වෙබ් ලිපිනය:

Wednesday, December 7, 2022

සල්ලි අච්චු ගහන හැටි...


සල්ලි අච්චු ගහනවා කියන කතාව දැන් ලංකාවේ ගොඩක් ජනප්‍රියයි. නමුත්, මේ ගැන සද්දෙන් කතා කරන ගොඩක් අය සල්ලි අච්චු ගැසීම කියන සංකල්පය පිළිබඳ මූලික අවබෝධයක් නැති අය. මේ ගැන විවිධ අය වරින් වර අපෙනුත් ප්‍රශ්න අහනවා. මේ වීඩියෝ එකේ අදාළ මූලික සංකල්ප පිළිබඳ පැහැදිලි කිරීමක් තිබෙනවා.

Tuesday, December 6, 2022

ඇමරිකාවෙන් සිංගප්පූරුවට...

ඇමරිකානුවෙකුගේ 2021 ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 69,287.5 ක්. සිංගප්පූරු ජාතිකයෙකුගේ 2021 ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 72,794.0 ක්. ඒ කියන්නේ සිංගප්පූරු ජාතිකයෙකුගේ ඒක පුද්ගල ආදායම ඇමරිකානුවෙකුගේ  ඒක පුද්ගල ආදායමටත් වඩා ටිකක් වැඩියි. එසේ වුවත්, ගණන් දෙක අතර ලොකු වෙනසක් නැහැ. 

ඇමරිකාවට සාපේක්ෂව සිංගප්පූරුවේ ආදායම් විෂමතා අඩුයි. ඒ නිසා, ඇමරිකාවේ ගෘහ ඒකකයක මධ්‍යස්ථ ආදායම ඇමරිකන් ඩොලර් 70,000කට මඳක් වැඩිව තියෙද්දී සිංගප්පූරුවේ එම ගණන ඇමරිකන් ඩොලර් 85,000ක් පමණ වෙනවා. සිංගප්පූරුවේ ගෘහස්ථ ආදායමෙන් 25%ක් පමණ, එනම් ඇමරිකන් ඩොලර් 21,000ක් පමණ, නිවාස වෙනුවෙන් වැය වෙද්දී ඇමරිකානු නිවෙසක ආදායමෙන් 40%ක් පමණ, එනම් ඩොලර් 28,000ක් පමණ නිවාස වෙනුවෙන් වැය වෙනවා. මේ අනුව, සිංගප්පූරුවට සාපේක්ෂව බලා ඇමරිකාවේ නිවාස වියදම් දරා ගැනීමට අපහසුයි කියා කවුරු හෝ කියනවානම් එහි වැරැද්දක් නැහැ. 

සිංගප්පූරු රජය විසින් සහන මිලකට නිවාස ලබා දීම මෙයට හේතුවක් විය හැකි වුවත්, එය මෙම වෙනසට එකම හේතුව නෙමෙයි. ඇමරිකානුවෙකු ජීවත් වන සාමාන්‍ය නිවසක ප්‍රමාණය වර්ග අඩි 2500ක් පමණ වෙද්දී සාමාන්‍ය සිංගප්පූරු ජාතිකයෙකු ජීවත් වන්නේ වර්ග අඩි 1000ක පමණ මහල් නිවාස ඒකකයකයි. නිවසක ප්‍රමාණය විශාල වෙද්දී බිල්පත් ගාස්තු හා ගෘහ භාණ්ඩ වියදම් ආදියද අනුපාතිකව වැඩි වෙනවා.

කෙසේ වුවත්, වෙනස්කම් රැසක් ඇති සිංගප්පූරුව හා ඇමරිකාව සරල ලෙස සංසන්දනය කළ නොහැකියි. සිංගප්පූරුව ජන ඝනත්වය වැඩි නාගරික රාජ්‍යයක්. සිංගප්පූරුවේ වර්ග කිලෝමීටරයක් තුළ 8,358 දෙනෙකු ජීවත් වුනත්, ඇමරිකාවේ වර්ග කිලෝ මීටරයක් තුළ ජීවත් වන්නේ 36 දෙනෙකු පමණයි. ඒ නිසා, ඉඩම් ඉතා දුලබ සම්පතක් වන සිංගප්පූරුව හා සංසන්දනය කළ විට ඇමරිකාව "ඉඩ තිබෙන" රටක්.

කෙසේ වුවත්, සිංගප්පූරුවටත් වඩා ජන ඝනත්වය වැඩි නාගරික ප්‍රදේශ ඇමරිකාවේ තිබෙනවා. මිලියන 5.5ක ජනගහණයක් සිටින සිංගප්පූරුවේ ප්‍රමාණය වර්ග කිලෝමීටර 728.6ක්. නිවුයෝර්ක් නගර සීමාවට අයත් වර්ග කිලෝමීටර 778.2 තුළ මිලියන 8.8ක ජනගහණයක් වාසය කරනවා. නිවුයෝර්ක් වැනි නාගරික ප්‍රදේශ වල බොහෝ දෙනෙකු ජීවත් වන්නේ සිංගප්පූරුවේ මෙන්ම මහල් නිවාස ඒකක වලයි.

සිංගප්පූරු වැසියෙකුට මෙන් නොව ඇමරිකානුවෙකුට නාගරික මහල් නිවාසයක හෝ නාගරික නොවන ප්‍රදේශයක ඉඩකඩ ඇති ගෙයක ජීවත් වීමේ තේරීම තිබෙනවා. එය රටේ ප්‍රමාණය නිසා ලැබී තිබෙන වාසියක්. 

සමකය ආසන්නයේ ඇති සිංගප්පූරුවේ වැසියෙකුට තමන්ගේ මහල් නිවාසය ඇතුළේ දවසම ගෙවන්න අවශ්‍ය නැහැ. නිවසින් පිට වී අපහසුවක් නැතිව කාලය ගෙවිය හැකියි. නමුත්, ඇමරිකානුවෙකුට බොහෝ විට ශීත කාලය තුළ නිවසටම වී ඉන්න වෙනවා. ඒ නිසා, නිවස ඇතුළත වැඩි ඉඩක් තිබීමේ වටිනාකම වැඩියි.

පහළ තියෙන්නේ ඇමරිකානුවෙකුගේ සාමාන්‍ය වියදම් රටාවයි.

ආහාර - 14.3%

නිවාස - 39.9%

ප්‍රවාහනය - 21.9%

සෞඛ්‍යය - 7.0%

අධ්‍යාපනය - 1.9%

සන්නිවේදනය - 4.3%

විනෝදාස්වාදය - 4.4%

ඇඳුම් - 2.6%


ඉහත වියදම් රටා සමඟ පහත ඇති සිංගප්පූරු වියදම් රටා සංසන්දනය කළ හැකියි.

ආහාර - 21.1%

නිවාස - 24.8%

ප්‍රවාහනය - 17.1%

සෞඛ්‍යය - 6.6%

අධ්‍යාපනය - 6.6%

සන්නිවේදනය - 4.1%

විනෝදාස්වාදය - 7.9%

ඇඳුම් - 2.1%


අවශ්‍ය අයෙකුට ඉහත රටවල් දෙක සමඟ ලංකාවද සැසඳිය හැකියි.

ආහාර - 44.0%

නිවාස - 21.9%

ප්‍රවාහනය - 9.8%

සෞඛ්‍යය - 4.4%

අධ්‍යාපනය - 2.8%

සන්නිවේදනය - 2.3%

විනෝදාස්වාදය - 1.6%

ඇඳුම් - 3.4%

ලංකාව සිංගප්පූරුව වැනි නාගරික රාජ්‍යයක් නෙමෙයි. ඇමරිකාව තරම් විශාල රටකුත් නෙමෙයි. සිංගප්පූරුවේ හෝ ඇමරිකාවේ ආකෘති ලංකාවට ඒ විදිහටම ගැලපෙන්නේ නැහැ. ලංකාව ලංකාවට ගැලපෙන අතරමැදි තැනක් සොයාගත යුතුයි. 

Monday, December 5, 2022

ඇමරිකාවේ නිවාස වෙළඳපොළ


කෝවිඩ් වසංගතය අවසාන වීමෙන් පසුව ඇමරිකාවේ නිවාස මිල ඉතාම වේගයෙන් ඉහළ ගොස් තිබෙනවා. ෆෙඩරල් සංචිත බැංකුවේ දත්ත අනුව, 2022 තුන් වන කාර්තුවේදී විකිණුනු නිවෙස් වල මධ්‍යන්‍ය මිල ඩොලර් 542,900ක්. 2020 දෙවන කාර්තුවේදී මෙම මිල ඩොලර් 375,500ක් පමණයි. මෙය කාර්තු නවයක් ඇතුළත 53.5%කින් මිල ඉහළ යාමක්. 

මේ විදිහට නිවාස මිල වේගයෙන් ඉහළ ගොස් ඇත්තේ නිවාස ඉල්ලුම නිවාස සැපයුම ඉක්මවා වේගයෙන් වැඩි වී ඇති නිසා. මෙසේ ඉල්ලුම විශාල ලෙස ඉහළ යන්න එක් හේතුවක් වන්නේ පසුගිය කාලයේ මුදල් සැපයුම විශාල ලෙස ඉහළ යාම හා පොලී අනුපාතික අඩු මට්ටමක තිබීමයි. මීට අමතරව කෝවිඩ් වලින් පසුව මහලු නිවාස වල ජීවත් වූ අය නැවතත් තමන්ගේම නිවාස වල ජීවත් වීමට පෙළඹීම වැනි සමාජයීය හේතුත් තිබෙනවා. 

මේ විදිහට නිවාස මිල දී ගන්න ගොඩක් අය එසේ කරන්නේ තමන්ගේ පදිංචිය සඳහා. හැබැයි ඒ අයගෙන් වුනත් බොහෝ දෙනෙක් මෙය ආයෝජනයක් විදිහටත් සලකනවා. ආයෝජනයක් ලෙසම නිවාස මිල දී ගන්න අයත් ඔය අතර ඉන්නවා. මුල් කාණ්ඩය ණය වී නිවාස මිල දී ගනිද්දී දෙවන කාණ්ඩය කරන්නේ තමන්ගේ ඉතිරි කිරීම් නිවාසයක ආයෝජනය කරන එක.

ඇමරිකාවේ නිවාස මිල දී ගන්න වැඩි දෙනෙක් එය කරන්නේ ඒජන්තයෙකු හරහා. ගනුදෙනුවේ පාර්ශ්ව දෙක කෙළින්ම සම්බන්ධ වෙන එක ගොඩක් අඩුයි. පසුගිය වසරේ මෙම ප්‍රමාණය 86%ක්. එහෙම නැතුව කෙළින්ම ගෙවල් ගන්නේ තමන්ගේ සල්ලි වලින් ආයෝජනයක් ලෙස ගෙවල් ගන්න අය. 

ඉඩමක් සල්ලි වලට අරගෙන හෙමිහිට ගෙයක් හදාගන්න එක ඇමරිකාවේ ඉතාම කලාතුරකින් වෙන දෙයක්. ගෙවල් හදන වැඩේ කරන්නේ ඒ වැඩේම කරන සමාගම්. ඉඩම් හොයාගෙන, කොටස් කරලා, ගෙවල් හදලා, විකුණන්නේ ඒ සමාගම් විසින්. ගොඩක් වෙලාවට හදන්න කලින්ම ගේ විකුණනවා. ඒ වගේ වෙලාවක ගේ තමන්ට අවශ්‍ය විදිහට ටිකක් වෙනස් කර ගන්න පුළුවන්. 

ගොඩක් අය සල්ලි වලට ගන්නේ අලුත්ම ගෙවල් නෙමෙයි. පසුගිය අවුරුද්දේ විකිණුනු ගෙවල් වලින් අලුත් ගෙවල් ප්‍රමාණය 12%ක් පමණයි. ඉතිරි 88%ම පරණ ගෙවල්. (මේ දත්ත නිවාස ඒජන්තයින්ගේ ජාතික සංගමයේ වාර්ෂික වාර්තාවෙන්).

පසුගිය වසරේ ගෙවල් මිල දී ගත් අයගෙන් අතේ සල්ලි වලට ගෙවල් මිල දී ගත් ප්‍රමාණය 22%ක් පමණයි. ඉතිරි 78% ණය වී ගෙවල් ගත් අය. පෙර වසරේ (2021) මෙම ප්‍රමාණය 87%ක්. මේ වෙනසට හේතුව මේ වෙද්දී ආයෝජනයක් ලෙස ගෙවල් මිල දී ගැනීම වැඩි වී තිබීමයි. ඊට අනුරූපව පළමු වරට නිවාස මිල දී ගන්නා ප්‍රතිශතය 34% සිට 26% දක්වා අඩු වී තිබෙනවා.

පළමු වරට නිවසක් මිල දී ගන්නා අයෙකුට තිබෙන ලොකුම බාධකය ඒ සඳහා ගෙවිය යුතු අවම මුදල හෙවත් ඩවුන් පේමන්ට් එක. මෙම මුදල සාමාන්‍යයෙන් නිවසේ මිලෙන් 5%ක්. නිවසක මිල ඩොලර් 500,000ක් ලෙස සැලකුවොත් 5%ක් කියන්නේ ඩොලර් 25,000ක්. මුල් වරට නිවසක් මිල දී ගන්න කෙනෙකුට මෙය ලොකු මුදලක්. 

දෙවන වරට නිවෙසක් මිල දී ගන්න කෙනෙකුට තමන්ගේ මුල් නිවෙස විකුණා ඉතිරිව ඇති ණය ගෙවීමෙන් පසු අතට ගණනක් එන නිසා ඩවුන් පේමන්ට් එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ඒ ගොඩක් අය 20%ක ඩවුන් පේමන්ට් එකක් ගෙවනවා. නිවසක් මිල දී ගනිද්දී ගෙවිය යුතු ඩවුන් පේමන්ට් එක ඕනෑම ගණනක් විය හැකි නමුත් බොහෝ විට මෙය නිවසේ මිලෙන් 5%ක් හෝ 20%ක්. 

එහා මෙහා විය හැකි වුනත්, සාමාන්‍යයෙන් ගෙයක් විකුණද්දී එහි මිලෙන් 3% බැගින් දෙපැත්තේ ඒජන්තයින් දෙන්නාට ගෙවිය යුතුයි. මේ ඒජන්ත ගාස්තු දෙකම ගෙවන්නේ විකුණන තැනැත්තා විසින්. මිල දී ගන්නා තැනැත්තා විසින් ඒජන්ත ගාස්තු ගෙවිය යුතු නැහැ. නමුත්, මේ ක්‍රියාවලිය ඇතුළේ ඇත්තටම වෙන්නේ ඒජන්ත ගාස්තුව හෝ එයින් කොටසක් ගෙයි මිලට එකතු වෙනවා වගේ වැඩක්.

සාමාන්‍යයෙන් නිවාස ණයක් ආපසු ගෙවන කාලය අවුරුදු 30 හෝ අවුරුදු 15. ගොඩක් වෙලාවට මුලින්ම ගෙයක් ගන්න කෙනෙක් ගන්නේ අවුරුදු 30කින් ගෙවන්න. අවුරුදු 15න් ගෙවන්න ගන්නේ, මැදිවිය පහු කරපු, වැඩි ඩවුන් පේමන්ට් එකක් දමන්න පුළුවන්කම තියෙන අය. අවුරුදු 15න් ආපසු ගෙවන්න ගන්නේ 9%ක් පමණයි. 70%ක්ම අවුරුදු 30කින් ගෙවන්න ගන්න ණය. ඉතිරි 21%, විචල්‍ය පොලී ණය සහ අවුරුදු 10 හෝ අවුරුදු 20 වගේ කාල වලින් ආපසු ගෙවන ණය.

මේ වෙද්දී අවුරුදු 30 පොලිය 5.5% වගේ මට්ටමකට වැඩි වෙලා. අවුරුදු 15 පොලිය වුනත් 4.75%ක් පමණවත් වෙනවා. මේ මට්ටම ටිකක් ඉහළ මට්ටමක්. ක්‍රෙඩිට් රේටිං එක අඩුනම් මීටත් වඩා වැඩි පොලියක් ගෙවන්න වෙනවා.

අපි ඩොලර් 300,000ක ගෙයක් ගැන හිතමු. ඕකට 5%ක ඩවුන් පේමන්ට් එකක් (ඩොලර් 15,000ක්) දැම්මොත්, ඩොලර් 285,000ක් ණයට ගන්න වෙනවා. ඔය ගණන 5.5% පොලියට අවුරුදු 30කින් ගෙවන්න ගත්තොත්, මාසයකට ඩොලර් 1,618ක් වැටෙනවා. නමුත් ඔය වටිනාකම තියෙන ගෙයක් කුලියට ගන්න වුනත් සාමාන්‍යයෙන් ඔය ගණන හෝ වැඩි ගණනක් යන නිසා ගෙයක් සල්ලි වලටම ගන්න එක සාමාන්‍යයෙන් ලාබයි. 

බැංකුවක් ණය දෙන්නේ ගේ ඇපයට තියාගෙන. ණය පිළිවෙලට ගෙවා ගන්න බැරි වුනොත් ගේ බැංකුවට සින්න වෙනවගේ. ඒ කියන්නේ බැංකුවේ පැත්තෙන් ලොකු අවදානමක් නැහැ. නමුත් අවුලකට තියෙන්නේ හිටපු ගමන් නිවාස වෙළඳපොළ කඩා වැටෙන්න ඉඩ තියෙන එක. ඩවුන් පේමන්ට් එකක් ගන්නෙත් මේ නිසා. මිලෙන් 95%ක් පමණක් ණය දුන්නහම 5%කින් මිල අඩු වුනත් බැංකුවට අවුලක් නැහැනේ. 

හැබැයි නිවාස මිල 5%ට වඩා වැඩියෙන් අඩු වෙන්න පුළුවන්. 2006 අවසාන කාර්තුවේදී විකිණුනු නිවසක සාමාන්‍ය මිල ඩොලර් 322,100යි. 2009 පළමු කාර්තුව වෙද්දී මෙය 257,000 දක්වා 20.2%කින් අඩු වුනා. සාමාන්‍යයෙන් කාලයත් එක්ක නිවාස මිල ඉහළ ගියත් ඔය වගේ වෙන වෙලාවලුත් තියෙනවා. ඒ විදිහට නිවාස මිල පහළ වැටුනහම ඇපයෙන් වැඩක් නැහැ. 

ලෝකය පුරාම පැතිරුණු ඇමරිකාවේ මහා ආර්ථික අවපාතය ඇති වුනෙත් ඔය විදිහට නිවාස වෙළඳපොළ කඩා වැටීම නිසා. පසුගිය දෙවසරක කාලය තුළ තරම් වේගයෙන් නොවෙතත්, 2002-2007 කාලයේ ඇමරිකාවේ නිවාස මිල වේගයෙන් ඉහළ ගියා. මිල ඉහළ යන වේගය එක්ක බැංකු වලට ණය දෙන එකේ අවදානමක් පෙනුනේ නැහැ. ඒ නිසා, පොඩි ඩවුන් පේමන්ට් එකක් අරගෙන ණය දුන්නා. ගෙයි මිල ඉහළ යද්දී එයම ඇපයට තියාගෙන වෙනත් දේවල් සඳහා තවත් ණය දුන්නා. අන්තිමට නිවාස මිල අඩු වෙන්න පටන් ගත්තා. ණය ගත් ඇතැම් අයගේ නිවසේ වටිනාකම එය ඇපයට තියා ගත් ණය වලට වඩා පහළ යද්දී ඒ අය කළේ ණය නොගෙවා ගේ බැංකුවට සින්න වෙන්න අරින එකයි. 

ඇමරිකානුවන්ට ගොඩක් ශ්‍රී ලාංකිකයින්ට වගේ තමන්ගේ ගේ එක්ක චිත්තවේගීය (emotional) බැඳීමක් නැහැ. ඒක පදිංචි වී ඉන්න තාවකාලික නවාතැනක් පමණයි. ඒ නිසාම, කුලියට ඉන්න එක සහ තමන්ටම අයිති ගෙයක ඉන්න එක අතර වෙනසත් බොහෝ දුරට මූල්‍යමය වාසි පිළිබඳ ප්‍රශ්නයක්. අනෙක් අතට තමන්ගේම ගේ කියා කිවුවත් බොහෝ විට ගේ ඇත්තටම අයිති බැංකුවටනේ. ඉතිං ගෙයි වටිනාකම ගෙවන්න තියෙන ණය ප්‍රමාණයට වඩා අඩුනම් හොඳම දේ ගේ බැංකුවට දීලා නිදහස් වෙන එක. 

ඔය විදිහට ගෙවල් බැංකුවට සින්න වෙද්දී, බැංකු ඒවා විකුණගන්න දඟලද්දී, නිවාස මිල තව තව පහළ ගිහින් අර්බුදය උග්‍ර වුනා. සමහර බැංකු කඩා වැටුණා. ප්‍රශ්නය දුර දිග ගියා. 

මේ වගේ අවදානමක් තිබෙන නිසා, 20%ට අඩු ඩවුන් පේමන්ට් එකක් ගෙවලා නිවාස ණයක් ගන්න කෙනෙක් අනිවාර්යයෙන්ම උගස් රක්ෂණයක්ද මිල දී ගත යුතුයි. ණය වාරිකය ගෙවා ගන්න බැරි වුනොත් උගස් රක්ෂණයෙන් බැංකුවේ අලාභය පියවනවා. 

ණය ගෙවාගන්න බැරි වුනොත් උගස් රක්ෂණයෙන් ණය ගන්න කෙනාට වාසියක් වෙන්නේ නැහැ. වාසිය බැංකුවට. හැබැයි රක්ෂණ වාරිකය ගෙවන්න වෙන්න ණය ගන්නා තැනැත්තාටයි. ඒ නිසා, මාසික ණය වාරිකයට තවත් මුදලක් එකතු වෙනවා. ණය ගන්නා තැනැත්තාට ලැබෙන වාසිය 20%ක ඩවුන් පේමන්ට් එකක් නැතත් නිවාස ණයක් ගන්න පුළුවන්වීමයි. මේක හැමෝමටම වාසිදායක වෙළඳපොළ විසඳුමක්.

අපි නිකමට හිතමුකෝ ඩොලර් 300,000ක ගෙයක් ගැන. ඕකෙන් 20%ක් කියන්නේ ඩොලර් 60,000ක්. මේක පළමු වරට නිවසක් මිල දී ගන්න කෙනෙකුට දරාගන්න පුළුවන් ගණනක් නෙමෙයි. ඒ නිසා, වෙන්නේ ඔය මුදල හොයා ගන්නා තුරු කුලියට ඉන්න. ඩවුන් පේමන්ට් එක ගෙවන්න අතේ සල්ලි තියෙන කෙනෙකුට ඔය ගෙයම නිවාස ණයක් වෙලා අරගෙන කුලියට දීලා කුලියෙන් නිවාස ණය ගෙවාගෙන යන්න පුළුවන්.

ලංකාව, ඉන්දියාව, පකිස්ථානය, චීනය වගේ ආසියාතික රටවලින් සංක්‍රමණය වූ ඇතැම් අය ඔය විදිහට ණය වෙලා ගෙවල් අරගෙන ඒ ගෙවල්ම කුලියට දීලා කුලියෙන් ණය වාරික ගෙවන වැඩේ සාර්ථකව කරගෙන යනවා. ඇමරිකාවේ විතරක් නෙමෙයි, එංගලන්තයේ එහෙමත් ඔය වැඩේ කරන ගොඩක් අය ඉන්නවා. කොහොම වුනත් මේ වැඩෙන් වෙන්නේ අතේ සල්ලි තියෙන මනුස්සයා අතේ තවත් සල්ලි ගොඩ ගහලා දුප්පත් මනුස්සයෙකුට ගෙයක් ගන්න තිබෙන අවස්ථාව සීමා කරන එක. 

උගස් රක්ෂණය මේ ප්‍රශ්නයට විසඳුමක්. දැන් 300,000ක ගෙයක් ගන්න ඩොලර් 60,000ක ඩවුන් පේමන්ට් එකක් අවශ්‍ය නැහැ. ඩොලර් 15,000ක්, ඒ කියන්නේ 15%ක්, තිබුණහම ඇති. මෙය සාපේක්ෂව දරාගත හැකි මට්ටමක්. අනෙක් පැත්තෙන් උගස් රක්ෂණය නිසා බැංකුවටත් අවදානමක් නැහැ. 

හැබැයි ඔහොම කිවුවට ඔය 5% ඩවුන් පේමන්ට් එක හොයා ගන්න එක වුනත් ගොඩක් අයට අමාරු වැඩක්. කොහෙන් හරි රෝලක් ගහලා ඩවුන් පේමන්ට් එක ගෙවන්නත් බැහැ. තමන්ගේම සල්ලි කියලා පෙන්නිය යුතුයි. මොකද රෝලක් ගහලා ඔය සල්ලි ගෙවනවා කියන්නේ, ගේ ගත්තට පස්සේ ඔය මුදලයි ණය වාරිකයි ඔක්කොම එකට ගෙවන්න ගිහින් හිර කර ගන්නවා කියන එකනේ. ඒක බැංකුව දන්නවා. ඒ නිසා, නිවාස ණය ගන්න කිට්ටුව බැංකු ගිණුමට ආපු සල්ලි ඇත්නම් ඒ සල්ලි ආපු ක්‍රමය බැංකුවට පැහැදිලි කළ යුතුයි. නැත්නම් ණය අනුමත වෙන්නේ නැහැ. 

ණය රක්ෂණයෙන් ප්‍රශ්නය යම්තාක් දුරකට විසඳනවා. හැබැයි එහෙම විසඳූවත්, 5%ක්වත් අතින් නොගෙවා ණය ගන්න බැහැ. ඒ කියන්නේ දුප්පත්ම අයගේ නිවාසයක් අයිති කර ගැනීමේ සිහිනය තවදුරටත් ඉටු කර ගන්න අසීරු සිහිනයක්. මේ ප්‍රශ්නය විසඳන්න ඇමරිකන් රජය වෙළඳපොළට මැදිහත් වෙන්නේ කොහොමද?

ඩවුන් පේමන්ට් එක විදිහට 5%ක්වත් නොගෙන ණය දෙන්න කියා ඇමරිකන් රජය බැංකු වලට නියෝග කළොත් නිවාස මිල බහින වෙලාවක පෝලිමට බැංකු කඩා වැටෙන්න පුළුවන්. ඩවුන් පේමන්ට් එක රජයෙන්, ඒ කියන්නේ බදු සල්ලි වලින්, ගෙවුවොත් ගොඩක් අය ණය අරගෙන නොගෙවා පැහැර ඇරලා අන්තිමට ඒ බරත් බදු ගෙවන්නන් මතම වැටෙන්න පුළුවන්. එහෙමනම් කොහොමද ප්‍රශ්නය විසඳන්නේ?

මතු සම්බන්ධයි.

Friday, December 2, 2022

ඉස්සරහට මොකක් වෙයිද?


අපි ලියන ගොඩක් සටහන් වල ඉස්සරහට මොකක් වෙයිද කියන එක ගැන යම් ඉඟි තියෙනවා. සමහර ලිපි වල සමහර දේවල් කෙළින්ම කියා තියෙනවා. නමුත්, ඒ ගොඩක් ලිපි වල මෙන් පොඩි පොඩි කෑලි විග්‍රහ කරන්නේ නැතුව සමස්ත චිත්‍රය ගැන විග්‍රහයක් කරන්න කියලා කිහිප දෙනෙක්ම ඉල්ලා තියෙනවා. මීට කලින් වරින් වර ඒ වගේ විග්‍රහ කර තිබුණත්, ටික කාලයකින් එවැන්නක් කරලා නැහැ. 

ඉකොනොමැට්ටා කියන සන්නාමය හා බැඳුනු අතීතය වෙත ගියොත්, මේ සන්නාමය එක්ක බ්ලොග් එකක් එළි දකින්නේ 2015 වසරේදී. ඒ වෙද්දී, මහින්ද රාජපක්ෂව පරාජය කරලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වෙලා. මහ මැතිවරණය තියලා නැහැ. රැල්ල තිබුණේ යහපාලනය පැත්තට. සමාජ මාධ්‍ය ඇතුළේ රාජපක්ෂවාදීන්ව බොහෝ දුරට යටපත් වෙලා හෝ යටපත් කරලයි තිබුණේ.

ඔය වෙලාවේ බ්ලොග් එක පටන් ගත්ත එක අහම්බයක්. ඒකට කිසිදු විශේෂ හේතුවක් නැහැ.

එන්නට නියමිත ආර්ථික අර්බුදය ගැන ඉකොනොමැට්ටා සන්නාමය හරහා අපි කතා කරන්න පටන් ගත්තේ අඩු වශයෙන් ඔය කාලයේ ඉඳලා. ඒ වැඩේ අපි දිගින් දිගටම කළා. ඔය අතරේ යහපාලන ආණ්ඩුව මැතිවරණය දිනුවා. ඊට පස්සේ මහින්ද සුළඟ හමලා රැල්ල අනික් පැත්තට හැරුණා. පළාත් පාලන මැතිවරණ හරහා පොහොට්ටු පිපුණා. මහින්ද අගමැති වෙලා ආණ්ඩුවක් පිහිටෙවුවා. සත් සතියක් පහු වෙලා දවස් දෙකක් යද්දී රනිල් නැවත අගමැති වුනා. ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුනා. 

ඔය අතරේ කබ්රාල් ඉල්ලා අස් වෙලා අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති වුනා. ඒ කාලයේ වෙච්ච කවුරුත් දන්න සිද්ධිය යහපාලන ආණ්ඩුවේ හා විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහගේ ජනප්‍රියත්වය බිංදුවට ඇදල දැම්මා. අර්ජුන් මහේන්ද්‍රන්ගේ ධුර කාලය ඉවර වුනාට පස්සේ කුමාරස්වාමි මහ බැංකු අධිපති වුනා. කුමාරස්වාමි අස් වෙලා ලක්ෂ්මන් ආවා. ඊට පස්සේ ලක්ෂ්මන්ට අයින් වෙන්න කියලා නැවත කබ්රාල්ව පත් කළා. ඔය දේවල් වෙද්දී අපි දිගින් දිගටම එන්න නියමිත ආර්ථික අර්බුදය නැහැ බ්ලොග් එක හරහා දැනුවත් කිරීම් කළා. 

අපි ඔය විදිහට එන්න නියමිත ආර්ථික අර්බුදයක් ගැන දිගින් දිගටම දැනුවත් වීම් කළේ ලංකාවට කෙළ වෙන හැටි බලලා පැත්තකට වෙලා කුරිරු සතුටක් ලබන්න නෙමෙයි. ලංකාවට කෙළවෙන හැටි හිතෙන් මවාගෙන සතුටක් ලබන්නත් නෙමෙයි. අඩු වශයෙන් ආර්ථිකය කඩා වැටුණට පස්සේ ඔන්න අපි කියපු දේ වුනා කියලා ඒකෙන් වාසියක් ගන්නත් නෙමෙයි. එහෙම වාසියක් ගන්නනම් මේ වගේ නමකින් ලියන්නේ නැහැනේ. ඔය වැඩේ කළේ ඒ වෙන්න තියෙන දේ වෙන එක වලක්වා ගැනීම සඳහා පොඩි හෝ තල්ලුවක් දෙන්නයි. වෙනවා කියා අපි කියපු දේ නොවෙනවා දකින්න ඉඩක් ලැබෙයි කියා හිතාගෙනයි. 

ඔහොම දිගින් දිගටම අනාගතයේ එන්න තිබෙන ආර්ථික අර්බුදය ගැන ලියද්දී සමහර අය නෙමෙයි ගොඩක් අය අපිව විග්‍රහ කරගත්තේ අසුබවාදියෙක් විදිහටයි. නරක පැත්තම දකින කාලකන්ණි, මුස්පේන්තු මනුස්සයෙක් කියලා කෙළින්ම ප්‍රතිචාර දමපු අය ඕනෑ තරම් හිටියා. එළුවාගේ අහවල් එක කඩා වැටෙනකම් බලා ඉන්නවා වගේ ඕක කඩා වැටෙනකම් හැමදාම බලාගෙන හිටියට කෝ තාම කඩා වැටුණේ නෑනේ කියලා අපිට සමච්චල් කරපු අය හිටියා. අපට සාපේක්ෂව රටේ බොහෝ දෙනෙක් හිටියේ කවදාවත් සැබෑ වීමට ඉඩ නොතිබුණු සුබවාදී සිහිනයක් ඇතුළේ. අපේ පාඨකයෝ වගේම පෞද්ගලික මිතුරන් ගත්තත් වෙනසක් තිබුණේ නැහැ. ඒ ගොඩේ නොහිටපු ගොඩක් අය තමන්ගේ කිරි අත්තගේ කාලේ ඉඳන් ධනවාදය කඩන් වැටෙනකම් බලන් හිටපු අය.

අන්තිමට ආර්ථික අර්බුදය ආවා. අපි කාලයක් තිස්සේ වෙයි කියා කියපු දේවල් ඇත්තටම වුනා. ඒ ටික විස්තර කරන්න අවශ්‍ය නැහැ. කතාවේ ඒ කොටස මෙය කියවන ගොඩක් දෙනෙක් දන්න මෑත අතීතය.

මේ වෙද්දී පෙර කී චක්‍රය කණපිට හැරිලා. දැන් රට හැමතැනම අසුබවාදීන් පිරිලා. භාණ්ඩාගාර බිල්පත් වල හා ස්ථිර තැන්පතු වල දමන සල්ලි සතයක්වත් ආපසු නොලැබෙයි කියලා සමහර අය බය වෙලා. මේ කතා සැලසුම්සහගතව පතුරවනවා වෙන්නත් පුළුවන්. උද්ධමනය ගැන, ඩොලරයක මිල ගැන, පොලී අනුපාතික ගැන අසුබවාදී අදහස් පිරිලා. හැබැයි ඒ අතර තවමත් සුබවාදී සිහින දකින අයත් ඉන්නවා. 

බැක් ටු ද ෆියුචර් චිත්‍රපටියේ තුන්වන කොටසේ මේ වගේ දෙබස් කොටසක් තිබෙනවා.

"Jennifer Parker : Dr. Brown, I brought this note back from the future and - now it's erased.

Doc : Of course it's erased!

Jennifer Parker : But what does that mean?

Doc : It means your future hasn't been written yet. No one's has. Your future is whatever you make it. So make it a good one, both of you."

අනාගතය කොහේවත් ලියැවිලා නැහැ. එහෙම ලියැවිලා තියෙනවානම්, අපි මේ ලියන දේවල් වල කිසිම තේරුමක් නැහැ. අනාගතය තීරණය වෙන්නේ අද කරන දේවල් අනුවයි. 

හැබැයි අද අපිට කළ හැකි දේවල් වල සීමාවන් තිබෙනවා. ඒ වගේම, අපට දැන් වෙනස් කළ නොහැකි, අතීතයේ කරපු දේවල් තියෙනවා. ඒ නිසා, අනාගතය නිශ්චිත ලෙස ලියැවී නැතත්, අනාගතයේ විය හැකි දේවල් වල සීමාවන් තිබෙනවා. වෙනත් විදිහකට කිවුවොත්, අනාගතයේ විය හැකි දේවල් අපිට හරියටම කියන්න බැරි වුනත්, අනාගතයේ විය නොහැකි දේවල් කියන්න බැරිකමක් නැහැ.

එක උදාහරණයක් ගත්තොත්, සමහර අය බලාගෙන හිටියේ ඩොලර් බිලියන 80ක් පමණ මට්ටමේ තිබුණු ලංකාවේ ආර්ථිකය ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වෙලා අවුරුදු හතරක් පහක් යද්දී ඩොලර් බිලියන 160ක් වෙයි කියලා. මේ වගේ දේවල් කවදාවත්ම සිදු විය නොහැකිව තිබුණු දේවල්.

ඉකොනොමැට්ටා බ්ලොග් එක පටන් ගත් කාලයේදී අනාගතයේ සිදු වීමට නියමිත ආර්ථික කඩා වැටීමක් ගැන අප පෙන්වා දුන්නේ ඊට පෙර කාලයේ, විශේෂයෙන්ම 2010-2012 වසර තුන තුළ, ආර්ථිකයේ සිදුව තිබුණු අසාමාන්‍ය පිම්බීම මත පදනම්ව.  විශාල ලෙස විදේශ ණය ගෙන, එම ණය වල උදවුවෙන් ඩොලරයක මිල කෘතීම ලෙස පහළින් තියාගෙන, පරිභෝජනය වැඩි කර විශාල සෞභාග්‍යයක් පෙන්වා තිබුණත්, ඇහැට පෙනෙන්නට තිබුණු ඒ හැම දෙයක් තුළම තිබුණේ මායාවක් කියන එක තේරුම් ගන්න සෑහෙන තරම් සංකීර්ණ විග්‍රහයක් අවශ්‍ය වුනා. ඇස් වලට පෙනෙන දේ බොහෝ දෙනෙක් දකිනවා. ඇස් වලට නොපෙනෙන දේ දැකිය හැක්කේ සුළු පිරිසකට පමණයි. 

මහින්ද රාජපක්ෂ පරාජය වෙන්න කලින් 2013-2014 වසර වලදීත් ආර්ථිකයේ කඩා වැටීම පටන් අරගෙනයි තිබුණේ. එහෙත්, ආණ්ඩුව සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කිරීම ප්‍රමාද කරමින් හා මාධ්‍ය සංදර්ශන මගින් මේ තත්ත්වය සඟවා තබා ගැනීමට සමත් වුනා. ඒ ගිය විදිහට ගියානම්, 2016 හෝ 2017 පමණ වන විට විශාල ආර්ථික අර්බුදයක් එනවා. රාජපක්ෂලාගේ හොරකම් පිළිබඳ ඇත්ත නැත්ත පැත්තකින් තියා අදාළ ප්‍රවාදය පමණක් සැලකුවොත්, මේ ප්‍රවාදය ප්‍රබල ලෙස ජනගත වෙන්න හේතු වුනෙත් 2013-2014 ආර්ථික කඩා වැටීම හා එය සඟවා තැබීමට ආණ්ඩුව විසින් දැරූ උත්සාහයයි.

යුද්ධය අවසන් වීමෙන් පසු, 2010-2012 කාලයේ, බුබ්බුලයක් හෝ පිරමිඩ් ක්‍රමයක් ලෙස හඳුනාගත හැකි තත්ත්වයන් තුළ වුවත්, ඇත්තටම ආර්ථිකය වර්ධනය වුනා. ඉතිහාසයේ කවදාවත් නොවූ තරමට ආර්ථිකය වර්ධනය වුනා. මේ ආර්ථික වර්ධනය මිනිස්සුන්ට දැනුණා. රටේ බොහෝ දෙනෙකුගේ අතමිට සරු වුනා. මෙය කියවන ගොඩක්ම තරුණ අයට හැර අනෙක් අයට මේ කාලය අමතක වෙන්න හේතුවක් නැහැ. 

ඉහත කාලයේ ආර්ථික වර්ධනය හා ඒ සමඟ ආ සෞභාග්‍යය මිනිසුන්ට ඇඟටම දැනුණු නිසා මාධ්‍ය සංදර්ශන වලින් පෙන්නූ දේවල්, සංඛ්‍යාලේඛණ වගේම අනාගතය ගැන අහන්නට ලැබුණු සුරංගනා කතා පිළිබඳවත් මිනිස්සුන්ට සැකයක් ඇති වුනේ නැහැ. වැඩේ අවුල් වුනේ 2014 පමණ වෙද්දී. එතකොටත් ආර්ථික වර්ධන එන්ජිම නැවතිලා. නමුත්, සංඛ්‍යාලේඛණ හා මාධ්‍ය සංදර්ශන වලට අනුව ආර්ථිකය හැටට හැටේ දුවනවා. ආණ්ඩුව උලුප්ප උලුප්පා සංවර්ධනය පෙන්නුවත්, තමන්ගේ අතට එන මුදල් ප්‍රවාහ අඩු වෙලා බව මිනිස්සුන්ට දැනෙද්දී, කවුරු හෝ පිරිසක් විසින් තමන් අතට නොඑන සල්ලි මහා පරිමාණයෙන් එකතු කර ගන්නවා කියන අදහස මිනිස්සුන්ට එන එක අපේක්ෂා කළ හැකි දෙයක්. 

මිනිස්සු යහපාලන ආණ්ඩුව ගෙනාවේ රාජපක්ෂ ආණ්ඩුව විසින් පෙන්නපු සෞභාග්‍යය නැති කර ගන්න නෙමෙයි. හොරකම් නවත්තලා ඒ සෞභාග්‍යයේ ප්‍රතිලාභ තමන්ගේ අතට ලැබෙන්න සලස්වයි කියා හිතාගෙන. යහපාලන ආණ්ඩුව බලය ගත්තේ ඒ බලාපොරොත්තුව මිනිස්සුන්ට දීලා. ඒක කෙසේවත් ඉටු කර ගත නොහැකිව තිබුණු බලාපොරොත්තුවක්. 

ජනාධිපතිවරණය හා මහ මැතිවරණය අතර කාලයේ යහපාලන ආණ්ඩුව විසින් රාජ්‍ය සේවක වැටුප් වැඩි කළා. බදු අඩු කළා. ඒවා කළේ මැතිවරණය ඉලක්ක කරගෙන. ඒ විදිහට දිගටම ගියානම් ඒත් වෙන්නේ 2017 වගේ වෙද්දී ආර්ථිකය ලොකුවටම කඩා වැටෙන එක. නමුත්, පසුව යහපාලන ආණ්ඩුව මේ ප්‍රතිපත්ති විශාල ලෙස වෙනස් කළා. 2020 වන තුරු ආර්ථිකය ස්ථාවරව තිබුණේ ඒ නිසා. 

ගෝඨාභය ජනාධිපති වුනාට පස්සේ කරපු ප්‍රධානම ප්‍රතිපත්ති වැරදි දෙක බදු කැපීම හා ඩොලරය හිරකරගෙන සංචිත ටික ඉවර කිරීම. ගොඩක් අය කතා කරන තුන් වන කාරණයක් වන රසායනික පොහොර තහනමට මම බර තියන්නේ ටිකක් අඩුවෙන්. ගොඩක් අය කතා නොකරන කෝවිඩ් මර්දන ක්‍රියාමාර්ග වලට මම ඊට වඩා වැඩි බරක් තියනවා. මේවා ගැන කලින් කතා කර තිබෙන නිසා වැඩි විස්තර ලියන්න යන්නේ නැහැ.

බදු කපලා කරපු වැරැද්ද දැන් නිවැරදි කරලා. ඩොලරය තවමත් හිරකරගෙන සිටිනවා වුනත්, රුපියල් 200 මට්ටමේ තිබුණු ඩොලරය රුපියල් 360-370 මට්ටමට යද්දී ඒ වැරැද්දත් සෑහෙන දුරට නිවැරදි වෙලා. මේ කාරණා දෙකෙන් පමණක්ම වුනත් මගේ අසුබවාදී දැක්ම සෑහෙන දුරකට වෙනස් වෙනවා. 

නමුත්, කළ යුතු දේ කළ යුතු වෙලාවට නොකර පහු වෙලා කළා කියලා කලින් ප්‍රතිඵලයම ගන්න බැහැ. බදු කැපිල්ලට ආවොත්, බදු නැවත වැඩි කරන තුරු දෙවසරක පමණ කාලයේ රජයට අහිමි වූ ආදායම නැවත ලැබෙන්නේ නැහැ. ඒ වගේම, ඩොලරය හිරකරගෙන සිටිද්දී දිය වී ගිය සංචිත ටික ඩොලරය වැඩි කළා කියලා දැන් නැවත ලැබෙන්නේ නැහැ. 

මේ ප්‍රශ්න දෙකෙන් පළමු ප්‍රශ්නය වෙළඳපොළ යාන්ත්‍රනය විසින් දැනටමත් විසඳා අවසන්. උද්ධමනය කියා කියන්නේ වෙළඳපොළ විසින් ප්‍රශ්නය විසඳපු ක්‍රමය. සාමාන්‍ය බදු විදිහට රජයට එකතු නොවුණු මුදල "උද්ධමන බදු" විදිහට වෙළඳපොළ විසින් එකතු කර දී තිබෙනවා. ඉදිරිපත්ව ඇති සාර්ව ආර්ථික වැඩ පිළිවෙළෙහි ඉලක්ක ඉටු කරගත හැකිනම්, ඒ ප්‍රශ්නය ඉවර වෙනවා.

නමුත්, දෙවන ප්‍රශ්නය ඒ විදිහට ඉවර වෙන්නේ නැහැ. ඒ ප්‍රශ්නය විසඳන එකත් වෙළඳපොළට භාර දුන්නොත් වැඩේ කෙළවරක් වෙන්නේ රුපියල නැත්තටම නැති වෙලා. ඔව්! ඉන්දියන් රුපියල ලංකාවේ මුදල් ඒකකය වෙන එක වුනත් වෙන්න පුළුවන්! (මම පෞද්ගලිකව ඒක මහා ලොකු ව්‍යසනයක් ලෙස සලකන්නෙත් නැහැ. ඔය වැඩේ කවදා හෝ වෙන්න ඉඩ තියෙන දෙයක්.)

මේ කිවුවේ වැඩේ විසඳන එක මේ වෙලාවේ වෙළඳපොළට භාර දුන්නොත් වෙන දෙය. මහ බැංකුව හෝ රජය එහෙම කරන්න යන්නේ නැහැනේ. ඩොලරය පා කරනු ඇත්තේ තවත් දේවල් ගණනාවක් කිරීමෙන් පසුව පමණයි.

අපි නැවත මුල් ප්‍රශ්නයට එමු.

ඉස්සරහට මොකක් වෙයිද?

ඩොක් බ්‍රවුන් ජෙනිෆර් පාකර්ට කියනවා වගේ අනාගතය තවමත් ලියැවී නැහැ. අනාගතය තීරණය කෙරෙන සාධක ගණනාවක් විවිධ ආකාර වලින් ක්‍රියාත්මක විය හැකිව තිබෙනවා. ඒ නිසාම, අපට අනාගතයේ විය හැකි දේ විග්‍රහ කළ හැක්කේ වත්මන් හා අනාගත ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග හා අදාළ ඉලක්ක ඉටු කර ගැනීමේ ශක්‍යතාවය මත පදනම්ව පමණයි.

දැන් පවතින තත්ත්වය මාස ගණනකට පෙර පැවති තත්ත්වයට සාපේක්ෂව හොඳ තත්ත්වයක් බව කවුරු වුනත් පිළිගනු ඇති. 

පහළින් තියෙන්නේ පාඨක ප්‍රතිචාරයකින් කොටසක්.

"ඔන්න මාර්තු-අප්‍රේල්-මැයි-ජූනි-ජූලි වල ජන ජීවිතේ කඩා වැටුනා. මොකද පැය 12 ක් ලයිට් කපනව කියන්නේ ජන ජීවිතේ කුඩේ කුඩු. ජන මානසික සෞවුක්‍ය කුඩේ කුඩු. පාරවල් දෙපැත්තේ තෙල් පෝලිම්. ඔක්කොම ටැක්සි ඇප්ස් වැඩ නෑ. කැංගරු කැබ්ස්වත් වැඩ නෑ. කාළකන්නි කම උච්චතම අවස්තාව. ගෑස් නෑ. කඩවල රටින් ගේන බඩු විතරක් නෙවේ ලංකාවෙ හදන බඩුවත් නෑ. මූසල කම බැලූ බැලූ අත. කන්ස්ට්‍රක්ශන් ප්‍රොජෙක්ට්ස් නැවතිල. ඒවයින් යැපුනු ආශ්‍රිත ඉන්ඩස්ට්‍රීස් වල අයගෙත් රස්සා නැතිවෙල. හෝප්ලස් කියලමයි උදේට හිතෙන්නෙ."

ඕක කාගේත් වගේ අත්දැකීමක්නේ. දැන් ඔය තත්ත්වය නැති බවත් පැහැදිලියිනේ. ඒ කියන්නේ වැඩේ ගොඩද?

මේ වගේ තත්ත්වයක් තිබුණු පමණින් ආර්ථිකයේ මූලධාර්මික ප්‍රශ්න විසඳී ඇති බව (හෝ විසඳී නැති බව) අදහස් වන්නේ නැහැ. මේ පදනම මත බලනවානම් රාජපක්ෂ දශකයේ දෙවන භාගයේදී රටේ විශාල සෞභාග්‍යයක් තිබුණා. නමුත්, අවුල තිබුණේ ඒ පෙනෙන්න තිබුණු සෞභාග්‍යය ඇතුළේම තමයි. 

"එක අඩි දහයක් ගිය තැන හමුවෙනව කාගීල්ස් ෆුඩ් සිටි ඇන්ඩ් සතොස. මිනිස්සු පිරිල. ඉන් පස්සෙ දිගටම හම්බෙන්නේ මයික්‍රො එන්ටප්‍රයිසස් ආප්ප කඩ ග්‍රොසරි කොල කැද විකුණන තැන් ගරාජ් ගමේකඩේ කියල බ්‍රෑන්ඩඩ් මීඩියම් ස්කේල් එන්ටර්ප්‍රයිස් එකක්. ඔක්කොම පාරිභෝගිකයන් ගේ අනුග්‍රහය අඩු නැතුව ලබන තැන්....

...මේ අවුරුදු වගේ ෆ්ලෑශ් කස්ටමර්ල නෙවෙයි ඩෙලි ස්ටෙඩි ආර්‍ර්තික ක්‍රියාවලි අනික ලේටස්ට් ඉඩම් ප්‍රයිසස් එක්ක ඔයා පේන්ට් කරන අදුරු පින්තූරෙ ගැලපන්නෙ නෑ."

මම මේක බුබ්බුලයක් කියන අදහසින් (හෝ එසේ නොවන අදහසින්) කියනවා නෙමෙයි. (ලංකාවේ දැන් තත්ත්වය ලිපිය පහළට යද්දී විග්‍රහ කෙරෙනවා.) නමුත්, සාමාන්‍යයෙන් බුබ්බුලයකදී වෙන්නෙත් ඕක තමයි. ව්‍යාපාර චක්‍ර වල එක කලාවක් (phase) ඔය වගේ. මේ වගේ තත්ත්වයක් වසර දෙක තුනක් හෝ සමහර විට ඊටත් වඩා වැඩි කාලයක් වුනත් එක දිගට පවතින්න පුළුවන්. අවුරුදු කාලය වගේ සතියකින් හෝ මාසයකින් ඉවර වෙන්නේ නැහැ. හැබැයි කොයි වෙලාවේ හරි කඩා වැටෙනවා. 2005-2007 අතර ඇමරිකාවේ තිබුණෙත් ඔය වගේ කාලයක්. එය කෙළවර වුණේ 2008 මහා ආර්ථික අවපාතයෙන්. ඒ නිසා, ඔය වගේ "මහ පොළොවේ පේන" දේවල් වලින් ලොකු නිගමන වලට එද්දී සැලකිලිමත් විය යුතුයි. (මම කියන්නේ මහ පොළොවේ පේන යථාර්තය නොසලකා හැරිය හැකි බව හෝ එසේ කළ යුතු බව නෙමෙයි.)

"අපි අමතක කරන්න හොඳ නෑ . පත ණයකට පොල්ලක් තියල තමයි , ප්‍රැටල් කෝටා එක දෙන්නේ කියල.."

මේක ටිකක් ජනප්‍රිය කතාවක්. පත ණයකට පොල්ල තියලා බව ඇත්ත. ඒ ණය ගෙවන්න ගියානම් පැට්‍රෝල් දෙන්න බැරි එකත් ඇත්ත. ඒ විතරක් නෙමෙයි- මගේ අදහසනම් රුපියල නැත්තම නැති වී යන්න වුනත් පුළුවන් කියන එක. 

හැබැයි දැන් ණය ගෙවන්නේ නැහැනේ. ඒක අපිට කරුණක් විදිහට භාර ගන්න වෙනවා. මේ විදිහට ණය නොගෙවා ඉස්සරහට යන්න බැරිද?

ඇත්ත කතාවනම් ලංකාව කලාතුරකින් හැර කවදාවත් ණය ගෙවලා නැහැ කියන එක. සංඛ්‍යාලේඛණ තිබෙන 1950 වසරෙන් පසු සුළු වශයෙන් ලංකාවේ විදේශ ණය (ඩොලර් වලින්) අඩු වී තිබෙන්නේ 1996, 1997, 2000, 2001 හා 2020 වසර වලදී පමණයි. මතක තියාගන්න 1950න් පසුව මිස 1977න් පසුව නොවන බව. සමහර අය හිතාගෙන ඉන්නේ විදේශ ණය ප්‍රශ්නය 1977න් පසු ඇති වූ ප්‍රශ්නයක් බවයි. 

නිදහසින් පසු කලාතුරකින් හැර බොහෝ වසර වලදී ලංකාවේ රජය විසින් කළේ ඩොලර් ණයට ගෙන වෙළඳපොළේ විකුණා ලබා ගන්නා රුපියල් වලින් සුබසාධන වියදම් පියවා ගැනීමයි. හැමවිටම මෙන් එසේ ගන්නා විදේශ ණය හා පොලිය ආපසු ගෙවුවේ තවත් ණය අරගෙනයි. 

දැන් ලංකාව විදේශ ණය හා පොලිය ආපසු නොගෙවන්නේ එම ණය ආපසු ගෙවීම සඳහා තවත් ණය ලබා ගැනීම අපහසු වී ඇති නිසා මිස කලින් ණය ගෙවීම සඳහා වැය කළ රටට එන "ඉපැයූ ඩොලර්" පැට්‍රෝල් ආනයනය සඳහා යොදවා ඇති නිසා නෙමෙයි. 

මගේ තර්කය ටිකක් පැහැදිලි මදි ඇති. මම කියන්නේ මේකයි. ලංකාව විසින් "ඉපැයූ ඩොලර්" මීට පෙරත් විදේශ ණය ආපසු ගෙවීම සඳහා යොදා ගත්තේ නැහැ. ඒ නිසා, දැන් විදේශ ණය ආපසු ගෙවීම පැහැර හැරියා කියා, ආනයන හා අදාළව, විශේෂ වාසියක් ලැබී නැහැ. 

"ඉපැයූ ඩොලර්" වලින් විදේශ ණය ආපසු ගෙවීම මෙතෙක් ලංකාව නොකළ දෙයක්. මෙතෙක් නොකළ දෙයක් මේ වගේ අර්බුදයක් ඇති වී ඇති විටෙක කොහොමටවත් කරන්න බැහැ. මෙතෙක් ලංකාව පරණ ණය හා පොලිය ගෙවුවේ තවත් ණය අලුතෙන් අරගෙන. දැන් වුනත් අලුතෙන් තවත් ණය ලැබුණොත්, ලංකාවට කලින් වගේම පරණ ණය හා පොලිය ගෙවාගෙන යන්න පුළුවන් වෙයි. 

ඇත්තම ප්‍රශ්නය ගත් ණය ආපසු ගෙවන එක නෙමෙයි. තවත් ණය නොගෙන දුවන්න පුළුවන්ද කියන එක. ගත් ණය නොගෙවා තවත් ණය ගන්න බැහැ. තවත් ණය නොගෙන කලින් වගේ ආර්ථික කටයුතු පවත්වා ගෙන යන්න පුළුවන්ද? වැදගත් ප්‍රශ්නය ඕකයි.

මෙතෙක් ලංකාව විසින් ඉපැයූ හැම ඩොලරයක් මෙන්ම ආනයන වෙනුවෙන් වැය කර තිබෙනවා. ඊට අමතරව, ණය ලෙස ලබාගත් ඩොලර්ද ආනයන වෙනුවෙන් වැය කර තිබෙනවා. ණය කන්දක් ගොඩ ගැසී තිබෙන්නේ ඒ නිසා.

ණය හා පොලිය ගෙවන එක පැත්තකින් තියමු. ණය හා පොලී නොගෙවා, උපයන ඩොලර් ටිකෙන් පමණක් ආනයන වියදම් පිරිමහගෙන, රටට ඉස්සරහට යන්න පුළුවන්ද?

මගේ පිළිතුර පුළුවන් කියන එකයි. දැන් කරන්නේ ඒක. 2015-2019 කාලය තුළ බොහෝ දුරට කළේත් ඒක. රටේ වෙළඳ හිඟයක් තිබුණත් ශ්‍රමික ප්‍රේෂණ විදිහට සහ සංචාරක ඉපැයීම් ලෙස ඊට වඩා වැඩි මුදලක් ලැබෙනවානම් ඔය වැඩේ කරන්න බැරිකමක් නැහැ.

2015 වෙළඳ හිඟය - ඩොලර් මිලියන 8,430

2015 ශ්‍රමික ප්‍රේෂණ - ඩොලර් මිලියන 6,980

2015 සංචාරක ඉපැයීම් - ඩොලර් මිලියන 2,981

අතිරික්තය - ඩොලර් මිලියන 1,531


2016 වෙළඳ හිඟය - ඩොලර් මිලියන 8,873

2016 ශ්‍රමික ප්‍රේෂණ - ඩොලර් මිලියන 7,242

2016 සංචාරක ඉපැයීම් - ඩොලර් මිලියන 3,518 

අතිරික්තය - ඩොලර් මිලියන 1,887


2017 වෙළඳ හිඟය - ඩොලර් මිලියන 9,620

2017 ශ්‍රමික ප්‍රේෂණ - ඩොලර් මිලියන 7,164

2017 සංචාරක ඉපැයීම් - ඩොලර් මිලියන 3,631

අතිරික්තය - ඩොලර් මිලියන 1,175


2018 වෙළඳ හිඟය - ඩොලර් මිලියන 10,343

2018 ශ්‍රමික ප්‍රේෂණ - ඩොලර් මිලියන 7,015

2018 සංචාරක ඉපැයීම් - ඩොලර් මිලියන 4,883

අතිරික්තය - ඩොලර් මිලියන 1,055


2019 වෙළඳ හිඟය - ඩොලර් මිලියන 7,997

2019 ශ්‍රමික ප්‍රේෂණ - ඩොලර් මිලියන 6,717

2019 සංචාරක ඉපැයීම් - ඩොලර් මිලියන 3,592

අතිරික්තය - ඩොලර් මිලියන 2,312

යහපාලන ආණ්ඩුව කාලයේ රටේ දැන් මෙන් ආනයන පාලනයක් තිබුණේ නැහැ. නමුත්, අවශ්‍ය ආනයන ඉල්ලුම සපුරාගන්න ඩොලර් ණයට ගන්න අවශ්‍ය වුනේත් නැහැ. ණය ගන්න අවශ්‍ය වුනේ පරණ ණය හා පොලිය ගෙවන්න පමණයි (ආසන්න වශයෙන්). එම කාලයේ විදේශ ණය වැඩි වීම තනිකරම වාගේ පරණ ණය වලම පොලිය. 

ඒ කාලයේත් රටේ වෙළඳ හිඟයක් තිබුණා. නමුත් ශ්‍රමික ප්‍රේෂණ හා සංචාරක ඉපැයීම් ලෙස ලැබුණු විදේශ විණිමය ප්‍රමාණය ඊට වඩා ඩොලර් බිලියනයක් දෙකක් වැඩියි. ඒ අතිරික්තය ලාංකිකයන්ගේ විදේශ සංචාර, විදේශ අධ්‍යාපන වියදම් වගේ දේවල් වෙනුවෙන් අවශ්‍ය අමතර ඩොලර් ඉල්ලුම සැපිරීමට ප්‍රමාණවත් වුණා. ඩොලරයක මිල හිර කර නොගෙන නිදහසේ තීරණය වෙන්න අරිනවානම් (මේ වෙලාවේ නෙමෙයි!) ඔය සමතුලිතතාවය ඇති වෙනවා. ණය ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

ඉහත සංඛ්‍යාලේඛණ වල පෙනෙන පරිදි, 2018දී ඉහත කී අතිරික්තය ටිකක් පහළ ගියා. 2018 අවසානයේදී ඩොලරයක මිල රුපියල් 150 සිට රුපියල් 180 දක්වා 20%කින් පමණ ඉහළ ගිය නිසා 2019දී නැවතත් අතිරික්තය ඉහළ ගියා. 

ඔය කාලයේදීත් මම විදේශ විණිමය ප්‍රතිපත්තිය විවේචනය කළා. ඒක වෙනම කතාවක්. 

යහපාලන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය අලුතෙන් විදේශ ණය අරගෙන අයවැය හිඟය පියවා ගැනීම නොවුණත්, එම ආණ්ඩුව කලින් ගත් ණය ආපසු ගෙවීම සඳහා මැදිහත් වීමක් කළේ නැහැ. ඩොලර් එක තව ටිකක් ඉහළ යන්න ඉඩ දීලා එවැනි මැදිහත්වීමක් කළ හැකිව තිබුණා. දැන් යෝජනා වී තිබෙන සාර්ව ආර්ථික වැඩ පිළිවෙළ ඇතුළෙත් ණය අඩු කර ගැනීමක් නැහැ. පරණ යහපාලන ක්‍රමයම තමයි. මේක තමයි සාමාන්‍ය IMF වට්ටෝරුවේ ක්‍රමය. හැබැයි මේක ස්ථායී ක්‍රමයක්. 

මහින්ද රාජපක්ෂගේ කාලයේ, ඒ කියන්නේ කබ්රාල් මහ බැංකු අධිපතිව සිටි සිවිල් යුද්ධය ඉවර වුනාට පස්සේ අවුරුදු වල, ඔය වැඩේ ඔය පිළිවෙලට වුනේ නැහැ. ඒ කාලයේ වුනේ ණයට ඩොලර් අරගෙන ඩම්ප් කරන එක. 2011 හා 2012 අවුරුදු වල සංඛ්‍යාලේඛණ පහළ තියෙන්නේ.

2011 වෙළඳ හිඟය - ඩොලර් මිලියන 9,710

2011 ශ්‍රමික ප්‍රේෂණ - ඩොලර් මිලියන 5,145

2011 සංචාරක ඉපැයීම් - ඩොලර් මිලියන 830

හිඟය - ඩොලර් මිලියන 3,735


2012 වෙළඳ හිඟය - ඩොලර් මිලියන 9,417

2012 ශ්‍රමික ප්‍රේෂණ - ඩොලර් මිලියන 5,985

2012 සංචාරක ඉපැයීම් - ඩොලර් මිලියන 1,039

හිඟය - ඩොලර් මිලියන 2,393

ඔය කාලයේදී ඩොලර් එක එක දිගටම රුපියල් 110 කිට්ටුව තියාගෙනයි හිටියේ. නමුත්, ඔය වැඩේ කරන්න බැරුව හිර වෙද්දී රුපියල් 130ට යන්න දෙන්න වුනා. ඊට පස්සේ රුපියල් 130 කිට්ටුව අල්ලගෙන හිටියා. හැබැයි 2010-2012 කාලයේදී තරම් 2013-2014 කාලයේදී ණය ගන්න පුළුවන් වුනේ නැහැ. ඒ නිසාම, යම් තරමකට හෝ උපයන ඩොලර් වලින් වියදම් පිරිමහගන්න වෙලා තිබුණා. 

උඩින් යහපාලන කාලය ගැන කිවුවට ඇත්තටම 2014 වන විට තිබුණෙත් යහපාලන කාලයේ තිබුණු තත්ත්වයට කිට්ටු තත්ත්වයක්. අලුතෙන් ගන්න ණය වලින් කරන්න පුළුවන් වුනේ පරණ ණය වල වාරික හා පොලී ගෙවන එක පමණයි. ඒ නිසාම, 2010-2012 තිබුණු ආර්ථික වර්ධනය දිගටම පවත්වා ගන්න පුළුවන්කමක් තිබුණෙත් නැහැ. ඔය කඩා වැටීම මිනිස්සුන්ට තේරෙද්දී ආණ්ඩුව මාරු වෙලා. ඒ නිසා, මිනිස්සු දැක්කේ හොඳට තිබුණු ආර්ථිකය යහපාලන ආණ්ඩුව ඇවිත් අවුල් කරලා දැම්මා වගේ දෙයක්. 

ආර්ථිකයක් කඩා වැටෙනවා කියන්නේ මොකක්ද කියලා දැන් ආයේ අමුතුවෙන් කියා දෙන්න අවශ්‍ය නැහැනේ. මම හිතන්නේ රාජපක්ෂ කාලයට ආපහු යන්න සිහින දකින අය දැන්නම් නැතුව ඇති. දැන් සිහිනය වෙලා තියෙන්නේ යහපාලන කාලයටවත් ආපහු යන එකනේ. යහපාලන කාලය කිවුවත් අඩු වශයෙන් 2014 සිට, යම්තාක් දුරට 2013 සිට, තිබුණේ ඔය ක්‍රමය. ඒ කියන්නේ, පරණ ණය ගෙවන්න අලුත් ණය ගත්තත්, එදිනෙදා වියදම් වලට විදේශ ණය ගත නොහැකි වූ යුගය. 2020න් පසු ආවේ ගත්ත ණය ආපසු ගෙවන්නවත් ණය ගන්න බැරි වූ යුගයක්!

දැන් ප්‍රශ්නය මේකයි. දැන් නැවත යහපාලන කාලයට යන්න බැරිද?

යහපාලන කාලයේ ණය ගත්තේ පරණ ණය ගෙවන්නනම්, දැන් පරණ ණය ගෙවන්නෙත් නැත්නම්, නැවත ඒ කාලයට යන්න පුළුවන් විය යුතුයිනේ. ඇත්තටම ඒක කරන්න පුළුවන්. වැදගත් වෙනසක් තිබුණත්, දැන් වෙන්නෙත් ඊට කිට්ටු දෙයක්. පහළින් තියෙන්නේ පසුගිය 2022 සැප්තැම්බර් මාසයේ තත්ත්වය.

2022 සැප්තැම්බර් වෙළඳ හිඟය - ඩොලර් මිලියන 206

2022 සැප්තැම්බර්  ශ්‍රමික ප්‍රේෂණ - ඩොලර් මිලියන 359

2022 සැප්තැම්බර් සංචාරක ඉපැයීම් - ඩොලර් මිලියන 54

අතිරික්තය - ඩොලර් මිලියන 207

දැන් වෙන්නෙත් 2014-2019 කාලයේ සිදු වූ දෙයම බව පේනවනේ. ඒ කියන්නේ උපයන ඩොලර් ටික පිරිමහගෙන වියදම් කරන එක. නමුත් එක වැදගත් වෙනසක් එක්ක. ඒ තරමයි ආනයන පාලනය. ආනයන පාලනයක් නැතුව දැන් මේ වැඩේ කරගෙන යන්න බැරි ඇයි? 

එක ප්‍රධාන හේතුවක් වන්නේ ඒ කාලයේ මාසයකදී ලැබුණු ඩොලර් මිලියන 300-400ක පමණ සංචාරක ඉපැයීම් දැන් ඒ විදිහට නොලැබීම. ඔය ටික නැවත ලැබෙනවානම් ආනයන පාලන ඉවත් කළ හැකියි කියන එකයි මගේ අදහස. ආනයන පාලන තියාගෙන ඉන්න වෙන්නේ ඒ වැඩේ වෙනකම්. 

ශ්‍රමික ප්‍රේෂණ අඩුවීම වෙනම කතාවක්. 

ශ්‍රමික ප්‍රේෂණ එවපු අය සල්ලි එවන එක අඩු කරලා නැහැ. ඒ සල්ලි ඒ විදිහටම එනවා. නමුත් ශ්‍රී ලාංකිකයන් විසින්ම රටට එන්න කලින් ඒ සල්ලි ටික විදේශ විණිමය විදිහට එකතු කර ගන්නවා. ලංකාවේදී අවශ්‍ය තැනට රුපියල් දෙනවා. ඔය වැඩේ බලහත්කාරයෙන් නවත්වන්න බැහැ. ව්‍යාපාර විදිහට කරන උන්ඩියල්නම් නවත්වන්න පුළුවන්. නමුත් පෞද්ගලික මට්ටමෙන් වෙන ගනුදෙනු ඒ විදිහට නවත්වන්න බැහැ. මොකද මේ විදිහට රුපියල් අරගෙන කාට හරි ඩොලර් දෙන හැම කෙනෙක්ම ඒ වැඩේ කරන්නේ කීයක් හෝ වැඩියෙන් ලැබෙන නිසාම නෙමෙයි. ගොඩක් වෙලාවට එහෙම වැඩියෙන් ගාණක් ලැබෙන්නේ නැහැ. මේක කරන්නේ උදවුවක් විදිහට. සමහර විට අතින් පාඩුවට, අඩු ගාණකට.  

මම දැක්කා එක සමීක්ෂණයක් අනුව 18-29 අතර තරුණ තරුණියන්ගෙන් විශාල ප්‍රතිශතයක් රටින් යන්න බලාගෙන ඉන්න බව. රටින් යන්නනම් සල්ලිත් ඕනෑ. මේ විදිහට රටින් යන්න හදන්නේ ලංකාවේ මොනවා හරි යමක් කමක් කරගන්න පුළුවන් වූ පවුල් වල අය. ඒ අයගේ අතේ රුපියල් වලින් යම් මුදලක් තිබෙනවා. නමුත් එක පැත්තකින් ඒවා ඩොලර් කරගන්න බැහැ. අනෙක් පැත්තෙන් ඩොලර් කර ගත්තා වුනත් මේ ගොඩක් අය අතේ මහා ලොකු සල්ලියක් නැහැ. විශේෂයෙන්ම වැඩි වූ ඩොලර් මිලත් එක්ක. මෙයින් අදහස් වෙන්නේ ශ්‍රමික ප්‍රේෂණ රටට එන්න කලින්ම රුපියල් වෙන එක දැන්ම නවතින්නේ නැහැ කියන එකයි.

ලංකාවේ ගොඩක් වැඩිහිටියෝ කියන්නේ අපි කොහොම හරි ජීවත් වෙන්නම් අපිට සල්ලි එවන්න ඕනෑ නෑ, කොල්ලා හරි කෙල්ල හරි ගැන බලලා පුළුවන් දෙයක් කරන්න කියලා. ගොඩක් වෙලාවට මේ හොයන උදවුව රටින් පැනගන්න ක්‍රමයක්. රටින් පැනගන්න ක්‍රමයක් හොයාගත්තට පස්සේ සල්ලි පන්නගන්න ක්‍රමයක්. ඕකයි කතාව. 

අපි IMF ණය පැත්තකින්ම තියමු. මේ යන විදිහට වුනත් ලංකාවට කාලයක් ඇදගෙන යන්න පුළුවන්. රට මීට වඩා ඕනෑනම් තව ටිකක් වැටෙයි. ඊට වඩා වැටෙන්නේ නැහැ. ඒ ඇයි? 

කෙටියෙන් කිවුවොත් දැන් වෙන්නේ රටට ලැබෙන ඩොලර් ටික රජය හා මහ බැංකුව කැමති විදිහට බෙදා දෙන එක. ඒ ඩොලර් ලැබෙන අයට ආනයන කළ හැකියි. අනෙක් අයට බැහැ. ගෑස් හිඟයක් නැහැ. ගෑස් මිල දරාගන්න අමාරු නිසා ගොඩක් අය ගෑස් අත ඇරලා. ඒ නිසා, ඉල්ලුම අඩුයි. ගොඩක් පහළ මධ්‍යම පාන්තිකයින්ට QR කෝඩ් එකට ලැබෙන කෝටා එක ඕනෑවටත් වැඩියි. කෝටා එකට හරියන්න තෙල් ගහගන්නවත් අතේ සල්ලි නැහැ. ඒ නිසාම, හදිස්සියකට ටිකක් වැඩිපුර තෙල් ඕනෑ කෙනෙක්ට කාගෙ හරි කෝටා එකකින් තෙල් ටිකක් ගහගන්න බැරිකමක් නැහැ. 

ලංකාවේ හැමෝටම කැමති විදිහට ආනයන පරිභෝජනය කරන්න තරම් රටට ලැබෙන ඩොලර් ටික ප්‍රමාණවත් නැහැ. ඒ නිසා, ඉහළ මධ්‍යම පාන්තිකයින්ගේ ජීවන තත්ත්වය පහත වැටී තිබෙනවා. නමුත්, පහළ මධ්‍යම පාන්තිකයින්ට මේ වෙද්දී ඩොලර් ප්‍රශ්නයක් ලොකුවට නැහැ. මොකද දැන් රටේ නැති ආනයනික භාණ්ඩ තිබුණා කියලත් ඒ අය අතේ ගන්න සල්ලි නැහැ. වෙන විදිහකින් කිවුවොත් ඒ අයගේ ජීවන තත්ත්වය පහත වැටෙන්න හේතු වී තිබෙන්නේ ප්‍රධාන වශයෙන්ම අතේ සල්ලි නැති කම. ආර්ථික විද්‍යා භාෂාවෙන් කිවුවොත් මූර්ත ආදායම පහත වැටීම. 

ඔය ඉහළ ස්ථරයට ඇත්තටම උද්ධමනය ලොකුවට දැනිලා නැහැ. මොකද ඉතිරි කිරීම් තිබෙන නිසා පොලී ආදායම් ඉහළ යාමේ වාසියෙන් බඩු මිල වැඩි වීමේ අවාසිය කැපිලා යනවා. වඩා බරපතල ප්‍රශ්නය කලින් පරිභෝජනය කරපු දේවල් කීයක් දීලාවත් ගන්න නැතිකම. ඊට අමතරව බදු වැඩි කිරීම වගේ ප්‍රශ්නත් තියෙනවා. 

ඔය ඔක්කොම ප්‍රශ්න තමයි. ආයේ කතා දෙකක් නැහැ. හැබැයි ඔය හැම දෙයක්ම මේ වෙද්දී වෙලා ඉවරයි.

ආනයන පාලනය, බදු වැඩි කිරීම, පොලී වැඩි කිරීම ඇතුළු බොහොමයක් දේවල් ආර්ථිකය හැකිලීමට හේතු වී තිබෙනවා. උද්ධමනය නිසානම් ආර්ථිකය හැකිලිලා නැහැ. එහෙම වෙන්නෙත් නැහැ. නමුත් අනෙකුත් හේතු නිසා ආර්ථිකය හැකිලිලා තිබෙනවා. හැමෝගෙම වගේ පරිභෝජන මට්ටම් අඩු වෙලා තිබෙනවා. කාගීල්ස් ෆුඩ් සිටි ඇන්ඩ් සතොස වගේ තැන් වල මිනිස්සු පිරිල ඇති. හැබැයි නිවැරදි ක්‍රමවේදයකට හොයලා බැලුවොත් ඒ අය මිල දී ගන්න දේවල් යම් තරමකින් හෝ අඩු වෙලා. ඒක තමයි ආර්ථික සංකෝචනය.

තව වෙන්න තියෙන්නේ වාහන, ඉඩම්, ගෙවල් වගේ දේවල් වල මිල අඩු වෙන එක. ඒක තවම වෙලා ඉවර නැති වෙන්න පුළුවන්. අනෙක් සංකෝචනය වීම්නම් දැන් බොහෝ දුරට වෙලා ඉවරයි. 

ඔය විදිහට ආර්ථිකය සංකෝචනය වුනාට පස්සේ ඒක දිගින් දිගටම තවත් සංකෝචනය වෙන්නේ නැහැ. මොකද සංකෝචනය වෙලා නැවතෙන්නේ දැන් රටට එන්නේ නැති ආනයන ටික නැතිව පවතින්න පුළුවන් මට්ටමක. ඊට පස්සේ ආර්ථිකය ඒ මට්ටමේ දිගටම තියෙනවා. ඒක ස්ථායී තත්වයක්. IMF ණය ලැබෙන එක වගේ උදවුවක් නොලැබුණොත් ඔය ඉන්න තත්ත්වයේ ඉඳලා නැවත ටිකෙන් ටික ඔලුව උස්සන්න වෙනවා. හැබැයි ආර්ථිකය ඔයිට වඩා තව වැටෙන්නේ නැහැ. 

ඔය කිවුවේ දළ දේශීය නිෂ්පාදිතය ගැන. දැන් කියන විදිහට මේ අවුරුද්දේ 10%කින් වගේ ආර්ථිකය හැකිළෙනවනේ. IMF උදවු නොලැබුණොත් ඕනෑනම් උපරිම වශයෙන් තව 5%-10%කින් ආර්ථිකය හැකිලෙයි. එහෙම 15%-20%කින් ආර්ථිකය හැකිලුනත් එයින් කියැවෙන්නේ 2014-2015 මට්ටම කියන එක. ආර්ථිකයේ ප්‍රමාණය 2014-2015 මට්ටමට වැටෙනවා කියන්නේ කිසිසේත්ම ලෝක විනාසය නෙමෙයි. 

ඊළඟට අපි උද්ධමනය දිහා බලමු. උද්ධමනය ඇත්තටම මේ වෙද්දීත් පාලනය වෙලා ඉවරයි. IMF උදවු නොලැබුණත් ලබන අවුරුද්දේ මැද වෙද්දී උද්ධමනය විශාල ලෙස අඩු වෙනවා. ඒ එක්කම පොලී අනුපාතික වුනත් ටිකක් අඩුවෙයි. 

දැනට ක්‍රියාත්මක රජයේ සාර්ව ආර්ථික වැඩපිළිවෙල අනුව 2024 සිට ප්‍රාථමික ශේෂය අතිරික්තයක් වෙනවා. 2023දී  අපේක්ෂිත ප්‍රාථමික හිඟය වුනත් ලොකු එකක් නෙමෙයි. ඒ කියන්නේ, රජයේ වියදම් සඳහා ණය ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ණය ගන්න වෙන්නේ දැනට අරගෙන තියෙන ණය හා පොලී ගෙවන්න පමණයි. ඒක වෙළඳපොළට පීඩනයක් නෙමෙයි. එළියට දමන සල්ලි ටික පමණක් නැවත ආපසු ණයට ගන්නවානම් සල්ලි අච්චු ගහන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා, උද්ධමන ප්‍රශ්නයක් එන්නේ නැහැ. පොලී අනුපාතික වුනත් ක්‍රමක්‍රමයෙන් පහළ යනවා. හැබැයි ගොඩක් අඩු නොවෙන්න පුළුවන්. 

ඔය ප්‍රශ්න ඔය විදිහට විසඳුනත් ඩොලර් ප්‍රශ්නයනම් එහෙම ලේසියෙන් විසඳෙන්නේ නැහැ. ඒක වෙන්න ඉඩ සැලැස්විය හැකි එකම ස්වභාවික යාන්ත්‍රනය සංචාරක ඉපැයීම් විශාල ලෙස වැඩිවීම පමණයි. සංචාරක ඉපැයීම් ක්‍රමක්‍රමයෙන් මිස හදිසියේ වැඩි වෙන එකක් නැහැ. ඒ නිසා, IMF උදවු නොලැබුණොත්, මහ බැංකුවට දැන් වගේම ඩොලර් එක හිරකරගෙන ඉන්න වෙනවා. ආනයන සීමා එලෙසම පවත්වා ගන්න වෙනවා. ඒ හැරුණු විට රට දැන් දුවනවා වගේ දුවනවා. 

මේ කියපු තත්ත්වය යටතේ, ඒ කියන්නේ IMF සල්ලිත් නැති, විදේශ ණය හා පොලී ගෙවන්නෙත් නැති, ඩොලර් එක හිර කර ගෙන ආනයන සීමා කරගෙන ඉන්න තත්ත්වයක් යටතේ වුනත්, දේශීය ණය ආපසු ගෙවීමේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. බැංකු කඩා වැටෙන්නෙත් නැහැ. හැබැයි මිනිස්සු කලබල වීම නිසා හෝ වෙනත් හේතු නිසා බැංකු වැටෙන්න පුළුවන්.

දැන් ඔය මම කියපු සේරම දේවල් ටික IMF එකේ සහ වෙනත් ජාත්‍යන්තර සංවිධාන වල ඉන්න විශ්ලේෂකයින්ටත් තේරෙනවා. ලංකාවට ණය දීලා තියෙන අයටත් තේරෙනවා. ඒ කියන්නේ, තමන්ගේ ණය ආපසු නොගෙවා ලංකාවට ඇදගෙන යන්න පුළුවන් කියන එක ඔය හැමෝටම තේරෙනවා. 

මේක ලංකාවට වාසියක්. ඔය වාසිය ලංකාවට ලැබෙන්නේ අයවැය හිඟය පාලනය කර ගැනීමේ සැලසුම නිසා. එහෙම කළේ නැත්නම් ලංකාවට අයවැය හිඟය පියවන්න තව විදේශ ණය ගන්න වෙන බවත්, එහෙම තව ණය ගන්නනම් කලින් ගත් ණය පිළිවෙලට ගෙවාගෙන යන්න වෙන බවත් කාට වුනත් තේරෙනවා. නමුත් දැන් තත්ත්වය වෙනස්. 

ලංකාවට ණයහිමියන් එක්ක හෙට්ටු කිරීමේදී මේ තත්ත්වයේ වාසිය ගන්න පුළුවන්. ඒ වගේම, ගෙවාගන්න බැරි තරම් ණය ගොඩ ගහගත්ත එක ලංකාවේ පැත්තෙන් කරගත් වැරැද්දක් වෙනවා වගේම, ණය දුන්න අය එහෙම කරලා තියෙන්නේත් අවදානමක් අරගෙන. විශේෂයෙන්ම වාණිජ ණය වල පොලිය නිර්ණය වෙලා තියෙන්නේ ණය ආපසු නොලැබීමේ අවදානමත් එකතු වෙලා. ඒ නිසා, මේ වෙලාවේ ලංකාව වගේම ණය දුන්න අයත් ඉන්නේ වාසිදායක තත්ත්වයක නෙමෙයි. 

මම කලින් ලිපියකත් කිවුවා වගේ IMF එක කියන්නේ ලංකාවට කෙළවන්න බලාගෙන ඉන්න සංවිධානයක් නොවනවාක් මෙන්ම කොහොම හරි ලංකාව ගොඩදාන්න බලාගෙන ඉන්න සංවිධානයකුත් නෙමෙයි. ලංකාවට උදවුවක් කරන අතරම ලංකාවට ණය දුන් ණයකාරයින්ගේ ණය ටික ආපහු බේරලා අරන් දෙන එකත් IMF එකේ ප්‍රධාන ඉලක්කයක්. 

දුන්න ණය ආපහු ගන්නනම් ලංකාවට තව ණය දෙන්න වෙන බව IMF එක හොඳාකාරව දන්නවා. ණය දීලා තියෙන අයත් දන්නවා. ඒ නිසා, ලංකාවට උදවු කිරීමේ අරමුණ කොහොම වෙතත්, තමන්ගේ ණය ටික ආපහු ගැනීමේ අරමුණින් ඔය හැමෝම ණය ප්‍රතිව්‍යුහගත කරන එකට කැමති වෙලා, ඊට අමතරව තව ණය ටිකකුත් දෙයි කියන එක තමයි මගේනම් අදහස. මොකද මේ වෙලාවේ එහෙම නොකළොත් ලංකාව වගේම ඔය ණය දීලා තියෙන හැම කෙනෙක්මත් පරාදයි.

ගොඩක් වෙලාවට ලබන අවුරුද්දේ පළමු කාර්තුවේදී ඔය වැඩේ වෙන්න ඉඩ තියෙනවා. එහෙම වුනා කියලා ලංකාවට නැවත රාජපක්ෂ දශකයේ 2010-2012 කාලයේදී වගේ ණයට කන්න ලැබෙන්නේ නැහැ. උපරිම වශයෙන් කරන්න පුළුවන් වෙන්නේ අලුත් ණය වලින් පරණ ණය හා පොලිය ගෙවාගෙන යන එකයි. ඒ කියන්නේ මේ වැඩේ අපේක්ෂිත විදිහට වුනත්, ආනයන වෙනුවෙන් වැය කරන්න වෙන්නේ උපයන ඩොලර්ම තමයි.

ඒ කියන්නේ කලින් විස්තර කළ තත්ත්වයයි, මේ තත්ත්වයයි අතර වෙනසක් නැද්ද? එහෙමනම් IMF යන එකේ තියෙන ප්‍රයෝජනය මොකක්ද?

නැවතත් ණයට කන්න බැරි වුනත් මේ වැඩෙන් ක්ෂණිකව රටේ විදේශ අංශය ස්ථාවර වෙනවා. මහ බැංකුවට ආනයන සීමා අයින් කරන්න පුළුවන් වෙනවා. හැබැයි ඒ එක්කම ඩොලරය පා කරන්නත් වෙනවා. 

එහෙම කළාම ඩොලර් එක කීයට යයිද? ගොඩක් වෙලාවට IMF ඩීල් එක සීල් වුනාට පස්සේ තව ඩොලර් බිලියනයක දෙකක ණය ලැබෙන්න ඉඩ තිබෙනවා. තියෙන ඉහළ පොලී එක්ක රජයේ භාණ්ඩාගාර බිල්පත් වලට වුනත් ආයෝජන එන්න පුළුවන්. ඒ නිසා, විණිමය අනුපාතයේ විශාල වෙනසක් වෙන එකක් නැහැ කියන එකයි මගේ අදහස. අනෙක් එක ඔය වැඩේ සිදු වුනු ගමන් උන්ඩියල් ඉල්ලුමත් නැති වෙනවා. 

මේකෙන් වෙන ලොකුම වාසිය ආර්ථිකය එක පාරටම 10%කින් පමණ වර්ධනය වෙන එක. ඒ කියන්නේ රට නැවත 2019 හිටපු තැනට යන එක. මේ වැඩේ බොහෝ විට වෙනවා.

කවදාවත් තිබිලා නැති 10%ක ආර්ථික වර්ධනයක් කිවුවහම ගොඩක් අය "පිස්සුද හලෝ?" කියලා අහන්න පුළුවන්. නෑ. මේක පහසුවෙන්ම විය හැකි දෙයක්. හේතුව මම පැහැදිලි කරන්නම්.

ආර්ථිකයක් 1%කින් වුනත් වර්ධනය කරන එක අමාරු වැඩක්. ඒ සඳහා, එක්කෝ ප්‍රාග්ධනය සහ ශ්‍රම දායකත්වය වැඩි වෙන්න ඕනෑ. ඔය දෙකටම වැඩිය ඵලදායීත්වය වැඩි වෙන්න ඕනෑ. 

අපි හිතමු වී නිෂ්පාදනය ගැන. එක්කෝ කුමුරු ප්‍රමාණය සහ වී ගොවීන් ගණන වැඩි වෙන්න ඕනෑ. එහෙමත් නැත්නම් කුඹුරු අක්කරයකින් ලැබෙන අස්වැන්න වැඩි වෙන්න ඕනෑ. ධීවර කර්මාන්තය වගේ එකක් ගත්තත් එහෙමයි. එක්කෝ බෝට්ටු ගණන සහ ධීවරයින් ගණන වැඩි වෙන්න ඕනෑ. නැත්නම් මාළු අල්ලන තාක්ෂනය දියුණු වෙන්න ඕනෑ.

ලංකාවේ ආර්ථිකය 10%කින් විතර වර්ධනය වෙන්න පුළුවන් ඔය කොයි එකෙන්ද?

ඔය කියපු කතාව අදාළ වෙන්නේ ආර්ථිකයක් කලින් නොතිබුණු මට්ටමකට වර්ධනය වෙද්දී. දැන් වෙනවානම් වෙන්න යන්නේ එහෙම දෙයක් නෙමෙයි. හරියටම ඇස්තමේන්තුවක් නැතත් 2022 වසරේදී ආර්ථිකය 10%කින් සංකෝචනය වෙලා කියා කියනවනේ. ඒ කියන්නේ, 2021 තිබුණු මට්ටමට වඩා 10%කින් 2022 ආර්ථිකය කුඩා වෙලා. මොනවා හෝ හේතු ටිකක් නිසා ඔය වැඩේ වුනානේ. හේතුත් අපි නොදන්නවා නෙමෙයිනේ. හැබැයි ඒ කියන දෙයින්ම අදහස් වෙන්නේ 2022 ආර්ථිකයට වඩා 10%ක් විශාල ආර්ථිකයක් 2021 වසරේදී රටේ තිබුණා කියන එක. 

ඔය විදිහට 2021දී තිබුණු, අපි හොඳටම දන්නා ආර්ථිකය ඒ විදිහට තිබුණේ අවශ්‍ය ශ්‍රමය, ප්‍රාග්ධනය හා ඵලදායීත්වය රටේ තිබුණු නිසා. යම් යම් බාධා නිසා නිෂ්පාදනය අඩු වී තිබුණත් ඒ තිබුණු ශ්‍රමය, ප්‍රාග්ධනය හා ඵලදායීත්වය තවමත් රටේ තියෙනවා. ඒ නිසාම අර බාධාවන් ටික ඉවත් වුනු ගමන් ආර්ථිකය නැවත 2021 මට්ටමට එනවා. මේක අලුතෙන්ම 1%ක වර්ධනයක් ලබා ගන්නවා වගේ දෙයක් නෙමෙයි.

මීට කලින් 2021දී 3%ක විතර ආර්ථික වර්ධනයක් ආවෙත් ඔය විදිහට. 2020දී ලොක්ඩවුන් ආදිය නිසා අඩුවුණු 3% නැවත ආවා. ඔය විදිහටම 2022දී 10%ක් අඩු වෙලානම්, ඒ 10% නැවත වැඩි වෙන එක අරුම පුදුම දෙයක් නෙමෙයි. මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ වගේම මහ බැංකුවත් ඉහළ ආර්ථික වර්ධන වේගයක් ගැන කතා කරන්නේ ඔය කතාව දන්න නිසා. 

මේ විදිහට 2022දී අඩුවෙන ටික ඔක්කොම 2023දී ආපහු වැඩිවෙයි කියා උපකල්පනය කර තියෙන්නේ මේ අවුරුද්ද අන්තිමේදී IMF සල්ලි ලැබෙයි කියන උපකල්පනය මත. මගේ අදහසනම් ඒ වැඩේ ටිකක් කල් යන්න පුළුවන් කියන එක. ඒ නිසාම 2022දී කුඩා වෙන ආර්ථිකය නැවත තිබුණු මට්ටමට එන්න 2024 පමණ වෙන්න පුළුවන්. කොහොම වුනත්, මේ ක්‍රමයට ගියොත් 2023 අවසන් වෙද්දී හෝ 2024 මුලදී රට නැවත 2019 හිටපු තැනට එනවා.

දැන් ඔය කියපු දෙවන තත්ත්වය අපේක්ෂා කළ හැකි හොඳ තත්ත්වයක්. කලින් කියපු එක ඊට වඩා  අසීරු තත්ත්වයන් යටතේ අපේක්ෂා කළ හැකි දෙයක්. ඔය දෙකේ ප්‍රධාන වෙනස හැකිළෙන ආර්ථිකය නැවත තිබුණු මට්ටමට එනවද නැද්ද කියන එක. ඔය දෙකෙන් කොයි එක වුනත්, 2023 මැද වෙද්දී උද්ධමනය විශාල ලෙස අඩු වෙනවා. පොලී අනුපාතිකත් යම් තරමකින් හෝ අඩු වෙනවා. බැංකු කඩා වැටෙන්නේ නැහැ. භාණ්ඩාගාර බිල්පත් වල හා ස්ථිර තැන්පතු වල දමපු සල්ලි නොලැබී යන්නේ නැහැ.

දැන් මම අසුබවාදී පැත්ත ගැනත් කතා කරන්නම්. ඔය කලින් කියපු දේවල් ඔය විදිහට වෙන්නේ රාජ්‍යමූල්‍ය ඉලක්ක කියා තිබෙන විදිහට ඉටු කර ගත්තොත්. විශේෂයෙන්ම බදු ආදායම් අපේක්ෂිත මට්ටමට ලැබුණොත්. රජයේ වියදම් වැඩි නොවුනොත්. රජයේ වියදම්නම් වැඩි වෙන එකක් නැහැ කියා මම හිතනවා. නමුත් බදු ආදායම් ඉලක්ක ගැනනම් මට තියෙන්නේ අවිනිශ්චිත භාවයක්. 

ඔය බදු ආදායම එකතු කරගන්න මාස් පඩි ගන්න අයගෙන් විතරක් බදු එකතු කරලා මදි. බදු ගෙවිය යුතු ආදායම් ලබන සියල්ලන්ගෙන්ම හරියට බදු එකතු කර ගත යුතුයි. ඒ වගේම, බදු නොගෙවා පොලු තියපුවා එකතු කරගත යුතුයි. පාඩු ලබන රාජ්‍ය ආයතන වල පාඩු නැති වෙන පරිදි මිල සංශෝධනය විය යුතුයි. අවශ්‍ය ප්‍රතිව්‍යුහගත කිරීම් සිදු විය යුතුයි. පොලී අනුපාතික උද්ධමනයට කලින් වැට නොපැනිය යුතුයි. තව සල්ලි අච්චු නොගැසිය යුතුයි. 

ඔය දේවල් ඔය විදිහට සිදු නොවී තව තව සල්ලි අච්චු ගැහුවොත්, උද්ධමනය අපේක්ෂිත පරිදි අඩු වෙන්නේ නැහැ. උද්ධමනය හැදෙන්න කාලයක් ගත වන නිසා 2023 මැද වෙද්දී උද්ධමනය කොහොමටත් අඩු වෙයි. හැබැයි වසර අවසන් වෙද්දී හරි 2024 මුල වෙද්දී හරි නැවත හිස ඔසොවයි. 

සල්ලි අච්චු ගැහිල්ල පටන් ගන්න කොටම මූල්‍ය වෙළඳපොළ හසුරුවන අයට ඔය ටික තේරෙනවා. ඒ නිසා, පොලී අනුපාතික අඩු වෙන්නේ නැහැ. පොලී අනුපාතික අඩු වුනේ නැත්නම් රජයට කලින් සැලසුම් කළ පරිදි අයවැය බැලන්ස් කරගන්න බැරි වෙනවා. තව තව සල්ලි අච්චු ගහන්න වෙනවා. තවමත් විවෘතව තිබෙන ඒ පාරේ ගියොත්, රුපියල නැත්තටම නැති වෙලා වුනත් නවතින්න පුළුවන්. ඒ අවදානම තවමත් ඒ විදිහටම තියෙනවා. ඒක නොවෙන්නනම් රජය පැත්තෙන් අවශ්‍ය ප්‍රතිසංස්කරණ ටික හරියට වෙලාවට සිදු විය යුතුයි. 

ඩොක් බ්‍රවුන් කියපු විදිහට, "It means your future hasn't been written yet.". ඔබේ අනාගතය කොහේවත් ලියැවී නැහැ. මේ මොහොතේත් එය ලියැවෙමිනුයි තියෙන්නේ. මේ සටහනට ඔබ දමන්නට ඉඩ තිබෙන ප්‍රතිචාරය වුනත් බොහෝ දෙනෙකු විසින් සාමූහිකව ලියන ඔබේම අනාගතය. 

Wednesday, November 30, 2022

උද්ධමනය මනින හැටි

උද්ධමනය මනින්නේ කොහොමද? කොළඹ පාරිභෝගික මිල දර්ශකය හා ජාතික පාරිභෝගික මිල දර්ශකය අතර වෙනස කුමක්ද? මේ දර්ශක වල තිබෙන භාණ්ඩ හා සේවා මොනවාද? උද්ධමනය මනින්න මිල ගණන් එකතු කර ගන්නේ කොහෙන්ද? "මහ පොළොවේ උද්ධමනය" වඩා නිවැරදිද?

#ඉකොනොමැට්ටා




උද්ධමනය තවත් පහළ වැටේ!


කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගෙවුණු 2022 නොවැම්බර් මාසයේදී උද්ධමනය 61.0% දක්වා පහත වැටී තිබෙනවා. සැප්තැම්බර් මාසයේදී මෙම අගය 69.8% මට්ටමේ පැවති අතර ඔක්තෝබර් මාසයේදී 66.0% දක්වා පහත වැටුණා. මේ අනුව, පසුගිය දෙමස තුළ කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වන උද්ධමනය ප්‍රතිශතාංක 8.8%කින් පහත වැටී තිබෙනවා. 

උද්ධමනය අඩු වීම යනු බඩු මිල වැඩි වීමේ වේගය අඩුවීමක් මිස බඩු මිල අඩු වීමක් නොවූවත්, පසුගිය දෙමස තුළම බඩු මිලද අඩු වී තිබීම විශේෂත්වයක්. සමස්තයක් ලෙස කොළඹ බඩු මිල පෙන්වන කොළඹ පාරිභෝගික මිල දර්ශකය ඔක්තෝබර් මාසයේදී 0.4%කින් හා නොවැම්බර් මාසයේදී තවත් 0.5%කින් පහත වැටී තිබෙනවා. 

ආහාර මිල දර්ශකයේ පහත වැටීම පිළිවෙලින් 2.0%ක් හා 1.5%ක්. මේ අනුව, සැප්තැම්බර් මාසයේදී 94.9%ක් වූ ආහාර උද්ධමනය නොවැම්බර් වන විට 73.7% දක්වාම පහත වැටී තිබෙනවා. ආහාර නොවන උද්ධමනයද 54.5% දක්වා පහත වැටී තිබෙනවා. 

නොවැම්බර් මාසය තුළ හාල්, තිරිඟු පිටි, පාන්, පරිප්පු, සීනි, කුකුළු මස්, මාළු, පළතුරු, එළවළු ආදී ආහාර ද්‍රව්‍ය ගණනාවක මිල ගණන් පහත වැටී තිබෙනවා. ආහාර නොවන කාණ්ඩයේ ඉන්ධන මිල පහත ගොස් ඇතත්, ඇඳුම්, පාවහන්, මත්පැන් හා දුම්වැටි, උසස් අධ්‍යාපන පාඨමාලා ගාස්තු, වෛද්‍යවරුන්ගේ චැනල් ගාස්තු හා ෆාමසි වලින් ගන්නා බෙහෙත් මෙන්ම හෝටල් ගාස්තු ආදියේ මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ නිසා, ආහාර නොවන උද්ධමනය සුළු වශයෙන් අඩු වී ඇතත් සමස්තයක් ලෙස මිල ගණන් අඩු වී නැහැ. 

ඇතැම් අයගේ විශ්ලේෂණ අනුව පසුගිය මාසයේ උද්ධමනය අඩුවීම අහම්බයෙන් සිදු වූ සුළු අඩුවීමක් මිස මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමේ ප්‍රතිඵලයක් නෙමෙයි. එය එසේ නොවන බව නොවැම්බර් මාසයේදී උද්ධමනය තවදුරටත් අඩු වීමෙන් පැහැදිලිව පේනවා.

Monday, November 28, 2022

ඵලදා වක්‍රය, ද්‍රවශීලතාව හා පොලී අනුපාතික


අතේ කීයක් හරි සල්ලි තියෙන අය අහන පොදු ප්‍රශ්නයක් ගැන කලින් සටහනෙනුත් කතා කළානේ. 

"මගේ අතේ අමාරුවෙන් එකතු කර ගත්ත ලක්ෂ දහයක් තියෙනවා. මම මේ කල්පනා කරන්නේ මේ සල්ලි මාස තුනකට FD දානවද නැත්නම් අවුරුද්දකට දානවද කියලා...."

ඕක තමයි ප්‍රශ්නයේ පොදු ආකෘතිය. මේ ප්‍රශ්නය ඇතුළේ තිබෙන සැඟවුණු ප්‍රශ්නය ඉදිරි කාලයේදී පොලී අනුපාතික අඩු වෙයිද කියන එක. 

අද 25% පොලියට අවුරුද්දකට සල්ලි දමලා මාස තුනකින් ඔය පොලී අනුපාතය 30% වුනොත්, අද ගත්ත තීරණය ගැන පසුතැවීමක් ඇති වෙනවනේ. ඔය විදිහටම, අද අද 25% පොලියට අවුරුද්දකට සල්ලි දමන්න පුළුවන්කම තියෙද්දී මාස තුනකට සල්ලි දමලා තව මාස තුනකින් පොලිය 20% වුනොත්, ඒත් හිතෙනවනේ අපරාදේ කියලා. ප්‍රශ්නයේ පසුබිම ඕකයි.

එහෙමනම්, පොලී අනුපාතික වලට කුමක් වෙයිද? ඒ ගැන කාගෙන් හරි දන්න කියන කෙනෙක්ගෙන් අහලා අදහසක් ගත්තොත් පස්සේ ඔය වගේ පසුතැවීම් වෙන එක වලක්වා ගන්න පුළුවන් වෙන එකක් නැද්ද?

සරල හා කෙටි පිළිතුර "නෑ" කියන එකයි. ඒ ඇයි?

පොඩ්ඩක් ඔය ගණුදෙනුවේ අනෙක් පැත්තේ ඉන්න කෙනාගේ සපත්තුවට බැහැලා බලන්න. ඔබ ණය දෙන්නෙක්නම් ගනුදෙනුවේ අනෙක් පැත්තේ ඉන්නේ ණය ගන්නෙක්. පොලී අනුපාතික අඩු වෙන්න යනවානම්, වැඩි කාලයකට වැඩි පොලියකට සල්ලි ණයට දෙන එක (සල්ලි බැංකුවේ දමනවා කියන්නේ බැංකුවට සල්ලි ණයට දීමක්) ඔබට ලාබයි. නමුත් බැංකුවට (ණය ගන්නා පුද්ගලයාට හෝ ආයතනයට) පාඩුයි. ඔබට ලාබ ගන්න ඉඩ දී බැංකුව පාඩු කර ගනියිද?

බැංකුවක් පාඩුවට ණය දෙන්නේ නැහැ වගේම ණය ගන්නෙත් නැහැ. ගොඩක් වෙලාවට ඔබට බැංකුවකින් ලැබෙන පොලී අනුපාතිකය ණය ඉල්ලුම හා ණය සැපයුම සමතුලිත වන පොලී අනුපාතිකයයි. එක් එක් කල් පිරීම් සඳහා ණය ඉල්ලුම හා ණය සැපයුම වෙනස් වෙන ආකාරය අනුව පොලී අනුපාතිකත් වෙනස් වෙන්න පුළුවන්. 

ඉදිරියේදී පොලී අනුපාතික අඩු වෙන්න යන බව ගොඩක් අයට පේනවානම් වැඩි කාලයකට සල්ලි දමන්න යද්දී ලැබෙන පොලී අනුපාතිකත් අඩු වෙනවා. ඒ නිසා, කෙටිකාලීනව සල්ලි දමනවාද නැත්නම් දිගුකාලීනව දමනවාද කියන එකේ විශාල වෙනසක් නැහැ. එය තීරණය වෙන්නේ බොහෝ දුරට ඔබේ පෞද්ගලික අවශ්‍යතා හා රුචිකත්වයන් මතයි.

බැංකු වල පොලී අනුපාතික තීරණය කරන්නේ අදාළ බැංකු වල නිලධාරීන් විසින්. හැබැයි ඔවුන් ගොඩක් වෙලාවට මේ වැඩේ කරන්නේ භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ දිහා බලාගෙන. පොලී අනුපාතික වල දිශානතිය මූලික වශයෙන්ම තීරණය වෙන්නේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වෙළඳපොළ තුළයි. 

පහළ තියෙන්නේ පසුගිය (2022) නොවැම්බර් 23 දිනෙන් අවසන් වූ සතියේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ද්වීතියික වෙළඳපොළ ඵලදා (පොලී) අනුපාතික.

මාස 3 31.25%

මාස 6 28.55%

මාස 12 28.36%

වසර 2 26.22%

වසර 3 27.82%

වසර 4 27.18%

වසර 5 27.60%

වසර 6 26.99%

වසර 8 26.87%

වසර 10 27.59%

වසර 15 25.33%

වසර 20 22.83%

වසර 30 21.44%

මේ පොලී අනුපාතික වලින් කියැවෙන්නේ කුමක්ද? පළමුව, දැන් තිබෙන පොලී අනුපාතික ක්‍රමයෙන් අඩු වීමට නියමිත බව. දෙවනුව, පොලී අනුපාතික එසේ අඩු වුනත්, තව දුරටත් සැලකිය යුතු ඉහළ මට්ටමක පවතිනු ඇති බව.

හැබැයි මතක තියාගන්න මේ තියෙන්නේ පොලී අනුපාතික පිළිබඳව මම කරන පුරෝකථනයක් නෙමෙයි. භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ද්වීතියික වෙළඳපොළ ගනුදෙනු කරන අය මේ මොහොතේ හිතන විදිහ. මේ ගොඩේ ඉන්නේ සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා වැඩිය මූල්‍ය වෙළඳපොළ ගැන දැනුවත් ලොකු සල්ලි කාරයෝ හෝ ආයතන කියන එකත් අපට අමතක කරන්න බැහැ. 

මේ පොලී අනුපාතික වලින් නිරූපණය වෙන්නේ මූල්‍ය වෙළඳපොළ ගැන දැනුවත් ලොකු සල්ලි කාරයෝ හෝ ආයතන හිතන විදිහ වුනත්, ඒ හේතුව නිසාම මේ හිතන විදිහා සියයට සියයක් නිවැරදි බව අදහස් වෙන්නේ නැහැ. කාට වුනත් නිගමන වලට පැමිණිය හැක්කේ දැනට තිබෙන තොරතුරු මත පදනම්වයි. කලින් දැන නොසිටි අලුත් තොරතුරක් හමු වූ විට පරණ නිගමන වෙනස් වෙනවා.

ඉහත ඉදිරිපත් කර තිබෙන භාණ්ඩාගාර බිල්පත් හෝ බැඳුම්කර කල් පිරීමේ කාලය හා පොලී (ඵලදා) අනුපාතික අතර සම්බන්ධය පෙන්වන ප්‍රස්ථාරයකට තමයි ඵලදා වක්‍රය කියා කියන්නේ. අලුත් තොරතුරු ලැබෙද්දී ඵලදා වක්‍රය වෙනස් වෙනවා. මේ අලුත් තොරතුරු මහ බැංකුවේ හෝ රජයේ තීරණයක්, ජාත්‍යන්තර සිදුවීමක් හෝ රට ඇතුළේ සිදුවන දේශපාලන පෙරළියක් වැනි ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. නමුත්, මේ මොහොතේ තිබෙන තොරතුරු මත පදනම්ව විශ්ලේෂණය කළොත්, පොලී අනුපාතික වල දිශානතිය පිළිබඳ හොඳම විශ්ලේෂණය තියෙන්නේ ඵලදා වක්‍රය ඇතුළේ කියා කියන්න පුළුවන්. 

මේ මොහොතේ දැකිය හැකි ඵලදා වක්‍රයෙන් කියැවෙන්නේ කුමක්ද? 

ඔබේ අතේ සල්ලි තිබේනම් ඔබට වසර 30ක කාලයක් යන තුරුම වුවත් 21.44%ක වාර්ෂික පොලියක් ලබා ගැනීමේ අවස්ථාව තිබෙන බවයි. භාණ්ඩාගාර බැඳුම්කර වල ආයෝජනය කර ඒ මට්ටමේ පොලියක් ලබා ගත හැකිනම් බැංකුවක් කීයටවත් ඊට වඩා අඩු පොලියකට ණය දෙන්නේ නැහැ. 

මේ මොහොතේ දැකිය හැක්කේ පහළට නැඹුරු වූ ඵලදා වක්‍රයක්. එය සාමාන්‍ය තත්ත්වය නෙමෙයි. බොහෝ විට දැකිය හැක්කේ ඉහළට නැඹුරු වූ ඵලදා වක්‍රයක්. පහළින් තියෙන්නේ 2022 මාර්තු 2 දිනෙන් අවසන් වූ සතියේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ද්වීතියික වෙළඳපොළ ඵලදා වක්‍රය.

මාස 3 8.50%

මාස 6 8.61%

මාස 12 8.76%

වසර 2 9.58%

වසර 3 10.96%

වසර 4 12.15%

වසර 5 12.34%

වසර 6 12.38%

වසර 8 12.61%

වසර 10 12.73%

වසර 15 12.77%

වසර 20 12.45%

වසර 30 12.08%

මේ විදිහට තිබුණු ඵලදා වක්‍රය සති පහකට පසුව, එනම් 2022 අප්‍රේල් 6 දිනෙන් අවසන් වූ සතිය වෙද්දී වෙනස් වී තිබුණේ මේ විදිහටයි. 

මාස 3 12.25%

මාස 6 12.21%

මාස 12 12.50%

වසර 2 13.16%

වසර 3 14.49%

වසර 4 14.77%

වසර 5 14.88%

වසර 6 15.10%

වසර 8 15.55%

වසර 10 15.46%

වසර 15 15.67%

වසර 20 15.70%

වසර 30 15.74%

මම හිතන්නේ හැම කල් පිරීමේ කාලයක් සඳහාම පොලී අනුපාතික වල 2.50%-3.75% අතර වැඩිවීමක් සිදු වී ඇති බව කාට වුනත් පැහැදිලිව පේනවා. මේ වැඩිවීමට එක් හේතුවක් වුනේ මාර්තු 4 වනදා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික 6.5%-7.5% මට්ටම දක්වා 1%කින් වැඩි කිරීම. ඩොලර් පෙග් එක රුපියල් 200 මට්ටමේ තියා ගන්න බැරුව අත අරින්න වුනෙත් ඔය කාලය ඇතුළතයි. ඊට අමතරව අරගලය පටන් ගත්තෙත් ඔය කාලය ඇතුළත. මේ සියල්ල සිදුවුනේ වත්මන් මහ බැංකු අධිපති විසින් ධුරය භාර ගන්න කලින්. 

අලුත් අධිපති විසින් වැඩ භාරගත් වහාම (අප්‍රේල් 8) මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික 13.5%-14.5% දක්වා 7%කින් වැඩි කළා. ඒ අප්‍රේල් 8 වනදා. ඊට පස්සේ ජූලි 6 වනදා තවත් 1%කින් වැඩි කළා. ඒ කියන්නේ දැන් තිබෙන 14.5%-15.5% මට්ටම දක්වා. සමහර විට මුල් වැඩි කිරීම කරන්න ඇත්තේ ඒ වෙද්දී තිබුණු ද්වීතියික වෙළඳපොළ ඵලදා වක්‍රය දිහා බලාගෙන. ඒ වෙද්දී වසර 2-3 අතර කල් පිරෙන බැඳුම්කර වල ඵලදා අනුපාතික තිබුණේ ඔය කිට්ටුව. සාමාන්‍යයෙන් මුදල් ප්‍රතිපත්ති වලින් ඉලක්ක කරන්නෙත් ඔය වගේ කාලයක්. පහළින් තියෙන්නේ 2022 අප්‍රේල් 20 දිනෙන් අවසන් වූ සතියේ ඵලදා අනුපාතික.

මාස 3 19.71%

මාස 6 20.25%

මාස 12 21.24%

වසර 2 20.41%

වසර 3 20.88%

වසර 4 22.14%

වසර 5 22.41%

වසර 6 22.65%

වසර 8 23.97%

වසර 10 23.78%

වසර 15 22.81%

වසර 20 19.67%

වසර 30 15.78%

වසර 15 දක්වා කල් පිරීම් කාල දිහා බැලුවොත් ඵලදා අනුපාතික වල 7%-8%ක පමණ ඉහළ යාමක් දකින්න පුළුවන්. මේ වැඩිවීම ප්‍රතිපත්ති පොලී අනුපාතික වල ඉහළ යාමට ආසන්නව සමානයි. 

අලුත් අධිපති ඇවිත් ප්‍රතිපත්ති පොලී අනුපාතික 7%කින් වැඩි කළාට පස්සේ මහ බැංකුවේ  ප්‍රතිපත්ති පොලී අනුපාතික හා ද්වීතියික වෙළඳපොළ පොලී අනුපාතික අතර ඒ වෙද්දී හැදී තිබුණු 6%-8% මට්ටමේ පරතරය නැති වුනේ නැහැ. ඒ වෙනුවට සිදු වුනේ, ඒ පරතරය ඒ විදිහටම තියෙද්දී ඵලදා වක්‍රය 7%-8%කින් පමණ ඉස්සුණු එකයි. ඒ කියන්නේ ද්වීතියික වෙළඳපොළ ඵලදා අනුපාතික 7%-8%කින් පමණ ඉහළ ගිය එකයි. එහෙම වුනේ ඇයි?

මෙයට හේතුව අලුත් අධිපති වැඩ භාර ගනිද්දී රුපියල් බිලියන 660.5ක දැවැන්ත ද්‍රවශීලතා හිඟයක් තිබීම. ද්‍රවශීලතා හිඟයක් කියා කියන්නේ කුමක්ද? කෙටියෙන් කිවුවොත් ණය ඉල්ලුම සැපිරීම සඳහා ණය සැපයුම ඉක්මවා ණය සැපයීමේ ප්‍රතිඵලය. වෙනත් විදිහකින් කිවුවොත් බැංකු විසින් නැති සල්ලි ණයට දීම.

ද්‍රවශීලතා හිඟයක් හිඟයක් ඇති වීමට ප්‍රධානම හේතුව පොලී අනුපාතික ඕනෑවට වඩා අඩු වීම. පොලී අනුපාතික ඕනෑවට වඩා අඩු බව කිව හැකි නිර්ණායකය කුමක්ද? 

මේ නිර්ණායකය වෙළඳපොළ අපේක්ෂාවන්. මාර්තු මාසය අවසානයේදී බැංකු වල ණය පොලී අනුපාතිකය (Average Weighted New Lending Rate) 10.73%යි. ස්ථිර තැන්පතු පොලී අනුපාතිකය (Average  Weighted  New Fixed  Deposit  Rate) 8.06%යි. කොපාමිද අනුව මාර්තු මාසයේ උද්ධමනය 21.5%යි. ජාපාමිද අනුව, උද්ධමනය 17.3%යි. 

උද්ධමනය 17% හෝ 21% මට්ටමේ තියෙද්දී, තවත් වැඩි වෙන බව පැහැදිලිව පෙනෙද්දී, 11%කට අඩු පොලියකට ණය ගන්න ලැබෙනවා කියන්නේ ඉතාම වාසිදායක ඩීල් එකක්. මේ වගේ තත්ත්වයක් යටතේ ණය ඉල්ලුම ඉහළ මට්ටමක තිබීම අහන්න දෙයක් නෙමෙයි. අනෙක් පැත්තෙන්, උද්ධමනය 17% හෝ 21% මට්ටමේ තියෙද්දී, තැන්පතු වෙනුවෙන් 8%ක් ලැබෙනවා කියන්නේ උද්ධමනය නිසා ක්ෂය වන මුදලේ වටිනාකමින් බාගයක්වත් ලැබෙන්නේ නැහැ කියන එක. මේ වගේ තත්ත්වයක් යටතේ මිනිස්සු තවතව ණය ගන්න මිසක් ඉතිරි කරන්න පෙළඹෙන්නේ නැහැ.

ඔය වගේ තත්ත්වයක් යටතේ, ණය ගන්න ප්‍රමාණය ඉහළ යද්දී බැංකු වල සල්ලි එළියට යනවා. නමුත් තැන්පතු විදිහට ඒ සල්ලි නැවත බැංකු පද්ධතිය ඇතුළට එන්නේ නැහැ. මෙහි ප්‍රතිඵලය තමයි කලින් කියපු රුපියල් බිලියන 660.5ක දැවැන්ත ද්‍රවශීලතා හිඟය.

ඔය විදිහට බැංකු "නැති සල්ලි" ණය විදිහට නිකුත් කරන්නේ කොහොමද? මතක තියාගන්න මේ කියන්නේ වාණිජ බැංකු විසින් කරන මුදල් මැවීම ගැන නෙමෙයි. මුදල් මැවීමේදී වෙන්නේ තැන්පතු ලෙස ආපසු බැංකු වෙත එන කලින් දුන් ණයම නැවත ණය විදිහට දෙන එක. මේ කියන්නේ කලින් දුන් ණය නැවත බැංකු වලට ඇවිත් නැති තත්ත්වයක් ගැන.

මේක කළේ මහ බැංකුවෙන් දෛනික පදනම මත ණය අරගනිමිනුයි. මාර්තු අන්තිම වෙද්දී මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික තිබුණේ 6.5%-7.5% මට්ටමේ. 6.5% තැන්පතු පොලිය. 7.5% ණය පොලිය. මහ බැංකුවෙන් 7.5% පොලියට ණය ලැබෙද්දී නැවත එම ණය 11% පමණ පොලියකට දෙන්න බැරිකමක් නැහැනේ. ඒ වගේම, මහ බැංකුවෙන් 7.5% පොලියට ණය ලැබෙද්දී ස්ථිර තැන්පතු වලට 8% වගේ පොලියක් මිසක් ඊට වඩා වැඩි පොලියක් දෙන්න බැංකු පෙළඹෙන්නෙත් නැහැනේ. 

දැන් ඔය වගේ රුපියල් බිලියන 660.5ක විශාල ද්‍රවශීලතා හිඟයක් තියෙද්දී තමයි අලුත් අධිපති පත් වෙලා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික 7%කින් වැඩි කළේ.

පෞද්ගලික අංශයට දුන් ණය වලින් බැංකු විසින් 11%ක පමණ පොලියක් අය කරද්දී, වාණිජ බැංකු විසින් රජයට ණය දීලා 12.5% පමණ පොලියක් ලබා ගත්තා. ඒ විදිහට රජයෙන් 12.5% පමණ පොලියකට මිල දී ගත් භාණ්ඩාගාර බිල්පත් අනෙක් අතට මහ බැංකුවේ ඇපයට තියලා 7.5% පොලියට මහ බැංකුවෙන් ණය ගත්තා. ඒ කියන්නේ, බැංකු විසින් මහ බැංකුවේ සල්ලි රජයට ණයට දීලා කෙළින්ම 5%ක පමණ ලාබයක් තියා ගත්තා. රුපියල් බිලියන 660.5ක ද්‍රවශීලතා හිඟයක් කියන්නේ එයින් 5%ක් ඇස් වහගෙන ලාබ වලට එකතු කර ගන්නවා කියන එක.

බැංකු කඩා වැටෙන එක ගැන ලංකාවේ ගොඩක් අය වද වුනත්, ලංකාවේ බැංකු කියා කියන්නේ පට්ට කාර්යක්ෂම ආයතන නෙමෙයි. බැංකු කරන්නේ ලංකාවේ බැංකු පාරිභෝගිකයාගේ අඩු මූල්‍ය සාක්ෂරතාවයෙන් ප්‍රයෝජන අරගෙන ලාබ හොයන එක. එහෙම නැතුව මේ ආයතන සුළු ආන්තික ලාබයකින් දුවන තරඟකාරී ආයතන නෙමෙයි. අනෙක් රාජ්‍ය ආයතන පාඩු ලබද්දී රාජ්‍ය බැංකු වලට ලාබ ලබන්න පුළුවන් වී තියෙන්නෙත් ඒ නිසා. පෞද්ගලික බැංකු වලින් හරියකට තරඟයක් දෙනවානම් රාජ්‍ය බැංකු වලට ඔය විදිහට පවතින්න බැහැ. නමුත් වෙන්නේ ඒක නෙමෙයි. පෞද්ගලික බැංකුත් රාජ්‍ය බැංකු වගේම අකාර්යක්ෂමතා නඩත්තු කරන එක. 

රාජ්‍ය බැංකු තිබීම පෞද්ගලික බැංකු වලටත් අකාර්යක්ෂම වෙන්න විශාල උදවුවක්. පාරිභෝගිකයාගේ අඩු මූල්‍ය සාක්ෂරතාවය එහෙම අකාර්යක්ෂම වෙලත් ලාබ ලබන්න බැංකු වලට ඉඩ සලසනවා. මිනිස්සු කෙළින්ම භාණ්ඩාගාර බිල්පත් ගන්න පෙළඹුනොත් බැංකු වලට අඩු පොලියට ස්ථිර තැන්පතු විදිහට එකතු කරන සල්ලි අනෙක් අතට භාණ්ඩාගාර බිල්පත් වල දාලා අත උඩින් ලාබ ලබන්න බැහැනේ. නමුත් ඒ වැඩේ වෙනවා. 

මහ බැංකුව 7%කින් ප්‍රතිපත්ති පොලී අනුපාතික වැඩි කරපු ගමන් බැංකු ටික කළේ රජයට ණය දෙන පොලී අනුපාතිකත් වැඩි කරන එක. කලින් මහ බැංකුවෙන් 7.5%ට අරගෙන රජයට 12.5%ට දුන්නා. දැන් මහා බැංකුවෙන් 14.5%ට ගන්න සල්ලි රජයට 19.5%ට දෙනවා. අර 5% ලාබය එහෙම්මයි. 

කොහොම වුනත් මහ බැංකුව පොලී අනුපාතික වැඩි කරපු නිසා එක වැදගත් දෙයක් වුනා. මාර්තු අන්තිම වෙද්දී 8.06% මට්ටමේ තිබුණු ස්ථිර තැන්පතු පොලී අනුපාතික අප්‍රේල් ඉවර වෙද්දී 15.63% මට්ටම දක්වා ඉහළ ගියා. රජයට 19-20% වගේ පොලියකට සල්ලි ණයට දෙන්න පුළුවන්කම තියෙද්දී. මහ බැංකුවෙන් දෛනික පදනමට ගන්න ණය වලටත් 14.5%ක පොලියක් ගෙවන්න වෙලා තියෙද්දී. ඔය වගේ පොලියක් ගෙවලා ස්ථිර තැන්පතු එකතු කර ගන්න එක බැංකු වලට පාඩු නැහැනේ. 

සැප්තැම්බර් අවසන් වෙද්දී බැංකු වල ස්ථිර තැන්පතු පොලිය 22.55% දක්වා වැඩි වෙලා. ඔය වගේ පොලියක් ගෙවලා ගන්න සල්ලි ඊට වඩා අඩු පොලියකට ණයට දෙන්න බැහැනේ. ණය පොලියත් 24.93% දක්වා ඉහළ ගිහින්. ඔය විදිහට තැන්පතු පොලී වැඩි වෙද්දී බැංකු වලට එන තැන්පතු වැඩි වෙනවා. අනෙක් පැත්තෙන් ණය පොලී ඉහළ යද්දී ණය ඉල්ලුම අඩු වෙන නිසා බැංකු වලින් එළියට යන සල්ලි ප්‍රමාණය අඩුයි. ඒ නිසා, සල්ලි බැංකු වල ඉතුරු වෙනවා.  

බැංකු වල සල්ලි ඉතුරු වෙනවා කිවුවට අලුත් මහ බැංකු අධිපති වැඩ භාර ගනිද්දී බැංකු පද්ධතියේ රුපියල් බිලියන 660.5ක විශාල ද්‍රවශීලතා හිඟයක් තිබුණු බව මම කලින්ම කිවුවනේ. ඒ නිසා, බැංකු වල සල්ලි ඉතුරු වෙද්දී වුනේ ඔය ද්‍රවශීලතා හිඟය ටිකෙන් ටික අඩුවෙන එක. අඩු වුනා වුනත් තවමත් තියෙන්නේ හිඟයක්. 

මේ ද්‍රවශීලතා හිඟය දැන් කාලයක සිටම තියෙන එකක්. කලින් අධිපති කබ්රාල් වැඩ භාර ගන්නකොටත් රුපියල් බිලියන 175ක පමණ ද්‍රවශීලතා හිඟයක් තිබුණා. ඔහුගේ කාලය තුළ වුනේ ඔය හිඟය එන්න එන්නම වැඩි වුනු එකයි. ඔය විදිහට ද්‍රවශීලතා හිඟයක් නඩත්තු කරනවා කියන්නෙත් සල්ලි අච්චු ගහනවා වගේම වැඩක්. ලංකාවේ සංචිත මුදල් පිළිබඳ සංඛ්‍යාලේඛණ වලට ද්‍රවශීලතා හිඟය ඇතුළත්ව නැතත් ඇමරිකාව වගේ රටවල සංචිත මුදල් පිළිබඳ සංඛ්‍යාලේඛණ පෙන්නද්දී ඔය ගණනත් එකතු කරනවා. මහ බැංකුව සල්ලි අච්චු ගහලා ස්ථිර පදනමකින් එළියට දැම්මේ නැතත්, හැමදාම හවසට සල්ලි එළියට දමලා උදේට එකතු කර ගන්නවා කියන්නෙත් සල්ලි අච්චු ගහලා එළියට දැම්මා වගේම වැඩක්නේ. 

අධිපතිවරුන්ගේ කාල වකවානු වල සල්ලි අච්චු ගැසීම ගැන හරියටම බලනවානම් අදාළ කාල වකවානු වල ද්‍රවශීලතා හිඟය වෙනස් වුනේ කොහොමද කියන එකත් සලකා බැලිය යුතුයි. මහ බංකු අධිපති විදිහට නන්දලාල් වීරසිංහ පත් වුනාට පස්සේ බැංකු පද්ධතියේ තිබුණු විශාල ද්‍රවශීලතා හිඟය ටිකෙන් ටික අඩු කරන්නත් කටයුතු කළා. කොහොම වුනත් මේ වෙද්දීත් (නොවැම්බර් 25) බැංකු පද්ධතියේ රුපියල් බිලියන 400කට ආසන්න ද්‍රවශීලතා හිඟයක් තිබෙනවා. ඔය ද්‍රවශීලතා හිඟය නැති වෙලා ද්‍රවශීලතා අතිරික්තයක් ඇතිවුනොත් පොලී අනුපාතික මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වල මට්ටමටම, ඒ කියන්නේ 15% පමණ මට්ටමට බහිනවා. හැබැයි රුපියල් බිලියන 400ක ද්‍රවශීලතා හිඟයක් මහ බැංකුවේ මැදිහත්වීමක් නැතිව එහෙම හදිස්සියෙන් නැති වීමේ ඉඩක් පෙනෙන්න නැහැ. 

ද්‍රවශීලතා හිඟය අඩුවීම ගැන මෑතකදී වත්මන් මහ බැංකු අධිපතිවරයා කියනවා ඇහුණා. කතාව ඇත්ත. ද්‍රවශීලතා හිඟය නැති වුනොත් පොලී අනුපාතික සැලකිය යුතු ලෙස අඩු වෙන බවත් ඇත්ත. හැබැයි මහ බැංකුවේ මැදිහත්වීමක් නැතුව ඔය වැඩේ ඉතා ඉක්මණින් වෙන එකක් නැහැ. නමුත්, මහ බැංකුවට අවශ්‍යනම් ඔය හිඟය ක්ෂණිකව නැති කර දමන්නත් පුළුවන්. කරන්න තියෙන්නේ රුපියල් බිලියන 400ක භාණ්ඩාගාර බිල්පත් මිල දී ගන්න එක. ඒ කියන්නේ එපමණකින් සල්ලි අච්චු ගහන එක. මහ බැංකුව ඔය වැඩේ කළොත් 30% මට්ටමේ තිබෙන පොලී අනුපාතික පටස් ගාලා 15% වගේ මට්ටමකට බහිනවා. නමුත් මේ වෙලාවේ පීඩනයට යට වෙලා මහ බැංකුව එහෙම කළොත් ඒක එක හොඳ වැඩක් නෙමෙයි.

මහ බැංකුව විසින් හොඳ විදිහේ මැදිහත්වීමක් කරලා ද්‍රවශීලතා හිඟය නැති කරන්න අවශ්‍යනම් කළ යුත්තේ ඔය රුපියල් බිලියන 400ක මුදලට හරියන්න ඩොලර් මිල දී ගන්න එකයි. ඒ කියන්නේ, දැන් මිල අනුව, ඩොලර් බිලියන 1.1ක් පමණ. මහ බැංකුවට ඒ තරම් ඩොලර් ප්‍රමාණයක් වෙළඳපොළෙන් මිල දී ගැනීමේ ඉඩක් තවම ළඟ පාතකවත් පේන්නෙත් නැහැනේ. හොදම වැඩේ එක්කෝ එහෙම තත්ත්වයක් ඇති වන තුරු බලා ඉඳලා මැදිහත්වීමක් කරන එක. එහෙම නැත්නම් පොලී අනුපාතික ඉහළින් තිබී ඒ හේතුවෙන් කාලයත් එක්ක ද්‍රවශීලතා හිඟය අඩු වෙන්න අරින එක. 

වෙබ් ලිපිනය: