මෙරිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වීමෙන් පසුව ඩිල්මා තේ කාර්ය භාරය ගැන යම් සංවාදයක් ඇති වී තිබෙන බව පේනවා. මේ හා අදාළව අපටත් ප්‍රශ්න කිහිපයක් යොමු කෙරුණා.
"ශ්‍රමිකයින් සූරාකමින් හෝ ඊට උල්පන්දම් දෙමින් තේ නිපදවා අලෙවි කර ලාබ ලබන ආයතනයක් විසින් තමන්ගේ ව්‍යාපාරය සදාචාරත්මක වෙළඳාමක් ලෙස හඳුන්වා දීම කෙතරම් නිවැරදිද? මේ ප්‍රශ්නය වෙළඳපොළ පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයිද?"
මෙය අසා තිබුණු ප්‍රශ්නයම නෙමෙයි. එම ප්‍රශ්න ඇසුරෙන් සකස් කර ගත් ප්‍රශ්නයක්. මුල් ප්‍රශ්නයට පෞද්ගලිකව පිළිතුරු දී අවසන් නිසා ප්‍රශ්නය මේ විදිහට සූත්‍රගත කළේ කියන්න අවශ්‍ය දේ කියන එක පහසු කර ගන්නයි.
අප සාමාන්‍යයෙන් පුද්ගලයින් අගය කරමින් හෝ විවේචනය කරමින් ලිපි ලියන්නේ නැහැ. එසේ කරන්නේයැයි පෙනෙන බොහෝ අවස්ථා වල ඇත්තටම කරන්නේ පුද්ගලයෙකුගේ නිශ්චිත ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් සංවාදයට බඳුන් කිරීමයි. කිසියම් පුද්ගලයෙකුගේ ක්‍රියාවක් අගය කළ පමණින් එවැන්නෙකු විසින් කරන හැම දෙයක්ම අනුමත කෙරෙන්නේ නැතුවා වගේම යම් ක්‍රියාවක් විවේචනය කිරීමේදී එවැන්නෙකුගේ වෙනත් ක්‍රියාවන් හෙළා දැකීමක් අදහස් වන්නේ නැහැ.
ඩිල්මා තේ සම්බන්ධව පෞද්ගලිකව ලේඛකයාට අගය කිරීම් දෙකක් තිබෙනවා. පළමුවැන්න, මේ දවස් වල බොහෝ දෙනෙකු විසින් උත්කර්ශයට නංවන ඩිල්මා සන්නාමය ගොඩ නගා රටින් පිටට ගෙනයාමයි. එය ලෝක පරිමාණයේදී මහා ලොකු දෙයක් නොවුනත්, එවැනි දේ ඉතා අඩුවෙන් සිදු වී ඇති ලංකාවේ සන්දර්භයේදී ලොකු දෙයක්. දෙවැන්න ඩිල්මා තේ ආයතනයේ ඇතැම් සමාජ සත්කාරක කටයුතුයි.
මෙම සමාජ සත්කාරක කටයුතු අතරින් පෞද්ගලිකව ලේඛකයාට ඉතාම වැදගත් වී තිබෙන්නේ ලංකාවේ තේ කර්මාන්තයේ ඉතිහාසය පිළිබඳ ඓතිහාසික ලේඛණ සංරක්ෂණය කර, ඩිජිටල්කරණය කර, පොදු දේපොළ බවට පත් කිරීමයි. ලංකාවේ ආර්ථික ඉතිහාසය පිළිබඳව සහ වෙනත් ඓතිහාසික කරුණු පිළිබඳ සටහන් සකස් කිරීමේදී (උදාහරණයක් ලෙස මෑතකදී පළ කළ ලක්ෂ හතරකට අධික පිරිසක් විසින් මේ වන විට කියවා ඇති පෝය නිවාඩු පිළිබඳ සටහන) මෙම ලේඛණ අපට බොහෝ සේ උපකාරී වී තිබෙනවා. පොදු අරමුදල් වලින් නඩත්තු වන ලංකාවේ කිසිදු සරසවියක්, පුස්තකාලයක්, කෞතුකාගාරයක් හෝ රාජ්‍ය ලේඛණාගාරයක් විසින් මෙවැන්නක් කර ඇති බවක් අප දන්නේ නැහැ. මෙය දෙවන වනවානම් ඒ ගෝලීය ශ්‍රී ලාංකීය දෙමළ ප්‍රජාවේ නූලහම් (நூலகம்) ව්‍යාපෘතියට පමණයි. අඩු වශයෙන් මේ වෙලාවේ හෝ මෙම ව්‍යාපෘතිය පිළිබඳව ඩිල්මා තේ ආයතනයට අපගේ ස්තුතිය ප්‍රකාශ කළ යුතුයි.
"උඩරට කඳුකර සිරියා පරදන..."
ඔය කතාව ගොඩක් පරණ කතාවක්. ඔය සිංදුවේ වගේම "තේ කූඩය පිටේ බැඳන්" වගේ සිංදු වලිනුත් හිතේ මැවුවේ වගේම පසුව රූපවාහිනියෙන් පෙන්නුවේ රූප ලාවන්‍යාලේපන තොල් වල, නියපොතු වල උලාගෙන තේ දළු කඩන අව්වක් ඉඳහිටවත් නොදුටු සුදු, ලස්සන ලලනාවෝ. නමුත් ඇත්තටම තේ දළු කඩන්නේ අවුවට පිච්චිලා කළු ගැහුණු සරීර කූඩු දරන දුක්ඛිත ජීවිත කියන එක ඒ තරම්ම පරණ කතාවක් නොවුණත්, ඒ කතාවත් අලුත් කතාවක් නෙමෙයි. ඔය දෙවන කතාවත් අපි අහලා දැන් අවුරුදු තිහ හතළිහක්වත් වෙනවා. අද ලංකාවේ තේ කර්මාන්තය අවුරුදු පණහකට කලින් තිබුණු කර්මාන්තය නෙමෙයි. හැබැයි තවමත් ගොඩක් අයගේ හිතේ ඇති තේ කර්මාන්තය පළමු එක කොහොම වෙතත් එයින්ම ව්‍යුත්පන්න වී තිබෙන ඔය දෙවෙනි එක.
ලංකාවේ තේ කර්මාන්තය ආරම්භ වුනේ උඩරට කඳුකරයේ තමයි. ඒ වගේම, ආරම්භයේදී මේ කර්මාන්තය තුළ ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර පැහැදිලි විභේදනයක් තිබුණා. ඔය ආකෘතිය ඇසුරෙන් තේරුම් ගත හැකි පැරණි තේ කර්මාන්තයේ නෂ්ඨාවශේෂ තවමත් තිබෙන එක ඇත්තක් වුවත්, ලංකාවේ තේ කර්මාන්තයේ වත්මන් මුහුණුවර ඔය ඒකාකෘතික දැක්මෙන් කිසිසේත්ම නිරූපණය වෙන්නේ නැහැ.
ලයින් කාමර වලට හිර වෙලා මුළු ජීවිතේම තේ වත්තට කඹුරන එයින් එහා ලෝකයක් නැති ජීවිත අද ලංකාවේ නැහැයි කියලා මම කියන්නේ නැහැ. නමුත්, අද ලංකාවේ තේ කර්මාන්තයේ සාමාන්‍ය ශ්‍රමිකයා ඔය විදිගේ කෙනෙක් නෙමෙයි. ඒ වගේම සාමාන්‍ය තේ වතුහිමියෙක් කියා කියන්නෙත් දශක ගණනාවකට කලින් හිටපු විදිහේ තේ වතු හිමියෙක් නෙමෙයි. කර්මාන්තය තුළ ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර වූ පැහැදිලි විභේදනය මේ වෙද්දී ටිකෙන් ටික වියැකී ගිහින්. බොහෝ විට වතුහිමියා සහ ශ්‍රමිකයා කියන්නේ එක්කෙනෙක්.
මේ වෙද්දී තේ දළු නිෂ්පාදනය ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 1%ටත් වඩා අඩුයි. රටේ මුළු කෘෂිකාර්මික නිෂ්පාදිතයම ගත්තත් 9%කට අඩුයිනේ. ඔය කර්මාන්තයේ වතුහිමියන්ට වගේම ශ්‍රමිකයින්ටත් මොන අනුපාතයෙන් හෝ බෙදාගන්න තියෙන්නේ රටේ ජාතික ආදායමෙන් 1%ක්වත් නැති ඔය කොටස තමයි. නමුත් හදන තේ කොළ වලින් වැඩි කොටසක් අපනයනය කරන නිසාත්, ඩිල්මා වගේ සමාගම් විසින් රට ඇතුළේම අගය එකතු කිරීම් කරන නිසාත් රටේ අපනයන ආදායම් වලින් 10%කට ආසන්න කොටසක් තේ වලින් ලැබෙනවා.
මේ වෙද්දී ලංකාවේ නිපදවන තේ වලින් 60%ක් පමණම හදන්නේ පහතරට මිසක් සිරියා පරදන උඩරට කඳුකර නෙමෙයි. රටේ තේ නිෂ්පාදනයෙන් 74%ක් පමණ හදන්නේ පෞද්ගලික වතුහිමියෝ. එයිනුත්, 59%ක් පමණම කුඩා තේ වතුහිමියෝ. 2021දී මේ විදිහේ කුඩා තේ වතුහිමියෝ ප්‍රමාණය 420,000කට වඩා වැඩියි. වැඩිපුරම රත්නපුර දිස්ත්‍රික්කයේ. ඊළඟට ගාල්ලේ. තේ ඉඩම් වලින් 76%ක් පමණම අයිති ඔවුන්ටයි.
මේවා කුඩා ඉඩම් කැබලි. පෞද්ගලික තේ වතුහිමියන්ගෙන් 43%කටම අයිති අක්කර බාගයකට වඩා අඩු ඉඩම් ප්‍රමාණයක්. 77%කටම තියෙන්නේ ඉඩම් අක්කරයකට වඩා අඩුවෙන්. කුඩා තේ වතුහිමියෙකු සතු සාමාන්‍ය ඉඩම් ප්‍රමාණය අක්කරයකට වඩා අඩුයි.
දැන් ලංකාවේ සාමාන්‍ය තේ ඉඩම්හිමියා කියන්නේ ඔය වගේ කෙනෙක්. මේ වගේ කුඩා ඉඩම්හිමියෝ තමන් විසින්ම නිවාඩු පාඩුවේ දළු ටික කඩා ගන්නවා මිසක් ඒ වැඩේට වෙන කෙනෙක්ව කුලියට ගන්නේ නැහැ. එහෙම කුලී ගෙවලා ප්‍රමාණවත් ආදායමක් ලබා ගන්න බැහැ. සැලකිය යුතු පිරිසක් සමෘද්ධිලාභීන්. සමහර විට සති අන්තයේ දළු ටික තමන් විසින්ම කඩා ගන්න රජයේ සේවකයෙක්.
තේ ඉඩම් අක්කර කිහිපයක් තියෙන කෙනෙක් සැලකිල්ලට ගත්තත්, කුලියට හෝ අස්වනු හවුලට ශ්‍රමිකයින් යොදවා ගන්නවා මිස ස්ථිර ලෙස සේවකයින් බඳවා ගන්නේ නැහැ. එහෙම කළොත් කරන්නේ සමාගම් නොවන ලොකු තේ වතු හිමියෝ පමණයි. ඒ වගේ කෙනෙකුට වුනත් කුණු කොල්ලෙට ලාබ ශ්‍රමය ලබා ගත හැකි ශ්‍රම සැපයුමක් දැන් ලංකාවේ නැහැ. සමහර වෙලාවට දළු ටික කඩා ගන්න මනුස්සයෙක් හොයා ගන්න පණිවිඩ කීපයක් යවලා නොවඳිනා වැඳුම් වඳින්න වෙනවා.
මේ විදිහට ලොකු තේ වතු සමාගම් අකර්මන්‍ය වෙමින් කුඩා තේ වතු අංශය දියුණු වෙන්නේ ඇයි?
එකක් වතු අංශයේ සේවකයෝ වෘත්තීය සමිතිගත වී සිටීම. මේ හරහා ඔවුන් හදාගෙන තිබෙන ඒකාධිකාරය මගින් වතු අංශයේ සේවකයෝ කාලයක් තිස්සේ තේ මිල ඉහළ යන වේගයට වඩා වැඩි වේගයකින් තමන්ගේ වැටුප් වැඩි කරගන්න සමත් වී තිබෙනවා. එම වැටුප් වැවිලි සමාගම් වලට බරක්. ඊට අමතරව කාලයක් තිස්සේ ඩොලරය පහළින් තියාගෙන සිටීමේ බරත් කර්මාන්තයට දරන්න වෙනවා. මේ තත්ත්වයන් හමුවේ, තමන්ගේ වැඩේට තමන්ගේම ශ්‍රමය යොදවන කුඩා තේ වතුහිමියන්ට කර්මාන්තය තුළ රැඳී ඉන්න එක වඩා පහසු වී තිබෙනවා.
හැබැයි වෘත්තීය සමිතිගත වී සිටියා කියලා දිගුකාලීනව ශ්‍රමිකයින්ට සිදු වන යහපතක් නැහැ. අවසාන වශයෙන් දිගුකාලීනව ඔවුන්ට ලැබෙන්නේ ඔවුන්ගේ ආන්තික ඵලදායීතාවයට සමාන වැටුපක්. සමාජවාදී ආකෘතිය යටතේ වතු රජයසතු කළා කියලා ශ්‍රමිකයින්ගේ තත්ත්වය වඩා යහපත් වුනාද? අන්තිමට වුනේ ලාබ ලබපු වතු පාඩු ලබන තත්ත්වයට පත්වීම පමණයි. හැබැයි ඔය පාඩුව එකම පාඩුව නෙමෙයි.
ඉංග්‍රීසින් විසින් හඳුන්වා දී ලංකාවට ඉතිරි කර ගිය තේ කර්මාන්තය නිදහසින් පසුව ඉදිරියට ගියේ නැති තරම්. ඊට හේතුව කර්මාන්තය තුළ වූ රජයේ බලපෑමයි. මුල් යුගයේදී පොදුවේ "සිලෝන් ටී" සන්නාමය ඉංග්‍රීසින් විසින් ජනප්‍රිය කරලා තිබුණත් ඒ වගේ සන්නාමයක් අද ලෝක වෙළඳපොළ ජයගන්න ප්‍රමාණවත් නැහැ.
අදටත් ලංකාවේ තේ වලින් වැඩි කොටසක් රටින් එළියට යන්නේ නිකම්ම තේ කොළ විදිහට. මේ තේ කොළ රටෙන් පිටතදී කාගේ හෝ සන්නාමයක් බවට පත් වෙනවා. ඩිල්මා තේ කියන්නේ මේ බැරියරය කඩා ගෙන ඉස්සරහට ගිය පුරෝගාමී මෙහෙවරක්. දැන් ඒ වගේ ශ්‍රී ලාංකික සන්නාම ගණනාවක් තිබෙනවා. ස්ටාර්බක් කෝපි වගේ දැවැන්ත සන්නාමයක් හදාගන්න ඩිල්මා සමාගමට හෝ වෙනත් එවැනි සමාගමකට හැකි වී නැහැ. හැබැයි නිකම්ම තේ කොළ රටෙන් එළියට යවන එකට සාපේක්ෂව මෙය ලොකු දෙයක්.
ඩිල්මා කියන්නේ තේ වවන සමාගමක් නෙමෙයි. කොළඹ තේ වෙන්දේසියෙන් තේ කොළ මිල දී ගෙන එම තේ කොළ සහ වෙනත් තේ කොළ තමන්ගේ සන්නාමය යටතේ අගය එකතු කර විකුණන සමාගමක්. එම සමාගම ප්‍රමාණාත්මකව දැවැන්ත සමාගමක් නෙමෙයි. සේවකයෝ 624ක් ඉන්න සාපේක්ෂව පොඩි සමාගමක්. සතියකට වරක් රුපියල් බිලියන 160ක පමණ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කරන රටක රුපියල් බිලියන 11ක වාර්ෂික පිරිවැටුමක් තිබෙන සමාගමක් කියන්නේ ප්‍රමාණාත්මකව පොඩි සමාගමක්. ඒ වගේ පොඩි සමාගමකට රටේ තේ කර්මාන්තයේ නියැලෙන ශ්‍රමිකයන්ගේ ජීවන තත්ත්වය ලොකුවට වෙනස් කරන්න බැහැ. හැබැයි කර්මාන්තයේ පුරෝගාමියෙකු වීම හරහා විශාල ගුණාත්මක වෙනසකට මුල පුරන්න පුළුවන්.
ඇඟලුම් කර්මාන්තයේදී ටික කලක සිට "සදාචාරාත්මක ශ්‍රමය" වගේ දේවල් වලට වැඩි අවධානයක් යොමු වී තිබෙනවා. මෙය සාපේක්ෂව අලුත් ප්‍රවණතාවක්. ඩිල්මා සමාගම "සදාචාරාත්මක" කියන වචනය යොදා ගන්නේ ඒ සන්දර්භයේම නෙමෙයි. ඒක ඊට වඩා පරණ කතාවක්.
එක පැත්තකින් මේක ඔවුන්ගේ සන්නාමය ජනප්‍රිය කර ගැනීම සඳහා යොදාගෙන තිබෙන සාර්ථක උපාය මාර්ගයක්. මේ හරහා ඔවුන් අහන්නේ "සිලෝන් ටී" කියන සන්නාමය නිසා ලැබෙන ව්‍යාපාරික වාසිය ලංකාවට නොලැබී වෙන රටකට ලැබෙන එක කොයි තරම් සදාචාරාත්මකද කියන ප්‍රශ්නය. මේ පුරෝගාමී කාර්යයේ වාසිය අනෙකුත් ශ්‍රී ලාංකික තේ නිෂ්පාදකයින්ටත් ලැබෙනවා.
මෙරිල් ප්‍රනාන්දුට සහ පවුලේ සාමාජිකයින්ට කොටස් හිමිකම් තිබෙන හා ඔවුන් විසින් කළමනාකරණය කරන වෙනත් සමාගම් තිබෙනවා. ඒ ඇතැම් සමාගම් සතුව තේ වතු තිබෙනවා. කහවත්ත ප්ලාන්ටේෂන්ස් සමාගම එවැනි සමාගමක්. එහෙත් එම සමාගම පසුගිය කාලය පුරාම ලාබ වලට වඩා පාඩු ලැබූ සමාගමක්. කොටස් වලින් සැලකිය යුතු ප්‍රමාණයක්ද එම සමාගමට දුන් ණය වෙනුවෙන් හිලවුවට ලබා දී තිබෙන කොටස්. මහා පරිමාණ වැවිලි සමාගම් කියන්නේ ලොකු අනාගතයක් තිබෙන ව්‍යාපාර නෙමෙයි. එවැනි සමාගම් වලට බංකොලොත් නොවී ඉන්නනම් මිලෙන් නොව ගුණාත්මක භාවයෙන් තරඟ කරන්නම වෙනවා. ලංකාවේ ශ්‍රමයේ මිල එක්ක මිලෙන් තරඟ කරන්න අමාරුයි. ගුණාත්මක භාවයෙන් තරඟ කරනවා කියන්නේ සන්නාම හදාගන්න වෙනවා.
ඩිල්මා සමාගම කියන්නේ මෙම අභියෝගය ජයගත් සමාගමක්. ලංකාවට අවශ්‍ය වන්නේ තවතවත් මේ වගේ සමාගම්. 2021/22 මූල්‍ය වර්ෂයේ එම සමාගමේ කොටස් හිමියන්ගේ ලාබය 34%ක්. ඒ ලාබය ලබාගෙන තියෙන්නේ ශ්‍රමය සූරා කාලා නෙමෙයි. සමාගමේ එක් සේවකයෙකුට ගෙවා තිබෙන වාර්ෂික වැටුප් හා ප්‍රතිලාභ ප්‍රමාණය රුපියල් මිලියන දෙකකට වඩා වැඩියි. ඒ කියන්නේ මේ සමාගමේ බොහොමයක් සේවකයෝ ආදායම් බදු ගෙවන්නෝ. මෙරිල් ප්‍රනාන්දුගේම සමාගම් වල කොටස් හැරුණු විට ප්‍රධානම කොටස් අයිතිකරු සේවක අර්ථසාධක අරමුදල. ඒ කියන්නේ ඩිල්මා සමාගම වැඩි වැඩියෙන් ලාබ උපයද්දී ඒ ලාබ සේවක අර්ථසාධක අරමුදලේ සියලුම සාමාජිකයින් අතරද බෙදී යනවා කියන එක.
වෙළඳපොළක් කියන්නේ එහෙම තැනක්. එක සමාගමක් වැඩියෙන් ලාබ උපයනවා කියා කියන්නේ අවසාන වශයෙන් මුළු රටටම වගේ ඒ ලාබ බෙදී යනවා කියන එක. ලංකාවේ ප්‍රශ්නය එහෙම සමාගම් වැඩිපුර නැති එක. හැදෙන සමාගමක වුනත් කකුලෙන් අදින්න මිනිස්සු වැඩි එක.
ඊයේ රාත්‍රියේ අපේ ගෙදර තිබ්බ මිතුරු හමුවකදී ඩිල්මා තේ ගැනත් සාකච්ඡා වුණා.
ReplyDeleteඑක මිතුරෙකුට අනුව චීනයේදී ප්‍රසිද්ධ අවන්හල් ජාලයක තිබෙන 'ඇනවුම් කල හැකි ආහාර ලැයිස්තුවක'ත් 'ඩිල්මා තේ' තිබෙනවාලු.
අනෙක අනූගණන්වල මේ ආයතනයට ගත් මුද්‍රණ යන්ත්‍රයක් ගැනයි. විශාල පිරිවැයක් දරලා ඒ මුද්‍රණ යන්ත්‍ර ගෙන්වාගෙන තියෙන්නේ, හැම ඇසුරුමක්ම පෙනුමින් එක හා සමානව තිබීම 'සන්නාමයක්' හදා ගැනීමේදී අතිශයින්ම වැදගත් නිසාය කියලා- මෙරිල් මහතාණන්ම පැවසුවාලු.
මෙරිල් ප්‍රනාන්දු කියන්නේ තේ කර්මාන්තයට එහා ගිහින් තමන්ගේ සමාජ වගකීම ඉටු කරපු මනුස්සයෙක්. ඒ ගැන අද්දැකීමෙන් කියන්න පුලුවන්.
ReplyDeleteවසර ගනනාවක් තිස්සේ තමන්ගේ ලාබයෙන් කොටසක් වියදම් කරමින් ශ්‍රී ලංකාව තුල ජීවත් වෙන මුද්‍රිත පොත් පත් කියවාගත නොහැකි අය සඳහා පොත් ප්‍රතිනිෂ්පාධනය සඳහා විශාල මුදලක් වියදම් කලා. මේ විතරක් නෙවෙයි. තවත් මේවගේ බොහෝ දේ උදාහරන විදිහට කියන්න පුලුවන්.
කප් වසන්තගේ හිත රිදෙයි
ReplyDeleteදැන් අළුත් කතාවක් ප්‍රචාරය කරන්න උත්සාහ කරනවා, වතු කම්කරුවන්ගේ ඉතිහාසය වසර 200ක් කියලා.
ReplyDeleteඅපි නං බොන්නේ අක්බාර් බ්‍රදර්ස්ලාගේ හලාල් තේ.
ReplyDeleteහොඳට කරුණු හොයාගෙන ලියපු පෝස්ට් එකක් ඉකෝනො ඔබට ස්තූතියි හැබැයි මේ මෙරිල් ප්‍රනාන්දු මහතාගේ මරණය ඉතාම සූක්ෂ්ම ලෙස කරපු සාපරාධී ඝාතනයක් බවත් රාජපක්ෂ පවුල මේ ඝාතනය පිටුපස සිටින බවටත් කටකතාවක් යනවා ඇත්ත ද දන්නේ නැහැ, ඒ වගේම ඉන්දියාව සමග ලංකාව අලුත් ඉන්ධන නල මාර්ගයක් සම්බන්ධ කරගෙන ලංකාවට නල මගින් ඉන්දියාවේ සිට ඉන්ධන ආනයනය කිරීමට සූදානම්ව බව ඉන්දීය මාධ්‍ය අනාවරණය කළා මේ ගැන මොකද හිතන්නේ? ලංකාවට වාසිදායක ද? මම හිතන්නේ අවාසිදායක වන බව ගොඩක් අය දැඩිව විවේචනය කරන නිසා ඒ ගැන
ReplyDeleteලංකාව තුල ගම කියන සාධකය මැද පන්තිය සහ කොළඹ ආර්ථික විද්‍යාඥයොන්ට කවදාවත් හරියට කියවගන්න බැරි දෙයක්.
ReplyDeleteගම් වල මිනිස්සුන්ට සල්ලි තියෙනවා. හැබැයි ඔවුන් සල්ලි තියෙන බව පෙන්නන්නෑ.
ඔවුන් කෑෂ් ෆ්ලෝ සංකල්පය විශ්වාස කරන්නෑ. ඔවුන් විශ්වාස කරන්නේ කෑෂ්ස්ටොක් සංකල්පය.
ඔවුන් මෙච්චර කාලයක් කළේ සල්ලි ඉන්වෙස්ට් කරනවට වඩා බැංකු වල සේව් කරන එක.
ඔවුන්ට ආදායම් තියෙනවා. තමන්ගේ රැකියා තියෙනවා. ඒ වගේම සැලකිය යුතු ප්‍රමාණයේ ඉඩම් තියෙනවා.
ඒ ඉඩම් වල ගම්මිරිස්, පොල් වාර වලට නිශ්චිත සැලකිය යුතු ආදායම් එනවා. මේ සල්ලි ඔවුන් කරන්නේ බැංකු වල දාන එක.
අනික ඔවුන්ගේ වියදම් ඉතා සීමිතයි.
ඔවුන් විශාල ගෙවල් හදන්නෑ.
ලොකු වාහන ගන්නෑ.
ආහාර වියදම් කොළඹට වඩා කිහිප ගුනයකින් අඩුයි. ආහාර නොමිලයේ සපයගන්න පුලුවන් හැකියාවත් වැඩියි.
ඔවුන්ගේ ලිවිං කොස්ට් එක ඉතා අඩුයි.
මේක හරියටම කියවගත්තේ පිරමීඩකාරයො, ඒ අනුව ගම්බද ප්‍රදේශවල ජනතාවගේ ආදායම විශාල වශයෙන් පීරමීඩ ජාවාරමට අහුවෙලා සූරාකෑමට ලක්වන බව අවබෝධ කරගෙන ඒකෙන් ආරක්ෂා වීමට ජනතාව දැනුවත් කරන වැඩපිළිවෙළක් රටට අත්‍යවශ්‍ය කාරණයක් නේද?