට කරන්ට් එක එන ක්‍රමයක් නැහැ. එකම ක්‍රමය වෙන රටකින් ණය ගන්න එක. ඒ වැඩේ දිගින් දිගටම කරන්න බැහැ. රට ඇතුළේ කරන්න හැදුවේ බදු කපලා, ඒ අඩුවට සල්ලි අච්චු ගහලා, ඒ මගින් ආදායම වැඩි කර ගන්න. එහෙම කරලා ආදායම් වැඩි කරගන්න පුළුවන් තමයි. නමුත් බොහෝ දුරට වැඩි වෙන්නේ නාමික ආදායම්. ඒ උද්ධමනය නිසා. 

ජාජබ යෝජනා වල බදු කැපීමක් හෝ සල්ලි අච්චු ගැසීමක් ගැන මම දැකලා නැහැ. ඒවායේ තියෙන්නේ බදු ආදායම් වැඩි කර ගෙන රජයේ ආදායම් හා වියදම් තුලනය කර ගැනීම ගැන. දැන් කරන්න හදන්නෙත් ඒ වැඩේම තමයි. වෙනසක් තියෙනවානම් තියෙන්නේ බදු ආදායම් එකතු කරගන්න යන ක්‍රමයේ. එහෙම වෙනසක් හරි තියෙයිද කියලා බලන්න වෙන්නේ කරන වෙලාවකම තමයි. 

මොන විදිහකින් හෝ අවසාන වශයෙන් විය යුත්තේ රජයේ ආදායම් හා වියදම් තුලනය වෙන එක. ඒක මොන විදිහකින් වුනත් වෙනසක් නැහැ කියන එක එයින් අදහස් වෙන්නේ නැහැ. වෙන විදිහ ආර්ථික වර්ධනය කෙරෙහි බලපානවා. නමුත් මොන විදිහෙන් හෝ රජයේ ආදායම් හා වියදම් තුලනය වේනම්, වෙන ලොකු පිස්සුවක් නැටුවේ නැත්නම්, කලින් සැරේ වගේ නැවත වරක් ආර්ථිකය විශාල අර්බුදයකට යන්නේ නැහැ. 

කෙටියෙන් කිවුවොත් නැති රුපියල් වලින් අයවැය හිඟය පියවන්න බැහැ. නැති ඩොලර් වලින් විදේශ අංශය තුලනය කරන්න බැහැ.

Wednesday, April 20, 2022

ගෝටාගෝගම ආර්ථිකය


අධිපති මාරුවෙන් පසුව ඉතා කෙටි කාලයක් තුළ මහ බැංකුව විසින් විණිමය අනුපාතයේ පාලනය අතට ගනිමින් ඉන්නවා. මතුපිටින් බලන, විණිමය වෙළඳපොළ ගැන හා සාර්ව ආර්ථිකය ගැන පුළුල් අවබෝධයක් නැති කෙනෙකුට සිදුවන වෙනස්කම් ග්‍රහණය කර ගන්න අමාරුයි. එයත් ලංකාවේ ආර්ථිකය කඩා වැටෙන තුරුම ගොඩක් අයට එය නොපෙනුනා වගේම දෙයක්. 

අද වන විට සයමස් භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික 24.77% දක්වාත්, තෙමස් භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික 23.21% දක්වාත් ඉහළ යන්නට සලස්වා තිබෙනවා. කැමති අයෙකුට බැංකු වල තිබෙන තමන්ගේ රුපියල්  භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කර මේ ඉහළ පොලිය ලබා ගත හැකියි. පොලී අනුපාතික මෙවැනි ඉහළ මට්ටමකට යන්නට ඉඩ සලසමින් හා එහි පීඩාව විඳ ගනිමින් භාණ්ඩාගාර ලේකම් වරයා විසින් මහ බැංකුවට ලබා දී තිබෙන සහයෝගය අගය කළ යුතුයි. මහ බැංකුවේ ඊළඟ මුදල් ප්‍රතිපත්ති තීරණය තුළද පොලී අනුපාතික තව දුරටත් සැලකිය යුතු ලෙස වැඩි කිරීමක් සිදුවනු ඇතැයි අපේක්ෂා කළ හැකියි. මේ අර්බුදයෙන් ගොඩ යාම සඳහා ප්‍රතිපත්ති පොලී අනුපාතික 30% පමණ දක්වාවත් ඉහළ දමන්නට සිදු විය හැකියි.

විණිමය වෙළඳපොළ අසමතුලිතාවන් හා සාර්ව-ආර්ථික අසමතුලිතාවන් මුලින්ම හඳුනාගන්නේ බැංකු පද්ධතියයි. මේ වන විට ආර්ථිකයේ ස්ථාවරත්වය පිලිබඳව බැංකු පද්ධතිය තුළ වූ සැක සංකා දුරු කිරීමට මහ බැංකුව සමත්ව තිබෙනවා. බැංකු අතර සිදුවන තැන් ගනුදෙනු මේ වෙද්දී සුමට හා ස්ථාවර ලෙස සිදු වෙනවා. මේ ස්ථාවරත්වය බැංකු පද්ධතියෙන් ඔබ්බට ගෙන යාම සීරුමාරුවට කළ යුතු වැඩක්. බැංකු පද්ධතිය විසින් මහ බැංකුවේ මාර්ගෝපදේශනය යටතේ වෙළඳපොළෙන් හැකි තාක් ඩොලර් එකතු කර ගනිමින් සිටිනවා. ඩොලරයේ "මිල සංඥාව" තවමත් අහු වී නැතත් ඉතා ඉක්මණින් එය අල්ලා ගත හැකි වනු ඇතැයි සිතිය හැකියි. 

ඩොලරයේ මිල අවශ්‍ය මට්ටම දක්වා ටිකෙන් ටික ඉහළ යවද්දී, ආනයනික භාණ්ඩ මිලද ඉහළ යන අතර එය එසේ ඉහළ යන්නට ඉඩ හරින්නටද වෙනවා. සහන දෙන්න ගියොත් අවශ්‍ය ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ. එය දේශපාලනිකව කෙතරම් ශක්‍යද කියන එක ගැටලුවක්. 

ගෝටාගෝගම ජනපදය පිහිටුවා දැන් සති දෙකකට කිට්ටුයි. ඇතැම් අය එහි කොමියුනිස්ට් සමාජයක ලක්ෂණ දකිනවා. හැමෝගෙම අදහස් වලට ඉඩ ලැබෙන හැකි පමණ දී අවශ්‍ය පමණ ගන්නා සාමූහිකත්වයක් එහි තිබෙනවා. ඇතැම් අය මෙය දකින්නේ කිසිදු නිෂ්පාදනයක් නොකෙරෙන අපූරු කොමියුනිස්ට් සමාජයක් ලෙසයි. 

නලින් ද සිල්වා විසින් ටික දවසකට කලින් කියා තිබුණේ ගෝටාගෝගම නිෂ්පාදනය කරන්නේ ආතල් බවයි. මෙය සමච්චලයට කර තිබෙන ප්‍රකාශයක් විය හැකි වුවත් ඒ ප්‍රකාශය පදනම් කරගෙන ගෝටාගෝගම ආර්ථිකය වගේම ලංකාවේ ආර්ථිකයත් විස්තර කරන්න පුළුවන්. 

ගෝටාගෝගම කිසිදු නිෂ්පාදනයක් සිදු නොවන බව කියන නලින් ද සිල්වාද ඇතුළු අනෙකුත් අය එසේ කියන්නේ ද්‍රව්‍යවාදී, මාක්ස්වාදී අර්ථයකින්. ගෝටාගෝගම කවුරුවත් තක්කාලි වවන්නේ නැහැ. තණ පිඩලි ගලවා මුං වපුරන්නේ නැහැ. අඩු වශයෙන් ළඟම තියෙන මූදට ගොස් මාළු අල්ලන්නේ නැහැ. කොටින්ම ගෝටාගෝගම කිසිදු ප්‍රාථමික භාණ්ඩ නිෂ්පාදනයක් සිදු වන්නේ නැහැ. එහෙත්, සුළු වශයෙන් වුවත්, ද්වීතියික භාණ්ඩ නිෂ්පාදනයක් සිදු වෙනවා. උදාහරණයක් විදිහට පිටි "ආනයනය කරලා" රොටී හදද්දී එතැන නිෂ්පාදනයක් වෙනවා. අගය එකතු කිරීමක් වෙනවා.  

භාණ්ඩ නිෂ්පාදනයක් ලොකුවට සිදු නොවුනත් ගෝටාගෝගම ඇතුළේ සේවා නිෂ්පාදනයක්නම් ලොකුවටම සිදු වෙනවා. ගෝටාගෝගම පුරවැසියන් වෛද්‍ය සේවා, අධ්‍යාපන සේවා, විනෝදාස්වාද සේවා, නීති සේවා, ආහාර බෙදාහැරීමේ සේවා, සනීපාරක්ෂක පහසුකම් සැපයීමේ සේවා, පිරිසිදු කිරීමේ සේවා ආදිය සපයනවා. ඒ කියන්නේ සැලකිය යුතු සේවා නිෂ්පාදනයක් මෙහි සිදු වෙනවා. 

රටක දළ දේශීය නිෂ්පාදිතය කියා කියන්නේ යම් කිසි කාලයක් තුළ ඒ රටේ නිපදවන භාණ්ඩ හා සේවා වල වටිනාකම. ඒ නිසා, රටක භාණ්ඩ කිසිවක් හැදුවේ නැතත්, ඒ රටේ සැලකිය යුතු දළ දේශීය නිෂ්පාදිතයක් හා ඒක පුද්ගල ආදායමක් තියෙන්න පුළුවන්. මාක්ස්-ලෙනින්වාදය මත පදනම් වූ සමාජවාදී ආර්ථික ක්‍රම අනුගමනය කළ රටවල් සේවා නිෂ්පාදන නිෂ්පාදන සේ සැලකුවේ නැහැ. ඔවුන් නිෂ්පාදන සේ සැලකුවේ භාණ්ඩ පමණයි. ඒ නිසා, ඔවුන් දළ දේශීය නිෂ්පාදිතය වෙනුවට ආර්ථික වර්ධනය මැනීම සඳහා යොදා ගත්තේ ශුද්ධ ද්‍රව්‍ය නිෂ්පාදිතය (Net Material Product -NMP) නම් වූ නිර්ණායකයක්. මේ වන විට මේ නිර්ණායකය භාවිතා කරන්නේ කියුබාව සහ උතුරු කොරියාව පමණයි. 

ගෝටාගෝගම වෙනම ආර්ථික ඒකකයක් සේ සැලකුවොත් එහි ශුද්ධ ද්‍රව්‍ය නිෂ්පාදිතයක් නැති තරම්. ගෝටාගෝගම කිසිදු නිෂ්පාදනයක් නැති බව කියන අය එසේ කියන්නේ මාක්ස්-ලෙනින්වාදී පදනමක සිටයි. එහෙත්, එහි සැලකිය යුතු දළ දේශීය නිෂ්පාදිතයක් තිබෙනවා. 

කිසිදු ද්‍රව්‍යමය නිෂ්පාදනයක් සිදු නොකර රටකට හෝ ආර්ථික කලාපයකට පැවතිය හැකිද?

ඉතා පැහැදිලි ලෙසම පුළුවන්. එසේ කළ නොහැක්කේ අදාළ ආර්ථික කලාපය සංවෘත ආර්ථික කලාපයක්නම් පමණයි. ටිකක් ලොකු ගෝටාගෝගමක් වන සිංගප්පූරුවේ කෘෂිකාර්මික නිෂ්පාදනයක් සිදු නොවන තරම්. එහෙත්, සිංගප්පූරුව ලෝකයේ රටවල් අතරින් ආහාර සුරක්ෂිතතාවය වැඩිම රටක්. එහි රහස ලෝකයට විවෘත වීමයි.

ගෝටාගෝගම ආර්ථිකය සම්පූර්ණයෙන්ම විවෘත ආර්ථිකයක්. ප්‍රාග්ධනයට හෝ ශ්‍රමයට ගෝටාගෝගමට හෝ එයින් පිටතට යාමට කිසිම බාධාවක් නැහැ. ගෝටාගෝගම පුරවැසියෝ යම් පිරිසක් ඉන්නවා. ඒ අයගෙන් බොහෝ දෙනෙක් ගෝටාගෝගමෙන් පිට රැකියා කරන අය. ඒ අය ගෝටාගෝගමෙන් පිට රැකියා කරලා ගෝටාගෝගමට ශ්‍රමික ප්‍රේෂණ එවනවා. තව ඉන්නවා ගෝටාගෝගමට එන විශාල සංචාරකයෝ පිරිසක්. ඒ අය ගෝටාගෝගමට ඇවිත් තමන්ගේ සල්ලි වියදම් කරනවා. 

නලින් ද සිල්වා කියනවා වගේ ගෝටාගෝගම වැසියන් නිෂ්පාදනය කරන ප්‍රධානම දෙය ආතල්. කොහොමටත්, මොන නමින් තිබුණත්, වෙළඳපොලක හුවමාරු වන්නේ ආතල්. මිනිස්සු ආහාර වෙනුවෙන් මිලක් ගෙවන්නේ ආහාර පරිභෝජනය කිරීමේදී ලැබෙන ආතල් එක නිසා. ඇඳුම් වෙනුවෙන් මිලක් ගෙවන්නේ ඇඳුමක් ඇඳීමෙන් ලැබෙන ආතල් එක නිසා. සිංදුවක් අහන්න හෝ චිත්‍රපටයක් බලන්න මිලක් ගෙවන්නේ එයින් ලැබෙන ආතල් එක නිසා. මොන ස්වරූපයෙන් විකිණුවත් අන්තිමට කවුරු වුනත් විකුණන්නේ ආතල්. භාණ්ඩ නිෂ්පාදනය කරන අය වගේම සේවා නිෂ්පාදනය කරන අයත් කරන්නේ ආතල් නිපදවන එක. ආතල් නිපදවිය නොහැකිනම් කවර නිෂ්පාදනයක වුවත් වෙළඳපොළ වටිනාකමක් නැහැ. 

විනෝදාස්වාද සේවා, අධ්‍යාපන සේවා ආදිය නිපදවමින් ගෝටාගෝගමින් අපනයනය කරන ආතල් ලෝකය පුරාම විකිණෙනවා. ලැබෙන අපනයන ආදායම ගෝටාගෝගම ආනයන වියදමට හොඳටම ප්‍රමාණවත්. ගෝටාගෝගම ආර්ථිකය කඩා නොවැටී දිනෙන් දිනම දියුණු වෙන්නේ ඒ නිසයි. හැබැයි අසල්වැසි රාජ්‍යයක් විසින් ආක්‍රමණය කළොත් හරි ඇතුළේ සිවිල් යුද්ධයක් ඇති වුනොත් හරි ගෝටාගෝගම ආර්ථිකය ක්ෂණිකව කඩා වැටෙන්න පුළුවන්. 

#ඉකොනොමැට්ටා 

Friday, April 15, 2022

අරගලකරුවන් ඉල්ලන්නේ කුමක්ද?


ශ්‍රී ලංකාවේ වත්මන් මහජන අරගලයේ ප්‍රධානම දේශපාලන ඉල්ලීම කුමක්ද කියා ඇසුවොත් දිය හැකි සංක්ෂිප්තම පිළිතුර බටහිර නූතනත්වය යන්නයි. ගෝඨාභය එළවීම හෝ ඔහු ඇතුළු රාජපක්ෂවරුන් එළවීම මේ දේශපාලන ඉල්ලීමේ මතුපිට ස්වරූපයයි. බටහිර නූතනත්වය ඉල්ලමින්, තේරුමක් ඇතිව හෝ නැතිව, පාරට බසින්නට ශ්‍රී ලාංකික මහජනතාවට සිදු වන්නේ ගෝඨාභය ව්‍යාපෘතිය තුළ බටහිර නූතනත්වයට එරෙහි වීමේ ප්‍රවේශයක් තිබීම හා පොදු මහජනතාවගේ ඇසින් බලන විට එම ප්‍රති-නූතනත්ව ව්‍යාපෘතිය අසාර්ථක වී තිබීමයි. ගෝඨාභය විසින් ක්‍රියාත්මක කළ ප්‍රති-නූතනත්ව ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය දෘෂ්ඨිවාදය නිර්මාණය කළේ නලින් ද සිල්වා විසිනුයි. එනයින්, මේ අරගලය සඳහා නලින් ද සිල්වා විසින් මූලබීජ සපයා ඇති බවද කිව හැකියි.

අරගලකරුවන් විසින් සෙවූ දේ කාණ්ඩ දෙකක් යටතේ වර්ග කළ හැකියි. පළමු කාණ්ඩයට වැටෙන්නේ බටහිර සංවර්ධනය තුළින් ලබාගත හැකි ආර්ථික සමෘද්ධියයි. දෙවන කාණ්ඩයට වැටෙන්නේ බටහිර රටවල දැකිය හැකි, පුද්ගල අසමානතා පිළිගන්නා, සමානාත්මතාවයයි (egalitarianism). අරගලය තුළ දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප වූයේ අරගලකරුවන් විසින් ඉල්ලා සිටින මේ කාණ්ඩ දෙකටම අයත් දේශපාලන ඉල්ලීම් නියෝජනය කරන දේශපාලන ධාරාවක් ලංකාවේ නොපැවති නිසයි. වෙනත් විදිහකින් කිවුවොත් බටහිර නූතනත්වය වෙනුවෙන් සෘජුව පෙනී සිටින දේශපාලන ව්‍යාපාරයක් ලංකාවේ නොතිබීමයි.

සමගි පෙරමුණු ආණ්ඩුවේ ජාතික සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති තීරණාත්මක ලෙස ප්‍රතික්ෂේප වීමෙන් පසු ලංකාවේ දිගටම ක්‍රියාත්මක වූයේ සාපේක්ෂව විවෘත ආර්ථික ප්‍රතිපත්තියක්. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම පෙනී සිටියේ මේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය වෙනුවෙන්. ජාතික සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටියේ ජවිපෙ පෙසපෙ වැනි පක්ෂ පමණයි. මේ වෙද්දී ජවිපෙ පවා, ජාජබ ලේබලය යටතේ, ජාතික සමාජවාදයෙන් විතැන් වීමට උත්සාහ කරමින් සිටිනවා.

විවෘත ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීම තුළ රට තුළ භාණ්ඩ හිඟයන් හා පෝලිම් ඇතිවුණේ නැහැ. එසේ තිබියදී, මේ අරගලය පැන නැගීමට ආසන්නම හේතු සපයන්නේ ගෝඨාභය ආණ්ඩුව විසින් නැවතත් ජාතික සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති කරා යොමු වීමයි. එකම වෙනස සමගි පෙරමුණු කාලයේ සමාජවාදී ලේබලය තුළ මේ ප්‍රතිපත්ති අසුරා තිබීම හා මෙවර ජාතිකවාදී ලේබලය තුළ එම ප්‍රතිපත්ති අසුරා තිබීම පමණයි.

විණිමය අනුපාතය පාලනය කිරීමත්, ඒ හේතුව නිසා ඇතිවූ ඩොලර් හිඟයට පිළියමක් ලෙස ආනයන පාලනය කිරීමත්, ආනයන පාලන හේතුවෙන් භාණ්ඩ හිඟ වීම හා මිල ඉහළ යාමත්, ඉන්ධන ආනයනය කළ නොහැකි නිසා විදුලි බල සැපයුම සීමා වීමත්, අරගලකරුවන්ව පාරට ඇද දමනු ලැබුවා. පහත සටන් පාඨ වලින් කියන්නේ මේ කතාවයි.

1. අපිට කිරි නෑ 

2. මගේ දරුවොත් බොන කිරි පැකට් එක නැති කළාට උඹට වහිනකොට ගහන ඒවා ගහපන් 

3. කිරි ගණන්..යෝගට් ගණන්..චිකන් ගණන්...බිස්කට් ගණන්.. අපටත් කෑම අඩු කරන්න වෙලා

4. කිරිපිටි මිල අඩු කරන්න සර් නැත්නම් මුන් කිරි බොන්ඩ අපේ ගෙවල් පැත්තට එනවා 

5. ගන්න නෑ අපිට කඩේ gas මුන් ගහන්නේ අපිට Teargas 

6. Bring down the cost of living 

7. පැතුවේ සෞභ්යමත් රටක් ලැබුණේ අපායක් 

8. NO FOOD NO ELECTRICITY NO GAS NO MEDICINE NO EDUCATION 

9. මේ බෝඩ් එකත් රු 30/= xත්තෝ 

10. කළුවරේ MAKE-UP එකවත් දාන්න බෑ YAKO!

11. පෝලිම් වල මරණ වලට වග කිවයුත්තේ ගොඨෝ නුඹයි. 

12. ලයිට් කපන්න එපා යකෝ මිනිහගෙන් වදේ

13. CURRENT නැතුව පාඩම් නොකර LAWYERSලා වෙන්න මොකෝ අපි බේබිලාද?

14. නාමල්ට ලිමිණි අපිට චිමිණි 

ලංකාවේ පාලන බලය හෙබවූ ප්‍රධාන පක්ෂ දෙක විසින්ම විවෘත ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළත් එම ප්‍රතිපත්ති වල වාසි සමාජයේ සියල්ලන්ටම එක සේ හිමි වුනේ නැහැ. දේශපාලනඥයින් හා ඔවුන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් විසින් හැම විටම වැඩි වරප්‍රසාද භුක්ති වින්දා. ඉහත අවසන් සටන් පාඨ වලින් මේ විෂමතාවයට එරෙහි විරෝධයද පෙන්නුම් කරනවා. පහත සටන් පාඨ මෙම ඉල්ලීම වඩා හොඳින් නිරූපණය කරනවා.

15. මින්පසු මාර්ගයේ VIP විය යුත්තේ ගිලන්රථ පමණයි. 

16. ප්‍රභූවරුන්ගේ ඇම්ම හොඳ කළ පුරවැසියන්ගේ ගැම්මට ජයවේවා!

ලංකාවේ කවදාවත්ම සමානාත්මතා සමාජයක් තිබුණේ නැහැ. ලාංකීය සමාජය තුළ බලය, ධනය හා වෙනත් සංස්කෘතික කරුණු මත පදනම්ව පුද්ගලයින්ව  වර්ග කෙරෙනවා. මෙයින් වෙනස්ව, බටහිර රටවල කවර විෂමතා තිබුණත් පුද්ගලයින්ට පුද්ගලයින් සේ සැලකීම වැදගත් සේ සැලකෙනවා. ගනුදෙනුවක නියැලෙන පුද්ගලයින් දෙදෙනෙකු සමානයින් නොවීම නිදහස් ගනුදෙනුවක් සිදුවීමට බාධාවක්. වෙළඳපොළ ආර්ථිකයක් තුළ කිසියම් ව්‍යවසායකත්වයක් ඇති අයට ඉහළට එන්න ඉඩ ලැබෙන්නේ සමාන අවස්ථා ඇති පසුබිමකදී පමණයි. 

රටක සිටින ව්‍යවසායකත්වයක් ඇති සීමිත පිරිසට ඉහළට එන්න ඉඩ ලැබෙන තරමට ඒ කුසලතාවය නැති අනෙකුත් අයටද නිෂ්පාදන කාර්යයට දායක වීමට වැඩි අවස්ථා ලැබෙනවා. සරලව කිවුවොත් රටේ රස්සා ඇති වෙනවා. රස්සා වැඩි වන තරමට ශ්‍රමිකයින් සඳහා වන තරඟය තුළ වැටුප් මට්ටම් ඉහළ ගොස් සියල්ලන්ගේම ආර්ථික තත්ත්වය වඩා යහපත් වෙනවා. බටහිර රටවල ජනතාව අත් විඳින ආර්ථික සෞභාග්‍යයේ රහස මෙයයි.

කිසියම් රටක ධනවාදය දියුණු වෙද්දී මුලින්ම වෙන්නේ සීමිත ධනවතුන් පිරිසක් ඇති වීමයි. ඔවුන් නිසා රට දියුණු වෙනවා. ඉන් පසුව, ඒ දියුණුවේ ප්‍රතිලාභ පහළ ස්ථර වෙත ගලා යනවා. එහෙත්, එය ඒ විදිහටම වෙන්නනම් වෙළඳපොළ පුළුල් වීමට සමාන්තරව සමාජයද සමානාත්මතා සමාජයක් විය යුතුයි. දහනවවන සියවසේ පමණ සිට බටහිර රටවල මෙම පරිවර්තන ක්‍රමක්‍රමයෙන් සිදු වුනා. වෙළඳපොළ පුළුල් වෙද්දී එයට සමාන්තරව සමාජයද සමානාත්මතා සමාජයක් බවට පරිණාමය වුනා.

රජය මුල් වී සමානාත්මතා සමාජයකින් ඔබ්බට ගිය සමානතා සමාජයක් හදන්නට හැදූ සමාජවාදී රටවල මේ පරිණාමය ස්වභාවික ලෙස සිදු වුනේ නැහැ. ඒ නිසා, ඒ රටවල වෙළඳපොළ පුළුල් වෙද්දී ව්‍යවසායකත්වයක් ඇති සියල්ලන්ටම ඉහළට එන්න ඉඩ ලැබෙන්නේ නැහැ. ඒ අවස්ථාව ලැබෙන්නේ පාලනාධිකාරිය සමඟ සම්බන්ධතා පවත්වා ගත හැකි අයට පමණයි. මේ හේතුව නිසා එවැනි රටවල රස්සා හැදෙන්නේ අඩුවෙන්. ප්‍රමාණවත් තරඟයක් නැති නිසා ශ්‍රමය වෙනුවෙන් ලැබිය යුතු විභව ප්‍රතිලාභය හැම විටම ලැබෙන්නේ නැහැ. මෙහි වාසිය පාලනාධිකාරිය සමඟ සම්බන්ධතා පවත්වා ගන්නා සීමිත පිරිසකට ලැබෙනවා. රුසියාවේ මෙන්ම චීනයේද දැකිය හැකි මේ තත්ත්වය ලංකාවේද දැකිය හැකියි.

සමස්තයක් ලෙස ගත් විට ලංකාවේ සමාජවාදී පක්ෂ බොහොමයක් එරෙහි වන්නේ ඉහත තත්ත්වයට වුවත් ඔවුන් එය විග්‍රහ කරන්නේ වෙළඳපොළ විරෝධී පදනමක සිටයි. එහිදී ඔවුන් විසින් ආර්ථිකය කෙරෙහි රජයේ ආධිපත්‍යය පෝෂණය කරමින් පවතින තත්ත්වය එසේම පවත්වා ගැනීම සඳහා මතවාදී සහයෝගයක් ලබා දෙනවා. ලංකාවේ පවතින සමස්ත දේශපාලන ක්‍රමයටම එරෙහි වෙමින් "225ම එපා!" කියන තාරුණ්‍යයට ඉහත තත්ත්වය පිළිබඳ යම් සවිඥානිකත්වයක් ඇති බව ඇතැම් සටන් පාඨ වලින් පැහැදිලි වෙනවා. එහෙත්, මේ අවබෝධය තුළින් ප්‍රධාන දේශපාලන ධාරාවක් බිහි වී නැහැ.

17. ආණ්ඩුවෙන් ශ්‍රී ලංකාව බේරාගමු!

18. අපේම සල්ලි වලින් V8 වලට PRTROL පිනට ගහ රඟපු එවුන් දැන් ගෙවල් අස්සේ...! මං අහන්නේ දැන් සැපද?

ආර්ථික ප්‍රශ්න වලින් පසුව මහජන විරෝධයට ප්‍රමුඛ හේතුවක් වී තිබෙන්නේ රාජපක්ෂ ආණ්ඩුව විසින් තමන්ව රවටනු ලැබූ බව බොහෝ දෙනෙකුට අවබෝධ වී තිබීමයි. ආර්ථික ප්‍රශ්නද එහි කොටසක්. බොහෝ සටන් පාඨ වලින් මේ පසුතැවිල්ල සෘජු ලෙසම නිරූපණය වෙනවා. 

19. කරන්න පුළුවන් එකෙක්ට දීලා දැන්වත් පලයව්

20. අපෝ ඇති සීයේ ගෙදර යන්න 

21. PORN HUB එකේවත් මෙහෙම අරිනවා දැකල නෑ හාමුදුරුවනේ 

22. පරණ කෑල්ලවත් මෙච්චර රැවැට්ටුවේ නැහැ 

23. අපට හරි සැපයි. මහී, ගෝඨා ඔයාලට කොහොමද?

24. අර්බුධයක් නිර්මාණය කර බලයට පැමිණෙන්නා අර්බුධයකින්ම විනාශ වී යයි.

25. 69න් එකෙක් සමාවෙයන් වැරැද්ද නිවැරදි කරන තුරු අත නොහරිමි 

26. Dr , ස' රටේ මිනිස්සුන්ට හික් ගෑවිලා ඉන්නේ බලෙන් ඉන්න හදන්න එපා!!! PLEASE!!!

27. ඉස්සෙල්ලම විනය කැඩුවේ තොපි 

28. තාමත් හොඳටම කරන්නේ ඔයාද?

29. දැන් සැපද?

30. I've Seen Better Cabinets at Damro!

මේ පසුතැවිල්ල තරුණයින් තුළ විශේෂයෙන්ම කැපී පෙනෙනවා.

31. අද අඳුරු වී ඇත්තේ අපේ අනාගතයයි.

32. YOU MESSED WITH THE WRONG GENERATION 

33. DONT RUIN OUR FUTURE

34. තෝ මගේ පළවෙනි ඡන්දය කෑවා මූසලයා 

රාජපක්ෂලාට එරෙහිව මේ තරම්ම විරෝධයක් මතු වුනේ ඇයි? මෙය බටහිර කුමන්ත්‍රණ වැනි පටු ප්‍රවාදයකින් තේරුම් ගන්න හදනවානම් එය පවතින යතාර්ථය අවබෝධ කර නොගැනීමක්. පසුතැවිල්ලට හේතු වී තිබෙන්නේම බටහිර කුමන්ත්‍රණ මාදිලියේ පටු ප්‍රවාද හරහා තමන්ව රැවටීමට ලක් කරනු ලැබ ඇති බව අවබෝධ වීමයි.

මහජන අරගලය පැන නගින්නේ ආර්ථික හේතු මත බව ඉතාම පැහැදිලි හා බොහෝ විට අවිවාදිත විය හැකි කරුණක්. ඇතැම් සටන් පාඨ වලින් මේ කරුණ පිළිබඳ මහජන මතය හා අවබෝධය පිළිබිඹු වෙනවා.

35. විදෙස් ණය වලට රට සින්න කිරීම නතර කරනු 

36. ගත්තු ණයට කරපු සංවර්ධනයද මේ?

රාජපක්ෂලාට එරෙහි ප්‍රධානම සටන් පාඨය වී තිබෙන්නේත්, ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුව ලෙස අරගලකරුවන් බොහෝ දෙනෙකු විසින් හඳුනා ගන්නේත් මහජන මුදල් මංකොල්ලයයි.

37. රාජපක්ෂ හොර හැතිකරෙ සොරා ගත්ත ඩොලර් දීල මක බෑවිල පල යන්නට!

38. Stop corruption and stepdown 

39. All Sri Lankans are Extremely United against Extremely Corrupted SL Government

40. රාජපක්ෂ හොරු ගෙදර යවමු.

41. හොරා කාපු සල්ලි දීපං මයිනෝ!

රජයට සම්බන්ධව සිටින අය මහජන මුදල් තමන්ගේ පෞද්ගලික සුඛ විහරණය වෙනුවෙන් යොදා ගැනීම ලංකාවට අලුත් දෙයක් නෙමෙයි. ලංකාවේ විතරක් සිදුවන දෙයකුත් නෙමෙයි. රජය බලවත් වෙද්දී ඇතිවන මේ තත්ත්වය ලංකාව තුළ එන්න එන්නම දරුණු වුනා කියා කියන්න පුළුවන්. 

හැත්තෑ හතේදී ලංකාව ලෝකයට (සාපේක්ෂව) විවෘත වුනා. මෙය විවෘත ආර්ථික ක්‍රමය ලෙස පොදුවේ හැඳින්වෙනවා. හැත්තෑ හතෙන් පසුව ලංකාවේ නිෂ්පාදකයාව ජාත්‍යන්තර තරඟයට නිරාවරණය කෙරුණා. එහෙත්, ලංකාව ඇතුළේ සමාන තරඟයක් ඇති වීමේ වාතාවරණයක් ඒ එක්කම හෝ ඉන් පසුව හැදුනේ නැහැ. රට ඇතුළේ කාට හරි පහළ සිට උඩට මතු වෙන්නනම් රාජ්ය යාන්ත්‍රනය සමඟ අශුද්ධ සන්ධානයකට යන එක නොකරම බැරි දෙයක් බවට පත් වුනා. 

ඔය දැන් රටේ මහජනතාව දිගින් දිගටම කතා කරන නාස්ති, දූෂණ, මහජන මුදල් මංකොල්ල පහුගිය කාලය මුළුල්ලේම සිදු වුනා. මේවා කවුරුත් දැන ගෙන හිටපු දේවල්. හැබැයි රටේ වැඩි දෙනෙක්ට ඔය දේවල් ප්‍රශ්නයක් වුනේ නැහැ. ඒ දේවල් දිගින් දිගටම නඩත්තු වුනේ ඒ නිසා. "අපේ හොරා අපිට හොඳයි" කියලා එවැනි අයව දැන දැනම තමන්ගේ නියෝජිතයින් සේ පත් කරගන්න සම්ප්‍රදායකුයි ලංකාවේ දිගටම දකින්න ලැබුණේ. ඒක එක පාරටම වෙනස් වුනේ කොහොමද?

හැත්තෑ හතේ සිට පසුගිය වසර දක්වාම ඔය හොරකම් මිනිස්සුන්ට ඇඟට දැනුණේ නැහැ. කවුරු හොරකම් කරගත්තත් තමන්ගේ ජීවිත එන්න එන්නම වඩවඩා යහපත් වෙනවානම් මිනිස්සු හොරකම් ගැන එතරම් වදවෙන්නේ නැහැ. ගොඩක් හොරකම් වුනයි කියන 2004-2014 දශකයේදී රටේ බොහෝ දෙනෙකුගේ ආර්ථික තත්ත්වය බලා ඉඳිද්දී වගේ යහපත් වුනා. රට බලා ඉඳිද්දී වගේ දියුණු වුනා. ඒ විතරක්ද? යුද්දෙත් ඉවර වුනා!

යහපාලන ආණ්ඩුව බලයට පත් වුනේ මිනිස්සු රාජපක්ෂ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති ගැන කලකිරී හිටපු නිසා නෙමෙයි. රාජපක්ෂලාගේ කාලයේ ගත්ත ණය ගැනත්, රාජපක්ෂලාගේ හොරකම් ගැනත් එජාපය හා ජවිපෙ වැනි පක්ෂ විසින් කියපු දේවල් ප්‍රශ්නයක් කර ගත්තේ ඉතාම සීමිත පිරිසක්. යහපාලන ආණ්ඩුව දිනුවේ කාලයක් ප්‍රකාශ නොවුණු උතුරු නැගෙනහිර ඡන්ද නැවත ප්‍රකාශ වීම නිසා මිසක් දකුණේ ජනමතය ලොකුවට වෙනස් වූ නිසා නෙමෙයි.

කොහොම වුනත් යහපාලන ආණ්ඩුව බලයට පත් වන විට ලංකාවේ ආර්ථිකය පුපුරන්න කිට්ටු වී තිබුණු ගිණි කන්දක්. ඒ ගිණි කන්ද උඩ යහපාලන ආණ්ඩුවට රාජපක්ෂලා කරපු සෙල්ලම් කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ගොඩක් මිනිස්සු මේක දැක්කේ හොඳට තිබුණු ආර්ථිකය රනිල් ඇවිත් විනාශ කිරීමක් විදිහටයි. රාජපක්ෂ කණ්ඩායමේ "ආර්ථික විද්‍යාඥයෝ" ඔය මානසිකත්වයට දිගින් දිගටම පෝර ගැහුවා. ඒ නිසා, මිනිස්සු ගෝඨාභයගෙන් 2004-2014 කාලයේ තිබුණු, 2015-2019 කාලයේ නොතිබුණු, ගෝඨාභය කඳවුර විසින් පොරොන්දු වුනු, සෞභාග්‍යය අපේක්ෂා කළා. 

දකුණේ මිනිස්සුන්ට 2004-2014 ආර්ථික ප්‍රතිපත්ති ගැන ප්‍රශ්න නොතිබුණත්, රාජපක්ෂ ක්‍රමය ගැන වෙන ප්‍රශ්න තිබුණා. ඒ මොනවාද කියලා කියන්න ඕනෑ නැහැනේ. නැති වුනු ආර්ථික සෞභාග්‍යය ආයෙත් අරන් එයි කියන එකට අමතරව මිනිස්සු ගෝඨාභය ගෙන් අර රාජපක්ෂ ක්‍රමය වෙනස් කරලා නීතියේ පාලනය ස්ථාපිත කරයි කියන එකත් බලාපොරොත්තු වුනා. වුනේ මොකක්ද කියලා ඉතිං කියන්න ඕනෑ නැහැනේ. ඔය දෙකටම අමතරව තවත් පිරිසක් ගෝඨාභය සමඟ සිංහල බෞද්ධ රාජ්‍යය කරා යන්න බලාගෙන හිටියා. 

ගෝඨාභය රාජපක්ෂට ගෙදර යන්න කියා ඉල්ලමින් මිනිස්සු පාරට බහින තැනට වැඩ සිද්ධ වුනේ ආර්ථික සෞභාග්‍යය ආයෙත් අරන් එන එක සහ සිංහල බෞද්ධ රාජ්‍යය කරා යාම කියන ද්විත්ව අරමුණු එකට නොපෑහුණු නිසයි. සෛද්ධාන්තික ලෙසම එකවර අත්කර ගත නොහැකි ඔය අරමුණු දෙක මොන විදිහෙන් හෝ ඉටු වී තිබුනනම් රාජපක්ෂලා හොරකම් කිරීම වගේ දේවල් ලංකාවේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. 

මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවට මේ වගේ ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඒ ආණ්ඩුව සිංහල-බෞද්ධ ජාතිකත්වය මතුපිටින් පමණක් තියා ගෙන, විදේශ ණය වලින් පුම්බා ආර්ථික සෞභාග්‍යය මිනිස්සුන්ට පෙන්නුවා. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව කොයි වෙලාවකවත් බටහිර නූතනත්වයට පිටින් විකල්ප හොයන්න ගියේ නැහැ. විණිමය අනුපාතය පහලින් තියාගෙන කරපු පොන්සි ක්‍රීඩාව වුනත් කළේ බටහිර නූතනත්වයේ නීති යටතේ. 

කලින්ම ඩොලරයේ මිල ඉහළ යන්න දුන්නානම්, කලින්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගියානම්, මේ කඩා වැටීම වෙන්නේ නැහැ. එය වැළැක්වූයේ ආණ්ඩුව මෙහෙයවූ දෘෂ්ඨිවාදයයි. කෙලින්ම සම්බන්ධ වුනත් නැතත් මේ දෘෂ්ඨිවාදයේ නිර්මාණකරු නලින් ද සිල්වා. තවත් විදිහකින් කිවුවොත් ආණ්ඩුව විසින් මේ ගෙවන්නේ නලින් ද සිල්වාගේ දෘෂ්ඨිවාදයේ දුගීකමේ මිල.

බටහිර නූතනත්ව රාමුව ඇතුළේ සිංහල-බෞද්ධ සංස්කෘතිය සමඟ යා හැකි දුර නලින් ද සිල්වා විසින් අසූව දශකයේදී පමණම නිවැරදි ලෙස හඳුනා ගන්නවා. එහෙත්, ඔහු එය තේරුම් ගන්නේ ඔහු දැන සිටි භෞතික විද්‍යාව හා මාක්ස්වාදය ඇසුරෙන්. ප්‍රශ්නයක් වැරදියට විග්‍රහ කරගත් පසු නිවැරදි පිළිතුරු ලැබෙන්නේ නැහැ.

නලින් ද සිල්වාගේ මූලික ප්‍රශ්නය ඔහු දැන් ටික කාලයක සිට නිතර භාවිතා කරන "ඒත් අතට මේත් අතට ආර්ථික විද්‍යාව" කියන පාඨය ඇතුළේ පැහැදිලිව පෙනෙන්න තියෙනවා. තමන් බටහිර විද්‍යාඥයෙකු නොවන බව පුනපුනා කිවුවත් නලින් ද සිල්වා කියන පුද්ගල චරිතය ගොඩ නැගී තියෙන්නේම බටහිර භෞතික විද්‍යා රාමුවක් ඇතුළේ. බටහිර සමාජ විද්‍යා බටහිර භෞතික විද්‍යාව පසුපස නොන්ඩි ගගහ යන්නේය යන මතයේ කාලයක් තිස්සේ ඇලී ගැලී සිටීම නිසාම ඔහුට බටහිර සමාජ විද්‍යා බොහෝ දුරට මග හැරී තිබෙනවා. ආර්ථික විද්‍යාව හා සම්බන්ධව මෙය ඉතාම පැහැදිලියි. භෞතික විද්‍යාව පසුපස නොන්ඩි ගගහ ගියේ නලින් ද සිල්වා විසින් හදාරා තිබෙන සම්භාව්‍ය මාක්ස්වාදයයි. 

ආර්ථික විද්‍යා ආකෘති කියා කියන්නෙම "ඒත් අතට මේත් අතට" ස්වභාවය හඳුනාගෙන ගොඩ නැගිය යුතු ද්වි-දෛශික  ආකෘති. මේ ආකෘති භෞතික විද්‍යාවේ නිතර හමුවෙන ඒක-දෛශික සරල ආකෘති වලට වඩා සංකල්පීය ලෙස සංකීර්ණයි. මම මෙහිදී සංකීර්ණ යන වචනය භාවිතා කරන්නේ නිශ්චිත සීමිත සන්දර්භයකයි.

ඉහත හේතුව නිසා භෞතික විද්‍යාව, ගණිතය හෝ ඉංජිනේරු විද්‍යාව වැනි විෂයයන් හැදෑරු අය ආර්ථික විද්‍යා ආකෘති තේරුම් ගන්න ගිහින් විශාල අවුලක වැටෙනවා. සමහර අය තමන්ගේ රාමුවේ සිට මේ ආකෘති තේරුම් ගන්න උත්සාහ කර අමාරුවේ වැටෙනවා. එයින් ඇතැම් අය තමන්ගේ අනවබෝධය ප්‍රදර්ශනය කරමින් පොරවල් වගේ තේරුමක් නැති විකාර කියවනවා. 

කිසියම් බලයක් යොදා උඩ දැමූ ගලක් ගමන් කරන උස හෝ එය බිම වැටෙන්නට ගත වන කාලය භෞතික විද්‍යා ආකෘතියක් යොදා ගෙන පැහැදිලි කරන්න පුළුවන්. මෙහිදී ගල උඩ යන්නේ එය උඩ දමන පුද්ගලයෙක් ඉන්න නිසා. අවශ්‍යනම් ඉහත ගැටලුවම වෙනත් ආකාරයකින් ඉදිරිපත් කර කිසියම් නිශ්චිත උසක් දක්වා ගමන් කරන පරිදි හෝ කිසියම් නිශ්චිත කාලයකින් පසු බිම වැටෙන පරිදි ගලක් උඩ දැමීම සඳහා යෙදිය යුතු බලය කුමක්ද කියා කෙනෙක්ට අහන්න පුළුවන්. ඔය දෙවිදිහෙන් කොයි විදිහට ඇහුවත් මෙහි තිබෙන්නේ ඒක-දෛශික ගැටලුවක්. මම මෙහිදී මේ වචනය භාවිතා කරන්නේ දෛශික යන්නෙහි ගණිතමය අර්ථයෙන් නෙමෙයි.

කොයි විදිහට ගැටලුව ඉදිරිපත් කළත් ගල උඩ යන උස හෝ ගත වන කාලය තීරණය කරන්නේ ගල විසින් නෙමෙයි. එය උඩ දමන පුද්ගලයා විසින්. ගල කරන්නේ නිෂ්ක්‍රීය කාර්යයක්. ඔයිට වඩා සංකීර්ණ ආකෘතියක් ගත්තත් මෙහි වෙනසක් නැහැ. අඟහරු වෙත යන යානයක් වුවත් කරන්නේ නිෂ්ක්‍රීය කාර්යයක්. එය කෘතීම බුද්ධිය යොදා ගන්නා උපකරණයක් වුවත් බොහෝ ප්‍රායෝගික සන්දර්භයන්හිදී මේ කතාවේ වෙනසක් නැහැ. අනාගතයේ ඒ තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. උඩ දමන ගලක් අතරමගදී හිතාමතා ගමන් මග වෙනස් කර වෙන පැත්තකට යන්නේ නැහැ. 

ඕනෑම ව්‍යවහාරික භෞතික විද්‍යා ආකෘතියකදී සිදු වන්නේ මෙවැන්නක්. එක පැත්තක තියෙන්නේ ස්වයං පාලනයක් නැති, හිතන්නේ නැති අජීවී දේවල් ටිකක්. හිතන්නේ පැත්තක ඉන්න ව්‍යවහාරික භෞතික විද්‍යාඥයා පමණයි. ආර්ථික විද්‍යා ගැටලුවක් මීට වඩා වෙනස්. ආර්ථික විද්‍යාඥයා වගේම ඔහු විෂය කර ගන්නා මිනිස්සුත් හිතන පතන මිනිස්සු. ආකෘතිය වෙනස් කරන විට ආකෘතියේ විෂයයත් එයට ප්‍රතිචාර දක්වමින් වෙනස් වෙනවා. පුහුණුවක් නැති අයෙකුට ආර්ථික විද්‍යා ආකෘතියක මේ තත්ත්වය විග්‍රහ කර ගන්නා ද්වි-දෛශික සැකසුම තේරුම් ගන්න අසීරුයි. ඒ නිසාම ආර්ථික විද්‍යාඥයින් විසින් වරින් වර කරන ප්‍රකාශ විසංවාදී නොවන බව තේරුම් ගන්නත් අමාරුයි.

බොහෝ විට භෞතික විද්‍යාව හා ගණිතය හැදෑරූ අයගේ අනන්‍ය ප්‍රශ්නයක් වෙන මේ ප්‍රශ්නය වෛද්‍ය විද්‍යාව, ජීව විද්‍යාව හෝ කෘෂි විද්‍යාව හැදෑරූ අයට නැහැ. ඔවුන්ගේ විෂය (හදාරනු ලබන දෙය) භෞතික විද්‍යාඥයෙකුගේ විෂය මෙන් නිෂ්ක්‍රීය දෙයක් නෙමෙයි. තවමත් සම්භාව්‍ය මාක්ස්වාදය විශ්වාස කරන අයටත් මේ අවුලම තිබෙනවා. දාස් කැපිටාල් ලියන කාලයේ ආර්ථික විද්‍යාවේ ද්වි-දෛශික ආකෘති ගොඩ නැගී තිබුණේ නැහැ. ඒ නිසා, භෞතික විද්‍යාව හැදෑරු අය මෙන්ම සම්භාව්‍ය මාක්ස්වාදය විශ්වාස කරන අයත් ආර්ථික ගැටළු හමුවේ බොහෝ විට තමන්ගෙන් බාහිර සතුරෙකු හඳුනා ගන්න යොමු වෙනවා. එහෙත් ඇත්තම සතුරා ඉන්නේ තමන් තුළයි.

බටහිර දැනුම් ආධිපත්‍යය පිළිබඳ නලින් ද සිල්වාගේ ප්‍රවාදය හැදී තිබෙන්නේම, සම්භාව්‍ය මාක්ස්වාදයේ මෙන්ම, මූලික වැරැද්දක් සමඟයි. මෙහිදී මේ ද්වි-දෛශික සමාජ විද්‍යා ගැටළුව නලින් ද සිල්වා විසින් තමන්ට හුරුපුරැදු ඒක-දෛශික ආකෘතියක් ඇතුළට රිංගවා ඒ ඇසුරෙන් ප්‍රශ්නයට විසඳුම් ඉදිරිපත් කරනවා. නලින් ද සිල්වාගේ සිංහල-බෞද්ධ රාජ්‍යය පිළිබඳ අදහස මතු වන්නේ ඒ විදිහටයි. 

ගෝඨාභය ව්‍යාපෘතිය ආර්ථික සාධක මත කඩාගෙන වැටෙද්දී සිංහල-බෞද්ධ රාජ්‍යය පිළිබඳ අදහසද පරාජය වෙමින් ප්‍රති-සිංහල-බෞද්ධ ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් මතු වීම මේ අරගලය තුළ දැකගත හැකි වූ දෙයක්. වෙනම කතා කළ යුතු, වේගයෙන් පරිමාණය වන, අරගලයේ ගතිකත්වය තුළ මේ වන විට මේ ශ්‍රී ලාංකික අනන්‍යතාවයේ ස්වරූපයද වෙනස් වෙමින් තිබෙනවා. කෙසේ වුවත්, මේ අරගලය තුළ සිංහල-බෞද්ධ ව්‍යාපෘතියට එරෙහි නැගී සිටීමක්ද පැහැදිලිව දැකිය හැකි වුනා. 

42. ආණ්ඩුවේ චීවරධාරීනි අන්තවාදී බයිලා එපා!

43. සාටකයයි වටාපතයි හරි අවධානම්!

44. හාමුදුරුවනේ සාටකේ ගලවලා සිවුරක් අඳිමුද?

ලංකාවේ දේශපාලනඥයින් බටහිර විද්‍යා මිනුම් දඬු අනුව මිථ්‍යාවන් සේ සැලකෙන දේ පසුපස යාම අලුත් දෙයක් නෙමෙයි. එහෙත්, සිංහල-බෞද්ධ දෘෂ්ඨිවාදය තුළ මේ දේවල් වලට පෙර නොතිබුණු පිළිගැනීමක් ලැබුණා. දැන් ගෝඨාභය ව්‍යාපෘතිය අසාර්ථක වීමට සමාන්තරව අරගලය තුළ මිථ්‍යාවන්ට එරෙහිව බටහිර නූතනත්වය වෙනුවෙන් පෙනී සිටීම පැහැදිලිව දැකිය හැකියි.

45. ඤානක්කා ජනාධිපති කරලා උඹ ආර්යාව වෙයන් නන්දේ 

46. ඥානක්කට දෙන සැප අපේ උන්ට නෑ කැප 

47. ඥාණා අක්කා දිහා බලනවා වගේ රට දිහා බලපං!

වයස අවුරුදු 30 නොඉක්මවූ තරුණ තරුණියන් හා බටහිර රටවල ජීවත්වන ශ්‍රී ලාංකිකයින් මේ අරගලයේ පෙරමුණු බල ඇණි දෙකක් සේ සැලකිය හැකියි. මෙතෙක් ලංකාවේ දේශපාලනය තුළ සක්‍රියම කණ්ඩායම වූයේ වයස් අවුරුදු 40-60 අතර පිරිසයි. තරුණ කණ්ඩායම සැලකුණේ ජංගම දුරකථනයේ මුහුණ ඔබා ගෙන සිටින එලොවටත් නැති මෙලොවටත් නැති පිරිසක් ලෙසයි. ඔවුන් එවැන්නන් නොවන බව මේ වන විට පැහැදිලිව පෙන්වා තිබෙනවා. ලංකාවේ අනාගත දේශපාලනය තීරණය කරන්නේ මේ තරුණ පිරිසයි. 

එක පැත්තකින් මෙය මෙසේ සිදු නොවුනානම් පුදුමයක්. දැන් වයස අවුරුදු 40-60 අතර පිරිස "ආතල් ගත්තේ" තමන්ගේ දරුවන්ගේ වියදමින්. බොහෝ විට මේ වන විට ශ්‍රී ලංකා රජයේ ණය ප්‍රමාණය රටේ ජනගහණයෙන් බෙදූ විට ලැබෙන ගණන රුපියල් මිලියනය ඉක්මවා තිබිය හැකියි. ඔය තරුණයින්ට ඒ ණය ගෙවන්න වෙනවා. ඔවුන්ට එවැනි පරිප්පුවක් කන්න වී තියෙන්නේ ඔවුන් කළ කිසිදු වරදක් නිසා නෙමෙයි. දැන් මේ තරුණයින් කතා කරනවා. අපේ පරම්පරාවට නොතිබුණු ලෝකය දැකීමේ අවස්ථාව අන්තර්ජාලය හරහා ඔවුන්ට හිමි වී තිබෙනවා. වැඩිහිටි පරම්පරාවට තවදුරටත් ඔවුන්ට බොරු කළ නොහැකියි. ඔවුන් සොයන්නේ නූතනත්වයයි. අනෙක් පැත්තෙන්, බටහිර රටවල ජීවත්වන ශ්‍රී ලාංකිකයින් කියන්නේද ලංකාව නූතනත්වයෙන් බැහැරව සිටීම ගැන කණස්සල්ලක් ඇති පිරිසක්. 

මගේ නිරීක්ෂණය අනුව, සමස්තයක් ලෙස බැලුවොත්, මේ විදිහට හදිසියේ පොලා පැන්නේ බටහිර නූතනත්වය සොයා යාමේ ශ්‍රී ලාංකික දේශපාලන අභිලාෂයයි. මේ රැල්ලට දේශපාලන නායකත්වය දිය හැක්කේ එම අවශ්‍යතාවය නියෝජනය කරන දේශපාලන ව්‍යපාරයකටයි. එවැන්නක් එක්කෝ අලුතෙන් බිහිවිය යුතුයි. නැත්නම් දැනට පවතින දේශපාලන ව්‍යාපාර අවශ්‍ය තරමට රූපාන්තරණය විය යුතුයි.

48. TOGETHER අපි ශ්‍රී ලාංකිකයින් 

49. NO PARTIES NO COLORS I am against 225. 225ටම පාරටවත් බහින්න ඉඩ නොදෙමු!

50. GOTA GO HOME SAJITH STAY HOME ANURA DONT EVEN THINK ABOUT IT...RANIL DONT GET YOUR HOPES UP...

අරගලයේ ගතිකත්වය වෙනම කතා කළ යුතු කරුණක්. මේ අරගලය නිර්දේශපාලනික මහජන අරගලයක් වන්නේ එම අරගලය කිසිදු දේශපාලන පක්ෂයකට තමන්ට අවශ්‍ය පරිදි මෙහෙයවිය නොහැකිය යන අර්ථයෙන් පමණයි. මේ අරගලය පිටතට පොලා පනින අවස්ථාව වන විට සජබ හා එහි කොටසක් වන 43 බලකායත්, ජාජබ ලේබලය යටතේ ජවිපෙත් දේශපාලන බලය ලබා ගැනීම ඉලක්ක කරගෙන සංවිධාන කටයුතු පුළුල් කරමින් සිටියා. ඇත්තට හෝ බොරුවට ආණ්ඩුව සමඟ සිටි පිරිසක්ද එළියට බැස්සා. පෙසප වෙනම දේශපාලන වැඩ පිලිවෙලක සිටියා.

පෙසප අවසන් දේශපාලන අරමුණු සමඟ කෙතරම් දුරස්ව සිටියත් ආණ්ඩුවෙන් පිටතට දේශපාලනය රැගෙන යාමේ පෙසප ප්‍රවේශය මම කැමති එකක්. බොහෝ විට පෙසපට අවශ්‍ය ආකාරයෙන් නොවිය හැකි වුවත්, අවසාන වශයෙන් සිදු වුනේ පෙසප ඉලක්ක කළ දෙයයි. 

ආණ්ඩුවෙන් ඉවත් වූ එකොළහේ කණ්ඩායමට සැබෑ රාජපක්ෂ විරෝධයක් තිබුණේද යන්න සැක සහිතයි. එහෙත්, ඔවුන් හැර ඉහත කී අනෙකුත් සියලු කණ්ඩායම් වෙත රාජපක්ෂ විරෝධයක් තිබුණා. පක්ෂ ලේබල් නොමැතිව වුවත් ආරම්භයේදී අරගලය හා බද්ධ වූයේ එම දේශපාලන පක්ෂ වලට පක්ෂපාතී වූ පිරිස් හා පාවෙන ඡන්දදායකයින්. ඒ අතර, ගෝඨාභය දිනවීමට ඡන්දය දුන් අයද ඉන්න ඇති. උදාහරණයක් ලෙස 2010දී මහින්දටත්, 2015දී යහපාලනයත්, 2020දී නැවත රාජපක්ෂලාටත් ඡන්දය දුන් අය. 

මගේ අදහස පෙසප විසින් මුල සිටම අරගලයේ සුක්කානම අතට ගැනීමේ අරමුණින් සක්‍රිය වැඩ කොටසක් කළ බවයි. ඉන්දියානු විරෝධය මතු කරමින් පෙළපාලි සංවිධානය කළ කාලයේදී මෙන් එක තැනකට දහ දෙනෙකුට නොවැඩි පිරිසක් යොදවමින් තමන්ට අවශ්‍ය දිශාවට අරගලය මෙහෙයවන්නට ඔවුන් උත්සාහ කළත් පෙර අවස්ථාවේදී මෙන් නොව මේ අවස්ථාවේදී එළියට බැස සිටියේ යම් දේශපාලන අරමුණක් තිබුණු, අනුන්ගේ රූකඩ කරගැනීම පහසු නොවූ පිරිසක්. කොහොම වුනත්, අරගලය ගැන වැඩිම දේශපාලන ඉවක් තිබුණේ පෙසපට කියා කියන්න පුළුවන්.

පෙසපයෙන් පසුව අරගලය හොඳින්ම කියවා ගත්තේ කොළඹ ව්‍යාපාරික ප්‍රජාවයි. රාජපක්ෂලාගේ "අයුතු ලෙස උපයාගත් ධනයට" කොළඹ ව්‍යාපාරික ප්‍රජාව විසින් "අයුතු ලෙස උපයාගත් ධනය"  එකතු කරනු ලැබීමේ අවදානම ඔවුන් කලින්ම හඳුනාගත්තා. අරගලයට සම්පත් අඩු නොවුනේ ඒ නිසයි. 

සජබට මෙන්ම ජාජබටද අරගලය කලින්ම කියවා ගැනීමේ නිවැරදි ඉවක් තිබුණේ නැහැ. කොහොම වුනත්, මේ අරගලය තුළ එම කණ්ඩායම් දෙකේම සාමාජිකයින් විශාල ලෙස නියෝජනය වෙනවා. අරගලකරුවන්ගේ ආර්ථික අභිලාශ සමපාත වන්නේ සජබ සමඟයි. එහෙත්, ඔවුන්ගේ දූෂණ පිටුදැකීමේ අභිලාශය සමපාත වන්නේ ජාජබ සමඟයි. මහ බැංකු අධිපතිමාරුවෙන් හා රජයේ ආර්ථික ප්‍රතිපත්ති සජබ ප්‍රතිපත්ති හා සමපාත වීමෙන් අනතුරුව අරගලයේ සුක්කානම අතට ගැනීම සඳහා සජබ සතු වූ ශක්‍යතාව ගිලිහී ගොස් ජාජබට වඩා වාසිදායක පිටියක් සකස් වී තිබෙනවා.

මහජන අරගලයක් කියා කිවුවත් මෙය ලංකාවේ සියලු ස්ථරයන් නියෝජනය කෙරෙන අරගලයක් නෙමෙයි. තවමත් මෙය නාගරික හා අර්ධ නාගරික පිරිස් වල අරගලයක්. සමාජයේ පහළම ස්ථර හා ග්‍රාමීය කොටස් අරගලය හා බද්ධව සිටින්නේ ඉතා අඩුවෙන්. ඉස්ලාම් භක්තිකයින්, ක්‍රිස්තියානින් හා නිරාගමිකයින්ට සාපේක්ෂව බෞද්ධ හා හින්දු නියෝජනය සීමිතයි. එහෙත් මේ තත්ත්වය වෙනස් වෙමින් පවතිනවා. 

අරගලයට හේතු වූ සාධක සෑහෙන කාලයකට අහෝසි වන්නේ නැහැ. ඒ නිසා, මේ අරගලය දිගට ඇදී යා හැකි එකක්. අරගලයේ සුක්කානම කිසියම් කණ්ඩායමකගේ අතට යාම වැළැක්විය හැකි එකම ක්‍රමය එසේ වනවාට අකැමැති අය අරගලය හා සම්බන්ධ වීමයි. මේ කාරණයේදී කොළඹ ව්‍යාපාරික ප්‍රජාව දේශපාලන පක්ෂ වලට ආදර්ශයක්.

මේ අරගලයේ සටන් පාඨ කියා කියන්නේ ලංකාවේ නූතන ඉතිහාසය. සරසවි වල ඉතිහාස අධ්‍යයන අංශ විසින් මේවා සංරක්ෂණය කළ යුතුයි. සමහර විට එය සිදුවනවා ඇති. වෙන රටවලනම් එය එසේ සිදු වෙනවා.



















































වෙබ් ලිපිනය: