වෙබ් ලිපිනය:

Saturday, February 17, 2024

ඊළඟ ජනාධිපති කවුද?

අද ජනාධිපතිවරණයක් පැවතුණි නම්, ඔබ ඡන්දය ලබා දෙන්නේ කාටද?

ඉහත ප්‍රශ්නය සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය (Institute for Health Policy හෙවත් IHP) විසින් වසර කිහිපයක සිට අඛණ්ඩව සිදු කරන ශ්‍රී ලංකා මත විමසුම් සමීක්ෂණයෙහි එක් ප්‍රශ්නයක්. ප්‍රශ්නයට පිළිතුරු ලෙස තේරීම් හතරක් තිබෙනවා. 2023 දෙසැම්බර් මාසය තුළ 522 දෙනෙකු විසින් ඉහත ප්‍රශ්නයට ලබා දී තිබෙන පිළිතුරු සහ ඊට පෙර 2021 ජනවාරි 1 දින සිට 2024 ජනවාරි 7 දින දක්වා සිදු කර තිබෙන සම්මුඛ පරීක්ෂණ 14,941ක් මත පදනම්ව, එම ආයතනය විසින් සකස් කර ප්‍රසිද්ධ කර තිබෙන සමීක්ෂණ ප්‍රතිඵල පහත පරිදියි.

අනුර කුමාර දිසානායක - 50%

සජිත් ප්‍රේමදාස - 33%

රනිල් වික්‍රමසිංහ - 9%

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙක් - 8%


මහ මැතිවරණයක් පැවැත්වුනහොත් ඡන්දය භාවිතා කරන ආකාරය පිළිබඳවද ඉහත සමීක්ෂණයේදී විමසා තිබෙනවා. 


කෙසේ වුවත්, මෙම ලිපියෙහි අප විසින් වැඩි අවධානයක් යොමු කරන්නේ ජනාධිපතිවරණය හා අදාළව අසා ඇති ප්‍රශ්නය වෙතයි. අපගේ ඉලක්කය වන්නේ මෙම සමීක්ෂණ ප්‍රතිඵල සකස් කර තිබෙන ක්‍රමවේදය පැහැදිලි කිරීම සහ විමසුමට ලක් කිරීම මිස, දේශපාලන විග්‍රහයක් කිරීම නෙමෙයි. එහෙත්, ස්වභාවය අනුවම මෙය දේශපාලන කරුණක් බැවින් අමාරුවෙන් දේශපාලනය බැහැර කර අදහස් දැක්වීමටද අප උත්සාහ කරන්නේ නැහැ. 

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය (Institute for Health Policy හෙවත් IHP) විසින් ඉහත කී මත විමසුම් සමීක්ෂණය වසර තුනකට නොඅඩු කාලයක් තිස්සේ අඛණ්ඩව සිදු කරමින් සිටිනවා. ඇමරිකාව වැනි රටවල මෙවැනි මත විමසුම් සමීක්ෂණ ගණනාවක් අඛණ්ඩව සිදු වෙතත්, ලංකාවේ මෙවැන්නක් මීට පෙර සිදු වී නැහැ. අපගේ ස්වාධීන නිගමනය වනුයේ ඇමරිකාව වැනි රටක කරන මෙවැනි සමීක්ෂණයකට සාපේක්ෂව ශ්‍රී ලංකා මත විමසුම් සමීක්ෂණයෙහි ක්‍රමවේදයේ විශාල ගැටළු නොමැති බවයි. 

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ අදාළ කාර්ය මණ්ඩලය, විශේෂයෙන්ම එහි අධ්‍යක්ෂ රවීන්ද්‍ර රන්නන්එළිය මෙවැනි කටයුත්තක් සැලසුම් කිරීම සඳහා අවශ්‍ය පුහුණුව හා පළපුරුද්ද ඇති අයෙක්. මෙයින් අදහස් වන්නේ මෙම සමීක්ෂණය අඩුපාඩු නැති, අංග සම්පූර්ණ මත විමසුම් සමීක්ෂණයක් බව නෙමෙයි. මෙහි ක්‍රමවේදයේ පැහැදිලි අඩුපාඩු හා අපැහැදිලි තැන් ගණනාවක් හඳුනා ගත හැකියි. මහාචාර්ය ආනන්ද ජයවික්‍රම විසින් එවැනි අඩුපාඩු පිළිබඳව පුළුල් විමසුමක් සිදු කර තිබෙනවා

ශ්‍රී ලංකා මත විමසුම් සමීක්ෂණය ඇසුරෙන් ඉහත ඇස්තමේන්තු සකස් කර ඇති ආකාරය මෙන්ම ඒ පිලිබඳව ආනන්ද ජයවික්‍රමගේ විවේචනද අතිශයින්ම තාක්ෂනිකයි. අදාළ විෂය පිළිබඳව සැලකිය යුතු මට්ටමක පුහුණුවක් නොමැතිව මෙම ක්‍රමවේදය හෝ ඒ සම්බන්ධව සිදු කර තිබෙන විවේචන තේරුම් ගැනීම පහසු නැහැ. ලංකාවේ හෝ වෙනත් රටක සාමාන්‍ය පාඨකයෙකුට එවැනි පුහුණුවක් තිබීමේ ඉඩකඩ ඉතා අඩුයි. මේ ලිපිය එවැනි මට්ටමකට නොයන, සාමාන්‍යයෙන් මෙම පිටුව කියවන පාඨකයින් ඉලක්ක කර ලියන්නක්. 

"In 2022, there were 16,692,398 (16.692398 mn) voters in the country according to the Election Commission. Thus, an average sample of 553 voters is 0.0033% of total voters or simply 3.3 voters per 100,000 voters."

ඉහත සඳහන්ව තිබෙන්නේ ක්‍රමවේදය සම්බන්ධව ආනන්ද ජයවික්‍රමගේ විවේචනයක්. මීට සමාන විවේචන වෙනත් අය විසින්ද සිදු කර තිබුණා. අපි ගැටලුව සරල ලෙස පහත ආකාරයෙන් ඉදිරිපත් කරමු.

මිලියන 16.7ක ඡන්දදායක පිරිසක් විසින් ඡන්දය භාවිතා කිරීමට ඉඩ ඇති ආකාරය ගැන ඔවුන්ගෙන් 500 දෙනෙකුගේ (ආසන්න වශයෙන්) නියැදියක් ඇසුරෙන් දැන ගත හැකිද?

සරල පිළිතුර, පුළුවන්. කලාතුරකින් සිදු කරන සංගණන හැරුණු විට අනෙකුත් බොහොමයක් සංඛ්‍යාලේඛණ සකස් කරන්නේ නියැදි සමීක්ෂණ මතයි. එසේ කළ නොහැකිනම් සංඛ්‍යානය කියන විෂයයෙන් වැඩක් නැහැ. එහෙත්, මෙම කාර්යය සාර්ථක වීමටනම් ඉහත ජනගහණයෙන් අහඹු නියැදියක් ලබා ගත යුතුයි.

අදාළ ක්‍රමවේද අනුගමනය කරමින් 500 දෙනෙකුගෙන් යුත් එවැනි අහඹු නියැදියක් ලබා ගත්තා කියා හිතමු. උදාහරණයක් ලෙස, ලිපිය ආරම්භයේ ඇති ප්‍රශ්නයට ඔවුන් පිළිතුරු දුන් ආකාරය පහත පරිදි විය හැකියි. 

අනුර කුමාර දිසානායක - 250 හෙවත් 50%

සජිත් ප්‍රේමදාස - 165 හෙවත් 33%

රනිල් වික්‍රමසිංහ - 45 හෙවත් 9%

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 40 හෙවත් 8%

ඉහත සමීක්ෂණ ප්‍රතිඵල මත පදනම්ව, අද (හෝ අදාළ දිනයේ) ජනාධිපතිවරණයක් පැවතුණි නම්, අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කරන බව ස්ථිරව කිව හැකිද?

පිළිතුර, එසේ කිව නොහැකියි. එසේ කිව නොහැක්කේ නියැදියේ ප්‍රමාණය 500ක් තරම් අඩු නිසා නෙමෙයි. මෙම ප්‍රමාණය 5000 හෝ 50,000 වුවද නියැදිය අනුසාරයෙන් මැතිවරණ ප්‍රතිඵලය ගැන පුරෝකථනය කළ හැක්කේ එවැන්නක් සිදු වීමේ සම්භාවිතාව මත පදනම්ව පමණයි. ඉහත ප්‍රතිඵලය අනුව, අනුර කුමාර දිසානායක විසින් 50%ක ඡන්ද ප්‍රමාණයක් ගෙන ජනාධිපති වීමට 50%ක සම්භාවිතාවක් තිබෙනවා. 

එමෙන්ම, අනුර කුමාර දිසානායක විසින් අවම වශයෙන් 45%, 50%, 55% හෝ වෙනත් එවැනි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට තිබෙන සම්භාවිතාවද ගණනය කළ හැකියි.

45%ක් ලබා ගැනීමේ සම්භාවිතාව - 98.7%
50%ක් ලබා ගැනීමේ සම්භාවිතාව - 50.0%
55%ක් ලබා ගැනීමේ සම්භාවිතාව - 1.3%

සජිත් ප්‍රේමදාස හා අදාළවද මෙවැනි ගණනයක් කළ හැකියි.

30%ක් ලබා ගැනීමේ සම්භාවිතාව - 92.3%
33%ක් ලබා ගැනීමේ සම්භාවිතාව - 50.0%
35%ක් ලබා ගැනීමේ සම්භාවිතාව - 17.1%

සාමාන්‍යයෙන් නියැදි සමීක්ෂණයක් මත පදනම්ව ජනගහණයේ හැසිරීම ගැන පුරෝකථන කළ හැක්කේ ඔය විදිහට යම් සම්භාවිතාවන් යටතේයි. එහෙම නැතුව ජනගහණයේ හැසිරීම ගැන හරියටම කියන්න බැහැ. වෙන්න 99%ක ඉඩක් තියෙන දෙයක් වගේම වෙන්න 1%ක ඉඩක් තියෙන දෙයක් වුනත් වෙන්න පුළුවන්. හැබැයි පළමුවැන්න වෙන්න තිබෙන ඉඩකඩ වැඩියි.

ඉහත විස්තර කළ පරිදි නියැදි සමීක්ෂණ ඇසුරෙන් පුරෝකථන කළ හැක්කේ යම් ඇස්තමේන්තු වරදක් එක්කයි. නියැදියේ ප්‍රමාණය වැඩි කර ගැනීමෙන් ඇස්තමේන්තු වරද අඩු කර ගන්න පුළුවන්. නමුත් නියැදියේ ප්‍රමාණය වැඩි කරද්දී සමීක්ෂණය සඳහා යන පිරිවැයද අනුපාතිකව ඉහළ යනවා. ඒ වියදම එක්ක බලද්දී, මාසයකට 500ක් කියා කියන්නේ නියැදියක් සඳහා නරක ප්‍රමාණයක් නෙමෙයි. 

මිලියන 16.7ක ඡන්දදායක පිරිසකගේ හැසිරීම ගැන දැන ගන්න 500ක අහඹු නියැදියක් ගත් විට ඒ නියැදිය තුළ ජනගහණය හරියටම නිරුපණය නොවෙන්න පුළුවන්. ඒ නිසාම, ප්‍රතිඵලය ජනගහණය හා අදාළ ප්‍රතිඵලයෙන් වෙනස් වෙන්න පුළුවන්. ඉහත සම්භාවිතා ගණනය කර තිබෙන්නේ මේ බව සැලකිල්ලට අරගෙනයි. 

කොහොම වුනත්. මේ විදිහට 500 බැගින් වන නියැදි ගණනාවක් ගත්තොත් ඒ හැම නියැදියක්ම "වැරදි නියැදි" වෙන්න බැහැ. උදාහරණයක් විදිහට ඔය වගේ නියැදි පහක් ගත් විට අනුර කුමාර දිසානායකට එම නියැදි වලින් ලැබී තිබෙන "ඡන්ද" ප්‍රතිශතය 45%-55% අතර සීමාවේනම්, තව නියැදි පහක් හෝ වැඩි ගණනක් ගත්තත් ඔය තත්ත්වයේ වැඩි වෙනසක් නැහැ කියලා උපකල්පනය කරන්න පුළුවන්. ශ්‍රී ලංකා මත විමසුම් සමීක්ෂණය වැනි සමීක්ෂණයක් දිගින් දිගටම කරද්දී ලැබෙන ප්‍රතිඵල වල විශාල වෙනසක් නැත්නම් නියැදියේ ප්‍රමාණය ප්‍රශ්නයක් වී නැහැ කියන එක පැහැදිලි වෙනවා.

හැබැයි ඉහත කී පරිදි, සමීක්ෂණය දිගින් දිගටම කරද්දී ලැබෙන ප්‍රතිඵල ආසන්නව සමාන වීම මත පදනම්ව නියැදියේ ප්‍රමාණය ප්‍රශ්නයක් වී නැති බව කිව හැක්කේ එම නියැදි වෙනස් නියැදිනම් පමණයි. එකම නියැදිය දිගින් දිගටම ප්‍රශ්න කළොත් මුලින් වුනු වැරැද්දක් ඇත්නම් එය දිගටම යනවා. එහෙම නැත්නම්, පරණ නියැදි වල තොරතුරු අනුසාරයෙන් අළුත් නියැදියේ ඇස්තමේන්තු වරද අඩු කර ගන්න පුළුවන්. සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් එවැන්නක් කර ඇති බවයි පෙනෙන්න තියෙන්නේ.

නැවත ඉහත සම්භාවිතා වෙත ආවොත්, එම සම්භාවිතා ගණනය කර තිබෙන්නේ 500ක නියැදිය ජනගහණයේ අහඹු නියැදියක් ලෙස සලකලා. හැබැයි ප්‍රායෝගිකව ඔය විදිහේ අහඹු නියැදි හොයා ගන්න අමාරුයි. විවිධ හේතු නිසා නියැදියක අහඹුතාවය නැති වෙනවා. 

සංඛ්‍යානයේ ඔය ලෙඩේටත් බෙහෙත් තියෙනවා. නියැදි වල අහඹුතාවය නැති වී තිබෙන්නේ මොන මොන හේතු නිසාද කියලා හොයා ගත්තට පස්සේ අවශ්‍ය නිවැරදි කිරීම් කරන්න පුළුවන්. මෙහිදී දත්ත විශේලේෂකයාට යම් නිදහසක් ලැබෙන නිසා අපක්ෂපාතීව වැඩේ කරන එක වැදගත්. ඕනෑම පුද්ගලයෙකු අතින් තමන්ගේ පක්ෂපාතීත්වයන් අවිඥානිකව හෝ ප්‍රතිඵලයට බලපෑමක් කරන්න පුළුවන්.

කලින් කිවුවා වගේ ආනන්ද ජයවික්‍රම විසින් සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ ක්‍රමවේදයේ අඩුපාඩු ගණනාවක් පෙන්වා දී තිබෙනවා. නමුත් මේවා බොහොමයක් සිදු වීමේ ඉඩක් තිබෙන වැරදි මිසක් අනිවාර්යයෙන්ම සිදු වී තිබෙන වැරදි නෙමෙයි. මෙවැනි වැඩක් නිවැරදිව කරන වෙනත් ඕනෑම පුද්ගලයෙක් හෝ ආයතනයක් විසින්ව කරනවා වගේම සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින්ද ඔවුන්ගේ සමීක්ෂණ දත්ත වල අඩුපාඩු හඳුනාගෙන නිවැරදි කර තිබෙනවා. 

මේ හැම එකක්ම පියවරෙන් පියවර විස්තර කර එම විස්තර ප්‍රසිද්ධ කර නැතත්, පර්යේෂකයින් විසින් ඒ මට්ටමේ විස්තර කිරීම් කරන එක සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. මේ වගේ වැඩකදී තමන්ගේ කීර්ති නාමය පරදුවට තියන්න වෙන නිසා නමක් තිබෙන පර්යේෂකයෙක් තමන් කරන දේ ගැන පුළුවන් තරම් සැලකිලිමත් වෙනවා. 

මීට අමතරව අසා තිබෙන ප්‍රශ්නයේ සැලසුමේ ප්‍රශ්න තිබෙනවා. මෙයත් ආනන්ද ජයවික්‍රම විසින් පෙන්වා දී ඇති දෙයක්. උඩින්ම තිබෙන ප්‍රශ්නයට පිළිතුරු ලෙස ලබා දී තිබෙන්නේ තේරීම් හතරක් පමණයි. නමුත් සැබෑ ජනාධිපතිවරණයකදී ඡන්දය කටු ගෑම, ඡන්දය නොදැමීම, වෙනත් කුඩා පක්ෂ වලට ඡන්දය දීම වැනි තේරීම් තිබෙනවා. මෙහි ඒ අයට තේරීමක් නැහැ. මගේ පෞද්ගලික අදහස අනුව, එවැනි අය තමන්ට දී තිබෙන විකල්ප අතරින් අනුර කුමාර දිසානායකව තෝරා ගන්න වැඩි ඉඩක් තිබෙනවා. 

නියැදිය තෝරා ගැනීමේදී බොහෝ දුරට යොදා ගෙන තිබෙන්නේ අහඹු ලෙස දුරකථන අංක වලට කතා කිරීමේ ක්‍රමයයි. මෙය සම්මත ක්‍රමයක්. එහෙත්, මෙහිදී ප්‍රතිචාර දක්වන්නන් ජනගහණයේ අහඹු නියැදියක් නෙමෙයි. මෙය නොදන්නා දෙයක් නොවන නිසා ජනගහණයේ ජාති, ආගම්, වයස ආදී දේවල් ඇසුරෙන් නිවැරදි කිරීමක් කර ඇතත් මෙසේ තෝරා ගන්නා නියැදියක් හා රටේ සමස්ත ජනගහණය අතර එම නිවැරදි කිරීම් වලින් නිවැරදි නොවන සියුම් වෙනස්කම් තිබෙනවා. 

දුරකථන සමීක්ෂණයක් වෙනුවෙන් කාලය යොදවන අය හා සමාජ ජාලා වල නිතර සැරිසරන අය ආසන්න වශයෙන් එකම කොටසක් සේ සලකන්න පුළුවන්. මෙම කුලකය තුළ අනුර කුමාර දිසානායකට වගේම රනිල් වික්‍රමසිංහටත් යම් වාසිදායක තත්ත්වයක් තියෙන්න පුළුවන්. ඒ වගේම, ආණ්ඩුවේ ජනප්‍රියත්වය ගොඩක් අඩු වී තිබෙන පසුබිමක රනිල් වික්‍රමසිංහට හා පොදුජන පෙරමුණට කැමැත්තක් දක්වන අය ඒ බව ප්‍රකාශ කරන්න යම් මැලිකමක් දක්වන්න පුළුවන්. අනෙක් අතට අනුර කුමාර දිසානායකට කැමැති, පාක්ෂිකයින් නොවන, ඇතැම් අය වුනත් ඒ බව කියන්න මැලි වෙන්න පුළුවන්.

ඉහත කී ආකාරයේ හේතු නිසා සිදු විය හැකි වැරදීම් සමීක්ෂණයක් කරන කෙනෙකුට හඳුනා ගන්න අමාරුයි. සමීක්ෂණයට සහභාගී වන අය මොනවා කිවුවත් ඒ කියපු දේ නිවැරදියි කියා සලකන්න වෙනවා. ඒ හැරුණු විට, සමීක්ෂණය කරන ආයතනයට කළ හැකි තරම් නිවැරදිව මේ සමීක්ෂණය කර ඇති බවයි මටනම් පේන්නේ. මේ ප්‍රතිඵලය මට "හිතෙන" ප්‍රතිඵලය සමඟ හරියටම ගැලපෙන්නේ නැහැ. නමුත්, මට "හිතෙන" දෙයට වඩා සමීක්ෂණ ප්‍රතිඵලයක් නිවැරදි වෙන්න තිබෙන ඉඩකඩ ගොඩක් වැඩියි.

(යාවත්කාලීන කිරීම: ගණනයේ වරදක් තිබී පසුව නිවැරදි කළා.)

13 comments:

  1. හැත්තෑ හය වසක් රට කළ ලොක්කන්ට
    බැරි වුණු එකේ දියුණුව සලසාලන්ට
    තව වාරයක් උන්වම පත් කරවන්ට
    පිස්සුද අපට- අපි කැමතියි ජෙප්පන්ට

    ReplyDelete
  2. " එමෙන්ම, අනුර කුමාර දිසානායක විසින් අවම වශයෙන් 30%, 45%, 60% හෝ වෙනත් එවැනි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට තිබෙන සම්භාවිතාවද ගණනය කළ හැකියි.

    30%ක් ලබා ගැනීමේ සම්භාවිතාව - 96.3%
    35%ක් ලබා ගැනීමේ සම්භාවිතාව - 91.0%
    40%ක් ලබා ගැනීමේ සම්භාවිතාව - 81.4%
    45%ක් ලබා ගැනීමේ සම්භාවිතාව - 67.3%
    50%ක් ලබා ගැනීමේ සම්භාවිතාව - 50.0%
    55%ක් ලබා ගැනීමේ සම්භාවිතාව - 32.7%
    60%ක් ලබා ගැනීමේ සම්භාවිතාව - 18.6%"


    මෙම සම්භාවිතා ගනනය කරන්නේ කොහොමද කියල කියන්න පුළුවන් ද?

    ReplyDelete
    Replies
    1. නියැදියේ ඡන්ද ප්‍රතිශතය p ලෙස සැලකුවොත් සම්මත අපගමනය np(1-p)හි වර්ග මූලය. ඒ අනුව, z-distribution එකක ව්‍යාප්තිය ඇසුරෙන් මෙම සම්භාවිතා හොයා ගන්න පුළුවන්.

      Delete
  3. සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය, මැතිවරණය ගැන සමීකශණ කරන්නෙ ඇයි කියන එක තමයි මට තියෙන ප්‍රශ්ණය...

    ReplyDelete
  4. If I'm in Sri lanka I will vote for ANURA for sure....

    ReplyDelete
  5. බ්‍රෙක්සිට් සමීක්ෂණත් වැරදුනා නේද

    ReplyDelete
  6. දොස්තර එකපුලිය 😜😂😂😂

    ReplyDelete
  7. ඔය සමීක්ෂණ නම් බොරු බයිලා, ඕව ගැන දැන්ම කියන්න බෑ ඉතින් ඡන්දයක් තියන්න තීරණය කරන්න ඕනනේ මුලින්ම, රනිල් වික්‍රමසිංහ ඡන්ද තියයි ද කියලත් ලංකාවේ ගොඩක්ම අයට ෂුවර් නෑ, ඒ වගේ පොරක් නේ

    ඒක නෙවෙයි ඉකොනෝ මේ නිව්ස් එක ගැන ඔබේ අදහස මොකක්ද?


    //ඉදිරි මාස දෙක තුල අනිවාර්යෙන්ම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම හෙවත් ETCA ගිවිසුම අත්සන් කිරීම අත්‍යවශ්‍ය බවද එළඹෙන 2024 අප්‍රේල් මාසය අවසන් වීමට පෙර කෙසේ හෝ මෙම ETCA ගිවිසුම අත්සන් කිරීමට ඉන්දීය බලධාරීන් දැඩි ලෙස තීරණය කර ඇති බව ඉන්දීය සහ වෙනත් විදේශ මාධ්‍ය රැසක් වාර්තා කර ඇත.

    ඊට සමගාමීව චීනය හා තායිලන්තය සමඟ නිදහස් වෙළඳසුම් පිළිබඳවද ලංකාවේ රජයේ විශේෂයෙන්ම පොදුජන පෙරමුණේ ඇමතිවරු සාකච්ඡා ආරම්භ කර තිබේ.

    ඉන්දියාව සමග අත්සන් කරන ETCA ගිවිසුමේ අවසන් සාකච්ඡා වටය මෙම මාර්තු මාසයේ මුල් සති දෙක අතරතුරදී කොළඹදී පැවැත්වීමට නියමිතව ඇත.

    කෙසේ වෙතත් මෙම ගිවිසුම සම්බන්ධයෙන් ලංකාවේ ඇතැම් අංශවල දැඩි ආතතියක් පවතින්නේ ඒ හරහා තම රැකියා අවධානමට වැටෙනු ඇතැයි සැක මතුවීම හේතුවෙනි.

    වෛද්‍ය හා ඉංජිනේරු වැනි වෘත්තීය කාණ්ඩ සම්බන්ධයෙන් සේවා අංශය විවෘත කිරීමට ශ්‍රී ලංකාවේ ඇතැම් නියෝජිතයන් ප්‍රතික්ෂේප කර තිබේ. එමෙන්ම මේ ETCA ගිවිසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වෘත්තිකයන්ගේ සැකය දුරු කිරීම සඳහා වෘත්තිය කාණ්ඩායම් කිහිපයක් සමඟ සාකච්ඡා කිරීමටද රජයේ ඇතැම් ඇමතිවරු සැලසුම් කර ඇත.

    ECTA ගිවිසුමට එළඹීමෙන් පසු ලංකාවේ ආණ්ඩුවට ඉන්දියාවෙන් ආනයනික භාණ්ඩ වලට හිතු මතේ බදු ගැසීමට නොහැකි නිසා IMF සහ ලෝක බැංකු පදයට නටමින් ජනතාවගේ ගෙල හිතුමතේ බදු තොණ්ඩුවෙන් හිර කීරීමට නොහැකි බව ජාතික ජන බලවේගයේ ආර්ථික විශේෂඥයින් පවසා තිබේ.
    ජනතාවට ජීවන බර කෙරේ දැවැන්ත සහනයක් ලැබීමට නියමිත බවත් IMF ලෝක බැංකුව සහ බටහිර ආර්ථික ඝාතකයන් උන්ගේ විවිධ සට්ටැම්බීන්ව යොදාගෙන ECTA වැලකීමට හැකි හැම දේම කරණු ඇති බව ජවිපෙ ජාතීක ජන බලවේගයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.//

    මේ ETCA ගිවිසුම ගිය 2017-2018 කාලේ අත්සන් කරන්න බැරි වුණාට දැන් ඒක ලේසියෙන්ම අත්සන්තබන බව පේනවා, ඇත්තටම මේකෙන් ලංකාවට සහ ඉන්දියාව යන දෙරටේම ආර්ථික සංවර්ධනයට වාසියක් වේවිද නැත්ද කියල ඔබට පුළුල්ව විග්‍රහ කරන්න පුළුවන්ද මේක ගැන?

    ReplyDelete
  8. මගේ දැනට ඇති අදහස ලංකාවේ ආරක්ෂක අංශ දෙන මතය නිවැරදි බවයි. ඔවුන් කියනවා කියන්නේ රනිල්ට පස්ස දොරෙන් ඒමට තවම චාන්ස් එකක් තියෙනවා කියා. ඒ කෙසේද යත්

    ReplyDelete
    Replies
    1. සජ්ජට බ්ලොක් වෝට් එකක් තියෙනවලු. ඒක හරි. ලක්ෂ 44 විතර ලැබෙයි. (මිලියන් 4.4). අනුරට මිලියන් 5.5 විතර (ලක්ෂ 55). මුළු චන්ද ප්‍රමාණය මිලියන් 14 වගේ (ලංකාවේ 75%-80% විතර තමා චන්දෙ දෙන්නේ. ලියා පදිංචි චන්ද ගානෙන්. රනිල්ට පොහොට්ටු සහ එජාප චන්ද 20% විතර තමා ලැබෙන්නේ. ලක්ෂ 26 විතර. මිලියන් 2.6. අන්තිම මොහොතේ සජබ කඩල, දෙමල සහා මුස්ලිම් පක්ෂ එක්ක සභාගයක් හැදුවොත්. අර මහින්ද මුල් සර්රේ දිනුව වගේ ඉතා සුළු චන්ද ගානකින් රනිල් දිනන්න ඉඩ තියනව.

      Delete
    2. ඒක තමා අනුර කිව්වේ දෙනවනම් 50% වැඩිය දීපියව් කියල.

      Delete
  9. රාසමානික්කම් මහත්තයා එනවා නම් අනුරගේ චන්ද කැඩෙයි.

    ReplyDelete
  10. ඉකොනෝ, ඉතාම ඉක්මනින්ම කඩාවැටෙනව කියල සමහරු කියපු ලංකාවේ බැංකු පද්ධතිය ගිය වසරෙ ලාභ ලබලා කියලා කියනවා නේද? විශේෂයෙන්ම මාලිමාවට සම්බන්ධ ආර්ථිකය ගැන කතා කරපු අය කිව්වේ එහෙමයි දිගටම පහුගිය වසර එකහමාරක පමණ කාලය තුල

    ඒ උනාට ගිය වසරේ බැංකු හොදින් ලාභ උපයල තියෙන බව කියලා ලංකාවේ මාධ්‍ය බොහෝ වාර්තා පල කර තිබෙන මොහොතක සමහරු බැංකු කඩා වැටෙනව කිව්වට ගිය වසරෙ බැංකු ලාභ උපයල තියෙනවා, ඔවුන් දේශපාලන වාසි ගන්න හිතන් හිටියා වෙන්න ඇති එහෙම වුණොත්... හැබැයි ඒ Hurdle එකත් සාර්ථකව පන්න ගෙන තියෙනව කියල මට හිතෙනව ඒක ඇත්ත ද?

    මාධ්‍යවලට අනුව මූල්‍යය ආයතන වල ආදායම් ඉහළ ගිහින්... වත්කම් වැඩි කර ගෙන ..

    ජාතික ජන බලවේගය දැන් කියන විදියට පොළිය අඩු කරන්නයි දැන් තියෙන්නෙ පාරිභෝගිකයා වෙනුවෙන්..ඒ උනාට කොමර්ෂල් ලෙන්ඩින් වල පොළීය අඩු කිරීම පිළිබඳව මහා බැංකුව තමයි තීරණය කරන්නේ .මහා බැංකුව ප්‍රතිපත්ති පොළි අනුපාත අඩු කලත්,වාණිජ බැංකු පොළි අනුපාත අඩු නොකර අධික ලාභ ඉපැයීමයි ප්‍රශ්නය එහෙම නේද? මේ ගැන ඔබට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: