වෙබ් ලිපිනය:

Friday, January 2, 2026

ජපානය පැරදවූ ඉන්දියාවේ ඉදිරි මග

ශ්‍රී ලංකාවේ අසල්වැසි රාජ්‍යය වන ඉන්දියාව එහි දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රමාණය අනුව ජපානය පරදවා යමින් ලෝකයේ සිවුවන විශාලතම ආර්ථිකය බවට පත් වී තිබෙනවා. මේ වන විට ඉන්දියාවේ ආර්ථිකයේ ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 4.18ක්. 

ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන් අතරින් වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයක් වන ඉන්දියාවේ එම වර්ධනය තිරසාර වර්ධනයක් බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන්නේ උද්ධමනය සහ විරැකියා අනුපාතිකය පහළ මට්ටමක තබා ගන්නා අතරම, එනම් ආර්ථික ස්ථායීතාව පවත්වා ගන්නා අතරම, වර්ධන වේගය ඉහළ නංවා ගැනීමට ඉන්දියාව සමත්ව ඇති බැවිනුයි.

මෙම වර්ධන නැමියාව එලෙසම පවත්වා ගනිමින්, ඉදිරි වසර තුනක කාලය ඇතුළත, ජර්මනිය අභිබවා ලෝකයේ තෙවන විශාලතම ආර්ථිකය බවට පත් වීම ඉන්දියාවේ ඉලක්කයයි. මූල්‍ය අරමුදලේ ඇස්තමේන්තු අනුව, 2030 වන විට ඉන්දියාවේ ආර්ථිකය ඩොලර් ට්‍රිලියන 7.3ක මට්ටමක් දක්වා ඉහළ යාමට නියමිතයි. 

උද්ධමනය පහළ මට්ටමක පවතින අතරම වර්ධන වේගය වැඩි වන තත්ත්වයක් ආර්ථිකයේ ගෝල්ඩිලොක්ස් කාල පරිච්ඡේදයක් ලෙස හැඳින්වෙනවා. එවැනි තත්වයකදී වර්ධන වේගය ඉහළ යන්නේ සාර්ව ආර්ථික මැදිහත්වීම් හරහා ලබා දෙන තල්ලු වල උදවුවෙන් නෙමෙයි. ඒ නිසා, වර්ධනය තිරසාර එකක්. 

ගෝල්ඩිලොක්ස් සුරංගනා කතාවේ වලසුන් තිදෙනාගේ නිවහනට ඇතුළු වන දැරිය විසින් තෝරා ගන්නේ වඩා උණුසුම්ද නැති, වඩා ශීතලද නැති කැඳ කෝප්පයයි. ආර්ථික වර්ධනය හා අදාළවද ප්‍රශස්ත තේරීම වන්නේ ආර්ථික තිරසාරත්වය පවත්වා ගත හැකි වර්ධන වේගයක් මිස එය අවදානමට ලක් කෙරෙන කඩි කුලප්පු වර්ධන වේගයක් නෙමෙයි. 

ඉන්දියාවේ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය තවමත් (2024දී) ඩොලර් 2,650ක් පමණයි. විශාල ජනගහණයක් සිටින ඉන්දියාවේ දකුණු කොටස සංවර්ධනය වී ඇති තරමට සාපේක්ෂව උතුරු කොටස සංවර්ධනය වී නැහැ. ඒ නිසා, ලෝකයේ සිවුවන විශාලතම ආර්ථිකය වුවත්, ඉන්දියාව තවමත් පහළ මැදි ආදායම් රටක්. 

ඉන්දියාවේ ඉලක්කය වනුයේ 2047දී ඉහළ මැදි ආදායම් රටක් බවට පත් වීමයි. මෙවැනි ජාතික ඉලක්ක හඹා යන රටකට එවැනි ඉලක්කයක් සාර්ථක ලෙස ලඟා කර ගැනීමට හැකි වනුයේ අදාළ ඉලක්කය ප්‍රායෝගික ඉලක්කයක් වන්නේනම් පමණයි. නිකම්ම නමට ලොකු ඉලක්ක ඉදිරිපත් කළ පමණින් එවැනි ඉලක්ක අත්පත් කරගත හැකි වන්නේ නැහැ.

දැනට පවතින ප්‍රක්ෂේපිත තත්ත්වයන් තුළ ලංකාවේ ආර්ථිකය ඩොලර් බිලියන 300ක් වනු ඇත්තේ 2046දී වන අතර, ඩොලර් බිලියන 200ක් වනු ඇත්තේ 2038දීයි. ප්‍රතිපත්ති වෙනස්කම් නිසා මෙන්ම බාහිර කම්පන නිසාද මෙම ප්‍රක්ෂේපනයන් පහසුවෙන්ම වෙනස් විය හැකි වුවත්, එවැනි වෙනස්වීම් වලටද ප්‍රායෝගික සීමාවන් තිබෙනවා. කිසියම් විචල්‍යයක් වසරකට 7%ක වේගයකින් වර්ධනය වුවද, එය තෙගුණයක් වීම සඳහා වසර 17ක කාලයක් යනවා. 


Thursday, January 1, 2026

අවුරුද්දක සාර්ව ආර්ථික දර්ශක

වසරක් අවසන් වී නව වසරක් එළැඹී ඇති අවස්ථාවක් කියා කියන්නේ ගෙවී ගිය වසරක කාලය ලෙස හැරී බලා පසු විපරමක් කිරීම සඳහා හොඳ අවස්ථාවක්. එහෙත්, මේ පසු විපරම කරන්නේ රටේ ආර්ථිකය හා අදාළවනම්, එහිදී මතුවන ප්‍රධානම බාධාව වන්නේ වසරක් ගෙවී ගිය සැණින් එවැනි පසු විපරමක් කිරීම සඳහා අවශ්‍ය වන සාර්ව ආර්ථික දර්ශක සියල්ල පිළියෙල වී නොතිබීමයි. සාමාන්‍යයෙන් එය සිදු වන්නේ තෙමසක් පමණ දක්වා වන කාල පමාවකින් පසුවයි.

ඉහත හේතුව නිසා අප‍ට දෙසැම්බර් මාසයෙන් අවසන් වූ මාස දොළහක කාලය පිළිබඳව තවමත් පූර්ණ පසු විපරමක් කිරීමේ හැකියාවක් නැහැ. එහෙත්, සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ  මාස දොළහක කාලය පිළිබඳව එවැනි පසු විපරමක් කළ හැකියි. මේ සමඟ පළ කෙරෙන වගුව සකස් කර ඇත්තේ ඒ පදනමිනුයි. එහි 2025 සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ වසරක කාලය, 2024 සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ වසරක කාලය සමඟ සංසන්දනය කර තිබෙනවා.

රටේ ආණ්ඩු මාරුවක් සිදු වූයේද 2024 සැප්තැම්බර් මාසයේදී බැවින් වගුවේ තීරු දෙකෙන් නියෝජනය වන්නේ ආණ්ඩු වෙනසට පෙර සහ ආණ්ඩු වෙනසින් පසු වසරක කාල දෙකක්. එහෙත් වගුව පිළියෙළ කළේ එවැනි සංසන්දනයක් කිරීම සඳහා ඉඩ සැලසීමේ අරමුණෙන් නෙමෙයි. එක් වසරක රාජ්‍ය ප්‍රතිපත්ති වල හොඳ වගේම නරකත් වසරක කාලයක් තුළ අවසන් නොවන නිසා එවැනි සංසන්දයක් සිදු කළ යුත්තේ ඉතා සැලකිල්ලෙන්. ඒ වගේම, පසුගිය ආණ්ඩු මාරුවෙන් පසුව සාර්ව ආර්ථික ප්‍රතිපත්ති වල කැපී පෙනෙන වෙනසක් සිදු වූයේද නැහැ. ඒ නිසා, මෙහි දැකිය හැක්කේ එකම, අඛණ්ඩ වැඩ පිළිවෙලක ප්‍රතිඵලයි. 

Wednesday, December 31, 2025

උද්ධමනය හා ජංගම ගිණුම


කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව, දෙසැම්බර් මාසයේ උද්ධමනය 2.1%ක් ලෙස වාර්තා වෙනවා. ඔක්තෝබර් හා නොවැම්බර් මාස වලදීද උද්ධමනය පැවතුනේ 2.1% ලෙසයි. ඒ අනුව, වසරේ අවසන් කාර්තුවේ සාමාන්‍ය අගයද 2.1%ක්. මේ අනුව, සුළි කුණාටුවේ බලපෑමෙන් පසුවද, උද්ධමනය තවමත් මහ බැංකුවේ ඉලක්ක පරාසයේ අවම සීමාව වන 3%ට වඩා අඩු අගයක්. 

සුළි කුණාටුවේ බලපෑම නිසා ආහාර මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබුණද, උද්ධමනයෙහි වෙනසක් නොවීමට ප්‍රධාන හේතු දෙකක් බලපා තිබෙනවා. එයින් පළමුවැන්න වන්නේ ආහාර මිල ගණන් දෙසැම්බර් මාසය තුළ 3.9%කින් ඉහළ ගොස් තිබුණද, ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ වල මිල මාසය තුළ සමස්තයක් ලෙස නොවෙනස්ව තිබීමයි. දෙවන හේතුව වන්නේ පසුගිය 2024 දෙසැම්බර් මාසයේදීද ආහාර මිල ගණන් 3.9%කින් ඉහළ යාමයි. උද්ධමනය ගණනය කරන්නේ පෙර වසරේ අදාළ මාසයට සාපේක්ෂව බැවින්, මෙම දෙසැම්බර් මාසය තුළ ආහාර මිල ඉහළ යාමේ බලපෑමද නිශේධනය වී තිබෙනවා. ඒ අනුව, දෙසැම්බර් මාසයේ උද්ධමනය නොවැම්බර් මාසයේ පැවති මට්ටමේම නැවතී තිබෙනවා.

මේ අනුව පෙනී යන්නේ සුළි කුණාටුවේ බලපෑමෙන් පසුව වුවද උද්ධමනය ප්‍රශ්නකාරී මට්ටමකට ඉහළ යාමේ ඉඩක් පෙනෙන්නට නොමැති බවයි. කෙටිකාලීනව එවැනි ප්‍රශ්නයක් නැතත්, මුදල් සැපයුම ප්‍රසාරණය වෙමින් පවතින ආකාරය අනුව, මහ බැංකුවට උද්ධමන අවදානම ගැනද සැලකිල්ලෙන් සිටීමට සිදු වෙනවා. මේ ගැන පසුව වෙනම ලිපියක කතා කරමු. 

තවත් යහපත් ප්‍රවණතාවක් වන්නේ මාස දෙකක් එක දිගටම සෘණ අතට හැරී තිබුණු ජංගම ගිණුමේ ශේෂය නැවතත් ධන අතට හැරී තිබීමයි. නොවැම්බර් මාසය තුල ජංගම ගිණුමෙහි ඩොලර් මිලියන 82ක අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. මේ අනුව, ජංගම ගිණුමේ නොවැම්බර් දක්වා මාස එකොළහක ශේෂය ඩොලර් මිලියන 1,677.7 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වාහන ආනයන වෙනුවෙන් නොවැම්බර් මාසය තුළ ඩොලර් මිලියන 281ක් වැය වී ඇති අතර, වසරේ පළමු මාස එකොළහක කාලය ඇතුළත ඩොලර් මිලියන 1,746ක් වැය වී තිබෙනවා. ඒ අනුව පෙනී යන්නේ වසරේ වාහන ආනයන වියදම ඩොලර් බිලියන දෙක ඉක්මවා යා හැකි බවයි. මුලින් ඇස්තමේන්තු කර තිබුණේ වාහන ආනයන වෙනුවෙන් ඩොලර් බිලියනයක් පමණ අවශ්‍ය වනු ඇති බවයි.

විදේශ අංශය, විශේෂයෙන්ම විදේශ සංචිත, මුලින් අපේක්ෂා කළ ඉලක්ක වලට සාපේක්ෂව අයහපත් මට්ටමක තිබීමටත්, රාජ්‍ය ආදායම් මුලින් සිදු කළ ඇස්තමේන්තු සැලකිය යුතු ලෙස ඉක්මවා යාමටත් හේතු වී තිබෙන්නේ මේ අයුරින් වාහන ආනයන සැලකිය යුතු ලෙස ඉහළ යාමයි. ඉදිරි වසර තුළ වාහන ආනයන සාමාන්‍ය මට්ටමක් දක්වා අඩු වෙද්දී රාජ්‍ය ආදායම් කෙරෙහි වූ සාධනීය බලපෑම මෙන්ම විදේශ අංශය කෙරෙහි වූ නිශේධනීය බලපෑමද ආපසු හැරීමට නියමිතයි. 

වසර අවසාන වීමට තවත් දින දෙකක් තිබියදී සංචාරක පැමිණීම් ප්‍රමාණය 2,344,978ක් ලෙස වාර්තා වෙනවා. මෙම ගණන මෙතෙක් වසරකදී වාර්තා වී ඇති වැඩිම සංචාරකයින් ප්‍රමාණයයි. නොවැම්බර් මාසය තුල සංචාරකයින් 212,906 දෙනෙකු රටට පැමිණ ඇති අතර පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී රටට පැමිණ තිබෙන්නේ සංචාරකයින් 184,158 දෙනෙකු පමණයි. සංචාරකයින් ප්‍රමාණයේ මෙවැනි වර්ධනයක් දැකිය හැකි වුවද, එමගින් පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ලැබුණු ඩොලර් මිලියන 272.9ක මුදලට සාපේක්ෂව, පසුගිය නොවැම්බර් මාසය තුළ ලැබී තිබෙන්නේ ඩොලර් මිලියන 251.6ක් පමණයි. දෙසැම්බර් මාසයේ තත්ත්වයද බොහෝ විට මෙවැන්නක් විය හැකියි.

සංචාරක ආදායම් වල පමණක් නොව මුහුදු හා ගුවන් ප්‍රවාහන සේවා සහ පරිගණක සේවා සැපයීම් වැනි අනෙකුත් සේවා ආදායම් වලද පසුගිය වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව අඩුවක් දකින්නට පුළුවන්. එසේ තිබියදී වුවද, ශ්‍රමික ප්‍රේෂණ සැලකිය යුතු ඉහළ යාම සහ භාණ්ඩ අපනයන ආදායම් ඉහළ යාම ජංගම ගිණුමේ ශේෂය නැවතත් ධන අතට හැරවීමට උදවු කර තිබෙනවා.

පසු ගිය ආර්ථික අර්බුදයට පෙර පැවති තත්ත්වයට සාපේක්ෂව දැනට සිදුවන ප්‍රධානම සහ වැදගත්ම වෙනස වන්නේ ඉල්ලුම හා සැපයුම අනුව ඩොලරයක මිල ඉහළ යාමට බාධා නොකරමින් ජංගම ගිණුමේ තුලනය පවත්වා ගැනීමයි. එය දිගටම එලෙස සිදු වන්නේනම් විදේශ අංශයේ අර්බුදයක් ඇති වීමට හේතුවක් නැහැ. 

ඉදිරි වසරේදී නැවත හමු වෙමු. අප හා රැඳී සිටින ඔබ සැමට සුබ නව වසරක්!

Tuesday, December 30, 2025

ඉහළ මැදි ආදායම් කාණ්ඩයට නැවතත් යා හැකි වෙයිද?


පසු ගිය (2024) අවුරුදේ ලංකාවේ ආර්ථිකය ඩොලර් බිලියන 99.0 දක්වා ඉහළ ගියා. තවත් ඩොලර් බිලියනයකින් ඉහළ ගියානම්, අතිශය ප්‍රථම වතාවට ඩොලර් බිලියන 100 සීමාව පන්නනවා. මේ (2025) අවුරුද්දේ ලංකාවේ ආර්ථිකය ඩොලර් බිලියන 100 පන්නයිද?

ගිය අවුරුද්දේ ලංකාවේ ආර්ථිකය ඩොලර් බිලියන 100 සීමාව කිට්ටුවට පැමිණ තිබුණු නිසාම මේ අවුරුද්දේ අනිවාර්යයෙන්ම ඔය සීමාව පන්නනවා කියලා කියන්න බැහැ. 2018දී ලංකාවේ ආර්ථිකය ඩොලර් බිලියන 94.7 දක්වා ඉහළ ගොස් තිබුණත්, 2022 වන විට ඩොලර් බිලියන 76.8 දක්වා පහත වැටුණා. ඒ නිසාම, 2018දී ලංකාව විසින් ලඟා වූ ඉහළ මැදි ආදායම් තත්ත්වය දිගටම පවත්වා ගත හැකි වූයේ නැහැ.

ආර්ථිකයේ ප්‍රමාණයේ ඩොලර් අගය වෙනස් වෙන්නේ රටේ ආර්ථික වර්ධන වේගය මත පමණක් පදනම්ව නෙමෙයි. උද්ධමනය හා විණිමය අනුපාතය කියන සාධකත් ඒ කෙරෙහි බලපානවා. ඒ නිසාම, රටකට ආර්ථික වර්ධනය වගේම ආර්ථික ස්ථාවරත්වයත් ඉතාම වැදගත්. එසේ වුවත්, ඔය සාධක තුනම සලකා බැලීමෙන් පසුව, මේ අවුරුද්දේ ලංකාවේ ආර්ථිකය, හරියටම කිවුවොත් නාමික දළ දේශීය නිෂ්පාදිතය, අනිවාර්යයෙන්ම ඩොලර් බිලියන 100 සීමාව පන්නා තිබිය යුතු බව කියන්න පුළුවන්.

මූර්ත ආර්ථික වර්ධන වේගයෙන් පටන් ගත්තොත්, පළමු කාර්තු තුනේ ආර්ථික වර්ධන වේග අපි දැනටමත් දන්නවා. නොදන්නේ හතරවන කාර්තුවේ වර්ධන වේගය පමණයි. සුළි කුණාටුවේ බලපෑම නිසා මෙම වර්ධන වේගය බාල විය හැකි බව පැහැදිලි කරුණක්. 

මූල්‍ය අරමුදලේ ඇස්තමේන්තු අනුව පෙන්නේ ඔවුන් හතරවන කාර්තුවේ වර්ධන වේගය 2% පමණ සේ සලකා ඇති බවයි. ඒ අනුව වසරේ මූර්ත ආර්ථික වර්ධන වේගය 4.2%ක් වනු ඇති බව ඔවුන් විසින් ඇස්තමේන්තු කර තිබෙනවා. හතරවන කාර්තුවේ වර්ධන වේගය 3%ක් වුවහොත්, වසරේ වර්ධන වේගය 4.5% මට්ටම දක්වා ඉහළ යනවා. එය විය නොහැකි දෙයක් නෙමෙයි. 

ආර්ථිකයේ ඩොලර් වටිනාකම කෙරෙහි බලපාන්නේ නාමික ආර්ථික වර්ධන වේගයයි. නාමික ආර්ථික වර්ධන වේගය කියා කියන්නේ මූර්ත වර්ධනය නිසා මෙන්ම උද්ධමනය නිසාද සිදු වන වටිනාකම් වෙනස් වීම් වල සම්ප්‍රයුක්ත ප්‍රතිඵලයයි. පසුගිය (2025) තුන් වන කාර්තුවේ නාමික ආර්ථික වර්ධන වේගය 12.6%ක්. ඊට හේතුව මූර්ත ආර්ථිකය 5.6%කින් වර්ධනය වෙද්දී මිල මට්ටමද 6.8%ක වේගයකින් වර්ධනය වී තිබීමයි. 

හතර වන කාර්තුවේදී සුළි කුණාටුව නිසා මිල ගණන් ඉහළ යාමක් සිදු වුනා. ඩොලරයක මිලද වැඩි වුනා. ඒ නිසා, මිල ඉහළ යාම තුන් වන කාර්තුවේ වේගයට වඩා වැඩි මිසක් අඩු වෙන්න හේතුවක් නැහැ. එය අවම වශයෙන් 7%ක් පමණවත් විය යුතුයි. 

හතරවන කාර්තුවේ මූර්ත ආර්ථික වර්ධන වේගය 2% ලෙසත්, මිල ඉහළ යාමේ බලපෑම 7% ලෙසත් සැලකුවොත්, පැවති විනිමය අනුපාත අනුව, 2025 ලංකාවේ ආර්ථිකයේ ප්‍රමාණය ඩොලර් බිලියන 108.4ක් දක්වා ඉහළ යනවා. එසේ වුවහොත්, ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් 4,982 දක්වා ඉහළ යනවා. මෙය අවම ඇස්තමේන්තුවක් සේ සැලකිය හැකියි. 

හතරවන කාර්තුවේ මූර්ත ආර්ථික වර්ධන වේගය 2% නොවී 3% පමණ වෙන්න පුළුවන්. ඒ වගේම, මිල වැඩි වීම පහසුවෙන්ම 8% ඉක්මවන්න පුළුවන්. එසේ වුවහොත්, මේ අවුරුද්දේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය අතිශය ප්‍රථම වතාවට ඩොලර් 5000 සීමාව ඉක්මවා යන්න වුනත් බැරිකමක් නැහැ.

ආදායම් මට්ටම අනුව රටවල් වර්ග කිරීමේදී බලන්නේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය දෙස නොව ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය දෙසයි. සාමාන්‍යයෙන් ලංකාවේ එහි අගය ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයට වඩා ඩොලර් සීයකින් පමණ අඩුයි. එය එසේ වුවත්, ඉදිරි වසරේදී නැවතත් ඉහළ මැදි ආදායම් මට්ටමට යාම පිළිබඳව ලංකාවට යම් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. 

Sunday, December 28, 2025

ලංකාව ආයෙත් බංකොලොත් වෙයිද?


මේ අවුරුද්ද තවමත් අවසන් වී නැහැ. ඒ නිසා, තවමත් අප‍ට මේ අවුරුද්දේ රාජ්‍යමූල්‍ය තත්ත්වය ගැන හරියටම කතා කරන්න බැහැ. එය කළ හැක්කේ වසර අවසන් වී අදාළ සංඛ්‍යාලේඛණ පිළියෙළ කර ප්‍රසිද්ධ කරනු ලැබීමෙන් පසුවයි. එහෙත් නොවැම්බර් අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය පිළිබඳ සංඛ්‍යාලේඛණ මේ වන විට ප්‍රසිද්ධ කර තිබෙන බැවින්, ඒ අනුසාරයෙන් අප‍ට සෑහෙන තරමක අදහසක් ගන්න පුළුවන්. 

රාජ්‍ය අයවැය ඇස්තමේන්තු හා අදාළව සත්‍ය සංඛ්‍යාලේඛණ සංසන්දනය කළ යුත්තේ වසර මුල සකස් කළ අයවැය ඇස්තමේන්තු සමඟයි. අයවැය ඇස්තමේන්තු හදන්නේ මුළු අවුරුද්දටමයි. පළමු මාස එකොළහට වෙනම අයවැය ඇස්තමේන්තු හදන්නේ නැහැ. යම් හෙයකින් හැදුවත් ප්‍රසිද්ධ කරන්නේ නැහැ. ඒ නිසා, වසර මුල ඉදිරිපත් කළ අයවැය ඇස්තමේන්තු වලින් අපේ විග්‍රහය පටන් ගනිමු. 

අපේක්ෂිත ලැබීම් (රුපියල් බිලියන)

බදු ආදායම් - 4,590

බදු නොවන ආදායම් හා ලැබීම් - 400

ණය ගැනීම් (අයවැය හිඟය) - 2,200

එකතුව - 7,190


අපේක්ෂිත වියදම් (රුපියල් බිලියන)

පොලී වියදම - 2,950

අනෙකුත් පුනරාවර්තන වියදම් - 2,936

ප්‍රාග්ධන වියදම් - 1,304

එකතුව - 7,190

දැන් අපට ඉහත ගණන් සමඟ නොවැම්බර් අවසානයේ ප්‍රගතිය සංසන්දනය කළ හැකියි.

බදු ආදායම: නොවැම්බර් අවසානය වන විට එකතු කරගෙන තිබෙන බදු ආදායම රුපියල් බිලියන 4,612ක්. ඒ කියන්නේ, නිල සංඛ්‍යාලේඛණ අනුව, මාස එකොළහක් යද්දී අවුරුද්දේ අපේක්ෂිත බදු ආදායම් ඉලක්කය ලඟා කරගෙන ඉවරයි. මේ අනුව, තවමත් වසර අවසන්ව නැතත්, වසරේ බදු ආදායම ඉලක්කය ඉක්මවා ඇති බව දැනටමත් කියන්න පුළුවන්. 

බදු නොවන ආදායම් හා ලැබීම්: නොවැම්බර් මාසය අවසාන වෙද්දී ලැබී තිබුණේ රුපියල් බිලියන 350ක් පමණයි. ඒ කියන්නේ ඉලක්කයට යන්න තවත් රුපියල් බිලියන 50ක් අඩුයි. මාධ්‍ය වාර්තා අනුව, දෙසැම්බර් මාසයේදී ඉන්දියාවෙන් ඩොලර් මිලියන 100ක ආධාරයක් ලැබී තිබෙනවා. ඒ කියන්නේ රුපියල් බිලියන 31ක් පමණ. ලැබුණු අනෙකුත් ආධාර සියල්ල එකතු කළොත් එකතුව රුපියල් බිලියන 40ක්වත් නොවෙන්න හේතුවක් නැහැ. ඒ වගේම, දෙසැම්බර් මාසය කියන්නේ රාජ්‍ය ආයතන වන ලාභාංශ ආදිය එකතු වන මාසයක්. ඒ නිසා, රුපියල් බිලියන 400 ඉලක්කය ලඟා කර ගැනීම ගැන වුනත් ලොකු සැකයක් නැහැ.

නිල සංඛ්‍යාලේඛණයක් නොවුනත්, ජනාධිපති දිසානායකගේ දෙසැම්බර් 19 කතාවට අනුව, දෙසැම්බර් 15 වන විට එකතු වී තිබුණු රාජ්‍ය ආදායම රුපියල් බිලියන 5,125ක්. ඒ කියන්නේ අයවැයේ අපේක්ෂිත ලැබීම් මෙන් 102.7%ක්. රුපියල් බිලියන 5,125 කියන්නේ ලැබී ඇති රාජ්‍ය ආදායම පමණයි. මෙම ගණනට ප්‍රදාන ඇතුළත් නැහැ. ප්‍රදාන එකතු කළ විට ලැබීම් ප්‍රමාණය මීටත් වඩා වැඩි විය යුතුයි.

පොලී වියදම: අයවැයෙන් යෝජිත පුනරාවර්තන වියදම රුපියල් බිලියන 5,886ක්. එයින් රුපියල් බිලියන 2,950ක් පොලී වියදම්. නොවැම්බර් මාසය අවසන් වන විට සත්‍ය පොලී වියදම රුපියල් බිලියන 2,268ක් පමණයි. ඒ කියන්නේ ඉහත ගණනින් 76.9%ක් පමණයි. මේ අනුව පෙනෙන්නේ වසරේ පොලී වියදම බොහෝ විට ඇස්තමේන්තු මට්ටමට වඩා අඩු මට්ටමක පවතිනු ඇති බවයි.

අනෙකුත් පුනරාවර්තන වියදම්: නොවැම්බර් මාසය අවසන් වන විට මෙම වියදම රුපියල් බිලියන 2,374ක්. ඒ කියන්නේ සත්‍ය වියදමෙන් 80.9%ක් පමණයි. මේ අනුව, ඉලක්කය තුළම රැඳී සිටිමින් දෙසැම්බර් මාසය තුළ වැඩි මුදලක් වියදම් කිරීමේ ඉඩක් තිබෙනවා.

ප්‍රාග්ධන වියදම: නොවැම්බර් මාසය අවසන් වන විට වැය කර තිබෙන මුදල රුපියල් බිලියන 646ක් පමණයි. මෙය ඇස්තමේන්තු කළ මුදලෙන් 49.5%ක් පමණයි. 

මේ අනුව පෙනී යන්නේ ඉතා පැහැදිලි ලෙස රජයේ ආදායම් ඉහළ යාමක් සහ වියදම් සීමා වීමක් දැකිය හැකි බවයි. ආදායම් ඉහළ යාමට ප්‍රධානම හේතුව වාහන ආනයන ඉලක්ක ඉක්මවා යාමයි. කෙසේ වුවත්, රාජ්‍යමූල්‍ය තත්ත්වය හා අදාළව වැදගත් වන්නේ රාජ්‍ය ආදායම් ඉලක්ක ඉක්මවා ඉහළ ගොස් තිබීම මිස ඊට ප්‍රධාන හේතුව කුමක්ද කියන එක නෙමෙයි. වියදම් සීමා වීම ගැන කියන්න තියෙන්නේත් එයමයි.

අයවැය හිඟය: අයවැය ඇස්තමේන්තු අනුව හිඟය රුපියල් බිලියන 2,200ක් වුවත්, නොවැම්බර් අවසානයේදී සත්‍ය හිඟය රුපියල් බිලියන 326ක් පමණයි. මේ අනුව, නොවැම්බර් වන විට, රුපියල් බිලියන 1,874ක ඉතිරියක් තිබෙනවා. දෙසැම්බර් මාසයේ මෙහි සැලකිය යුතු අඩු වීමක් සිදු වුවත්, තව දුරටත් විශාල ඉතිරියක් පවතිනු ඇති බව ඉතාම පැහැදිලියි.

ඉදිරි වසරේ රාජ්‍යමූල්‍ය තත්ත්වය පිළිබඳව මෙන්ම රටේ ණය තිරසාරත්වය පිලිබඳව විමසා බැලීමට සිදු වන්නේ මේ පසුබිම මත පදනම්වයි. ඒ අනුව කිව හැක්කේ ඉදිරි වසරේ රාජ්‍යමූල්‍ය තත්ත්වය පිළිබඳව හෝ ඒ තුළින් පැන නගින ණය තිරසාරත්වය පිලිබඳ ගැටළුවක් කිසිසේත්ම දකින්නට නොමැති බවයි. එහෙත්, විදේශ අංශය අස්ථාවර වීම තුළින් ඇති වීමට ඉඩ තිබෙන ගැටළු පිළිබඳව වඩා පුළුල් ලෙස විමසා බලන්නට සිදු වෙනවා. 

ලංකාවේ ණය තිරසාරත්වය හා අදාළ ප්‍රකාශයකට ජෝසප් ස්ටිග්ලිට්ස් ඇතුළු ආර්ථික විද්‍යාඥයින් ගණනාවක් සහ ආර්ථික විද්‍යාඥයින් සේ හැඳින්විය නොහැකි වෙනත් විද්‍යාර්ථීන් ඇතුළු 121 දෙනෙකු අත්සන් තබා තිබෙනවා. මේ හා අදාළව සටහනක් දකුණු ඉවුර කණ්ඩායම විසින් "ඉකොනොමැට්ටා Fan Club" පිටුවේ පළ කර තිබෙනවා. එම පිටුවේ පළ කෙරෙන්නේ අපගේ පාඨකයින් විසින් ලියන දේවල්. ඇතැම් අය අදාළ සටහන "ඉකොනොමැට්ටා" විසින් පළ කළ සටහනක් ලෙස වරදවා තේරුම් ගෙන තිබෙනවා. 

අදාළ සටහනෙහි කියා ඇති ප්‍රධාන කරුණ, කෙටියෙන් කිවුවොත්, මෙම ලිපියට අත්සන් තබා තිබෙන්නේ වාමාංශික අදහස් ඇති අය බවයි. සාමාන්‍යයෙන් අප‍ගේ සටහන් වල අප විසින් පුද්ගලයින් ලේබල් කිරීමක් කරන්නේ නැහැ. ඒ වෙනුවට අප විසින් කරන්නේ ඕනෑම අයෙකුගේ ප්‍රකාශයක් එහි ඇති කරුණු මත පදනම්ව විග්‍රහ කිරීමයි. එහෙත් වෙනත් අය විසින් වාමාංශික (හා දක්ෂිණාංශික), ජාතිකවාදී (හා විජාතිකවාදී) ආදී ලෙස පුද්ගලයින් ලේබල් කිරීමට වැඩි කැමැත්තක් දක්වනවා. වෙනත් අය විසින් එසේ කිරීම අප විසින් ප්‍රශ්නයක් කරගන්නේ හෝ ප්‍රශ්නයක් සේ දකින්නේද නැහැ. 

ඉහත ලිපිය ඉකොනොමැට්ටා විසින් ලියූවක් නොවන බව අපගේ නිත්‍ය පාඨකයින් බොහෝ දෙනෙකු විසින් පහසුවෙන්ම හඳුනා ගෙන තිබෙනවා. ඒ නිසා, ඇතැම් අයට සිදුව ඇති අත්වැරැද්ද පස්සේ පන්නන්නට අප‍ට අවශ්‍ය නැහැ. 

ඉකොනොමැට්ටා කිසිදු අවස්ථාවක දකුණු ඉවුර කණ්ඩායමේ සාමාජිකයෙකුව සිට නැහැ. ඔවුන්ගේ අදහස් සමඟ ඉකොනොමැට්ටා පොදුවේ එකඟ වන්නේද නැහැ. ඔවුන් හා තිබී ඇති එකම සම්බන්ධය අවස්ථා කිහිපකදී ඔවුන්ගේ ආරාධනයෙන් සම්පත්දායකයෙකු ලෙස කටයුතු කිරීම පමණයි. කෙසේ වුවත්, ඔවුන්ගේ අදාළ සටහනෙහි අප‍ට පෙනෙන විශේෂයෙන් නිවැරදි කළ යුතු දෙයක් ඇත්තේද නැහැ. 

ඇත්තටම අදාළ ප්‍රකාශය ජෝසප් ස්ටිග්ලිට්ස් මුල් වී කර ඇති ප්‍රකාශයක් නෙමෙයි. එම ප්‍රකාශය සකස් කර තිබෙන්නේ එක්සත් රාජධානියේ රාජ්‍ය නොවන සංවිධානයක් වන "Debt Justice" සංවිධානයයි. එම සංවිධානය ගෝලීය දකුණේ රටවල රාජ්‍ය ණය සහ පොදුවේ අඩු ආදායම්ලාභීන්ගේ ණය කපා දමන මෙන් ඉල්ලා උද්දේශනය කරන සංවිධානයක්. ලංකාව ඇතුළු දකුණු ආසියාවේ වෙනත් රාජ්‍ය නොවන සංවිධාන ගණනාවක්ද ඔවුන් හා එක්ව කටයුතු කරනවා. ප්‍රස්තුත ප්‍රකාශයට ජෝසප් ස්ටිග්ලිට්ස්ගේ අත්සන ලබා ගැනීම මගින් ඔවුන් ඒ සඳහා බටහිර මාධ්‍ය වල වැඩි අවධානයක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා.

මෙය මේ සංවිධානය විසින් මෙවැනි ප්‍රකාශයක් සිදු කරන පළමු අවස්ථාව නෙමෙයි. මීට පෙර, ලංකාව මුලින්ම ණය ප්‍රතිව්‍යුහගත කරද්දීත් ඔවුන් මෙවැනිම ප්‍රකාශයක් කළා. මට මතක හැටියට දැන් මේ ප්‍රකාශයට අත්සන් තබා තිබෙන ගොඩක් අය ඒ අවස්ථාවේදීත් එම ප්‍රකාශයට අත්සන් තබා තිබෙන අය. මෙවර ප්‍රධාන වෙනස දිත්වා ආපදාව එක්ක ණය ප්‍රශ්නය ගෝලීය උණුසුම පිළිබඳ ප්‍රශ්නයත් එක්ක ගැට ගැසීම මගින් පාරිසරික ප්‍රශ්න ගැන උනන්දු අයව මෙයට සම්බන්ධ කර ගැනීමට මෙම සංවිධානය විසින් සමත් වී තිබීමයි.

මේ වෙද්දී පාරිසරික ප්‍රශ්න හා අදාළව ලෝකයේ යම් මතවාදී බෙදීමක් තිබෙනවා. ඇතැම් අය පාරිසරික ප්‍රශ්න පොදුවේ ප්‍රතික්ෂේප කරනවා. එවැනි අය ඉන්නේ දක්ෂිණාංශික කඳවුරේ. ඒ අයට අනුව, පාරිසරික ප්‍රශ්න කියන්නේ වාමාංශික අදහසක්. අනෙක් පැත්තෙන් පාරිසරික ප්‍රශ්න ගැන කතා කරන ඇතැම් අය තමන්ගේ කතිකාව ඉතාම අන්තවාදී තැනකට තල්ලු කරන අවස්ථා දකින්න පුළුවන්. ලංකාවම සැලකුවත්, පණු කරඳ ප්‍රශ්නය උදාහරණයක්. 

මම පොදුවේ පාරිසරික ප්‍රශ්න ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නමුත් දිත්වා ආපදාව ගෝලීය පරිසර ප්‍රශ්නයකට බැර කළ හැකි එකක් කියා මම හිතන්නේ නැහැ. අවම වශයෙන් ලන්දේසි කාලයේ සිට ඉතිරිව තිබෙන විවිධ ඓතිහාසික මූලාශ්‍ර අනුව, වරින් වර නායයෑම්, ගංවතුර ආදිය ඇති වෙන එක ලංකාවට අමුතු දෙයක් නෙමෙයි. අද තිබෙන මට්ටමේ සංවර්ධනයක් නැති කාල වකවානු වලත් එවැනි ස්වභාවික ආපදා සැලකිය යුතු සංඛ්‍යාතයකින් ඇති වී තිබෙනවා.

කවර හෝ සංවිධානයක් විසින් කවර හෝ හේතුවක් නිසා ලංකාවේ ණය කපා හරින ලෙස ඉල්ලමින් උද්දේශනය කරනවානම් ඒ ගැන වරදක් කියන්න බැහැ. නමුත් එහෙම උද්දේශනය කළ පමණින් ණයහිමියෝ ණය කපා දමන්නේ නැහැ. ප්‍රශ්නය තිබෙන්නේ ණය කපා හරින ලෙස කරන ඉල්ලීමේ නෙමෙයි. එහි පදනම ලෙස ඉදිරිපත් කරන ලංකාව නැවතත් බංකොලොත් වීමට නියමිතයි කියන තර්කයේ. 

වරක් ණය ගෙවා ගත නොහැකිව බංකොලොත් වූ ලංකාව නැවතත් බංකොලොත් වීමේ අවදානමක් තිබෙනවා. දිත්වා සුළි කුණාටුව නිසා ඒ අවදානම වැඩි වෙලත් තිබෙනවා. නමුත් වඩා වැදගත් ප්‍රශ්නය වන්නේ ඒ අවදානම ලංකාවට කළමණාකරණය කර ගත නොහැකි අවදානමක්ද කියන එකයි.

ඇමරිකාව,ජපානය වගේ ඕනෑම රටක් ණය ගෙවා ගත නොහැකිව බංකොලොත් වීමේ අවදානමක් තිබෙනවා. අවදානමක් තියෙනවා කියන්නේ එවැන්නක් අනිවාර්යයෙන් වෙනවා කියන එක නෙමෙයි. එසේ වීමේ යම් හැකියාවක් තිබෙනවා කියන එකයි. ලංකාව හා අදාලව මේ අවදානම සාපේක්ෂව වැඩියි. නමුත් ලංකාවට අවදානම කළමනාකරණය කරගන්න බැරිකමක් නැහැ. 

ලංකාව නැවත බංකොලොත් වෙන්න යනවා කියන අදහස ප්‍රචලිත කිරීම මගින්ම ලංකාවේ ණය අවදානම ඉහළ ගිහින් එවැනි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ අවාසිය එක්ක බලද්දී ඔය වගේ උද්දේශනයන් නිසා ණයහිමියන්ගෙන් ලංකාවට ලැබෙන්න තිබෙන සහනයක් ඇත්නම් එය නොසලකා හැරිය හැකි තරම්. 

ලිපිය ආරම්භයේ ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛණ අනුව නොවැම්බර් මාසය අවසන් වෙද්දී රාජ්‍ය ආදායම ඉලක්ක ඉක්මවා ඉහළ ගොස් තිබීම සහ රාජ්‍ය වියදම් සැලකිය යුතු අඩු මට්ටමක තිබීම තුළ ඒ වෙනසින් කොටසක් උපයෝගී කර ගැනීමෙන්ම පමණක් වුවත් රජය විසින් අමතරව වැය කරන්න සැලසුම් කර තිබෙන රුපියල් බිලියන 700 වියදම් කරන්න පුළුවන්. ඒ කියන්නේ රටේ ණය තිරසාරත්වය පිළිබඳ අවදානම, දිත්වා සුළි කුණාටුවෙන් පසුව වුනත්, පසුගිය ආර්ථික අර්බුදයෙන් හා ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව පැවති තත්ත්වයට වඩා හොඳ තත්ත්වයකයි තියෙන්නේ. 

ලෝක බැංකු ඇස්තමේන්තුව අනුව දිත්වා සුළි කුණාටුවේ හානිය ඩොලර් බිලියන 4.1ක්. ඒ කියන්නේ රුපියල් බිලියන 1,270ක් පමණ. නමුත්, රටේ ණය තිරසාරත්වය කෙරෙහි බලපාන්නේ හානිය ප්‍රතිපූරණය කිරීම සඳහා රජය විසින් වියදම් කරන මුදල කොපමණද කියන එකයි. එම මුදල රුපියල් බිලියන 700 ඉක්මවන්නේ නැහැ. රුපියල් බිලියන 700ක අමතර මුදලක් මේ අවුරුද්දේ ඉතිරියෙන් පහසුවෙන්ම සපයා ගන්න පුළුවන්. ඒ සඳහා අඩු වශයෙන් එක රුපියලක් හෝ සල්ලි අච්චු ගහන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නොවැම්බර් වන විට දැකිය හැකි, අයවැය ඇස්තමේන්තු වලට සාපේක්ෂ රුපියල් බිලියන 1,874ක ඉතිරිය අනුව, රුපියල් බිලියන 1,270ක මුළු හානියම රජය මගින් ප්‍රතිපූරණය කළත්, රජයට රුපියල් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ.

රුපියල් ප්‍රශ්නයට සාපේක්ෂව ඩොලර් ප්‍රශ්නය සංකීර්ණයි. රජය සතුව රුපියල් තිබුණත් රටේ ඩොලර් නැත්නම් විදේශ ණය ගෙවා ගන්න බැරි වෙනවා. 

ලෝක බැංකු ඇස්තමේන්තු අනුව, යටිතල පහසුකම් හානිය ඩොලර් මිලියන 1,735ක්. මේ හානිය ප්‍රතිපූරණය කරන්න ඔය ප්‍රමාණයටම ඩොලර් අවශ්‍ය වෙන්නේ නැහැ. ගල්, වැලි, මිනිස් ශ්‍රමය ආනයනය කරන්නේ නැහැ. නමුත් මේ වියදමෙන් යම් කොටසක් ආනයන. ඒ සඳහා ඩොලර් අවශ්‍ය වෙනවා. 

ඩොලර් මිලියන 814ක් කෘෂි භෝග වලට සිදුව ඇති හානිය. නමුත් මේ විදිහට හානි වුනේ වී, එළවළු වගේ දේවල්. තේ වැනි අපනයන බෝග වලට හානියක් සිදු වුනානම්, ඒ ඉතා අඩුවෙන් කියලයි මම හිතන්නේ. ඒ නිසා, මේ හානිය වැඩි වශයෙන්ම රුපියල් හානියක්. අපනයන ආදායමේ ඉතා සුළු අඩු වීමක් සහ සහල් වැනි ආනයන වල යම් වැඩි වීමක් වෙන්න පුළුවන්. නමුත් විදේශ විණිමය කෙරෙහි විශාල බලපෑමක් වෙන්න හේතුවක් නැහැ.

වාණිජ හා වාණිජ නොවන ගොඩනැගිලි වලට සිදු වූ හානිය ඩොලර් මිලියන 1,547ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා. මේ ගැන කියන්න තියන්නෙත් යටිතල පහසුකම් හානිය ගැන කියපු කතාවමයි. ආනයන වල යම් ඉහළ යාමක් සිදු වෙයි. නමුත් ගල්, වැලි, මිනිස් ශ්‍රමය ආදිය රුපියල් වියදම්. 

කෘෂි භෝග වලට හා ගොඩනැගිලි වලට සිදු වූ හානිය හා අදාළව රාජ්‍ය මැදිහත් වීම රුපියල් මැදිහත් වීමක්. වන්දි ලෙස දෙන්නේ රුපියල්. ඒ රුපියල් නිසා, ඩොලර් ඉල්ලුම තරමක් ඉහළ යන්න පුළුවන් වුනත්, එය රජයේ ප්‍රශ්නයක් නෙමෙයි. රජයට ඩොලර් අවශ්‍ය වෙන්නේ යටිතල පහසුකම් සඳහා අවශ්‍ය සෘජු ආනයන ඇත්නම් ඒවාටයි. 

නැවත රාජ්‍යමූල්‍ය කළමනාකරණය වෙත හැරුනොත්, මේ අවුරුද්දේ කලින් සැලසුම් කළ ප්‍රාග්ධන වියදම් ඒ විදිහටම සිදු නොවෙන්න එක් ප්‍රධාන හේතුවක් වුනේ අපේක්ෂා කළ විදේශ ණය ප්‍රමාද වීම. රජය සතුව රුපියල් තිබුණත් ඩොලර් වලින් ලැබෙන්න තිබුණු ණය නොලැබුණු නිසා අවශ්‍ය වැඩේ කරගන්න බැරි වුනා. දැන් ආපදාවෙන් පසුව මේ ණය වලින් සැලකිය යුතු කොටසක් ආපදාවෙන් ගොඩ යාම වෙනුවෙන් වෙන් කර තිබෙනවා. ඒ කියන්නේ ඒ සල්ලි රජයට ලැබෙන්නේ කෙළින්ම ඩොලර් වලින්.

වෙනත් විදිහකට කිවුවොත්, මේ අවුරුද්දේ අයවැය ඉතිරිය ගැන ගණන් හිලවු රුපියල් වලින් ඉදිරිපත් කර ඇතත්, එයින් කොටසක් ඩොලර් වලින්ම "ඉතිරි වූ" අරමුදල්. මේ වසරේ ලැබෙන්න තිබුණු විදේශ ණයක් ඉදිරි වසරේ ලැබීම ඩොලර් ඉතිරි වීමකට සමානයි. ඒ නිසා, රුපියල් ප්‍රශ්නය වගේම ඩොලර් ප්‍රශ්නයත් විසඳෙනවා. ඊට අමතරව, මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 206ක ණයක් ලැබී තිබෙනවා. ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450ක් ණය හා ප්‍රදාන ලෙස ලැබී තිබෙනවා. ඩොලර් බිලියන 6 ඉක්මවන විදේශ සංචිතයකුත් මේ වෙද්දී රටේ තිබෙනවා. අවශ්‍යනම් එයින් ඩොලර් මිලියන තුන් හාරසීයක් ගත්තා කියලා රටේ ආර්ථිකය කඩා වැටෙන්නේ නැහැ. 

මූල්‍ය අරමුදලට අනුව, අමතර ඩොලර් අවශ්‍යතාවය මිලියන 700ක් පමණයි. මේ රටේම අමතර ඩොලර් අවශ්‍යතාවය. ඉන්දියාවෙන් සහ මූල්‍ය අරමුදලෙන් ලැබුණු අරමුදල් පමණක් සැලකුවත් එහි ඩොලර් මිලියන 656ක් තිබෙනවා. කලින් වෙනත් ව්‍යාපෘති සඳහා ලැබෙන්න තිබුණු අරමුදල්, අනෙකුත් ආධාර ආදිය බැලුවහම ඩොලර් බිලියනයක පමණ අමතර බරක් දරා ගැනීමේ හැකියාවක් විදේශ අංශයට වුනත් තිබෙනවා. ඉදිකිරීම් වල ආනයන කොටස ඊට වඩා ගොඩක් වැඩි වෙන එකක් නැහැ. ඒ නිසා, රුපියල් ප්‍රශ්නය විසඳා ගන්න තරම්ම පහසුවෙන් නොවුනත්, ඩොලර් ප්‍රශ්නයත් විසඳා ගන්න පුළුවන්.

අවදානම් කියන ඒවානම් කවදාවත් නැති වෙන්නේ නැහැ. දැන් පවතින තත්ත්වය තුළ රුපියල් අවදානම රජයට පහසුවෙන්ම කළමනාකරණය කරගන්න පුළුවන්. නමුත් ඩොලර් අවදානම බාහිර සාධක මත තීරණය වන දෙයක්. උදාහරණයක් විදිහට දැනට ලෝක තෙල් මිල තිබෙන්නේ ඉතාම පහළින්. ඉදිරි වසරේ තෙල් මිල සැලකිය යුතු ලෙස ඉහළ ගියොත් එය විදේශ අංශයට බලපානවා. කවර හෝ හේතුවක් නිසා සංචාරකයින් පැමිණීම අඩු වුනොත් එය බලපානවා. යම් හෙයකින් තවත් ස්වභාවික ආපදාවක් ආවොත් ප්‍රශ්නයක් වෙනවා. ඒ වගේ අමතර ප්‍රශ්න ඇති වුනොත්, ඒ ගැන ඒ වෙලාවට බලලා තීරණයක් ගන්න වෙනවා. ඒ හැර, මූද ගත් ගවුවක් තියෙද්දී දැන්ම අමුඩ ගහන්න අවශ්‍ය නැහැ. 

බැලූ බැල්මට පෙනෙන්නේ "ලංකාවට ණය සහනයක් දෙන්න" කියන එක සද්භාවයෙන් කරන ඉල්ලීමක් විදිහටයි. නමුත් ඔය ඉල්ලීම හරහා ඇත්තටම වෙන්නේ "ලංකාව නැවතත් බංකොලොත් වෙන්න යනවා" කියන සංඥාව ලෝකයට ලබා දෙන එකයි. ඒ වගේ සංඥාවක් හේතුවෙන් ලංකාවට එන කෙටිකාලීන ආයෝජන ඇතුළු ප්‍රාග්ධන ආයෝජන නොලැබී යන්න පුළුවන්. ඒ හේතුවෙන් ඩොලර් එක කෙටිකාලීනව වේගයෙන් ඉහළ ගියොත්, 2022දී මෙන්, ප්‍රේෂණ ලැබීම් සීමා වෙන්න පුළුවන්. ඔන්න ඔය වගේ තත්ත්වයක් යටතේ විදේශ අංශය ඇත්තටම අවුල් වෙන්න පුළුවන්. ඒ නිසා, මේ වෙලාවේ මේ ඉල්ලීම කිසිසේත්ම ලංකාවට උදවුවක් නෙමෙයි. 

Friday, December 26, 2025

ආර්ථිකය ගැන දුස් තොරතුරු පතුරවන ප්‍රචලිත ක්‍රම


අපට එදිනෙදා හමු වන තොරතුරු අප විසින් "ඇත්ත" හා "බොරු" ලෙස වර්ග කර ගන්නවා. බොරු අර්ථ දැක්වෙන්නේ කිසියම් ඇත්තකට සාපේක්ෂවයි. ඒ නිසා, බොරු පවතින්නනම් ඇත්ත කියා දෙයක් පැවතිය යුතුයි. 

ගැඹුරින් විග්‍රහ කළොත්, ඇත්ත ලෙස හඳුනා ගන්නා බොහොමයක් දේවල් කිසියම් අදියරකදී බොරු වෙන්න පුළුවන්. "ඇත්ත" හා "බොරු" පිළිබඳව එවැනි දාර්ශනික මට්ටමේ විග්‍රහ වලට නොගියොත්, සම්මුතිය තුළ ඇත්ත කියා දෙයක් තිබෙනවා. පොල් ගහක් පොල් ගහක් මිසක් පුවක් ගහක් වෙන්නේ නැහැ. පොල් ගහකට පුවක් ගහක් කිවුවොත් එය බොරුවක්. 

රටින් රටට, සමාජයෙන් සමාජයට සම්මුති වෙනස් වෙනවා. ඒ වගේම එකම රටක එකම සමාජයක වුවත් කාලයෙන් කාලයට සම්මුති වෙනස් වෙනවා. එසේ වෙද්දී ඇත්ත කියන දෙයත් වෙනස් වෙන්න පුළුවන්. නමුත් කිසියම් සමාජයක කිසියම් අවස්ථාවකදී  සම්මුතිය තුළ ඇත්ත සේ පිළිගැනෙන දේවල් තිබෙනවා. ඒ නිසාම එවැනි සම්මුතීන්ට සාපේක්ෂව බොරු කියා දේවලුත් තිබෙනවා.

පොදුවේ කියපු මේ දේවල් ආර්ථිකය හා අදාළ දත්ත, සංඛ්‍යාලේඛණ, ප්‍රකාශ හා තොරතුරු ආදියටත් අදාළයි. ඒ නිසා, ආර්ථිකය හා අදාළ දත්ත, සංඛ්‍යාලේඛණ, ප්‍රකාශ හා තොරතුරු අපට "ඇත්ත" හා "බොරු" ලෙස වැඩි අපහසුවක් නොමැතිව වර්ග කරන්න පුළුවන්. 

මේ ප්‍රවර්ග දෙකට අමතරව "ඇත්ත" හා "බොරු" අතර "දුස් තොරතුරු" කියා දෙයකුත් තිබෙනවා. ඇතැම් විට මෙවැනි දුස් තොරතුරක් පැහැදිලි බොරුවක් වෙන්නත් පුළුවන්. නමුත් හැම දුස් තොරතුරක්ම පැහැදිලි බොරුවක් වෙන්නේ නැහැ. ඊට හේතුව, මුලින් කී පරිදි, බොරුව අර්ථ දැක්විය හැක්කේ ඇත්තට සාපේක්ෂව නිසා. ඒ නිසා, ඇත්ත පැහැදිලි නැත්නම්, දුස් තොරතුරක් බොරුවක් කියා තහවුරු කරන්න අමාරුයි. මේ නිසාම, පැහැදිලි බොරු වලට සාපේක්ෂව එසේ නොවන දුස් තොරතුරු වලට පවතින්න පහසුයි. 

ආර්ථිකය හා අදාළව විවිධ පාර්ශ්ව විසින් දුස් තොරතුරු පැතිරවීම විරල දෙයක් නෙමෙයි. මෙසේ කරන්නන් අතර සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්, ප්‍රධාන මාධ්‍ය, ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ දේශපාලනඥයින්, ව්‍යාපාරිකයින් ඇතුළු විවිධ පාර්ශ්ව ඉන්නවා. මෙම සටහනෙහි අරමුණ වන්නේ ආර්ථිකය හා අදාළ වන එවැනි දුස් තොරතුරු පතුරවන ප්‍රචලිත ක්‍රම කිහිපයක් පිළිබඳව නිදර්ශන සහිතව පැහැදිලි කිරීමක් කිරීමයි.

ඒ එක්කම තවත් දෙයක් විශේෂයෙන් කිව යුතුයි. විවිධ පාර්ශ්වයන් විසින් අනාගතය සම්බන්ධව පුරෝකථන සිදු කරනවා. එවැනි පුරෝකථන හරියන්න හෝ වැරදෙන්න පුළුවන්. වැරදෙන පුරෝකථන කියන්නේ බොරු හෝ දුස් තොරතුරු නෙමෙයි. ඒ වගේම, කවුරු හෝ කෙනෙක් තමන් විසින් අනාගතයේදී කරන්නට හෝ නොකරන්නට අදහස් කරන දේවල් පිළිබඳව කලින් කියන දේවල් බොරු හෝ දුස් තොරතුරු සේ වර්ග කරන්න බැහැ. ඒවා වර්ග කරන්නට සිදු වන්නේ "වැරදුනු පුරෝකථන" හෝ "කඩ කළ පොරොන්දු" ලෙසයි.

මෙහි සඳහන් ප්‍රවර්ග සඳහා නිදර්ශන සපයා ගැනීම පිණිස මා විසින් උපයෝගී කර ගන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් දෙසැම්බර් 19 දින පාර්ලිමේන්තුවේදී සිදු කළ කතාවයි. මෙය රටේ ආර්ථිකය හා අදාළව තීන්දු තීරණ ගන්නා මුදල් ඇමති ධුරයද දරන රාජ්‍ය නායකයෙකු විසින් පාර්ලිමේන්තුවේදී කළ නිල ප්‍රකාශයක් වීම ඊට හේතුවයි. මෙමගින්, අදාළ කතාවේ ඇති දුස් තොරතුරු නිරාවරණය කිරීමක්ද සිදු කෙරෙන නමුත් සටහනේ මූලික අරමුණ එය නෙමෙයි. සම්පූර්ණ කතාව අවශ්‍ය අයෙකු සිටීනම්, එය ජනාධිපති ලේකම් කාර්යාල වෙබ් අඩවියේ තිබෙනවා. 

1. "ලංකා ඉතිහාසයේ වැඩිම විදෙස් ප්‍රේෂණ මේ වසරේ ලැබෙනවා."

මෙම ප්‍රකාශය කරන අවස්ථාව වන විට මෙම වසර අවසන් වී නැහැ. ඒ වන විට දන්නා තොරතුරු අනුව, වසරේ පළමු මාස 11 ඇතුළත ඩොලර් මිලියන 7,197.1ක ප්‍රේෂණ රටට ලැබී තිබෙනවා. තවමත් මෙම වසර අවසන්ව නොමැති නිසා මේ වසරේ ලංකාවට ලැබෙන්නට නියමිත විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය පිළිබඳව මේ මොහොත වන තුරුද අප දන්නේ නැහැ. 

මීට පෙර 2016 වසරේදී ඩොලර් මිලියන 7,241.5ක විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලැබී තිබෙනවා. යම් හෙයකින් පළමු මාස 11 අවසන් වන විට ඊට වඩා වැඩි ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබී තිබුණේනම්, ඉහත ප්‍රකාශය නිශ්චිත ප්‍රකාශයක් ලෙස සිදු කළ හැකියි. ඒ කියන්නේ, එසේ වීනම්, ඉහත ප්‍රකාශය ඇත්තක් වෙනවා. නමුත්, එසේ වී නැති බැවින් ඉහත ප්‍රකාශය ඇත්තක් නෙමෙයි.

ඇත්තක් නොවූ පමණින් ඉහත ප්‍රකාශය බොරුවක් වන්නේ නැහැ. එය බොරුවක් කියා අපට කිව හැක්කේ ඇත්ත දන්නේනම් පමණයි. නමුත් ඒ ඇත්ත අප‍ට දැනගන්නට ලැබෙන්නේ අනාගතයේදීයි. ඒ ඇත්ත දැනගන්නා තුරු ඉහත ප්‍රකාශය සලකන්නට සිදු වන්නේ අනාවැකියක් ලෙසයි. 

ඉහත ප්‍රකාශය අනාවැකියක් සේ සැලකුවහොත්, එම අනාවැකිය ඇත්තක් වීම සඳහා දෙසැම්බර් මාසය තුළ ලැබිය යුතු වන්නේ තවත් ඩොලර් මිලියන 44.4ක් පමණයි. දෙසැම්බර් මාසය තුළ එමෙන් කිහිප ගුණයක ප්‍රේෂණ ලැබිය යුතු බව පැහැදිලිව පෙනෙන කරුණක් නිසා, ඉහත අනාවැකිය ඇත්තක් වීමට සියයට සීයකට ආසන්න ඉඩක් තිබෙන අනාවැකියක්. එය තවදුරටත් අනාවැකියක් මිස ඇත්තක් නොවුනත්, කිසිසේත්ම බොරුවක් හෝ දුස් තොරතුරක් නෙමෙයි.

2. "සංචාරක ඉපැයීම් 2018 බිලියන 3.8ක වගේ ඉපැයීමක් සිදු වුණේ. එය අභිබවා යයි කියලා අපි අපේක්ෂා කරනවා."

මේ ප්‍රකාශයේ පළමු කොටස සෘජු බොරුවක්. ඒ  නිසාම දුස් තොරතුරක්. මහ බැංකුවේ සංඛ්‍යාලේඛණ අනුව, 2018 වසරේ සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් මිලියන 4,380.6ක්. එය රවුම් කළහොත් ඩොලර් බිලියන 4.4ක්. එම ආදායම කිසිසේත්ම ඩොලර් බිලියන 3.8ක් නෙමෙයි. මෙය අත්වැරදීමක්නම්, ඉතාම බරපතල අත්වැරදීමක්. 

ප්‍රකාශයේ දෙවැනි කොටසෙහි තිබෙන්නේ අනාවැකියක්. "අපේක්ෂා කරනවා" කියා තිබෙන නිසා බලාපොරොත්තුවක් කියා කියන්නත් පුළුවන්. අනාවැකියක් හෝ බලාපොරොත්තුවක් බොරුවක් කියා කියන්න බැහැ.

ඉහත අනාවැකියේ හෝ බලාපොරොත්තුවේ පදනම අත්වැරදීමක් නිසා 2018 සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් බිලියන 3.8 සේ සැලකීම කියා අපි හිතමු. නොවැම්බර් මාසය අවසන් වන විට ලැබී තිබුණු සංචාරක ආදායම ඩොලර් මිලියන 2,910.6ක් පමණයි. ඒ නිසා, ඩොලර් බිලියන 3.8 මට්ටම දක්වා යාමට වුවද, දෙසැම්බර් මාසය තුළ තවත් ඩොලර් මිලියන 900ක පමණ සංචාරක ආදායමක් උපයා ගැනීමට සිදු වෙනවා. ඒ සඳහා දෙසැම්බර් මාසය තුළ සංචාරයකින් ලක්ෂ හත හමාරක් පමණ රටට පැමිණිය යුතුයි.

ඉහත ප්‍රකාශය සිදු කරන විට මාසයෙන් බාගයකටත් වඩා අවසන්ව තිබුණු අතර, ඒ වන විට මාසය තුළ රටට පැමිණ තිබුණේ සංචාරකයින් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් පමණයි (දෙසැම්බර් 21 දින වන විටද මෙම ප්‍රමාණය 154,609ක්). ඒ අනුව, ඉහත අනාවැකිය හෝ බලාපොරොත්තුව ඇත්තක් වීමටනම් වසරේ අවසන් දෙසතිය තුල සංචාරකයින් ලක්ෂ හය හමාරක් පමණ රටට පැමිණිය යුතුව තිබුණා. 

පශ්චාත් ආපදා තත්ත්වය තුළ නොව සාමාන්‍ය තත්ත්වයක් යටතේ වුවද දෙසතියක් තුළ මෙවැනි විශාල සංචාරකයින් ප්‍රමාණයක් රටට පැමිණීම සිදු විය නොහැකිව තිබුණු දෙයක් පමණක් නොව එවැනි ප්‍රමාණයක් කියන්නේ රටට දරා ගත හැකි සංචාරකයින් ප්‍රමාණය කිහිප ගුණයකින් ඉක්මවා යන ප්‍රමාණයක්. ඒ නිසා, මේ ආකාරයේ අනාවැකියක් ඉදිරිපත් කළ හැක්කේ හෝ අපේක්ෂාවක් තබා ගත හැක්කේ සාමාන්‍ය බුද්ධියක්වත් නොමැති අයෙකුට පමණයි. සෛද්ධාන්තිකව මෙවැන්නක් සිදු විය හැකි වුවත්, එසේ සිදු වීමේ සම්භාවිතාව ශුන්‍යයට ඉතා ආසන්නයි. සාමාන්‍ය බුද්ධියක් ඇති අයෙකු විසින් මෙවැනි ප්‍රකාශයක් සිදු කරන්නේනම්, එය සෘජු බොරුවක් නොවුනත්, දුස් තොරතුරක් සේ සැලකිය හැකියි.

3. "ඒ වගේම 1950න් පස්සේ අපේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් තිබී තිබෙන්නේ අවස්ථා 06ක පමණයි. ඒ අවස්ථා 06ම 1%ට වඩා අඩුයි. හැබැයි ඉතිහාසයේ පළමු වතාවට අපේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තය මේ වසරේ 3.8%ක් ලෙස වාර්තා කරනවා."

1950න් පසු වසර හතකදී ලංකාවේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් තිබී තිබෙනවා. ඒ, 1954, 1955, 1992, 2017, 2018, 2023 හා 2024 වසර වලදී. ඉහත වසර හතෙන් තුනකදීම 1% ඉක්මවන ප්‍රාථමික අතිරික්තයක් තිබුණා. 1954 හා 1955 කියන්නේ ප්‍රාථමික අතිරික්තයක් පමණක් නොව සමස්ත අයවැය අතිරික්ත වාර්තා කළ වසර දෙකක්. කාටත් මතක 2024 වසර සැලකුවත් ප්‍රාථමික අතිරික්තය දදේනියෙන් 2.2%ක්. මෙහි තිබෙන්නේ පැහැදිලි බොරුවක් හා දුස් තොරතුරක්. 

අවසාන වාක්‍යයේ තිබෙන්නේ ඇත්තක් නොවුනත්, එය පුරෝකථනයක් බැවින් බොරුවක් හෝ දුස් තොරතුරක් නෙමෙයි. 

4. "2018 බැංකු අයිරාව බිලියන 180යි. 2019 එය බිලියන 274යි. 2020 බිලියන 575ක් සහ 2021 බිලියන 821ක් වෙනවා. ඒ කියන්නේ ආණ්ඩුවේ බැංකු ගිණුම බිලියන 821 අයිරාවක් වී තිබුණා. හැබැයි 2025 නොවැම්බර් වන විට අපේ ආණ්ඩුවේ භාණ්ඩාගාර ගිණුමේ ධන අගය බිලියන 1202යි. ඒ කියන්නේ 2021ට සාපේක්ෂව ට්‍රිලියන 02ක ඉහළ යාමක්."

මෙහි තිබෙන්නේ බොරුවක් නෙමෙයි. ඒ වගේම මෙහි දුස් තොරතුරක් තිබෙනවා කියා කියන්නත් බැහැ. නමුත් 2018 සිට මෙහි සිදු කරන සංසන්දනය තුළ 2022, 2023 හා 2024 යන වසර තුන හිතාමතාම මග හරිනවා. කරුණක් ලෙස ගත්තොත් "2021ට සාපේක්ෂව ට්‍රිලියන 02ක ඉහළ යාමක්" කියන එක නිවැරදියි. එහෙත්, මේ ට්‍රිලියන දෙකෙන් ට්‍රිලියන 1.4ක් පමණම ඉහළ ගොස් තිබෙන්නේ 2022 හා 2023 වසර දෙකේදී කියන වැදගත් තොරතුර මේ ප්‍රකාශයේ නැහැ. ඒ නිසා, දුස් තොරතුරුම නොවුනත්, මෙවැනි ප්‍රකාශද සැලකිල්ලෙන් කියවා ගත යුතුයි.

සාරාංශයක් ලෙස, ආර්ථිකය හා අදාළ දුස් තොරතුරු පතුරවන ප්‍රචලිත ක්‍රම මේවායි.

1. කරුණුමය සත්‍යයන් හා අදාළව සෘජු බොරු කීම - මෙහිදී උපකල්පනය වන්නේ ග්‍රාහකයා විසින් ඉදිරිපත් කරන කරුණු පරීක්ෂාවට ලක් නොකරනු ඇති බවයි. මේ ක්‍රමයෙන් පහසුවෙන් රවටා ගත හැක්කේ තමන් කෙරෙහි විශ්වාසය තබන අයවයි. 

2. අනාගතය හා අදාළ අනාවැකි හා පුරෝකථන තහවුරු වූ ඇත්ත සේ ඉදිරිපත් කිරීම - මෙහිදී මෙසේ ඉදිරිපත් කරන කරුණු පිළිනොගන්නා අයෙකුට වුවද ඉදිරිපත් කරන්නේ දුස් තොරතුරක් බව තහවුරු කළ නොහැකියි. ඊට හේතුව, ඒ වන විට ඇත්ත එළිදරවු වී නොතිබීමයි. 

3. හිතාමතාම තෝරාගත් තොරතුරු පමණක් ඉදිරිපත් කිරීම - මෙය කිසිසේත්ම දුස් තොරතුරු ප්‍රචාරය කිරීමක් නෙමෙයි. එහෙත් මෙහිදීද ඇතැම් විට ග්‍රාහකයා වෙත වැරදි අදහසක් සන්නිවේදනය කිරීමේ අරමුණ දැකිය හැකියි. එමෙන්ම, දුස් තොරතුරක් නොවන මුල් තොරතුර මත පදනම්ව පසුව දුස් තොරතුරු ප්‍රචාරය වීම බොහෝ විට දකින්න පුළුවන්. 

Thursday, December 25, 2025

ඉන්දියාවේ ප්‍රාන්ත වල ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය


මෙම සටහන අවසානයේ තිබෙන්නේ ඉන්දියාවේ ප්‍රාන්ත වල ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයයි. විශේෂයෙන් සලකුණු කර නැති ප්‍රාන්ත වල මෙම ඇස්තමේන්තු 2025 මාර්තු 31 දිනෙන් අවසන් වන 2024/25 මූල්‍ය වර්ෂය සඳහා වන අතර * සලකුණ ඇති ප්‍රාන්ත වල ඇස්තමේන්තු 2023/24 මූල්‍ය වර්ෂය සඳහායි. ගුජරාට් ප්‍රාන්තයේ අගය 2022/23 ඇස්තමේන්තුවයි. සංසන්දනය සඳහා ශ්‍රී ලංකාවේ සහ ශ්‍රී ලංකාවේ පළාත් වල 2024 වර්ෂයේ ඇස්තමේන්තුද ඉදිරිපත් කර තිබෙනවා.

බස්නාහිර පළාත හැර ලංකාවේ අනෙකුත් සියලු පළාත් එක්ව ගත් විට ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් 3,642ක් පමණයි. ලංකාවට යාබදව පිහිටි දකුණු ඉන්දීය ප්‍රාන්ත වන කේරළ, තමිල්නාඩු, කර්ණාටක, ගෝව, ආන්ද්‍රා ප්‍රදේශ් සහ තෙලන්ගානා යන ප්‍රාන්ත හය එක්ව ගත් විට ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් 4,130ක්. 

ඉහත දත්ත අනුසාරයෙන් බැලුවහොත් ලංකාව හා සංසන්දනය කළ හැකි ඉන්දියානු භූගෝලීය කලාපය සහ ලංකාව අතර මේ වන විටද ආර්ථික තත්ත්වයෙහි විශාල වෙනසක් නොමැති බව පැහැදිලිව පේනවා. මෙම සටහනෙහි විශේෂයෙන් පෙන්වා නොදෙන නමුත් පකිස්ථානය සහ බංග්ලා දේශය සමඟ සංසන්දනය කළ හැකි උතුරු ඉන්දියානු භූගෝලීය කලාපය සහ එම රටවල් දෙක අතරද එවැනිම ආසන්න සමානකමක් දැකිය හැකියි. 

මේ නිරීක්ෂණ අහම්බ නෙමෙයි. ආර්ථිකයන් වර්ධනය වන්නේ කලාප ලෙසයි. පහත තිබෙන්නේ ඉන්දියාවේ ප්‍රාන්ත වල ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය පිළිබඳ අදාළ දත්ත.


සීකිම්* - ඇමරිකන් ඩොලර් 7,116

ගෝව* - ඇමරිකන් ඩොලර් 7,094

බස්නාහිර පළාත - ඇමරිකන් ඩොලර් 6,852


දිල්ලිය - ඇමරිකන් ඩොලර් 5,890

චන්දිගර්* - ඇමරිකන් ඩොලර් 5,490

තෙලන්ගානා - ඇමරිකන් ඩොලර් 4,631

කර්ණාටක - ඇමරිකන් ඩොලර් 4,551

ශ්‍රී ලංකාව - ඇමරිකන් ඩොලර් 4,543

වයඹ පළාත - ඇමරිකන් ඩොලර් 4,411


තමිල්නාඩු - ඇමරිකන් ඩොලර් 4,320

හර්යානා - ඇමරිකන් ඩොලර් 4,220

දකුණු ඉන්දීය ප්‍රාන්ත - ඇමරිකන් ඩොලර් 4,130

මධ්‍යම පළාත - ඇමරිකන් ඩොලර් 3,906

උතුරු පළාත - ඇමරිකන් ඩොලර් 3,806

සබරගමුව පළාත - ඇමරිකන් ඩොලර් 3,757


මහාරාෂ්ට්‍ර -  ඇමරිකන් ඩොලර් 3,696

කේරළය - ඇමරිකන් ඩොලර් 3,684

බස්නාහිර පළාත හැර ලංකාවේ අනෙකුත් පළාත් - ඇමරිකන් ඩොලර් 3,642

ඌව පළාත - ඇමරිකන් ඩොලර් 3,404

දකුණු පළාත - ඇමරිකන් ඩොලර් 3,393


පුදුච්චේරි - ඇමරිකන් ඩොලර් 3,363

අන්දමන් සහ නිකොබාර් දූපත්* - ඇමරිකන් ඩොලර් 3,341

ගුජරාට්** - ඇමරිකන් ඩොලර් 3,310

උත්ත්රඛන්ඩ් - ඇමරිකන් ඩොලර් 3,274

උතුරු මැද පළාත - ඇමරිකන් ඩොලර් 3,216


ආන්ද්‍රා ප්‍රදේශ්  - ඇමරිකන් ඩොලර් 3,181

හිමාචල් ප්‍රදේශ් - ඇමරිකන් ඩොලර් 3,060

අරුණාචල් ප්‍රදේශ් - ඇමරිකන් ඩොලර් 2,949

ලදාඛ්* - ඇමරිකන් ඩොලර් 2,934

මිසෝරාම්* - ඇමරිකන් ඩොලර් 2,845


නැගෙනහිර පළාත - ඇමරිකන් ඩොලර් 2,777

පන්ජාබ් - ඇමරිකන් ඩොලර් 2,643

ත්‍රීපුර - ඇමරිකන් ඩොලර් 2,304

රාජස්ථාන් - ඇමරිකන් ඩොලර් 2,221

ඔදිෂා - ඇමරිකන් ඩොලර් 2,019

බටහිර බෙංගාලය - ඇමරිකන් ඩොලර් 1,953

චටිශ්ගර් - ඇමරිකන් ඩොලර් 1,946

ඇසෑම් - ඇමරිකන් ඩොලර් 1,902

මෙඝාලයා - ඇමරිකන් ඩොලර් 1,877

නාගලන්ඩ්* - ඇමරිකන් ඩොලර් 1,874

ජම්මු සහ කාශ්මීර් - ඇමරිකන් ඩොලර් 1,850

මධ්‍ය ප්‍රදේශ් - ඇමරිකන් ඩොලර් 1,823

මනිපූර් - ඇමරිකන් ඩොලර් 1,452

ජාර්ඛාන්ඩ්- ඇමරිකන් ඩොලර් 1,394

උත්තර ප්‍රදේශ් - ඇමරිකන් ඩොලර් 1,297

බිහාර් - ඇමරිකන් ඩොලර් 828


* 2023/24 මූල්‍ය වර්ෂය; **2022/23 මූල්‍ය වර්ෂය; අනෙකුත් ඉන්දියන් ප්‍රාන්ත 2024/25 මූල්‍ය වර්ෂය.

වෙබ් ලිපිනය: