වෙබ් ලිපිනය:

Saturday, October 3, 2026

මහ බැංකුව උද්ධමනය පාලනය කරන්නේ කොහොමද?


මේ වෙද්දී ලංකාවේ නිල උද්ධමනය 8.0% දක්වා ඉහළ ගිහින් තියෙනවා. එයින් අදහස් වෙන්නේ 2025 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 2026 සැප්තැම්බර් මාසය වන විට කොළඹ පාරිභෝගික මිල දර්ශකය සකස් කිරීම සඳහා යොදා ගන්නා භාණ්ඩ හා සේවා පැසේ සමස්ත මිල 8.0%කින් ඉහළ ගිහින් කියන එකයි. 

උද්ධමනය හා මුදල් සැපයුම අතර සම්බන්ධයක් තියෙනවා කියන එක මේ වෙද්දී ගොඩක් අය දන්නවා. නමුත් මේ සම්බන්ධයේ ස්වභාවය ගැන විවිධ අය දන්නේ විවිධ මට්ටම් වලිනුයි. කොහොම වුනත් යම් මූලික දැනුමක් තිබෙන සැලකිය යුතු පිරිසක් ඉන්නවා. 

මූලික න්‍යාය අනුව, ඉතාම සරලව, මුදල් සැපයුම වැඩි වෙද්දී භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුම ඉහළ යනවා. ඉල්ලුම ඉහළ යද්දී, ඒ හා සමානව සැපයුම ඉහළ නොගියහොත්, මිල වැඩි වෙනවා. මුදල් සැපයුමේ විශාල වැඩිවීම් සිදු විය හැකි වුවත් සැපයුමේ එවැනි විශාල වැඩි වීම් සාමාන්‍යයෙන් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා මුදල් සැපයුම සැලකිය යුතු ලෙස ඉහළ යන හැම විටකම මෙන් උද්ධමනය ඉහළ යනවා. 

කෙනෙකුට ඔය මූලික න්‍යාය තේරුම් ගන්න හෝ කටපාඩම් කරගන්න අමාරු නැහැ. නමුත් එහි කියැවෙන මුදල් සැපයුම හා උද්ධමනය කියන්නේ සංකල්ප දෙකක් පමණයි. ප්‍රායෝගිකව මේ සංකල්ප සැබෑ ලෝකයේදී දැකිය හැකි වන්නේ එම සංකල්ප මත පදනම් වූ මිනුම් ලෙසයි. පෙර කී කොළඹ පාරිභෝගික මිල දර්ශකය සකස් කිරීම සඳහා යොදා ගන්නා භාණ්ඩ හා සේවා පැසේ සමස්ත මිල ඉහළ යාම උද්ධමනය සේ සැලකීම උදාහරණයක්. නමුත් මෙය උද්ධමනය මනින එකම මිනුම නෙමෙයි. 

මුදල් සැපයුම කියද්දී කෙනෙකුට මුලින්ම මතක් වෙන්නේ මුදල් නෝට්ටු හා කාසි. ලංකාවේ මුදල් නෝට්ටු හා කාසි නිකුත් කිරීමේ ඒකාධිකාරය තිබෙන්නේ මහ බැංකුව සතුවයි. ඒ නිසා, මුදල් සැපයුම කියා කියන්නේ මුදල් නෝට්ටු හා කාසි ලෙස සැලකුවහොත්, මහ බැංකුවට ඒ මුදල් සැපයුම පහසුවෙන්ම පාලනය කරන්න පුළුවන්. ඒ මගින් උද්ධමනය පාලනය කළ හැකිනම්, උද්ධමනය පාලනය කිරීම මහ බැංකුවට අසීරු කාර්යයක් වෙන්න බැහැ. 

නමුත් උද්ධමනය කෙරෙහි බලපාන මුදල් සැපයුම කියා කියන්නේ මුදල් නෝට්ටු හා කාසි පමණක් නෙමෙයි. මේ වෙද්දී ඩෙබිට් කාඩ්, ක්‍රෙඩිට් කාඩ්, පෙරගෙවුම් කාර්ඩ්, අන්තර්ජාල ගෙවීම් ආදී විවිධ ආකාර වලින් ලංකාවේ මිනිස්සු මිල දී ගැනීම් කරනවා. ඒ මිල දී ගැනීම් වලට මුදල් නෝට්ටු හා කාසි සම්බන්ධ වෙන්නේ නැහැ. නමුත් මේ මිල දී ගැනීම් වලදීත් සිදු වෙන්නේ රටේ භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුම ඉහළ යාමයි. 

පෙරගෙවුම් කාර්ඩ් සඳහා කලින්ම මුදල් ගෙවිය යුතුයි. ක්‍රෙඩිට් කාඩ් සඳහා මුදල් ගෙවන්නේ පසුවයි. කලින් ගෙවුවත්, පසුව ගෙවුවත්, බොහෝ විට බැංකු ගිණුමක තිබෙන ශේෂයෙන් මේ ගෙවීම් කරනවා. ඩෙබිට් කාඩ් වලින් හෝ අන්තර්ජාලය හරහා ගෙවීම් කරද්දී හැම විටම ඒ සල්ලි යන්නේ බැංකු ගිණුමකින්. චෙක්පත් වලින් ගෙවීම් කරද්දී වුනත් එහෙමයි. ඒ කියන්නේ සංසරණයේ තිබෙන මුදල් නෝට්ටු හා කාසි ප්‍රමාණය භාණ්ඩ හා සේවා ඉල්ලුම කෙරෙහි බලපෑමක් කරනවානම්, බැංකු ගිණුම් වල තිබෙන සල්ලිත් ඒ වගේම බලපෑමක් කරනවා.

මුදල් සැපයුම මනින, පුළුල් මුදල් සැපයුම කියන මිනුමට සංසරණයේ තිබෙන මුදල් නෝට්ටු හා කාසි ප්‍රමාණය වගේම බැංකු ගිණුම් වල තිබෙන ශේෂයන්ද ඇතුළත්. මේ දෙවර්ගයම සල්ලි නිසා, භාණ්ඩ හා සේවා මිල දී ගන්න ඔය කොටස් දෙකම භාවිතා කරන්න පුළුවන්. ඒ නිසාම, භාණ්ඩ හා සේවා ඉල්ලුමට වගේම උද්ධමනයටත් ඔය කොටස් දෙකම බලපානවා. 

පසුගිය 2025 වසර අවසානයට ගියොත්, ලංකාවේ පුළුල් මුදල් සැපයුම රුපියල් බිලියන 15,975.0ක්. නමුත් එයින් සංසරණයේ තිබෙන කාසි හා නෝට්ටු ප්‍රමාණය රුපියල් බිලියන 1,248.5%ක් හෙවත් 7.8%ක් පමණයි. ඉතිරි 92.2%ම බැංකු ගිණුම් වල තිබෙන සල්ලි. 

කාසි හා නෝට්ටු නිකුත් කරන්නේ මහ බැංකුව කියලා අපි දන්නවනේ. ඒ නිසා, ඒ කොටස මහ බැංකුවට සෘජුවම පාලනය කරන්න පුළුවන් කියන එකත් පැහැදිලියිනේ. නමුත් ඉතිරි ලොකු කොටස මහ බැංකුවට ඒ විදිහට සෘජුව පාලනය කරන්න පුළුවන්ද?

ඔය බැංකු වල තියෙන්නේ මිනිස්සුන්ගේම සල්ලිනේ. 2025 අවසානයේදී මේ ප්‍රමාණය රුපියල් බිලියන 14,726.5ක්. ඒ කියන්නේ මීට සමාන කාසි හා නෝට්ටු ප්‍රමාණයක් බැංකු වල තියාගෙන ඉන්නවද? ඔන්න එහෙම තියාගෙන ඉන්නවානම්, මේ කොටසත් අවසාන වශයෙන් මහ බැංකුවට සෘජුවම පාලනය කරන්න පුළුවන්. නමුත් ඇත්තටම බැංකු වල තියාගෙන ඉන්න කාසි හා නෝට්ටු ප්‍රමාණය ඔය තැන්පතු ශේෂ එක්ක බලද්දී සොච්චමක්. 2025 අවසානයේදීනම් රුපියල් බිලියන 320.4ක් පමණයි. ඒ කියන්නේ සංසරණයේ තිබෙන කාසි හා නෝට්ටු ප්‍රමාණයට බැංකු වල තිබෙන කාසි හා නෝට්ටු ප්‍රමාණය එකතු කළත් එකතුව රුපියල් බිලියන 1,568.9ක් පමණයි. ඒ කියන්නේ පුළුල් මුදල් සැපයුමෙන් 9.8%ක් පමණයි. 

බැංකු වල තිබෙන කාසි හා නෝට්ටු ප්‍රමාණයද ඇතුළුව මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන මුළු නෝට්ටු හා කාසි ප්‍රමාණයේම වටිනාකම රුපියල් 1,568.9ක් පමණක්නම්, රුපියල් බිලියන 14,726.5ක බැංකු තැන්පතු හැදුණේ කොහොමද? එයින් මහ බැංකුව විසින් නිකුත් කර ඇති කාසි හා නෝට්ටු ප්‍රමාණය රුපියල් බිලියන 320.4ක් පමණයි. එහෙමනම්, බැංකු වල තැන්පත් කිරීම සඳහා තවත් අමතර රුපියල් බිලියන 14,406ක මුදල් මිනිසුන්ගේ අතට ආවේ කොහෙන්ද? 

මේ දැවැන්ත මුදල් ප්‍රමාණය මහ බැංකුව විසින් මුද්‍රණය කර හෝ වාත්තු කර භෞතික ස්වරූපයකින් එළියට දමපු මුදල් නෙමෙයි. වාණිජ බැංකු විසින් ණය දීමේ ක්‍රියාවලිය හරහා මවනු ලැබූ භෞතික ස්වරූපයක් නොමැති මුදල්!

මේ වගේ දෙයක් වෙන්නේ කොහොමද?

කෙනෙකු බැංකුවකින් ණයක් ඉල්ලා එම ණය අනුමත වුනා කියා හිතමු. දැන් මේ මුදල ඒ බැංකුව විසින් අදාළ පුද්ගලයාට කාසි හා නෝට්ටු ලෙස ලබා දිය යුතු නැහැ. කළ යුතු එකම දේ පරිගණකය හරහා අදාළ පුද්ගලයාගේ ගිණුම් ශේෂය ඉහළ දමන එක පමණයි!

ණය ලබා ගත්තේ මා විසින්නම් දැන් මගේ ගිණුමේ සල්ලි තිබෙනවා. මට ඒ සල්ලි වලින් ගෙවීම් කර භාණ්ඩ හා සේවා මිල දී ගන්න පුළුවන්. එසේ මිල දී ගැනීම් කරද්දී මගේ ගිණුමේ ශේෂය අඩු වෙනවා. භාණ්ඩ හා සේවා විකුණන පුද්ගලයාගේ ගිණුමේ ශේෂය ඉහළ යනවා. එසේ වෙනත් පුද්ගලයෙකුගේ ගිණුම් ශේෂය ඉහළ යද්දී ඒ පුද්ගලයාටත් තමන්ගේ ගිණුමේ තිබෙන ශේෂයෙන් භාණ්ඩ හා සේවා මිල දී ගන්න පුළුවන්. මේ වැඩේ වෙන්න මහ බැංකුවක් අවශ්‍ය නැහැ. මුදල් නෝට්ටු හා කාසි අවශ්‍ය වෙන්නේත් නැහැ. නමුත් බැංකු විසින් ණය සැපයුම වැඩි කරද්දී රටේ භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුම ඉහළ යනවා. එය උද්ධමනයට හේතු වෙනවා. 

රටේ උද්ධමනය කෙරෙහි බලපාන පුළුල් මුදල් සැපයුම ඇතුළේ මහ බැංකුව විසින් නිකුත් කරනු ලැබූ මුදල් නෝට්ටු හා කාසි ප්‍රමාණය 10%කටත් වඩා අඩුයි. ඉතිරි 90% වාණිජ බැංකු විසින් ණය දීමේ ක්‍රියාවලිය හරහා මවනු ලැබූ මුදල්. ඒ නිසා, උද්ධමනය පාලනය කිරීම සඳහා මහ බැංකුවට යම් ආකාරයකින් බැංකු වල ණය දීමේ ක්‍රියාවලිය පාලනය කිරීමට සිදු වෙනවා. 

නූතන මහ බැංකුවක් විසින් බැංකු වල ණය දීමේ ක්‍රියාවලිය පාලනය කරන ප්‍රධානම ක්‍රමය පොලී අනුපාතික පාලනය කිරීමයි. මේ මගින් ණය දීමේ ක්‍රියාවලිය පාලනය කර වක්‍ර ලෙස පුළුල් මුදල් සැපයුම පාලනය කළ හැකියි. 

පොලී අනුපාතික ඉහළ යද්දී ණය ලබා ගැනීම සඳහා වන ඉල්ලුම අඩු වෙනවා. පොලී අනුපාතික පහළ යද්දී එම ඉල්ලුම වැඩි වෙනවා. වාණිජ බැංකු විසින් ණය මැවීම හරහා මුදල් සැපයුම ප්‍රසාරණය කරන්නේ රටේ ණය ඉල්ලුම මත පදනම්ව නිසා පොලී අනුපාතික පාලනය කිරීම මගින් වාණිජ බැංකු වල ණය මැවීමේ ක්‍රියාවලිය පාලනය කළ හැකියි. 

මහ බැංකුව පොලී අනුපාතික පාලනය කරන්නේ කොහොමද?

මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය කියන එක ගැන ගොඩක් අය අහලා ඇති. වරින් වර මහ බැංකුව විසින් මේ පොලී අනුපාතිකය අඩු වැඩි කරනවා. එහිදී වෙන්නේ කුමක්ද?

වාණිජ බැංකු විසින් ඔවුනොවුන් අතර දෛනික පදනම මත මුදල් ගනුදෙනු සිදු කරනවා. මේ ගනුදෙනු සිදුවන වෙළඳපොළ එක් දින මුදල් වෙළඳපොළ ලෙස හඳුන්වන්න පුළුවන්. මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතිකය නිර්ණය කිරීමෙන් අනතුරුව මේ එක් දින මුදල් වෙළඳපොළ පොලී අනුපාතය එම ප්‍රතිපත්ති පොලී අනුපාතිකයට ආසන්නව තබා ගැනීම සඳහා අඛණ්ඩව මෙහෙයුම් කටයුතු සිදු කරනවා. මෙය ඩොලරයක මිල ස්ථාවරව තබා ගැනීම පිණිස මහ බැංකුව විසින් කරන මෙහෙයුම් කටයුතු වලට සමාන කරන්න පුළුවන්.

එක් දින මුදල් වෙළඳපොළ පොලී අනුපාතය මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකයට වඩා වැඩිනම්, මහ බැංකුව විසින් ඊට වඩා අඩු පොලියකට ණය ලබා දෙනවා. එසේ කරන්නේ භාණ්ඩාගාර බිල්පත් ඇපයට තියාගෙන. මෙහිදී මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය ඉහළ යනවා. ලබා දෙන ණය ප්‍රමාණයට සමානව රටේ මුදල් සැපයුමද ඉහළ යනවා.

එක් දින මුදල් වෙළඳපොළ පොලී අනුපාතය මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකයට වඩා අඩුනම්, මහ බැංකුව විසින් ඊට වඩා වැඩි පොලියකට තැන්පතු ලබා ගන්නවා. එම තැන්පතු වෙනුවෙන් ඇපකර ලෙස මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් අදාළ බැංකුවට ලබා දෙනවා. මෙහිදී මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය පහළ යනවා. ඊට සමානව රටේ මුදල් සැපයුමද පහළ යනවා.

ඉහත ක්‍රම දෙකමගින් මහ බැංකුවට එක් දින මුදල් වෙළඳපොළ පොලී අනුපාතය මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකයට ආසන්නව සමාන මට්ටමක පවත්වා ගන්න පුළුවන්. එසේ කරද්දී මුදල් සැපයුමද අඩු වැඩි වෙනවා. නමුත් මේ මගින් රටේ මුදල් සැපයුමට ඇති වන සමස්ත බලපෑම මහ බැංකුවේ සෘජු මැදිහත්වීම නිසා ඇති වන බලපෑමට වඩා ගොඩක් වැඩියි.

එක් දින මුදල් වෙළඳපොළ පොලී අනුපාතය අඩු වැඩි වෙද්දී ඒ මත පදනම්ව වාණිජ බැංකු විසින් තමන්ගේ දිගුකාලීන තැන්පතු හා පොලී අනුපාතිකද අඩු වැඩි කරනවා. එසේ පොලී අනුපාතික වැඩි වෙද්දී, රටේ ණය ඉල්ලුම අඩු වෙනවා. තැන්පතු ඉහළ යනවා. රටේ මුදල් සැපයුම අඩු වෙනවා. එසේ නැත්නම් අවම වශයෙන් මුදල් සැපයුම වැඩි වන වේගය අඩු වෙනවා.

අනෙක් අතට, පොලී අනුපාතික අඩු වෙද්දී, රටේ ණය ඉල්ලුම ඉහළ යනවා. තැන්පතු පහළ යනවා. රටේ මුදල් සැපයුම වැඩි වෙනවා. 

රටේ මුදල් සැපයුම වැඩි වෙද්දී භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුම ඉහළ ගොස් මිල ගණන් ඉහළ යනවා. මුදල් සැපයුම උද්ධමනය කෙරෙහි බලපාන්නේ ඔය විදිහටයි. ඒ නිසා, පොලී අනුපාතික ඉහළ යාමට සලස්වා මුදල් සැපයුම පාලනය කිරීම මගින් මහ බැංකුවට උද්ධමනය පාලනය කළ හැකියි. නමුත් මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික වෙනස් කළ පමණින් දවසකින් දෙකකින් ඔය වැඩේ වෙන්නේ නැහැ. දැනෙන බලපෑමක් වෙන්න මාස ගණනාවක්, බොහෝ විට වසරකට වඩා වැඩි කාලයක් ගත වෙනවා. 

රටේ පොලී අනුපාතික මත බලපෑමක් කළ හැක්කේ මහ බැංකුවට පමණක් නෙමෙයි. රජයේ අයවැය හිඟය පොලී අනුපාතික කෙරෙහි සෘජු හා විශාල බලපෑමක් සිදු කරනවා. අයවැය හිඟය ඉහළ යන තරමට රජයේ ණය ඉල්ලුම ඉහළ යනවා. ඊට අනුපාතිකව ණය සැපයුම ඉහළ ගියේ නැත්නම් පොලී අනුපාතික ඉහළ යනවා. ඒ මගින් පෞද්ගලික අංශයේ ණය ඉල්ලුම සීමා කෙරෙනවා. මෙය ඕනෑවට වඩා දුර ගියහොත් රටේ ආර්ථික වර්ධනය කෙරෙහි අහිතකර ලෙස බලපානවා. 

රජයේ අයවැය හිඟය ඉහළ මට්ටමක පවතිද්දී, පෞද්ගලික අංශයේ ණය ඉල්ලුමද අවශ්‍ය පමණ මට්ටමක තියා ගන්නනම්, මුදල් සැපයුම සැලකිය යුතු ලෙස ප්‍රසාරණය වීමට ඉඩ හරින්න වෙනවා. එය ඒ මොහොතේ ප්‍රශ්නයක් නොවුනත්, පසුව හෝ උද්ධමනය ලෙස මතු වෙනවා. එවිට මහ බැංකුවට උද්ධමනය පාලනය කිරීම සඳහා පොලී අනුපාතික ඉහළ දමන්නට සිදු වෙනවා. පොලී අනුපාතික ඉහළ යද්දී පෞද්ගලික අංශයේ ණය ඉල්ලුම පාලනය වී මුදල් සැපයුම සීමා වෙනවා. 

නමුත් පෞද්ගලික අංශය මෙන් රජය පොලී අනුපාතික වලට සංවේදී නැහැ. රජයේ ණය ඉල්ලුම තීරණය වන්නේ අයවැය හිඟය මතයි. එය බොහෝ විට දේශපාලනික ලෙස තීරණය වන දෙයක්. ඒ නිසා, පෞද්ගලික අංශයේ ණය ඉල්ලුම සීමා වෙද්දී වුවද රජයේ ණය ඉල්ලුම හේතුවෙන් මුදල් සැපයුම දිගින් දිගටම ප්‍රසාරණය වෙන්න පුළුවන්. පොලී අනුපාතික අවශ්‍ය පමණ ඉහළින් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය ස්වාධීනත්වය මහ බැංකුව සතු නොවේනම්, මේ තත්ත්වය වඩාත් දරුණු වෙන්න පුළුවන්. 

රජයට හෝ පෞද්ගලික අංශයට ලබා දෙන ණය කියා කියන්නේ බැංකු වල වත්කම්. මේ කොටස් දෙකම පොදුවේ බැංකු වල දේශීය වත්කම් ලෙස හැඳින්වෙනවා. ලංකාවේ බැංකු වල දේශීය වත්කම් ප්‍රමාණය සාමාන්‍යයෙන් පුළුල් මුදල් සැපයුමටත් වඩා වැඩියි. පුළුල් මුදල් සැපයුම ලෙස අර්ථ දක්වන්නේ බැංකු සතු ගනුදෙනුකරුවන්ගේ තැන්පතු මුදල් ප්‍රමාණය සහ මහ බැංකුව විසින් නිකුත් කරනු ලැබ සංසරණයේ තිබෙන මුදල් වල එකතුවටයි. ගනුදෙනුකරුවන්ගේ තැන්පතු වලට අමතරව බැංකු විසින් ඔවුන්ගේ කොටස්හිමියන්ගේ ප්‍රාග්ධනය සහ කාලයක් තිස්සේ එකතු කරගත් ලාබද වත්කම් ගොඩ නගා ගැනීම වෙනුවෙන් යෙදවීම ඊට හේතුවයි.

උදාහරණයක් ලෙස, 2025 වර්ෂය අවසන් වෙද්දී පුළුල් මුදල් සැපයුම රුපියල් බිලියන 15,975ක් වුවත්. බැංකු සතු වූ දේශීය වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 19,017ක්. එයින් රුපියල් බිලියන 8,285ක් බැංකු විසින් මධ්‍යම රජයට ලබා දී තිබුණු ණය. තවත් රුපියල් බිලියන 520ක් රාජ්‍ය සංස්ථා වලට ලබා දී තිබුණු ණය. ඉතිරි රුපියල් බිලියන 10,212 පෞද්ගලික අංශයට ලබා දී තිබුණු ණය. 

පසුගිය ජූලි මාසය අවසන් වන විට පුළුල් මුදල් සැපයුම රුපියල් බිලියන 17,044ක්.  බැංකු සතු වූ දේශීය වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 19,771ක්. එයින් රුපියල් බිලියන 7,884ක් මධ්‍යම රජයට ලබා දී තිබුණු ණය. ඉතිරි රුපියල් බිලියන 11,937 රාජ්‍ය සංස්ථා වලට ලබා දී තිබුණු ණයද ඇතුළු අනෙකුත් දේශීය ණය. 

මේ සමඟ පළ කරන රූප සටහනෙහි පෙන්වා දී තිබෙන්නේ පසුගිය දශකයකට වැඩි කාලය තුළ පුළුල් මුදල් සැපයුම කෙරෙහි දේශීය ණය වල ප්‍රධාන සංරචක දෙකෙන් සිදු වූ බලපෑම. මෙහි පැහැදිලි ලෙස හඳුනාගත හැකි අදියර කිහිපයක් තිබෙනවා.

2015 ජනවාරි සිට 2019 දෙසැම්බර් දක්වා කාලය: මෙම කාලයේදී බැංකු පද්ධතියෙන් ලබාගත් මධ්‍යම රජයේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 1,238කින් වැඩි වූ අතර, අනෙකුත් දේශීය ණය රුපියල් බිලියන 3,367කින් වැඩි වුනා. රාජ්‍යමූල්‍ය කළමනාකරණය සාපේක්ෂව හොඳ මට්ටමක පැවති මෙම කාලයේදී මුදල් සැපයුම ප්‍රසාරණය වීමට බොහෝ දුරට දායක වූයේ පෞද්ගලික අංශයයි. පෞද්ගලික අංශයට රාජ්‍ය අංශය විශාල බරක් වූයේ නැහැ. උද්ධමනය ප්‍රශ්නකාරී මට්ටමකට යන තරමට සමස්ත ණය ඉල්ලුම වර්ධනය වූයේද නැහැ. 

2019 දෙසැම්බර් සිට 2022 මැයි දක්වා කාලය: මෙම කාලයේදී බැංකු පද්ධතියෙන් ලබාගත් මධ්‍යම රජයේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 3,727කින් වැඩි වූ අතර, අනෙකුත් දේශීය ණයද රුපියල් බිලියන 2,890කින් වැඩි වුනා. රාජ්‍යමූල්‍ය කළමනාකරණය ඉතාමත්ම අයහපත් මට්ටමක පැවති මෙම කාලයේදී මුදල් සැපයුම ප්‍රසාරණය වීමට බොහෝ දුරට දායක වූයේ රාජ්‍ය අංශයයි. රාජ්‍ය අංශයේ ණය ඉල්ලුමට අනුරූපව මුදල් සැපයුමද ප්‍රසාරණය වූ බැවින් පෞද්ගලික අංශයට රාජ්‍ය අංශය විශාල බරක් වූයේ නැහැ. එහෙත්, මේ අයුරින් රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේද ණය ඉල්ලුම ඉහළ යාම නිසා මුදල් සැපයුම විශාල ලෙස ප්‍රසාරණය වී උද්ධමනය වාර්තාගත මට්ටමක් දක්වා වැඩි වුනා.

2022 මැයි සිට 2023 ජූලි දක්වා කාලය: මෙම කාලයේදී බැංකු පද්ධතියෙන් ලබාගත් මධ්‍යම රජයේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 2,027කින් වැඩි වූ නමුත් අනෙකුත් දේශීය ණය රුපියල් බිලියන 1,315කින් අඩු වුනා. මීට හේතුව වූයේ පැවති අධික උද්ධමනය පාලනය කිරීම සඳහා පොලී අනුපාතික ඉතා ඉහළ මට්ටමක පවත්වා ගැනීමට සිදු වීමයි. අපේක්ෂිත පරිදිම උද්ධමනය පාලනය වුනා.

පෙර විස්තර කළ පරිදි, පොලී අනුපාතික වලට ප්‍රතිචාර දක්වන්නේ පෞද්ගලික අංශයයි. රාජ්‍ය අංශයේ ණය ඉල්ලුම අඩු කර ගැනීම සඳහා දේශපාලනික මැදිහත්වීමක් අවශ්‍ය වෙනවා. එම මැදිහත්වීම මෙම කාලයේදී සිදු වුවද, අවශ්‍ය ප්‍රතිඵල ලබා ගැනීම සඳහා වසරකට වඩා වැඩි කාලයක් ගත වුනා. එම අතරමැදි කාලයේදී අධික පොලී අනුපාතික හේතුවෙන් රාජ්‍ය අංශයේ ණය තව දුරටත් ඉහළ ගියා. එහෙත්, බදු වැඩි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය ආදායම් ඉහළ ගොස් ප්‍රාථමික අයවැය ගිණුම ශක්තිමත් වීමෙන් පසුව, රාජ්‍ය අංශයෙන් මුදල් සැපයුම මත සිදු වූ බලපෑම මුළුමනින්ම නැවතුනා. 

2023 ජූලි සිට 2025 ජූලි දක්වා කාලය: මෙම කාලයේදී බැංකු පද්ධතියෙන් ලබාගත් මධ්‍යම රජයේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 715කින් අඩු වී ඇති අතර අනෙකුත් දේශීය ණය රුපියල් බිලියන 3,747කින් ඉහළ ගොස් තිබෙනවා. ආර්ථික අර්බුදයෙන් පසුව සිදු කළ රාජ්‍යමූල්‍ය ප්‍රතිසංස්කරණ හේතුවෙන් මේ වන විට මුදල් සැපයුම ප්‍රසාරණය කිරීම සඳහා මධ්‍යම රජය දායක වන්නේ නැහැ. ඒ නිසා, උද්ධමනය පාලනය කර ගනිමින්, පෞද්ගලික අංශයේ ණය වර්ධනය සැලකිය යුතු මට්ටමක පවත්වා ගැනීමට හැකි තත්ත්වයක් ඇති වී තිබෙනවා. දැන් ඉතිරි වී තිබෙන ප්‍රශ්නය අවශ්‍ය පමණ හා හැකි පමණ ආර්ථිකය වර්ධනය කර ගැනීම පිණිස පෞද්ගලික අංශයේ ණය වර්ධනය මේ මට්ටමේම පවත්වා ගත යුතුද යන්නයි. 

පසුගිය දශක ගණනාවක් පුරාම ලංකාවේ සාපේක්ෂව ඉහළ උද්ධමනය සඳහා දායක වූයේ රාජ්‍ය අංශයයි. එහෙත් මේ වන විට එම තත්ත්වය මුළුමනින්ම කණපිට හැරී තිබෙනවා. රටේ මුදල් සැපයුම භාණ්ඩ හා සේවා සැපයුම හා අනුරූපව ඉහළ යාම උද්ධමනයට හේතුවක් වන්නේ නැහැ. 2%ක උද්ධමනයක් ඉලක්ක කරනවා යන්නෙන් අදහස් වන්නේ යම් හෙයකින් ආර්ථික වර්ධන වේගය අපේක්ෂිත මට්ටමට වඩා 2%කින් ඉහළ ගියද ඒ සඳහා ප්‍රමාණවත් තරමින් මුදල් සැපයුම වර්ධනය වීමට ඉඩ හැර ඇති බවයි. 

ලංකාව වැනි සංවර්ධනය වන රටක ආර්ථිකය කිසියම් වසරකදී අපේක්ෂිත අගය ඉක්මවා අමතර 2%කින් වර්ධනය විය හැකියි. එහෙත් මේ වෙනස 5%ක් තරම් ඉහළ අගයක් වීමේ ඉඩක් නැහැ. ඒ නිසාම, 5%ක උද්ධමන ඉලක්කයක් ලංකාවට අනිවාර්යයෙන්ම අවශ්‍ය වන්නේ නැහැ. ඊට වඩා අඩු 3%ක පමණ ඉලක්කයක් මේ සඳහා ප්‍රමාණවත්.  

අඩු උද්ධමන ඉලක්කයක් පවත්වා ගැනීම සඳහා ආර්ථික අර්බුදයට පෙර පැවති බාධාව වූයේ ඒ සඳහා අවශ්‍ය සහයෝගය රාජ්‍ය අංශයෙන් නොලැබීමයි. එහෙත් මේ වන විට එම තත්ත්වය වෙනස් වී තිබෙනවා. දැනට පවතින තත්ත්වයන් තුළ 5%ක් වැනි උද්ධමන ඉලක්කයක වාසිය ප්‍රධාන වශයෙන්ම ලැබෙන්නේ අතරමැදි මූල්‍ය සේවා සපයන්නන්ටයි. 

ආර්ථික අර්බුදයෙන් පසුව, පෞද්ගලික අංශයේ ණය වර්ධනයෙහි පැවති සාමාන්‍ය ප්‍රවණතාවට බාධා සිදු කෙරුණා. ඒ මත පදනම්ව, පසුගිය තෙවසරක කාලය තුල සිදු වූ ඉහළ ණය වර්ධනය සාධාරණීකරණය කළ හැකියි. එහෙත් මේ වන විට එසේ සිදු වූ අවාසියද ඉක්මවමින් ණය ප්‍රමාණය වර්ධනය වී තිබෙනවා.

මෙම තත්ත්වය තුළ 5% උද්ධමන ඉලක්කය ඉදිරි තෙවසරක කාලය තුළද එලෙසම පවත්වා ගැනීමේ උපාය මාර්ගික අරමුණ තේරුම් ගැනීමට අපහසු නැහැ. මේ මගින් මුදල් සැපයුමේ ප්‍රසාරණය වීමේ වාසිය බදු ලෙස රජයට එකතු කර ගත හැකියි. 

8 comments:

  1. මහ බැංකුව නැතිනම් ඒත් ඕක ඉබේම පාලනය වෙනවා නේද වෙළදපොල තුළින්ම?

    ReplyDelete
    Replies
    1. මහ බැංකුවක් නැත්නම් සල්ලි කියන්නේ මොනවටද?

      Delete
    2. ලිපිය කියෙව්වද? නැතිනම් සිංහල බැරිද?

      Delete
    3. ආ මේ ඉකොනොමැට්ටාගේ කමෙන්ට් එකක් නේ. ඔබ මෙහි කියලා තියෙන්නේ සල්ලි අනිත් බැකු වලිනුත් මවනවා කියලා නෙමෙයිද? එහෙනම් ම්භ බැංකුව නැතිවත් මුදල් වලට පවතින්නා පුළුවන්

      Delete
    4. ඔව්. මුදල් සැපයුමෙන් වැඩි කොටසක් මවන්නේ අනෙක් බැංකු විසින්. නමුත් අනෙක් බැංකු විසින් මවන මුදල් පදනම් වෙන්නෙත් මහ බැංකුව විසින් මුලින් හඳුන්වා දී තිබෙන මුදල් වර්ගය මතයි. අපි උද්ධමනය කියා කියන්නේ ඒ මුදල් වර්ගයේ වටිනාකම අඩු වෙන එකට. මහ බැංකුවක් නැත්නම් ඒ මුදල් වර්ගය නැහැ. ඒ නිසා, ඔය ප්‍රශ්නය අහන්න කලින් මහ බැංකුවක් නැති තත්ත්වයක් යටතේ මුදල් කියන්නේ මොනවද කියන එක තෝරා බේරා ගන්න වෙනවා. මහ බැංකුවක් කියලා එකක් ඇත්තෙම නැත්නම් (සහ ලෝකයේ අනෙක් රටවලත් මහ බැංකු නැත්නම්) අනෙක් බැංකු වලට තමන්ගේම මුදල් වර්ග හඳුන්වා දෙන්න වෙනවා. උදාහරණයක් විදිහට ලංකා බැංකු රුපියල්, සම්පත් බැංකු රුපියල් වගේ මුදල් වර්ග ගණනාවක්. එතකොට දැන් අර්ථයෙන් උද්ධමනයක් ගැන කතා කරන්න බැහැ. එක එක මුදල් වර්ගයට අදාළව වෙන වෙනම උද්ධමන තියෙනවා. වැඩියෙන් මුදල් මවන බැංකුවේ සල්ලි වැඩියෙන් බාල්දු වෙනවා. සමහර සල්ලි වර්ග හා අදාළව උද්ධමනය වැඩියි. සමහර වර්ග හා අදාළව අඩුයි. එහෙම වුණාම මිනිස්සු වැඩි උද්ධමනයක් තියෙන සල්ලි අතාරිනවා. වෙළඳපොළ හරහා වෙන්නේ ඒක. ඔය වැඩේ අවසාන වශයෙන් කෙළවර වෙන්නේ එක බැංකුවක සල්ලි (උද්ධමනය අඩුම, හොඳම සල්ලි වර්ගය) පමණක් ඉතුරු වෙලා. එතකොට නැවතත් ඒ බැංකුව මහ බැංකුවක් වගේම තමයි. ඒ නිසා, මහ බැංකුවක් නැත්නම් වෙළඳපොළ නිසා වෙන්නේ මහ බැංකුවක් හැදෙන එක. ලංකාව ඇතුළු ගොඩක් රටවල මහ බැංකු හැදුනේ ඔය ක්‍රමයට තමයි.

      Delete
    5. මමත් අහන්නෙත් ඒක තමයි. මහ බැංකු ක්‍රමය එන්න කලිනුත් මුදල් භාවිතය තිබුනනෙ. මහ බැංකුව ඇවිත් තනි ඒකාදිකාරයක් යටතට ගන්න කලින් මුදල් ක්‍රමය බැංකු තුලින්ම පාලනය වෙච්ච ක්‍රමය නේද නිදහස් වෙලඳ්පොල ක්‍රමයට වඩා කිට්ටු?

      Delete
    6. අද ලෝකය එක්ක බලද්දී මහ බැංකු ක්‍රමය එන්න කලින් මුදල් භාවිතා වුනේ ඉතා සීමිතවයි. ලංකාවේ පමණක් නෙමෙයි ඇමරිකාවේ පවා, දහනවන සියවසේදී පවා, ගොඩක් මිනිස්සු ගොඩක් දේවල් විශේෂයෙන්ම මූලික අවශ්‍යතා තමන් විසින්ම නිෂ්පාදනය කර ගන්න එකයි සිදු වුනේ. එයින් එහාට සිදු වූ ගනුදෙනු බොහොමයක් සිදු වුනෙත් සීමිත ප්‍රදේශයක් ඇතුළේ පෞද්ගලිකව දන්නා පිරිසක් අතරයි. ඒ නිසා විශ්වාසය කියන සාධකය තිබුණා. එයින් එහාට ගිය ලොකු ගනුදෙනු වලදී රත්තරන් වගේ දේවල් මුදල් ලෙස යොදා ගැනුනා. ඒ ඇරෙන්න අද අර්ථයෙන් මුදල් තිබුණේ නැහැ. මුදල් ක්‍රමය සහ නිදහස් ගනුදෙනු (විශේෂයෙන්ම පෞද්ගලිකව දන්නා අය අතර සිදු වන ගනුදෙනු වලින් එහාට ගිය ගනුදෙනු) ව්‍යාප්ත වන කාලයේම වගේ මහ බැංකුත් ස්වභාවිකවම ඇති වුනා. බැංකු විසින් විවිධ මුදල් වර්ග නිකුත් කිරීම ඉතිහාසයේ ඉතා කෙටි කාලයක් ලෝකයේ කිහිප තැනක සිදු වී එම ක්‍රමයේම තිබෙන නෛසර්ගික දුර්වලතා නිසා ස්වභාවික පරිණාමය හරහා නැති වෙලා ගියා. යම් කාලයක් මහ බැංකු ක්‍රමයට විරුද්ධව සිටි ඇමරිකාවට පවා අවසාන වශයෙන් මහ බැංකුවක් හදන්න වුනා.

      නිදහස් ගනුදෙනු සඳහා ගනුදෙනු පිළිබඳව විශ්වාසය අවශ්‍ය වෙනවා. තමන් දන්නා අය එක්ක ගනුදෙනු කරද්දී පෞද්ගලික සම්බන්ධතා නිසා මේ විශ්වාසය පැවතුනත් එයින් එහාට යද්දී විශ්වාසය කියන සාධකය ඒ විදිහට පවතින්නේ නැහැ. ඒ නිසා, ගනුදෙනු සඳහා යොදා ගන්නා කවර හෝ මුදල් වර්ගයක් පිළිබඳව විශ්වාසයක් නැතුව නිදහස් ගනුදෙනු වලටත් පැවැත්මක් නැතුව යනවා. නූතන ලෝකයේ මුදල් කියන්නේ පරිභෝජන භාණ්ඩයක් නෙමෙයි. පොදු සම්මුතියක්. සම්මුතියකට වලංගු භාවයක් එන්නේ කිසියම් කලාපයක විශාල පිරිසක් එම සම්මුතිය පිළිගැනීම තුළයි. මුදල් කියන්නේ යම් තරමකට භාෂාව වගේ දෙයක්. ඔබ "පොල්" කියලා කිවුවහම ඒ මම "පොල්" ලෙස හඳුනා ගන්නා දෙයම බවට මට විශ්වාසයක් තියෙනවා. ඒ නිසා ගනුදෙනුවක් කරන්න පහසුයි. ඔබ "පොල්" කියන්නේ මම "කොස්" ලෙස හඳුන්වන දෙයටනම් අපි දෙන්නාට ගනුදෙනු කරන්න අමාරුයි. "රාත්තල්" "කිලෝග්‍රෑම්" ක්‍රම දෙකම දිගු කාලයක් එකම රටක සමාන්තරව පවතින්නේ නැහැ. එහෙම ක්‍රම දෙකක් හෝ විසිපහක් තිහක් තිබීම නිදහස් වෙළඳපොලක ලක්ෂණයක් නෙමෙයි. යම් සංක්‍රමනීය අවස්ථාවක ක්‍රම දෙකක් තියෙන්න පුළුවන්. නමුත් අවසාන වශයෙන් එකක් ඉතිරි වෙනවා. සමහර විට ඒක වෙන්න කලින්ම රජය මැදිහත් වී සම්මතය විදිහට "රාත්තල්" හෝ "කිලෝග්‍රෑම්" භාවිතා කිරීම නියම කරන්න පුළුවන්. හැබැයි එහෙම නොකළත් ඔය ක්‍රම දෙකටම දිගටම පවතින්න බැහැ.

      දැනටත් ලෝකයේ විවිධ මුදල් වර්ග තිබෙනවා. ඒවා අතර තරඟයකුත් තිබෙනවා. නමුත් කිසියම් ප්‍රදේශයක ප්‍රචලිත ලෙස භාවිතා වෙන්නේ එකම මුදල් වර්ගයක්. නිදහස් වෙළඳපොළක් තිබුනා කියලා හැමදෙයකටම, හැම වෙළඳපොළකටම සැපයුම්කරුවෝ විශාල ප්‍රමාණයක් හැදෙන්නේ නැහැ. සමහර භාණ්ඩ සැලකුවත් ඒකාධිකාර අනිවාර්යයන්ම හැදෙනවා. ගුවන් යානා නිෂ්පාදනය ගත්තත්, විශාල වාණිජ ගුවන් යානා වෙළඳපොළේ අදටත් ප්‍රධාන නිෂ්පාදකයන් ලෙස සිටින්නේ Airbus සහ Boeing සමාගම් දෙක පමණයි. ඊට හේතුව විශ්වාසය කියන සාධකය. කඩා වැටෙයිද කියලා දන්නේ නැති ගුවන් යානයක යන්න කවුරුත් කැමති නැහැ. මුදල් වුනත් එහෙමයි. බිට්කොයින් වගේ විකල්ප පැමිණ ඇතත් ඒවා වත්කම් ලෙස මිස මුදල් ලෙස සාර්ථක වී නැත්තේ, විවිධ දුර්වලතා ගණනාවක් තිබුණත්, දැනට තිබෙන සාර්ථකම මුදල් ක්‍රමය මහ බැංකු ක්‍රමය නිසා. මහ බැංකු අහෝසි කරනවා වගේ කතා කියලා බලයට ආපු අය පවා අන්තිමට මහ බැංකු ස්වාධීන කර ශක්තිමත් කිරීමේ යෝජනා ඉදිරිපත් කරන්නේ ඒ නිසා.

      Delete
  2. වුණොත් රජයකට වාසිය
    එහි පළ රටවැසියන්ටය
    එහෙම නොවී බහිරවයන්
    එය ගිලගත්තා මතකය!

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: