වෙබ් ලිපිනය:

Friday, March 17, 2023

ඩොලරයක මිලේ විචලනය

 

ඩොලරයක මිලට සිදු වෙමින් පවතින දේ ගැන යාවත්කාලීන කිරීමක් කරන්න කියලා කිහිප දෙනෙක්ම ඉල්ලපු නිසයි මේ සටහන ලියන්නේ. මේක සෑහෙන දුරකට අඳුරේ අතපත ගෑමක්. මිල වෙනස්වීම පිළිබඳ නිරීක්ෂණයන් හැරුණු විට පෙර සටහන් පළ කිරීමෙන් පසුව අලුත් තොරතුරු කිසිවක් තවමත් ප්‍රකාශයට පත් වී නැහැ. ඒ නිසා, බරපතල විග්‍රහයක් කිරීමේ හැකියාවක් නැහැ. එවැන්නක් කළ හැක්කේ මහ බැංකුවේ මැදිහත්වීම් ගැන නිවැරදි තොරතුරු ඇත්නම් පමණයි. 

ඊට කලින් ඩොලරයක මිල කියන්නේ කුමක්ද කියා පැහැදිලි කරගනිමු. වෙළඳපොළේ විකිණෙන ඩොලරයක මිල කියා කියන්නෙත් සීනි මිල වගේ දෙයක්. තොග මිල සිල්ලර මිලට වඩා වෙනස්. සිල්ලර මිල වුනත් කඩේකින් කඩේකට වෙනස්. ඩොලරයක මිලත් ඒ වගේ තමයි. ඒ නිසා, අපි මුලින්ම කතා කරන්න යන ඩොලරයක මිල කුමක්ද කියා පැහැදිලි කරගෙන ඉන් පසුව ඉදිරියට යමු. 

ඩොලර් ගනුදෙනු සිදුවන ආකාර හා තැන් ගණනාවක් තිබෙනවා. ලිපිය දිගු වන නිසා ඒ හැම එකක් ගැනම කතා කරන්න යන්නේ නැහැ. වැඩි විස්තර එක්ක පසු අවස්ථාවක වීඩියෝ එකක් දමන්නම්. දැනට මහ බැංකුව විසින් ප්‍රසිද්ධ කරන මේ මිල ගණන් තුන ගැන අවධානය යොමු කළමු.

බරිත සාමාන්‍ය එතැන් (Spot) ගනුදෙනු මිල - අන්තර්බැංකු වෙළඳපොළේ ඒ කියන්නේ වානිජ බැංකු එකිනෙක අතර ඩොලර් ගනුදෙනු සිදුවන සාමාන්‍ය මිල. මහ බැංකුව විසින් මැදිහත්වීම් කරන්නෙත් මේ වෙළඳපොළට.

සාමාන්‍ය විද්‍යුත් හුවමාරු (TT) විකුණුම් මිල - ආනයනකරුවන් වැනි බැංකු වල පාරිභෝගිකයින් විසින් බැංකු හරහා විද්‍යුත් හුවමාරු ක්‍රමයට ඩොලර් වලින් ගෙවීම් කිරීමේදී බැංකුවක් විසින් පාරිභෝගිකයින්ට ඩොලර් විකුණන මිල.

සාමාන්‍ය විද්‍යුත් හුවමාරු ගැණුම් මිල - අපනයනකරුවන් වැනි බැංකු වල පාරිභෝගිකයින් වෙත විද්‍යුත් හුවමාරු ක්‍රමයට ලැබෙන ඩොලර් බැංකු විසින් මිල දී ගැනීමේදී ඒ වෙනුවෙන් පාරිභෝගිකයින්ට ගෙවන මිල. 

පාරිභෝගිකයින් විසින් ඩොලර් නෝට්ටු හා ඩොලර් චෙක්පත් මිල දී ගැනීම හා විකිණීමද සිදු වුනත් එම ගනුදෙනු සාමාන්‍යයෙන් කුඩා ගනුදෙනු. ලොකු ගනුදෙනු බොහොමයක්ම සිදු වන්නේ විද්‍යුත් හුවමාරු ක්‍රමයටයි. 

කිසියම් දවසක් තුළ බැංකුවකට ලැබෙන සහ බැංකුවෙන් යන ඩොලර් ප්‍රමාණය ප්‍රධාන වශයෙන්ම තීරණය වන්නේ විද්‍යුත් හුවමාරු ඉල්ලුම හා සැපයුම මතයි. ඒ අනුව, දවස අවසානයේ බැංකුවක් තුළ ඩොලර් හිඟයක් හෝ අතිරික්තයක් ඇති වෙනවා. අතිරික්තයක් ඇති විට එම ඩොලර් අන්තර්බැංකු වෙළඳපොළ හරහා වෙනත් බැංකුවකට විකුණනවා. හිඟයක් ඇති විට වෙනත් බැංකුවකින් ඩොලර් මිල දී ගන්නවා.

මෙහෙම කිවුවත් මෙය මීට වඩා සංකීර්ණයි. මිල ඉහළ යන බව පෙනෙනවානම් බැංකුවක් විසින් අතිරික්ත ඩොලර් නොවිකුණා තියාගෙන ඉන්න පෙළඹෙනවා. ඒ වගේම මිල පහත වැටෙද්දී සමහර වෙලාවට "නැති ඩොලර්" විකුණනවා. කොහොම වුවත් ඉහත විණිමය අනුපාත සාමාන්‍යයෙන් පැවැතිය යුත්තේ පහත පිළිවෙළටයි. 

විද්‍යුත් හුවමාරු විකුණුම් මිල > එතැන් ගනුදෙනු මිල > විද්‍යුත් හුවමාරු ගැණුම් මිල

හේතු පැහැදිලි විය යුතුයි. විද්‍යුත් හුවමාරු ගැණුම් මිල හා විකිණුම් මිල අතර වෙනස තමයි බැංකුවේ ලාබය. ඒ නිසා, විකිණුම් මිල ගැනුම් මිලට වඩා වැඩි විය යුතුයි. ඒ වගේම, පාරිභෝගිකයින්ගෙන් අඩුවට ඩොලර් මිල දී ගන්න පුළුවන්කම තියෙද්දී බැංකුවකට වෙනත් බැංකුවකින් ඊට වඩා වැඩි මිලකට ඩොලර් මිල දී ගන්න හේතුවක් නැහැ. අනෙක් අතට, පාරිභෝගිකයන්ට වැඩියෙන් විකුණන්න පුළුවන්කම තියෙද්දී වෙනත් බැංකුවකට අඩුවට ඩොලර් විකුණන්න හේතුවකුත් නැහැ. ඒ නිසා, එතැන් මිල විද්‍යුත් හුවමාරු ගැණුම් මිල හා විකිණුම් මිල අතර පැවතිය යුතුයි. 

හැබැයි මෙහෙම නොවන අවස්ථා තිබෙනවා. ඒ වෙළඳපොලේ විශාල ඩොලර් හිඟයක් හෝ අතිරික්තයක් ඇති විට.

දැන් අපි මේ සමඟ පළ කර තිබෙන ප්‍රස්ථාරයට සහ එහි පහළින් ඇති දත්ත වලට යමු. පසුගිය සති තුන තුළ සිදු වූ විචලනයන්ට පෙර, පෙබරවාරි 24 දින එතැන් මිල තිබුණේ රුපියල් 362.67 මට්ටමේ. විද්‍යුත් හුවමාරු ගැනුම් මිල 358.72යි. ඒ කියන්නේ රුපියල් 3.94ක් අඩුයි. විද්‍යුත් හුවමාරු විකිණුම් මිල 368.77යි. ඒ කියන්නේ රුපියල් 6.10ක් වැඩියි. 

එතැන් මිල විද්‍යුත් හුවමාරු විකිණුම් මිලට කිට්ටුනම් එයින් පෙන්වන්නේ වෙළඳපොළ ඩොලර් ද්‍රවශීලතා අතිරික්තයක් ඇති බවයි. ගැනුම් මිලට වඩා කිට්ටුනම් එයින් පෙන්වන්නේ වෙළඳපොළ ඩොලර් ද්‍රවශීලතා හිඟයක් ඇති බවයි. 

මාර්තු 3 දිනෙන් අවසන් වූ "පළමු සතිය" තුළ ඩොලරයක එතැන් මිල රුපියල් 346.17 දක්වා පහත වැටුණා. විද්‍යුත් හුවමාරු ගැනුම් මිල ඊට වඩා රුපියල් 11.67කින් පහත වැටී තිබුණා. විද්‍යුත් හුවමාරු විකිණුම් මිල තිබුණේ රුපියල් 1.86ක් ඉහළින්. මෙයින් අදහස් වුනේ බැංකු පද්ධතිය තුළ විශාල ඩොලර් අතිරික්තයක් පැවති බවයි. එම සතිය තුළ මහ බැංකුව විසින් ඩොලර් මිලියන 308ක් මිල දී ගෙන තිබුණා. එසේ නොවන්නට මිල මීට වඩා බොහෝ සේ පහත වැටෙනවා.

කෙසේ වුවත්, මාර්තු 3 දිනෙන් අවසන් වූ "දෙවන සතිය" තුළ මහ බැංකුව විසින් එවැනිම මැදිහත් වීමක් සිදු කළේද යන්න පැහැදිලි නැහැ. මාර්තු 7 දින රුපියල් 337.67 දක්වා එතැන් මිල පහත වැටෙනවා. එම මිල විද්‍යුත් හුවමාරු විකිණුම් මිලටත් වඩා අඩු මිලක්. ඒ කියන්නේ බැංකු වලට තමන් සතු ඩොලර් කාගේ හෝ ඇඟේ ගසා නිදහස් වන්නට අවශ්‍ය වන තරම් ඩොලර් අතිරික්තයක්. ඉන් පසුව මාර්තු 8 දින රුපියල් 326.32 දක්වා රුපියල් 11.35කින් එතැන් මිල පහත වැටෙනවා. බැලූ බැල්මටම පෙනෙන්නේ මෙය "නිදහස් කඩා වැටීමක් (Freefall)" බවයි.

මාර්තු 7 හා 8 දින වල ඩොලරයක මිල මෙතරම් වේගයෙන් පහත වැටීම මහ බැංකුවේ අභිමතය පරිදි සිදු වූවක් කියා හිතන්න බැරිකමක් නැහැ. විශේෂයෙන්ම මාර්තු 8 දින එක්කෝ මහ බැංකුව විසින් කිසිදු මැදිහත්වීමක් කර නැහැ. එසේ නැත්නම් ප්‍රමාණවත් මැදිහත්වීමක් කර නැහැ. කවර හෝ හේතුවක් නිසා මිල පහත වැටෙනු දැකීම මහ බැංකුවේ අභිලාශය වූ බව පෙනෙනවා. මෙය උපාය මාර්ගික තීරණයක් වෙන්න පුළුවන්. නිකම්ම අහම්බයක් වෙන්නත් පුළුවන්. 

සතිය තුළ මිල තව දුරටත් පහත වැටී මාර්තු 10 වන විට එතැන් මිල රුපියල් 318.63 දක්වා අඩු වෙනවා. මේ වන විට පැවති විද්‍යුත් හුවමාරු මිල ගණන් අනුව පෙනී යන්නේ සතියේ අවසාන දින දෙක තුළ මහ බැංකුව විසින් අතිරේක ඩොලර් ද්‍රවශීලතාව අවශෝෂණය කරගෙන අවසන්ව ඇති බවයි.

ඒ අනුව, මාර්තු 17න් අවසන් වූ "තුන්වන සතිය" ඇරඹෙද්දී ඩොලරයක මිල තව දුරටත් පහළ යාමේ ඉඩක් ඉතිරි වී නැහැ. මෙම සතිය තුළ සිදු වූ මිල විචලනයන් අනුව පෙනී යන්නේ මේ වන විට බැංකු පද්ධතිය තුළ යම් ඩොලර් ද්‍රවශීලතා හිඟයක් ඇති වී ඇති බවයි. 

අද (මාර්තු 17) වන විට ඩොලරයක එතැන් මිල රුපියල් 336.80 මට්ටමට පැමිණ ඇති අතර විද්‍යුත් හුවමාරු විකිණුම් මිල රුපියල් 350.23 දක්වාත්, විද්‍යුත් හුවමාරු ගැනුම් මිල රුපියල් 332.30 දක්වාත් ඉහළ ගොස් තිබෙනවා. ඩොලර් ද්‍රවශීලතා හිඟය වෙළඳපොළ ඉල්ලුම මතම සිදු වූවක්ද, එසේ නැත්නම් මහ බැංකුව විසින් ඩොලර් මිල දී ගැනීම නිසා සිදු වූවක්ද යන්න ස්ථිරව කිව නොහැකි වුවත්, පළමුවැන්න වීමට ඉඩකඩ වැඩියි.

සිදු වුනේ ඔය දෙකෙන් කවර එකක් වුවත්, මෙයින් පෙනෙන්නට තිබෙන්නේ මහ බැංකුව මිල ඉහළ යාම ප්‍රශ්නයක් සේ නොදකින බවයි. සිදු වුනේ පළමුවැන්නනම් මිල ඉහළ යන්නේම මහ බැංකුවේ මැදිහත්වීම මතයි. බොහෝ විට සිදුව ඇති පරිදි, සිදු වුනේ දෙවැන්නනම්, මහ බැංකුව විසින් කරන්නේ ඉල්ලුම හා සැපයුම අනුව මිල ඉහළ යන්නට ඉඩ දී පැත්තකට වී බලා සිටීමයි. IMF නිර්දේශය වන්නේද එවැන්නක්. අද වන විට එතැන් වෙළඳපොළ හා විද්‍යුත් හුවමාරු වෙළඳපොළ මිල ගණන් අතර දැකිය හැකි ආන්තරයන් අනුව එලඹෙන සඳුදා ඩොලරයක එතැන් මිල තවත් යම් තරමකින් ඉහළ යාමේ හැකියාවක්ද පෙනෙන්නට තිබෙනවා. 

මහ බැංකු අධිපති විසින් පැවසූ පරිදි "පළමු සතිය" තුළ මහ බැංකුව විසින් ඩොලර් මිලියන 308ක් මිල දී ගෙන තිබෙනවා. ඩොලරයක් රුපියල් 350 බැගින් මිල දී ගත් සේ සැලකුවහොත් මේ හේතුවෙන් රුපියල් බිලියන 108ක පමණ සංචිත මුදල් ඉහළ යාමක් සිදු විය යුතුයි. පෙරේදා (මාර්තු 15) මහ බැංකුව විසින් රුපියල් බිලියන 113ක භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම සැලකූ විට අවම වශයෙන් රුපියල් බිලියන 221ක සංචිත මුදල් වැඩි වීමක් සිදු විය යුතුයි. එහෙත්, ඉහත සඳහන් තෙසතියක කාලය තුළ සංචිත මුදල් ඉහළ යාම රුපියල් බිලියන 196ක් පමණයි. 

මේ අනුව පෙනී යන්නේ පසුගිය තෙසතියක කාලය තුළ ශුද්ධ වශයෙන් විදේශ සංචිත ඉහළ යාම ඩොලර් මිලියන 300කට නොවැඩි බවයි. එසේනම්, එක්කෝ මහ බැංකුව විසින් "පළමු සතිය" තුළ ඩොලර් මිලියන 308ක් මිල දී ගැනීමෙන් පසුව වෙළඳපොළට මැදිහත් වී නැහැ. එසේ නැත්නම්, පසු දෙසතිය තුළ මිල දී ගත් ඩොලර් ප්‍රමාණයට ආසන්න ප්‍රමාණයක් ණය ගෙවීමක් හෝ වෙනත් කටයුත්තක් වෙනුවෙන් නැවත විකුණා තිබෙනවා. බොහෝ විට සිදු වුනේ දෙවැන්න විය හැකියි. 

Thursday, March 16, 2023

බිලියන 113ක සල්ලි අච්චු ගැසීමක්!


ඊයේ (මාර්තු 15) මහා භාණ්ඩාගාරයේ විශේෂ ඉල්ලීමක් මත මහ බැංකුව විසින් රුපියල් බිලියන 113.5ක භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම මගින් එපමණ මුදලක් රජයට ලබා දී තිබෙනවා. මෙම මුදල මහ බැංකුවෙන් ඉල්ලා තිබෙන්නේ ඊයේ ගෙවීමට නියමිතව තිබූ ණය මුදලක් ආපසු ගෙවීම සඳහායි.

ණය ගෙවිය යුතු වූයේ කවර පාර්ශ්වයකටද යන්න සඳහන්ව නැහැ. මහ බැංකුවෙන් මේ අයුරින් රුපියල් ලබා ගත්තත්, එම රුපියල් වැය කර ඩොලර් මිල දී ගෙන විදේශ ණයක් ආපසු ගෙවුවා වෙන්නත් පුළුවන්. ඊයේ පැවති විණිමය අනුපාතය අනුව මෙම මුදල ඩොලර් මිලියන 347කට ආසන්න මුදලක්. 

ඇතැම් විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අරමුදල් ලබන සතියේදී ලැබෙන්නට නියමිත නිසාත්, මහ බැංකුව විසින් පසුගිය දිනවල සැලකිය යුතු ඩොලර් ප්‍රමාණයක් වෙළඳපොළෙන් මිල දී ගෙන ඇති නිසාත්, ඉන්දියාවට ගෙවිය යුතු ණය වලින් කොටසක් ගෙවුවා වෙන්න පුළුවන්. කොහොම වුනත්, මේ කොටස මගේ හිතළු පමණයි. ණය ගෙවුවේ කාටද කියා මම හරියටම දන්නේ නැහැ.

යම් හෙයකින් මෙසේ ආපසු ගෙවුවේ විදේශ ණයක්නම් ඒ සඳහා ඩොලර් මිල දී ගත්තේ මහ බැංකුවෙන්ම පමණක්ද එසේ නැත්නම් යම් කොටසක් වෙළඳපොළෙන් මිල දී ගත්තේද යන්නත් පැහැදිලි නැහැ. මේ වන විට අන්තර්බැංකු වෙළඳපොළේ ඩොලරයක මිල නැවත ඉහළ යාම තුළින් පිළිබිඹු වන්නේ එහි වූ අතිරික්ත ඩොලර් ද්‍රවශීලතාව මහ බැංකුව විසින් මුළුමනින්ම අවශෝෂණය කර ගනිමින් සිටින බව හෝ එසේ කර අවසන්ව ඇති බවයි.

රජය විසින් බදු වැඩි කර, වියදම් සීමා කර ඇතත්, අපේක්ෂිත තරමටම බදු ආදායම් එකතු වන බවක් පෙනෙන්නට නැහැ. යම් හෙයකින් විදේශ අංශයේ ප්‍රශ්නය විසඳාගනු ලැබුවද, රජයේ විදේශ ණය ගෙවීම සඳහා ඩොලර් මිල දී ගැනීමට ප්‍රමාණවත් බදු ආදායමක් එකතු නොවුවහොත්, එම හිඟය පියවා ගන්නට සිදු වන්නේ දේශීය වෙළඳපොළෙන් ණය ගැනීම හෝ සල්ලි අච්චු ගැසීම මගිනුයි. පොලී අනුපාතික තවත් ඉහළ යන්නට ඉඩ නොදී දේශීය වෙළඳපොළෙන් ලබා ගන්නා ණය ප්‍රමාණය විශාල ලෙස වැඩි කර ගැනීමේ හැකියාවක් නැහැ.

Wednesday, March 15, 2023

2022 ආර්ථික සංකෝචනය


ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් අද ප්‍රකාශයට පත් කර ඇති ජාතික ගිණුම් ඇස්තමේන්තු අනුව ගෙවුණු 2022 වසර තුළ ලංකාවේ ආර්ථිකය 7.8%කින් හැකිළී තිබෙනවා. කෘෂිකාර්මික අංශයේ හැකිලීම 4.6%ක්ද, කාර්මික අංශයේ හැකිලීම 16.0%ක්ද වන අතර සේවා අංශය 2.0කින් හැකිළී තිබෙනවා. මේ අනුව, ආර්ථිකයේ ප්‍රමාණය මේ වන විට තිබෙන්නේ 2016දී පැවති මට්ටමට වඩා මඳක් පහළින් හා 2015 පැවති මට්ටමට ඉහළින්.

වසර තුළ නාමික දළ දේශීය නිෂ්පාදිතය 37.2%කින් ඉහළ ගොස් ඇතත්, එම ඉහළ යාමට ප්‍රධාන වශයෙන්ම හේතු වී තිබෙන්නේ 48.8%කින් මිල මට්ටම ඉහළ යාමයි. මිල මට්ටම ඉහළ යාම නිසා ඒක පුද්ගල ආදායම ප්‍රථම වරට රුපියල් මිලියනය ඉක්මවමින්, රුපියල් 1,060,654 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එහෙත්, වසර තුළ රුපියල විශාල ලෙස අවප්‍රමාණය වීම නිසා මෙය සමාන වන්නේ ඇමරිකන් ඩොලර් 3,268ක ඒක පුද්ගල ආදායමකටයි. මෙය 2013 වසරේදී ලංකාවේ ඒක පුද්ගල ආදායම වූ ඇමරිකන් ඩොලර් 3,280ට වඩා මදක් අඩු මට්ටමක්.

මෑතකදී ෆිච් සොලියුෂන්ස් ආයතනයේ වාර්තාවක 2022දී ලංකාවේ ආර්ථිකය 9.2%කින් හැකිලෙනු ඇති බවත්, 2023දී 3.0%කින් ඉහළ යන බවත් වාර්තා කර තිබුණා. ඉහත සංඛ්‍යාලේඛණ අනුව පෙනී යන්නේ ඔවුන්ගේ එම ඇස්තමේන්තු නිවැරදි නොවන බවයි. වසර තුළ ආර්ථිකය හැකිළී තිබෙන්නේ 7.8%කින් පමණයි. මේ හේතුව නිසාම 2023 වසර සම්බන්ධව ෆිච් සොලියුෂන්ස් ආයතනයේ පුරෝකථනයද නිවැරදි නොවීමට ඉඩකඩ වැඩියි.

මූඩීස් ආයතනය විසින් මෑතකදී ඇස්තමේන්තු කර තිබුණේ 2022දී 8.0%කින්ද, නැවත 2023දී 3.0%කින්ද ආර්ථිකය හැකිලෙනු ඇති බවයි. මෙම ඇස්තමේන්තුව ඉහත ෆිච් සොලියුෂන්ස් ඇස්තමේන්තුවට වඩා නිවැරදි විය හැකියි. බොහෝ දුරට, ලංකාවේ ආර්ථිකය නැවත වර්ධනය විය හැක්කේ 2024 වසරේදීයි.


Monday, March 13, 2023

රුපියල් 387කට බැංකුවක් විකිණෙයි!


මේ වෙද්දී ඩොලරයක මිල රුපියල් 320 ආසන්න මට්ටමක ස්ථාවර වී තිබෙනවා. එසේ නැත්නම් ස්ථාවර කරනු ලැබ තිබෙනවා. අනෙකුත් මුදල් ඒකක වල මිල ඩොලරයක මිලට සාපේක්ෂව තීරණය වෙමින් තිබෙනවා. අද (මාර්තු 13) ලංකාවේ අන්තර්බැංකු එතැන් වෙළඳපොළේ බ්‍රිතාන්‍ය පවුමක සාමාන්‍ය මිල රුපියල් 386.88ක්. 

පසුගිය සිකුරාදා දින ඇමරිකාවේ නියාමකයින් විසින් පවරා ගනු ලැබූ සිලිකන් වැලි බැංකුව ගැන පෙර සටහනෙහි ලිවුවා. මේ වන විට එම බැංකුවේ සියළුම පාරිභෝගිකයින්ගේ තැන්පතු මුදල් ආපසු ගෙවන බව ෆෙඩරල් තැන්පතු රක්ෂණ සමාගම විසින් තහවුරු කර තිබෙනවා. ඩොලර් 250,000 නොඉක්මවන තැන්පතු වහාම ලබා ගත හැකියි. වඩා විශාල තැන්පතු තිබෙන අයට එයින් යම් ප්‍රතිශතයක් දැන්ම ආපසු ලබා ගත හැකි අතර ඉතිරි තැන්පතු වෙනුවෙන් වගකීම් සහතිකයක් ලැබෙනවා. බැංකුවේ වත්කම් ඈවර කිරීමෙන් පසුව එම සහතික මුදල් කළ හැකියි. 

මෙසේ සිලිකන් වැලි බැංකුවේ පාරිභෝගිකයන්ගේ වත්කම් ආපසු ගෙවීම සඳහා බදු මුදල් වැය කෙරෙන්නේ නැහැ. එම මුදල් වලින් වැඩි කොටසක් අදාළ බැංකුවේම ඉතිරිව ඇති ද්‍රවශීල වත්කම් වලින් හා ද්‍රවශීල නොවන වත්කම් විකිණීම මගින් පියවා ගැනෙනු ඇති අතර ඉතිරි කොටස ආපසු ගෙවන්නේ ෆෙඩරල් තැන්පතු රක්ෂණ සමාගමේ අරමුදල් වලින්. මෙම අරමුදලට මුදල් ලැබෙන්නේ සාමාජික වාණිජ බැංකු විසින් ගෙවන රක්ෂණ වාරික මුදල් වලිනුයි. 

ඇමරිකාවේ කැලිෆෝනියා හා මැසචුසෙට්ස් ප්‍රාන්ත වල පමණක් ව්‍යාපාරික කටයුතු සිදු කළ සිලිකන් වැලි බැංකුවෙහි ශාඛාවක් එංගලන්තයේද තිබුණා. ලන්ඩන් නුවර ෆින්ස්බරි චතුරස්‍රයේ තිබුණු එම ශාඛාව සහ සිලිකන් වැලි බැංකුව විසින් එංගලන්තය තුළ සිදු කළ ව්‍යාපාරික කටයුතු මේ වන විට HSBC බැංකුව විසින් මිල දී ගෙන තිබෙනවා. එසේ මිල දී ගෙන තිබෙන්නේ බ්‍රිතාන්‍ය පවුමක මුදලකටයි. එනම් රුපියල් 387ක පමණ මුදලකට. 

බංකොලොත් වීමට ආසන්න ආයතන ලොකු ගණන් වලට විකුණන්න බැහැ. බංකොලොත් වූ පසුවනම් කීයටවත් විකුණන්න බැහැ. ව්‍යාපාරික ආයතනයක් විකුණා දැමිය හැක්කේ අවම වශයෙන් එහි බැරකම් ඉක්මවන වත්කම් ඇත්නම් පමණයි. 

ඇමරිකාවේ බැංකුවක් අවම වශයෙන් එහි බැරකම් වලට වඩා 5%ක වත්කම් පවත්වා ගත යුතුයි. වාණිජ බැංකුවක වත්කම් හා බැරකම් හා අදාළව තවත් මෙවැනි අවම අවශ්‍යතා කිහිපයක්ම තිබෙනවා. මෙම අනුපාතය මීට වඩා පහළ වැටුණොත් නියාමකයින් විසින් වත්කම් වැඩි කර ගැනීම සඳහා යම් සීමිත කාලයක් ලබා දෙනවා. එම කාලය තුළ අවශ්‍ය දේ ඉටු නොවී ඉහත සීමාව 3% දක්වා පහත වැටුනොත් පාරිභෝගිකයින් කලබල වීමට පෙර අදාළ බැංකුව වෙනත් බැංකුවකට විකිණීම සඳහා ඉඩකඩ සලසා දෙනවා. එය කළ නොහැකි වුවහොත් බැංකුවේ වත්කම් පවරාගෙන එම වත්කම් ඈවර කිරීම මගින් එහි බැරකම් පියවා බැංකුව වසා දමනවා. 

සිලිකන් වැලි බැංකුව සතුව වත්කම් වල අඩුවක් තිබුණේ නැහැ. අවශ්‍ය අවම නියාමන අනුපාත දෙගුණයකින් පමණ ඉක්මවන වත්කම් එම බැංකුව සතුව තිබුණා. එහෙත් එම වත්කම් අතර ප්‍රමාණවත් ද්‍රවශීල වත්කම් තිබුණේ නැහැ. 2022 වසර අවසානයේදී සමස්තයක් ලෙස ඇමරිකාවේ වාණිජ බැංකු වල වත්කම් වලින් 13.8%ක් මුදල් හෝ මුදල් වලට සමාන වත්කම් වුවත් සිලිකන් වැලි බැංකුවෙහි එම අනුපාතය පැවතුණේ 6.5% මට්ටමේ.

සිලිකන් වැලි බැංකුවෙහි වත්කම් වලින් 57%ක්ම තිබුනේ සුරැකුම්පත් ආයෝජන ලෙසයි. එයින්ද විශාල කොටසක් දිගුකාලීන ආයෝජන. ඇමරිකාවේ පැවති ඉහළ උද්ධමනය පාලනය කිරීම සඳහා ෆෙඩරල් සංචිත බැංකුව විසින් පසුගිය වසරේ මුල සිට ඉතා කෙටි කාලයක් තුළ පොලී අනුපාතික විශාල ලෙස ඉහළ දැම්මා. මෙහි ප්‍රතිඵලයක් ලෙස වසරකට ආසන්න කාලයක් තුළ වසර-2 බැඳුම්කර පොලිය 1% සිට 5% දක්වාත්, වසර-30 බැඳුම්කර පොලිය 2% සිට 4% දක්වාත් (ආසන්න වශයෙන්) ඉහළ ගියා. මේ මට්ටමේ පොලී අනුපාතික ඉහළ යාමකදී වසරකින් කල් පිරෙන වසර-2 බැඳුම්කරයක වෙළඳපොළ මිල 4%කින් පමණත්, වසර-29කින් කල් පිරෙන වසර-30 බැඳුම්කරයක මිල 32%කින් පමණත් පහළ යනවා.

කෙසේ වුවද, ඉහත පරිදි බැඳුම්කර වල වෙළඳපොළ මිල පහළ යාම ඒ නිසාම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙම බැඳුම්කර කල් පිරෙන තුරු තබා ගතහොත් මුලින් අපේක්ෂා කළ මුදලම ලැබෙනවා. පාඩුවක් වෙන්නේ කලින් විකුණන්නට සිදු වුවහොත්. 

ෆෙඩරල් සංචිත බැංකුව විසින් ලබන සතියේදී පොලී අනුපාතික තවත් ඉහළ යවන්නට අපේක්ෂා කරන බව කලින්ම දැනුම් දුන්නා. මෙහි ප්‍රතිඵලය බැඳුම්කර මිල තවත් පහළ යාමයි. දිගුකාලීන බැඳුම්කර හා අදාළව මෙසේ මිල පහත වැටීමේ සංවේදීතාව ඉතා විශාලයි. පොලී අනුපාතික වල සිදු වන පොඩි වැඩිවීමකින් වෙළඳපොළ මිල විශාල ලෙස පහත වැටෙනවා. මෙම අවදානම හමුවේ දිගුකාලීන බැඳුම්කර වලින් කොටසක් විකුණා සිදු විය හැකි පාඩුව අවම කර ගැනීමට සිලිකන් වැලි බැංකුව කටයුතු කළා. ඒ අනුව, එම බැංකුව විසින් ඩොලර් බිලියන 21ක බැඳුම්කර විකුණා දමනු ලැබූ අතර එයින් ඩොලර් බිලියන 1.8ක අලාභයක් එම බැංකුවට සිදු වුනා. 

වසර මුලදී සිලිකන් වැලි බැංකුව සතුව, සමුච්ඡිත ලාබද ඇතුළුව, ඩොලර් බිලියන 16 ඉක්මවන කොටස් ප්‍රාග්ධනයක් තිබුණා. ඒ කියන්නේ එහි බැරකම් වලට වඩා ඩොලර් බිලියන 16ක වත්කම් තිබුණා. ඒ නිසා, ඩොලර් බිලියන 1.8ක අලාභයකින් එම බැංකුව බංකොලොත් වීමේ හැකියාවක් නොතිබුණත්, කොටස් ප්‍රාග්ධනය ඉහළ දමා ගැනීම සඳහා ඩොලර් බිලියන 1.25ක කොටස් අලුතින් නිකුත් කිරීමට එම බැංකුව පෙළඹුණා. මේ හරහා බැංකුවේ මූල්‍ය ශක්තිය වඩා යහපත් කරගෙන ඒ බව සිය පාරිභෝගිකයින්ට හා නියාමකයින්ට පෙන්වීමට සිලිකන් වැලි බැංකුවේ අයිතිකරුවන් අපේක්ෂා කළත් මේ නිසා සිදු වුනේ නොසිතූ අකරතැබ්බයක්. 

අලුතෙන් කොටස් නිකුත් කිරීමට පෙළඹීම බොහෝ දෙනෙකු දැක්කේ බැංකුවේ මූල්‍ය තත්ත්වය අස්ථායී වීමක් ලෙසයි. මේ නිසා, එක පැත්තකින් බැංකුවේ කොටස්හිමියන් තමන්ගේ කොටස් හිමිකම් හැකි ඉක්මණින් විකුණා දමන්නට පෙළඹුණා. කොටස් මිල වේගයෙන් කඩා වැටුණා. අනෙක් පැත්තෙන් තැන්පතුකරුවන් ඉතා කෙටි කලක් තුළ ඔවුන්ගේ තැන්පතු ආපසු ලබා ගන්නට පෙළඹුණා. කෙසේ වුවත්, නියාමකයින් ඉතා ඉක්මණින් ක්‍රියාත්මක වී බැංකුවෙහි වත්කම් පවරා ගෙන තත්ත්වය මැනවින් කළමනාකරණය කළා. 

සිලිකන් වැලි බැංකුවෙහි ඇමරිකාවේ ව්‍යාපාරික කටයුතු වෙනත් බැංකුවකට පැවරීම සඳහා ගත් උත්සාහයන් මෙතෙක් සාර්ථක වී නැහැ. දැනට මෙම බැංකුව ෆෙඩරල් රක්ෂණ සමාගමට අයිති ආයතනයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. කෙසේ වුවත්, එංගලන්ත බැංකුවේ සහ එංගලන්ත රජයේ මැදිහත්වීම හා උදවුව මත සිලිකන් වැලි බැංකුවෙහි එංගලන්තයේ ව්‍යාපාරික කටයුතු පවුමක මුදලකට HSBC බැංකුවට විකුණා තිබෙනවා. 

ලංකාවේ තෙල් සංස්ථාව හා ශ්‍රීලන්කන් ගුවන් සේවය වැනි ආයතන දැනටමත් බංකොලොත් වී අවසන් ආයතනයි. එම ආයතන වල වත්කම් වලට වඩා බැරකම් වැඩි නිසා එක රුපියලකට හෝ මෙම ආයතන විකුණා දැමීමේ හැකියාවක් නැහැ. එසේ විකුණන්නේනම් එය කළ හැක්කේ බැරකම් වල බර රජයට පවරා ගැනීමෙන් පසුව, එනම් බදු ගෙවන්නන් මත පැටවීමෙන් පසුව, පමණයි. 

වෙබ් ලිපිනය: