වෙබ් ලිපිනය:

Friday, January 12, 2024

වියට්නාම ආර්ථිකයේ හැරවුම


යම් රටකින් තවත් රටකට ගත යුතු දෙයක් තියෙනවද කියලා බලන්නනම් පළමුව ඒ රටවල් දෙකේ වෙනස්කම් අධ්‍යයනය කළ යුතුයි. එවැනි පෙනෙන වෙනසක් නැත්නම් එහි ගත යුතු අමුතු දෙයක්ද නැහැ. වෙනසක් ඇත්නම් ඇතැම් විට එහි ගත යුත්තක් තිබෙන්න පුළුවන්. ඒ වගේම, එවැනි වෙනසකින් පෙන්වන්නේ කිසිසේත්ම නොගත යුතු දෙයක් වෙන්නත් පුළුවන්.

අද අපි වියට්නාම් පොතේ දදේනි පිටුව පෙරළමු. වියට්නාමයේ දදේනිය ලංකාවේ එම අගය මෙන් පස් ගුණයකටත් වඩා වැඩියි. නමුත් ඒක පුද්ගල දදේනිය දිහා බැලූ විට රටවල් දෙකේ ලොකු වෙනසක් නැහැ. ලොකු රටක හා කුඩා රටක දදේනි සංසන්දනය කරන එක නිවැරදි නැති බව අපි දන්නවා. ඒ නිසා, අපි රටවල් දෙකේ දදේනි අගයයන් සංසන්දනය නොකර ඒවායේ සංයුති දෙස අවධානය යොමු කරමු.

ආර්ථිකයේ අංශ අනුව වෙන් කළ විට, වියට්නාමයේ 2022 දදේනියේ සංයුතිය මේ වගෙයි.

කෘෂිකාර්මික අංශය - 11.96%

කාර්මික අංශය - 38.17%

සේවා අංශය - 41.32%

ශුද්ධ බදු - 8.55%


දැන් අපිට ඉහත සංයුතිය ලංකාවේ එම සංයුතිය සමඟ සංසන්දනය කරන්න පුළුවන්.

කෘෂිකාර්මික අංශය - 8.7%

කාර්මික අංශය - 30.3%

සේවා අංශය - 56.1%

ශුද්ධ බදු - 4.9%

රටවල් දෙකේම දදේනි වල ලොකුම පංගුව සේවා අංශය. එහෙත්, ලංකාවේ එම කොටස වඩා වැඩියි. වියට්නාමයේ සේවා අංශයේ පංගුව අඩු වෙද්දී, එම අඩුව ඉතිරි සංරචක තුන අතර බෙදී ගොස් තිබෙනවා. එම පංගු තුනම ලංකාවේ එම පංගු වලට වඩා විශාලයි.

රටක ඒක පුද්ගල ආදායම ඉහළ යද්දී දදේනියේ කෘෂිකාර්මික අංශයේ පංගුව පහළ යන එක සාමාන්‍ය තත්ත්වයක්. පසුගිය වසරේදී වෙනස් වුනත්, කාලයක් තිස්සේම ලංකාවේ ඒක පුද්ගල දදේනිය තිබුණේ වියට්නාමයට වඩා ඉහළින්. ඒ නිසා, වියට්නාමයේ දදේනියේ කෘෂිකාර්මික අංශයේ පංගුව තවමත් ලංකාවේ එම පංගුව තරම් කුඩා වී නොතිබීම විශේෂ තත්ත්වයක් නෙමෙයි. වියට්නාමයේදී එම පංගුව ක්‍රමයෙන් කුඩා වෙමින් තියෙද්දී ලංකාව ලංකාවේ එම ප්‍රවණතාවය ආපසු හැරවීම සඳහා මහන්සි විය යුතු නැහැ.

හැබැයි මේ පංගු වල පරිණාමයේ එක් වෙනස්කමක් දකින්න පුළුවන්. ලංකාවේ දදේනිය ඇතුළේ කෘෂිකර්මයේ පංගුව අඩු වෙද්දී ඒ වෙනුවට සේවා අංශය වඩා වැඩියෙන් ආදේශ වී තිබෙනවා. ඊට සාපේක්ෂව, වියට්නාමයේ කාර්මික අංශයේ පංගුව ඉහළ ගොස් තිබෙනවා. වඩා ලොකු කෘෂිකාර්මික හා කාර්මික අංශයක් එක්ක සාපේක්ෂව කුඩා සේවා අංශයක් කියා කියන්නේ වියට්නාමයේ ආර්ථිකය ලංකාවට සාපේක්ෂව නිෂ්පාදන ආර්ථිකයක් කියන එක. වියට්නාමයේ කෘෂිකාර්මික හා කාර්මික නිෂ්පාදිත වල එකතුව දදේනියෙන් 50%ක් පමණ වෙද්දී, ලංකාවේ එම ප්‍රතිශතය 39%ක් පමණයි. වියට්නාමයේ දදේනිය තුළ රජයේ මැදිහත්වීම් වල බලපෑම වඩා විශාල බවද දැකිය හැකියි.

කාලයක් තිස්සේ දැඩි මධ්‍යගත සැලසුමක් ඇතුළේ ලොකු මහත් වූ වියට්නාම් ආර්ථිකය නිෂ්පාදන ආර්ථිකය පැත්තට බර වීමේ ලොකු පුදුමයක් නැහැ. සමාජවාදී මධ්‍යගත ආර්ථික සැලසුමක් ඇතුළේ රටක සේවා ආර්ථිකයට වෙළඳපොළ ආර්ථිකයකදී ලැබෙන සැලකිල්ල ලැබෙන්නේ නැහැ. එහි හොඳ නරක පසුව කතා කරමු. 

දළ දේශීය නිෂ්පාදිතය කියා කියන්නේ කිසියම් කාලයක් තුළ රටක නිපදවන සියලුම භාණ්ඩ හා සේවා වල වෙළඳපොළ වටිනාකම. මේ අගය ඇස්තමේන්තු කළ හැක්කේ වෙළඳපොළක් ඇත්නම් පමණයි. ආර්ථික විද්‍යාවේ වෙළඳපොළ කියන සංකල්පයෙන් අදහස් කරන්නේ ඉල්ලුම හා සැපයුම සමතුලිත වන යාන්ත්‍රනයක් මිසක් "පොදු වෙළඳපොළ" වැනි බෝඩ් ලෑල්ලක් ගහපු මුදලට බඩු විකුණන තැනක් නෙමෙයි. වෙළඳපොළ කියන සංකල්පය වියුක්ත අදහසක්. 

බෝඩ් ලෑල්ලක් ගහපු, මුදලට බඩු විකුණන තැනක් තිබූ පමණින් එහි වෙළඳපොළක් පවතින්නේ නැහැ. පැරණි සෝවියට් දේශයේ වගේම මධ්‍යගත සැලසුම් ක්‍රමය අනුගමනය කළ වෙනත් තැන් වලත් සමුපකාර හෝ වෙනත් ඒ ආකෘතියේ "මුදලට බඩු විකුණන තැන්" ඕනෑ තරම් තියෙන්න ඇති. නමුත් මේ තැන් හරහා ඉල්ලුම හා සැපයුම තුලනය වීමක් සිදු වුනේ නැහැ. එහෙම වෙන්නේ ඉල්ලුම හා සැපයුම අනුව නිදහසේ මිල වෙනස් වෙන්න ඉඩ ලැබුණොත් පමණයි. නමුත් ඔය තැන් වල වුනේ රජයෙන් නියම කරන මිලට බඩු විකුණන එකයි. ඒ නිසා, ආර්ථික විද්‍යාවේ අර්ථයෙන්, වෙළඳපොළක් කියා එකක් තිබුනේ නැහැ.

රටක වෙළඳපොළක් නැත්නම් භාණ්ඩයක හෝ සේවාවක වෙළඳපොළ වටිනාකම තක්සේරු කළ හැකි යාන්ත්‍රණයක්ද නැහැ. ඒ නිසා, ඒ වගේ රටක දදේනිය ඇස්තමේන්තු කරන්න පුළුවන්කමකුත් නැහැ. මේ හේතුව නිසා ඔය සමාජවාදී මධ්‍යගත සැලසුම් ක්‍රමය ඇතුළේ හිටපු රටවල් දදේනිය කියා එකක් ගණනය කළෙත් නැහැ.

දදේනිය ගණනය නොකර රටක ආර්ථිකයේ දිශානතිය ගැන අදහසක් ගන්න බැහැ. ඒ නිසා, ආර්ථිකය වර්ධනය වන බව සහතික කර ගන්න හෝ එසේ වන පරිදි සැලසුම් හදන්නත් බැහැ. මේ හේතුව නිසා පැරණි සමාජවාදී රටවල් විසින් දදේනිය වෙනුවට ශුද්ධ ද්‍රව්‍ය නිෂ්පාදිතය කියා මිනුමක් සකස් කරගෙන තිබුණා. මාක්ස්ගේ අදහස් මත පදනම්ව සකස් කර තිබුණු මෙම මිනුම තුළ වෙළඳපොළ වටිනාකාම කියන සාධකය නොසලකා හැර ද්‍රව්‍ය නිෂ්පාදිතයේ සමස්තයක් ගණනය කෙරුණා. 

වියට්නාමයද ඇතුළුව පැරණි සමාජවාදී රටවල් විසින් කාලයක් තිස්සේම රටේ ආර්ථික දියුණුව මැන්නේ මෙම ශුද්ධ ද්‍රව්‍ය නිෂ්පාදිතය ඇසුරෙනුයි. පසුව, මේ රටවල් විසින් එම ගණනය කිරීම අත හැර අනෙක් රටවල් මෙන්ම දදේනිය ගණනය කරන්න පටන් ගත්තා. දැන් මේ ක්‍රමය තවදුරටත් භාවිතා කරන්නේ උතුරු කොරියාව සහ කියුබාව වැනි රටවල් පමණයි.

ගුද්ධ ද්‍රව්‍ය නිෂ්පාදිතය ගණනය කිරීමේදී සේවාවන් බොහොමයක වටිනාකම මග හැරී යනවා. ඊට හේතුව වෙළඳපොළක් නැති පසුබිමක සේවා හරහා සිදු වන අගය එකතු වීම පහසුවෙන් ගණනය කළ නොහැකි වීමයි. මෙයින් වෙනස්ව වෙළඳපොළ ආර්ථිකයක් තුළ අගය එකතු වීම සිදු වන්නේ භාණ්ඩ නිෂ්පාදනයක් හරහාද නැත්නම් සේවා නිෂ්පාදනයක් හරහාද කියන එක ඒ තරම් වැදගත් නැහැ. සමාජවාදී මධ්‍යගත සැලසුම් ක්‍රමය තුළ ශුද්ධ ද්‍රව්‍ය නිෂ්පාදිතය වැඩි කරගත හැක්කේ භාණ්ඩ නිෂ්පාදනය වැඩි කර ගැනීමෙන් පමණක් නිසා එම රටවල මධ්‍යගත සැලසුම් තුළ හැම විටම මෙන් ඉලක්ක කළේ රටේ නිෂ්පාදන ආර්ථිකය වර්ධනය කර ගැනීමටයි.

වෙළදපොළ ආර්ථික ක්‍රමය තුළ අවසන් ඉලක්කය හැකි පමණ වැඩි අගය එකතු කිරීමක් කිරීමයි. ගනුදෙනු වැඩි වන තරමට මෙම ඉලක්කයට වඩා කිට්ටු වෙනවා. ඒ නිසා, ප්‍රායෝගිකව විවිධ සීමාවන් දැකිය හැකි වුවත්, වෙළදපොළ ආර්ථික ක්‍රමය හා ජාත්‍යන්තර වෙළඳාම ගහට පොත්ත මෙන් එකට යන දෙකක්. 

මෙයින් වෙනස්ව මධ්‍යගත සැලසුමක් සකස් කළ හැක්කේම කිසියම් ප්‍රදේශයක් හා ජනගහණයක් ඉලක්ක කර පමණයි. ඒ නිසාම, සමාජවාදී මධ්‍යගත සැලසුම් ක්‍රමය සමඟ ආරක්ෂණවාදය එකට යනවා. මෙයින් නෛසර්ගික ලෙසම ජාත්‍යන්තර වෙළඳාම දිරිමත් කරන්නේ නැහැ.

මධ්‍යගත සැලසුම් ක්‍රමය තුල සිටි රටවල් ජාත්‍යන්තර ගනුදෙනු නොකළ බවක් මෙයින් අදහස් වන්නේ නැහැ. එවැනි ගනුදෙනු විශාල ලෙස සිදු වුනා. එහෙත්, බොහෝ විට මෙම ගනුදෙනු සිදු වුනේ වෙළඳපොළ මූලධර්ම මග හැර වෙනත් මූලධර්ම මත පදනම් වූ වෙනත් යාන්ත්‍රන හරහායි. 

දෙවන ලෝක යුද්ධයෙන් පසුව මාර්ෂල් සැලසුම අනුව බටහිර රටවල් විසින් 1948දී යුරෝපීය ආර්ථික සහයෝගීතා සංවිධානය පිහිටුවා ගැනීමෙන් පසුව සෝවියට් කඳවුර විසින්ද එවැනිම ජාත්‍යන්තර සංවිධානයක් පිහිටුවා ගනු ලැබුවා. මෙය අන්‍යෝන්‍ය ආර්ථික සහයෝගීතා කවුන්සිලය හෙවත් කොමිකොන් සංවිධානය ලෙස හැඳින්වුනා. යුරෝපීය ආර්ථික සහයෝගීතා සංවිධානයේ මෙන්ම මේ සංවිධානයේද අරමුණ වූයේ සාමාජික රාජ්‍යයන් අතර වෙළඳාම වැඩි දියුණු කර ගැනීමයි. වියනාමය 1978 වසරේදී කොමිකොන් සංවිධානයේ සාමාජිකත්වය ගනිමින් එම සංවිධානයට සම්බන්ධ වූ දහවෙනි හා අවසන් රට බවට පත් වුනා. එම රට කොමිකොන් සංවිධානයේ සාමාජිකත්වය ලබා ගත් එකම ආසියාතික රටයි. චීනය මෙම සංවිධානයේ සාමාජිකයෙක්ව සිටියේ නැහැ. 

සමාජවාදී රටවලට තම කඳවුරේ හා කඳවුරෙන් පිටත අනෙකුත් රටවල් සමඟ ගනුදෙනු කිරීම වෙළඳපොළ ක්‍රමය පිළිගත් රටවල් එකිනෙකා සමඟ ගනුදෙනු කරන තරම් සරල හෝ පහසු වූයේ නැහැ. වෙළඳපොළ ක්‍රමය අනුව භාණ්ඩයක මිල තීරණය වන්නේ එහි ඉල්ලුම හා සැපයුම අනුව නිසා එහි අමුතුවෙන් ගිවිසුම්ගත වීමේ අනිවාර්ය අවශ්‍යතාවයක් නැහැ. නමුත් මධ්‍යගත සැලසුම් ක්‍රමය තුළ භාණ්ඩයක මිල නිර්ණය වුනේ එක් එක් රටේ මධ්‍යගත සැලසුම තුළයි. මේ නිසා රට රටවල මිල ගණන් අතර විශාල නොගැලපීම් තිබුණා. එහෙත් වෙළඳපොළ ක්‍රමය තුළ මෙන් ජාත්‍යන්තර වෙළඳාම තුළ මේ නොගැලපීම් ගැලපිය හැකි ස්වභාවික යාන්ත්‍රනයක් තිබුණේ නැහැ.

ඉහත කී නොගැලපීම් මධ්‍යයේ සමාජවාදී කඳවුරේ රටවලට ගනුදෙනු කළ හැකි වූයේ කිසියම් ආකාරයක භාණ්ඩ හුවමාරු පදනමක් මත පමණයි. ලංකාව හා චීනය අතර වූ රබර්-සහල් ගිවිසුම ක්‍රියාත්මක වූයේද මෙවැනි මූලධර්මයක් මත පදනම්වයි. කෙසේ වුවද, මොන විදිහෙන් හෝ මේ රටවල් අතරද සැලකිය යුතු පරිමාණයකින් ජාත්‍යන්තර ගනුදෙනු සිදු වුනා.

සෝවියට් දේශය කඩා වැටීමෙන් පසුව කොමිකොන් සංවිධානයේ ක්‍රියාකාරිත්වයද ක්‍රමයෙන් අක්‍රිය වී ගියා. එයින් පසුව එම කඳවුර සමඟ කාලයක් සිටි වියට්නාමයට අලුතෙන් වෙළඳපොළවල් සොයා ගැනීමේ දැඩි උවමනාවක් ඇති වුනා. ඊට අනුරූපව, වියට්නාමය විසින් සිය සමාජවාදී දේශපාලන ව්‍යුහය එලෙසම තිබියදීම ආර්ථික තලයේදී වෙළඳපොළ ප්‍රතිසංස්කරණ වෙත යොමු වුනා. වියට්නාමයේ ආර්ථිකය සීග්‍ර පරිවර්තනයකට ලක් වෙන්නේ මෙම ප්‍රතිපත්ති වෙනසින් පසුවයි. වැඩි විස්තර ඉදිරි ලිපියක කතා කරමු. 

Thursday, January 11, 2024

වියට්නාමය - පිටකවරය හා පොත

පිට කවරය දෙස බලලා පොත තේරුම් ගන්න යන්න එපා කියන එක පහුගිය දවස් වල තැන් තැන් වල දැකිය හැකි වූ කියමනක්. ඔය විදිහටම, රටක නම දිහා බලලා රට තේරුම් ගන්න යන්න එපා කියලත් කෙනෙකුට කියන්න පුළුවන්.

අපි කවුරුත් දන්නා පරිදි, 1978න් පසු ලංකාවේ නිල නාමය "ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය". නම අනුව මේ රට ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක්. ඒ වගේම, ලෝකයේ තිබෙන එවැනි එකම රට!

ලංකාවේ කාලයක් තිස්සේ පවතින ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක් තිබෙනවා. මෙය මැතිවරණ වලින් ආණ්ඩු බලය වෙනස් වන බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක්. කලාපයේ වෙනත් ඇතැම් රට වල මෙන් විප්ලව, කැරළි හෝ හමුදා කුමන්ත්‍රණ වලින් ලංකාවේ රාජ්‍ය බලය වෙනස් වෙලා නැහැ. ඒ නිසා, අඩුපාඩු තිබුණත්, ලංකාව ප්‍රජාතාන්ත්‍රික රටක් ලෙස හඳුන්වන එකේ වැරැද්දක් නැහැ.

එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193ක් අතරින් ලංකාව ඇතුළු රටවල් නවයක නිල නාම වල "ප්‍රජාතාන්ත්‍රික" යන වචනය තිබෙනවා. එහෙත්, "සමාජවාදී" යන වචනය තිබෙන්නේ තවත් එක් රටක නිල නාමයේ පමණයි. ඒ රටේ නිල නාමයේ "ප්‍රජාතාන්ත්‍රික" යන වචනය නැහැ. ඒ නිසා, අවශ්‍යනම්, නම අනුව යමින්, ඒ රට "ප්‍රජාතාන්ත්‍රික නොවන සමාජවාදී රටක්" ලෙස හඳුනා ගන්නත් පුළුවන්. 

මේ අනෙක් රට වියට්නාම් සමාජවාදී ජනරජය හෙවත් කෙටියෙන් සහ කවුරුත් එදිනෙදා භාවිතාවේදී කියන විදිහට වියට්නාමය. වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ අධිකාරී බලය යටතේ පාලනය වෙන වියට්නාමයේ ලංකාවේ මෙන් බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. ඒ අතින් වියට්නාමය පැරණි හා දැනටත් ශේෂ වී තිබෙන අනෙකුත් සමාජවාදී රටවල් වලට සමානයි. ඒ අනුව බැලුවහම වියට්නාමයට එහි නිල නම ගැලපෙනවා.

දේශපාලන ආකෘතිය මේ ආකාරයේ එකක් වුනත්, පසුගිය දශක කිහිපය තුළ වියට්නාම් ආර්ථිකය ගොඩක් වේගයෙන් වර්ධනය වූ බව කරුණක් ලෙස ඇත්තක්. 1990දී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 8.03ක්ව තිබියදී වියට්නාමයේ දදේනිය ඩොලර් බිලියන 6.47ක් පමණයි. 2022 වන විට වියට්නාමයේ ආර්ථිකය ඩොලර් බිලියන 408.8ක් වෙලා, නමුත් ලංකාවේ ආර්ථිකය ඩොලර් බිලියන 74.4ක් පමණයි. 

අවුරුදු 32ක කාලයක් ඇතුළත, ලංකාවට වඩා කුඩා ආර්ථිකයක් තිබුණු රටක ආර්ථිකය ලංකාව වගේ පස් ගුණයකටත් වඩා වැඩි වුනේ කොහොමද? 

වියට්නාමයෙන් ලංකාවට ඉගෙන ගන්න දේවල් මොනවා හෝ තිබිය යුතුයි කියන එක පැහැදිලි කරුණක්. නමුත් ප්‍රශ්නය ඒ මොනවාද කියන එකයි. මේ සඳහා අප‍ට ලංකාව හා වියට්නාමය අතර යම් සංසන්දනාත්මක විමසුමක් කරන්න වෙනවා. එය සීරුමාරුවට කළ යුතු වැඩක්. එක ලිපියකින් පමණක් කරලා ඉවර කරන්න බැරි වෙයි.

වියට්නාමය වර්ග කිලෝමීටර 331,212ක රටක්. ඒ කියන්නේ ලංකාව මෙන් පස් ගුණයකට වඩා ලොකු රටක්. ජනගහණය මිලියන 98ක් පමණ. ලංකාවේ ජනගහණය මෙන් හතර ගුණයකට වඩා වැඩියි. කෙටියෙන් කිවුවොත් වියට්නාමය කියන්නේ ලංකාව මෙන් හතර පස් ගුණයක් ලොකු රටක්.

ඔය වගේ ලංකාව මෙන් කිහිප ගුණයක් ලොකු රටක දදේනිය ලංකාවේ දදේනිය එක්ක සංසන්දනය කරන එක නිවැරදි ක්‍රමයක් නෙමෙයි. එක පැත්තකින් වැඩි ඉඩම් ප්‍රමාණයක් නිෂ්පාදනය සඳහා යොදා ගැනීමේ අවස්ථාව තියෙද්දී, වැඩි ශ්‍රමිකයන් පිරිසක් නිෂ්පාදනයට දායක වෙද්දී දදේනිය කොහොමටත් ඉහළ යා යුතුයි. අනෙක් අතින් මේ විදිහට ඉහළ යන දදේනිය වැඩි පිරිසක් අතර බෙදී යනවා. ඒ නිසා, හරි සංසන්දනයක් කළ හැක්කේ ඒක පුද්ගල දදේනිය දිහා බැලීමෙන් පමණයි.

පසුගිය (2022) වසරේදී වියට්නාමයේ ඒක පුද්ගල දදේනිය ඇමරිකන් ඩොලර් 4,164ක්. ලංකාවේ එම අගය ඇමරිකන් ඩොලර් 3,354ක් පමණයි. කොහොම වුනත් ලංකාව මේ විදිහට වියට්නාමය හිටපු තැනින් පහළට වැටුණේ 2022 වසර තුළයි. ඒ දක්වා, ලංකාව හිටියේ වියට්නාමයට වඩා ඉදිරියෙන්. ආර්ථික අර්බුදයට පෙර, 2019දී ලංකාවේ ඒක පුද්ගල දදේනිය ඩොලර් 4,083ක් වෙද්දී වියට්නාමයේ එම අගය ඩොලර් 3,491ක් පමණයි. ඉන් පසු වසර වලදී වගේම 2019දී පවා වියට්නාමය ඉස්සරහට යද්දී ලංකාව පස්සට ගියා. 


වැදගත් කරුණ මේකයි. වියට්නාමයේ දදේනිය ලංකාවේ දදේනිය මෙන් හතර ගුණයක් වන තුරු ප්‍රසාරණය වී ඇතත්, රටේ මිනිසුන්ගේ ජීවන තත්ත්වය පිළිබිඹු කරන ඒක පුද්ගල දදේනිය දිහා බැලුවහම එවැනි ලොකු වෙනසක් නැහැ. වියට්නාමය කරලා තියෙන්නේ අවුරුදු 32ක් මහන්සි වෙලා අන්තිමට ලංකාව ඉන්න තැනට එන එක!

මේකෙන් අදහස් වෙන්නේ වියට්නාමයෙන් ගන්න දෙයක් නැති බවද?

නැහැ. වියට්නාමය ආ ගමනේ අවධානය යොමු කළ යුතු දේ තිබෙනවා. අන්තිමට වියට්නාමය ඇවිත් තියෙන්නේ ලංකාව ඉන්න තැනට වුනත්, වියට්නාමය මේ ගමන පටන් ගන්නේ ලංකාවට වඩා ගොඩක් පසුපස තැනක ඉඳලයි. 1990දී ලංකාවේ ඒක පුද්ගල දදේනිය ඩොලර් 467ක් වන විට වියට්නාමයේ එම අගය ඩොලර් 97ක් පමණයි. අවුරුදු 32ක් යද්දී ඔය පරතරය නැති වී වියට්නාමය ඉස්සරහට එනවා. ඔය කාලය ඇතුළත වියට්නාම් දදේනිය එක දිගටම ලංකාවට වඩා ඉහළ වර්ධන වේගයක් පවත්වා ගන්නවා. ඒක කළේ හෝ ඒක වුනේ කොහොමද?

වියට්නාමය රටේ නම අනුව වගේම දේශපාලන ක්‍රමය අනුවත් සමාජවාදී රටක් බව ඇත්ත. ඔය ආකෘතියේ අනෙක් රටවල් වගේම වියට්නාමයත් කාලයක් තිස්සේ අනුගමනය කළේ මධ්‍යගත සැලසුමකට අනුව රටේ නිෂ්පාදනය හා බෙදා හැරීම සැලසුම් කරන එකයි. නමුත්, 1990 පමණ සිට වියට්නාමය ක්‍රමයෙන් ඔය ක්‍රමයෙන් විතැන් වෙමින් වෙළඳපොළට ඉඩ දෙන්න පටන් ගත්තා. ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙන්න පටන් ගත්තේ ඊට පස්සේ. 

අහන්න තිබෙන හරි ප්‍රශ්නය මේකයි. 1990 වන විටත් වියට්නාමයේ ඒක පුද්ගල දදේනිය ලංකාවේ එම අගයෙන් හතරෙන් එකකටත් වඩා අඩු මට්ටමක තිබුණේ ඇයි? එවැනි දෙයක් වුනේ මොන විදිහේ ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරද්දීද? ඊට පස්සේ ඒ තත්ත්වය වෙනස් වී ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙන්න හේතු වුනේ මොන විදිහේ ප්‍රතිපත්ති වෙනස්කම්ද?

ඔය කරුණු අපි පසුව විස්තර සහිතව කතා කරමු. නමුත්, අපිට වඩා වැදගත් වියට්නාමයේ වුනු දේ නෙමෙයිනේ. වියට්නාමය අනුගමනය කරලා ලංකාවට ඒ වගේ වේගවත් ආර්ථික වර්ධනයක් ලබා ගන්න බැරිද? 

වියට්නාමය ඔය විදිහට ගැම්මේ දුවන්න පටන් ගනිද්දී එහි ඒක පුද්ගල ආදායම ඩොලර් 97ක් පමණක් වූ බව මම කලින් කිවුවනේ. ඒ කියන්නේ ඒ වෙද්දී එහි ශ්‍රමය ගොඩක්ම ලාබයි. ශ්‍රමයේ මිල ඔය තරම් පහළ මට්ටමක තියෙද්දී කළ හැකි දේ ශ්‍රමයේ මිල ඉහළ ගියාට පස්සේ ඒ විදිහටම කරන්න බැහැ. ලංකාව ඔය මට්ටම පහු කළේ සෑහෙන කාලයකට කලින්.

ඇත්තටම මෙහිදී වුනේ මධ්‍යගත සැලසුම් ක්‍රමය නිසා එක තැන හිර වී තිබුණු වියට්නාමයේ ආර්ථිකය ක්‍රමයෙන් නිදහස් වෙද්දී එය තිබිය යුතු තැන දක්වා වේගයෙන් ගමන් කිරීම. ලංකාවේ ආර්ථිකයද නිදහස්ව නොතිබුණත් ඒ තරමටම හිර වී තිබුණේ නැහැ. 

ඒක පුද්ගල ආදායම ඩොලර් සීයකට අඩුව පැවති කාලයේදී අනුගමනය කළ උපාය මාර්ග හෝ වේගවත් ආර්ථික වර්ධනයකට දායක වූ වෙනත් අහඹු දේවල් ඒක පුද්ගල ආදායම ඩොලර් හාර දාහක මට්ටමට ආවට පස්සේ ඒ විදිහටම උපකාරී වෙන්නේ නැහැ. ඒ නිසා, වියට්නාමයේ අතීතය දිහා බලාගෙන ලංකාව විසින් එයින් ගත යුතු දේ ගන්නවානම් එය පරිස්සමින් කළ යුතුයි. මොකද වියට්නාමය කරපු දේවල් වලින් වියට්නාමයට හැකි වී තිබෙන්නේ හිටපු තැන ඉඳලා දැන් ලංකාව ඉන්න තැනට එන්න පමණයි. ලංකාව දැනටමත් එතැනට ඇවිත් ඉවරයි.

මෙයින් අදහස් වෙන්නේ මෙතැනින් එහාට වියට්නාම් ආර්ථිකයේ වර්ධනය නවතියි කියන එක නෙමෙයි. වියට්නාම් ආර්ථිකය ඉදිරියටත් දිගටම වර්ධනය වෙයි. එහෙම වර්ධනය වෙලා ලංකාව ඉන්න තැනින් ගොඩක් එහාට යන්නත් බැරිකමක් නැහැ. ලංකාව විමසිල්ලෙන් බලා සිටිය යුත්තේ අන්න ඒ වර්තමානය දිහා. 

වියට්නාම් පොතේ කියවිය යුතු පිටු මොනවාද? මේ කියවිය යුතු පිටු ගැන ඉදිරි ලිපියකින් කතා කරමු.

Tuesday, January 9, 2024

දූරියන් ගෙඩියක අපූරු චාරිකාව


අපේ ගෙවල් පැත්තේ තරමක් මෑතකදී ලෝකයේ වෙනත් විවිධ රටවලින් ආනයනය කරන ආහාර ද්‍රව්‍ය විකුණන සුපිරි වෙළඳසැලක් විවෘත කළා. මීට කලිනුත් මේ වගේ ජාත්‍යන්තර ආහාර වර්ග විකුණන වෙළඳසැල් තිබුණත් මෙය ඒවාට වඩා ගොඩක්ම ලොකු එකක්. ලෝකයේ විවිධ රටවල් හෝ කලාප වෙනුවෙන් වෙන් වුනු කොටස් එහි තිබෙනවා. පැත්තක රටවල් කිහිපයකම පිසූ ආහාර විකුණන භෝජන ශාලා කිහිපයකුත් තිබෙනවා. හැබැයි ලංකාවේ අපනයනයක් කියා දැක්කේනම් එක්තරා සන්නාමයක තේ පමණයි. 

දවස් කිහිපයකට කලින් එහි ගිය වෙලාවේ දූරියන් ගෙඩියක් මිල දී ගත්තා. මේ සමඟ එහි ඡායාරූපයක් පළ කර තිබෙනවා. පොඩි ගෙඩියක්. බර රාත්තල් 3.13ක් පමණයි. රාත්තලක් ඩොලර් 5.99 බැගින් දූරීයන් ගෙඩියට ඩොලර් 18.75ක් ගියා. ඩොලර් එක රුපියල් 320 ගණනේ ගණන් හැදුවොත් රුපියල් හය දාහක්. මේ තරමේ දූරීයන් ගෙඩියක් ලංකාවේනම් රුපියල් දාහකට වඩා අඩු විය යුතුයි. ලංකාවේදී ඔය ගාණට ගෙඩි හත අටක්ම ගන්න පුළුවන් වෙයි. 

ලංකාවේ මිල වගේ හත් අට ගුණයක් වුනත්, දූරීයන් ගෙඩියක් ආසියාතික රටක ඉඳලා ඇමරිකාව දක්වා එද්දී සිදු වන අගය එකතු කිරීම සැලකූ විට මෙය සාධාරණ මිලක්. ඔය බිලේම දැකිය හැකි රාත්තල් 1.28ක දෙල් ගෙඩිය ඩොලර් 2.55ක්. ඒ කියන්නේ රුපියල් 816ක්. ඒකනම් එන්න ඇත්තේ දකුණු ඇමරිකාවේ ඉඳලා. 

අපි ගොඩක් වෙලාවට ලංකාවට එන්නේ ඇමරිකාවේ ග්‍රීෂ්ම නිවාඩු කාලය අල්ලලා. ඒ කාලය ලංකාවේ රඹුටන්, දූරීයන්, මැන්ගුස් ආදිය හැදෙන කාලය. ඒ නිසා, ලංකාවේදී මේ පළතුරු ඇති වෙන්න කාලා යන්න පුළුවන්. මේවා ඇමරිකාවෙනුත් මිල දී ගන්න පුළුවන් වුනත් සාපේක්ෂව මිල වැඩි නිසා ලංකාවේදී වගේ හිතේ හැටියට කන්න බැහැ. මිල පැත්තකින් තිබ්බත්, ශීත කර කල් තබාගත් පළතුරු අලුත් පළතුරු තරමටම දැනෙන්නේ නැහැ. අඹ, ගස්ලබු, අන්නාසි වගේ පළතුරුනම් ඇමරිකාවේ වුනත් සුලබයි වගේම කලින් කී වර්ග වලට සාපේක්ෂව මිල අඩුයි. 

රඹුටන්, දූරීයන්, මැන්ගුස් තුනේම සම්භවය මැලේසියා-ඉන්දුනීසියා කලාපය. මේ නම් වල සම්භවයත් මැලේ/ඉන්දුනීසියන්. "දුරී" කියන්නේ මැලේ/ඉන්දුනීසියන් භාෂා වලින් කටු. "රඹුට්" කියන්නේ කෙස් නැත්නම් මයිල්. මේ වචන වලට "අන්" ප්‍රත්‍යය එකතු වෙලා දුරියන් හා රඹුටන් වෙනවා. මේ පළතුරු ලංකාවට එන්නේ පෘතුගීසින් හරහා. පෘතුගීසින් නිසා ඔවුන්ගේ මල්වානේ බලකොටුව ආශ්‍රිතව රඹුටන් ව්‍යාප්ත වුනා. ඒ නිසා මල්වාන රඹුටන් වලට ප්‍රසිද්ධ වුනා. ඔය විදිහටම කළුතර පෘතුගීසි බලකොටුව නිසා ඒ පැත්තේ මැන්ගුස් පැතිරුණා. කළුතර මැන්ගුස් වලට ප්‍රසිද්ධ වුනා. දූරීයන් වලටනම් ඔය විදිහට ලංකාවේ නිශ්චිත ප්‍රදේශයක් ප්‍රසිද්ධ වෙලා නැහැ. 

පෘතුගීසින් විසින් මේ විදිහට ලංකාවට විවිධ බෝග වර්ග අරගෙන ඇවිත් තියෙන්නේ මැලේසියා-ඉන්දුනීසියා කලාපයෙන් පමණක් නෙමෙයි. දැන් ලංකාව පුරා ව්‍යාප්ත පළතුරක් වන අන්නාසි වගේම, රටේ සංස්කෘතියේ කොටසක් වී තිබෙන කජුත් ඔවුන් දකුණු ඇමරිකාවෙන් අරගෙන ආපු බෝග වර්ග. මේ නම් වල සම්භවය දැන් අභාවයට ගොස් තිබෙන වත්මන් බ්‍රසීලයේ ජීවත් වූ ස්වදේශිකයන්ගේ භාෂාවක් වූ තුපි භාෂාව. කජු කියන්නේ පෘතුගීසි භාෂාව හරහා සිංහලට එකතු වෙන තුපි වචනයක්. අන්නාසි වෙන්නේ අනනාස්. එහෙම නැත්නම් එකම තේරුම තිබෙන අනනාස් හා අබකාසි වචන දෙකේ කළවමක්. 

ලංකාවේ ගොඩක් අය ඇමරිකාවට එන කොට කජු අරගෙන එනවා. නමුත් ඇත්තටම කජු ලංකාවට ඇවිත් තියෙන්නේ දකුණු ඇමරිකාවෙන්. ඇමරිකාවේ කජු සුලබයි වගේම සාපේක්ෂව ලාබයි. 

කොහොම වුනත්, රඹුටන්, දූරීයන්, මැන්ගුස් වගේ පළතුරුනම් ඇමරිකාවට ආගන්තුකයි. බොහෝ විට මේ පළතුරු විකිණෙන්නේ ජාත්‍යන්තර ආහාර විකුණන කඩයක. එහෙම නැත්නම්, වියට්නාම්, තායි හෝ පොදුවේ ආසියානු ආහාර ද්‍රව්‍ය විකුණන කඩයක. ආසියාවේ රටක ඉඳලා දුරියන් ගෙඩියක් ඇමරිකාවේ ඒ වගේ කඩයක් දක්වා එන ගමනේදී දිගින් දිගටම පියවරෙන් පියවර අගය එකතු වීමක් සිදු වුනත්, ඒ විදිහට විදිහට අගය එකතු වෙද්දී භෞතික ලෙස දුරියන් ගෙඩියේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. එකම දුරියන් ගෙඩිය තමයි දිගටම එන්නේ.

භාණ්ඩයකට අගය එකතු වෙනවා කියන එකෙන් ඒ භාණ්ඩය භෞතිකව වෙනස් වෙනවා කියන එක අනිවාර්යයෙන් අදහස් වෙන්නේ නැහැ. ඇමරිකාවේ සුපිරි වෙළඳසැලක විකිණෙන ලංකාවේ මහපු ඇඟලුමක් ලංකාවේ ඇඟලුම් කම්හලෙන් එළියට යන කොටසම එහි සිදු වෙන භෞතික වෙනස්කම් වෙලා ඉවරයි. එතැනින් එහාට අගය එකතු වෙන්නේ වෙන ක්‍රමයකට. ඒක තේරුම් ගන්න පුලුවන් කෙනෙකුට වෙළඳපොළ යාන්ත්‍රනයත් සෑහෙන දුරකට තේරුම් ගන්න පුළුවන්.

ගෙවල් ළඟ සුපිරි වෙළඳසැලෙන් මම මිල දී ගත්ත දුරියන් ගෙඩිය තායිලන්තයේ හැදුනු දුරියන් ගෙඩියක්. ලංකාවේ හැදුනු දුරියන් ගෙඩියක් වුනත් ඔය ක්‍රමයට ඇමරිකාවට එන්න පුළුවන් නිසා අපි තායිලන්තය වෙනුවට ලංකාව ආදේශ කරමු. ලංකාවේ ගහක හැදෙන දුරියන් ගෙඩියක් ඇමරිකාවට එද්දී එයට අගය එකතු වෙන්නේ කොහොමද? 

භාණ්ඩයක වටිනාකම තීරණය වෙන්නේ එහි භෞතික ස්වභාවය මත පමණක් නෙමෙයි. එය තිබෙන තැන හා වෙලාව වටිනාකම කෙරෙහි විශාල බලපෑමක් කරනවා. මැදපෙරදිග රටක පොළොව යට තිබෙන බොරතෙල් සහ සපුගස්කන්දට එන බොරතෙල් වගේ. ලංකාවේ ගහක තියෙන දුරියන් ගෙඩියක් ඇමරිකාවේ සුපිරි වෙළඳසැලකට ඒ විදිහටම ආවත් ඒ දුරියන් ගෙඩිය තව දුරටත් ගහේ තිබුණු දුරියන් ගෙඩියම නෙමෙයි.

මේ දුරියන් ගෙඩියේ භෞතික ලෙස දැකිය හැකි අගය එකතු කිරීමක් ඇත්නම් ඒ එය දමා තිබෙන ඇසුරුම නිසා වූ අගය එකතු වීම පමණයි. මෙය ප්ලාස්ටික් කොක්කක් සහිත දැල් උරයක්. මේ අසුරණය නිසා දුරියන් ගෙඩිය පහසුවෙන් අරගෙන යන්න පුළුවන්. අර ඉස්සර හිටපු රාජ්‍ය නායකයෙක් කළා කියනවා වගේ යම රජ්ජුරුවන්ට දෙන්න අපායට වුනත් අරන් යන්න අමාරුවක් නැහැ මේ උරය හා කොක්ක නිසා. ඒ පහසුව ඇරුණු විට දුරියන් ගෙඩිය දුරියන් ගෙඩියක්ම තමයි.

දුරියන් ගෙඩියක් ඇමරිකාවට එද්දී එයට අගය එකතු වෙන්නේ ඔය ගෙඩිය ගහේ ඉඳලා ප්‍රධාන පාරක් අයිනට එද්දී අගය එකතු වෙන විදිහටම තමයි. වෙනස අතරමැදියන් වැඩි ගණනක් සිටීම පමණයි. හැබැයි මේ හැම අතරමැදියෙක් විසින්ම කරන අගය එකතු කිරීමක් තිබෙනවා. ඔවුන්ගේ ආදායම වෙන්නේ පාරිභෝගිකයාට සාපේක්ෂව එම අගය එකතු කිරීමේ වටිනාකම. 

තායිලන්තය වගේ රටවල් වලින් අපනයනය කරන්නේ වගාවක් විදිහට පිළිවෙලකට වවන දුරියන්. දැන් ලංකාවේ වුනත් මේ විදිහට පිළිවෙළකට දුරියන් වගා කරනවා. නමුත්, දශක හතර පහකට පෙර කාලයේ දුරියන් තියා රඹුටන්වත් ඔය වගේ පිළිවෙලකට වැවුවේ නැහැ. කෙටි කලකින් පළ දරන බද්ධ පැල වර්ග ප්‍රචලිත වෙන්න කලින් දුරියන් වගේම රඹුටන් ගසුත් විශාල ගස්. දෙවර්ගයම දැව ලෙසත් භාවිතයට ගත්තා. විශේෂයෙන්ම දුරියන් ගස් ගොඩක් ලොකු ගස්. 

ප්‍රධාන පාරක් කිට්ටුවක නැති අපේ ඥාති නිවසක ඔය වගේ විශාල දුරියන් ගහක් තිබුණා. ඔය ගහෙන් ඒ දවස්වලත් දුරියන් වාරයට විශාල ආදායමක් ලැබුණා. ගහ කොයි තරම් වයස ගහක්ද කියලා හරියටම දන්නේ නැහැ. ඇට වැටිලා වටේට පැල වෙලා තිබුණු පරිවාර ගස් වුනත් ඒ වෙද්දී සෑහෙන්න ලොකුයි.

ඒ වන විට ජීවත්ව සිටි මගේ ඉහළ පරම්පරාවටත් ඉහළ පරම්පරාවේ ඥාතියෙක් රස කරමින් කියපු විදිහට ඔහුට මතක ඇති කාලයේ සිට මේ ගස එතැන තිබී තිබෙනවා. ඒ කියන්නේ අඩු වශයෙන් පහුගිය සියවසට කලින් සියවසේ ඉඳලා. ඒ වෙද්දී ගහට අවුරුදු සීයක්වත් වයස ඇති. හැබැයි මේ ගහේ හැදෙන ගෙඩි රසවත් ආහාරයක් බව හෝ එහි ලොකු ආර්ථික වටිනාකමක් තිබෙන බව ඔවුන් දැනගෙන ඉඳලා නැහැ. ගහ ඔවුන්ට විශාල කරදරයක්ව තිබිලා පමණයි.

කියපු විදිහට ඒ කාලයේ දුරියන් වාරයට ඔය ගහ තිබෙන පැත්ත කවුරුවත් නොයන මුදා නොගත් කලාපයක්ලු. හේතුව පැහැදිලියිනේ. අඩි සීයක පමණ උඩක ඉඳලා ඔලුව උඩට දුරියන් ගෙඩියක් වැටුනොත් එතැනින් එහාට වෙන දේ හිතාගන්න පුළුවන්නේ. කිතුල පැත්තේ ගිහින් එන වෙලාවක වැඩේ බරපතලකම අමතක වෙලා ඔය ගහ පැත්තේ කරක් ගහපු සමහර අයට මාස ගණන් ඇඳක වැටිලා ඉන්න වෙලත් තියෙනවා. 

ඔය තරම් කරදරයක්නම් ගහ කපලා නොදැම්මේ ඇයි කියන එක ඒ දවස් වල ඔය කතාව අහද්දීත් මතක් වුන ඒත් අහපු නැති ප්‍රශ්නයක්. ලොකුවට ඉඩම් ප්‍රශ්නයක් නොතිබුණු ඒ කාලයේ ඔය පැත්ත අත ඇරියා කියලා ඒකෙන් එහෙමට පාඩුවක් නොවෙන්න ඇති. කොහොම හරි වාරේ ඉවර වෙද්දී ගහ යට දුරියන් ගෙඩි පිරිලා. මේ දුරියන් ගෙඩි ඉවත් නොකළොත් ඒවායේ කටු නිසා ඉතිරි කාලයේත් ඔය පැත්තේ නොයා අත අරින්න වෙනවා. ඊටත් වඩා ලොකු ප්‍රශ්නේ මේවායින් තව දුරියන් පැල හැදෙන එක. එක යක්ෂයෙක්ගේ කරදරේ මෙහෙමනම් යක්ෂ පැටවු සිය ගාණක් ලොකු වුනොත් කොහොමට තියෙයිද?

මේ ප්‍රශ්නෙට විසඳුමක් විදිහට කළා කියලා කියන්නේ හැම අවුරුද්දෙම වාරේ ඉවර වෙද්දී ලොකු වලක් කපලා ගහෙන් වැටී තිබෙන දුරියන් ටික වළලලා දමන එක. එක්තරා අහඹු සිද්ධියක් වෙනකම් අවුරුදු ගාණක් ඔය වැඩේ ඔය විදිහට වෙලා තියෙනවා.

ඔය කාලයේ ලංකාවේ ගොඩක් ගම් වගේම ඔය ගමත් බොහෝ දුරට ස්වයංපෝෂිත ගමක්. පිටින් කියලා ගන්නේ අවුරුද්දකට පමණ සැරයක් ගන්න රෙදි මොනවා හරි, දිය ලුණු වගේ බොහොම සීමිත දේවල් ටිකක්. ඒ දේවල් වුනත් පුවක්, ගම්මිරිස් වගේ දෙයක් එක්ක හුවමාරුවට ගන්න පුළුවන්. සල්ලි අවශ්‍ය නැහැ. වරින් වර ගමට ආපු මුස්ලිම් වෙළෙන්දෝ මේ හුවමාරුව කරලා තිබෙනවා.

ඔය විදිහට ගමට එන එක් මුස්ලිම් වෙළෙන්දෙක් දවසක් ගමට එද්දී මගේ වැඩිහිටි ඥාතියා ඔහුටත් වඩා වැඩිහිටි තවත් කීප දෙනෙක් එක්ක එකතු වෙලා අර කියපු වල කපනවා. මේක දකින මුස්ලිම් වෙළෙන්දා ඒ ගැන විමසද්දී කතාව දැන ගන්නවා. මුස්ලිම් වෙළෙන්දාට එක පාරටම කියවුනේ මොකක්ද කියලානම් මගේ ඥාතියා කිවුවේ නැහැ. 

මුස්ලිම් වෙළෙන්දා දුරියන් ගහ පැත්තට යන කොටත් කලින් බිම වැටුණු සමහර දුරියන් කන්න පුළුවන් තත්ත්වයක තියෙනවා. ඔහු පිස්සුවෙන් වගේ දුරියන් ගෙඩි කීපයක්ම කනවා. මුස්ලිම් වෙළෙන්දෙක් කියා කිවුවත් සමහර විට මැලේ සම්භවයක් තිබුණු කෙනෙක් වෙන්නත් පුළුවන්. ඔහු ආපහු යන්නේ හොඳ තත්ත්වයේ තිබුණු දුරියන් ගෝනි කීපයක්ම කරත්තයේ පටවාගෙන.

ඊට පස්සේ හැම අවුරුද්දේම දුරියන් වාරයට ඔය මුස්ලිම් වෙළෙන්දා එනවා. ඒ එන්නේ තව අත් උදවු කාරයෝ කීප දෙනෙක් එක්ක. එහෙම ඇවිත් ගහ යට වැටී තිබෙන දුරියන් සියල්ල එකතු කර ගෙන යනවා. ඒ නිසා කලින් වගේ වල කපන්න මහන්සි වෙන්න අවශ්‍ය නැහැ. මෙච්චර දුරියන් තොගයක් මොන කෙහෙම්මලකට අරන් යනවද කියලා හෝ ඔය ගඳ ගහන ජරාව නහයක් තියාගෙන කොහොම කනවද කියලා කවුරුවත් දන්නේ නැහැ.

පහු වෙද්දී මගේ ඥාතියා ඇතුළු ගමේ අනෙකුත් අයත් දුරියන් කන්න පුරුදු වෙනවා. එහි අමුතු රසට ඇබ්බැහි වෙනවා. ඒ වගේම, දුරියන් වල වටිනාකම අවබෝධ කර ගන්නවා. ඒක වුන විදිහනම් මට කියලා නැහැ. කොහොම හරි වෙන්න ඇති.

ආර්ථික විද්‍යා සංකල්ප අනුව කුමක් හෝ භාණ්ඩයක් අයිති කර ගන්නා කෙනෙක් එසේ කරන්නේ එයින් ලැබෙන උපයෝගීතාවය නිසා. මිලක් ගෙවන්නේ මේ උපයෝගීතාවය වෙනුවෙන්. නමුත් තමන් අකැමති දෙයක් ළඟ තබා ගැනීමෙන් ලැබෙන්නේ සෘණ උපයෝගීතාවයක්. කුණු වගේ දේවල් බැහැර කරන්න සල්ලි ගෙවන්නේ ඒ නිසා. 

කන්න පුරුදු වෙන්න කලින් මගේ ඥාතියා ඇතුළු ගමේ පිරිසට දුරියන් වලින් ලැබී තිබෙන්නේ සෘණ උපයෝගීතාවයක්. ඒ අය එකතු වෙලා මහන්සි වෙලා වලක් කපලා දුරියන් වල දමලා තියෙන්නේ ඒ නිසා. හරියට මැරිලා කුණු වෙන සතෙක්ව වල දමනවා වගේ. නමුත්, අර මුස්ලිම් වෙළෙන්දාට ඒකේ අනෙක් පැත්ත. ඔහු මේ දුරියන් අරගෙන ගිහින් ඒවා කීයකට හෝ විකුණන්න ඇති. හැබැයි ඔය දුරියන් ටික නිකම් දුන්නා කියලා මගේ ඥාතියාගේ පාර්ශ්වයට පාඩුවකුත් නැහැ. මොකද ඒ ටික මුස්ලිම් වෙළෙන්දා එකතු කරගෙන යන නිසා ඔවුන්ට දුරියන් වල දමන්න වෙන මහන්සිය ඉතුරු වෙනවා. මුදල් සම්බන්ධ වුනත් නැතත් නිදහස් ගනුදෙනු වලින් හැම විටම එයට සම්බන්ධ වන දෙපාර්ශ්වයටම වාසි වෙන්නේ ඔය විදිහටයි.

අදට වුනත් දුරියන් කියන්නේ හැමෝගෙම ප්‍රියතම කෑමක් නෙමෙයි. සමහර අයට දුරියන් ගඳ උහුලන්න බැහැ. ඒ කියන්නේ ඒ වගේ අයට දුරියන් වලින් ලැබෙන්නේ සෘණ උපයෝගීතාවයක්. හැබැයි දියුණු වෙළඳපොළක් තිබෙන සමාජයක ඒ වගේ කෙනෙකුට වුනත් දුරියන් වවලා ඒවා විකිණීම මගින් හොඳ ආදායමක් ලබන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ උපයෝගීතාවය වැඩි කරගන්න පුළුවන්. දුරියන් අතරමැදියෙකු විදිහට වුනත් සල්ලි හොයන්න පුළුවන්. තමන් දුරියන් කන්න කැමතිද නැද්ද කියන එක අදාළ නැහැ.

දියුණු වෙළඳපොළක් තියෙද්දී කෙනෙක් කළ යුතු තමන්ට වඩාත්ම වාසිදායක දෙය තමන්ට අවශ්‍ය දේ තමන් විසින්ම නිපදවා ගන්න එක නෙමෙයි. තමන්ට වැඩියෙන්ම අගය එකතු කිරීමක් කළ හැකි දේ කරන එක. වැඩියෙන් සල්ලි හොයන්න පුළුවන් කියා කියන්නේ තමන් අතින් වැඩි අගය එකතු කිරීමක් වෙනවා කියන එක. 

ගොඩක් වෙලාවට පාරවල් අයිනේ රඹුටන්, දුරියන් විකුණන්නේ ඒ ගස් අයිති අයම නෙමෙයි. මේ අය අතරමැදියෝ. එවැනි අය ගොඩක් වෙලාවට කරන්නේ ගහටම ගානක් කියලා මිල දී ගන්න එක. මෙහෙම කරද්දී යම් අවදානමක්ද ගන්න වෙනවා. 

ඔය විදිහට වාරයකට ගස් පිටින් බදු ගන්න අය තමයි ඒ ගස් වල රඹුටන්, දුරියන් පරිස්සම් කරගෙන පාරක් අයිනට ගෙනත් ගෙඩි ගාණට විකුණන්නේ. භෞතික පෙනුම හා අනෙකුත් ලක්ෂණ අනුවනම් පාර අයිනේ තියාගෙන විකුණන දුරියන් ගෙඩියක් සහ ගහ ළඟ තියාගෙන විකුනන දුරියන් ගෙඩියක් අතර වෙනසක් නැහැ. වෙනස තියෙන්නෙම දුරියන් ගෙඩිය පාර අයිනට ගෙනත් විකුණන එකේ. අතරමැදියා අගය එකතු කරන්නේ ඒ විදිහට.

පාර අයිනේ තැනකින් දුරියන් ගෙඩියක් මිල දී ගන්නා පාරිභෝගිකයාට ඒ වගේ දුරියන් ගෙඩියක් ගන්න ගහ ළඟට යන්න තරම් කාල වෙලාවක් නැහැ. ඒ නිසා, ඒ වගේ පාරිභෝගිකයෙක් දුරියන් ගෙඩියක් මිල දී ගනිද්දී දුරියන් ගෙඩියේ වටිනාකමට අමතරව තමන්ගේ ඉතිරි වන කාලය වෙනුවෙන්ද යම් මුදලක් ගෙවනවා. ඒක ඉතාම කැමැත්තෙන් කරන දෙයක්. මොකද ඒ වැඩි මිල ගෙවුවත් ගහ ලඟට ගිහින් දුරියන් ගන්න මහන්සි වෙනවාට වඩා ලාබයි.

අනෙක් පැත්තෙන් ඔය අතරමැදියාට මේ අගය එකතු කිරීම කරන්න යම් පිරිවැයක් දරන්න වෙනවා. ගහේ තිබෙන දුරියන් ආරක්ෂා කිරීමේ ඉඳලා ඒවා කැඩීම, ප්‍රවාහනය කිරීම, සුරක්ෂිත ලෙස ගබඩා කර තැබීම ආදී හැම දෙයකටම යම් පිරිවැයක් දරන්න වෙනවා. ඊට අමතරව මේ වැඩේට යම් මුදලක් හිර කරන එකේ ආවස්ථික පිරිවැයක් තිබෙනවා. තව ඕකට තමන්ගේ ශ්‍රම කාලය යෙදවිය යුතුයි. මේ සියල්ලටම අමතරව යම් අවදානමකුත් ගන්න වෙනවා. හැබැයි අතරමැදියා ඔය වැඩේ කරන්නේ ඔය සියල්ල කිරීමෙන් පසුවත් යම් ලාබයක් තියෙන නිසා. ඒ ලාබය තියෙන්නේ පාරිභෝගිකයාගේ පැත්තෙන් බැලූ විට මේ සියලු පිරිවැය හා අතරමැදියාගේ ලාබය ඉක්මවන අගය එකතු වීමක් සිදු වෙලා නිසා.

ආසියාතික රටක හැදෙන දුරියන් ගෙඩියක් ඇමරිකාවට එද්දී වෙන්නෙත් ඔය සංසිද්ධියේම දිගුවක්. වැඩි දුරක් ප්‍රවාහනය කළ යුතු වීම, අධි ශීතකරණ වල ගබඩා කර තබා ගත යුතු වීම ආදී හේතු නිසා මෙහිදී පිරිවැය වඩා ඉහළ යන නමුත් අවසාන වශයෙන් අතරමැදියා හෝ අතරමැදියන් විසින් කරන්නේ දුරියන් නිෂ්පාදකයා සහ පාරිභෝගිකයාව සම්බන්ධ කරන එක. වැඩි පිරිවැයක් දරාගෙන දුරියන් ගෙඩියක් ඇමරිකාවට ගෙනත් විකුණා ලාබයකුත් ගන්න පුළුවන් වී තිබෙන්නේ මේ ක්‍රියාවලියේදී ඒ සමස්ත පිරිවැයට වඩා වැඩි අගය එකතු වීමක් සිදු වෙන නිසා. ඕක අනෙක් අයට වඩා කලින් හඳුනාගන්න එක තමයි ව්‍යවසායකත්වය.

අප මිල දී ගත් දුරියන් ගෙඩිය වෙනුවෙන් ගෙවූ මිල ඒ ප්‍රමාණයේ ගෙඩියකට ලංකාවේදී ගෙවන්නට සිදු වන මිල මෙන් හත් අට ගුණයක් වැඩියි. ඒත් එහෙමයි කියලා දුරියන් ගෙඩියක් කන්න ලංකාවට යන්න බැහැ. ඇමරිකාවේ ඉඳලා ලංකාවට ගිහින් දුරියන් කන එකේ ආවස්ථික පිරිවැය එක්ක සංසන්දනය කළාම මේ ගාණට ඇමරිකාවෙන් දුරියන් ගෙඩියක් ගන්න තියෙන එක හොඳටම ලාබයි. ඒ නිසා, මේ වැඩෙන් මට වගේම දුරියන් නිෂ්පාදකයාගේ සිට අවසන් පාරිභෝගිකයා වන මා දක්වා ඉන්න සියලුම අතරමැදියන්ටත් සිදු වෙන්නේ වාසියක්. ගනුදෙනු හරහා ලෝකය එකට සම්බන්ධ වන තරමට බොහෝ දෙනෙකුට මේ වගේ වාසි අත් විඳින්න වැඩි ඉඩකඩක් ලැබෙනවා.

Sunday, January 7, 2024

නාගරීකරණය හා ආර්ථික වර්ධනය


ජාතික ගිණුම් ඇස්තමේන්තු අනුව, 2022 වසරේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය වූ රුපියල් බිලියන 24,147.7ක මුදලින් රුපියල් බිලියන 10,473.2ක් හෙවත් 43.4%ක් ආර්ථිකයට එකතු කර තිබෙන්නේ බස්නාහිර පළාතෙන්. නමුත්, මිලියන 22.2ක් වන රටේ ජනගහණයෙන් එම පළාත තුළ ඉන්නේ මිලියන 6.2ක් හෙවත් 28.0%ක් පමණයි. 

ඉහත ප්‍රතිශත දෙස බැලූ විට බස්නාහිර පළාතේ ඒක පුද්ගල ආදායම රටේ ඒක පුද්ගල ආදායමට වඩා සැලකිය යුතු තරමින් වැඩි බව පැහැදිලිව පෙනෙනවා. අනෙක් අතට, රටේ ඒක පුද්ගල ආදායම ඔය මට්ටමේ තියෙන්නේ බස්නාහිර පළාත නිසා කියා කියන්නත් පුළුවන්. 

මේ තත්ත්වය දෙස බලන්න පුළුවන් ආකාර දෙකක් තිබෙනවා. එසේ බැලිය හැකි එක විදිහක් වන්නේ "කොළඹට කිරි අපිට කැකිරි" ප්‍රශ්නයක් විදිහට බලන එක. එහෙම බලන්නේ නැතුව, "අපි කැකිරි විතරක් හද හදා ඉඳිද්දී කොළඹ කැකිරි වගේම කිරිත් හදනවා" කියලා කියන්නත් පුළුවන්. 

ප්‍රශ්නයක් හඳුනාගන්නා විදිහ මත ඒ ප්‍රශ්නයට විසඳුම් හොයන ආකාරයත් වෙනස් වෙනවා. පළමු ආකාරයෙන් ප්‍රශ්නය හඳුනා ගත්තොත්, අනෙක් අයට නොලැබෙන යම් දෙයක් කොළඹට ලැබෙනවා. එය අසාධාරණයක්. මේ අසාධාරණය නැති කිරීම මගින් ඒක පුද්ගල ආදායමේ තිබෙන විෂමතා නැති කරන්න පුළුවන්. 

නමුත්, දෙවන ක්‍රමයට බැලුවොත්, අනෙක් අය නොකරන දෙයක් කොළඹ කරනවා. එහෙම කරලා ආර්ථිකයට වැඩි දායකත්වයක් ලබා දෙනවා. ඒ නිසා, මෙහි විසඳිය යුතු ප්‍රශ්නයක් නැහැ. 

මේ ප්‍රශ්නය හෝ නැති ප්‍රශ්නය දෙස බැලිය හැකි ඉහත ආකාර දෙකටම යම් පදනමක් තිබෙනවා. ඒ නිසා, ඔය පැහැදිලි කිරීම් දෙකෙන් එකක් වෙනුවෙන් අනෙක් පැහැදිලි කිරීම පැත්තකට විසි කරන්න බැහැ. 

දළ දේශීය නිෂ්පාදිතය කියා කියන්නේ රට තුළ සිදු වූ සමස්ත අගය එකතු කිරීම. නිෂ්පාදනයක් කරද්දී කිසියම් අගය එකතු කිරීමක් වෙනවා. නමුත් අගය එකතු කිරීමක් වෙන්නේ නිෂ්පාදනයක් කරද්දී පමණක් නෙමෙයි. නිෂ්පාදනය කළ දේ හුවමාරු වෙන තරමට තව තවත් අගය එකතු වෙනවා. 

අපි හිතමු තමන්ගේ කෑමට පොල් හා බිත්තර නිපදවා ගන්නා දෙදෙනෙක් ගැන. මේ දෙන්නාම තමන්ට අවශ්‍ය ප්‍රමාණයට බිත්තර හා පොල් නිපදවා ගන්නවා. එහිදී රටේ ආර්ථිකයටත් අගය එකතු කිරීමක් වෙනවා. මේ එක් එක් නිෂ්පාදනය වෙනුවෙන් මේ දෙන්නාටම යම් ශ්‍රම කාලයක් වැය කරන්න වෙනවා. 

දැන් මේ දෙන්නාගෙන් එක් අයෙක් පොල් නිපදවන එක නවත්වලා බිත්තර පමණක් නිපදවන්නත්, අනෙක් එක්කෙනා බිත්තර නිපදවන එක නවත්වලා පොල් පමණක් නිපදවන්නත්, කලින් වැඩ දෙකටම යෙදවූ තමන්ගේ ශ්‍රම කාලය යොදවනවා කියා අපි හිතමු. ඒ කියන්නේ කලින් මහන්සි වුනු තරමට වඩා  දැන් මහන්සි වෙන්නේ නැහැ. එහෙම කරලා මේ දෙන්නා බිත්තර හා පොල් හුවමාරු කරගත්තා කියා හිතමු. 

මේ විදිහට පොල් හා බිත්තර දෙකම වෙනුවට එක දෙයක් හදන්න තමන්ගේ කාලය යෙදවීම නිසා සමස්තයක් ලෙස පොල් නිෂ්පාදිතය වගේම බිත්තර නිෂ්පාදිතයත් ඉහළ යාම සාමාන්‍ය තත්ත්වයයි. ඊට අඩු වශයෙන් හේතු දෙකක් තිබෙනවා. පළමුව, දැන් පොල් හදන්න තෝරා ගන්නේ ඒ වැඩේ හොඳටම කරන්න පුළුවන් පුද්ගලයා. බිත්තර හදන්නේ ඒ වැඩේ හොඳටම කරන්න පුළුවන් පුද්ගලයා. දෙවනුව, වැඩ දෙකක් වෙනුවට එකක් එක දිගටම කරද්දී ඒ සම්බන්ධව විශේෂ ප්‍රාගුණ්‍යයක් ඇති වෙනවා.

මේ හේතුව නිසා, බිත්තර හදන පුද්ගලයාට බිත්තර සමඟ හුවමාරු කර කලින් පොල් ප්‍රමාණය ලබා ගත්තාට පස්සේ කලින් හදාගත් බිත්තර ප්‍රමාණයට වඩා බිත්තර ප්‍රමාණයක් අතේ ඉතිරි වෙනවා. අනෙක් පැත්තෙන් පොල් හදන පුද්ගලයාට පොල් සමඟ හුවමාරු කර කලින් බිත්තර ප්‍රමාණය ලබා ගත්තාට පස්සේ කලින් හදාගත් පොල් ප්‍රමාණයට වඩා පොල් ප්‍රමාණයක් අතේ ඉතිරි වෙනවා. ඔය විදිහට බිත්තර හා පොල් ප්‍රමාණයක් අතේ ඉතිරි වෙන්නේ සිදු වූ හුවමාරුව නිසා. එහෙම නැතුව කලින් වගේ බිත්තර හා පොල් දෙවර්ගයම තමන් විසින් හදා ගත්තානම් ඔය ඉතිරිය වෙන්නේ නැහැ. නමුත් අවස්ථා දෙකේදීම යෙදවූ ශ්‍රම කාලය සමානයි. ඒ නිසා ඉතා පැහැදිලිවම දෙවන අවස්ථාවේදී ජීවන තත්ත්වයේ ඉහළ යාමක් තිබෙනවා.

දැන් මේ උදාහරණයේදී මම මුදල් සම්බන්ධ කර ගත්තේ නැහැ. අගය එකතු වීම සිදු වෙන්නේ ගනුදෙනු වැඩිවීම නිසා මිසක් ඒ ගනුදෙනු වලට මුදල් සම්බන්ධ වීම නිසා නෙමෙයි. මුදල් කියන්නේ ගනුදෙනු පහසු කරන මාධ්‍යයක් පමණයි. 

මේ උදාහරණයේදී මෙන් දෙදෙනෙකු ගනුදෙනු හරහා සම්බන්ධ වූ පසු බිත්තර හදන්නේ ඒ දෙන්නාගෙන් හොඳින්ම බිත්තර හැදිය හැකි පුද්ගලයා. පොල් හදන්නේ හොඳින්ම පොල් හැදිය හැකි පුද්ගලයා. සම්බන්ධ වන ප්‍රමාණය සීයක් වුනොත්, ඉන් පසුව බිත්තර හදන්නේ ඒ සිය දෙනාගෙන්ම හොඳින්ම බිත්තර හැදිය හැකි පුද්ගලයා. පොල් වුනත් එහෙමයි. ඒ නිසා ගනුදෙනු හරහා වැඩි පිරිසක් සම්බන්ධ වන තරමට නිෂ්පාදනය වඩ වඩා කාර්යක්ෂම වෙනවා.

අනෙක් පැත්තෙන් ගනුදෙනු හරහා වැඩි පිරිසක් සම්බන්ධ වන තරමට ඕනෑම පුද්ගලයෙක් විසින් තමන් විසින් තමන් වෙනුවෙන් නිපදවා ගන්නා දේවල් ප්‍රමාණය සීමා වෙනවා. මේ ඇතැම් අය විසින් නිපදවන්නේ තමන්ට කිසිසේත්ම අවශ්‍ය නොවන දෙයක් වෙන්න පුළුවන්. නමුත් ඒ සමඟ හුවමාරු කර තමන්ට අවශ්‍ය දේ ලබා ගත හැකිනම්, එහෙම කරන එකෙන් අවසාන වශයෙන් තමන්ගේ ජීවන තත්ත්වය ඉහළ යනවානම් තව වෙන මොනවද? 

රටක ආර්ථිකය තුළ සිදු වන අගය එකතු කිරීම් මුදලින් මැනිය හැකි නිසා, මෙයින් කියවෙන්නේ මොන විදිහකින් හෝ සල්ලි හොයාගෙන ඒ සල්ලි වලින් තමන්ට අවශ්‍ය දේවල් මිල දී ගන්න එක ඒ දේවල් තමන් විසින්ම හදා ගන්නවාට වඩා වාසියිනම් කරන්න තියෙන්නේ ඒක නේද කියන එක. මේ වැඩේ වැඩි වැඩියෙන් සිදු වෙන තරමට පුද්ගලයෙකුගේ ජීවන තත්ත්වය වැඩි දියුණු වෙනවා. රටේ ගොඩක් අයගේ ජීවන තත්ත්වය ඔය විදිහට ගනුදෙනු හරහා වැඩි දියුණු වෙද්දී ඒ රටේ ආර්ථිකය ප්‍රසාරණය වෙනවා. දළ දේශීය නිෂ්පාදිතය වැඩි වෙනවා. පළාතක් වැනි රටක කොටසක් ගත්තත් එහෙමයි.

ඉහත හේතුව නිසා, ගම් වලට සාපේක්ෂව නගර වල ඒක පුද්ගල ආදායම වැඩියි. ජීවන තත්ත්වය වඩා හොඳයි. මොකද නගර වල ජන ඝණත්වය වැඩියි. ඒ නිසාම වැඩි දෙනෙක් ගනුදෙනු හරහා එකට සම්බන්ධ වෙනවා. ඒ විදිහට ගනුදෙනු වැඩි වන තරමට ආර්ථිකයට සිදුවන අගය එකතු කිරීම් ඉහළ යනවා. ඒ වගේම, තනි පුද්ගලයෙක්ට තමන් වඩාත්ම දක්ෂ (බොහෝ විට ඒ නිසාම වඩාත්ම කැමති) රැකියාව කරන්න වැඩි අවස්ථාවක් ලැබෙනවා. මොකද ගනුදෙනු හරහා විශාල පිරිසක් සම්බන්ධ වෙලා නිසා තමන් නිපදවන භාණ්ඩය හෝ සේවාව වෙනුවෙන් හොඳ මිලක් ගෙවන්න කැමති ප්‍රමාණවත් පිරිසක් ඒ ගොඩේ ඉන්නවා. ගමක එවැනි පිරිසක් නැහැ.

ලංකාවේ ගම් වල අය නගර ගැන බොහෝ විට කියන නිශේධනාත්මක කතාවක් තිබෙනවා.

"හැම දේම සල්ලි වලටම ගන්න එපායැ!"

ඕක ඔය විදිහට නොබලා වෙනත් විදිහකටත් බලන්න පුළුවන්.

"සල්ලි තියෙනවානම් ඕනෑ දෙයක් ගන්න පුළුවන්!"

ඔය අවස්ථාව ගමේ නැහැ. නගරයේ තිබෙනවා. ඒකෙන් අනෙක් පැත්තෙන් කියැවෙන්නේ ඕනෑ දෙයක් විකිණීමේ අවස්ථාවත් නගරයේ තියෙනවා කියන එක. ඒ කියන්නේ කෙනෙකුට සල්ලි හොයන්න ක්‍රම වැඩි ප්‍රමාණයක් නගරයේ තිබෙනවා. ගමේ ඒ ප්‍රමාණය සීමිතයි. මොකද ගනුදෙනු හරහා එකට සමබන්ධ වී ඉන්න ප්‍රමාණය පොඩියි. 

(මෙහි සල්ලි හොයන අවස්ථා ගැන කියද්දී එයින් අදහස් කරන්නේ රටේ ආර්ථිකයට අගය එකතු කිරීමක් කරන භාණ්ඩ හා සේවා නිෂ්පාදන ගැන. සල්ලි හෙවිය හැකි අයථා ක්‍රම ගැන නෙමෙයි. ඒවා එක්ක පටලවා ගන්න එපා.)

රටක් ලෝකයට විවෘත වෙද්දී සිදු වෙන්නේ ඔය අවස්ථාවන් ප්‍රමාණය විශාල ලෙස ඉහළ යාම. ඇමරිකාවේ සුපිරි වෙළඳසැල් වල විකුණන ඇඟලුම් ලංකාවේ හදනවා. ඒ මහන්සියම වෙලා ඔය ඇඟලුම් හදලා ලංකාව ඇතුළේ විකුණලා ඔය ශ්‍රමිකයින්ට සමාන මට්ටමේ ජීවන තත්ත්වයක් පවත්වා ගන්න බැහැ. ඒ වගේම ඒ මහන්සියම වෙලා වෙන දෙයක් කරලා ඔය ආදායම හොයන්න බැහැ. ගමේ ඉඳලානම් කොහොමවත් බැහැ. 

ආදායම් හෙවීම සඳහා රටක හැම තැනකම එක හා සමාන අවස්ථාවන් නැති වීම සාමාන්‍ය හා ස්වභාවික තත්ත්වයක්. එය ප්‍රතිපත්ති වැරැද්දක් නෙමෙයි. අධ්‍යාපනය වැනි රජයෙන් සපයන පොදු සේවාවන් හා අදාළව එවැනි විෂමතා ඇත්නම් එය වැරැද්දක් වෙන්න පුළුවන්. නමුත්, ආදායම් හෙවිය හැකි විකල්ප අවස්ථා සම්බන්ධව ගම හා නගරය අතර කොහොමටත් වෙනසක් ඇති වෙනවා. නගරයේ අවස්ථා වැඩියි.

නගරයේ ආදායම් හෙවිය හැකි විකල්ප අවස්ථා වැඩි නිසා, ඒ අවස්ථා හොයාගෙන මිනිස්සු ගමෙන් නගරයට සංක්‍රමණය වෙනවා. එහෙම සංක්‍රමණය වෙද්දී නගරයේ ජන ඝනත්වය තවත් ඉහළ යනවා. ජන ඝනත්වය ඉහළ යද්දී ගනුදෙනුද ඉහළ ගොස් මේ විකල්ප අවස්ථා තවත් වැඩි වෙනවා. එවිට නගරය තවත් ආකර්ශනීය තැනක් වෙනවා. මේ එක්ක ගම හා නගරය අතර ආදායම් පරතරය එන්න එන්නම වැඩි වෙනවා. 

කවුරු කැමති වුනත් අකැමැති වුනත් ආර්ථික වර්ධනය නාගරීකරණය එක්ක සම්බන්ධ දෙයක්. නගරය තරමටම ගම දියුණු කරනවා කියන එක කවදාවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද ගමේ හා නගරයේ ඒක පුද්ගල ආදායම් වෙනසට හේතුව නිරන්තරයෙන් ගමෙන් නගරයට සිදු වන සංක්‍රමණය. ඇමරිකාව වගේ රටක් දිහා බැලුවත්, චීනය වගේ රටක් දිහා බැලුවත් මේ කරුණ පැහැදිලිව පේනවා. ඇත්තටම කළ යුත්තේ මේ නාගරීකරණයට පුළුවන් තරම් පහසුකම් සලසන එක. රටේ ආර්ථිකය වේගයෙන් දියුණු විය හැක්කේ එවිටයි. 

කිසියම් ප්‍රදේශයක හැමෝම හැම දෙයක්ම සල්ලි වලට ගන්නවා කියන්නේ අදාළ ප්‍රදේශය තුළ සිදු විය හැකි ගනුදෙනු අතින් කාර්යක්ෂමතාවය උපරිමයි කියන එක. ඒ දේවල් ගන්න සල්ලිත් තියෙනවානම්, මොන විදිහකින් හෝ ආර්ථිකයට අවශ්‍ය අගය එකතු කිරීම සිදු වෙලා. නමුත්, ප්‍රදේශයෙන් පිටත සමඟ ගනුදෙනු කිරීම හරහා මේ කාර්යක්ෂමතාවය තවත් වැඩි කරගන්න පුළුවන්.

මුළු ලෝකයේම දළ දේශීය නිෂ්පාදිතයෙන් හතරෙන් එකක් එකතු කරන්නේ ඇමරිකා එක්සත් ජනපදය. ඇමරිකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් බාගයක් එකතු වෙන්නේ නාගරික කලාප විසි තුනකින්. මේ සමඟ පළ කර තිබෙන ඇමරිකාවේ සිතියමේ තැඹිලි පාටින් ලකුණු කර තිබෙන්න්නේ එම කලාප විසි තුන. නිල් පාටින් ලකුණු කර තිබෙන ඉතිරි විශාල කොටසේ දායකත්වය මේ කලාප විසි තුනෙන් පමණක් ලැබෙනවා. වෙනත් විදිහකින් කිවුවොත් මුළු ලෝකයේම දළ දේශීය නිෂ්පාදිතයෙන් අටෙන් එකක් එකතු වෙන්නේ ඔය නාගරික කලාප විසි තුනෙන්. චීනයේ ඔය වගේ සිතියමක් ඇන්දොත් එහි තත්ත්වයද මීට සමාන බව පැහැදිලිව පෙනෙයි.

Friday, January 5, 2024

නිල සංචිත ඩොලර් බිලියන 4.4 දක්වා ඉහළට!


පෙර සටහනක අප විසින් ඉදිරිපත් කළ හේතු සහිත අනුමානය තහවුරු කරමින් දෙසැම්බර් මාසය තුළ රටේ නිල සංචිත ප්‍රමාණය විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. මෙම ඉහළ යාම ඩොලර් මිලියන 829ක්. ඒ අනුව, ගෙවුණු 2023 වසර අවසාන වන්නේ රටේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 4,400ක් ලෙස වාර්තා කරමින්.

ඉහත නිල සංචිත ප්‍රමාණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් එකඟ වූ සාර්ව ආර්ථික වැඩපිළිවෙළෙහි සඳහන්ව තිබුණු විදේශ සංචිත ඉලක්කය වූ ඩොලර් මිලියන 4,431ට ඉතාම ආසන්නයි. මෙය උසස් පෙළ විභාගයෙන් සරසවි වරම් ලබා ගැනීම වැනි නූලෙන් මිස් වුනොත් කිසිම වැඩක් නැති ඉලක්කයක් නොවන නිසා, ඉලක්කය ලඟා කර ගැනීමක් ලෙස හඳුනා ගැනීමේ වරදක් නැහැ. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෑතකදී ඇස්තමේන්තු කර තිබුණේ වසර අවසාන වන විට රටේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 3,806ක් පමණ වනු ඇති බවයි. එහෙත්, දෙසැම්බර් 14-20 අතර සතියක කාලය ඇතුළත ශ්‍රී ලංකාව වෙත ජාත්‍යන්තර ආයතන වලින් ඩොලර් මිලියන 787ක මුදලක් ලැබීම නිසා මුල් සංචිත ඉලක්කය ආසන්නයට යාමට ශ්‍රී ලංකාවට හැකි වී තිබෙනවා. 

කෙසේ වුවත්, දෙසැම්බර් මාසය තුළ සංචිත ඉහළ යාම ඉහත සඳහන් ඩොලර් මිලියන 787ක මුදලට වඩා වැඩි නිසා මහ බැංකුව විසින් වෙළඳපොළෙන් තවත් ඩොලර් ප්‍රමාණයක් මිල දී ගෙන තිබෙන බව පැහැදිලියි. දෙසැම්බර් මාසය තුළ ශ්‍රමික ප්‍රේෂණ මෙන්ම සංචාරක කර්මාන්තයේ ඉපැයීම්ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබීම එයට උපකාරී වන්නට ඇතැයි සිතිය හැකියි. 

මෙසේ මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගැනීම හමුවේ වුවද ඩොලරයක මිල පහත වැටීම විශේෂත්වයක්. මේ සියලු කරුණු වලින් පෙනී යන්නේ වසර අවසාන වන විට ජංගම ගිණුමේ පැහැදිලි අතිරික්තයක් සටහන් වීමට නියමිතව ඇති බවයි. එය වාර්තාගත තත්ත්වයක්.

වැට් කොයි තරම් එකතු වෙනවාද?

පසුගිය 2022 අවුරුද්දේ පළමු හා දෙවන කාර්තු දෙකේදී වැට් බද්ද තිබුණේ 8% මට්ටමේ. මෙය තුන්වන කාර්තුවේදී 12% දක්වාත්, හතරවන කාර්තුවේදී 15% දක්වාත් වැඩි කළා. 

පෙර ලිපියක විස්තර කළ පරිදි, වැට් බදු අය කරන්නේ අගය එකතු කිරීම් මතයි. දළ දේශීය නිෂ්පාදිතය කියන්නේ රටේ අගය එකතු කිරීම් වල එකතුව. ඒ නිසා, වෙනසක් නැතුව රටේ නිපදවන සියළුම භාණ්ඩ හා සේවා මත එකතු කළ අගය මත පදනම්ව වැට් අය කළොත්, දදේනි අනුපාතයක් ලෙස වැට් බදු ආදායම හා රටේ වැට් බදු අනුපාතය සමාන විය යුතුයි.

නමුත්, කිසිම රටක ඕක ඔය විදිහට වෙන්නේ නැහැ. ඊට පළමු හේතුව, ඇතැම් භාණ්ඩ හා සේවා මත අඩු වැට් බදු අනුපාතයක් අය කිරීම. සමහර විට මෙවැනි ඇතැම් භාණ්ඩ හා සේවා වැට් බද්දෙන් නිදහස් කරලා වෙන්නත් පුළුවන්. ලංකාවෙත් එවැනි වැට් වලින් නිදහස් බඩු ලැයිස්තුවක් තිබෙනවා. දෙවැනි හේතුව අපනයන මත සාමාන්‍යයෙන් වැට් බදු අය නොකිරීම. තුන් වන හේතුව දදේනියෙන් ආයෝජනය කරන කොටස වැට් බද්දට අහු නොවීම. 

ඔය හේතු තුනට අමතර අනෙකුත් හේතු විදිහට බදු එකතු කිරීමේ යාන්ත්‍රණයේ ප්‍රශ්න තිබෙනවා. ලංකාව ගත්තොත් වැට් සඳහා ලියාපදිංචි වීමේ අවම පිරිවැටුම් සීමාව නිසා ඊට පහළින් කොටස හැලෙනවා. ඊට අමතරව වැට් බදු හරියට නොගෙවීමේ ප්‍රශ්නය තිබෙනවා. 

ප්‍රධාන වශයෙන්ම ඉහත කී පළමු හේතු තුන නිසා ගොඩක් OECD රටවල් වල වැට් බදු ආදායම දදේනි අනුපාතයක් ලෙස ගත්තහම වැට් බදු අනුපාතයෙන් 50%-60% අතර මට්ටමකයි තියෙන්නේ. ඉතිරි කොටස වැට් වලට අහු නොවන හෝ මුළුමනින්ම අහු නොවන කොටස.

ලංකාවේ 2022 එක් එක් කාර්තුවේ දදේනිය සහ එම කාර්තුව තුළ අය කළ වැට් බදු අනුපාතය අනුව මුළු දදේනියම වැට් වුනානම් රජයට ලැබෙන බදු ආදායම හොයා ගන්න පුළුවන්. මෙම මුදල රුපියල් බිලියන 2,655.6ක් හෙවත් දදේනියෙන් 11.0%ක්. නමුත්, ආනයන මත අය කළ වැට් කොටස නැතුව එම වසරේ වැට් බදු ආදායම් ලෙස ඇත්තටම එකතු කරගෙන තිබෙන්නේ රුපියල් බිලියන 291.6ක් පමණයි. මෙය දදේනියෙන් 1.2%ක් පමණයි. 

වෙනත් විදිහකින් කිවුවොත් රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදිතයෙන් වැට් අය වී තිබෙන කොටස 11.0%ක් පමණයි. ඉතිරි 89.0%ක කොටස වැට් වෙලා නැහැ. රටේ නිපදවන භාණ්ඩ හා සේවා වලින් 50%ක් වැට් වුනොත්, වැට් බද්ද 18%නම්, වැට් වලින් විතරක් රජයට දදේනියෙන් 9%ක බදු ආදායමක් එන්න ඕනෑ. මේ ආනයනික භාණ්ඩ මත අය කරන වැට් කොටස නැතුව. 

මේ සමඟ පළ කරන වගුවේ තිබෙන්නේ OECD රටවල් 35ක සාමාන්‍ය වැට් බදු අනුපාතය සහ දදේනි අනුපාතයක් ලෙස වැට් බදු ආදායම. ඔය දෙක අතර අනුපාතයත් වගුවේ තිබෙනවා. OECD රටවල් 38 අතරින් වැට් අය නොකරන ඇමරිකාවත්, වැට් අනුපාතය ප්‍රාන්තය අනුව වෙනස් වන කැනඩාවත්, සංසන්දනාත්මක රාජ්‍ය ආදායම් දත්ත හොයා ගන්න නැති නිසා ඕස්ට්‍රේලියාවත් වගුවේ නැහැ. අනෙක් රටවල් සියල්ල එහි තිබෙනවා.



Thursday, January 4, 2024

නැති රුපියල් හා නැති ඩොලර්

 

මේ සමඟ පළ කර තිබෙන පළමු රූප සටහනේ දැකිය හැක්කේ පවර් අවුට්ලට් හතරක් තිබෙන එක්ස්ටෙන්ෂන් කෝඩ් එකක්. මේ විදිහේ එක්ස්ටෙන්ෂන් කෝඩ් එකක් තිබේනම් එය පවර් අවුට්ලට් එකකට සම්බන්ධ කිරීමෙන් පසුව විදුලි උපකරණ හතරකට එයින් විදුලිය ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඊට පස්සේ මෙහි තිබෙන පවර් අවුට්ලට් හතරෙන් එකකට තව ඔය වගේම එක්ස්ටෙන්ෂන් කෝඩ් එකක් සම්බන්ධ කළොත් ඒකෙනුත් විදුලි උපකරණ හතරකට විදුලිය ලබා ගන්න පුළුවන්. (සම්බන්ධ කරන විදුලි පරිපථය ඕවර්ලෝඩ් වුනොත් ෆියුස් එක යයි. ඒක වෙනම කතාවක්.)

රූප සටහනේ තියෙන එක්ස්ටෙන්ෂන් කෝඩ් එකත් පවර් අවුට්ලට් එකකට සම්බන්ධ කරලයි තියෙන්නේ. හැබැයි ඒ විදිහට සම්බන්ධ කරලා තියෙන්නේ ඒකෙම පවර් අවුට්ලට් හතරෙන් එකකට. එක්ස්ටෙන්ෂන් කෝඩ් එක පවර් අවුට්ලට් එකකට සම්බන්ධ කරලා තව උපකරණ හතරකට එයින් විදුලිය ගන්න පුලුවන්නම්, මේ එක්ස්ටෙන්ෂන් කෝඩ් එක පවර් අවුට්ලට් එකකට සම්බන්ධ කරලත්නම්, ඉතුරු වෙලා තිබෙන පවර් අවුට්ලට් තුනෙන් විදුලි උපකරණ තුනකට අවශ්‍ය විදුලිය ලබා ගන්න බැරිද? 

කෙනෙකුට ඉහත ආකාරයෙන් තර්ක ගොඩ නගන්න පුළුවන්. සමහර විට ඒ වගේ තර්ක සමාජගත කරන්නත් පුළුවන්. නමුත්, මේ වගේ දෙයක් කරන්න බැරි බව ඔකපතන ඉස්කෝලේ පහේ පන්තියේ ළමයෙක් වුනත් කියයි. ඒකට භෞතික විද්‍යාව ලොකුවට දැන ගන්න අවශ්‍ය නැහැ. විදුලි පරිපථ ගැන ලොකුවට දැන ගන්න ඕනෑ නැහැ. ප්‍රායෝගික අත්දැකීම් මත සාමාන්‍ය බුද්ධියට තේරෙන දෙයක්. ඇයි බැරි කියලා ඇහුවොත් ගොඩක් අය මේ වගේ උත්තරයක් දෙයි.

"එතකොට කොහෙන්ද මේකට කරන්ට් එක එන්නේ?"

ඕක තේරෙන්නේ ප්‍රායෝගික අත්දැකීම් වලින්. ඔය වගේ සාමාන්‍ය පුද්ගලයෙක්ට වැඩි මහන්සියක් නැතුව තේරුම් ගන්න පුළුවන් දේවල් සමහර වෙලාවට ටිකක් වැඩිපුර හිතන කෙනෙක්ට තේරෙන්නේ නැහැ. ඒකෙන් ඒ වගේ කෙනෙක් සාමාන්‍ය පුද්ගලයෙක්ට තේරෙන දෙයක්වත් නොතේරෙන මෝඩයෙක් කියා අදහස් වෙන්නේ නැහැ. අලුත් දැනුමක් නිෂ්පාදනය කරන්න පුළුවන් වෙන්නේ සාමාන්‍ය පුද්ගලයෙක් හිතන විදිහට නොහිතන කෙනෙක්ට. නමුත් සාමාන්‍ය පුද්ගලයෙක් හිතන විදිහට නොහිතා කෙනෙක් යමක් කී පමණින් එය අලුත් දැනුමක් වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ කලාතුරකින්.

පළමු රූප සටහනේ වගේ පද්ධතියකින් විදුලිය ගන්න බැරි බව තේරුම් ගන්න කාට වුනත් වැඩි අමාරුවක් නැතත්, ඔය සංකල්පයම ටිකක් රට පටලවලා ඉදිරිපත් කළොත් හැමෝටම එක පාරට අවුල මොකක්ද කියලා තේරෙන්නේ නැහැ. මේ සමඟ පළ කර තිබෙන දෙවන රූප සටහනේ තියෙන්නේ ඒ වගේ පද්ධතියක්. 


මේ දෙවන රූප සටහනේ පද්ධතියෙන් ජෙනරේටරයක් කරකවලා විදුලිය ලබා ගන්නවා. ජෙනරේටරය කරකවන්න යොදා ගන්නේ හුළං පුරවපු බැලුන් වැලක්. බැලුන් ටික වතුර භාජනයක් ඇතුළෙන් යනවා. භාජනයේ අඩියේ බැලුන් වලට ඇතුළට යන්න ඉඩ සලසන එහෙත් වතුර ලීක් නොකරන වෑල්වයක් තියෙනවා. ඒ වෑල්වයෙන් භාජනය ඇතුළට යන බැලුන් එකින් එක උඩුකුරු තෙරපුම නිසා වතුරේ උඩට යද්දී ජෙනරේටරය කැරකෙනවා. හුළං පිරවූ බැලුන් වල ඝණත්වය වතුරේ ඝණත්වයට වඩා අඩු වුනත්, සාමාන්‍ය වාතයේ ඝණත්වයට වඩා වැඩියි. ඒ නිසා, අනෙක් පැත්තෙන් ගුරුත්වය නිසා පහළට බලයකුත් යෙදෙනවා. 

මේ පද්ධතියේ තිබෙන අවුල මෙය කියවන බොහෝ දෙනෙක් විසින් තේරුම් ගෙන විස්තර කරන්න ඉඩ තිබුණත්, පළමුවෙනි රූප සටහනේ පද්ධතියේ අවුල තේරුම් ගන්න තරමටම ඒක ලේසි නෑ කියන එක මගේ අදහසයි. වෙන වචන වලින් කිවුවොත් ඒ අවුල ඕනෑම පොඩි ළමයෙකුට තේරෙන එකක් නැහැ. රටේ ප්‍රසිද්ධ, සැලකිය යුතු සමාජ ප්‍රාග්ධනයක් එකතු කරගත්ත කෙනෙක් ප්‍රසිද්ධ මාධ්‍යයක ඔය වගේ පද්ධතියක් හඳුන්වා දී විස්තර කළොත් වැඩේ තවත් සීරියස්. ඒ වගේ අවස්ථාවකදී ඔය වගේ අදහසක් සමාජගත වෙන්න වුනත් පුළුවන්.

ආර්ථිකය සම්බන්ධ කාරණා වලදීනම් ඔය වගේ දේවල් දුර්ලභ නැහැ. එක්ස්ටෙන්ෂන් කෝඩ් එකක් අතපත ගානවා වගේ රටක සාර්ව ආර්ථිකය අතපත ගාන්න අවස්ථාව ලැබෙන්නේ කලාතුරකින් කෙනෙක්ට. ඒ නිසා, ඒ වගේ කෙනෙක්ට හිතන්නවත් තරම් නොවන දේ වෙනත් අයට මාර සීරියස් අදහස් විදිහට පේනවා. ඒක වැරැද්දක් කියන්නත් බැහැ.

මේ වගේ ටිකක් දිග පූර්විකාවක් ලිවුවේ නලින් ද සිල්වාගේ ලිපියක තිබෙන පහත අදහස ගැන කතා කරන්න.

"වැට් බද්ද පනවා ඇත්තේ ජාමුල අවශ්‍යතාවක් පරිදි. එයට මූලික හේතුව වූයේ ජාමුලට අවශ්‍ය පරිදි රුපියල පා කිරීම. ගෝඨාභය හා කබ්රාල් මුල දී කළාක් මෙන් ඩොලරයට නිශ්චිත අගයක් නියම කළා නම් මුදල් අමාත්‍යාංශයට ඩොලර් මිල දී ගැනීමේ දී මහා බැංකුවට රුපියල් විශාල ප්‍රමාණයක් ගෙවන්න සිද්ධ වෙන්නෙ නැහැ. අද එසේ ගෙවන්න මුදල් අමාත්‍යංශයට රුපියල් නැහැ. රුපියල් හොයා ගන්න වෙන්නෙ මුදල් අච්චු ගැසීමෙන් බදු පැනවීමෙන්. ජාමූල කියනවා මුදල් අච්චු ගහන්න එපා කියලා. ඉතින් වැට් බද්දයි මරාල බද්දයි අර බද්දයි මේ බද්දයි පනවන්න ඕන."

මෙය නලින් ද සිල්වා විසින් මේ අදහස ඉදිරිපත් කර තිබුණු මුල් අවස්ථාව නෙමෙයි. පෙර ලිපියක හෝ කිහිපයකත් මේ කතාව කියා තිබුණා. මෙය නලින් ද සිල්වාගේ ලිපියට පිළිතුරක් හෝ ඔහුට උගන්වන්න ලියන ලිපියක් නෙමෙයි. නමුත්, ස්වාධීනව හිතා ස්වාධීනව අදහස් කළ කරන නලින් ද සිල්වා වගේ කෙනෙක්ට මෙහෙම හිතෙනවානම් රටේ තවත් බොහෝ දෙනෙකුට මෙහෙම හිතෙන එකේ පුදුමයක් නැහැ. 

ආර්ථික විද්‍යාව පිළිබඳ මූලික මට්ටමේ හෝ දැනුමක් තිබෙන කෙනෙකුට මෙය විස්තර කළ යුතු නැතත්, එසේ නොවන බොහෝ දෙනෙකුට කතාවේ අවුල තේරුම් ගන්න එක ඒ තරම්ම සරල නැතුව ඇති කියා හිතෙන්නේ නලින් ද සිල්වා වගේ කෙනෙක් විසිනුත් මේ කතාව ලියා තිබෙන නිසා. 

මෙහි තිබෙන්නේ රාජපක්ෂ ආර්ථික ක්‍රමයේ ඉතා කෙටි සාරංශයක්. විශේෂයෙන්ම 2010-2012 කාලයේදීත්, ඉන්පසුව 2020-2021 වසර වලදීත් කළ දේ තමයි මෙහි කෙටියෙන් තියෙන්නේ. එහෙම කරලා රට ඉතිහාසයේ වැටුණු නරකම තැනකට වැටිලා හොඳම එකෙන් කෙළ වුණු විදිහ ඇස් පනාපිට දැක්කට පස්සේ තවමත් ඔය ක්‍රමය ගැන කතා කරන අය ඉන්නවා කියන්නේ බැරෑරුම් ලෙස සිතිය යුතු කරුණක්. විශේෂයෙන්ම ඒ ගොඩේ ඉන්න ඇතැම් අය සාමාන්‍ය පුද්ගලයින්ම නොවන නිසා. 

මෙය කියවන ගොඩක් අයටනම් මේකේ ලිපියක් ලියා විස්තර කරන්න තරම් දෙයක් නැතුව ඇති. නමුත්, මේ කතාවේ අවුල නැවත නැවත මතක් නොකළොත්, අද හෙට නොවෙතත්, නැවත කවදා හෝ දවසක රෑ වැටුණු වලේ දවල් වැටෙන්න පුළුවන්.

දැන් මෙහි තර්කය මේ වගේ එකක්. ඩොලරයක මිල පා වෙන්න නොදී රුපියල් 200 වගේ මට්ටමක නොවෙනස්ව තියාගෙන හිටියානම් රජයට ඒ මිලට මහ බැංකුවෙන් ඩොලර් මිල දී ගන්න තිබුණා. එහෙමනම්, රජයේ වියදම් මේ තරම් ඉහළ යන්නේ නැහැ. ඒ නිසා, බදු වැඩි කරන්න වෙන්නෙත් නැහැ. ඒ කියන්නේ බදු වැඩි කරන්න අවශ්‍ය වුනේ ඩොලරය පා කළ නිසා. 

පළමුව, රජයේ වියදම් වැඩි ප්‍රමාණයක් රුපියල් වියදම් මිසක් ඩොලර් වියදම් නෙමෙයි. රටේ උද්ධමනය වැඩි වෙද්දී මේ වියදම් කොහොමටත් වැඩි වෙනවා. ඒ වැඩි වූ වියදම් යම් ක්‍රමයකින් හොයා ගන්න වෙනවා. උද්ධමනය වැඩි වෙද්දී බදු ආදායම්ද නිකම්ම ඉහළ යන නමුත් පටන් ගනිද්දීම රජයේ ආදායම් හා වියදම් අතර විශාල පරතරයක් තිබුණොත් උද්ධමනය නිසා වෙන්නේ ඒ පරතරය වැඩි වෙන එක. 

රජය විසින් ආනයනික භාණ්ඩයක් මිල දී ගත්තත් බොහෝ අවස්ථා වලදී එසේ මිල දී ගන්නේ රට ඇතුළේම ඉන්න සැපයුම්කරුවෙක්ගෙන්. සෘජුවම ආනයනය කරන්නේ නැහැ. ඒ නිසා, ගෙවන්නේ රුපියල් වලින් මිසක් ඩොලර් වලින් නෙමෙයි. රුපියල් වලින් ගෙවුවත් ඩොලරය ඉහළ යද්දී මේ වගේ වියදම් ඉහළ යනවා තමයි. නමුත් රජය විසින් ආනයනික භාණ්ඩ මිල දී ගැනීම සඳහා යන වියදම රජයේ මුළු වියදම් වල එක් කොටසක් පමණයි. අනෙක් පැත්තෙන් ඩොලරයක මිල ඉහළ යද්දී ආනයන බදු ආදායම් ආදියත් නිකම්ම ඉහළ යනවා. මෙහිදීත් ඩොලරයක මිල ඉහළ යාම ප්‍රශ්නයක් වෙන්නේ පටන් ගනිද්දී ඩොලරයක මිල මත තීරණය වන වියදම් හා ඩොලරයක මිල මත තීරණය වන ආදායම් අතර පරතරයක් තිබුනොත් පමණයි. 

මීට අමතරව රජයට ඩොලර් අවශ්‍ය වෙන්නේ කලින් ගත් විදේශ ණය වල වාරික හා පොලී ගෙවන්න. ඒවා ඩොලර් වලින්ම ගෙවන්න වෙනවා වගේම ඒ සඳහා රුපියල් ගෙවා මහ බැංකුවෙන් ඩොලර් මිල දී ගන්නත් වෙනවා. නමුත් ඒ වගේම මෙහි අනෙක් පැත්තකුත් තිබෙනවා. රජය විසින් අලුතෙන් ගන්න විදේශ ණය මහ බැංකුවට විකුණලා රුපියල් කරන්නත් වෙනවා. රජය ශුද්ධ වශයෙන් විදේශ ණය ගෙවනවානම් ඩොලරයක මිල පහළින් තියෙන එක වාසියි. නමුත් වෙන්නේ ඒකේ අනෙක් පැත්තනම් ඩොලරයක මිල පහළින් තියෙන තරමට රජයට පාඩුයි. දැන් පොඩි වෙනසක් වී තිබුණත් බොහෝ විට ලංකාවේ තිබුණු තත්ත්වය දෙවැන්න මිසක් පළමුවැන්න නෙමෙයි. 

කොහොම වුනත්, මේ තර්කයේ තිබෙන ප්‍රධාන වැරැද්ද ඕක නෙමෙයි. රජයට මහ බැංකුවෙන් අඩු මිලට ඩොලර් මිල දී ගන්න පුළුවන් වුනත් එහෙම කරද්දී මහ බැංකුවේ සංචිත අඩු වෙනවා. ඒ නිසා, මහ බැංකුවේ සංචිත එලෙසම පවත්වා ගනිමින් ඔය වැඩේ කරන්නනම් මහ බැංකුව විසින් රජයට විකුණන ඩොලර් ප්‍රමාණය නැවත කාගෙන් හෝ මිල දී ගන්න වෙනවා. මිල අඩු මට්ටමක තියාගෙන ඉඳිද්දී කවුරුවත් ඒ මිලට මහ බැංකුවට සංචිත විකුණන්නේ නැහැ. ඒ නිසා, මේ වැඩේ කරද්දී මහ බැංකුවේ සංචිත ටිකෙන් ටික හිඳී ගිය ආකාරයත්, රටේ හා රටට සල්ලි එවන රටින් පිට ඉන්න මිනිස්සු බැංකු ක්‍රමය අත ඇරලා උන්ඩියල් වලට මාරු වුන ආකාරයත් අපි ඇස් පනාපිටම දැක්කා. සෙල්ලම නතර වෙද්දී සංචිත හිඳිලා රටත් බංකොලොත් වෙලා.

කවුරුවත් ඩොලර් විකුණන්න කැමති නොවන අඩු මිලක ඩොලරය තියාගෙන ප්‍රශ්නය විසඳගන්න හදන එක මුලින් කී පද්ධති දෙකෙන් එකකින් විදුලිය ගන්න හදනවා වගේ වැඩක්. හැබැයි මේ වගේ දෙයක් ඉතා කෙටි කාලයක් කරන්න පුළුවන්. ඒ මහ බැංකුව සතුව යම් විදේශ සංචිත ප්‍රමාණයක් තිබෙන නිසා. මේක හරියට බැටරියක විදුලිය ගබඩා කර ගන්නවා වගේ දෙයක්.

නිතර ලයිට් කපපු පහු ගිය කාලයේ ගොඩක් ගෙවල් වල ලයිට් ගිය වෙලාවට ස්වයංක්‍රීය ලෙස පත්තු වෙන විදුලි පහන් තියාගෙන හිටියා. මේ විදුලි පහන් ක්‍රියාත්මක වෙන්නේ බැටරියකින්. විදුලි බලය තියෙන වෙලාවට බැටරිය චාජ් වෙනවා. ලයිට් ගියාම ඒ චාජ් එකෙන් බල්බ් එක පත්තු වෙනවා. නැවත විදුලි බලය ලැබුණු විට බල්බ් එක ස්වයංක්‍රීය ලෙස නිවී ගිහින් බැටරිය චාජ් වෙන්න පටන් ගන්නවා.

ඔය වගේ විදුලි පහන් වලින් ලයිට් ගිය වෙලාවට එළිය ගන්න පුළුවන් වුනේ එක දිගටම ලයිට් නොකපපු නිසා. විදුලි පහනේ බැටරිය බහින්න කලින් හැම විටම වගේ නැවත ලයිට් එනවා. එහෙම වුනේ නැත්නම් චාජ් එක ඉවර වුනාට පස්සේ ඔය විදුලි පහණත් නිවී යනවා. එක දිගටම ඩොලරයක මිල පහළින් තියා ගනිද්දී වෙන්නෙත් හරියටම ඔය වැඩේ. බැටරියේ චාජ් එක ඉවර වෙනවා වගේම රටේ නිල සංචිතත් ඉවර වෙනවා. ඊට පස්සේ ඉතිං රටම කළුවරේ තමයි.

ආර්ථික විද්‍යාඥයෝ මේ වෙන්න යන දේ පෙන්වලා දුන්නේ අවුරුදු ගණනකට කලින්. අපිම වුනත් අවුරුදු හත අටකට කලින් සිට බ්ලොග් එක හරහා වෙන්න යන දේ ගැන කියා තිබුණා. ඒ දවස් වල කියද්දී නොතේරුණු එකේ ලොකු ප්‍රශ්නයක් නැතත් ඒ කියපු දේවල් ඒ විදිහටම වෙලා රටම මේ තරම් ලොකු අමාරුවක වැටුනට පස්සේ තවමත් තේරෙන්නේ නැත්නම් ඉතිං අනේ මන්දා...

රාජපක්ෂ ආර්ථික ක්‍රමයේ තිබුණේ යෙදවුම් නැතුව සම්පත් මවන ආකෘතියක්. මුලින් ඉදිරිපත් කළ පද්ධති වැඩ කරන්නේ නැහැ වගේම මේ වගේ ක්‍රමයක් වැඩ කරන්නේ නැහැ. පද්ධතිය ඇතුළට කොහෙන් හෝ කරන්ට් එක ගන්නම වෙනවා. නලින් ද සිල්වාගේ ලිපියේ මෙහෙම කොටසකුත් තිබෙනවා.

"මේ කවුරුත් කරන වරද තමයි ජාමුල මත පමණක් රැඳීම. ඔවුන් ආර්ථික නොබැඳි පිළිවෙතක් අනුගමනය කරන්නෙ නැහැ. ඔවුන් බ්‍රික්ස් කණ්ඩායමේ සංවර්ධන බැංකුවට යන්නෙ නැහැ."

මෙහි යෝජනා කරන්නේ ජාත්‍යයන්තර මූල්‍ය අරමුදල වෙත නොගොස් වෙන තැනකින් කරන්ට් එක ගත යුතු බව. වෙන තැන ඉතිං චීනයනේ. ඒ කියන්නේ ඩොලරයක මිල දිගටම පහළින් තියාගෙන සිටිමින්, ඒ මිලට කවුරුවත් ඩොලර් සපයන්නේ නැති අඩුවට දිගින් දිගටම ණය ගන්න කියන එක. ඒ විදිහට එළියෙන් කරන්ට් එක එනවානම් එහෙම එනකම් ලයිට් පත්තු වෙනවා. රාජපක්ෂ ක්‍රමය ඇතුළේ ලයිට් පත්තු වුනේ ඔය ක්‍රමයට.

හැබැයි ඔය ක්‍රමයට ගිහින් අන්තිමට ලයිට් නිවුනා. ඔය විදිහට දිගින් දිගටම ණය අරගෙන තවත් ණය ගන්න බැරි වෙලාවක් ආවා. ඩොලරයක මිල පාලනය කරගන්න බැරි වුනේ ඊට පස්සේ.

මම ජාජබ ආර්ථික ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. නමුත්, ඒ ප්‍රතිපත්ති වල ප්‍රශ්න කොයි තරම් තිබුණත්, එයින් අදහස් වන්නේ ඒ ප්‍රතිපත්ති වල හැම කොටසක්ම නරක බව නෙමෙයි. ඒ වගේම, රාජපක්ෂ ක්‍රමයේ සහ ජාජබ ක්‍රමයේ යම් සමානකම් තිබුණත් ඒ දෙක එකක්ම නෙමෙයි. පැහැදිලි වෙනස්කම් තිබෙනවා. 

විණිමය අනුපාතය පාලනය කිරීම ඇතුළු මිල පාලනය සමාජවාදීන් අතර ජනප්‍රිය ක්‍රමයක්. නලින් ද සිල්වා යෝජනා කරන්නෙත් ඒ සමාජවාදී ක්‍රමය. නමුත්, රජය ආදායම ඉක්මවා වියදම් කරන එක සාමාන්‍යයෙන් සමාජවාදී භාවිතාවක් නෙමෙයි. ඒ වැඩේ ගොඩක් වෙලාවට වෙන්නේ "පාලනය" වෙනුවට "නිදහස" වෙනුවෙන් පෙනී සිටින අය අතින්. ඒ වගේ සමහර තැන් වල රජයයන් විසින් රාජ්‍යමූල්‍ය පාලනය අමතක කරලා නිදහසේ ණය වෙනවා. 

රාජපක්ෂ ක්‍රමයේත් ජාජබ යෝජනා වලත් වෙනස කුමක්ද කියලා සමහර අය අහනවා. රාජපක්ෂ ක්‍රමයට කරන්ට් එක එන ක්‍රමයක් නැහැ. එකම ක්‍රමය වෙන රටකින් ණය ගන්න එක. ඒ වැඩේ දිගින් දිගටම කරන්න බැහැ. රට ඇතුළේ කරන්න හැදුවේ බදු කපලා, ඒ අඩුවට සල්ලි අච්චු ගහලා, ඒ මගින් ආදායම වැඩි කර ගන්න. එහෙම කරලා ආදායම් වැඩි කරගන්න පුළුවන් තමයි. නමුත් බොහෝ දුරට වැඩි වෙන්නේ නාමික ආදායම්. ඒ උද්ධමනය නිසා. 

ජාජබ යෝජනා වල බදු කැපීමක් හෝ සල්ලි අච්චු ගැසීමක් ගැන මම දැකලා නැහැ. ඒවායේ තියෙන්නේ බදු ආදායම් වැඩි කර ගෙන රජයේ ආදායම් හා වියදම් තුලනය කර ගැනීම ගැන. දැන් කරන්න හදන්නෙත් ඒ වැඩේම තමයි. වෙනසක් තියෙනවානම් තියෙන්නේ බදු ආදායම් එකතු කරගන්න යන ක්‍රමයේ. එහෙම වෙනසක් හරි තියෙයිද කියලා බලන්න වෙන්නේ කරන වෙලාවකම තමයි. 

මොන විදිහකින් හෝ අවසාන වශයෙන් විය යුත්තේ රජයේ ආදායම් හා වියදම් තුලනය වෙන එක. ඒක මොන විදිහකින් වුනත් වෙනසක් නැහැ කියන එක එයින් අදහස් වෙන්නේ නැහැ. වෙන විදිහ ආර්ථික වර්ධනය කෙරෙහි බලපානවා. නමුත් මොන විදිහෙන් හෝ රජයේ ආදායම් හා වියදම් තුලනය වේනම්, වෙන ලොකු පිස්සුවක් නැටුවේ නැත්නම්, කලින් සැරේ වගේ නැවත වරක් ආර්ථිකය විශාල අර්බුදයකට යන්නේ නැහැ. 

කෙටියෙන් කිවුවොත් නැති රුපියල් වලින් අයවැය හිඟය පියවන්න බැහැ. නැති ඩොලර් වලින් විදේශ අංශය තුලනය කරන්න බැහැ.

වෙබ් ලිපිනය: