වෙබ් ලිපිනය:

Saturday, August 17, 2024

බංග්ලාදේශයේ මුජිබ්වාදය හා මුජිබ්වාදය කඩා වැටීම


සාර්ථක දේශපාලන ව්‍යාපාරයක් පසුපස කිසියම් දර්ශනයක් තිබෙනවා. 1971 බංග්ලාදේශ ජාතික විමුක්ති අරගලයේ දේශපාලන දර්ශනයේ අරටුව වූයේ මුජිබ්වාදයයි. මුජිබ්වාදය ලෙස පසුව නාමකරණය වූයේ මුජිබුර් රහ්මන්ගේ දේශපාලන දර්ශනයයි. බංග්ලාදේශ අවාමි ලීගයේ දේශපාලන දර්ශනය වූයේද මුජිබ්වාදයයි. 

පෙර ලිපියෙහි විස්තර කළ පරිදි මුජිබ්වාදය ගොඩ නැගී තිබුණේ කුළුණු හතරක් මතයි. ඒ, ජාතිකවාදය, අනාගමික රාජ්‍යය, ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජවාදයයි. නූතන බංග්ලාදේශ රාජ්‍යයේ පදනම වූයේද මෙම කුළුණු හතරයි. එනම් මුජිබ්වාදයයි. බංග්ලාදේශ රාජ්‍ය ලාංචනයේ ඇති තරු හතරෙන් සංකේතවත් වන්නේ මුජිබ්වාදයේ මෙම එම කුළුණු හතරයි. 

බ්‍රිතාන්‍ය ඉන්දියාව තුළ ප්‍රබල නිදහස් සටනක් කාලයක් පැවතුණත්, ඉන්දියාව හා පකිස්ථානය නිදහස ලැබුවේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය සමඟ යුද්ධයක් කර එය ජයගැනීමේ ප්‍රතිඵලයක් ලෙස නෙමෙයි. තාක්ෂනික ලෙස සැලකුවහොත්, හයවන ජෝජ් රජුගේ "අනුකම්පාව" මත පදනම්වයි. ලංකාවට වැඩි මහන්සියක් නැතිවම මේ "අනුකම්පාව" හිමිවෙනවා. ඉන් පසුව, මේ රටවල් ඩොමිනියන් තත්ත්වයෙන් ඉවත් වී ජනරජ බවට පත් වෙද්දී බ්‍රිතාන්‍යය එය සහ පහකට ගණන් නොගන්නේ ඒ වන විට බ්‍රිතාන්‍යය විසින් මේ රටවල් අත හැර දමා අවසන් නිසා. 

එහෙත්, බංග්ලාදේශය පකිස්ථානයෙන් ඉවත්ව ජනරජයක් බවට පත් වන්නේ විමුක්ති යුද්ධයක් කර ජයගැනීමෙන් පසුවයි. ඒ කියන්නේ රටේ දේශපාලන බලය තිබෙන්නේ "ජනතාව" සතුව බව ප්‍රායෝගිකව තහවුරු කිරීමෙන් පසුවයි. කලකට පෙර ඇමරිකාව වැනි රටවලද මෙවැනි විමුක්ති අරගල සිදු වී තිබුණත්, මේ කාලය ආසන්නයේ ලෝකයේ සිදු වූ මෙවැනි අරගල බොහොමයක මාක්ස්වාදී මුසුවක් දැකිය හැකි වුනා. එහෙත්, බංග්ලාදේශයේ එවැනි තත්ත්වයක් තිබුණේ නැහැ. 

මුජිබ්වාදයේ එක් කුලුනක් සමාජවාදය වුවත්, එය මාක්ස්-ලෙනින්වාදය මත පදනම් වූ සමාජවාදයක් නෙමෙයි. බොහෝ දුරට බටහිර සමාජ-ප්‍රජාතන්ත්‍රවාදයට කිට්ටු වූවක්. එහෙත්, ඊට වඩා තරමක් දුරට මාක්ස්-ලෙනින්වාදී නැඹුරුවක් තිබුණු එකක්. එහි අනාගමික රාජ්‍ය සංකල්පය වඩා කිට්ටු වූයේද බටහිර ආකෘතියටයි. රජය ආගමෙන් ඉවත් වීමක් මිසක් සමාජවාදී රටවල මෙන් ආගම් විරෝධයක් මුජිබ්වාදය තුළ තිබුණේ නැහැ. එමෙන්ම මුජිබුර් රහ්මන්ගේ ප්‍රජාතන්ත්‍රවාදයද සමාජවාදී රටවල පැවති ආකාරයේ ඒකාධිපතිත්වයක් නොවුනත්, පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදයක් සේ නොසැලකිය හැකි, යම් දුරකට ඒකාධිපති ලක්ෂණ තිබුණු, එහෙත් සමාජවාදී ලෝකයේ එවකට පැවති ප්‍රජාත්නත්‍රවාදය පිළිබඳ අදහස් වලටද යම් සමීපත්වයක් දැක්වූ, "බංග්ලාදේශ පන්නයේ" ප්‍රජාතන්ත්‍රවාදයක්.

කෙසේ වුවත්, මුජිබුර් රහ්මන් හා අවාමි ලීගය වටා මහා පරිමාණයෙන් ජනතාව පෙළ ගැසීමට ඉහත සඳහන් අනාගමික රාජ්‍යය, ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජවාදය යන කුළුණු තුන එතරම් බලපෑමක් කළේ නැහැ. එහිදී වැදගත් වූයේ ජාතිකත්වය යන කුළුන පමණයි. විවිධ දේශපාලන මතවාද වල සිටි පිරිස් එක්රැස් කළේ බෙංගාලි භාෂාව මත පදනම් වූ බංගලි ජාතිකවාදයයි.

මේ අනුව, බෙංගාලි භාෂාව නිදහස් බංග්ලාදේශයේ එකම ජාතික භාෂාව බවට පත් වෙනවා. රටෙන් 99%කට වඩා වැඩි පිරිසකගේ මවු බස බෙංගාලි භාෂාව බැවින් එහි ප්‍රශ්නකාරී තත්ත්වයක් නැහැ. මේ අතින් නිදහස් ලංකාවේ පැවති තත්ත්වය සමාන කළ හැක්කේ ඒකාබද්ධ පකිස්ථානයේ තත්ත්වයට මිසක් බංග්ලාදේශයේ තත්ත්වයට නෙමෙයි. 

මුජිබ්වාදයෙහි ජාතිකවත්ව කුළුන ඉතාම ශක්තිමත් කුලුනක්. ඒ නිසා ඉතිරි කුළුණු තුන ගොඩ නැගෙන්නේ ජාතිකවත්ව කුළුනෙහි වාරුව අරගනිමිනුයි. මුජිබ්වාදයෙහි සමාජවාදය ප්‍රකාශිත ලෙසම බංග්ලාදේශ සමාජවාදයක්. ප්‍රකාශිත ලෙසම නොවුනත්, එහි ප්‍රජාතන්ත්‍රවාදය හා අනාගමික රාජ්‍ය කුළුණුද බංග්ලාදේශයට "ගැලපෙන" සේ සකස් කරගත් සංකල්පයි. මේ "ගැලපීම" සිදු වන්නේ කෙසේද?

දේශපාලනයේදී වැදගත්ම සාධකය බලයයි. මුජිබුර් රහ්මන්ට හා අවාමි ලීගයට අදාළවද මේ තත්ත්වයෙහි කිසිම වෙනසක් නැහැ. අවාමි ලීගයට හා එහි නායක මුජිබුර් රහ්මන්ට අවශ්‍ය වන්නේ යුද්ධයක් කර, ජීවිත විශාල ගණනක් අහිමි කරගෙන, ලබාගත් බලය රැකගෙන හැකි තරම් කාලයක් පවත්වා ගෙන යාමයි.

බෙංගාලි ජාතිකවත්වය මත පදනම්ව පකිස්තානු ආධිපත්‍යයට එරෙහිව අවාමි ලීගය වඩා එක්රැස් වන විශාල පිරිස අතර පැවති අනෙකුත් විවිධ දේශපාලන මතවාද අතර ගැටුම් විමුක්ති අරගල කාලය තුළ යටපත් වී පැවතියත් යුද්ධය ජයගෙන නූතන බංග්ලාදේශ රාජ්‍යයක් හදන එක ගැන හිතද්දී ඒවා එකින් එක මතු වෙන්නට පටන් ගන්නවා. අවාමි ලීගයට එම ගැටුම් අවම කරගෙන තමන් වටා සිටින පිරිස් දිගටම රඳවා ගත හැක්කේ මේ මතවාද අතර මධ්‍යස්ථ තැනක් තමන්ගේ ස්ථාවරය කර ගැනීමෙනුයි. මුජිබ්වාදය තුළ සමාජවාදය, ප්‍රජාතන්ත්‍රවාදය හා අනාගමික රාජ්‍යය යන සංකල්ප ස්ථානගත වන්නේ මේ අරමුණ හා ගැලපෙන ආකාරයටයි.

බංග්ලාදේශ නිදහස් අරගලයට පෙර පැවති 1970 පකිස්ථානු මහ මැතිවරණයේදී අවාමි ලීගය විසින් නැගෙනහිර පකිස්ථානයේ ආසන 162කින් 160කම බහුතර ඡන්දය ලබා ගන්නා නමුත් නැගෙනහිර පකිස්ථාන කොටසේ මුළු ඡන්ද ප්‍රමාණයෙන් ඔවුන් ලබා ගන්නා ප්‍රතිශතය ආසන්න වශයෙන් 75%ක් පමණයි. ඒකාබද්ධ පකිස්ථානයේ ජාතික පක්ෂ විසින්ද නැගෙනහිර පකිස්ථාන කොටසේ ඡන්ද වලින් 25%කට ආසන්න ප්‍රමාණයක් ලබා ගන්නවා. මෙම ඡන්ද වලින් වැඩි කොටසක් ලබා ගන්නේ ජමාත්-ඉ-ඉස්ලාම් වැනි ආගමික පක්ෂයි. එවැනි පක්ෂ දිගටම මෙන් පෙනී සිටියේ නිදහස් අරගලයට එරෙහිව ඒකාබද්ධ පකිස්ථානයක් වෙනුවෙනුයි.

නිදහස් අරගල සමයේදී ජමාත්-ඉ-ඉස්ලාම් වැනි ආගමික පක්ෂ වල ක්‍රියාකාරීන් පකිස්ථාන හමුදා හා එක්ව නිල නොවන හමුදා ලෙස කටයුතු කරමින් නිදහස් අරගලකරුවන් මර්දනය කිරීමට පකිස්ථානයට සහාය දෙනවා.  රාජකාර් හමුදාවට බැඳුනු බොහෝ දෙනෙකු ඉස්ලාම් ශරීයා නීතිය මත පදනම් වූ මුස්ලීම් රාජ්‍යයක් සඳහා කැමැත්තක් දැක්වූ සහ දැඩි ඉන්දීය විරෝධයක් තිබුණු පිරිසක්. නිදහස් බංග්ලාදේශයේ අනාගමික රාජ්‍ය සංකල්පය අනුව රට තුළ ආගමික හෝ වාර්ගික පදනමක් ඇති දේශපාලන පක්ෂ තහනම් කෙරෙනවා. ඒ අනුව, විශාල පරතරයක් සහිතව වුවත්, අවසන් වරට පැවති මැතිවරණයේදී දෙවන වැඩිම ඡන්ද ලබාගත් ජමාත්-ඉ-ඉස්ලාම් බංග්ලාදේශය තුළ තහනම් වෙනවා. එහි ප්‍රධාන ක්‍රියාකාරීන් රටෙන් පලා යනවා. 

මේ අනුව, ආගමික පදනමක් තිබුණු, ඒකාබද්ධ පකිස්ථානයේ කොටස් දෙකේම යම් ජන පදනමක් තිබුණු, මුස්ලිම් දේශපාලන පක්ෂ ගණනාවකට බංග්ලාදේශය තුළ ඉඩක් නැති වෙනවා. ඉස්ලාම් ආගමික දේශපාලනයට මතු වීමට ඉඩක් නැති වෙනවා. නමුත් ඉස්ලාම් අන්තවාදය ඇතුළු ඉස්ලාම් ආගමික දේශපාලනය අළු යට ගිණිපුපුරු ලෙස බංග්ලාදේශය තුළ තවදුරටත් ඉතිරි වෙනවා. මුජිබ්වාදයට එරෙහි එක් ප්‍රධාන කණ්ඩායමක් වන්නේ මේ පිරිසයි. එවකට ඇමරිකා කඳවුරේ සිටි පකිස්ථානය සමඟ වූ සම්බන්ධය හා ආගමිකත්වය නිසා වාමාංශික කඳවුර මෙන්ම අවාමි ලීගය විසින්ද ඔවුන්ව පොදුවේ ලේබල් කරන්නේ දක්ෂිණාංශික අන්තවාදීන් ලෙසයි.

මුජිබ්වාදයට එරෙහි දක්ෂිණාංශික විරෝධයට ප්‍රධාන හේතුවක් වන්නේ එහි අනාගමික රාජ්‍ය සංකල්පයයි. ඔවුන් විසින් එය දකින්නේ සහ හුවා දක්වන්නේ ආගම් විරෝධයක් හා ආගම් මර්දනයක් ලෙසයි. ඒ අනුව, ඔවුන් මුජිබ්වාදයේ ප්‍රජාතන්ත්‍රවාදයද ප්‍රශ්න කරනවා. ඒ මුජිබ්වාදය සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් නොවන්නේය යන පැත්තෙන්. මීට අමතරව, බංගලි ජාතිකවාදය ඔවුන් දකින්නේ ඉන්දියානු අධිරාජ්‍යවාදයකට යටවීමක් ලෙසයි. 

අනෙක් පැත්තෙන් මුජිබ්වාදයට එරෙහිව ඉදිරියට එන ප්‍රධාන කණ්ඩායම් වන්නේ මාක්ස්වාදීන්. මේ වෙද්දී ලෝකයේ අනෙක් රටවල වගේම බංග්ලාදේශයේද මාක්ස්වාදීන් චීන හා රුසියානු කඳවුරු වශයෙන් පිල් බෙදිලා. ලෝක දේශපාලනය තුළ පකිස්ථානය ඇමරිකා-චීන කඳවුරේ සහ රුසියාව ඉන්දියාව සමඟත් සිටීමත්, අවාමි ලීගය ඉන්දියානු හිතවාදී වීමත් නිසා, ප්‍රතිවිරෝධතා සමඟ වුවත්, රුසියානු කඳවුරේ මාක්ස්වාදීන් අවාමී ලීගයට වක්‍ර සහයෝගයක් ලබා දෙනවා. එහෙත්, චීන පිලෙන් සෘජු හෝ වක්‍ර සහයෝගයක් ලැබෙන්නේ නැහැ. චීන පිල හා රුසියන් පිල කියා කිවුවත් මේ පිල් දෙකේම කුඩා පක්ෂ හා සංවිධාන ගණනාවක් තිබෙනවා. මුස්ලිම් පක්ෂ හා සංවිධාන වුනත් එහෙමයි.

බංග්ලාදේශ ශිෂ්‍ය දේශපාලනය මුල සිටම, ඒ කියන්නේ බංග්ලාදේශය හැදෙන්නටත් පෙර සිටම, ඉතාම ප්‍රබල, සංවිධානාත්මක හා ජාතික දේශපාලනයට බලපෑම් කළ හැකි එකක්. ඒ වගේම, බංග්ලාදේශ ශිෂ්‍ය දේශපාලනය ආයුධ සන්නද්ධ දේශපාලනයක් කියා කියන්නත් පුළුවන්. ලංකාවේ සරසවි සිසුන්ගෙන් සමහරෙක් 1971දී හා 1988/89 කාලයේදී දේශපාලන ව්‍යාපාරයකට සම්බන්ධ වී ආයුධ අතට ගත්තත් ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය පොදුවේ ශිෂ්‍ය ව්‍යාපාරයක් ලෙස කවදාවත් ආයුධ සන්නද්ධ වී නැහැ. 

මුජිබුර් රහ්මන්ගේ දේශපාලනයේ මුල් තියෙන්නෙත් ශිෂ්‍ය දේශපාලනය ඇතුළේ, අනෙක් පැත්තෙන් බංග්ලාදේශ ශිෂ්‍ය දේශපාලනයේ මුල් ඇදෙන්න පටන් ගන්නේ මුජිබුර් රහ්මන් විසින් 1948දී ස්ථාපනය කළ බංග්ලාදේශ ඡත්ර ලීගයෙන්. පසුව අවාමී ලීගයේ ශිෂ්‍ය අංශය බවට පත් වෙන්නේ මේ බංග්ලාදේශ ඡත්ර ලීගය. මෙය දැනටත් ඉතාම සක්‍රිය සංවිධානයක්. 

මුජිබ්වාදයේ සාධනීයම අංගයක් සේ සැලකිය හැක්කේ එවක පැවති ලෝක දේශපාලනය තුළ බැහැර කළ නොහැක්කක් වූ සමාජවාදය මූලික කුළුණක් සේ යොදාගන්නා අතරම එය අන්තවාදයක් කරා තල්ලු නොකරමින් හදන සමාජවාදය හා ප්‍රජාතන්ත්‍රවාදය අතර මිශ්‍රණය. නමුත් මාක්ස්වාදීන්ට මුජිබ්වාදයේ සමාජවාදී කොටස ප්‍රමාණවත් වන්නේ නැහැ. විවේචනය දරුණුවටම එන්නේ චීන කඳවුරෙන්. 

බංග්ලාදේශ ජාතික අවාමි පක්ෂයේ චීන පිල, බංග්ලා ශිෂ්‍ය සංගමය, හා බංග්ලාදේශ කොමියුනිස්ට් පක්ෂයේ චීන පිල මුජිබුර් රහ්මන්ගේ ව්‍යවස්ථාව එකහෙළාම ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් කියන්නේ මෙම ව්‍යවස්ථාව සමාජවාදී හෝ ප්‍රජාතන්ත්‍රවාදී නොවන බවයි. ඔවුන්ගේ එක් ප්‍රධාන විවේචනයක් වන්නේ ව්‍යවස්ථාව මගින් රටේ සියල්ලන්ටම ආහාර, නිවාස, ඇඳුම්, අධ්‍යාපනය හා සෞඛ්‍යය ලබා දීම සහතික කරමින් ඒවා මූලික අයිතිවාසිකම් ලෙස පිළිගෙන නැති බවයි. දෙවන ප්‍රධාන විවේචනය වන්නේ මෙමගින් බංග්ලාදේශයේ ඇති විදේශ වත්කම් ජනසතු කිරීමක් සිදු නොකෙරෙන බව හා එමගින් තවදුරටත් වැඩවසම් ක්‍රමය හා අධිරාජ්‍යවාදය නඩත්තු කෙරෙන බවයි. 

අවාමි ලීගයේ ශිෂ්‍ය අංශය වූ ඡත්ර ලීගයෙන් කැඩීගිය කණ්ඩායමක් මුල් වී හදන ජාතික සමාජවාදී පක්ෂය (ජාතීයො සමාජතන්ත්‍රික් දාල්) විසින් ගන්නා ස්ථාවරය වන්නේද මෙම ව්‍යවස්ථාව පිළිගත නොහැකි බවයි. ඔවුන්ගේ අදහස අනුව, මෙම ව්‍යවස්ථාව මගින් පංති-ගැටුම පිළිනොගන්නා අතර, පාර්ලිමේන්තු ක්‍රමයක් හරහා සමාජවාදය ඇති කිරීම පිළිබඳව ඔවුන් විශ්වාසය තබන්නේ නැහැ. මීට කිට්ටු ස්ථාවරයක සිටින ගොවි කම්කරු සමාජවාදී පක්ෂයේ විවේචනය ප්‍රධාන වශයෙන් එල්ල වන්නේ පෞද්ගලික දේපොළ අයිතිය අහෝසි කිරීම හෝ දැඩි ලෙස සීමා කිරීම සඳහා ව්‍යවස්ථාවෙන් ප්‍රමාණවත් ප්‍රතිපාදන සපයා නොතිබීම පිළිබඳවයි.

කෙසේ වුවත්, බංග්ලාදේශ ජාතික අවාමි පක්ෂයේ රුසියානු පිල, බංග්ලාදේශ ශිෂ්‍ය සංගමය, හා බංග්ලාදේශ කොමියුනිස්ට් පක්ෂයේ රුසියානු පිල විසින් දක්වන්නේ නාමික විරෝධයක් පමණයි. ඔවුන් රාජ්‍යය හා ආගම වෙන් කිරීම පිළිබඳව ව්‍යවස්ථාදායක කමිටුවට ප්‍රශංසා කරනවා.

පොදුවේ ගත් විට මේ සමාජවාදී පක්ෂ හා කණ්ඩායම් වල විවේචනය මුජිබුර් රහ්මන්ගේ ව්‍යවස්ථාවේ ප්‍රමාණවත් සමාජවාදයක් නොමැති වීම පිළිබඳවයි. මුජිබ්වාදයට එරෙහිව දක්ෂිනාංශික විරෝධයක් ලොකුවට මතු වන්නේ නැහැ. අවාමි ලීගයේ හා ව්‍යවස්ථාදායක සභාවේ කිහිප දෙනෙකු විසින් පමණක් වඩා දක්ෂිණාංශික බංග්ලාදේශයක් වෙනුවෙන් පෙනී සිට ඇතත් ඔවුන්ගේ අදහස් පහසුවෙන්ම යටපත් වෙනවා. 

නිදහස් බංග්ලාදේශයේ පළමු මහ මැතිවරණයෙන් අවාමි ලීගයට වලංගු මුළු ඡන්ද ප්‍රමාණයෙන් 73.2%ක් හිමි වෙනවා. මෙය ජනතාව විසින් බංග්ලාදේශයේ පළමු ව්‍යවස්ථාව මෙන්ම මුජිබ්වාදයද අනුමත කිරීමක් සේ සැලකිය හැකියි. ආගමික පක්ෂ වලට ඉඩක් නොතිබුණු මෙම මැතිවරණයේදී ඉතිරි ඡන්ද බෙදී යන්නේ සෘජු ලෙසම මාක්ස්වාදය මත පදනම් වූ විද්‍යාත්මක සමාජවාදය වෙනුවෙන් පෙනී සිටින පක්ෂ ගණනාවක් අතරයි. අනාගමික රාජ්‍ය සංකල්පය සඳහා ඒ වෙද්දී බංග්ලාදේශයේ විශාල ජන අනුමැතියක් තිබෙනවා. 

පළමු මහ මැතිවරණයෙන් අවාමි ලීගයට වලංගු මුළු ඡන්ද ප්‍රමාණයෙන් 73.2%ක් හිමි වෙද්දී එම පක්ෂය සමඟ යම් සහයෝගයකින් කටයුතු කරන බංග්ලාදේශ ජාතික අවාමි පක්ෂයේ රුසියානු පිල තවත් 8.3%ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නවා. ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන ජාතික සමාජවාදී පක්ෂය විසින් මෙම මැතිවරණයේදී ලබා ගන්නේ 6.5%ක ඡන්ද ප්‍රතිශතයක් පමණක් වුවත් දිගින් දිගටම සිදු කරන ආණ්ඩු විරෝධී ක්‍රියාකාරකම් හරහා මුජිබර් රහ්මාන්ගේ ආණ්ඩුවට හිසරදයක්වීමට එම පක්ෂය සමත් වෙනවා. බංග්ලාදේශ ජාතික අවාමි පක්ෂයේ චීන පිලද ආණ්ඩුවට මෙවැනිම හිසරදයක් වෙනවා. 

අරගල වලින් බලය ලබා ගෙන පිහිටුවන ආණ්ඩු වලට මෙන්ම මැතිවරණ වලින් විශාල බලයක් ලබාගෙන හදා ගන්නා ආණ්ඩු වලටද හැදෙන සාමාන්‍ය "රෝගයක්" වන්නේ කවර ආකාරයකින් හෝ දිගටම බලයේ සිටීමට උවමනාවක් ඇති වීමයි. මේ රෝගය ඉතා ඉක්මණින්ම මුජිබර් රහ්මාන්ටත් හැදෙනවා. ඒ අනුව සහ ජාතික සමාජවාදී පක්ෂයේ සහ ජාතික අවාමි පක්ෂයේ චීන පිලේ අඛණ්ඩ විරෝධතා හමුවේ මුජිබර් රහ්මාන්ගේ ආණ්ඩුව විසින් 1975දී රටේ සියලුම දේශපාලන පක්ෂ තහනම් කරනවා. එය කරන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් මගින්. පාර්ලිමේන්තු ආසන සියල්ලම මෙන් තිබෙන්නේ අවාමි ලීගය සතුව නිසා මෙය එතරම් අසීරු කටයුත්තක් වන්නේ නැහැ. මේ අනුව අවාමි ලීගයද ඇතුළු රටේ සියලුම දේශපාලන පක්ෂ නිල වශයෙන් අහෝසි වෙනවා. 

ඉන් පසුව ගෙන එන ව්‍යවස්ථා සංශෝධනයක් මගින් මුජිබර් රහ්මාන් විසින් පාර්ලිමේන්තු ක්‍රමයද වෙනස් කරනවා. රටේ විධායකය අගමැති වෙනුවට ජනාධිපති බවට පත් වෙනවා. ව්‍යවස්ථාව මගින් ජනාධිපති බලතල අඩු කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩක් බව ආණ්ඩු විරෝධී වාමාංශික පක්ෂ විසින් කර තිබුණු විවේචනයක්.  මුජිබර් රහ්මාන් අගමැතිකමින් ඉල්ලා අස්වී විධායක ජනාධිපති ලෙස දිවුරුම් දෙනවා. මාස අටකට පසු ඔහු ඝාතනය වන්නේ විධායක ජනාධිපති ලෙසයි.

මෙම ව්‍යවස්ථා සංශෝධනය මගින් බංග්ලාදේශයට තනි පක්ෂ ක්‍රමයක් හඳුන්වා දෙනවා. මේ අනුව, මැතිවරණ දිගටම පැවැත්වෙන නමුත් එම මැතිවරණ සඳහා ඉදිරිපත් විය හැක්කේ බාක්සාල් ලෙස කෙටියෙන් හැඳින්වෙන බංග්ලාදේශ ගොවි කම්කරු අවාමි ලීගයේ සාමාජිකයින්ට පමණයි. මුජිබර් රහ්මාන්ගේ අවාමි ලීගය සමඟ ජාතික අවාමි පක්ෂයේ හා බංග්ලාදේශ කොමියුනිස්ට් පක්ෂයේ රුසියානු හිතවාදී කණ්ඩායම් බාක්සාල් සාමාජිකත්වය ලබා ගන්නා නමුත් ජාතික සමාජවාදී පක්ෂය ඇතුළු චීන හිතවාදී වාමාංශික පක්ෂ බාක්සාල් සාමාජිකත්වය ලබා ගන්නේ නැහැ. 

අද සම්මතයන් අනුව බැලුවහොත් මෙහිදී සිදුව තිබෙන්නේ මුජිබ්වාදය ප්‍රජාතන්ත්‍රවාදයේ සිට ඒකාධිපතිත්වයක් වෙත තල්ලු වීමක්. එහෙත්, එවකට ලෝක දේශපාලනය තුළ ප්‍රබල තැනක සිටි සමාජවාදී කඳවුරේ සම්මතයන් අනුව ප්‍රජාතන්ත්‍රවාදයට තිබුනේ වෙනම අර්ථකතනයක්. අද අප දන්නා අර්ථයෙන් ප්‍රජාතන්ත්‍රවාදය සංකල්පගත වූයේ ධනවාදී බටහිර ලෝකය තුළ පමණයි. චීන, රුසියන් කඳවුරු භේදයක් නැතිව, සමාජවාදී ලෝකයේ සම්මතය වූයේ තනි පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයයි. එම කඳවුර විසින් එය ඒකාධිපතිත්වයක් සේ සැලකුවේ හෝ හඳුනා ගත්තේ නැහැ. 

මේ අනුව බංග්ලාදේශයේ හතරවන ව්‍යවස්ථා සංශෝධනය මගින් සිදු වන්නේ මුජිබ්වාදය තව දුරටත් සමාජවාදී අන්තය වෙත තල්ලු වීමක්. එහි එක් අරමුණක් වූයේ විපක්ෂයේ ආණ්ඩු විරෝධී තර්ක වල වලංගු භාවය නිශේධනය කිරීමයි. දෙවැන්න අවාමි ලීගයේ හා මුජිබුර් රහ්මන්ගේ බලය තව දුරටත් තහවුරු කර ගැනීමයි. මෙම සංශෝධනය හරහා ව්‍යවස්ථාදායකයේ බලතල කප්පාදු කිරීමට අමතරව අධිකරණයේ බලතලද කප්පාදු කෙරෙන අතර විධායකය වෙත බලය කේන්ද්‍රගත වීමක් සිදු වෙනවා. 

කෙසේ වුවත්, වැඩි කලක් යන්නට මත්තෙන්, මුජිබර් රහමන් ඝාතනය වන්නේ බංග්ලාදේශයේ පළමු ව්‍යවස්ථාව මෙන්ම මුජිබ්වාදයද පැත්තකට තල්ලු කරමිනුයි. මෙම ඝාතනය පසුපස ඛොන්දකාර් මොෂ්ටක් අහමඩ්ගේ හස්තය ඇතැයි සැලකෙනවා. මුජිබර් රහමන් ඝාතනයෙන් පසුව ආණ්ඩුව අතට ගන්නේ ඛොන්දකාර් මොෂ්ටක් අහමඩ් විසිනුයි. ඒ වන විට ඔහු මුජිබුර් රහ්මන්ගේ අමාත්‍ය මණ්ඩලයේ වාණිජ ඇමති ධුරය දරනවා. ඊට අමතරව ඔහු බාක්සාල්හි විධායක කමිටුවේ හා මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කරනවා. එහෙත්, මුජිබුර් රහ්මන්ගේ අනුප්‍රාප්තිකයා වීමට සුදුසුකම් ඇති පළමු පුද්ගලයා ඛොන්දකාර් අහමඩ් නෙමෙයි.

තමන් බංග්ලාදේශයේ විධායක ජනාධිපති බව ප්‍රකාශයට පත් කරන ඛොන්දකාර් අහමඩ් විසින් හමුදා කොටස් වල සහයෝගය ඇතිව බලය තහවුරු කරගන්නේ අවාමි ලීගයේ ඉදිරිපෙළ නායකයින් සිවු දෙනෙකු ඇතුළු පක්ෂ ක්‍රියාකාරිකයින් සිය ගණනක් සිරගත කරමිනුයි. එම නායකයින් සිවු දෙනා අතරින් සයිද් නස්රුල් ඉස්ලාම් යනු මුජිබුර් රහ්මන් රජයේ උප ජනාධිපති ලෙස කටයුතු කර ඇති පුද්ගලයෙක්. තාජුදීන් අහමඩ් බංග්ලාදේශයේ පළමු අගමැති. කර්මාන්ත ඇමති කමාරුස්සමාන් අවාමි ලීගයේ සභාපති ධුරය දැරූ අයෙක්. මන්සූර් අලිද අගමැති ධුරය දැරූ අයෙක්. මුජිබුර් රහ්මන්ව ඝාතනය කිරීමෙන් අනතුරුව අවාමි ලීගයේ මේ ඉදිරි පෙළ නායකයින් සිවු දෙනාම සිරගත කෙරෙනවා. ඒ ඔවුන් ඛොන්දකාර් විසින් පිහිටුවන ආණ්ඩුවට සම්බන්ධ වීම සඳහා කෙරෙන ආරාධනය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුවයි. 

මීට සමාන්තරව ඛොන්දකාර් විසින් ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් තිදෙනාවම ඉවත් කරනවා. මේ අවස්ථාවේදී නියෝජ්‍ය හමුදාපති තනතුරේ සිටි බෙගම් ඛලිඩා සියාගේ සැමියා වූ සියා රහ්මන්ට හමුදාපති ධුරය හිමි වෙනවා. මුජිබර් රහ්මන් ඝාතනයට සම්බන්ධ වූ කණ්ඩායමට ඛොන්දකාර්ගෙන් ජනාධිපති මුක්තිය හිමි වෙනවා.

ඛොන්දකාර් විසින් ආණ්ඩු බලය ලබා ගැනීමෙන් පසුව හමුදා වලට අණ දීමේ බලය ජනාධිපති මන්දිරයේ සිටින, ඛොන්දකාර් අහමඩ්ට හිතවත් කනිෂ්ඨ නිලධාරීන් අතට යනවා. මේ ගැන බංග්ලාදේශ නිදහස් සටන මෙහෙයවූ සේනාධිනායකයෙකු වූ මේජර් ජනරාල් ඛාලිඩ් මොෂරාෆ් ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් කණස්සල්ලට පත් වෙනවා. ඔහු සියා රහ්මන් සමඟද සාකච්ඡා කර හමුදාව මුල් වී ඛොන්දකාර් ඇතුළු පිරිස ඉවත් කළ යුතුය යන නිගමනයට එනවා. සියා රහ්මන් විසින්ද පවතින තත්ත්වය ගැන ඔහුගේ කණස්සල්ල පළ කළත්, ඒ අවස්ථාවේදී ඛොන්දකාර්ව ඉවත් කිරීමට එකඟ වෙන්නේ නැහැ.

ඛොන්දකාර්ට තව දුරටත් බලයේ රැදී සිටීමට හැකියාවක් නැති බව තේරුම් ගන්නා ඔහුට හිතවත් හමුදා නිලධාරීන් තනතුරෙන් ඉවත්ව පණ බේරාගෙන රටින් පිටව යාමට ඔහුව පොළඹවා ගන්නවා. එහෙත් ඔවුන් බලය අත හැර යන්නේ යන යකා කොරහත් බිඳගෙන යන ක්‍රමයටයි. සිරගත කර දෙමසකට පසුව, ඒ වන විට සිරගතව සිටි අවාමි ලීගයේ ඉදිරිපෙළ නායකයින් සිවු දෙනාවම බන්ධනාගාරය තුළදී ඝාතනය කෙරෙනවා. 

ඒ මේ අවස්ථාවේදී බංග්ලාදේශ මේජර් ජනරාල් ඛාලිඩ් මොෂරාෆ් විසින් හමුදා ආණ්ඩුවක් පිහිටුවනවා. ඉන් පසුව, සියා රහ්මන්ව හමුදාපති ධුරයෙන් ඉවත් කර ඔහුව නිවාස අඩස්සියට පත් කරනවා.

ඛාලිඩ් මොෂරාෆ්ගේ හමුදා ආණ්ඩුවට ආයුෂ තිබෙන්නේ දින හතරක් පමණයි. අවාමි ලීගයට විරුද්ධ දේශපාලනයක යෙදුනු ජාතික සමාජවාදී පක්ෂයට සම්බන්ධ හමුදා ඛණ්ඩයක් විසින් සියා රහ්මන්ව මුදා ගැනෙන අතර, ඛාලිඩ් මොෂරාෆ්ව ඝාතනය කෙරෙනවා. මාස තුනකට අඩු කාලයක් ඇතුළත සිදු වන මේ බල පෙරලි සියල්ලෙන් පසුව සියා රහ්මන් විසින් හමුදා ආණ්ඩුවක් පිහිටුවනවා.

නිදහස් අරගලයේ සේනාධිපතියෙකු වූ සියා රහ්මන්ටද එහි උරුමයක් තිබෙනවා. මුජිබුර් රහ්මන් වෙනුවෙන් ගුවන් විදුලියෙන් බංග්ලාදේශ ස්වාධීනත්වය නිවේදනය කරන්නේ ඔහුයි. කෙසේ වුවත්, බහුතර අවාමි ලීග සාමාජිකයන්ගේ සහයෝගය ලබා ගැනීමට සියා රහ්මන් සමත් වන්නේ නැහැ.

මේ හේතුව නිසා සියා රහ්මන්ට එකතු කර ගන්නට වෙන්නේ එකිනෙකට හාත්පසින්ම වෙනස් කණ්ඩායම් දෙකක්. ඒ අවාමි ලීගයට විරුද්ධ මුස්ලිම් අන්තවාදීන් හා වාමාංශික අන්තවාදීන්. මේ අනුව, බහු පක්ෂ ක්‍රමය නැවතත් ස්ථාපනය කෙරෙන අතර මුස්ලිම් පක්ෂ වලටද දේශපාලනය කිරීමට අවස්ථාව ලැබෙනවා. හමුදා පාලනය යටතේ ව්‍යවස්ථාවේ ඇතැම් වගන්ති අත් හිටවෙන අතර බංග්ලාදේශය තව දුරටත් අනාගමික රාජ්‍යයක් වන්නේ නැහැ.

මතු සම්බන්ධයි. 

Thursday, August 15, 2024

මුජිබූර් රහ්මන් - දෙවන වරට ඝාතනය වීමෙන් පසු...


නූතන බංග්ලාදේශයේ නිර්මාතෘ ලෙස සැලකෙන බංගබොන්ධු ෂේක් මුජිබූර් රහ්මන් ඇතුළු පවුලේ සාමාජිකයින්ව ඝාතනය වූයේ අදට වසර 49කට පෙර 1975 අගෝස්තු 15 දිනයි. පසුගිය වසර තෙක් වසර ගණනාවක්ම මෙම අගෝස්තු 15 දිනය බංග්ලාදේශයේ ජාතික ශෝක දිනයක් හා රජයේ නිවාඩු දිනයක්ව පැවතුනා. එහෙත්, මෙම වසරේදී බංග්ලාදේශ අන්තර්වාර රජය විසින් අගෝස්තු 15 නිවාඩුව අවලංගු කළා.

බංගබොන්ධු මුජිබර් රහ්මන් බංග්ලාදේශයේ හිටපු අගමැතිනිය වූ ෂේක් හසීනාගේ පියා. කැරලිකරුවන් විසින් කඩා බිඳ දැමුවේ බංග්ලාදේශය පුරා තිබුණු ෂේක් මුජිබර් රහ්මන්ගේ පිළිමයි. 

බංගබොන්ධු මුජිබර් රහ්මන්, ඔහුගේ බිරිඳ, හා පුතුන් තිදෙනා ඇතුළු පිරිසක් සමූහඝාතනයට ලක් වූයේ ධාකාහි, ධාන්මොන්ඩි ප්‍රදේශයේ පිහිටි ඔහුගේ පෞද්ගලික නිවස තුළදීයි. මෙම සමූහඝාතනයෙන් පසුව මුජිබර් රහ්මන් ජීවත් වූ ධාන්මොන්ඩි නිවස හමුදා රජය භාරයට ගැනුණු අතර, වසර ගණනාවක් යන තෙක් ෂේක් හසීනා ඇතුළු පවුලේ සාමාජිකයින්ට නිවසට ඇතුළු වීමට අවසර ලැබුණේ නැහැ. 

පසුව මෙම නිවසේ අයිතිය ෂේක් හසීනා වෙත ලැබීමෙන් අනතුරුව 1994දී එය බංගබොන්ධු මුජිබර් රහ්මන් අනුස්මරණ කෞතුකාගාරයක් බවට පරිවර්තනය කෙරුණු අතර බංගබොන්ධු භබාන් ලෙස හැඳින්වුණා. 2009දී මෙම ස්ථානය බංග්ලාදේශයේ ජාතික උරුමයක් ලෙසද නම් කෙරුණා. 

ෂේක් හසීනාගේ ඉල්ලා අස් වීමෙන් අනතුරුව, පසුගිය අගෝස්තු 5 දින හවස්වරුවේ විරෝධතාකරුවන් විසින් මෙම අනුස්මරණ කෞතුකාගාරය මුළුමනින්ම ගිණි තබා විනාශ කළා. ඒ අවස්ථාවේදී පණ පිටින් පිළිස්සී අඟුරු වූ සිරුරු හතරක් පසුව සොයා ගැනුනා.

බංග්ලාදේශ අන්තර්වාර රජය විසින් අගෝස්තු 15 නිවාඩුව අවලංගු කළත්, මෙම 49 වන අනුස්මරණ ශෝක දිනය සැමරීම සඳහා අවාමි ලීගයේ ආධාරකරුවන් අද (අගෝස්තු 15) දින බංගබොන්ධු භබාන් පැවති ස්ථානයට රැස් වුනා. එහෙත්, පෙර දින රාත්‍රියේ සිටම පොලු මුගුරු ගෙන අදාළ ස්ථානය "මුර කළ" අරගලකරුවන් විසින් අවාමි ලීගයේ ආධාරකරුවන්ට ශෝක දින සැමරුම සිදු කිරීමට ඉඩ දුන්නේ නැහැ. 

බංග්ලාදේශ නිදහස් සටනට නායකත්වය සැපයූ බංග්ලාදේශ අවාමි ලීගය බංග්ලාදේශයේ පැරණිම දේශපාලන පක්ෂයයි. එහි ඉතිහාසය පෙර සටහනක විස්තර වශයෙන් ලියා ඇති බංග්ලාදේශය බ්‍රිතාන්‍ය ඉන්දියාවේ කොටසක් වූ කාලය දක්වා සම්බන්ධ කළ හැකියි.

නිදහසට පෙර, ඉන්දියානු ජාතික කොංග්‍රසය විසින් ඒකාබද්ධ ඉන්දියාවක් නිර්මාණය කර ගැනීම සඳහා විවිධ ජාතීන් හා ආගමිකයින් එකතු කර ගනිද්දී සමස්ත ඉන්දීය මුස්ලිම් ලීගය විසින් වෙනම මුස්ලිම් රාජ්‍යයක් සෑදීම සඳහා ඉන්දියාවේ මුස්ලිමුන් සංවිධානය කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඒකාබද්ධ පකිස්ථානයක් බිහි වෙනවා.

ඒකාබද්ධ පකිස්ථානය බිහි වීමෙන් පසුව විවිධ ජාතීන් එකතු කර ගනිමින් පකිස්ථානු ජාතිය ගොඩ නැගීම සඳහා ගන්නා උත්සාහය තුළ ප්‍රමුඛත්වය ලැබෙන්නේ ඉස්ලාම් ආගමට හා උර්දු භාෂාවටයි. මෙහිදී බෙංගාලි භාෂාව මෙන්ම ඉස්ලාම් නොවන ආගම් දෙවන තැනට වැටෙනවා. මෙයට එරෙහිව, වාමාංශික, ලිබරල්, අනාගමික පක්ෂයක් ලෙස පකිස්තානු අවාමි ලීගය ගොඩ නැගෙනවා. එම පක්ෂයට අන්තගාමී නොවන මුස්ලිමුන් මෙන්ම නැගෙනහිර පකිස්ථානයේ බෙංගාලි භාෂාව කතා කරන බහුතරය මෙන්ම පකිස්ථානයේ කොටස් දෙකේම ජීවත්වන හින්දු හා ක්‍රිස්තියානු කොටස්ද එකතු කර ගැනෙනවා. 

මුජිබූර් රහ්මන් යනු මුල් කාලයේදී ටයි කෝට් පැළඳි බටහිර නැඹුරුවක් සමඟ වාම ජාතිකවාදී අදහස් තිබුණු පුද්ගලයෙක්. ඔහුගේ ජාතිය පිළිබඳ අදහස සියල්ලන් ඇතුළත් කරගන්නා (inclusive) එකක් මිසක් කිසියම් ආගමකට හෝ ජනවර්ගයකට සීමා වූවක් නෙමෙයි.

"අවාමි" යන වචනය "මහජන" වැනි අර්ථයක් තිබෙන උර්දු වචනයක්. එය බෙංගාලි භාෂාවේ වචනයක් නෙමෙයි. බෙංගාලි වචන වල හෝ බෙංගාලි හෝඩියේ වයන්නක් නැහැ. ඒ නිසා, ඉංග්‍රීසි W ශබ්දය ලියන්නේ "ඔ" හා "ය" අකුරු වලින්. "අවාමි" ලියන්නේ "ආඔයාමි" ලෙසයි. 

කෙසේ වුවත්, බහුතරය උර්දු වූ බටහිර පකිස්ථානය තුළ අවාමි ලීගයට පුළුල් සහයෝගයක් ලැබෙන්නේ නැහැ. එහෙත්, නැගෙනහිර පකිස්ථානයේදී මේ තත්ත්වය වෙනස් වෙනවා. බෙංගාලි භාෂාව සියවස් ගණනක් ඈතට දිවෙන ඉතිහාසයක් සහ සරු සාහිත්‍යයක් තිබෙන භාෂාවක්. පකිස්තානු ජාතියක් සේ එකතු වීම සඳහා තමන්ගේ භාෂාව අත්හැර දමන්නට නැගෙනහිර පකිස්ථානයේ බෙංගාලීන් කැමති වෙන්නේ නැහැ. ඔවුන් නිදහස් බංග්ලාදේශයක් වෙනුවෙන් අවාමි ලීගය වටා එකතු වෙනවා. 

බංග්ලාදේශ නිදහස් සටනේදී ජනතාව අවාමි ලීගය වටා එකතු වන්නේ භාෂාව මත පදනම්වයි. ඒ හේතුවෙන්, එය බටහිර පකිස්ථානයේ අවාමි ලීගයෙන් වෙන් වූ, බෙංගාලින්ගේ දේශපාලන පක්ෂයක් බවට පත් වෙනවා. එහිදී පකිස්ථානය ඒකාබද්ධව තබා ගැනීම සඳහා අවියක් ලෙස යොදා ගන්න සිදු වන්නේ ඉස්ලාම් ආගමයි. මේ හේතුව නිසාම, නැගෙනහිර පකිස්තානු අවාමි ලීගය තුළ ආගමික අනන්‍යතාවයට වැඩි බරක් පැටවෙන්නේ නැහැ. එක් අපූරු කරුණක් වන්නේ ජාතිය පිළිබඳ වත්මන් ශිෂ්‍ය විරෝධතාකරුවන්ගේ අදහස් හා මුජිබූර් රහ්මන්ගේ අදහස් අතරද සැලකිය යුතු තරමේ සමානකම් තිබීමයි. 

නිදහස් බංග්ලාදේශය බිහි වී එහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කරද්දීද මුජිබූර් රහ්මන්ගේ දේශපාලන දර්ශනය මග හැරෙන්නේ නැහැ. මුජිබූර් රහ්මන්ගේ නායකත්වය යටතේ අවාමි ලීගය විසින් හදන ව්‍යවස්ථාව අනුව බංග්ලාදේශ රාජ්‍යය බිහිවන්නේ මූලධර්ම හතරක් මත පදනම්වයි. මෙම මූලධර්ම හතර මුජිබ්බාද් හෙවත් මුජිබ්වාදය ලෙස හැඳින්වෙනවා.

1. ජාතිකවාදය - බංග්ලාදේශ වැසියන්ගෙන් 99%කටත් වඩා බෙංගාලීන්. ජනගහණයෙන් 91%ක් වන මුස්ලිමුන් මෙන්ම 8%ක් වන හින්දු ආගමිකයින්ද බෙංගාලීන් වන අතර චක්මා ගෝත්‍රිකයින් වැනි අනෙකුත් පිරිස් හා බෙංගාලි නොවන සංක්‍රමණිකයින් 1%කටත් අඩුයි. ඒකාබද්ධ පකිස්ථානය තුළ විවිධ ජාතීන් එකමුතු කිරීම සඳහා ඉස්ලාම් ආගම යොදා ගැනීම දේශපාලනිකව වාසිදායක වුවත්, නැගෙනහිර පකිස්ථානයට සීමා වූ, බටහිර පකිස්ථානයෙන් වෙන් වීමේ ඉලක්කයක් ඇති, දේශපාලන ව්‍යාපාරයකට එය දෙආකාරයකින් අවාසිදායක දෙයක්. පළමුව, ඉස්ලාම් ආගම හරහා බෙංගාලයේ මුස්ලිමුන් ඒකාබද්ධ පකිස්ථානයට බැඳ තබනවා. දෙවනුව, එම ප්‍රවේශයෙන් බෙංගාලි හින්දුන් බැහැර කෙරෙනවා. බෙංගාලී ජාතිකවාදය හරහා රටේ 99%ක් එක් කඳවුරකට ගැනීමට ඉලක්ක කළ හැකියි. 

2. අනාගමික රාජ්‍යය - මේ ප්‍රවේශයද කිහිප ආකාරයකින් දේශපාලනිකව වාසිදායක වුනා. පළමුව, ඉහත විස්තර කළ පරිදි ඉස්ලාම් ආගම හරහා බටහිර පකිස්තානු රජය සමඟ පැවති සම්බන්ධය දුර්වල කරමින් මුස්ලිම් නොවන බෙංගාලින් එකතු කර ගැනීම. දෙවනුව, මෙය එවක ලෝක දේශපාලනය තුළ ශක්තිමත් තැනක සිටි සෝවියට් සමාජවාදී කඳවුරේ පරමාදර්ශ හා ගැලපීම.

3. සමාජවාදී ආර්ථිකය - මුජිබූර් රහ්මන්ගේ 1972 ව්‍යවස්ථාව අනුව අලුත් බංග්ලාදේශය මිනිසා විසින් මිනිසා සූරාකෑමට ඉඩ නොතබන සමාජවාදී ආර්ථිකයක් සහිත රටක්. මේ මගින් නිදහස් අරගලයට දායකත්වය දුන් පහළ හා මැදි ආදායම් මට්ටම් වල පිරිස් පක්ෂය හා රජය සමඟ දිගටම රඳවා ගත හැකි වුනා. සමාජවාදය හැත්තෑව දශකයේ ජාතික විමුක්ති අරගල බොහොමයක පරමාදර්ශයක්.

4. ප්‍රජාතන්ත්‍රවාදය - නිදහස් අරගලයෙන් පසුව එයට සහභාගී වූ බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වී තිබුණේ මුජිබූර් රහ්මන් මොන විදිහේ ආණ්ඩු ක්‍රමයක් හදයිද කියන එක. ඔහු ඒකාධිපතියෙක් විය හැකිය යන බිය බොහෝ අයට තිබුණා, වැඩි දෙනෙකුට අවශ්‍ය වුනේ සාමූහිකව තීරණ ගන්නා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක්. ඇතැම් අයගේ මේ බිය තුරන් කරමින් මුජිබූර් රහ්මන් විසින් වෙස්ට් මිනිස්ටර් ක්‍රමයේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක් හඳුන්වා දුන්නා. ජනාධිපති තනතුරෙන් ඉවත් වී අගමැති වුනා. 

මේ පරමාදර්ශ හතර නිදහස් අරගලයට පෙර සිටම මුජිබූර් රහ්මන් පෙනී සිටි පරමාදර්ශයි. ඒ අනුව, මේවා බංග්ලාදේශ අවාමි ලීගයේ පරමාදර්ශ හා නිදහස් අරගලයේ පරමාදර්ශද වුනා. කෙසේ වුවද, මුජිබූර් රහ්මන්ගේ බෙංගාලි ජාතිකවාදය හරහා නැගෙනහිර බංග්ලාදේශයේ බෙංගාලින් හා ඉන්දියාවේ බටහිර බෙංගාලයේ බෙංගාලින් අතර බැඳීම ඉස්මතු කෙරුණා. බෙංගාලය දෙකට කඩමින් පකිස්ථානයක් හැදීම වෙනුවෙන් කටයුතු කරද්දී මුස්ලිම් ලීගය විසින් කළේ ආගම් භේද මගින් මේ සම්බන්ධය දුර්වල කිරීමයි. 

තමන්ගේම වූ නිදහස් රටක් වෙනුවෙන් නැගෙනහිර පකිස්ථානයේ බොහෝ පිරිස් මුජිබූර් රහ්මන් හා ඔහුගේ අවාමි ලීගය වටා එකතු වුනත්, මුජිබ්වාදයේ අනාගමික රාජ්‍යය පිළිබඳව ඒ බොහෝ දෙනෙකුට පැහැදිලි අදහසක් තිබුණේ නැහැ. බොහෝ දෙනෙක් මෙය අවබෝධ කරගත්තේ අදේවවාදයක් හෝ ආගම් විරෝධී ප්‍රවේශයක් ලෙසයි. 

ඇතැම් අයට මෙය නිදහස් අරගලයට එකතු නොවී සිටීමට බාධාවක් නොවුනත්, යම් පිරිසකට අනාගමික නිදහස් බංග්ලාදේශයක ජීවත්වීමට වඩා මුස්ලිම් පකිස්ථානයක ජීවත් වීමට කැමැත්තක් තිබුණා. ඔවුන්ගේ සහයෝගය ඉස්ලාම් ආගමික පක්ෂ වලට ලැබුණා. 

නිදහසට පෙර පැවති මැතිවරණයෙන් අවාමි ලීගයට විශාල ඡන්ද ප්‍රතිශතයක් මෙන්ම ආසන සියල්ලේම මෙන් ජයග්‍රහණය ලැබී තිබුණත්, මුස්ලිම් ආගමික පක්ෂ වලටද යම් මට්ටමක සහයෝගයක් ලැබී තිබුණා. අවාමි ලීගය මෙන් නැගෙනහිර පකිස්ථානයට සීමා නොවූ එවැනි ඇතැම් පක්ෂ වල සාමාජිකයින් බංග්ලාදේශ නිදහස් අරගලයේදී අවාමි ලීගයට එරෙහිව පකිස්ථානයට සහාය දුන්නා. 

බංග්ලාදේශ නිදහස් අරගලයේදී ඇතැම් බෙංගාලින් රජය ආරක්ෂා කිරීම වෙනුවෙන් ස්වේච්ඡාවෙන් කටයුතු කළා. මොවුන් ලංකාවේ සිටි ග්‍රාමාරක්ෂකයින් වැනි සිවිල් බලකායක්. ඔවුන්ව හැඳින්වුණේ රාජකාර්ලා ලෙසයි. මෙයින් අදහස් වන්නේ ලංකාවේ පැවති රාජකාරි ක්‍රමයේදී මෙන් රජය වෙනුවෙන් නොමිලේ සේවය සැපයීමයි. එහෙත් මේ රාජකාර්ලාව පසුව පකිස්තානු හමුදා වලටද අනුයුක්ත කර ගැනුණු අතර නිදහස් සටන්කරුවන් පිළිබඳ ඔත්තු ලබා දීම හා ඔවුන් පැහැරගෙන වද හිංසා දී මරා දැමීම වැනි කටයුතු මේ රාජකාර්ලා අතින් සිදු වුනා. මේ හේතුව නිසා රාජකාර් යන වචනයේ තේරුම ස්වේච්ඡා සේවකයා යන්න වුවත්, නූතන බෙංගාලි භාෂාවේ එම වචනය යෙදෙන්නේ ද්‍රෝහියා, පාවා දෙන්නා වැනි අර්ථයකින්.

පසුගිය අරගල සමයේ එක් අවස්ථාවක කෝටා ක්‍රමය හා අදාළව ෂීක් හසීනා විසින් "නිදහස් අරගලයට සහභාගී වූ අයගේ මුණුපුරන්ට රස්සා දෙන්න එපානම් රස්සා දෙන්න ඕනෑ රාජකාර්ලාගේ මුණුපුරන්ටද?" යනුවෙන් අසා සිටියා. මේ ප්‍රකාශය විරෝධතාකරුවන්ව දැඩි ලෙස කෝප ගැන්වූ ප්‍රකාශයක් වූ අතර සිසුන් එය අර්ථකථනය කළේ ෂීක් හසීනා විසින් ඔවුන්ව රාජකාර්ලා ලෙස හැඳින්වීමක් ලෙසයි.

මතු සම්බන්ධයි.

Wednesday, August 14, 2024

දේශපාලකයන්ගේ වත්කම් හොයා ගන්න පහසු ක්‍රමයක්!


ජනාධිපතිවරණයට පෙර, මෙවර ජනාධිපති ධුරයට තරඟ වදින රනිල් වික්‍රමසිංහගේ, සජිත් ප්‍රේමදාසගේ, අනුර කුමාර දිසානායකගේ, නාමල් රාජපක්ෂගේ, විජයදාස රාජපක්ෂගේ හෝ සරත් ෆොන්සේකාගේ වත්කම් මොනවාද කියා දැන ගන්න අවශ්‍යද? එහෙමත් නැත්නම් මහින්ද රාජපක්ෂ, ධම්මික පෙරේරා වැනි අයෙකුගේ වත්කම් ගැන දැනගන්න අවශ්‍යද?

මේ වැඩේ දැන් ඉතාම පහසුයි. ජනාධිපති, අගමැති, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වැනි මහජන නියෝජිතයින්ගේ වගේම අග විනිසුරු, මහ බැංකු අධිපති, තානාපතිවරුන්, ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින්, ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් වැනි රජයේ ඉහළ තනතුරු දරන්නන්ගේ වත්කම් පිළිබඳ තොරතුරු දැන් ඔබට එකම තැනකින් පහසුවෙන් බලා ගන්න පුළුවන්.

මීට පෙරද මේ තොරතුරු ලබා ගත හැකි වුවත්, ඒ සඳහා තොරතුරු දැනගැනීමේ පණත යටතේ ඉල්ලීමක් කළ යුතු වුනා. දැන් එසේ කරන්නට අවශ්‍ය නැහැ. මෙම තොරතුරු අඩංගු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වෙබ් අඩවියට ගොස් ඔබගේ අනන්‍යතාව තහවුරු කළ හැකි තොරතුරු ඇතුළත් කිරීමෙන් පසුව මේ තොරතුරු පහසුවෙන්ම බලා ගන්න පුළුවන්. මෙය ශ්‍රී ලංකා රජය පාරදෘශ්‍යතාවය දිශාවට තබා තිබෙන දැවැන්ත පියවරක්.

ශ්‍රී ලංකා රජයේ පාරදෘශ්‍යතාවය මේ තරමටම දියුණු වී තිබෙන්නේ 2023 දූෂණ විරෝධී පණතේ ප්‍රතිපාදන අනුවයි. ඒ අනුව, මෙය අරගලයේ සෘජු ප්‍රතිඵලයක් ලෙසද හැඳින්විය හැකියි. 

ඉහත සඳහන් තොරතුරු බලා ගැනීම සඳහා පහත වෙබ් අඩවියට යන්න. 

https://ads.ciaboc.lk/



උද්ධමනය හා වැටුප් වැඩිවීම


පහත තිබෙන්නේ 2020 ජනවාරි මාසයේදී පැවති මට්ටමට සාපේක්ෂව 2024 මැයි මාසය වන විට භාණ්ඩ හා සේවා මිල ගණන් වැඩි වී ඇති ආකාරය සහ ඊට සමාන්තරව විවිධ අංශ වල වැටුප් වැඩි වී ඇති ආකාරය.

භාණ්ඩ හා සේවා මිල ගණන් වැඩි වීම = 87%

සමස්තයක් ලෙස විධිමත් පෞද්ගලික අංශයේ වැටුප් වැඩි වීම = 92%

වීධිමත් පෞද්ගලික අංශය තුළ කෘෂිකාර්මික ශ්‍රමිකයන්ගේ වැටුප් වැඩි වීම = 118%

වීධිමත් පෞද්ගලික අංශය තුළ කර්මාන්ත හා වාණිජ අංශ වල ශ්‍රමිකයන්ගේ වැටුප් වැඩි වීම = 21%

වීධිමත් පෞද්ගලික අංශය තුළ සේවා අංශයේ ශ්‍රමිකයන්ගේ වැටුප් වැඩි වීම = 14%

සමස්තයක් ලෙස අවිධිමත් පෞද්ගලික අංශයේ වැටුප් වැඩි වීම = 62%

අවිධිමත් පෞද්ගලික අංශය තුළ කෘෂිකාර්මික ශ්‍රමිකයන්ගේ වැටුප් වැඩි වීම = 63%

අවිධිමත් පෞද්ගලික අංශය තුළ කර්මාන්ත හා වාණිජ අංශ වල ශ්‍රමිකයන්ගේ වැටුප් වැඩි වීම = 61%

අවිධිමත් පෞද්ගලික අංශය තුළ සේවා අංශයේ ශ්‍රමිකයන්ගේ වැටුප් වැඩි වීම = 66%

සමස්තයක් ලෙස රාජ්‍ය අංශයේ වැටුප් වැඩි වීම = 41%

ප්‍රාථමික මට්ටමේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි වීම = 43%

ද්වීතියික මට්ටමේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි වීම = 42%

තෘතීයික මට්ටමේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි වීම = 38%

ජ්‍යෙෂ්ඨ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි වීම = 23%

වීධිමත් පෞද්ගලික අංශය තුළ කෘෂිකාර්මික ශ්‍රමිකයන්ගේ වැටුප් වැඩි වීම පමණක් යම් තරමකින් භාණ්ඩ හා සේවා මිල ගණන් වැඩි වීම ඉක්මවා යන නමුත් අනෙකුත් සියළුම අංශ වල ශ්‍රමිකයින්ගේ වැටුප් ඉහළ ගොස් තිබෙන්නේ භාණ්ඩ හා සේවා මිල ගණන් වැඩි වූවාට වඩා අඩුවෙන්. ඒ නිසා, රටේ බොහෝ දෙනෙකුට තමන්ගේ ජීවන තත්ත්වය පහත වැටී ඇති සේ තේරෙන එක පිළිබඳව පුදුමයක් නැහැ. උද්ධමනය හා ගැලපූ පසු බොහෝ දෙනෙකුගේ වැටුප් "අඩුවීමක්" සිදු වී තිබෙනවා.

මේ තත්ත්වය වෙනස් වීමටනම් රටේ ආර්ථික ක්‍රියාකාරකම් නැවත පෙර පැවති මට්ටම දක්වා ඉහළ යා යුතුයි. ආර්ථික අර්බුදය හමුවේ වුවද කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා ඉල්ලුම අඩු නොවූ බැවින් වීධිමත් පෞද්ගලික අංශය තුළ කෘෂිකාර්මික ශ්‍රමිකයන්ගේ වැටුප් උද්ධමනය ඉක්මවා ඉහළ ගොස් ඇතත්, කර්මාන්ත හා සේවා අංශ වල එවැන්නක් සිදු වී නැහැ. ඊට හේතුව රටේ ආර්ථිකය හැකිළී සමස්තයක් ලෙස ආදායම් මට්ටම පහත වැටෙද්දී අත්‍යවශ්‍ය නොවන කාර්මික හා සේවා නිෂ්පාදිත සඳහා ඉල්ලුම විශාල ලෙස පහත වැටී එම අංශ සඳහා වන ශ්‍රම ඉල්ලුමද පහත වැටීමයි. 

රාජ්‍ය අංශයෙහි වැටුප් වැඩි කිරීමක් සිදු නොකළද, වාර්ෂික වැටුප් වර්ධක හා උසස්වීම් හේතුවෙන් යම් වැටුප් ඉහළ යාමක් සිදු වෙනවා. එහෙත්, උද්ධමනය හා ගැලපූ පසු, සමස්තයක් ලෙස මේ වන විට රාජ්‍ය සේවක වැටුප් පවතින්නේ 2020 ජනවාරි පැවති මට්ටමට වඩා 25%ක් පහතිනුයි. වෙනත් විදිහකින් කිවුවොත් අදාළ කාලය තුළ රාජ්‍ය සේවකයන්ගේ මූර්ත වැටුප් 25%කින් පහත වැටී තිබෙනවා. 

වීධිමත් පෞද්ගලික අංශය තුළ කර්මාන්ත හා වාණිජ අංශ වල මූර්ත වැටුප් අඩු වීම 35%ක්ද, සේවා අංශයේ මූර්ත වැටුප් අඩු වීම 39%ක්ද වෙනවා. මීට සාපේක්ෂව සමස්තයක් ලෙස අවිධිමත් පෞද්ගලික අංශයේ මූර්ත වැටුප් අඩු වීම 13%ක් පමණයි. 

Monday, August 12, 2024

ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ පාලනය හා ව්‍යවස්ථාමය අඛණ්ඩත්වය


ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ පාලනය හා ව්‍යවස්ථාමය අඛණ්ඩත්වය කියන්නේ එකෙනෙකට සම්බන්ධ, එහෙත් වෙනම සංකල්ප තුනක්. මේ තුනම යම් ආකාරයක සම්මුතීන්. රටක දේශපාලන ස්ථාවරත්වය කෙරෙහි ඔය කරුණු තුනම බලපානවා. 

මේ තුනෙන් මුල් දෙක වාස්තවික ලෙස මනින්න අසීරු විෂයමූලික සංකල්ප දෙකක්. තුන්වැන්න බොහෝ දුරට තාක්ෂණික කරුණක්. කිසියම් අවස්ථාවක, කිසියම් තැනක, ඔය තුනම ශක්තිමත්ව තියෙන්න පුළුවන්. එහෙම නැති වෙන්නත් පුළුවන්.

ඔය තුනෙන් වඩා වැදගත් නීතියේ පාලනය. මොකද කිසියම් ආකාරයක නීතියේ පාලනයක් නැතුව සමාජයකට පවතින්න බැහැ. මේ නීතීන් අලිඛිත සම්මුතීන් පමණක් වෙන්න පුළුවන්. සමහර සමාජ සම්මුතීන් ලිඛිත නීති වලට වඩා බලසම්පන්නයි. ඒ වගේම, නීතියක් පහසුවෙන් බලාත්මක කළ හැක්කේ එය සම්මුතිය හා ගැලපෙන්නේනම් පමණයි. එසේ නැත්නම් නීතිය ක්‍රියාත්මක කළ හැක්කේ දිගින් දිගටම බලය යෙදවීමෙන්.

නීති හදන්නේ කවුද කියන එක රාජ්‍යයක ආකෘතිය අනුව වෙනස් වන දෙයක්. රාජ්‍ය ආකෘතිය කුමක් වුවත් නීති හදා ක්‍රියාත්මක කරන්න බලය අවශ්‍ය වෙනවා. නමුත් නීති අවසාන වශයෙන් සම්මුතීන් හා ගැලපුනේ නැත්නම් නීති හදන හා ක්‍රියාත්මක කරන බලය අභියෝගයට ලක්වීම කාලය පිළිබඳ ප්‍රශ්නයක්. 

නීති හැදීම හා ක්‍රියාත්මක කිරීම සඳහා රජෙකුට තිබෙන බලය බොහෝ දෙනෙකු විසින් ප්‍රශ්න නොකර පිළිගන්නවානම් එය සම්මුතියක්. ප්‍රජාතන්ත්‍රවාදය මේ සඳහා තිබෙන විකල්ප සම්මුතියක්. මෙහිදී නීති හැදීමේ හා ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ වීම සඳහා බොහෝ දෙනෙකුට අවකාශ සැලසෙනවා.

සම්මුතිය රජෙකුගේ ආධිපත්‍යය පිළිගැනීම වී ඇති සමාජ වල රජු වෙනස් වීමද ඒ සම්මුතියේම කොටසක්. ඒ නිසා, රජු වෙනස් වුනා කියලා රාජ්‍ය ආකෘතියේ වෙනසක් වෙන්නේ නැහැ. රාජ්‍යයට අඛණ්ඩ පැවැත්මක් තිබෙනවා. 

රජෙකුගේ ආධිපත්‍යය ප්‍රතික්ෂේප කරලා හදා ගන්න විකල්ප සම්මුතියකට රජු වෙනුවට ආදේශකයක් අවශ්‍ය වෙනවා. ව්‍යවස්ථාවකින් සිදුවන්නේ මේ කාර්ය භාරය. සම්මුතියක් ලෙස ව්‍යවස්ථාවක් හදා ගත්තට පස්සේ අනෙකුත් නීති හදාගන්න වෙන්නේ ඒ ව්‍යවස්ථාවට යටත්වයි. ව්‍යවස්ථාව අනෙකුත් නීති වලට වඩා ඉහළින් තිබෙන උත්තරීතර නීතියක්. 

ව්‍යවස්ථාව කියන්නෙත් සම්මුතියක් නිසා සම්මුතියෙන් ව්‍යවස්ථාවක් වෙනස් කරගන්න පුළුවන්. ඒක කරන්නේ පවතින ව්‍යවස්ථාව අනුවනම්, ව්‍යවස්ථාමය අඛණ්ඩත්වය දිගටම පවතිනවා. රජු වෙනස් වෙද්දී රාජ්‍යත්වය එලෙසම පවතිනවා වගේ. 

ප්‍රායෝගිකව ප්‍රජාතන්ත්‍රවාදය තුළ නීති හැදීම සිදු වන්නේ ජනතා නියෝජිතයින් හරහා. කිසියම් නීතියක් සම්බන්ධව හෝ නීති ක්රියාත්මක වීම පිළිබඳව සැලකිය යුතු ප්‍රමාණයක ජන කණ්ඩායමට බරපතල ප්‍රශ්න ඇති වූ විට ඒ පිළිබඳ විරෝධයක් ඇති වෙනවා. එසේ විරෝධතා දක්වන්නට ඉඩක් තිබීම හොඳ ප්‍රජාතන්ත්‍රවාදයක ලක්ෂණයක්. 

සාමකාමී විරෝධතා හරහා විරෝධතාකරුවන්ට සෑහීමකට පත් විය හැකි විසඳුමකට පැමිණිය හැකි වූ විට විරෝධතාවක් අවසන් වෙනවා. එවැන්නක් සිදු නොවූ විට සාමකාමී විරෝධතා දිග් ගැසුණු අරගල බවට පත් වෙනවා. අරගල අවස්ථාවක යම් කාලයකට, යම් ස්ථානයක නීතියේ පාලනය බිඳ වැටෙන්න පුළුවන්. නමුත් එයින් සමස්තයක් ලෙස රටේ නීතියේ පාලනය බිඳ වැටෙන්නේ නැහැ. 

සමහර විට විරෝධතාවකට හේතුව වන්නෙම නීතියේ පාලනය දුර්වල වීම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රටේ ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල වීම වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක විරෝධතාවකින් හෝ එයින් ඔබ්බට ගිය අරගලයකින් නීතියේ පාලනය ශක්තිමත් වෙන්න පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වෙන්න පුළුවන්. 

මේ වගේ අවස්ථාවලදී දිගුකාලීනව නීතියේ පාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර ගැනීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග නිසා වුවත් කෙටිකාලීනව නීතියේ පාලනය කඩා වැටෙන්න පුළුවන්. නමුත් එසේ වූ පමණින් ව්‍යවස්ථාමය අඛණ්ඩත්වය නැති වන්නේ හෝ රාජ්‍ය ආකෘතිය වෙනස් වන්නේ නැහැ. ඒ නිසා, නීතියේ පාලනය නැවත ස්ථාපනය කිරීම අමාරු වැඩක් නෙමෙයි. 

ඇතැම් විප්ලවීය අවස්ථාවන් වලදී එකවර ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ පාලනය හා ව්‍යවස්ථාමය අඛණ්ඩත්වය යන තුනම නැති වෙන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයකින් පස්සේ සාමාන්‍යයෙන් රාජ්‍යයක ආකෘතියත් වෙනස් වෙනවා. අලුතෙන් රටක් බිහි වෙන අවස්ථාව මෙවැනි සුවිශේෂී අවස්ථාවක්. 

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කොටසක්ව සිටීම ප්‍රතික්ෂේප කරමින් ඇමරිකාව නිදහස් රටක් වීම මෙවැනි විප්ලවීය අවස්ථාවක්. මේ වගේ අවස්ථාවක රාජ්‍යයකට ඓතිහාසිකව පැවති අඛණ්ඩ සම්ප්‍රදායක උරුමයක් නැහැ. අලුත් රටක් හදා ගැනීමේ මූලික පියවරක් වෙන්නේ ව්‍යවස්ථාවක් හදා ගන්න එක. 

රටක ව්‍යවස්ථාවක් හදන කටයුත්තට රටේ හැම දෙනෙක්ම සම්බන්ධ වෙන්නේ නැහැ. ප්‍රායෝගිකව මේ වැඩේ කරන්නේ බලය තිබෙන සීමිත කණ්ඩායමක් විසින්. ව්‍යවස්ථාවක් හෝ එහි මූලික අදියර වන නිදහස් ප්‍රකාශනයක් වැනි දෙයක් බලාත්මක වී ප්‍රායෝගික යථාර්ථයක් විදිහට අලුත් රටක් හෝ අලුත් රාජ්‍ය ආකෘතියක් හැදෙන්නේ අභ්‍යන්තරව හා බාහිරව එයට ලැබෙන පිළිගැනීම එක්කයි. 

ඇමරිකාව මේ විදිහට හැදුනු අලුත් රටක්. එහි රාජ්‍ය ආකෘතියේ ඉවත් කළ නොහැකි මූලික අංගයක් වන්නේ ව්‍යවස්ථාව. අනෙකුත් නීති සියල්ල හැදෙන්නේ ව්‍යවස්ථාවට යටත්ව. ඒ අනුව, රටේ නීතියේ පාලනය පවත්වා ගෙන යන්නේ ව්‍යවස්ථාවේ සහ ජනසම්මතයෙන් එයට තිබෙන පිළිගැනීමේ උදවුවෙන්. ඇමරිකාවේ ව්‍යවස්ථාව වරින් වර සංශෝධනය වී ඇතත්, ඒ සියළු සංශෝධන සිදු කර තිබෙන්නේ ව්‍යවස්ථාමය අඛණ්ඩත්වය පවත්වා ගනිමිනුයි.

අසල්වැසි ඉන්දියාව ගත්තත් තත්ත්වය මීට සමානයි. නිදහසින් පසු හැදුණු ඉන්දියාව කලින් නොතිබුණු අලුත්ම රටක්. ඒ අලුත් රටට ඓතිහාසිකව පැවති අඛණ්ඩ සම්ප්‍රදායක උරුමයක් තිබුණේ නැහැ. ඉන්දියාවත් කළේ ඇමරිකාව වගේම මුලින්ම ව්‍යවස්ථාවක් හදා ගෙන ඒ හරහා නීතියේ පාලනය ස්ථාපනය කිරීම හා ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ක්‍රමයක් ඇති කිරීම. ඒ සම්ප්‍රදාය එයින් පසුව කැඩුනේ නැහැ. 

බංග්ලාදේශය කියන්නෙත් මේ විදිහටම හැදුනු අලුත් රටක්. ඒ වගේ අලුත් රටකට මුලින්ම කරන්න සිදු වන කාර්යයක් වන්නේ ව්‍යවස්ථාවක් හදා ගන්න එක. මේ වැඩේ කළේ බංග්ලාදේශ නිදහස් සටනට නායකත්වය දුන් අවාමි ලීගය විසින්. නමුත් බංග්ලාදේශයට ඇමරිකාවට මෙන් ඔවුන්ගේ ව්‍යවස්ථාව හා ඒ යටතේ සිදු වන නීතියේ පාලනය දිගටම අඛණ්ඩව පවත්වා ගත හැකි වූයේ නැහැ. 

බංග්ලාදේශයේ ව්‍යවස්ථාව මුලින්ම බලාත්මක වුනේ 1972 දෙසැම්බර් මාසයේදී. ඒ මත පදනම්ව, 1973 මාර්තු මාසයේදී පැවති මැතිවරණයේ ප්‍රතිඵලය මගින් එම ව්‍යවස්ථාව සඳහා ජනතා අනුමැතිය තහවුරු වුනා. නමුත්. 1975 අගෝස්තු මාසයේදී රටේ නායකයා වූ මුජිබර් රහ්මාන්ව ඝාතනය කිරීමෙන් හා හමුදා ආණ්ඩුවක් පිහිටවීමෙන් පසුව මේ ව්‍යවස්ථාව අත්හිටවනු ලැබුවා. ඊට පස්සේ තිබුණේ හමුදා නීතිය.

ඔය ව්දිහට 1975දී අත් හිටවූ ව්‍යවස්ථාව නැවතත් බලාත්මක වෙන්නේ 1979දී. නමුත්, 1982දී හමුදා කුමන්ත්‍රණයක් මගින් එර්ශාඩ් බලය ගැනීමෙන් පසුව නැවතත් මුලට යනවා. එර්ශාඩ් 1986 මැතිවරණය ජයගෙන නැවත ව්‍යවස්ථාව බලාත්මක කළත්, එර්ශාඩ්ගේ මැතිවරණ සාධාරණ මැතිවරණ ලෙස බොහෝ දෙනෙක් පිළිගන්නේ නැහැ. ඛලිඩා සියා සහ ෂෙයික් හසීනාගේ නායකත්වයෙන් ඔවුන්ගේ පක්ෂ විසින් එර්ශාඩ්ගේ පාලනය අවසන් කරලා 1991 මැතිවරණය පවත්වන තුරු පැවතුණේ ඔය තත්ත්වය වුනත් 1986 වර්ෂයේ ඉඳලා නමට හරි බංග්ලාදේශයේ ව්‍යවස්ථාමය අඛණ්ඩත්වයක් තියෙනවා. ඒක වුනත් සාපේක්ෂව කෙටි කාලයක් තමයි.

ව්‍යවස්ථාමය අඛණ්ඩත්වය තිබූ පමණින් හා මොනවා හෝ මැතිවරණ තිබු පමණින් නීතියේ පාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වන්නේ නැහැ. මැතිවරණ සාධාරණ ලෙස පැවැත්වෙන බවත්, නීතිය සාධාරණ ලෙස ක්‍රියාත්මක වන බවත් බොහෝ දෙනෙකුට පෙනෙන්නට තිබිය යුතුයි. නිල නොවන පැහැර ගැනීම් ආකාරයෙන් සිදු කෙරෙන අත් අඩංගුවට ගැනීම් ආදියෙන් පෙන්නුම් කෙරෙන්නේ නීතියේ පාලනය නෙමෙයි. ඒ වගේම, විධිමත් ලෙස නීතියක් හැදු පමණින් එය සාධාරණ නීතියක් නොවන නිසා විධිමත් ලෙස හදන හැම නීතියකට පුළුල් මහජන අනුමැතියක් ලැබෙන්නේ නැහැ. ඔය වගේ තත්ත්වයන් තුළ ආණ්ඩු මාරු වලින් එහාට යන, රාජ්‍ය ආකෘතියම අභියෝගයට ලක් වන තත්ත්වයන් රටක ඇති වෙන්න පුළුවන්. බංග්ලාදේශයේ ඇති වී තිබෙන්නේ එවැනි තත්ත්වයක්.

දැන් බංග්ලාදේශයේ පිහිටුවා තිබෙන අන්තර්වාර පාලනය ව්‍යවස්ථානුකූල ප්‍රතිපාදන අනුව හදපු එකක් නෙමෙයි. වත්මන් බංග්ලාදේශ ව්‍යවස්ථාව අනුව අන්තර්වාර ආණ්ඩු කියා නීත්‍යානුකූල ව්‍යුහයක් නැහැ. අගමැති ඉල්ලා අස් වුනත්, නැවත අගමැති කෙනක් පත් වන තුරු අගමැති බලතල තියෙන්නේ හිටපු අගමැතිටයි. හරියට 1978ට පෙර ලංකාවේ තත්ත්වය වගේ. අගමැති කෙනක් පත් කරගත හැක්කේ පාර්ලිමේන්තුවට. ජනාධිපතිට තමන්ගේ කැමැත්ත අනුව අගමැති කෙනෙක් පත් කරන්න බැහැ. විධායක බලතල නැති නාමික ජනාධිපතිට එය කළ හැක්කේ පාර්ලිමේන්තුවේ කැමැත්ත අනුව පමණයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරලානම් ඒ විසුරුවා හැරපු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත අනුව. බංග්ලාදේශ ව්‍යවස්ථාවෙන් රාජ්‍යය බිඳ වැටෙන එක වලක්වා තිබෙන්නේ ඒ විදිහටයි. 

මේ මොහොතේ බංග්ලාදේශයේ ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ පාලනය හා ව්‍යවස්ථාමය අඛණ්ඩත්වය කියන තුනම බිඳ වැටිලයි තියෙන්නේ. ඒ වගේ තැනක ඉඳන් පටන් ගන්නවා කියන්නේ අලුතෙන්ම රටක් හදනවා වගේ වැඩක්. ඒ අර්ථයෙන් කැරලිකරුවන් විසින් මෙය දෙවැනි නිදහස් සටනක් සේ හැඳින්වීම නිවැරදියි. 

බංග්ලාදේශය බිහි කළ 1971 නිදහස් සටන සිදු වුනේ පුළුල් මහජන සහයෝගයක් ඇතුවයි. මේ වගේ ප්‍රකාශයක් විශ්වාසයෙන් යුතුව කළ හැක්කේ ඉන් පසු පැවති 1973 මැතිවරණයේ ප්‍රතිඵලය අනුව එය තහවුරු වන නිසා. 2024 අරගලයට පුළුල් මහජන සහයෝගයක් තියෙනවාද නැද්ද කියා කියන්න පුළුවන් වෙන්නේ යම් ආකාරයක ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයක් තුළ ජනතා කැමැත්ත පරීක්ෂාවට ලක් කිරීමෙන් පසුව පමණයි. එතෙක් එය තවත් රාජ්‍යයට එරෙහි කැරැල්ලක් පමණයි.

ව්‍යවස්ථා සම්ප්‍රදාය බිඳිමින් වුවත් බංග්ලාදේශය ආණ්ඩුවක් පිහිටවලා තිබෙනවා. දැනටනම් ඒ ආණ්ඩුවට ජාත්‍යන්තර පිළිගැනීම පිළිබඳ ප්‍රශ්නයක් ඇති වී නැහැ. අලුත් ආණ්ඩුවට මුලින්ම කරන්න තියෙන්නෙත්, කරමින් සිටින්නේත්, නීතියේ පාලනය ස්ථාපනය කිරීම. නමුත් ආණ්ඩුව බිහිවන්නේම ව්‍යවස්ථා සම්ප්‍රදාය බිඳිමින් නිසා, නීතියේ පාලනය කුමක්ද කියන එක පිළිබඳ තාක්ෂනික ගැටලුවක් මතු වෙනවා. 

අරගලයට නායකත්වය දුන් සිසුන්ගේ ඉල්ලීම් වෙනස් වුනත්, බංග්ලාදේශයට ව්‍යවස්ථා සම්ප්‍රදාය වෙත නැවත යා හැක්කේත්, රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ලෝකයට සහතිකයක් දිය හැක්කේත්, සාධාරණ මැතිවරණයක් පවත්වා පාර්ලිමේන්තුවක් හා අගමැතිවරයෙක් තෝරා පත් කරගැනීමෙන් පසුව පමණයි. 

Saturday, August 10, 2024

ජේ ආර් පොලීසියට නිවාඩු දුන්නාද?


ඉතිහාසය කියා කියන්නේ ඇත්තටම සිදු වූ දේවල්ම නෙමෙයි. සමහර දේවල් නැවත නැවත කීම හරහා කාලයත් එක්ක "ඇත්ත" වෙනවා. හැත්තෑ හතේ මහ මැතිවරණයෙන් පසුව ජේ ආර් ජයවර්ධන විසින් පොලීසියට නිවාඩු දුන්නා කියන කතාවත්, මගේ අදහස අනුව, එවැන්නක්. එය එසේ නොවන්නේයැයි කවුරු හෝ කියනවානම්, කරුණාකර පිළිගත හැකි මූලාශ්‍රයක් ඉදිරිපත් කරන්න.

මේ කතාව කාලයක් තිස්සේම නැවත නැවත ඇසී තිබෙන කතාවක්. මම මේ කතාව හැමදාමත් තේරුම් ගත්තේ හැත්තෑ හතේ මැතිවරණයෙන් පසුව සිදු වූ පශ්චාත්-මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කිරීම සඳහා ජේ ආර් ජයවර්ධන විසින් ප්‍රමාණවත් තරමින් පියවර නොගත් බව අදහස් කෙරෙන, "මහ බැංකුව කඩා සල්ලි හොරකම් කිරීම" වැනි, වචනාර්ථය අනුව තේරුම් නොගත යුතු ප්‍රකාශයක් ලෙසයි. 

දැනටත් මම මේ ගැන හිතන්නේ එවැනි ප්‍රකාශයක් ලෙසයි. ඒ වගේම, මම මෙතෙක් හිතාගෙන හිටියේ අනෙක් අය මේ ප්‍රකාශය තේරුම් ගත්තෙත් වචනාර්ථයෙන් නෙමෙයි කියලයි. නමුත් දැන් පෙනෙන්නේ එය එසේ නොවන බවයි.

මට මතක විදිහට මේ කතාව මුලින්ම ලොකුවටම මතු වුනේ අසූ තුනේ ජූලි කලබල වලින් පසුව පැවති තත්ත්වය හා සමාන කෙරෙමිනුයි. ඒ අවස්ථාවේදී සිදු වූ දෙයද යම් ආකාරයකින් පොලීසියට නිවාඩු දීමක් වැනි දෙයක්. නමුත් නිල වශයෙන් පොලීසියට නිවාඩු දීමක් සිදු වුනේ නැහැ. 

දැන් මේ කතාව ඉස්සරහට එන්නේ දකුණේ සිදු වූ පශ්චාත්-මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වෙත අවධාරණය කරමින් වුනත් හැත්තෑ හතේ මැතිවරණයෙන් පසුව උතුරේද විශාල ලෙස පශ්චාත්-මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වුනා. ඒ වගේම දකුණේ දෙමළ ජාතිකයින්ට එරෙහිව ජාතිවාදී කෝලාහල ඇති වුනා. එය සමාන කළ හැක්කේ බංග්ලාදේශයේ අවාමි ලීගයට එරෙහි ප්‍රචණ්ඩ කියා වලදී හින්දු ආගමිකයින් වැඩිපුර පීඩාවට පත් වීමටයි. මෙසේ කීමෙන් දකුණේ සිදු වූ පශ්චාත්-මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අවතක්සේරු කිරීමේ අදහසක් නැහැ.

හැත්තෑ හතේ මැතිවරණය පැවැත්වුණේ ජූලි 21. මේ මට මතක තිබෙන පළමු මැතිවරණය. නිදහසින් පසුව දිගින් දිගටම අවුරුදු පහෙන් පහට මැතිවරණ තිබ්බත්, සමගි පෙරමුණු ආණ්ඩුව විසින් 1975දී තිබිය යුතු මැතිවරණය පැවැත්වුවේ 1977දී. හැත්තෑ දෙකේ ව්‍යවස්ථාව හදද්දී කොල්වින් වංගුවක් ගහලා අවුරුදු දෙකක් කාලය වැඩි කරගත්තා. ඊට විරුද්ධ විපක්ෂ මන්ත්‍රීවරු තමන්ගේ ධුර වලින් ඉල්ලා අස් වී අතුරු මැතිවරණ වලට මුහුණ දුන්නා.

ලංකාවේ ඊනියා බුද්ධිමතුන්ගේ වාමාංශික මතවාදී ආධිපත්‍යය නිසා මේ වැරදි පූර්වාදර්ශය ගැන කතා කෙරෙන්නේ ඉතා අඩුවෙන්. මීට සාපේක්ෂව බොහෝ විට කතා කෙරෙන දෙයක් වන 1982 ජනාධිපතිවරණය ජයගැනීමෙන් පසුව ජේ ආර් විසින් මහමැතිවරණය කල් දැමීම සිදු වුනේ ජනමතවිචාරණයක් තියලා රටේ බහුතරයකගේ කැමැත්ත අරගෙන. ඒ වගේම ජනමතවිචාරණය පරාජය වූ ආසන සඳහා අතුරු මැතිවරණ තිබ්බා. 

හැත්තෑ හත දක්වා තිබුණු හැම මැතිවරණයකදීම ආණ්ඩුව මාරු වුනා. ඔය කාලයේ ගොඩක් දේවල් කළේ රජයෙන්. ඒ නිසා, රජයෙන් බාහිර ජීවිතයක් මිනිස්සුන්ට නොතිබුණු තරම්. නමුත් රජයෙන් ගන්න පුළුවන් වරප්‍රසාද බොහෝ විට ලැබුණේ බලයේ සිටි පක්ෂයේ ආධාරකරුවන්ට. රජයේ රැකියා ලැබුණේ මන්ත්‍රී චිට් එකට. කොහොම වුනත්, අවුරුදු පහෙන් පහට ආණ්ඩු මාරු වූ නිසා මේකේ අවාසිය එක කණ්ඩායමකටම පමණක් ගියේ නැහැ.

අවුරුදු පහෙන් තිබිය යුතු මහ මැතිවරණය අවුරුදු දෙකකින් කල් යාම නිසා එජාප ආධාරකරුවෝ හිටියේ ලොකු පීඩනයක. උදාහරණයක් විදිහට 1970දී පමණ පිටවූ ආණ්ඩු පක්ෂයට සහයෝගය නොදැක්වූ පවුල්වල උපාධිධාරීන්ට රජයේ රැකියා ලැබුණේ අවුරුදු හතකට පස්සේ. හැත්තෑ හතේදී ඔය චක්‍රය අනෙක් පැත්තට කැරකුනා. ඔය ක්‍රමය නැති වුනේ අසූව දශකයේ අන්තිම හරියේදී. මතක විදිහට මන්ත්‍රී චීට් ක්‍රමය වෙනුවට තරඟ විභාග ක්‍රමය හඳුන්වා දුන්නේ ජනාධිපති ප්‍රේමදාසගේ කාලයේදී. 

අනෙක් පැත්තෙන් අවුරුදු හතක් එක දිගට බලයේ හිටපු ශ්‍රීලනිපය ආසන අටට වැටුණු එක ආණ්ඩුවේ ආධාරකරුවන්ට විශාල කම්පනයක් වුනා. ඔය තත්ත්වයන් එක්ක සහ ලංකාවේ සමාජය ඒ වන විට තිබුණු තත්ත්වය එක්ක කලින් මැතිවරණ වලින් පසුව සිදු වූ පරිදිම පශ්චාත්-මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවීම අපේක්ෂා කළ හැකිව තිබුණු තත්ත්වයක්.

ජූලි 21 බ්‍රහස්පතින්දා. මට මතක විදිහට මුල්ම ප්‍රතිඵලය රේඩියෝ එකෙන් කිවුවේ සිකුරාදා පාන්දර. සිකුරාදා දවල් වගේ වෙද්දී ආණ්ඩුව පෙරලෙන බව පැහැදිලියි. ඉතිරි කොටස් ලියන්නේ සොයා ගත හැකි මූලාශ්‍ර මත පදනම්ව. 

දැන් මේ මැතිවරණය පවත්වන්නේ බ්‍රහස්පතින්දා දවසක නිසාත්, සිකුරාදා දිනයේත් ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදු වෙන නිසාත්, පාසැල් ආදී ස්ථාන ඡන්ද පොළවල් ලෙස යොදා ගන්නා නිසාත්, පොලිස් නිලධාරීන් ඇතුළු රාජ්‍ය සේවකයින් බොහෝ දෙනෙක් මැතිවරණ රාජකාරි වල යෙදෙන නිසාත්, රජය විසින් බ්‍රහස්පතින්දා හා සිකුරාදා දින රජයේ නිවාඩු දින බව කලින්ම ප්‍රකාශයට පත් කරනවා. ඊට පස්සේ එන්නේ සති අන්තය නිසා එක දිගට දවස් හතරක නිවාඩුවක් වැටෙනවා. ඊට අමතරව ඔය දවස් හතරේම තැබෑරුම් වසා මත්පැන් අලෙවිය තහනම් කරනවා. එහෙම කරන්නේ පශ්චාත්-මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කිරීමේ අරමුණින්. මොකද 1970 මහ මැතිවරණයෙන් පසුව ඇති වූ පශ්චාත්-මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වලිනුත් 17 දෙනෙක් මියගොස් විශාල දේපොළ හානියක් වෙලයි තිබුණේ. ඒ නිදහසේ පටන් ලංකාවේ පැවති සාමාන්‍ය තත්ත්වය. මේ තත්ත්වය වෙනස් වුනේ හැත්තෑ හතෙන් පස්සේ. 

මේ ඇරෙන්න පොලීසියට නිවාඩු දුන් කතාවක් මම දන්නේ නැහැ. ඒ වගේම, රජයේ නිවාඩු දවස් වුනත් පොලීසියට නිවාඩු නෙමෙයි.

බ්‍රහස්පතින්දා හා සිකුරාදා දවස් දෙකේ කලබල කිසිවක් ඇති වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ආණ්ඩුවක් පිහිටුවන තුරු සංක්‍රාන්ති කාලයේ අවිනිශ්චිත තත්ත්වයක් තියෙන නිසා කලබල ඇති වෙන්නේ නැහැ. කලබල පටන් ගන්නේ දවස් දෙකකට පස්සේ ජූලි 23 සෙනසුරාදා ජේ ආර් දිවුරුම් දීලා ආණ්ඩුව පිහිටෙවුවට පස්සේ. 

ඔය වන විට ඡන්ද රාජකාරි සඳහා රටේ විවිධ ප්‍රදේශ වලට ගිහින් හිටපු පොලිස් නිලධාරීන් බොහෝ දෙනෙක් නැවත සේවා ස්ථාන වලට වාර්තා කරලා නැහැ. විශේෂයෙන්ම 23 රෑ බස්නාහිර, දකුණු හා සබරගමු පළාත් වල හා මහනුවර ප්‍රදේශයේ ඉතා කෙටි කාලයක් තුළ පශ්චාත්-මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැතිරෙනවා. පසුව මන්නාරමේත් ගැටුම් ඇති වෙනවා. 

ඊට පහුවෙනිදා, ඒ කියන්නේ ජූලි 24 ඉරිදා, රජය විසින් දිස්ත්‍රික්ක අටකට දින දෙකකට ඇඳිරි නීතිය පනවලා ඉතා ඉක්මණින් තත්ත්වය පාලනය කරනවා. අලුතෙන් දිවුරුම් දුන් අගමැති ජේ ආර් ජයවර්ධන ගුවන් විදුලියෙන් ජාතිය අමතා කලබල නවත්වා සාමකාමී වන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ එක්කම, හිටපු අගමැතිනිය විසින්ද එවැනිම ඉල්ලීමක් කරනවා. 

නමුත් ඒ වෙද්දීත් දෙපාර්ශ්වය අතර ගැටුම් වලින් මරණ 20ක් වෙලා. තවත් ගොඩක් අයට තුවාළ වෙලා. විශාල දේපොළ හානියක් සිදු වෙලා. ඇඳිරි නීතිය ඉවත් කරන විට ද්විත්ව මිනීමැරුම් දෙකක් ඇතුළුව මරණ 34ක් සිදු වෙලා.

සඳුදා වෙද්දී තත්ත්වය සෑහෙන්න පාලනය වෙලා. ඒ නිසා, කලින් පනවපු ඇඳිරි නීතිය ලිහිල් කරනවා. ජනජීවිතය යථා තත්ත්වයට පත් වෙනවා. ඒ වෙද්දී පොලිස් නිලධාරීන් නැවත සේවයට වාර්තා කරලා. 

මීට අමතරව දෙමළ ජාතිකයන්ට එරෙහිව (හා ඇතැම් විට අනෙක් අතට) ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක වුනා. ඒවා තනිකරම පශ්චාත්-මැතිවරණ ගැටුම්ද නැත්නම් ජාතිවාදී ගැටුම්ද කියලා නිශ්චිතව කියන්න අමාරු ආකාරයක ගැටුම්. මොකද මේ මැතිවරණයේදී උතුරෙන් ජාතික දේශපාලන පක්ෂ හේදිලා ගිහින් එහි දේශපාලන බලය තනිකරම ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ සතුවීමද සිදු වුනා. 

මට මතක විදිහට සහ හොයා ගන්න පුළුවන් තොරතුරු අනුව සිදුවුනේ ඕකයි. ඒ ඇරෙන්න ජේ ආර් පොලිසියට සුමානයක් නිවාඩු දුන්නා කියලා මම හිතන්නේ නැහැ. කොහොම වුනත්, නිදහස ලබපු කාලයේ ඉඳන්ම ලංකාවේ තිබුණු පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සංස්කෘතිය හැත්තෑ හතෙන් පස්සේ නැති වුනා. 

Friday, August 9, 2024

කාසිය බෙදා ගැනීමේ අලි-පොහොට්ටු ක්‍රීඩාව


ආර්ථික විද්‍යාව ඇතුළු විෂයන් ගණනක අනු විෂයක් වන ක්‍රීඩා න්‍යාය (game theory) විෂයේ ඉගැන්වෙන මූලික ක්‍රීඩා අතරින් එකක් තමයි කාසිය බෙදා ගැනීමේ ක්‍රීඩාව. මේ ක්‍රීඩාවේදී ක්‍රීඩා කරන ක්‍රීඩකයින් දෙදෙනෙකුට කාසියක් ලබා ගැනීමේ අවස්ථාව හිමි වෙනවා. නමුත්, ඒ සඳහා පූර්ව කොන්දේසියක් වන්නේ එය බෙදා ගන්නා ආකාරය සම්බන්ධව ක්‍රීඩකයින් දෙදෙනා එකඟ වීම. එවැනි එකඟත්වයක් නැත්නම් කාසිය කාටවත් ලැබෙන්නේ නැහැ. 

මේ ක්‍රීඩාවේ ආකෘතියට සමාන ආකෘතියක් තිබෙන කතාවක් මම ගොඩක් පොඩි කාලේ අහලා තියෙනවා. ඔය කතාවේ පූසෝ දෙන්නෙක්ට කැවුමක් හම්බ වෙනවා. නමුත් පූසෝ දෙන්නාට කැවුම බෙදාගන්න බැහැ. පූසෝ දෙන්නා කැවුම බෙදාගන්න ආකාරය ගැන වාද කර කර ඉන්න තැනට වඳුරෙක් එනවා. ඔන්න දැන් වඳුරා මේ කැවුම පූසෝ දෙන්නාට බෙදා දෙන්න ඉදිරිපත් වෙනවා. එහෙම ඉදිරිපත් වෙලා කැවුම කොටස් දෙකකට කඩනවා.

"එක කෑල්ලක් ලොකු වැඩියි!"

පූසෝ දෙන්නාගෙන් එක පූසෙක්වත් පොඩි කෑල්ල ගන්න කැමති වෙන්නේ නැහැ. වඳුරා කරන්නේ ලොකු කෑල්ලෙන් කොටසක් කඩා ගෙන ඒ කෑල්ල කුඩා කරන එක. කඩා ගත්ත කෑල්ල වඳුරාගේ බඩට. 

"දැන් අනික් කෑල්ල ලොකු වැඩියි!"

දැන් මොකද කරන්නේ? වඳුරා කරන්නේ අනෙක් කෑල්ලෙනුත් කොටසක් කඩා ගෙන ඒ කෑල්ලත් කුඩා කරන එක. ඒ කඩා ගත්ත කෑල්ලත් වඳුරාගේ බඩට. 

"දැන් ආයෙම අනික් කෑල්ල ලොකු වැඩියි!"

කතාවේ විදිහට කැවුම වඳුරාගේ බඩට යනකල්ම පූසෝ දෙන්නාට එකඟ වෙන්න බැරි වෙනවා. 

කාසිය බෙදා ගැනීමේ ක්‍රීඩාවේ ප්‍රතිඵලයත් ඔය වගේ එකක් වෙන්න පුළුවන්. එහෙම වුනොත් ක්‍රීඩකයින්ට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා, ක්‍රීඩකයෝ තර්කානුකූලව හිතනවා කියලා උපකල්පනය කළොත්, අනිවාර්යයෙන්ම ක්‍රීඩකයෝ දෙන්නා කාසිය බෙදා ගන්න විදිහ ගැන එකඟ විය යුතුයි.

ක්‍රීඩකයෝ දෙන්නා කාසිය බෙදා ගන්න එකඟ වියහැක්කේ මොන විදිහටද? එක පාරටම ඔළුවට එන්නේ පණහට පණහ වගේ දෙයක්. නමුත් ඔය ක්‍රීඩාවේදී අනිවාර්යයෙන්ම ක්‍රීඩකයෝ දෙන්නා පණහට පණහ බෙදා ගන්න එකඟ වෙන්න කිසිම හේතුවක් නැහැ. එය (1, 99) සිට (99, 1) දක්වා ඕනෑම සමතුලිතතාවයක් වෙන්න පුළුවන්. ඒ ඇයි?

"අපි පණහට පණහ බෙදා ගම්මු!"

එක ක්‍රීඩකයෙක් ඔහොම යෝජනාවක් කළා කියලා හිතමු.

"නෑ. මට අඩු ගානේ හැටක් ඕනෑ. ඔයාට ඕනෑනම් හතළිහක් දෙන්නම්!"

දෙවන ක්‍රීඩකයා ඔය වගේ දෙයක් කිවුවොත් මොකද වෙන්නේ?

"ඒක අසාධාරණයිනේ! පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ. මම කිවුවේ සාධාරණ විදිහ."

"මට ඔය සාධාරණ අසාධාරනකම් වැඩක් නැහැ. මට හැටක් දෙනවානම් මම වැඩේට කැමතියි. නැත්නම් නැහැ. එච්චරයි!"

දැන් පළමු ක්‍රීඩකයාට කළ හැක්කේ කුමක්ද? එක්කෝ මේ ගනුදෙනුවට කැමති වෙලා හතළිහක් ගන්න පුළුවන්. නැත්නම් ඒකත් නැහැ. ඔය තර්කය අනුව, දෙවන ක්‍රීඩකයා හැටක්  වෙනුවට 99ක්ම ඉල්ලුවත්, ඉතිරි තනි කොටස භාර ගන්න වෙනවා. නැත්නම් ඒකත් නැහැ. ඒ නිසා, සෛද්ධාන්තිකව (1, 99) සිට (99, 1) දක්වා ඕනෑම සමතුලිතතාවයක් පවතින්න පුළුවන්. 

ප්‍රායෝගිකව සමතුලිතතාවය තීරණය වෙන්නේ ක්‍රීඩකයින්ගේ සාපේක්ෂ හෙට්ටු කිරීමේ දක්ෂතාවය මත. මේ ක්‍රීඩාවේදී අනෙක් ක්‍රීඩකයාව නම්මා ගන්න වෙන්නේ තමන් කිසිසේත්ම නැමෙන්නේ නැති බව අනෙක් ක්‍රීඩකයාට ඒත්තු ගැන්වීමෙන් පමණයි. 

සැබෑ ලෝකයේදී තරඟකාරීත්වයක් නැති වෙළඳපොළක ගනුදෙනු සිදු වෙන්නේ ඔය විදිහට. අපි හිතමු ශ්‍රම වෙළඳපොළක් ගැන. කිසියම් කුසලතාවයක් තියෙන ශ්‍රමිකයෝ ඉන්නේ එක්කෙනෙක් පමණයි. අනෙක් අතට ඒ කුසලතාව අවශ්‍ය වෙන පාරිභෝගිකයෝ ඉන්නෙත් එක්කෙනෙක් පමණයි. ගනුදෙනුවක් සිදු නොවුනොත් දෙන්නාටම වෙන්නේ පාඩුවක්. ඔය වගේ වෙලාවක පවතින තත්ත්වය කාසිය බෙදා ගැනීමේ ක්‍රීඩාවකට සමානයි.

විද්‍යාගාර තත්ත්වයන් යටතේ ඔය කාසිය බෙදා ගැනීමේ ක්‍රීඩාව කළාම බොහෝ විට පණහට පණහට ආසන්න බෙදා ගැනීමක් සිදු වෙනවා. ඒ ගොඩක් අය තීරණ ගන්නේ තමන්ගේ වාසිය ගැන වගේම සාධාරණත්වය ගැනත් හිතලා නිසා. එක් ක්‍රීඩකයෙක් දැඩි දෙස අනූවක්ම ඉල්ලා සිටියොත් අනෙක් ක්‍රීඩකයා තමන්ට වෙන පාඩුව නොසලකා දහයත් අත හැරලා කැමති නොවී ඉන්න එක සුලබ සිදු වීමක්. ඒ විදිහේම ක්‍රීඩකයෝ දෙන්නෙක් තරඟ කරද්දී එකඟතාවයක් ඇති නොවන තරම්.

මම සිද්ධි විශ්ලේෂණය කරන විදිහට රනිල් හා පොහොට්ටුව අතර සිදු වුනු හෙට්ටු කිරීම් මට පෙනුනෙත් කාසිය බෙදා ගැනීමේ ක්‍රීඩාවක් විදිහටයි. මේ ක්‍රීඩාවට සහභාගී වූ ක්‍රීඩකයින් හිටපු තත්ත්වයන් එක්ක එක ක්‍රීඩකයෙක්ටවත් අනෙක් ක්‍රීඩකයාගේ පැත්තෙන් හිතන්න පුළුවන්කමක් තිබුණු බව මට පෙනුණේ නැහැ. 

මම මේ තත්ත්වය විග්‍රහ කර ගත්තේ ඔය විදිහට වුනත් දේශපාලනයේදී කටයුතු සිදු වෙන්නේ අපට පහසුවෙන් විග්‍රහ කරගන්න පුළුවන් විදිහටම නොවන නිසා, මම මේ හා අදාළව කළින්ම ලිපියක් ලිවුවත් එය පළ නොකර ඉන්න තීරණය කළා. මට පෙනුණු විදිහට පොහොට්ටුව පැත්තෙන් කළ හැකිව තිබුණු වඩාත්ම තාර්කික දෙය නාමල්ව තරඟයට ඉදිරිපත් කරන එක. ඒ වෙනුවට ධම්මික පෙරේරාව ඉදිරිපත් කරන එකෙන් කාටවත්ම ලබා ගත හැකි දෙයක් පෙනෙන්න තිබුණේ නැහැ. කාටවත්ම කිවුවේ ධම්මික පෙරේරාට හෝ පොහොට්ටුවට. 

ජනාධිපතිවරණ තරඟය ඇතුළේ සිටින මේ ක්‍රීඩාවට සෘජු සම්බන්ධයක් නැති සජිත් කඳවුර හා මාලිමා කඳවුර පැත්තකින් තිබ්බට පස්සේ කාසිය බෙදා ගැනීමේ ක්‍රීඩාව එජාප-පොහොට්ටු කඳවුර ඇතුළේ සිදු වෙන දෙයක්. නමුත් පැහැදිලි ලෙසම මේ කඳවුර කඳවුරු දෙකක්. රනිල් තරඟයට එන්නේ දිනන්න බලාගෙන. නමුත් පොහොට්ටු කඳවුරට මේ තරඟය ජයගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ. එහි තිබුණේ නාමල් ප්‍රධාන රාජපක්ෂ කණ්ඩායමේ දේශපාලන අනාගතය නැවත ගොඩ නගා ගැනීමේ අභිප්‍රාය.

රනිල්ට දිනන එක ගැන බලාපොරොත්තුවක් තියන්න පුළුවන් වුනේ පොහොට්ටුව ඉනිමගක් ලෙස යොදා ගැනීමෙන් පමණයි. එහෙම කරන්නත් කාසිය තනිකරම රනිල්ගේ අතට ගන්න අවශ්‍ය වෙලා තිබුණා. ඒ නිසා, එය පණහට පණහ බෙදන්න පුළුවන්කමක් රනිල්ට තිබුණේ නැහැ. අනෙක් පැත්තෙන් රාජපක්ෂ කඳවුරට කාසියෙන් තමන්ගේ කොටස කලින්ම වෙන් කර ගත්තේ නැත්නම්, පස්සේ හෙට්ටු කරලා එයින් කොටසක් ලබා ගැනීම පිළිබඳව විශ්වාසය තියන්න පුළුවන් වුනේ නැහැ.

මෙතැන බෙදා ගන්න තිබෙන කාසිය කලින් පොහොට්ටුව සතුව තිබුණු, මේ වන විට අතීරක, ඡන්ද ප්‍රමාණය. මේ ප්‍රමාණය ගැන කාටවත්ම හරියටම කියන්න බැහැ. කොයි තරම් අඩුපාඩු තිබුනත්, දැනට තිබෙන විශ්වාසනීයම ඇස්තමේන්තු වන IHP ඇස්තමේන්තු අනුව, පොහොට්ටු ඡන්ද ප්‍රමාණය 16%ක් හා එජාප ඡන්ද ප්‍රමාණය 7%ක්. නමුත් රනිල්ගේ ප්‍රමාණය 20%ක් හා පොහොට්ටු අපේක්ෂකයාගේ ප්‍රමාණය 7%ක්. කිසිසේත්ම නිවැරදි තක්සේරුවක් කරන්න අමාරු වුනත්, අවම වශයෙන් 10%-15%ක පමණවත් අතීරක ඡන්ද ප්‍රමාණයක් තිබිය යුතුයි.

මේ තත්ත්වය එක්ක, නාමල් වෙනුවට "නයිට් වොච්මන්" කෙනෙක් විදිහට ධම්මික පෙරේරාව දැම්මා කියලා හිතමු. අනුර, සජිත් හා රනිල් විකල්ප ලෙස ඉඳිද්දී ඡන්දදායකයෙකුට ධම්මික පෙරේරාව ආකර්ශනීය වෙන්නේ ඇයි?

අනුර, සජිත් හා රනිල් තුන් දෙනාටම අකැමැති පිරිසක් ලංකාවේ ඉන්නවා. මේ කඳවුරු තුනෙන්ම පිට වාමාංශික අන්තයේ ඉන්න කොටස පැත්තකින් තියමු. ලංකාවේ ජාතිකවාදී කඳවුර එකට එකතු වෙලා ඉන්නේ ආර්ථික ප්‍රතිපත්ති මත පදනම්ව නෙමෙයි. ඒ නිසා, වෙනත් විවිධ හේතු මත රාජපක්ෂලා එක්ක එකතු වුනත්, ඒ කඳවුර ගොඩක් විෂමජාතීය කඳවුරක්. ඒ කඳවුරේ සමහර කොටස් වලට අනුර, සජිත් හා රනිල් තුන් දෙනාම හරියන්නේ නැහැ. විශේෂයන්ම ජාතික සමාජවාදයට වඩා බර අයට. නමුත් ඒ අයට ධම්මික පෙරේරාව සෙට් වෙන්නෙත් නැහැ. විශාල ප්‍රතිශයක් නොවුනත්, මේ ඡන්ද ප්‍රමාණය දිලිත්ට ලබා ගත හැකිව තිබුණා. ඒ ටික දිලිත්ට ගියා කියලා රනිල්ට පාඩුවක් වෙන්නේ නැහැ. දිලිත් වගේ විකල්පයක් නැත්නම් ඒ ඡන්ද බොහෝ විට හැරෙන්නේ මාලිමාව පැත්තට. 

නමුත් රාජපක්ෂලා එක්ක තව දුරටත් ඉන්න මුළු පිරිසම ඉන්නේ ඔය ගොඩේ නෙමෙයි. ධම්මික පෙරේරාට ලබා ගත හැකිව තිබුණේ ඔය ගොඩෙන් වඩා දක්ෂිණාංශයට බර ඡන්ද කොටස. ඔය ගොඩවල් දෙක අතර බෙදී යා හැකිව තිබුණේ පොහොට්ටු ඡන්ද වලින් රනිල්ට නොගිය 7%. විකල්පයක් ලෙස රනිල් ඉඳිද්දීත් පොහොට්ටු අපේක්ෂකයෙක්ව තෝරා ගන්නවා කියන්නේ ඒවා සොලිඩ් පොහොට්ටු ඡන්ද. රනිල්ට පොහොට්ටුවේ සහයෝගය ලැබුණානම් ඔය ඡන්ද වලින් වැඩි කොටසක් රනිල්ට ලැබෙනවා. ඉතිරි ටික දිලිත්ට යනවා. දිලිත් හා ධම්මික දෙන්නාම ආවානම් ඔය 7%ත් දෙකට බෙදෙනවා.

හැබැයි ඔය 7%ට අමතරව සහ රනිල් විසින් ආකර්ශනය කරගෙන තිබෙන 9%ක පමණ පොහොට්ටු ඡන්ද ප්‍රමාණය හැර තවත් අතීරක පොහොට්ටු ඡන්ද 10%-15%ක පමණවත් තියෙන්න පුළුවන්. නමුත් අභියෝගය ඔය ඡන්ද ඡන්ද පොළට ගේන එක. ධම්මික පෙරේරා වගේ අපේක්ෂයෙක්ට ඒ වැඩේ කරන්න බැහැ. ඒ වැඩේ කළ හැක්කේ දිනන එක පිළිබඳ බලාපොරොත්තුවක් දිය හැකි අපේක්ෂයෙකුට පමණයි. ඒ කාරණයේදී අලි-පොහොට්ටු කඳවුර ඇතුළේ රනිල්ට වඩා ඉදිරියෙන් කවුරුවත් හිටියේ නැහැ. 

ඒ නිසා, ධම්මික පෙරේරා ආවානම් අවසාන වශයෙන් රනිල්ට විශාල අවාසියක් වෙන්නේ නැහැ. ඒ වගේම, පොහොට්ටුවේ අපේක්ෂකයා විදිහට ධම්මික පෙරේරාට ලබා ගන්න වෙන්නේ ඉතාම ලජ්ජා සහගත ඡන්ද ප්‍රතිශතයක්. ඒක ඒ කඳවුර එක්ක ඉන්න අයගේ මහ මැතිවරණ ප්‍රතිඵලයට වගේම නාමල්ගේ දේශපාලන අනාගතයටත් සෘජුව බලපානවා. ඒ නිසා, ධම්මික තරඟයට ආවානම් වෙන්නේ පොහොට්ටුවම වගේ රනිල් වෙන එක. 

මේ ප්‍රායෝගික තත්ත්වයන් එක්ක තමන්ගේ දේශපාලන අනාගතය සුරක්ෂිත කරගැනීම සඳහා නාමල්ට කළ හැකිව තිබුණු දෙය තමන්ම පිට්ටනියට බහින එක. ඒක ගොඩක් අවදානම් වැඩක්. මොකද නාමල්ට වුනත් මේ තරඟය දිනන්න බැරි බව පාක්ෂිකයෝ දන්නවා. ඒ නිසා, පරදින අපේක්ෂයෙක්ට ඔට්ටු දමන්න බොහෝ දෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. තවත් විශාල පිරිසක් රනිල්ගේ පැත්තට හැරෙන නිසා පොහොට්ටුවේ ඇත්ත ශක්තිය මේ ජනාධිපතිවරණයේදී පෙනෙන්නේ නැහැ. ඒක ලොකු අවාසියක්. හැබැයි ගෙදරට වෙලා නිදාගෙන හිටියොත් වෙන්නේ ඊටත් වඩා අවාසියක්. ඒ නිසා, නාමල්ගේ පැත්තෙන් බැලුවහම මේක තමයි හොඳම තීරණය.

නාමල් පිට්ටනියට බැස්ස එකෙන් ලොකුවටම බඩට වදින්නේ දිලිත් ඇතුළු සර්වජන කණ්ඩායමට. යම් හෙයකින් ධම්මික පෙරේරා තරඟයට ආවානම් දිලිත්ට ධම්මික එක්ක සෑහෙන තරඟයක් දෙන්න තිබුණා. ඒ හරහා පොහොට්ටු කඳවුර ඇතුළේ සැලකිය යුතු හෙට්ටු කිරීමේ බලයක් හදා ගන්න තිබුණා. මොකද 7%කින් 2%ක් ගත්තත්, ඒක තුනෙන් පංගුවකට කිට්ටුයි. නමුත් නාමල් පිට්ටනියට බැස්සට පස්සේ දිලිත්ට තවදුරටත් දේශපාලන රික්තකයක් ඉතිරි වෙලා නැහැ. 

රනිල්ව තේරීම නොවුණු පොහොට්ටු ඡන්ද ටික නාමල්ට පහසුවෙන්ම ගන්න පුළුවන්. අතීරක ඡන්ද වලින් කොටසක් ගන්නත් පුළුවන්. රනිල්ගේ ඡන්ද වලින් යම් ප්‍රමාණයක් වුනත් නැවත ආකර්ෂණය කරගන්න බැරිකමක්ම නැහැ. ඒක තීරණය වෙන්නේ පොහොට්ටු දේශපාලනඥයෝ පෙළ ගැසෙන ආකාරය එක්ක. 

යම් හෙයකින් රනිල් විසින් නාමල් තරඟයට පැමිණීමේ හැකියාව ගැන කලින් හිතලා තිබුණා වුනත්, රනිල්ට මීට වඩා නම්‍යශීලී වෙන්න ඉඩක් ඉතුරු වෙලා තිබුණෙත් නැහැ. ඒ පැත්තෙන් ඉදිරිපත් කරපු කොන්දේසි ඔක්කොටම කැමති වුනානම් රනිල්ට තරඟයට එන්න වෙන්නේ රාජපක්ෂලාගේ නියෝජිතයෙක් විදිහටයි. ඒ නිසා, රනිල්ටත් කරන්න ඉතුරු වෙලා තිබුණේ කාසියෙන් ගොඩක් ලොකු කෑල්ලක් ඉල්ලමින් නොනැමී ඉන්න එක පමණයි. ඔය තත්ත්වයන් එක්ක වෙලා තියෙන්නේ තාර්කිකව වෙන්න වඩාත්ම ඉඩ තිබුණු දේ.

දැන් පැහැදිලි කඳවුරු හතරක් තිබෙනවා. ඉතිරිය තීරණය වෙන්නේ කොයි තරම් ආක්‍රමණශීලී විදිහට මැතිවරණ ප්‍රචාරණය සිදු වෙනවද කියන එක මත සහ සුළු ජාතික ඡන්ද වල හැසිරීම මත. 

වෙබ් ලිපිනය: