වෙබ් ලිපිනය:

Monday, August 12, 2024

ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ පාලනය හා ව්‍යවස්ථාමය අඛණ්ඩත්වය


ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ පාලනය හා ව්‍යවස්ථාමය අඛණ්ඩත්වය කියන්නේ එකෙනෙකට සම්බන්ධ, එහෙත් වෙනම සංකල්ප තුනක්. මේ තුනම යම් ආකාරයක සම්මුතීන්. රටක දේශපාලන ස්ථාවරත්වය කෙරෙහි ඔය කරුණු තුනම බලපානවා. 

මේ තුනෙන් මුල් දෙක වාස්තවික ලෙස මනින්න අසීරු විෂයමූලික සංකල්ප දෙකක්. තුන්වැන්න බොහෝ දුරට තාක්ෂණික කරුණක්. කිසියම් අවස්ථාවක, කිසියම් තැනක, ඔය තුනම ශක්තිමත්ව තියෙන්න පුළුවන්. එහෙම නැති වෙන්නත් පුළුවන්.

ඔය තුනෙන් වඩා වැදගත් නීතියේ පාලනය. මොකද කිසියම් ආකාරයක නීතියේ පාලනයක් නැතුව සමාජයකට පවතින්න බැහැ. මේ නීතීන් අලිඛිත සම්මුතීන් පමණක් වෙන්න පුළුවන්. සමහර සමාජ සම්මුතීන් ලිඛිත නීති වලට වඩා බලසම්පන්නයි. ඒ වගේම, නීතියක් පහසුවෙන් බලාත්මක කළ හැක්කේ එය සම්මුතිය හා ගැලපෙන්නේනම් පමණයි. එසේ නැත්නම් නීතිය ක්‍රියාත්මක කළ හැක්කේ දිගින් දිගටම බලය යෙදවීමෙන්.

නීති හදන්නේ කවුද කියන එක රාජ්‍යයක ආකෘතිය අනුව වෙනස් වන දෙයක්. රාජ්‍ය ආකෘතිය කුමක් වුවත් නීති හදා ක්‍රියාත්මක කරන්න බලය අවශ්‍ය වෙනවා. නමුත් නීති අවසාන වශයෙන් සම්මුතීන් හා ගැලපුනේ නැත්නම් නීති හදන හා ක්‍රියාත්මක කරන බලය අභියෝගයට ලක්වීම කාලය පිළිබඳ ප්‍රශ්නයක්. 

නීති හැදීම හා ක්‍රියාත්මක කිරීම සඳහා රජෙකුට තිබෙන බලය බොහෝ දෙනෙකු විසින් ප්‍රශ්න නොකර පිළිගන්නවානම් එය සම්මුතියක්. ප්‍රජාතන්ත්‍රවාදය මේ සඳහා තිබෙන විකල්ප සම්මුතියක්. මෙහිදී නීති හැදීමේ හා ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ වීම සඳහා බොහෝ දෙනෙකුට අවකාශ සැලසෙනවා.

සම්මුතිය රජෙකුගේ ආධිපත්‍යය පිළිගැනීම වී ඇති සමාජ වල රජු වෙනස් වීමද ඒ සම්මුතියේම කොටසක්. ඒ නිසා, රජු වෙනස් වුනා කියලා රාජ්‍ය ආකෘතියේ වෙනසක් වෙන්නේ නැහැ. රාජ්‍යයට අඛණ්ඩ පැවැත්මක් තිබෙනවා. 

රජෙකුගේ ආධිපත්‍යය ප්‍රතික්ෂේප කරලා හදා ගන්න විකල්ප සම්මුතියකට රජු වෙනුවට ආදේශකයක් අවශ්‍ය වෙනවා. ව්‍යවස්ථාවකින් සිදුවන්නේ මේ කාර්ය භාරය. සම්මුතියක් ලෙස ව්‍යවස්ථාවක් හදා ගත්තට පස්සේ අනෙකුත් නීති හදාගන්න වෙන්නේ ඒ ව්‍යවස්ථාවට යටත්වයි. ව්‍යවස්ථාව අනෙකුත් නීති වලට වඩා ඉහළින් තිබෙන උත්තරීතර නීතියක්. 

ව්‍යවස්ථාව කියන්නෙත් සම්මුතියක් නිසා සම්මුතියෙන් ව්‍යවස්ථාවක් වෙනස් කරගන්න පුළුවන්. ඒක කරන්නේ පවතින ව්‍යවස්ථාව අනුවනම්, ව්‍යවස්ථාමය අඛණ්ඩත්වය දිගටම පවතිනවා. රජු වෙනස් වෙද්දී රාජ්‍යත්වය එලෙසම පවතිනවා වගේ. 

ප්‍රායෝගිකව ප්‍රජාතන්ත්‍රවාදය තුළ නීති හැදීම සිදු වන්නේ ජනතා නියෝජිතයින් හරහා. කිසියම් නීතියක් සම්බන්ධව හෝ නීති ක්රියාත්මක වීම පිළිබඳව සැලකිය යුතු ප්‍රමාණයක ජන කණ්ඩායමට බරපතල ප්‍රශ්න ඇති වූ විට ඒ පිළිබඳ විරෝධයක් ඇති වෙනවා. එසේ විරෝධතා දක්වන්නට ඉඩක් තිබීම හොඳ ප්‍රජාතන්ත්‍රවාදයක ලක්ෂණයක්. 

සාමකාමී විරෝධතා හරහා විරෝධතාකරුවන්ට සෑහීමකට පත් විය හැකි විසඳුමකට පැමිණිය හැකි වූ විට විරෝධතාවක් අවසන් වෙනවා. එවැන්නක් සිදු නොවූ විට සාමකාමී විරෝධතා දිග් ගැසුණු අරගල බවට පත් වෙනවා. අරගල අවස්ථාවක යම් කාලයකට, යම් ස්ථානයක නීතියේ පාලනය බිඳ වැටෙන්න පුළුවන්. නමුත් එයින් සමස්තයක් ලෙස රටේ නීතියේ පාලනය බිඳ වැටෙන්නේ නැහැ. 

සමහර විට විරෝධතාවකට හේතුව වන්නෙම නීතියේ පාලනය දුර්වල වීම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රටේ ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල වීම වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක විරෝධතාවකින් හෝ එයින් ඔබ්බට ගිය අරගලයකින් නීතියේ පාලනය ශක්තිමත් වෙන්න පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වෙන්න පුළුවන්. 

මේ වගේ අවස්ථාවලදී දිගුකාලීනව නීතියේ පාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර ගැනීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග නිසා වුවත් කෙටිකාලීනව නීතියේ පාලනය කඩා වැටෙන්න පුළුවන්. නමුත් එසේ වූ පමණින් ව්‍යවස්ථාමය අඛණ්ඩත්වය නැති වන්නේ හෝ රාජ්‍ය ආකෘතිය වෙනස් වන්නේ නැහැ. ඒ නිසා, නීතියේ පාලනය නැවත ස්ථාපනය කිරීම අමාරු වැඩක් නෙමෙයි. 

ඇතැම් විප්ලවීය අවස්ථාවන් වලදී එකවර ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ පාලනය හා ව්‍යවස්ථාමය අඛණ්ඩත්වය යන තුනම නැති වෙන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයකින් පස්සේ සාමාන්‍යයෙන් රාජ්‍යයක ආකෘතියත් වෙනස් වෙනවා. අලුතෙන් රටක් බිහි වෙන අවස්ථාව මෙවැනි සුවිශේෂී අවස්ථාවක්. 

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කොටසක්ව සිටීම ප්‍රතික්ෂේප කරමින් ඇමරිකාව නිදහස් රටක් වීම මෙවැනි විප්ලවීය අවස්ථාවක්. මේ වගේ අවස්ථාවක රාජ්‍යයකට ඓතිහාසිකව පැවති අඛණ්ඩ සම්ප්‍රදායක උරුමයක් නැහැ. අලුත් රටක් හදා ගැනීමේ මූලික පියවරක් වෙන්නේ ව්‍යවස්ථාවක් හදා ගන්න එක. 

රටක ව්‍යවස්ථාවක් හදන කටයුත්තට රටේ හැම දෙනෙක්ම සම්බන්ධ වෙන්නේ නැහැ. ප්‍රායෝගිකව මේ වැඩේ කරන්නේ බලය තිබෙන සීමිත කණ්ඩායමක් විසින්. ව්‍යවස්ථාවක් හෝ එහි මූලික අදියර වන නිදහස් ප්‍රකාශනයක් වැනි දෙයක් බලාත්මක වී ප්‍රායෝගික යථාර්ථයක් විදිහට අලුත් රටක් හෝ අලුත් රාජ්‍ය ආකෘතියක් හැදෙන්නේ අභ්‍යන්තරව හා බාහිරව එයට ලැබෙන පිළිගැනීම එක්කයි. 

ඇමරිකාව මේ විදිහට හැදුනු අලුත් රටක්. එහි රාජ්‍ය ආකෘතියේ ඉවත් කළ නොහැකි මූලික අංගයක් වන්නේ ව්‍යවස්ථාව. අනෙකුත් නීති සියල්ල හැදෙන්නේ ව්‍යවස්ථාවට යටත්ව. ඒ අනුව, රටේ නීතියේ පාලනය පවත්වා ගෙන යන්නේ ව්‍යවස්ථාවේ සහ ජනසම්මතයෙන් එයට තිබෙන පිළිගැනීමේ උදවුවෙන්. ඇමරිකාවේ ව්‍යවස්ථාව වරින් වර සංශෝධනය වී ඇතත්, ඒ සියළු සංශෝධන සිදු කර තිබෙන්නේ ව්‍යවස්ථාමය අඛණ්ඩත්වය පවත්වා ගනිමිනුයි.

අසල්වැසි ඉන්දියාව ගත්තත් තත්ත්වය මීට සමානයි. නිදහසින් පසු හැදුණු ඉන්දියාව කලින් නොතිබුණු අලුත්ම රටක්. ඒ අලුත් රටට ඓතිහාසිකව පැවති අඛණ්ඩ සම්ප්‍රදායක උරුමයක් තිබුණේ නැහැ. ඉන්දියාවත් කළේ ඇමරිකාව වගේම මුලින්ම ව්‍යවස්ථාවක් හදා ගෙන ඒ හරහා නීතියේ පාලනය ස්ථාපනය කිරීම හා ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ක්‍රමයක් ඇති කිරීම. ඒ සම්ප්‍රදාය එයින් පසුව කැඩුනේ නැහැ. 

බංග්ලාදේශය කියන්නෙත් මේ විදිහටම හැදුනු අලුත් රටක්. ඒ වගේ අලුත් රටකට මුලින්ම කරන්න සිදු වන කාර්යයක් වන්නේ ව්‍යවස්ථාවක් හදා ගන්න එක. මේ වැඩේ කළේ බංග්ලාදේශ නිදහස් සටනට නායකත්වය දුන් අවාමි ලීගය විසින්. නමුත් බංග්ලාදේශයට ඇමරිකාවට මෙන් ඔවුන්ගේ ව්‍යවස්ථාව හා ඒ යටතේ සිදු වන නීතියේ පාලනය දිගටම අඛණ්ඩව පවත්වා ගත හැකි වූයේ නැහැ. 

බංග්ලාදේශයේ ව්‍යවස්ථාව මුලින්ම බලාත්මක වුනේ 1972 දෙසැම්බර් මාසයේදී. ඒ මත පදනම්ව, 1973 මාර්තු මාසයේදී පැවති මැතිවරණයේ ප්‍රතිඵලය මගින් එම ව්‍යවස්ථාව සඳහා ජනතා අනුමැතිය තහවුරු වුනා. නමුත්. 1975 අගෝස්තු මාසයේදී රටේ නායකයා වූ මුජිබර් රහ්මාන්ව ඝාතනය කිරීමෙන් හා හමුදා ආණ්ඩුවක් පිහිටවීමෙන් පසුව මේ ව්‍යවස්ථාව අත්හිටවනු ලැබුවා. ඊට පස්සේ තිබුණේ හමුදා නීතිය.

ඔය ව්දිහට 1975දී අත් හිටවූ ව්‍යවස්ථාව නැවතත් බලාත්මක වෙන්නේ 1979දී. නමුත්, 1982දී හමුදා කුමන්ත්‍රණයක් මගින් එර්ශාඩ් බලය ගැනීමෙන් පසුව නැවතත් මුලට යනවා. එර්ශාඩ් 1986 මැතිවරණය ජයගෙන නැවත ව්‍යවස්ථාව බලාත්මක කළත්, එර්ශාඩ්ගේ මැතිවරණ සාධාරණ මැතිවරණ ලෙස බොහෝ දෙනෙක් පිළිගන්නේ නැහැ. ඛලිඩා සියා සහ ෂෙයික් හසීනාගේ නායකත්වයෙන් ඔවුන්ගේ පක්ෂ විසින් එර්ශාඩ්ගේ පාලනය අවසන් කරලා 1991 මැතිවරණය පවත්වන තුරු පැවතුණේ ඔය තත්ත්වය වුනත් 1986 වර්ෂයේ ඉඳලා නමට හරි බංග්ලාදේශයේ ව්‍යවස්ථාමය අඛණ්ඩත්වයක් තියෙනවා. ඒක වුනත් සාපේක්ෂව කෙටි කාලයක් තමයි.

ව්‍යවස්ථාමය අඛණ්ඩත්වය තිබූ පමණින් හා මොනවා හෝ මැතිවරණ තිබු පමණින් නීතියේ පාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වන්නේ නැහැ. මැතිවරණ සාධාරණ ලෙස පැවැත්වෙන බවත්, නීතිය සාධාරණ ලෙස ක්‍රියාත්මක වන බවත් බොහෝ දෙනෙකුට පෙනෙන්නට තිබිය යුතුයි. නිල නොවන පැහැර ගැනීම් ආකාරයෙන් සිදු කෙරෙන අත් අඩංගුවට ගැනීම් ආදියෙන් පෙන්නුම් කෙරෙන්නේ නීතියේ පාලනය නෙමෙයි. ඒ වගේම, විධිමත් ලෙස නීතියක් හැදු පමණින් එය සාධාරණ නීතියක් නොවන නිසා විධිමත් ලෙස හදන හැම නීතියකට පුළුල් මහජන අනුමැතියක් ලැබෙන්නේ නැහැ. ඔය වගේ තත්ත්වයන් තුළ ආණ්ඩු මාරු වලින් එහාට යන, රාජ්‍ය ආකෘතියම අභියෝගයට ලක් වන තත්ත්වයන් රටක ඇති වෙන්න පුළුවන්. බංග්ලාදේශයේ ඇති වී තිබෙන්නේ එවැනි තත්ත්වයක්.

දැන් බංග්ලාදේශයේ පිහිටුවා තිබෙන අන්තර්වාර පාලනය ව්‍යවස්ථානුකූල ප්‍රතිපාදන අනුව හදපු එකක් නෙමෙයි. වත්මන් බංග්ලාදේශ ව්‍යවස්ථාව අනුව අන්තර්වාර ආණ්ඩු කියා නීත්‍යානුකූල ව්‍යුහයක් නැහැ. අගමැති ඉල්ලා අස් වුනත්, නැවත අගමැති කෙනක් පත් වන තුරු අගමැති බලතල තියෙන්නේ හිටපු අගමැතිටයි. හරියට 1978ට පෙර ලංකාවේ තත්ත්වය වගේ. අගමැති කෙනක් පත් කරගත හැක්කේ පාර්ලිමේන්තුවට. ජනාධිපතිට තමන්ගේ කැමැත්ත අනුව අගමැති කෙනෙක් පත් කරන්න බැහැ. විධායක බලතල නැති නාමික ජනාධිපතිට එය කළ හැක්කේ පාර්ලිමේන්තුවේ කැමැත්ත අනුව පමණයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරලානම් ඒ විසුරුවා හැරපු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත අනුව. බංග්ලාදේශ ව්‍යවස්ථාවෙන් රාජ්‍යය බිඳ වැටෙන එක වලක්වා තිබෙන්නේ ඒ විදිහටයි. 

මේ මොහොතේ බංග්ලාදේශයේ ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ පාලනය හා ව්‍යවස්ථාමය අඛණ්ඩත්වය කියන තුනම බිඳ වැටිලයි තියෙන්නේ. ඒ වගේ තැනක ඉඳන් පටන් ගන්නවා කියන්නේ අලුතෙන්ම රටක් හදනවා වගේ වැඩක්. ඒ අර්ථයෙන් කැරලිකරුවන් විසින් මෙය දෙවැනි නිදහස් සටනක් සේ හැඳින්වීම නිවැරදියි. 

බංග්ලාදේශය බිහි කළ 1971 නිදහස් සටන සිදු වුනේ පුළුල් මහජන සහයෝගයක් ඇතුවයි. මේ වගේ ප්‍රකාශයක් විශ්වාසයෙන් යුතුව කළ හැක්කේ ඉන් පසු පැවති 1973 මැතිවරණයේ ප්‍රතිඵලය අනුව එය තහවුරු වන නිසා. 2024 අරගලයට පුළුල් මහජන සහයෝගයක් තියෙනවාද නැද්ද කියා කියන්න පුළුවන් වෙන්නේ යම් ආකාරයක ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයක් තුළ ජනතා කැමැත්ත පරීක්ෂාවට ලක් කිරීමෙන් පසුව පමණයි. එතෙක් එය තවත් රාජ්‍යයට එරෙහි කැරැල්ලක් පමණයි.

ව්‍යවස්ථා සම්ප්‍රදාය බිඳිමින් වුවත් බංග්ලාදේශය ආණ්ඩුවක් පිහිටවලා තිබෙනවා. දැනටනම් ඒ ආණ්ඩුවට ජාත්‍යන්තර පිළිගැනීම පිළිබඳ ප්‍රශ්නයක් ඇති වී නැහැ. අලුත් ආණ්ඩුවට මුලින්ම කරන්න තියෙන්නෙත්, කරමින් සිටින්නේත්, නීතියේ පාලනය ස්ථාපනය කිරීම. නමුත් ආණ්ඩුව බිහිවන්නේම ව්‍යවස්ථා සම්ප්‍රදාය බිඳිමින් නිසා, නීතියේ පාලනය කුමක්ද කියන එක පිළිබඳ තාක්ෂනික ගැටලුවක් මතු වෙනවා. 

අරගලයට නායකත්වය දුන් සිසුන්ගේ ඉල්ලීම් වෙනස් වුනත්, බංග්ලාදේශයට ව්‍යවස්ථා සම්ප්‍රදාය වෙත නැවත යා හැක්කේත්, රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ලෝකයට සහතිකයක් දිය හැක්කේත්, සාධාරණ මැතිවරණයක් පවත්වා පාර්ලිමේන්තුවක් හා අගමැතිවරයෙක් තෝරා පත් කරගැනීමෙන් පසුව පමණයි. 

7 comments:

  1. නීතියේ පාලනය යස අගේට ක්‍රියාත්මක උන නිසාද ඉකොනෝ මහත්තයා ඇමරිකාවේ ට්‍රම්ප් ජනාධිපති පැරදුනාම පස්සේ මිනිස්සු මරා ගත්තේ ගොඩනැගිලි අල්ලාගෙන.

    ReplyDelete
  2. ලංකාවටම එක සිවිල් නිතියක් ගේනවා නම් මමඅනුරට චන්දෙ දෙනවා.
    නැත්නම් දිලිත් ජයවීරට චන්දෙ දෙනවා

    ReplyDelete
  3. බංග්ලාදේශ අරගලය දරුණු වේගන යන බවයි මාට පේන්නේ . ඉස්ලාම් අන්තවාදීන් බලය අල්ල ගැනීමේ අවදානමකුත් තිබෙනවා

    ReplyDelete
    Replies
    1. ඔව්. රටෙන් පිට ඉන්න සහ රටේම ඉන්න මධ්‍යස්ථ මතධාරීන් (ෂෙයික් හසීනා කළ දේවල්ද අනුමත නොකරන) ගොඩක් කණස්සල්ලෙන් ඉන්නේ.

      Delete
    2. @ Ajith

      එහෙම තමයි අජිත් ලොව පුරාම ක්‍රියාත්මක කරන ඇමරිකන් ව්‍යාපෘති හැම විටම එක සමානව සාර්ථක වෙන්නේ නෑ හරියට බිස්නස් ව්‍යාපාර වගේ තමයි, සමහර වෙලාවට සාර්ථක වෙනවා සමහර වෙලාවට අසාර්ථක වෙනවා.

      එක්සත් ජනපදය අතීතයේ අනුගමනය කළ යුධමය මැදිහත්වීම වුණත් කොරියානු අර්ධද්වීපයේ යුද්ධය, වියට්නාමය, ඇෆ්ගනිස්ථානය, සෝමාලියාව, ගල්ෆ් කලාපයේ ඉරාක සිරියානු ආදී යුද්ධ ගත්තාම ගොඩක්ම තැන් වල අසාර්ථක වුණා

      ඊළඟට 2010 න් පමණ පසුව ඔවුන් මෙහෙයවපු ඇරෑබ් ස්ප්‍රිං ව්‍යාපෘතිය යම් ප්‍රමාණයකට හෝ සාර්ථක වුණේ ටියුනීසියාව තුල පමණයි. අනෙක් සියලුම රටවල් ඒවා අසාර්ථක වී මහත් විනාශයකට ඒ රටවල් පත් වුණා. මෙම අරගල රෙජීම් චේන්ජ් ව්‍යාපෘති වුණත් යම් තරමකට ලංකාව තුල සාර්ථක වීමට එක්සත් ජනපද නියෝජිත රනිල් වික්‍රමසිංහ සහ රාජපක්ෂ පවුල අතර ඇති සමීප සම්බන්ධය, රාජපක්ෂ පවුල චීනය සමග වගේම එක්සත් ජනපදය සමගත් ඉන්දියාව සමගත් සමීප සබඳතා තිබීම මත දැඩි ලෙස විපක්ෂ බලවේග මර්දනය කිරීමට උත්සාහ නොකර බොරු මරිසි (උදා. 2022 මැයි 9 බොරු වලිය වගේ) දමා දෙපැත්ත බැලන්ස් කිරීම සහ අරගලයෙන් පසුව ජනාධිපති රනිල් සෑහෙන පරිණතභාවයක් පෙන්නුම් කිරීම සහ පෙරටුගාමී වගේ ටෙරාලා අරගලය ඉවර වෙද්දීම කැපිලා ප්ලෑන් බී එක වන මාලිමාව රනිල් වික්‍රමසිංහ රජයට වක්‍රව සහයෝගය දෙමින් විපක්ෂ බලවේග පාලනය කිරීම යන කාරණා රාශියක් තිබෙනවා. මම හිතන්නේ බංග්ලාදේශයට ඔවුන් තෝරාගෙන තිබෙන මොහමද් යූනුස් එතරම්ම පරිණත නැති නිකම්ම නිකං රූකඩ චරිතයක් පමණක්ම විය හැකිය බවත් ඔවුන් ඉතාම ඉක්මනින්ම අසාර්ථක වීම දකින්න ලැබෙන බවත්.

      අනෙක ලංකාවට සහ ඉන්දියාවට සාපේක්ෂව බංගලාදේශය ප්‍රජාතන්ත්‍රවාදය, ආයතනික ව්‍යුහය, ජනතාවගේ විනය, ආගමික අන්තවාදය වගේ දේවල් අතින් සෑහෙන පසුපසින් සිටින රටක් වීමත් මෙයට බලපාන බව පේනවා.

      Delete
  4. පාන්නට විකුම් සිරිලක දියුණුකොට
    බලය ලැබේවා නව නායකයෙකු වෙතට
    ඒ වගේමයි පාරාජික ඇත්තන්ට
    වේවා දේශපාලනයෙන් සමු ගන්ට

    ReplyDelete
  5. ඉකොනොමැට්ටා,

    තායිලන්ත අගමැති ඉවත් කිරීම පිළිබඳව විචාරාත්මක ලෙස විග්‍රහ කරන්න පුළුවන්ද?

    Thai court dismisses PM Srettha for breaching ethical rules in Cabinet appointment.

    තායිලන්ත අධිකරණය තායි අගමැතිවරයාව ධූරයෙන් නෙරපා හැර ඇත. තායි අගමැති ස්රෙත්තා මෑතදී චීනය සමග දැඩිලෙස තායි-චීන සහයෝගිතා වර්ධනය කරගනිමින් සිටි අයෙකි.

    මේ අනුව Indo Pacific කලාපයේ අධිකරණ තීන්දු පිළිබඳව බලවත් සැකසංකා පලවෙමින් ඇත. දකුණු සහ ගිනිකොණ දිග ආසියාතික ඉන්දු-පැසිෆික් කලාපයේ ඇමෙරිකන් භූදේශපාලන අවශ්‍යතා අනුව නැටවෙන රිලවුන් පිරිසක් පත් කර ගැනීම ද මේ සිදුවන්නේ?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: