වෙබ් ලිපිනය:

Saturday, August 20, 2022

ඩොලර් බිලියන 55කට වෙච්ච දෙයක් නැද්ද?


පසුගිය 2021 වසර අවසාන වෙන විට ලංකාවේ මුළු විදේශ මූල්‍ය බැරකම් ප්‍රමාණය ඩොලර් මිලියන 64,498ක්. නමුත්, ලංකාවේ මුළු විදේශ මූල්‍ය වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 8,758ක් පමණයි. ඒ කියන්නේ, හිඟය ඩොලර් මිලියන 55,740ක්. ඔය ගණන රුපියල් කළොත් රුපියල් බිලියන 11,172ක හිඟයක්. 

දැන් මේ හිඟ වෙලා තියෙන ඩොලර් බිලියන 56 එහෙමත් නැත්නම් රුපියල් ට්‍රිලියන 11 වෙච්ච දෙයක් නැති මුදලක්ද?

සමහර අයට අනුව මේ සල්ලි දේශපාලනඥයින් විසින් රටින් පන්නලා. තවත් අයට අනුව ව්‍යාපාරිකයින් විසින් රටින් පන්නලා. ඔය කතා දෙකම වෙනුවට කියන තුන් වන කතාවකට අනුව රටේ ජනතාව විසින් පරිභෝජනය කරලා නාස්ති කරලා. ඔය කොයි කතාව අනුව බැලුවත් බැරකම් වලට ගැලපෙන වත්කම් දැන් රටේ නැහැ.

කතාවේ එක් කොටසක් ඇත්ත. ලංකාවේ විදේශ මූල්‍ය බැරකම් ප්‍රමාණය හා සම හෝ ඊට කිට්ටුවෙන්වත් යන විදේශ මූල්‍ය වත්කම් ලංකාවේ නැහැ. රට මේ තරම් අවුලක වැටිලා තියෙන්නේ ඒ නිසානේ. හැබැයි නැත්තේ විදේශ වත්කම්. විදේශ වත්කම් නැහැ කියා කියන්නේ වත්කම් නැහැ කියන එක නෙමෙයි. 

දේශපාලනඥයින් විසින් හෝ ව්‍යාපාරිකයින් විසින් රටින් සල්ලි පන්නලානම් එයින් අදහස් වෙන්නේ ඇත්තටම විදේශ මූල්‍ය වත්කම් තියෙනවා කියන එකයි. ඒ කියන්නේ ප්‍රශ්නය තියෙන්නේ සංඛ්‍යාලේඛණ වල පමණයි. ඒ වගේම මේ අයට රටින් සල්ලි පන්නන්න හේතු වූ තත්ත්වයන් තීරණාත්මක ලෙස වෙනස් වුනොත් ඔය සල්ලි නැවත රටට එනවා කියන එකයි. 

ඒ කතාව අපි පැත්තකින් තියමු. මොකද මේ විදිහේ සල්ලි පැන්නීම් සිදු වී තිබෙනවා විය හැකි වුවත් ඒ ගැන කතා කරන්න සංඛ්‍යාලේඛණ නැහැනේ. නමුත්, "පරිභෝජනය කරලා නාස්ති කරලා" කියන කතාව සංඛ්‍යාලේඛණ වලින් තහවුරු කළ හැකි දෙයක්. මෙතැනදී කියන්නේ උපයන ඩොලර් ප්‍රමාණය ඉක්මවා ආනයන ආදිය වෙනුවෙන් ඩොලර් වැය කිරීම ගැනයි.

ණය අරගෙන "පරිභෝජනය කරලා නාස්ති කරන එක" හැම කාලයකම සිදු වූ දෙයක් නොවුනත්, බොහෝ කාල වකවානු වල සිදු වී තිබෙන දෙයක්. අපි 2020 හා 2021 අවුරුදු දෙක අරගෙන බලමු.

ඉහත වසර දෙක තුළ විදේශ මූල්‍ය වත්කම් ප්‍රමාණයේ අඩුවීමක් පැහැදිලි ලෙස පේනවා. 2019 අවසාන වන විට රටේ විදේශ මූල්‍ය වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 12,985ක්. වසර දෙකකට පසුව මෙම ප්‍රමාණය ඩොලර් මිලියන 8,758ට බහිනවා. ඒ කියන්නේ ඩොලර් මිලියන 4,228ක අඩු වීමක්.

මේ විදිහට වත්කම් අඩු වුනේ ණය ගෙවපු නිසාද? 2019 අවසාන වන විට රටේ විදේශ මූල්‍ය බැරකම් ප්‍රමාණය ඩොලර් මිලියන 64,148ක්. දෙවසරකට පසුව මෙම ප්‍රමාණය ඩොලර් මිලියන 350කින් ඉහළ යනවා. ඊට අමතරව තවත් දෙයක් වෙනවා. ස්වෛරිත්ව බැඳුම්කර වල වෙළඳපොළ අගය 45%කින් පමණ අඩු වෙනවා. මේ නිසා, ඩොලර් මිලියන 5,224කින් බැරකම් ප්‍රමාණය පහළ යනවා. ඒ කියන්නේ එසේ නොවුනනම් බැරකම් ප්‍රමාණය ඩොලර් මිලියන 5,574කින් ඉහළ ගිහින්මේ.  වත්කම් අඩු වීම හා බැරකම් ඉහළ යාම එකතු කළාම ඩොලර් මිලියන 9,802ක අඩුවක් තිබෙනවා. 

කෙසේ වුවත්, මේ මුළු අඩුවීමටම හේතුව අදාළ දෙවසර තුළ "පරිභෝජනය කරලා නාස්ති කරපු එක" නෙමෙයි. 2020ට පෙර තිබුණු බැරකම් වෙනුවෙන් ගෙවූ පොලී හා අනෙකුත් ප්‍රතිලාභ ටිකත් මේ ගොඩේ තිබෙනවා. ඒ නිසා, ටික අඩු කළ යුතුයි. ඒ වගේම 2020ට පෙර තිබුණු විදේශ වත්කම් වෙනුවෙන් ලැබුණු පොලී හා ප්‍රතිලාභ මේ ගණනට එකතු කළ යුතුයි. එවිට මෙම ප්‍රමාණය ඩොලර් මිලියන 5,574ක්. ඔය මුදල පසුගිය දෙවසර තුළ ණයට අරගෙන පරිභෝජනය කළ කොටස. 

ඊට පෙර 2015-2019 කාලයේදී රටේ විදේශ බැරකම් ඩොලර් මිලියන 52,811 සිට ඩොලර් මිලියන 64,148 දක්වා ඩොලර් මිලියන 11,337කින් වැඩි වුනා. නමුත් විදේශ වත්කම් ඉහළ ගියේ ඩොලර් මිලියන 1,800කින් පමණයි. ඒ කියන්නේ, ඩොලර් මිලියන 9,537ක අඩුවක් තිබෙනවා. නමුත්, ඔය කාලය තුළ පරණ විදේශ බැරකම් වෙනුවෙන් ගෙවූ මුදලින් විදේශ වත්කම් වෙනුවෙන් ලැබුණු ප්‍රතිලාභ අඩු කළහම ඩොලර් මිලියන 11,006ක්. ඒ කියන්නේ, ඉතා පැහැදිලි ලෙසම 2015-2019 කාලයට "පරිභෝජනය කරලා නාස්ති කළා" කියන කතාව අදාළ නැහැ. ඒ කාලයේ විදේශ බැරකම් ඉහළ යාමට එකම හේතුව පරණ බැරකම් වෙනුවෙන් ගෙවන්න සිදු වූ ප්‍රතිලාභ. ඔය කාලයේ ඉපැයූ ඩොලර් වලින් ඩොලර් මිලියන 1,469ක් පමණ ඉතිරි කරලා පරණ බැරකම් වෙනුවෙන් ප්‍රතිලාභ ගෙවන එකත් කරලා තියෙනවා.

තවත් පස්සට ගියොත් "පරිභෝජනය කරලා නාස්ති කරන එක" කරපු කාලවල් නිවැරදිව හඳුනා ගන්න පුළුවන්. මම එවැන්නක් කරන්න යන්නේ නැහැ. ඇතැම් කාල වකවානු වල ඉපැයූ විදේශ විණිමයට වඩා වැඩියෙන් වැය කර තිබෙනවා. ඒ ගැන දැනට එපමණයි.

දැන් වැදගත්ම ප්‍රශ්නය මේ විදිහට ණයට ඩොලර් අරගෙන වියදම් කළාම වත්කම් හැදෙන්නේ නැද්ද කියන එකයි. ඉතා පැහැදිලිවම විදේශ බැරකම් හැදෙන තරමට විදේශ වත්කම් හැදෙන්නේ නැහැ. මොකද ලැබුණු ඩොලර් රටින් එළියට ගිහින්. නමුත් විදේශ වත්කම් හැදෙන්නේ නැහැ කියා කියන්නේ වත්කම් නොහැදෙන බව නෙමෙයි. වත්කම් හැදෙනවා. එසේ හැදෙන්නේ රුපියල් වත්කම්.

ඔය වැඩේ වෙන්නේ මෙහෙමයි. රජය ඩොලර් එකක් ණයට අරගෙන රුපියල් 200කට බැංකුවකට විකුණනවා. විකුණලා ඒ රුපියල් 200 රජයේ සේවකයෙකුට අතිකාල දීමනාවක් ලෙස ගෙවනවා. ඊට පස්සේ ආනයනකරුවෙක් විසින් ඔය ඩොලර් එක රුපියල් ගෙවා මිල දී ගෙන ඉන්දියාවෙන් අල කිලෝ දෙකක් ගේනවා. ගෙනත් කිලෝ එක රුපියල් 200 බැගින් විකුණනවා. අර රජයේ සේවකයා තමන්ට ලැබුණු රුපියල් 200 වැය කරලා අල කිලෝ එකක් මිල දී ගන්නවා. 

දැන් රජය ණයට ගත්ත ඩොලර් එක රට ඇතුළේ නැහැ. එය රටේ විදේශ බැරකමක් වෙනවා. ණයට පොලී එකතු වෙද්දී බැරකම වසරින් වසර ඉහළ යනවා. එයට ගැලපෙන විදේශ වත්කමක් රට ඇතුළේ නැහැ. අර රජයේ සේවකයා අතේ තිබුණු රුපියල් 200ක වත්කම දැන් ඔහු අතේ නැහැ. නමුත් අල කිලෝ එකක් තිබෙනවා. ආනයනකරුවා අතේත් කලින් තිබුණාට වඩා වැඩිපුර රුපියල් නැහැ. අල කිලෝ එකක් විකුණලා රුපියල් 200ක් ලැබුණත් ඩොලර් එක මිල දී ගන්න රුපියල් 200ක් කලින්ම ගියානේ. නමුත් ඔහු සතුව තවත් අල කිලෝ එකක් තිබෙනවා. ඒ අල කිලෝව විකුණලා ඔහුට රුපියල් 200ක් උපයා ගන්න පුළුවන්. 

අවසාන වශයෙන් අල කිලෝ දෙක පරිභෝජනය කරලා අවසන් වෙනවා. හැබැයි අල පරිභෝජනය කරන අය අල ගන්නේ සල්ලි ගෙවලා. අර කියන්නේ "අපි නිකම් තෙල් ගැහුවේ නැහැ, සල්ලි දුන්නා" කියලා. ඒ වගේ. රජයට ඩොලර් එකක විදේශ බැරකමක් එකතු වෙලා. ඒක දිගටම පැටවු ගහනවා. අනෙක් පැත්තෙන් අර ආනයනකරු ළඟ රුපියල් වත්කමකුත් හැදිලා. ඒකත් පැටවු ගහනවා. 

නැවත ලංකාවේ විදේශ බැරකම් වලට ආවොත්, ඩොලර් බිලියන 56ක විදේශ වත්කම් හිඟයක් හැදෙද්දී එයට අනුරූපව වත්කම් ඉහළ යාමකුත් රට ඇතුළේ වෙලා තියෙනවා. නමුත් ප්‍රශ්නය ඒ වත්කම් රුපියල් වත්කම් වීමයි. දැන් ඔය මුළු ශුද්ධ විදේශ බැරකම් ප්‍රමාණයේ රුපියල් වටිනාකම බිලියන 11,172ක් කියලා මම කිවුවනේ. 

ඒ වෙද්දී, ඒ කිවුවේ 2021 අවසානයේදී, සංසරණයේ තිබුණු රුපියල් ප්‍රමාණය සහ බැංකු වල තැන්පත් කර තිබුණු රුපියල් ප්‍රමාණය (M2 මුදල් සැපයුම) රුපියල් බිලියන 9,639ක්. මුදල් කියන්නේ රටේ මිනිස්සුන්ගේ වත්කම් වලින් සුළු කොටසක් පමණයිනේ. ඊට අමතරව මූල්‍ය වත්කම්ම ගත්තත් භාණ්ඩාගාර බිල්පත්, ව්‍යාපාර කොටස් ආදියේ ආයෝජනය කළ මුදල් තිබෙනවා. ඒ සියල්ලටම අමතරව විශාල මූර්ත වත්කම් ප්‍රමාණයක් රටේ තිබෙනවා. වාහන, ගොඩනැගිලි, ඉඩම් වගේ දේවල්.

ඩොලර් එකක් වැය කරලා ආනයනය කරන අල කිලෝ එකක් හොදි හදලා හරි තෙම්පරාදු කරලා හරි කාල ඉවර කළාට ආනයනය කරන හැම දෙයක්ම ඒ විදිහට සතියක් දෙකක් ඇතුළත කාල ඉවර කරන්නේ නැහැ. ඩොලර් වැය කරලා ගෙනාපු වාහන, ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර ආදිය ගෙවල් වල තිබෙනවා. සිමෙන්ති, ටයිල් වගේ දේවල් ගෙවල් විදිහට තිබෙනවා. ඒවත් වත්කම් තමයි. ඔය සියල්ල එකතු කළොත් ශුද්ධ විදේශ බැරකම් ප්‍රමාණය ඉක්මවන විශාල වත්කම් ප්‍රමාණයක් රට ඇතුළේ තිබෙනවා.

එහෙමනම් රුපියල් ප්‍රශ්නය කියා කියන්නේ කුමක්ද? එය රජයේ ප්‍රශ්නයක් මිසක් රටේ ප්‍රශ්නයක් නෙමෙයි. රටේ රුපියල් තිබෙනවා. නමුත් රජය සතුව රුපියල් නැහැ. රටේ රුපියල් වත්කම් ඉහළ යද්දී එයට අනුරූපව බදු ඉහළ ගොස් නැති නිසා රජය සතුව රුපියල් වත්කම් නැහැ. එක පැත්තකින් රජය ඩොලර් බැරකම් එකතු කර ගනිද්දී අනෙක් පැත්තෙන් රුපියල් බැරකමුත් එකතු කර ගෙන. රජය සතුව ඩොලර් වලින් වගේම රුපියල් වලිනුත් මූල්‍ය වත්කම් නැහැ. නමුත්, රජය සතුව මූර්ත වත්කම් තිබෙනවා. ඒ නිසා, රාජ්‍ය දේපොළ විකුණා බැරකම් වලින් නිදහස් වීමේ විකල්පය තවමත් රජය සතුව තිබෙනවා. 

ණයට ගත්ත ඩොලර් දැන් තියෙන්නේ කොහෙද කියා හොයන එක ස්විමිං පූල් එකකට වැටිලා දිය වුනු සබන් කෑල්ලක් තියෙන තැන හොයනවා වගේ වැඩක්. ඒ සල්ලි මේ වන විට සමස්ත ආර්ථික දේහය පුරාම පැතිරිලා දිය වෙලා ගිහිල්ලයි තියෙන්නේ. කවුරු හෝ කෙනෙක් අයුතු සේ ලබාගත් මහජන ධනය රටින් පිට කරගෙනනම් හරි නිසි සේ ඉපැයූ ධනය අනිසි සේ රටින් පිට කරලානම් හරි කතාව ටිකක් වෙනස්. යම් කොටසක් ඒ විදිහට රටින් විට වී තිබිය හැකි වුවත් ඒ ප්‍රමාණය විශාල කොටසක් කියා මම හිතන්නේ නැහැ. යුතු හෝ අයුතු සේ ඉපැයූ ධනයෙන් වැඩි කොටසක් තියෙන්නේ ඔය මුතු ඇටේ අස්සෙම තමයි. 

ආනයනික භාණ්ඩ පරිභෝජනය කරලා සල්ලි නාස්ති කරනවා කියා කිවුවත් සාමාන්‍ය මූලධර්මයක් විදිහට කවුරු හෝ කෙනෙක් වියදම් කරන මුදලක් හැම විටම වෙනත් අයෙකුගේ ආදායමක් වෙනවා. කෙනෙක් රූපවාහිනී යන්ත්‍රයක් මිල දී ගනිද්දී ගෙවන රුපියල් ප්‍රමාණයෙන් කොටසක් රටින් එළියට යනවා. නමුත් මුළු මුදලම රටින් එළියට යන්නේ නැහැ. ආනයනකරුගේ ලාබ, සේවක වැටුප්, ප්‍රවාහන ගාස්තු ආදී විවිධ ආකාර වලින් ඔය මුදලෙන් කොටසක් රටේ වෙනත් අයගේ ආදායම් බවට පත්වෙනවා. පරිභෝජනය කරනවයි කිවුවට ගත්ත රූපවාහිනී යන්ත්‍රය වුනත් කාල ඉවර කරන්නේ නැහැනේ. කවදා හරි කැඩෙනකම් ඒකත් තියෙනවා.

ගෙදරට රූපවාහිණියක් ගෙනාවට පස්සේ ගෙදර මිනිස්සු ඕක ඉස්සරහට වෙලා "බාල ටෙලිනාට්‍ය" බල බල කාලය නාස්ති කරනවා කියා අපි හිතමු. සමහර අය එහෙම කියනවනේ. ඒක එහෙම වුනත්, ඔය කාලය නාස්ති කිරීමේ අනෙක් පැත්තේ ටෙලි නාට්‍ය හැදීමේ කර්මාන්තයක් වර්ධනය වෙනවා. ඕවායේ රඟපාන නළු නිලියෝ, අධ්‍යක්ෂක වරු, තාක්ෂණික කටයුතු කරන ශිල්පියෝ, තේ අල්ලන අය ගාණක් හොයා ගන්නවා. 

එතකොට ඔය ටෙලිනාට්‍යය මැද්දේ වෙළඳ දැන්වීම් යනවා. ඒවා හදන එක වෙනම කර්මාන්තයක්. ඒකෙනුත් රැකියා ගණනක් හැදෙනවා. වෙළඳ දැන්වීම් නිසා මොනවා හෝ භාණ්ඩයක අලෙවිය ඉහළ යනවා කියන්නේ සමාගමක ලාබ ඉහළ ගිහින් සමාගම වර්ධනය වෙලා තවත් අලුත් රස්සා ටිකක් හැදෙන එක. මේ හැම දෙයකින්ම වෙන්නේ රටේ ආදායම් වැඩි වෙන එක. ඒ ආදායම් වලින් කොටසක් හෝ වැය කර අවසන් නොකළොත් රටේ වත්කම් වැඩි වෙන එක. 

ඔය දාමයේ මුල තියෙන්නේ ණයට ගත් ඩොලර් වලින් ආනයනය කරපු රූපවාහිණියක් වෙන්න පුළුවන්. ප්‍රශ්නය ඩොලර් ණයට ගත්ත එක නෙමෙයි. වත්කම් නොහැදෙන එකත් නෙමෙයි. හැදෙන වත්කම් රුපියල් වත්කම් වීම. 

ණයට ගත්ත සල්ලි වලින් කොටසක් කවුරු හෝ කෙනෙක් මොන විදිහකින් හෝ හොරකම් කරගත්තා කියමු. රටෙන් පැන්නුවේ නැත්නම් ඔය සල්ලි එක්කෝ රට ඇතුළේ වියදම් කරනවා, නැත්නම් ආයෝජනය කරනවා. ඔය දෙකෙන් කොයි එක කළත් අවසාන වශයෙන් ඔය සල්ලි තවත් අයගේ ආදායමක් වෙනවා. ඒ අය සල්ලි වියදම් කරද්දී නැවතත් වෙනම පිරිසකගේ ආදායමක් බවට පත් වෙනවා. මුල් පුද්ගලයා මුදල් ඉපැයුවේ අනිසි ලෙස වුවත්, ඉතිරි අය මුදල් උපයන්නේ අනිසි ලෙස නෙමෙයි. 

ණයට ගන්න ඩොලර් මොන විදිහට රට ඇතුළට ආවත් ඒ ඩොලර් රුපියල් වෙලා අතින් අත යනවා. එක් අයෙක් රුපියලක් වියදම් කරන හැම වෙලාවකම ඒ රුපියල රටේ තවත් අයෙකුගේ ආදායමක් වෙනවා. ඔය වැඩේ කෙළවරක් නැතුව දිගින් දිගටම වෙනවා. අවසාන වශයෙන් රටේ කාටවත් ලංකාව ගත්ත විදේශ ණය මුදල් වලින් තමන්ට වාසියක් ලැබී නැති බව කියන්න බැහැ. තමන් උපයපු හෝ බැංකුවකින් ණයට ගත්ත සල්ලි වලින් හදපු ගෙය ඇතුළේ, ගත්ත වාහනය ඇතුළේ ඔය ණය වලින් කොටසක් තියෙනවා. ගෙදර තිබෙන රූපවාහිණිය, ශීතකරණය ඇතුළේ ඔය ණය වලින් කොටසක් තියෙනවා. ලැබෙන වැටුප ඇතුළේ ඔය ණය වලින් කොටසක් තිබෙනවා. වෙනත් විදිහකින් උපයන ආදායම ඇතුළේ ඔය ණය වලින් කොටසක් තිබෙනවා. 

අපි ඔය ලොකු ගෙවල් වල ඉන්න, සැප වාහන පදින, ආනයනික භාණ්ඩ ගෙදර පුරවා ගත්තු අයව පැත්තකින් තියමු. කතරගම කිට්ටුව පාර අයිනේ නෙලුම් මල් විකුණන "මල් අම්මා" ගැන හිතමු. මල් අම්මා ගෙදර ඉන්නේ තනියම. ගෙදර කිවුවට ඒක බොහොම පොඩි පැලක්. ආනයනික බඩු ලෙස සාමාන්‍යයෙන් සැලකෙන බඩු මුකුත් ඔය ගෙදර නැහැ. වැවේ ගිහින් කඩා ගන්න මල් විකුණලා කීයක් හරි හොයා ගත්තොත් මල් අම්මා දවසකට වේලක් හරි දෙවේලක් හරි මොනවා හරි තම්බාගෙන කනවා. මල් අම්මා ණයට ගත්ත ඩොලර් වලින් කාලා නැද්ද? 

සමහර විට මල් අම්මා කන්නෙම ණයට ගත්ත ඩොලර් වෙන්න පුළුවන්. සමහර විට මල් අම්මාගෙන් මලක් ගන්නේ මොන විදිහකින් හෝ මහජන ධනය හොරා කාපු කෙනෙක්. එහෙම නැත්නම් ණයට ගත්ත ඩොලර් වලින් කරන ව්‍යාපෘතියක සේවය කරන කෙනෙක්. එහෙමත් නැත්නම් ඒ ඩොලර් රුපියල් කරලා රජය ගෙවන වැටුප් වියදම් කරන කෙනෙක්. මේ අයට ලාබෙට වාහන ගන්න ලැබිලා තියෙන්නේ, ලාබෙට තෙල් ගහන්න ලැබිලා තියෙන්නේ ණයට ගත්ත ඩොලර් නිසා. ණයට ගත්ත ඩොලර් නැත්නම් කතරගම ගමනක් නැහැ. මල් අම්මට ලැබෙන රුපියල් ටිකත් නැහැ.

දැන් කවුරු හරි කියයි ඔය කියන්නේ අර හොරු ටික බේරලා මල් අම්මට බදු ගහලා ණය ගෙවන්න කියන එක කියලා. බදු ගහන්න ඕනෑ කාටද කියන එක වෙනම කතාවක්. වැදගත් දෙය ඔය සල්ලි ආර්ථිකය තුළ දිය වෙලා ගිහින් තියෙන විදිහ. ඒ නිසා, ණය ගෙවන්න බදු ගහන්නේ කාටද කියන එක ඒ තරම් වැදගත් දෙයක් නෙමෙයි. මල් අම්මට බදු නොගැහුවත් වක්‍ර ලෙස හෝ මල් අම්මටත් බදු ගෙවන්න වෙනවා. ඒකෙ හැටි එහෙමයි. ආර්ථිකය කඩා වැටුනොත් ලොකුවටම අමාරුවේ වැටෙන්නේ ඔය මල් අම්මා වගේ අය. 

මල් අම්මා ජීවිතේට සැප වාහනේක ගිහින් නැතුව ඇති. හැබැයි රටට තෙල් ආවේ නැත්නම් ඒකේ පාඩුව සැප වාහන තියෙන අයට වඩා මල් අම්මට දැනෙනවා. මල් අම්මගේ පරිභෝජනය මුළුමනින්ම රඳා පවතින්නේ සැප වාහන වලට ගහන්න තෙල් තිබීම මතයි. මල් අම්මා මෙච්චර කල් වේලක් ඇර වේලක් කාල තියෙන්නෙත් ණයට ගත්ත ඩොලර් වලින්. මල් අම්මගේ ගෙදර තියෙන වටිනාම වත්කම පොඩි රේඩියෝ එකක් වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් වුනත් බොහෝ වෙලාවට අර ණයට ගත්ත ඩොලර් ටික නිසා හැදුණු වත්කමක්.

ලංකාවේ ප්‍රශ්නය විදේශ වත්කම් නැතිකම මිසක් වත්කම් නැතිකම නොවන බව මම කලින්ම කිවුවනේ. ලෝකයේ රටවල් වලින් බාගයකට පමණම විදේශ බැරකම් හා සරිලන විදේශ වත්කම් නැහැ. ලංකාවේ ප්‍රශ්නය මේ අනුපාතය ඉතාම නරක මට්ටමක තිබීම පමණයි. නමුත්, ලෝකයේ ඕනෑම රටක සැලකිය යුතු මූර්ත වත්කම් ප්‍රමාණයක් තිබෙනවා. ඒ වගේම රට ඇතුළේ මූල්‍ය වත්කමුත් තිබෙනවා. 

රටක සමස්ත වත්කම් ප්‍රමාණය ඇස්තමේන්තු කරන එක තරමක් සංකීර්ණ වැඩක්. දියුණු රටවල් වලනම් මේ වැඩේ සෑහෙන තරම් නිවැරදිව කෙරෙනවා. ප්‍රමාණවත් දත්ත නැති ලංකාව වගේ රටවල් වල වත්කම් ඇස්තමේන්තු කරන එක සංකීර්ණ කටයුත්තක්. මම දන්නා තරමින් කාලයක සිටම මේ වැඩේ කරන ක්‍රෙඩිට් සුයිස් මේ සඳහා තිබෙන හොඳම මූලාශ්‍රයයි.

ක්‍රෙඩිට් සුයිස් ඇස්තමේන්තු අනුව, 2019 වන විට ලංකාවේ වැඩිහිටියන් සතු මුළු ශුද්ධ වත්කම් ප්‍රමාණය (ණය අඩු කර) ඩොලර් බිලියන 361ක්. ආර්ථිකය හැකිළුණු 2020දී මෙම ප්‍රමාණය ඩොලර් බිලියන 351 දක්වා පහත වැටී තිබෙනවා. 2021 අවුරුද්දේ නැවතත් ආර්ථිකය 2019 මට්ටමට  වර්ධනය වූ නිසා ඇතැම් විට වත්කම් ප්‍රමාණයත් නැවත වැඩි වී තියෙන්න පුළුවන්. සමහර විට අඩු වෙලා වෙන්නත් පුළුවන්. කොහොම වුනත් කරුණක් විදිහට ගත්තොත් 2019 වන විට ලංකාවේ වැඩිහිටියන් සතු මුළු ශුද්ධ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 361ක් දක්වා ඉහළ ගිහින් තිබෙනවා. ඔවුන්ගේම ඇස්තමේන්තු අනුව 2001 වසරේදී ලංකාවේ වැඩිහිටියන් සතු මුළු ශුද්ධ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 32ක් පමණයි. ඒ කියන්නේ 2001-2019 අතර රටේ එම වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 329කින් ඉහළ ගිහින්. එකොළොස් ගුණයක ඉහළ යාමක්.

ඔය කාලය ඇතුළත රටේ ශුද්ධ විදේශ බැරකම් ප්‍රමාණය ඩොලර් බිලියන 50කින් පමණ ඉහළ ගිහින් තිබෙනවා තමයි. නමුත්, ඊට සමාන්තරව රටේ නිවාස ඒකක වල ශුද්ධ වත්කම් ඒ වගේ හය හත් ගුණයකින් වැඩි වෙලා තිබෙනවා. රටේ ප්‍රශ්නය වත්කම් නැති එක නෙමෙයි. නිවාස ඒකක සතුව වත්කම් තිබුණත් රජය සතුව වත්කම් නැති වීම. රජය සතුව වුවත් නැත්තේ මූල්‍ය වත්කම්. රජය සතුව මූර්ත වත්කම් විශාල ප්‍රමාණයක් තිබෙනවා. 

රටේ නිවාස ඒකක වල ශුද්ධ වත්කම් ඔය විදිහට වසර 18ක් ඇතුළත එකොළොස් ගුණයකින් ඉහළ ගිහින් තිබීමට එකම හේතුව ඩොලර් ණයට අරගෙන ආර්ථිකයට පොම්ප කිරීම කියා මම කියන්නේ නැහැ. නමුත්, ඒ විදිහට පොම්ප කරපු ඩොලර් වල බලපැම මේ වර්ධනයට විශාල ලෙස දායක වී තිබෙනවා. ඒ කියන්නේ, ඔය ඩොලර් ටික ආපහු යා හැක්කේ රටේ නිවාස ඒකක වල වත්කම් වලින් විශාල කොටසක් ආපහු අරගෙන පමණයි කියන එකයි. 

දත්ත තිබෙන අලුත්ම අවුරුද්ද නිසා අපි 2020ම ගනිමු. රටේ වැඩිහිටි ජනගහණය මිලියන 14.732ක්. එක වැඩිහිටියෙකු සතු මූල්‍ය වත්කම් ප්‍රමාණය ඩොලර් 5,002ක්. ණය ප්‍රමාණය ඩොලර් 685ක්. මූල්‍ය නොවන වත්කම් ප්‍රමාණය ඩොලර් 19,515ක්. මීට සාපේක්ෂව 2019දී ණය අඩුයි. වත්කම් වැඩියි. කොහොම වුනත් 2020 වන විටත් ලංකාවේ වැඩිහිටියෙකු සතු සාමාන්‍ය ශුද්ධ වත්කම් ප්‍රමාණයේ වටිනාකම ඩොලර් 23,832ක්. ඔය ගණන වැඩිහිටි ජනගහණයෙන් වැඩි කළාම ඩොලර් බිලියන 351ක්. රටේ විදේශ ණය ප්‍රමාණය ඔය ගණනින් හතෙන් එකක් පමණයි.

22 comments:

  1. රතුපාට නිල්පාට කොලපාට හැම පාට
    එක ධජය කට එක්ව එකපාට වෙනදාට
    හොරු රැලම එකතුකොට ගැටගසා හැමදාට
    නිදහසේ හුස්මගෙන ඉන්න හැකි මව් රටට

    ReplyDelete
  2. ලෙසටම දැනිණි මල් අම්මගෙ කතන්දරේ
    ටැපලිල වගෙයි අපි වනයක වංකගිරේ
    ලෝකය පුංචි වේගෙන යන අතරතුරේ
    ලොකු වෙනවා වාගෙයි ණය ඩේන්ජරේ

    ReplyDelete
  3. ඉකොනොමැට්ටා,

    දැනට ලොව අඩු මිල සාමාන්‍ය වාහන වෙළඳ පොළේ පෙරමුණේ සිටි ජපන් වාහන නිෂ්පාදකයින් අසරණ කරමින් ලොව පුරා නැගී එන චීන වියට්නාම වාහන නිෂ්පාදන සමාගම් වලටත් විශාල සටනක් දෙමින් ලොව පුරා අංක එකේ වාහන සන්නාමය බවට වේගයෙන් පත්වෙමින් පවතින ලොව පුරා කීර්තියට පත් කොරියානු මෝටර් රථ නිෂ්පාදකයා වන හ්යූන්දේ කියා Hyundai - Kia වාහන සමූහ ව්‍යාපාරය හිටපු කර්මාන්ත ඇමති වීරවංසලා නිල වශයෙන් ලංකාවේ රජයේ ඉල්ලීම් වලට අනුව යෝජනා කළ පරිදි තම ලංකාවේ බලයලත් බෙදාහරින්නා වන Abans Auto සමග 2020 දී ආරම්භ කරන ලද දීර්ඝ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස ලංකාව තුළ Hyundai Kia වෙළඳ සන්නාම යටතේ පැසෙන්ජර සහ කොමර්ෂල් වර්ගයේ මෝටර් රථ වාහන සහ අනෙකුත් උපාංග ලංකාවේ එකලස් කිරීමට සහ නිෂ්පාදනය කිරීමට අබාන්ස් ඔටෝ සමාගමට බලය පැවරීමට තීරණය කර තිබෙනවා.

    දැනටමත් ලෝකයේ විශාලතම වාහන නිෂ්පාදන සමාගම් වන ජපානයේ තොයෝදා Toyota සමූහය, Honda, Mazda Nissan Renault alliance, ජර්මන් ෆොල්ක්ස්වාගෙන් VW සමූහය (Audi VW Skoda Scania), ඇමරිකානු GMC Ford Chevrolet වැනි වාහන සමාගම් වල සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ භාවිත වන වාහන වෙළඳ පොළ සුනුවිසුණු කරමින් සිටින දැනටමත් ලොව හයවන විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන Hyundai Kia මෝටර් සමාගම මෑතකදී නිල වශයෙන් ලංකාවේ අබාන්ස් ඔටෝ සමඟ ගිවිසුමකට එළඹ ඇති බව මාධ්‍ය මගින් නිවේදනය කළ අතරම Hyundai Kia සමාගමට ලොව පුරා මෝටර් රථ එකලස් කිරීමේ කම්හල් පිහිටුවීමේ පුළුල් අත්දැකීම් ඇති අතර දැනට එක්සත් ජනපදය, චෙක් ජනරජය ස්ලෝවැකියා, රුමේනියාව දකුණු ඇමරිකානු රටවල් සහ ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක ක්‍රියාත්මක වේ.

    දැනටමත් ලංකාවේ වාහන නිෂ්පාදනය ඉක්මනට පටන් ගන්න පුළුවන් බවට මෙම ගිවිසුම අත්සන් තැබූ අබාන්ස් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටීමත් සමග ලංකාවේ සමාජ ජාල වල පවසන්නේ මේ කූට ගණුදෙනුවක් ඩීල් එකක් බවත් බැසිල් රාජපක්ෂ කපුටා නමැති කම්බා හොරා ඇතුළු හොර පවුලත් එම කල්ලියේ වෙනත් අයත් මේක හරහා ලංකාවේ ඔවුන්ගේ ඉතිරි වත්කම් සහ දැන් රනිල් යටතේද හොරකම් කරන මුදල් ප්‍රමාණය රටින් පිට කිරීමට කරපු සංවිධානාත්මක සැලසුමක් බවයි.

    ඇත්තටම දූෂිත, රටක් බංකොලොත් කරපු , සා/පෙ වත් සමත් නැති හොර දෙටුවෙක් හිරේ යනවා වෙනුවට රටපාලනයට ඇමතිකම් ඉල්ලන නියෝජිතයා වෙලා ඒ මදිවට මේවගේ ලංකාවේ ආරම්භ කිරීමට යන ව්‍යාපාර වලින් පවා ඩොලර් බිලියන ගණනක් රටින් පිට කිරීමට සැලසුම් සහගතව වැඩ කරලා කියලා කියන්නේ රනිල්ට මේක පාලනය කරගන්න පුළුවන් වෙයිද ඉකොනොමැට්ටා?

    ලංකාවේ වාහන ආනයනය තහනම් කර ඇති නමුත් වාහන නිශ්පාදනය සඳහා අවශ්‍ය එන්ජින් චැසි අමතර කොටස් සහ අමුද්‍රව්‍ය ඇතුළු 75% විතර ආනයනය කිරීමට සිදු වීමෙන් මේ ලංකාවේ නිෂ්පාදනය කරන එකෙන් ඇති ලාබයක් නෑ නේද? වාහන සීට් සස්පෙන්ෂන් ඇතැම් ඉලෙක්ට්‍රොනික උපාංග ටයර් රබර් බුෂ් සහ කාපට් ඇතුළු දේශීය සීමිත කොටස් ප්‍රමාණයක් නිෂ්පාදනය කර එකලස් කිරීමට ශ්‍රමය පමණක් ලබා දී මෙවැනි කර්මාන්ත ලංකාවේ කරන එක තේරුමක් නැති වැඩක් කියලා සමහරු කියනවා මේවායින් ලංකාවට වැඩක් තියෙනවා ද ඇත්තටම?

    ReplyDelete
  4. ඉකොනො
    බොහොම ස්තුති ලිපි වලට.මට ප්‍රස්න තුනක් තියනවා.

    1) මහ බැන්කුව උද්දමන පුරොකතනයක් පසුගියදා ඉදිරිපත් කලා. එයට අනුව 2023 වලින් පස්සෙ උද්දමනය සැහෙන අඩු වෙනවා. ඩොලර් එක float කරන්නත් ඉන්න එකෙ මෙ ගනන් එන්න පුලුවන් කියලා ඉකොනො හිතනව ද? හැබැයි මෙ පුරොකතනය සාර්තක නම් දැන් තියන පොලි අනුපාත ප්‍රමානවත්. Market එකට විස්වාසය දෙන්න උත්සහ කිරීමක්ද මෙක? https://www.youtube.com/watch?v=eUGF5tr04cI&t=595s

    2) මහ බැන්කු අදිපති තුමා කියනවා ඉස්සර ආපු remittances වර්ගීකරනය බැන්කු වලින් හරියට නොවුන කතාවක්. එහෙනම් මොනවද එ ? money laundering ද? එහෙනම් දැන් අඩු වෙල තියෙන්නෙ ඇත්ත remittances ද නැත්තම් වැරදිල වර්ගීකරනය වුන එවද?

    3)IMF මෙහෙම කියනවා "Executive Board of the EFF program would require adequate assurances by Sri Lanka’s creditors that debt sustainability will be restored". මෙ කියන්නෙ debt restructuring ඉවර කරන්න කලින් නය ගන්න පුලුන්වන් කියලද? එ කියන්නෙ debt restructuring ඉවර කරන්න ඔනි නැ restructure කරන්න කැමති කියල assurance එකක් තිබ්බම ඇති කියලද? https://www.imf.org/en/News/Articles/2022/08/19/pr22287-imf-staff-statement-on-sri-lanka

    ReplyDelete
    Replies
    1. 1. මහ බැංකුව බොරුවක් කරනවා නෙමෙයි. මේ මහ බැංකුවේ පුරෝකථන. නමුත් පුරෝකථන හැම විටම නිවැරදි නැහැ. කෙටිකාලීනව නිරවද්‍යතාවය වැඩියි. දිගුකාලීනව අඩුයි. තව මාස කිහිපයකින් උද්ධමනය අඩු වෙන්න පටන් ගනී කියන එක සමඟ මමත් එකඟයි. නමුත්, 2023දී ඔය තරම්ම අඩුවෙයි කියා මම හිතන්නේ නැහැ. මම මෙය කියන්නේ මහ බැංකුව විසින් යොදාගෙන ඇතැයි සිතන ආකෘතිය ගැනත්, එහි අඩුපාඩු ගැනත් යම් අදහසක් ඇතිව.

      2. මේ ප්‍රශ්න වලට මහ බැංකුව පිළිතුරු දිය යුතුයි. මහ බැංකු අධිපතිවරයා විසින් බෝම්බයක් අත ඇරලා තියෙනවා. එය නිෂ්ක්‍රීය කළේ නැත්නම් තුවාල වෙන්නේ මහ බැංකුවටමයි.

      3. debt restructuring කළා කියලා අනිවාර්යයෙන්ම debt sustainability ඇති වෙන්නේ නැහැ. එය තීරණය වන්නේ කරන විදිහ අනුව. ඒ කියන්නේ, ප්‍රායෝගිකව debt restructuring කිරීම අවසන් විය යුතුයි කියන එක. එසේ නැත්නම් කරන විදිහ ගැන පූර්ණ එකඟතාවයක් ඇති විය යුතුයි කියන එක. කරනවා කිවුවට හරියන්නේ නැහැ.

      Delete
  5. ඉකෝන්... මේක අතුරු ප්‍රශ්නයක්! ඇමරිකාවේ සිට ලන්කාවට ඩොලර් එවන්න පුලුවන් ලාභදායි සහ විශ්වාසවන්තම ක්‍රමය කුමක්ද? මාසිකව නිශ්චිත ඩොලර් ප්‍රමානයක් එවීමට අවශ්‍යයි. හැකි නම් පිලිතුරක් ලබා දෙන්න. ස්තූතිය!

    ReplyDelete
    Replies
    1. මමනම් ලොකුවට හොයා බලන්නේ නැහැ. කුමක් හෝ විධිමත් ක්‍රමයකට යවා ලැබෙන ගාණක් ගන්නවා.

      Delete
  6. ඉකනො... මේ වන විට වෙළෙඳ ගිනුමෙහි සුලු අතිරික්තයක් තියෙනව කියල අපි දන්නව . ඒ ඉතා විශාල ආනයන ප්‍රමාණයක් කපා හැරීමෙන් පසුව කියලත් අපි දන්නව.

    මෑතක මූල්‍ය පහසුකමක් හෝ ණය මුදලක් ලැබුනෙත් නැහැ. නමුත් මේ වනවිට පරිප්පු ගෑස් වගේ දේවල මිලෙහි අඩුවීමක් තියෙනව.
    ඒ කොහොමද. එහෙම වෙන්න පුලුවන්ද. ඉතා කුඩා උද්ධමන පාලනයක් වෙනව වගේ පේනව. මේ වෙන්නෙ මොකක්ද? යලි හැරී වේගවත් වැටීමකට පෙර සිදුවන තාවකාලික සුවයක්ද මේ.

    ReplyDelete
    Replies
    1. ඉන්ධන, බස් ගාස්තු සුළුවෙන් අඩු කිරීම උද්ධමනය අඩු කර පෙන්වීම සඳහා උපක්‍රමයක් ලෙස කළ දෙයක් කියා මම හිතනවා. එවැන්නක් වුවත්, එහි බලපෑම විශාල එකක් නෙමෙයි. උද්ධමනය කොහොමටත් පාලනය වීමට නියමිතව තිබුණා. ලැබෙන ඩොලර් ටික ආහාර, ඉන්ධන වෙනුවෙන් වෙන් කිරීම මගින් හිඟය අඩු කර මිල ඉහළ යාම වලක්වා තිබෙනවා. එය නරක දෙයක් නෙමෙයි. ඒ වගේම උද්ධමනය නිසාමත් උද්ධමනය පාලනය වෙනවා. මිල ඉහළ යද්දී තවතවත් සල්ලි අච්චු නොගැහුවොත් මිනිස්සු අතේ සල්ලි නැති නිසා ඉල්ලුම අඩු වී මිල පහළ යනවා. උද්ධමනය ඉහළ යාම තවත් මාසයක් හෝ දෙකක් ඇතුළත අවසන් විය යුතුයි. ඉන් පසු ක්‍රමක්‍රමයෙන් අඩු විය යුතුයි.

      Delete
    2. උද්ධමනය අඩු වෙනවා කියන එකෙන් සමස්තයක් ලෙස බඩුමිල අඩු වෙනවා කියන එක අදහස් වෙනවද

      Delete
    3. කිසිසේත්ම නැහැ. බඩු මිල වැඩි වීමේ වේගය අඩු වෙන එකයි වෙන්නේ. බඩු මිල අඩු වෙන්නනම් උද්ධමනය සෘණ විය යුතුයි (අවධමනය). "උද්" කියා පටන් ගන්නේම "උඩට යාම" කියන අර්ථය නිසා.

      Delete
  7. මේ ලිපියෙන් කියන්න හදන දේ පැහැදිලි මදි මටනම්.

    ReplyDelete
    Replies
    1. කියන්නේ රට ණය වී ඇතත් රට ඇතුළේ ඒ ණය ප්‍රමාණය මෙන් හය ගුණයක පමණ වත්කම් හැදී තිබෙන බව. ගත්ත ණය වලට වෙච්ච දෙයක් නැහැ කියන කතාවට පදනමක් නැති බව.

      Delete
    2. ඔබ පහුගිය ලිපිවල දිගටම කිව්වේ ගත්තු ණය වලින් ප්‍රමාණවත් ආදායමක් ජනිත නොකර පාරිභෝජනයට වැය කිරීම නේද මේ දැන් ඉන්න ත්ත්වෙට මුල කියල.
      ඒක එතකොට ඉහත ප්‍රකාශයත් එක්ක ගැලපෙන්නෙ කොහොමද?
      දෙක, වත්කම් ඉහල ගිහිල්ලනම් ණය ඵලදායී ලෙස වියදම් කරල වෙනවද?

      Delete
    3. හොඳ ප්‍රශ්නයක්! වත්කම් හා ආදායම් කියන්නේ දෙකක්. වත්කම් කියා කියන්නේ stock එකක්. ආදායම් කියා කියන්නේ flow එකක්. ණය කියන්නේ stock එකක්. ණය වෙනුවෙන් ගෙවිය යුතු පොලී flow. stock එකක් පොකුණක තිබෙන වතුර වගේ. flow එකක් ගඟක තිබෙන වතුර වගේ. ලංකාව ගත්ත ණය වලට සරිලන වත්කම් හැදී තිබෙනවා. ඒ නිසා පරිභෝජනය කරලා අවසන් කරලා කියන එක අර්ධ සත්‍යයක්. එය බොරුවක්ම නෙමෙයි. නමුත් එක් අයෙක් පරිභෝජනය කර නාස්ති කරන හැම විටම ඒ සල්ලි තවත් අයෙකුගේ ආදායමක් වෙනවා. ආනයන කරද්දී ආදායම යන්නේ විදේශිකයෙකුට වුවත් එම ආනයන ආශ්‍රිතව රට ඇතුළෙත් ආදායම් හැදෙනවා. ඒ වගේම, ආනයනය කරන දේවල් වලින් සැලකිය යුතු කොටසක් වත්කම් ලෙස රටේ ඉතිරි වෙනවා. මීට වඩා තේරෙන ආකාරයකට කිවුවොත්, සාමාන්‍ය මිනිස්සුන්ගේ වත්කම් ගොඩක් තියෙන්නේ ලොකු ගෙවල්, ලොකු වාහන ආදිය ලෙස. ඒවායේ වටිනාකම ගොඩක් වැඩියි වගේම කාලයත් එක්ක ඉහළ ගිහිනුත් තිබෙනවා. නමුත් වත්කම් පමණට ලැබෙන ආදායමක් නැහැ. ප්‍රශ්නය ඒකයි. රාජ්‍ය වත්කම් ගත්තත් තත්ත්වය ඒකයි, වත්කම් තිබෙනවා. නමුත් ආදායම් නැහැ.

      Delete
    4. නමුත් වත්කමක් වත්කමක් වෙන්නෙම ඒ වත්කම ආදයම් ඉපයීමේ විභවයක් තියෙනවනම් විතරයි නේද.
      ලන්කාවෙ වතක්ම් වලින් ආදායම් ඉපදෙන්නෙ නැහැහැයි කියන්නෙ ඔය තියෙනවයි කියන වත්කම් වල නියම වටිනාකම කියන මිලට වඩා බොහෝ අඩුවිය යුතුයි
      වෙන විදියකට කියනවනම් ඕවර් වැලුවෙශන් එකක් තියෙන්නෙ ලන්කාවෙ වත්කම්වල කියල මට හිතෙන්නෙ.

      Delete
    5. ඔවු ඉතින් ඒක නම් ඇත්ත තමයි නමුත් ඉකොනොමැට්ටා ආර්ථික විද්‍යාව හෝ ගිණුම් ගැන මූලික දැනුමක් වත් නැති නිසා මට නම් මේ කිසිම දෙයක් තේරුම් ගන්න අමාරුයි මට සමාවෙන්න ඒත් මට තේරෙන්නේ ඔබ ඔය කියන වත්කම් කියලා කියන්නේ හිමිකම් සහ වගකීම් යන දෙකේම එකතුවයි එහෙම නේද?

      ලංකාවේ පවතින සියලුම ආකාරයේ වත්කම් එකතුව කියන්නේ ලංකාවේ රජයේ සහ පුද්ගලයන් සතු පෞද්ගලික දේපළ එකතුවක් නමුත් ඒක හැදෙන්නෙ හිමිකම් Equity සහ වගකීම් Liabilities කියන දෙකම එකතු වෙලා හැදුව Assets වලින්

      අනෙක ලංකාවේ රජයේ දේපළවලින් දේශපාලනික කරුණු වෙනුවෙන් පාලකයන් සහ සාමාන්‍ය ජනතාව විසින් බලෙන් හෝ නීතිය අනුව අත්පත් කරගෙන සිටින drawings ගැනිලි ඒ වගේම රජයේ සහ පෞද්ගලික අංශයේ වියදම් Expenditure නිසා මේ හිමිකම් සැබෑ වශයෙන් ගත්තාම අඩු වෙලා තියෙන්නේ නේද?

      අනෙක් පැත්තෙන් ආර්ථික විද්‍යාව ගිණුම් වගේ විෂයයන් වලදී බොහෝ වර්චුවල් තථ්‍ය සංකල්ප ඇතුළත් භෞතික රසායන ජෛවාදී ස්වභාවික විද්‍යා වලට වඩා ගොඩාක් පැටලිලි සහගතයි නේද හැරෙන හැරෙන පැත්තට තර්ක විතර්ක කරමින් එක එක දේවල් මවල පෙන්වන්න පුළුවන් නමුත් ඒ කිසිවක් නිරපේක්ෂ සත්‍යය නෙවෙයි ඉතින් උදාහරණයක් විදියට තර්මෝවලදී අපි කියන Absolute Zero එහෙම නැත්නම් Kelvin zero වගේ දේවල් නිර්වචනය කරලා අගයයන් ඉදිරිපත් කරන විදියට ආර්ථික විද්‍යාව ගිණුම්කරණ සංකල්ප වලට අනුව පැහැදිලි කරන්න බෑනේ එහෙම දේවල් නෑනේ සාපේක්ෂව එක එක දේවල් මතවාද ඉදිරිපත් කරනව ඒත් ඒ එකක් වත් ඇත්තක් කියලා කියන්න බැරි නිසා ඇත්ත
      නෙවෙයිනේ ඉතින් එහෙම නේද?

      ඒ වගේම තමයි නිදහස් වෙළද පොළ ගැන විශ්වාස කරන බව පවසන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ලංකාවේ අධික බිත්තර මිල පාලනය කරගන්න සුදු බිත්තරයක් සඳහා රුපියල් හතළිස් තුනක් රතු බිත්තරයක් සඳහා රුපියල් හතලිස් පහක් ලෙස තම රජය විසින් පාලන මිලක් පැන වුවද ලංකාවේ අද නිව්ස් බලපුවාම වෙළඳුන් සඳහන් කරන්නේ සත්ව ආහාර හා ඖෂධ මිල ඉහළ යාම මත බිත්තර නිෂ්පාදනයට අධික පිරිවැයක් දැරීමට සිදුවන සිදුවන බවත් පාලන මිල පැනවීම හේතුවෙන් අලාභ විඳීමට සිදුවන බව පවසමින් සැපයුම්කරුවන් බිත්තර අලෙවි නොකරන බවද කියනවා ඒ වගේම ලංකාවේ වෙළඳපොල තුළ බිත්තර විශාල හිඟයක් ඇතිවී තිබේ. සිල්ලර වෙළඳුන් සඳහන් කරන්නේ බිත්තර සැපයුම්කරුවන් විසින් බිත්තර සැපයීම මේ වන විට ඉතාම අඩු කර ඇති බවයි.

      පහුගිය කාලේ මෝඩ නන්දසේනලාගේ ගැසට් රිවස් විගඩම් දැඩි ලෙස විවේචනය කරමින් ඒවාට හිනාවුණ අපටත් දැන් පාරේ බැහැල යන්න බැරි වෙන ලයින් එකක් තියෙන්නේ මේ නිදහස් වෙළද පොළ ක්‍රමය ගැන ලොකු ටෝක්ස් දෙන්න ගිහින් මට නම් ආර්ථික විද්‍යාව එපා වෙලා තියෙන්නේ මේ දවස් වල තියෙන ආර්ථික තීන්දු තීරණ එක්ක

      Delete
    6. //නමුත් වත්කමක් වත්කමක් වෙන්නෙම ඒ වත්කම ආදයම් ඉපයීමේ විභවයක් තියෙනවනම් විතරයි නේද.//

      ඔව්. මෙහිදී ඉතා පැහැදිලිවම ආදායම් ඉපැයීමේ විභවය තිබෙනවා. එම විභවය ප්‍රයෝජනයට නොගන්නා එකයි වෙන්නේ. සංකල්පීය ලෙස ගත්තොත් වෙන්නේ ආදායම උපයලා තමන්ම පරිභෝජනය කරන එක (නිවාස වල ආදායම් වියදම් ඇස්තමේන්තු හදද්දී සලකන්නෙත් ඒ විදිහට). උදාහරණයක් ලෙස ලොකු ගෙයක ඉන්න කෙනෙක්ට එය කුලියට දීලා හරි, නිවාඩු නිකේතනයක් කරලා හරි පොඩි ගෙයක පදිංචියට යන්න පුළුවන්. කාර් එකක් තියෙන කෙනෙක්ට එය හයර් එකට දමලා බස් එකේ යන්න පුළුවන්. එතකොට ආදායම් එනවා. (මම කියන්නේ මේ මොහොත ගැන නෙමෙයි. දැන්නම් මේ දේවල් අසීරු විය හැකියි)

      //ලන්කාවෙ වතක්ම් වලින් ආදායම් ඉපදෙන්නෙ නැහැහැයි කියන්නෙ ඔය තියෙනවයි කියන වත්කම් වල නියම වටිනාකම කියන මිලට වඩා බොහෝ අඩුවිය යුතුයි
      වෙන විදියකට කියනවනම් ඕවර් වැලුවෙශන් එකක් තියෙන්නෙ ලන්කාවෙ වත්කම්වල කියල මට හිතෙන්නෙ.//

      ඒ හේතුව නිසාම නොවුනත් ප්‍රකාශය නිවැරදියි. මොකද රුපියල් වත්කම් වල වටිනාකම් ඩොලර් කළාම තමයි මේ ගණන එන්නේ. ඩොලරය 200 සිට 360 දක්වා යාමෙන් පසු ලොකු අඩු වීමක් සිදු වී තිබිය යුතුයි. ඩොලරය තවත් ඉහළ ගියොත් සහ ඊට සමාන්තරව දේපොළ මිල ඉහළ නොගියොත් valuation එක නිවැරදි වෙනවා.

      Delete
    7. //ඔබ ඔය කියන වත්කම් කියලා කියන්නේ හිමිකම් සහ වගකීම් යන දෙකේම එකතුවයි එහෙම නේද?//

      ශුද්ධ වත්කම්. ඒ කියන්නේ (හිමිකම් - වගකීම්).

      Delete
  8. ඉකොනො

    ලංකාවේ ජනපති රනිල් වික්‍රමසිංහ මෙන්ම පොහොට්ටු පක්ෂ කල්ලිය සහ සජබ මෙන්ම බහුතරයක් දෙනා විසින් ලංකාවේ රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයට පැවරීම ගැන සුබවාදීව හිතන බව මේ දවස්වල පේනවා

    තවමත් රාජ්‍ය ව්‍යාපාර රජය යටතේ තබා ගැනීමට සටන් කරනා ජවිපෙ ජාතික නිදහස් පෙරමුණ සහ පැරණි සමසමාජ කොමියුනිස්ට් පක්ෂ වල අය,පවසන්නේ පෞද්ගලික අංශයට පැවරීම මගින් අධික ලෙස මිල ගණන් ඉහළ නංවා පෞද්ගලික අංශයේ කූට ව්‍යාපාරිකයන් වන ධම්මික පෙරේරා වගේ කට්ටිය මහජන මුදල් සූරා කෑමට ඉන් අනතුරුව සිදුවන බව මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් හොඳයි

    මේ බලන්න ජවිපෙ ජාතික ජන බලවේගය විසින් සමාජ මාධ්‍යයේ පළ කළ අදහස්


    https://www.facebook.com/groups/870838356796583/permalink/1208104806403268/?app=fbl

    ReplyDelete
    Replies
    1. @AnonymousAugust 23, 2022 at 4:18 AM

      මම් නම් හිතන්නේ ඔය ලංකාවේ බහුතරය හිතන විදිහට ලංකාවේ බලශක්තිය පුද්ගලිකකරණය කරනවාට වඩා ප්‍රතිව්‍යූහගත කරලා කොටස් වෙළඳ පොළේ ලයිස්තුගත කරපු රජයට අයත් රාජ්‍ය සමාගම් බවට පත් කරනවනං ඒක වඩා හොද වෙන්න පුළුවන් බවකුයි.

      ඔතනදි පුද්ගලිකකරණය ලංකාවේ දැනට වෙලා තියෙන විදිහට ලිබරල් ආගමික දෘෂ්ටියක් ලෙස ගන්නවට වඩා රටේ අවස්‍යතාවයට ගැලපෙන වඩාත්ම කාර්යක්ෂම හොඳම විසඳුමයි අප තෝරාගත යුත්තේ, ඔතෙන්දි ඇත්තටම පුද්ගලිකකරණය කිව්වට මේ දක්වා ‌ලංකාවෙ පෙට්‍රෝලියම් මාකට් එකට එනව කියල තියෙන්නෙ ඩුබායිවල හෝ ඉන්දියාවෙ හෝ චීනයෙ රාජ්‍ය සමාගම්ම තමයි. (අයි ඕ සී/ එමරත්/ ඇඩ්නොක්/ සිනෝපෙක්) ඒ නිසා මේව පුද්ගලිකකරණය කියන්නත් බැහැ, ඇත්තටම වෙන්නේ විදෙස් රාජ්‍ය සමාගම් වලට පවරණ එක වගේ එකක් ඒත් ඒ විදෙස් සමාගම් ලාභ ලබනවා විතරක් නොව ලෝකෙ පුරාම ආයෝජනත් කරනවා කිසිම අවුලකින් තොරව, අනෙක් අතට බලශක්තිය කියන්නෙ හුදෙක් ආර්ථික කාරණාවක් විතරක් නෙමෙයි දේශපාලනික කාරණාවක්. ඒ වගේම ආරක්ෂාවටත් සම්බන්ධ කාරණාවක්. රාජ්‍යයක් තියෙනවද නැත්ද කියල තීන්දු කරන කාරණාවක්.

      ඒ වගේම අනෙක් එක මේ එන විදේශ රාජ්‍ය සමාගම්වල ඒකාධිකාර යටතේ මාකට් එකේ ‌තරගයක් ‌ඇති වෙයි කියල හිතන්න අමාරුයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුරාකෑමක් තමයි වෙන්න ඉඩ තියෙන්නෙ. ඒ වගේම විදේශ විනිමය ‌පිටට ගෙනියන සීමා ලිහිල් වීම සහ බදු සහන දීමත් එක්ක විදේශ විනිමය අර්බුදය මේ හින්ද දිර්ඝ කාලීනව උග්‍ර වෙන්නත් පුළුවන්. අනෙක සෘජු පාඩුව කෙසේ වෙතත් වක්‍ර ආදායම් අහිමි වීමෙන් සමස්ත රාජ්‍ය ආදායම් තියෙනවටත් වඩා අහිමි වෙන්න පුළුවන්.

      උදාහරණ විදිහට 1990 දශකයේ ලංකා ගෑස් සංස්ථාව ශෙල් ගෑස් සමාගමට දීපු එකෙන් අයි එම් එෆ් එකේ ඉල්ලීම ඉටු කළත් පස්සෙ රටේ විශාල ගෑස් අර්බුදයක් ඇතිවෙලා මිනිස්සුන්ට පුද්ගලීකරණය එපාම වෙලා ගිහින් රාජ පක්ස කල්ලිය මේක නැවත රජයට පවරගෙන ලිට්‍රෝ ගෑස් ලිමිටඩ් කියලා රජයට අයත් පුද්ගලික සමාගමක් ලෙස ඔපරේට් කළත් තාමත් පාඩුයි නේද?

      ඔය විදිහට වඩා ගැඹුරින් හිතලා මේ ඔක්කොම බැලුවම වඩාත්ම සාධාරණ විසදුම රජයේ දෙපාර්තමේන්තු/ මණ්ඩල සහ සංස්ථා වෙනුවට සීමාසහිත පොදු සමාගම් ලෙස කොටස් නිකුත් කරමින් රාජ්‍ය සමාගම් බවට මේව පත් කරල කොටසක් ෂෙයා මාකට් එකෙත් දාල කොටස් හිමියන්ගේ ඡන්දයෙන් සුදුසු ප්‍රධානින් පත් කරල මේව කරල බලන එක.

      ලංකාවෙත් උදාහරන තියෙනවා, හරියට ලෙකෝ සමාගම හෝ ටෙලිකොම්, එතකොට රක්නා ආරක්ෂා ලංකා වගේ බිලියන ගනන් ලාභ ලබන රජයට අයත් සමාගම තියෙන්නේ. සංස්ථා හෝ දෙපාර්තමේන්තු මෙන් නොව මේවයෙ සේවකයන්ගෙ වැටුප් සහ දීමනා ආදිය (ඒවයේ සීඊඔ් කියන්නෙත් සේවකයෙක්) ‌නියම වෙන්නෙ කුසලතාව (ස්කිල්) සහ පෆෝමන්ස් අනුවයි.

      ඉතින් මට හිතෙන්නේ එයින් උඩ කියපු ප්‍රශ්නත් අවම කරගෙන ලාභ ලබන තත්වයට පත් කරගන්න පුළුවන් විය හැකියි. බොහෝඅ දුටර ලොකුම බාධකය වන වෘත්තිය සමිති විරෝධයත් අවම කරගත හැකියි එවැනි ප්‍රතිව්‍යුහගතකරණයකට.

      හැබැයි ලංකාවේ රනිල්ටත් හර්ශලා වගේ කයිවාරුකාරයින්ටත් එකම විසඳුම කෝකටත් තයිලය ලෙස නමුත් අයිඑම්එෆ් එකේ අවශ්‍යතාවය පුද්ගලික සමාගම්වලට මේව පැවරීම. ඉතිං ඒක තමයි අයි එම් එෆ් එකේ ලංකාවේ බ්‍රොකර් උන්නැහේ කෙනෙක් වෙන රනිල් කියන්නෙ. රනිල් කියන්නෙ අයිඑම්එෆ් එක කියන එකමයි. ඔය මුල්‍ය සමාගම්වලින්ම නඩත්තු කරන සෝ කොල්ඩ් 'ඉන්ඩිපෙන්ඩන්ට් තින්ක් ටෑන්ක්ස්' වලින් කියන්නෙත් ඒකමයි. නමුත් ලංකාවට හරිම දේ හොයාගන්න ඕනේ ලංකාවෙ මොළේ තියෙන මිනිස්සු එකතු වෙලා කල්පනා කරලා සැලසුමක් හදාගෙන ඒක ගැන බහුතර පොදු ජනයා දැනුවත් කරමිනුයි, නමුත් එහෙම දෙයක් වෙන්නේ නැහැනේ.

      Delete
  9. ඉකොනො, ලංකාවේ නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ණය ලබා ගැනීමට අවශ්‍ය ප්‍රධාන ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන බව හෙළිදරව් කළ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමින් කැබිනට් ප්‍රකාශක ඇමති බන්දුල ගුණවර්ධන හෙවත් ලංකාවේ රුපියල් 2500 කින් හතර දෙනෙක් ඉන්න පවුලකට මාසයක් ඉතාමත් සාර්ථකව ජීවත් විය හැකි බවට රට බයිලා දෙඩවු 2500 හිඟන්නා නමැත්තා ඉදිරියේදී රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුගත කිරීමේ දී වන්දි ගෙවීම් සිදු නොකර එම ආයතන වල අතිරික්ත සේවකයන් ඉවත් නොකරන බව තවත් බයිලාවක් ගැහුවා නේද? ඒ කියන්නේ වන්දි ගෙවලා රජයේ ආයතන වල සේවකයන් ගණනාවක් ඉවත් කිරීමට සිදු වෙන බව ඉතාමත් පැහැදිලි බව නේද?

    කලින් විදේශීය සමාගම් සහ දේශීය පෞද්ගලික අංශයේ ව්‍යවසායයන්ට රජයේ ආයතන විකුණලා තියෙන අවස්ථාවලදීද එම ක්‍රමවේදය යොදා ගත් බවද පවසන ඔහු රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල වල ඇති වන්දි සුත්‍රයට අනුව කටයුතු සිදු කරන බවද කියන්නේ මෙයින් ලංකාවේ ආර්ථිකයට ඇති විය හැකි බලපෑම සහ මේකට සමගාමීව විශාල වැඩ වර්ජන රැල්ලක් සමඟ දේශපාලන ව්‍යාකූලතා ඇතිවිය හැකි බව ජවිපෙ ජාතික බලවේගයේ මෙන්ම වාසිදේව සහ කටහැකර බූරුවංස වැනි කල්ලිවලද මතයයි

    මේක ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද? මෙය බරපතල ලෙස ලංකාවට ඉදිරි කාලයේදී බලපාවිද?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: