වෙබ් ලිපිනය:

Sunday, September 25, 2022

තාරකා යුද්ධය


අනෙක් හැම ජීවියෙක්ම වගේම මිනිස්සුත් කරන හැම දෙයක්ම වගේ කරන්නේ තමන්ගේ පැවැත්ම වෙනුවෙන්. පරිණාමයේ නීති අනුව එය එහෙම විය යුතුමයිනේ. තමන්ගේ පැවැත්ම ගැන නොහිතන ජීවීන්ව පරිණාමය විසින් ඉතිරි කරන්නේ නැහැ. 

තමන්ගේ පැවැත්ම ගැන හිතන මිනිස්සුන්ට නිරන්තරයෙන් තමන්ගේ පැවැත්මට අභියෝග කළ හැකි සජීවී හෝ අජීවී සතුරන් ගැන අවධානයෙන් ඉන්න වෙනවා. අනතුරු කලින්ම හඳුනාගෙන සැලසුම්සහගත ලෙස ප්‍රතික්‍රියා දක්වන්න වෙනවා. 

තමන්ගේ පැවැත්මට හානියක් සේ පෙනෙන ඕනෑම සජීවී හෝ අජීවී සතුරෙක්ව විනාශ කරන්න මිනිස්සු පැකිලෙන්නේ නැහැ. අසල්වැසියා ගැන, සමාජය ගැන, පරිසරය ගැන වගේ වෙනත් හැම දෙයක් ගැනම තියෙන මිනිස්සුන්ගේ ආදරය පිටුපස තිබෙන්නේ තමන්ගේ පැවැත්ම සඳහාම අවශ්‍ය වන සහජීවනයට වඩා වැඩි දෙයක් නෙමෙයි. 

ආර්ථික හා සමාජයීය වර්ධනයේ පහළ අදියරකදී මේ සහජීවනය තමන් වටා ඉන්න කුඩා කවයකට සීමා වෙනවා. සතුරෝ වෙන්නේ ළඟපාතම ඉන්න අය. ළඟින්ම ඉන්න අය එක්ක සම්මුතියක් ඇති කරගෙන ටිකක් ඈතින් ඉන්න අයගේ තර්ජන වලට සාමූහිකව මුහුණ දෙන එක තරමක් දියුණු මට්ටමක්. හැබැයි බොහෝ සත්තුත් මේ වැඩේ කරනවා. 

සමාජයක් ලෙස දියුණු වෙනවා කියන්නේ මේ සමීප කවය පුළුල් කරගන්නවා කියන එකයි. ආර්ථික වර්ධනය හා එයට සමගාමී තාක්ෂණික දියුණුව විසින් මේ කවය පුළුල් කර ගැනීම පහසු කරනවා. අද ලෝකයේ දෙකොනක ඉන්න දෙදෙනෙකුට සමීපව සිටීම ඇතැම් විට අහළ පහළ ගෙවල්වල අය එක්ක සමීපව ඉන්නවාටත් වඩා පහසුයි. 

සමීප කවය පුළුල් වෙනවා කියන්නේ පොදු සතුරන් වඩ වඩා ඈත් වෙනවා කියන එකයි. අල්ලපු ගෙදර සතුරෙකු දිහා බලා නොසිට අල්ලපු ගෙදර අයත් එක්ක එකතු වී අල්ලපු ගමේ සතුරන් ලෙස බලා සිටීම සාපේක්ෂව දියුණු තත්ත්වයක්. රටම එකතු වී වෙනත් රටක සතුරන්ගෙන් ප්‍රවේශම් වෙන්න සැලසුම් කිරීම ඊටත් වඩා දියුණු මට්ටමක්. හැබැයි දැන් මිනිස්සුන්ට පහසුවෙන්ම ඒ මට්ටමෙන් ඔබ්බට හිතන්න පුළුවන්.

යුක්රේන යුද්ධය වගේ දේවල් අතරින් පතර සිදු වුනත්, දෙවන ලෝක යුද්ධයෙන් පසුව මිනිස් කණ්ඩායම් අතර ඒ ආකාරයේ මහා පරිමාණ යුද්ධ ඇති වී නැහැ. එහෙත්, පසුගිය දෙවසර තුළ ලෝකයේම මිනිසුන් එකතු වී මහා පරිමාණ ලෝක යුද්ධයක් කළා. ඒ කෝවිඩ් රෝගයට හේතු වන වෛරස සමඟ. යුද්ධය අවසන් නැතත් මේ වන විට සතුරා සමඟ සංහිඳියාවක් ඇති වී තිබෙනවා.

මිනිස් කණ්ඩායම් අතර මහා පරිමාණ යුද්ධයක් කියා කියන්නේ මිනිස් සංහතියම ක්ෂණිකව විනාශ වී යා හැකි එක් ආකාරයක්. කෝවිඩ් හදන වෛරස වැනි ක්ෂුද්‍ර ජීවී කණ්ඩායමකට වුවත් කෙටි කාලයකින් මිනිස් සංහතිය නැති භංගස්ථාන කර දමන්න පුළුවන්. කෝවිඩ් පැතිරුණු වේගය සමඟ එහි මරණ අනුපාතය 30-40% වැනි මට්ටමක තිබුණානම් සිදු විය හැකිව තිබුණු දේ ගැන සිතන්න.

පෘථිවියේ ජීවත් වන ඇහැට පෙනෙන සතුන් සියල්ලන්ම වගේ මිනිසුන් විසින් සිය අණසකට නතු කරගෙන ඇතත් ඇහැට නොපෙනෙන වෛරස, බැක්ටීරියා ආදිය මිනිස් තර්ජන හමුවේ සිය පැවැත්ම ආරක්ෂා කර ගැනීමට සමත්ව සිටිනවා. කෙටි ජීව කාලය නිසා, ඉතා ඉක්මණින් පරිණාමය වීමට මෙවැනි ක්ෂුද්‍ර ජීවීන්ට තිබෙන හැකියාව ඔවුන් සමඟ සටනකදී මිනිසුන්ට මුහුණ දෙන්න වන විශාල අභියෝගයක්.

අඩු සම්භාවිතාවක් ඇති දෙයක් වුවත්, පෘථිවියට පිටින් එන තර්ජනයක් හමුවේ මුළු මිනිස් සංහතියම අසරණ විය හැකියි. අභ්‍යාවකාශයෙන් පැමිණිය හැකි ජීවී සතුරු තර්ජන ගැන කිසිවෙකුට කිසිදු නිශ්චිත අදහසක් නැතත්, අජීවී සතුරන් ගැන යම් අදහසක් තිබෙනවා. පොළොවෙහි ගැටෙන විශාල උල්කාපාතයකට මිනිස් සංහතියම විනාශ කර දැමිය හැකියි. 

සෑම දිනකම ටොන් 100ක පමණ අභ්‍යාවකාශ අපද්‍රව්‍ය පෘථිවි වායුගෝලයට ඇතුළු වන නමුත් ඒවා පොළොවට වැටෙන්නට පෙර වායුගෝලය තුළදීම දැවී විනාශ වී යනවා. වසරකට පමණ වරක් මෝටර් රථයක ප්‍රමාණයේ ග්‍රහකයක් (Asteroid) වායු ගෝලයට ඇතුළු වන නමුත් එම ප්‍රමාණයේ අභ්‍යාවකාශ වස්තුවක් වුවත් පොළොවට වැටෙන්නට පෙර වායු ගෝලය තුළ දැවී යනවා. එහෙත්, ඊට වඩා ලොකු අභ්‍යාවකාශ වස්තුවක් වායු ගෝලයට ඇතුළු වුවහොත් එයින් යම් කොටසක් පොළොවට වැටෙන්නට පුළුවන්.

පෘථිවි පෘෂ්ඨයෙන් 70%ක් පමණම සාගර නිසා බොහෝ විට පොළොවට වැටෙන අභ්‍යාවකාශ වස්තු කොටසක් වුවත් වැටෙන්නේ මුහුදටයි. ගොඩබිමකට වැටුණත්, ජනාකීර්ණ නැති පෙදෙසකට වැටෙන්න තිබෙන ඉඩකඩ වැඩියි. එහෙත්, එසේ නොවන අවස්ථා තිබෙනවා. 

ඇමරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ වාසය කළ ඈන් හොජස් (Ann Elizabeth Fowler Hodges) 1954 නොවැම්බර් 30 දින දවල් ගෙදර සෝපාවේ ඇලවී කුකුළු නින්දක් දමාගෙන සිටියා. හරියටම දවල් 12:54ට, පෘථිවි වායු ගෝලයට ඇතුළු වී දැවී යාමෙන් පසුව ඉතිරිව තිබුණු රාත්තල් නවයක උල්කාෂ්ම කොටසක් ඇගේ වහලයේ අඩි තුනක හිලක් හදාගෙන ගේ ඇතුළට කඩා වැටුණා. පළමුව රේඩියෝව මත පතිත වුණු මේ උල්කාෂ්ම කොටස ඉන් පසුව බම්ප් වී ඇවිත් ඇගේ අතක සහ කකුලකද වැදී තැළුම් තුවාල හැදුවා.

ඉන් පසුව, 1992 ඔක්තෝබර් 9 වනදා පස්වරුවේ ඇමරිකාවේ නිවුයෝර්ක් ප්‍රාන්තයේ පීක්ස්කිල්හි නවතා තිබුණු මෝටර් රථයක් මතට රාත්තල් 27.7ක උල්කාෂ්ම කොටසක් වැටුණා. 2003 සැප්තැම්බර් 23 වෙනිදා ඇමරිකාවේ ලුවිසියානා ප්‍රාන්තයේ නිවු ඕලියන්ස් නගරයේ නිවසක වහලය කඩාගෙන රාත්තල් 44ක උල්කාෂ්ම කොටසක් වැටුණා. 

ලංකාවට වැටුණු උල්කාෂ්ම කොටස් සේ සැක කෙරෙන ද්‍රව්‍ය ගැන වසර කිහිපයකට පෙර වාර්තා වී තිබුණා. මතක හැටියට අදාළ කොටස් කොළඹ විශ්ව විද්‍යාලය විසින් ලබාගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා වෙනත් රටක විද්‍යාගාරයකට යවන කතාවක් වාර්තා වී තිබුණත්, ලංකාවෙන් යැවූ පළමු චන්ද්‍රිකාව ගැන වගේම ඒ ගැනත් ඉන් පසු අහන්න ලැබුණේ නැහැ. 

නාසා වෙබ් අඩවිය අනුව, වසර දෙදහසකට පමණ වරක් පාපන්දු පිටියක තරමේ උල්කාෂ්මයක් පොළොවට වැටී සැලකිය යුතු විනාශයක් කරනවා. පෘථිවි වායු ගෝලයට ඇතුළුවන මීටර 25කට වඩා කුඩා ඝන ද්‍රව්‍යයක් සාමාන්‍යයෙන් පොළොවට වැටෙන්නට පෙර දැවී යනවා. මීටර 25 සිට කිලෝමීටරය දක්වා ප්‍රමාණයේ ඝන ද්‍රව්‍යයක් වායු ගෝලයට ඇතුළු වූ විට උල්කාෂ්ම කොටස් පොළොවට වැටී යම් හානියක් කරන නමුත් එම හානිය අදාළ ප්‍රදේශයට සීමා වෙනවා. කිලෝමීටර 1-2 පමණ ඝන ද්‍රව්‍යයක් වායු ගෝලයට ඇතුළු වීමෙහි බලපෑම ලෝකයටම දැනෙන්න පුළුවන්. 

කිසියම් අභ්‍යවකාශ වස්තුවක් පොළොව හා ගැටෙන්න යන බව කලින් හඳුනා ගත හැකි වුවහොත්, සිදු විය හැකි විනාශයෙන් බේරෙන්න ගත හැකි පියවර මොනවාද? ලංකාවේ ආර්ථික අර්බුදය හමුවේ මෙන් අර්බුදය මුවවිටටම එන තුරු හිටියොත්නම් කරන්න ලොකු දෙයක් ඉතිරි වෙන්නේ නැහැ. උල්කාෂ්ම කොටස් ඔළුවට වැටෙන්න යද්දී කැටපෝල් වලින් විදලා බේරෙන්න බැහැ. විනාශය වෙන්න කලින් පෙර සූදානමක් අවශ්‍යයි.

මෙවැනි විනාශයකින් බේරීම සඳහා කාලයක් තිස්සේ යෝජනා වී තිබුණු පිළියමක් වන්නේ අදාල අභ්‍යවකාශ වස්තුව වෙත රොකට්ටුවක් යවා එහි වැද්දවීම මගින් ගමන් මාර්ගය වෙනස් කිරීමයි. විද්‍යා ප්‍රබන්ධ වලනම් මේ වැඩේ කරලා ගොඩක් කල්. හැබැයි ඇත්තටම එහෙම වැඩක් කවදාවත් කරලා තිබුණේ නැහැ.

ඉතිහාසයේ පළමු වරට මෙවැනි පරීක්ෂාවක් හෙට සිදු වෙනවා. 2021 නොවැම්බර් 24 දින නාසා ආයතනය විසින් අභ්‍යාවකාශ ගත කළ ඩාර්ට් (Double Asteroid Redirection Test -DART) අභ්‍යාවකාශ යානය හෙට (සැප්තැම්බර් 26) ඇමරිකාවේ නැගෙනහිර කලාපයේ වේලාවෙන් පස්වරු 7:14ට (ලංකාවේ වේලාවෙන් සැප්තැම්බර් 27 පාන්දර 4:44ට) සැලසුම්සහගත ලෙස ඩිමෝපස් (Dimorphos) ග්‍රහකයේ වද්දවා එහි ගමන් මග වෙනස් කරනවා. මෙය සජීවී ලෙස නැරඹිය හැකියි. 

8 comments:

  1. ඔබතුමා කඩේ යන්නේ කිරිලා පෙට්රොවිච්ටද? දුබ්රොව්ස්කිටද?
    මම නම් කිරිලා පෙට්රොවිච්ට

    ReplyDelete
  2. /ලංකාවෙන් යැවූ පළමු චන්ද්‍රිකාව / විනාශය වෙන්න කලින් පෙර සූදානමක් අවශ්‍යයි. /

    අපගේ ඉහ පිටේ වැටෙනා වියසනයන්
    දැකලා තමයි ඒ ගොල්ලොන්ගේ දිවැසින්
    යැව්වේ රොකට්ටුව ජනපතිඳුන්ගෙ පුතුන්
    පෙර සූදානමින්- අපේම සල්ලිවලින්!

    ReplyDelete
  3. ඉකොනෝ, ඔබ ලිපියේ පළමු ඡේදයේ - දෙවෙනි පේළියේ /ජීවීන්ව පරිමාණය විසින්/ කියන තැන පරිමාණය වදන පරිණාමය ලෙසින් නේද විය යුත්තේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, නිදි! නිවැරදි කළා.

      Delete
  4. ඔත්තුවට ස්තුතියි ඉකොන්. කොහෙවත් යන ඇස්ට්‍රොඩයකට ගැහුවට පස්සෙ ඒක collision course එකකට එයිද දන්නෙ නැහැ :D

    ReplyDelete
    Replies
    1. අපේ දරුවෙකුත් ඔය කතාවම කිවුවා. :)

      Delete
  5. කතිර යුද්ධයක් ආවා
    ග්‍රහයෙකුට චන්දෙ දුන්නා
    ඒ ග්‍රහයා නීච උනා
    රට වැසියෝ සැම කුපිත උනා

    හතර වටින් හඬ ආවා
    ග්‍රහයා පන්නමු කීවා
    ජනගඟ කොළඹට ඇදුනා
    බෙරේ වැවටත් හරිම හිනා

    ඇස්ටරොයිඩයක් ආවා
    දියවන්නාවට පාත් උනා
    තව එක පිම්මක් පැන්නා
    ජනපති පුටුවට මාරු උනා!

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: