මේ වන විට රජයේ වියදම් දැඩි ලෙස සීමා කරනු ලැබ ඇති අතර මහා භාණ්ඩාගාරයෙන් මුදල් නිදහස් කිරීම අත්‍යාවශ්‍ය වැය ශීර්ෂ කිහිපයකට සීමා කර තිබෙනවා. "වියදම් පාලනය" නමින් ඊයේ (පෙබරවාරි 2) දින භාණ්ඩාගාර ලේකම්ගේ අත්සනින් නිකුත් කර ඇති චක්‍රලේඛයකට අනුව, වැටුප්, විශ්‍රාම වැටුප්, සුබසාධන වියදම්, වෛද්‍ය සැපයීම්, ණය සේවාකරණය ඇතුළු ප්‍රමුඛතාගත කර ඇති අත්‍යවශ්‍ය වියදම් සඳහා පමණක් භාණ්ඩාගාරය විසින් මුදල් නිදහස් කරන බව දැනුම් දී තිබෙනවා. මෙම නියමය කඩ කර බැඳීම් ඇති කර ගන්නා නිලධාරීන් විසින් අදාළ වියදම් වෙනුවෙන් පුද්ගලිකව වගකිවයුතු වෙනවා.
මෙම චක්‍රලේඛය නිකුත් වන්නේ 2023 වසර සඳහා වෙන් කර ඇති පුනරාවර්තන ප්‍රතිපාදන 6%කින් කපා හරිමින් මීට දින කිහිපයකට පෙර (ජනවාරි 27) නිකුත් කෙරුණු භාණ්ඩාගාර චක්‍රලේඛණයකට අමතරවයි. එම චක්‍රලේඛනය අනුව, සියලුම රාජ්‍ය අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු විසින් වැටුප්, විශ්‍රාම වැටුප්, සුබසාධන වියදම්, වෛද්‍ය සැපයීම් හා ණය සේවාකරණ වියදම් හැර අනෙකුත් වියදම් අවම වශයෙන් 6%කින් කපා හැරිය යුතුයි. වැටුප් කපා නොහැරියත්, අතිකාල දීමනා සහ නිවාඩු දින සඳහා ගෙවීම්ද ඉහත කප්පාදුවට ලක් වෙනවා.
ඉහත නියෝගය රාජ්‍ය අයවැයෙන් මූල්‍යනය වන පළාත් සභා ඇතුළු ව්‍යවස්ථාපිත ආයතන වලටද එක සේ බලපානවා. ඊට අමතරව, රාජ්‍ය අයවැයෙන් මූල්‍යනය නොවන රාජ්‍ය ආයතන වලටද මීට අනුරූප නියෝගයක් නිකුත් කිරීමට නියමිතයි. මීට අමතරව විදේශ පුහුණු හා සංචාර නැවැත්වීම, වාහන කුලියට හා බද්දට ගැනීම සීමා කිරීම ඇතුළු තවත් වියදම් කැපීමේ ක්‍රියාමාර්ග ගණනාවක් අදාළ චක්‍රලේඛයට ඇතුළත්.
මෙම (2023) වසර සඳහා පිළියෙළ කර සම්මත කර ගැනුණු අයවැය ඇස්තමේන්තු අනුව, අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 3,433ක්. ණය හා පොලී ගෙවීම්ද ඇතුළුව වියදම රුපියල් බිලියන 7,879ක්. එයින් රුපියල් බිලියන 3,245ක් ප්‍රාග්ධන වියදම් වන අතර ඉතිරි රුපියල් බිලියන 4,634 පුනරාවර්තන වියදම්.
ඉහත ප්‍රාග්ධන වියදම් වලින් රුපියල් බිලියන 2,025ක් ණය වාරික. ඉතිරි ප්‍රාග්ධන වියදම් කොටස රුපියල් බිලියන 1,220ක් පමණයි. ඒ වගේම, පුනරාවර්තන වියදම් වලින් රුපියල් බිලියන 2,189ක් පොලී ගෙවීම්. ඉතිරි පුනරාවර්තන වියදම් ප්‍රමාණය රුපියල් බිලියන 2,445ක් පමණයි.
වෙනත් විදිහකින් කිවුවොත්, රුපියල් බිලියන 7,879ක් වන ඇස්තමේන්තුගත රාජ්‍ය වියදම් වලින් රුපියල් බිලියන 4,214කම ණය වාරික හා පොලී ගෙවීම්. රජයට ඇත්තටම වියදම් කළ හැකි කොටස රුපියල් බිලියන 3,665ක් පමණයි. ප්‍රාථමික අයවැය හිඟය ලෙස හඳුන්වන්නේ මෙසේ ණය වාරික හා පොලී ගෙවීම් ඉවත් කිරීමෙන් පසු රජයේ ඉතිරි වියදම් හා රාජ්‍ය ආදායම් අතර වෙනසයි. අපේක්ෂිත රාජ්‍ය ආදායම රුපියල් බිලියන 3,433ක් වූ බැවින් මෙම වෙනස, එනම් ප්‍රාථමික අයවැය හිඟය, රුපියල් බිලියන 232ක් ලෙස ඇස්තමේන්තු කර තිබුණා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම සඳහා සැපිරිය යුතු පළමු කොන්දේසිය වන්නේ ඉහත ප්‍රාථමික අයවැය හිඟය මීට වඩා ඉහළ යාමට ඉඩ නොදිය යුතු බවයි. ඇස්තමේන්තු පරිදි ආදායම් එකතු වේනම් හා වියදම් ඇස්තමේන්තු ඉක්මවා නොයන්නේනම් මේ කොන්දේසිය සපුරා ගැනීම අසීරු නැහැ. එහෙත්, ඇස්තමේන්තු තරමටම බදු ආදායම් එකතු නොවීම ලංකාවට සාමාන්‍ය තත්ත්වයක්. එවිට ඇස්තමේන්තුව ඉක්මවා ප්‍රාථමික අයවැය හිඟය ඉහළ යනවා. මෙම වෙනස පියවෙන්නේ වැඩියෙන් ණය ගැනීම හෝ සල්ලි අච්චු ගැසීම මගින්.
මේ වන විට අරමුදලේ සහාය නැතිව රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීම අසීරු නිසාත්, අරමුදල සමඟ ඇති කර ගෙන තිබෙන එකඟතාවය අනුව ප්‍රාථමික අයවැය හිඟය ඉහළ යාමට ඉඩ දිය නොහැකි නිසාත්, ඇස්තමේන්තු පරිදි ආදායම් එකතු නොවන විට ඊට අනුරූපව වියදම්ද කපා හැරීමට සිදු වෙනවා. දැන් සිදුව ඇත්තේ එයයි.
මේ අනුව, වැටුප්, විශ්‍රාම වැටුප්, සුබසාධන වියදම්, වෛද්‍ය සැපයීම් හා ණය සේවාකරණය තව දුරටත් සිදු වනු ඇතත්, රජයේ අනෙකුත් වියදම් වෙනුවෙන් මුදල් වෙන් කිරීම මේ වන විට මුළුමනින්ම මෙන් නවතා තිබෙනවා. රජයට භාණ්ඩ හා සේවා සැපයීම ප්‍රධාන ආදායම් මාර්ගය කරගත් පෞද්ගලික ආයතන වලටද මෙයින් මරු පහරක් වදිනවා. මේ තත්ත්වය ඉක්මණින් වෙනස් වීමේ ඉඩක් පෙනෙන්නට නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලැබුණද, නොලැබුණද, මින් පසු ශ්‍රී ලංකා රජයට පෙර මෙන් අත දිග කර වියදම් කිරීමේ හැකියාවක් දැන් නැහැ. ආණ්ඩුව මාරු වුනත්, මේ තත්ත්වය වෙනස් වෙන්නේ නැහැ.
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදුවෙයි ද?
ReplyDeleteකියන දේම කෙරෙනව නං ඉතා හොඳයි
ReplyDeleteප්‍රශ්නෙ එහෙම නොකෙරෙන බව පෙනෙන නිසයි
මෙච්චර කෙළවෙලා ඉද්දිත් බර අපටයි
පටි තද කෙරෙනවද උන්ගේ? උන් එහෙමයි
//රජයට භාණ්ඩ හා සේවා සැපයීම ප්‍රධාන ආදායම් මාර්ගය කරගත් පෞද්ගලික ආයතන වලටද මෙයින් මරු පහරක් වදිනවා//
ReplyDeleteමෙක වෙළදපොල ට කොහොම බලපායි ද? ලංකාවේ රජයට භාණ්ඩ හා සේවා සැපයීම කියන්නේ සුපිරි ලාභ ලබන්න පුළුවන් ව්‍යාපාර.
අනිවාර්යයෙන්ම, ලංකාවේ බොහෝ පෞද්ගලික ව්‍යාපාර පැවතුණේම රජයට භාණ්ඩ හා සේවා විකුණලා. ගොඩක් දූෂණ සිදු වුනෙත් ඔය ක්‍රියාදාමය ඇතුළේ. කලින් ඉඳන්ම මේ ව්‍යාපාර කඩා වැටෙමිනුයි තිබුණේ. දැන් අන්තිම ඇණ ටික ගහන්න වෙන ලෙවල් එකට ඇවිල්ලා.
Deleteඕක බොහොම සරළව තේරුම් ගන්න පුලුවන් කාරණයක් ඇයි මෙච්චරකල් ක්‍රියාත්මක නොවුනේ? ජාමුඅලෙන් කියන්න කලින් ඕක පැහැදිලි කරන්න ක්‍රියාත්මක කරන්න එකෙක් හිටියේ නැද්ද මේ රටේ? ලංකාවේ තවමත්.. තවමත් රාජ්‍ය සේවය කියන්නේ ප්රිවිලේජ් එකක්.. රජයේ සේවකයෝ විතරක් නෙවෙයි සමස්ථයක් විදියට සාමාන්‍ය කජනතාවත් හිතන්නේ ක්‍රියාකරන්නේ එහෙමයි. ලංකාවෙදි සල්ලි දීලා ටිකට් එකක් අරන් කෝච්චියේ යන එකාට වඩා පිලිගැනිමක් තියෙනව සීසන් එකක් අරං කෝච්චියේ යන එකාට ටිකට් පරික්ශකයෙක්ගේ උනත්. හැමෝම හිතන්නෙ ඌට සීසන් එකක් අරගන්න පුලුවන් වීම කියන්නෙ උගෙ ලොකුකම කියල. මගේ ලොකුම ප්‍රාර්ථනාව වියදම් කපා හැරලා හෝ මොනයම්ම හරි ක්‍රමේකින් මිනිස්සුන්ගෙ ඔය හිතන විදිය වෙනස් වෙනවා දකින එක..
ReplyDeleteකොච්චර පැහැදිලි කළත් ආර්ථිකය කඩා වැටෙනකල්ම අවශ්‍ය දේ වුනේ නැහැනේ. නිලධාරී/ ආයතනික මට්ටම් වලදී ඔය දේවල් දිගින් දිගටම කියා තිබෙනවා. දැන් නිලධාරීන් විසින් දේශපාලන අධිකාරියට IMF ලොකු අයියාව පෙන්නලා වැඩේ කරගන්නවා. ඇත්තටම වෙන්නේ ඒක. දේශපාලන අධිකාරිය විසින් දිගින් දිගටම IMF යාම ප්‍රතික්ෂේප කළේ ඇයි කියන එකත් දැන් පැහැදිලියිනේ.
Delete