වෙබ් ලිපිනය:

Monday, October 3, 2022

ආර්ථිකය යළි ස්ථාවර කිරීම


පසුගිය සැප්තැම්බර් 23 දින ලංකාවේ ණයහිමියන් සමඟ අන්තර්ජාලය හරහා පැවැත්වූ සාකච්ඡාවේදී ඉදිරිපත් කර තිබුණු ශ්‍රී ලංකාව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟත්වය ලබා ගෙන තිබෙන ආර්ථික ස්ථායීකරණ වැඩ පිළිවෙළෙහි ප්‍රමුඛ ආර්ථික නිර්ණායක ඉලක්ක කිහිපයක් ගැන පෙර ලිපියෙහි විස්තර කළා. කෙසේ වුවද, බොහෝ දෙනෙකු බලා සිටින, එක් වැදගත්ම නිර්ණායකයක් ගැන තොරතුරු එළියට දමා තිබුණේ නැහැ. ඒ විණිමය අනුපාතයේ අපේක්ෂිත හැසිරීමයි. ඒ ගැන වැඩි විස්තර එළියට නොදමන්නට හේතුව අපැහැදිලි නැහැ. 

සාර්ව ආර්ථික වැඩ පිළිවෙළ තුළ විණිමය අනුපාතයේ අපේක්ෂිත හැසිරීම ගැන විස්තර එළි දක්වා නැත්තේ එසේ කිරීම හානිකර නිසා විය යුතුයි. මෙවැනි තොරතුරකට විණිමය අනුපාතය ක්ෂණිකව ප්‍රතිචාර දක්වනවා. එහෙත්, ආර්ථික වර්ධනය, උද්ධමනය, ගෙවුම් ශේෂය හෝ ප්‍රාථමික අයවැය ශේෂය සම්බන්ධ අපේක්ෂිත ඉලක්ක ප්‍රසිද්ධ කිරීමේ එවැනි අවදානමක් නැහැ. මේ විචල්‍යයන්ගේ හැසිරීම දවසකින් දෙකකින් වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම, කිහිප දෙනෙකුගේ ක්‍රියාවන් නිසා වෙනස් වෙන්නේත් නැහැ. 

මගේ පෞද්ගලික අදහසනම් මේ සාර්ව ආර්ථික වැඩ පිළිවෙළ යතාර්ථවාදී එකකට වඩා සුබවාදී එකක් බවයි. එහෙත්, මනෝරාජික වැඩ පිළිවෙළක් නෙමෙයි. මෙහි තිබෙන ඉලක්ක සාක්ෂාත් කර ගත නොහැකි ඒවා නොවූවත්, ඒ සඳහා විශාල කැප වීමක් අවශ්‍ය වෙනවා. 

පෙර ලිපියේ තිබෙන සංඛ්‍යාලේඛණ ඇසුරෙන් අප‍ට රජය විසින් ප්‍රසිද්ධ කර නැති තවත් සංඛ්‍යාලේඛණ කිහිපයක් අපෝහනය කර ගත හැකියි. ඒ සඳහා, බරපතල උපකල්පන කරන්න අවශ්‍ය නැහැ. 

පසුගිය 2021 වසරේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය කොපමණද කියා අපි දන්නවා. එම සංඛ්‍යාව පාදක කර ගනිමින් හා අපේක්ෂිත උද්ධමනය හා ආර්ථික වර්ධනය සමඟ ගලපමින් අපට 2027 දක්වා ඉදිරි වසර කිහිපය තුළ වැඩ සටහන තුළ අපේක්ෂිත ලංකාවේ නාමික දළ දේශීය නිෂ්පාදිතය ගණනය කළ හැකියි. 

නාමික දළ දේශීය නිෂ්පාදිතය (රුපියල් බිලියන)

2021 - 16,809

2022 - 22,744

2023 - 28,658

2024 - 30,833

2025 - 33,501

2026 - 36,300

2027 - 39,297

සංඛ්‍යාලේඛණ තුළ දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයක් ලෙස ප්‍රාථමික අයවැය ශේෂය සඳහන්ව ඇති නිසා අප‍ට ඉදිරි වසර වලදී ලඟා කර ගැනීමට අපේක්ෂිත ප්‍රාථමික අයවැය ශේෂයන්ද ඇස්තමේන්තු කළ හැකියි. 

ප්‍රාථමික අයවැය ශේෂය (රුපියල් බිලියන)

2022 - (-910)

2023 - (-201)

2024 - 247

2025 - 771

2026 - 835

2027 - 904

ඉලක්ක පැහැදිලියි. පැහැදිලි නැත්තේ මේ ඉලක්ක ළඟා කර ගන්න යන්නේ කොහොමද කියන එකයි. මේ වසරේ රුපියල් බිලියන 910ක් වන අයවැය හිඟය (-අයවැය ඇස්තමේන්තු වල ඇති ගණන මෙයම නොවුනත් මේ ගණනට ආසන්නයි-) ඉදිරි 2023 වසර වන විට රුපියල් බිලියන 201 දක්වා රුපියල් බිලියන 709කින් අඩු කළ යුතුයි. ඒ සඳහා, කොපමණ වියදම් කපනවාද? කොපමණ ආදායම් වැඩි කර ගන්නවාද? අදාළ ඉලක්ක ප්‍රායෝගිකද? මේවා ප්‍රශ්න.

ප්‍රශ්නය එතැනින් කෙළවර වෙන්නේ නැහැ. 2023ට සාපේක්ෂව 2024 වන විට ප්‍රාථමික අයවැය හිඟය තවත් රුපියල් බිලියන 448කින් අඩු කර ගැනීමට නියමිතයි. ඉන් පසු, 2025 වන විට තවත් රුපියල් බිලියන 524කින් අඩු කර ගත යුතුයි. මෙවැනි ඉලක්ක කරා යන්නනම් දැවැන්ත බදු ප්‍රතිසංස්කරණ අවශ්‍ය වෙනවා. ප්‍රාථමික අයවැය හිඟය ලොකුවටම අඩු කෙරෙන්නේ 2023දී නිසාත්, 2023 අයවැය ඉදිරිපත් කෙරෙන්නට වැඩි කාලයක් නැති නිසාත් අපට මේ ගැන ඉක්මණින්ම දැනගන්න පුළුවන් වෙයි.

සංඛ්‍යාලේඛණ තුළ දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයක් ලෙස ජංගම ගිණුම් ශේෂයද  සඳහන්ව තිබෙනවා. ඒ අනුසාරයෙන්  අප‍ට ඉදිරි වසර වලදී ලඟා කර ගැනීමට අපේක්ෂිත ජංගම ගිණුම් ශේෂයන්ද ඇස්තමේන්තු කළ හැකියි. 

ජංගම ගිණුම් ශේෂය (රුපියල් බිලියන)

2022 - (-773)

2023 - (-573)

2024 - (-555)

2025 - (-603)

2026 - (-653)

2027 - (-707)

මේ ගණන් තිබෙන්නේ රුපියල් වලින්. විණිමය අනුපාතය ගැන සඳහනක් නැති නිසා අපට මෙම ගණන් ඩොලර් කළ නොහැකියි. එසේ කළ හැක්කේ උපකල්පිත විණිමය අනුපාතයක් යොදා ගනිමින් පමණයි. දැන් යන විදිහට මේ වසර අවසන් වන විට ඩොලරයක මිල විශාල ලෙස වෙනස් වී තිබීමේ ඉඩක් පෙනෙන්න නැහැ. ඒ නිසා, අපි අද නිල විණිමය අනුපාතය අනුව යමින් රුපියල් 363 බැගින් ඉහත 2022 ජංගම ගිණුම් හිඟය රුපියල් කරමු.

මේ අයුරින් ඩොලර් කළ විට 2022දී ජංගම ගිණුමේ හිඟය ඩොලර් මිලියන 2,130ක්. වසරේ පළමු මාස හය තුළ ජංගම ගිණුම් හිඟය මේ වන විටද ඇස්තමේන්තු කර තිබෙනවා. එය ඩොලර් මිලියන 1,829ක්. ඒ අනුව, අවසන් මාස හයේ ජංගම ගිණුම් හිඟය ඩොලර් මිලියන 300ක් පමණ මට්ටමක පවත්වා ගතහොත් මෙම ඇස්තමේන්තුව නිවැරදි වෙනවා. එය විය හැක්කක්. 

ඉදිරි වසර තුළ ඩොලරයක මිල පවතින මට්ටමේම තියෙයිද? මම එසේ සිතන්නේ නැහැ. එසේ තිබේයැයි අපි නිකමට මෙන් හිතමු. එහෙම වුනොත්, 2023 ජංගම ගිණුමේ හිඟය ඩොලර් මිලියන 1,579ක්. ඩොලරයක මිල රුපියල් 450ක් වුනොත්, මෙම හිඟය ඩොලර් මිලියන 1,274 දක්වා අඩු වෙනවා. වෙනස ඩොලර් මිලියන 305ක් පමණයි. 

වෙනත් විදිහකින් කිවුවොත් ඉදිරි වසර තුළ ඩොලර් මිලියන 1,579ක් ණය ගත්තොත් ඩොලරය දැන් තිබෙන රුපියල් 363 මට්ටමේ තියා ගන්න පුළුවන්. එම මිල රුපියල් 450 මට්ටමේ තියා ගන්න වුනත් ඩොලර් මිලියන 1,274ක් ණය ගන්න අවශ්‍ය වෙනවා. 

මතක තියා ගන්න මේ කතා කරන්නේ ජංගම ගිණුම ගැන. ණය ආපසු ගෙවීමට කොහොමටත් අළුතෙන් ණය ගන්න වෙනවා. ඒ මීට අමතරව. හැබැයි ඔය කොහොම වුනත්, ඩොලර් මිලියන 1,274ක විදේශ ණය අළුතෙන් ගන්න පුලුවන්නම් තවත් ඩොලර් මිලියන 305ක් හොයා ගන්න එක ඒ තරම්ම අමාරු වැඩක් නෙමෙයි. ණය කියා කිවුවට ණය නොවන ආයෝජන, රාජ්‍ය දේපොළ විකිණීම් ආදිය මගින් ඔය ඩොලර් ප්‍රමාණයෙන් කොටසක් හොයා ගන්නත් පුළුවන්. ඒ සියල්ලම සටහන් වෙන්නේ මූල්‍ය ගිණුමේ.

මේ සියලු කරුණු එක්ක බැළුවහම වැඩ සටහනේ ඉලක්කය වන්නේ ඩොලරයක මිල දැනට පවතින මට්ටමට ආසන්න මට්ටමක තියා ගන්න එක කියන එකයි මගේ අදහස. අඩු වශයෙන් ලබන වසර තුළ. අඩු වෙන්නනම් කිසිම හේතුවක් නැහැ. ටිකක් හරි වැඩි වෙයි. හැබැයි ගොඩක් වැඩි වෙන එකක් නැහැ. මොකද ඩොලරයක මිල ගොඩක් වැඩි වුනොත් එය නැවත වරක් උද්ධමනය කෙරෙහිත් බලපානවා. 

සාමාන්‍යයෙන් ලංකාවට වසරකට සෘජු ආයෝජන යම් ප්‍රමාණයක් ලැබෙනවා. මේ වසරේ පළමු මාස හය තුළත් ඩොලර් මිලියන 440ක් ලැබී තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබන වසරේ ඩොලර් මිලියන 750ක් ලැබෙනවා කියා උපකල්පනය කළොත්, තව අඩු ඩොලර් මිලියන 800-850 වගේ ප්‍රමාණයක්නේ. ණය ප්‍රතිව්‍යුහගත කර ණය තිරසාරත්වය තහවුරු කළොත්, ඔය මුදල හොයා ගන්න එක අපහසු දෙයක් නෙමෙයි. බොහෝ විට ඔයිට වඩා වැඩි ඩොලර් ප්‍රමාණයක් මූල්‍ය ගිණුම හරහා රටට එයි. 

විසඳාගත යුතුව තිබෙන ප්‍රධාන ප්‍රශ්නය ණය වාරික ප්‍රශ්නය. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී බොහෝ විට ලංකාව විසින් උත්සාහ කරනු ඇත්තේ ණය කපා හැරීම වෙනුවට ණය ගෙවීම කල් දමා ගැනීමයි. ඊට අමතරව පොලී සැලකිය යුතු ලෙස අඩු කර ගැනීමයි. මේ විදිහේ ඉල්ලීමකට ණයහිමියන් ඉක්මණින් එකඟ වෙන්න ඉඩ තිබෙනවා. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියා කියන්නේ සමහර අය කියන විදිහට ලංකාවට කෙළවන්නම බලාගෙන ඉන්න යකෙක්, රකුසෙක් නෙමෙයි. ඒ වගේම, ලංකාව බේරගන්නම කැප වී සිටින ගැලවුම්කාරයෙකුත් නෙමෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලංකාව කියන්නේ තවත් එක් සාමාජික රාජ්‍යයක් පමණයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සාර්ව ආර්ථික වැඩ පිළිවෙළක් හදන්න දායක වෙද්දී එක පැත්තකින් ලංකාවේ මූල්‍ය ස්ථාවරත්වය ඇති කරන්න මහන්සි වෙනවා වගේම අනෙක් පැත්තෙන් ණයහිමියන්ගේ සල්ලි ටික ආපහු අරන් දෙන එක ගැනත් හිතනවා. ඒ කියන්නේ පොඩ්ඩක් කල් අරගෙන හරි ලංකාව විසින් ගත්ත ණය පිළිවෙළට ගෙවාගෙන යනු දැකීමේ අරමුණද මේ වැඩ පිළිවෙළ ඇතුළේ තියෙනවා. 

අපිට රහසක් වුනත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩ පිළිවෙළ ලෝකයේ ප්‍රධාන රාජ්‍යයන්ට රහසක් නොවෙන්න පුළුවන්. බොහෝ විට ඔය ගොඩක් රටවල නිල නොවන එකඟත්වයක් දැනටම ඇති. ඒ නිසා, ලබන වසරේ මුල් කාර්තුවේදී වැඩේ කෙරෙන්න සැලකිය යුතු ඉඩක් තිබෙනවා. බොහෝ විට, ඔලුව උස්සා ගන්නකම්, වසර දෙකකට පමණවත් ණය සහනයක් ලැබෙයි. පොලියත් ටිකක් අඩු වෙයි. හැබැයි ණය වලින් වැඩි ප්‍රමාණයක් පහුවෙලා හරි ගෙවන්න වෙයි. ඒ අතරවාරයේ විදේශ අංශයේ ප්‍රශ්නය තාවකාලිකව විසඳෙනු ඇති වුනත්, රාජ්‍යමූල්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ නොකරම බැරි වෙයි. 

දේශපාලනය පැත්තට ආවොත්, 2024 වන විට හෝ ඊටත් කලින් උද්ධමනය නැවත තනි ඉලක්කමකට ඇවිත්, ඩොලරයක මිල ස්ථාවර වෙලා, ආර්ථිකයත් යම් පමණකින් හෝ වර්ධනය වෙලා, පවතින ආණ්ඩුවට මැතිවරණයකට යාම සඳහා ප්‍රශස්තම තත්ත්වය ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒ වන විට ක්‍රියාත්මකව තිබිය යුතු බදු ප්‍රතිසංස්කරණ, පෞද්ගලීකරණය කිරීම් ආදිය නිසා ආණ්ඩුවේ ජනප්‍රියත්වය ඉහළ මට්ටමක නොතිබෙන්න පුළුවන්. එහි වාසිය අරගෙන, ලිහිල් රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තියක් වෙනුවෙන් පෙනී සිටිමින්, වෙනත් පක්ෂයක් ආණ්ඩුවක් පිහිටෙවුවොත්, ඒ ආණ්ඩුව හිර වෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ. මොකද ප්‍රතිව්‍යුහගත කිරීම් වලදී කල් දමා ගන්න ණය ආපසු ගෙවීම් කරන්න වෙන්නේ ඉන් පසුවයි. ඒ වැඩේ කරන්න පුළුවන් වෙන්නේ රාජ්‍යමූල්‍ය විනය දැඩි ලෙසම පවත්වා ගත්තොත් පමණයි. ආයෙත් පාරක් 2020දී කළා වගේ සෙල්ලම් දාන්න ගියොත් නවතින්නේ මේ වැටුනටත් වඩා ලොකු වලක. 

3 comments:

  1. //ආයෙත් පාරක් 2020දී කළා වගේ සෙල්ලම් දාන්න ගියොත් ....//

    බීරි අලින්හට කොච්චර කිව්වත් යමක් ඇහෙන්නේ නැතිය සැබැයි
    ළිඳක වතුර වැක්කෙරුවත් කළේට, මුණින් අතට නං වැඩක් නැතෙයි
    රෑට වැටුණු වළ හොඳටම පෙනිලත් මහ දවලුත් ඒකට වැටෙතියි
    දේව දූතයන් පිය නොමනින තැන, අපේ මහයො බඩ පිනුම් ගසයි!

    ReplyDelete
  2. ඉකොනොමැට්ටා,

    ඉදිරි 2023 වසර තුළ ඩොලර් බිලියන 10 ඉක්මවූ ප්‍රමාණයකින් ලංකා ආර්ථිකය හැකිළිය හැකි බවට ලෝක බැංකුව අනතුරු අඟවා තිබෙන බවත් ඉන් ලබන වසරේදී ලංකාවේ ආර්ථිකය දරුණු ම තත්ත්වයකට ඇද වැටිය හැකි බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය ජනක් කුමාරසිංහ අනාවරණය කරයි.

    රජයට වුවත් අවශ්‍ය අවස්ථාවල දත්ත, නිගමන ලබා දී පවතින අර්බුදයෙන් යන්තමින් හෝ ආර්ථිකය ගොඩගැනීමට අවශ්‍ය කැපවීම් කිරීමට සූදානම් බව ද ඔහු කියයි.

    “ආණ්ඩුව තවත් බදු වැඩි කිරීමට උත්සාහ කළොත් එය රටේ සමස්ත ජනතාවගේ ජන ජීවිතයට ඍජුව බලපානවා. දැනටමත් බදු වගේම ඉතාමත් ඉහළ මට්ටමක පවතින පොළී අනුපාත වැඩි කිරීමෙන් උද්ධමනය පාලනය කරන්න ආණ්ඩුව විසින් අසාර්ථක උත්සහයක් කරමින් තිබෙනවා. එය මෙබඳු තත්ත්වයක් යටතේ මහ බැංකුව විසින් කළ යුතු පියවරක්ව තිබුණත් එයින් ආර්ථිකයට දැඩි කම්පනයක් ඇති කරනවා."

    "මේ මගින් ආර්ථිකයට ඇතිකර තිබෙන කම්පනයෙන් අනෙකුත් විචල්‍යයන්ට බලපෑම් සිදුවී තිබෙනවා. ප්‍රධානම බලපෑම ලංකාවේ පෞද්ගලික අංශයේ ව්‍යවසායයන් මෙහෙයවන ව්‍යාපාරිකයන්ට අදාළයි. ඔවුන්ගේ ප්‍රාග්ධන සම්පාදනය කරන්නේ බැංකු ණය ගැනීමෙන්. බැංකු ණය ලබා ගැනීම වෙනුවෙන් ඔවුන්ට පිරිවැයක් දරන්න වෙනවා. සංවර්ධනය වෙමින් පවතින රටක ව්‍යාපාර ආයෝජනවලින් ලැබෙන ප්‍රතිලාභ තුළ අඩංගු ලාභය තිබෙන්නේ මුළු පිරිවැයෙන් 10% – 15% අතර ප්‍රමාණයකයි."

    "ඒත් අද වන විට ණය පොළී අනුපාතිකය 25% - 26% ඉක්මවා තිබෙනවා. මේ තත්ත්වය මත බැංකුවලින් ණය ලබාගෙන ආයෝජනය කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභවල ලාභය ඔහුගේ බැංකු ණය පොළිය ගෙවීම සඳහාවත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ නිසා ලංකාවේ සියලුම ආකාරයේ ව්‍යාපාර සියල්ල අස්ථාවර තත්ත්වයකට පත්වී තිබෙනවා."

    "මේ නිසා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පමණක් නොවෙයි මහා පරිමාණ ව්‍යාපාර පවා දැඩි ලෙස අස්ථාවර වී තිබෙනවා. අලුතින් ව්‍යාපාර ආරම්භ කිරීම සම්පූර්ණයෙන්ම පාහේ අඩපණ කර තිබෙනවා. මේ නිසා ලංකාවේ ආර්ථිකය බරපතල ලෙස හැකිළෙමින් පවතිනවා."

    ලෝක බැංකුව මේ සම්බන්ධයෙන් කර තිබෙන පුරෝකථන අනුව ඉදිරි වසර තුළ ඩොලර් බිලියන 10 ඉක්මවූ ප්‍රමාණයකින් ලංකා ආර්ථිකය හැකිළිය හැකි බවට අනතුරු හඟවා තිබෙනවා. 2023 වර්ෂයේදී ලංකාවේ ආර්ථිකය අතිශය දරුණු තත්ත්වයකට ඇද වැටිය හැකි බව පෙන්වා දී තිබෙනවා. ආණ්ඩුව අධික ලෙස දරා ගන්න බැරි තරමට බදු වැඩිකර ආදායම් වැඩි කර ගැනීම සඳහා යාම තුළ ආර්ථිකය බරපතල ලෙස හැකිළෙන වේගය තව තවත් තීව්‍ර වෙනවා. මේ නිසා දැනටමත් කෙසේ හෝ රැඳී සිටින ව්‍යාපාරවලට පවා විශාල තර්ජනයක් ඇති වෙන්න පුළුවන්.

    "රජය අයි එම් එෆ් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට යාම තුළ ඒ සඳහා රජයට ක්‍රියාත්මක කිරීමට බල කෙරෙන කොන්දේසි යටතේ මූල්‍ය අරමුදල මගින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට යන ලෙස රජයට උපදෙස් දීමත් සමග දැනට ණය වාරික සහ පොළිය ගෙවීම් කළ නොහැකි තත්ත්වයකට ඇද වැටෙන්නත් ඉඩ තිබෙනවා. එවැනි තත්ත්වයකදී ආර්ථිකයක් ගොඩගැනීම සහ ආර්ථිකය ඉදිරියට තල්ලු කරන බැංකු ඇතුළු මූල්‍ය පද්ධතිය මෙන්ම ඊට සම්බන්ධ අනෙකුත් ආයතනත් විශාල අවදානමකට යන්න පුළුවන්. ඒ නිසා මේ අවස්ථාවේ ඉතාමත් පරෙස්සමෙන් අවදානම කළමනාකරණය කරන්න ආණ්ඩුව අවධානය යොමු කළ යුතුයි. එසේ නොකළහොත් අපේ සමස්ත මූල්‍ය පද්ධතිය ම දැඩි අවදානමකට ලක්වෙන්න පුළුවන්. එවැනි තත්ත්වයක් නැවත නිවැරදි කර ගත නොහැකි ප්‍රතිවිපාකයක් ගෙන ඒවි.”

    "ඒ නිසා එක්කෝ මූල්‍ය අරමුදල වෙත නොයා අසීරු ක්‍රමයකින් හෝ වෙනත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර රටේ ආර්ථිකය ආරක්ෂා කිරීමට සිදු විය හැකියි. වඩා අඩු හානිකර විසඳුමක් සොයා ගැනීමට රටේ සියලුම ආකාරයේ ආර්ථික මූල්‍ය විශේෂඥයින් සහභාගී කරගෙන සාමූහිකව තීරණයක් ගත යුතුයි"

    මේ කතාවේ ඇත්තක් තියෙනවා ද කියලා පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: