මා මුර ගෑවේ පිහිටක් අයදින්නයි...
ධන වැද්දෙකුගෙන් බඹසර රැක ගන්නයි..
ඔබ දිව ආයේ මාදිවි ගලවන්නයි...
අවි එසවූයේ යුක්තිය විසඳන්නයි...
මේ වගේ වෙලාවට 119 අමතන්නට මතක් වෙන්නේ නැත. ඇමතුවා කියා ඇති වැඩකුත් නැත. එහෙත්, නීතිය ඉදිරියේ වරදක් වී ඇත්නම් දඬුවමකට ලක් වෙන්නට සිදු වේ. සිර මැදිරියක සීතල පොළොව සිරියහනක් නොවේ. ගෝණි පඩංගුව මුදු පළසක් නොවේ. තැටියේ බත්පත දිවබොජුනක්ද නොවේ. ඒවා සොවින් බර හිතක මතුවන අහිංසක බලාපොරොත්තු පමණි. මේ වගේ වෙලාවට තමන් රටේ නීති පද්ධතියෙන් පිටස්තරයෙකු බව කෙනෙකුට දැනෙනවානම් එහි ලොකු පුදුමයක් නැත.
දිළිදු ළඳුන්ගේ කුමරි දිවිය උන්ගේ...
කාසිය උන්ගේ ලොකු ලොකුවුන් උන්ගේ...
පොලිසිය උන්ගේ කූඩුව අපෙ උන්ගේ...
නීතිය උන්ගේ හිරබත අපෙ උන්ගේ...
මා විසින් පළ කළ පෙර ලිපියකට පාඨකයෙකු විසින් දැමූ ප්‍රතිචාරයකින් පසු ඇරඹුණු සංවාදයක එක අංශයක් මේ වන විට (මගේ පමාවෙන්) නැවතී ඇත්තේ මෙවැනි තැනකය.
"ඔබ සමස්ථ කරුණු දැක්වීම තුලම දක්වා ඇති කරුණ වන (මා හට තේරුම් ගිය පරිදි) “ සමාජය විසින් පොදු සම්මුතියක් ලෙස සකස්කරගෙන ඇති නීතී උල්ලංගනය කරන අවස්ථාවන් වලදී ඕනෑම අයෙකුට එරෙහිව සමාන ලෙස නීතීය ක්‍රියාත්මක කල යුතුයි සහ එලෙස පොදු සම්මුතින් උල්ලංගනය කරන අවස්ථාවලදී සමාජයෙන් එවා කඩ කරන්නන්හට එරෙහිව පිඩනයක් ඇතිකල යුතු බවයි. තවද අවශ්‍යතාවයන් අනුව බහුතරයකගේ කැමැත්තෙන් නීතී සංශෝධනය කරගත යුතු බවයි“ යන්නය.
පළමු කරුණනම් ඔබ නීතීය යනු සමාජය විසින් සකස්කරගෙන තිබෙන පොදු සම්මුතියක් ලෙස සිතනවාය. මම සිතන්නේ නීතීය සමාජ විසින් සකස්කර ගතයුතු පොදු සම්මුතියක් ලෙසය. එනම් දැනට තිබෙන නීතී පද්දතිය පොදු ජනතාව විසින් තමන්ගේ අවශ්‍යතාවය අනුව සකස්කර නොගන්නා ලද වෙනත් අය විසින් සකස්කර බලහත්කාරීව පිලිපැදිය යුතුයැයි පනවා තිබෙන සම්මුතියක් ලෙසය."
මෙහි මුල් කොටසේ ඔහු විසින් මගේ අදහස් ඉතා නිවැරදිව සම්පින්ඩනය කර තිබේ. දෙවන කොටසේ ඇති අදහස් අපට මෙසේ කොටස් තුනකට බෙදිය හැකිය.
1. නීතීය යනු සමාජය විසින් සකස්කරගෙන තිබෙන පොදු සම්මුතියකි. (මගේ මතය)
2. නීතීය යනු සමාජය විසින් සකස්කර ගතයුතු පොදු සම්මුතියකි. (ඔහුගේ මතය)
3. දැනට තිබෙන නීතී පද්ධතිය පොදු ජනතාව විසින් තමන්ගේ අවශ්‍යතාවය අනුව සකස්කර නොගන්නා ලද වෙනත් අය විසින් සකස්කර බලහත්කාරීව පිළිපැදිය යුතුයැයි පනවා තිබෙන සම්මුතියකි. (ඔහුගේ මතය)
ඔහු සඳහන් කර ඇති පරිදිම ඉහත (1) මගේ මතයයි. එහෙත්, මගේ ඒ මතය මඟින් ඉහත (2) හා (3) සම්පූර්ණයෙන් බැහැර කෙරෙන්නේද නැත. (1) සත්‍යයක් වූ පමණින්ම (2) හා (3) හැම විටම බොරු වෙන්නේ නැත.
මෙය මා විස්තර නොකළහොත් එක් වර අණ්ඩර දෙමළයක් මෙන් පෙනෙන්නට පුළුවන.
අපි තුන්වන කරුණට එමු. "දැනට තිබෙන නීතී පද්ධතිය පොදු ජනතාව විසින් තමන්ගේ අවශ්‍යතාවය අනුව සකස්කර නොගන්නා ලද වෙනත් අය විසින් සකස්කර බලහත්කාරීව පිළිපැදිය යුතුයැයි පනවා තිබෙන සම්මුතියකි." කලකට පෙර "පොලිසිය උන්ගේ කූඩුව අපෙ උන්ගේ- නීතිය උන්ගේ හිරබත අපෙ උන්ගේ" යනුවෙන් සුනිල් ආරියරත්න වෙනත් විදිහකට කියන්නේද මේ කරුණමය.
එසේනම්, මේ "පොදු ජනතාව" යන අර්ථකථනයට අයත් නොවන "වෙනත් අය" කවුද? "අපෙ වුන්" නොවන "උන්" කවුද? නීති පද්ධතිය සකස් කර බලහත්කාරීව පිළිපැදිය යුතුයැයි සම්මත කර ඇත්තේ කවුද?
ලංකාවේ නීති පද්ධතිය විකාශනය වූ හැටි මගේ පෙර ලිපියකින්ද ඉතා කෙටියෙන් කතා කළෙමි. යුරෝපීයයන් එන තුරු ලංකාවේ තිබුණේ රාජාණ්ඩුවකි. රාජාණ්ඩුවක බලයේ ප්‍රභවය රටේ රජු හෝ රැජිනයි. මේ බලය ඉහළ සිට පහළට සම්ප්‍රේෂණය වේ. ඒ රජුගේ හෝ රැජිනගේ කැමැත්ත පරිදිය. එවැනි සමාජයක පොදු ජනතාවට යුක්තිය බලාපොරොත්තු විය හැක්කේ "රජු ධාර්මික වේවා!"යි ප්‍රාර්ථනා කිරීමෙනි.
කෙසේ වුවද, රාජ්‍ය ව්‍යුහය අද තරම් සංකීර්ණ හෝ විශාල නොවූ ඒ කාලයේ රාජ්‍ය බලය (රාජ නීතිය) ඈත ගම් දනවු වල සෑම අහුමුල්ලක් කරාම ව්‍යාප්තව තිබුණේයැයි සිතිය නොහැකිය. බොහෝ විට රටේ අගනුවරින් බැහැර ප්‍රදේශ වල ක්‍රියාත්මක වන්නට ඇත්තේ ප්‍රාදේශීය ප්‍රධානීන්ගේ නීතීන්ය. රජු විසින් ක්‍රියාත්මක කළද, ප්‍රාදේශීය ප්‍රධානියෙකු විසින් ක්‍රියාත්මක කළද, මේ නීති පද්ධතිය අදට සාපේක්ෂව ඉතා අවිධිමත්, අවිනිශ්චිත එකකි.
උඩරට (හෝ වෙනත් රටක හෝ ප්‍රදේශයක ක්‍රියාත්මක වූ) රාජ නීතිය සමාජයේ තේරීමක් නොවූ, සමාජය මත බලෙන් පැටවූ එකකැයි යමෙකුට තර්ක කළ හැකිය. මෙය එසේමැයි මා සිතන්නේ නැත. මේ කාලයේ ජීවත් වූ, රටේ නීති පද්ධතිය ගැන සෑහීමකට පත් නොවූ, 'සාමාන්‍ය පුරවැසියෙකුගේ' විකල්ප යෝජනාවක් විය හැකිව තිබුණේ කුමක්ද? බොහෝ විට, මෙවැනි විකල්ප යෝජනාවක් විය හැකිව තිබුණේ සිංහාසනාරූඪ රජු වෙනුවට, රාජ උරුමය ඇති, වඩා යුක්තිගරුක හා/හෝ ධාර්මිකයැයි සිතිය හැකි, වෙනත් පුද්ගලයෙකු පත්කර ගැනීමයි. ඉන්පසු, මේ විකල්ප පුද්ගලයා විසින් යුක්තිය ලෙස හඳුනාගන්නා ක්‍රමවේදයට යටත් වීමයි. (මෙසේ සිතන අය දැනටත් නොඅඩු බව පෙනේ.) ඒ මිස, පැවති නීති ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් කර ගැනීම නොවේ. එනයින්, ඒ ක්‍රමයද පොදු සමාජයේම තේරීමකි. (ඒ සඳහා ඉවහල් වූ ඓතිහාසික තත්ත්වයන් පැවතීම වෙනම කරුණකි.)
ලංකාවේ නීති පද්ධතිය සෑහෙන මට්ටමකට විධිමත් වන්නේ ලන්දේසීන්ගේ පාලනය තුළය. අදටත්, අපේ නීති පද්ධතියේ මූලික හරය රෝම ලන්දේසි නීතියයි. කෙසේවුවද, ලන්දේසින් යටතේ මේ නීති පද්ධතිය ක්‍රියාත්මක වූයේ රටේ සීමිත වපසරියක පමණි.
ඉංග්‍රීසින් විසින් ලංකාවේ පාලන බලය අත්පත් කරගන්නා කාලය වන විට ඉංග්‍රීසි නීතිය සැහෙන දුරකට වැඩි දියුණු වී තිබුණේය. එහෙත්, යටත් විජිත සම්බන්ධව ඔවුන්ගේ එවකට ප්‍රතිපත්තිය වූයේ අවශ්‍ය වෙනස්කම් කරගන්නා තෙක් යම් රටක මුලින් පැවති නීති පද්ධතිය පවත්වා ගැනීමයි. මේ ප්‍රතිපත්තියට හේතු වන්නට ඇත්තේ රටක නීතිය වෙනස් කිරීම හිතන තරම් පහසු හෝ සරල කටයුත්තක් නොවීමයි.
ලංකාවේ පැවති දේශීය නීතිය හඳුනාගැනීමට ඉංග්‍රීසින් දැරූ උත්සාහයේදී ඔවුන්ට රටේ විවිධ ප්‍රදේශ වල එවකට ක්‍රියාත්මක වූ නීති ක්‍රම යටත් පිරිසෙයින් හතරක්වත් හමුවිය. ඒ රෝම-ලන්දේසි, උඩරට, තේසවලාමේ සහ මුස්ලිම් නීති ලෙස ඔවුන් විසින් හඳුනා ගැනුණු නීති පද්ධතීන්ය. මේ නීති ක්‍රම හතරම ලංකාවේ වලංගු නීති ලෙස ඔවුන් පිළිගත්තේය. පළමුවැන්න රටේ සාමාන්‍ය නීතිය වූ අතර ඉතිරිවා ක්‍රියාත්මක වූයේ ඒ වන විට ඒ නීති පිළිගත් ජන කණ්ඩායම් හා අදාළව පමණි.
රටේ ප්‍රධාන නීතිය ලෙස එවකට රටේ සීමිත ප්‍රදේශයක ක්‍රියාත්මක වුණු රෝම-ලන්දේසි නීතිය යොදා ගැනුණේ ඇයිද යන කරුණ මෙහිදී විමසා බැලීම වටී.
රටකට නීතියක් හඳුන්වාදුන් පසු ඒ නීතියෙන් සියල්ලෝම බැඳෙති. මෙය නීතිය හඳුන්වා දෙන ඉංග්‍රීසින්ටද පොදුය. ඒ නිසා, ඔවුන්ට පෙනුණු පරිදි වඩා දියුණු, වඩා සාධාරණ නීති ක්‍රමය තමන්ටද බලපවත්වන පරිදි රටේ පොදු නීතිය ලෙස යොදාගත්තා විය යුතුය.
(මේ ලිපිය වචන 2000 ඉක්මවා ඇති නිසා කොටස් දෙකකින් පළවේ. ඉතිරි කොටස පැය 24කින් පසු කියවිය හැකිය.)
දෙවන කොටස: මරා දමන්නට පෙර තවත් වරක් සිතන්න!








