වෙබ් ලිපිනය:

Friday, August 4, 2023

උද්ධමනය හා රාජ්‍යමූල්‍ය කළමනාකරණය


කලින් සටහනක කියපු පරිදි, උද්ධමනය වේගයෙන් පහළ යාමේ ගෞරවය වගේම ඊට පෙර උද්ධමනය විශාල ලෙස ඉහළ යාමේ වගකීමද පැවරෙන්නේ මහ බැංකුවට. උද්ධමනය පාලනය කිරීම මහ බැංකුවේ රස්සාව. නමුත්, උද්ධමනය ඉහළ යාමට අයහපත් රාජ්‍යමූල්‍ය කළමනාකරණය හේතු වුනා වගේම උද්ධමනය වේගයෙන් අඩු වෙන්න යහපත් රාජ්‍යමූල්‍ය කළමනාකරණය උදවු වුනා. 

වසරේ මුල් මාස පහේ රජයේ ආදායම් හා වියදම් දිහා බැලුවහම පසුගිය වසරට සාපේක්ෂව වෙනස පැහැදිලිව පේනවා.

රජයේ ආදායම - රුපියල් බිලියන 1,122.4යි.

පොලී ගෙවීම් හැර වියදම - රුපියල් බිලියන 1,075.0යි.

ප්‍රාථමික ශේෂය - රුපියල් බිලියන 47.4යි.

මේ අනුව, වසරේ පළමු මාස පහ තුළ රජය විසින් එකතු කරගත් ආදායම් වලින් 4.2%ක් පමණ ඉතිරි කර ගැනීමට සමත් වී තිබෙනවා. 

ප්‍රමාණය කොපමණ වුවත්, මේ විදිහට කීයක් හෝ ඉතිරි කර ගැනීමයි වැදගත්. ඒ විදිහට ඉතිරි වන මුදලෙන් අඩු වශයෙන් පරණ ණය වෙනුවෙන් ගෙවිය යුතු පොලියෙන් යම් කොටසක් හෝ ගෙවන්න පුළුවන්. ඒ නිසා, අලුතෙන් ණය ගන්න අවශ්‍ය වෙන්නේ පරණ ණය හා ඉතිරි පොලී ගෙවන්න පමණයි.

රජය විසින් ආපසු ගෙවන පරණ ණය හා පොලී එම ණයහිමියන්ට ලැබෙද්දී ආර්ථිකයට යම් මුදල් ප්‍රමාණයක් එකතු වෙනවා. මේ කතා කරන්නේ දේශීය ණය ගැන. විදේශ ණය පිළිබඳ කතාවනම් වඩා සංකීර්ණයි. මේ විදිහට ආර්ථිකයට එකතු වන මුදල් ටිකම නැවත රජය විසින්ම ණය විදිහට ගනිද්දී රජයෙන් පිටත මුදල් වෙළඳපොළේ අරමුදල් වල වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා, රජය විසින් ආපසු ගෙවන ණය හා පොලී මුදල් ටිකම ආපසු ණය විදිහට ගන්නවානම්, මහ බැංකුවට අලුතෙන් සල්ලි අච්චු ගහන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඇත්තටම මෙහිදී වෙන්නේ තියෙන ණය ටිකම අලුත් වීමක්. සල්ලි එළියට ගිහින් ආපසු ඒමක් වගේ වුනත් සල්ලි හෙල්ලෙන්නේ නැතුවම මේ වැඩේ වෙන්න පුළුවන්. කල් පිරෙද්දී ස්ථිර තැන්පතුවක් නැවත අලුත් වෙනවා වගේ දෙයක්.

ස්ථිර තැන්පතුවක් කල් පිරුණු පසු පොලියත් එක්ක නැවත ආයෝජනය කරද්දී මුල් මුදල ඉහළ යනවා වගේම මෙහිදී රජයේ ණයත් ඉහළ යනවා. නමුත් රජයට වියදම් කළ හැකි අරමුදල් කිසිවක් අලුතෙන් ලැබෙන්නේ නැහැ. 

වසරේ පළමු මාස පහේ පොලී වියදම රුපියල් බිලියන 1,062.1ක්. රුපියල් බිලියන 47.4ක ප්‍රාථමික අතිරික්තය මේ පොලිය ගෙවන්න ගෑවෙන්නත් මදි. ඒ නිසා. ඉතිරි පොලී කොටස ගෙවන්න විතරක් රුපියල් බිලියන 1,014.7ක් ණයට ගන්න වෙනවා. ඊට අමතරව පරණ ණය ගෙවන්නත් අලුතෙන් ණය ගන්න වෙනවා. හැබැයි කලින් කිවුවා වගේම මෙහිදී වෙන්නේ එළියට යන සල්ලි ටිකම නැවත ණය විදිහට ලබා ගන්න එක නිසා මුදල් වෙළදපොළ තුළ පීඩනයක් ඇති වෙන්නේ නැහැ. ඇත්තටම වෙන්නේ ශුද්ධ වශයෙන් වැඩිපුර රුපියල් බිලියන 47.4ක් වෙළඳපොළට එන එක. ඒ නිසා, පොලී අනුපාතික මත පහළට මිසක් ඉහලට පීඩනයක් ඇති වෙන්නේ නැහැ. ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගන්න එකේ වැදගත්කම ඒකයි.

ප්‍රාථමික අයවැය අතිරික්තය මීට වඩා වැඩි කරගන්න එක පහසු වැඩක් නෙමෙයි. මේ වගේ මට්ටමක දිගටම පවත්වා ගන්න එකත් විශාල අභියෝගයක්. රජයේ ආදායම රුපියල් බිලියන 1,122.4ක් වෙද්දී වියදම් සීමා කිරීම මගින් රුපියල් බිලියන 1,062.1ක පොලී ගෙවන්න තරම් සල්ලි ඉතිරි කරගන්න බැහැ කියන එක කාට වුනත් තේරෙන්න ඕනෑ. පොලිය ගෙවාගන්න බැරුව ණය ගෙවිල්ලක් ගැන හිතන්නවත් පුළුවන්කමක් නැහැ. ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් අවශ්‍ය වෙන්නේ ඒ නිසා. 

මෙහිදී අපි බැලුවේ දේශීය ණය පැත්ත පමණයි. නමුත් ණය හා පොලී විදිහට ගෙවිය යුතු මුදලින් කොටසක් විදේශ ණය. ඒ කොටසත් දේශීය ණය වගේම අලුත් වුනේ නැත්නම් එයින් වෙන අඩුව පුරවන්න වෙන්නේත් දේශීය ණය අරගෙන. එවිට වෙළඳපොළට යන අරමුදල් ප්‍රමාණයට වඩා ප්‍රමාණයක් ණය විදිහට වෙළඳපොළෙන් ලබා ගන්න වෙනවා. සල්ලි අච්චු ගැහුවේ නැත්නම් පොලී අනුපාතික මත පීඩනය ඉහළ යනවා. මේ තත්ත්වය ගැන සලකලා තමයි IMF එකෙන් සහ අනෙකුත් ජාත්‍යන්තර ආයතන වලින් දුන් ණය වලින් යම් කොටසක් රජයේ අයවැය හිඟය පියවීම සඳහා යොදා ගන්න ඉඩ දී තියෙන්නේ. 

මෙහි තවත් වාසියක් තිබෙනවා. මේ විදේශ ණය කොටස ගෙවන්න දේශීය ණය ගන්න වුනානම් ඒ විදිහට ණයට ගන්න රුපියල් ඩොලර් කරන්නත් වෙනවා. ඒ නිසා, පොලී අනුපාතික මත පීඩනය වැඩිවෙනවාට අමතරව වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගනිද්දී විණිමය අනුපාතය මත වන පීඩනයද වැඩි වෙනවා. යම් ණය ප්‍රමාණයක් ඩොලර් වලින්ම ලැබුණු විට මේ ප්‍රශ්නය විසඳෙනවා.  

ණය ප්‍රතිව්‍යුහගත කර අවසන් වීමෙන් පසුව පොලී වියදම සැලකිය යුතු ලෙස අඩු වෙයි. ඒ අනුව, සමස්ත අයවැය හිඟයද අඩු වෙයි. නමුත්, පොලී වියදම් ගොඩක් වැඩි නිසා ප්‍රතිව්‍යුහගත කිරීම් අවසන් වූ පසුද අයවැය හිඟය නැති වෙන්නේ නැහැ.

Thursday, August 3, 2023

උද්ධමනය හා සල්ලි අච්චු ගැසීම


සල්ලි අච්චු ගැසීම උද්ධමනයට හේතු වන බව මේ වෙද්දී ගොඩක් අය දන්නවා. නමුත්, මේක ඇත්තටම සිදු වන විදිහ සංකීර්ණ ක්‍රියාවලියක්. ඒ ගැන, පෙර ලිපි ගණනාවක විස්තර කර තිබෙන නිසා නැවත ඒ දේවල්ම ලියන්නේ නැහැ. 

රටක ගනුදෙනු කරන්න සල්ලි අවශ්‍යයි. ඒ නිසා, රටක ගනුදෙනු සඳහා අවශ්‍ය සල්ලි ප්‍රමාණය කවුරු හෝ අච්චු ගහලා එළියට දමන්නත් අවශ්‍යයි. ඒ වැඩේ සාමාන්‍යයෙන් කරන්නේ රටක මහ බැංකුව.

රටක ගනුදෙනු කිරීමේ අවශ්‍යතාවය අනුව සල්ලි අච්චු ගැහුවා කියලා ප්‍රශ්නයක් වන තරමට උද්ධමනය වැඩි වෙන්නේ නැහැ. උද්ධමනය ප්‍රශ්නයක් වෙන්නේ රජයේ අයවැය හිඟය පියවීම සඳහා විශාල ලෙස සල්ලි අච්චු ගහද්දී. එහෙම සල්ලි අච්චු ගහන්න වෙන්නේ රජය බදු ආදායම ඉක්මවා වියදම් කරද්දී. 

එහෙම අයවැය හිඟයක් නඩත්තු වෙද්දී වුනත්, පොලී අනුපාතික ප්‍රමාණවත් තරම් ඉහළ යන්න ඉඩ දුන්නොත් සල්ලි අච්චු නොගසා අවශ්‍ය අරමුදල් ප්‍රමාණය හොයා ගන්න පුළුවන්. නමුත් අයවැය හිඟයක් තියාගෙන පොලී අනුපාතිකත් පහළින් තියාගන්නනම්, රජයට මහ බැංකුවෙන් ණය ගන්න වෙනවා. මහ බැංකුව රජයට ණයට දෙන්නේ අලුතෙන් අච්චු ගහන සල්ලිනම්, එයින් සංචිත මුදල් සැපයුම ඉහළ යනවා. 

කතාවට සල්ලි අච්චු ගැසීම කියා කියන්නේ මහ බැංකුවේ සංචිත මුදල් සැපයුම ඉහළ යාමට. හැබැයි සංචිත මුදල් සැපයුම කියන්නේ එක පැත්තකට පමණක් වෙනස් වෙන දෙයක් නෙමෙයි. එය වැඩි වෙනවා වගේම අඩුත් වෙනවා. සංචිත මුදල් සැපයුම ඉහළ යද්දී අච්චු ගහපු අලුත් සල්ලි එළියට යනවා. ඒ වගේම, සංචිත මුදල් සැපයුම පහළ යද්දී ඒ විදිහට එළියට ගිය සල්ලි නැවත මහ බැංකුවට එනවා. ඒ නිසා, දවස ගණනේ සංචිත මුදල් අඩු වැඩි වීම දිහා බලලා සල්ලි අච්චු ගැසීමක් වෙලාද කියලා කියන්න බැහැ. යම් කාලයක් තුළ සිදු වූ වෙනසයි බලන්න වෙන්නේ.

මේ වෙද්දී මහ බැංකුව විසින් 2023 ජූනි මාසය අවසානයේ පැවති සංචිත මුදල් ප්‍රමාණය ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. පහත තිබෙන්නේ පසුගිය වසර පහ තුළ ජූනි මාසය අවසානයේදී වූ සංචිත මුදල් සැපයුම වෙනස් වූ ආකාරය.

2023 ජූනි - රුපියල් බිලියන 1,435.8 

2022 ජූනි - රුපියල් බිලියන 1,452.6

2021 ජූනි - රුපියල් බිලියන 1,065.1

2020 ජූනි - රුපියල් බිලියන 869.0

2019 ජූනි - රුපියල් බිලියන 874.5

මම හිතන්නේ සංචිත මුදල් සැපයුම වැඩි වූ අවුරුදු සහ අඩු වූ අවුරුදු හඳුනා ගන්න එක අමාරු වැඩක් නෙමෙයි. පහත තිබෙන්නේ ජූනි මාසයෙන් අවසන් වූ වසරක කාලය තුළ සංචිත මුදල් සැපයුම වෙනස් වූ ප්‍රතිශතය. වරහන් තුළ තිබෙන්නේ සෘණ ගණන්. 

2022/23 - (-1.2%)

2021/22 - 36.4%

2020/21 - 22.6%

2019/20 - (-0.6%)

ඔය විදිහට සංචිත මුදල් සැපයුම වෙනස් වෙද්දී ජූනි මාසයෙන් අවසන් වූ වසරක කාලය තුළ රටේ සාමාන්‍ය මිල මට්ටම වෙනස් වූ ප්‍රතිශතය හෙවත් උද්ධමනය මම දැන් පෙන්වන්නම්.

2022/23 - 12.0%

2021/22 - 54.6%

2020/21 - 5.2%

2019/20 - 3.9%

මේ මාසයේ සංචිත මුදල් වැඩි වුනා කියලා අනෙක් අතට උද්ධමනය ඉහළ යන්නේ නැහැ. එය සිදු වන යාන්ත්‍රණයක් තිබෙනවා. යාන්ත්‍රනය ක්‍රියාත්මක වෙන්න යම් කාලයක් ගත වෙනවා. ඒ යාන්ත්‍රනය ෆේස්බුක් එකේ පෝස්ට් එකකින් පහසුවෙන් පැහැදිලි කළ හැකි තරම් සරල යාන්ත්‍රණයක් නෙමෙයි. 

මේ වගේ සටහන් ලියන්නේ ආර්ථිකය හා අදාළ ප්‍රතිපත්ති තීරණ ගන්නා මහ බැංකුව වැනි තැන් වල ඉන්න එම යාන්ත්‍රනය ගැන දන්නා අයට උපදෙස් දෙන්න නෙමෙයි. සාමාන්‍ය පුද්ගලයෙකුට වෙන දේ තේරුම් ගැනීම පහසු කරන්න. ගොඩක්ම සංකීර්ණ නැති ඉංජිනේරු සැලසුමක් වුනත් උසස් පෙළ ප්‍රශ්න පත්‍රයක තිබෙන ගණිත ගැටලුවකට වඩා ගොඩක් සංකීර්ණයි. උසස්පෙළ ප්‍රශ්න පත්‍රයක තිබෙන ගැටළු අදාළ සිද්ධාන්ත තේරුම් ගැනීම පහසු කරන්න ඉදිරිපත් කරන ගැටළු මිසක් ඇත්ත ලෝකයේ ඇත්ත ප්‍රශ්න වලට විසඳුම් හොයන්න උදවු වෙන මට්ටමේ ගැටළු නෙමෙයි. නමුත්, ඒ වගේ සරල ගැටලුවක්වත් විසඳාගන්න බැරුව ඊට වඩා සංකීර්ණ පද්ධතියක වෙන දේවල් ගැන තේරුම් ගන්න බැහැ. 

සංචිත මුදල් වැඩිවීම උද්ධමනය කෙරෙහි බලපාන්නේ පුළුල් මුදල් සැපයුම ඉහළ යාම හරහා. මෙහිදී ආර්ථික වර්ධනය, විණිමය අනුපාතය වැනි තවත් දේවල්ද බලපානවා. නමුත්, ඉහත සංචිත මුදල් වර්ධනය හා මිල මට්ටම ඉහළ යාම දිහා බලලා සංචිත මුදල් වැඩි වෙද්දී උද්ධමනය වැඩි වෙනවා කියන එක තේරුම් ගන්න අමාරු වෙන්න විදිහක් නැහැ. 2022 ජූනි දක්වා වූ දෙවසරක කාලය තුළ සංචිත මුදල් සැපයුම 67.2%කින් ඉහළ ගියා. ඉන් පසු වසර තුළ සංචිත මුදල් සැපයුම 1.2%කින් පහළ ගොස් තිබෙනවා. මම හිතන්නේ උද්ධමනය විශාල ලෙස ඉහළ යාම හා ඉන් පසුව වේගයෙන් අඩු වීම මේ ඇසුරෙන් තේරුම් ගන්න එක අපහසු වෙන්න විදිහක් නැහැ. 

සංචිත මුදල් වැඩිවීම හා උද්ධමනය අතර සම්බන්ධය මීට වඩා සංකීර්ණ බව හා තවත් විචල්‍ය ගණනාවක් එයට බලපාන බව කියද්දී එයින් අදහස් වෙන්නේ ඒ සම්බන්ධතාවන් ඕනෑම කෙනෙකුට පහසුවෙන් තේරුම් ගත හැකි පරිදි ෆේස්බුක් සටහන් හරහා පැහැදිලි කරන්න අමාරුයි කියන එක මිසක් කාටවත් තේරෙන්නේ නැහැ කියන එක නෙමෙයි. අදාළ පුහුණුව හා පළපුරුද්ද තිබෙන කෙනෙකුට මේ සම්බන්ධතා පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. ඒ හා අදාළ කාලයක් තිස්සේ දියුණු වූ විද්‍යාවක් තිබෙනවා. මහ බැංකුව විසින් මුදල් සැපයුම සීමා කර උද්ධමනය අඩු කළේ ඒ විද්‍යාව යොදාගෙන. 

මේ සමග පළ කර තිබෙන ප්‍රස්ථාරයේ සංචිත මුදල් වර්ධනය ඉහළ යාම හා පහළ යාම නිරීක්ෂණය කරන්න. ඊට වසරකට පමණ පසුව උද්ධමනය වැඩි වීම හා අඩුවීම මතක් කරගන්න. අප විසින් වසරකට පමණ පෙර සිටම උද්ධමනය අඩු වීම නිවැරදිව පුරෝකථනය කළේ මේ දිහා බලාගෙන. වඩා නිවැරදිව කිවුවොත් මේ දිහා වගේම අදාළ යාන්ත්‍රනය කෙරෙහි බලපෑමක් කළ හැකි තවත් දේවල් දිහාත් බලාගෙන. මෙය අදාළ සිද්ධාන්ත ගැන අවබෝධයක් තිබුණු ඕනෑම කෙනෙකුට කළ හැකි වූ දෙයක්.

Wednesday, August 2, 2023

උද්ධමනය අඩු වුනේ කොහොමද?


පසුගිය (2022) සැප්තැම්බර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය ඉතිහාසයේ ඉහළම අගය වූ 69.8% වාර්තා කළ අතර ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 73.7% තරම් ඉහළ මට්ටමක පැවතුණා. ආහාර උද්ධමනය 94.9% දක්වා ඉහළ යද්දී ආහාර නොවන භාණ්ඩ හා සේවා හා අදාළ උද්ධමනයද 57.6% දක්වා ඉහළ ගියා. මාස දහයකට පසුව, 2023 සැප්තැම්බර් වන විට කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 6.3% දක්වා අඩු වෙලා. ආහාර උද්ධමනය සෘණ පැත්තට ගිහින්.

පළමුව, ලංකාවේ උද්ධමනය මේ තරම් ඉහළ මට්ටමකට ගියේ ඇයි?

උද්ධමනය වැඩි වීමට ප්‍රධානම හේතුව වුනේ පෙර වසර දෙක තුළ සිදු වූ මුදල් සැපයුමේ ප්‍රසාරණය. 2020 හා 2021 දෙවසර තුළ මහ බැංකුවේ සංචිත මුදල් සැපයුම 40.0%කින් ඉහළ ගිය අතර, පුළුල් මුදල් සැපයුම 39.7%කින් ඉහළ ගියා. නමුත්, එම දෙවසර තුළ සමස්තයක් ලෙස ආර්ථිකය වර්ධනය වුනේ නැහැ. ආර්ථිකය 1.3%කින් පමණ හැකිළෙන එකයි සිදු වුනේ. ඒ කියන්නේ රටේ නිෂ්පාදනයට වඩා 41%ක පමණ වේගයකින් මුදල් සැපයුම වර්ධනය වුනා. 

මේ විදිහට මුදල් සැපයුම වැඩි වෙනවා කියන්නේ මිනිස්සුන්ගේ අතට සල්ලි ඇවිත් භාණ්ඩ හා සේවා සඳහා ඉල්ලුම 39.7%කින් ඉහළ යනවා කියන එක. නමුත්, රටේ නිපදවන භාණ්ඩ හා සේවා ප්‍රමාණය 1.3%කින් අඩු වෙලා. ඒ කියන්නේ, රටේ භාණ්ඩ හා සේවා සැපයුම ඉල්ලුමට වඩා 41%කින් අඩුයි. ඉල්ලුම හා සැපයුම අතර මේ වගේ විශාල පරතරයක් ඇති වුනහම වෙන්නේ විශාල ලෙස මිල ගණන් ඉහළ යන එක. ඒ කියන්නේ උද්ධමනය වැඩි වීම. 

මුදල් සැපයුම වැඩි වී උද්ධමනය නිසා රටේ භාණ්ඩ හා සේවා මිල ගණන් වේගයෙන් ඉහළ යනවා කියන්නේ රට ඇතුළේ රුපියල බාල්දු වෙනවා කියන එක. රට ඇතුළේ රුපියල බාල්දු වෙනවා කියන්නේ ඒ බාල්දු වීම රටින් පිටතද නිරූපණය වී ඩොලරයක මිල ඉහළ යනවා කියන එක. මෙය විණිමය අනුපාතය තුළින් පිළිබිඹු විය යුතුයි. එය සිදු වෙන්න නොවී ඩොලරයක මිල පාලනය කළ විට ඩොලර් විකිණෙන්නේ කුණු කොල්ලෙට. ඩොලර් මේ විදිහට කුණු කොල්ලෙට විකිණෙද්දී බාල්දු වූ රුපියල් අතේ තිබෙන අය තමන්ගේ රුපියල් ඩොලර් කරනවා. මොකද රුපියල බාල්දු වෙලා අවසන් වුනත් විණිමය අනුපාතයෙන් තවමත් එය පිළිබිඹු නොවන නිසා. 41%කින් ඉහළ ගිහින් තිබුණු රුපියල් සැපයුම ටිකෙන් ටික ඩොලර් වෙද්දී රටේ නිල සංචිත ටික ඉවර වුනා.

විශාල ලෙස මුදල් සැපයුම වැඩි කිරීමෙන් පසුව විණිමය අනුපාතය එක තැන හිර කරගෙන හිටියේ සංචිත වල උදවුවෙන්. සංචිත ටික හිඳුනට පස්සේ තවදුරටත් ඔය වැඩේ කරන්න බැරි වූ නිසා ඩොලරයක මිල පිම්මේ ඉහළ ගියා. ඩොලරයක මිල පාලනය කිරීම මගින් කෘතිම ලෙස පාලනය කරගෙන සිටි උද්ධමනයද, ඩොලරයක මිල මෙන්ම, පාලනයකින් තොරව ඉහළ ගියා.

සංචිත ටික අඩියටම හිඳෙන්න කලින් ඩොලරය නිදහස් කළානම් ඩොලරයක මිල ඔය තරමටම ඉහළ යන්නේ නැහැ. එහෙමනම්, උද්ධමනයත් ඔය තරමටම ඉහළ යන්නේ නැහැ. ඩොලරයක මිල එක වර විශාල ලෙස ඉහළ යාමෙන්ද උද්ධමනයට යම් බලපෑමක් සිදු වුනා. නමුත්, උද්ධමනයට හේතු වූ ප්‍රධාන කරුණ මුදල් සැපයුම ප්‍රසාරණය වීම. 

පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිට මුදල් සැපයුම ප්‍රසාරණය වීම පාලනය කරනු ලැබුවා. එහි ප්‍රතිඵලයක් ලෙස උද්ධමනය පාලනය වනු ඇති බව අප කීවේ ඒ දවස් වලමයි. එහෙත්, මුදල් සැපයුම පාලනය කිරීම හා උද්ධමනය පාලනය වීම අතර යම් කාල පමාවක් තිබෙනවා. පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී මුදල් සැපයුම පාලනය කිරීම පටන් ගත්තත් උද්ධමනය ඉහළ යාම නැවතුණේ සැප්තැම්බර් මාසයෙන් පසුවයි. එසේ සැප්තැම්බර් පමණ සිට උද්ධමනය අඩු වී මේ වසරේ මැද වන විට තනි අංකයක් දක්වා පහත වැටෙන බවත් අප විසින් කලින්ම කියා තිබෙනවා. 

කොහොම වුනත්, අප හිතුවාටත් වඩා තරමක් වේගයෙන් උද්ධමනය පහත වැටුණා. ඒ අමතර පහත වැටීමට ප්‍රධාන හේතුව වූයේ ඩොලරයක මිල අප පුරෝකථනය කළ ප්‍රමාණයට වඩා වැඩියෙන් පහත වැටීමයි. ඩොලරයක මිල රුපියල් 300 සීමාවෙන් පහළට පැමිණීම අප විසින් අපේක්ෂා කළ දෙයක් නෙමෙයි. අපගේ අදහස වූයේ මුල් වටයේ නිදහස් කිරීම් වලින් පසුව ඩොලරයක මිල රුපියල් 360 ආසන්න සීමාවක ස්ථාවර වනු ඇති බවයි.

ඩොලරයක මිල ඉහත සීමාවෙන් පහළට පැමිණීම නිසා ආනයනික භාණ්ඩ ගණනාවක මිල ගණන් පහත ගොස් තිබෙනවා. සමස්තයක් ලෙස මෙම අප්‍රේල් මාසයේ සිට දැකිය හැක්කේ උද්ධමනය මෙන්ම මිල මට්ටමද පහත වැටීමේ ප්‍රවණතාවක්. තිරිගු පිටි මිල අඩු වෙද්දී පාන් ආදියේ මිල අඩු වෙනවා. ඉන්ධන මිල අඩුවෙද්දී ප්‍රවාහන වියදම් අඩු වෙනවා. මෙවැනි මිල අඩුවීම් සිදු වන්නේ මුදල් සැපයුම පාලනය කිරීම නිසා උද්ධමනය පාලනය වීමට අමතරවයි. 

කුකුළු මස් හා බිත්තර ආනයනයට ඉඩ දීමෙන් පසුව දැනට පවතින උද්ධමනයට දායක වී තිබෙන එම මිල ගණන්ද පහත වැටෙයි. එවැනි දේ සිදු වන්නේ මුදල් සැපයුම වෙනස් වීමේ බලපෑමකින් නෙමෙයි. එහෙත්, ඩොලරයක මිල රුපියල් 360 වැනි මට්ටමක පැවතියද මේ වන විට උද්ධමනය එක්කෝ තනි අංකයක් වෙනවා. නැත්නම් තනි අංකයකට ආසන්න වී ඉදිරි මාසයේදී තනි අංකයක් වෙනවා. දැනට පවතින තත්ත්වයන් තුළ ඉදිරි මාසයේදී ලංකාවේ උද්ධමනය එහි ඉලක්ක අවම සීමාව වන 4%ට ආසන්න වීමට හෝ ඊටත් අඩු වීමට ඉඩ තිබෙනවා. ඊටත් පසු මාසයේදී උද්ධමනය තවත් පහළ යා හැකියි. ඇතැම් විට අවධමන තත්ත්වයක් ඇති වීමට වුවත් බැරිකමක් නැහැ. කෙසේ වුවත්, ඩොලරයක මිල ඉහළ යාමෙන් මේ තත්ත්වයන් වෙනස් වෙන්න පුළුවන්.

මෙම වසරේ මාර්තු මාසයේ සිට ගත වූ මාස හතරක කාලය තුළ උද්ධමනය අඩු වීමට අමතරව සමස්ත මිල මට්ටමද 1.4%කින් පහත ගොස් තිබෙනවා. පසුගිය මාස 10ක කාලය සැලකුවොත් මිල මට්ටම ඉහළ ගොස් තිබෙන්නේ 0.5%කින් පමණයි. මෙයින් අදහස් වන්නේ ඉදිරි මාස දෙකක කාලය තුළ සමස්තයක් ලෙස 0.5%කින් මිල මට්ටම පහත වැටුණොත් සැප්තැම්බර් මාසය වන විට උද්ධමනය ශුන්‍ය විය හැකි බවයි. මිල මට්ටම ඊටත් වඩා පහත වැටුනොත් ඇති වෙන්නේ අවධමනයක්. කෙසේ වුවත් ඩොලරයක මිල මේ වන විට තරමක් ඉහළ ගොස් ඇති නිසා ඉදිරි මාස වලදී ආනයනික භාණ්ඩ වල මිල යම් තරමකින් ඉහළ යාමෙන් අවධමන තත්ත්වයක් ඇති වෙන එක වැළකෙන්න පුළුවන්. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මහ බැංකුවට ලබා දී තිබෙන ඉලක්කය අනුව වසර අවසාන වෙද්දී උද්ධමනය 12%-18% සීමාව තුළ පවත්වා ගත යුතුයි. දිගුකාලීන උද්ධමනය ඉලක්කය වන 4%-6% මට්ටමට යාමට වසර හතරක කාලයක් තිබෙනවා. එහෙත්, මහ බැංකුව මේ වන විටද 4%-6% ඉලක්කයට ගොස් අවසානයි. ඉදිරි මාස පහක කාලය තුළ මිල මට්ටම 4.5%කින් ඉහළ ගියත් වසර අවසන් වෙද්දී උද්ධමනය 6% සීමාව ඉක්මවන්නේ නැහැ. ඒ නිසා, මේ වන විට උද්ධමනය නැවත ඉහළ යාමේ විශාල අවදානමක් පෙනෙන්නට නැහැ. ඩොලරය විශාල ලෙස අවප්‍රමාණය වුනොත් හෝ යම් අනපේක්ෂිත බාහිර කම්පනයක් ඇති වුවහොත් පමණක් තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්.

"උද්ධමනය මනින්නේ පෙර වසරට සාපේක්ෂව. ඒ නිසා, උද්ධමනය පහළ යාම සාමාන්‍ය ගණිතමය කරුණක්!"

ඉහත ප්‍රකාශය අර්ධ සත්‍යයක්. උද්ධමනය මනින්නේ පෙර වසරට සාපේක්ෂව තමයි. ඒ නිසා, "මිල මට්ටම ඉහළ යන වේගය සීමා වුවහොත්" උද්ධමනය පහළ යාම සාමාන්‍ය ගණිතමය කරුණක්. එහෙත්, මිල මට්ටම ඉහළ යාම නිකම්ම සීමා වෙන්නේ නැහැ. ඒ සඳහා මුදල් හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති යොදාගනිමින් කළ යුතු කාර්ය භාරයක් තිබෙනවා. පෙර වසරේ ඉහළ උද්ධමනයක් වාර්තා කළ වෙනත් බොහෝ රටවල් ලංකාව මෙන් උද්ධමනය තනි අංකයක් දක්වා අඩු කරගැනීමට සමත් වී නැහැ. 

වෙනිසියුලාව:

2022 සැප්තැම්බර් උද්ධමනය - 157.4%

2023 ජූනි උද්ධමනය - 404.4%


කියුබාව:

2022 සැප්තැම්බර් උද්ධමනය - 37.2%

2023 මැයි උද්ධමනය - 45.5%


ආජන්ටිනාව:

2022 සැප්තැම්බර් උද්ධමනය - 83.0%

2023 ජූනි උද්ධමනය - 115.6%


සිම්බාබ්වේ: 

2022 සැප්තැම්බර් උද්ධමනය - 107.5%

2023 ජූනි උද්ධමනය - 175.8%


ලෙබනනය:

2022 සැප්තැම්බර් උද්ධමනය - 162.5%

2023 ජූනි උද්ධමනය - 253.6%

ඉහළ උද්ධමනයක් ඇති වීමෙන් පසු එම ඉහළ උද්ධමනය පැවති කාලයට සාපේක්ෂව උද්ධමනය මනින නිසා නිකම්ම උද්ධමනය අඩු වේනම් ඉහත රටවල උද්ධමනය අඩු නොවී තවත් ඉහළ යාමට හේතුවක් නැහැ. උද්ධමනය කොපමණ ඉහළ ගියත්, එසේ ඉහළ යාම නිසාම නිකම්ම අඩු වෙන්නේ නැහැ. 

"උද්ධමනය අඩු කළේ පොලී අනුපාතික අහස උසට නග්ගලා!"

උද්ධමනය ඉහළ යද්දී පොලී අනුපාතික ඉහළ යාම ඉතාම සාමාන්‍ය සංසිද්ධියක්. මහ බැංකුවක් නොතිබුණත් මේ වැඩේ වෙනවා. උද්ධමනය ඉහළ යද්දී ඉතිරි කරන්නෝ, තැන්පතු කරුවෝ උද්ධමනය හා ගැලපෙන ඉහළ පොලියක් බලාපොරොත්තු වෙනවා. එවැනි ඉහළ පොලියක් නොලැබේනම් සල්ලි සල්ලි විදිහට තියා නොගෙන හාල්, පොල් වගේ දෙයක් අරන් තියා ගන්න එක ඔවුන්ට ලාබයි. මොකද හාල්, පොල් මිල වේගයෙන් ඉහළ යන නිසා යම් කාලයකට පසුව හාල්, පොල් සංචිත විකුණා උද්ධමනය හා ගැලපෙන ප්‍රතිලාභයක් ලබන්න පුළුවන්. ඒ නිසාම, උද්ධමනය හා ගැලපෙන සේ පොලී අනුපාතික වැඩි නොකළොත් බැංකු වලින් එළියට යන තරමට බැංකු වලට සල්ලි එන්නේ නැහැ. ඒ විදිහට බැංකු පවත්වා ගෙන යන්න බැහැ.

හැබැයි මහ බැංකුවකට පුළුවන් ඉහත සමතුලිතතාවය වෙනස් කරන්න. මහ බැංකුව විසින් උද්ධමනයට වඩා අඩු පොලියකට ණය දෙනවානම් බැංකු වලට ඉහත කී අරමුදල් ප්‍රශ්නය ඇති වෙන්නේ නැහැ. ප්‍රමාණවත් තැන්පතු නොලැබීමේ හානිය එයින් පූරණය වෙනවා. නමුත් අනෙක් පැත්තෙන් මෙයින් අදහස් වෙන්නේ මහ බැංකුව විසින් දිගින් දිගටම සල්ලි අච්චු ගසමින් උද්ධමනය නඩත්තු කරනවා කියන එක. ඒ නිසා, උද්ධමනය අඩු වෙන්නේ නැහැ. උද්ධමනය පාලනය කරන්නනම් බැංකු පද්ධතිය ඇතුළේ මුදල් ඉල්ලුම හා සැපයුම තුලනය වන පොලී අනුපාතිකයට අනුරූපව මහ බැංකුව විසින් බැංකු වලට ණය දෙන පොලී අනුපාතිකයද වෙනස් කරන්න වෙනවා. එහෙම නැත්නම් වෙන්නේ බැංකු විසින් දිගින් දිගටම අඩු පොලියට මහ බැංකුවෙන් ණයට සල්ලි ගන්න එක. ඒ සල්ලි අච්චු ගහන සල්ලි.

උද්ධමනය 15%-20% වගේ මට්ටමකට යන බව පැහැදිලිව පෙනෙද්දී මහ බැංකුව විසින් පොලී අනුපාතික ඒ මට්ටමට වැඩි කළානම් උද්ධමනය 70% වගේ මට්ටමකට යන්නේ නැහැ. නමුත්, ඒ වැඩේ ඒ විදිහට වුනේ නැහැ. පසුව වුනත්, උද්ධමනය හා ගැලපෙන තරමට මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වැඩි කළේ නැහැ. එහෙත්, අප්‍රේල් මාසයේ සිට සිදු කළ ප්‍රතිපත්ති පොලී අනුපාතික වැඩි කිරීම් වලින් උද්ධමනය පාලනය කිරීම සඳහා සැලකිය යුතු තල්ලුවක් ලැබුණා.

පොලී අනුපාතික හා මුදල් සැපයුම කියන්නේ එකම සංසිද්ධියක පැතිකඩ දෙකක් මිසක් කරුණු දෙකක් නෙමෙයි. මුදල් සැපයුම පහසුවෙන් ඇහැට පේන්නේ නැහැ. පොලී අනුපාතික පැහැදිලිව පේනවා. ඒ නිසා, මුදල් සැපයුම දිහා බලාගෙන එය පාලනය කරන එකට වඩා පොලී අනුපාතික දිහා බලාගෙන මුදල් සැපයුම පාලනය කරන එක ලේසියි. මේක වාහනයක රෝද දෙස බලන්න වද නොවී සුක්කානම පාලනය කරමින් රෝද හසුරුවනවා වගේ වැඩක්. 

ලෝකයේ බොහොමයක් රට වල මහ බැංකු විසින් උද්ධමනය පාලනය කිරීම සඳහා මුදල් සැපයුම පාලනය කරන්නේ පොලී අනුපාතික පාලනය කිරීම මගින්. මේ වන විට ඇමරිකාවේ උද්ධමනය 3% මට්ටමෙනුත් පොඩ්ඩක් පහළට ඇවිත්. නමුත් ඇමරිකානු මහ බැංකුවේ ඉලක්කය උද්ධමනය 2% මට්ටමට ගන්න එක. මේ ඉලක්කය අරමුණු කරගෙන පසුගිය සතියේදීත් ඇමරිකාවේ මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික වැඩි කළා. වෙනස 1%ක් කියලා පොලී අනුපාතික වැඩි කිරීම නැවැත්තුවේ නැහැ. ඇමරිකානු මහ බැංකුව ඩොලරයේ අගය පවත්වා ගන්නේ ඒ විදිහටයි. 

ඒ නිසා, "උද්ධමනය අඩු කළේ පොලී අනුපාතික අහස උසට නග්ගලා!" කියන කතාවේ අහස උසට කියන වැරදි කෑල්ල අයින් කළ පසු ඉතිරි කොටස නිවැරදි වුනත් ඒ කියමන "දොස්තර ලෙඩේ සනීප කළේ බෙහෙත් දීලා!" කියනවා වගේ කතාවක්. දොස්තර කෙනෙක් සාමාන්‍යයෙන් ලෙඩ සනීප කරන්නේ බෙහෙත් දීලා. ඒ වගේම, මහ බැංකුවක් සාමාන්‍යයෙන් උද්ධමනය අඩු කරන්නේ මුදල් සැපයුම අඩු කරලා. මුදල් සැපයුම අඩු කරන්නේ පොලී අනුපාතික ඉහළ යන්න ඉඩ දීම මගින්. 

"උද්ධමනය අඩු කළේ මහ බැංකුව මිසක් රජය නෙමෙයි!"

රටක මහ බැංකුවක ප්‍රධානම කාර්යය මිල ස්ථායීතාවය පවත්වා ගැනීම, එහෙමත් නැත්නම් අඩු, ස්ථාවර උද්ධමනයක් පවත්වා ගැනීම. මහ බැංකුවක් කියලා වෙනම ස්වාධීන ආයතනයක් හදන්නේම ඒ වැඩේට. උද්ධමනය අඩු කරන එක රටක මහ බැංකුවේ වැඩක් මිසක් රජය විසින් කළ යුතු දෙයක් නෙමෙයි. ඒ නිසා, මේ ප්‍රකාශය ඇත්ත වුනත්, එය "බස් එක එළෙවුවේ ඩ්‍රයිවර් මිසක් කොන්දොස්තර නෙමෙයි!" කියනවා වගේ කතාවක්. බස් එක එළවන එක ඩ්‍රයිවර්ගේ රාජකාරියක් මිසක් කොන්දොස්තරගේ රාජකාරියක් නෙමෙයි. 

දැන් කාට හරි අහන්න පුළුවන් එහෙමනම් උද්ධමනය 70% දක්වා ඉහළ ගියේ මහ බැංකුවේ වැරැද්දෙන් මිසක් රජයේ වැරැද්දෙන් වෙන්නත් බැහැ නේද කියලා. ඔව්! උද්ධමනය 70% දක්වා යාම තනිකරම මහ බැංකුව විසින් මහ බැංකුවේ රාජකාරිය හරියට නොකිරීම නිසා සිදු වූ දෙයක්. මෙහිදී මහ බැංකුව පැත්තෙන් ඉදිරිපත් කරන නිදහසට කාරණය මහ බැංකුවට ස්වාධීනව තමන්ගේ රාජකාරිය කරන්න රජය ඉඩ දුන්නේ නැහැ කියන එක. සමහර අවස්ථා වලදී අපි ඒ බව ඇස් පනාපිට දැක්කා.

පසුගිය වසරක පමණ කාලය තුළ මහ බැංකුවට ස්වාධීනව කටයුතු කරන්න ඉඩ ලැබුණා. එය උද්ධමනය අඩු කිරීම සඳහා රජය විසින් උදවු වූ එක් ආකාරයක්. නමුත්, උද්ධමනය මේ තරම් ඉක්මණින් අඩු වීමට රජයෙන් ලැබුණු දායකත්වය ඊට වඩා වැඩියි. 

පසුගිය වසරක කාලය තුළ රජය විසින් සැලකිය යුතු තරමින් තමන්ගේ ආදායම් වැඩි කරගත්තා. ඒ වගේම, සෑහෙන තරමකින් ආදායම් වලට අනුරූපව වියදම් ගලපා ගත්තා. රජය විසින් එසේ නොකළේනම් රජයේ ණය අවශ්‍යතාවය මීට වඩා ගොඩක් වැඩි මට්ටමකට යනවා. ඒ හේතුවෙන්, මුදල් ඉල්ලුම ඉහළ ගොස් පොලී අනුපාතික මත පීඩනය මීට වඩා ගොඩක් ඉහළ යනවා. 

උද්ධමනය 70% මට්ටමකට ගියත් මහ බැංකුව පොලී අනුපාතික 70% මට්ටම ඉක්මවා වැඩි කළේ නැහැ. ප්‍රතිපත්ති පොලී අනුපාතික 15% වගේ මට්ටමක නැවතුනා. භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික වුනත් 30% ආසන්න මට්ටමකින් එහාට ගියේ නැහැ. 70% උද්ධමනය 6% දක්වා අඩු කර ගන්න පොලී අනුපාතික ඒ මට්ටමට යන්න ඉඩ දීම ප්‍රමාණවත් වුණා. එහෙම වුනේ, රජය පැත්තෙන් ආදායම් හා වියදම් අතර පරතරය විශාල ලෙස අඩු කර ගැනීමක් සිදු වුනු නිසා. 

රජය පැත්තෙන් මේ දේවල් නොවුනානම් මහ බැංකුවට මේ තරම් පහසුවෙන් හා ඉක්මණින් උද්ධමනය අඩු කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ වගේම, පොලී අනුපාතික තවත් ඉහළ යන්න ඉඩ දී එම ඉහළ පොලී අනුපාතික වැඩි කාලයක් එලෙස පවත්වා ගන්න සිදු වෙනවා. එහෙම අවශ්‍ය නොවුනේ රජය පැත්තෙන් සැලකිය යුතු මූල්‍ය පාලනයක් සිදු වූ නිසා. ඒ නිසා, උද්ධමනය ඉක්මණින් අඩු කර ගැනීමේ ගෞරවයෙන් යම් කොටසක් රජයටද හිමි විය යුතුයි. 

"උද්ධමනය අඩු කළේ ආර්ථිකය අකුලලා!"

රටක ආර්ථිකය කියන්නේ කුඩයක් අකුලනවා වගේ අකුලන්න පුළුවන් එකක් නෙමෙයි. දිගුකාලීනව රටක ආර්ථිකයේ ප්‍රමාණය මිල මට්ටම මත තීරණය වෙන්නේ නැහැ. ආර්ථිකයේ ප්‍රමාණය කියා කියන්නේ රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදිතය. උද්ධමනය අඩු වුනත් වැඩි වුනත් ගස් වල ගෙඩි හැදෙනවා. මුහුදු ගියොත් මාළු අහු වෙනවා. වෙනත් සංකීර්ණ නිෂ්පාදනයක් ගත්තත් එහෙමයි. හැබැයි මෙයින් මම කියන්නේ නිෂ්පාදනය කෙරෙහි උද්ධමනයේ මොනයම් හෝ බලපෑමක් නැහැ කියලා නෙමෙයි. පොලී අනුපාතික ආදිය හරහා යම් බලපෑමක් සිදු වෙනවා. 

උද්ධමනය කියා දෙයක් ඇති වෙන්නෙම රටේ නිෂ්පාදනය ඉක්මවා භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුම ඉහළ ගිය විටයි. ඒ වගේ, තත්ත්වයක් කෙටිකාලීනව පැවතිය හැකි වුවත් දිගුකාලීනව පවතින්න බැහැ. කෙටිකාලීනව ගබඩා වල තිබෙන සංචිත ක්ෂය වෙන්නට ඉඩ හරිමින් නිෂ්පාදනය ඉක්මවා පරිභෝජනය කරන්න පුළුවන්. හැබැයි ගබඩා හිස් වන තුරු පමණයි. ලංකාව වගේ කුඩා ආර්ථිකයක් තිබෙන රටකට යම් කාලයක් විදේශ වලින් ණය ගනිමින්, එම ණය වලින් රටේ නිෂ්පාදනය ඉක්මවා භාණ්ඩ හා සේවා පරිභෝජනය කරන්න පුළුවන්. හැබැයි ඒකටත් සීමාවක් තිබෙනවා. ආර්ථික අර්බුදය ඇති වුනේ ඒ සීමාව පැන්නට පස්සේ.

උද්ධමනය විශාල ප්‍රශ්නයක් වෙන්න කලින්ම ලංකාවේ ආර්ථිකය හැකිලෙන්න පටන් අරගෙනයි තිබුණේ. 2019 වසරේදීත් රටේ ආර්ථිකය 0.2%කින් හැකිලුනා. එතකොට කෝවිඩ් ඇවිත් නැහැ. පාස්කු බෝම්බ ප්‍රහාර වලින් පසු සංචාරක කර්මාන්තය බිඳ වැටීම වගේ දේවල් ඊට බලපෑවා. 2020දී ආර්ථිකය 4.6%කින්ම හැකිලුනා. වසංගතය හමුවේ රට වසා දැමීම ඊට හේතු වුනා. 2021දී රට විවෘත කිරීමෙන් පසු 3.5%ක වර්ධනයක් ආවත් පෙර වසරේ වූ 4.6%ක අඩු වීම ආවරණය වුනේ නැහැ. 

ඉන්පසුව, 2022දී ගෙවුම් ශේෂ අර්බුදයක් ඇවිත් ඉන්ධන පෝලිම් හැදී, විදුලිය කැපෙද්දී ආර්ථිකය 7.8%කින් හැකිලුනා. ගෙවුණු වසර තුළ වූ ආර්ථිකයේ මේ හැකිලීම වැඩිපුරම සිදු වුනේ වසරේ දෙවන කාර්තුවේ සිටයි. උද්ධමනය විශාල ලෙස වැඩි වීම සිදු වුනෙත් එම කාලයේදී. මේ දෙක එකටම සිදු වූ දෙයක්. 

උද්ධමනය පාලනය නොවී දිගින් දිගටම ඉහළ ගියානම් විදුලි කප්පාදු ආදී හේතු නිසා ආර්ථිකය තව තවත් හැකිලෙනවා මිසක් වර්ධනය වෙන්නේ නැහැ. එහෙත්, මේ වන විට රටේ ආර්ථිකය නැවත පිළිසකර වීමට සමාන්තරව ආර්ථිකයේ හැකිලීමද නැවතෙමින් තිබෙනවා. ආනයන පාලන ආදිය තවමත් තිබෙන නිසා ආර්ථිකය තවමත් අර්බුදයට පෙර පැවති මට්ටමට ඇවිත් නැති වුනත් මෙම කාර්තුවේදී ඇතැම් විට යම් හෝ වර්ධනයක් සිදු වෙන්න වුනත් බැරිකමක් නැහැ. උද්ධමනය ඉහළ යාම හා ආර්ථිකය හැකිලීම එකට සිදු වී ඇති බවත්, උද්ධමනය නැවත පහළ ස්ථාවර මට්ටමක ඉද්දී ආර්ථිකය හැකිලීමද සමාන්තරව අඩු වී හෝ නැවතී ඇති බවත්, ඉදිරියේදී ආර්ථික වර්ධන දත්ත ප්‍රකාශ වෙද්දී දැකගන්න ලැබෙයි. 

"උද්ධමනය අඩු කළේ බදු වැඩි කර පරිභෝජනය සීමා කරලා!"

සාමාන්‍යයෙන් රටක පරිභෝජනය කියන්නේ නිෂ්පාදනය හරහා ලැබෙන ආදායම වැය කරන ආකාරය. බදු අඩු වුනත් වැඩි වුනත් බදු හරහා වෙන්නේ එම බදු ගෙවන්නන්ගේ පරිභෝජනය සීමා කෙරෙන එක. නමුත්, බදු විදිහට එකතු කර ගන්නා අරමුදල් රජය විසින් පරිභෝජනය කරන නිසා බදු අඩු වුනත් වැඩි වුනත් රටේ පරිභෝජනය වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ පරිභෝජනය කරන්නේ කවුද කියන එක පමණයි. 

ඉහත හේතුව නිසාම රජය විසින් බදු කපා ඊට අනුරූපව වියදම් සීමා කළොත්, බදු ගෙවන්නන්ගේ පරිභෝජනය ඉහළ යන නමුත් රජයේ පරිභෝජනය අඩු වන නිසා රටේ පරිභෝජනය ඉහළ යන්නේ නැහැ. නමුත්, බදු කපා රජයේ වියදම්ද පවත්වා ගත් විට රටේ පරිභෝජනය ඉහළ යනවා පමණක් නෙමෙයි නිෂ්පාදනය ඉක්මවා රටේ පරිභෝජනය ඉහළ ගොස් උද්ධමනය ඇති වෙනවා. ඒ ගැන කලින් කතා කළා. 

උද්ධමනය මගින් කරන්නේ රජය ආදායම ඉක්මවා වියදම් කිරීම හේතුවෙන් රටේ පරිභෝජනය හා නිෂ්පාදනය අතර පැවති අසමතුලිතතාව නිවැරදි කරන එක. මෙහිදී භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ ගොස් එම නිෂ්පාදකයින්ගේ ආදායම්ද ඉහළ යනවා. ඔවුන්ට වැඩි පරිභෝජනයක් කළ හැකි වෙනවා. නමුත්, එයට සමාන්තරව රජයේ සේවකයින් වැනි අයට පරිභෝජනය අඩු කරන්නට සිදු වෙනවා. බදු වැඩි කර (හෝ වියදම් කපා) රජයේ අයවැය තුලනය කර නොගතහොත් වෙන්නේ දිගින් දිගටම මේ අසමතුලිතතාව නඩත්තු වෙමින් උද්ධමනයද නඩත්තු වීමයි.

උද්ධමනය පාලනය නොකළහොත් දිගින් දිගටම ඒ හරහා යම් පිරිසකගේ පරිභෝජනය සීමා වීමක් සිදු වෙනවා. බදු වැඩි කරද්දීද සිදු වන්නේ එවැන්නක්. ඒ නිසා, බදු වැඩි කර ඒ හරහා පරිභෝජනය සීමා කිරීමෙන් උද්ධමනය මගින් පරිභෝජනය සීමා වීම වලක්වන්න පුළුවන්. කොහොම වුනත් ඔය දෙකෙන්ම ඇතැම් අයගේ පරිභෝජනය සීමා වීමක් වෙනවා. ඒ නිසා, "උද්ධමනය අඩු කළේ බදු වැඩි කර පරිභෝජනය සීමා කරලා!" කියන එකේ ලොකු වැරැද්දක් නැහැ.


Monday, July 31, 2023

උද්ධමනය තනි අංකයකට!

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව, ගෙවුණු ජූලි මාසයේදී උද්ධමනය 6.3% දක්වා අඩු වී තිබෙනවා. මෙය මහ බැංකුවේ ඉලක්ක උද්ධමන සීමාව වන 6%ට ඉතාම ආසන්න අගයක්. ආහාර උද්ධමනය සෘණ 1.4%ක් වීම විශේෂ කරුණක්.

උද්ධමනය අඩුවීම යනු මිල ගණන් අඩුවීම නොවුනත්, සෘණ උද්ධමනයක් හෙවත් අවධමනයක් යනු මිල ගණන්ද අඩු වීමක්. මේ අනුව, පසුගිය වසරේ ජූලි මාසයට සාපේක්ෂව සමස්තයක් ලෙස ආහාර මිල ගණන් 1.4%කින් අඩු වී තිබෙනවා. සහල්, තිරිඟු පිටි, පාන්, පොල් තෙල්, නූඩ්ල්ස්, කරවල, සීනි, මයිසූර් පරිප්පු ආදී ආහාර ද්‍රව්‍ය වල මිල පසුගිය වසරට සාපේක්ෂව අඩු වී ඇති අතර බිත්තර, කුකුළු මස්, පොල්, අළුත් මාළු, පළතුරු, තේ කොළ ආදී ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් තව දුරටත් පෙර වසරට වඩා ඉහළ මට්ටමක පවතිනවා.

Friday, July 28, 2023

තවත් රාජ්‍ය මැදිහත්වීමක්!


ලෝකය දේශපාලනිකව සංවිධානය වී තිබෙන්නේ රටවල් ලෙසයි. රටවල් පවතින්නේ එම රටවල රජයයන් පවතින නිසා. රටක භූගෝලීය සීමාව යනු රජයක අණසක පැතිරිය හැකි සීමාවයි. මෙවැනි සීමාවන් හා අදාළව රටවල් අතර ඇති සම්මුතීන් බිඳුණු විට රටවල් අතර යුද්ධ ඇති වෙනවා. ඒ නිසා, රටක් කියන්නේ රටක රජය නොවුනත්, රටක් පැවතීම සඳහා එම රට මත අණසක පැතිරවිය හැකි රජයක්ද පැවතිය යුතුයි. 

රජයක් පවතිනවා කියන්නේනම රාජ්‍ය මැදිහත්වීම්ද තිබෙනවා කියන එකයි. රාජ්‍ය මැදිහත්වීම් කිසිවක් නැත්නම් එහි රජයක් කියා දෙයක් නැහැ. එවිට ඉතිරි වන්නේ අරාජිකත්වයයි. එහෙත්, ජන ජීවිතය කෙරෙහි මැදිහත් වන ප්‍රමාණය අනුව විවිධ රටවල රජයයන් වෙනස් වෙනවා.

ධනවාදී ආර්ථික ක්‍රමයක පදනම වන්නේ පෞද්ගලික දේපොළ එක් රැස් කර ගැනීමට, මිනිසුන් අතර නිදහස් ගනුදෙනු කිරීමට හා එම නිදහස් ගනුදෙනු වලින් පෞද්ගලික ලාබ ලැබීමට ඉඩ සැලසීමයි. මෙහිදී මිනිසුන් යනු තමන් වෙනුවෙන් තීරණ ගත හැකි හා එම තීරණ වල වගකීම තමන් විසින්ම ගත හැකි බුද්ධිමතුන් පිරිසක් සේ උපකල්පනය කෙරෙනවා. ධනවාදී ආර්ථික ක්‍රමය හා එයට පාදක වූ පුද්ගල නිදහස පිළිගන්නා රජයක රාජ්‍ය මැදිහත් වීම් සිදු වන්නේ පුද්ගලයින් අතර සිදු වන ගනුදෙනු වඩා කාර්යක්ෂම ලෙස කර ගැනීමට ඉඩ සලසන වටාපිටාවක් ඇති කෙරෙන ආකාරයෙනුයි. 

මෙවැනි, ධනවාදය පිළිගන්නා රජයක මූලික කාර්යයක් වන්නේ පෞද්ගලික දේපොළ අයිතිය තහවුරු කිරීමයි. ඒ සඳහා, රටේ සියල්ලන්ටම එකඟ විය හැකි පරිදි, නීතිය මගින් දේපොළ අර්ථදැක්විය හැකියි. මෙහිදී ගනුදෙනුවකදී දෙපාර්ශ්වය අතර ඇති විය හැකි අවිනිශ්චිතතා අඩු වී ගනුදෙනු වඩා කාර්යක්ෂම ලෙස සිදු වෙනවා. 

එක් සරල උදාහරණයක් ලෙස පොළේ ගිහින් එළවළුවක් මිල දී ගනිද්දී ගොඩවල් ගණනට විකිණීම හා මිල දී ගැනීමට සාපේක්ෂව බර අනුව මිල දී ගනිද්දී ගනුදෙනුව සිදු කරන භාණ්ඩය පිලිබඳව දෙපාර්ශ්වය අතර එකඟතාවක් ඇති කර ගැනීම පහසු වෙනවා. සුපිරි වෙළඳ සැලකින් භාණ්ඩයක් මිල දී ගනිද්දී එහි කල් ඉකුත් වන දිනය සටහන්ව ඇති විට පාරිභෝගිකයාට අදාළ භාණ්ඩයේ ගුණාත්මක භාවය පිළිබඳව සහතිකයක් ලැබෙන අතර වෙළෙන්දාට එය තහවුරු කිරීම පහසු වෙනවා. මේ ආකාරයේ සම්මුතීන් ඇති වීම සඳහා රජයක පැවැත්ම අනිවාර්ය නොවුනත්, රජයක් පැවතීම තුළ එම රජයේ අණසක පවතින ප්‍රදේශය තුළ මෙවැනි සම්මුතීන් ඒකාකාරී ලෙස පවත්වා ගත හැකියි. එයින් පුද්ගල ගනුදෙනු වල වපසරිය පුළුල් වී කාර්යක්ෂමතාවය ඉහළ යනවා.

සාමාන්‍ය මූලධර්මයක් ලෙස ධනවාදය පිළිගන්නා සහ එහි කාර්යක්ෂමතාවය අවබෝධ කරගත් රජයක් මිල පාලන ආදී ක්‍රම වලින් වෙළඳපොළට මැදිහත් වන්නේ ඉතා අඩුවෙන්. පෞද්ගලික අංශයට කළ හැකි නිෂ්පාදන, බෙදාහැරීම් හා විකිණීම් හරහා වෙළඳපොළට මැදිහත් වෙන්නේ ඉතා අඩුවෙන්. මෙහිදී මා ඉතා අඩුවෙන් යන වචනය භාවිතා කරන්නේ රටේ පවතින දේශපාලනික තත්ත්වයන් අනුව ඕනෑම රටක රජයක් විසින් රටක වෙළඳපොළට යම් මැදිහත්වීමක් කරන නිසා. එහෙත්, එවැනි මැදිහත්වීමක් කරන්නේ විශේෂ හේතුවක් ඇත්නම් පමණයි.

ඕනෑම රටක රජයක් එම රජයේ පැවැත්ම හා රටේ අනාගත අභිවෘද්ධිය ඉලක්ක කරගෙන සැලසුම් හදනවා. සැලසුම් හැදීම ඒකීය පුද්ගලයින්, ව්‍යවසායකයින්, ලාබ ලැබීම අරමුණු කරගත් සමාගම් මෙන්ම ලාබ ලැබීම අරමුණු කර නොගත් සමාගම් හා සංවිධාන විසින්ද කරන දෙයක්. රටක රජයක් විසින් සාමාන්‍ය මූලධර්මයක් ලෙස ධනවාදය පිළිගත් පමණින් එවැනි රජයක් කිසිදු සැලසුමක් නැතිව ඉබාගාතේ යන රජයක් වන්නේ නැහැ. වෙළඳපොළ නිදහස තහවුරු කිරීම සඳහා වුවද සැලසුම් අවශ්‍ය වෙනවා. 

සමාජවාදී මධ්‍යගත සැලසුමක් කියන්නේ ඉහත ආකාරයේ සාමාන්‍ය සැලසුමක් නෙමෙයි. මෙවැන්නක් මූලධාර්මික තලයේදීම වෙනස් වෙනවා. සමාජවාදී ක්‍රමයේ පදනම වන්නේ මිනිසුන් යනු තමන් වෙනුවෙන් තීරණ ගත නොහැකි පිරිසක් ලෙස හඳුනා ගැනීමයි. ඒ අනුව, මුළු රටකම මිනිසුන් වෙනුවෙන් තීරණ ගැනීමේ වගකීම දේශපාලන පක්ෂයක්, එම දේශපාලන පක්ෂය විසින් මෙහෙයවන රජය හෝ වෙනත් සුළු පිරිසක් විසින් අතට ගන්නවා. රටේ අනෙකුත් සියලුම මිනිසුන්ට ඒ සැලසුමේ කොටස්කරුවන් වීමට සිදු වෙනවා. මෙහිදී රාජ්‍ය මැදිහත්වීමක් කිරීම සඳහා විශේෂ හේතුවක් අවශ්‍ය වන්නේ නැහැ. 

මේ ආකාරයේ මධ්‍යගත සමාජවාදීන්ට නිදහස ලබන්නටත් පෙර සිටම ලංකාවේ දේශපාලනය තුළ විශාල බලයක් තිබුණා. ඒ අනුව, ඔවුන්ට අවශ්‍ය ආකාරයට ලංකාවේ රාජ්‍ය ආකෘතියද සකස් වුනා. අදටත් ලංකාවේ රජය විසින් කරන බොහෝ දේවල් රජය විසින් කරන්නේ එසේ කළ යුතු විශේෂ හේතුවක් තිබෙන නිසා නෙමෙයි. 

කෙසේ වුවත්, රාජ්‍ය ආකෘතියක් තුළ සමාජවාදී මධ්‍යගත සැලසුම් ක්‍රමය අනුව යමින් එකතු කර ඇති කොටස් ගලවා දැමීම සීරුමාරුවට කළ යුතු වැඩක්. රජයක් විසින් කොපමණ මැදිහත්වීම් කළත් එම මැදිහත්වීම් හමුවේ වුවද වෙළඳපොළ නැවත සකස් වෙමින් හැකි පමණින් කාර්යක්ෂමතාවය සොයා යනවා. එසේ කිසියම් ආර්ථිකයක් සීමාවන් තුළ වුවද ප්‍රසස්ථකරණය වී ඇති විටෙක, එකවර රාජ්‍ය මැදිහත්වීම ඉවත් කළ විට ඇසිඩ් පානය කළ අයෙකුට වමනය කරවීමේදී සිදු වන ආකාරයේ හානියක් සිදු වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා, වෙළඳපොළ කාර්යක්ෂමතාවය සොයා යාමේදී එයට බාධා කෙරෙන ආකාරයේ රාජ්‍ය මැදිහත් වීම් ඉවත් කළ යුතු වුවත්, හදිසියේ එවැන්නක් කිරීම්දී ඇති විය හැකි වෙළඳපොළ කම්පනය ගැනද සැලකිලිමත් විය යුතුයි. 

ලෝකය පුරා නැවත නැවතත් අසාර්ථක වී ඇතත් මධ්‍යගත සමාජවාදී ක්‍රමය වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් දැනටත් ලංකාවේ දේශපාලනය තුළ දැකිය හැකියි. ඔවුන්ට රාජ්‍ය මැදිහත්වීම් සාධාරණීකරණය කිරීම සඳහා හේතු අවශ්‍ය නැහැ. ජනමතය විරුද්ධ පැත්තේ ඇති විට ප්‍රසිද්ධියේ නොකිවුවත්, කවුරු හෝ විසින් ලාබ ලැබීම කෙරෙහි වන මූලික විරෝධය හා පෞද්ගලික දේපොළ අයිතිය පිළිබඳ විරෝධය ඔවුන්ට ඒ සඳහා ප්‍රමාණවත් හේතුවක්. සමාජවාදී මධ්‍යගත සැලසුම් ක්‍රමය අනුව යමින් නිෂ්පාදනය, බෙදාහැරීම සහ විකිණීම රජය මගින් කිරීම ඔවුන්ට සාමාන්‍ය තත්ත්වයක්. ඔවුන්ට හේතු අවශ්‍ය වන්නේ පෞද්ගලික අංශයට ඉඩක් දීමේදීයි. 

ඉහත මධ්‍යගත සැලසුම් ක්‍රමය ප්‍රතික්ෂේප කරන, වෙළඳපොළ කාර්යක්ෂමතාවය පිළිගන්නා රජයයන් විසින් වුවද වෙළඳපොළට යම් මැදිහත්වීම් කරනවා. එහෙත්, එවැනි මැදිහත්වීම් කරන්නේ අවශ්‍යතාවය පැහැදිලි හා නිශ්චිත ලෙස හඳුනා ගැනීමෙන් පසුවයි. මෙවැනි පියවරක් තබන්නට පෙර සමත් විය යුතු පළමු පරීක්ෂාව අදාළ කාර්යය පෞද්ගලික අංශය හරහා ඉටු නොවන බව තහවුරු කර ගැනීමයි. දෙවන පරීක්ෂාව එසේ පෞද්ගලික අංශය විසින් අදාළ කාර්යය නොකිරීමට හේතුව හෝ හේතු හඳුනාගැනීමයි. තෙවන පරීක්ෂාව වන්නේ රාජ්‍ය මැදිහත්වීමකින් පවතින තත්ත්වය වඩා යහපත් ලෙස වෙනස් කළ හැකි බව සෑහෙන තරමක විශ්වාසයකින් යුතුව තහවුරු කර ගැනීමයි. පළමු පියවර දෙකට සාපේක්ෂව දෙවැන්න දේශපාලනිකයි. 

පසුගිය (2022) දෙසැම්බර් මාසයේ පළ කළ "ඇමරිකාවේ රාජ්‍ය මැදිහත්වීම්" ලිපියෙන් ඇමරිකාවේ සිදු වන මෙවැනි රාජ්‍ය මැදිහත්වීමක් ගැන විස්තර ඉදිරිපත් කර තිබෙනවා. එම සටහනේ ලියා ඇති පරිදි, සාමාන්‍ය ඇමරිකානුවෙකු විසින් ගෙයක් මිල දී ගනිද්දී අඩු වශයෙන් නිවසේ වටිනාකම මෙන් 5%ක පමණ ඩවුන් පේමන්ට් එකක් ගෙවන්න වෙනවා. එක්තරා කාලයකදී මෙය 30%-50% පමණ ඉහළ මට්ටමක පැවතී තිබෙනවා. 

මේ ඩවුන් පේමන්ට් එක ගෙවිය යුතු නිසා, යමෙකුට ගෙයක් මිල ගන්න කලින් ප්‍රමාණවත් මුදලක් එකතු කර ගන්න වෙනවා. නමුත්, ගෙයක් අරගත්තට පස්සේ ගෙවන්න වෙන උගස් ණය වාරිකයට කිට්ටු මුදලක් ගෙවල් කුලී ලෙස ගෙවන ගමන් ඔය විදිහට සල්ලි ඉතුරු කරන එක අඩු ආදායමක් ලබන කෙනෙකුට අමාරු වැඩක්. හැබැයි මොන විදිහකින් හරි ගෙයක් ගත්තොත්, කුලී ලෙස ගෙවන මුදලින් උගස් ණය වාරිකය ගෙවාගෙන යන්න පුළුවන්. මෙතන ග්‍රිඩ්ලොක් තත්ත්වයක් තියෙන්නේ. අනෙක් පැත්තෙන් ගෙය ඇපයට තියා ගත්තත්, ගෙයි වටිනාකම අඩු විය හැකි නිසා ණය දෙන බැංකුවකට ගෙයි මුළු වටිනාකමම ණයට දීලා අවදානමක් ගන්නත් බැහැ. 

ෆෙඩරල් නිවාස ණය බැංකු වලින් කරන්නේ මෙන්න මේ ග්‍රිඩ්ලොක් එක කඩලා අතේ ලොකු මුදලක් නැති අයටත් ගෙයක් මිල දී ගන්න ඉඩ සලසන එක. එම බැංකු වල අරමුදල් වලින් 3.5% තරම් අඩු ඩවුන් පේමන්ට් එකක් ගෙවලා නිවාස ණයක් ගන්න ඉඩ සලසනවා. මෙහි රාජ්‍ය මැදිහත්වීමක් තිබෙනවා. නමුත් එම මැදිහත්වීම බදු ගෙවන්නට බරක් නැති මැදිහත්වීමක්. මැදිහත්වීම හරහා කෙරෙන්නේ බැංකු මුහුණ දෙන අවදානම අඩු කිරීම මගින් අඩු ඩවුන් පේමන්ට් එකක් අරගෙන ණය දිය හැකි වාතාවරණයක් හදන එක. මේ වන විට ඇමරිකානුවන් විසින් ගන්න නිවාස ණය වලින් 9%-10% අතර ප්‍රමාණයක් මේ වර්ගයේ ණය. ඊටත් වඩා වැදගත් කරුණ වන්නේ මෙම රාජ්‍ය මැදිහත්වීම නිසා සාමාන්‍ය නිවාස ණයක් සඳහා ගෙවිය යුතු ඩවුන් පේමන්ට් එකද ක්‍රමයෙන් අඩු වී තිබීමයි.

කෙටියෙන් කිවුවොත් මෙහිදී වෙන්නේ රජය මුල් වී රක්ෂණ ක්‍රමයක් හදන එක. රක්ෂණ ආයතනයක් විශාල වූ තරමට වැඩි අවදානමක් ගන්න පුළුවන්. මේ විදිහට හදන ආයතනය රජය මුල් වී හදන ආයතනයක් වුනත් එහි කොටස්කරුවෝ සාමාජික බැංකු. ලාබය යන්නෙත් ඔවුන්ට. ඒ නිසා, රජයේ මූල්‍යමය මැදිහත් වීමක් නැහැ. 

මීට කිට්ටු ආකෘතියක් යොදා ගනිමින් මේ වන විට ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට ණය දීම සඳහා අලුත් ආයතනයක් ස්ථාපනය කර තිබෙනවා. මම හිතන්නේ මෙය හොඳ ප්‍රවේශයක් හා හොඳ රාජ්‍ය මැදිහත්වීමක්. 

කෙසේ වුවත්, මෙය ඇමරිකාවේ ෆෙඩරල් නිවාස බැංකුව ස්ථාපනය කිරීම මෙන් රජය විසින් මාර්ගෝපදේශනය පමණක් කිරීමක් නෙමෙයි. පෞද්ගලික හා රාජ්‍ය අංශ වල හවුල්කාරිත්වයක් ලෙස බිහිවන ආයතනයක්. ලංකාවේ දැනට පවතින සන්දර්භයේ එහි වැරැද්දක් නැහැ. ආයතනය හොඳින් ස්ථාපනය වූ පසු අවශ්‍යනම් රජයේ කොටස්ද සාමාජික බැංකු වලටම විකුණා දමන්න පුළුවන්. National Credit Guarantee Institution (NCGI) ලෙස හැඳින්වෙන මෙම ආයතනයේ කොටස්හිමියන් හා සාමාජිකයින් ලෙස බැංකු 10ක් හා බැංකු නොවන මූල්‍ය ආයතන 3ක් එකතු වී තිබෙනවා.ඉහත ආයතනය පිහිටුවීම සඳහා තාක්ෂණික සහයෝගය මෙන්ම ආරම්භක ප්‍රාග්ධනය සඳහා අවශ්‍ය වන ඩොලර් මිලියන 100ක මුදලක්ද ආසියානු සංවර්ධන බැංකුව විසින් ලබා දී තිබෙන අතර සාමාජික බැංකු වල කොටස් ආයෝජන වලින් තවත් ඩොලර් මිලියන 10ක් එකතු වෙනවා. ඒ අනුව, වැඩේ පටන් අරගෙන කරගෙන යන්න පුළුවන්. 

ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 52%ක් එකතු කරන්නේත්, රැකියා වලින් 45%ක් සපයන්නේත් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයෝ. රටේ ආර්ථික වර්ධනයේ එන්ජිම මොවුන් කියා කියන්නත් පුළුවන්. එහෙත්, සාමාන්‍යයෙන් ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයෙකුට බැංකු ණයක් ගන්න එක ලේසි නැහැ. ප්‍රධානම හේතුව ඇපයට තියන්න දෙයක් නැතිකම. යම් හෙයකින් ණයක් ගත්තත් ඔවුන්ට ඒ වෙනුවෙන් ඉහළ පොලියක් ගෙවන්න වෙනවා. බැංකු වල පැත්තෙන් මෙය සාධාරණයි. ඒ මොවුන්ගේ ණය පැහැර හැරීමේ අවදානම වැඩි නිසා සහ ඇපකරයක් නැත්නම් එහිදී විය හැකි පාඩුව වැඩි නිසා.

අලුත් ආයතනය පිහිටුවීමෙන් පසුව ඇමරිකාවේ ෆෙඩරල් නිවාස බැංකුව හරහා සිදු වන ආකාරයෙන්ම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට ලබා දෙන ණය රක්ෂණය වෙනවා. ඒ නිසා, බැංකු වලට ණය ආපසු නොලැබීමේ අවදානම අමතක කරලා සාපේක්ෂව අඩු පොලියකට ණය දෙන්න පුළුවන්. මේ විදිහට ණය රක්ෂණය කිරීම වෙනුවෙන් ලබාගන්නා රක්ෂණ වාරික මුදල් වලින් අලුත් ආයතනයට රටේ මහ ජනතාවට බරක් නොවී පවතින්න පුළුවන්. 

වැඩි විස්තර තවමත් ප්‍රසිද්ධ කර නැති නිසා අලුත් ආයතනයේ ආකෘතිය හෝ ක්‍රියාකාරිත්වය ගැන හැම දෙයක්ම මම දන්නේ නැහැ. මම හිතන්නේ එක් එක් සාමාජික ආයතනයට යම් කෝටා එකක් ලැබෙයි. එම කෝටා එකට යටත්ව එක් එක් ආයතනය විසින් සහන පොලියකට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට ණය ලබා දෙයි. ඒ හැර අලුත් ආයතනයෙන් කෙළින්ම ණය ලබා දෙන එකක් නැහැ. එහෙත්, මේ ක්‍රමය යටතේ ණය ගැනීමේදී ණය ගන්නා ආයතනයෙන් සහ මෙම ආයතනයෙන් යන දෙතැනින්ම අනුමැතිය ගන්න සිදු වෙන්න ඉඩ තිබෙනවා. 

ආසියානු සංවර්ධන බැංකුවේ මාර්ගෝපදේශනය යටතේ සිදු වන දෙයක් නිසා අධ්‍යක්ෂ්‍ය මණ්ඩලය තුළ වැඩි නියෝජනයක් සාමාජික බැංකු වලට ඇති කියලා මම හිතනවා. එහෙම නැත්නම්, මෙයත් තවත් එක් රාජ්‍ය ආයතනයක් විය හැකියි. කොහොම වුනත්, එදාවේල තීරණ වෙනුවට දිගුකාලීනව සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කෙරෙන මෙවැනි දෙයක් ගැන හිතපු එකම වුනත් හොඳ ප්‍රවණතාවක්.

Thursday, July 27, 2023

බිත්තර කටුවෙන් එහා ලෝකය (පස්වන කොටස)


ස්වභාවය අනුවම බිත්තර නිෂ්පාදන කර්මාන්තය බොහෝ දුරට දේශීය කර්මාන්තයක්. බිත්තර සඳහා කුකුළන් හදන එක ලෝකයේ ඕනෑම රටක කළ හැකියි. ඒ වගේම, සුළු පරිමාණයෙන් මේ වැඩේ පටන් ගැනීම සඳහා ලොකු ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. අනෙක් පැත්තෙන් බිත්තර ගබඩා කර තබා ගැනීම හා ප්‍රවාහනය බිත්තර නිපදවීමට සාපේක්ෂව වියදම් අධික හා වැඩි ප්‍රාග්ධනයක් අවශ්‍ය කටයුත්තක්. මේ හේතු නිසා, දේශ සීමා ඉක්මවා බිත්තර වෙළඳාම් වන නමුත්, එම පරිමාව රටවල් තුළම සිදුවන බිත්තර නිෂ්පාදනයට සාපේක්ෂව ගොඩක්ම විශාල නැහැ.

ඉහත කතාව ලංකාවටද එලෙසම වලංගුයි. ලංකාවේ බිත්තර කර්මාන්තය බොහෝ දුරට දේශීය කර්මාන්තයක්. පසුගිය වසර ගණනාවක් මුළුල්ලේම ලංකාවට බිත්තර ආනයනය කර තිබෙන්නේ නොගිනිය හැකි තරම් සුළු වශයෙන්. ඊට සාපේක්ෂව යම් තරමකින් හෝ ලංකාවෙන් බිත්තර අපනයනය කර තිබෙනවා. 

ලංකාවේ බිත්තර අපනයන ආදායම (ඩොලර් මිලියන)

2013 - 2.94

2014 - 3.91

2015 - 1.61

2016 - 1.05

2017 - 5.68

2018 - 5.62

2019 - 2.37

2020 - 1.16

2021 - 1.77

ලංකාවේ බිත්තර ආනයන වියදම (ඩොලර් මිලියන)

2013 - 0.00

2014 - 0.00

2015 - 0.03

2016 - 0.26

2017 - 0.02

2018 - 1.00

2019 - 0.32

2020 - 0.05

2021 - 0.00

ඉහත දත්ත වලින් පෙනෙන්නේ ලංකාවේ බිත්තර නිෂ්පාදන කර්මාන්තය බොහෝ දුරට ස්වයංපෝෂිත මට්ටමක පැවතී ඇති බවයි. මගේ අදහස වන්නේ මෙය ආනයන පාලන හෝ වෙනත් සීමාවන් හරහා ඇති කරගත් තත්ත්වයක් නොවූ බවයි. පසුගිය කාලය මුළුල්ලේම ලංකාවේ බිත්තර මිල පැවතුණේ ජාත්‍යන්තර වශයෙන් තරඟකාරී මට්ටමකයි. යම් තරමකින් හෝ අපනයන කරන්නට හැකි වී තිබෙන්නේ ඒ නිසයි. අඩු මිලකට රට ඇතුළේම බිත්තර නිපදවා ගත හැකි නම් ආනයන සඳහා විවෘත වීම බාධාවක් වන්නේ නැහැ. අනෙක් අතට ලොකුවට අපනයන සිදු කළ හැකි මට්ටමේ නිෂ්පාදනයක් රට ඇතුළේ සිදු වී නැහැ. 

මේ වෙද්දී මේ සමතුලිතතාවය වෙනස් වී ඇති බව අපි දන්නවා. දැන් ලංකාවේ බිත්තරයක මිල ඇමරිකාවේ එම මිලටද වඩා ගොඩක් වැඩියි. මේ විදිහට මිල ඉහළ යන්නනම් එක්කෝ ඉල්ලුම වැඩි විය යුතුයි. එසේ නැත්නම් සැපයුම අඩු වී තිබිය යුතුයි. බොහෝ දෙනෙකුගේ අදහස දෙවැන්න බවයි. 

දත්ත මගින් තහවුරු කිරීමේ හැකියාවක් නැතත්, මගේ අදහස වන්නේ පසුගිය කාලය තුළ ලංකාවේ බිත්තර ඉල්ලුමේද යම් හෝ වැඩි වීමක් සිදු වී ඇති බවයි. ආදායමට සාපේක්ෂව බඩු මිල සැලකිය යුතු ලෙස ඉහළ යද්දී මස්, මාළු මිල දී ගැනීම සීමා කරන්නට සිදුවන බොහෝ දෙනෙකුට ඒ වෙනුවෙන් බිත්තර ආදේශ කරන්නට සිදු වී ඇති බව මේ හා අදාළ මගේ කල්පිතයයි. කෙසේ වුවද, සැපයුම සීමා වී ඇති බව වඩා පහසුවෙන් පෙන්වා දිය හැකියි. 

පහත තිබෙන්නේ පසුගිය වසර වල ලංකාවේ සාමාන්‍ය මාසික බිත්තර නිෂ්පාදනය පහත වැටී ඇති ආකාරයයි.

2017 - 172,739,190

2018 - 164,350,980

2019 - 173,684,230

2020 - 155,807,870

2021 - 162,809,310

2022 - 154,049,817

බිත්තරයක මිල ඩොලර් ශත 10ක් සේ සැලකුවොත් බිත්තර මිලියන 172.7ක් කියන්නේ ඩොලර් මිලියන 17.27ක්. 2017 වසරේදී ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 5.66ක බිත්තර අපනයනය කර තිබෙනවා. ඒ කියන්නේ බිත්තර මිලියන 56.6ක් පමණ. මාසයකටනම් සාමාන්‍ය වශයෙන් බිත්තර මිලියන 4.7ක් පමණ. ඒ කියන්නේ රටේ නිපදවූ බිත්තර ප්‍රමාණයෙන් 3%කට වඩා අඩු ප්‍රමාණයක්. ඉතිරි 97%ම විකිණී තිබෙන්නේ රට තුළයි. මාසයකට බිත්තර මිලියන 168ක පමණ දේශීය බිත්තර ඉල්ලුමක්. 

ඉහත බිත්තර ඉල්ලුම මේ වන විට අඩු වී මිස වැඩි වී තිබෙන්නට හේතුවක් නැහැ. 2019න් පසු වසර වලදී රටේ බිත්තර පරිභෝජනය මේ මට්ටමට වඩා අඩු මට්ටමකට පහත වැටී තිබෙන්නේ එක්කෝ බිත්තර ආනයනය කිසියම් ආකාරයකින් සීමා කෙරුණු නිසා. එසේ නැත්නම් ආනයනික බිත්තර වල මිල දේශීය බිත්තර මිලට වඩා ඉහළින් පැවතුණු නිසා. එනම් ලංකාවේ මිලට පිටරටින් බිත්තර ගෙන්විය නොහැකි වූ නිසා. 

පසුගිය තෙවසර තුළ බිත්තර නිෂ්පාදනය පහත වැටෙන්නට හේතු හඳුනාගැනීම අපහසු නැහැ. පහත තිබෙන්නේ 2018 වසරෙන් පසුව ලංකාවේ බිත්තර දමන ෆාම් කිකිලියන් ගණන ක්‍රමයෙන් පහත වැටී ඇති ආකාරයයි. මෙම කාලය තුළ මිලියනයකට වඩා වැඩි ගම් කිකිළියන් ප්‍රමාණයේ විශාල වෙනසක් සිදු වී නැති අතර යම් වැඩිවීමක් දැකිය හැකියි.

2018 - 8,054,520

2019 - 6,601,780

2020 - 6,221,620

2021 - 5,879,190

2022 - 5,617,100

කවර හෝ හේතු නිසා මෙම කර්මාන්තය ක්‍රමයෙන් කඩා වැටෙමින් තිබෙන බව පැහැදිලි වන අතර පරිහාණිය ආරම්භ වී තිබෙන්නේ ආර්ථික අර්බුදයට, කෝවිඩ් වසංගතයට මෙන්ම 2020 ආණ්ඩු මාරුවටද පෙරයි. මෙයට එක් හේතුවක් ලෙස බිත්තර නිෂ්පාදකයින් කුකුළු මස් කර්මාන්තය වෙත විතැන් වීම හඳුනා ගත හැකියි. 2018දී 9,450,240ක මට්ටමේ වූ මස් පිණිස හදන කුකුළන් ප්‍රමාණය 2022 වන විට 13,000,140 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එවැනි විතැන් වීමකින් පෙන්නුම් කරන්නේ බිත්තර කර්මාන්තයේ ලාබ වලට සාපේක්ෂව කුකුළු මස් කර්මාන්තය වඩා ලාබදායී බවයි. 

රසායනික පොහොර තහනම, ඒ හේතුව නිසා බඩ ඉරිඟු අස්වැන්න පහළ යාම, කුකුළු කෑම මිල ඉහළ යාම ආදී හේතු බිත්තර සඳහා කුකුළන් හැදීම අධෛර්යමත් වීමට හේතු ලෙස ඉදිරිපත්ව තිබෙනවා. තර්කානුකූලව මෙම හේතු පිළිගත හැකි වුවත්, ඊට පෙර සිටම සිදුව ඇති යම් දෙයක ලකුණුද මෙහි පෙනෙන්නට තිබෙනවා. ඇතැම් විට තරඟකාරිත්වය හා සැපයුම ඉහළ යාම හමුවේ බිත්තර මිල පහත වැටීම තුළින්ම නිෂ්පාදකයින් කර්මාන්තයෙන් ඉවත් වීමට හේතු බිහිවුණා වෙන්න පුළුවන්.

කෙසේ වුවත් බිත්තර මිල විශාල ලෙස ඉහළ යාම සාපේක්ෂව මෑතකාලීන සංසිද්ධියක්. පහත තිබෙන්නේ පසුගිය වසර වල ජනවාරි හා ජූලි මුල් සති වලදී පැවති බිත්තරයක සාමාන්‍ය මිලයි.

2017 ජනවාරි - රුපියල් 14.53

2017 ජූලි - රුපියල් 14.43

2018 ජනවාරි - රුපියල් 13.79

2018 ජූලි - රුපියල් 17.52

2019 ජනවාරි - රුපියල් 20.81

2019 ජූලි - රුපියල් 18.94

2020 ජනවාරි - රුපියල් 20.41

2020 ජූලි - රුපියල් 20.55

2021 ජනවාරි - රුපියල් 17.50

2021 ජූලි - රුපියල් 19.72

2022 ජනවාරි - රුපියල් 26.14

2022 ජූලි - රුපියල් 42.55

2023 ජනවාරි - රුපියල් 61.64

2023 ජූලි - රුපියල් 55.50

මම හිතන විදිහට 2017-2018 වගේ අවුරුදු වලදී වෙන්නේ දේශීය බිත්තර ඉල්ලුමට සාපේක්ෂව සැපයුම ඉහළ යාම නිසා මිල ඕනෑවටත් වඩා පහත වැටීමක්. මේ තත්ත්වය තුළ නිෂ්පාදකයෝ කර්මාන්තයෙන් විතැන් වෙන්න පටන් ගන්නවා. (හොයා ගන්න පුළුවන් සීමිත, ඒ වගේම ගොඩක්ම විශ්වාසනීය නැති දත්ත මත පදනම්ව කරන මේ වගේ විග්‍රහයන් වැරදෙන්න ඉඩ තිබෙන බව අමතක කරන්නත් එපා!). ඒ වැඩේ දිගටම වෙනවා. මේක වෙන්නේ ආර්ථික අර්බුදය, වසංගතය හා ආණ්ඩු මාරුව එන්න කලින්. හැබැයි මේ විදිහට බිත්තර නිෂ්පාදනයෙන් ඉවත් වෙන නිෂ්පාදකයෝ නිකම් ඉන්නේ නැහැ. ඒ වෙනුවට කුකුළු මස් හදනවා. (මේ කියන්නේ බිත්තර දමන කිකිළියන් මසට විකිණීමක් ගැන නෙමෙයි. මාරු වෙන අතර යම් අවස්ථාවක එවැන්නක්ද කරන්න ඇති.)

මේ විදිහේ මිල කඩා වැටීම් ලංකාව වගේ කුඩා ආර්ථිකයක් තිබෙන රටක කෘෂිකර්මය ස්වයංපෝෂිත ආර්ථික ආකෘතියක් ඇතුළේ ක්‍රියාත්මක වෙද්දී ඇති වන ප්‍රශ්නයක්. රටේ වී/ සහල් නිෂ්පාදනය අදාළව දැකිය හැක්කේත් හරියටම මේ වගේ තත්ත්වයක්. කාලගුණ තත්ත්වයන් හා වෙනත් සාධක මත නිෂ්පාදනය විචලනය වන නිසා සැපයුම අඩු වෙන වෙලාවල් වලදීත් ඉල්ලුම සපුරන්න පුළුවන් වෙන්නේ නිෂ්පාදන ධාරිතාව ඉල්ලුමට වඩා ටිකක් වැඩියෙන් තිබුනොත්. නමුත්, නිෂ්පාදන ධාරිතාව ඉල්ලුමට වඩා ටිකක් වැඩියෙන් පවත්වා ගනිද්දී කාලගුණ තත්ත්වයන් ඇතුළු බාහිර සාධක මත සැපයුම ඉහළ ගිය විට මිල විශාල ලෙස පහත වැටෙනවා. ඒක නිෂ්පාදකයින්ට දරාගන්න අමාරුයි. 

මේ ප්‍රශ්නය තීව්‍ර වන්නේ ලංකාවේ වී වගා කර්මාන්තයේ වගේම බිත්තර නිෂ්පාදනයේත් නියැලී ඉන්නේ කුඩා පරිමාණ නිෂ්පාදකයෝ වීම නිසා. ඔවුන්ට ලොකු සමාගමකට මෙන් වෙළඳපොළ තත්ත්වයන් විශ්ලේෂණය කිරීමේ වෘත්තීය හැකියාවක් නැහැ. කළ හැක්කේ පාඩු වෙන විට කර්මාන්තයෙන් ඉවත් වීම සහ වෙනත් අයගේ ලාබ දකින විට කර්මාන්තයට ඇතුළු වීම පමණයි. කර්මාන්තය තිබෙන්නේ තරමක් ලොකු නිෂ්පාදකයින් කිහිප දෙනෙකු අතේනම් ඔවුන් බොහෝ විට සැලසුම්සහගතව නිෂ්පාදනය සීමා කර මිල පහත වැටීම පාලනය කර ගන්නවා. එසේ නැත්නම් නිෂ්පාදනය එලෙසම තිබියදී සැපයුම පාලනය කර මිල පවත්වා ගන්නවා. ඒක කරන්න ගබඩා පහසුකම් වෙනුවෙන් ආයෝජනය කළ යුතුයි. කුඩා නිෂ්පාදකයින්ට එවැනි ආයෝජන කළ නොහැකියි.

නිෂ්පාදකයින් අතින් මිල නියාමනය සිදු නොවන විට එය සිදු විය හැක්කේ අතරමැදියන් අතින්. ඔවුන්ට මිල අඩු වෙද්දී අදාළ භාණ්ඩය මිල දී ගෙන මිල වැඩි වෙද්දී වෙළදපොළට නිකුත් කිරීම මගින් ලාබයක් ගන්න පුළුවන්. මෙවැනි අතරමැදියන්ගෙන් නිෂ්පාදකයින්ට වගේම පාරිභෝගිකයින්ටත් විශාල සේවයක් සැලසෙනවා (නමුත් අතරමැදියන් මේ වැඩේ කරන්නේ ලාබ හොයන්න මිසක් කාටවත් සේවයක් කරන්න නෙමෙයි. සේවය සිදු වෙන්නේ ඒ විදිහට ලාබ හෙවීම තුළයි.)

ලංකාවේ වී කර්මාන්තය තුළ මේ වැඩේ වෙනවා. නමුත් බිත්තර කර්මාන්තය තුළ එවැන්නක් වෙන්නේ නැහැ. එයට හේතුව බිත්තර ගබඩා කර තබා ගැනීමේ පිරිවැය වඩා අධික වීම. බිත්තර ගබඩා කර තබා ගැනීම සඳහා අවශ්‍ය ශීතාගාර පහසුකම් වැනි මූලික පිරිවැය මෙන්ම විදුලි බලය වැනි විචල්‍ය පිරිවැයද ගොඩක් වැඩියි. එවැනි ආයෝජනයක් කර ලාබ ලැබිය හැකි තරමේ මිල විචලනයන් සිදු නොවනවා විය හැකියි. 

බිත්තර අපනයනය හරියකට සිදු විය හැක්කේ ඔය ආකාරයෙන් බිත්තර ගබඩා කරගෙන පසුව විකුණන අතරමැදියෝ ටිකක් බිහිවීමෙන් පසුව පමණයි. එවැන්නක් වෙන තුරු, රටේ බිත්තර නිෂ්පාදනය වැඩි වුනා කියා, කුඩා නිෂ්පාදකයින්ට එම බිත්තර අපනයනය කිරීමේ ධාරිතාවක් නැහැ. ඒ නිසා වෙන්නේ දේශීය වෙළඳපොළේ බිත්තර ඉල්ලුමට සාපේක්ෂව සැපයුම වැඩි වී මිල පහත වැටෙන එකයි. එහිදී නිෂ්පාදකයෝ කර්මාන්තයෙන් ඉවත් වී, සැපයුම පහළ ගොස්, මිල ඉහළ යනවා. අනෙක් අතට සැපයුම් කම්පනයක් ආපු ගමන් මිල ඉහළ යනවා. මොකද අඩු වූ සැපයුම සැපිරිය හැකි අතරමැදි ගබඩාකරුවෝ නැහැ. 

ලංකාවේ බිත්තර මිල පහළ යද්දී පහසුවෙන් බිත්තර අපනයනය කරන්න බැරි වුනත්, මිල ඉහළ යද්දී බිත්තර ආනයනය කරන එක අපහසු නැහැ. මෙය ලංකාව වගේ කුඩා ආර්ථිකයක් තිබෙන රටකට තිබෙන වාසියක්. ඇමරිකාවට හෝ ඉන්දියාවට මේ වාසිය නැහැ. මොකද රටේ නිෂ්පාදනය කඩා වැටුනොත් ඒ සඳහා ආදේශ විය හැකි ප්‍රමාණවත් බාහිර වෙළදපොළක් නැහැ. මේ වාසිය තිබෙන්නේ රටේ පාරිභෝගිකයින්ට. නිෂ්පාදකයින්ගේ පැත්තෙන් බැලුවොත් මෙය අවාසියක්.

කුඩා ආර්ථිකයක් තිබෙන රටක නිෂ්පාදනයේ සිදුවෙන විචලනයන් නිසා සිදුවන මිල විචලනයන් සීමා කරගත හැකි හොඳම ක්‍රමය හැකි පමණ විවෘත වීම. සංවෘත ආර්ථික ආකෘතියකදී මෙන් නොව, මෙහිදී නිෂ්පාදනයේ ඉලක්කය දේශීය වෙළඳපොළ නෙමෙයි. ඒ නිසා, ලංකාව වගේ රටක පැත්තෙන් බැලූ විට ඉල්ලුම සීමාකාරී සාධකයක් වෙන්නේ නැහැ. ඒ නිසාම, ඉල්ලුමට වඩා සැපයුම වැඩි වී මිල ඕනෑවට වඩා පහළ යාමක් නැහැ. සැපයුම අඩු වූ විටක පහසුවෙන්ම අපනයන අඩු කර හෝ අපනයන කරන අතරම ආනයනද කර අඩුව පුරවා ගන්න පුළුවන්. මෙය සිදු වන්නේ නිෂ්පාදකයින්ට ඉහළින් අතරමැදියන් ගොඩ නැගෙන තරමටයි.

ඉහත කතා කළේ කර්මාන්තය හා අදාළ දිගුකාලීන තත්ත්වයන් ගැන. මෙහි කතා කළ ප්‍රශ්න හමුවේ වුවත්, 2019 වන විටද ලංකාවේ බිත්තර වෙළඳපොළේ කැපී පෙනෙන අවුලක් නැහැ. සැපයුම වැඩි වීම නිසා 2017-2018 පමණ කාලයේදී මිල පහත වැටීම වෙළඳපොළ තුළම විසඳී තිබෙනවා. ඒ, බිත්තර නිෂ්පාදකයින් මස් නිෂ්පාදනය වෙත විතැන් වීම මගින්. අමතර නිෂ්පාදනය අපනයනය කළ හැකි වූවානම් එය වඩා හොඳ තත්ත්වයක් වුවත්, වෙනත් ක්‍රමයකින් හෝ ප්‍රශ්නය විසඳී තිබෙනවා. ඇතැම් විට, ඩොලරයක මිල මීට වඩා උඩින් තිබුණානම් විසඳුම වෙනස් විය හැකිව තිබුණා.

රටේ සාමාන්‍ය ආදායම් මට්ටම ක්‍රමයෙන් ඉහළ යද්දී බිත්තර ඉල්ලුම ඉහළ යනවාට වඩා වැඩි වේගයකින් කුකුළු මස් ඉල්ලුම ඉහළ ගියා වෙන්න පුළුවන්. රට පුරා හමා ගිය සංස්කෘතික රැළි නිසා යම් තරමකින් හෝ වෙනත් මස් වර්ග වෙනුවට කුකුළු මස් ආදේශ වීමකුත් වෙන්න ඇති. එවැනි තත්ත්වයක් හමුවේ බිත්තර නිපදවා අපනයනය කරන්න මහන්සි වීමට සාපේක්ෂව රට ඇතුළේම තිබෙන කුකුළු මස් ඉල්ලුම සපුරන එක වඩා වාසිදායක තේරීමක්.

ඔය සියලුම තත්ත්වයන් එක්ක, 2021දී පෙර වසරට සාපේක්ෂව බිත්තර මිල පහළ යනවා. 2022 ජනවාරි වන විට බිත්තරයක මිල රුපියල් 26.14ක්. එම වසරේ ජූලි මාසය වන විට මෙම මිල රුපියල් 42.55 දක්වා ඉහළ යනවා. ඩොලරයක මිල රුපියල් 200 මට්ටමේ තියෙද්දී රුපියල් 26.14ක් කියන්නේ ඩොලර් ශත 13ක්. ඩොලරය රුපියල් 360 වූ විට එයම රුපියල් 46.80ක් වෙනවා. ඒ වගේම, ඔය මාස හයක කාලය අතරතුර රටේ සාමාන්‍ය මිල මට්ටම (කොළඹ පාරිභෝගික මිල දර්ශකය) 44%කින් ඉහළ යාම සැලකුවොත් බිත්තරයක් රුපියල් 38ක් පමණ විය යුතුයි. මෙම ඉහළ යාම් වලට සාපේක්ෂව බිත්තරයක මිල රුපියල් 42.55ක් වීම ඉතාම සාමාන්‍ය දෙයක් මිසක් අනෙක් භාණ්ඩ හා සේවා වලට සාපේක්ෂව සැලකිය යුතු මිල වැඩි වීමක් නෙමෙයි. මිල එවැනි මට්ටමකට නොගියේනම් නිෂ්පාදකයින්ට පවතින්න අසීරු වෙනවා. 

මේ වසරේ ජනවාරි මාසයේදී රුපියල් 44ක පාලන මිලක් පනවන්න ඇත්තේ ඔය වගේ තත්ත්වයන් සැලකිල්ලට ගෙන විය යුතුයි. නමුත්, ඒ වන විට බිත්තරයක වෙළඳපොළ මිල රුපියල් 61.64ක්. මෙම මිල ඩොලරයක මිල ඉහළ යාම මෙන්ම රටේ පැවති උද්ධමනයේ බලපෑමද ඉක්මවූ මිල ඉහළ යාමක්. එයට හේතුව කුමක්ද? 

මිල ඉහළ යාමට හේතුවක් ලෙස ඉදිරිපත් වී තිබෙන ප්‍රධාන සාධකයක් වන්නේ බඩ ඉරිඟු නිෂ්පාදනය පහත වැටීම හා ඊට අනුරූපව මිල ඉහළ යාමයි. එය එසේ විය හැකියි. එහෙත්, අදාළ දත්ත සොයා ගත නොහැකි නිසා විග්‍රහයක් කළ නොහැකියි. ඉහත දත්ත අනුව, 2018-2022 කාලය අතරතුර රටේ සිටි බිත්තර දමන කිකිළියන් ප්‍රමාණය 30%කින් අඩු වී තිබෙනවා. මෙය ක්‍රමික අඩුවීමක් මිසක් එකවර සිදු වූ අඩුවීමක් නෙමෙයි. 2023දී මෙම ප්‍රමාණය තවත් අඩුවුනා විය හැකියි. එය පෙර වසර වල වූ අඩුවීමේම දිගුවක්ද නැත්නම් ඊට වඩා වැඩි අමතර අඩුවීමක්ද යන්න හරියටම දැනගන්න වෙන්න දත්ත ඇති විටෙක පමණයි.

පෝර සහනාධාරය ඉවත් වීම කුකුළු ආහාර වල මිල ඉහළ යාම කෙරෙහි දිගුකාලීනව බලපෑවා වෙන්න පුළුවන්. එය එසේනම්, මෙය ඉදිරියේදී ආපසු නොහැරෙන තත්ත්වයක්. ඒ වගේම, පොලී අනුපාතික ඉහළ යාම නිෂ්පාදකයින්ගේ මූල්‍ය පිරිවැය ඉහළ දැම්මා විය යුතුයි. එයනම්, නැවත ආපසු හැරෙන තාවකාලික තත්ත්වයක්. ඒ වගේම, වසංගත සමයේදී හා ඉන්පසු පැවති අර්බුද සමයේදී සැපයුම අඩු වුවද ඊට අනුරූපව ඉල්ලුමද අඩු වූ බව සිතිය හැකියි. වසංගත සමයේදී ලොව පුරා දැකිය හැකි වූයේ මෙවැනි තත්ත්වයක්. ඉල්ලුම හා සැපයුම යන දෙකම අඩු වෙද්දී මිල ඉහළ යාමක් සිදු වෙන්නේ නැහැ.

රටේ ආර්ථිකය කෙමෙන් ස්ථාවර වෙද්දී කලින් පහළ ගිය බිත්තර ඉල්ලුමද නැවත පෙර මට්ටමට එනවා වෙන්න පුළුවන්. ඊට අනුරූපව සැපයුම වැඩි නොවුවහොත් මිල ඉහළ යනවා. ඉල්ලුම වෙනස් වන තරම් හදිසියෙන් සැපයුම වෙනස් වෙන්නේ නැහැ. ලාබ දැක කර්මාන්තයට පිවිසෙන්නට වගේම පාඩු හමුවේ කර්මාන්තයේ ඉවත් වීමටද යම් කාලයක් ගත වෙනවා. 

ජනවාරි මාසයේදී එක පැත්තකින් බිත්තර ආනයනය වාරණය කරන අතර අනෙක් පැත්තෙන් මිල පාලනය කිරීම ඉතාම අදූරදර්ශී ක්‍රියාවක්. විශේෂයෙන්ම එය කළ නිශ්චිත ආකාරය. බිත්තර මිල ඉහළ මට්ටමක තිබියදී ආනයන වලට ඉඩ ලැබුණානම්, නිෂ්පාදකයින් කර්මාන්තයෙන් ඉවත් වීම සිදු වෙද්දී වුවද, පාරිභෝගිකයින්ට අඩු මිලට බිත්තර ලබා ගැනීමට ඉඩ ලැබෙනවා. නිෂ්පාදකයින්ගේ ප්‍රශ්නය කෙසේ වෙතත් පාරිභෝගිකයින්ගේ ප්‍රශ්නය විසඳෙනවා. එහෙත්, කළ දෙයින් නිෂ්පාදකයින්ගේ ප්‍රශ්නය හෝ පාරිභෝගිකයින්ගේ ප්‍රශ්නය විසඳුනේ නැහැ.

බිත්තර මිල ඉහළ යාම හරහා සිදු වුනේ බිත්තර නිෂ්පාදකයින්ට කර්මාන්තයට පිවිසෙන්නට ආරාධනා කරමින් වෙළඳපොළ විසින් සංඥාවක් නිකුත් කිරීමයි. මිල දිගටම ඉහළ මට්ටමක පැවතියේනම් අලුත් නිෂ්පාදකයින් කර්මාන්තයට ආකර්ෂණය වී රටේ බිත්තර නිෂ්පාදනය ඉහළ යනවා. එහිදී නැවත මිල අඩු වෙනවා. එහෙත්, මේ සඳහා යම් කාලයක් ගත වෙනවා. වසරක පමණ කාලයක් විය හැකියි. මිල පාලනය නිසා මෙය සිදු වුනේ නැහැ. ඒ නිසා, සැපයුම ඉහළ නොගොස් ඉල්ලුම් සැපයුම් අසමතුලිතතාවය තීව්‍ර වුනා. අවසාන වශයෙන් ප්‍රායෝගිකව පාලන මිල පවත්වා ගත නොහැකි වුනා. 

ඒ වගේම, මිල පාලනයක් සිදු නොවුනානම්, ඉහළ මිල යටතේ වුවද ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙනවා. මිල පාලනයක් පැවතියද එය දැඩිව ක්‍රියාත්මක නොවූ නිසා රටේ විශාල බිත්තර හිඟයක් ඇති වී නැහැ. මිල පාලනය හමුවේ වුවද බොහෝ දුරට ඉල්ලුම හා සැපයුම සමතුලිත වුනා විය හැකියි. මිල පාලනය නිසා බොහෝ දුරට සිදු වුනේ කර්මාන්තයට අලුත් නිෂ්පාදකයින් ඇතුළු වීම අධෛර්යමත් වීම හා ඒ මගින් බිත්තර මිල පහළ යාමේ ස්වභාවික යාන්ත්‍රණයට බාධා පමුණුවනු ලැබීමයි. කළ යුතුව තිබුණේ යම් පාලනයක් ඇතිව බිත්තර ආනයනයට ඉඩ දීමයි. එසේ කළේනම් ඉල්ලුමට සරිලන සැපයුමක් නැති වීමේ ප්‍රතිඵලයක් ලෙස සිදු වූ මිල වැඩි වීම පමණක් පාලනය කරමින්, පිරිවැය ඉහළ යාමේ බලපෑමෙන් නිෂ්පාදකයින් ආරක්ෂා කළ හැකිව තිබුණා.

දැන් එක වර ක්ෂණිකව සීමාවකින් තොරව බිත්තර ආනයනයට ඉඩ දීමෙන් තවත් හානි සිදු වෙන්න පුළුවන්. මේ වෙලාවේ ලංකාවේ බිත්තරයක මිල රුපියල් 55ක් පමණ. ඇමරිකාවෙන් වුවද බිත්තර ආනයනය කර රුපියල් 35ක පමණ මුදලකට විකිණිය හැකි විය හැකි බව මගේ අදහසයි. මේ අයුරින් රටේ වෙළඳපොළ ලෝකයට විවෘත කිරීම අනිවාර්යයෙන්ම හොඳ දෙයක් වුවත්, කාලයක් තිස්සේ වෙළඳපොළ ලෝකයට වසා ගෙන සිට එක වර ස්විච් එකක් දැම්මාක් මෙන් විවෘත කළ විට සිදු වෙන්නේ එය සැලසුම්සහගතව කරන විට සිදු වන දෙයම නෙමෙයි.

පසුගිය වසරේ දත්ත අනුව වුවද රටේ සාමාන්‍ය මාසික බිත්තර නිෂ්පාදනය බිත්තර මිලියන 154ක්. බිත්තරයක් ඩොලර් ශත 10 සේ සැලකුවොත් (ලංකාවේ දැන් මිල අමතක කර) ඩොලර් මිලියන 15.4ක්. වසරකටනම් ඩොලර් මිලියන 185ක් පමණ. මෙය 2019 වසරේදී පැවති ඩොලර් මිලියන 209ක දේශීය බිත්තර කර්මාන්තයට වඩා කුඩා වුවත් අඩුව 12%කට වඩා අඩු නැහැ. රටේ බිත්තර ඉල්ලුම හා සැපයුම අතර පරතරයක් වේනම් එම අඩුව 12%කට, එනම් ඩොලර් මිලියන 24කට වඩා නොවැඩි අඩුවක්. 

කෙසේ වුවද, 2019 යනු බිත්තර මිල අඩු වූ වසරක්. ඒ අනුව, ඉල්ලුමට වඩා වැඩි සැපයුමක් පැවති සේ සැලකිය හැකි වසරක්. දැන් පවතින තත්ත්වයන් තුළ ඉල්ලුම හා සැපයුම අතර පරතරයක් වේනම් එම පරතරය 12%කට වඩා අඩු පරතරයක් විය යුතුයි. එසේ නොවන්නේනම්, රටේ විශාල බිත්තර හිඟයක් පැවතිය යුතුයි. ඩොලර් මිලියන 185ක පමණ බිත්තර කර්මාන්තයක් තවමත් රටේ තිබෙනවා. 

දැන් පවතින තත්ත්වයන් තුළ බිත්තර ආනයනයට ඉඩ දීමෙන් දැනටත් ඉතිරිව තිබෙන ඩොලර් මිලියන 185ක බිත්තර කර්මාන්තය මුළුමනින්ම විනාශ වී යයිද? ලෝක බිත්තර කර්මාන්තය එක්ක ගත්තහම (දැනට රටේ බිත්තර හිඟය 8%ක් සේ සලකා) ඩොලර් මිලියන 200ක වගේ බිත්තර ප්‍රමාණයක් පහසුවෙන් රටට එන්න බැරිකමක් නැතත්, මේ ප්‍රමාණය පොඩි ප්‍රමාණයකුත් නෙමෙයි. උදාහරණයක් විදිහට 2021 වසරේදී ඉන්දියාවේ මුළු බිත්තර අපනයන ආදායම ඩොලර් මිලියන 31.1ක්. එම වසරේදී ඇමරිකාවේ බිත්තර අපනයන ආදායම වුනත් ඩොලර් මිලියන 596ක් පමණයි. ඩොලර් මිලියන 200ක් කියන්නේ ලෝක බිත්තර වෙළඳාමෙන් 4%ක්. ඒ වගේ බිත්තර ප්‍රමාණයක් ලංකාව එක පාරටම ආනයනය කළොත් ලෝක බිත්තර මිලේ කම්පනයක් ඇති වෙනවා. මිල ඉහළ යනවා. ඒ නිසාම, බිත්තර ආනයනයෙන් කර්මාන්තයට යම් හානියක් විය හැකි වුවත් ලංකාවේ බිත්තර කර්මාන්තය මුළුමනින්ම කඩා වැටීමේ ඉඩක් නැහැ. 

ලෝකය පුරා ඉන්න බිත්තර නිෂ්පාදකයෝ තමන්ගේ බිත්තර අලෙවි කරන සැපයුම් දාම තිබෙනවා. මේ ගොඩක් අය කලින්ම ගිවිසුම්ගත වෙලයි ඉන්නේ. ඒ නිසා, ලංකාවට හදිසියේ, අඩු මිලට බිත්තර ආනයනය කළ හැකි යම් සීමාවක් තිබෙනවා. ආනයනය කරන ප්‍රමාණය වැඩි වෙද්දී බිත්තර වෙනුවෙන් ගෙවන්න වෙන මිලත් ක්‍රමයෙන් ඉහළ යනවා. 

ඔය තත්ත්වයන් එක්ක ලංකාවේ බිත්තර අවශ්‍යතාවයෙන් 10%ක් පමණ ආනයනය කළත්, ඉල්ලුමෙන් ඉතිරි 90% පිරිමැහෙන්නේ දේශීය නිෂ්පාදන වලින්. ඒ නිසා, අවසාන වශයෙන් රටේ බිත්තර මිල තීරණය වෙන්නේ දේශීය බිත්තර නිෂ්පාදකයාගේ පිරිවැය මත. එම මිල දැන් මිලට වඩා ටිකක් අඩු මිලක් විය හැකි වුවත්, ඉන්දියාවේ හෝ ඇමරිකාවේ බිත්තර මිල තරමට ලංකාවේ බිත්තර මිල පහළ යන එකක් නැහැ. ඒ නිසා, මේ කරපු විවෘත කිරීමෙන් වෙන්නේ සීනි බද්ද ඉවත් කරපු අවස්ථාවේදී මෙන් යම් බිත්තර ආනයනකරුවන් පිරිසකට ක්ෂණික, විශාල ලාබයක් ලබා ගන්න අවස්ථාව ලැබෙන එක. 

ආනයනකරුවෝ ලාබ ගන්න එකේ කිසිම වැරැද්දක් නැහැ. නමුත් ප්‍රශ්නය මේ වගේ ලාබ සාමාන්‍ය ලාබ නෙමෙයි. රාජ්‍ය මැදිහත්වීමේ ප්‍රතිඵලයක් ලෙස ලැබෙන ලාබ. මේක අදාළ ප්‍රතිපත්ති සම්පාදකයෝ සහ වෙළෙන්දෝ එකතු වී කරපු "හොරකමක්" කියා මම කියන්නේ නැහැ. නමුත් මේ වගේ තීරණ ගනිද්දී කාට හෝ ඒ වගේ චෝදනාවක් කරන්න ඉඩක් ඉතිරි වෙනවා. ලබන සතියේ කවුරු හෝ කෙනෙක් එකපාරටම විශාල බිත්තර ප්‍රමාණයක් ආනයනය කළොත්, එහෙම කළේ තමන්ගේ මොනවා හෝ ව්‍යාපාරික සම්බන්ධතා ප්‍රයෝජනයට අරගෙනම වුනත්, අදාළ ප්‍රතිපත්ති තීරණය ගැන කලින් දැනගත්තාද කියන සැකය මතු වෙන එක වලක්වන්න බැහැ.

සීනි බද්ද ඉවත් කළ වෙලාවේ වගේ බිත්තර බද්ද ඉවත් කළාට පස්සෙත් බිත්තර මිල අඩු වුනේ නැත්නම් කරන්නේ කුමක්ද? ප්‍රායෝගිකව කරන්න වෙන්නේ නැවත බද්ද යම් මට්ටමක් දක්වා වැඩි කරන එක. එවිට අස්සයා පැනලා ගිහින් ඉවරයි. 

මේ බදු ඉවත් කිරීම සහ ඒ මගින් ආනයන වලට ඉඩ දිය යුතුව තිබුණු හරි ක්‍රමය කුමක්ද? මුලින්ම කළ යුතුව තිබුණේ බිත්තර බද්ද එලෙසම තිබියදී බිත්තර නිෂ්පාදන මත වූ බද්ද ඉවත් කරන එක. ඒ බද්ද තවමත් ඉවත් කරලා නැහැ. එහෙම කළානම් අමුද්‍රව්‍යයක් ලෙස තොග වශයෙන් බිත්තර මිල දී ගන්න මහා පරිමාණ ගැනුම්කරුවන්ට අඩු මිලට ආනයනික බිත්තර සාරු ආදිය ලැබෙනවා. ඒ අය දේශීය නිෂ්පාදකයින්ගෙන් බිත්තර මිල දී ගන්න එක නවතිනවා. එවිට ඒ බිත්තර ටික වෙළඳපොළට ඇවිත් බොහෝ විට සිල්ලර වෙළඳපොළේ බිත්තර ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙනවා. ඊට පස්සෙත් මිල වැඩිනම් ඒ පිරිවැය නිසා ඉහළ ගිය මිල. බිත්තර ආනයනය කළා කියලා ඒ මිල තවත් අඩු වෙන්නේ නැහැ. නිෂ්පාදකයෝ ටිකෙන් ටික කර්මාන්තයෙන් ඉවත් වෙන එක පමණයි වෙන්නේ.

හැබැයි බිත්තර ආනයනය කරන්න පටන් ගත්තත් නිෂ්පාදකයින්ට එක දවසෙන් කර්මාන්තයෙන් ඉවත් වෙන්න බැහැ. රජය ආනයන ප්‍රතිපත්තිය වෙනස් කළා කියලා කිකිළියෝ දන්නේ නැහැ.  උන් දිගටම බිත්තර දමනවා. ඒ බිත්තර ලොකු ලාබයක් නැතිව හෝ විකුණන්න වෙනවා. අඩු වශයෙන් විචල්‍ය පිරිවැය හෝ ආවරණය කර ගන්න වෙනවා. එම මිල හා බිත්තර ආනයනය කළ හැකි මිල අතර පරතරය ආනයනකරුවන්ගේ ක්ෂණික ලාබය. එම කොටස පාරිභෝගිකයින්ට යාමේ ඉඩක් නැහැ. සීනි බද්ද ඉවත් කරපු වෙලාවේ වුනෙත් ඕකමයි.

බිත්තර ආනයනයට ඉඩ දෙනවානම් කළ යුතුව තිබුණේ රුපියල් 50ක බද්ද එකවර ඉවත් නොකර රුපියල් 15-20ක් පමණ දක්වා අඩු කරන එක. එසේ කළානම් ආනයනකරුවන්ට ලැබෙන්නේ සාමාන්‍ය ලාබයක් පමණයි. බිත්තර වල වෙළඳපොළ මිල අඩු වෙන ආකාරය දිහා බලාගෙන අවශ්‍යනම් බද්ද ටිකෙන් ටික අඩු කරන්න පුළුවන්. නමුත් රුපියල් 50ක බද්දක් එක පාරටම අයින් කරනවා කියන්නේ බරපතල මැදිහත් වීමක්.

ආනයන බද්ද කියන්නෙම රාජ්‍ය මැදිහත්වීමක් නිසා එය ඉවත් කරන එකේ වැරැද්ද කුමක්ද කියා කෙනෙක්ට අහන්න පුළුවන්. මේ බද්ද ඉවත් කරන එකේ වැරැද්දක් නැහැ. වැරැද්ද තියෙන්නේ කරපු විදිහේ. 

බිත්තර කර්මාන්තය කියන්නේ අවුලක් නැතුව හොඳට තිබුණු කර්මාන්තයක්. පොහොර සහනාධාරය හරහා කුකුළු කෑම වල මිල වක්‍ර ලෙස සුබසාධනය වෙන්න ඇති. ඒ හැර කර්මාන්තයට ලොකු රාජ්‍ය මැදිහත්වීමක් තිබුණේ නැහැ. අනෙක් පැත්තෙන් ඩොලරයක මිල පහළින් තියා ගැනීම නිසා (ආනයනික බිත්තර ලාබ වීම නිසා) සිදු වූ අවාසියකුත් තිබුණා. කර්මාන්තය කාලයක් තරඟකාරී ලෙස පැවතුණා.

ලංකාවේ බිත්තර නිෂ්පාදන කර්මාන්තය ඇමරිකාවේ එම කර්මාන්තයට වඩා වෙනස්. ඇමරිකාවේ ශ්‍රමයේ මිල අධික නිසා ඇමරිකාව ප්‍රාග්ධන ආයෝජන මගින් නිෂ්පාදන වියදම අඩු කරගෙන තිබෙනවා. ඒ නිසා, ඇමරිකාවේ ඉන්නේ ලොකු නිෂ්පාදකයෝ. ඊට සාපේක්ෂව ලංකාවේ ඉන්නේ ලාබ ශ්‍රමයේ වාසිය ගන්න කුඩා නිෂ්පාදකයෝ. ලාබ ශ්‍රමය කියා කිවුවත් කුඩා තේ වතුහිමියන් හා අදාළව කියපු පරිදි බොහෝ විට තමන්ගේම හෝ පවුලේ සාමාජිකයින්ගේ ශ්‍රමය. 

පසුගිය වසරේ පැවති ඉහළ උද්ධමනය හමුවේ තමන්ගේ ආදායම් වැඩි කරගත හැකි හැම කෙනෙක්ම එසේ කරමින් උද්ධමනයට මුහුණ දී තිබෙනවා. වැටුප් ශ්‍රමිකයින්ට සාපේක්ෂව කිසියම් නිෂ්පාදන කාර්යයක යෙදෙන අයට උද්ධමනයෙන් සිදු වී තිබෙන බලපෑම අඩුයි. පොදුවේ ආහාර උද්ධමනය අඩු වෙමින් ඇතත් මිල අඩු වෙන්නේ ආනයනික ආහාර වල. මාළු, එළවලු මිල අඩු වෙලා නැහැ. බිත්තර මිලත් එහෙමයි. ත්‍රිරෝද රථ ගාස්තු වල සිට වෛද්‍ය, නීතිඥ සේවා ගාස්තු ආදිය දක්වා ශ්‍රමයේ මිල ඉහළ ගිහින් තිබෙනවා. උද්ධමනය අඩු වුනත් මිල අඩු නොවෙන්නේ ඒ නිසා. හැමෝගෙම නොවුනත් බොහෝ දෙනෙකුගේ වියදම් ඉහළ යද්දී ඒ අය තමන්ගේ ආදායම්ද වැඩි කරගෙන. බිත්තර නිෂ්පාදකයින් විසින්ද මේ වැඩේ කරගෙන තිබෙනවා. 

අනෙක් පැත්තෙන් කුඩා පරිමාණ බිත්තර නිෂ්පාදකයෝ බොහෝ දෙනෙක් බැංකු ණය මත දුවන අය. ඉහළ පොලී අනුපාතික ඔවුන්ගේ පිරිවැය වැඩි කරනවා. මේ සියල්ල තාවකාලික තත්ත්වයන්. ආර්ථිකය යථා තත්ත්වයට පත් වෙද්දී බිත්තර නිෂ්පාදන පිරිවැයෙන් යම් කොටසක් අඩු වෙනවා. එවිට ලංකාවේ බිත්තර මිල සහ ලෝක වෙළඳපොළේ මිල අතර පරතරය නැවතත් නැති වෙලා යයි. එහෙම වෙද්දී දේශීය බිත්තර කර්මාන්තය තරඟයට නිරාවරණය කරන එකේ වැරැද්දක් නැහැ. නමුත්, ඔය වැඩේ එක දවසකින් කරන එක භයානකයි. ඒක ඩොලරයක මිල කාලයක් හිරකරගෙන ඉඳලා එක දවසෙන් අත ඇරියා වගේ වැඩක්.

බිත්තර නොකඩා ඔම්ලට් හදන්න බැහැ. හැබැයි ඔම්ලට් එක හදන්න කිසිම සූදානමක් නැතුව හදිස්සියේ බිත්තරේ කඩලා හරියන්නෙත් නැහැ.

Wednesday, July 26, 2023

බිත්තර කටුවෙන් එහා ලෝකය (හතරවන කොටස)

මෙම ලිපිය හතරවන කොටසක් ලෙස නම් කළේ මෙම මාතෘකාව යටතේම මීට පෙර ලිපි තුනක් ලියා පළ කර තිබෙන නිසා. එම ලිපි කියවා නැති, කැමති අයෙකුට මාස හයකට පෙර පළ කර තිබෙන එම පැරණි ලිපිද කියවිය හැකි වුවත්, එය අවශ්‍යම නැහැ. මෙම ලිපිය වෙනම කියැවිය හැකි ලිපියක්.


මේ වන විට වෝල්මාට් සුපිරි වෙළඳසැලකින් ඇමරිකන් ඩොලර් 1.80ක මිලකට ග්‍රේඩ් A, ලොකු, සුදූ බිත්තර 18ක් මිල දී ගන්න පුළුවන්. ඒ කියන්නේ එක බිත්තරයක මිල ඩොලර් ශත 10ක් හෙවත් අද ඩොලරයක සාමාන්‍ය මිල අනුව ශ්‍රී ලංකා රුපියල් 32.94ක්. ඒ වගේම, කීල්ස් සුපිරි වෙළඳසැලක හැපී හෙන් හෝ නෙල් ෆාර්ම් සන්නාමයේ මධ්‍යම ප්‍රමාණයේ බිත්තර 10ක මිල රුපියල් 545ක්. මෙය එහි අඩුම මිල වන අතර ඔවුන්ගේ වෙබ් අඩවිය අනුව එම මිලටද බිත්තර තොග නැහැ. 

මේ විදිහට එක වෙළඳසැලක මිල ගණන් දෙස බලා රටක බිත්තර මිල ගැන නිගමනයකට එන එක නිවැරදි නැහැ. ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවට අනුව 2023 ජූලි තුන්වන සතියේදී බිත්තරයක සාමාන්‍ය මිල රුපියල් 54.64ක්. එය විවිධ තැන් වලින් ලබා ගන්නා විවිධ ප්‍රමාණ වල බිත්තර වල මිල ගණන් වල සාමාන්‍ය අගයක්. සුදු බිත්තරයක සාමාන්‍ය මිල රුපියල් 55.27ක්. රතු බිත්තරයක සාමාන්‍ය මිල රුපියල් 54.00ක්. 

-මෙම වසරේ ජනවාරි මාසයේදී ලංකාවේ බිත්තර වලට උපරිම සිල්ලර මිලක් නියම වුනා. ඒ අනුව, සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 44ක්ද රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 46ක්ද වුනා.

-පෙබරවාරි මාසයේදී ආනයනික බිත්තර මත රුපියල් 50ක බද්දක් පනවනු ලැබුවා. බිත්තරයක් විකිණිය හැකි උපරිම සිල්ලර මිලටත් වඩා වැඩි විශාල බද්දක් පැනවීම බිත්තර ආනයනය තහනම් කිරීමකට සමානයි. එහෙත්, රජයට (ශ්‍රී ලංකා රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවට) පමණක් රුපියලක නාමික බද්දක් ගෙවා බිත්තර ආනයනය කිරීමේ ඉඩකඩ ඉතිරි කරගනු ලැබුවා. (නියාමකයා තරඟකරුවෙකුද වූ විට ඇති වන එක් ප්‍රශ්නයක් වන්නේ මෙයයි)

-මාර්තු මාසයේදී බිත්තර ලෙසම ආනයනය නොකරන බිත්තර ආහාර (බිත්තර සාරු ආදිය) මත කිලෝග්‍රෑමයකට රුපියල් 1,300ක බද්දක් පනවනු ලැබුවා.

-අප්‍රේල් මාසයේදී බිත්තර වල උපරිම සිල්ලර මිල බිත්තරයක මිල අනුව මෙන්ම බර අනුවද සීමා කෙරුණා. ඒ අනුව, බිත්තර කිලෝවක උපරිම සිල්ලර මිල බිත්තර 20ක උපරිම සිල්ලර මිලට සමාන කෙරුණා. එහෙත්, මෙම සීමා කිරීමේ බලපෑමක් තිබෙන්නේ කුඩා ප්‍රමාණයේ බිත්තර වලට පමණයි. බිත්තර කිලෝග්‍රෑමයකට ලොකු බිත්තර 17-18කට වඩා අල්ලන්නේ නැහැ. මධ්‍යම ප්‍රමාණයේ බිත්තරනම් 20ක් පමණ. කුඩා බිත්තරනම් 23-24ක් පමණ විය හැකියි. මේ අනුව, කුඩා බිත්තරයක් රුපියල් 37ක පමණ මිලකටත්, මධ්‍යම ප්‍රමාණයේ හෝ ලොකු බිත්තරයක් රුපියල් 44ක මිලකටත් වඩා වැඩියෙන් විකිණිය නොහැකි වුනා. රතු බිත්තරනම් මීට වඩා රුපියල් දෙකක් පමණ මිලකට විකිණිය හැකි වුනා. 

-මැයි මාසයේදී බිත්තර ආනයන බද්ද වලංගු කාලය තවදුරටත් දීර්ඝ කෙරුණා.

-ජූනි මාසයේදී අනෙකුත් බිත්තර නිෂ්පාදන ආනයනය මත පනවා තිබුණු බද්ද වලංගු කාලයද තවදුරටත් දීර්ඝ කෙරුණා.

-ඊයේ (ජූලි 25) බිත්තර සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කර තිබෙනවා. 

ඉහත පෙන්වා දී ඇති පරිදි බිත්තර වල මිල පාලනය කිරීම සඳහා පමණක් ශ්‍රී ලංකා රජය විසින් ජනවාරි මාසයේ සිට ජූලි මාසය දක්වා මාසයකට වරක් ගැසට් ගසා තිබෙනවා. මේවා ශ්‍රී ලංකා රජය විසින් එදිනෙදා කරන සාමාන්‍ය දේවල්. මේ වගේ දේවල් පිරිවැයක් නැති දේවල් නෙමෙයි. ඔය තීරණ ගැනීම සඳහා යෝජනා පිළියෙළ කිරීම, එම යෝජනා සාකච්ඡා කර තීරණ ගැනීම, තීරණ ක්‍රියාත්මක කිරීම ආදී හැම දෙයකටම පොදු අරමුදල් වැය කළ යුතුයි. නමුත්, ඒ විදිහට පොදු අරමුදල් වැය කිරීම නිසා එම අරමුදල් වලට දායක වූ අයට ලැබී තිබෙන වාසි මොනවාද?

රජයේම ආයතනයක් වන ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ දත්ත අනුව පැහැදිලිව පෙනෙන්නේ බිත්තර මිල පාලනය සාර්ථක ලෙස ක්‍රියාත්මක වී නොමැති බවයි. එහෙත් එයින් බලපෑමක් සිදු නොවුනා කියා කියන්න බැහැ. මෙයින් අනිවාර්යයෙන්ම යම් තරමකින් හෝ නිෂ්පාදනය අධෛර්යමත් වීමක් වෙන්න ඇති. එහෙත්, අවසාන වශයෙන් මිල පාලනය අවශ්‍ය විදිහට ක්‍රියාත්මක කරන්න රජය සමත් වී නැහැ. 

කීල්ස් මිල ගණන් මෙන්ම ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ මධ්‍යන්‍ය මිල ගණන් අනුවද පෙනෙන්නේ බිත්තරයක සාමාන්‍ය මිල රුපියල් 55ක් පමණ බවයි. මුලින් කී පරිදි මේ දවස් වල රුපියල් 33ක පමණ මිලකට ඇමරිකාවෙන් බිත්තරයක් මිල දී ගන්න පුළුවන්. 

ඉහත වෝල්මාට් මිල කියන්නේ ඇමරිකාවේ බිත්තරයක සාමාන්‍ය මිල නෙමෙයි. සාමාන්‍ය මිල මීට වඩා වැඩියි. එහෙත්, වෝල්මාට් කියන්නේ ඇමරිකාව පුරා විසිරී තිබෙන සුපිරි වෙළඳසැල් ජාලයක්. ඒ නිසා, ප්‍රායෝගිකව ඇමරිකාවේ ඕනෑම කෙනෙකුට මීට ආසන්න මිලකට බිත්තර මිල දී ගන්න පුළුවන්. විවිධ නිර්ණායක අනුව ගුණාත්මක භාවයෙන් වැඩි හා/හෝ අගය එකතු කළ බිත්තර වල මිල මීට වඩා වැඩි බැවින් ඇමරිකාවේ බිත්තරයක සාමාන්‍ය මිල මීට වඩා තරමක් වැඩි වුනත්, මේ විදිහට රුපියල් 32කට විකිණෙන බිත්තරයක් වුනත් ගුණාත්මක භාවය අතින් ලංකාවේ සාමාන්‍ය බිත්තරයකට වඩා ඉහළ මට්ටමක තිබෙන බිත්තරයක්. සරල කරුණක් ගත්තොත්, ලංකාවේ රුපියල් 55කට විකිණෙන්නේ මධ්‍යම ප්‍රමාණයේ බිත්තරයක්. ඉහත වෝල්මාට් බිත්තරය ලොකු බිත්තරයක්. මේ වෙනසම වුනත් සැලකිය යුතු වෙනසක්.

නිල සංඛ්‍යාලේඛණ අනුව (USDA Egg Markets Overview) ජූලි 21 දිනෙන් අවසන් වූ සතියේ ඇමරිකාවේ ලොකු, සුදු, සාමාන්‍ය බිත්තර දුසිමක මිල ඩොලර් 1.38ක්. ලොකු, දුඹුරු, කේජ් ෆ්‍රී බිත්තර දුසිමක් ඩොලර් 3.28ක්. මේවා රටේම සාමාන්‍ය මිල ගණන්. ඕගනික් බිත්තර මීටත් වඩා මිල වැඩි විය යුතුයි. මේ මිල ගණන් තීරණය වෙන්නේ ඉල්ලුම හා සැපයුම අනුව. 

ජනවාරි මාසයේදී "බිත්තර කටුවෙන් එහා ලෝකය (පළමු කොටස)" ලිපිය පළ කරන විට වෝල්මාට් (ග්‍රේට් වැලියු) ලොකු බිත්තර දුසිමක් ඩොලර් 3.92ක්. මේ වෙද්දී එම මිල ඩොලර් 1.22 දක්වා අඩු වෙලා. පහත ෆෙඩරල් රිසර්ව් ප්‍රස්ථාරයෙන් පෙනෙන පරිදි, පසුගිය දෙසැම්බර් මාසයේදී ග්‍රේඩ් A, ලොකු බිත්තර දුසිමක සාමාන්‍ය මිල ඩොලර් 4.250 දක්වා ඉහළ ගොස් තිබුණා. එම මිල ඉතිහාසයේ ඉහළම මිල විය යුතුයි. මැයි මාසය වන විට මෙම අගය ඩොලර් 2.666 දක්වා පහත වැටිලා. මේ වන විට, ඉහත වෝල්මාට් මිලට වඩා තරමක් වැඩි මට්ටමකට පහත වැටී තිබිය යුතුයි.


වෝල්මාට් මිල සැලකුවොත් ජනවාරි මාසයේ බිත්තර මිල දැන් මිල මෙන් 321%ක්. ඒ වන විට පොදුවේ ඇමරිකාවේම බිත්තර මිල ඉහළ ගිහිල්ලයි තිබුණේ. නමුත්, ඒ හේතුව මත ඇමරිකාවේ රජය වෙළඳපොලට මැදිහත් වී මිල පාලනය කළේ නැහැ. ආනයන සීමා දැම්මේත් නැහැ.

බිත්තර කියන්නේ මිනිස් ඉතිහාසය තුළ මුලින්ම මෙන් නිෂ්පාදනය කරගන්න පටන් ගත් ආහාරයක්. ලෝකයේ හැම සංස්කෘතියක වගේම මෙය සිදු වී තිබෙනවා. ලෝකයේ බිත්තර නිපදවන්නේ නැති රටවල් ඇත්දැයි මා දන්නේ නැහැ. සිංගප්පූරුව වැනි නාගරික රාජ්‍ය පවා සැලකිය යුතු බිත්තර නිෂ්පාදනයක් කරනවා. ලෝකයේ විවිධ රටවල බිත්තර නිෂ්පාදන තාක්ෂන සමාන නැතත්, ලොකු තාක්ෂණික දියුණුවක් නැති රටකට වුවත් බිත්තර නිපදවන්න පුළුවන්. ඒ වගේම, මේ වැඩේට අනිවාර්යයෙන්ම විශාල ප්‍රාග්ධන ආයෝජන අවශ්‍ය වෙන්නෙත් නැහැ. ලංකාවට බිත්තර වැනි දෙයක්වත් තරඟකාරී ලෙස නිපදවිය නොහැකිනම් එහි අවධානය යෙදිය යුතු මූලික ප්‍රශ්න මොනවා හෝ තිබෙනවා. 

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ දත්ත අනුව 2020 වසරේදී ලෝක බිත්තර නිෂ්පාදනය ටොන් මිලියන 86.7ක්. එයින්, ටොන් මිලියන 30.2ක්, එනම් 35%ක්ම නිපදවා තිබෙන්නේ චීනයේ. ලෝක බිත්තර නිෂ්පාදනය අතින් දෙවන තැන සිටි ඇමරිකාව බිත්තර ටොන් මිලියන 6.6ක්ද, ඉන්දියාව බිත්තර ටොන් මිලියන 6.3ක්ද නිපදවා තිබෙනවා. එම වසරේදී ලංකාවේ බිත්තර නිෂ්පාදනය ටොන් 104,700ක්. මෙය රටේ ජනගහණයට සාපේක්ෂව නරක ප්‍රමාණයක් නෙමෙයි. 

ලෝක බිත්තර නිෂ්පාදනයෙන් 35%ක්ම සිදුවන්නේ චීනය තුළ වුවත් මෙම බිත්තර මුළුමනින්ම මෙන් පරිභෝජනය කරන්නේද චීනයයි. චීනය විසින් බිත්තර යම් ප්‍රමාණයක් අපනයනය කළත් එසේ අපනයනය කරන බිත්තර වලින්ද 75%ක්ම යන්නේ හොංකොං වෙතයි. ලෝකයේ ප්‍රධානම බිත්තර අපනයනකරු නෙදර්ලන්තය වන අතර දෙවන තැන සිටින්නේ ඇමරිකාවයි. ඉන්දියාවේ බිත්තර නිෂ්පාදනයද බොහෝ දුරටම රට තුළම පරිභෝජනය කෙරෙන නිසා අපනයන සිදු වන්නේ ඉතා සුළු වශයෙනුයි. 

ඇමරිකාවේ වාර්ෂික බිත්තර නිෂ්පාදනය බිලියන 110ක් පමණ. බිත්තර දමන කිකිළියන් ගණන මිලියන 380ක් පමණ. 2022 වසර අවසාන වන විට කිකිළියන් මිලියන 2කට වඩා සිටි සමාගම් ප්‍රමාණය 39ක්. 2022 වසරේදී ලංකාවේ කිකිළිගහණය මිලියන 6.8ක් පමණයි. 2018දී මෙම ප්‍රමාණය මිලියන 9.1 මට්ටමේ පැවතී ඇතත්, ඉන්පසු ක්‍රමයෙන් පහත වැටී තිබෙනවා.

ඇමරිකාවේ වාර්ෂික බිත්තර නිෂ්පාදනය රටේ බිත්තර ඉල්ලුමට වඩා වැඩියි. ඇමරිකාව ලෝකයේ දෙවන විශාලතම බිත්තර අපනයනකරුව සිටින්නේ ඒ නිසා. එහෙත්, ඒ හේතුව නිසා ඇමරිකාව බිත්තර ආනයනයට වැට බැඳ නැහැ. 2021 වසර තුළ ඇමරිකාව විසින් ඩොලර් මිලියන 596ක බිත්තර අපනයනය කර ඇති අතර ඩොලර් මිලියන 79ක බිත්තර ආනයනය කර තිබෙනවා. 

ඇමරිකාව වැඩියෙන්ම බිත්තර ආනයනය කරන්නේ (45%ක්) කැනඩාවෙන්. එහෙත්, ඒ අතරම, කැනඩාවේ බිත්තර ආනයන වලින් 96%ක්ම එන්නේ ඇමරිකාවෙන්. ඇමරිකානු-කැනඩා දේශ සීමාව ආසන්නයේ සිටින පාරිභෝගිකයෙකුට, ඉන්නේ කොයි පැත්තේ වුනත්, තමන්ගේ රටේ නිපදවන බිත්තර මිල දී ගන්නවාට වඩා ලාබදායක වන්නේ ලඟම සිටින නිෂ්පාදකයෙකුගෙන් බිත්තර මිල දී ගන්න එකයි. නිෂ්පාදකයෙකයාගේ පැත්තෙන් වඩා වාසිදායක වන්නේද ලඟම සිටින පාරිභෝගිකයාට බිත්තර විකුණන එකයි. ප්‍රවාහන වියදම් නිසා එකතු වන පිරිවැය නිෂ්පාදකයාට හෝ පාරිභෝගිකයාට නොලැබී අපතේ යන වියදමක්. ආනයන බදු හරහා දේශ සීමා හරහා සිදුවන වෙළඳාම වැළැක්වීමෙන් දෙපැත්තටම වෙන්නේ අවාසියක් පමණයි. 

ලෝක බිත්තර වෙළඳාම ඩොලර් බිලියන 4.73ක් (2021 දත්ත). මෙයින් 14.3%ක පමණම එක පැත්තක ඉන්නේ ඇමරිකාවයි. ඇමරිකාවේ බිත්තර කර්මාන්තය ඩොලර් බිලියන 10ක පමණ කර්මාන්තයක්. ඒ කියන්නේ, ලෝකයේ සෑම රටක් විසින්ම අපනයනය කරන බිත්තර සියල්ල මිල දී ගත්තත්  ඇමරිකාවේ බිත්තර ඉල්ලුමෙන් බාගයක්වත් සපුරන්න බැහැ. 

වෙනත් බොහෝ ආහාර හා අදාළව තත්ත්වයද මෙවැන්නක්. මම හිතන්නේ ඇමරිකාවට ඇමරිකාවේ බිත්තර නිපදවන්නේ නැතිව වෙනත් රටකින් ආනයනය කරන්න බැරි ඇයි කියන එක ඉහත සංසන්දනය දෙස බැලූ විට පැහැදිලි විය යුතුයි. 

මෙම වසර මුලදී කුරුළු උණක් පැතිරී ඇමරිකාවේ බිත්තර දමන කිකිළියන් විශාල ප්‍රමාණයක් මිය ගියා. කුරුළු උණ වැනි හේතුවකින් කිකිළිගහණය අඩු වූ විට බිත්තර රක්කවා කිකිළියන් හදාගෙන නැවත බිත්තර දමන තරමට ලොකු කරගන්න මාස කිහිපයක් යනවා. ඒ හේතුව නිසා බිත්තර නිෂ්පාදනය අඩු වී බිත්තර මිල විශාල ලෙස ඉහළ ගියා. බිත්තර වල මිල සංවේදීතාව අඩු නිසා මිල ඉහළ යාමට සාපේක්ෂව ඉල්ලුම පහළ යන්නේ අඩුවෙන්. ඒ නිසා, සැපයුමේ සාපේක්ෂව පොඩි අඩුවීමකින් මිල සැලකිය යුතු ලෙස ඉහළ යන්න පුළුවන්. ජනවාරි මාසයේදී වුනේ එයයි. 

ඇමරිකාවේ බිත්තර වෙළඳපොළේ ප්‍රමාණය අනුව බිත්තර ආනයනය කරන්න ඉඩ තිබුණු පමණින් මිල ක්ෂණිකව පහත වැටෙන්නේ නැහැ. මොකද ඉල්ලුම හා සැපයුම අතර හිඟය පියවන්න ලෝක වෙළඳපොළෙන් වැඩියෙන් බිත්තර ආනයනය කරද්දී ලෝක වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම අතරද අසමතුලිතතාවයක් ඇති වී එම මිලද ඉහළ යන එකයි වෙන්නේ. කුඩා ආර්ථිකයක් තිබෙන රටකට මෙවැනි ප්‍රශ්නයක් නැහැ. 

මේ හේතුව නිසාම ඇමරිකාව වැනි විශාල ආර්ථිකයක් තිබෙන රටකට ප්‍රමාණවත් දේශීය කෘෂිකර්මයක් නැතිව රටේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරන්න බැහැ. සල්ලි තිබුණට, විදේශ විණිමය තිබුණට, රටෙන් පිටත ප්‍රමාණවත් සැපයුමක් නැහැ. සිංගප්පූරුව වගේ පොඩි රටකට මේ වගේ ප්‍රශ්නයක් නැහැ. අවශ්‍ය සල්ලි පමණයි. සල්ලි තිබෙනවානම් ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ප්‍රශ්නය පහසුවෙන් විසඳගන්න පුළුවන්. 

ඇමරිකාවට තිබෙන ඔය ප්‍රශ්නයම, ඊටත් වඩා වැඩියෙන්, ඉන්දියාවට හා චීනයට තිබෙනවා. විශාල ජනගහණයක් සිටින වෙනත් ඇතැම් රටවලටත් තිබෙනවා. එවැනි රටවලට දේශීය කෘෂිකර්මය මග හැර යන්න බැහැ. 

දේශීය කෘෂිකර්මය වෙත වැඩියෙන් අවධානය යොමු කරද්දී ඊළඟට මතු වන ප්‍රශ්නය තරඟකාරිත්වය හරහා කාර්යක්ෂමතාවය පවත්වා ගැනීම. ඇමරිකාව වගේ රටකට මේකත් ප්‍රශ්නයක් නෙමෙයි. බිත්තර දමන කිකිළියන් මිලියන දෙකකට වඩා ඉන්න තරඟකාරී සමාගම් 39කට ඉන්න පුළුවන් තරමේ වෙළඳපොළක් රට ඇතුළේම තිබෙනවා. ඒ නිසා, එක පැත්තකින් ප්‍රමාණයේ වාසිය (economy of scale) ලබා ගන්නා අතරම තරඟකාරිත්වයද අවුලක් නැතිව පවත්වා ගන්න පුළුවන්. 

ලංකාවේ වගේ රටක් හා අදාළව තත්ත්වය වෙනස්. ඇමරිකාවේ තරම් විශාල සමාගම් ප්‍රමාණයක් ලංකාවේ හැදෙනවා කියන්නේ එක සමාගමක් ගොඩක් පොඩි වෙනවා කියන එක. එය තාක්ෂණික කාර්යක්ෂමතාවය කෙරෙහි අහිතකර ලෙස බලපානවා. අනෙක් අතට තාක්ෂණික කාර්යක්ෂමතාවය පිළිබඳ ප්‍රශ්නය විසඳෙන පරිදි සමාගම් ප්‍රමාණය අඩු වුනොත් තරඟය අඩු වී වෙළඳපොළ කාර්යක්ෂමතාවය නැති වෙනවා. 

ඇමරිකාවට සාපේක්ෂව කුඩා ජනගහණයක් සිටින, කුඩා ආර්ථිකයක් තිබෙන, කැනඩාව වගේ රටක් මේ ප්‍රශ්න දෙකම එකවර විසඳාගන්නේ ඇමරිකානු ආර්ථිකයට නිරාවරණය වීමෙන්. රටවල් දෙකම එකම වෙළඳපොළක් වූ විට වෙළඳපොළ පරිමාවේ වාසිය වගේම තරඟයේ කාර්යක්ෂමතාවයත් තිබෙනවා. 

කැනඩාවට ඔය වගේ වාසියක් තියෙනවානම් ඇමරිකාවට තියෙන වාසිය කුමක්ද? ප්‍රමාණාත්මකව අඩු වුනත්, ඔය වාසි දෙකම ඇමරිකාවටත් තිබෙනවා. කැනඩා වෙළඳපොළ එකතු වෙනවා කියන්නේ වෙළඳපොළ තවත් විශාල වීම. ඒ වගේම කැනඩා සමාගම්ද සාධාරණ තරඟයකට එකතු වෙනවා කියන්නේ ඇමරිකානු සමාගම් තවදුරටත් කාර්යක්ෂම වීම.

ඔය වාසි දෙකම ලොකු කුඩා භේදයක් නැතිව ඕනෑම රටකට තිබෙනවා. නමුත්, ඇමරිකාව, ඉන්දියාව වගේ රටක් විවෘත වූ පසුවද විශාල දේශීය ආර්ථිකයක් තව දුරටත් ඉතිරි වෙනවා. රට කුඩා වන තරමට විවෘත වෙද්දී ජාතික ආර්ථිකයේ පංගුව අඩු වෙනවා. මේ හේතුව නිසා ලොකු රටකට විවෘත නොවීමේ අවාසිය අඩුයි. පොඩි රටකට එය ගොඩක් වැඩියි. 

වෙබ් ලිපිනය: