වෙබ් ලිපිනය:

Friday, September 23, 2022

උද්ධමනය පිළිබඳ ජනප්‍රිය මිථ්‍යාව


උද්ධමනය ගැන විවේචනාත්මක ලෙස කතා කරන ගොඩක් අය විසින් කියන ජනප්‍රිය කතාවක් වන්නේ උද්ධමනය නිසා රටක මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය පහළට වැටෙනවා කියන එක. මේක මිථ්‍යාවක්. 

මේ කතාව මිථ්‍යාවක් කියන්නේ මම හිතලා කියන දෙයක් නෙමෙයි. පොදුවේ ආර්ථික විද්‍යාඥයින් එකඟ වන දෙයක්. අවශ්‍ය කෙනෙකුට "Inflation fallacy" කියන වචන ගූගල් කරලා බලන්න පුළුවන්. 

හැබැයි මේ මිථ්‍යා අදහස ලෝකය පුරාම ජනප්‍රියයි. මේ දවස් වල ලංකාවේ මේ අදහස ප්‍රවර්ධනය කරන්නේ සමාජවාදී කඳවුරේ අය පමණක් නෙමෙයි. ලිබරල් කඳවුරේ අයත් බරටම මේ වැඩේට දායක වෙනවා. 

දැන් මම මේ කියන්න හදන්නේ උද්ධමනය හොඳයි කියලවත්, උද්ධමනය බිය විය යුතු දෙයක් නෙමෙයි කියලවත්, උද්ධමනය හැකි ඉක්මණින් මුළු වැර යොදා පරාජය කළ යුතු දෙයක් නෙමෙයි කියලවත් නෙමෙයි. ඉතා පැහැදිලිවම උද්ධමනය පරාජය කිරීම වෙනුවෙන් මම පෙනී සිටිනවා. උද්ධමනය ඉතාම හානිකරයි. හැබැයි උද්ධමනය නිසා සමස්තයක් ලෙස රටක ජනතාවගේ මිල දී ගැනීමේ හැකියාව අඩු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ක්‍රය ශක්තිය අඩු වෙන්නේ නැහැ. 

උද්ධමනය නිසා වෙන්නේ කිසියම් රටක මුදල් ඒකකයක තිබෙන මිල දී ගැනීමේ හැකියාව හෙවත් ක්‍රය ශක්තිය අඩු වෙන එක.  කිසියම් මුදල් ඒකකයක ක්‍රය ශක්තිය අඩු වීම හා ඒ මුදල් ඒකකය භාවිතා කරන මිනිසුන්ගේ ක්‍රය ශක්තිය අඩුවීම කියා කියන්නේ කරුණු දෙකක්. මේ දෙක එකක් නෙමෙයි. 

ලංකාවේ මුදල් ඒකකය රුපියල්නේ. ලංකාවේ උද්ධමනය නිසා වෙන්නේ රුපියලේ ක්‍රය ශක්තිය අඩු වෙන එක. හැබැයි ඒ නිසා රුපියල් භාවිතා කරන මිනිස්සුන්ගේ ක්‍රය ශක්තිය අනිවාර්යයෙන්ම අඩු වෙන්නේ නැහැ. ඒ, සමස්තයක් ලෙස, රටේ මිනිස්සුන්ගේ වියදම් වැඩි වන තරමට ආදායම්ද වැඩි වන නිසා.   

රුපියලේ ක්‍රය ශක්තිය ගැනම කතා කළත්, ඇතැම් අවස්ථා වල නන්දලාල් වීරසිංහ, හර්ෂ ද සිල්වා වගේ අය පවා ගණන් වරද්දලා කතා කරනවා. උද්ධමනය 60%ක් කියා කියන්නේ දැන් මිල දී ගන්න පුළුවන් කලින් මිල දී ගත් බඩු ප්‍රමාණයෙන් 40%ක් පමණක්ද? 

නන්දලාල් වීරසිංහ වගේම හර්ෂ ද සිල්වාත් ඔය කතාව ඔය විදිහටම වගේ කියනවා මම දැකලා තියෙනවා. සමහර විට ප්‍රශ්නයේ බරපතලකම ඔළුවට දාන්න හිතාමතාම මෙහෙම කියනවා වෙන්න පුළුවන්. මේ කතාවේ අදහස නිවැරදි වුනත්, ගණන් වැරදියි. මේ කතාව ඇත්තනම්, උද්ධමනය 100% වුනොත් රුපියල් වලින් බඩු මිල දී ගන්නම බැරි විය යුතුයි!

දැන් උද්ධමනය 70%යි. ඒ කියන්නේ දැන් මිල දී ගන්න පුළුවන් කලින් මිල දී ගත් බඩු ප්‍රමාණයෙන් 30%ක් කියන එක නෙමෙයි. කලින් රුපියල් 100ක් ගිය බඩු මල්ලට දැන් රුපියල් 170ක් යනවා කියන එකයි. ඒ කියන්නේ දැන් රුපියල් 100කින් මිල දී ගන්න පුළුවන් කලින් රුපියල් 59කින් පමණ (=100/1.7) ගත්ත බඩු ප්‍රමාණය කියන එක. එහෙමත් නැත්නම් කලින් මිල දී ගත් බඩු ප්‍රමාණයෙන් 59%ක් කියන එක.

හරි. ගණන් වෙනස් කියමුකෝ! එහෙම වුනත් ගන්න පුළුවන් බඩු ප්‍රමාණය අඩු වෙලානේ. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ජීවන තත්ත්වය අනිවාර්යයෙන්ම පහළ ගිහින් කියන එක. මොකද උද්ධමනය නිසා මේ විදිහට වියදම් වැඩි වෙද්දී අනෙක් පැත්තෙන් ආදායම්ද වැඩි වෙන නිසා.

තනි පුද්ගලයෙක් ගත්තොත්, සමහර විට, උද්ධමනය නිසා වියදම් වැඩි වූ තරමට ආදායම් වැඩි වී නොතිබෙන්න පුළුවන්. හැබැයි සමස්තයක් ලෙස රටේ හැමෝම ගත්තොත් ඒක ඒ විදිහට සිද්ද වෙන්න බැහැ. මොකද කෙනෙකුගේ වියදමක් කියා කියන්නේ හැම විටම තවත් කෙනෙකුගේ ආදායමක් නිසා. වියදම් වැඩි වෙනවානම් කොහේ හෝ තැනක ඊට අනුරූප ආදායම් වැඩි වීමකුත් තිබිය යුතුයි.

මේ කතාව වඩා හොඳින් පැහැදිලි කර ගැනීම සඳහා අපි විදේශ ගනුදෙනු සියල්ල පැත්තකින් තියමු. දැන් ඩොලර් සම්බන්ධයක් නැහැ. ගනුදෙනු සියල්ල සිදු වෙන්නේ රුපියල් වලින්. වැඩේ තවත් සරල කර ගන්න රජයත් පැත්තකින් තියමු. රජයක් නැත්නම්, විදේශ ගනුදෙනුත් නැත්නම්, රට ඇතුළේ කාට හරි යමක් මිල දී ගන්න වෙන්නේ තවත් කෙනෙක් එය නිපදවා විකිණුවොත් පමණයි. ඒ නිසා, හැම විටකම රටේ එක් අයෙකුගේ වියදමක් තවත් අයෙකුගේ ආදායමක් වෙනවා. 

සමස්ත ආදායම = සමස්ත වියදම 

මේක අනිවාර්යයෙන්ම නිවැරදි විය යුතු සාම්‍යයක් (identity). රුපියල = ශත 100 වගේ තමයි. ප්‍රවාදයක් නෙමෙයි. 

කවුරු හෝ කෙනෙක් වියදමක් කරන්නේ කොහොමද? ඒ සඳහා, ඊට කලින් ආදායමක් උපයා තිබිය යුතුයි. එහෙම නැත්නම් ණය වී තිබිය යුතුයි. ආදායමක් උපයලා කියා කියන්නේ කිසියම් භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනයක් කරලා විකුණලා කියන එක. ණය වෙනවා කියන්නේ ඒ ණය දෙන පුද්ගලයා විසින් භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනයක් කරලා විකුණලා කියන එක. කොයි විදිහට සල්ලි ආවත් අනෙක් පැත්තෙන් භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනයක් වෙලා. එහෙමනම්, සමස්ත නිෂ්පාදනය සමස්ත ආදායමටත් සමාන විය යුතුයි. 

සමස්ත ආදායම = සමස්ත වියදම = සමස්ත නිෂ්පාදනය 

හැබැයි මෙය මුල් සාම්‍යය මෙන් හරියටම නිවැරදි නැති ආසන්න සාම්‍යයක් (near identity). මොකද කවුරු හෝ නිපදවන භාණ්ඩයක් බොහෝ විට ඒ මොහොතේම විකුණන්නේ නැහැ. සේවා වලටනම් මේ කතාව අදාළ නැහැ. සේවාවක් නිපදවන විටම එය විකිණීම හා පරිභෝජනය කිරීමද සිදු වෙනවා. භාණ්ඩ එහෙම නැහැ. ගබඩා කර තබා ගන්න පුළුවන්. 

නිපදවන භාණ්ඩයක් නොවිකුණා ගබඩා කර තබා ගෙන ඉන්න තුරු එය ආදායමක් වෙන්නේ නැහැ. ඒ නිසාම, වෙනත් අයෙකුගේ වියදමක් වෙන්නෙත් නැහැ. අනෙක් අතට මේ වගේ ගබඩා කර ගෙන හිටපු භාණ්ඩයක් විකිණූ විට ආදායමක් ලැබෙනවා. තවත් අයෙකුට වියදමකුත් යනවා. හැබැයි ඒ වෙලාවේ නිෂ්පාදනයක් වෙලා නැහැ. නිෂ්පාදනය වෙලා තියෙන්නේ ඊට කලින්. 

මේ හේතුව නිසා ඉහත සඳහන් ආසන්න සාම්‍යය පරිපූර්ණ සාම්‍යයක් කර ගන්න අප‍ට බඩු තොග (inventory) වෙනස් වීම් දිහා බලන්න වෙනවා. යම් කිසි කාලයක් තුළ මුළු රටේම සමස්තයක් ලෙස බඩු තොග ඉහළ ගිහින්නම් නිෂ්පාදනය ආදායමට වඩා වැඩියි. බඩු තොග අඩු වෙලානම් නිෂ්පාදනය ආදායමට වඩා අඩුයි. සමස්තයක් ලෙස බඩු තොග වල වටිනාකමේ වෙනසක් නැත්නම්, ඉහත ආසන්න සාම්‍යය පරිපූර්ණ සාම්‍යයක්.

ප්‍රායෝගිකව ඔය බඩු තොග වෙනස් වීම් ශුන්‍ය නැති වුනත් ඉතා කුඩායි. කුඩා වුවත්, ඒ කොටසත් එකතු කරලා අප‍ට ඉහත ආසන්න සාම්‍යය පරිපූර්ණ සාම්‍යයක් කළ හැකියි. 

සමස්ත ආදායම = සමස්ත වියදම = සමස්ත නිෂ්පාදනය + බඩු තොග වෙනස් වීම

දැන් මෙතැන උද්ධමනයේ සම්බන්ධයක් නැති බව පැහැදිලි විය යුතුයි. උද්ධමනය නිසා වියදම වැඩි වුනත්, අනිවාර්යෙයන්ම ඊට සමානව ආදායම්ද වැඩි වී තිබිය යුතුයි. මොකද එය සාම්‍යයක්. ඒ නිසා, උද්ධමනය වැඩි වුනා කියලා සමස්තයක් ලෙස රටේ මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය පහළ බහින්නේ නැහැ. ඒ වගේම ඉහළ යන්නෙත් නැහැ. (මෙය මෙහෙම නොවෙන්න හේතු තිබෙනවා. ඒවා පසුවට!)

උද්ධමනය නිසා ජීවන තත්ත්වයට සිදුවන බලපෑම කෙටිකාලීන එකක්. දිගුකාලීනව එහි කිසිදු හොඳ හෝ නරක බලපෑමක් නැහැ. දිගුකාලීනව ජීවන තත්ත්වය කෙරෙහි බලපාන්නේ රටේ සමස්ත නිෂ්පාදනයයි.

මේ කතා ඔක්කොම කිවුවේ රජය පැත්තකින් තියලානේ. හැබැයි එහෙම කරන්න බැරි බව කියන්නත් දෙයක් නෙමෙයිනේ. රජයේ බලපෑම අපිට නොසලකා හරින්න බැහැ. දැන් මේ සමතුලිතතාවය ඇතුළට රජය ආවාට පස්සේ වෙන්නේ කුමක්ද?

මෙහිදී මම රජය කියා කියන්නේ රජය විසින් කරන ව්‍යාපාර නෙමෙයි. මොනවා හෝ භාණ්ඩ හා සේවා නිපදවා විකුණන රාජ්‍ය ව්‍යාපාරත් ඔය ආකෘතිය ඇතුළේම විස්තර වෙනවා. ආකෘතිය ඇතුළේ නැත්තේ වෙළඳපොළේ නොවිකිණෙන රාජ්‍ය සේවාවන්. ඒවා මොනවාද කියන එක ප්‍රශ්නයක් කර ගත යුතු නැහැ. එය දේශපාලනික කරුණක්. ඔබට කැමති විදිහකට අර්ථ දක්වා ගන්න පුළුවන්. (මේ ලිපියේ කතා කරන සන්දර්භයේදී)

දැන් මේ වගේ වෙළඳපොළේ නොවිකිණෙන රාජ්‍ය සේවාවන් රාජ්‍ය ආදායමක් නෙමෙයි. නමුත් වියදමක් තිබෙනවා. උදාහරණයක් විදිහට ලංකාවේ රජය විසින් සපයන අධ්‍යාපනය, සෞඛ්‍යය, ජාතික ආරක්ෂාව වගේ දේවල් වලින් රජයට ආදායමක් ලැබෙන්නේ නැහැ. නමුත් වියදමක් තිබෙනවා. වියදමක් තිබෙනවානම්, ඒ වියදම ආවරණය වන ක්‍රමයකුත් තියෙන්න ඕනෑ. රජයේ වියදම් ආවරණය කර ගන්න සම්මත ක්‍රමය බදු අය කිරීම. ණය ගැනීම හා සල්ලි අච්චු ගැසීම තවත් ක්‍රම දෙකක්. 

රජයට බදු ලෙස ගෙවන්න වෙන්නේ රටේ මිනිස්සු උපයන ආදායමෙන් කොටසක්. ඒ කියන්නේ, රටේ නිෂ්පාදනයෙන් කොටසක්. ඒ නිසා, ඉහත ආකෘතියට රජය එකතු කළා කියලා රටේ සමස්ත ආදායම හෝ සමස්ත නිෂ්පාදනයේ වටිනාකම වෙනස් වෙන්නේ නැහැ. භාණ්ඩ හා සේවා නිපදවන පුද්ගලයින් හා සමාගම් පමණක් සැලකුවොත් සමස්ත වියදම සමස්ත ආදායමට වඩා අඩුයි. මොකද සමස්ත ආදායමෙන් කොටසක් බදු විදිහට හෝ ණය විදිහට රජයට දීලා. රජය විසින් වියදම් කරන්නේ ඒ කොටස.

රජය වියදම් කරද්දීත් රජයේ සේවකයින් වැනි යම් පිරිසකට ආදායමක් ලැබෙනවා. නමුත්, ඒ ආදායම් ලැබෙන්නේ ඔවුන් භාණ්ඩ හා සේවා නිෂ්පාදනයක් කර වෙළඳපොළේ විකුණලා නෙමෙයි. මෙතැනදී වෙන්නේ රජයෙන් බාහිර පුද්ගලයින් හා සමාගම් විසින් නිපදවන භාණ්ඩ හා සේවා වලින් කොටසක්ම රජය විසින් ඒ අයගෙන් අරගෙන රාජ්‍ය සේවකයින් වැනි අයට දෙනවා වගේ වැඩක්. 

රජයේ සේවකයෝ කියන්නෙත් රටේම මිනිස්සුනේ. එහෙමනම්, ඒ අයගේ ආදායම රටේ සමස්ත ආදායමට එකතු විය යුතු නැද්ද? 

අපිට අවශ්‍යනම්, ඉහත තර්කය අනුව යමින්, රජයේ සේවකයින් වැනි අයගේ ආදායම් සමස්ත ආදායමට එකතු කරන්න පුළුවන්. හැබැයි එහෙම කරද්දී භාණ්ඩ හා සේවා නිපදවා ලැබෙන ආදායමෙන් කොටසක් බදු විදිහට ගෙවපු අයගේ ආදායම් වලින් බදු කොටස අඩු කරන්නත් වෙනවා. මොකද ඒ කොටස ඇත්තටම ඒ අයගේ ආදායමක් වෙලා නැහැනේ. එහෙම කළාට පස්සේ නැවතත් රටේ සමස්ත ආදායම තිබුණු ප්‍රමාණයම තමයි. මොකද රජය විසින් බදු අය කර වියදම් කරද්දී ඒ වියදම් කාගේ හෝ ආදායමක් වුනත්, එහිදී වෙන්නේ එක් අයෙකුගේ ආදායම් අඩු කර වෙනත් අයෙකුගේ ආදායම් වැඩි කිරීමක් පමණයි. සමස්තය වෙනස් වෙන්නේ නැහැ. ඔය විදිහට භාණ්ඩ හා සේවා විකුණා ආදායම් උපයන අයගෙන් රජය ණය ගත්තත් වෙන්නේ ඕකමයි. 

මේ විදිහට රජය විසින් බදු අය කරද්දී හෝ ණය ගනිද්දී රජයට සම්බන්ධ නැති ගොඩක් අයගේ ජීවන තත්ත්වය පහළ යාමක් වෙනවා. මොකද ඔවුන්ට පරිභෝජනය කළ හැකි, ඔවුන් විසින් නිපදවා විකුණපු දේවල් වලින් කොටසක් තමයි රජය විසින් අරගෙන වෙනත් අයට බෙදා දෙන්නේ. ඒ දේවල් ලැබෙන අයගේ ජීවන තත්ත්වය ඉහළ යනවා. හැබැයි සමස්තයක් ලෙස ගත්තහම මේ රාජ්‍ය මැදිහත්වීම නිසා රටේ මිනිස්සුන්ගේ ජීවන තත්ත්වයේ වෙනසක් වෙලා නැහැ. මොකද මොන විදිහට බෙදුවත් ඒ බෙදලා තිබෙන භාණ්ඩ හා සේවා ප්‍රමාණය සමානයි. ඒ නිසා, මුලින් කියපු සාම්‍යය තව දුරටත් ඒ විදිහටම තිබෙනවා.

සමස්ත ආදායම = සමස්ත වියදම = සමස්ත නිෂ්පාදනය + බඩු තොග වෙනස් වීම

අපිට අවශ්‍යනම් රජයේ භූමිකාව වෙන් කරලා පෙන්වන්න පුළුවන්.

සමස්ත වියදම = රාජ්‍ය අංශයේ සමස්ත වියදම + පෞද්ගලික අංශයේ සමස්ත වියදම 

සමස්ත ආදායම = රාජ්‍ය අංශයේ සමස්ත ආදායම + (බදු වලට පෙර පෞද්ගලික අංශයේ සමස්ත ආදායම - බදු)

"රාජ්‍ය අංශයේ සමස්ත ආදායම = එකතු කර ගත් බදු" ලෙස සැලකුවොත්, 

රටේ සමස්ත ආදායම = බදු වලට පෙර පෞද්ගලික අංශයේ සමස්ත ආදායම

සල්ලි අච්චු ගැහුවහම කතාව වෙනස්. මොකද මෙහිදී රජය මැදිහත් වී කිසියම් පිරිසකගේ ආදායම වැඩි කරනවා. අලුතෙන් බඳවා ගන්න රාජ්‍ය සේවකයින් පිරිසක් කියා කියමු. නමුත්, ඒ වියදම රටේ වෙනත් අයගෙන් එකතු කර ගැනීමක් වෙන්නේ නැහැ. හැබැයි රජය මේ විදිහට සල්ලි අච්චු ගහද්දී යම් පිරිසකගේ ආදායම් ඉහළ ගිහින් ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ යනවා කියන එක පැහැදිලි දෙයක්නේ. මොකද අච්චු ගහපු සල්ලි වලින් වැටුප් ලබන රාජ්‍ය සේවකයෝ වගේ අය ඒ සල්ලි වියදම් කරලා භාණ්ඩ හා සේවා මිල දී ගන්නවා.

සල්ලි අච්චු ගැහුවා කියලා රටේ නිෂ්පාදනය වෙනස් වෙලා නැහැ. ඒ නිසාම, පෞද්ගලික අංශයේ සමස්ත ආදායම වෙනස් වෙලත් නැහැ. කලින් වගේ රටේ නිෂ්පාදනයෙන්, රටේ ආදායමෙන්, කොටසක් රජය විසින් බදු විදිහට අරගෙනත් නැහැ. ණය විදිහට අරගෙනත් නැහැ. එහෙමනම්, බැලූ බැල්මට පේන විදිහට රටේ මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය පහත වැටෙන්න විදිහකුත් නැහැ! ඒක වෙන්න පුළුවන්ද?

රජය අච්චු ගහලා දුන්න සල්ලි වියදම් කරද්දී යම් පිරිසකගේ ජීවන තත්ත්වය ඉහළ යනවා. නමුත්, ඒ වෙනුවෙන් මිලක් ගෙවපු කෙනෙක් පේන්න නැහැ. රටේ නිෂ්පාදනය වැඩි වෙලත් නැහැ. මේ වගේ දෙයක් වෙන්න බැහැනේ. බෙදෙන්නේ එකම භාණ්ඩ හා සේවා ටිකනම්, එක් අයෙකුගේ ජීවන තත්ත්වය ඉහළ යද්දී අනිවාර්යයෙන්ම තවත් අයෙකුගේ ජීවන තත්ත්වය පහළ යා යුතුයි. 

ඇත්තමට සල්ලි අච්චු ගහද්දී ඔය වැඩේ වෙනවා. ඒ කියන්නේ, බදු ගහද්දී වගේම, රජයට සම්බන්ධ නැති ගොඩක් අයගේ ජීවන තත්ත්වය පහළ යාමක් වෙනවා. ඔවුන්ට පරිභෝජනය කළ හැකි, ඔවුන් විසින් නිපදවා විකුණපු දේවල් වලින් කොටසක් රජය විසින් අරගෙන වෙනත් අයට බෙදා දෙනවා. ඒ දේවල් ලැබෙන අයගේ ජීවන තත්ත්වය ඉහළ යනවා. නමුත්, බදු ගහද්දී වගේ ඔය වැඩේ එක පාරටම හැමෝටම පේන්නේ නැහැ. පේන්න ටිකක් කල් යනවා. සමහර විට අවුරුදු දෙක තුනක්.

උද්ධමනය හැදෙන්නේ සල්ලි අච්චු ගහන මොහොතේදීමයි. හැබැයි ඒක පේන්න ගන්නේ අවුරුද්දකට දෙකකට හෝ සමහර විට තුනකට පස්සේ. මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය පහළ වැටෙන්නේ උද්ධමනය පේන්න පටන් ගන්න මොහොතේ නෙමෙයි. සල්ලි අච්චු ගහන මොහොතේ. උද්ධමනය පේන්න පටන් ගන්නවා කියන්නේ තමන්ගේ ජීවන තත්ත්වය පහත වැටී ඇති බව මිනිස්සුන්ට තේරිලා මිනිස්සු එයට ප්‍රතිචාර දක්වන්න පටන් අරන් කියන එකයි. 

රජය විසින් බදු වැඩි කරද්දී ඔය කරන්න හදන්නේ අපේ ජීවන තත්ත්වය පහත දමන එක කියලා මිනිස්සුන්ට වහාම තේරෙනවා. නමුත්, සල්ලි අච්චු ගහද්දී මිනිස්සුන්ට ඒක එක පාරට තේරෙන්නේ නැහැ. මිනිස්සුන්ට වහාම නොතේරුණත්, වෙන්නේ ජීවන තත්ත්වය ක්ෂණිකව පහත වැටෙන එකයි.

අපි හිතමු වී ගොවියෙක් හා පොල් ගොවියෙක් ගැන. වී ගොවියා වී විකුණලා පොල් ගන්නවා. පොල් ගොවියා පොල් විකුණලා වී ගන්නවා. වී ගොවියා වී විකුණද්දී මිල තීරණය කරන්නේ විකුණලා ගන්න සල්ලි වලින් පොල් මිල දී ගන්න ලැබෙයි කියන විශ්වාසයෙන්. පොල් ගොවියාත් එහෙමයි. 

රජය බදු වැඩි කරද්දී වී ගොවියාට වී විකුණා ගන්න පුළුවන් පොල් ප්‍රමාණයෙන් ටිකක් අඩු වෙනවා. ඇයි අතේ සල්ලි අඩු වෙලානේ. පොල් ගොවියාටත් ඒ වැඩේම වෙනවා. ඉතුරු වෙන වී ටික සහ පොල් ටික රජයෙන් වැටුප් ලබන රාජ්‍ය සේවකයා විසින් මිල දී ගන්නවා.

සල්ලි අච්චු ගහලා රාජ්‍ය සේවකයාගේ වැටුප් ගෙවුවහම වී ගොවියාගේ හෝ පොල් ගොවියාගේ අතේ සල්ලි අඩු වෙන්නේ නැහැ. හැබැයි රාජ්‍ය සේවකයා තමන්ට ලැබුණු සල්ලි වලින් වී හා පොල් මිල දී ගන්න නිසා වී හා පොල් වලින් කොටසක් අඩු වෙනවා. වී ගොවියාට හා පොල් ගොවියාට මිල දී ගන්න වෙන්නේ ඒ ඉතුරු වූ කොටස පමණයි. 

වී ගොවියා වී විකුණලා පොල් ගන්න යද්දී පොල් ගණන් ගිහින්. ගණන් ගිහින් නැත්නම් කඩේ පොල් නැහැ. ඒ නිසා, අතේ සල්ලි තිබුණත් කලින් හිතාගෙන හිටපු පොල් ප්‍රමාණය මිල දී ගන්න වෙන්නේ නැහැ. පොල් ගොවියාට වෙන්නෙත් ඒකමයි. ඒ අයගේ ජීවන තත්ත්වය පහත වැටිලා. තමන් ඇණගෙන කියලා මේ අයට තේරෙන්න පටන් ගන්නවා. හැබැයි ඒ වෙද්දී පරක්කු වැඩියි.

එක පාරක් ඇණගන්න වී ගොවියා හා පොල් ගොවියා දෙවන පාර ඒ විදිහටම ඇණගන්නේ නැහැ. තමන් විකුණන වී වල, තමන් විකුණන පොල් වල මිල ඉහළ දමනවා. එහෙම මිල වැඩි කරලා සල්ලි අච්චු ගැසීම නිසා පහළ ගිය තමන්ගේ ජීවන තත්ත්වය නැවත ප්‍රතිස්ථාපනය කර ගන්නවා. ඔන්න එතකොට උද්ධමනය හොඳින්ම පේන්න ගන්නවා. මේ විදිහට උද්ධමනය පේන්න ගන්නවා කියා කියන්නේ බොහෝ විට සල්ලි අච්චු ගැසීම නිසා පහළ ගිය භාණ්ඩ හා සේවා නිෂ්පාදකයින්ගේ ජීවන තත්ත්වය නැවත යථා තත්ත්වයට පත් වෙලා කියන එකයි. 

රටක ආර්ථිකය කියා කියන්නේ වී හා පොල් විතරක් නෙමෙයිනේ. ඒ දෙක විතරක්නම් සල්ලි අච්චු ගහලා කෙටි කාලයකින් ඔය වැඩේ වෙනවා. වී විකුණලා ඒ සල්ලි අරගෙන පොල් ගන්න යන පරක්කුව විතරයි. නමුත්, විශාල භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් හුවමාරු වන, උද්ධමනය නොවන හේතු නිසාත් ඒ භාණ්ඩ හා සේවා වල මිල අඩු වැඩි වන, සංකීර්ණ ආර්ථිකයක් තුළ තමන් නිපදවා විකුණන භාණ්ඩයට හා සේවාවට සාපේක්ෂව අනෙක් බඩු වල මිල සමස්තයක් ලෙස වැඩි වෙලා කියලා බොහෝ දෙනෙක්ට තේරෙන්න සැලකිය යුතු කාලයක් යනවා. ඒ කාලය තුළ පොල් ගොවියා කලින් මිලටම පොල් විකුණන්න පුළුවන්. වී ගොවියා කලින් මිලටම වී විකුණන්න පුළුවන්. රජයට ඒ අයට නොදැනෙන්න ඒ අයගෙන් "උද්ධමන බදු" අය කර ගන්න පුළුවන්. 

අපි ලංකාවේ වත්මන් සන්දර්භයට එමු. 2020-2021 කාලයේ විශාල සල්ලි අච්චු ගැසීමක් සිදු වුනා. අච්චු ගහපු සල්ලි ලබාගත් පිරිස් පහසුවෙන් තමන්ගේ ජීවන තත්ත්වය ඉහළ නංවා ගත්තා. නමුත් නිෂ්පාදනය ඉහළ ගියේ නැහැනේ. නිෂ්පාදනය වැඩි වුනේ නැත්නම්, කිසියම් පිරිසකගේ ජීවන තත්ත්වය ඉහළ යද්දී තවත් පිරිසකගේ ජීවන තත්ත්වය පහළ යාම විය යුතුමයිනේ. ගොවීන්, ධීවරයින් වගේ අයගේ ජීවන තත්ත්වය පහළ ගියා. සල්ලි අච්චු ගැසීම නිසා රුපියල බාල්දු වී ඇති බව නොදැන ඒ අය කලින් මිලටම මාළු, එළවලු විකිණුවා. නමුත් එහෙම විකුණලා ගත්ත සල්ලි වලින් ඔවුන්ට අපේක්ෂා කළ දේවල් මිල දී ගන්න ඉඩක් ලැබුණේ නැහැ. අවශ්‍ය දේවල් ගන්න හොයද්දී එක්කෝ බඩු නැහැ. අච්චු ගහපු සල්ලි වල වාසිය ලබපු අය ඒවා කලින්ම අරගෙන. නැත්නම් ඒ අයගේ ඉල්ලුම නිසා බඩු ගණන් ගිහින්.

මේ කතාව කිසියම් හෝ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයක් කරන රටේ කාගේත් කතාව. රජය විශාල ලෙස සල්ලි අච්චු ගහද්දී ඒ අයගේ ජීවන තත්ත්වය පහළ ගියා. ඒ අය රැවටුණා. වෙනත් පිරිසක් එහි වාසිය ගත්තා. හැබැයි තමන් ඒ විදිහට රැවටුණු බව මේ අය දැන ගන්නේ ටිකක් කල් ගිහින්. එහෙම දැනගත්ත ගමන්ම ඒ අය තමන්ට හිමි, සල්ලි අච්චු ගැසීම හරහා නැති කෙරුණු, ජීවන තත්ත්වය නැවත ලබා ගන්නවා. ඒක තමයි උද්ධමනය. ඒකෙන් ඒ අයගේ ජීවන තත්ත්වය තිබිය යුතු තැන දක්වා නැවත ඉහළ යනවා මිසක් අඩු වෙන්නේ නැහැ. හැබැයි අච්චු ගහපු සල්ලි වලින් ආතල් ගත්ත අයගේ ආතල් කුඩු වෙනවා. ඔන්න ඕකයි කතාව.

කතාව සම්පූර්ණ නැහැ. ඉතිරි කිරීම්, ණය ගැනීම් ආදිය ගැන මෙහිදී අවධානය යොමු කළේ නැහැ. විදේශ අංශය ගැන කතා කළේම නැහැ. ඒ දේවල් ගැන පසුව කතා කරමු.

18 comments:

  1. අම්මට සිරිගජ ගිං ගඟ වාගේ උද්ධමනය තව තර වෙනවා
    පුංචි සිංඤොගේ වැරහැලි ඇඳුමේ අන්ඩ තව තවත් වැඩි වෙනවා
    හත්තිලව්වෙ හැම මඟුලෙම වියදම බලා ඉද්දි ඉහළට යනවා
    ආදායම නං අපේ එතැනමයි, කනව නෙවෙයි අපි ලෙවකනවා!

    ReplyDelete
  2. මෙහිදී තියෙන භයානක තත්වේ කිසිම නිශ්පාදනයක් සිදු නොවන ක්ෂේත්‍ර වල අතල් කුඩු වීම නේද?

    ReplyDelete
    Replies
    1. 'කිසිම නිශ්පාදනයක් සිදු නොවන" කියන එක ටිකක් සැර වැඩි නිසා නිෂ්පාදනයේ සැබෑ වටිනාකමට වඩා ආදායමක් ලැබූ වගේ දෙයක් කියන්න පුළුවන්.

      Delete
  3. ' හැබැයි අච්චු ගහපු සල්ලි වලින් ආතල් ගත්ත අයගේ ආතල් කුඩු වෙනවා.'

    මේ කියන්නේ රාජ්‍ය අදායමෙන් සීයට 80 කට වඩා වියදම් වෙන රජයේ නිලධාරීන් ගැනද? එයාලගේ ආතල් නං කුඩු වෙලා කියලා පේන්නේ නැහැ හැබැයි.

    ReplyDelete
    Replies
    1. ඒ අය පමණක් නෙමෙයි. මාස් පඩි ගන්න මධ්‍යම පාන්තිකයෝ ගොඩක් ඉන්නේ ඔය ගොඩේ. ලංකාවේ පෞද්ගලික අංශයේ ශ්‍රමිකයින් කියලත් ගොඩක්ම කාර්යක්ෂම නැහැ. විශාල අකාර්යක්ෂම රාජ්‍ය අංශයක් පැත්තක තියෙද්දී එහෙම වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට බැංකු අංශය ගන්න පුළුවන්. රාජ්‍ය බැංකු වල අකාර්යක්ෂමතාවය ඉන් ඔබ්බට ගිහින් පෞද්ගලික බැංකු වලටත් යනවා. මොකද ලාබ ගැනීම සඳහා රාජ්‍ය බැංකු වලට වඩා පොඩ්ඩක් කාර්යක්ෂම වීම ප්‍රමාණවත්.

      Delete
    2. ඔබ කියන්නේ නිශ්පාදනය ප්‍රසාරණය නොවී මැද පංතිය පිම්බීම මේ අර්බුදයට ලොකු දායකත්වයක් දැක්වුවා කියා. එහෙම බැලුවොත් අපිට 70-80 වගේ කාලෙක ඉඳන් නැවත්පටන් ගැනීමක් කරන්න වෙනවා නේද?

      Delete
    3. 70-80 කාලයට සාපේක්ෂව නිෂ්පාදනය සැලකිය යුතු ලෙස ප්‍රසාරණය වෙලා තිබෙනවා. ඊට අනුරූපව රට තුළ වත්කම් හැදිලාත් තිබෙනවා. ඒ වත්කම් රුපියල් වත්කම් වීම හා රුපියල අධිප්‍රමාණය වීම නිසා එම වත්කම් වල වටිනාකම වැඩියෙන් පෙනීමත්, ඒ නිසා ජීවන තත්ත්වය සැබෑ තත්ත්වයට වඩා ඉහළින් ඇතැයි පෙනෙන්නට තිබීමත් එක් ප්‍රශ්නයක්. මේ මායාකාරී තත්ත්වය තුළ තමයි මධ්‍යම පන්තියේ පරිභෝජනය ඕනෑවට වඩා ඉහළ යන්නේ. දැන් එය නිවැරදි වෙනවා. එහෙම වුනා කියලා ඒ හේතුවෙන් 70-80 කාලයට වැටෙන එකක් නැහැ. මොකද නිෂ්පාදනයේ සිදු වූ සැබෑ වැඩිවීමක් තිබෙනවා. දෙවන ප්‍රශ්නය රටේ ආදායම් වැඩි වීමට අනුරූපව රජයේ ආදායම් වැඩි නොවීම. ඒ ප්‍රශ්නය ඉබේට විසඳෙන්නේ නැහැ. විසඳිය යුතුයි.

      Delete
  4. සල්ලි අච්චු ගැසීමත් සිමා වෙන කොට රාජ්‍ය අංශය කුඩා කිරීම හැර වෙන option එකක් නැතුව යනවා නේද? මොකද බදු වැඩි කිරීම ප්‍රායෝගිකව කරන්න පුළුවන් සිමාවන් තියනවා නේ.

    ReplyDelete
    Replies
    1. රාජ්‍ය අංශය කුඩා කරන එකෙත් ප්‍රායෝගික සීමාවන් තිබෙනවා. මොකක්වත් වුනේ නැත්නම් උද්ධමනය විසින් ප්‍රශ්නය විසඳයි. ඇත්තටම ප්‍රශ්නය ක්‍රය ශක්තිය අඩු වීම නොව ක්‍රය ශක්තිය ඕනෑවට වඩා වැඩි වී තිබීම. උද්ධමනය හරහා වෙන්නේ ප්‍රශ්නය විසඳෙන එක.

      Delete
    2. උද්ධමනය මගින් ප්‍රශ්නය විසඳීම කියලා ඔබ කියන්නේ පරිභෝජනය අඩු කරගෙන ප්‍රශ්නය විසදා ගැනීම ගැන ද? නමුත් එමඟින් නම්ය ඉල්ලුමක් තියෙන භාණ්ඩ හා සේවා නිපදවන කර්මාන්ත වලට කෙටි කාලීනව දැඩි පහරක් වදිනවා නේද? උදාහරණයක් ලෙස දේශීය සංචාරක කර්මාන්තය

      Delete
    3. පැහැදිලිවම. මොකද වැඩිපුර සල්ලි අච්චු ගහද්දී වැඩිපුර ප්‍රසාරණය වෙන්නේ නම්‍ය ඉල්ලුමක් තිබෙන අංශ. උද්ධමනය ආවහම ඒ අංශ වැඩි වේගයකින් කඩා වැටෙනවා.

      Delete
  5. මොක්ක්ද මේ z ස්කොර් එක, ලිපිය යටින් ප්‍රශ්නයක් දැම්මා , වේලාවක් තිබ්බොත් පිලිතුරක් සැපයිය හැකිද

    ReplyDelete
  6. ඉකොනො, පැහැදිලි කිරීමට ගොඩක් ස්තුති.
    මම exporter කෙනෙක්. මගෙ ආදායම වැඩි වෙලා තියනවා USD terms සහ LKR terms දෙකෙන්ම. එ නිසා මම ඉකොනො කියන දෙ අත්දකිනවා. මුදල් එකකය පා කලාම අපනයන වල තරගකාරිත්වය වැඩි වෙනව කියන එක මම පවුද්ගලිකව අත් විදිනවා. මම හිතන්නෙ මෙක හැමොම අතරට ගියාම හැම දෙනාම මොනවා හරි අපනයනය කරන්න උත්සහ කරයි. රජය කරන්න ඔනි පැත්තකට වෙල එකට උදව් කරන එක විතරයි(ආයිම පිස්සු කෙලින්නෙ නැතුව) හබැයි මගෙ ප්‍රශ්නය debt restrucring ගැන.

    https://www.youtube.com/watch?v=8idQeXHA_rY

    1) CBSL එකෙ timeline එක කියන විදියට 2023 Q2 වලදි තම creditors ල එක්ක agreement එකකට එන්නෙ. එතකොට CBSL එකෙන් කොහොමද කියන්නෙ 2022 DEC/2023JAN වගෙ IMF පලමු වාරිකය ලැබෙයි කියල?

    2) IMF සහය එන්න මෙච්චර කල් යනවා නම් අමාරුම කාලෙ ඉවරයි කියලා කියන්න තාම ඉක්මන් වැඩි නෙද? මොකද අපිට reserves නැති නිසා.

    ReplyDelete
    Replies
    1. 1. සමහර විට ණයහිමියන් සමඟ සාකච්ඡාව යම් කඩඉමක් පසු කළ විට පළමු වාරිකය ලැබෙනවා වෙන්න පුළුවන්.

      2. උද්ධමනය හා අදාළව එහි පීක් එක ඉවර වෙලා උද්ධමනය අඩු වෙන්න පටන් ගන්නවා. හැම දෙයක්ම හොඳ අතට හැරෙන්න කාලයක් යයි. වෙළඳපොළ හැසිරීම අනාගත අපේක්ෂාවන් එක්ක කලින්ම වෙනස් වෙනවා. ඒ නිසා, ආර්ථික අවපාතයක් එන්න කලින්ම ආර්ථිකයේ යම් නරක බලපෑම් ඇති වෙනවා. හොඳ පැත්තට යද්දීත් එහෙමයි.

      Delete
  7. සාමාන්‍යයෙන් තරමක් සහනදායී මට්ටමක ට (අපි කියමු 2019 ට ආපහු යනවා කියලා) එන එක මොනවගේ කාලයක වෙයිද

    ReplyDelete
    Replies
    1. මම හිතන හැටියට IMF වැඩ පිළිවෙලින් කරන්නේ ඒකයි. හැම දෙයක්ම පිළිවෙලට වුනොත්, 2025 පමණ වෙද්දී හරියන්න පුළුවන්. හැබැයි අවිනිශ්චිතතා ගොඩක් තිබෙනවා. (බොහෝ දුරට දේශපාලනික)

      Delete
  8. ඉකනො කියන දේ හරි. උද්ධමනය නිසාම ආර්ථිකයක් බිද වැටෙන්නෙ නැහැ. එහෙම වෙනව නම් ග්‍රාමීය ආර්ථිකය මේ වෙනකොට නැති වෙලා තියෙන්න ඕන. නමුත් ස්ථාවර ආදයම් ලබන රැකියාවක් කරන අයගෙ ආතල් දැන් කුඩු වෙමින් යන්නෙ.
    තේ දලු කිලෝ එකක් රු 300.00 - 330.00 අතර වෙනව. කිලෝ 1000.00 කඩන්න පුලුවන් හොදටම නඩත්තු කරන අක්කරයකින්. (දැන් අමාරුයි පොහොර නැති නිසා. නමුත් කිලෝ 500.00 - 600.00 පුලුවන්) බුලත් කොලයක් රු.6.50 විතර. සතියකට 2000.00 කඩන්න පුලුවන් වැල් 100කින් ලේසියෙන්ම. කැවෙන්ඩිශ් කෙසෙල් කිලෝවක් රු 100.00 අද. එක කැනක කිලෝ 40 නම් සුවර්. රට පුවක් ගෙඩියක් රු 8.00 ත් 9.00 අතර. ගෙඩි 10000 කඩන්න ගස් 100 ක් 120 ඇති. මේව වැට දිගට හිටවන්න පුලුවන් ලේසියෙන්ම. ආණ්ඩුවේ රැකියා හිරගේක ඉන්නවට වඩා කොච්චර නිදහස්ද?
    හැමෝටම ඉඩම් නැහැනෙ. ඒ නිසා කෙනෙකුට පුලුවන් ණය වෙලා ගෙයක් හදන වෙලාවෙ පොඩි ඉඩමක් හොයාගෙන වවන්න. ඒකෙන් ණය ගෙවන්න පුලුවන්. මේ ආතල් කුඩුවෙලා අඩ අඩා ඉන්නවට වඩා කරන්න දේවල් ගොඩක් තියෙනව. බිත්තර 200 දවසට ලැබෙන farm එකක් ගැන හිතන්නකො.
    ඔබට වැඩ කරන්නම වෙනව. නිෂ්පාදනය කින් තොර අනාගතයක් නැහැ.
    ඒ නිසයි මම උද්ධමනයට කැමති. රුපියල පා කරනවට කැමති. ඒක වැඩ කරන අපට උත්තේජනයක්. මගෙ postgraduate එකෙන් ගෙදර අයට කන්න දෙන්න බැරි බව ගොඩක් කලින් තේරුම් යාම සතුටක්. අවසානයටත් කියන්නෙ ඔබ නිෂ්පාදනයක් කරන්නම ඕන ආතල් කුඩු නොවී ඉන්නනම්.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: