වෙබ් ලිපිනය:

Saturday, August 1, 2026

ජංගම ගිණුමේ දැන් තත්ත්වය

වසරේ දෙවන කාර්තුවේ මාස තුන තුළම ජංගම ගිණුමෙහි හිඟයන් වාර්තා වීමේ ප්‍රතිඵලයක් ලෙස වසරේ පළමු මාස හය අවසානයේදී ශ්‍රී ලංකාවේ විදේශීය ජංගම ගිණුමේ ඩොලර් මිලියන 245.4ක සමුච්ඡිත හිඟයක් වාර්තා වෙනවා.

කිසියම් කාලයක් තුළ, නැවත ආපසු ගෙවීමේ අවශ්‍යතාවයක් නොමැතිව, විදේශිකයන්ගෙන් රටට ලැබී ඇති සහ රටෙන් විදේශිකයින් වෙත යවා ඇති විදේශ අරමුදල් ජංගම ගිණුමෙහි සටහන් වෙනවා. පළමු මාස හයේ මෙසේ සටහන් වූ විදේශ ආදායම් හා වියදම් මෙසේ සාරාංශගත කළ හැකියි.

වසරේ පළමු මාස හය තුළ ජංගම ගිණුමට ලැබුණු විදේශ විණිමය:

අපනයන ආදායම් - ඩොලර් මිලියන  6,903.2

සේවා ආදායම් - ඩොලර් මිලියන 3,528.3

(මෙයින් ඩොලර් මිලියන 1,511.1ක් සංචාරක ආදායම්)

ප්‍රාථමික ආදායම් - ඩොලර් මිලියන 311.3

ද්වීතියික ආදායම් (ශ්‍රමික ප්‍රේෂණ) - ඩොලර් මිලියන  4,604.8 

එකතුව - ඩොලර් මිලියන 15,347.6


වසරේ පළමු මාස හය තුළ ජංගම ගිණුමෙහි වැය:

ආනයන වියදම් - ඩොලර් මිලියන 12,392.3 

(මෙයින් ඩොලර් මිලියන 3,168ක් ඉන්ධන ආනයන වන අතර වාහන ආනයන ඩොලර් මිලියන 1,254ක් පමණයි)

සේවා වියදම් - ඩොලර් මිලියන 1,929.7

ප්‍රාථමික වියදම් - ඩොලර් මිලියන 1,205.8

ද්වීතියික වියදම් - ඩොලර් මිලියන  70.0

එකතුව - ඩොලර් මිලියන 15,597.8


ජංගම ගිණුමේ හිඟය - ඩොලර් මිලියන 245.4


වසරේ දෙවන අර්ධය තුළ මෙම අයහපත් ප්‍රවණතාවය ආපසු හැරීමේ ඉඩක් ඇත්තේ වුවද, පසුගිය තෙවසර තුළ පැවති ආකාරයේ සැලකිය යුතු අතිරික්තයක් දැකිය හැකි වනු ඇති බවක් පෙනෙන්නට නැහැ. එයින් අදහස් වන්නේ මෙම වසර අවසන් වන විට රටේ නිල විදේශ සංචිතයේ ලොකු වෙනසක් සිදු වීමේ ඉඩක් නොමැති බවයි. 

ලංකාවේ ජංගම ගිණුමෙහි 1956 වසරේ සිට 2022 දක්වා කාලය අතරතුර 1965 සහ 1977 යන දෙවසර තුළදී හැරුණු විට දිගින් දිගටම දැකිය හැකි වූයේ හිඟ තත්ත්වයක්. එහෙත්, 2022 ආර්ථික අර්බුදයෙන් පසුව මෙම තත්ත්වය ආපසු හරවා ගැනීමට හැකි වුනා. 

ජංගම ගිණුමේ හිඟයක් ඇති විට ඊට සමානව රටේ විදේශ බැරකම් ඉහළ යනවා. දිගින් දිගටම ජංගම ගිණුම් හිඟයක් නඩත්තු වෙද්දී විදේශ බැරකම්ද දිගින් දිගටම ඉහළ යනවා. මෙය අවසාන වශයෙන් එම බැරකම් පියවිය නොහැකි තත්ත්වයකට පත් වී කෙළවර වීම අසාමාන්‍ය දෙයක් නෙමෙයි. 1965, 1977 මෙන්ම 2022දීද මෙම තත්ත්වය නිවැරදි වූයේ රුපියල එකවර විශාල ලෙස අවප්‍රමාණය වීමට ඉඩ හැරීමෙන් පසුවයි.

පසුගිය ආර්ථික අර්බුදයෙන් පසුව, එක දිගට වසර තුනක්ම ජංගම ගිණුමෙහි අතිරික්තයක් පවත්වා ගැනීමට හැකි වූ අතර එමගින් රටේ ශුද්ධ විදේශ බැරකම් වල සැලකිය යුතු අඩු වීමක් සිදු වුනත් මේ වන තුරුද බාහිර කම්පනයකට තනිව මුහුණ දිය හැකි මට්ටමකට රටේ නිල විදේශ සංචිත වර්ධනය වී නැහැ. දැනට මූල්‍ය අරමුදල සමඟ ඇති වැඩ සටහන අවසන් වනු ඇත්තේද මේ තත්ත්වයේ විශාල වෙනසක් නොමැතිවයි. එබැවින් දැනට පෙනෙන්නට තිබෙන්නේ මෙම වැඩසටහන අවසන් වෙද්දී මූල්‍ය අරමුදල සමඟ තවත් වැඩ සටහනකට යාමට සිදු වනු ඇති බවයි.




8 comments:

  1. ඉකොනෝ මුන් මේ ඉන්ධන ආනයනය හින්දා ඩොලර් නැහැ කියලා කියන්නේ අමු පල් බොරුවක්නේ. ඔයාට මතකද 2022 රුසියා-යුක්රේන යුද්ධය වෙලාවේ බොරතෙල් බැරල් එකක් ඩොලර් 139ටම නැග්ගා, ඒ අස්සේ 2020 ඉඳන් කොවිඩ් වසංගතය පාලනය කරන්න ගිය මහා වියදම්, රට වහපු එක, සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම බිඳ වැටිච්ච එක වගේ දරුණුම කඩාවැටීම් එක්ක බලද්දී මේ අවුරුද්දේ ඇමරිකා-ඉරාන් ගැටුමෙන් පස්සේ තෙල් මිල එච්චරම දරුණුවට වැඩි වුණේ නැහැ. එදා වගේ දැවැන්ත ගෝලීය අර්බුදයක් නැතිව, අද මේ වර්තමාන තත්ත්වය ඇතුළේ ආණ්ඩුව තමන්ගේ වැරදි ආර්ථික කළමනාකරණය වහගන්න හැමදේටම ඉන්ධන පිටින් දාලා මිනිස්සුන්ව රවට්ටන්න හදන එක ඇත්තටම මහා විහිළුවක්.

    ReplyDelete
  2. මෙතන ඉකොනෝ කියන කතාවේ ලොකු ඇත්තක් තියෙනවා, මොකද 2020-2022 කාලේ අපේ රට මුහුණ දුන්නේ වෙනස්ම මට්ටමක දැවැන්ත ආර්ථික සුනාමියකට. ඒ දවස්වල කොවිඩ් වසංගතය නිසා මුළු රටම මාස ගණන් වහලා දාලා, සංචාරක ව්‍යාපාරය බිංදුවටම වැටිලා, රටට ඩොලර් එන හැම මාර්ගයක්ම සම්පූර්ණයෙන්ම හිරවෙලා තිබ්බ වෙලාවක තමයි රුසියා-යුක්රේන යුද්ධය පටන් අරන් ලෝක වෙළෙඳපොළේ තෙල් බැරල් එකක මිල ඩොලර් 139ක් වගේ ඉතිහාසගත උපරිමයකට නැග්ගේ. හැබැයි මේ 2026 අවුරුද්දේ ඇමරිකා-ඉරාන් ප්‍රශ්නය නිසා තෙල් මිල ඩොලර් 100 සීමාවට ආවත්, එදා වගේ දරුණු කඩාවැටීමක් නැහැ.

    මොකද අද වෙද්දී අපේ විදේශ ප්‍රේෂණ (රට විරුවන්ගේ සල්ලි) ඩොලර් බිලියන 4.6ක් දක්වා වැඩි වෙලා, මහ බැංකු සංචිතත් ඩොලර් බිලියන 6.5ක් වගේ ශක්තිමත් මට්ටමක තියෙනවා. ඉතින් ඇත්තම කතාව මුන් මේ ජංගම ගිණුමේ ඩොලර් මිලියන 245ක හිඟයක් ඇතිවෙලා තියෙන්නේ තෙල් මිල නිසාම විතරයි කියලා කියන එක වැරදියි; මොකද පසුගිය කාලේ වාහන ආනයන සීමා ලිහිල් කරපු හින්දා පළමු මාස හයේ විතරක් වාහන ගේන්න ඩොලර් මිලියන 1,254ක් වගේ විශාල මුදලක් වැය වෙලා තියෙනවා. ඒ කියන්නේ මේක තනිවම ලෝක වෙළෙඳපොළේ තෙල් මිල වැඩිවීම නිසා වුණ දෙයක් නෙවෙයි, රජය විසින් ආනයන සීමා ලිහිල් කිරීම ඇතුළු රට ඇතුළේ ගත්ත වැරදි ආර්ථික තීරණ සහ දේශීය පරිභෝජනය කළමනාකරණය කරගන්න බැරිවීම නිසා සිද්ධ වුණ දෙයක්.

    ReplyDelete
    Replies
    1. බොර තෙල් මිල බැරලය ඩොලර් 100 සීමාවට ආවේ නෑ උපරිම 90 අවට කැරකුනේ ඉතාමත්ම කෙටි කාලයක් මේ කාලය ගත්තොත් 2024 -25 කාලේ බැරලය ඩොලර් 60 සීමාවේ ස්ථාවර වෙලා තිබුණේ යුද්ධය නිසාම 70 - 80 අතර ගණනක ඇවරේජ් එක තිබූණේ විශාල ලෙස බොරතෙල් රිසර්ව් එලියට දාපු නිසා සහ චීනය විදුලි වාහන සහ පුනර්ජනනීය බලශක්තිය ක්ෂේත්‍රයේ දැවැන්ත පිම්මක් ඉදිරියට පැමිණ සිටින නිසා චීනය හිතපු තරම් විශාල ලෙස ඩිමාන්ඩ් කළේ නැති නිසා එක්සත් ජනපදය හිතපු තරමටම මේ පාර යුද්ධයෙන් වාසියක් ගන්න බැරිවුණා, වාසි තියෙනවා තමයි ඒත් හිතපු තරමට ලැබුණේ නෑ.

      Delete
  3. It is a simple and obvious truth that NPP is an utter failure. We can't imagine where this nonsense is heading to and what will be the end. Only thing what we can feel is that Yahapalanaya is repeating...

    ReplyDelete
  4. "භාෂා ආර්ථික විද්‍යාව (Economics of Language) සහ ජාතික ආර්ථික වර්ධනය පිළිබඳ කාරණයේදී, ඉන්දියාවේ පවතින අතිශය බහුභාෂා සංස්කෘතිය සහ ඊට අන්තර්ග්‍රහණය වී ඇති ඉංග්‍රීසි භාෂාවේ භාවිතය රටේ සමස්ත ආර්ථිකයට (Macroeconomy) බලපාන්නේ කෙසේද?
    එවැන්නක් ගණනය කරන්නේ කෙසේද?
    භාෂා නිසා ඉන්දියාවට වී ඇත්තේ ලාබයක්ද පාඩුවක්ද?

    ReplyDelete
  5. ඉහත අදහස් හොඳින් කියවූ විට, බොහෝ දෙනා වත්මන් රජය පිළිබඳ අසතුටින් සිටින බව පැහැදිලි වේ. එයට ප්‍රධාන හේතුව ලෙස ඔවුන්ට රජයේ ප්‍රතිපත්තිවලින් තමන්ට සෘජු ප්‍රතිලාභ නොලැබී ඇති බව ඔවුන් විශ්වාස කිරීමයි. කෙසේ වෙතත්, මගේ අදහස අනුව, රජයක කාර්යසාධනය තක්සේරු කළ යුත්තේ රටේ සමස්ත සංවර්ධනය පදනම් කරගෙනයි. මට නම් විවිධ අංශවල සැලකිය යුතු වර්ධනයක් දැකිය හැකි අතර, එයින් රට ධනාත්මක දිශාවකට ඉදිරියට යන බව පෙනේ.

    ReplyDelete
    Replies
    1. Pls name those sectors. We can't see country is heading towards any progress, in fact the otherwise. Economy - failed. Law and Order - Failed. Education - Failed. Religion/Nationalism and culture - Failed. Peace between races - Drastically land sliding because of stupid work by the government and it can be burst any moment.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: