වෙබ් ලිපිනය:

Wednesday, November 11, 2026

විදේශ ණය සේවාකරණය


ණය සේවාකරණය කියා කියන්නේ කිසියම් කාලයක් ඇතුළත ආපසු ගෙවිය යුතු ණය හා පොලී ප්‍රමාණය. කිසියම් කාලයක් ඇතුළත ආපසු ගෙවිය යුතු විදේශ ණය හා පොලී ප්‍රමාණය විදේශ ණය සේවාකරණය ලෙස හඳුන්වනවා. සාමාන්‍යයෙන් සලකා බලන්නේ වසරක කාලයක්. 

සාමාන්‍ය කරුණක් ලෙස ණය ප්‍රමාණය ඉහළ යද්දී ණය සේවාකරණයද ඉහළ යනවා. ඊට අමතරව, පොලී අනුපාතික සහ ණය ආපසු ගෙවීම සඳහා එකඟ වී ඇති කාලය වැනි කරුණුද ණය සේවාකරණය කෙරෙහි බලපානවා. 

ලංකාවේ විදේශ ණය ලෙස බලද්දී, 2006-2014 කාලය විශාල ලෙස විදේශ ණය ඉහළ ගිය කාලයක්. එම කාලය තුළ රටේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 11 පමණ සිට ඩොලර් බිලියන 43 පමණ දක්වා ඉහළ ගියා. මේ ගැන පෙර ලිපියක කතා කළා.

ඉහත ලිපියෙන් පෙන්වා දෙන්න උත්සාහ කළ ප්‍රධාන කරුණ ණය ගැනීමේ වැරැද්ද නෙමෙයි. ණය ගන්න පුලුවන්නම් සහ එසේ ගන්නා ණය වලින් එම ණය හා පොලිය ආපසු ගෙවිය හැකි ආදායමක් ජනනය වේනම් ණය ගන්න එකේ වැරැද්දක් නැහැ. ණය වලින් කළේ මොනවද ඒ කළ දේවල් වලින් වැඩක් වුනාද නැද්ද වගේ දේවල් අප පෙන්වා දුන් ප්‍රධාන කරුණෙන් බැහැර දේවල්. 

අප විසින් පෙන්වා දුන් ප්‍රධාන කරුණ වැරදි විණිමය ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා ණය ගොඩ ගැහුනා කියන එකයි. ඒ වගේම ඒ විදිහට ණය ගොඩ ගැහීම රටේ විදේශ අංශයේ විශාල අර්බුදයකට පාර කැපුවා කියන එකයි. මේ ණය සියල්ලම ගත්තේ රජය විසින් නෙමෙයි. එහෙත්, ණය ගත්තේ කවුරු වුනත්, ගත්ත ණය හා පොලිය ආපසු ගෙවන්න වෙන්නේ කවුරු හෝ විසින් උපයා රටට එන විදේශ විණිමය වලින්. ණය සේවාකරණය සඳහා ප්‍රමාණවත් විදේශ සංචිත රටේ නැත්නම් රටේ විදේශ අංශය අර්බුදයකට යනවා. 

මේ සමඟ පළ කරන වගුවෙහි ඉදිරිපත් කර තිබෙන්නේ 2012 සිට 2015 දක්වා එක් එක් වර්ෂයේදී රටේ විදේශ ණය සේවාකරණය. මූලාශ්‍රය මහ බැංකුව. 

රටේ විදේශ ණය ප්‍රමාණය කෙටි කාලයක් තුළ විශාල ලෙස ඉහළ යාමේ ප්‍රතිඵලයක් විදිහට 2015 පමණ වන විට රටේ විදේශ ණය සේවාකරණය ඉතාම අවදානම් මට්ටමකට ඉහළ ගිහින් තිබුණා. 2012 තත්ත්වයට සාපේක්ෂව, 2015 වන විට විදේශ ණය සේවාකරණය දෙගුණයකින් පමණ වැඩි වෙලා. 

ඩොලරයක මිල පහළින් තියාගෙන රුපියල් සැපයුම ඉහළ දමද්දී එක පැත්තකින් රටේ රුපියල් සංසරණය ඉහළ යනවා. රටේ මිනිස්සු අතේ වැඩියෙන් රුපියල් ගැවසෙන්න ගන්නවා. අනෙක් පැත්තෙන් ඒ රුපියල් වැය කර අඩු මිලකට ඩොලර් මිල දී ගන්න පුළුවන් නිසා අඩු රුපියල් ප්‍රමාණයකින් වැඩි ආනයන ප්‍රමාණයක් කරන්න පුළුවන්කම ලැබෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස 2005දී ඩොලර් බිලියන 2.5ක් වූ වෙළඳ හිඟය 2011 වන විට ඩොලර් බිලියන 9.7 දක්වා ඉහළ ගියා. 2014 වන විට තරමක් අඩු වුනත්, ඩොලර් බිලියන 8.3 මට්ටමේ තිබුණා.

එක දිගට වසර දහයක පමණ කාලයක් ආනයන මත පදනම් වූ ඔය වගේ පරිභෝජන රටාවකට මිනිසුන්ව හැඩ ගැස්වුවාට පස්සේ ඒ පුරුද්ද පහසුවෙන් අත ඇරෙන්නේ නැහැ. මිනිස්සු ණය වෙලා හෝ තමන් පුරුදු වූ පරිභෝජන රටාව පවත්වා ගන්නවා. ආනයන වෙනුවෙන් මිනිස්සු ණය වෙද්දී රටත් ණය වෙනවා. මේ තත්ත්වය වෙනස් කරන්නනම් ඩොලරයක මිල විශාල ලෙස ඉහළ යවන්න වෙනවා. එය දේශපාලනිකව කිසිම ආණ්ඩුවකට කරන්න අමාරු දෙයක්.

දේශපාලනිකව ආණ්ඩුවකට කරන්න අමාරු දෙයක් වුනත් ඩොලරයක මිල ඔය විදිහට දිගටම පහළින් තියා ගැනීම කළ නොහැකි දෙයක්. කවුරුවත් කලේ නැත්නම් අවශ්‍ය නිවැරදි වීම යම් වෙලාවක වෙළඳපොළ යාන්ත්‍රනය හරහාම වෙනවා. ආර්ථිකය කඩා වැටීම හරහා සිදු වුනේ ඔන්න ඔය දේ. 

ආර්ථිකය කඩා වැටිලා ඩොලරයක මිල එකවර විශාල ලෙස ඉහළ ගිහින් මිනිසුන්ගේ මිල දී ගැනීමේ හැකියාව අහිමි වුනාම පරිභෝජනය නිකම්ම සීමා වෙනවා. කවුරුවත් කරන්න අකැමැති වූ දේ නිකම්ම වෙනවා. ඒ හරහා වෙළඳපොළ අසමතුලිතතාවය තුලනය වෙනවා. 

ගොඩක් අයගේ විවේචනයට ලක් වුන යහපාලන කාලය කියන්නේ රටේ විදේශ ණය සේවාකරණය ඉතාම ඉහළ මට්ටමක තිබුණු අවුරුදු පහක්. 2015-2019 කාලය ඇතුළත විදේශ ණය හා පොලිය ලෙස ඩොලර් මිලියන 25,422ක් ගෙවා තිබෙනවා. මේ ඒ කාලයේ ගත්ත ණය නෙමෙයි. 

මේ ණය ගෙවුවේ ණය වෙලාම තමයි. ඊට අමතරවත් ඔය කාලයේ විදේශ ණය අරගෙන තිබෙනවා. අවුරුදු පණහක් තිස්සේ (එක් වසරකදී හැර) ජංගම ගිණුම් හිඟයක් නඩත්තු කරපු රටක ආර්ථිකය අවුරුදු දෙක තුනකින් විදේශ ආදායම් උපයා ණය ගෙවිය හැකි රටක් කරන්න බැහැ. කරන්න පුළුවන් එකම දේ ජංගම ගිණුම් හිඟය යම් තරමකින් හෝ පාලනය කර ගැනීම පමණයි. විදේශ ණය සේවාකරණය සඳහා අනිවාර්යයෙන්ම විදේශ ණය ගන්න වෙනවා. නැත්නම් වෙන්නේ ණය පැහැර හරින්නයි.

විදේශ ණය සේවාකරණය ඔය වගේ මට්ටමකට පැමිණි විට එය බාහිර පාර්ශ්ව වලට පේන්න ගන්නවා. එය ණය ශ්‍රේණිගත කිරීම් කෙරෙහි බලපානවා. ණය ශ්‍රේණිගත කිරීම් පහත වැටීම නැවත ණය ලබා ගන්න බාධාවක්. ඔය වගේ තත්ත්වයක් යටතේ ගෙවිය යුතු ණය හා පොලිය පැහැර නොහැර, ජාත්‍යන්තර වෙළඳපොලෙන් ණය ලබාගෙන ආපසු ගෙවන්න පුළුවන් වුනා කියන එකම වුනත් යම් ආකාරයක ජයග්‍රහණයක්. 

යහපාලන ආණ්ඩුව විසින් ස්වෛරිත්ව බැඳුම්කර ණය ලබා ගැනීම දෙස බැලිය යුත්තේ ඔය පසුබිම තුළයි. එම ණය ලබා නොගත්තේනම් තිබුණු විකල්පය කුමක්ද?

ණය පැහැර හැරීම කියන්නේ විකල්පයක් නෙමෙයි. වෙන කරන්නම දෙයක් නැති වීමෙන් පසුව මිස කිසිම රජයක් හෝ වෙනත් ආයතනයක් ඒ තැනට වැටෙන්නේ නැහැ. කළ හැකිව තිබුණු එක් දෙයක් වූයේ මූල්‍ය අරමුදල වෙත ගොස් ණය ලබා ගැනීම. ඒ වැඩේ කොහොමටත් කළා. තවත් දෙයක් වුනේ ඩොලරයක මිල ඉහළ යන්න ඉඩ අරින එක. ඒකත් සෑහෙන දුරකට කළා. උදාහරණයක් විදිහට 2018දී පමණක් ඩොලරයක මිල 19.2%කින් ඉහළ ගියා. 

ස්වෛරිත්ව බැඳුම්කර ණය ලබා නොගෙන සිටීමේ හැකියාවක් කොහොමටත් තිබුණේ නැතත් තරමක් අඩුවෙන් ණය ගන්න බැරිකමක් තිබුණේ නැහැ. නමුත් එහෙම කරන්නනම් බදු වැඩි කිරීම, වියදම් සීමා කිරීම, ඩොලරයක මිල තවත් ඉහළ යන්න දීම, උද්ධමනය වඩා ඉහළ යන්න දීම, ආර්ථික වර්ධනය තවත් අඩු වෙන්න ඉඩ හැරීම වගේ දේවල් කරන්න වෙනවා. ඔය කාලයේ මේ හැම දෙයක්ම යම් තරමකින් කළා. නමුත් යම් සීමාවකින් එහාට ගියේ නැහැ. ඒ සීමාව ප්‍රායෝගික සීමාවක්. දැන් ස්වෛරිත්ව බැඳුම්කර ණය ලබා ගැනීම විවේචනය කරන අයම ඔය කාලයේ බදු වැඩි කිරීම, වියදම් සීමා කිරීම, ඩොලරයක මිල ඉහළ යාම, ආර්ථික වර්ධනය සීමා වීම වැනි දේවල් ගැනත් විවේචනාත්මකව කතා කරනවා. නමුත් ඔය හැම දෙයක්ම ඔය මට්ටමෙන් හෝ නැවතුනේ ස්වෛරිත්ව බැඳුම්කර ණය ලබා ගත් නිසා. 

යහපාලන කාලයේ සිට 2020-2021 කාලයට ආවොත්, ඒ කාලය තුළත් සැලකිය යුතු ණය සේවාකරණයක් කළ යුතු වුනා වගේම විශාල බාහිර කම්පනයකට රටට මුහුණ දෙන්න සිදු වුනා. ඒවා එකක්වත් බොරු නෙමෙයි. නමුත් මූල්‍ය අරමුදල වෙත නොයාම, විණිමය අනුපාතය හිර කරගෙන සිටීම වැනි ප්‍රතිපත්ති වැරදි කළේ නැත්නම්, අමාරුවෙන් වුවත්, තත්ත්වය කළමනාකරණය කරගත හැකිව තිබුනා. ඔය වගේ කම්පන අවස්ථාවකදී  විදේශ ණය ගෙවන්න සංචිත යොදා ගන්න එකේ වැරැද්දක් නැහැ. නමුත් විණිමය අනුපාතය ආරක්ෂා කිරීම සඳහා සංචිත නාස්ති කිරීම මූලික මට්ටමේ වැරැද්දක්. 

අර්බුදයෙන් පසුව, 2022 හා 2023 වසර වල ණය සේවාකරණය අඩු වී තිබෙන්නේ ඇත්තටම ණය සේවාකරණය අඩු මට්ටමක තිබුණු නිසා නෙමෙයි. ණය පැහැර හැරපු නිසා. ණය පැහැර හැරීමෙන් පසුවද බහුපාර්ශ්වීය ණය ඇතුළු ඇතැම් විදේශ ණය දිගටම ගෙවුවා. ඔය අවස්ථාව වන විට ණය පැහැර නොහැර කරන්න වෙනත් දෙයක් ඉතුරු වී තිබුණු බවක් අපට පෙනෙන්නේ නැහැ. 

අවසාන වශයෙන් 2025 වර්ෂය වෙත ආවොත්, එම වර්ෂය තුළ ඩොලර් බිලියන 5 ඉක්මවන විදේශ ණය සේවාකරණයක් සිදු කර තිබෙනවා. මේ වර්ෂයේ ණය සේවාකරණය සමහර විට මීටත් වඩා වැඩි ඇති. මීට සාපේක්ෂව, 2027න් හෝ 2028න් පසුව ණය සේවාකරණය එකවර විශාල ලෙස ඉහළ යන්නේ නැහැ. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී කළේ එය එසේ නොවන පරිදි ණය සේවාකරණය දරාගත හැකි සීමාවක් දක්වා අඩු කර ගැනීමයි. ඒ නිසා ඉදිරි වසර වලදී ණය ගෙවීම අර්බුදයකට යන තරමේ විශාල ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් එසේ ණය ගෙවන අතරම විදේශ සංචිතද ගොඩ නගා ගැනීමනම් සුළුපටු නොවන අභියෝගයක්.

2 comments:

  1. මෙහෙමයි ඉකොනො, ඇත්තටම ලංකාවේ 2005 සිට 2010 කාලය ගැන කතා කරනකොට මුලින්ම පිළිගන්න ඕන දෙයක් තියෙනවා. රටතුල යුද්ධයක් සහ දැවැන්ත ගෝලීය ආර්ථික අර්බුදයක් පැවති ඒ කාලයේ පවා රටේ ආර්ථිකය වර්ධනය වුණා විතරක් නෙවෙයි, රාජ්‍ය ණය/GDP අනුපාතයත් සැලකිය යුතු ලෙස අඩු කරගන්න හැකි වුණා. IMF දත්ත අනුව 2005දී රාජ්‍ය ණය GDPයෙන් 100.7%ක් පමණ වූ අතර 2010 වන විට එය 83.7%ක් දක්වා පහළ ගියා නේද?

    විදේශ මුදලින් නම් කළ රාජ්‍ය ණය කොටසත් 2005දී GDPයෙන් 48.7%ක් පමණ වූ තැනින් 2010දී 37.1%ක් පමණ දක්වා අඩු වූ බව IMF එකේ ණය තිරසාරභාවය පිළිබඳ වාර්තාවල දැක්වෙනවා. ඒ වගේම උතුරේ බරපතල යුද්ධයක් තිබියදීත් ලංකාවේ 2006දී ආර්ථික වර්ධනය 7.7%ක්, 2007දී 6.8%ක්, 2008දී 6%ක් සහ 2010දී 8%ක් වාර්තා වුණා

    එමෙන්ම 2009 යුද්ධයේ අවසන් අදියර සහ 2008-09 දැවැන්ත ගෝලීය මූල්‍ය අර්බුදය මැද වර්ධනය 3.5%කට අඩු වුණත් ඉන්පසු නැවත ශක්තිමත් වර්ධනයකට පැමිණියා. ලෝක බැංකුවේ දත්ත අනුව 2006/07දී 12.5%ක් වූ ජාතික දරිද්‍රතා අනුපාතය 2009/10දී 8.9% දක්වා අඩු වුණා මම බලපු විදියට විශේෂයෙන් ග්‍රාමීය හා වතු අංශවල දරිද්‍රතාව අඩුවීමත් ජනතාවගේ ආර්ථික ජීවන තත්ත්වයේ කැපී පෙනෙන දියුණුවක් පෙන්නුම් කරනවා.

    ඒ නිසා 2005 සිට 2010 කාලයේ යුද්ධය අවසන් කිරීම, මාර්ග, විදුලිබල, වරාය, ගුවන් තොටුපළ සහ වෙනත් යටිතල පහසුකම්වල ආයෝජනය, ආර්ථික වර්ධනය සහ ණය/GDP අනුපාතය පහළ යාම එකට සලකා බැලිය යුතුයි. හැබැයි ඒ කාලය ණය අවදානම්වලින් සම්පූර්ණයෙන් නිදහස්, පරිපූර්ණ ආර්ථික යුගයක් කියලා කියන්නත් බැහැ, 2005දී අයවැය හිඟය 8.7%ක්, 2009දී එය 9.9%ක් පමණ වූ අතර 2010දීත් 8%ක් පමණ දක්වා අඩු වුණා. ඒ කියන්නේ ණය අනුපාතය පහළ ගියත් තරමක් දුරට රාජ්‍ය මූල්‍ය දුර්වලතා තිබුණ බව IMF එක දරන මතයයි.

    දැන් 2015ට එමු. ඒ අවුරුද්දේ අලුත් රජය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල, අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල සහ ආනයනික වාහනවල බදු අඩු කිරීම, රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම වැනි ජනතාවට ක්ෂණික සහනයක් දෙන තීරණ ගත්තා. IMF වාර්තාව පැහැදිලිවම කියනවා විශාල ලෙස ඉන්ධන මිල අඩු කිරීම, රජයේ සේවක වැටුප් හා ආදායම් වැඩි කිරීම සහ වාහන ආනයන බදු අඩු කිරීම එකට සිදුවීමෙන් වාහන ආනයනය ඇතුළු ආනයන ඉහළ ගොස්, තෙල් නොවන ආනයන වලට පවා ජංගම ගිණුමේ හිඟය වැඩිවී, රාජ්‍ය මූල්‍ය තත්ත්වය දුර්වල වූ බව.

    ඒ නිසා ඒ ප්‍රතිපත්තිවල කෙටිකාලීන ජනප්‍රියත්වය සහ දිගුකාලීන ආර්ථික පිරිවැය අතර ගැටුමක් තිබුණ බවට නිල සාක්ෂි තියෙනවා. මේ නිසාම 2015දී එවකට පැවති අසාර්ථක පාලක පිරිස මෝඩ අදහස් මත ලාබ ජනප්‍රියතාවක් පතා අතිශය තකතීරු තීරණ ගත්තා, ඒ නිසා වසර දෙකක් පමණ යනවිට 2017, 2018 දී විතර ආර්ථිකය සම්පූර්ණයෙන් අර්බුදයකට ගියා.

    IMF අනුව 2015දී GDP වර්ධනය 4.8%ක් වූ අතර 2014ට ආසන්න මට්ටමක තිබුණාට 2015 න් පසුව තත්ත්වය උඩුයටිකුරු වුණා.

    2018දී GDP වර්ධනය 3.2%කට මන්දගාමී වුණේ මේ අර්බුදය නිසා. IMF එකෙන් සහ ISB අධික පොලී ණය වලට යාමත් IMF ණය කොන්දේසි නිසාම 2015 සිට පැවැත්වූ බොරු සංදර්ශන නවතා නැවත රටේ ඉන්ධන මිල නිවැරදි කරන්න සිදුවීම නිසාම ඉහළ තෙල් මිල, රටේ දුර්වල ආර්ථික කළමණාකරණය නිසා Fitch Moody's S&P රේටින් අඩුවෙලා ණය ගැනීමට අමාරු වී ජාත්‍යන්තර මූල්‍ය තත්ත්ව දැඩි වීම, රටේ යටිතල ව්‍යුහය දියුණු කිරීමට ක්‍රියාත්මක කළ ව්‍යාපෘති නවතා හෝ අලුත් වීයාපෘති නොකිරීම නිසාම ඉදිකිරීම් අංශයේ දැඩි හැකිළීම සහ විශේෂයෙන්ම රටේ ජනතාව 2018 සිටම රජයට එරෙහිව දැඩිලෙස උද්ඝෝෂණ ව්‍යාපාර කිරීම සහ 2018 ඔක්තෝබර් දේශපාලන අර්බුදය වැනි සාධක එකට බලපෑ නිසයි. IMF වාර්තාවත් ඒ කරුණු පැහැදිලිව සඳහන් කරනවා.

    ඒ කාලයේ දැවැන්ත ගෙවුම් ශේෂ හිඟය සහ අධික ලෙස ආනයනය නිසාම ඇතිවූ විදේශ විනිමය පීඩනය කළමනාකරණය කිරීමට රජය ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) නිකුත් කළා. 2018 අප්‍රේල් මාසයේ USD බිලියන 2.5ක ISB නිකුතුවක් වසර 5කට 5.75%ක සහ වසර 10කට 6.75%ක ඵලදා අනුපාත යටතේ සිදු කළ අතර, එම වසරේ ඔක්තෝබර් මාසයේ තවත් USD බිලියන 1ක විදේශ මුදල් මූල්‍ය පහසුකමක් ලබාගත්තා. 2019 මාර්තු මාසයේත් USD බිලියන 2.4ක බැඳුම්කර නිකුතුවක් වසර 5කට 6.85%ක සහ වසර 10කට 7.85%ක ඵලදා අනුපාත යටතේ සිදු කළා. 2019 පමණක් ගත්ත මුළු විදේශ ණය ඩොලර් බිලියන 4.4 කට වඩා වැඩියි.

    මේවායෙන් කල්පිරෙන ණය ආපසු ගෙවීමට කාලය සහ මූල්‍ය ඉඩකඩ ලබාගන්න පුළුවන් වුණත්, ඒක ණය බර අහෝසි කිරීමක් නෙවෙයි අනාගතයට ගෙවිය යුතු වගකීම් අලුත් කිරීමක්.

    ReplyDelete
  2. තවත් වැදගත් කරුණක් තමයි 2015දී අලුත් රජය භාරගත් ආර්ථික තත්ත්වය ගැන පමණක් කතා කරලා 2015–2019 කාලයේ තමන්ගේම ප්‍රතිපත්තිමය වැරදි නොසලකා හරින්නත් බැහැ, ඒ වගේම 2018 දේශපාලන අර්බුදය සහ 2019 පාස්කු ප්‍රහාරය වැනි බාහිර කම්පන නොසලකා හරින්නත් බැහැ. දැන් 2020න් පසු කාලය බලමු. COVID-19 වසංගතය ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් කළා; සංචාරක ආදායම සම්පූර්ණයෙන්ම පාහේ කඩා වැටුණා, ගුවන් ගමන් සහ දේශසීමා සීමා වුණා, කර්මාන්ත හා සේවා අංශවල ක්‍රියාකාරකම් අඩු වුණා. 2020දී සැබෑ GDP වර්ධනය ඍණ 3.6%ක් වුණා. IMF පිළිගන්නවා එම රජය සහන, ණය ගෙවීම් සහන, සමාජ ආරක්ෂණ වැඩසටහන් සහ එන්නත්කරණය වැනි පියවර ගත් බවත්, ඒවා වසංගතයේ ආර්ථික හානිය තවත් වැඩිවීම වැළැක්වීමට උපකාරී වූ බවත්. ඒ නිසා “කොවිඩ් පාලනයට ඕනෑවට වඩා බර දීලා ආර්ථිකය විනාශ කළා” කියන එක තහවුරු කළ නිගමනයක් ලෙස නොව, සීමා කිරීම්වල ආර්ථික පිරිවැය සහ සෞඛ්‍ය ප්‍රතිලාභ දෙකම කිරා බැලිය යුතු ප්‍රතිපත්තිමය විවාදයක් ලෙස ඉදිරිපත් කිරීම වඩා නිවැරදියි නේද?.

    නමුත් 2020 අර්බුදයට පෙර සිටම රටේ අවදානම් තිබුණා කියන එකත් අමතක කරන්න බැහැ. 2019 අවසානයේ සිදු කළ විශාල බදු කප්පාදු නිසා රාජ්‍ය ආදායම GDPයෙන් 2%කට වැඩි ප්‍රමාණයකින් අහිමි විය හැකි බව IMF ඇස්තමේන්තු කළා; 2020 සහ 2021 අයවැය හිඟය GDPයෙන් 10% ඉක්මවා ගියා, 2021දී රාජ්‍ය ණය GDPයෙන් 119%ක් පමණ දක්වා ඉහළ ගියා, 2020දී ජාත්‍යන්තර බැඳුම්කර වෙළෙඳපොළට ප්‍රවේශයත් අහිමි වුණා. 2021 අප්‍රේල් සිට විනිමය අනුපාතය ප්‍රායෝගිකව ස්ථාවර කර තබාගැනීම, විදේශ ණය වාරික ගෙවීම් සහ ආනයන සඳහා විදේශ විනිමය අවශ්‍යතාව වැඩිවීමත් සමඟ සංචිත දැඩි ලෙස පහළ ගියා.

    ඒ නිසා 2022 අර්බුදය COVID-19 නිසා පමණක් ඇති වූවක් නෙවෙයි; වසංගතය කලින් 2015 දී පමණ සිට දුර්වල ආර්ථික කළමණාකරණය නිසා ඇතිවී තිබූ ණය හා රාජ්‍ය ආදායම් දුර්වලතා තවත් උග්‍ර කළා. ඒ වගේම Port City සහ හම්බන්තොට කර්මාන්ත කලාපය ගැනත් කරුණු නිවැරදිව කියමු. Colombo Port City ව්‍යාපෘතිය 2015 පෙබරවාරියේ පරිසර බලපෑම් ඇගයීම සහ අදාළ කොන්දේසි සම්බන්ධයෙන් අත්හිටුවා තිබුණත් 2016 මාර්තු මාසයේ කැබිනට් අනුමැතියෙන් නැවත ආරම්භ කළා. එහි මුල් ආරම්භය 2014දීත්, නැවත ආරම්භය 2016දීත් සිදු වුණා.

    හම්බන්තොට කර්මාන්ත කලාපය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා–චීන කර්මාන්ත කලාප කාර්යාලය ආරම්භ කර, 2014දී එහි Master Plan එක සකස් කිරීමට කැබිනට් තීරණ ගත්තා. නමුත් 2015න් පසු විදේශ බලපෑම්, ඉඩම් හා ආයෝජන සැලසුම් පිළිබඳ රජයේ අවිනිශ්චිතතාව, භූදේශපාලනික සංවේදීතාව සහ පසුව COVID-19 හා රටේ ආර්ථික අර්බුදය යන සාධක එහි ප්‍රගතියට බලපෑ බව වාර්තා වෙනවා. 2020දී හම්බන්තොට වරාය කලාපයට USD මිලියන 300ක පළමු විශාල ටයර් කර්මාන්ත ආයෝජනයක් ප්‍රකාශයට පත් වීමෙන් වසංගත සමයේත් ආයෝජන සම්පූර්ණයෙන් නතර වී තිබුණේ නැති බව පේනවා; නමුත් “භූදේශපාලනය නිසා සියලු ආයෝජන නතර වුණා. ඇත්තටම මේ සම්පූර්ණ කතාවෙන් ගන්න ඕන පාඩම තමයි 2005–2010 කාලයේ ණය/GDP අනුපාතය අඩු කරමින් ආර්ථික වර්ධනය සහ දරිද්‍රතා අඩුවීමක් ලබාගත් බව පිළිගන්න ඕන; ඒ සමඟම අයවැය හිඟය සහ ණය අවදානම් පැවති බවත් පිළිගන්න ඕන. 2015දී ඉන්ධන හා ආනයනික භාණ්ඩ මිල අඩු කිරීම, වාහන ආනයන බදු ලිහිල් කිරීම සහ වැටුප් වැඩි කිරීමෙන් ජනතාවට ක්ෂණික සහන ලැබුණත් ආනයන ඉල්ලුම සහ රාජ්‍ය මූල්‍ය පීඩනය වැඩි වූ බව IMF වාර්තා කරනවා. 2018දී දේශපාලන අර්බුදය සහ ජාත්‍යන්තර තත්ත්වයන් නිසා ආර්ථික වර්ධනය තවත් මන්දගාමී වුණා. 2020න් පසු COVID-19 ආර්ථිකයට දැඩි පහරක් එල්ල කළා; ඒත් ඒ වන විටත් පැවති ණය අවදානම්, 2019 බදු කප්පාදු, විදේශ විනිමය ප්‍රතිපත්ති සහ වෙනත් දේශීය තීරණ අර්බුදය තවත් දරුණු කළා. ඒ නිසා ඉතිහාසය යම් පිරිසකට වාසි වෙන විදියට කපලා කොටලා කියනවාට වඩා, එක් එක් කාලයේ හොඳ තීරණ, වැරදි තීරණ, බාහිර කම්පන සහ ඒවායේ සැබෑ ආර්ථික ප්‍රතිඵල සියල්ලම එකට බලලා කතා කරන එකයි වැදගත්. රටක ආර්ථිකය ගොඩනැගෙන්නේ කෙටි කාලීන ජනප්‍රිය තීරණවලින් විතරක් නෙවෙයි. ණය ගෙවීමේ හැකියාව, විදේශ විනිමය උපයන නිෂ්පාදනය, ස්ථාවර රාජ්‍ය ආදායම, දිගුකාලීන ආයෝජන සහ ප්‍රතිපත්ති අඛණ්ඩතාව එකට පවත්වාගෙන යාමෙන්.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: