වෙබ් ලිපිනය:

Monday, December 31, 2018

සැන්ඩි එපා!


සමහර වෙලාවට "සෝඩා ටිකක් දාල පොඩ්ඩක් ගේන්නද?" කියල ඇහුවහම විවිධ පිළිතුරු ලැබෙනවා. "පාවිච්චියක් නෑ!", "දැන් නවත්තල ඉන්නේ!", "දැන් බෑ!", "එහෙනං පොඩ්ඩක් ගම්මුකෝ!" ඉඳලා "සෝඩා එපා!" දක්වා විවිධ ප්‍රතිචාර ඔය අතර තිබෙනවා. ලාල්කාන්ත සහෝදරයා වගේ "උවමනාවක් නැතත්" යාලුවන්ගේ වදේට හරි "මානුෂික සම්බන්ධතා පවත්වාගැනීමේ ස්වරූපයක් විදිහට" හරි ගන්න අයත් ගොඩක් ඉන්නවනේ. හැබැයි ඉතිං ඔතැන උවමනාවක් නෑ කියන එකෙන් කියන්නේ ඔය විදිහට වෙනත් කෙනෙක් බල නොකළානම් හොයාගෙන ගිහින් ගන්න උවමනාවක් නෑ කියන එක පමණයි. වෙනත් අයෙකුගේ බල කිරීමට යටවෙන කෙනෙක් වුනත් කරන්නේ අවසාන වශයෙන් තමන් කැමති දේ. එහෙම නැත්නම් නොකර ඉන්න බැරිකමක් නැහැනේ!

සැර මත්පැන් පැණිබීම වලින් සැන්ඩි කරන එක ලංකාවේ සාමාන්‍ය දෙයක්. එයට ආර්ථික සාධක වගේම සංස්කෘතික සාධකත් හේතු වෙනවා.

සැන්ඩි කරන එකෙන් බලාපොරොත්තු වෙන්නේ මත්වීම පාලනය කරගැනීම. අනෙක් පැත්තට මූලික වශයෙන්ම මත්පැන් බොන්නේ මත්වෙන්න කියා හිතුවොත් මේ චර්යාවේ පරස්පරයක් පේනවා. වෙනත් විදිහකින් කිව්වොත්, බොනවා තමයි- ඒත් මත්වීමේ උවමනාවක් නැහැ. ඒකෙන් පැහැදිලි වෙන්නේ මේ විදිහට සැන්ඩි කරමින් බොන්නේ, යාලුවන්ගේ බල කිරීමට යටවුණේ නැත්නම්, හොයාගෙන ගිහිං බොන්න තරම් උවමනාවක් නැති අය බවයි. ඒ නිසා, මේක මානුෂික සම්බන්ධතා පවත්වාගැනීමේ ස්වරූපයක් කියන එකේ වැරැද්දක් නැහැ.

සමහර සාමූහික චර්යා වලින් පිළිබිඹු වෙන්නේ පුද්ගල චර්යා වල එකතුව නෙමෙයි. සමූහයක කිසිම තනි පුද්ගලයෙකුට පෞද්ගලිකව කරන්න අවශ්‍ය නොවන දෙයක් එවැනි පුද්ගලයින් සමූහයක් විසින් කරන අවස්ථා ඕනෑ තරම් තියෙනවා. බුදු පිළිමයක් කැඩීම, පල්ලියකට ගලක් ගැහීම, හදිසි අනතුරකින් පසු රියදුරාට පහර දීම වගේම සංචාරයක යෙදීම, සිල් ගැනීම වගේ තනි තනිව කරන්න කිසිවෙකුට උවමනාවක් නැති ගොඩක් දේවල් ඔය විදිහට පුද්ගලයින් කණ්ඩායමක් විසින් කරන්න පුළුවන්. එවැනි උවමනාවක් තිබෙන එක් පුද්ගලයෙකු හෝ කිහිප දෙනෙකු විසින් කවර ආකාරයෙන් හෝ සමූහයක් මෙහෙයවීම වෙනම කරුණක්. මා කියන්නේ ඒ ගැන නෙමෙයි.

සමාජගත වීම සඳහා මත්පැන් බොන ඇතැම් කණ්ඩායම් වල කිසිවෙකුටත් තනිතනිව මත්පැන් බොන්න අවශ්‍ය නැහැ. නමුත්, "අනිත් අය ගැන හිතා" හැමෝම සෙට් වෙනවා. සමාජ සත්ත්වයෙක් වන මිනිසාගේ ඔය වගේ හැසිරීම් ඕනෑ තරම් තියෙනවා. මේ වගේ හැසිරීම් ක්‍රීඩා න්‍යාය (game theory) ඇසුරෙන් පැහැදිලි කරන්න පුළුවන්.

තමන්ගේ උවමනාවට තනිව මත්පැන් බොන පුද්ගලයෙක්ට සැන්ඩි වැදගත් නැහැ. නමුත්, යාළුවන්ගේ උවමනාවට සෙට් වෙන කොටනම් සැන්ඩි නැතුවම බැහැ. මෙතැන ගේම් එක ඩෝප් නොවී වැඩි වෙලාවක් අල්ලගෙන ඉන්න එකයි. මොකද සතුට තියෙන්නේ සෙට් වෙන එකේ මිසක් මත්පැන් වල නෙමෙයි. මත්පැන් වලින් කරන්නේ සෙට් වෙන්න හේතුවක් සපයන එක පමණයි.

සංඛ්‍යාලේඛණ මත පදනම් නොවී නිගමන වලට එළැඹෙන එක නිවැරදි නැති වුවත්, මම හිතන විදිහට බටහිර රටක මිනිස්සුන්ට සාපේක්ෂව ලංකාවේ මිනිස්සු මේ විදිහට සෙට් වෙන්න වැඩි කාලයක් වෙන් කරනවා. කාලයේ ආවස්ථික පිරිවැය සාපේක්ෂව අඩුවීම මෙයට එක් හේතුවක් කියන්න පුළුවන්.

බටහිර රටකදීනම් මේ වගේ එකතුවකදී කියන වෙලාවට හැමෝම වගේ එනවා. පැමිණිය යුතු වෙලාව වගේම සාදය අවසන් වන වෙලාවත් බොහෝ විට ඇරයුමේම තියෙනවා. ඒ වෙලාවට සභා තොමෝ සතුටින් විසිර යනවා. හැබැයි මේ කියන්නේ ලංකාව වැනි රටවලින් ආ සංක්‍රමණිකයින් ගැන නෙමෙයි. (ඔවුන්ගේ හැසිරීම ග්‍රාම්‍යයි කියා කියන්න හදනවත් නෙමෙයි).

ලංකාවේ ඔය වැඩේ ඔය විදිහට නොවන බව කියවන කවුරුත් දන්නවනේ. "මචං, පොඩ්ඩක් පරක්කුයි. තව පැය බාගෙන් ඔතැන." කියා කියන එකා එන්නේ තව පැය එකහමාරකින් වීම කාටවත් පුදුමයක් නෙමෙයි. ඒ වගේම එක්කෙනෙක් දෙන්නෙක් ආපහු ගියා කියා වැඩේ නවතින්නෙත් නැහැ. ඉතුරු අය ඇදගෙන යනවා. ඉවර වෙන වෙලාව වැඩේ සංවිධානය කරපු කෙනාටවත් කලින් කියන්න පුළුවන් කමක් නැහැ. මෙයට හේතුව ලංකාවේ පොදු ප්‍රවාහනයේ දුර්වලතා හෝ මාර්ග තදබදය පමණක්ම නෙමෙයි. ඔය විදිහට තැනකට වෙලාවට නොඑන ඇතැම් අය ඇතැම් වැදගත් දේ මොන විදියෙන් හෝ හරියටම නැකැත් වෙලාවකට කරනවා.එහෙම නැකතකට වැඩක් වෙනවා කියලා දන්නා අවස්ථා වලදී කොහොම හරි වෙලාවට එනවා.

ඇත්ත නැත්ත කොහොම වුවත් මත්පැන් මත පනවා තිබෙන විශාල බද්ද සාධාරනීකරණය කරන්නේ සමාජ යහපත ඉස්සරහට දාලනේ. මෙහි එක අතුරු ඵලයක් වන්නේ "කලවම් බඩු" විශාල ලෙස වෙළඳපොළට එන එක. මේ වැඩේ කරන්න පහසු වෙන්න හේතු වී තිබෙන එක් කරුණක් වන්නේ සැන්ඩි කිරීමේ පුරුද්දයි.

කාලයක් ඇතැම් අය ගෙන ආ තර්කයක් වුනේ සැර අඩු මත්පැන් මිල අඩු කර සැර වැඩි මත්පැන් භාවිතයේ හානි අඩු කළ යුතු බවයි. නමුත්, සමාජශීලී වෙන්න බොන ලංකාවේ ගොඩක් අය බොන්නේ සැර අඩු මත්පැන් වර්ග වලටත් වඩා තනුක කරලා. ප්‍රශ්න විසඳගන්න බොන අය කොහොමටත් සැර අඩු මත්පැන් හොයනවා අඩුයි.

බටහිර රටක මත්පැන් මිල සාපේක්ෂව ගොඩක් අඩුයි. ඒ නිසා, කිසියම් පෞද්ගලික සාදයක් වගේ තැනක වුවත් මත්පැන් වර්ග විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ නිසා, බොන කෙනෙකුට විකල්ප වැඩියි. ලංකාවේ අධික මත්පැන් මිල එක්ක විකල්ප සීමා වෙනවා. ඒ නිසා, ඇල්කොහොල් සාමූහිකයක් ඇතුළේදී "ප්‍රජාතන්ත්‍රවාදය අනුව" බහුතරයේ කැමැත්තට අනික් අයට යට වෙන්න වෙනවා. එවිට, පුද්ගල කැමැත්ත යටපත් වෙනවා. සැන්ඩි කිරීම ප්‍රචලිතව තිබීම ඇතුලෙ තිබෙන්නේ ඒ විදිහට පොදු කැමැත්ත ඇතුළේ යට වෙන පුද්ගල කැමැත්ත මතු වෙන ආකාරයයි. එක් එක් පුද්ගලයා විසින් කරන්නේ තිබෙන එකම ඇල්කොහොල් විකල්පය තමන්ට අවශ්‍ය තරමට සැන්ඩි කරගෙන තමන්ට අවශ්‍ය නිෂ්පාදනය හදාගන්න එක. මේ පුරුද්ද නිසා, එකම බෝතලයෙන් වුවත් එක් එක් පුද්ගලයාට අවශ්‍ය දේ බොන්න ඉඩ සැලසිලා තිබෙනවා.

අපි ලියන දේවල් වුනත් කියවන අය කියවන්නේ තමන්ට අවශ්‍ය පමණට සැන්ඩි කරගෙන. ඒකත් පුද්ගල කැමැත්ත. කෙනෙක් ලියන දේවල් වැඩිපුර බීලා වෙනත් කෙනෙක් මත්වෙන්න අවශ්‍ය නැහැ. හැබැයි සමහර වෙලාවට සමහර අය කියවන්නේ එනකොට අරන් එන සැන්ඩිම විතරයි!

වෙන ලිපි වල වගේම මේ ලිපියේ තියෙන දේවලුත් තමන්ට කැමති පමණ සැන්ඩි කරගෙන කියවන්න. අරගෙන ආපු සැන්ඩි විතරක්ම වුනත් කමක් නැහැ. එය ඔබේ කැමැත්ත.

සුබ නව වසරක්!

Sunday, December 30, 2018

මං උනත් ඉතිං ඉන්නෙ මෙ අවුෂදේ බලෙන්...


ග්‍රෙගෝරියන් අවුරුද්ද ඉවර වෙද්දී සංක්‍රාන්තිය සමරන්න අවුෂද ටිකක් ගන්න එක ගොඩක් දෙනෙක් කරන දෙයක්නේ. ඕකේ ඉතිං ලොකු වැරැද්දක් නැහැ. බොන්න උවමනාවක් නැති වුනත් යාලුවන්ගෙන් බේරෙන්න බැරි වුන වෙලාවට චුට්ටක් ගන්නවා කියල ලාල්කාන්ත සහෝදරයත් කියල තියෙනවනේ.

ඔය වගේ සමාජ සම්බන්ධතා පැවැත්වීමේ කොටසක් විදිහට වගේම ප්‍රශ්න වැඩි වුනහමත් තව අය බොනවනේ. එහෙම අය මුලින් කී අයට වඩා ටිකක් වැඩි වෙන්න ගන්නවා. ඒ අයට තියෙන එක විවේචනයක් තමයි බීල ප්‍රශ්න විසඳන්න බෑ කියන එක.

ආපහු සිහිය එන කොට තිබිච්ච ප්‍රශ්න ඔක්කොම තිබුණත් ඒ ප්‍රශ්න ටික වෙලාවකට හරි අමතක කරන එකත් එක විසඳුමක්නේ. හැබැයි ඔය විදිහට ප්‍රශ්න විසඳන්න අසීමාන්තික ලෙස එක දිගට බොන එකෙන් පස්සේ නැති ප්‍රශ්න ඇති වෙනවා. එහෙම තියෙද්දිත් සමහර අය ඔය වැඩේ කරන්නේ මේ පසුකාලීන හානි ගැන අවබෝධයක් නැති නිසාද?

ටික දවසකට කලින් ඇමරිකාවේ ප්‍රධාන පෙළේ සරසවියක පර්යේෂකයෙකු වන අයෙකු එක්ක කරපු කතාබහක් ගැන කලින් ලිපියක සඳහන් කළානේ. ඔහුට අනුවනම් මිනිස්සු මේ විදිහට බොන්නේ පසුකාලීන හානි ගැන අවබෝධයක් නැතිව නෙමෙයි. ඒ හානි ගැන දැනගෙන හිටියත් බොන එකෙන් ලැබෙන දේ ඒ හානි වලට වඩා වටින නිසා. වෙනත් විදිහකින් කිවුවොත් මේ මිනිස්සු කරන්නෙත් නොබොන අනුවණ දනෝ වගේම බොහොම තාර්කික විදිහට කටයුතු කරමින් තමන්ට හොඳම දේ කිරීම. එහෙම වෙන්නේ කොහොමද?

ඔහුගේ අදහස වන්නේ වෙනත් විකල්පයක් නැති විට මානසික ආතතියට ප්‍රතිකාරයක් ලෙස මිනිස්සු මත්පැන් ගන්නවා කියන එකයි. හැබැයි වෙනත් වඩා හොඳ විකල්පයක් ලැබුනොත් ඔවුන් තව දුරටත් මේ වැඩේ කරන්නේ නැහැ.

ඔහුට අනුව, මේ චර්යාවම වෙනත් කරුණු හා අදාළව වුවත් පෙන්වන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි කන බොන මිනිස්සුනේ. කන එකෙන් අපි හොඳට සතුටු වෙනවා. ඒ වගේම, ඇඟ හොල්ලන්න හොරයි. නමුත්, ඔය විදිහට කකා බිබී ව්‍යායාම නොකර ඉන්න කොට කොලෙස්ටරෝල් නගිනවා. ඔන්න එතකොට අකැමැත්තෙන් ඩයට් කරන්න වෙනවා. ව්‍යායාම කරන්න වෙනවා.

මෙතැන තේරීම් දෙකක් තිබෙනවා. එකක් හෘද රෝගයක් හැදීමේ අවදානම ගන්න එක. අනික අපි අකැමැති දේවල් වන ඩයට් කිරීම හා ව්‍යායාම කිරීම වැනි දේ කරන එක. දෙකෙන් එකක්වත් අපි කැමති දේවල් නෙමෙයි. ඒ නිසා, තිබෙන හොඳම විකල්පය අඩු නරක විකල්පය තෝරා ගැනීම.

දැන් ඔය මැතිවරණ වලදී ගොඩක් අය කරන්නෙත් ඕකමනේ. මොකා ආවත් එකයි කිවුවට මොකෙක් හරි එනවනේ. ඒ නිසා, අඩු නරක විකල්පය තෝරා ගන්න වෙනවා. ඉතිං ගොඩක් ඡන්ද වැටෙන්නේ කාව හරි දිනවන්න නෙමෙයි. අනිත් අපේක්ෂකයා දිනන එක වලක්වන්න. මිනිස්සුන්ගේ හැසිරීම තාර්කිකයි.

කොහොම වුනත් අමතර විකල්ප වැඩි වන තරමට අපට වඩා අඩු නරක හෝ වඩා හොඳ විකල්පයක් තෝරා ගැනීම පහසු වෙනවා. මා කිවූ පර්යේෂකයා මුලින්ම පෙන්වා දෙන්නේ කොලෙස්ටරෝල් පාලනය කරන්න ලිපිටෝර් වගේ ස්ටැටින් ඖෂධ සොයා ගැනීම. මේවායේ අතුරු ආබාධ හොඳටම අඩුයි. දැන් තුන්වන විකල්පයක් විදිහට ඩයට් නොකර, ව්‍යායාම නොකර ස්ටැටින් ඖෂධ වලින් කොලෙස්ටරෝල් පාලනය කරගෙන හෘද රෝග අවදානම අඩු කර ගන්න පුළුවන්. ඔහු පෙන්වා දෙන විදිහට මේ චර්යාත්මක වෙනස ඇමරිකාවේ ස්ථුලතාවය ඉහළ යන්න හේතු වී තිබෙනවා.

මේ ආකාරයටම ආතතිය පාලනය කරන ඖෂධ වෛද්‍ය නිර්දේශ නැතුව මිල දී ගැනීම පහසු වීමට සමාන්තරව ආතතියට විසඳුමක් ලෙස අධික ලෙස මත්පැන් පානය කිරීම අඩු වෙමින් තිබෙන බව ඔහු පෙන්වා දෙනවා. (මේ පර්යේෂණ ප්‍රතිඵල මේ විදිහටම වලංගු වන්නේ ඇමරිකාව වගේ රටකට බව මතක් නොකළොත් එය අඩුපාඩුවක්.) මේ කරුණු එක්ක ඔහු පෙන්වා දෙන්නේ තාක්ෂණය නිසා වඩා හොඳ අලුත් විකල්ප ලැබීමේ වාසිය හා ඒ එක්ක වෙළඳපොළ යාන්ත්‍රනය තුළ සමාජයීය ප්‍රශ්න ස්වභාවිකවම විසඳෙන ආකාරයයි.

Saturday, December 29, 2018

ලීනි සිබරල් කානි සිවුද?


දැන් ළමයි කොහොමද දන්නේ නැහැ. අපිනම් දෙවන භාෂාවක් ඉගෙන ගත්තේ ගොඩක් පොඩි කාලෙදිමයි. ඒ පෙරළි භාෂාව. බස් පෙරළීම හා "බස්" පෙරළීම කියා දෙකක් තියෙනවනේ! ඊට පස්සේ තුන්වන භාෂාවකුත් ඉගෙන ගත්තා. ඒ සීනි භාෂාව.

ඔය භාෂා තුන ඔය පිළිවෙළටම මිසක් වෙනත් පිළිවෙලකට ඉගෙන ගන්න බැහැ. පෙරළි භාෂාව ඉගෙන ගන්න කලින් සිංහල ඉගෙන ගන්න වෙනවා. අර සිංහල උගත් ඉංග්‍රීසි ආණ්ඩුකාරයෙක් හා ඒ කාලයේ ජීවත් වූ හිමිනමක් අතර පළමු පංතියේ දුම්රිය මැදිරියකදී වූ කතාබහක් ගැන කතාව අහල ඇතිනේ. සුද්දට ඇනගන්න වුනේ සිංහල කොයි තරම් හොඳින් ඉගෙනගෙන තිබුණත් පෙරළි භාෂාව ගැන දැනගෙන නොසිටි නිසයි. සීනි භාෂාව ඉගෙන ගන්නනම් සිංහලයි පෙරළි භාෂාවයි දෙකම කලින් හදාරලා තියෙන්න ඕනෑ.

දෙවන, තුන්වන ආදී භාෂා කොපමණ ඉගෙන ගත්තත් මවු භාෂාව හසුරුවන එක වඩා පහසුයි. ලියන්න වගේම කියවන්නත්. හැබැයි තමන්ට පහසුම භාෂාවෙන් ලියා තිබෙන දෙයක් වුවත් හැමෝම කියවන්නේ එකම විදිහට නෙමෙයි. එකම අකුරු හා වචන තමයි. නමුත්, කියවන එක් එක් පුද්ගලයා ඒ වචන වලින් තේරුම් ගන්නේ තම තමන්ට අවශ්‍ය දේවල්. එයත් අප අතර තිබෙන විවිධත්වයේ කොටසක්.

රනිල් ප්‍රධාන එජාප ආණ්ඩුව ලිබරල් මතවාදී ආණ්ඩුවක් ලෙස බොහෝ දෙනෙක් සලකනවා. එහෙමනම්, මහින්දලා ප්‍රති-ලිබරල්ද?

රනිල්ගේ ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමති ලෙස රාජිත විසින් යෝජනා කළ පැණි බීම සඳහා වූ සීනි බද්ද මහින්ද විසින් ඉවත් කළා. මේ බද්ද දමපු වෙලාවේ ඒ ගැන බටහිර මාධ්‍ය වාර්තා වල ඉතා පැහැදිලිවම ලියා තිබුණේ මෙය ප්‍රති-ලිබරල් ක්‍රියාමාර්ගයක් බවයි. එහෙමනම් බද්ද ඉවත් කිරීම ලිබරල් තීරණයක්. කවුරු හෝ පුද්ගලයෙක්, ප්‍රතිපත්ති සම්පාදකයෙක් හෝ ආණ්ඩුවක් විසින් සමස්තයක් ලෙස කටයුතු කරන ආකාරය හා එවැනි පුද්ගලයකු හෝ ආණ්ඩුවක් විසින් ගන්නා හුදෙකලා ප්‍රතිපත්ති තීරණ දිහා එකම අච්චුවේ දමා බලන්න බැහැ.

ලිබරල් වගේ පුළුල් තේරුමක් තියෙන බර වචන පැත්තකින් තියලා නිදහස් වෙළඳපොළ කියන සාපේක්ෂව සරල සංකල්පය වෙත හැරෙමුකෝ. නිදහස් වෙළඳපොළක් කියන්නේ රජයේ මැදිහත්වීමක් නැතුව පුද්ගලයින් දෙදෙනෙකු අතර ස්වේච්ඡාවෙන් සිදුවන ගනුදෙනු වලට ඉඩලැබෙන තැනක්. හරියට පැණිබීම නිෂ්පාදකයෙකු හා පාරිභෝගිකයෙකු අතර සිදුවන ගනුදෙනුවක් වගේ. ගනුදෙනුව සිදුවන මිල තීරණය කරන්නේ ඒ දෙන්නා. දෙන්නාගෙන් කාට හෝ පාඩුනම් ගනුදෙනුවක් වෙන්නේ නැහැ. ගනුදෙනුවක් වෙනවනම් එයින් කියන්නේ දෙන්නටම වාසි බවයි.

සීනි බද්ද කියන්නේ රජය විසින් ඉහත කී ගනුදෙනුවට අකුල් හෙළන නියාමන ක්‍රියාමාර්ගයක්. එය නිදහස් වෙළඳපොළ ක්‍රියාකාරීත්වයට බාධාවක්. එවැනි ක්‍රියාමාර්ගයක් යුක්තියුක්ත කළ හැක්කේ කවර පදනමකින්ද?

මේ ආකාරයේ බදු වලට කියන්නේ පිගෝවියන් බදු කියලා. කිසියම් හෝ හේතුවක් නිසා නිදහස් ගනුදෙනු වලට ඉඩ හැරීමෙන් සමාජයට අයහපතක් සිදුවෙනවාය යන උපකල්පනය මත ඒ අයහපත නැති කරන එකයි මෙවැනි බදු පැනවීමෙන් අපේක්ෂා කරන්නේ. ඇතැම් භාණ්ඩ මත පිගෝවියන් බදු පැනවීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කර තිබෙනවා. මත්පැන් හා දුම්වැටි උදාහරණ ලෙස දක්වන්න පුළුවන්. වසර කිහිපයක සිට සීනි බදුත් මේ නිර්දේශ අතරට එකතු වී තිබෙනවා.

දෙවන ලෝක යුද්ධයට සහභාගී වූ අවසන් ඇමරිකානුවා වූ රිචඩ් ඕවර්ටන් වසර 112ක් හා දින 230ක් ආයු වළඳා පෙරේදා (දෙසැම්බර් 27) මිය ගියා. ඔහු නොකඩවා දිනපතාම දුම්පානය කළ, උදේට කෝපි එක්ක හෝ අමුවෙන්ම විස්කි වඩියක් සප්පායම් වූ, හැමදාම රෑට අයිස්ක්‍රීම් එකක් කන්න ප්‍රිය කළ පුද්ගලයෙක්. රිචඩ් ඕවර්ටන් වැනි ප්‍රති-උදාහරණ පෙන්විය හැකි වුවත්, අධික මත්පැන් භාවිතය හා දුම්වැටි භාවිතය නිසා පුද්ගලයෙකුට සෞඛ්‍යමය හානි වෙනවා කියන එක පිළිගත හැකි, පැහැදිලි කරුණක්.

ආර්ථික විද්‍යාවේ මූලික න්‍යායයක් වන්නේ හොඳ සිහියෙන් සිටින, වැඩිහිටි පුද්ගලයෙක්ට තමන්ට හොඳම දේ තෝරාගැනීමේ හැකියාවක් තිබෙනවා කියන එකයි. ඒ අනුව, කවුරු හෝ දුම්වැටියකට ගෙවන මිල ගෙවන්නේ මේ හානි ගැන සැලකීමෙන්ද පසුව ඔහු හෝ ඇය දුම්වැටියෙන් ලබන සතුට ගෙවන මිලට වඩා වැඩි නිසයි. ඒ පදනම මත බැලුවොත් කවුරුහරි දුම්පානය හේතුවෙන් පෙනහළු පිළිකාවක් හදා ගත්තොත් ඒක ඒ පුද්ගලයාගේ පෞද්ගලික ප්‍රශ්නයක්.

හැබැයි පුද්ගලයෙක් දුම්වැටියකට ගෙවන මිල තීරණය කරද්දී ඒ නිසා තමන්ට ලැබෙන සතුට හා සිදුවිය හැකි හානි ගැන මිසක් වෙනත් අයට සිදුවිය හැකි හානි ගැන හිතන්න හේතුවක් නැහැ. කවුරු හෝ මගේ සේවා ස්ථානයේ, නිවසේ හෝ වෙනත් පොදු ස්ථානයක සිට දුම්පානය කරද්දී, මටත් සිගරට් දුම ආඝ්‍රාණය වෙනවා. ඒ නිසා, මගේ පෙනහළු පිළිකා අවදානම ඉහළ යාම වෙනුවෙන් මට ලැබෙන දෙයක් නැහැ. පිගෝවියන් බදු පිටුපස තිබෙන අදහස වන්නේ දුම්පානය කරන පුද්ගලයාගෙන් හා සිගරැට් වෙළෙන්දාගෙන් මුදලක් අය කරගෙන තෙවන  පාර්ශ්වයක් වන මගේ හානිය ප්‍රතිපූරණය කළ යුතු බවයි. මත්පැන් පානය කිරීමේ පුරුද්ද නිසා ගෘහස්ථ හිංසනයේ ගොදුරු වන අය, රිය අනතුරු වලට ලක්වෙන අය ආදීනුත් මෙවැනි තෙවන පාර්ශ්ව සේ සැලකිය හැකියි. සීනි වැඩිපුර බීමෙන් මේ විදිහට කවර හෝ තෙවන පාර්ශ්වයන්ට හානි වෙනවද?

තෙවන පාර්ශ්වයන්ට හානි වෙන අවස්ථා වලදී නිදහස් වෙළඳපොළ ක්‍රියාකාරිත්වය කිසියම් නියාමනයකට ලක් කිරීම පිළිබඳව මගේ මූලික ප්‍රතිවිරෝධතාවයක් නැහැ. නමුත්, එසේ කරන්න කලින්, ඒ විදිහට තෙවන පාර්ශ්වයන්ට හානි වෙන බවත්, නියාමන ක්‍රියාමාර්ග නිසා ඒ හානි අඩුවන බවත් පැහැදිලිව පෙන්වා දෙන්න නියාමකයින්ට හැකි විය යුතුයි.

ඇතැම් විට ඉහත මූලධර්මයට අමතරව වෙනත් මූලධර්ම මතත් නියාමන ක්‍රියාමාර්ග ගැනෙනවා. උදාහරණයක් විදිහට මත්පැන් හා දුම්වැටි මිල දී ගැනීමේදී අවම වයස් සීමාවක් පැනවීම පෙන්වා දෙන්න පුළුවන්. මෙහිදී යොදා ගැනෙන මූලධර්මය වන්නේ මේ දේවල් වල හොඳ නරක කිරා මැන බැලීමේ හැකියාවක් තිබෙන්නේ වැඩිහිටි පුද්ගලයින්ට පමණක් බවයි. තවත් උදාහරණයක් ගත්තොත් බොහෝ බටහිර ඖෂධ විකිණිය හැක්කේ සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු විසින් නිර්දේශ කර ඇත්නම් පමණයි. මොකද ප්‍රමාණවත් පුහුණුවක් නැත්නම් මේ ඖෂධ වල හොඳ නරක කිරා මැන බලන්න සාමාන්‍ය පුද්ගලයෙකුට බැහැ. මේ ආකාරයේ නියාමනයක් තිබීම ගැන වෛද්‍යවරුන් නොවන වැඩිහිටි පුද්ගලයින්ගේ විරෝධයක් නැහැ. ඒ නිසා, නියාමනය සමාජයේ පොදු තීරණයක්.

මේ විදිහට බැලුවොත්, මත්පැන්, දුම්වැටි හා පැණි බීම මත බදු පැනවීමෙන් මේ දේවල් වල සෞඛ්‍යමය හානි පිළිබඳව සාමාන්‍ය වැඩිහිටි පුද්ගලයෙක්ට වුවත් අවබෝධයක් නැති බව පිළි ගැනෙනවාද? මේ වගේ තත්ත්වයක් නැහැ කියා කියන්න බැහැ. එහෙම තත්ත්වයක් තියෙනවනම් එයට විසඳුම කුමක්ද?

මෙය දේශපාලනික කරුණක්. පළමු විසඳුම වන්නේ වෛද්‍යවරුන් බෙහෙත් නිර්දේශ කරනවා වගේ "දන්නා අය විසින්" අනෙක් අයට ඔවුන්ගේ තේරීම් සිදු කළ යුතු ආකාරය නියම කිරීමයි. දෙවන විසඳුම දන්නා අය විසින් ඒ අයගේ දැනුම් පරතරය අඩු කරගන්න උදවු කිරීමයි. මගේ දේශපාලනික තේරීම දෙවැන්නයි. නමුත්, සියළුම දේශපාලනඥයින් අඩු වැඩි වශයෙන් පෙනී සිටින්නේ පළමු විසඳුම වෙනුවෙනුයි. ඔවුන්ට වෘත්තීය පැවැත්මක් තිබෙන්නේ ඒ තුළයි.

(Image: http://www.dailymirror.lk/article/Snaring-children-in-the-sugary-drink-trap-140964.html)

සීනි දී සැනසීම


පහුගිය "දින පණහ" ඇතුළත සිදු වූ එක් දෙයක් තමයි මහින්ද විසින් පැණි බීම මත පනවා තිබුණු සීනි බද්ද අඩු කිරීම. මේ බද්ද දැම්මේ අවුරුද්ද මුලදී රාජිත විසින්. කර්මාන්තයට දැනෙන තරමේ ලොකු බද්දක්.

මානව ඉතිහාසයේ වැඩි කාලයක් තිස්සේ මිනිස්සු හිටියේ ජීවත් වෙන්න අවශ්‍ය කරන අවම කැලරි ප්‍රමාණය හෝ ලබා ගැනීම අභියෝගයක් වූ පරිසරයකයි. ඒ කාලයේ වැඩි කාලයක් ජීවත් වී තමන්ගේ ජාන අනාගතයට ඉතිරි කරන්න පුළුවන් වුනේ මොන විදිහකින් හෝ මේ ශක්ති අවශ්‍යතාවය සපුරා ගත් අයටයි.

මිනිස්සු සාමාන්‍යයෙන් ගන්නා ආහාර අතරින් සීනි හා තෙල් කියන්නේ කැලරි පොදි. ඉතා පොඩි ප්‍රමාණයක් ආහාරයට ගැනීමෙන් විශාල කැලරි ප්‍රමාණයක් සිරුරට ලැබෙනවා.

පසුගිය අවුරුදු දහදාහක පමණ කාලය ගත්තොත් සීනි හා තෙල් කියන්නේ මිනිස්සුන්ට කලාතුරකින් හමු වූ දේවල්. සීනි ලැබුණේ හදිසියේ අහම්බෙන් හමු වූ ඉදුණු පළතුරු පිරුණු ගහක් වගේ තැනකින්. ඒ වගේ වෙලාවක පුළුවන් තරම් ඉදුණු පළතුරු කනවා මිස, ඒ පළතුරු ගෙදර ගෙනිහින් කල් තබා ගෙන ටික ටික කන්න පුළුවන් තාක්ෂණයක් ඒ කාලේ තිබුණේ නැහැ.

සීනි හා තෙල් වැඩියෙන් කන්න කැමැත්තක් තිබුණු හා මේ ආහාර වලින් ලැබුණු ශක්තිය සිරුරේ තැන්පත් කරගෙන ටිකෙන් ටික ප්‍රයෝජනයට ගන්න හැකියාවක් තිබුණු අයට අනෙක් අයට සාපේක්ෂව පරිණාමික වාසියක් ලැබුණා. ඒ නිසා, සීනි හා තෙල් වලට වැඩි කැමැත්තක් නැති මිනිස්සු ටිකෙන් ටික වඳ වී යද්දී මේ දෙකට වැඩි රුචිකත්වයක් දක්වන අය ඉතිරි වුනා. අපි හැමෝම වගේ ඒ විදිහට ඉතිරි වූ පරම්පරා වල අය. ඒ නිසා, අප ඉපදෙන්නෙම සීනි හා තෙල් වලට තිබෙන කැමැත්ත එක්කයි.

මානව ඉතිහාසයේ මෑතම යුගය දක්වාම සීනි හා තෙල් වලින් ලැබෙන ශක්තිය සිරුරේ තැන්පත් කරගන්න පුළුවන් වීම මිනිස්සුන්ට වාසියක් මිස අවාසියක් වුනේ නැහැ. පළතුරු පිරුණු ගහක් හෝ මේද පිරුණු සිරුරක් සහිත ලොකු සතෙක් වරක් හමු වීමෙන් පසුව නැවත හමු වුනේ සෑහෙන කාලයක් ගිහින්. ඒ වන විට සිරුරේ තැන්පත්ව තිබූ ශක්තිජනක ටික වැය වී අවසන්.

නමුත්, දැන් තත්ත්වය වෙනස්. සාගින්නෙන් පෙළෙන මිනිස්සු අදටත් ලෝකය පුරා විසිරී ඉන්න බව ඇත්තක් වුවත් ලංකාව වැනි රටක පවා බොහෝ දෙනෙක්ගේ ආදායම් තමන්ට අවශ්‍ය අවම ආහාර ප්‍රමාණයට වඩා ආහාර වෙනුවෙන් වැය කළ හැකි තරමට ඉහළ ගිහින්. ඉතිං අපි අපිට ආස දේවල් හිතේ හැටියට කනවා.

පරම්පරා ගණනක් අපේ සෞඛ්‍ය වර්ධනයට හේතු වූ පුරුද්දකින් දැන් වෙන්නේ අපේ මරණය ඉක්මන් කරන එකයි. හෘදයාබාධ, ආඝාත හා දියවැඩියාව කියන්නේ ලාංකිකයෙක්ව මරණයට පත් කරන ප්‍රධාන හේතු. වෙනත් බොහෝ රටවල තත්ත්වයත් එහෙමමයි.

රාජිත විසින් සීනි බද්ද හඳුන්වා දීමෙන් අපේක්ෂා කර තිබුණේ මේ වන විටත් ලංකාවේ විශාල සෞඛ්‍යමය ප්‍රශ්නයක් වී තිබෙන දියවැඩියාව පාලනය කිරීමයි. මේ තීරණයේ සෘජු ප්‍රතිඵලය වන්නේ පැණි බීම මිල ඉහළ යාමයි. පැණි බීම වලට සීනි බද්දක් පැනවීම මෑත කාලයේදී වෙනත් බොහෝ රටවල් විසින්ද කර තිබෙන දෙයක්.

ජාන වලින්ම එන පුරුද්ද නිසා පොඩි කාලේ ඉඳලම අපි පැණිරසට ආසයි. ගොඩක් පොඩි කාලේ අම්මගේ නංගිගෙන්, පුංචි අම්මගෙන්, ඉල්ලුවහම බෝතලෙන් සීනි හැන්දක් අල්ලට දමනවා. හැබැයි අම්මා නැති වෙලාවට. අම්ම දැක්කොත් පුංචි අම්මටත් බැණුම් අහන්න වෙනවා.

දැන් පොඩි එකාට වැඩියෙන් ආදරේ අම්මාද නැත්නම් පුංචි අම්මාද? අම්මා හිතනවා සීනි වැඩිපුර දීම හොඳ දෙයක් නොවන බව. සමහර විට ඒ දවස්වල හිතන්න ඇත්තේ දත් නරක් වෙන එක හරි කිරිපණුගාය හැදෙන එක හරි ගැන මිසක් දියවැඩියාව ගැන නොවෙන්න පුළුවන්.

එතකොට පුංචි අම්මා කරන්නේ නරකක්ද? පුංචි අම්මත් කොල්ලට ආදරෙයි. ඈ හිතන්නේ ඔය ඉඳලා හිටලා සීනි හැන්දක් දීලා පොඩි එකාගේ ආසාව ඉටු කළාට මහ ලොකු හානියක් වෙන්නේ නැහැ කියලයි.

මහින්ද කළේත් අපේ පුංචි අම්මා පොඩි කාලේ කළා වගේ වැඩක්. සීනි බද්ද නිසා පැණි බීම මිල වැඩි වුණත් පැණි බීම නැතුවම බැරි එකා කොහොමටත් බොනවා. පැණි රස වැඩිපුර කෑමේ සෞඛ්‍යමය හානි ඉතා හොඳින්ම දන්නා මම වුනත් ජානමය තෙරපුම නිසා හෝ ඇබ්බැහිය නිසා හෝ වෙනත් හේතුවක් නිසා සීනි වලට තියෙන කැමැත්තට ගොඩක් වෙලාවට ඉඩ දෙනවා. මේ ගැන ඇමරිකාවේ ප්‍රධානම සරසවියක පර්යේෂකයෙක් එක්ක ළඟදී කරපු කතාබහක් ගැන පස්සේ වෙනම ලියන්නම්.

රාජිත ක්‍රියා කළේ අපේ අම්මා වගේ. සීනි හැන්දක් දුන්නොත් කොල්ලා දැන් සතුටු වෙයි. ඒත් අනාගතයේදී කණගාටු වෙයි. ඒ නිසා, කොල්ලාගේ දිගුකාලීන සතුට ගැන හිතනවානම් කරන්න ඕනෑ සීනි නොදී ඉන්න එකයි. (කොල්ලා ඒ ගැන දැන් ඉන්නේ සතුටෙන්ද? ඒක වෙනම ප්‍රශ්නයක්!)

මේ සීනි ප්‍රතිපත්ති දෙකෙන් පොදුවේ මහින්දගේ හා රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්ති මොනවාද කියන එකත් නිරූපණය වෙනවා. මහින්ද කරන්නේ ණය අරගෙන හරි කන්න දීලා, තව ප්‍රාග්ධන ආයෝජනත් මොනවා හරි කරලා, මිනිසුන්ව අද සතුටින් තියන එකයි. පස්සේ දියවැඩියාව හැදුනහම, ණය ආපසු ගෙවන්න වුනහම...ඒක ඒ වෙලාවට බලා ගම්මු!

රනිල්ලා හදන්නේ අද සතුට තරමක් කැප කරමින් වුනත් දිගුකාලීනව රටට හොඳයි කියා ඔවුන් හිතන දේ කරන්නයි. හැබැයි මතක තියා ගන්න "දිගුකාලීනව රටට හොඳයි කියා ඔවුන් හිතන දේ".

දැන් මේ ප්‍රතිපත්ති දෙකෙන් වඩා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්තිය කොයි එකද? ඇත්තටම බැලුවොත් මහින්ද කටයුතු කරන ආකාරය වඩා ප්‍රජාතන්ත්‍රවාදීයි. ඔහු බොහෝ විට දෙන්න උත්සාහ කරන්නේ වැඩි දෙනෙක් ඉල්ලන දෙයයි. පස්සේ ණය ගෙවන්න වෙනවා කියන එකේ ලංකාවේ වැඩි දෙනෙක්ට අවුලක් නැහැ. වඩා වැදගත් අද කාල බීල ඉන්න එකයි.

(Image: https://www.dailymail.co.uk/health/article-3336474/University-Bath-says-spoonful-sugar-secret-athletic-success.html)

Friday, December 28, 2018

බටහිර සංවර්ධනය හා තෙල්

තෙල් කියා කියන්නේ කාලයක සිටම බටහිර සංවර්ධනයට තිරිංග හෙළන, බටහිර රටවල දේශපාලන ආධිපත්‍යයට අභියෝග කරන ප්‍රබල අවියක්. ඇමරිකාව ඇතුළේ සැලකිය යුතු තෙල් නිෂ්පාදනයක් සිදුවුවත්, ඇමරිකාවේ තෙල් පරිභෝජනය ඊට වඩා ගොඩක් වැඩියි. ඒ නිසා, ඇමරිකාව සියවස් තුන්කාලක සිටම තෙල් ආනයනකරුවෙක්. ඉතා මෑතක් වන තුරුම, ලෝකයේ ලොකුම තෙල් ආනයනකරු වුනෙත් ඇමරිකාවයි.

ඇමරිකාව ඇතුළු බොහෝ බටහිර රටවල් ශුද්ධ තෙල් ආනයනකරුවන් වීමේ වාසිය තෙල් නිපදවන රටවල් විසින් දිගින් දිගටම ලබාගත්තා. නිපැයුම සීමා කිරීම මගින් නිපැයුම් වියදම ඩොලර් දහයකටත් අඩු තෙල් බැරලයක් ඊට වඩා ගොඩක් වැඩි මිල ගණන් යටතේ විකුණන්න සවුදි අරාබිය වැනි රටවල් සමත් වුණා. ඒ විදිහට ඉපැයූ මුදල් අත දිගහැර වියදම් කරමින් අරාබි රටවල් හා ඇතැම් සමාජවාදී රටවල් විසින් සුබසාධන රාජ්‍යයන් නඩත්තු කළා. තෙල් සල්ලි වල උදවුවෙන් රජය විසින් රටේ මිනිස්සුන්ට බොහෝ දේ නොමිලේ දුන් නිසා මේ වගේ රටවල ඒකාධිපති පාලන ක්‍රම අභියෝගයට ලක් වුණේ නැහැ.

මෙහි නොමිලේ කියන එකෙන් අදහස් කළේ ඇත්තටම නොමිලේ කියන එකයි. ලංකාවේ වගේ අදාළ වියදම් බදු ආදිය හරහා අනික් පැත්තට මේ සුබසාධන පහසුකම් භුක්ති විඳපු මිනිස්සුන්ගෙන්ම අය කර ගත්තේ නැහැ. වක්‍ර විදිහට ඒ මුදල් අය කර ගත්තේ තෙල් ආනයනය කරන රටවල පාරිභෝගිකයින්ගෙන්. ඒ රටවල් අතර ඇමරිකාව වගේ බටහිර රටවල් වගේම ලංකාව වගේ අඩු ආදායම් මට්ටම් වල සිටි රටවලුත් තිබුණා.

තෙල් නිපදවූ බොහෝ රටවල තෙල් කර්මාන්තය තිබුණේ රජයේ පාලනය යටතේ. එය අදටත් එහෙමමයි. තරඟයක් නොතිබුණු නිසා කර්මාන්තයට කාර්යක්ෂම වෙන්න බල කෙරුණේ නැහැ. තෙල් බැරලයක් නිපදවීමේ ආන්තික පිරිවැය ගොඩක් අඩුවුණත්, මේ ගොඩක් රටවල් තෙල් බැරලයක් ඊට වඩා ගොඩක් වැඩි මිලකට විකුණා ලබන ලාබ වියදම් කරන්න ක්‍රම හදලයි තිබුණේ. ඒ නිසා, ආන්තික පිරිවැය අඩුවූ පමණින් අඩු මිලට තෙල් විකුණන්න මේ රටවල් වලට පුළුවන් කමක් තිබුණේ නැහැ. දැනටත් නැහැ.

තෙල් කර්මාන්තයේ ආන්තික පිරිවැය තීරණය වෙන්නේ නිෂ්පාදකයාගේ කාර්යක්ෂමතාවය මතම නෙමෙයි. එය බොහෝ දුරට තීරණය වෙන්නේ තෙල් නිධියේ ස්වභාවය අනුව. මැද පෙරදිග තෙල් වල ආන්තික පිරිවැය ගොඩක් අඩු ඒ තෙල් උඩට ගන්න එක පහසු නිසයි. ඒ තරම් පහසුවෙන් උඩට ගත හැකිව තිබුණු ඇමරිකන් තෙල් කලින්ම ඉවර වෙලයි තිබුණේ.

කොයි තරම් කාර්යක්ෂම නිෂ්පාදකයෙක්ට වුනත් ඇමරිකාවේ තෙල් නිධියකින් මැද පෙරදිගදී තරම් ලාබෙට තෙල් ගොඩගන්න බැහැ. ඒ නිසා, මැද පෙරදිග ඇතුළු තෙල් නිපදවන රටවල් ඇමරිකාවට ලොකු ලාබයක් තියාගෙන තෙල් විකුණුවත් ඒ ලොකු ගණන් පවා ඇමරිකාවෙන් තෙල් හොයන්න යන වියදමට වඩා ලාබ වූ නිසා ඇමරිකාවේ තෙල් කර්මාන්තය ලොකුවට දියුණු වුණේ නැහැ.

කොයි දේක වුනත් සීමාවක් තියෙනවනේ. 2008 මැද වෙද්දී පැවතුණු අධික තෙල් මිල ඇමරිකාවේ තිබුණු තෙල් සමතුලිතතාවය වෙනස් කළා. හයිඩ්‍රෝලික් විභේදන තාක්ෂණය දියුණු වී ශල්ක තෙල් එළියට එන්න පටන්ගත්තා. ඇමරිකානු තෙල් නිෂ්පාදනය ක්‍රමයෙන් ඉහළ ගියා. ලෝකයේ අනෙක් තෙල් නිපදවන්නන් එක්ක එකතුවෙලා කාටල් හදන්න ඇමරිකානු නීතියෙන් ඇමරිකානු සමාගම් වලට ඉඩක් නැති නිසා ඇමරිකාවේදී වෙළඳපොළේ රැඳී සිටින්න ලැබෙන්නේ අඩුම මිලකට තෙල් නිපදවන වඩාත්ම කාර්යක්ෂම නිෂ්පාදකයින්ට පමණයි.

ඇමරිකානු තෙල් නිෂ්පාදනය ක්‍රමයෙන් ඉහළ යද්දී ඇමරිකාවේ තෙල් ආනයන ඉල්ලුම ක්‍රමයෙන් පහළ ගියා. එවිට ලෝක තෙල් ඉල්ලුමත් පහළ යන බව කිව යුතු නැහැ.

තෙල් මිල පහළ යන විට තෙල් නිපදවන රටවල ලාබ පහළ යනවා. එය වලක්වා ගන්න කරන්න තියෙන්නේ නිෂ්පාදනය සීමා කිරීමයි. නමුත්, නිෂ්පාදනය අඩු කිරීම නිසා සිදුවෙන පාඩුව මිල වැඩි වීමෙන් ආවරණය නොවුණොත් ඒ වැඩෙන් වෙන්නෙත් පාඩුවක්. නිෂ්පාදනය පාලනය කළ හැකි වුවත් මිල තීරණය වන්නේ වෙළඳපොළ සාධක මතයි. කෙසේ වුවත්, සිදු වුනේ වෙනත්ම දෙයක්.

ප්‍රශ්නයේ මුල තිබුණේ ඇමරිකාවේ ශල්ක තෙල් නිෂ්පාදනය. ඒ නිසා, සවුදි අරාබිය විසින් උත්සාහ කළේ ඇමරිකාවේ ශල්ක තෙල් කර්මාන්තය වැටෙන තෙක්ම මිල අඩු වෙන්න අරින්නයි.

සවුදි අරාබිය ඇතුළු මැද පෙරදිග සම්ප්‍රදායික තෙල් ලිං වලින් අවුරුදු සිය ගානක්ම එක දිගට තෙල් ගන්න පුළුවන්. නමුත්, ඇමරිකාවේ ශල්ක තෙල් ලිං වලින් අවුරුදු තුන හතරකට වඩා කාලයක් එක දිගට තෙල් ගන්න බැහැ. ඒ නිසා, දිගින් දිගටම අලුත් තෙල් ලිං කණින්න ඕනෑ. මේ වැඩේට ආයෝජකයින් අත ගහන්නේ තෙල් මිල ප්‍රමාණවත් තරම් ඉහළ මට්ටමක තිබේනම් පමණයි.


සවුදි අරාබිය කළේ නිෂ්පාදනය වැඩි කර තෙල් මිල පහළින් තියාගෙන ඇමරිකාවේ ශල්ක තෙල් ලිං එකෙන් එක වැහෙන ආකාරය දෙස බලා ඉන්න එකයි. සැලසුම් කරපු විදිහටම ඇමරිකාවේ තෙල් ලිං ගොඩක් වැහුණා. අඩු තෙල් මිල නිසා වැහෙන ලිං වල හිලවුවට අලුත් තෙල් ලිං හැදුණේ නැහැ. කොහොම වුනත් මේ ටික වෙද්දී තෙල් නිපදවන රටවල් වල ලාබ ගොඩක් අඩු වූ නිසා ඒ රටවල් වල අයවැය හිඟයයන් විශාල ලෙස ඉහළ ගියා. අනික් අතට ඇමරිකාවේ තෙල් කර්මාන්තය වැටුණත් පහළ ගිය තෙල් මිලේ උදවුවෙන් අනෙක් බොහෝ අංශ වේගයෙන් වර්ධනය වුනා.

තෙල් නිපදවන රටවල් වලට දිගින් දිගටම තෙල් මිල පහළින් තියාගන්න උවමනා වුණේ නැහැ. එහෙම තියෙන්න අරින්න පුළුවන්කමක් තිබුණෙත් නැහැ. ඇමරිකාවේ තෙල් නිෂ්පාදනය සීමා වෙද්දී තෙල් මිල ටිකෙන් ටික නැවත ඉහළ ගියා. තෙල් නිපදවන රටවල් එයට ඉඩ ඇරියා.

කොහොම වුනත් ඇමරිකාවේ ශල්ක තෙල් කර්මාන්තය එක් නිෂ්පාදකයෙක් අතේ තිබෙන එකක් නෙමෙයි. මිල පහළ යද්දී කර්මාන්තයෙන් විසි වුණේ වඩාත්ම අකාර්යක්ෂම නිෂ්පාදකයින්. වඩා කාර්යක්ෂම, අඩු පිරිවැයකින් තෙල් බැරලයක් නිපදවිය හැකි නිෂ්පාදකයෝ වෙළඳපොළේ ඉතුරු වුණා. අලුත් අභියෝගය හමුවේ කර්මාන්තයේ කාර්යක්ෂමතාව තවත් ඉහළ නංවා ගත හැකි තාක්ෂනයන් බිහි වුනා. නිදහස් වෙළඳපොළක් කියන්නේ එහෙම තැනක්.

අන්තිමට ඇමරිකාවේ තෙල් ලිං ගොඩක් වැහුණත්, ඉතිරි වූ අයගේ කාර්යක්ෂමතාවය ඉහළ ගිය නිසා තෙල් ලිං අඩු වෙන තරමටම තෙල් සැපයුම අඩු වුනේ නැහැ. අනෙක් පැත්තෙන්, නැවත මිල ඉහළ යද්දී තෙල් ලිං ආයෙත් අලුතෙන් හැදුනා. තෙල් නිපදවන රටවල් විසින් කරපු දේවල් වලින් ලොකු වැඩක් වුණේ නැහැ.

උඩ රූප සටහන දිහා බැලුවහම මේ කරුණු පැහැදිලි වෙනවා. තෙල් මිල වැටිලා මාස තුනක් පමණ යන කොට එයට අනුරූපව ක්‍රියාකාරී තෙල් ලිං ප්‍රමාණයත් පහත වැටෙනවා. ඉන්පසුව මිල ක්‍රමයෙන් නැවත ඉහළ යද්දී නැවත තෙල් ලිං නැවත හැදිලා මිල ඉහළ යාම නවතිනවා. 2008දී වගේම 2014දීත් මෙය වුනත් 2014 වැටීමෙන් පසුව මිල ඉහළ යාම නවත්වාගන්න 2008 වැටීමෙන් පසුව තරම් තෙල් ලිං හැදෙන්න අවශ්‍ය වුනේ නැහැ. මොකද ඒ වන විට කර්මාන්තය තවත් කාර්යක්ෂම වෙලා.

පසුගිය නොවැම්බර් අවසාන සතිය තුළ වසර 75කට පසුව පළමු වරට ඇමරිකා එක්සත් ජනපදය ශුද්ධ තෙල් අපනයනකරුවෙකු වුනා. එය තාවකාලිකව එක් සතියක් තුළ පමණක් සිදු වූ දෙයක් වුවත් එවැන්නක් පවා 1973 සිට පැවති ඇමරිකානු සිහිනයක්. ඉහළ තෙල් මිල හේතුවෙන් ඇමරිකාවේ තෙල් නිෂ්පාදන කර්මාන්තයේ වගේම විකල්ප බලශක්ති හා ඉන්ධන පිරිමැසුම් තාක්ෂණ ආදිය වෙනුවෙන්ද ආයෝජන දිරිමත් වී තිබෙනවා. අනාගත ඇමරිකානු සංවර්ධනය තෙල් මත පෙර තරම් යැපෙන්නේ නැහැ.

අනෙක් පැත්තෙන් දැන් ලෝකයේ ලොකුම තෙල් ආනයනකරු ඇමරිකාව නෙමෙයි. චීනයයි. තෙල් මිල නිසා කලින් බටහිර රටවල් මුහුණ දුන් අභියෝග වලට දැන් මුහුණ දෙන්න සිදුවී තිබෙන්නේ චීනය, ඉන්දියාව වැනි රටවලටයි. ලංකාව වැනි රටවලුත් ඒ අතර තිබෙනවා.

Thursday, December 27, 2018

තෙල් මිල හා සංරක්ෂණවාදය

තෙල් මිල තව දුරටත් අඩු වෙමින් පවතිනවා. WTI බොරතෙල් බැරලයක මිල දැන් ටිකකට පෙර බලන විට තිබුණේ ඩොලර් 45 මට්ටමටත් පහළින්. සඳුදා දවස අවසන් වෙද්දී ඩොලර් 42.53 දක්වා මිල අඩු වී තිබුණා. මීට පෙර 2016 මුලදීත් මේ වගේම තෙල් මිල අඩු වුනා. ඒ අවස්ථාවේදී ඩොලර් 30 මට්ටමෙනුත් පහළට තෙල් මිල වැටුණා.

දැනට වසර දහයකට පමණ පෙර, 2008 මැද හරියේදී බොරතෙල් බැරලයක මිල ඩොලර් 150 ආසන්නයටම ගියා. ඉන්පසුව මාස හත අටක් ඇතුළත ඩොලර් 30 ආසන්නයටම අඩු වුණා. මෙයට සමාන්තරව ඇමරිකාවේ ආර්ථිකයත් කඩා වැටුණා. කඩා වැටුණා කියා කිවුවත් ඇත්තටම වුනේ ධනවාදී ආර්ථිකයක චක්‍රීය ලෙස සිදුවන විචලනයක එක් පැත්තක් දකින්න ලැබීමයි. ආර්ථික අවපාතයට හේතු වුනේ තෙල් මිල පහළ වැටීම නෙමෙයි. නමුත්, තෙල් මිල පහළ වැටෙන්න ඇමරිකාවේ ආර්ථික අවපාතය හේතු වූ බව කීමේ වරදක් නැහැ.

සියළු දර්ශක වලින් පෙන්වන්නේ ඇමරිකාවේ ඊළඟ ආර්ථික අවපාතය වැඩි ඈතක නොවන බවයි. ලබන වසරේ හෝ ඊළඟ වසරේ ඇමරිකාවේ ඊළඟ ආර්ථික අවපාතය දැකිය හැකි වනු ඇතැයි බොහෝ ඇමරිකානුවන්, විශේෂයෙන්ම ආර්ථික හා මූල්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ අය, විශ්වාස කරනවා. නමුත්, එය සිදුවන මොහොත හරියටම කීමට කිසිවෙකුට නොහැකියි.

ලංකාව හෙජිං ගණුදෙනුවලට ගිහිං විශාල පාඩුවක් ලැබුවේ පෙර කී 2008 මැද කාලයේදී. ඒ වන විට පැවති තත්ත්වයන් යටතේ තෙල් මිල එකවර මේ තරම්ම පහත වැටෙයි කියන එක පුරෝකථනය කිරීම පහසු කටයුත්තක් වුණේ නැහැ. තෙල් මිල ඩොලර් 200ක් පමණ වුනොත් ලංකාවට සිදු විය හැකි බලපෑම ගැන, හේතු සහගතව, ඇතැම් අය කණස්සල්ලෙන් හිටියා.

මේ කියන දවස් වල නිදහස් වෙළඳපොළ ගැන විශාල විශ්වාසයක් තැබූ, ලංකාවේ දැනටත් ජීවත් වන හා සමාජයේ ක්‍රියාකාරීව සිටින, ආර්ථික විද්‍යා චින්තකයෙකුයැයි හැඳින්විය හැකි පුද්ගලයෙකු මේ ගැන දැක්වූයේ හාත්පසින්ම වෙනස් මතයක්. නිදහස් වෙළඳපොල ක්‍රියාකාරීත්වය ගැන අද තිබෙන අවබෝධය හා විශ්වාසය ඒ වන විට මට තිබුණේ නැහැ.

ඔහු කීවේ තෙල් මිල එසේ දිගින් දිගටම වැඩි වෙන්න හේතුවක් නැති බවයි. බොහෝ දෙනෙකුගේ තර්ක වල පදනම වූ සම්පත් ක්ෂය වී අවසන් වීම කියන අදහස ඔහු විශ්වාසයෙන් යුතුව බැහැර කළා. "නියම මිල" දක්වා මිල ඉහළ යාමෙන් පසුව ගැඹුරු සාගර වල පතුළෙන් හෝ ඉන්ධන ලබා ගැනෙනු ඇති බව ඔහුගේ අදහස වුණා. මෙයට උදාහරණ ඉදිරිපත් කරමින් මීට පෙර විශාල ලෙස තෙල් මිල ඉහළ ගිය අවස්ථා බොහොමයකදීම තෙල් කැනීමේ තාක්ෂණයේ විප්ලවීය වෙනසක් සිදුවී තිබෙන බව ඔහු පෙන්වා දුන්නා. මේ කියන පුද්ගලයා ආර්ථික විද්‍යා සිද්ධාන්ත මත විශ්වාසය තබන්නෙක් වගේම ඉතිහාසය මැනවින් දන්නා දැනුමෙන් සන්නද්ධ පුද්ගලයෙක්.

පෙට්‍රෝලියම් ඉන්ධන අවසන් වීම කියන එක 1980 දශයටත් පෙර සිට කතා කෙරුණු කරුණක්. මා කනිෂ්ඨ පංතියක ඉගෙනුම ලබමින් සිටියදී විද්‍යාව ප්‍රශ්න පත්‍රයක පළමු ප්‍රශ්නය ඉදිරිපත් කර තිබුණේ 2020 පමණ වන විට ලෝකයේ පෙට්‍රෝලියම් ඉන්ධන අවසන් වන්නේය යන පදනමේ සිටයි. ඇමරිකාවේ මට්ටමටම ලෝකයේ සියල්ලන්ගේ ඒක පුද්ගල ආදායම ඉහළ නැංවීම කිසිදා කළ නොහැක්කක් බව දශක කිහිපයකට පමණ පෙර ලංකාවේ දේශපාලනඥයෙකු විසින් ගණන් හදා ඔප්පු කර පෙන්වූ බව මතකයි. ඔහුගේ තර්කය වූයේ, මතක හැටියට එවකට ඒක පුද්ගල ආදායම ඩොලර් 25,000ක් පමණ වූ ඇමරිකානුවෙකුගේ ජීවන මට්ටම ලෝකයේ සියල්ලන්ටම පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වන තරමට පෙට්‍රෝලියම් ඉන්ධන සංචිත පෘථිවිය මත නොමැති බවයි.

මේ වගේ දේවල් ගණිතයෙන් "ඔප්පු කර" පෙන්වන්න පුළුවන්. හරියට මුස්ලිමුන් ලංකාවේ බහුතරය වන දවස ගණනය කර පෙන්විය හැකි අයුරින්ම. නමුත්, ආර්ථික විද්‍යාව හෝ ජනවිකාශ විද්‍යාව හා අදාළ කරුණක් තනිකරම ගණිතය පමණක් යොදාගෙන පැහැදිලි කරන්නට යාම තනිකරම තර්කනය මත පදනම්ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය පැහැදිලි කරන්න යනවා වගේ වැඩක්. ගණිතය කියන්නේ ආර්ථික විද්‍යාඥයින් හා ජනවිකාශ විද්‍යාඥයින් විසින් උපයෝගී කරගන්නා එක් මෙවලමක් පමණයි. තර්කනය කියන්නේත් නීති විෂයේදී යොදා ගන්නා එක් මෙවලමක් පමණයි. කිසියම් ස්වභාවික විද්‍යාවක් කාලයක් තිස්සේ හැදෑරු අය පමණක් නෙමෙයි එවැන්නක් මත පදනම් වූ තාක්ෂණ විෂයයක් කාලයක් හැදෑරු අය පවා මුලින්ම ස්වභාවික විද්‍යා තේරුම් ගන්න උත්සාහ කරන්නේ ඔය විදිහට තමන්ට පහසුවෙන් භාවිතා කළ හැකි මෙවලමක උපකාරයෙන්. ඒ ක්‍රමය සාර්ථක වන්නේ සීමිත තත්ත්වයන් යටතේදී පමණයි.

මේ වන විට ඇමරිකානුවෙකුගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 59,500ක් පමණ වෙනවා. ඉන්දියාව හා චීනය වැනි ලෝකයේ ජනගහණ කේන්ද්‍ර වල ඒක පුද්ගල ආදායම් කිහිප ගුණයකින් ඉහළ ගිහින්. මේ හේතු නිසා ලෝකයේ ඉන්ධන භාවිතය හා ඉන්ධන ඉල්ලුමත් විශාල ලෙස වැඩි වී තිබෙනවා. නමුත්, දශක කිහිපයකට පෙර ඇතැම් අය විසින් පුරෝකථනය කළ පරිදි ලෝකයේ ඉන්ධන සංචිත ක්ෂය වී ගොස් නැහැ. ඒ වෙනුවට සිදු වී තිබෙන්නේ ලෝකයේ "ප්‍රයෝජනයට ගත හැකි" ඉන්ධන සංචිත ප්‍රමාණය එන්න එන්නම වැඩි වීමයි. සංරක්ෂණවාදය මුළුමනින්ම බැහැර කළ යුතු අදහසක් නොවූවත්, ඒ ඔස්සේ ඕනෑවට වඩා දුර ගිය විට එය අන්තවාදයක් බවට පත් වෙනවා.

සෑම වසරක් පාසාම භාවිතයට ගෙන අවසන් කරන ඉන්ධන ප්‍රමාණයට වඩා වැඩියෙන් අළුත් ඉන්ධන සංචිත හොයා ගැනෙනවා. මෙය කරන්නේ ඇමරිකාව හෝ වෙනත් බටහිර රටවල් විසින් නෙමෙයි. නිදහස් වෙළඳපොළේ "අදිසි හස්තය" විසිනුයි. ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් විසින් නිදහස් වෙළඳපොළේ අදිසි හස්තයට ක්‍රියාත්මක වීමට තිබෙන බාධා අවම මට්ටමක තබා ගනිමින් මේ කටයුත්තට දායක වී තිබෙනවා.


ටික දෙනෙකු විසින් පාලනය කළ ලෝක තෙල් වෙළඳපොළ මේ වන විට ක්‍රමයෙන් නිදහස් වෙළඳපොළ ක්‍රියාකාරීත්වය හමුවේ පරාජය වෙමින් පවතිනවා. ඒ නිසා, ඉදිරි දශක වලදී තෙල් සම්පත් වලින් දිගින් දිගටම ලාබ ලැබූ රටවලට කලින් සෙල්ලම් දමන්න පහසු වෙන්නේ නැහැ.

ලෝකයේ ඇතැම් රටවල් වල තෙල් නිධි වලින් තෙල් බැරලයක් ගොඩගන්න ඩොලර් දහයක්වත් යන්නේ නැහැ. නිෂ්පාදන වියදම ඒ තරම් අඩු තෙල් බැරලයක් ඩොලර් 150 කිට්ටු මිලකට විකිනුණේ කොහොමද?

බටහිර රටවල් වල සමාගම් අධික ලාභ ඉපැයීම ගැනත්, අඩු ආදායම් ලබන පර්යන්තයේ රටවල පාරිභෝගිකයින්ව ගසා කෑමත් ගැන උදේ හවා කතා කරන කිසි කෙනෙක් තෙල් නිපදවන රටවල් තෙල් වලින් කරන ගසාකෑම ගැන කවදාවත් කතා කරනු මා දැක නැහැ.

තෙල් මිල කෘතීම ලෙස ඉහළින් තබාගෙන තෙල් නිපදවන රටවල් විසින් අධික ලාභ ලැබීම එම රටවල් විසින් සැලසුම් සහගතව කාලයක් තිස්සේ කළ, තවමත් කරන වැඩක්. ඉතා ඉක්මණින් වෙනස් වන්නට නියමිත දෙයක් වුවත්, අද වන විටත් ඇමරිකාව ඇතුළු බටහිර ලෝකය දුවන්නේ ආනයනික ඉන්ධන මතයි. පසුගිය කාලය මුළුල්ලේම ලෝක තෙල් අපනයනකරුවන් වූයේ සමාජවාදී රටවල් හා මැදපෙරදිග රටවල්. මේ රටවල් වල මිල හා නිෂ්පාදනය තීරණය වුණේ තනි පුද්ගලයෙකුගේ හෝ කල්ලියකගේ තීරණ මත මිස නිදහස් වෙළඳපොළ ක්‍රියාකාරිත්වය මත නෙමෙයි.

ලෝක තෙල් මිල වරින් වර විශාල ලෙස ඉහළ යන්න හේතු වුනේ තෙල් නිපදවූ රටවල් විසින් කෘතීම ලෙස පවත්වාගත් නිෂ්පාදන සීමාවන් බව රහසක් නෙමෙයි. ඇමරිකානු නිදහස් වෙළඳපොළ ක්‍රියාකාරීත්වය නොවන්නට, 2008 මැදදී ලංකාවේ ඇතැම් අය පුරෝකථනය කළ පරිදි බොරතෙල් බැරලයක මිල ඩොලර් 200ට නෙමෙයි ඊටත් වඩා ඉහළට වුවත් යා හැකිව තිබුණා. නමුත්, ලංකාවේ හෝ ඉන්ධන ආනයනය කරන අනෙක් රටවල මිනිස්සු මේ නිෂ්පාදන සීමා ඉවත් කර සාධාරණ මිලකට ඉන්ධන විකුණන්න කියා පෙළපාලි ගියේ නැහැ. විරෝධතා දැක්වූයේ නැහැ.

පෘථිවිය මත ඉන්ධන අවසන් වී මිනිස් ශිෂ්ඨාචාරයද බිඳ වැටෙනු ඇතැයි යන බිය ඇතැම් විට තෙල් සැපයුම සීමා කිරීමේ ප්‍රයත්න සාධාරණීකරණය කර හිතීම පහසු කරන්න ඇති. එහෙම නැත්නම්, හානිය බටහිර රටවලටය කියා සිතීමෙන් ලැබුණු සතුට නිසා තමන්ට වන පාඩුව අමතක වෙන්න ඇති. හේතුව මොකක් වුනත් ලංකාව වගේ රටවල් විසින් කාලයක් තිස්සෙම කළේ, කිසිදු විරෝධයක් නොදක්වා, ඉන්ධන වෙනුවෙන් එහි නිෂ්පාදන පිරිවැයට වඩා ගොඩක් වැඩි මිලක් තෙල් නිපදවන රටවලට ගෙවන එකයි.

කෙනෙක්ට මෙතැනදී ඉන්ධන දැවීම නිසා ඇතිවනවාය කියන පරිසර ප්‍රශ්න ගැන මතක් කරන්න පුළුවන්. එවැනි ප්‍රශ්න තිබෙනවා. හානියේ පිරිවැය හානිය වලක්වාගැනීමේ පිරිවැය ඉක්මවන මොහොතේ නිදහස් වෙළඳපොළේ අදිසි හස්තය ඒ ප්‍රශ්නත් විසඳයි. ඒ ගැන දැන්ම ඕනෑවට වඩා බය වෙන්න දෙයක් නැහැ.

සමහර විට ලංකාව වගේ රටවල සංරක්ෂණවාදී අදහස් අහම්බෙන් ඇති වුනා නොවෙන්නත් පුළුවන්. ඉන්ධන අවසන් වනවා කියන අදහස පැතිරවීම මගින් ඉන්ධන අපනයනය කළ රටවලට සැපයුම සීමා කර ලංකාව වගේ රටවල වියදමෙන් විශාල ලාබ ලැබිය හැකි වුනා. ඒ නිසා එසේ කිරීම යුක්තියුක්ත කරන දාර්ශනික පදනමක් ජනප්‍රිය කරන්න ඒ රටවලට උවමනාවක් නොතිබුණා වෙන්න බැහැ. ලංකාවේ පෙළපොත් සකස් කළ "උගතුන්" හරහා පාසැල් සිසුන් වූ අප වෙත සංරක්ෂණවාදී අදහස් කාන්දු වුනේ කොහොමද කියා හිතද්දී ඒ නිසා නිදහස් වෙළඳපොළ ක්‍රියාකාරිත්වයට ඉඩ නොදී තෙල් වෙළඳාමෙන් අධික ලාබ ලබන්න ඇතැම් රටවලට ඉඩ ලැබුණු බවත් අමතක කරන්න බැහැ.

Wednesday, December 26, 2018

මාලිනා හා මාලිලා


නත්තල් දවසේ එක දිගට චිත්‍රපට තුනක් බැලුවා. අලුත්ම චිත්‍රපට කියා කිවහැකි මේ තුනේම යම් සමානතා වගේම වෙනස්කමුත් තිබෙනවා. ආසියානු රටවල් තුනක  සංස්කෘතික පරිසර තුනක හැදුණු,  මිනිස් මනස තුළට කිඳා බහින, තරමක් දුරට නාට්‍යාකාරී එහෙමත් නැත්නම් අධි-තාත්ත්වික රංගනයන් තිබෙන, සිනමා නිර්මාණ ලෙස ගත්තහම හොඳයි කියන්න පුළුවන් නිර්මාණ තුනක්. බටහිර ඇහැකින් බැලූ විට චිත්‍රපට තුනේම තිබෙන්නේ ආගන්තුක සංස්කෘතික පසුබිම් තුනක් වුවත් ඒ තුන එකිනෙකට හාත්පසින්ම වෙනස්.

පළමුව බැලුවේ ඝරසර්ප. ඒ ගැන කිහිප දෙනෙක්ම කලින් ලියා තිබෙන නිසා වැඩි යමක් ලියන්නේ නැහැ. දෙවැන්න මාලිනා  (Marlina). ඉන්දුනීසියානු චිත්‍රපටයක්. තුන්වැන්න මාලිලා (มะลิลา) තායි චිත්‍රපටියක්.

මාලිනා හා මාලිලා චිත්‍රපට දෙකම දැනටත් සම්මාන ගණනාවක් දිනා තිබෙනවා. මේ නම් එක කිට්ටුවෙන් ශබ්ද වුවත් එය අහම්බයක්. මාලිනා කියන්නේ චිත්‍රපටයේ කථානායිකාවගේ නම. චිත්‍රපටයේ සම්පූර්ණ නම "මිනීමරු මාලිනා ගැන ජවනිකා හතරකින්"(Marlina the Murderer in Four Acts). මාලිලා යන්නේ අදහස මම හිතන විදිහට "පිච්චමල". ඉංග්‍රීසි ටයිටලය "සමුගැනීමේ මල" (The Farewell Flower).

මාලිනා ස්ත්‍රීවාදී චිත්‍රපටයක්. කතාව දිග හැරෙන්නේ ඉන්දුනීසියාවේ සුම්බා දූපතේ. මේ දූපත ආර්ථික හා සමාජයීය අතින් පසුගාමීම ප්‍රදේශයක්. ඉන්දුනීසියාව ලෝකයේ වැඩිම ඉස්ලාම් ජනගහනයක් සිටින රට වුවත් සුම්බා දූපත ඉස්ලාම් ආගමිකයින් වැඩිපුර සිටින ප්‍රදේශයක් නෙමෙයි. දූපතටම ආවේනික "මරාපු" ආගම ආගමක් සේ නොසලකන නිසා බොහෝ දෙනෙක්ට ඉස්ලාම් හෝ ක්‍රිස්තියානි ආගමක් තමන්ගේ ආගම සේ හඳුන්වා දෙන්න සිදු වී තිබුනත් මේ ගොඩක් අය "හදවතින්ම මරාපු". සම්ප්‍රදායික "මරාපු" ආගම විස්ථාපනය කරමින් විවිධ ක්‍රිස්තියානි ආගම් දූපතේ ව්‍යාප්ත වෙමින් තිබෙනවා. මේ කරුණු ටික චිත්‍රපටයේ පෙන්වන්නේ නැහැ.

මාතෘකාවෙන් කියවෙන ආකාරයෙන්ම චිත්‍රපටය ඉදිරිපත් කරන්නේ ජවනිකා හතරක් ලෙසයි. කොල්ලකෑම, ගමන, පාපොච්ඡාරණය හා උපත ලෙස මේ ජවනිකා නම් කර තිබෙනවා.

සත්ත්ව ගොවිපොලක ජීවත්වන මාලිනා ඇගේ සැමියාගේ මරණය ගැන කම්පා වෙමින් තනිව සිටිද්දී ගහෙන් වැටුණු ගෑණිට ගොනා ඇන්නාක් මෙන් මාකස් ප්‍රධාන මැරවරයන් හත් දෙනෙක් ඇගේ ගොවිපොළට කඩාවදිනවා. ඔවුන්ගේ අරමුණ වන්නේ ඇගේ සතුන් පැහැරගෙන ඇයව සමූහ දූෂණයකට ලක් කිරීමයි. මුලින්ම ඇයට සිදුවෙනවා මේ මැරවරයින් වෙනුවෙන් කෑම පිළියෙළ කරන්න. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් ඇය රසවත්ව උයන කුකුළුමස් සූපයට වස මුසුකරන නමුත් ඊට පෙර ෆ්‍රාන්ස් ඇතුළු මැරවරයන් දෙදෙනෙකු ඇගේ සතුන්ද ලොරියක පටවාගෙන ගොවිපලෙන් පිටත් වෙනවා.

වයස්ගත මාකස් ඇතුළු කාමරයේ ඇඳේ සිටියදී මාලිනා ඉතිරි කොල්ලකරුවන් සිවුදෙනාට වස සහිත අවසන් භෝජනය පිළිගන්වනවා. එහෙත්, මාකස්ගෙන් ගැලවෙන එක ඇයට පහසු වෙන්නේ නැහැ. මාකස් වෙත ලිංගික සන්තර්පණය සපයන අතරම මස් කපන ලොකු පිහියක් ක්ෂණිකව අතට ගන්නා මාලිනා එක පහරකින් ඔහුගේ හිස කඳින් වෙන් කරනවා. ඉන් පසුව, කිරි හට්ටියක් සේ මාකස්ගේ හිස ලණු බෑගයක දමා එල්ලා ගන්නා මාලිනා පොලීසිය වෙත පිටත් වෙනවා.

නගරයට යන බසයේදී මාලිනාට ගැබ්බර නොවීව හමුවෙනවා. දරු උපතට කාලය එළැඹ අවසන් වුවත් කලලයේ හිස පහතට හැරී නැති නිසා ඇගේ දරු උපත පමාවෙමින් තිබෙනවා. මේ ආකාරයෙන් දරු උපත පමා වන්නේ දරුවා අවජාතකයෙකු වීම නිසායැයි විස්වාස කරන නොවීගේ සැමියා උම්බු ගෙදර එන්නේ නැහැ. නොවී ඔහුව සොයාගෙන යනවා.

නගරයට යන අතරතුරදී මොවුන්ට කලින් පිටත් වූ කොල්ලකරුවන් දෙදෙනා හමු වෙනවා. මාලිනා විසින් මාකස්ව ඝාතනය කර ඇති බව දැනගන්නා ඔවුන්, මාලිනා ගමන් කළ බසය පැහැර ගන්නා නමුත් මාලිනා අසෙකු පිට නැගී පලායන්නට සමත් වෙනවා. ඇය ඉතා අසීරුවෙන් පොලීසියට ගොස් දූෂණයට හා කොල්ලකෑමට ලක් වූ බවට පැමිණිල්ලක් ඉදිරිපත් කළත් පොලීසිය කිසිදු ක්ෂණික ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ. ඔවුන් කියන්නේ ඇයව දූෂණයට ලක්ව ඇති බව පරීක්ෂා කිරීමට වෛද්‍ය ගාස්තු ගෙවීම වෙනුවෙන් ප්‍රතිපාදන නැති නිසා හා වෙනත් වැඩ තිබෙන නිසා පැමිණිල්ල විභාග කරන්නට මාසයක්වත් කල් ගත වනු ඇති බවයි.

මේ අතර නොවීව ප්‍රාණ ඇපකරුවෙකු කරගන්නා ෆ්‍රාන්ස් ඇය ලවා දුරකථන ඇමතුමක් ලබා දී මාකස්ගේ හිස සමඟ මාලිනාව නැවත ඇගේ නිවසට ගෙන්වා ගන්නවා. එහිදී නොවීට කෑම පිළියෙළ කරන්නට අණ කරන ෆ්‍රාන්ස් මාලිනාව දූෂණය කරද්දී නොවී පැමිණ ෆ්‍රාන්ස්ගේ හිස කඳින් වෙන් කරනවා. මේ වන විටත් දිය බෑගය සිදුරුව සිටින ඇය පසුව මාලිනාගේ උදවුවෙන් ඇය සිය දරුවා වදනවා.

මාලිලා ජීවිතයේ අනිත්‍යය හා මරණය ගැන අවධානය හෙළන ථෙරවාද බෞද්ධ පසුබිමක් තිබෙන කතාවක්. දිනෙක කුණු වී, පණුවන් ගසන සිරුරට ලොබ බැඳීම ගැන කියන කතා බෞද්ධ සාහිත්‍යයේ සුලබයි. එහෙත්, මේ කතා බොහොමයක ඒ විදිහට කතා වෙන්නේ ගැහැණු සිරුරකට ලොබ බඳින පිරිමියෙක් ගැනයි. එයින් වෙනස්ව මාලිලාහි කතාව ගලායන්නේ සමලිංගික සම්බන්ධයක් වටා.

සමලිංගික පෙම්වතුන් යුවලක් වන ෂේන් හා පිච් දෙන්නාගෙන් පිච් ගම හැර යනවා. ඉන් පසුව, ෂේන් විවාහ වී දියණියකද ලබන නමුත් ඇයව පිඹුරෙකු විසින් ගොදුරු කරගැනීමත්, පසුව මත්පැනට ඇබ්බැහි වන ඔහුව හැර දමා බිරිඳ පිටත්ව යාමත් නිසා ජීවිතය ගැන කලකිරෙන ෂේන් තාවකාලික පැවිද්ද ලබා ගැනීමට අසපුවකට පැමිණෙනවා.

මේ අතර, නගරයට යන පිච්ට පෙනහළු පිළිකාවක් වැලඳෙනවා. විකිරණ ප්‍රතිකාර වලින් ඔහුගේ සිරුර කෘෂ වී, කෑම රුචිය නැති වී, කෙස් හා ලොම් හැලී ගියත් පිළිකාව සම්පූර්ණයෙන් සුව වන්නේ නැහැ. වෛද්‍යවරුන් තවත් වටයක් විකිරණ ප්‍රතිකාර ලබා ගත යුතු බව කියද්දී බටහිර ප්‍රතිකාර අත්හැර දමන පිච් සම්ප්‍රදායික ප්‍රතිකාර කෙරෙහි යොමු වෙනවා. විකිරණ ප්‍රතිකාර නැවැත්වීමෙන් පසුව ඔහුගේ අතුරු ආබාධ නැතිව යනවා.

හිතේ සැනසිල්ල පතා ෂේන් සිටින අසපුවටම පැමිණෙන පීච් කරන්නේ කෙසෙල් කොළ වලින් හා පිච්චමල් වලින් "බායි ශ්‍රී" සැරසිලි හදමින් ගඟේ පාකර යැවීමයි. එසේ කිරීමෙන් ඔහුට සහනයක් දැනෙනවා. මේ අතර පීච් හා ෂේන් අතර පෙර වූ සම්බන්ධය නැවත අළුත් වෙනවා. පීච්ගේ පෙනහළු පිළිකාව මේ වන විට සුව වී තිබෙනවා විය යුතුයැයි ෂේන් හිතනවා. තාවකාලික පැවිද්ද අවසන් කිරීමෙන් පසුව තමන් හා ජීවත් වීමට පැමිණෙන ලෙස ෂේන් පීච්ට ආරාධනා කරනවා. කෙසේ වුවත්, පීච්ගේ පිළිකාව ක්‍රමයෙන් වර්ධනය වෙමින් තිබෙනවා. හදිසියේම දවසක ඔහු මිය යනවා.

කතාවේ දෙවන කොටසේදී ෂේන් තාවකාලික පැවිද්ද වෙනුවට ස්ථිර පැවිදි ජීවිතයක් තෝරා ගන්නවා. පැවිදි වන්නට පෙර විශ්‍රාමික හමුදා කර්නල් වරයෙකුව සිට ඇති සන්චායි භික්ෂුවද සමග ඔහු ආරක්ෂක හමුදා භාරයේ තිබෙන වනගත ප්‍රදේශයකට යනවා. මේ ප්‍රදේශයේ මළ මිනී තිබෙන්නට ඉඩ තිබීම එයට හේතුවයි. ඔවුන්ගේ භාවනාවට නිමිත්ත වෙන්නේ කුණු වී පණුවන් ගසන මළ සිරුරක්. කෙසේ වුවත්, භාවනාව නුපුරුදු ෂේන්ට මිනිය දුටුවනම ඔක්කාරය හැදෙනවා.

චිත්‍රපටය අවසන් වෙද්දී ෂේන්ට මළ මිනිය තුළින් පීච්ව පෙනෙනවා. ඉන්පසු මළ මිනිය සෙලවී එතුළින් පීච් නැගිට එන්නාක් වැනි දෘෂ්ඨි මායාවක්ද ඔහුට පේනවා. ඔහු තමන්ට පෙනෙන ෂේන්ව වැළඳගන්නවා. එහෙත් ඔහු සැබවින්ම වැළඳගන්නේ ඔහු ඉදිරිපිට තිබෙන කුණුවී ගඳ ගසන මළ සිරුරයි.

මාලිනා හා මාලිලා යන චිත්‍රපට දෙකම ඇමරිකාවේ ප්‍රදර්ශනය කෙරුණු චිත්‍රපට. එහිදී සංක්‍රමනික තායි හා ඉන්දුනීසියානු ප්‍රේක්ෂකයින්ව ඉලක්ක කර ඇතැයි මා හිතන්නේ නැහැ. බොහෝ විට ඉලක්කය පොදු ඇමරිකානු ප්‍රේක්ෂකයා විය හැකියි. වෙනත් සංස්කෘතියක් මත පාදක වූ චිත්‍රපටයක් ඇමරිකාවේදී සාර්ථකව ප්‍රදර්ශනය වේනම් එයින් අදහස් වන්නේ අදාළ සංස්කෘතිය පිළිබඳව සාමාන්‍ය ඇමරිකානුවන්ගේ ආකල්ප සමඟ චිත්‍රපටයේ අන්තර්ගතය සුසර වන බවයි.

වෙබ් ලිපිනය: