වෙබ් ලිපිනය:

Friday, November 6, 2026

විදේශ අංශයේ දිශානතිය වෙනස් වෙලාද?


මීට අවුරුදු තුනහමාරකට පමණ පෙර, රාජ්‍ය ණය පැහැර හැරීමකටද හේතු වූ දැවැන්ත ආර්ථික අර්බුදයක් හමුවේ, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමකට එළැඹුනා. එම ගිවිසුම හරහා, මේ වන විට, ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් විශාල ජයග්‍රහණ ගණනාවක් ලබා ගෙන නැවත නැගී සිට තිබෙනවා.

- උද්ධමනය පාලනය වී තිබෙනවා 

- ආර්ථිකය නැවත වර්ධනය වෙමින් තිබෙනවා 

- විණිමය අනුපාතය ස්ථාවර වී තිබෙනවා 

- අර්බුදයට මූලික හේතුවක් වූ රාජ්‍යමූල්‍ය කළමනාකරණය පිළිබඳ ප්‍රශ්න විසඳා ගෙන රටේ ණය තිරසාරත්වය නැවත ඇති කර ගැනීමට සමත් වී තිබෙනවා. 

ඉහත සියලු ජයග්‍රහණ සුළු කොට නොතැකිය හැකි වුවත්, අර්බුදයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ විදේශ විණිමය ප්‍රශ්නයක්ය යන්න අප‍ට කිසිසේත්ම බැහැර කරන්න බැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වූ වැඩ සටහනෙහි ප්‍රධානම ඉලක්කය වූයේ එම වැඩ සටහන අවසන් වෙද්දී රටේ විදේශ අංශය ශක්තිමත් කර ගැනීමයි.

ඉහත වැඩ සටහනෙහි රටේ දළ නිල සංචිත ගොඩ නගා ගැනීම හා අදාළව නිශ්චිත ඉලක්ක තිබුණා. මුලින්ම සකස් කළ ඇස්තමේන්තු පහත පරිදියි.

2022 අවසානයේදී - ඩොලර් මිලියන 1,898

2023 අවසානයේදී - ඩොලර් මිලියන 4,431

2024 අවසානයේදී - ඩොලර් මිලියන 6,128

2025 අවසානයේදී - ඩොලර් මිලියන 8,520

2026 අවසානයේදී - ඩොලර් මිලියන 10,888

2027 අවසානයේදී - ඩොලර් මිලියන 14,208

2028 අවසානයේදී - ඩොලර් මිලියන 15,875

දැන් නැවත ආපසු හැරී බැලුවොත්, 2024 දක්වා, ආසන්න වශයෙන්, මේ ඉලක්ක වලට ගිහින් තිබෙනවා. නමුත් ඉන් පසුව එම තත්ත්වය වෙනස් වී තිබෙනවා. සත්‍ය දළ නිල සංචිත ප්‍රමාණ මෙසේයි.

2022 අවසානයේදී - ඩොලර් මිලියන 1,898

2023 අවසානයේදී - ඩොලර් මිලියන 4,392

2024 අවසානයේදී - ඩොලර් මිලියන 6,122

2025 අවසානයේදී - ඩොලර් මිලියන 6,538

2026 ඔක්තෝබර් අවසානයේදී - ඩොලර් මිලියන 7,086

මේ වසර අවසන් වෙන්න තවත් තිබෙන්නේ මාස දෙකක කාලයක් පමණයි. එම කාලය තුළ මූල්‍ය අරමුදලේ තවත් වාරිකයක් ලැබීමට නියමිතයි. පසුගිය ඔක්තෝබර් මාසය තුළ මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ඩොලර් මිලියන 191.3ක මුදලක් මිල දී ගැනීමට සමත් වී තිබෙනවා. මූල්‍ය අරමුදලේ වාරිකය සහ ඉදිරි මාස දෙකක කාලය තුළ මහ බැංකුව විසින් මිල දී ගැනීමට ඉඩ තිබෙන විදේශ විණිමය සැලකුවහොත්, මෙම වසර අවසන් වෙද්දී උපරිම වශයෙන් යා හැක්කේ ඩොලර් බිලියන අටක පමණ සංචිත ඉලක්කයකටයි.

එළැඹෙන වසරේදී මූල්‍ය අරමුදල සමඟ වන වැඩ සටහන අවසන් වෙනවා. අදාළ කාලය තුළ රටේ විදේශ සංචිත ප්‍රමාණයේ සැලකිය යුතු වර්ධනයක් සිදු වී ඇති බව අපට කිසිසේත්ම බැහැර කරන්න බැහැ. නමුත් වැඩ සටහනේ මුල් ඉලක්ක එක්ක බලද්දී, අවශ්‍ය මට්ටමට සංචිත වර්ධනය වී නැහැ කියන කරුණ වගේම වැඩ සටහන අවසන් වෙද්දී ඒ මුල් ඉලක්ක වලට යා නොහැකි බව මේ වෙද්දී පැහැදිලිව පෙනෙන්න තිබෙනවා. 

මෙහෙම වුනේ ඇයි?

මතුපිටින් බැලුවොත් පෙනෙන්නේ පීලි පැනීම සිදු වී තිබෙන්නේ ආණ්ඩුව මාරු වීමෙන් පසුව බවයි. නමුත් එය සංකීර්ණ තත්ත්වයක් දෙස ඕනෑවට වඩා සරල ලෙස බැලීමක්. 2024 දක්වා වර්ෂාවසාන සංචිත ඉලක්ක වලට ගියේ වැඩ සටහන අනුව ඊට පෙර කළ යුතුව තිබුණු වැදගත් දේවල් කිහිපයක් නොකරමිනුයි. විශේෂයෙන්ම වාහන ආනයනය. ඒ නිසා, යම් හෙයකින් ආණ්ඩුව වෙනස් වුනේ නැතත්, 2025දී වාහන ආනයන සීමා ඉවත් කිරීමෙන් පසුව, අනිවාර්යයෙන්ම සංචිත එක්රැස් කර ගැනීම පසුබෑමකට ලක් වෙනවා.

ආණ්ඩුවේ හිතවතුන් විසින් කියන, ඔය වගේම ඕනෑවට වඩා සරල කරුණක් වන්නේ 2024 දක්වා සංචිත එක්රැස් කළේ ණය නොගෙවමින් සහ ආනයන සිදු නොකරමින් බවයි. නමුත් 2024 දක්වාත් ආනයන ක්‍රමයෙන් විවෘත කිරීමක් සිදු වුනා. විදේශ ණය වලින් කොටසක් ගෙවා ගෙන ගියා. එසේ වුවත්, මුල් සැලසුම් වලට සාපේක්ෂව ඔය දෙකේම යම් ප්‍රමාද වීම් සිදු වූ නිසා විදේශ විණිමය යම් ප්‍රමාණයක් ඉතිරි වුනා. එසේ නොවන්නට 2024 අවසානයේදී වුනත් සංචිත ඉලක්කයට යන්න වෙන්නේ නැහැ. 

මූල්‍ය අරමුදල සමඟ එකඟ වූ වැඩ සටහනෙහි ජංගම ගිණුම් අතිරික්ත ඉලක්කයක් තිබුණේ නැහැ. ඉලක්කය වූයේ හිඟය අවම කර ගැනීමයි. මුල් ඇස්තමේන්තු පැවතුණේ පහත පරිදියි.

2022 - ඩොලර් මිලියන (-1,458)

2023 - ඩොලර් මිලියන (-1,184)

2024 - ඩොලර් මිලියන (-1,092)

2025 - ඩොලර් මිලියන (-1,077)

2026 - ඩොලර් මිලියන (-1,124)

ඉහත ඇස්තමේන්තු අපට සත්‍ය සංඛ්‍යාලේඛණ සමඟ සංසන්දනය කළ හැකියි.

2022 - ඩොලර් මිලියන (-1,449)

2023 - ඩොලර් මිලියන (+1,439)

2024 - ඩොලර් මිලියන (+1,207)

2025 - ඩොලර් මිලියන (+1,719)

2026 සැප්තැම්බර් දක්වා - ඩොලර් මිලියන (-420)

මේ අනුව අපට පැහැදිලිව පෙනෙන පරිදි, වැඩ සටහන අනුව ගියානම් ඉහත කාලය තුළ ජංගම ගිණුම හරහා ඩොලර් බිලියන හයකට ආසන්න මුදලක් රටින් එළියට යනවා. නමුත් ඇත්තටම සිදු වී තිබෙන්නේ ඩොලර් බිලියන 2.5ක් පමණ රටට එන එක. ඒ කියන්නේ වැඩ සටහනේ ඉලක්ක එක්ක බලද්දී අමතර ඩොලර් බිලියන 8.5ක් පමණ එකතු කරගෙන තිබෙනවා. 

එහෙමනම්, සංචිත ඉලක්කය ඩොලර් 8.5කින් ඉක්මවා යන්නේ නැතිව ඩොලර් බිලියන තුනකින් පමණ අඩු වෙන්නේ කොහොමද?

මුල් ඇස්තමේන්තු එක්ක බලද්දී අඩු වෙලා තියෙන්නේ මූල්‍ය ගිණුම හරහා ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ අරමුදල්. ඒ කියන්නේ විදේශ ණය සහ විදේශ ආයෝජන. ඔය දෙකෙන්ම වෙන්නේ රටේ විදේශ බැරකම් වැඩි වෙන එක. දැන් එය සීමා වී තිබෙනවා. එය හොඳ දෙයක් මිසක් නරක දෙයක් නෙමෙයි.

විදේශ ආයෝජන කියන්නේ නරක දෙයක් කියලා මම කිසිසේත්ම කියන්නේ නැහැ. නමුත් ඕනෑම විදේශ ආයෝජනයක් රටට හොඳයි කියන එකත් එයින් අදහස් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් විදේශ ආයෝජන ලෙස මූල්‍ය ගිණුම හරහා රටට එන අරමුදල් ආනයන විදිහට ජංගම ගිණුම හරහා රටෙන් යනවා. ඒ නිසා, විදේශ සංචිත ඉලක්ක වලට යා නොහැකි වීමට හේතුව ආයෝජන නොපැමිණීම කියලා කියන්න අමාරුයි. පහත තිබෙන්නේ මූල්‍ය අරමුදල සමඟ එකඟ වූ වැඩ සටහනෙහි සඳහන් ආනයන වියදම්.

2022 - ඩොලර් මිලියන 18,291

2023 - ඩොලර් මිලියන 20,597

2024 - ඩොලර් මිලියන 21,479

2025 - ඩොලර් මිලියන 22,506

2026 - ඩොලර් මිලියන 23,794

ඉහත ඇස්තමේන්තු අපට සත්‍ය සංඛ්‍යාලේඛණ සමඟ සංසන්දනය කළ හැකියි.

2022 - ඩොලර් මිලියන 18,291

2023 - ඩොලර් මිලියන 16,811

2024 - ඩොලර් මිලියන 18,841

2025 - ඩොලර් මිලියන 21,480

2026 සැප්තැම්බර් දක්වා - ඩොලර් මිලියන 18,666

විශේෂයෙන්ම 2023 හා 2024 වසර වලදී ආනයන සීමා කර තිබීම නිසා ලැබුණු අමතර වාසිය පැහැදිලිව පෙනෙන්න ඕනෑ. එම ප්‍රමාණය ඩොලර් බිලියන 6.5කට ආසන්නයි. මුල් වැඩ පිළිවෙළ අනුව වාහන ආනයන වලට කලින්ම ඉඩ දුන්නානම්, ඔය විදේශ විණිමය ප්‍රමාණය රටේ ඉතිරි වෙන්නේ නැහැ. ඒ වගේම, 2023 හා 2024 වසර වලදී සංචිත ඉලක්ක වලට යන්න ලැබෙන්නෙත් නැහැ. 2025දී වාහන ආනයන සිදු කෙරෙද්දී වුනත්, ආනයන වියදම් තියෙන්නේ මුල් ඇස්තමේන්තු වලට වඩා ඩොලර් බිලියනයක් පමණ පහළින්. ඒ අනුව, පැහැදිලිව පෙනෙන්නේ වාහන ආනයන මුල් වැඩ පිළිවෙලට බාධාවක් වෙලා නැහැ කියන එකයි. නමුත් වඩා වැඩියෙන් ආයෝජන ආවානම්, ඒ ආපු විදේශ විනිමය නැවත ආනයන විදිහට රටෙන් එළියට යනවා.

මුල් වැඩ පිළිවෙළ අනුව, මීට වඩා විදේශ සංචිත වැඩි කරගන්න තිබුණු එකම ක්‍රමය, මීට වඩා වැඩියෙන් විදේශ ණය ගැනීමයි. සිදු වෙලා නැත්තේ ඒ ටික. දිගුකාලීනව බලද්දී එය නරක දෙයක් නෙමෙයි. කෙසේ වුවත්, අවසාන වශයෙන් අවශ්‍ය පමණ විදේශ සංචිත නැති වීමේ කෙටිකාලීන ප්‍රශ්නය අපිට අමතක කරන්නත් බැහැ.

ලිපිය දිගු වන නිසා විදේශ ණය ගෙවීම් පිළිබඳ සංඛ්‍යාලේඛණ මම මෙයට එකතු කරන්නේ නැහැ. නමුත් දැන් තිබෙන තත්ත්වය අනුව වුනත්, විදේශ ණය ගෙවාගෙන යන එකේ ලොකු ප්‍රශ්නයක් නැහැ. තිබෙන්නේ අවදානමක්. ඒ අවදානම නැති කරගන්න තිබෙන පහසුම සහ ප්‍රසස්තම ක්‍රමය මූල්‍ය අරමුදල සමඟ අලුත් වැඩ සටහනකට යන එක. එහිදී ලැබිය හැකි අරමුදල් සංචිත වලට එකතු කරගෙන ප්‍රයෝජනයට නොගෙන ඒ විදිහටම තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් ණය අනුමත කරගෙන අරමුදල් ලබා නොගෙන ඉන්න වුනත් පුළුවන්. එසේ කරන අතර, පසු ගිය වසර වලදී මෙන්ම ජංගම ගිණුමේ අතිරික්තයක් තියාගෙන ගියොත් ලංකාවට නැවත කවදාවත් විදේශ අංශයේ ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. මේ වසරේදී මෙන් බාහිර කම්පනයක් ආවොත් ජංගම ගිණුමේ අතිරික්තයක් තියාගන්න බැරි වෙයි. හරි පාරේ යනවානම්, අතරින් පතර තාවකාලිකව ඒ වගේ තත්ත්වයන් ඇති වීම දිගුකාලීන ස්ථාවරත්වයට ප්‍රශ්නයක් නෙමෙයි.

5 comments:

  1. ඉකොනොමැට්ටා, ඔබේ විග්‍රහයේ බොහෝ කරුණු සමඟ එකඟ විය හැකි වුණත්, අවසානයේ ඔබ එළඹෙන නිගමනය ගැන නම් බරපතළ ප්‍රශ්නයක් තිබෙනවා.

    IMF වැඩසටහනේ මුල් ඉලක්කවලට සාපේක්ෂව විදේශ සංචිත ඩොලර් බිලියන තුනකට ආසන්න ප්‍රමාණයකින් පසුබැසීම, අපේක්ෂිත විදේශ ණය නොගැනීම නිසා සිදුවූවක් බවත්, එය දිගුකාලීනව යහපත් තත්ත්වයක් බවත් ඔබ පෙන්වා දෙනවා.

    නමුත් මගේ ප්‍රශ්නය මෙයයි.

    විදේශ සංචිත ගොඩනැගීමට තිබුණු එකම විකල්පය තවදුරටත් විදේශ ණය ගැනීමද?

    විදේශ ආයෝජන ආකර්ෂණය කිරීම, අපනයන වර්ධනය කිරීම, නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීම සහ විදේශ විනිමය උපයාගැනීමේ නව මාර්ග නිර්මාණය කිරීම සඳහා ආණ්ඩුවට තිබුණු වගකීම මෙතැනදී අමතක කළ හැකිද?

    විශේෂයෙන්ම 2025 සිට සංචිත වර්ධනය මන්දගාමී වී තිබෙන පසුබිමක, එය අඩුවෙන් ණය ගැනීමේ යහපත් ප්‍රතිඵලයක් ලෙස පමණක් අර්ථකථනය කිරීමෙන් ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණයේ ඇති විය හැකි දුර්වලතා යටපත් වෙන්නේ නැද්ද?

    අපේ සැබෑ ජයග්‍රහණය විය යුත්තේ ණය නොගෙන සිටීමද, නැත්නම් ණය නොගෙනම ප්‍රමාණවත් විදේශ විනිමයක් උපයාගත හැකි ආර්ථිකයක් ගොඩනැගීමද?

    මට නම් හිතෙන්නේ අපි ප්‍රශ්න කළ යුත්තේ සංචිත ඉලක්ක මඟහැරුණේ ඇයි කියන එක පමණක් නොවෙයි. ඒ ඉලක්ක කරා ළඟාවීමට අවශ්‍ය ආර්ථික ශක්තිය ගොඩනැගීමට වර්තමාන ආණ්ඩුව කොපමණ සමත් වී තිබෙනවාද කියන එකයි.

    ReplyDelete
    Replies
    1. //විදේශ සංචිත ගොඩනැගීමට තිබුණු එකම විකල්පය තවදුරටත් විදේශ ණය ගැනීමද?//

      කිසිසේත්ම නැහැ. නමුත් මුල් සැලසුමට සාපේක්ෂව අඩු වෙලා තියෙන්නේ ඒ කොටස.

      //විදේශ ආයෝජන ආකර්ෂණය කිරීම, අපනයන වර්ධනය කිරීම, නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීම සහ විදේශ විනිමය උපයාගැනීමේ නව මාර්ග නිර්මාණය කිරීම සඳහා ආණ්ඩුවට තිබුණු වගකීම මෙතැනදී අමතක කළ හැකිද?//

      විදේශ ආයෝජන ආකර්ෂණය කිරීම ගැන ලිපියේ ලියා තිබෙනවා. අපනයන වර්ධනය කෙරෙන විදේශ ආයෝජන වලින් (පමණක්) දිගුකාලීනව විදේශ විණිමය ප්‍රවාහ වලට වාසියක් තිබෙනවා. නමුත් මේ වන විට සංචිත වැඩි නොවීමට හේතුව එවැනි ආයෝජන නොපැමිණීම නෙමෙයි. එවැනි ආයෝජන ආවත් මේ වෙද්දී මීට වඩා සංචිත වැඩි වෙන්නේ නැහැ. ඒ ටික ආනයන විදිහට නැවත එළියට යනවා.

      //අපනයන වර්ධනය කිරීම, නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීම සහ විදේශ විනිමය උපයාගැනීමේ නව මාර්ග නිර්මාණය කිරීම//

      ඔය වගේ දේවල් වලට උපරිම සීමාවක් නැහැ. වර්ධනය වුනත් මීට වඩා වර්ධනය කරන්න පුළුවන්කම තිබුණා කියලා කෙනෙකුට කියන්න පුළුවන්. මේ හරහා අවසාන වශයෙන් වෙන්නේ ජංගම ගිණුම ශක්තිමත් වීම. අපනයන වර්ධනයක් හෝ විදේශ විනිමය උපයාගැනීමේ නව මාර්ග නිර්මාණය කිරීමක් ලොකුවට සිදු නොවුනත් සමස්තයක් ලෙස ජංගම ගිණුම ඉලක්ක ඉක්මවා ශක්තිමත් වී තිබෙනවා. සංචිත අඩු වීමට මේ කරුණු කිසිසේත්ම හේතු වී නැහැ.

      //අපේ සැබෑ ජයග්‍රහණය විය යුත්තේ ණය නොගෙන සිටීමද, නැත්නම් ණය නොගෙනම ප්‍රමාණවත් විදේශ විනිමයක් උපයාගත හැකි ආර්ථිකයක් ගොඩනැගීමද?

      මට නම් හිතෙන්නේ අපි ප්‍රශ්න කළ යුත්තේ සංචිත ඉලක්ක මඟහැරුණේ ඇයි කියන එක පමණක් නොවෙයි. ඒ ඉලක්ක කරා ළඟාවීමට අවශ්‍ය ආර්ථික ශක්තිය ගොඩනැගීමට වර්තමාන ආණ්ඩුව කොපමණ සමත් වී තිබෙනවාද කියන එකයි.//

      ලිපියෙන් ප්‍රධාන වශයෙන්ම කියා තියෙන්නෙත් ඕකම තමයි. වැදගත් දේ ණය නොගෙන සිටීම නෙමෙයි. ණය නොගෙන සිටිය හැකි තත්ත්වයක් ඇති වී තිබීම. ඒ සඳහා අවශ්‍ය ආර්ථික ශක්තිය ගොඩ නගා ගැනීමට සමත් වීම. ඒ නිසා තමයි සංචිත ඉලක්ක මඟ හැරීම ප්‍රශ්නයක් නොවන්නේ. රුපියල කඩා වැටීමක් නොවී, පාලනයක් ඇතිව අවප්‍රමාණය වෙන්න ඉඩ හරින අතරම, ජංගම ගිණුමේ සැලකිය යුතු අතිරික්තයක් තියාගන්න හැකි වී තිබෙනවා කියන්නේ ඒ ටික වෙලා කියන එක.

      Delete
  2. ලිපියේ තවත් අදහසක් තමයි විදේශ ආයෝජන ලෙස රටට එන මුදල් නැවත ආනයන ලෙස පිටවී යන නිසා ඒවා සංචිත ඉහළ නැංවීමට අනිවාර්යයෙන්ම උදව් නොවන බව.
    එහිත් සත්‍ය කොටසක් තියෙනවා.
    උදාහරණයක් ලෙස විදේශ සමාගමක් ලංකාවේ කර්මාන්ත ශාලාවක් ඉදිකරන්න ඩොලර් මිලියන 100ක් ආයෝජනය කළොත්, යන්ත්‍රෝපකරණ ආනයනය සඳහා එයින් ඩොලර් මිලියන 70ක් වැය වෙන්න පුළුවන්.
    නමුත් ඉතිරි ඩොලර් මිලියන 30 දේශීය ආර්ථිකයට ලැබෙනවා. එම කර්මාන්ත ශාලාව ඉදිරියේදී අපනයන ආදායමක්ද නිර්මාණය කළ හැකියි.
    එහෙම නම් එම ආයෝජනයේ දිගුකාලීන බලපෑම මුල් ආනයන වියදමෙන් පමණක් මනින්න බැහැ.

    ReplyDelete
    Replies
    1. //උදාහරණයක් ලෙස විදේශ සමාගමක් ලංකාවේ කර්මාන්ත ශාලාවක් ඉදිකරන්න ඩොලර් මිලියන 100ක් ආයෝජනය කළොත්, යන්ත්‍රෝපකරණ ආනයනය සඳහා එයින් ඩොලර් මිලියන 70ක් වැය වෙන්න පුළුවන්.
      නමුත් ඉතිරි ඩොලර් මිලියන 30 දේශීය ආර්ථිකයට ලැබෙනවා. එම කර්මාන්ත ශාලාව ඉදිරියේදී අපනයන ආදායමක්ද නිර්මාණය කළ හැකියි.//

      විදේශ ආයෝජන වලින් සාමාන්‍යයෙන් රටට ලැබෙන්නේ දේශීය ශ්‍රමය වෙනුවෙන් ලැබෙන කොටස පමණයි. ඔබේ උදාහරණයට ආවොත් ඩොලර් මිලියන 70 කෙළින්ම ආපසු යනවා. ඉතිරි ඩොලර් මිලියන 30 අවශ්‍ය මූලික ශ්‍රමය ලෙස සැලකුවොත් ඒ කොටස රටේ ඉතිරි වෙනවා. නමුත් ආපසු ගිය ඩොලර් මිලියන 70 ආයෝජකයාට ආපසු ලැබෙන්නේ නැහැ. ආයෝජකයා එම මුදල ඇතුළුව ඩොලර් මිලියන 100ක් රටට ගෙනත් තිබෙනවා. ඒ නිසා ඔය ඩොලර් මිලියන 100 වගේම ඒ සඳහා වාර්ෂිකව ලබාගන්නා ප්‍රතිලාභත් දිගින් දිගටම රටින් ගෙනියනවා. එසේ නොකර තමන්ගේ ලාභ දිගින් දිගටම රට තුළ නැවත ආයෝජනය කළොත් පමණයි විදේශ විණිමය රටේ රැඳෙන්නේ. ව්‍යාප්ත වෙන්න විභවයක් තිබෙනවානම් මුල් කාලයේදී එසේ කරන්න පුළුවන්. නමුත් අවසාන වශයෙන් ගෙන ආ සමස්ත ප්‍රාග්ධනය බෙහෙවින්ම ඉක්මවන මුදලක් ආපහු ගෙනියනවා. උපයන්නේ ඩොලර් වලින්නම් මෙහි ප්‍රශ්නයක් නැහැ. ශ්‍රමය වෙනුවෙන් ගෙවන රුපියල් ප්‍රමාණයට සමානව රටට ඩොලර් ලැබෙනවා. රුපියල් වලින් ගෙවුවත් උපයන්නේ ඩොලර් වලින් නිසා. නමුත් උපයන්නේ ඩොලර් වලින් නොවේනම් වෙනත් විදිහටකට කවුරු හෝ උපයා රටට ගේන ඩොලර් රටින් එළියට යන එකයි වෙන්නේ.

      Delete
  3. 2022 ආර්ථික අර්බුදයෙන් පසු තත්ත්වය: 2022 ඇති වූ දැවැන්ත විදේශ විනිමය අර්බුදයෙන් සහ ණය පැහැර හැරීමෙන් පසු, ශ්‍රී ලංකාවේ ආනයන අංශය තවමත් 2018 වැනි පෙර පැවති නිදහස් තත්ත්වයට සමර්ණයෙන්ම පත්ව නැත. මේකෙන් මම කියන්නේ නැ 2018 විදේශ අංශයේ දිශානතිය හොදා කියල... එක පට්ට චා එකම වාසිය ගිණි පොලියට ණය ගන්න පුළුවන් කම තිබුණා...
    ව්‍යාපාරිකයන්ගේ අනාරක්ෂිත භාවය (Cautious Imports): අතීතයේ අත්විඳි අර්බුදය නිසා බොහෝ සමාගම් සහ ආනයනකරුවන් තවමත් දැඩි බියකින් හා පරීක්ෂාකාරීව කටයුතු කරයි. හදිසියේ නැවතත් ඩොලර් අර්බුදයක් හෝ ආනයන සීමා කිරීම් ඇති වේ යැයි ඔවුන් බිය වෙති.
    දේශීය වශයෙන් ආර්ථිකය ඉදිරියට ගියත්, අපනයන ආදායම ප්‍රමාණවත් නොවීම: රටේ දේශීය වෙළඳපොළ යම් මට්ටමකින් යථා තත්ත්වයට පත් වී ඉදිරියට ගියද, රටට අවශ්‍ය ප්‍රමාණයට ඩොලර් උපයන අපනයන අංශය තවමත් අපේක්ෂිත ශක්තිමත් මට්ටමක නැත කියා මට හිතනවා...
    මොකද දැන් 2022 පසුව ලංකාවේ ගොඩක් වියාපාර ආනයන කරන්නේ අලුත් තත්ව සාදක සමග... ගොඩක් ආරක්ෂා කාරීව... උදාහරණයක් ගත්තොත් 2026 නත්තල සදහා වියාපාර ආනයන කරනවා ඉස්සර 15% වගේ රිසක් එකක් තිබ්බ වියාපාර දැන් ආනයන කරන්නේ 5% කටත් වඩා අඩු රිසක් එකක් තියාගෙන මේක හොද දෙයක් නමුත් සමහර දේවල් තාමත් අවශ්‍ය ප්‍රමාණයට නැ.උදාහරණයක් ගතහොත් බෙහෙත් අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවක් තියනවා.
    (ලංකාවේ මිනිස්සු බෙහෙත් බොන පමණය නම් සමානයන් වැඩි නිසා මේකත් හොද පැත්තට උනොත් හරි )

    මූල්‍ය අරමුදල සමඟ එකඟ වූ වැඩ සටහනෙහි ජංගම ගිණුම් අතිරික්ත ඉලක්කයක් එක්ක සන්නන්දනය ඉතාමත් හොද එකක් මේ වගේ එකක් මම කොහෙවත් දැක්කේ නැ...
    හොද ලිපියක් ඉකොනොමැට්ටා.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: