ෆිච් රේටින් ආයතනය විසින් ලංකාවේ ප්‍රධාන බැංකු දහයක ශ්‍රේණිගත කිරීම් පහළ දමා තිබෙන බව ඔබ දැනටමත් දන්නවා ඇති. මෙයින් අදහස් වන්නේ කුමක්ද?
මුලින්ම අපි ශ්‍රේණිගත කිරීම් පහළ ගොස් ඇති ආකාරය දෙස බලමු.
- ලංකා බැංකුව, මහජන බැංකුව, කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව හා සම්පත් බැංකුව යන බැංකු පහේ ණය ශ්‍රේණි AA- සිට A දක්වා කට්ට දෙකකින් පහළ දමා තිබෙනවා. ඔබ දන්නා පරිදි මෙම බැංකු පහ ලංකාවේ ප්‍රධානම වාණිජ බැංකු පහයි.
- කාගීල්ස් බැංකුවේ ණය ශ්‍රේණිය A+ සිට A දක්වා එක් කට්ටයකින් පහළ දමා තිබෙනවා.
- ඩීඑෆ්සීසී බැංකුවේ ණය ශ්‍රේණිය A+ සිට A- දක්වා කට්ට දෙකකින් පහළ දමා තිබෙනවා.
- ජාතික සංවර්ධන බැංකුව, සෙලාන් බැංකුව හා නේෂන්ස් ට්‍රස්ට් බැංකුව යන බැංකු තුනේ ණය ශ්‍රේණි A සිට A- දක්වා එක් කට්ට්යකින් පහළ දමා තිබෙනවා.
ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකු 24ක් තිබෙනවා. එම බැංකු අතරින් 12ක්ම විදේශ බැංකු. ඉන්දියන් බැංකු 3ක්, පකිස්ථාන බැංකු දෙකක්, චීන බැංකුවක්, සවුදි අරාබි බැංකුවක්, මැලේසියන් බැංකුවක් හා ජාත්‍යන්තර බැංකු 4ක් මෙයට අයත්. යුනියන් බැංකුව ශ්‍රී ලාංකික බැංකුවක් වුවත්, මේ වන විට එහි වැඩි කොටස් අයිතිය හිමි ඇමරිකානු සමාගමකටයි. දේශීය බැංකු සේ සැලකිය හැක්කේ ඉතිරි බැංකු 11 පමණයි. එම බැංකු 11 අතරින් බැංකු දහයකම ශ්‍රේණිගත කිරීම් ෆිච් රේටින් ආයතනය විසින් පහළ දමා තිබෙනවා.
කෙසේ වුවද, රටේ ප්‍රධාන වාණිජ බැංකු පහේ සහ කාගීල්ස් බැංකුවේ ණය ශ්‍රේණිය තවමත් A මට්ටමේ තිබෙනවා. තවත් බැංකු හතරක ණය ශ්‍රේණිය A- මට්ටමේ තිබෙනවා. පෑන් ඒෂියා බැංකුවේ ණය ශ්‍රේණිය මේ අවස්ථාවේදී පහත දමා නැතත්, එම ණය ශ්‍රේණිය පෙර සිටම තිබුණේ BBB- මට්ටමේ.
ඉහත ණය ශ්‍රේණිගත කිරීම් වලින් අදහස් වන්නේ කුමක්ද?
ෆිච් රේටින් ආයතනය විසින් ඉහත ශ්‍රේණිගත කිරීම් කර තිබෙන්නේ අදාළ වාණිජ බැංකු වල අවදානම ලංකාවේම අනෙකුත් ආයතන වල අවදානම් හා සසඳමින් නිසා මෙම ශ්‍රේණිගත කිරීම් විදේශ බැංකු වල ශ්‍රේණිගත කිරීම් හා සංසන්දනය කළ නොහැකියි. වෙනත් අයුරකින්, මෙම ශ්‍රේණිගත කිරීම් වලින් පිළිඹිඹු වන්නේ රට තුළ සිටින අයෙකුට මුහුණ දෙන්නට සිදු විය හැකි අවදානමේ තරම කියා කියන්නත් පුළුවන්. ණය ශ්‍රේණි පහත දමා තිබුණත්, දැනට තිබෙන මට්ටමෙන් වුවද විශාල අවදානමක් පෙන්නුම් කරන්නේ නැහැ.
ෆිච් රේටින් ආයතනයේ A සහ A- මට්ටම් වලින් අදහස් කෙරෙන්නේ ණය ආපසු නොලැබීමේ අවදානම ඉතා අඩු (very low default risk) නැතත්, අඩු (low default risk) බවයි. ඒ වගේම ණය ආපසු ගෙවීමේ ධාරිතාව ශක්තිමත් බවයි. එහෙත් බාහිර කම්පන හේතුවෙන් මෙම ධාරිතාවට බලපෑමක් සිදු විය හැකි බවයි.
ලංකාවේ බැංකු වල ණය ආපසු ගෙවීමේ ධාරිතාවට බලපෑමක් සිදු විය හැකි ප්‍රධානම ආකාරයක් වන්නේ රජය විසින් දේශීය ණය ගෙවීම පැහැර හරිනු ලැබීමයි. එවැන්නක් සිදු නොවන තාක් බැංකු පද්ධතිය සුරක්ෂිත බව මෙම විශ්ලේෂණයෙන් අදහස් කෙරෙනවා. කෙසේ වුවත්, ෆිච් රේටින් ආයතනය විසින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනු ලැබීමේ අවදානමට යම් බරක් තබනවා.
මීට පෙර, දෙසැම්බර් මාසයේදී, ෆිච් රේටින් ආයතනය විසින් ශ්‍රී ලංකා රජයේ දේශීය ණය අවදානම් ශ්‍රේණිය CCC සිට CC දක්වා පහත හෙළනු ලැබුවා. එයින් අදහස් වන්නේ එම ආයතනයේ තක්සේරුව අනුව, දේශීය ණය පැහැර හරිනු ලැබීමේ අවදානම ඉතා ඉහළ මට්ටමක ඇති බවයි (Very High Levels of Credit Risk). එම ආයතනය එසේ සිතන්නේ ඇයි?
දෙසැම්බර් මාසයේදී නිකුත් කෙරුණු ෆිච් රේටින් නිවේදනය අනුව, උද්ධමනය පහත වැටෙමින් පවතින අතර පොලී අනුපාතික එහි උපරිම මට්ටමට ළඟා වී අවසන්. කෙසේ වුවත්, ආදායම් වැඩි කර ගෙන, වියදම් සීමා කර, අයවැය හිඟය අඩු කර ගැනීම මගින් ණය බර අඩු කර ගැනීම රජයේ ප්‍රකාශිත ඉලක්කය වුවත්, එම ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ ශක්‍යතාවය පිළිබඳව ෆිච් රේටින් ආයතනය එතරම් විශ්වාසයක් තබන්නේ නැහැ. ඒ නිසාම, ඔවුන්ට පෙනෙන පරිදි, රජය යම් අවස්ථාවක දේශීය ණය ගෙවා ගත නොහැකිව හිර වීමට නියමිතයි.
ෆිච් රේටින් ආයතනය විසින් මෙහිදී රජය සතුව ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා අවශ්‍ය වන දේශපාලන සහයෝගය නොමැති වීම ප්‍රශ්නයක් ලෙස දකිනවා.
"Political Risks Weigh on Fiscal Outlook: Political instability could threaten reform implementation. The government's parliamentary position appears strong, but the government lacks public support. This increases the risk of further destabilising protests if economic conditions do not improve or reforms generate public opposition. President Wickremesinghe was prime minister in the previous administration under President Rajapaksa, who was brought down by protests. Parliament and the government also remain dominated by politicians who are affiliated with the Rajapaksa family."
ෆිච් රේටින් ආයතනය විසින් රජයේ සාර්ව ආර්ථික වැඩ පිළිවෙළෙහි ප්‍රශ්නයක් දකින්නේ නැහැ. එහෙත්, සරල වචන වලින් කියනවානම්, ෆිච් රේටින් ආයතනය විසින් කියන්නේ මහජන සහයෝගය නැති, රාජපක්ෂ හිතවාදී ආණ්ඩුවට මේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මහජන සහයෝගය නොලැබෙන නිසා වැඩේ වෙන්නේ නැති බවයි.
මේ නිගමනය හරි වුනත්, වැරදි වුනත්, ෆිච් රේටින් ආයතනය වැනි ආයතනයක නිගමන වලට ලෝකයම සංවේදීයි. ඒ නිසා, එවැනි ආයතන මේ විදිහට හිතද්දී ලංකාවට වැටී සිටින වලෙන් ගොඩ එන්න අමාරුයි. ඒ හේතුව නිසාම, කුමක් හෝ මැතිවරණයක් පවත්වා ආණ්ඩුව සමඟ ජනතාව සිටින බව නොපෙන්වුවහොත්, ආණ්ඩුවට මේ වන විට හිර වී සිටින තැනින් එළියට යාමට අවශ්‍ය ජාත්‍යන්තර සහයෝගය නොලැබෙන්න පුළුවන්.
පැවැත්වීමට නියමිතව ඇත්තේ පළාත් පාලන මැතිවරණයි. යම් හෙයකින් එජාප-පොහොට්ටු සන්ධානයට ජනමතය තවදුරටත් තමන් සමඟ තිබෙන බව මෙම මැතිවරණය හරහා පෙන්විය හැකිනම්, එතැන් සිට සියල්ල සුමට ලෙස සිදු විය හැකියි. එහෙත්, මැතිවරණ ප්‍රතිඵලය ආණ්ඩුවට වාසිදායක වීමට තිබෙන ඉඩකඩ කොපමණද?
පළාත් පාලන මැතිවරණ වලින් ආණ්ඩුව පරාජය වී, දැනට යෝජිත ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළම ලොකු වෙනසක් නැතිව ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් සෘජුව පෙනී සිටින වෙනත් පාර්ශ්වයක් ඉදිරියට ආවොත්, ජාත්‍යන්තර සහයෝගය එම කඳවුරට ලැබීම අනිවාර්යයෙන්ම සිදු වනු ඇති අතර එය සිදු වනු ඇත්තේ මහ මැතිවරණයක් පවත්වා එම කඳවුර ආණ්ඩු බලය ලබා ගැනීමෙන් පසුවයි. එතෙක්, පවතින තත්ත්වයෙහි ප්‍රගතියක් සිදු නොවෙන්න පුළුවන්.
පෙර කී පරිදි, ජාත්‍යන්තර ඇසින් ආණ්ඩුව තුළ දකින ප්‍රශ්නය ආණ්ඩුවේ වැඩ පිළිවෙළ පිළිබද ප්‍රශ්නයක් නෙමෙයි. එය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය දේශපාලන සහයෝගය නැතිකම පිළිබඳ ප්‍රශ්නයක්. ඒ නිසා, වැඩ පිළිවෙළ නැතිව දේශපාලන සහයෝගය පමණක් තහවුරු කරගත් පමණින් කිසිවක්ම සිදු වන්නේ නැහැ. එවැනි තත්ත්වයක් තුළ ජනතාවගේ පැත්තෙන් "දඩුවම්" කාලය "දැඩි දඬුවම්" කාලයක් වනු හැර වෙනත් දෙයක් වීමේ ඉඩක් නැහැ.
කන්න නැතත්
ReplyDeleteබොන්න නැතත්
රට උගසට සින්න වෙතත්
නිදහස නම් හරි ජයටම
අපි සමරනවා
කන්න නැතත්
ReplyDeleteබොන්න නැතත්
අගාදෙටම රට වැටුණත්
කාරී නැතැයි අදහන්නෝ
තවම ඉන්නවා
බොහොම කෙටියෙන් කිවහොත් සහන පැකේජ් එක ඉක්මනින් නොලැබුනොත් හොම්බෙන් යන්න වෙනවා.
ReplyDeleteකුමාර ඔහොම උකටලී වෙන්න එපා. ටින් එකක් බොමුද
Deleteඔබේ පැහැදිලිකිරීම් විශිෂ්ඨයි. අගය කරනවා.
ReplyDelete