මේ දවස් වල සති අන්තයේදී ස්වාධීන රූපවාහිණියේ විකාශනය වන "කොඩිගහයට" ටෙලි නාට්‍යය ගැන කිහිප දෙනෙක් විසින්ම අදහස් පළ කරලා තිබෙනවා දැක්කා. සාමාන්‍ය ටෙලි නාට්‍යයකට සාපේක්ෂව අවිවාදයෙන්ම හොඳ ටෙලි නාට්‍යයක්. නළු නිලියෝ රඟපානවා කියලා දැනෙනවා. කොහොම වුනත්, මෙය ටෙලිනාට්‍යය ගැන විචාරයක් නෙමෙයි.
කතාව මුලදී ගමෙන් කොළඹ ඇවිත් ඇඟලුම් කම්හලක විදුලි කාර්මිකයෙක් ලෙස සේවය කරන අසේලව එහි සේවය කරන කළමණාකරුවෙකු විසින් බොරු වැරැද්දක් පටවා හිරේ යවනවා. ඒ කුමන්ත්‍රණයට අසේලගේම මිතුරෙකු වන චතුරංගගේ උදවු ලබා ගන්නවා. වැරැද්ද හොරකමක්.
හිරෙන් නිදහස් වන අසේල තමන්ගේ මිත්‍රයා වූ අසේලව හොයා ගෙන ඔහුගේ නවාතැනට ආවාට පස්සේ තමන්ව හිරේ යවන්න කටයුතු කරලා තියෙන්නේ චතුරංග බව ඔහුට පැහැදිලි වෙනවා. ඉන් පසුව, අසේල අතින් චතුරංග මිය යනවා. මේ මිනීමැරුම යට ගහන්න ඔහුට උදවු කරන්නේ නීතිඥ මොහාන් නොහොත් රොහාන්. ඒ වෙනුවෙන් ඔහුගේ ගාස්තුව රුපියල් ලක්ෂ දහයක්.
කතාව මුල හරියේදී මොහාන්. පහු වෙද්දී රොහාන් වෙනවා. මේක මේ මොකක් හෝ වැරැද්දක් හොයනවා නෙමෙයි. ලිපියේ ලියන කරුණට අදාළව ඔය නීතිඥයාගේ නම ලියන්න අවශ්‍ය නිසයි මේ ගැන කිවුවේ. සමහර විට "මාතා" "මහතා" සිද්ධියේදී සමහර අය කියලා තිබුනා වගේ මට ඇහුනු විදිහ, එහෙමත් නැත්නම් ශබ්ද මායාවක් (audio illusion), වෙන්න පුළුවන්.
(පසු සටහන: නීතිඥයාගේ නම රොහාන්. මොහාන් කියන්නේ නාට්‍යයේ වෙන චරිතයක්. ඇඟලුම් කම්හලේ කළමනාකරු. මෙය මට වූ පටලැවිල්ලක්!)
කොහොම හරි වැදගත් දේ මේකයි. නීතිඥයා මොහාන් වුනත් රොහාන් වුනත් මිනීමැරුම යට ගැසීමේ ගාස්තුව රුපියල් ලක්ෂ දහයයි.
මේ දවස් වලම සති අන්තයේ හිරු නාලිකාවේ "චණ්ඩි කුමාරිහාමි" ටෙලි නාට්‍යය විකාශනය වෙනවා. ටෙලි නාට්‍යයේ විශේෂත්වයක් නැතත්, එයට පාදක වී තිබෙන නව කතාවෙන් ලංකා ඉතිහාසයේ වැඩි අවධානයකට යොමු නොවූ කාල-අවකාශයක් ස්පර්ශ කරනවා. මේ නවකතාව ගැනත් මීට පෙර කොහේ හෝ ලියැවී තිබුණා මතකයි. හරියටම මතක නැතත්, ඔය දෙක ගැනම කියෙවුවේ අජිත් පැරකුම්ගේ බ්ලොග් එකෙන් වෙන්න පුළුවන්. නවකතාව කියවන්න අවස්ථාවක් ලැබී නැති නිසා මට නවකතාව ගැන අදහසක් ගන්න වෙන්නෙත් ටෙලි නාට්‍යයෙන්ම තමයි.
කතාව ආරම්භයේදී පසුව චණ්ඩි කුමාරිහාමි වන පුංචි කුමාරි වන්නි රජ්ජුරු වලව්වේ මිදුලේ අටකොටු පනිනවා. අවුරුදු දහයක දොළහක වගේ වයසකුයි නිරූපණය වෙන්නේ. පුංචි කුමාරිගේ දෙමවුපියෝ මාතලේ කැරැල්ල වෙලාවේ මිය ගිහින්. රජ්ජුරු වන්නි වලවුවේ ලොකු ළමාතැනී අනාගත රජ්ජුරු වන්නියා වෙන්න ඉන්න ඇගේ පුත් සූරිය බණ්ඩාරගේ අඹු කමට ගැනීම පිණිස පුංචි කුමාරිව මාතලෙන් අරගෙන ඇවිත් හදා වඩා ගන්නවා. පස්සේ මේ විවාහය සිද්ද වෙනවා වගේම සූරිය බණ්ඩාර රජ්ජුරු වන්නියා වෙනවා.
ඔය කතාවේ පසුබිම. ඔය විදිහට සූරිය බණ්ඩාර රජ්ජුරු වන්නියා වෙලා පුංචි කුමාරි චණ්ඩි කුමාරි විදිහට ප්‍රසිද්ධ වුනාට පස්සේ දවසක රජ්ජුරු වන්නියා එක්ක විරසක පත්තු බාර වන්නියෙක්ගේ ඥාතියෙක් වන මුතු බණ්ඩා විසින් රජ්ජුරු වන්නියාගේ පරපුරේ දැරිවියක් වන සරණිව හොරෙන් පන්නාගෙන යනවා. වෙන විදිහකින් කිවුවොත් දෙන්නා එක්ක හඳපානේ පැනල යනවා. මේ ගැන දැනගැනීමෙන් කෝපයට පත් වෙන වලවුවේ ලොකු ළමාතැනී හෙවත් සූරිය බණ්ඩාරගේ මව වලවුවේ කටුපුල්ලේලා යවා මේ අලුත් ජෝඩුවම මරා දමනවා.
මේ විදිහට රජ්ජුරු වන්නියාගේ කටුපුල්ලේලා තමන්ගේ පත්තුවටම ඇවිත් තමන්ගේ ඥාතියා සහ ඔහුගේ අලුත් මනමාලිය මරා දැමීම ගැන කෝප වන පත්තු බාර වන්නියා ඒ ගැන ඉංග්‍රීසි පොලීසියට පැමිණිලි කරන්න යද්දී චණ්ඩි කුමාරිහාමි මැදිහත් වෙලා මිනීමැරුම් යට ගස්සවනවා. ඒ වෙනුවෙන් රුපියල් විස්සක මුදලක් දෙනවා.
දැන් වැදගත් කාරණාව ඔය රුපියල් විස්සක මුදල. ඒ දවස් වල මිනීමැරුම් දෙකක් යට ගහන්න රුපියල් විස්සයි. ඒ කියන්නේ එක මිනීමැරුමක් යට ගහන්න රුපියල් දහයයි. කොඩිගහයට චතුරංගගේ මිනීමැරුම යට ගහන්න රුපියල් ලක්ෂ දහයයි. ඔය මිල අදාළ කාලය තුළ ලක්ෂ ගුණයකින් ඉහළ ගිහින්. ඒ ඇයි?
මේ මිල ගණන් දෙකම ප්‍රබන්ධ වල තිබෙන පරිකල්පනීය මිල ගණන් දෙකක් පමණයි. ඒ වුනත්, අපි මේ මිල ගණන් ඇත්ත මිල ගණන් සේ සලකමු. ඔය විදිහට මිල ඉහළ යන්න ප්‍රධානම හේතුව උද්ධමනය. විශේෂයෙන්ම ලංකාව නිදහස ලැබුවට පස්සේ විශාල ලෙස දිගින් දිගටම සල්ලි අච්චු ගැසීම නිසා රුපියල බාල්දු වීම. ඊට අමතරව, නීතියේ පාලනය වඩා හොඳින් ස්ථාපනය වීම නිසා ඒ කාලයට සාපේක්ෂව මේ වෙද්දී මිනීමැරුමක් යට ගහන එක වඩා අමාරු වී තිබෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා, උද්ධමනය ඉවත් කිරීමෙන් පසුව මිනීමැරුමක් යට ගැසීමේ මූර්ත මිලද ඉහළ ගිහින් වෙන්න පුළුවන්.
පුංචි කුමාරිට ඇයගේ පියා මිය යන්න කලින් නින්දගම් යද්දී හැසිරුණු ආකාරය පවා මතක නිසා ඇගේ දෙමවුපියන් මිය යද්දී වයස අවුරුදු අටක්වත් විය යුතුයි. 1848 මාතලේ කැරැල්ල කාලයේ ඇගේ වයස අවුරුදු අටක් වුනානම් 1860 වෙද්දී වයස අවුරුදු 20ක් වෙලා. ඒ කාලයේ සාමාන්‍ය පිළිවෙත අනුව, සූරිය බණ්ඩාර ඇයට වඩා ගොඩක් වයසින් වැඩි වීම අනුව, සහ ඈ කුඩා කල සිටම රජ්ජුරු වන්නි වලවුවේම සිටීම අනුව, මේ විවාහය පුංචි කුමාරිට වයස අවුරුදු දහඅටක් විස්සක් පමණ වෙද්දී සිදු විය යුතුයි. ඒ කියන්නේ 1860 වර්ෂය ආසන්නයේදී.
කොහොම වුනත්, රුපියල් සහ සත නිල වශයෙන් ලංකාවේ භාවිතයට ගැනුණේ 1872 ජනවාරි 1 සිටයි. 1869 සිට ඉන්දියානු රුපියල් ලංකාවේ භාවිතා වුනා. 1860 වැනි කාලයක රුපියල් භාවිතයේ තිබුණානම් ඒ තිබුණේ ඔරියන්ටල් බැංකුව වැනි පෞද්ගලික බැංකුවක් විසින් නිකුත් කළ රුපියල් පමණයි. බොහොමයක් පෞද්ගලික බැංකු විසින් නිකුත් කළේද පවුම්.
අපි මේ මිනීමැරීම් වුනේ 1875 පමණ කාලයක කියා උපකල්පනය කරමු. ඔය කාලයේ රුපියලේ වටිනාකම ලොකුවට වෙනස් නොවූ නිසා අවුරුදු දහයක් පහළොවක් එහාමෙහා වුනා කියලත් වැඩි වෙනසක් වෙන්නේ නැහැ.
(පසු සටහන: ටෙලි නාට්‍යයේ තිර රචකයා විසින් වෙනත් තැනක දමා ඇති ප්‍රතිචාරයක ඇති පැහැදිලි කිරීම් අනුව, පුංචි කුමාරිගේ දෙමවුපියන් මිය ගොස් ඇත්තේ 1848 කැරැල්ලේදී නොව 1870දී මාතලේ සිදුව ඇති මහා නායයාමකිනුයි. ඇයව වන්නි වලව්වට රැගෙන එද්දී වයස අවුරුදු 11ක් බවත්, සූරියබණ්ඩාරට විවාහ කර දෙන විට වයස අවුරුදු 16ක් බවත් එහි සඳහන්ව තිබෙනවා. ඒ අනුව, ඇගේ විවාහය සිදුව තිබෙන්නේ 1875 දී වන අතර මිනීමැරුම් සිදුවන්නේ ඊටත් වසර කිහිපයකට පසුවයි.)
ඒ දවස් වල රුපියලක වටිනාකම සිලින් දෙකක් පමණ. ඒ අනුව, රුපියල් විස්සක් කියන්නේ බ්‍රිතාන්‍ය පවුම් දෙකකට සමාන මුදලක්. පවුමක් රුපියල් දහයයි. 1875 බ්‍රිතාන්‍ය පවුමක අද වටිනාකම අද බ්‍රිතාන්‍ය පවුම් වලින් 147.63ක්. ඒ කියන්නේ, 1875 බ්‍රිතාන්‍ය පවුම් දෙකක අද වටිනාකම පවුම් 295.26ක්. බ්‍රිතාන්‍ය පවුමක අද මිල රුපියල් වලින් 409.28ක්. ඒ කියන්නේ, 1875දී මිනීමැරුම් දෙක වහගන්න ගිහින් තියෙන රුපියල් විස්සක මුදල අද රුපියල් වලින්නම් 120,844ක්. ඒ කියන්නේ හය දහස් ගුණයකින් පමණ රුපියල බාල්දු වෙලා!
කොහොමෙන් කොහොම හරි, මිනීමැරුම් දෙකක් වහගන්න අද රුපියල් වලින්නම් 120,844ක්. එක මිනීමැරුමකට 60,422ක්. එහෙම බැලුවහම, උද්ධමනයේ බලපෑම ඉවත් කළාට පස්සේ, මේ කාලය ඇතුළත මිනීමැරුමක් වහගන්න යන මිල මූර්ත පදනමින් වුනත් 16 ගුණයකින් පමණ වැඩි වෙලා. ඒ කියන්නේ දැන් මිනීමැරුමක් වහන එක ඒ කාලයේ තරම්ම ලේසි නැහැ.
හැබැයි තවත් දෙයක් තියෙනවා. නීතිඥ මොහාන්ට හෝ රොහාන්ට මේ වැඩේට අත්පිට මුදල් ලැබෙන්නේ නැහැ. වැඩේ කරන්නේ දෙන්නං කාසි පදනමට. එහෙම වුණාම මුදල් නොලැබීමේ අවදානම වෙනුවෙනුත් ගාණක් එකතු කරන්න වෙනවා. ඇත්තටම අන්තිමේදී ඔහුට කීයක්වත්ම ලැබෙන්නෙත් නැහැ. අත්පිට මුදල් ගෙවන්න පුළුවන්කම තිබුනනම් සමහර විට ගාණ ටිකක් අඩු වෙයි. එහෙම අඩු වුනත්, රුපියල් 60,422ක් තරම්ම අඩු වෙන එකක්නම් නැහැ.
No comments:
Post a Comment
මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.