Monday, January 15, 2018
රනිල් මෛත්‍රී දීගය කැඩිලාද?
පළාත් පාලන මැතිවරණයට පෙර රනිල්-මහින්ද හෝ මහින්ද-මෛත්‍රී සන්ධානගත නොවූයේ ඇයිද යන්න තේරුම් ගැනීම අපහසු නැත. එහෙත්, රනිල්-මෛත්‍රී සන්ධානයක් ඇති නොවූයේ ඇයි?
ප්‍රශ්නයට පිළිතුර තිබෙන්නේ අලුත් මැතිවරණ ක්‍රමයේය.
අපි මුලින්ම පසුගිය 2015 අගෝස්තු මැතිවරණ ප්‍රතිඵලයෙන් කතාව පටන් ගනිමු. එම මැතිවරණයේදී, උතුරු නැගෙනහිර දිස්ත්‍රික්ක හැර ඉතිරි දිස්ත්‍රික්ක 17න් නවයක වැඩිම ඡන්ද ලබාගත්තේ එජාපයයි. ඉතිරි දිස්ත්‍රික්ක අටෙහි වැඩි ඡන්ද ගත්තේ එජනිසයයි. මේ මැතිවරණයේදී එජාපය විසින් ඉහත අවසන් පාර්ලිමේන්තු මැතිවරණයේදී ලබාගත් ඡන්ද ප්‍රතිශතයට ඉතා ආසන්න ප්‍රතිශතයක් ලබා ගන්නට ඉඩ තිබේ. ශ්‍රීලනිප හා පොදුජන පෙරමුණ ලෙස බෙදී සිටින එජනිස කොටස් දෙක විසින් එකතුව වැඩිම වුණොත් ලබා ගනු ඇත්තේ එම මැතිවරණයේදී එක් එක් දිස්ත්‍රික්කයෙන් ලබාගත් ඡන්ද ප්‍රතිශතයයි.
පෙර ලිපියකින් පැහැදිලි කළ පරිදි, වැඩිම කොට්ඨාශ ප්‍රමාණයක වැඩි ඡන්ද ලබාගත හැකි පක්ෂයට අලුත් මැතිවරණ ක්‍රමය වාසිදායකය. සිංහල බහුතරයක් ජීවත් වන කොට්ඨාශ වල වැඩිම ඡන්ද ලබාගැනීමේ ශක්‍යතාවයක් ඇත්තේ එජාපයට හා පොදුජන පෙරමුණට පමණි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මෛත්‍රීපාල සිරිසේනගේ බලකේන්ද්‍ර තුළ වුවද ශ්‍රීලනිපයට පළමු තැනට එන්නට ලොකු ඉඩක් ඇති බව නොපෙනේ.
ශ්‍රීලනිපය බෙදී නොතිබුනත්, පාර්ලිමේන්තු මැතිවරණයේදී එජාපය පළමු තැනට පැමිණි ප්‍රදේශ වල වැඩිම ඡන්ද ලබා ගැනීමට ඉඩ තිබෙන්නේ එජාපයයි. එහෙත්, එජාපයට පාර්ලිමේන්තු මැතිවරණයේදී එජනිසය පළමු තැනට පැමිණි ප්‍රදේශ වල වැඩිම ඡන්ද ලබා ගැනීමටනම් එම ප්‍රදේශ වලදී පොදුජන පෙරමුණ අභිබවන්නට සිදු වේ. එජනිසයේ ඡන්ද පදනම සමස්තයක් ලෙස තරමක් අඩු වීමට ඇති ඉඩකඩ පැත්තකින් තිබ්බොත්, මෙහිදී වැදගත්ම සාධකය වන්නේ මෛත්‍රීපාල පාර්ශ්වයට එජනිස ඡන්ද පදනමින් කොපමණ හිමිවේද යන්නයි.
මේ ප්‍රමාණය එජනිස ඡන්ද වලින් 30-35%ක් පමණ වන්නට බොහෝ දුරට ඉඩ ඇති අතර එම ඡන්ද වලින් 65-70%ක් පමණ පොදුජන පෙරමුණ වෙත කැඩී යන්නට ඉඩ තිබේ. එහෙත්, ශ්‍රීලනිපය තනිව තරඟ නොකර එජාපය සමඟ සන්ධානගත වූයේනම් බොහෝ විට එජනිස ඡන්ද 80-85% පමණම පොදුජන පෙරමුණ වෙත යන්නටත් 15-20%ක පමණ ඡන්ද ප්‍රතිශතයක් පමණක් එජාප-ශ්‍රීලනිප සන්ධානය වෙත ලැබෙන්නටත් ඉඩ තිබුණේය.
ශ්‍රීලනිප හා එජාපය වෙනම තරඟ කරද්දී, එජාපය හා එජනිසය අතර පාර්ලිමේන්තු මැතිවරණයේදී වූ ඡන්ද පරතරය නැති වී එජාපය මුල් තැනට එන්නටනම්, අඩු වශයෙන් එම ඡන්ද වෙනසට සමාන ඡන්ද ප්‍රමාණයක් ශ්‍රීලනිපය වෙත ලැබිය යුතුය. එහෙත්, එජාප හා ශ්‍රීලනිප සන්ධානගත වූයේනම් ඒ සඳහා අවශ්‍ය වන්නේ පෙර කී ඡන්ද වෙනසින් අඩක් පමණි. ඒ, මෙහිදී පොදුජන පෙරමුණේ ඡන්දයක් අඩුවීමත් එජාප-ශ්‍රීලනිප පෙරමුණේ ඡන්දයක් වැඩිවීමත් යන කරුණු දෙකම එකවර සිදුවන බැවිනි. කෙසේ වුවත්, මේ අවස්ථා දෙකේදී ඡන්දදායකයින් හැසිරෙන්නට ඉඩ ඇති ආකාරයන්ගේ වෙනස්කම් සැලකූ විට මේ විකල්ප දෙකේ වැඩි වෙනසක් ඇති බවක් නොපෙනේ.
පාර්ලිමේන්තු මැතිවරණයේදී එජනිසය මුල් තැනට පැමිණි දිස්ත්‍රික්ක අටෙන් පහකදීම එජනිසය හා එජාපය අතර වූයේ 8% නොඉක්මවූ ඡන්ද ප්‍රතිශතයකි. මේ ඡන්ද ප්‍රතිශතය මෙවර මැතිවරණයේදී ශ්‍රීලනිපය විසින් ලබා ගන්නා බව ඉතා පැහැදිලි කරුණකි. එමෙන්ම, එජාපය මුල් තැනට පැමිණි දිස්ත්‍රික්ක වල එජනිසය මුල්තැනට පැමිණි ආසන වල (උදාහරණයක් ලෙස කොළඹ දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ප්‍රදේශ වල) පැවති ඡන්ද ප්‍රතිශතයද මීට වඩා විශාල නැත.
කෙසේ වුවද, හම්බන්තොට, මාතර හා මොනරාගල දිස්ත්‍රික්ක වලදී එජනිසය පිළිවෙලින් 18.2%කින්, 13.4%කින් හා 10.6%කින් එජාපයට වඩා ඉදිරියෙන් සිටියේය. මේ පරතරය නැති නොවන්නටනම් පොදුජන පක්ෂය විසින් එජනිස ඡන්ද පදනමෙන් පිළිවෙලින් 2/3ක්, 3/4ක් හා 4/5ක් ආකර්ෂණය කර ගත යුතුය. මාතර හා මොනරාගල කෙසේ වුවත් අඩු වශයෙන් හම්බන්තොටදී පොදුජන පෙරමුණට කොට්ඨාශ කිහිපයක වැඩිම ඡන්ද ලබා ගන්නට හැකි වන්නට ඉඩ තිබේ. එය වැළැක්විය හැක්කේ ශ්‍රීලනිපයට එජනිස ඡන්ද වලින් අඩු වශයෙන් 35%ක් රඳවාගත හැක්කේනම් පමණි. මෙය සිදුවන්නට හෝ නොවන්නට පුළුවන. අනෙක් අතට එජාපය හා ශ්‍රීලනිපය හවුලේ ඡන්දයට ඉදිරිපත් වුවද හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන බල ප්‍රදේශ කිහිපයක වැඩිම ඡන්ද එම හවුලට නොලැබී යාමේ අවදානම නැති වන්නේ නැත. ඒ හැරුණු විට, මේ මැතිවරණයේදී සිංහල බහුතරයක් සිටින අනෙකුත් ප්‍රදේශ වල මුල් තැනට එන්නට එජාපයට බාධාවක් ඇති බවක් නොපෙනේ.
රනිල්-මෛත්‍රී සන්ධානගත වීම හා නොවීම යන විකල්ප දෙකේ වෙනස කැපී පෙනෙන්නේ අලුත් ක්‍රමයට මන්ත්‍රී ධුර බෙදී යන ආකාරය පරීක්ෂා කිරීමේදීය.
මෙය පැහැදිලි කර ගැනීම සඳහා උදාහරණයක් ලෙස අපි තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව ගනිමු. අලුත් බෙදීම අනුව, එහි කොට්ඨාශ මන්ත්‍රීධුර 13කි. ඊට අමතරව ලැයිස්තුවෙන් අවම වශයෙන් තවත් මන්ත්‍රීවරු 8 දෙනෙකු පත් විය යුතු අතර මැතිවරණ ප්‍රතිඵලය අනුව මේ ගණන ඉහළ යා හැකිය.
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී තිස්සමහාරාම ආසනය තුළ ඡන්ද බෙදී ගියේ පහත පරිදිය.
එජනිස- 51.31%
එජාප- 38.66%
ජවිපෙ- 9.65%
වෙනත්- 0.38%
මෙවර තිස්සමහාරාම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ එජාප හා ජවිපෙ ඡන්ද ප්‍රතිශත මේ ගණන් වලට වඩා වැඩි වන්නට ඉඩ තිබේ. අපි ඒ බව අමතක කර, එජාප හා ජවිපෙ ඡන්ද ප්‍රතිශත එසේම තිබෙනු ඇති බවත්, එජනිස ඡන්ද වලින් 2/3ක් පොදුජන පෙරමුණටත් ඉතිරි 1/3 ශ්‍රීලනිප වෙතටත් යනු ඇතැයි උපකල්පනය කරමු. එවිට ඡන්ද බෙදීම පහත පරිදිය.
එජාප- 38.66%
පොපෙ- 34.21%
ශ්‍රීලනිප- 17.10%
ජවිපෙ- 9.65%
වෙනත්- 0.38%
මේ ආකාරයෙන් සමස්ත ඡන්ද බෙදී ගියොත් බොහෝ විට එජාපයට තිස්සමහාරාම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොට්ඨාශ 13 තුළම වැඩි ඡන්ද ලබා ගැනීමට හැකි වේ. ඒ අනුව, එජාපයට මන්ත්‍රීධුර 13ක් හිමි වේ. සමානුපාතික ක්‍රමයට මන්ත්‍රීධුර 21 බෙදී යා යුත්තේ පහත පරිදිය.
එජාප- 8
පොපෙ- 7
ශ්‍රීලනිප- 3
ජවිපෙ- 2
එහෙත්, එජාපය දැනටම මන්ත්‍රීධුර 13ක් හිමි කරගෙන ඇති නිසා මුළු මන්ත්‍රීධුර ගණන 25 දක්වා ඉහළ යයි. ඒ මෙසේය.
එජාප- 13
පොපෙ- 7
ශ්‍රීලනිප- 3
ජවිපෙ- 2
මේ අනුව මුළු ඡන්ද වලින් 38.66%ක් පමණක් ලබාගත් එජාපය ශ්‍රීලනිපය නැතුවම තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ බහුතර බලය ලබාගෙන තිබේ.
යම් හෙයකින් ශ්‍රීලනිපය එජාපය හා එක්ව තරඟ කර ශ්‍රීලනිප ඡන්ද සියල්ලම එජාපයට එකතු වුවහොත් සිදුවන්නේ කුමක්ද?
එවිට ඡන්ද ප්‍රතිශත පහත පරිදිය.
එජාප/ශ්‍රීලනිප - 55.76%
පොපෙ- 34.21%
ජවිපෙ- 9.65%
වෙනත්- 0.38%
මෙහිදී, කොට්ඨාශ මන්ත්‍රීධුර 13ම එජාප-ශ්‍රීලනිප හවුලට හිමිවනු ඇති අතර නාමයෝජනා පිළියෙළ කරන විට එයින් 2ක් හෝ 3ක්වත් ශ්‍රීලනිපයට ලබා දෙන්නට එජාපයට සිදුවනු ඇත. දැන් සමානුපාතික ක්‍රමයට මන්ත්‍රීධුර බෙදීයන්නේ පහත පරිදිය.
එජාප/ශ්‍රීලනිප - 11
පොපෙ- 7
ජවිපෙ- 2
එහෙත්, එජාප-ශ්‍රීලනිප හවුල මන්ත්‍රීධුර 13ක් දැනටමත් ලබාගෙන ඇති නිසා තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ අවසන් සංයුතිය පහත පරිදි වනු ඇත.
එජාප/ශ්‍රීලනිප - 13
පොපෙ- 7
ජවිපෙ- 2
හවුලේ ඉල්ලා එජාපයට හා ශ්‍රීලනිපයට ලැබී ඇත්තේ මන්ත්‍රීධුර 13ක් පමණි. එහෙත්, වෙන වෙනම ඉල්ලුවානම් මේ පක්ෂ දෙකට මන්ත්‍රීධුර 16ක් ලැබෙනු ඇත. අවස්ථා දෙකේදී උපකල්පිත එජාප-ශ්‍රීලනිප හවුලකට ප්‍රතිපක්ෂ පොදුජන පෙරමුණේ හා ජවිපෙ මන්ත්‍රීධුර ගණන් වෙනස් වී නැත. ඒ අනුව, වෙන්ව තරඟ කිරීම නිසා, එජාප-ශ්‍රීලනිප පක්ෂ දෙක එකතුව ලබාගන්නා මන්ත්‍රීධුර ගණන මුළු මන්ත්‍රීධුර ගණනේ ප්‍රතිශතයක් ලෙස 59% සිට 64% දක්වා ඉහළ යයි. ඒ මේ පක්ෂ දෙකේ ඡන්ද ප්‍රතිශත වල එකතුව 55.76% පමණක්ව තිබියදීය.
යම් හෙයකින් එජනිස ඡන්ද වලින් 80%ක්ම පොදුජන පෙරමුණට ලැබී සියලුම කොට්ඨාශ වල වැඩි ඡන්ද එම පක්ෂය විසින් හිමි කර ගත්තොත් සිදුවන්නේ කුමක්ද?
එවිට ඡන්ද බෙදී යන්නේ පහත පරිදිය.
පොපෙ- 41.05%
එජාප- 38.66%
ශ්‍රීලනිප- 10.26%
ජවිපෙ- 9.65%
වෙනත්- 0.38%
සමානුපාතික ක්‍රමයට මන්ත්‍රීධුර පහත පරිදි බෙදී යයි.
පොපෙ- 8
එජාප- 8
ශ්‍රීලනිප- 2
ජවිපෙ- 2
එහෙත්, කොට්ඨාශ සියල්ල ජයග්‍රහණය කර ඇත්තේ පොදුජන පෙරමුණ නිසා අවසන් සංයුතිය පහත පරිදි වේ.
පොපෙ- 13
එජාප- 8
ශ්‍රීලනිප- 2
ජවිපෙ- 2
මේ අවස්ථාවේදී, මුළු ඡන්ද වලින් 41.05%ක් ලබාගත් පොදුජන පෙරමුණට වෙනත් කිසිදු පක්ෂයක උදවු නොලබා තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවන්නට ඉඩ ලැබේ.
එහෙත්, මේ අවස්ථාවේදී එජාප-ශ්‍රීලනිප හවුලක් තිබුණානම් පොදුජන පෙරමුණේ මන්ත්‍රීධුර ගණන 13 සිට 8 දක්වා අඩුවී එජාප-ශ්‍රීලනිප හවුලේ මන්ත්‍රීධුර ගණන 10 සිට 13 දක්වා ඉහළ යනු ඇත. ඒ අනුව, එජාප-ශ්‍රීලනිප හවුලට තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවන්නට ඉඩ ලැබෙනු ඇත.
යම් හෙයකින් එජනිස ඡන්ද වලින් 75%ක් පමණ පොදුජන පෙරමුණට ලැබී ඉතිරිය ශ්‍රීලනිපයට ලැබුණොත් මේ දෙක අතර අතරමැදි තත්ත්වයක් ඇති වී කොට්ඨාශ මන්ත්‍රීධුර 13 එජාපය හා පොදුජන පෙරමුණ අතර බෙදී යා හැකිය. එවිට එජාපයේ හා පොදුජන පෙරමුණේ ඡන්ද ප්‍රතිශත ආසන්නව සමාන නිසා කොට්ඨාශ මන්ත්‍රීධුරද බොහෝ දුරට ආසන්න ලෙස, එනම්, 6:7 හෝ 5:8 ලෙස බෙදී යනු ඇත. මෙවැනි තත්ත්වයක් යටතේ මන්ත්‍රීධුර බෙදී යන්නේ පහත පරිදිය.
පොපෙ- 8
එජාප- 8
ශ්‍රීලනිප- 3
ජවිපෙ- 2
මේ තෙවන අවස්ථාවේදී එජාපයට හෝ පොදුජන පෙරමුණට තනිව බලය පිහිටුවිය නොහැකි වන අතර ශ්‍රීලනිපයට දුරස්ථ පාලකය හිමි වේ.
මෙහිදී තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව හා අදාළව සිදුවිය හැකි තත්ත්වයන් තුනක් අපි හඳුනාගත්තෙමු.
1. එජනිස ඡන්ද වලින් අඩු වශයෙන් 30-35% පමණ ප්‍රමාණයක් ශ්‍රීලනිපය විසින් ලබාගත්තොත් එජාපයට තනිව බලය පිහිටුවිය හැකිය. ඒ නිසා, මැතිවරණ සන්ධානයකින් එජාපයට විශේෂ වාසියක් නොලැබේ.
2. එජනිස ඡන්ද වලින් අඩු වශයෙන් 25% පමණ ප්‍රමාණයක් ශ්‍රීලනිපය විසින් ලබාගත්තොත් එජාපයට ශ්‍රීලනිපය සමඟ හවුලේ බලය පිහිටුවිය හැකිය. මේ අනුව, මැතිවරණ සන්ධානයක් තිබුණද නොතිබුණද සිදුවන්නේ එකම දෙයයි.
3. එජනිස ඡන්ද වලින් 20% පමණ දක්වා ශ්‍රීලනිප ඡන්ද පදනම අඩු වුවහොත්, පොදුජන පෙරමුණට තනිව බලය පිහිටුවිය හැකිය. එහෙත්, එජාප-ශ්‍රීලනිප මැතිවරණ සන්ධානයක් තිබුණානම් එම සන්ධානයට බලය පිහිටුවන්නට ඉඩ ලැබිය හැකිව තිබුණි.
මේ අනුව, අඩු වශයෙන් ඉහත 3 වන තත්ත්වය යටතේදී එජාප-ශ්‍රීලනිප සන්ධානයක් තිබීම එජාපයට වාසිදායකය.
කෙසේ වුවද, ඉහත 3 තත්ත්වය ඇති විය හැක්කේ තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව වැනි සීමිත තැන් කිහිපයකදී පමණි. එනම්, එජනිස කණ්ඩායම් දෙකේ ඡන්ද ප්‍රතිශත එකතුව 50% මට්ටම ඉක්මවන හෝ ඊට ආසන්න හා එජාප ඡන්ද ප්‍රතිශතයට වඩා අඩු වශයෙන් 10%ක් පමණවත් වැඩි තැන් වලදීය.
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී එජනිසය විසින් එවැනි වැඩි ඡන්ද පරතරයක් පවත්වාගත් ප්‍රදේශ ලෙස හෝමාගම, කැස්බෑව, ගම්පහ, දොම්පේ, බණ්ඩාරගම, හොරණ, ලග්ගල, බලපිටිය, කරන්දෙණිය, බෙන්තර-ඇල්පිටිය, රත්ගම, හබරාදූව, හක්මන, අකුරැස්ස, කඹුරුපිටිය, දෙවිනුවර, මුල්කිරිගල, බෙලිඅත්ත, තංගල්ල, තිස්සමහාරාමය, ගල්ගමුව, ආනමඩුව, වැල්ලවාය, කලවාන, කොළොන්න මැතිවරණ බලප්‍රදේශ හඳුනාගත හැකිය. මේ ආසන බොහොමයකද එජනිස ඡන්ද වලින් අඩු වශයෙන් 20-25% ප්‍රමාණයක්වත්, එනම් මුළු ඡන්ද වලින් 10-12% ප්‍රමාණයක්වත් මෙවර මැතිවරණයේදී ශ්‍රීලනිපය විසින් ලබාගන්නා බව ස්ථිරය. ඒ නිසා, හෝමාගම, කැස්බෑව, ගම්පහ, දොම්පේ, බණ්ඩාරගම, ලග්ගල, බලපිටිය, කරන්දෙණිය, බෙන්තර-ඇල්පිටිය, හක්මන, කලවාන වැනි ආසන වලද කොට්ඨාශ මන්ත්‍රීධුර වැඩි ගණනක් මෙවර එජාපයට හිමි වන්නට ඉඩ තිබේ.
එහෙත්, හොරණ, රත්ගම, හබරාදූව, අකුරැස්ස, කඹුරුපිටිය, දෙවිනුවර, මුල්කිරිගල, බෙලිඅත්ත, තංගල්ල, තිස්සමහාරාමය, ගල්ගමුව, ආනමඩුව, වැල්ලවාය, කොළොන්න වැනි තැන් වලදී පොදුජන පෙරමුණ කොට්ඨාශ මන්ත්‍රීධුර ලබාගැනීම සිදු නොවන්නටනම් එජනිස ඡන්ද වලින් අඩු වශයෙන් 35% පමණ, එනම් මුළු ඡන්ද වලින් 18-20% පමණ, ශ්‍රීලනිපය වෙත රැඳිය යුතුය. අකුරැස්ස, කඹුරුපිටිය, මුල්කිරිගල, බෙලිඅත්ත, තංගල්ල, වැල්ලවාය හා කොළොන්න වැනි තැන් වල එය එසේ නොවන්නට පුළුවන. එහෙත්, එය එසේ එසේ වී එම ප්‍රදේශ වල මුල් තැනට පොදුජන පෙරමුණ පැමිණේනම්, එජාප-ශ්‍රීලනිප සන්ධානගත වුවද තත්ත්වය වෙනස් නොවිය හැකිය.
අවසාන වශයෙන් කිව හැක්කේ එජාප-ශ්‍රීලනිප මැතිවරණ සන්ධානයකින් එම පක්ෂ දෙකෙන් එකකටවත් ලොකු වාසියක් ලැබීමට ඉඩක් නොතිබුණු බවයි.
වාසියක් නැත්නම් එවැනි සන්ධානයක අවාසි තිබේද?
අලුත් මැතිවරණ ක්‍රමය පෙර ක්‍රමයට සාපේක්ෂව පක්ෂයට වඩා පුද්ගලයාට තැන දෙන ක්‍රමයකි. එමෙන්ම, අලුත් කොට්ඨාශ බෙදීම් නිසා සෑම ප්‍රධාන දේශපාලන පක්ෂයකටම ග්‍රාමීය මට්ටමේ නායකයින් අලුතින් බිහි කරගන්නට සිදු වී තිබේ. සෑහෙන කලක් විපක්ෂයේ සිටීම නිසා එජාපයේ ග්‍රාමීය නායකයින් ක්‍රමයෙන් ක්ෂය වී ගොස් ඇති අතර ශ්‍රීලනිප ග්‍රාමීය නායකයින් දෙපිලකට බෙදී ඇත. ඒ නිසා, එම පක්ෂ තුනටම අලුත් ග්‍රාමීය නායකයින් බිහි කරගන්නට සිදුවී තිබේ. පළාත් පාලන මැතිවරණ බල ප්‍රදේශ වල කොට්ඨාශ අපේක්ෂකත්වය හරහා මේ පක්ෂ තුනෙන්ම අලුත් පිරිසකට ග්‍රාමීය නායකයින් ලෙස ඉදිරියට එන්නට අවස්ථාව සැලසී තිබේ.
එජාපය හා ශ්‍රීලනිපය සන්ධානගත වුවහොත් කිසියම් පළාත් පාලන බල ප්‍රදේශයක කොට්ඨාශ වලින් යම් ගණනක අපේක්ෂකත්වය ශ්‍රීලනිපයට පිරිනමන්නට එජාපයට සිදුවන අතර ප්‍රධාන වශයෙන්ම එජාප ඡන්ද වල පිහිටෙන් එම අපේක්ෂකයින් ජයග්‍රහණය කරනු ඇත. ඉන්පසුව, මෙවැනි ජයග්‍රාහී අපේක්ෂකයින් එම කොට්ඨාශ තුළ ඡන්ද පදනමක් හදාගෙන බලය තහවුරු කරගැනීම දිගුකාලීනව එජාපයට අවාසියකි. මෙය ලැයිස්තුවෙන් මන්ත්‍රීධුර ගණනක් වෙන් කිරීමට වඩා වෙනස් තත්ත්වයකි. එමෙන්ම, එවිට එවැනි කොට්ඨාශයක එජාප අපේක්ෂකයෙකුට මේ මැතිවරණය හරහා මතු වන්නට ඇති අවස්ථාවද නැති වී යයි. ශ්‍රීලනිපය පැත්තෙන් ගත්තත් එක් පැත්තකින් එජාපයේත්, අනෙක් පැත්තෙන් පොදුජන පෙරමුණේත් දේශපාලන බලය හමුවේ සිය බිම් මට්ටම ශක්තිමත් කර ගැනීමේ අවශ්‍යතාව කැපී පෙනේ. වෙනම තරඟ කිරීම මෙයට උදවුවකි.
මීට අමතරව මෙවර මැතිවරණ සන්ධාන ඇති නොවීමට ප්‍රධානම හේතුවක් වන්නේ දෙකට බෙදුණු එජනිසයේ එක් එක් කණ්ඩායමේ ශක්තිය ගැන කිසිවෙකුටත් නිවැරදි තක්සේරුවක් නොමැති වීමයි. මෙවර පළාත් පාලන මැතිවරණයේදී වෙනම තරඟ කර තමන්ගේ ශක්තිය හරියටම දැනගැනීම වඩා වැදගත් මැතිවරණයකදී අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ හෙට්ටු කිරීම පහසු කරයි.
මේ සියලු කරුණු අනුව, පළාත් පාලන මැතිවරණ වලට පෙර එජාප-ශ්‍රීලනිප සන්ධානයක් ඇති නොවීම තේරුම් ගත හැකිය. මේ වන විට මෛත්‍රී ප්‍රධාන ශ්‍රීලනිපය හා එජාපය වෙන වෙනම පළාත් පාලන ආයතන වලට තරඟ කරයි. ඒ අතර, මෛත්‍රී පාර්ශ්වය බැඳුම්කර ගනුදෙනුව ඇතුළු ආණ්ඩුවටට එරෙහිව ඇති දූෂණ චෝදනා ඉස්මතු කරයි. මෙයින් අදහස් වන්නේ රනිල් මෛත්‍රී සැබෑ විරසකයක්ද? එසේනම්, මැතිවරණයෙන් පසුව ආණ්ඩුවේ පාර්ශ්ව දෙක දෙමඟක යයිද?
පෙර විස්තර කළ කරුණු අනුව පැහැදිලි වන පරිදි මේ වෙලාවේ එජාපයට අවශ්‍ය වන්නේ එජනිස ඡන්ද හැකිතාක් සමානව පොදුජන පෙරමුණ හා ශ්‍රීලනිපය අතර බෙදීමයි. මැතිවරණ ප්‍රතිඵල ගණිතය අනුව මෙන්ම දිගුකාලීනවද එජාපයට වාසිදායක වන්නේ එවැනි බෙදීමකි. එමඟින් එජාපයට දිවයිනේ සියලුම සිංහල බහුතර ප්‍රදේශ වල කොට්ඨාශ මන්ත්‍රීධුර හිමිකර ගැනීමට ඉඩ සලසයි. එජනිස ඡන්ද අතිමහත් බහුතරයක් පොදුජන පෙරමුණ වෙත යාම මෙන්ම එසේ නොගොස් ශ්‍රීලනිපය වෙත රැඳීමද එජාපයේ යහපතට හේතු වන්නේ නැත. කෙසේවුවද, ප්‍රායෝගිකව සිදුවන්නට ඉඩ ඇත්තේ ප්‍රදේශ වැඩි ගණනක එජනිස ඡන්ද වලින් වැඩි කොටස මහින්ද පාර්ශ්වයට ලැබීම නිසා මේ වෙලාවේ මේ අපේක්ෂිත තුලනය සිදුවන්නේ මෛත්‍රී පාර්ශ්වය එජනිස ඡන්ද වලින් හැකිතාක් වැඩි ප්‍රමාණයක් ලබාගත් තරමටය.
අනෙක් අතට, ශ්‍රීලනිපය සමස්තයක් ලෙස මෙවර තෙවන තැනට පැමිණෙන බව පැහැදිලිය. එහෙත්, ඇතැම් තැන් වලදී එම පක්ෂය පොදුජන පෙරමුණ අභිබවා දෙවන තැනට පැමිණෙන්නටත්, තවත් ඇතැම් තැන් වලදී ජවිපෙටද වඩා අඩුවෙන් ඡන්ද ගනිමින් සිවුවන තැනට වැටෙන්නටත් ඉඩ තිබේ. මොනවා කිවුවත් ධුර කාලය අවසානයේදී සම්පූර්ණයෙන්ම දේශපාලනය අතහැර ගෙදරට වී සිටින්නට සූදානමක් ඇති බවක් නොපෙනෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පමණක් නොව ඔහු සමඟ තවදුරටත් රැඳී සිටින ප්‍රාදේශීය නායකයන්ගේද අනාගතය තීරණය වන්නේ මෙවර ශ්‍රීලනිපය විසින් ලබාගන්නා ඡන්ද ප්‍රතිශතය මත නිසා ඔවුන්ට අවශ්‍ය වන්නේද කෙසේ හෝ එජනිස ඡන්ද වලින් වැඩි ප්‍රමාණයක් රඳවා ගැනීමටය. හැකි කමක් ඇත්නම්, මුල් තැනට පැමිණීම කෙසේ වුවත්, පොදුජන පෙරමුණ අභිබවා දෙවන තැනට හෝ එන්නටය.
පසුගිය ජනාධිපතිවරණයට පෙර මහින්ද ආණ්ඩුවේ හොරකම් ගැන විශාල ලෙස කතා කළත් ඒ හොරකම් ඇල්ලුවේ නැති නිසා මෛත්‍රීපාලට මේ මැතිවරණදී මහින්දගේ හොරකම් ගැන නැවත කතා කළ නොහැකිය. එහෙත්, බැඳුම්කර ගනුදෙනුව ගැන කතා කිරීම හරහා ඔහු කරන්නේ ඡන්දදායකයින්ට පසුගිය ආණ්ඩුවේ හොරකම් ගැනද වක්‍ර ලෙස මතක් කිරීමයි.
මෙයින් ශ්‍රීලනිපයට ලැබෙන වාසි කිහිපයකි. එක පැත්තකින් ඔහු පෙන්වන්නට හදන්නේ රනිල් සමඟ ඉන්නේද මහින්ද සමඟ සිටි ආකාරයේම හොරු රැළක් බවයි. අනෙක් අතට ඔහු පෙන්වන්නේ මහින්දගේ හොරකම් අල්ලන්නට ඔහුට ප්‍රමාණවත් ඉඩක් නොලැබුණේ තවත් හොරු කණ්ඩායමක් වන එජාපය නිසා බවයි. මෙසේ පැරණි දූෂණ විරෝධී සටන් පාඨය ප්‍රතිචක්‍රීකරණය කරමින් ඔහු හදන්නේ දූෂණ විරෝධී ඡන්ද තමන්ගේ ගොඩට දමා ගැනීමටය.
කෙසේ වුවත්, සම්ප්‍රදායික ශ්‍රීලනිප පාක්ෂිකයාට පමණක් නොව සම්ප්‍රදායික ග්‍රාමීය එජාප පාක්ෂිකයාටද මහින්දගේ හොරකම් හෝ බැඳුම්කර හොරකම ප්‍රශ්නයක් නොවේ. ඒ නිසා, මේ කණ්ඩායම් හා අදාළව මෛත්‍රීගේ උත්සාහයෙන් වැඩක් වෙන්නේ නැත. නාගරික එජාප ඡන්දදායකයා බැඳුම්කර සිදුවීමට සංවේදී වුවත් එය ඔවුන්ට එජාපයට එරෙහිව ඡන්දය පාවිච්චි කිරීමට හේතුවක් නොවේ. දූෂණ විරෝධයට සංවේදී වන්නේ සාම්ප්‍රදායික එජාප පාක්ෂිකයින් හෝ ශ්‍රීලනිප පාක්ෂිකයින් ලෙස සැලකිය නොහැකි, එහෙත් පසුගිය ජනාධිපතිවරනයේදී මෛත්‍රීපාල සිරිසේනටත් මහා මැතිවරණයේදී එජාපයටත් ඡන්දය දුන් නාගරික හා අර්ධ නාගරික ඡන්දදායකයින් පිරිසයි. මේ කොටස ප්‍රමාණාත්මකව විශාල නොවූවත් ඔවුන්ගේ මතය ලංකාවේ දේශපාලනයට තීරණාත්මක ලෙස බලපායි.
මේ වෙලාවේ බැඳුම්කරය ගැන කතා කිරීම සම්ප්‍රදායික එජාප ඡන්ද අඩුවීමට හේතුවක් වන්නේ නැත. ඒ හරහා සිදුවන්නේ යහපාලන ආණ්ඩුව බිහිකිරීම වෙනුවෙන් දායක වුවත් මේ වන විට ආණ්ඩුව සමඟ කළ කිරී සිටින, නිර්පාක්ෂික හෝ දැඩි පාක්ෂිකත්වයක් නැති ඡන්දදායකයින් මෙවර මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ නොකර සිටීම හෝ ජවිපෙ වෙත ආකර්ශනය වීම හැකිතාක් වළක්වමින් එම ඡන්ද මෛත්‍රීගේ ශ්‍රීලනිපය තුළ රඳවා ගැනීමයි. එය එජාපයට වක්‍ර වාසියකි.
මැතිවරණයෙන් පසු රනිල්-මෛත්‍රී සම්බන්ධතාවයට කුමක් වෙයිද? ලිපිය දැනටමත් දිග වැඩි නිසා එය අපි පසුව කතා කරමු.
Subscribe to:
Post Comments (Atom)
මේ වැදගැම්මකට නැති ලබ්බවල් ගැන හිත හිතා පොස්ට් දාන්නේ ඇයි හලෝ. දනවකෝ තමුසේ පේරා හිටපු කලේ ගත්තු ආතල් ගැනවත්.
ReplyDeleteAno,
Delete+++++++++++++++
/ඒ හරහා සිදුවන්නේ යහපාලන ආණ්ඩුව බිහිකිරීම වෙනුවෙන් දායක වුවත් මේ වන විට ආණ්ඩුව සමඟ කළ කිරී සිටින, නිර්පාක්ෂික හෝ දැඩි පාක්ෂිකත්වයක් නැති ඡන්දදායකයින් මෙවර මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ නොකර සිටීම හෝ ජවිපෙ වෙත ආකර්ශනය වීම හැකිතාක් වළක්වමින් එම ඡන්ද මෛත්‍රීගේ ශ්‍රීලනිපය තුළ රඳවා ගැනීමයි./
ReplyDeleteමගේ මතය වෙනස්ය. එවන් ඡන්ද දායකයින් ජවිපෙ වෙත ආකර්ෂණය වීම බොහෝවිට සිදුවිය හැක.
1%-2% ඊට වඩා නෑ
Deleteඑයාල ඔය පුංචි චන්දෙට ගමේ යන්න තරම් කරදර වෙන අය නෙවී, පහුවදාට මොනා හරි එක්ස්කියුස් එකක් පොස්ට් කරයි.
Deleteජවිපෙ වෙත කොටසක් ආකර්ෂණය වනු ඇති බවත්, තවත් කොටසක් නොවැටෙනු ඇති බවත් මමත් විශ්වාස කරනවා. මම මෙහි කියන්නේ මෛත්‍රීපාල සිරිසේන විසින් උත්සාහ කරන්නේ එම ඡන්ද වලින් හැකිතාක් ප්‍රමාණයක් ශ්‍රීලනිපය වෙත රඳවා ගැනීම බවයි. අලුත් නාට්‍යය රඟපෑමට හේතුව ලෙසත් මම දකින්නේ එයයි. කොහොම වුණත් එම උත්සාහය යම් තරමකින් හෝ සාර්ථක වනු ඇති බව මගේ අදහසයි.
Deleteලිපියේ අඩක් පමණ කියවන විට හිතුණේ මේ සියලු විශ්ලේෂණ කරන්න හැකි වී තියෙන්නේ මිනිසුන් කිසිම විචාර බුද්ධියකින් තොරව ඡන්දය දෙන නිසා නේද කියායි!
ReplyDeleteඔහෙට විචාර බුද්ධියක් තිබුන නිසා වෙන්නැති නේද ඉස්සර කතන්දරකාරයා කියල බ්ලොග් එකක් ලිව්වේ පඩ,ජී, ශුක්‍ර, කක්කා, ජෝක්කු, ඔසප් ගැන එහෙම?
Delete/මිනිසුන් කිසිම විචාර බුද්ධියකින් තොරව/ Rational choice කියල ආර්ථික විද්‍යාවේ කියන්නේ ඕකටනේ නේද :)
Deleteඅලුත් ඡන්ද ක්‍රමය ගැනනම් බොහෝ දෙනෙකුට අවබෝධයක් නැහැ. මැතිවරණ ප්‍රතිඵල පිටවූ පසු ගොඩක් අයට වෙනස තේරෙයි.
Deleteඑක්සත් ජාතික පක්ෂේ නිල පුවත්පත කියෙව්වා වගෙනි මේක බැලුවම.
ReplyDeleteඇත්තම කිව්වොත් මටත් හිතුනේ ඒකම තමයි.
Deleteසියල්ල එජාපයට වාසි සහගත උපකල්පන මත පමණක් රැඳෙමින් මෙවැනි විචාරයක් ලිවීම ඉකොනොමැට්ටා ගොඩ නගා ගෙන ඇති ප්‍රථි රූපයට හානියක් බව සිතේ.
ReplyDeleteහාර පන්සීයක් පමණක් කියවන බ්ලොග් ලිපියකින් එජාපයට හෝ වෙනත් පක්ෂයකට දැනෙන තරමේ වාසියක් හෝ අවාසියක් වෙන්නේ නැහැ. මගේ ප්‍රතිරූපයට වෙන්නේ කුමක්ද කියන එක තීරණය වන්නේ ලැබෙන මැතිවරණ ප්‍රතිඵලය මතයි. මම මොනවා ලිවුවත් ලැබෙන ප්‍රතිඵලය ඒ නිසා වෙනස් වෙන්නේ නැහැ.
Deleteකැඩෙන්නට රනිල් මෛත්‍රී දීගයක් තිබුණේ නැත. ජනාධිපතිවරණය පෙනී පෙනී මහජනතාව රැවටීම පිණිස (තමාගේ බැරිකම වසා ගැනීම පිණිස) තකහනියේ නම් ලියා අස්සන් කර ආවා පමණි. රනිල්ගේ තම්මැට්ටම් රනිල් තවමත් ගසයි - මෛත්‍රී තමන්ගේ තම්මැට්ටම් තවමත් ගසන්නීය. දීගයක් කියා දෙදෙනා එක්ව ගසන මගුල් බෙරයක් ඇත්තේ නැත.
ReplyDeleteඔව් ඔව් මම කියන්නේ ඒ මෛත්‍රී ගැන තමා !
ඉකොනොමැට්ටාගේ විග්‍රහයේ අඩුපාඩු ඇත.මේ විවේචනය ඔහුගේ කලින් ලිපියටද අදාලය එජාපයට වාසි සහගත තත්වයක් ඇති බව විවාදාත්මකය. යන කෝච්චියට නගින්න හැමෝම හදන නිසා එහි වාසියද පවතින ආන්ඩුවට ඇත. එහෙත් මම ජීවත්වන දිස්ත්‍රික්කයේ තත්වය ගැන මා හට ලැබෙන සජීවී දත්ත මෙම සංඛ්‍යාලේඛන හරඹයට වඩා ප්‍රබලය.
ReplyDeleteඑජනිසයේ චන්ද පොදුපෙරමුනට හා ශ්‍රීලනිපයට තුනෙන් දෙක හා තුනෙන් එක බැගින් කැඩෙන්නේ නැත. බොහෝ කොට්ටාසවල ශ්‍රීලනිප අපේක්ෂකයාට ඇත්තේ ඔහුගේ පවුලේ චන්ද පමනඉ. නමුත් එජාප ශ්‍රීලනිප බොරු රන්ඩු නිසා යම් මනෝවිද්‍යාත්මක බලපෑමක් චන්දය ආසන්නයේ සිදුවිය හැක. එහෙත් උපරිමව ශ්‍රීලනිපයට කැඩෙන්නේ 5% ක් 10% ක් අතරප්‍රමානායකි. ඉකොනොගේ සමස්ත විග්‍රහයේ පදනම ඉන් දෙදරයි
ඔබ කියන තත්වයට උදාහරණ සපයන සිදුවීමක් මාගේ පදිංචි කොට්ටාශයේද සිදුවෙමින් පවතී.
Deleteඑහි කවදත් ශ්‍රීලනිපයෙන් හා බුලත් කොලයෙන් තරඟ වැදුනු අපේක්ශකයා මෙවර තරඟ වදින්නේ පොහොට්ටුවෙනි.
එජාපයෙන් අළුත් මුහුණක් තරුණ වියේ කාන්තාවක් ඉදිරිපත් කොට ඇත. ඇය ගැන ගමේ කිසිවෙක් එතරම් දැන හැඳුනුමක් නම් නැත.
ආරංචි විදියට ඇය එදා සිටම යූ එන් පී කාරයින්යැයි දන්නා පවුලක කාන්තාවකි.
ලොකුම විහිළුව ශ්‍රී ල නි ප යෙන් කර ඇති ඉදිරිපත් කිරීමයි. අත ලකුණින් තරඟ වදිනුයේ අර කී යූ එන් පී අපේක්ශිකාවගේ සොයුරායි. හෙවත් යූ එන් පී පවුලක තරුණයෙකි.
ගමේ ශ්‍රී ලංකා කාරයින් කිසිවෙක් ඔහු කවරෙකුදැයි නොහඳුනයි. කිසිදා ක්‍රියාශීලී දේශපාලනයෙහි යෙදුනෙකු නොවෙයි. නිල් කොඩි සහිතව ඔහු නිදහස් පක්ෂය රැක ගැනීමට ගමේ සහය ඉල්ලයි.
//එහෙත් මම ජීවත්වන දිස්ත්‍රික්කයේ තත්වය ගැන මා හට ලැබෙන සජීවී දත්ත මෙම සංඛ්‍යාලේඛන හරඹයට වඩා ප්‍රබලය.//
Deleteමේ හා අදාළව මට වඩා හොඳ අදහසක් ඔබට තිබිය හැකි වීම ඉතා පැහැදිලියි.
//එහෙත් උපරිමව ශ්‍රීලනිපයට කැඩෙන්නේ 5% ක් 10% ක් අතරප්‍රමානායකි. ඉකොනොගේ සමස්ත විග්‍රහයේ පදනම ඉන් දෙදරයි//
ශ්‍රීලනිප ඡන්ද වලින් 5-10% ප්‍රමාණයක් කියන්නේ මුළු ඡන්ද වලින් 2-4% ප්‍රමාණයක්. මෙය ජවිපෙ ඡන්ද පදනමටත් වඩා ගොඩක් අඩුයි. ශ්‍රීලනිපය සමස්තයක් ලෙස එතරම්ම පහතට වැටෙයි කියා මම හිතන්නේ නැහැ. ඇතැම් ප්‍රදේශ වල එසේ විය හැකියි.