වෙබ් ලිපිනය:

Sunday, October 4, 2026

ස්වෛරිත්ව බැඳුම්කර ණය ආපසු ගෙවිය යුත්තේ කවදාද?

මෙය පාඨකයෙකු විසින් පෞද්ගලිකව අසා ඇති ප්‍රශ්නයකට ලබා දෙන පොදු පිළිතුරක්. ප්‍රශ්නය තවත් බොහෝ දෙනෙකුගේද ප්‍රශ්නයක් විය හැකි නිසාත්, ප්‍රශ්නයට පිළිතුර පහසුවෙන් සොයා ගැනීමේ හැකියාවක් නැති නිසාත්, අවශ්‍ය පිළිතුර මේ අයුරින් සටහනක් ලෙස පළ කරනවා.

ඔබ දන්නා පරිදි, 2024 වර්ෂය අවසානයේදී ශ්‍රී ලංකා රජය විසින් ඒ වන විට නිකුත් කර තිබුණු ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර එකොළහක් ප්‍රතිව්‍යුහගත කරනු ලැබුවා. ඒ අවස්ථාවේදී තාක්ෂණිකව සිදු වූයේ අලුත් ස්වෛරිත්ව බැඳුම්කර හතක් නිකුත් කර, ඒ වන විට නිකුත් කර තිබුණු ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර එකොළහ සහ එම බැඳුම්කර වෙනුවෙන් ගෙවිය යුතුව තිබුණු නමුත් නොගෙවා පැහැර හැර තිබුණු කූපන් පොලී මුදල් වෙනුවට මෙසේ අලුතෙන් නිකුත් කළ බැඳුම්කර හතෙහි කොටස් ලබා දීමයි. 

ඉහත ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා රජය විසින් මෙසේ අලුතෙන් නිකුත් කළ බැඳුම්කර කල් පිරෙද්දී අදාළ මුදල් ආපසු ගෙවිය යුතුයි. මෙම කටයුත්ත ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් වූ වහාම ආරම්භ වුනා. මේ අනුව, පළමුව කල් පිරෙන බැඳුම්කරයෙහි මුල් මුදලින් 47%ක් මේ වන විටද පියවා අවසානයි. එහි ඉතිරි 53%ක කොටස 2027 සහ 2028 වසර වලදී පියවිය යුතුයි. ඉන් පසුව, 2029-2038 කාලය තුළ ඉතිරි බැඳුම්කර හය කල් පිරෙනවා.

මෙම ස්වෛරිත්ව බැඳුම්කර ණය පියැවීම සඳහා ඉදිරි එක් එක් වර්ෂය තුළ කොපමණ මුදලක් අවශ්‍ය වේද යන ප්‍රශ්නයට ආසන්නවම නිවැරදි පිළිතුරක් තිබෙන්නේ මාස කිහිපයකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති වාර්තාවකයි. එහෙත්, එහි සඳහන් ගණන් වලින්ද සැබෑම තත්ත්වය නිරූපණය වන්නේ නැහැ. ඊට හේතුව රටේ නාමික දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය සහ ආර්ථික වර්ධන වේගය හා අදාළ මූල්‍ය අරමුදලේ මුල් පුරෝකථන මත පදනම්ව එහි දක්වා ඇති ගණනය කිරීම් සිදු කර තිබීමයි. 

මෙම වසරේ ඉදිරි මාස කිහිපය තුළ හෝ ඉදිරි වසර තුළ රටේ ආර්ථිකයේ අනපේක්ෂිත විශාල කඩා වැටීමක් සිදු වුවහොත් හෝ ඩොලරයක මිල අනපේක්ෂිත ලෙස විශාල ලෙස ඉහළ ගියහොත් මිස නාමික දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය සහ ආර්ථික වර්ධන වේගය සම්බන්ධව මූල්‍ය අරමුදලේ මුල් පුරෝකථන නිවැරදි වීමේ ඉඩක් මේ වන විට නැහැ. ඒ නිසාම, දැනට පවතින තත්ත්වය තුළ අලුත් ස්වෛරිත්ව බැඳුම්කර හතරක් වෙනුවෙන් ගෙවිය යුතු උපරිම මුදලම ගෙවන්නට සිදු වෙනවා. මේ අනුව, ස්වෛරිත්ව බැඳුම්කර හතෙන් දෙකක් වෙනුවෙන් 17%ක අමතර ගෙවීමක්ද, තවත් දෙකක් වෙනුවෙන් 22%ක අමතර ගෙවීමක්ද සිදු කළ යුතු වෙනවා. 

අපගේ පහත ඇස්තමේන්තු පිළියෙළ කර තිබෙන්නේ ඉහත පදනම මතයි. 

2024: ඩොලර් මිලියන 115.3 (ගෙවා අවසන්)

2025: ඩොලර් මිලියන 329.5 (ගෙවා අවසන්)

2026: ඩොලර් මිලියන 329.5 (ගෙවා අවසන්)

2027: ඩොලර් මිලියන 329.5

2028: ඩොලර් මිලියන 543.8

2029: ඩොලර් මිලියන 726.0

2030: ඩොලර් මිලියන 726.0

2031: ඩොලර් මිලියන 921.6

2032: ඩොලර් මිලියන 921.6

2033: ඩොලර් මිලියන 966.7

2034: ඩොලර් මිලියන 855.0

2035: ඩොලර් මිලියන 855.0

2036: ඩොලර් මිලියන 1354.2

2037: ඩොලර් මිලියන 1354.7

2038: ඩොලර් මිලියන 1309.6

මෙම ගණන් ආපසු ගෙවීම විශාල ප්‍රශ්නයක් නොවන බව අමුතුවෙන් විස්තර කළ යුතු නැහැ. එහෙත්, එසේ වූ පමණින් නැවත වරක් මූල්‍ය අරමුදල සමඟ එකඟතාවක් ඇති කර ගැනීමේ වැදගත්කම අහෝසි වන්නේ නැහැ. මෙහි තිබෙන්නේ ආපසු ගෙවිය යුතු ස්වෛරිත්ව බැඳුම්කර ණය පමණයි. ගෙවිය යුතු සියලුම විදේශ ණය එකතු වූ විට එය මීට වඩා සැලකිය යුතු ණය බරක්. එම ණය පියවීම සඳහා වසරින් වසර අලුතෙන් විදේශ ණය ගන්නට සිදු වෙනවා. මූල්‍ය අරමුදල සමඟ තවත් එකඟතාවක් ඇති කර ගැනීම මගින් එසේ අලුතෙන් ණය ගැනීමේ පීඩනය අඩු කර ගත හැකියි. 



3 comments:

  1. අපේ ගොඩක් දෙනා අතර තියෙන වැරදි අවබෝධයක් තමයි, අපි දැන් ඩොලර් සංචිත එකතු කරගෙන ඉන්නේ ඉස්සරහට තියෙන ස්වෛරී බැඳුම්කර ණය ඔක්කොම ඒ සංචිතයෙන් අරගෙන ගෙවන්න කියන එක.

    කාරණය එච්චර සරල නැහැ.

    අපේ රාජ්‍ය මූල්‍ය තත්ත්වය තවමත් තියෙන්නේ විශාල ණය බරක් යටතේ. මෑත වසරවල රාජ්‍ය ආදායමෙන් අතිවිශාල කොටසක් ණයවල පොලී ගෙවීමටම වැය වෙලා තියෙනවා. ඒ අතරම කල්පිරෙන දේශීය සහ විදේශීය ණය principal එකත් manage කරන්න ඕනේ.

    ඒ නිසා රටකට හැම කල්පිරෙන ණයක්ම තමන්ගේ ආදායමෙන් හෝ මහ බැංකුවේ සංචිත කඩාගෙන ගෙවමින් යන්න බැහැ. Sovereign debt management එකේ සාමාන්‍ය කොටසක් තමයි කල්පිරෙන ණයවල යම් කොටසක් නැවත refinance කිරීම.

    එතැනදී සැබෑ ප්‍රශ්නය “අලුතෙන් ණය ගන්නවාද?” කියන එක විතරක් නෙමෙයි.

    ණය ගන්නේ කීයටද?

    කලින් 7%, 8%, 9% වගේ ඉහළ yield එකකට ගත්ත ණයක් කල්පිරෙන වෙලාවේ, රටේ risk premium එක අඩු කරගෙන ඊට වඩා අඩු පොලියකට සහ දිගු කාලයකට refinance කරන්න පුළුවන් නම් ඒක තමයි වැදගත්.

    IMF වැඩසටහනේ වැදගත්කම එතැනදීත් තියෙනවා.

    IMF එක අපේ සියලු ණය ගෙවලා දෙන්නේ නැහැ. නමුත් IMF programme එකක් ක්‍රියාත්මක වීමෙන් fiscal discipline, debt sustainability, reserves සහ monetary stability ගැන ජාත්‍යන්තර ණය දෙන්නන්ට යම් විශ්වාසයක් ඇති කරන්න පුළුවන්. ඒ විශ්වාසය රටේ sovereign risk premium එක අඩු කරගෙන නැවත ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළට පිවිසීමට වැදගත් වෙනවා.

    හැබැයි මෙතැන තවත් දෙයක් තේරුම් ගන්න ඕනේ.

    මූල්‍ය ස්ථාවරත්වය සහ ආර්ථික වර්ධනය කියන්නේ එකම දෙයක් නෙමෙයි.

    ක්‍රිකට් භාෂාවෙන් කියනවා නම්, මූල්‍ය ස්ථාවරත්වය හදාගැනීම ටෙස්ට් මැච් එකක් වගේ. විකට් එක රැකගෙන, අවදානම පාලනය කරගෙන, දිගු ඉනිමක් ගහන්න ඕනේ.

    නමුත් රටට අවශ්‍ය වේගවත් ආර්ථික වර්ධනය ලබාගැනීම T20 එකක් වගේ. Investment ගේන්න ඕනේ. Export වැඩි කරන්න ඕනේ. කර්මාන්ත ඇති කරන්න ඕනේ. Productivity වැඩි කරන්න ඕනේ. අලුත් රැකියා හදන්න ඕනේ.

    ගේම තියෙන්නේ මේ දෙක balance කරන එකේ.

    T20 ගහන්න ගිහින් විකට් ටික ඔක්කොම දීලා දැම්මොත් ආයෙත් 2022 වගේ අර්බුදයකට යන්න පුළුවන්. හැබැයි විකට් එක රැකගන්නවා කියලා ලකුණු නොගහා crease එකේ හිටගෙන හිටියත් මැච් එක දිනන්න බැහැ.

    ඒ නිසා දැන් ලංකාව ඉදිරියේ තියෙන සැබෑ අභියෝගය ආර්ථිකය ස්ථාවර කිරීම පමණක් නොවෙයි. ඒ ස්ථාවරත්වය බිඳ නොගෙන, ආර්ථික වර්ධනයට අවශ්‍ය වේගය ලබාගන්නේ කොහොමද කියන එකයි.

    ඒක තමයි ඊළඟ ගේම.

    ReplyDelete
    Replies
    1. අව්ලක්නෑ ගෝඨා දාපු අධිපති ඉන්නවානේ. එයා කරලා දෙයි...

      Delete
  2. අයියා වනක්කම්
    සේරම ඉලක්කම්
    වුණත් නෑ සෙල්ලම්
    ගෙවමු නොගිහිං
    ඩවුන් ද පල්ලම්!

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: