වෙබ් ලිපිනය:

Monday, May 18, 2026

අයවැය අතිරික්තය ඉදිරියට!


පසුගිය පෙබරවාරි මාසය අවසානයේදී අයවැය අතිරික්තයක් වාර්තා වී තිබුණු බව පෙර සටහනක සඳහන් කළා. ප්‍රමාණයෙහි තරමක අඩුවක් සිදුව ඇතත්, මාර්තු මාසය අවසානයේදී, එනම් 2026 පළමු කාර්තුව අවසානයේදීද, අයවැය අතිරික්තයක් දකින්න පුළුවන්. 

රාජ්‍ය ආදායම් හා ලැබීම් 

වසරේ පළමු කාර්තුව අවසානයේදී රුපියල් බිලියන 1,473.8ක රාජ්‍ය ආදායමක් වාර්තා වන අතර මෙය පෙර වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 38.4%ක වර්ධනයක්. මෙයින් රුපියල් බිලියන 1,308.8ක් බදු ආදායම් වන අතර බදු ආදායම් වල 34.9ක වර්ධනයක් දැකිය හැකියි.

රාජ්‍ය වියදම් 

පළමු කාර්තුවේ සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 1,385.4කට සීමා වී තිබෙනවා. මේ අනුව, රුපියල් බිලියන 88.4ක අයවැය අතිරික්තයක් වාර්තා වෙනවා.

පොලී වියදම 

ඉහත වියදමෙන් රුපියල් බිලියන 593.3ක්ම පොලී ගෙවීම් වන අතර, එයින් රුපියල් බිලියන 80.2ක් විදේශ ණය වල පොලී ගෙවීම් වෙනුවෙන්ද, ඉතිරි රුපියල් බිලියන 513.1 දේශීය ණය වල පොලී ගෙවීම් වෙනුවෙන්ද වැය කර තිබෙනවා. මේ අනුව, ප්‍රාථමික අයවැය අතිරික්තය රුපියල් බිලියන 601.5ක්. 

ණය ආපසු ගෙවීම් 

පළමු කාර්තුව ඇතුළත රුපියල් බිලියන 502.5ක දේශීය ණය සහ රුපියල් බිලියන 89.0ක විදේශ ණය ආපසු ගෙවා තිබෙනවා. එකතුව රුපියල් බිලියන 591.5ක්. අයවැය අතිරික්තය වන රුපියල් බිලියන 88.4ක මුදල මගින් එයින් කොටසක් ආවරණය වී ඇති අතර, ඉතිරි කොටස පරණ ණය ගෙවීම සඳහා ලබාගත් අලුත් ණයයි. 

රාජ්‍යමූල්‍ය තත්ත්වය යහපත් මට්ටමක පවතින බැවින් මෙවැනි දුෂ්කර අවස්ථාවක සිදු වන යම් වියදම් වැඩි වීමක් රජයට දරා ගත හැකිව තිබුණත්, එසේ රුපියල් වැය කර ඉන්ධන ආදිය සුබසාධනය කරද්දී ඉහළ යන විදේශ විණිමය ඉල්ලුම අවශෝෂණය කර ගැනීම සඳහා වැය කළ හැකි තරමේ විදේශ සංචිත රටේ නොමැති බැවින්, රජය සතුව රුපියල් තිබීම ප්‍රශ්නය මුළුමනින්ම විසඳන්නේ නැහැ.

අයවැය අතිරික්තය දිගටම තබා ගත හැකි වෙයිද?

පෙර මෙන් රජයේ අයවැය හිඟය පියවීම පිණිස මුදල් සැපයුම වැඩි කිරීමක් සිදු නොවුවද, විදේශ අංශයේ බාහිර කම්පන තත්ත්වය නිසා, කෙටිකාලීනව උද්ධමනය ඉහළ යා හැකි බැවින්, මහ බැංකුවට පොලී අනුපාතික යම් තරමකින් ඉහළ යාමට ඉඩ හරින්නට සිදු විය හැකියි. එහි ප්‍රතිඵලයක් ලෙස රජයේ පොලී වියදම්ද ඉහළ යා හැකි බැවින්, දැනට පවතින යහපත් රාජ්‍යමූල්‍ය තත්ත්වය දිගටම එලෙසින්ම පවත්වා ගැනීම තරමක අභියෝගයක් විය හැකියි. 

උද්ධමනය කළමණාකරණය කර ගැනීම 

මෙවර ඇති වූ බාහිර කම්පනය ඉතිහාසයේ එවැනි කම්පනයක් ඇති වූ පළමු හෝ එකම අවස්ථාව නෙමෙයි. 2008දී ලෝක වෙළඳපොලේ තෙල් මිල මීටත් වඩා ඉහළ ගිය අතර, උද්ධමනය ඉතිහාසයේ පළමු වරට 30% ආසන්න මට්ටමකට ඉහළ ගියා. ඉන් පසුව, 2022දී ඇති වූ බාහිර කම්පන තත්ත්වය තුළ උද්ධමනය 70% ආසන්න මට්ටමකට ඉහළ ගියා. එහෙත්, රාජ්‍යමූල්‍ය තත්ත්වය යහපත් මට්ටමක පවතින බැවින්, ඉතිහාසයේ දෙවරක්ම එසේ සිදු වුවද, මෙවර උද්ධමනය පාලනය කර ගැනීම ඒ තරම්ම අසීරු කාර්යයක් වන එකක් නැහැ. 

බාහිර කම්පන නිසා උද්ධමනය ඉහළ යාම මුළුමනින්ම වලක්වා ගත නොහැකි වුවද, මහ බැංකුවට රාජ්‍යමූල්‍ය පීඩනයකින් තොරව ස්වාධීනව කටයුතු කළ හැකි බැවින්, මුදල් සැපයුම පාලනය කිරීම මගින් උද්ධමනය 2008 හෝ 2022 වැනි මට්ටමකට යාම වලක්වා ගත හැකියි. මීට පෙර උද්ධමනය පාලනය කර ගත නොහැකි මට්ටමකට ගියේ මහ බැංකුවට රාජ්‍යමූල්‍ය අංශයෙන් අවශ්‍ය සහයෝගය නොලැබුණු නිසයි. 

විදේශ අංශය කළමණාකරණය කර ගැනීම

ඩොලරයක මිල ඉහළ යාම මගින් විදේශ අංශය දුර්වල වී ඇති බවක් අනිවාර්යයෙන් අදහස් වන්නේ නැහැ. එය තීරණය වන්නේ සංචිත වෙනස් වන්නේ කෙසේද යන්න මතයි. ඕනෑවට වඩා සංචිත නාස්ති කර නොගනිමින්, පාලනයක් යටතේ රුපියල අවප්‍රමාණය වීමට ඉඩ හැරීම මෙවැනි අවස්ථාවකදී මහ බැංකුව විසින් සිදු කළ යුතු කාර්යයයි. විදේශ අංශයේ කඩා වැටීමක් සිදු විය හැක්කේ පෙර අවස්ථා වල සිදු කළ පරිදි ඩොලරයක මිල ඉහළ යාම වැළැක්වීමට ගන්නා උත්සාහයන් තුළයි. 

මූල්‍ය අරමුදලේ වාරික 

සාමාන්‍යයෙන් මූල්‍ය අරමුදල ණය දෙන්නේ රටක මහ බැංකුවට වුවද, මෙවර මූල්‍ය අරමුදලේ වාරික (2023 සිටම) ලබා දෙන්නේ ශ්‍රී ලංකා රජයටයි. ඒ නිසා, මැයි 27 දින වාරික දෙකක්ම එකවර ලැබුණහොත් රටේ ඩොලර් ප්‍රශ්නයට යම් සහනයක් ලැබෙනවාක් මෙන්ම, රජයට රුපියල්ද ලැබෙන බැවින්, පොලී අනුපාතික මත පීඩනයද සීමා කර ගත හැකියි. ඉන්ධන මිල ගැලපීම ප්‍රමාද වීම නිසා මෙම වාරික තව දුරටත් ප්‍රමාද වුවහොත්, විදේශ අංශයේ මෙන්ම දේශීය ණය වෙළඳපොළ තුළද පීඩනය ඉහළ යා හැකියි. ඉක්මණින්ම මිල ගැලපීම මගින් රටේ ආර්ථිකය ස්ථාවරව පවත්වා ගැනීම සඳහා රජයට ඇති උනන්දුව පිළිබඳව මූල්‍ය වෙළඳපොළට සංඥා කළ හැකියි.

7 comments:

  1. ඉකොනෝ, ලංකාවේ සාර්ව ආර්ථික දර්ශක (Macroeconomic indicators) විද්‍යාත්මකව විශ්ලේෂණය කරද්දී මට පෙනෙන ඇත්තම යථාර්ථය තමයි, ආණ්ඩුව ප්‍රාථමික අයවැය අතිරික්තයක් (Primary Budget Surplus) පෙන්වමින් රට පුරා මහ ඉහළින් පොර ටෝක්ස් දුන්නත්, රටේ සැබෑ නිෂ්පාදන ආර්ථිකය සහ විදේශ අංශය මේ වෙද්දීත් සම්පූර්ණයෙන්ම හොම්බෙන් ගොස් ඇති බව.

    මම දන්න ආර්ථික විද්‍යා මූලධර්මයන්ට අනුව, රජයේ සමස්ත ආදායමෙන් ණය සඳහා ගෙවිය යුතු පොලිය හැර අනෙකුත් වියදම් අඩු කළ විට ලැබෙන මේ ප්‍රාථමික අතිරික්තය යනු හුදෙක් ජනතාව මත අහස උසට වැට් (VAT) සහ උපයන විට බදු පටවමින්, අනෙක් පැත්තෙන් රෝහල්වල බෙහෙත්, පාසල් පහසුකම් සහ රාජ්‍ය ආයෝජන කපාහැරීමෙන් මවා පෑ කෘත්‍රිම ඉලක්කමක් විතරක් වන අතර, අපි ගෙවන්න ඕන දැවැන්ත ණය පොලිය (Debt Interest Payments) එකතු කළ විට සමස්ත අයවැය හිඟය (Overall Budget Deficit) තවමත් පවතින්නේ ඉතාම මාරාන්තික මට්ටමක.

    එමෙන්ම, ආණ්ඩුව සතුව ඩොලර් බිලියන 6.7ක විදේශ සංචිත (Foreign Reserves) ඇතැයි කීවත්, එහි සැබෑ "ශුද්ධ විදේශ සංචිත" (Net International Reserves) නොමැති තරම්, මොකද ඕක ඇතුළේ තියෙන්නේ චීන මහ බැංකුවෙන් දාපු, පාවිච්චි කිරීමට කොන්දේසි සහිත ඩොලර් බිලියන 1.5ක "ස්වප්" (Currency Swap) එකක් සහ IMF වැනි බාහිර මූලාශ්‍රවලින් ගත් කෙටි කාලීන ණය මිස, රටේ අපනයන දියුණුවෙන් උපයාගත් සැබෑ වත්කම් නොවන බැවිනි.

    තවද, මැයි 27 වැනිදා IMF එකෙන් ලැබීමට නියමිත ඩොලර් මිලියන 700ක වාරික දෙකෙන් පසු, ආණ්ඩුව විසින් ඩීසල් ලීටරය රුපියල් 750ක් සහ පෙට්‍රෝල් ලීටරය රුපියල් 700ක් දක්වා ඉහළ දැමුවද ඩොලර් ප්‍රශ්නය කිසිසේත් විසඳෙන්නේ නැහැ මන්ද යත් ආර්ථික විද්‍යාවේ "මිල ඉල්ලුම් අනම්‍යතාවය" (Price Inelasticity of Demand) පිළිබඳ සිද්ධාන්තයට අනුව, ඉන්ධන යනු මිල කොතරම් ඉහළ ගියත් ප්‍රවාහනයට සහ කර්මාන්තවලට අත්‍යවශ්‍ය, ඉල්ලුම පහසුවෙන් අඩු නොවන භාණ්ඩයක් නිසා ඉන්ධන ආනයනය වෙනුවෙන් වැය කිරීමට සිදුවන ඩොලර් ප්‍රමාණය එලෙසම පවතින බැවිනි.

    මෙලෙස ඉන්ධන මිල අහස උසට යෑම නිසා "පිරිවැය තල්ලු උද්ධමනය" (Cost-Push Inflation) දරුණු ලෙස ක්‍රියාත්මක වී, නිෂ්පාදන හා ප්‍රවාහන පිරිවැය (Cost of Production) ඉහළ යන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර වෙළඳපොළ තුළ ලංකාවේ ඇඟලුම් (Apparel) සහ තේ වැනි අපනයන භාණ්ඩවල පවතින තරඟකාරිත්වය මුළුමනින්ම අහිමි වී, එම ඇණවුම් බංග්ලාදේශය සහ වියට්නාමය වැනි රටවලට ඇදී යාමෙන් රට තුළට ඩොලර් ගලා ඒම (Dollar Inflow) තවදුරටත් සීමා වේ.

    මේ තත්ත්වය හරියට 1970 දශකයේ ලෝකයේ ඇති වූ තෙල් කම්පනය(1970s Oil Shock) නිසා නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් බටහිර රටවල් පවා ආර්ථික පල්වීමකට සහ උද්ධමනයකට (Stagflation) ලක් වූවාක් මෙන්, ලංකාව වැනි දුර්වල ආර්ථිකයක් ඇති රටක් නිෂ්පාදන අංශයෙන් සම්පූර්ණයෙන්ම අඩපණ කිරීමට හේතු වන්නක් බවයි පේන්නේ. ඒ නිසා, සැබෑ නිෂ්පාදන බලවේග ශක්තිමත් නොකර, ණය මතම යැපෙමින් කෘත්‍රිම සංඛ්‍යාලේඛන මඟින් රට ස්ථාවර බව පෙන්වීමට උත්සාහ කරන මේ දූෂිත ජාතික ජන බලවේග රෙජීමයේ බොළඳ ආර්ථික පිළිවෙත නිසා, නූල කැඩුණු සරුංගලයක් මෙන් මේ ආර්ථිකය ඉතා ඉක්මනින්ම පෙරටත් වඩා දරුණු මූල්‍යමය අගාධයකට ඇද වැටීම වැළැක්විය නොහැකි බව පිටරට ඉන්න අපට නම් ඉතාම පැහැදිලිව පෙනෙනවා.

    ReplyDelete
  2. @ Economatta

    ලංකාවේ රජය වහාම ක්‍රියාත්මක වන පරිදි 2026 මැයි මස හදිසියේම වාහන ආනයන බදු වැඩි කිරීමේ සුදානම ගැන ඊට පෙර ආණ්ඩු පක්ෂයේ සමීපතම හිතවත් වාහන ව්‍යායාපාරිකයන් කීපදෙනෙකුට දැන ගැනීමට ලැබීමක් සිදුවීද? මෙය ඉන්සයිඩර් ඩීලින් එකක් ද? ඒ නිසා වාහන 4,000 කට අධික ප්‍රමාණයක ආනයන ණයවර ලිපි විවෘත කිරීමත් ඒ නිසා හදිසියේම ඩොලරය ඉහලයාමත් අතර සම්බන්දයක් ඇතිද? මේ ගැන සමාජ මාධ්‍ය ජාල වල හැමතැනම තිබෙන සටහන් ඇත්ත ද? මේ ගැන විස්තර සහිතව ලියන්න පුළුවන්ද?

    ReplyDelete
  3. Is this news true?

    ------------------------------
    🔴 BREAKING රුපියල් බිලියන 20ක වාහන බදු සංශෝධන චෝදනාව ගැන සිවිල් සංවිධාන සහ විපක්ෂය ආණ්ඩුවට දැඩි විවේචන එල්ල කරයි

    - කොළඹ, ශ්‍රී ලංකාව

    - රජය විසින් මෑතකදී හඳුන්වා දුන් වාහන ආනයන බදු සංශෝධන ක්‍රියාවලිය තුළ සිදුව ඇති බව කියන රුපියල් බිලියන 20කට අධික මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සිවිල් සංවිධාන, ආර්ථික විශ්ලේෂකයන් සහ විපක්ෂ දේශපාලන කණ්ඩායම් රජයට සහ මූල්‍ය බලධාරීන්ට එදිරිව දැඩි විවේචන එල්ල කරමින් සිටී. [Newswire වාර්තා කළ පරිදි](https://www.newswire.lk/2026/05/19/sjb-member-says-4000-vehicle-lcs-opened-on-may-15-alleges-tax-decision-leaked/), මැයි 15 වැනිදා පැනවූ 50% ක වාහන ආනයන අධිභාරය පිළිබඳ රජයේ රහස්‍ය තොරතුරු කලින්ම කාන්දු වීම හේතුවෙන් ව්‍යාපාරිකයන් දෙදෙනෙකු එකම දිනයකදී වාහන 4,000 ක් සඳහා ණයවර ලිපි (LC) විවෘත කර ඇති බවට චෝදනා මතුව ඇත.

    ## 🚨 චෝදනාවට ලක්වූ ව්‍යාපාරිකයාගේ අතීත ගනුදෙනු සහ ටෙන්ඩර් ගැටලු

    සමගි ජන බලවේගයේ (SJB) ක්‍රියාකාරී සාමාජික නිරෝෂන් පාදුක්ක මහතා මේ පිළිබඳව වැඩිදුරටත් චෝදනා කරමින් කියා සිටියේ, මෙම ගනුදෙනුවට සෘජුවම සම්බන්ධ එක් ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු මීට පෙරද වාහනවල එන්ජින් ධාරිතාව (Engine Capacity) වංචනික ලෙස අඩුවෙන් පෙන්වමින් රජයට බදු වංචා සිදු කළ බවට ඉතිහාසයක් ඇති අයෙකු බවයි.

    එපමණක් නොව, වත්මන් රජය විසින් විධිමත් සහ විනිවිදභාවයකින් යුත් ටෙන්ඩර් පටිපාටියකින් තොරව (Unsolicited Proposals), මෙරට වටිනා සුළං විදුලි බලාගාර ව්‍යාපෘති ද මෙම ව්‍යාපාරිකයා වෙත පවරා දී ඇති බවට පාදුක්ක මහතා අනාවරණය කළේය.

    මෙම ව්‍යාපාරිකයා වත්මන් පාලනය මෙහෙයවන ප්‍රධාන දේශපාලන පක්ෂය වන ජාතික ජන බලවේගයේ ඉහළම නායකයන් සමඟ අතිශය සමීප සහ අනුග්‍රාහක සබඳතා පවත්වන අයෙකු බවට ද දේශපාලන වේදිකාවල දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

    ## මහ බැංකුවේ නිහඬතාව සහ බැංකු අධීක්ෂණයේ අර්බුදය

    මෙම සිදුවීම සම්බන්ධයෙන් නිල තොරතුරු ලබා ගැනීම සඳහා තමන් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ගියද, එහි උසස් නිලධාරීන්ගෙන් ඒ සඳහා කිසිදු සාධනීය ප්‍රතිචාරයක් හෝ අවස්ථාවක් හිමි නොවූ බව නිරෝෂන් පාදුක්ක මහතා ප්‍රකාශ කළේය.

    වාණිජ බැංකු පද්ධතිය තුළ එකම දිනයකදී මෙතරම් විශාල වාහන ප්‍රමාණයකට සහ දැවැන්ත විදේශ විනිමය වටිනාකමකට ණයවර ලිපි නිකුත් කිරීම සිදුවන විට, ඒ පිළිබඳව සොයා බැලීමට සහ වාණිජ බැංකු නිසි පරිදි අධීක්ෂණය කිරීමට මහ බැංකුව තමන් සතු වගකීම් සහ පාලන බලතල පැහැර හැර ඇති බවට විපක්ෂය සහ සිවිල් සංවිධාන සෘජුවම චෝදනා කරයි. මෙම ක්‍රියාවලිය හේතුවෙන් දින කිහිපයක් ඇතුළත ඇමෙරිකානු ඩොලරයක මිල රුපියල් 11 කින් පමණ ඉහළ යාම නිසා සමස්ත වෙළෙඳපොළ මිල මට්ටම් කෙරෙහිද දැඩි පීඩනයක් එල්ල වී ඇත.

    ## රජයේ දූෂණ විරෝධී යහපාලන පොරොන්දු බිඳ වැටිලා" – සිවිල් සංවිධානවල දැඩි විරෝධය

    දේශපාලන ගජමිතුරු සංස්කෘතිය, දූෂණය සහ වංචාව පිටුදකින බවට ප්‍රතිඥා දෙමින් බලයට පත් වූ වත්මන් රජය, තමන්ට හිතවත් ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු වෙනුවෙන් "ඇතුළත තොරතුරු මත සිදුකරන දූෂිත ජාවරමට" (Insider Trading) ඉඩදීම සම්බන්ධයෙන් සිවිල් සංවිධාන සහ ජනතා ව්‍යාපාර රැසක් සිය දැඩි පිළිකුල පළ කර සිටී.

    සිවිල් ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ රජයේ මෙවැනි පරස්පර විරෝධී ක්‍රියාවන් හේතුවෙන් මහජනතාව තුළ පාලනය කෙරෙහි ඇති විශ්වාසය මුළුමනින්ම බිඳ වැටෙන බවයි. පොදු ජනතාව දැඩි ලෙස බදු බරින් පීඩා විඳින මොහොතක, පාලකයන්ට සමීප ව්‍යාපාරිකයන්ට පමණක් දූෂිත ලෙස රුපියල් බිලියන ගණනින් වංචා සහගත ලෙස බදු වලින් බේරීමට ඉඩකඩ සැලසීම වහාම නැවැත්විය යුතු බවත්, මෙම සමස්ත ක්‍රියාවලිය පිළිබඳව ස්වාධීන සහ විනිවිදභාවයකින් යුත් පරීක්ෂණයක් කඩිනමින් ආරම්භ කළ යුතු බවත් සිවිල් සංවිධාන බලකර සිටී.
    -------------

    //

    මෙම වාහන බදු වංචා චෝදනාව සම්බන්ධයෙන් මහබැංකුව හෝ මූල්‍ය බලධාරීන්ගේ පාර්ශ්වයෙන් නිල පැහැදිලි කිරීම් කරලා නැත්තේ ඇයි?

    ReplyDelete
  4. වාහන ගෙන්වල එයින් ලැබුණු බදු ආදායමින් චූන් වෙලා භාණ්ඩාගාර ය පිරව්වා කියල චූන් උනාට ඒ වෙනුවෙන් වැය කරන්නේ ඩොලර් සංචිත ය කියල හිතන්න තරම් මොළයක් මේ මෝඩ රැළට ඇත්තේ නෑ

    කොට මොඩ්ල් ළඟ පිකප් තමයි

    ReplyDelete
  5. Do you think the money stolen by hackers can be recovered?

    ReplyDelete
    Replies
    1. Don't worry it will come back through the THP link :-)

      Delete
    2. Cannot recover, it's done by the personnel who appointed to safeguard the treasury. The plundering of Sri Lanka’s treasury is an ongoing crime perpetrated directly by the ruling National People's Power (NPP) regime, which functions as the ultimate culprit behind the state's financial ruin. Rather than recovering the nation's stolen billions, this current government operates as a syndicate of thieves that exploits entrenched institutional weaknesses and compromised legal systems to actively shield and perpetuate the looting of public assets. By maintaining a fragmented legal framework and deliberately starving investigative bodies of resources, the regime ensures that traced offshore networks and illicit foreign shell accounts remain completely untouched. This administrative complicity allows corrupt insiders to move state funds with total impunity, proving that the current regime is not an investigator of corruption, but the primary thief engineering the permanent loss of the country's wealth.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: