වෙබ් ලිපිනය:

Tuesday, October 4, 2022

ණයහිමියන්ගේ පැරිස් සංසදය


ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන කතා කෙරෙන ගොඩක් තැන් වලදී ණයහිමියන්ගේ පැරිස් සංසදය නොහොත් පැරිස් ක්ලබ් එක ගැන සඳහන් වෙනවා. මොකක්ද මේ පැරිස් සංසදය?

කෙටියෙන් කිවුවොත්, පැරිස් සංසදය සම්ප්‍රදායික ණයහිමියන්ගේ අවිධිමත් එකතුවක්. ආරම්භයේදී මෙහි සිටියේ රටවල් එකොළහක් පමණයි. දැන් මේ ගණන 22 දක්වා වැඩි වෙලා. වැඩි හරියක්ම බටහිර රටවල් වුනත්, රුසියාව හා බ්‍රසීලය වැනි රටවල්ද මේ ගොඩේ ඉන්නවා. නමුත්, චීනය නැහැ. ඉන්දියාවත් තවම නැහැ. 

විදේශ ණය ගෙවීම පැහැර හැරීම, ණය ප්‍රතිව්‍යුහගත කිරීම, ගෙවුම් ශේෂ අර්බුද, IMF වැඩ සටහන් ආදිය ගැන කතා කරද්දී ගොඩක් වෙලාවට අමතක නොකෙරෙන රටක් වන්නේ ආජන්ටිනාවයි. පැරිස් සංසදය ගැන කතා කරද්දීත් ආජන්ටිනාව මග හැර යන්න බැහැ.

මීට වසර 67කට පෙර, 1955 සැප්තැම්බර් 21 වෙනිදා ආජන්ටිනාවේ ජනාධිපති හුවං දොමින්ගෝ පෙරොන්ව (Juan Domingo Perón) නිදහසේ විප්ලවය (Revolución Libertadora) ලෙස නම් කෙරුණු හමුදා කුමන්ත්‍රණයක් මගින් බලයෙන් පහ කෙරෙනවා. දොමින්ගෝ පෙරොන් වමට බර දේශපාලනයක් කළ අයෙක්. ඔහුව බලයෙන් පහ කිරීමෙන් පසුව, නැවත මැතිවරණයක් පැවැත්වෙන්නේ 1958දී. ඔය අතර කාලයේදී හමුදා කුමන්ත්‍රණයේ ප්‍රබල චරිතයක් වූ හිටපු හමුදා ජෙනරාල් පේද්රෝ අරම්බුරු (Pedro Eugenio Aramburu Silveti) ආජන්ටිනාවේ ජනාධිපති සේ කටයුතු කරනවා. 

හමුදා කුමන්ත්‍රණය හරහා බලය ලබා ගන්නා පේද්රෝ අරම්බුරුගේ ආණ්ඩුවට බටහිර රටවල හොඳහිත අවශ්‍ය වෙනවා. ඔහු බලය තහවුරු කරගත් සැණින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ සාමාජිකත්වය සඳහා අයදුම් කරනවා. ඒ වන විට ආජන්ටිනාව මේ ලෝක සංවිධාන වල සාමාජිකත්වය ලබා ගෙන නැහැ. හමුදා කුමන්ත්‍රණයෙන් වසරකට පසුව 1956 සැප්තැම්බර් 20 වෙනිදා ආජන්ටිනාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකත්වය ලබා ගන්නවා. එතැන් සිට 21 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගෙන තිබෙන ආජන්ටිනාව ඒ අතින් ලංකාවට වඩා ඉදිරියෙන් ඉන්න රටක්. ඒක වෙනම කතාවක් නිසා පැත්තකින් තියමු. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකත්වය ලබා ගන්න කලින්, ඒ සඳහා වන කොන්දේසියක් විදිහට, ආජන්ටිනාවේ ආණ්ඩුවට තමන් විසින් ඒ වෙද්දී අරගෙන තිබෙන විදේශ ණය ආපසු ගෙවන පිළිවෙළ ගැන සහතිකයක් දෙන්න අවශ්‍ය වෙනවා. මේ ගැන කතා කරගෙන එකඟතාවයකට පැමිණීම සඳහා ආජන්ටිනාව විසින් තමන්ගේ ප්‍රධාන ණයහිමියන්ට ආරාධනා කරනවා. ඒ අනුව, ආජන්ටිනාවේ ප්‍රධාන ණය හිමියන් වූ රටවල් 11ක නියෝජිතයින් පැරිස් නුවරදී රැස් වෙනවා. ඕක තමයි පැරිස් සංසදයේ ආරම්භය.

ණයහිමියන්ගේ මේ රැස්වීම සංවිධානය කරන්නේ ප්‍රංශයේ ආර්ථික කටයුතු ඇමති විසින්. 1956 මැයි 14-16 දින තුන තුළ මෙම සමාරම්භක රැස්වීම පැවැත්වෙනවා. ඔය එකතුව තමයි පසුව ණයහිමියන්ගේ පැරිස් සංසදය විදිහට පරිණාමය වෙන්නේ. 

මේ වන විට පැරිස් සංසදයේ ස්ථිර සාමාජිකයින් ගණන 22ක්. ඒ, ඕස්ට්‍රේලියාව, ඔස්ට්‍රියාව, බෙල්ජියම, බ්‍රසීලය, කැනඩාව, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, අයර්ලන්තය, ඊශ්‍රායලය, ඉතාලිය, ජපානය, දකුණු කොරියාව, නෙදර්ලන්තය, නෝර්වේ, රුසියාව, ස්පාඤ්ඤය, ස්වීඩනය, ස්විට්සර්ලන්තය, එක්සත් රාජධානිය හා ඇමරිකා එක්සත් ජනපදයයි. මසකට වරක් පැරිස් නුවරදී පැවැත්වෙන මේ ස්ථිර සාමාජිකයින්ගේ රැස්වීමට ඔවුන්ගේ ආරාධනය මත වෙනත් රටවලටද සහභාගී විය හැකියි. චීනය හා දකුණු අප්‍රිකාව වැනි රටවල් රැස්වීම් වලට එසේ සහභාගී වී තිබෙනවා. 

පසුගිය වසර 66ක කාලය තුළ පැරිස් සංසදය විසින් ණයගැති රටවල් 102ක් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම් 478ක් සිදු කර තිබෙනවා. ප්‍රතිව්‍යුහගත කර ඇති මුළු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 612ක්. පසුගිය 2021 වසර අවසන් වන විට ණයගැති රටවල් විසින් ඩොලර් බිලියන 334ක ණය ප්‍රමාණයක් පැරිස් සංසදයේ රට වලට ගෙවිය යුතුව තිබුණා.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම් ගැන මීට පෙර ලංකාවේ ලොකු කතාබහක් ඇති වී නැහැ. එහෙත්, පැරිස් සංසදය විසින් මීට පෙරද ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සිදු කර තිබෙනවා. සුනාමියෙන් පසුව සිදු කළ ණය ප්‍රතිව්‍යුහගත කිරීම එවැනි අවස්ථාවක්. පැරිස් සංසදයේ රටක් සමඟ නොවුනත්, හම්බන්තොට වරාය හැදීමට චීනයෙන් ලබාගත් ණයද ලංකාව විසින් ප්‍රතිව්‍යුහගත කර තිබෙනවා. 

ලංකාවේ මේ මොහොතේ ණය වලින් පැරිස් සංසදයේ රටවල ණය ප්‍රමාණය විශාල ප්‍රමාණයක් නෙමෙයි. එහෙත්, හේතු ගණනාවක් නිසා ලංකාව පැරිස් සංසදය සමඟ ඇති කරගන්නා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවය ඉතාම වැදගත්. එක පැත්තකින්, මේ කණ්ඩායමේ ඉන්නේ ලෝක දේශපාලනය තීරණය කරන ලොක්කෝ ටික. ඒ වගේම ජාත්‍යන්තර සංවිධාන පාලනය කරන නූල් ටික තියෙන්නෙත් මේ කණ්ඩායම අතේ. (මීට පිටින් ඉන්න චීනයත් ලොක්කෙක් තමයි!) දෙවනුව, ලංකාවේ ණය වලින් බාගයක් පමණ වාණිජ ණය වුවත් අදාළ ණයහිමියන් බොහෝ දෙනෙක් ඉන්නේද පැරිස් සංසදයේ රටවලයි. ඒ රටවල රජයයන් සමඟ ඇති කර ගන්නා එකඟතාවය වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීම කෙරෙහිද බලපෑමක් කරනවා. 

පැරිස් සංසදයේ දත්ත අනුව, 2021 අවසානයේදී ලංකාව පැරිස් සංසදයේ රටවලට ඩොලර් මිලියන 4,266ක් ණයයි. ලංකාවේ දත්ත අනුව, 2022 ජූනි අවසානයේදී මෙම ණය ප්‍රමාණය ඩොලර් මිලියන 4,780ක්. එයින් ඩොලර් මිලියන 2,741ක්ම ණය ජපානයටයි. මෙයට සාපේක්ෂව, පැරිස් සංගමයෙන් පිටත සිටින චීනයට ගෙවිය යුතු ණය ප්‍රමාණය ඩොලර් මිලියන 7,324ක්. 

පැරිස් සංගමය කියන්නේ ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙන් කිසියම් ජාත්‍යන්තර සම්මුතියක් හෝ ප්‍රඥප්තියක් හරහා පිහිටුවා ගනු ලැබූ නෛතික ආයතනයක් නෙමෙයි. ඇත්තටම කියනවානම් පැරිස් සංගමය කියා ආයතනයක් නැහැ. එය ආයතනයක් නොවන ආයතනයක්!

පැරිස් සංගමය එහි සාමාජිකයින්ගේ අවධිමත්, ලිහිල් එකතුවක් පමණයි. පැරිස් සංගමයේ තීරණ ක්‍රියාත්මක වන්නේ තනිකරම සම්මුතිය හා අන්‍යෝන්‍ය විශ්වාසය මතයි. කෙසේ වුවත්, වසර 66ක් මෙම ආකෘතිය "වැඩ කර" තිබෙනවා. පැරිස් සංගමය පිහිටුවීමේ අරමුණ මෙම ණයහිමි රටවලට ලැබිය යුතු ණය කාර්යක්ෂම සේ අය කර ගැනීම මිසක් ණයගැති රටවලට සහන දීම නෙමෙයි. එවැන්නක් සිදුවේනම් එය අතුරු ප්‍රතිඵලයක් පමණයි.

පැරිස් සංගමය ක්‍රියාත්මක වන ප්‍රධාන මූලධර්ම හයක් තිබෙනවා.

1. සහයෝගීතාවය (Solidarity) - සියලුම සාමාජිකයින් කණ්ඩායමක් ලෙස මිස තනි තනිව ණයගැති රට සමඟ ගනුදෙනු නොකිරීම 

2. සම්මුතිය (Consensus) - සෑම සාමාජික රටකම එකඟත්වයෙන් පමණක් තීරණ ගැනීම. මේ අනුව, ඕනෑම එක් සාමාජික රටකට තීරණයක් ආපසු හැරවිය හැකියි.

3. සාමාජික රටවල් අතර තොරතුරු හුවමාරු කර ගැනීම (Information sharing) 

4. පොදු රාමුවක සිර නොවී, එක් එක් ණයගැතියා හා අදාළව වෙන වෙනම තීරණ ගැනීම (Case by case) 

5. කොන්දේසි යටතේ පමණක් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ආරම්භ කිරීම (Conditionality) - පිළිගත හැකි සාර්ව ආර්ථික වැඩ පිළිවෙලක් ඉදිරිපත් කිරීම හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවකට පැමිණ සිටීම මෙන්ම මීට පෙර ඇති කරගත් එවැනි වැඩ පිළිවෙළවල් ක්‍රියාත්මක කර තිබීමද මෙහිදී සලකා බැලෙනවා.

6. සමාන ලෙස සැලකීම (Comparability of treatment) - මෙම මූලධර්මය අනුව පැරිස් සංසදයේ සාමාජිකයින් සමඟ ඇතිකරගත් එකඟතාවයට වඩා වාසිදායක එකඟතාවයකට පැමිණීමට අනෙක් ණයහිමියන්ට ඉඩක් නොලැබිය යුතුයි. 

මේ මූලධර්ම අතරින් වඩාත්ම මතභේදාත්මක මූලධර්මය සේ සැලකිය හැක්කේ අවසන් එකයි. ඒ හරහා, පැරිස් සංසදයෙන් පිටත සිදුවන සියලු ණය ප්‍රතිව්‍යුහගත කිරීම්ද පාලනය කෙරෙනවා. උදාහරණයක් ලෙස පැරිස් සංසදය 50%ක ණය කපා හැරීමකට එකඟ වුවහොත්, චීනයද අනිවාර්යයෙන්ම 50%ක් ණය කපා හැරිය යුතුයි. 

මෙහෙම කිවුවත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් යන්නෙන් ණය කපා හැරීමක් අදහස් වන්නේ නැහැ. ණය ප්‍රතිව්‍යුහගත කිරීම් පහත පරිදි වර්ග කළ හැකියි.

1. ණය සේවා කාලය දිගු කිරීම- මෙහිදී ණය වාරික කුඩා වන නමුත් ණය ප්‍රමාණය අඩු වන්නේ නැහැ. කාලය දිගු වන නිසා ඇත්තටම වෙන්නේ පොලී වියදම් වැඩි වීමක්.

2. ණය සමා කාලයක් ලබා දීම - මෙහිදී කිසියම් නිශ්චිත කාලයක් යන තුරු ණය වාරික ආපසු ගෙවීම අත්හිටවන නමුත් ඉන් පසුව එකතු වූ අමතර පොලියද සමඟ ණය වාරික ගෙවිය යුතුයි.

3. පොලී සහනයක් ලබා දීම - මෙහිදී ණය මුදල අඩු නොවන නමුත් ගෙවිය යුතු පොලී මුදලෙන් යම් කොටසක් කපා හැරෙනවා.

4. ණය සහනයක් ලබා දීම - මෙහිදී ණය මුදලෙන් යම් කොටසක් කපා හැරෙනවා. 

ඉහත අවස්ථා හතරෙන් මුල් දෙක සැලකෙන්නේ සහනදායී නොවන ණය ප්‍රතිව්‍යුහගත කිරීම් ලෙසයි. සහනයක් ලැබෙන්නේ අවසන් අවස්ථා දෙකේදී පමණයි. අංක 4 වැනි පහළ මට්ටමක ණය ප්‍රතිව්‍යුහගත කිරීමකදී ඊට ඉහළ මට්ටම් වල ඇති වාසිද බොහෝ විට ලැබෙනවා. 

මා පෙර කී පරිදි හා ඉහත අංක 5 මූලධර්මය අනුව, ලංකාව පැරිස් සංසදය හා ණය ප්‍රතිව්‍යුහගත කිරීම් ආරම්භ කිරීමට පෙර සාර්ව ආර්ථික වැඩ පිළිවෙළක් සකස් කර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ලබා ගත යුතුයි. මේ වන විට එය සිදු වී තිබෙනවා. එම වැඩ පිළිවෙළ තුළ රටේ ආර්ථිකය ස්ථායී කිරීම සඳහා අවශ්‍ය වන අවම අරමුදල් ප්‍රමාණය (financing gap) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් හඳුනාගෙන සහතික කළ යුතුයි. ඒ කියන්නේ, අවම වශයෙන් මෙපමණ කාලයකට මෙපමණ ණය ප්‍රමාණයක් නොගෙවා සිටියොත් පමණක් ආර්ථිකය නැවත ස්ථාවර කළ හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පෙන්වා දිය යුතුයි.

ඒ හැර, ණයගැති රටට වෙනත් කළ හැකි දෙයක් නොතිබිය යුතුයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු වන්නේ ඒ තත්ත්වය තුළ පමණයි. ඒ කියන්නේ, රටේ ආර්ථිකය ස්ථායී කිරීම සඳහා අදාළ රටට කළ හැකි ප්‍රතිසංස්කරණ අනිවාර්යයෙන්ම කළ යුතුයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු වන්නේ ඒ සියල්ල කිරීමෙන් පසුවද ඉතිරි වන මූල්‍ය පරතරය (financing gap) පියවා ගැනීමට උදවුවක් ලෙස පමණයි.

මෙහිදී පැරිස් සංසදය විසින් අනුගමනය කරන රීති කිහිපයක් තිබෙනවා. විශේෂ හේතුවක් නැත්නම් අදාළ වන්නේ සාමාන්‍ය රීති මාලාවයි (Classic terms). ඊට වඩා සහනදායී කොන්දේසි යටතේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සලකා බැලෙන්නේ පහළ මැදි ආදායම් කාණ්ඩයේ හෝ ඊටත් වඩා පහළින් සිටින රටවල් හා අදාළව පමණයි. අධික ණය බරෙන් පීඩා විඳින පහළ මැදි ආදායම් කාණ්ඩයේ රටවල් සඳහා හූස්ටන් රීති මාලාව (Houston terms) යොදා ගැනෙනවා. 

ලංකාව සඳහා හූස්ටන් රීති මාලාව යොදා ගත හැකි වෙයිද?

මෙය තීරණය කෙරෙන්නේ නිර්ණායක තුනක් මතයි. අඩු වශයෙන් පහත කොන්දේසි තුනෙන් දෙකක් සැපිරේනම් හූස්ටන් රීති මාලාව යොදා ගත හැකියි.

පළමු නිර්ණායකය - ඒක පුද්ගල ආදායම ඩොලර් 2995ට වඩා අඩුවීම 

දෙවන නිර්ණායකය - අධික ණයගැති භාවය 

තෙවන නිර්ණායකය - ද්වි පාර්ශ්වික ණය ප්‍රමාණය අඩු වශයෙන් වාණිජ ණය ප්‍රමාණය මෙන් 150% ගුණයක් වීම 

දෙවන නිර්ණායකය වන අධික ණයගැති භාවය සම්පූර්ණ වීමටනම් පහත කොන්දේසි තුනෙන් දෙකක් සම්පූර්ණ විය යුතුයි.

1. දදේනි අනුපාතයක් ලෙස ණය ප්‍රමාණය 50% ඉක්මවීම 

2. අපනයන ආදායම් වල ප්‍රතිශතයක් ලෙස ණය ප්‍රමාණය 275% ඉක්මවීම 

3. ණය සේවා ප්‍රමාණය අපනයන ආදායම් වලට වඩා 30%කින් වැඩිවීම 

මේ කොන්දේසි තුනෙන් පළමු දෙක සැපිරෙන බැවින් ලංකාවට දෙවන නිර්ණායකය වන අධික ණයගැති භාවය පහසුවෙන් පෙන්විය හැකියි. එහෙත්, ලංකාවේ වාණිජ ණය ප්‍රමාණය ද්වි පාර්ශ්වික ණය ප්‍රමාණය මෙන් දෙගුණයකටත් වැඩි නිසා තෙවැන්න කෙසේවත් පෙන්විය නොහැකියි. එවිට ඉතිරි වන්නේ පළමු නිර්ණායකයයි.

ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 2995ට වඩා අඩුනම් හූස්ටන් රීති මාලාව අනුව ණය ප්‍රතිව්‍යුහගත කරන මෙන් ඉල්ලීමක් කළ හැකියි. එසේ නැත්නම්, අදාළ වන්නේ සාමාන්‍ය රීති මාලාවයි. ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 2,995 ආසන්නයේ ඇති නිසා විණිමය අනුපාතයේ හා උද්ධමනයේ සිදු වන පොඩි එහා මෙහා වීම් මත පහළ කාණ්ඩයට වැටෙන්න පුළුවන්. එසේ වුනොත්, මේ වෙලාවේ එහි වාසියක් තිබෙනවා.

සාමාන්‍ය රීති මාලාව යොදා ගැනීම සඳහා එතරම් ලොකු කොන්දේසි නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වූ සාර්ව ආර්ථික වැඩ පිළිවෙලක් තිබීම හා අතීතයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සහයෝගයෙන් කටයුතු කර තිබීම වැනි දෑ ඒ සඳහා ප්‍රමාණවත්. දැනට පැරිස් සංගමය විසින් ණය ප්‍රතිව්‍යුගත කිරීම් කළ රටවල් 102ක් අතරින් රටවල් 61ක් සඳහාම යොදා ගෙන තිබෙන්නේ මේ සාමාන්‍ය රීති මාලාවයි. රටවල් 21ක් සඳහා හූස්ටන් රීති මාලාව යොදාගෙන තිබෙනවා. 

ණය ප්‍රතිව්‍යුගත කිරීම සඳහා සාමාන්‍ය රීති මාලාව යොදා ගනු ලැබුවහොත් ණය හෝ පොලිය කපා හැරීමක් සිදු වන්නේ නැහැ. ඉහත පළමු හා දෙවන වර්ගීකරණ යටතේ ඇති පරිදි සමා කාලයක් ඇතිව හෝ නැතිව ණය ආපසු ගෙවීමේ කාලයේ කල් යාමක් පමණක් සිදුවන අතර මෙහිදී එම වැඩි වන කාලය වෙනුවෙන් පොලී වියදම් වැඩි වීමක් පමණක් නොව පොලී අනුපාතික වල වැඩිවීමක්ද සිදු වෙනවා. මුලින් ණය ලබා ගැනීමේදී එකඟ වූ සහන පොලිය වෙනුවට ඒ වෙලාවේ පවතින වෙළඳපොළ පොලිය ආදේශ වීම එයට හේතුවයි. 

හූස්ටන් රීති මාලාව යටතේ මේ අයුරින් පොලී අනුපාතික ඉහළ යන්නේ නැහැ. මුලින් ණය ලබාගත් පොලී අනුපාතික වලටම දිගටම පොලී ගෙවාගෙන යා හැකියි. එහෙත්, එහිදීද, කාලය දිගු වන නිසා පොලී වියදම් වැඩි වීමක් වෙනවා. මේ රීති මාලාව යටතේ ණයහිමි රටවලට ඔවුන්ගේ කැමැත්ත පරිදි ණය වෙනුවට වෙනත් වත්කම් හුවමාරු කරගත හැකියි. 

පැරිස් සංසදය සමඟ සිදු කරන ණය ප්‍රතිව්‍යුහගත කිරීමකදී ලංකාවට අපේක්ෂා කළ හැකි හොඳම තත්ත්වය හූස්ටන් රීති මාලාව යටතේ සලකා බලනු ලැබීමයි. ඒ තත්ත්වය ය‍ටතේ වුවද ණය හෝ පොලී වියදම් වල අඩු වීමක් වෙන්නේ නැහැ. වසර දෙක තුනකට ණය නොගෙවා සිටීමේ අවස්ථාවක් ලැබෙන්න පුළුවන්. එහෙත්, ඉන් පසුව, එම කාලය සඳහා එකතු වන පොලියද සමඟ ණය වාරික ආපසු ගෙවන්නට සිදු වෙනවා. ඒ කාලය රටේ ආර්ථිකය හරි පාරට දමා ගැනීම සඳහා ලැබෙන පොඩි විවේක කාලයක් පමණයි. 

පැරිස් සංසදය එකඟ වන්නේ මේ ආකාරයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමකටනම්, ඉන්දියාවට හෝ චීනයට එම කොන්දේසි වලට එකඟ වීම අමාරු වෙන එකක් නැහැ. 2019 මැයි 6 දින සිට නිරීක්ෂකයෙකු ලෙස පැරිස් සංසදයේ රැස්වීම් වලට සහභාගී වන ඉන්දියාවට පැරිස් සංසදයේ ස්ථිර සාමාජිකයෙකු වීමේ අභිප්‍රාය ඇති නිසා කොහොමටත් ලංකාව හා අදාළව පැරිස් සංසදයේ රටවල් හා සම්මුතියෙන් කටයුතු කිරීමට ඉඩ තිබෙනවා. චීනයට වුවත් එසේ නොකිරීමට හේතුවක් නැහැ. මුලින් ලංකාවට ණය දුන් පොලී අනුපාතික යටතේම වැඩි කාලයක් පොලී අය කිරීම චීනයට පාඩුවක් නෙමෙයි. ඒ නිසා, ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම් ලබන වසර මුලදී අවසන් වීමට විශාල ඉඩකඩක් තිබෙනවා. 

Monday, October 3, 2022

ආර්ථිකය යළි ස්ථාවර කිරීම


පසුගිය සැප්තැම්බර් 23 දින ලංකාවේ ණයහිමියන් සමඟ අන්තර්ජාලය හරහා පැවැත්වූ සාකච්ඡාවේදී ඉදිරිපත් කර තිබුණු ශ්‍රී ලංකාව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟත්වය ලබා ගෙන තිබෙන ආර්ථික ස්ථායීකරණ වැඩ පිළිවෙළෙහි ප්‍රමුඛ ආර්ථික නිර්ණායක ඉලක්ක කිහිපයක් ගැන පෙර ලිපියෙහි විස්තර කළා. කෙසේ වුවද, බොහෝ දෙනෙකු බලා සිටින, එක් වැදගත්ම නිර්ණායකයක් ගැන තොරතුරු එළියට දමා තිබුණේ නැහැ. ඒ විණිමය අනුපාතයේ අපේක්ෂිත හැසිරීමයි. ඒ ගැන වැඩි විස්තර එළියට නොදමන්නට හේතුව අපැහැදිලි නැහැ. 

සාර්ව ආර්ථික වැඩ පිළිවෙළ තුළ විණිමය අනුපාතයේ අපේක්ෂිත හැසිරීම ගැන විස්තර එළි දක්වා නැත්තේ එසේ කිරීම හානිකර නිසා විය යුතුයි. මෙවැනි තොරතුරකට විණිමය අනුපාතය ක්ෂණිකව ප්‍රතිචාර දක්වනවා. එහෙත්, ආර්ථික වර්ධනය, උද්ධමනය, ගෙවුම් ශේෂය හෝ ප්‍රාථමික අයවැය ශේෂය සම්බන්ධ අපේක්ෂිත ඉලක්ක ප්‍රසිද්ධ කිරීමේ එවැනි අවදානමක් නැහැ. මේ විචල්‍යයන්ගේ හැසිරීම දවසකින් දෙකකින් වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම, කිහිප දෙනෙකුගේ ක්‍රියාවන් නිසා වෙනස් වෙන්නේත් නැහැ. 

මගේ පෞද්ගලික අදහසනම් මේ සාර්ව ආර්ථික වැඩ පිළිවෙළ යතාර්ථවාදී එකකට වඩා සුබවාදී එකක් බවයි. එහෙත්, මනෝරාජික වැඩ පිළිවෙළක් නෙමෙයි. මෙහි තිබෙන ඉලක්ක සාක්ෂාත් කර ගත නොහැකි ඒවා නොවූවත්, ඒ සඳහා විශාල කැප වීමක් අවශ්‍ය වෙනවා. 

පෙර ලිපියේ තිබෙන සංඛ්‍යාලේඛණ ඇසුරෙන් අප‍ට රජය විසින් ප්‍රසිද්ධ කර නැති තවත් සංඛ්‍යාලේඛණ කිහිපයක් අපෝහනය කර ගත හැකියි. ඒ සඳහා, බරපතල උපකල්පන කරන්න අවශ්‍ය නැහැ. 

පසුගිය 2021 වසරේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය කොපමණද කියා අපි දන්නවා. එම සංඛ්‍යාව පාදක කර ගනිමින් හා අපේක්ෂිත උද්ධමනය හා ආර්ථික වර්ධනය සමඟ ගලපමින් අපට 2027 දක්වා ඉදිරි වසර කිහිපය තුළ වැඩ සටහන තුළ අපේක්ෂිත ලංකාවේ නාමික දළ දේශීය නිෂ්පාදිතය ගණනය කළ හැකියි. 

නාමික දළ දේශීය නිෂ්පාදිතය (රුපියල් බිලියන)

2021 - 16,809

2022 - 22,744

2023 - 28,658

2024 - 30,833

2025 - 33,501

2026 - 36,300

2027 - 39,297

සංඛ්‍යාලේඛණ තුළ දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයක් ලෙස ප්‍රාථමික අයවැය ශේෂය සඳහන්ව ඇති නිසා අප‍ට ඉදිරි වසර වලදී ලඟා කර ගැනීමට අපේක්ෂිත ප්‍රාථමික අයවැය ශේෂයන්ද ඇස්තමේන්තු කළ හැකියි. 

ප්‍රාථමික අයවැය ශේෂය (රුපියල් බිලියන)

2022 - (-910)

2023 - (-201)

2024 - 247

2025 - 771

2026 - 835

2027 - 904

ඉලක්ක පැහැදිලියි. පැහැදිලි නැත්තේ මේ ඉලක්ක ළඟා කර ගන්න යන්නේ කොහොමද කියන එකයි. මේ වසරේ රුපියල් බිලියන 910ක් වන අයවැය හිඟය (-අයවැය ඇස්තමේන්තු වල ඇති ගණන මෙයම නොවුනත් මේ ගණනට ආසන්නයි-) ඉදිරි 2023 වසර වන විට රුපියල් බිලියන 201 දක්වා රුපියල් බිලියන 709කින් අඩු කළ යුතුයි. ඒ සඳහා, කොපමණ වියදම් කපනවාද? කොපමණ ආදායම් වැඩි කර ගන්නවාද? අදාළ ඉලක්ක ප්‍රායෝගිකද? මේවා ප්‍රශ්න.

ප්‍රශ්නය එතැනින් කෙළවර වෙන්නේ නැහැ. 2023ට සාපේක්ෂව 2024 වන විට ප්‍රාථමික අයවැය හිඟය තවත් රුපියල් බිලියන 448කින් අඩු කර ගැනීමට නියමිතයි. ඉන් පසු, 2025 වන විට තවත් රුපියල් බිලියන 524කින් අඩු කර ගත යුතුයි. මෙවැනි ඉලක්ක කරා යන්නනම් දැවැන්ත බදු ප්‍රතිසංස්කරණ අවශ්‍ය වෙනවා. ප්‍රාථමික අයවැය හිඟය ලොකුවටම අඩු කෙරෙන්නේ 2023දී නිසාත්, 2023 අයවැය ඉදිරිපත් කෙරෙන්නට වැඩි කාලයක් නැති නිසාත් අපට මේ ගැන ඉක්මණින්ම දැනගන්න පුළුවන් වෙයි.

සංඛ්‍යාලේඛණ තුළ දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයක් ලෙස ජංගම ගිණුම් ශේෂයද  සඳහන්ව තිබෙනවා. ඒ අනුසාරයෙන්  අප‍ට ඉදිරි වසර වලදී ලඟා කර ගැනීමට අපේක්ෂිත ජංගම ගිණුම් ශේෂයන්ද ඇස්තමේන්තු කළ හැකියි. 

ජංගම ගිණුම් ශේෂය (රුපියල් බිලියන)

2022 - (-773)

2023 - (-573)

2024 - (-555)

2025 - (-603)

2026 - (-653)

2027 - (-707)

මේ ගණන් තිබෙන්නේ රුපියල් වලින්. විණිමය අනුපාතය ගැන සඳහනක් නැති නිසා අපට මෙම ගණන් ඩොලර් කළ නොහැකියි. එසේ කළ හැක්කේ උපකල්පිත විණිමය අනුපාතයක් යොදා ගනිමින් පමණයි. දැන් යන විදිහට මේ වසර අවසන් වන විට ඩොලරයක මිල විශාල ලෙස වෙනස් වී තිබීමේ ඉඩක් පෙනෙන්න නැහැ. ඒ නිසා, අපි අද නිල විණිමය අනුපාතය අනුව යමින් රුපියල් 363 බැගින් ඉහත 2022 ජංගම ගිණුම් හිඟය රුපියල් කරමු.

මේ අයුරින් ඩොලර් කළ විට 2022දී ජංගම ගිණුමේ හිඟය ඩොලර් මිලියන 2,130ක්. වසරේ පළමු මාස හය තුළ ජංගම ගිණුම් හිඟය මේ වන විටද ඇස්තමේන්තු කර තිබෙනවා. එය ඩොලර් මිලියන 1,829ක්. ඒ අනුව, අවසන් මාස හයේ ජංගම ගිණුම් හිඟය ඩොලර් මිලියන 300ක් පමණ මට්ටමක පවත්වා ගතහොත් මෙම ඇස්තමේන්තුව නිවැරදි වෙනවා. එය විය හැක්කක්. 

ඉදිරි වසර තුළ ඩොලරයක මිල පවතින මට්ටමේම තියෙයිද? මම එසේ සිතන්නේ නැහැ. එසේ තිබේයැයි අපි නිකමට මෙන් හිතමු. එහෙම වුනොත්, 2023 ජංගම ගිණුමේ හිඟය ඩොලර් මිලියන 1,579ක්. ඩොලරයක මිල රුපියල් 450ක් වුනොත්, මෙම හිඟය ඩොලර් මිලියන 1,274 දක්වා අඩු වෙනවා. වෙනස ඩොලර් මිලියන 305ක් පමණයි. 

වෙනත් විදිහකින් කිවුවොත් ඉදිරි වසර තුළ ඩොලර් මිලියන 1,579ක් ණය ගත්තොත් ඩොලරය දැන් තිබෙන රුපියල් 363 මට්ටමේ තියා ගන්න පුළුවන්. එම මිල රුපියල් 450 මට්ටමේ තියා ගන්න වුනත් ඩොලර් මිලියන 1,274ක් ණය ගන්න අවශ්‍ය වෙනවා. 

මතක තියා ගන්න මේ කතා කරන්නේ ජංගම ගිණුම ගැන. ණය ආපසු ගෙවීමට කොහොමටත් අළුතෙන් ණය ගන්න වෙනවා. ඒ මීට අමතරව. හැබැයි ඔය කොහොම වුනත්, ඩොලර් මිලියන 1,274ක විදේශ ණය අළුතෙන් ගන්න පුලුවන්නම් තවත් ඩොලර් මිලියන 305ක් හොයා ගන්න එක ඒ තරම්ම අමාරු වැඩක් නෙමෙයි. ණය කියා කිවුවට ණය නොවන ආයෝජන, රාජ්‍ය දේපොළ විකිණීම් ආදිය මගින් ඔය ඩොලර් ප්‍රමාණයෙන් කොටසක් හොයා ගන්නත් පුළුවන්. ඒ සියල්ලම සටහන් වෙන්නේ මූල්‍ය ගිණුමේ.

මේ සියලු කරුණු එක්ක බැළුවහම වැඩ සටහනේ ඉලක්කය වන්නේ ඩොලරයක මිල දැනට පවතින මට්ටමට ආසන්න මට්ටමක තියා ගන්න එක කියන එකයි මගේ අදහස. අඩු වශයෙන් ලබන වසර තුළ. අඩු වෙන්නනම් කිසිම හේතුවක් නැහැ. ටිකක් හරි වැඩි වෙයි. හැබැයි ගොඩක් වැඩි වෙන එකක් නැහැ. මොකද ඩොලරයක මිල ගොඩක් වැඩි වුනොත් එය නැවත වරක් උද්ධමනය කෙරෙහිත් බලපානවා. 

සාමාන්‍යයෙන් ලංකාවට වසරකට සෘජු ආයෝජන යම් ප්‍රමාණයක් ලැබෙනවා. මේ වසරේ පළමු මාස හය තුළත් ඩොලර් මිලියන 440ක් ලැබී තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබන වසරේ ඩොලර් මිලියන 750ක් ලැබෙනවා කියා උපකල්පනය කළොත්, තව අඩු ඩොලර් මිලියන 800-850 වගේ ප්‍රමාණයක්නේ. ණය ප්‍රතිව්‍යුහගත කර ණය තිරසාරත්වය තහවුරු කළොත්, ඔය මුදල හොයා ගන්න එක අපහසු දෙයක් නෙමෙයි. බොහෝ විට ඔයිට වඩා වැඩි ඩොලර් ප්‍රමාණයක් මූල්‍ය ගිණුම හරහා රටට එයි. 

විසඳාගත යුතුව තිබෙන ප්‍රධාන ප්‍රශ්නය ණය වාරික ප්‍රශ්නය. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී බොහෝ විට ලංකාව විසින් උත්සාහ කරනු ඇත්තේ ණය කපා හැරීම වෙනුවට ණය ගෙවීම කල් දමා ගැනීමයි. ඊට අමතරව පොලී සැලකිය යුතු ලෙස අඩු කර ගැනීමයි. මේ විදිහේ ඉල්ලීමකට ණයහිමියන් ඉක්මණින් එකඟ වෙන්න ඉඩ තිබෙනවා. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියා කියන්නේ සමහර අය කියන විදිහට ලංකාවට කෙළවන්නම බලාගෙන ඉන්න යකෙක්, රකුසෙක් නෙමෙයි. ඒ වගේම, ලංකාව බේරගන්නම කැප වී සිටින ගැලවුම්කාරයෙකුත් නෙමෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලංකාව කියන්නේ තවත් එක් සාමාජික රාජ්‍යයක් පමණයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සාර්ව ආර්ථික වැඩ පිළිවෙළක් හදන්න දායක වෙද්දී එක පැත්තකින් ලංකාවේ මූල්‍ය ස්ථාවරත්වය ඇති කරන්න මහන්සි වෙනවා වගේම අනෙක් පැත්තෙන් ණයහිමියන්ගේ සල්ලි ටික ආපහු අරන් දෙන එක ගැනත් හිතනවා. ඒ කියන්නේ පොඩ්ඩක් කල් අරගෙන හරි ලංකාව විසින් ගත්ත ණය පිළිවෙළට ගෙවාගෙන යනු දැකීමේ අරමුණද මේ වැඩ පිළිවෙළ ඇතුළේ තියෙනවා. 

අපිට රහසක් වුනත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩ පිළිවෙළ ලෝකයේ ප්‍රධාන රාජ්‍යයන්ට රහසක් නොවෙන්න පුළුවන්. බොහෝ විට ඔය ගොඩක් රටවල නිල නොවන එකඟත්වයක් දැනටම ඇති. ඒ නිසා, ලබන වසරේ මුල් කාර්තුවේදී වැඩේ කෙරෙන්න සැලකිය යුතු ඉඩක් තිබෙනවා. බොහෝ විට, ඔලුව උස්සා ගන්නකම්, වසර දෙකකට පමණවත් ණය සහනයක් ලැබෙයි. පොලියත් ටිකක් අඩු වෙයි. හැබැයි ණය වලින් වැඩි ප්‍රමාණයක් පහුවෙලා හරි ගෙවන්න වෙයි. ඒ අතරවාරයේ විදේශ අංශයේ ප්‍රශ්නය තාවකාලිකව විසඳෙනු ඇති වුනත්, රාජ්‍යමූල්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ නොකරම බැරි වෙයි. 

දේශපාලනය පැත්තට ආවොත්, 2024 වන විට හෝ ඊටත් කලින් උද්ධමනය නැවත තනි ඉලක්කමකට ඇවිත්, ඩොලරයක මිල ස්ථාවර වෙලා, ආර්ථිකයත් යම් පමණකින් හෝ වර්ධනය වෙලා, පවතින ආණ්ඩුවට මැතිවරණයකට යාම සඳහා ප්‍රශස්තම තත්ත්වය ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒ වන විට ක්‍රියාත්මකව තිබිය යුතු බදු ප්‍රතිසංස්කරණ, පෞද්ගලීකරණය කිරීම් ආදිය නිසා ආණ්ඩුවේ ජනප්‍රියත්වය ඉහළ මට්ටමක නොතිබෙන්න පුළුවන්. එහි වාසිය අරගෙන, ලිහිල් රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තියක් වෙනුවෙන් පෙනී සිටිමින්, වෙනත් පක්ෂයක් ආණ්ඩුවක් පිහිටෙවුවොත්, ඒ ආණ්ඩුව හිර වෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ. මොකද ප්‍රතිව්‍යුහගත කිරීම් වලදී කල් දමා ගන්න ණය ආපසු ගෙවීම් කරන්න වෙන්නේ ඉන් පසුවයි. ඒ වැඩේ කරන්න පුළුවන් වෙන්නේ රාජ්‍යමූල්‍ය විනය දැඩි ලෙසම පවත්වා ගත්තොත් පමණයි. ආයෙත් පාරක් 2020දී කළා වගේ සෙල්ලම් දාන්න ගියොත් නවතින්නේ මේ වැටුනටත් වඩා ලොකු වලක. 

Thursday, September 29, 2022

ආර්ථික ස්ථායීකරණ වැඩ පිළිවෙළ


පසුගිය සිකුරාදා (සැප්තැම්බර් 23) දින ලංකාවේ ණයහිමියන් සමඟ අන්තර්ජාලය හරහා පැවැත්වූ සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟත්වය ලබා ගෙන තිබෙන ආර්ථික ස්ථායීකරණ වැඩ පිළිවෙළ පිළිබඳ කලින් ප්‍රකාශයට පත් කර නොතිබුණු අමතර තොරතුරු ඉදිරිපත් කර තිබෙනවා. මෙම තොරතුරු අනුසාරයෙන් ආර්ථික ස්ථායීකරණ වැඩ පිළිවෙළ පිළිබඳ වඩා පැහැදිලි චිත්‍රයක් මවා ගන්න පුළුවන්. ඊට අමතරව, එයටම සම්බන්ධ, ණය ප්‍රතිව්‍යුහකරණ වැඩ පිළිවෙළ පිළිබඳ ශ්‍රී ලංකාවේ අපේක්ෂාවන්ද මේ සාකච්ඡාවේදී ඉදිරිපත් කර තිබෙනවා. 

උද්ධමනය පාලනය කරන්න පුළුවන් වෙයිද?

ලංකාවේ ආර්ථික අර්බුදය ගැන කතා කරද්දී මේ වන විට ප්‍රධානම මාතෘකාවක් වී තිබෙන්නේ උද්ධමනයයි. පසුගිය අගෝස්තු මාසයේදී උද්ධමනය 70.2% මට්ටම දක්වා ඉහළ ගොස් තිබුණා. වසරේ පළමු මාස අටේ සාමාන්‍ය උද්ධමනය 41.3% මට්ටමේ තිබුණා. වැඩ පිළිවෙළෙහි ඇති ඇස්තමේන්තු අනුව, 2022 වසරේ සාමාන්‍ය උද්ධමනය 48.2% දක්වා ඉහළ ගොස්, 2023 වසරේදී 29.5% මට්ටම දක්වා අඩු වෙනවා. ඉන්පසු 2024 වසරේදී 6% දක්වා අඩු වී, 2027 දක්වා කාලය තුළ ක්‍රමක්‍රමයෙන් 5% මට්ටම දක්වා පහළ යනවා. 

උද්ධමන ඉලක්ක:

2022- 48.2%

2023 - 29.9%

2024 - 6.0%

2025 - 5.9%

2026 - 5.2%

2027 - 5.0%

මේ වසරේ පළමු මාස අටේ සාමාන්‍ය උද්ධමනය 41.3% වීම සැලකූ විට, වසරේ සාමාන්‍ය අගය 48.2% වීම සඳහා, අවසාන මාස හතරේ සාමාන්‍ය අගය 61.9% ,මට්ටමේ තිබිය යුතුයි. අගෝස්තු උද්ධමනය 70.2% වීම සැලකූ විට 48.2% ඇස්තමේන්තුව නිවැරදි වේයැයි මා සිතන්නේ නැහැ. දෙසැම්බර් වන විට උද්ධමනය 60-65% පමණ දක්වා අඩු විය හැකි වුවත්, ඉදිරි මාස හතරේ සාමාන්‍ය උද්ධමනය 65-70% පමණ මට්ට්කමවත් පවතිනු ඇති බව මගේ ඇස්තමේන්තුවයි. ඒ අනුව, 2022 වසරේ සාමාන්‍ය උද්ධමනය 50% ඉක්මවීමට ඉඩ තිබෙනවා. කෙසේ වුවත්, ඉහත ඇස්තමේන්තුවේ විශාල ඇස්තමේන්තු වරදක් පෙනෙන්නට නැහැ.

ලබන වසරේ සාමාන්‍ය උද්ධමනය 29.9% මට්ටම දක්වා රැගෙන ඒම නරක ඉලක්කයක් නෙමෙයි. වසර මුල උද්ධමනය 60-65% අතර තිබුණත්, වසර අවසාන වෙද්දී එම අගය 6% පමණ දක්වා අඩු කර ගත හැකිනම් සාමාන්‍ය අගය ඉහත මට්ටමට එනවා. තව දුරටත් සල්ලි අච්චු නොගසන්නේනම්, මේ වන විට අච්චු ගසා ඇති සල්ලි වල උද්ධමන බලපෑම ඉවත් වූ පසු ඉතා පහසුවෙන්ම ඉහත ඉලක්කය කරා යා හැකියි. කෙසේ වුවද, ඒ සඳහා විණිමය අනුපාතයද ස්ථාවර ලෙස තබා ගත යුතු වෙනවා. ස්ථාවරව තබා ගැනීම යනු එකතැන හිර කර තබා ගැනීම නෙමෙයි.

එළඹෙන 2023 වසර අවසාන වන විට උද්ධමනය 6% මට්ටම දක්වා පහත වැටේනම් එය වැඩි වන්නට නොදී, 2027 වන වට 5% මට්ටම දක්වා අඩු කර ගැනීම කළ හැක්කක්. කෙසේ වුවත්, ඒ සඳහා දිගින් දිගටම යම් ප්‍රමාණයකින් විදේශ ප්‍රාග්ධනය රටට ගලා ආ යුතුයි.

ආර්ථිකය නැවත ගොඩ යන්නේ කවදාද?

මේ වසරේදී 8.7%කින් හැකිලෙනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති දළ දේශීය නිෂ්පාදිතය ස්ථායීකරණ වැඩපිළිවෙළ යටතේ 2023දී තවත් 3.0%කින් හැකිළීමට නියමිතයි. ඉන්පසුව, 2024දී 1.5%කින්, 2025දී 2.6%කින්, 2026දී 3.0%කින් හා 2027දී 3.1%කින් ආර්ථිකය වර්ධනය වෙනවා. ඒ කියන්නේ, ඉදිරි වසර තුළ තව දුරටත් පහළ යාමෙන් පසුව, 2028 වන විට ලංකාවේ ආර්ථිකය නැවතත් 2018දී පැවති මට්ටමට පැමිණෙන බවයි. 

ආර්ථික වර්ධන ඉලක්ක:

2022  - (-8.7%) 

2023 - (-3.0%)

2024 - 1.5%

2025 - 2.6%

2026 - 3.0%

2027 - 3.1%

මෙය හොඳ මට්ටමක් නොවන සේ කෙනෙකුට පෙනෙන්න පුළුවන්. කෙසේ වුවත්, ප්‍රායෝගිකව මීට වඩා හොඳ ඉලක්කයක් කරා යන්න බැහැ. මෙය තමයි යථාර්ථවාදී ඉලක්කය. මේ අනුව, 2018-2028 දශකය ලංකාවට "අහිමි වූ දශකයක්" වෙනවා. ඉන් පසුවද, ආර්ථික වර්ධනය 3% මට්ටමෙන් ඉහළට ගැනීම වෙනම අභියෝගයක්. 

මේ ඉලක්ක වලට නිකම්ම යන්න පුළුවන්ද?

කිසිසේත්ම බැහැ. ඔය මට්ටමෙන් වැඩේ ගොඩ දාගන්න රාජ්‍ය අංශයේ දැවැන්ත ප්‍රතිසංස්කරණ අවශ්‍ය වෙනවා. ඉලක්ක සාක්ෂාත් කරගත හැකි වනු ඇත්තේ සැලසුම් කර ඇති පරිදි රජයේ ප්‍රාථමික හිඟය පහළ යන්නේනම් පමණයි. 2022දී දදේනියෙන් 4.0%ක් වූ ප්‍රාථමික හිඟය 2023දී දදේනියෙන් 0.7%ක් දක්වා අඩු කළ යුතුයි. ඉන් පසුව, 2024දී මෙය දදේනියෙන් 0.8%ක අතිරික්තයක් කර, 2025දී දදේනියෙන් 2.3%ක අතිරික්තයක් දක්වා ඉහළ දමා ගත යුතුයි. එම මට්ටම 2027 දක්වා (හා ඉදිරියට) නඩත්තු කළ යුතුයි. මේ සඳහා, රාජ්‍ය ආදායම් වැඩි කරගෙන වියදම් සීමා කළ යුතුයි. ඒ කොපමණ දුරකටද කියන එක පසුව විශ්ලේෂණය කරමු.

ප්‍රාථමික ශේෂය/ දදේනි ඉලක්ක:

2022  - (-4.0%) 

2023 - (-0.7%)

2024 - 0.8%

2025 - 2.3%

2026 - 2.3%

2027 - 2.3%

මෙහෙම කළොත් ඩොලර් ප්‍රශ්නය විසඳෙයිද?

මේ වසරේදී, එනම් 2022දී, දදේනියෙන් 3.4%ක් ලෙස පවතිනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන ජංගම ගිණුමේ හිඟය 2023දී දදේනියෙන් 2.0% දක්වාත්, 2024දී දදේනියෙන් 1.2% දක්වාත් අඩු කරගෙන ඉන්පසු එම මට්ටමේ පවත්වාගෙන යාම සැලසුමයි. ඒ කියන්නේ සැලසුම අනුව, දැනට වඩා අඩු වුවත්, ජංගම ගිණුමේ හිඟයක් දිගටම නඩත්තු වෙනවා. ඒ හිඟය පියවීම සඳහා දිගින් දිගටම විදේශ ණය අවශ්‍ය වෙනවා. 

ජංගම ගිණුම් ශේෂය/ දදේනි ඉලක්ක:

2022  - (-3.4%) 

2023 - (-2.0%)

2024 - (-1.8%)

2025 - (-1.8%)

2026 - (-1.8%)

2027 - (-1.8%)

අපේක්ෂා කරන විදිහට මේ විදේශ ණය ගන්න ලැබුණේ නැත්නම්, ඩොලරයේ මිල වැඩ සටහනේ සැලසුම් කර ඇති මට්ටමේ තියා ගන්න බැහැ. එහෙම බැරි වුනොත්, සැලසුම් කර ඇති පරිදි උද්ධමනය පාලනය කරන්නත් බැහැ. ඒ නිසා, 2027 වන තුරු (සහ ඉන් පසුවත්) වාර්ෂිකව යම් විදේශ ණය ප්‍රමාණයක් ගන්නම වෙනවා. ඊට අමතරව රජයේ අයවැය හිඟය පාලනය කරගෙන සල්ලි අච්චු නොගසා ඉන්නත් වෙනවා. 

මෙච්චර දඟලලත් අන්තිමට ඔච්චරද?

මා දකින විදිහට මෙහි තිබෙන්නේ දැන් ලංකාව වැටී සිටින තැන සිට යා හැකි උපරිම දුරයි. කටින් බතල වැඩ පිළිවෙළක් මිස, මීට වඩා හොඳ වැඩ පිළිවෙළක් හැදිය හැකියැයි මා සිතන්නේ නැහැ. ඇත්තටම ප්‍රශ්නය මේ වැඩ පිළිවෙළ වුවද ශුභවාදී (optimistic) වැඩ පිළිවෙළක් වීමයි. ශුභවාදී වුවත්, මෙය මනෝරාජික වැඩ පිළිවෙළක්නම් නෙමෙයි.

මේ වැඩ පිළිවෙළ යටතේ වුවද රාජ්‍ය ණය තිරසාරත්වයක් නැහැ. ඒ කියන්නේ, මේ ඉලක්ක වලට යමින් ණය ආපසු ගෙවන්න බැහැ. අපේක්ෂිත මට්ටමේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කරන්නම වෙනවා. එම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ණයහිමියන් එකඟ විය යුතුයි.

පසුගිය ජූනි අවසානය වෙද්දී ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය (මහ බැංකුවේ සහ රජයේ ඇප මත ලබාගෙන තිබෙන රාජ්‍ය ව්‍යවසාය වල ණයද සමඟ) ඩොලර් බිලියන 80.5ක්. 2021 දෙසැම්බර් අවසානයේදී මෙම ණය ප්‍රමාණය ඩොලර් බිලියන 100.9ක් වුවත්, ඩොලරයක මිල ඉහළ යාම නිසා ණය ප්‍රමාණය 20%කින් පමණ අඩු වී තිබෙනවා. 

ඉහත ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 46.6ක් විදේශ ව්‍යවහාර මුදල් වලින් ලබාගෙන ඇති ණයයි. දළ වශයෙන් එයින් බාගයක් පමණ වාණිජ ණය ලෙසත්, කාලක් පමණ ද්විපාර්ශ්වික ණය ලෙසත්, ඉතිරි කාල බහු පාර්ශ්වික ණය ලෙසත් වර්ග කළ හැකියි. මේ අතරින් ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඉදිරි මාස දෙක තුන තුළ සිදු වනු ඇති බව අපේක්ෂාවයි. ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කර, වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලකිය යුතු ප්‍රගතියක් පෙන්වීමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු ණය වාරිකය ලැබෙන්නට පුළුවන්. ලබන ජනවාරි පමණ වන විට මෙම පළමු වාරිකය ලබා ගැනීම ලංකාවේ අපේක්ෂාවයි.

Monday, September 26, 2022

උද්ධමනය හා ජීවන වියදම


උද්ධමනය කියන වචනය ගොඩක් අය තේරුම් ගන්නේ ජීවන වියදම වැඩි වීම විදිහට. එක කිට්ටුවෙන් යන දෙකක් වුනත්, මේ දෙක දෙකක්. 

ජීවන වියදම පුද්ගලයෙක්ට හෝ පවුලකට සාපේක්ෂ දෙයක්. එය එක් එක් පවුලේ ජීවන විලාසිතා අනුව පවුලෙන් පවුලට වෙනස් වන දෙයක්. ඒ වගේම ජීවත් වන තැන අනුවත් වෙනස් වෙනවා. ගමක ජීවත් වූ පවුලක් නගරයට පදිංචියට ආවොත් කලින් ජීවන විලාසිතාව ඒ විදිහටම පවත්වා ගන්න වුනත් බොහෝ විට වැඩි වියදමක් යනවා.

උද්ධමනය කියන්නේ මේ විදිහට පවුලෙන් පවුලට, තැනින් තැනට වෙනස් වන දෙයක් නෙමෙයි. උද්ධමනය කාටත් එකයි. එය මුදලේ අගය පිළිබඳ නිර්ණායකයක්. උද්ධමනය අර්ථ දක්වන එක ක්‍රමයක් වන්නේ "සාමාන්‍ය මිල මට්ටම" වැඩිවීම උද්ධමනය ලෙස සැලකීමයි. මේ සාමාන්‍ය මිල මට්ටමෙන් කිසිදු නිශ්චිත පුද්ගලයෙක්ගේ ජීවන වියදම නිරූපණය වෙන්නේ නැහැ. 

උද්ධමනයක් පවතිනවා කියන්නේ බඩු මිල සමස්තයක් ලෙස ඉහළ යනවා කියන එකයි. උද්ධමනය වැඩි වෙනවා කියන්නේ බඩු මිල ඉහළ යන වේගය වැඩි වීම. උද්ධමනය අඩු වෙනවා කියන්නේ අඩු වේගයකින් බඩු මිල ඉහළ යාම. අවස්ථා දෙකේදීම බඩු මිල ඉහළ යනවා. වෙනස් වන්නේ කොපමණකින්ද කියන එක පමණයි. බඩු මිල සමස්තයක් ලෙස අඩු වෙනවානම් එය හැඳින්වෙන්නේ අවධමනය ලෙසයි.

උද්ධමනය අඩු වීම කියන්නේ බඩු මිල අඩුවීම කියලා හිතන ගොඩක් අය ඉන්නවා. ඒ නිසාම, එවැනි අය උද්ධමනය අඩු වීම "මහ පොළොවේ" පෙනෙන්න නැති බව කියනවා. නමුත්, ඇත්තටම මහ පොළොවේ පෙනෙන්න නැත්තේ බඩු මිල අඩුවීමයි. එනම් අවධමනයයි. 70% මට්ටමේ තිබුණු උද්ධමනය 50% දක්වා අඩු වුනා කියන්නේ පෙර වසරේ අදාළ කාලයට සාපේක්ෂව බඩු මිල තව දුරටත් 50%කින් වැඩියි කියන එකයි. 

උද්ධමනය නිසා බඩු මිල ඉහළ යාම ජීවන වියදම ඉහළ යාමට හේතුවක්. ජීවන විලාසිතා වෙනස් වුවත් හැම දෙනෙකුටම වගේ උද්ධමනය අඩු වැඩි වශයෙන් බලපානවා. ප්‍රායෝගිකව මිනිස්සුන්ට දැනෙන්නේ උද්ධමනය නෙමෙයි. තමන්ගේ ජීවන වියදම ඉහළ යාම. උද්ධමනය කාටත් එකම වුනත්, ජීවන වියදම කෙරෙහි එහි බලපෑම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඒ නිසා, උද්ධමනය දැනෙන ආකාරය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. 

සමහර අයට උද්ධමනය දැනෙන්නේ සැබෑ උද්ධමනයට වඩා අඩුවෙන්. තවත් අයට එය වැඩියෙන් දැනෙනවා. එය තීරණය වන්නේ ජීවන විලාසිතා මතයි. "මහ පොළොවේ උද්ධමනය" සංඛ්‍යාලේඛණ වල තිබෙන ගාණට වඩා වැඩියි කියා කියන සමහර අය කියන්නේ බොරු නෙමෙයි. බොහෝ විට ඒ කියන්නේ තමන්ගේ ජීවන වියදම ඉහළ යාම ගැන. 

බඩු මිල ඉහළ යාමට හා ඒ හේතුව මත ජීවන වියදම ඉහළ යාමට එකම හේතුව උද්ධමනය නෙමෙයි. සමස්තයක් ලෙස සාමාන්‍ය මිල මට්ටම නොවෙනස්ව තිබියදී වුනත්, බඩු වල මිල ගණන් අඩු වැඩි වෙනවා. සමහර බඩු ගණන් යනවා. තවත් ඒවා අඩු වෙනවා. ඔය ඔක්කොම සමස්තයක් විදිහට ගත්තහම තමයි වෙනසක් නැත්තේ. දැන් මේ වගේ වෙලාවක වුනත් අර මිල ඉහළ යන බඩු වැඩියෙන් පරිභෝජනය කරන කෙනෙකුගේ ජීවන වියදම ඉහළ යනවා. නමුත්, එය උද්ධමනය නෙමෙයි. 

ජීවන වියදම ඉහළ යාම මනින එක අමාරු වැඩක් නෙමෙයි. ඕනෑම කෙනෙකුට ගණන් හිලවු තියා ගත්තොත් තමන්ගේ ජීවන වියදම ඉහළ යන හැටි හරියටම දැන ගන්න පුළුවන්. සමීක්ෂණ කරලා රටේ සාමාන්‍ය තත්ත්වය දැන ගන්නත් පුළුවන්. නමුත්, උද්ධමනය හරියටම මනින එක ඊට වඩා අමාරුයි.

උද්ධමනය කියා කියන්නේ "සාමාන්‍ය මිල මට්ටම" ඉහළ යාම කියලා කතාවට කිවුවත් ඔය "සාමාන්‍ය මිල මට්ටම" කියා කියන්නේ කුමක්ද? එය ආර්ථික විද්‍යාවේ එන වියුක්ත සංකල්පයක් පමණයි. "සාමාන්‍ය මිල මට්ටම" සෘජුව මනින්න බැහැ. එය ඇස්තමේන්තු කිරීම සඳහා කවර හෝ වක්‍ර ක්‍රමයක් අනුගමනය කරන්න වෙනවා. එවැනි නිර්ණායක, එහෙමත් නැත්නම් මිනුම්, ගණනාවක් තිබෙනවා. ඒවා වෙනස් වෙන්නේ  "සාමාන්‍ය මිල මට්ටම" අර්ථ දක්වන විදිහ අනුව.

"සාමාන්‍ය මිල මට්ටම" මනින ප්‍රචලිතම ක්‍රමය පාරිභෝගික මිල දර්ශකයක් යොදා ගැනීමයි. මෙහිදී මිල මට්ටම බලන්නේ පාරිභෝගිකයෙකුගේ දෘෂ්ඨි කෝණයෙන්. ඒ සඳහා, "සාමාන්‍ය" පාරිභෝගිකයෙකු අර්ථදක්වන්න වෙනවා. මේ ක්‍රමයට උද්ධමනය ඇස්තමේන්තු කරන්නේ එවැනි උපකල්පිත සාමාන්‍ය පාරිභෝගිකයෙකුගේ ජීවන වියදම වෙනස් වීම මත පදනම්වයි. ගොඩක් අයට උද්ධමනය හා ජීවන වියදම පැටලෙන්න හේතුවත් මෙයයි. මේ ක්‍රමයේදී ඉලක්ක මිනුම වන්නේ "සාමාන්‍ය" පාරිභෝගිකයෙකු විසින් මිල දී ගන්නා භාණ්ඩ හා සේවා පැසකට සාපේක්ෂව මුදලේ වටිනාකම වෙනස් වීමයි. 

මෙයට විකල්ප ලෙස ස්ටීව් හැන්කි විසින් යෝජනා කර තිබෙන ක්‍රමය අනුව ඩොලරයක කළුකඩ මිල "සාමාන්‍ය මිල මට්ටම" ලෙස සැලකෙනවා. එහිදී ඩොලරයක කළුකඩ මිලට සාපේක්ෂව රුපියලේ වටිනාකම නිර්ණය කෙරෙනවා. සංකල්පීය ලෙස ගත්තොත් මෙහි වරදක් නැහැ. එහෙත්, මෙය උද්ධමනය මනින සම්මත ක්‍රමයක් නෙමෙයි. ඒ වගේම පටු මිනුමක්. 

දළ දේශීය නිෂ්පාදිතයේ අවධමනකය උද්ධමනය මනින තවත් සම්මත මිනුමක්. මෙය වඩා නිවැරදි හා පුළුල් මිනුමක් ලෙස හැඳින්විය හැකියි. පාරිභෝගික මිල දර්ශකයක් මගින් "සාමාන්‍ය මිල මට්ටම" මැනීමේදී බලන්නේ පාරිභෝගිකයන්ගේ පැත්ත පමණයි. එහෙත්, දළ දේශීය නිෂ්පාදිතයේ අවධමනකය තුළ පාරිභෝගිකයින්ගේ පැත්තට අමතරව ආයෝජකයින්ගේ, නිෂ්පාදකයින්ගේ මෙන්ම රජයේ ගනුදෙනු සැලකිල්ලට ගැනෙනවා. 

නිෂ්පාදක මිල දර්ශකය උද්ධමනය මනින තවත් ක්‍රමයක්. එමගින් බලන්නේ නිෂ්පාදකයින්ට ලැබෙන මිල ගණන් වෙනස් වීම දෙසයි. 

පාරිභෝගික මිල දර්ශක යන සංකල්පය ගත්තත්, "සාමාන්‍ය" පාරිභෝගිකයෙකු අර්ථදක්වන ආකාරය අනුව මිනුම වෙනස් වෙනවා. 1953 සිට 2008 මැද දක්වාම ලංකාවේ භාවිතා වූ කොළඹ පාරිභෝගික මිල දර්ශකය පදනම් වුනේ 1952දී කොළඹ නාගරික ප්‍රදේශයේ ජීවත් වූ අඩු ආදායම්ලාභී පවුල් හාරසිය ගණනක සාමාන්‍ය පරිභෝජන රටාව මතයි. එහෙත්, 2008 වන විට රටේ සාමාන්‍ය පරිභෝජන රටාව විශාල ලෙස වෙනස් වී තිබුණා. උදාහරණයක් ලෙස අදාළ භාණ්ඩ හා සේවා පැසෙහි විශාල බරක් භූමිතෙල් වලට තිබුණත්, 2008 වන විට රටේ බොහෝ නිවෙස් ආලෝකමත් කළේ විදුලියෙන්. 

වඩා හොඳ "සාමාන්‍ය පාරිභෝගිකයෙකු" හොයා ගැනීමේ අරමුණෙන්, 2008දී කොළඹ පාරිභෝගික මිල දර්ශකය සංශෝධනය කෙරුණු අතර ඉන් පසුවද එම දර්ශකය කිහිප වරක්ම සංශෝධනය කෙරුණා. දැනට වුවත් මෙයින් නිරූපණය වන්නේ කොළඹ නාගරික ප්‍රදේශ වල ජීවත් වන සාමාන්‍ය පාරිභෝගිකයෙකුගේ වියදම් රටාවයි. ඉන් පසුව හඳුන්වා දුන් ජාතික පාරිභෝගික මිල දර්ශකයෙන් මුළු රටේම පාරිභෝගිකයින් නිරූපණය වෙනවා. 

උද්ධමනය මැනීම සඳහා භාවිතා කරන විවිධ නිර්ණායක වලින් ලැබෙන මිනුම් එකිනෙකට සමාන නැහැ. එයට හේතුව මේ හැම නිර්ණායකයක්ම "සාමාන්‍ය මිල මට්ටම" හෝ එහි වෙනස්වීම වන "උද්ධමනය" කියන වියුක්ත සංකල්ප මැනීම සඳහා යොදා ගැනෙන මිනුම් මිස "උද්ධමනය" නොවීමයි. නමුත්, ප්‍රායෝගිකව මෙය ප්‍රශ්නයක් නෙමෙයි. මේ හැම මිනුමකින් මෙන්ම බොහෝ විට එකම රටාව නිරූපණය වන අතර දිගුකාලීන හැසිරීම් වල විශාල වෙනස්කම් නැහැ. 

උද්ධමනය මනින්නේ ඇයි? සරලම පිළිතුර උද්ධමනය පාලනය කිරීම සඳහා කියන එකයි. උද්ධමනය පාලනය කළ හැක්කේ මුදල් සැපයුම පාලනය කිරීමෙන්. වඩා පුළුල් පිළිතුරක් ලෙස මුදල් ප්‍රතිපත්ති මගින්. එය කරන්නේ මහ බැංකුවයි.

රටක ජීවත් වන මිනිසුන්ගේ ජීවන තත්ත්වය තීරණය කරන්නේ මුදල් නෙමෙයි. ඔවුන්ට පරිභෝජනය කළ හැකි භාණ්ඩ හා සේවාවන් විසිනුයි. මුදල් ජීවන තත්ත්වය කෙරෙහි බලපාන්නේ භාණ්ඩ හා සේවා මිල දී ගැනීමේ හැකියාව හරහා පමණයි. 

වෙනත් විදිහකින් කිවුවොත් රටක මිනිසුන්ගේ ජීවන තත්ත්වය නිර්ණය කරන්නේ ඒ රටේ නිපදවන භාණ්ඩ හා සේවා ප්‍රමාණයයි. තනි පුද්ගලයෙක් හෝ පවුලක් ගත්තත් මේ කතාව මේ විදිහටම වලංගුයි.

ඉහත හේතුව නිසාම, සාමාන්‍ය මූලධර්මයක් ලෙස, රජයට මැදිහත් වී පුද්ගලයෙකුගේ ජීවන තත්ත්වය වඩා යහපත් කළ හැක්කේ තවත් පුද්ගලයෙකුගේ ජීවන තත්ත්වය පහත හෙළමින් පමණයි. බදු අය කර වියදම් කිරීමේදී සිදු වන්නේ මෙයයි. මෙහිදී බදු ගෙවන්නාගේ ජීවන තත්ත්වය අනිවාර්යයෙන්ම පහළ යනවා. රජය එම බදු මුදල් වියදම් කරන ආකාරය අනුව වෙනත් අයෙකුගේ ජීවන තත්ත්වය ඉහළ යනවා. රජය බැංකු නොවන අංශයකින් ණය ගැනීමේදී වෙන්නෙත් මෙයයි. මෙහිදී ණය දෙන්නාගේ මිල දී ගැනීමේ හැකියාව හා එමගින් ජීවන තත්ත්වයද පහළ යනවා.

රජය බැංකු අංශයෙන් ණය ගැනීමේදී ක්ෂණිකව කාගේවත් ජීවන තත්ත්වය පහළ යන්නේ නැහැ. මෙහිදී අලුතෙන් සංසරණයට එකතු වන සල්ලි කාගේ හෝ අත් වලට යනවා. එහෙත්, නිෂ්පාදනය වැඩිවීමක් නොවන නිසා වැඩි වූ මුදල් ප්‍රමාණයට අනුරූපව "සාමාන්‍ය මිල මට්ටම" ඉහළ ගොස් සමතුලිතතාවක් ඇති විය යුතුයි. උද්ධමනය යනු මේ කාර්යය කරන වෙළඳපොළ යාන්ත්‍රණයයි. 

රජය විසින් බදු ආදායම් හා බැංකු නොවන අංශ වලින් ණයට ගන්නා මුදල් වියදම් කරද්දී රටේ භාණ්ඩ හා සේවාවන් හා මුදල් ප්‍රමාණය අතර සමතුලිතතාවය වෙනස් වෙන්නේ නැහැ. බදු හෝ ණය ලෙස සල්ලි එකතු කර ගන්නා මොහොතේ මුදල් සැපයුම පහළ ගොස් මුදලේ වටිනාකම ඉහළ යනවා. එම සල්ලි වියදම් කරද්දී නැවත මුදලේ වටිනාකම පහත වැටෙනවා. මේ දෙකම එකවර සිදු වන නිසා මුදලේ වටිනාකමේ වෙනසක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ උද්ධමනයක් ඇති වෙන්නේ නැහැ. හැබැයි යම් පිරිසකගේ ජීවන තත්ත්වය පහත වැටෙනවා. ඒ කාගේද කියන එක තීරණය කරන්නේ රජයයි.

බදු සල්ලි වියදම් කරද්දී ජීවන තත්ත්වය අඩු කරන්නේ කාගේද, වැඩි කරන්නේ කාගේද කියන එක රජය විසින් තීරණය කරනවා. සල්ලි අච්චු ගසා වියදම් කරද්දී ජීවන තත්ත්වය වැඩි කරන්නේ කාගේද කියන එක රජය විසින් තීරණය කරන නමුත් එයට අනුරූපව ජීවන තත්ත්වය අඩු කරන්නේ කාගේද කියන එක වෙළඳපොළ යාන්ත්‍රනය හරහා සිදු වීමට ඉඩ හරිනවා. උද්ධමනය විසින් කරන්නේ මේ කාර්යයයි. එහිදී රජය වැඩිපුර වියදම් කළ මුදල උද්ධමන යාන්ත්‍රනය හරහා කාගෙන් හෝ අය කෙරෙනවා. එහිදී යම් පිරිසකගේ ජීවන තත්ත්වය පහළ බහිනවා. 

උද්ධමනය පිළිබඳ මිථ්‍යාව පැහැදිලි කරද්දී පැවසෙන්නේ උද්ධමනය නිසා දිගුකාලීනව රටක මිනිසුන්ගේ ජීවන තත්ත්වයේ හොඳ හෝ නරක වෙනසක් නොවන බවයි. එහෙත්, බදු ගැසීමේදී මෙන්ම, ඇතැම් අයගේ ජීවන තත්ත්වය පහළ යාමක් හා එහි උදවුවෙන් තවත් අයගේ ජීවන තත්ත්වය ඉහළ යාමක් සිදු වෙනවා.

උද්ධමනය පාලනය කළ යුත්තේ එමගින් රටේ මිනිසුන්ගේ ජීවන තත්ත්වය පහළ යන නිසා නෙමෙයි. ජීවන තත්ත්වය ඉහළ නොයන නිසා. රජය මැදිහත් වී මුදල් සැපයුම වැඩිකර මිනිසුන්ගේ ජීවන තත්ත්වය ඉහළ දැමීමට දරන උත්සාහයන් ආපසු හැරවෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ. දැන් වෙන්නෙත් ඒකයි. 

මේ දවස් වල පවතින ඉහළ උද්ධමනය තුළ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන ගොඩක් අයගේ ආදායම් ඉහළ ගොස් තිබෙනවා. විශේෂයෙන්ම අත්‍යාවශ්‍ය භාණ්ඩ නිපදවන අයගේ. එය ඔවුන්ගේ ශ්‍රමයේ ඵලදායීත්වය ඉහළ යාමක් ලෙස හඳුන්වන්නත් පුළුවන්. අනෙක් පැත්තෙන් මාස් පඩි ලබන බොහෝ දෙනෙකුගේ මූර්ත ආදායම් පහළ ගොස් තිබෙනවා. එයින් හැඟවෙන්නේ ඔවුන්ගේ ශ්‍රමයේ ඵලදායීත්වය පහළ ගොස් ඇති බවයි. 

පෞද්ගලිකව මමත් මාසික වැටුප් ලබන (හෝ එසේ හඳුන්වා දීමේ ලොකු වැරැද්දක් නැති) අයෙක්. පසුගිය වසර තුළ මගේ වැටුප් වැඩි වී තිබෙන්නේ රටේ පැවති උද්ධමනයට වඩා බොහෝ අඩුවෙන්. ඒ කියන්නේ මගේ මූර්ත ආදායම් පසුගිය වසර තුළ පහළ ගොස් තිබෙනවා. එයට හේතුව මගේ ශ්‍රමයේ ඵලදායීත්වය අඩු වීමයි. 

මා සේවය කරන ආයතනය පසුගිය වසර තුළ ලාබ ලැබුවේ නැහැ. එහෙත් ආයතනය සේවකයින් ඉවත් කළේ හෝ නාමික වැටුප් අඩු කළේ නැහැ. ආයතනයකට එසේ පැවතිය නොහැකියි. උද්ධමනයට අනුරූප ලෙස වැටුප් වැඩි නොකර, සේවකයින්ගේ මූර්ත වැටුප් පහළ යන්නට ඉඩ හැරීම ආයතනයේ අලාභ අඩු කරගත හැකි ක්‍රමයක්. මෙහිදී මගේ මූර්ත වැටුප් පහළ ගොස් ඇතත්, එය මා මගේ රැකියා සුරක්ෂිතතාව වෙනුවෙන් ගෙවිය යුතු වන්දියක්. ආයතනයට සේවක වැටුප් උද්ධමනය හා ගැලපිය හැක්කේ යම් සේවක පිරිසක් ඉවත් කිරීමෙන් පමණයි. එසේ කළේනම්, එක්කෝ මගේ රැකියාව නැති වෙනවා. නැත්නම් ඉවත් කරන අයගේ වැඩ වලින් කොටසක්ද මට කරන්නට සිදු වෙනවා. දෙවැන්නේදී වෙන්නේත් යොදවන ශ්‍රමයට සාපේක්ෂව වැටුප් පහළ යාමක්. 

ශ්‍රමයේ ඵලදායීත්වය අඩු වීම කියන එකෙන් අදහස් වෙන්නේ අඩුවෙන් වැඩ කර ඇති බව නෙමෙයි. ඇතැම් විට වැඩියෙන් වැඩ කර ඇති. එහෙත්, කළ වැඩ වල වෙළඳපොළ වටිනාකම අඩු වෙලා. ශ්‍රමයේ ඵලදායීත්වය තීරණය වන්නේ වෙළඳපොළ තුළයි. එය තීරණය කරන්නේ නිපදවන භාණ්ඩ හා සේවා පරිභෝජනය කරන පාරිභෝගිකයා විසින්. පෞද්ගලික අංශයට කළ හැකි දේ රජය විසින් කිරීමේ ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේද ශ්‍රමයේ ඵලදායීත්වය තීරණය කළ හැකි නිර්ණායකයක් නැති වීමයි. ඒ නිසාම, වැටුප් නියාමනය වන කාර්යක්ෂම යාන්ත්‍රණයක් නැති වීමයි. 

Sunday, September 25, 2022

තාරකා යුද්ධය


අනෙක් හැම ජීවියෙක්ම වගේම මිනිස්සුත් කරන හැම දෙයක්ම වගේ කරන්නේ තමන්ගේ පැවැත්ම වෙනුවෙන්. පරිණාමයේ නීති අනුව එය එහෙම විය යුතුමයිනේ. තමන්ගේ පැවැත්ම ගැන නොහිතන ජීවීන්ව පරිණාමය විසින් ඉතිරි කරන්නේ නැහැ. 

තමන්ගේ පැවැත්ම ගැන හිතන මිනිස්සුන්ට නිරන්තරයෙන් තමන්ගේ පැවැත්මට අභියෝග කළ හැකි සජීවී හෝ අජීවී සතුරන් ගැන අවධානයෙන් ඉන්න වෙනවා. අනතුරු කලින්ම හඳුනාගෙන සැලසුම්සහගත ලෙස ප්‍රතික්‍රියා දක්වන්න වෙනවා. 

තමන්ගේ පැවැත්මට හානියක් සේ පෙනෙන ඕනෑම සජීවී හෝ අජීවී සතුරෙක්ව විනාශ කරන්න මිනිස්සු පැකිලෙන්නේ නැහැ. අසල්වැසියා ගැන, සමාජය ගැන, පරිසරය ගැන වගේ වෙනත් හැම දෙයක් ගැනම තියෙන මිනිස්සුන්ගේ ආදරය පිටුපස තිබෙන්නේ තමන්ගේ පැවැත්ම සඳහාම අවශ්‍ය වන සහජීවනයට වඩා වැඩි දෙයක් නෙමෙයි. 

ආර්ථික හා සමාජයීය වර්ධනයේ පහළ අදියරකදී මේ සහජීවනය තමන් වටා ඉන්න කුඩා කවයකට සීමා වෙනවා. සතුරෝ වෙන්නේ ළඟපාතම ඉන්න අය. ළඟින්ම ඉන්න අය එක්ක සම්මුතියක් ඇති කරගෙන ටිකක් ඈතින් ඉන්න අයගේ තර්ජන වලට සාමූහිකව මුහුණ දෙන එක තරමක් දියුණු මට්ටමක්. හැබැයි බොහෝ සත්තුත් මේ වැඩේ කරනවා. 

සමාජයක් ලෙස දියුණු වෙනවා කියන්නේ මේ සමීප කවය පුළුල් කරගන්නවා කියන එකයි. ආර්ථික වර්ධනය හා එයට සමගාමී තාක්ෂණික දියුණුව විසින් මේ කවය පුළුල් කර ගැනීම පහසු කරනවා. අද ලෝකයේ දෙකොනක ඉන්න දෙදෙනෙකුට සමීපව සිටීම ඇතැම් විට අහළ පහළ ගෙවල්වල අය එක්ක සමීපව ඉන්නවාටත් වඩා පහසුයි. 

සමීප කවය පුළුල් වෙනවා කියන්නේ පොදු සතුරන් වඩ වඩා ඈත් වෙනවා කියන එකයි. අල්ලපු ගෙදර සතුරෙකු දිහා බලා නොසිට අල්ලපු ගෙදර අයත් එක්ක එකතු වී අල්ලපු ගමේ සතුරන් ලෙස බලා සිටීම සාපේක්ෂව දියුණු තත්ත්වයක්. රටම එකතු වී වෙනත් රටක සතුරන්ගෙන් ප්‍රවේශම් වෙන්න සැලසුම් කිරීම ඊටත් වඩා දියුණු මට්ටමක්. හැබැයි දැන් මිනිස්සුන්ට පහසුවෙන්ම ඒ මට්ටමෙන් ඔබ්බට හිතන්න පුළුවන්.

යුක්රේන යුද්ධය වගේ දේවල් අතරින් පතර සිදු වුනත්, දෙවන ලෝක යුද්ධයෙන් පසුව මිනිස් කණ්ඩායම් අතර ඒ ආකාරයේ මහා පරිමාණ යුද්ධ ඇති වී නැහැ. එහෙත්, පසුගිය දෙවසර තුළ ලෝකයේම මිනිසුන් එකතු වී මහා පරිමාණ ලෝක යුද්ධයක් කළා. ඒ කෝවිඩ් රෝගයට හේතු වන වෛරස සමඟ. යුද්ධය අවසන් නැතත් මේ වන විට සතුරා සමඟ සංහිඳියාවක් ඇති වී තිබෙනවා.

මිනිස් කණ්ඩායම් අතර මහා පරිමාණ යුද්ධයක් කියා කියන්නේ මිනිස් සංහතියම ක්ෂණිකව විනාශ වී යා හැකි එක් ආකාරයක්. කෝවිඩ් හදන වෛරස වැනි ක්ෂුද්‍ර ජීවී කණ්ඩායමකට වුවත් කෙටි කාලයකින් මිනිස් සංහතිය නැති භංගස්ථාන කර දමන්න පුළුවන්. කෝවිඩ් පැතිරුණු වේගය සමඟ එහි මරණ අනුපාතය 30-40% වැනි මට්ටමක තිබුණානම් සිදු විය හැකිව තිබුණු දේ ගැන සිතන්න.

පෘථිවියේ ජීවත් වන ඇහැට පෙනෙන සතුන් සියල්ලන්ම වගේ මිනිසුන් විසින් සිය අණසකට නතු කරගෙන ඇතත් ඇහැට නොපෙනෙන වෛරස, බැක්ටීරියා ආදිය මිනිස් තර්ජන හමුවේ සිය පැවැත්ම ආරක්ෂා කර ගැනීමට සමත්ව සිටිනවා. කෙටි ජීව කාලය නිසා, ඉතා ඉක්මණින් පරිණාමය වීමට මෙවැනි ක්ෂුද්‍ර ජීවීන්ට තිබෙන හැකියාව ඔවුන් සමඟ සටනකදී මිනිසුන්ට මුහුණ දෙන්න වන විශාල අභියෝගයක්.

අඩු සම්භාවිතාවක් ඇති දෙයක් වුවත්, පෘථිවියට පිටින් එන තර්ජනයක් හමුවේ මුළු මිනිස් සංහතියම අසරණ විය හැකියි. අභ්‍යාවකාශයෙන් පැමිණිය හැකි ජීවී සතුරු තර්ජන ගැන කිසිවෙකුට කිසිදු නිශ්චිත අදහසක් නැතත්, අජීවී සතුරන් ගැන යම් අදහසක් තිබෙනවා. පොළොවෙහි ගැටෙන විශාල උල්කාපාතයකට මිනිස් සංහතියම විනාශ කර දැමිය හැකියි. 

සෑම දිනකම ටොන් 100ක පමණ අභ්‍යාවකාශ අපද්‍රව්‍ය පෘථිවි වායුගෝලයට ඇතුළු වන නමුත් ඒවා පොළොවට වැටෙන්නට පෙර වායුගෝලය තුළදීම දැවී විනාශ වී යනවා. වසරකට පමණ වරක් මෝටර් රථයක ප්‍රමාණයේ ග්‍රහකයක් (Asteroid) වායු ගෝලයට ඇතුළු වන නමුත් එම ප්‍රමාණයේ අභ්‍යාවකාශ වස්තුවක් වුවත් පොළොවට වැටෙන්නට පෙර වායු ගෝලය තුළ දැවී යනවා. එහෙත්, ඊට වඩා ලොකු අභ්‍යාවකාශ වස්තුවක් වායු ගෝලයට ඇතුළු වුවහොත් එයින් යම් කොටසක් පොළොවට වැටෙන්නට පුළුවන්.

පෘථිවි පෘෂ්ඨයෙන් 70%ක් පමණම සාගර නිසා බොහෝ විට පොළොවට වැටෙන අභ්‍යාවකාශ වස්තු කොටසක් වුවත් වැටෙන්නේ මුහුදටයි. ගොඩබිමකට වැටුණත්, ජනාකීර්ණ නැති පෙදෙසකට වැටෙන්න තිබෙන ඉඩකඩ වැඩියි. එහෙත්, එසේ නොවන අවස්ථා තිබෙනවා. 

ඇමරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ වාසය කළ ඈන් හොජස් (Ann Elizabeth Fowler Hodges) 1954 නොවැම්බර් 30 දින දවල් ගෙදර සෝපාවේ ඇලවී කුකුළු නින්දක් දමාගෙන සිටියා. හරියටම දවල් 12:54ට, පෘථිවි වායු ගෝලයට ඇතුළු වී දැවී යාමෙන් පසුව ඉතිරිව තිබුණු රාත්තල් නවයක උල්කාෂ්ම කොටසක් ඇගේ වහලයේ අඩි තුනක හිලක් හදාගෙන ගේ ඇතුළට කඩා වැටුණා. පළමුව රේඩියෝව මත පතිත වුණු මේ උල්කාෂ්ම කොටස ඉන් පසුව බම්ප් වී ඇවිත් ඇගේ අතක සහ කකුලකද වැදී තැළුම් තුවාල හැදුවා.

ඉන් පසුව, 1992 ඔක්තෝබර් 9 වනදා පස්වරුවේ ඇමරිකාවේ නිවුයෝර්ක් ප්‍රාන්තයේ පීක්ස්කිල්හි නවතා තිබුණු මෝටර් රථයක් මතට රාත්තල් 27.7ක උල්කාෂ්ම කොටසක් වැටුණා. 2003 සැප්තැම්බර් 23 වෙනිදා ඇමරිකාවේ ලුවිසියානා ප්‍රාන්තයේ නිවු ඕලියන්ස් නගරයේ නිවසක වහලය කඩාගෙන රාත්තල් 44ක උල්කාෂ්ම කොටසක් වැටුණා. 

ලංකාවට වැටුණු උල්කාෂ්ම කොටස් සේ සැක කෙරෙන ද්‍රව්‍ය ගැන වසර කිහිපයකට පෙර වාර්තා වී තිබුණා. මතක හැටියට අදාළ කොටස් කොළඹ විශ්ව විද්‍යාලය විසින් ලබාගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා වෙනත් රටක විද්‍යාගාරයකට යවන කතාවක් වාර්තා වී තිබුණත්, ලංකාවෙන් යැවූ පළමු චන්ද්‍රිකාව ගැන වගේම ඒ ගැනත් ඉන් පසු අහන්න ලැබුණේ නැහැ. 

නාසා වෙබ් අඩවිය අනුව, වසර දෙදහසකට පමණ වරක් පාපන්දු පිටියක තරමේ උල්කාෂ්මයක් පොළොවට වැටී සැලකිය යුතු විනාශයක් කරනවා. පෘථිවි වායු ගෝලයට ඇතුළුවන මීටර 25කට වඩා කුඩා ඝන ද්‍රව්‍යයක් සාමාන්‍යයෙන් පොළොවට වැටෙන්නට පෙර දැවී යනවා. මීටර 25 සිට කිලෝමීටරය දක්වා ප්‍රමාණයේ ඝන ද්‍රව්‍යයක් වායු ගෝලයට ඇතුළු වූ විට උල්කාෂ්ම කොටස් පොළොවට වැටී යම් හානියක් කරන නමුත් එම හානිය අදාළ ප්‍රදේශයට සීමා වෙනවා. කිලෝමීටර 1-2 පමණ ඝන ද්‍රව්‍යයක් වායු ගෝලයට ඇතුළු වීමෙහි බලපෑම ලෝකයටම දැනෙන්න පුළුවන්. 

කිසියම් අභ්‍යවකාශ වස්තුවක් පොළොව හා ගැටෙන්න යන බව කලින් හඳුනා ගත හැකි වුවහොත්, සිදු විය හැකි විනාශයෙන් බේරෙන්න ගත හැකි පියවර මොනවාද? ලංකාවේ ආර්ථික අර්බුදය හමුවේ මෙන් අර්බුදය මුවවිටටම එන තුරු හිටියොත්නම් කරන්න ලොකු දෙයක් ඉතිරි වෙන්නේ නැහැ. උල්කාෂ්ම කොටස් ඔළුවට වැටෙන්න යද්දී කැටපෝල් වලින් විදලා බේරෙන්න බැහැ. විනාශය වෙන්න කලින් පෙර සූදානමක් අවශ්‍යයි.

මෙවැනි විනාශයකින් බේරීම සඳහා කාලයක් තිස්සේ යෝජනා වී තිබුණු පිළියමක් වන්නේ අදාල අභ්‍යවකාශ වස්තුව වෙත රොකට්ටුවක් යවා එහි වැද්දවීම මගින් ගමන් මාර්ගය වෙනස් කිරීමයි. විද්‍යා ප්‍රබන්ධ වලනම් මේ වැඩේ කරලා ගොඩක් කල්. හැබැයි ඇත්තටම එහෙම වැඩක් කවදාවත් කරලා තිබුණේ නැහැ.

ඉතිහාසයේ පළමු වරට මෙවැනි පරීක්ෂාවක් හෙට සිදු වෙනවා. 2021 නොවැම්බර් 24 දින නාසා ආයතනය විසින් අභ්‍යාවකාශ ගත කළ ඩාර්ට් (Double Asteroid Redirection Test -DART) අභ්‍යාවකාශ යානය හෙට (සැප්තැම්බර් 26) ඇමරිකාවේ නැගෙනහිර කලාපයේ වේලාවෙන් පස්වරු 7:14ට (ලංකාවේ වේලාවෙන් සැප්තැම්බර් 27 පාන්දර 4:44ට) සැලසුම්සහගත ලෙස ඩිමෝපස් (Dimorphos) ග්‍රහකයේ වද්දවා එහි ගමන් මග වෙනස් කරනවා. මෙය සජීවී ලෙස නැරඹිය හැකියි. 

Friday, September 23, 2022

උද්ධමනය පිළිබඳ ජනප්‍රිය මිථ්‍යාව


උද්ධමනය ගැන විවේචනාත්මක ලෙස කතා කරන ගොඩක් අය විසින් කියන ජනප්‍රිය කතාවක් වන්නේ උද්ධමනය නිසා රටක මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය පහළට වැටෙනවා කියන එක. මේක මිථ්‍යාවක්. 

මේ කතාව මිථ්‍යාවක් කියන්නේ මම හිතලා කියන දෙයක් නෙමෙයි. පොදුවේ ආර්ථික විද්‍යාඥයින් එකඟ වන දෙයක්. අවශ්‍ය කෙනෙකුට "Inflation fallacy" කියන වචන ගූගල් කරලා බලන්න පුළුවන්. 

හැබැයි මේ මිථ්‍යා අදහස ලෝකය පුරාම ජනප්‍රියයි. මේ දවස් වල ලංකාවේ මේ අදහස ප්‍රවර්ධනය කරන්නේ සමාජවාදී කඳවුරේ අය පමණක් නෙමෙයි. ලිබරල් කඳවුරේ අයත් බරටම මේ වැඩේට දායක වෙනවා. 

දැන් මම මේ කියන්න හදන්නේ උද්ධමනය හොඳයි කියලවත්, උද්ධමනය බිය විය යුතු දෙයක් නෙමෙයි කියලවත්, උද්ධමනය හැකි ඉක්මණින් මුළු වැර යොදා පරාජය කළ යුතු දෙයක් නෙමෙයි කියලවත් නෙමෙයි. ඉතා පැහැදිලිවම උද්ධමනය පරාජය කිරීම වෙනුවෙන් මම පෙනී සිටිනවා. උද්ධමනය ඉතාම හානිකරයි. හැබැයි උද්ධමනය නිසා සමස්තයක් ලෙස රටක ජනතාවගේ මිල දී ගැනීමේ හැකියාව අඩු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ක්‍රය ශක්තිය අඩු වෙන්නේ නැහැ. 

උද්ධමනය නිසා වෙන්නේ කිසියම් රටක මුදල් ඒකකයක තිබෙන මිල දී ගැනීමේ හැකියාව හෙවත් ක්‍රය ශක්තිය අඩු වෙන එක.  කිසියම් මුදල් ඒකකයක ක්‍රය ශක්තිය අඩු වීම හා ඒ මුදල් ඒකකය භාවිතා කරන මිනිසුන්ගේ ක්‍රය ශක්තිය අඩුවීම කියා කියන්නේ කරුණු දෙකක්. මේ දෙක එකක් නෙමෙයි. 

ලංකාවේ මුදල් ඒකකය රුපියල්නේ. ලංකාවේ උද්ධමනය නිසා වෙන්නේ රුපියලේ ක්‍රය ශක්තිය අඩු වෙන එක. හැබැයි ඒ නිසා රුපියල් භාවිතා කරන මිනිස්සුන්ගේ ක්‍රය ශක්තිය අනිවාර්යයෙන්ම අඩු වෙන්නේ නැහැ. ඒ, සමස්තයක් ලෙස, රටේ මිනිස්සුන්ගේ වියදම් වැඩි වන තරමට ආදායම්ද වැඩි වන නිසා.   

රුපියලේ ක්‍රය ශක්තිය ගැනම කතා කළත්, ඇතැම් අවස්ථා වල නන්දලාල් වීරසිංහ, හර්ෂ ද සිල්වා වගේ අය පවා ගණන් වරද්දලා කතා කරනවා. උද්ධමනය 60%ක් කියා කියන්නේ දැන් මිල දී ගන්න පුළුවන් කලින් මිල දී ගත් බඩු ප්‍රමාණයෙන් 40%ක් පමණක්ද? 

නන්දලාල් වීරසිංහ වගේම හර්ෂ ද සිල්වාත් ඔය කතාව ඔය විදිහටම වගේ කියනවා මම දැකලා තියෙනවා. සමහර විට ප්‍රශ්නයේ බරපතලකම ඔළුවට දාන්න හිතාමතාම මෙහෙම කියනවා වෙන්න පුළුවන්. මේ කතාවේ අදහස නිවැරදි වුනත්, ගණන් වැරදියි. මේ කතාව ඇත්තනම්, උද්ධමනය 100% වුනොත් රුපියල් වලින් බඩු මිල දී ගන්නම බැරි විය යුතුයි!

දැන් උද්ධමනය 70%යි. ඒ කියන්නේ දැන් මිල දී ගන්න පුළුවන් කලින් මිල දී ගත් බඩු ප්‍රමාණයෙන් 30%ක් කියන එක නෙමෙයි. කලින් රුපියල් 100ක් ගිය බඩු මල්ලට දැන් රුපියල් 170ක් යනවා කියන එකයි. ඒ කියන්නේ දැන් රුපියල් 100කින් මිල දී ගන්න පුළුවන් කලින් රුපියල් 59කින් පමණ (=100/1.7) ගත්ත බඩු ප්‍රමාණය කියන එක. එහෙමත් නැත්නම් කලින් මිල දී ගත් බඩු ප්‍රමාණයෙන් 59%ක් කියන එක.

හරි. ගණන් වෙනස් කියමුකෝ! එහෙම වුනත් ගන්න පුළුවන් බඩු ප්‍රමාණය අඩු වෙලානේ. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ජීවන තත්ත්වය අනිවාර්යයෙන්ම පහළ ගිහින් කියන එක. මොකද උද්ධමනය නිසා මේ විදිහට වියදම් වැඩි වෙද්දී අනෙක් පැත්තෙන් ආදායම්ද වැඩි වෙන නිසා.

තනි පුද්ගලයෙක් ගත්තොත්, සමහර විට, උද්ධමනය නිසා වියදම් වැඩි වූ තරමට ආදායම් වැඩි වී නොතිබෙන්න පුළුවන්. හැබැයි සමස්තයක් ලෙස රටේ හැමෝම ගත්තොත් ඒක ඒ විදිහට සිද්ද වෙන්න බැහැ. මොකද කෙනෙකුගේ වියදමක් කියා කියන්නේ හැම විටම තවත් කෙනෙකුගේ ආදායමක් නිසා. වියදම් වැඩි වෙනවානම් කොහේ හෝ තැනක ඊට අනුරූප ආදායම් වැඩි වීමකුත් තිබිය යුතුයි.

මේ කතාව වඩා හොඳින් පැහැදිලි කර ගැනීම සඳහා අපි විදේශ ගනුදෙනු සියල්ල පැත්තකින් තියමු. දැන් ඩොලර් සම්බන්ධයක් නැහැ. ගනුදෙනු සියල්ල සිදු වෙන්නේ රුපියල් වලින්. වැඩේ තවත් සරල කර ගන්න රජයත් පැත්තකින් තියමු. රජයක් නැත්නම්, විදේශ ගනුදෙනුත් නැත්නම්, රට ඇතුළේ කාට හරි යමක් මිල දී ගන්න වෙන්නේ තවත් කෙනෙක් එය නිපදවා විකිණුවොත් පමණයි. ඒ නිසා, හැම විටකම රටේ එක් අයෙකුගේ වියදමක් තවත් අයෙකුගේ ආදායමක් වෙනවා. 

සමස්ත ආදායම = සමස්ත වියදම 

මේක අනිවාර්යයෙන්ම නිවැරදි විය යුතු සාම්‍යයක් (identity). රුපියල = ශත 100 වගේ තමයි. ප්‍රවාදයක් නෙමෙයි. 

කවුරු හෝ කෙනෙක් වියදමක් කරන්නේ කොහොමද? ඒ සඳහා, ඊට කලින් ආදායමක් උපයා තිබිය යුතුයි. එහෙම නැත්නම් ණය වී තිබිය යුතුයි. ආදායමක් උපයලා කියා කියන්නේ කිසියම් භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනයක් කරලා විකුණලා කියන එක. ණය වෙනවා කියන්නේ ඒ ණය දෙන පුද්ගලයා විසින් භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනයක් කරලා විකුණලා කියන එක. කොයි විදිහට සල්ලි ආවත් අනෙක් පැත්තෙන් භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනයක් වෙලා. එහෙමනම්, සමස්ත නිෂ්පාදනය සමස්ත ආදායමටත් සමාන විය යුතුයි. 

සමස්ත ආදායම = සමස්ත වියදම = සමස්ත නිෂ්පාදනය 

හැබැයි මෙය මුල් සාම්‍යය මෙන් හරියටම නිවැරදි නැති ආසන්න සාම්‍යයක් (near identity). මොකද කවුරු හෝ නිපදවන භාණ්ඩයක් බොහෝ විට ඒ මොහොතේම විකුණන්නේ නැහැ. සේවා වලටනම් මේ කතාව අදාළ නැහැ. සේවාවක් නිපදවන විටම එය විකිණීම හා පරිභෝජනය කිරීමද සිදු වෙනවා. භාණ්ඩ එහෙම නැහැ. ගබඩා කර තබා ගන්න පුළුවන්. 

නිපදවන භාණ්ඩයක් නොවිකුණා ගබඩා කර තබා ගෙන ඉන්න තුරු එය ආදායමක් වෙන්නේ නැහැ. ඒ නිසාම, වෙනත් අයෙකුගේ වියදමක් වෙන්නෙත් නැහැ. අනෙක් අතට මේ වගේ ගබඩා කර ගෙන හිටපු භාණ්ඩයක් විකිණූ විට ආදායමක් ලැබෙනවා. තවත් අයෙකුට වියදමකුත් යනවා. හැබැයි ඒ වෙලාවේ නිෂ්පාදනයක් වෙලා නැහැ. නිෂ්පාදනය වෙලා තියෙන්නේ ඊට කලින්. 

මේ හේතුව නිසා ඉහත සඳහන් ආසන්න සාම්‍යය පරිපූර්ණ සාම්‍යයක් කර ගන්න අප‍ට බඩු තොග (inventory) වෙනස් වීම් දිහා බලන්න වෙනවා. යම් කිසි කාලයක් තුළ මුළු රටේම සමස්තයක් ලෙස බඩු තොග ඉහළ ගිහින්නම් නිෂ්පාදනය ආදායමට වඩා වැඩියි. බඩු තොග අඩු වෙලානම් නිෂ්පාදනය ආදායමට වඩා අඩුයි. සමස්තයක් ලෙස බඩු තොග වල වටිනාකමේ වෙනසක් නැත්නම්, ඉහත ආසන්න සාම්‍යය පරිපූර්ණ සාම්‍යයක්.

ප්‍රායෝගිකව ඔය බඩු තොග වෙනස් වීම් ශුන්‍ය නැති වුනත් ඉතා කුඩායි. කුඩා වුවත්, ඒ කොටසත් එකතු කරලා අප‍ට ඉහත ආසන්න සාම්‍යය පරිපූර්ණ සාම්‍යයක් කළ හැකියි. 

සමස්ත ආදායම = සමස්ත වියදම = සමස්ත නිෂ්පාදනය + බඩු තොග වෙනස් වීම

දැන් මෙතැන උද්ධමනයේ සම්බන්ධයක් නැති බව පැහැදිලි විය යුතුයි. උද්ධමනය නිසා වියදම වැඩි වුනත්, අනිවාර්යෙයන්ම ඊට සමානව ආදායම්ද වැඩි වී තිබිය යුතුයි. මොකද එය සාම්‍යයක්. ඒ නිසා, උද්ධමනය වැඩි වුනා කියලා සමස්තයක් ලෙස රටේ මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය පහළ බහින්නේ නැහැ. ඒ වගේම ඉහළ යන්නෙත් නැහැ. (මෙය මෙහෙම නොවෙන්න හේතු තිබෙනවා. ඒවා පසුවට!)

උද්ධමනය නිසා ජීවන තත්ත්වයට සිදුවන බලපෑම කෙටිකාලීන එකක්. දිගුකාලීනව එහි කිසිදු හොඳ හෝ නරක බලපෑමක් නැහැ. දිගුකාලීනව ජීවන තත්ත්වය කෙරෙහි බලපාන්නේ රටේ සමස්ත නිෂ්පාදනයයි.

මේ කතා ඔක්කොම කිවුවේ රජය පැත්තකින් තියලානේ. හැබැයි එහෙම කරන්න බැරි බව කියන්නත් දෙයක් නෙමෙයිනේ. රජයේ බලපෑම අපිට නොසලකා හරින්න බැහැ. දැන් මේ සමතුලිතතාවය ඇතුළට රජය ආවාට පස්සේ වෙන්නේ කුමක්ද?

මෙහිදී මම රජය කියා කියන්නේ රජය විසින් කරන ව්‍යාපාර නෙමෙයි. මොනවා හෝ භාණ්ඩ හා සේවා නිපදවා විකුණන රාජ්‍ය ව්‍යාපාරත් ඔය ආකෘතිය ඇතුළේම විස්තර වෙනවා. ආකෘතිය ඇතුළේ නැත්තේ වෙළඳපොළේ නොවිකිණෙන රාජ්‍ය සේවාවන්. ඒවා මොනවාද කියන එක ප්‍රශ්නයක් කර ගත යුතු නැහැ. එය දේශපාලනික කරුණක්. ඔබට කැමති විදිහකට අර්ථ දක්වා ගන්න පුළුවන්. (මේ ලිපියේ කතා කරන සන්දර්භයේදී)

දැන් මේ වගේ වෙළඳපොළේ නොවිකිණෙන රාජ්‍ය සේවාවන් රාජ්‍ය ආදායමක් නෙමෙයි. නමුත් වියදමක් තිබෙනවා. උදාහරණයක් විදිහට ලංකාවේ රජය විසින් සපයන අධ්‍යාපනය, සෞඛ්‍යය, ජාතික ආරක්ෂාව වගේ දේවල් වලින් රජයට ආදායමක් ලැබෙන්නේ නැහැ. නමුත් වියදමක් තිබෙනවා. වියදමක් තිබෙනවානම්, ඒ වියදම ආවරණය වන ක්‍රමයකුත් තියෙන්න ඕනෑ. රජයේ වියදම් ආවරණය කර ගන්න සම්මත ක්‍රමය බදු අය කිරීම. ණය ගැනීම හා සල්ලි අච්චු ගැසීම තවත් ක්‍රම දෙකක්. 

රජයට බදු ලෙස ගෙවන්න වෙන්නේ රටේ මිනිස්සු උපයන ආදායමෙන් කොටසක්. ඒ කියන්නේ, රටේ නිෂ්පාදනයෙන් කොටසක්. ඒ නිසා, ඉහත ආකෘතියට රජය එකතු කළා කියලා රටේ සමස්ත ආදායම හෝ සමස්ත නිෂ්පාදනයේ වටිනාකම වෙනස් වෙන්නේ නැහැ. භාණ්ඩ හා සේවා නිපදවන පුද්ගලයින් හා සමාගම් පමණක් සැලකුවොත් සමස්ත වියදම සමස්ත ආදායමට වඩා අඩුයි. මොකද සමස්ත ආදායමෙන් කොටසක් බදු විදිහට හෝ ණය විදිහට රජයට දීලා. රජය විසින් වියදම් කරන්නේ ඒ කොටස.

රජය වියදම් කරද්දීත් රජයේ සේවකයින් වැනි යම් පිරිසකට ආදායමක් ලැබෙනවා. නමුත්, ඒ ආදායම් ලැබෙන්නේ ඔවුන් භාණ්ඩ හා සේවා නිෂ්පාදනයක් කර වෙළඳපොළේ විකුණලා නෙමෙයි. මෙතැනදී වෙන්නේ රජයෙන් බාහිර පුද්ගලයින් හා සමාගම් විසින් නිපදවන භාණ්ඩ හා සේවා වලින් කොටසක්ම රජය විසින් ඒ අයගෙන් අරගෙන රාජ්‍ය සේවකයින් වැනි අයට දෙනවා වගේ වැඩක්. 

රජයේ සේවකයෝ කියන්නෙත් රටේම මිනිස්සුනේ. එහෙමනම්, ඒ අයගේ ආදායම රටේ සමස්ත ආදායමට එකතු විය යුතු නැද්ද? 

අපිට අවශ්‍යනම්, ඉහත තර්කය අනුව යමින්, රජයේ සේවකයින් වැනි අයගේ ආදායම් සමස්ත ආදායමට එකතු කරන්න පුළුවන්. හැබැයි එහෙම කරද්දී භාණ්ඩ හා සේවා නිපදවා ලැබෙන ආදායමෙන් කොටසක් බදු විදිහට ගෙවපු අයගේ ආදායම් වලින් බදු කොටස අඩු කරන්නත් වෙනවා. මොකද ඒ කොටස ඇත්තටම ඒ අයගේ ආදායමක් වෙලා නැහැනේ. එහෙම කළාට පස්සේ නැවතත් රටේ සමස්ත ආදායම තිබුණු ප්‍රමාණයම තමයි. මොකද රජය විසින් බදු අය කර වියදම් කරද්දී ඒ වියදම් කාගේ හෝ ආදායමක් වුනත්, එහිදී වෙන්නේ එක් අයෙකුගේ ආදායම් අඩු කර වෙනත් අයෙකුගේ ආදායම් වැඩි කිරීමක් පමණයි. සමස්තය වෙනස් වෙන්නේ නැහැ. ඔය විදිහට භාණ්ඩ හා සේවා විකුණා ආදායම් උපයන අයගෙන් රජය ණය ගත්තත් වෙන්නේ ඕකමයි. 

මේ විදිහට රජය විසින් බදු අය කරද්දී හෝ ණය ගනිද්දී රජයට සම්බන්ධ නැති ගොඩක් අයගේ ජීවන තත්ත්වය පහළ යාමක් වෙනවා. මොකද ඔවුන්ට පරිභෝජනය කළ හැකි, ඔවුන් විසින් නිපදවා විකුණපු දේවල් වලින් කොටසක් තමයි රජය විසින් අරගෙන වෙනත් අයට බෙදා දෙන්නේ. ඒ දේවල් ලැබෙන අයගේ ජීවන තත්ත්වය ඉහළ යනවා. හැබැයි සමස්තයක් ලෙස ගත්තහම මේ රාජ්‍ය මැදිහත්වීම නිසා රටේ මිනිස්සුන්ගේ ජීවන තත්ත්වයේ වෙනසක් වෙලා නැහැ. මොකද මොන විදිහට බෙදුවත් ඒ බෙදලා තිබෙන භාණ්ඩ හා සේවා ප්‍රමාණය සමානයි. ඒ නිසා, මුලින් කියපු සාම්‍යය තව දුරටත් ඒ විදිහටම තිබෙනවා.

සමස්ත ආදායම = සමස්ත වියදම = සමස්ත නිෂ්පාදනය + බඩු තොග වෙනස් වීම

අපිට අවශ්‍යනම් රජයේ භූමිකාව වෙන් කරලා පෙන්වන්න පුළුවන්.

සමස්ත වියදම = රාජ්‍ය අංශයේ සමස්ත වියදම + පෞද්ගලික අංශයේ සමස්ත වියදම 

සමස්ත ආදායම = රාජ්‍ය අංශයේ සමස්ත ආදායම + (බදු වලට පෙර පෞද්ගලික අංශයේ සමස්ත ආදායම - බදු)

"රාජ්‍ය අංශයේ සමස්ත ආදායම = එකතු කර ගත් බදු" ලෙස සැලකුවොත්, 

රටේ සමස්ත ආදායම = බදු වලට පෙර පෞද්ගලික අංශයේ සමස්ත ආදායම

සල්ලි අච්චු ගැහුවහම කතාව වෙනස්. මොකද මෙහිදී රජය මැදිහත් වී කිසියම් පිරිසකගේ ආදායම වැඩි කරනවා. අලුතෙන් බඳවා ගන්න රාජ්‍ය සේවකයින් පිරිසක් කියා කියමු. නමුත්, ඒ වියදම රටේ වෙනත් අයගෙන් එකතු කර ගැනීමක් වෙන්නේ නැහැ. හැබැයි රජය මේ විදිහට සල්ලි අච්චු ගහද්දී යම් පිරිසකගේ ආදායම් ඉහළ ගිහින් ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ යනවා කියන එක පැහැදිලි දෙයක්නේ. මොකද අච්චු ගහපු සල්ලි වලින් වැටුප් ලබන රාජ්‍ය සේවකයෝ වගේ අය ඒ සල්ලි වියදම් කරලා භාණ්ඩ හා සේවා මිල දී ගන්නවා.

සල්ලි අච්චු ගැහුවා කියලා රටේ නිෂ්පාදනය වෙනස් වෙලා නැහැ. ඒ නිසාම, පෞද්ගලික අංශයේ සමස්ත ආදායම වෙනස් වෙලත් නැහැ. කලින් වගේ රටේ නිෂ්පාදනයෙන්, රටේ ආදායමෙන්, කොටසක් රජය විසින් බදු විදිහට අරගෙනත් නැහැ. ණය විදිහට අරගෙනත් නැහැ. එහෙමනම්, බැලූ බැල්මට පේන විදිහට රටේ මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය පහත වැටෙන්න විදිහකුත් නැහැ! ඒක වෙන්න පුළුවන්ද?

රජය අච්චු ගහලා දුන්න සල්ලි වියදම් කරද්දී යම් පිරිසකගේ ජීවන තත්ත්වය ඉහළ යනවා. නමුත්, ඒ වෙනුවෙන් මිලක් ගෙවපු කෙනෙක් පේන්න නැහැ. රටේ නිෂ්පාදනය වැඩි වෙලත් නැහැ. මේ වගේ දෙයක් වෙන්න බැහැනේ. බෙදෙන්නේ එකම භාණ්ඩ හා සේවා ටිකනම්, එක් අයෙකුගේ ජීවන තත්ත්වය ඉහළ යද්දී අනිවාර්යයෙන්ම තවත් අයෙකුගේ ජීවන තත්ත්වය පහළ යා යුතුයි. 

ඇත්තමට සල්ලි අච්චු ගහද්දී ඔය වැඩේ වෙනවා. ඒ කියන්නේ, බදු ගහද්දී වගේම, රජයට සම්බන්ධ නැති ගොඩක් අයගේ ජීවන තත්ත්වය පහළ යාමක් වෙනවා. ඔවුන්ට පරිභෝජනය කළ හැකි, ඔවුන් විසින් නිපදවා විකුණපු දේවල් වලින් කොටසක් රජය විසින් අරගෙන වෙනත් අයට බෙදා දෙනවා. ඒ දේවල් ලැබෙන අයගේ ජීවන තත්ත්වය ඉහළ යනවා. නමුත්, බදු ගහද්දී වගේ ඔය වැඩේ එක පාරටම හැමෝටම පේන්නේ නැහැ. පේන්න ටිකක් කල් යනවා. සමහර විට අවුරුදු දෙක තුනක්.

උද්ධමනය හැදෙන්නේ සල්ලි අච්චු ගහන මොහොතේදීමයි. හැබැයි ඒක පේන්න ගන්නේ අවුරුද්දකට දෙකකට හෝ සමහර විට තුනකට පස්සේ. මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය පහළ වැටෙන්නේ උද්ධමනය පේන්න පටන් ගන්න මොහොතේ නෙමෙයි. සල්ලි අච්චු ගහන මොහොතේ. උද්ධමනය පේන්න පටන් ගන්නවා කියන්නේ තමන්ගේ ජීවන තත්ත්වය පහත වැටී ඇති බව මිනිස්සුන්ට තේරිලා මිනිස්සු එයට ප්‍රතිචාර දක්වන්න පටන් අරන් කියන එකයි. 

රජය විසින් බදු වැඩි කරද්දී ඔය කරන්න හදන්නේ අපේ ජීවන තත්ත්වය පහත දමන එක කියලා මිනිස්සුන්ට වහාම තේරෙනවා. නමුත්, සල්ලි අච්චු ගහද්දී මිනිස්සුන්ට ඒක එක පාරට තේරෙන්නේ නැහැ. මිනිස්සුන්ට වහාම නොතේරුණත්, වෙන්නේ ජීවන තත්ත්වය ක්ෂණිකව පහත වැටෙන එකයි.

අපි හිතමු වී ගොවියෙක් හා පොල් ගොවියෙක් ගැන. වී ගොවියා වී විකුණලා පොල් ගන්නවා. පොල් ගොවියා පොල් විකුණලා වී ගන්නවා. වී ගොවියා වී විකුණද්දී මිල තීරණය කරන්නේ විකුණලා ගන්න සල්ලි වලින් පොල් මිල දී ගන්න ලැබෙයි කියන විශ්වාසයෙන්. පොල් ගොවියාත් එහෙමයි. 

රජය බදු වැඩි කරද්දී වී ගොවියාට වී විකුණා ගන්න පුළුවන් පොල් ප්‍රමාණයෙන් ටිකක් අඩු වෙනවා. ඇයි අතේ සල්ලි අඩු වෙලානේ. පොල් ගොවියාටත් ඒ වැඩේම වෙනවා. ඉතුරු වෙන වී ටික සහ පොල් ටික රජයෙන් වැටුප් ලබන රාජ්‍ය සේවකයා විසින් මිල දී ගන්නවා.

සල්ලි අච්චු ගහලා රාජ්‍ය සේවකයාගේ වැටුප් ගෙවුවහම වී ගොවියාගේ හෝ පොල් ගොවියාගේ අතේ සල්ලි අඩු වෙන්නේ නැහැ. හැබැයි රාජ්‍ය සේවකයා තමන්ට ලැබුණු සල්ලි වලින් වී හා පොල් මිල දී ගන්න නිසා වී හා පොල් වලින් කොටසක් අඩු වෙනවා. වී ගොවියාට හා පොල් ගොවියාට මිල දී ගන්න වෙන්නේ ඒ ඉතුරු වූ කොටස පමණයි. 

වී ගොවියා වී විකුණලා පොල් ගන්න යද්දී පොල් ගණන් ගිහින්. ගණන් ගිහින් නැත්නම් කඩේ පොල් නැහැ. ඒ නිසා, අතේ සල්ලි තිබුණත් කලින් හිතාගෙන හිටපු පොල් ප්‍රමාණය මිල දී ගන්න වෙන්නේ නැහැ. පොල් ගොවියාට වෙන්නෙත් ඒකමයි. ඒ අයගේ ජීවන තත්ත්වය පහත වැටිලා. තමන් ඇණගෙන කියලා මේ අයට තේරෙන්න පටන් ගන්නවා. හැබැයි ඒ වෙද්දී පරක්කු වැඩියි.

එක පාරක් ඇණගන්න වී ගොවියා හා පොල් ගොවියා දෙවන පාර ඒ විදිහටම ඇණගන්නේ නැහැ. තමන් විකුණන වී වල, තමන් විකුණන පොල් වල මිල ඉහළ දමනවා. එහෙම මිල වැඩි කරලා සල්ලි අච්චු ගැසීම නිසා පහළ ගිය තමන්ගේ ජීවන තත්ත්වය නැවත ප්‍රතිස්ථාපනය කර ගන්නවා. ඔන්න එතකොට උද්ධමනය හොඳින්ම පේන්න ගන්නවා. මේ විදිහට උද්ධමනය පේන්න ගන්නවා කියා කියන්නේ බොහෝ විට සල්ලි අච්චු ගැසීම නිසා පහළ ගිය භාණ්ඩ හා සේවා නිෂ්පාදකයින්ගේ ජීවන තත්ත්වය නැවත යථා තත්ත්වයට පත් වෙලා කියන එකයි. 

රටක ආර්ථිකය කියා කියන්නේ වී හා පොල් විතරක් නෙමෙයිනේ. ඒ දෙක විතරක්නම් සල්ලි අච්චු ගහලා කෙටි කාලයකින් ඔය වැඩේ වෙනවා. වී විකුණලා ඒ සල්ලි අරගෙන පොල් ගන්න යන පරක්කුව විතරයි. නමුත්, විශාල භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් හුවමාරු වන, උද්ධමනය නොවන හේතු නිසාත් ඒ භාණ්ඩ හා සේවා වල මිල අඩු වැඩි වන, සංකීර්ණ ආර්ථිකයක් තුළ තමන් නිපදවා විකුණන භාණ්ඩයට හා සේවාවට සාපේක්ෂව අනෙක් බඩු වල මිල සමස්තයක් ලෙස වැඩි වෙලා කියලා බොහෝ දෙනෙක්ට තේරෙන්න සැලකිය යුතු කාලයක් යනවා. ඒ කාලය තුළ පොල් ගොවියා කලින් මිලටම පොල් විකුණන්න පුළුවන්. වී ගොවියා කලින් මිලටම වී විකුණන්න පුළුවන්. රජයට ඒ අයට නොදැනෙන්න ඒ අයගෙන් "උද්ධමන බදු" අය කර ගන්න පුළුවන්. 

අපි ලංකාවේ වත්මන් සන්දර්භයට එමු. 2020-2021 කාලයේ විශාල සල්ලි අච්චු ගැසීමක් සිදු වුනා. අච්චු ගහපු සල්ලි ලබාගත් පිරිස් පහසුවෙන් තමන්ගේ ජීවන තත්ත්වය ඉහළ නංවා ගත්තා. නමුත් නිෂ්පාදනය ඉහළ ගියේ නැහැනේ. නිෂ්පාදනය වැඩි වුනේ නැත්නම්, කිසියම් පිරිසකගේ ජීවන තත්ත්වය ඉහළ යද්දී තවත් පිරිසකගේ ජීවන තත්ත්වය පහළ යාම විය යුතුමයිනේ. ගොවීන්, ධීවරයින් වගේ අයගේ ජීවන තත්ත්වය පහළ ගියා. සල්ලි අච්චු ගැසීම නිසා රුපියල බාල්දු වී ඇති බව නොදැන ඒ අය කලින් මිලටම මාළු, එළවලු විකිණුවා. නමුත් එහෙම විකුණලා ගත්ත සල්ලි වලින් ඔවුන්ට අපේක්ෂා කළ දේවල් මිල දී ගන්න ඉඩක් ලැබුණේ නැහැ. අවශ්‍ය දේවල් ගන්න හොයද්දී එක්කෝ බඩු නැහැ. අච්චු ගහපු සල්ලි වල වාසිය ලබපු අය ඒවා කලින්ම අරගෙන. නැත්නම් ඒ අයගේ ඉල්ලුම නිසා බඩු ගණන් ගිහින්.

මේ කතාව කිසියම් හෝ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයක් කරන රටේ කාගේත් කතාව. රජය විශාල ලෙස සල්ලි අච්චු ගහද්දී ඒ අයගේ ජීවන තත්ත්වය පහළ ගියා. ඒ අය රැවටුණා. වෙනත් පිරිසක් එහි වාසිය ගත්තා. හැබැයි තමන් ඒ විදිහට රැවටුණු බව මේ අය දැන ගන්නේ ටිකක් කල් ගිහින්. එහෙම දැනගත්ත ගමන්ම ඒ අය තමන්ට හිමි, සල්ලි අච්චු ගැසීම හරහා නැති කෙරුණු, ජීවන තත්ත්වය නැවත ලබා ගන්නවා. ඒක තමයි උද්ධමනය. ඒකෙන් ඒ අයගේ ජීවන තත්ත්වය තිබිය යුතු තැන දක්වා නැවත ඉහළ යනවා මිසක් අඩු වෙන්නේ නැහැ. හැබැයි අච්චු ගහපු සල්ලි වලින් ආතල් ගත්ත අයගේ ආතල් කුඩු වෙනවා. ඔන්න ඕකයි කතාව.

කතාව සම්පූර්ණ නැහැ. ඉතිරි කිරීම්, ණය ගැනීම් ආදිය ගැන මෙහිදී අවධානය යොමු කළේ නැහැ. විදේශ අංශය ගැන කතා කළේම නැහැ. ඒ දේවල් ගැන පසුව කතා කරමු.

Wednesday, September 21, 2022

උද්ධමනය 70% පන්නයි!


ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 2022 අගෝස්තු උද්ධමනය 70.2% ලෙස වාර්තා වෙනවා. ආහාර උද්ධමනය 84.6%ක් ලෙස වාර්තා වන අතර අනෙකුත් භාණ්ඩ හා සේවා වල වාර්ෂික මිල වැඩිවීම 57.1%.

කිසියම් මාසයක උද්ධමනය තුළින් නිරූපණය වන්නේ ඊට පෙර මාස 12ක කාලය තුළ සිදු වූ මිල වැඩි වීමයි. ඒ නිසා, උද්ධමන පීඩන අඩු වී යද්දී වුවත්, ඒ බව උද්ධමන අගයන් තුළ නිරූපණය වන්නේ යම් කාල පමාවක් ඇතිවයි. පසුගිය ජූනි මාසයේ සිට උද්ධමන පීඩන අඩුවීමක් දැකිය හැකියි.

පහත තිබෙන්නේ පසුගිය වසරක කාලය තුළ ජාතික පාරිභෝගික මිල දර්ශක අගයේ මාසික වෙනස්වීමයි.

2021

සැප්තැම්බර් - 0.3%

ඔක්තෝබර් - 2.1%

නොවැම්බර් - 3.1%

දෙසැම්බර් - 3.7%

2022

ජනවාරි - 3.1%

පෙබරවාරි - 1.1%

මාර්තු - 2.9%

අප්‍රේල් - 10.2%

මැයි - 9.7%

ජූනි - 10.9%

ජූලි - 5.6%

අගෝස්තු - 2.5%

දර්ශක අගයේ මාසික වෙනස්වීම් නිරීක්ෂණය කළ විට 2022 අප්‍රේල්-ජූනි අතර තෙමස නරකම තත්ත්වය ලෙස හඳුනාගත හැකියි. ඉන්පසුව තත්ත්වය යහපත් අතට හැරෙමින් තිබෙනවා. එසේ වුවද, පසුගිය මාස වල බලපෑම ඉවත් වීමට කාලයක් යන නිසා සැප්තැම්බර් මාසයේදීද උද්ධමනය තව දුරටත් ඉහළ යා හැකියි. උද්ධමනය වැඩි වීමේ ප්‍රවනතාව ආපසු හැරෙනු ඇත්තේ ඔක්තෝබර් මාසයෙන් පසුවයි.

වෙබ් ලිපිනය: