වෙබ් ලිපිනය:

Friday, March 29, 2024

ඩොලර් බිලියන එකහමාරක් ඉතිරි කරපු හැටි!


පසුගිය වසර තුළ ශ්‍රී ලංකාව විසින් ඩොලර් මිලියන 1,559ක ජංගම ගිණුම් අතිරික්තයක් වාර්තා කර තිබෙනවා. එයින් සරලව අදහස් වන්නේ වසර තුළ ශ්‍රී ලංකාව විසින් වැය කළ විදේශ විණිමය ප්‍රමාණයට වඩා ඩොලර් මිලියන 1,559ක් එම වසර තුළ උපයා ඇති බවයි. 

මෙය 1977 වසරින් පසුව මෙවැන්නක් සිදු වන පළමු අවස්ථාව වන අතර 1956 වසරින් පසුව ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වන දෙවන වසරයි. අනෙක් සෑම වසරකදීම ශ්‍රී ලංකාව විසින් වසර තුළ ඉපැයූ විදේශ විණිමය ප්‍රමාණය ඉක්මවා වියදම් කර තිබෙනවා. ණය පැහැර හැරීමකින් කෙළවර වන තුරු ගොඩගසා ගත් ලංකාවේ දැවැන්ත විදේශ ණය කන්දරාව මෙහි ප්‍රතිඵලයයි. 

ඩොලර් බිලියන 4 ඉක්මවන හෝ ඊට ආසන්න මට්ටමක පැවති 2008, 2011 හා 2012 වසර වල ජංගම ගිණුමේ හිඟය විශේෂයෙන්ම කැපී පෙනෙනවා. ඉන් පසුව, 2021 වසර තුළදීද ජංගම ගිණුමේ හිඟය ඩොලර් බිලියන 3 සීමාව ඉක්මවා ගියා. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් එකඟ වූ සාර්ව ආර්ථික වැඩපිළිවෙළ තුළද ජංගම ගිණුමේ හිඟය සීමා කිරීමක් මිස අතිරික්තයක් පවත්වා ගැනීමේ සැලසුමක් තිබුණේ නැහැ. අරමුදලේ සැලසුම් අනුව 2023 වසරේ ජංගම ගිණුම් හිඟය ඩොලර් මිලියන 1,184 සීමාව නොඉක්මවිය යුතුව තිබුණා. එම සැලසුමට සාපේක්ෂව වුවද ඩොලර් මිලියන 1,559ක අතිරික්තයක් යනු කැපී පෙනෙන ජයග්‍රහණයක්. මෙහි ගෞරවය ප්‍රධාන වශයෙන්ම මහ බැංකුවට යා යුතු අතර රජයටද එයින් කොටසකට හිමිකම් කිව හැකියි. 

මේ ආකාරයෙන් වසර තුළ ඩොලර් මිලියන 1,559ක් ඉතිරි වුනේ කොහොමද?

පහත තිබෙන්නේ පසුගිය වසර තුළ රටට විදේශ විණිමය ලැබුණු ආකාරය සහ රටෙන් විදේශ විණිමය පිටතට ගලා ගිය ආකාරයයි.

විදේශ විණිමය ලැබීම්:

භාණ්ඩ අපනයන ආදායම = ඩොලර් මිලියන 11,911

සේවා අපනයන ආදායම = ඩොලර් මිලියන 5,416

ප්‍රාථමික ආදායම් = ඩොලර් මිලියන 463

ද්වීතියික ආදායම් (ශ්‍රමික ප්‍රේෂණ) = ඩොලර් මිලියන 5,989

ආදායම් එකතුව = 23,779


විදේශ විණිමය ගෙවීම්:

භාණ්ඩ ආනයන වියදම = ඩොලර් මිලියන 16,811

සේවා ආනයන වියදම = ඩොලර් මිලියන 2,012

ප්‍රාථමික ආදායම් ගෙවීම් (පොලී හා ලාභාංශ) = ඩොලර් මිලියන 3,027

විදේශිකයින්ගේ ද්වීතියික ආදායම් = ඩොලර් මිලියන 371

වියදම් එකතුව = 22,221


රට තුළ ඉතිරි වූ මුදල = ඩොලර් මිලියන (23,779 - 22,221) = ඩොලර් මිලියන 1,559


මෙවැනි අතිරික්තයක් බැංකු පද්ධතිය තුළ ඉතිරි වීනම් ඒ හේතුවෙන් ඩොලරයක මිල විශාල ලෙස පහත වැටී ආනයන ප්‍රමාණය මීට වඩා ඉහළ යනවා. එහෙත්, මහ බැංකුව මැදිහත් වී මෙම අතිරික්තය වෙළඳපොළෙන් මිල දී ගෙන සංචිත වලට එකතු කර ගැනීම නිසා එවැන්නක් සිදු වී නැහැ. 

ඇත්තටම කියනවානම් මහ බැංකුව විසින් "අතිරික්ත ඩොලර්" මිල දී ගත් බව කීම නිවැරදි ප්‍රකාශයක් නෙමෙයි. ජංගම ගිණුමේ මෙවැනි අතිරික්තයක් ඇති වී තිබෙන්නේම මහ බැංකුව මැදිහත් වී වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගනිමින් ඩොලරයක මිල "ඉහළින්" තියා ගත් නිසා. මහ බැංකුව විසින් එසේ ඩොලරයක මිල "ඉහළ" මට්ටමක පවත්වා ගනිද්දීද ඩොලරයක මිල පහත වැටීම වෙනම කරුණක්. 

මෙය 2008, 2011 හා 2012 වැනි වසර වලදී මෙන්ම නැවත 2021දීද ජංගම ගිණුමේ විශාල හිඟයක් පවත්වා ගනිමින් (උපයන විදේශ විණිමය ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයක් වැය කරමින්) විදේශ ණය වල උදවුවෙන් ඩොලරයක මිල පහළින් තියා ගැනීමට වඩා හාත්පසින්ම වෙනස් තත්ත්වයක්. 

පසුගිය වසර තුළ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 2,245කින් ඉහළ ගොස් තිබෙනවා. මෙම ප්‍රමාණය ජංගම ගිණුමේ අතිරික්තය වූ ඩොලර් මිලියන 1,559ට වඩා ඩොලර් මිලියන 616කින් වැඩියි. එම අතිරික්ත ඩොලර් ප්‍රමාණය ආවේ කොහෙන්ද?

ජංගම ගිණුමේ ශේෂයට අමතරව, පසුගිය වසර තුළ සෘජු විදේශ ආයෝජන ලෙස ශුද්ධ වශයෙන් (ලංකාවෙන් සිදු කළ ඩොලර් මිලියන 34ක සෘජු විදේශ ආයෝජන අඩු කිරීමෙන් පසු) ඩොලර් මිලියන 678ක් ලැබී තිබෙනවා. සාමාන්‍යයෙන් සෘජු විදේශ ආයෝජන ලෙස පැමිණෙන අරමුදල් දිගු කාලයක් රට තුළ රැඳෙනවා. ඒ අනුව, පැහැදිලි විය යුත්තේ මහ බැංකුව සංචිත තර කර ගෙන තිබෙන්නේ සෘජුව හෝ වක්‍රව ණය ගෙන නොවන බවයි.

රටක ජංගම ගිණුමේ හිඟයක් ඇත්නම් ඒ රට ණය ගන්නෙක් වන අතර ජංගම ගිණුමේ අතිරික්තයක් ඇත්නම් ඒ රට ණය දෙන්නෙක්. දිගුකාලීන තත්ත්වය කෙසේ වුවත්, පසුගිය වසර පමණක් සැළකු විට ලංකාව ණය ගන්නෙක් නොව ණය දෙන්නෙක් වී තිබෙනවා. මේ තත්ත්වය දිගටම පවත්වා ගත හැකිනම් ලංකාවට විදේශ ණය අවශ්‍ය වන්නේ පැරණි ණය ආපසු ගෙවීමට පමණයි. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව මේ සඳහාද ප්‍රමාණවත් කාලයක් ලැබෙනවා. 

මේ ආකාරයෙන් ලංකාවට වසරක කාලයක් තුළ හෝ ණය ගන්නෙකු නොවී ණය දෙන්නෙකුව සිටින්නට හැකි වී තිබෙන්නේ ප්‍රධාන හේතු දෙකක් නිසා. එයින් පළමුවැන්න රජය විසින් ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගැනීමයි. දෙවැන්න වාහන ආනයන නවත්වා තිබීමයි. 2018 වසරේදී පෞද්ගලික වාහන ආනයනය සඳහා ලංකාව ඩොලර් මිලියන 1,573.5ක් වැය කළ අතර, අනෙකුත් ප්‍රවාහන උපකරණ ආනයනය කිරීමට තවත් ඩොලර් මිලියන 668.1ක් වැය කළා. 

වාහන ආනයනයට පූර්ණ නිදහසක් ලබා දුන්නොත් පහසුවෙන්ම වසරකට ඩොලර් බිලියන දෙක ඉක්මවන වාහන ආනයන සිදු විය හැකි අතර ඇතැම් විට මෙම ඉල්ලුම ඩොලර් බිලියන තුන ඉක්මවන්න වුනත් බැරි නැහැ. එසේ වුවහොත් ජංගම ගිණුමේ අතිරික්තය නැවත හිඟයක් බවට පත් වන අතර ඩොලරයක මිලද ඉහළ යනවා. වාහන ආනයන වාරණ එකවර ඉවත් නොකර පියවරෙන් පියවර ඉවත් කිරීම මගින් මෙම අවදානම කළමනාකරණය කර ගන්නට සිදු වෙනවා. 

2 comments:

  1. //මෙය 1977 වසරින් පසුව මෙවැන්නක් සිදු වන පළමු අවස්ථාව වන අතර 1956 වසරින් පසුව ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වන දෙවන වසරයි.//

    හොඳටම කෙරුව හැටි කොයි කවුරුත් එක්ව
    මැනවින් පෙනෙයි, මේ කරුණෙන් ඉස්මතුව
    මෙච්චර කලකටත් පස්සේ තව බැරිව
    බලය පතනවා විලිලජ්ජා නැතුව!

    ReplyDelete
  2. ඉකොනෝ

    නන්දලාල් බැංකු නන්දේ ඉන්න මේ ක්ලිප් එක බලන්න

    https://m.youtube.com/watch?v=-_FiniL5LpI

    මේකේ කමෙන්ට් කියවලා බලන්න මිනිසුන් මහබැංකුවට අමු තිත්ත කතාවෙන් බැනලා කමෙන්ට් ගණනාවක් දාල තියෙන බව පේනවා

    මහබැංකුවට පත් කරන්නේම හොරුන් බවත් ප්‍රේමදාස රනිල් පත්කරපු පාස්රලිංගම්ගේ නම පැනමා පේපර්ස් වල තියෙනව. අර්ජුන මහේන්ද්‍රන් සහ කබ්රාල් ගැන කියන්න ඕන නෑනේ අධිකරණ තීන්දු තියෙනවානේ. නන්දලාල් ගෑවිලා ඉන්නේ අර්ථසාධක අරමුදලේ කොටස් වෙළඳපොල ආයෝජන වංචාවට.

    රටේ වෘත්තිකයෝ සේරටම ජීවත් වෙන්න බැරි තරම් බදු ගහලා උන් වෙන රට වලට ගියා දරු පවුල් රැකගන්න . මහා බැංකුවේ කක්කුට්ටෝ ටික උන්ගේ පඩි 200% කින් වැඩි කරගත්ත. එතකොට මේ රටේ ඉන්න ඕනේ මහා බැංකුවේ උන් විතරද?

    මුන් උගත් වුනාට රටට එක රැපියලක් ගෙන එන කිසිදු සැලැස්මක් නැහැ මුන් බලනනේ චක්‍රලේකනවල ට මුවාවවි හොර කන සැලසුම් හදන්න කාලකන්නි මුන් 60 වෙනකං හොර කනවා පසුව දේශපාලුවෝ පිටින් දාල ඊලගට මුන්ට හිලැ ආණ්ඩුවක් හදන්න වෘත්තිය සමිති ත්‍රස්තවායදය රන් කරන වා පින් පඩි කාරයෝ


    මහ බැංකුව පාලනයත් දැන් ශ්‍රී ලංකා රජයෙන් ගිලිහිලා. ඒක හදන්න නම් කොන්ද පන තියෙන එක ජනාධිපති වරයෙක් ආවම පුළුවන්.

    නන්දේ කියන්නේ IMF එවපු පිල්ලියක් කියලා තේරෙන්නේ දැන්

    ඉකොනෝත් මේ වගේ කමෙන්ටුවටක් දාල මහබැංකුවටයි නන්දලාල් මෝලටයි කුණුහරුප කියල බනින්න අපිත් ලයික් කරලා පුල් සපෝට් එක දෙන්නම් !

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: