වෙබ් ලිපිනය:

Friday, April 21, 2023

ජැමෙයිකා සම්මුතිය සහ පෙට්‍රෝ ඩොලර්


හැත්තෑව දශකයට පෙර ලෝකයේ ප්‍රචලිතව තිබුණේ රන් සම්මතය මත පදනම් වූ ස්ථිර විණිමය අනුපාත ක්‍රමයයි. එහෙන් මේ වන විට ලෝකයේ බොහෝ රටවල තිබෙන්නේ පාවෙන විණිමය අනුපාත ක්‍රමයක්. 

පාවෙන විණිමය අනුපාත ක්‍රමය ලොව පුරා තහවුරු වන්නේ 1971-1976 කාලය තුළ ලෝක මුදල් ක්‍රමයෙහි සිදුවන වෙනස්කම් එක්කයි. මෙම ක්‍රමයේ ආරම්භය 1944 බ්‍රෙටන් වුඩ් සම්මුතියයි. 1971දී ඇමරිකාව රන් සම්මතයෙන් ඉවත් වීමෙන් පසුව බ්‍රෙටන් වුඩ් සම්මුතිය තව දුරටත් පවත්වා ගත නොහැකි වෙනවා. ඉන් පසුව, 1976 ජැමෙයිකා සම්මුතියෙන් රන් සම්මතය හා ස්ථිර විණිමය අනුපාත ක්‍රමය වෙනුවට පාවෙන විණිමය අනුපාත ක්‍රමය යෝජනා වෙනවා.

ජැමෙයිකා සම්මුතියේ ප්‍රකාශිත ඉලක්කයක් වන්නේම ජාත්‍යන්තර මුදල් ක්‍රමයෙන් තිරසාර ලෙසම රත්තරන් ඉවත් කිරීමයි. ඒ මගින්, එතෙක් ජාතික මුදල් ඒකක සහ රත්තරන් අතර පැවති සම්බන්ධය අහෝසි වෙනවා. රත්තරන් මිල වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම මත තීරණය වන මිලක් බවට පත් වෙනවා. රත්තරන් තවත් පාරිභෝගික භාණ්ඩයක් බවට පත් වෙනවා. සියවස් ගණනක් පුරා රත්තරන් වලට මුදල් ලෙස තිබුණු පිළිගැනීම සැලසුම් සහගත ලෙස නැති කර දමනු ලබනවා. 

ජැමෙයිකා සම්මුතියේ එකඟතා අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අරමුදල සතු වූ රත්තරන් විශාල තොගයක් විකුණා දමනවා. සම්මුතිය අනුව, ලෝකයේ ප්‍රධාන මහ බැංකු වලටද රත්තරන් තොග විකිණීමට සහ නැවත මිල දී නොගැනීමට යෝජනා කෙරෙනවා. ඒ වන විටද ලෝකයේ බොහෝ රටවල නොනිල ලෙස ක්‍රියාත්මක වෙමින් තිබුණු පාවෙන විණිමය අනුපාත ක්‍රමය විධිමත් හා නීත්‍යානුකූල ක්‍රමයක් බවට පත් කෙරෙනවා. 

දශකයකට ආසන්න කාලයක් ලංකාවේ නොනිල ලෙස ක්‍රියාත්මක වෙමින් තිබුණු පාවෙන විණිමය අනුපාත ක්‍රමය 1977දී නිල ක්‍රමය බවට පත් වෙන්නේ මේ පසුබිම තුළයි. එහෙම නැතුව 1977දී සිදු වුනු ආණ්ඩු මාරුව නිසාම නෙමෙයි. 

ලංකාව දැවැන්ත ගෙවුම් ශේෂ අර්බුදයකින් පීඩා විඳි 1967 වසරේ සිටම ලංකාවේ තිබුණේ ද්විත්ව විණිමය අනුපාත ක්‍රමයක්. තේ, රබර්, පොල් අපනයනය කළ අය රජය විසින් නියම කළ අඩු මිලකට තමන් ඉපැයූ විදේශ විණිමය අනිවාර්යයෙන්ම රජයට විකිණිය යුතු වුනා. අනෙක් අපනයනකරුවන්ට පමණක් 65%ක් පමණ වැඩි වෙළඳපොළ මිලට තමන්ගේ විදේශ විණිමය විකිණිය හැකි වුනා. 

රජය විසින් තෝරාගත් ආනයනකරුවන්ට පමණක් නිල විණිමය අනුපාතයට විදේශ විණිමය මිල දී ගත හැකි වුවත්, අනෙකුත් අයට රජය විසින්ම විදේශ විණිමය විකිණුවේ විශාල ලාබයක් තියාගෙන 65%ක පමණ වැඩි මිලකටයි. සැබෑ විණිමය අනුපාතය ලෙස සැලකිය හැකි වූයේ ඉල්ලුම හා සැපයුම සමතුලිත වූ මිලට ආසන්න වූ එම මිල වුවත්, නිල විණිමය අනුපාතය ලෙස සටහන් වුනේ කෘතිම මිලක්. 1977දී මෙම ද්විත්ව විණිමය අනුපාත ක්‍රමය අහෝසි කර එකම විණිමය අනුපාතයක් හඳුන්වා දෙනු ලැබුවා. එමෙන්ම, විණිමය අනුපාතය පා නොකළත්, දිනපතා විචලනය වීමට ඉඩ සලස්වනු ලැබුවා. 

ලංකාව නිල වශයෙන් විණිමය අනුපාතය පා කළේ 2001දී. කෙසේ වුවත්, ඒ පා කිරීමත් නමට පමණක් කළ පා කිරීමක්. 

ජැමෙයිකා සම්මුතියෙන් පසුව ලෝකයේ බොහෝ රටවල් ස්ථිර විණිමය අනුපාත ක්‍රමය අත හැරියත් හැම රටක්ම එසේ කළේ නැහැ. මෙහිදී මැදපෙරදිග කලාපය කැපී පෙනෙනවා. මැදපෙරදිග රටවල් බොහොමයක් විසින්ම තමන්ගේ මුදල් ඒකක රත්තරන් හා ගැට ගසා තබනු වෙනුවට ඇමරිකන් ඩොලරය සමඟ ගැසුවා. මේ සම්බන්ධය බොහොමයක් මැදපෙරදිග රටවල් විසින් මේ දක්වාම පවත්වා ගෙන යනවා.

සවුදි අරාබිය- 1975 වසරේ සිට සවුදි රියාලය නිල වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ SDR මුදල් ඒකකයට ගැට ගසා ඇතත්, ප්‍රායෝගිකව රියාලය ඇමරිකන් ඩොලරයට ගැට ගසනු ලැබ තිබෙනවා. ඇමරිකන් ඩොලරයක් සවුදි රියාල් 3.75කට සමානයි.  (SDR මුදල් ඒකකයක වටිනාකම තීරණය වන්නේ ඇමරිකන් ඩොලර්, යුරෝ, යෙන්, බ්‍රිතාන්‍ය පවුම් සහ යුවාන් වල වටිනාකම මතයි.) 

එක්සත් අරාබි එමීර් රාජ්‍යය - 1978 සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩිරාමයද නිල වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ SDR මුදල් ඒකකයට ගැට ගසා ඇතත්, ප්‍රායෝගිකව ඩිරාමයද ඇමරිකන් ඩොලරයට ගැට ගසනු ලැබ තිබෙනවා. ඇමරිකන් ඩොලරයක් ඩිරාම් 3.6725කට සමානයි.

කුවේටය - කුවේට් ඩිනාරය 1975 සිට ඇමරිකන් ඩොලරය ඇතුළු ජාත්‍යන්තර මුදල් ඒකක කිහිපයක් අඩංගු දර්ශකයකට ගැට ගසා තිබෙනවා. 2002-2007 කාලය තුළ කුවේට් ඩිනාරය සෘජුවම ඇමරිකන් ඩොලරය හා ගැට ගසා තිබුණා.

ඕමානය - 1973 වසරේ සිට ඕමාන් රියාලය ඇමරිකන් ඩොලරයට ගැට ගසා තිබෙනවා. 1986 සිට ඕමාන් රියාලයක වටිනාකම ඇමරිකන් ඩොලර් 2.6008 ලෙස නොවෙනස්ව තිබෙනවා.

බහරේන් - බහරේන් ඩිනාරයද 1980 සිට නිල වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ SDR මුදල් ඒකකයටත්, ප්‍රායෝගිකව ඇමරිකන් ඩොලරයටත් ගැට ගසා තිබෙනවා. ඇමරිකන් ඩොලරයක් බහරේන් ඩිනාර් 0.376ක් වෙනවා.

කටාර් - කටාර් රියාලය 1975 සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ SDR මුදල් ඒකකයට ගැට ගසා තිබී, 2001දී නීතියක් මගින්ම ඇමරිකන් ඩොලරයට ගැට ගසනු ලැබුවා. කටාර් රියාලයක් ඇමරිකන් ඩොලර් 3.64ක්.

ගල්ෆ් සහයෝගීතා කවුන්සලයට අයත් ඉහත රටවල් සියල්ල එකතු වී 2010 වසර වන විට පොදු මුදල් ඒකකයක් භාවිතා කිරීමේ ඉලක්කයක් 2001 වසරේදී  ඇති කරගත් නමුත්, තවමත් මෙම රටවලට ඒ සඳහා එකඟතාවයකට පැමිණීමට හැකි වී නැහැ. බහරේන්, කුවේට්, කටාර් හා සවුදි අරාබිය යන රටවල් තවමත් මෙම ඉලක්කය තුළ ක්‍රියාකාරීව සිටිනවා. ගල්ෆ් සහයෝගීතා කවුන්සලයට අයත් රටවල් හයෙන් එකක්වත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් නෙමෙයි.

ඇමරිකන් ඩොලරය හා ගැට ගසා ඇති මුදල් ඒකකයක වටිනාකම තීරණය වන්නේ ඇමරිකන් ඩොලරයක වටිනාකම මතයි. ඒ නිසාම, එවැනි මුදල් ඒකකයක් ඇති රටක උද්ධමනය වන්නේද ආසන්න වශයෙන් ඇමරිකාවේ පවතින උද්ධමනයයි. 

මැදපෙරදිග රටවල් ගණනාවක් විසින්ම තමන්ගේ ජාතික මුදල් ඒකකය ඇමරිකන් ඩොලරය හා ගැට ගසා තිබීම අහම්බයක් නෙමෙයි. මේ රටවල් වල ප්‍රධාන ආදායම් මාර්ගය ඉන්ධන අපනයනයයි. කාලයක් තිස්සේම ඉන්ධන මිල දී ගත් ප්‍රධානම ගැනුම්කරු ඇමරිකාවයි. අනෙක් අතට ඉන්ධන අපනයනය කර ලැබෙන මුදල් ආයෝජනය කළ හැකිව තිබුණු සුරක්ෂිතම මුදල් ඒකකය ඇමරිකන් ඩොලරයයි. 

ඇමරිකාවට ඉන්ධන ආනයනය කර උපයන ඇමරිකන් ඩොලර් පහසුවෙන්ම වෙනත් රටවලදී ගනුදෙනු සඳහා භාවිතා කළ හැකි වූවාක් මෙන්ම ආයෝජනය කිරීමටද හැකි වුනා. තමන්ගේ මුදල් ඒකක ඇමරිකන් ඩොලරය හා ගැට ගැසීමෙන් මැදපෙරදිග රටවලට තමන්ගේ මුදල් වලටද ඇමරිකන් ඩොලරයේ සුරක්ෂිතතාව ආදේශ කර ගත හැකි වුනා. ඒ නිසා මේ රටවල් වෙනත් රටවලට තෙල් අපනයනය කරද්දීද ඇමරිකන් ඩොලර් වලින්ම මිල කර ඇමරිකන් ඩොලර් එකතු කර ගැනීමට පෙළඹුණා. ඉන්ධන මිල ඇමරිකන් ඩොලර් වලින් තීරණය වීම නිසා ඇති වන මිල ස්ථායීතාවය ඇමරිකාවටද වාසියක් වුනා. ඒ නිසා, මේ ක්‍රමය කාලයක් පැවතුණා.

කොහොම වුනත් දැන් මේ සමීකරණය වෙනස් වෙලා. ඇමරිකාව තවදුරටත් ඉන්ධන ආනයනකරුවෙක් නෙමෙයි. දැන් ලෝකයේ ලොකුම ඉන්ධන ආනයනකරු චීනයයි. ඒ නිසාම, ඉන්ධන මිල ස්ථායීව තබා ගැනීමේ උවමනාව වැඩිපුරම තියෙන්නේ චීනයටයි. නැවතත් ඉන්ධන වලින් ස්වයංපෝෂිතව සිටින ඇමරිකාවට තවදුරටත් මැදපෙරදිග තෙල් අවශ්‍ය නැහැ. 

අනෙක් අතට, ඉන්ධන වෙනුවෙන් මුදල් ගෙවීමේදී එසේ ගෙවන මුදල් ඒකකය තීරණය කිරීමට ඇමරිකාවට තිබුණු හැකියාව තවදුරටත් අදාළ නැහැ. කලකට පෙර ඇමරිකාව සතු වූ හෙට්ටු කිරීමේ හැකියාව දැන් චීනය සතුව තිබෙනවා. ඒ නිසා, චීනයට පෙට්‍රෝ ඩොලර් සමඟ තරඟයට පෙට්‍රෝ යුවාන් දැමිය හැකි අවකාශයක් හැදී තිබෙනවා.

24 comments:

  1. පේසාලෙන් තෙල් මතු විණි විටින් විට
    නැකත ඇවිත් නැත තවමත් කණින්නට
    කැණුදාට සුරපුරයකි අපේ රට
    නැකැත් පත ගෙනෙන්නේ අද නෙවෙයි හෙට!

    ReplyDelete
  2. ඇමෙරිකාවට මැදපෙරදිග තෙල් දැන් එච්චර වැදගත් නෑ කිය්ලද මේ ලිපියෙන් කියන්නෙ?

    ReplyDelete
    Replies
    1. පෙට්‍රො ඩොලර්ද පෙට්‍රො යුආන්ද කියන ප්‍රශනය නෙමෙයි නේද මූලික ප්‍රශ්නය? මැදපෙරදිග ඩොමිනේට් කරන්නෙ කව්ද කියන එක නේද?

      Delete
  3. ඉකොනොමැට්ටා මේ දවස් වල ලංකාවේ ගුරුවරුන් සහ සරසවි ආචාර්යවරුන් උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර ලකුණු කිරීමෙන් ඉවත්වීම පිළිබඳ ඔවුන් විසින් ඉතා පුළුල් ලෙස විස්තර කර තිබෙනවා මේක ගැනත් ඔබගේ පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

    //පේපර් මාර්කින් කරන්නෙ නෑ කියල උබලගෙ ලමයින්ගෙ අනාගතේ අනතුරේ කියලා මේකේ නටන උන් මේකත් කියවපල්ලා.....

    බිත්තරේ ගන්නෙ නැතුව කහමදේ කන්න හිතන උබලටයි ආන්ඩුවටයි මේක වැදගත් වෙයි.

    අත්‍යාවශ්‍ය සේවාවන්ගේ පහසුකම් දීල අධ්‍යාපනය අත්‍යාවශ්‍යය සේවයක් කරපල්ලා කිරිපුතේ

    හොඳ හුස්මක් අරං මෙන්න මේකට උත්තර දීපල්ලා.

    අත්‍යාවශ්‍ය සේවාවක් කරන්න පේපර් බලන ගුරුවරු කියල වර්ගයක් නෑ😁

    එහෙනම් ගුරුවරු අත්‍යාවශ්‍ය සේවාවක් කරල ඒ ,ot බටා,නිලඇඳුම්,නිල නිවාස,වැටුප් එහෙම දාල තමයි කරන්න ඕනෙ
    බිත්තරේ කහමදේ විතරක් ගන්න බෑ බිත්තරේම ගන්න ඕන 😏😏😏😏

    1. පේපර් මාකින් හෙවත් උත්තරපත්‍ර පරීක්ෂාව කියන්නෙ ගුරුවරුන්ගෙ සේවයෙ කොටසක් (හෙවත් job role එකේ කොටසක්) නොවන බව උඹ දන්නව ද?

    2. පේපර් මාකින් කරනවට වෙනම ඇප්ලිකේෂන් කෝල් කරන බව උඹ දන්නව ද?

    3. ඒ ඇප්ලිකේෂන් කෝල් කරල ඒකට එන මිනිස්සුන්ට තමන් බලන පේපර්ස් ගාණට සහ කාලයට පඩි ගෙවන්න ඕන බව උඹ දන්නව ද?

    4. ගිය අවුරුද්දට කලින් අවුරුද්දෙ පේපර් මාකින් වලට දෙන්න පොරොන්දු වුණ ගාණ දුන්නෙ නෑ කැපුවා කියල දන්නව ද?

    5. ගිය අවුරුද්දෙ මේ කාලෙ කරපු පේපර් මාකින් වලට අවුරුද්දකුත් ගිහිල්ල තාම ගෙවල නෑ කියල උඹ දන්නව ද?

    6. මේ අවුරුද්දෙ පේපර් මාකින් වලට ගෙවන ගාණ කීය ද කියල ගැසට් කරල නෑ කියල උඹ දන්නව ද?

    7. ගැසට් කරල නැතිවා පමණක් නෙමෙයි, ආණ්ඩුව අපේක්ෂා කරන්නෙ ගුරුවරුන්ට පඩි නොගෙවා නිකං පේපර්ස් බලවගන්න කියල උඹ දන්නව ද?

    8. මනුස්සයෙකුගෙ වැඩකරන වෙලාවෙන් පරිබාහිර වෙලාවක ඒ මනුස්සයගෙ රාජකාරියට පිටින් තියෙන අමතර වැඩ කරවගන්නවට පඩි ගෙවන්න ඕන සහ ඒක මූලික කම්කරු අයිතියක් බව උඹ දන්නව ද?

    9. ගිය අවුරුද්දෙ පේපර්ස් බලපුවටත් ගෙවල නැතුව මේ අවුරුද්දෙත් නිකං වැඩ ගත්තම ගුරුවරුන්ට කන්න බොන්න හාල්පොල් දෙන්නෙ පොලිසියෙන් ද?

    10. ගුරුවරුන්ට ගෙවන්න සල්ලි නැති රජයට අලුතෙන් කිරිටොයියා කඳුළුගෑස් වෙනුවෙන් මිලියන 17ක් ගෙවන්න සල්ලි තියෙන බව උඹ දන්නව ද?

    බෝනස් ප්‍රශ්නය.

    උඹට කවුරුහරි කිව්වොත් දවසෙ පැය අටත් වැඩ කරලා තව පැය හයක් පඩි නැතුව වැඩ කරන්න කියල, උඹ කරයි ද?

    බොටම් ලයින්:

    මං ආයෙම උඹෙන් අහන්නෙ. දැන් ගුරුවරුන්ට පඩි නොගෙවා වහල්සේවයක වගේ අතින් කයිට් කාල පේපර්ස් බලවන්න හදන ආණ්ඩුව ද වැරදි, නැත්නම් රාජකාරියට අමතරව කරන දෙවැනි පාර්ට්ටයිම් ජොබ් එකට ගෙවීමක් ඉල්ලන ගුරුවරු ද වැරදි?

    දැණුම බලෙන් ගන්න ජනාධිපතිට හෝ වෙන කාටවත්ම බෑ කියල මෝන්ගල් රනිල් වික්‍රමසිංහගේ සහ රාජපක්ෂ කල්ලියේ පාහර ආණ්ඩුව තේරුම් ගත්තේ නැත්නම් රටේ අධ්‍යාපනය විශාල අනතුරක.....

    ReplyDelete
  4. රුසියාව සහ බ්‍රසීලය ඩොලරය අත හැර තම මුදල් ඒකක හා රත්රන අගය මත ගනුදෙනු කිරීම ගැන, ඉන්දියාව හා බංග්ලාදේශය ඩොලරය අතහැර ගනුදෙනු වලට යාම, රුසියාව සහ චීනය ඩොලරය අත්හැර ගනුදෙනු වලට යාම, දකුණු අප්‍රිකාව සහ BRICS රටවල් ඩොලරය අත හැරීමට මුලික වශයෙන් එකිනෙකා සමග එකඟවී ඇතැයි යන ප්‍රවෘත්තිය - මේ ගැන ඔබේ අදහස කුමක්ද? ගඩාෆි ට කරන්න බැරි වූ දේ ඔවුන් කරයිද?

    ReplyDelete
    Replies
    1. නැවත රත්තරන් වලට යන එක ප්‍රායෝගික දෙයක් නෙමෙයි. සහශ්‍ර ගණනාවක් ලෝකයේ මුදල් වල පදනම වුනේ රන් හා රිදී. ඒ ක්‍රමය අවසන් වුනේ නෛසර්ගික භෞතික සීමාවකට ආවට පස්සේ. මෑතකදී රුසියාව ඩොලර් වෙනුවට රන් ආදේශ කිරීම සම්බාධක නිසා ඇති වී තිබෙන සීමිත හා තාවකාලික තත්ත්වයක් පමණයි. යම් සීමිත දුරක් පමණක් යා හැකියි. ඉන්දියන් රුපියල කලකට පෙර වත්මන් ඉන්දියාව, පකිස්ථානය, බුරුමය, බංග්ලා දේශය, ලංකාව වගේම මැදපෙරදිග කලාපය තුළ ද භාවිතා වූ මුදල් ඒකකයක්. ඉන්දියාව හා බංග්ලාදේශය ඩොලරය අතහැර එම දෙරට අතර ගනුදෙනු වලට යාම සිදු විය හැක්කක්. ඒ වගේම රුසියාව සහ චීනය ඩොලරය අත්හැර එම දෙරට අතර ගනුදෙනු වලට යාමත් සිදු විය හැක්කක්. මේ අවස්ථා දෙකෙන් එකකදීවත් ඇමරිකන් ඩොලර් යොදා ගත යුතු අනිවාර්ය හේතුවක් නැහැ. දකුණු අප්‍රිකාව ඇතුළු BRICS රටවල් වලට එම රටවල් අතර ගනුදෙනු වලදී ඩොලරය අත හැරිය හැකියි. නමුත් එම ගනුදෙනු ප්‍රමාණය ජාත්‍යන්තර ගනුදෙනු වලින් 2%ක් පමණයි. කෙටියෙන් කිවුවොත් මේ හැම දෙයක්ම විය හැකි වුවත්, ඇමරිකන් ඩොලරයට කෙටිකාලීනව දැනෙන ලොකු බලපෑමක් වෙන්නේ නැහැ. මැදපෙරදිග රටවල් ජාත්‍යන්තර තෙල් ගනුදෙනු සඳහා ඩොලරය වෙනුවට යුවාන් වැනි වෙනත් මුදල් ඒකකයක් යොදා ගත්තොත් එය වෙනම කතාවක්. දැනටනම් එවැන්නක් වීමට අවශ්‍ය තත්ත්වයන් මුළුමනින්ම නිර්මාණය වී නැහැ. මෙවැන්නක් සිදු විය හැකි වුවත් එහිදී චීනයට ගෙවන්න සිදු වන විශාල මිලක් තිබෙනවා.

      Delete
    2. ඔවුන්ගේ බලාපොරොත්තුවලින් එකක් තමයි ඩොලර් ආධිපත්‍යය බිඳීම. ගොල්ඩ්මන් සැක්ස් එකේ වාර්තාවකට අනුව 2030-2050 වෙනකොට චීන ආර්ථිකය ඇමෙරිකාව අභිබවා යන්නට නියමිතයි. එතකොට ඔය රටවල් හතරේම ජනගහනය ගත්තාම ලෝකයේ වැඩිම ජනගහනය සහ හමුදා බලය එන්නෙත් ඒ ගොල්ලට. GDP එක 2020 වෙනකන් ඇමෙරිකාවේ වැඩියි රටවල් හතරේම එකතුවට වඩා.නමුත් 2020 ඉඳන් ඒ එකතුව වැඩිවෙලා තියෙන්නේ. නමුත් යුරෝපය හා බ්‍රිතාන්‍යය එකතු කලොත් බටහිර තවම ශක්තිමත්. ඒ ශක්තිමත් භාවය යුක්රේන යුද්ධය නිසා අඩුවෙමින් යන්නේ. සවුදිය ක්‍රම ක්‍රමයෙන් රුසියාව පැත්තට හැරෙමින් තියෙන්නේ. එනිසා ඩොලරය ට ඔබ හිතනවට වඩා තර්ජනයක් එල්ලවෙන්න තියෙන්න ඉඩකඩ වැඩියි නේද ?

      Delete
  5. මට පොඩ් ස්ටඩි එකකට ඇමෙරිකාවෙ ඉමිග්‍රන්ට්ලට දෙන සොශල් සෙක්‍යුරිටි ගැන විස්තර ටිකක් හොයාගන්න ඕන.
    මේ ගැන පලකරපු ලිපි එහෙම නැද්ද?

    ReplyDelete
    Replies
    1. මම දන්න තරමින් එහෙම විශේෂ දේවල් දෙන්නේ නැහැ. නියමිත අවම කාලය වැඩ කළ අයට (වසර දහයක්) ගෙවපු දායක මුදල් ප්‍රමාණය මත පදනම් වන සමාජ සංරක්ෂණ විශ්‍රාම වැටුපක් ලැබෙනවා.

      Delete
    2. ඉමිග්‍රන්ට් කෙනෙකුට රස්සාව නැතිවෙල ආදායම් නැති වුනොත් මොකෝ වෙන්නෙ? ග්‍රීන් කාඩ් තිබුනොත් රටින් පිටුවහල් කරන්නත් බෑ නේද?
      TANf, SSI, medicaid වගෙ ප්‍රොග්‍රෑම්ස් තියෙනව කියල නෙට් එකේ දැක්ක. නමුත් ඉම්මිග්‍රන්ට්ස්ලට ඇප්ලයි වෙන්නෙ කොහොමද පැහැදිලි නෑ.

      Delete
    3. ග්‍රීන්කාඩ් තිබෙනවානම් ඔය තුනටම ඇප්ලයි කරන්න පුළුවන්. නමුත් වෙන කොන්දේසි තිබෙන නිසා රස්සාව නැති වූ පමණින් ගන්න බැහැ. උදාහරණයක් ලෙස SSI ලැබෙන්නේ ආබාධිත හෝ අන්ධ වුනොත්. ඒ සඳහා අවම කාලයක් අදාළ දායක මුදල් ගෙවා තිබිය යුතුයි. මතක විදිහට වසර හතරක්. ලැබෙන මුදල තීරණය වෙන්නේ ගෙවා ඇති දායක මුදල අනුව.

      Delete
    4. එතකොට ග්‍රීන් කාඩ් හෝල්ඩර් කෙන්ව්කුට රස්සාව නැතිවෙලා ජීවත්වෙන්න සල්ලිත් නැති උනොත් මොකද වෙන්නෙ?

      Delete
    5. වෙන රැකියාවක් හොයාගන්න පුළුවන්.

      Delete
    6. ඇමරිකාවේ ග්‍රීන්කාඩ් දෙන ප්‍රධාන ක්‍රම තුනක් තිබෙනවා.
      පවුල් සම්බන්ධතා මත - 226,000
      රැකියාව/ කුසලතා මත - 140,000
      ලොතරැයි ක්‍රමය - 50,000

      පවුල් සම්බන්ධතා මත ග්‍රීන්කාඩ් ගන්න කෙනෙකුව ඇමරිකන් පුරවැසියෙකු හෝ ස්ථිර පදිංචිකරුවෙකු විසින් ස්පොන්සර් කළ යුතුයි. එහිදී ස්පොන්සර් කරන පුද්ගලයා විසින් ප්‍රමාණවත් වත්කම් පෙන්විය යුතුයි. එවැනි අයෙකුගේ පවුලේ වත්කම් යම් අවම මට්ටමක තිබෙන නිසා කොහොමටත් රැකියාවක් නැති වුනා කියලා ජීවත් වෙන්න බැරි තත්ත්වයකට වැටෙන්න හේතුවක් නැහැ. එවැනි වත්කම් නැති අයට ස්පොන්සර් කරන්න බැහැ. ඒ නිසා, මේ ක්‍රමයට වසරකට 226,000ක්ම එන්නේ නැහැ. ඉතිරි ප්‍රමාණය රැකියාව/ කුසලතා මත ලබා දෙන ගොඩට එකතු කරනවා. මේ ක්‍රමයට ග්‍රීන්කාඩ් ගන්න ගොඩක් අය විවාහය මත එන අය හෝ දරුවෝ.

      රැකියාව/ කුසලතා මත ග්‍රීන්කාඩ් ගත හැකි අයෙකුට රැකියාවක් නැති වීමේ අවදානම ඉතාම අඩුයි. යම් හෙයකින් රැකියාව නැති වුනත් නැවත රැකියාවක් ලබා ගන්නා තුරු කෙටි කාලයක් ජීවත් වෙන්න ඉතිරි කරගත් වත්කම් ප්‍රමාණවත්. පවුල් සම්බන්ධතා කෝටා එක සාමාන්‍යයෙන් උපරිමයට ප්‍රයෝජනයට ගැනෙන්නේ නැහැ. ඒ නිසා, ඒ ඉතිරි ප්‍රමාණයත් රැකියාව/ කුසලතා ක්‍රමයට ලබා දෙනවා. ප්‍රායෝගිකව ග්‍රීන්කාඩ් වැඩි ප්‍රමාණයක් දෙන්නේ රැකියාව/ කුසලතා මත පදනම්ව. මේ ක්‍රමයට ග්‍රීන්කාඩ් ගන්න කෙනෙක් ඒ වෙද්දී අවුරුදු හත අටක් ඇමරිකාවේ ජීවත් වෙලා රැකියා කරලා සල්ලි ඉතුරු කරගෙන වත්කම් හදාගෙනයි ඉන්නේ. ඒ නිසා, හදිසියේ රැකියාව නැතිවීම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ග්‍රීන්කාඩ් ගත හැකි මට්ටමේ කුසලතා තිබෙන කෙනෙකුට එහෙම වෙන්න ඉඩකඩත් ඉතාම අඩුයි. මේ ගොඩේ ඉන්නේ වෘත්තිකයෝ.

      රැකියා නැති වීමේ අවදානමක් තිබිය හැක්කේ ප්‍රධාන වශයෙන්ම ලොතරැයි ක්‍රමයට එන අයට. ඒ අයටද අවම අධ්‍යාපන සුදුසුකම් සහ ඉංග්‍රීසි දැනුමක් තිබිය යුතුයි. ඒ වගේම, අවම වසරක කාලයක් රැකියාවක් නැතිව ජීවත් වෙන්න ප්‍රමාණවත් මුදල් පෙන්විය යුතුයි. ප්‍රායෝගිකව මේ ක්‍රමයට ග්‍රීන්කාඩ් ගන්න සැලකිය යුතු පිරිසක් ඒ වන විටත් ඇමරිකාවේම ඉන්න අය. ඒ වගේම අවම සුදුසුකමට වඩා අධ්‍යාපන සුදුසුකම් තිබෙන අය. ලොතරැයිය ඇදුනා කියලා හැමෝටම වීසා ලැබෙන්නේ නැහැ. අනෙක් අවශ්‍යතා සම්පූර්ණ කළ යුතුයි. ඔය විදිහට අවශ්‍යතා සම්පූර්ණ කර ලොතරැයි ක්‍රමයට එන අයගෙන් යම් පිරිසකට රැකියා සොයා ගැනීම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේ වගේ කාලයකනම් මෙය ප්‍රශ්නයක් නෙමෙයි. 2009 වගේ කාලයකනම් ප්‍රශ්නයක් වෙනවා.

      Delete
    7. මම හිතන්නෙ මට අහන්න ඕන උන දේ ඔබට තේරිල නෑ.
      හිතන්න්නකො ග්‍රීන් කාඩ් ලැබිල රැකියාවක් කල කෙනෙකුට් අනතුරක් හෝ ආපහු රැකියාවක කරන්න බැරිවෙන ලොකු වියදම් යන ලෙඩක් හැදුන කියල.
      ස්පොන්සර් කෙනෙකුත් නැතිනම් ඒ වගෙ වෙලාවට මොකද කරන්නෙ?
      සාමාන්‍ය තත්වය මට තේරෙනව.

      Delete
    8. සාමාන්‍ය ඇමරිකන් පුරවැසියෙකුට වෙන දෙයම තමයි. ඔය වගේ දේවල් ගැන කලින් හිතලා රක්ෂණයක් දමා ගත යුතුයි. ගොඩක් වෙලාවට රැකියාව කරන තැනින් එවැනි රක්ෂණයක් ලැබෙනවා. මාසයකට යම් මුදලක් වැටුපෙන් කැපෙනවා. නැත්නම් වෙනම පෞද්ගලිකව රක්ෂණයක් ගන්නත් පුළුවන්.

      Delete
    9. ඒ කියන්නෙ වෙල්ෆෙයා බෙනිෆිට්ස් වල සාමාන්‍ය ඇමෙරිකානු පුරවැසියෙකුට ලැබෙන දේයි, මම ඉහත කිව්ව වගෙ අවස්තාවක ග්‍රීන්කාඩ් හෝල්ඩර් කෙනෙකුට ලැබෙන දේයි 100% සමානද?

      Delete
    10. එහෙම සාධාරණ ප්‍රකාශයක් කරන්න බැහැ. වෙල්ෆෙයා බෙනිෆිට්ස් කිවුවට ඔය ගොඩක් ඒවා රක්ෂණ ක්‍රම. ලැබෙන මුදල තීරණය වෙන්නේ ගෙවා තිබෙන දායක මුදල් ප්‍රමාණය මත. සංක්‍රමණිකයෙක් ප්‍රමාණවත් දායක මුදල් ගෙවා නැති විය හැකියි. ඒ නිසා, අදාළ ප්‍රතිලාභ නොලැබෙන්න ඉඩකඩ වැඩියි. පුරවැසිකම ගත්තත් මේ ප්‍රශ්නය තිබෙනවා. ග්‍රීන්කාඩ් ලොතරැයියෙන් එන කෙනකුට වසර පහකින් පුරවැසිකම ගන්න පුලුවන්. ඒ කාලයේ විශාල ආදායමක් ලැබෙන රැකියාවක් කරලා නැත්නම් හදිසියේ ආබාධිත වුනොත් ලැබෙන්නේ ඉතාම සුළු නාමික මුදලක් පමණයි. ඒ වගේ පොඩි මුදලකින් කිසිවක් කරන්න බැහැ. වයස වැඩිනම් කිසිවක්ම නොලැබෙන්න පුළුවන් (වයස වැඩි වෙද්දී වැඩ කර තිබිය යුතු අවම කාලය වැඩි වෙනවා). අනෙක් අතට ඇතැම් කරුණු හා අදාළව වසර පහක් ඇමරිකාවේ ජීවත් වූ කෙනෙක් ස්ථිර පදිංචිකරුවෙකු ලෙස සලකනවා. ඒ අයට ග්‍රීන්කාඩ් නැතත් ඇතැම් ප්‍රතිලාභ ගන්න පුළුවන්. ඒ වගේම, ලොතරැයියෙන් ආපු කෙනෙක් එනකොටම ග්‍රීන්කාඩ් අරගෙන ඇවිත්නම් ග්‍රීන්කාඩ් එක තිබුණත් වසර පහ නැහැ. ඇමරිකාවේ ප්‍රාන්ත 50ක් තිබෙනවා. ලැබෙන ප්‍රතිලාභ ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස්. පුරවැසියන් නොවන අය සම්බන්ධ තත්ත්වයත් ප්‍රාන්තය අනුව වෙනස් වෙනවා. සමාජ සංරක්ෂණ විශ්‍රාම වැටුප් ලැබෙන්නේ වැඩියෙන්ම ආදායම් ලැබූ වසර 35ක සාමාන්‍ය වාර්ෂික ආදායම (ගෙවා ඇති දායක මුදල) අනුව. අවුරුදු 35 ඉක්මවා ඇමරිකාවට එන කෙනෙකුට වසර 35ක් වැඩ කරන්න කාලයක් නැහැ. ඒ නිසා, මුළු ආදායම 35න් බෙදූ විට ගණන අඩු වෙනවා. ඇමරිකාවේම ඉපදුනු කෙනෙක්නම් පාසැල් කාලයේ සිට රැකියා කරනවා. ලැබෙන ආදායමෙන් 12.4%ක් (වෙනත් කෙනෙකු යටතේ රැකියාවක් කරනවානම් තමන්ගෙන් 6.2%ක්) සමාජ සංරක්ෂණ අරමුදලට යනවා. විශ්‍රාම වැටුප් ලැබෙන්නේ එම මුදලින්. ආබාධිත වුනොත් දීමනාවක් ලැබෙන්නෙත් එම මුදලින්. වයස 65න් පසුව ලැබෙන වෛද්‍ය රක්ෂණය වෙනුවෙන් ඔය විදිහටම ආදායමෙන් 2.9%ක් යනවා. සමාගමක සේවය කර ආදායම් ලබන කෙනෙක්ගේ වැටුපෙන් එයින් බාගයක් කැපෙනවා. අනිත් 1.45% සමාගමෙන්. ස්වයං රැකියා කරන අය 2.9%ම ගෙවිය යුතුයි. මේ ප්‍රතිලාභ ගන්න ක්‍රෙඩිට් 40ක් ගත යුතුයි. වසරකට උපරිම ලැබෙන්නේ ක්‍රෙඩිට් 4ක් නිසා අවම වසර 10ක් වැඩ කළ යුතුයි. ක්‍රෙඩිට් ගණන තීරණය වෙන්නේ ආදායම (ගෙවන දායක මුදල) අනුව. ආදායම අඩුනම් වසර 10කින් ක්‍රෙඩිට් 40 එන්නේ නැහැ. ඇමරිකන් පුරවැසියෙක් වුනත් මේ ප්‍රතිලාභ ලැබෙන්නනම් වැඩ කළ යුතුයි. වැඩ කළ යුතු අවම කාලය වසර 28ට පෙරනම් වසර 1.5ක් පමණ. මෙය වසර 10 දක්වා ක්‍රමයෙන් වැඩි වෙනවා. 50නම් අවම වසර 7ක් (ක්‍රෙඩිට් 28ක්). ආදායම ප්‍රමාණවත් නැත්නම් වසර ගණන මීට වඩා වැඩි වෙනවා. වසර ගණන කිවුවට බලන්නේ ක්‍රෙඩිට් ගණන.

      Delete
    11. නෙට් එක බලල විතරක් චිත්‍රය තේරිම් ගන්න අමාරුඉ වගේ නේ
      1996 මොක්ක්ද පනතක් ගෙනල්ල ග්‍රී කාඩ් නොවන වීසා තියෙන අයට වෙල්ෆෙයා බෙනිෆිට්ස්(ssi, tanf) වගෙ ඒවට ඇප්ප්ල්‍යි කරන්න බැරි කලා කියල තමයි තියෙන්නෙ.
      ඒ වෙනුවට සමහරවිට ස්ටේට් ගවර්න්මන්ට් වලින් ප්‍රෝග්‍රෑම්ස් කරනව වගෙ ඇති.
      ප්‍රෑන්තෙන් ප්‍රාන්තෙටත් වෙනස් නිසා සෑහෙන කම්ප්ලිකේටඩ් වගෙ නේද.
      මට වඩාතම දැනගන්න ඕන උනෙ සිටිසන්ලටයි, නන්-සිටිසන්ලටයි එක සමාන තත්ව යටතෙ මොනවගෙ වෙනස්කමක්ද වෙන්නෙ කියල දැනගන්න. ඔබගෙ උත්තරෙන් හැඟී ගියෙ එහෙම වෙනසකට වඩා පාස්ට් කන්ට්‍රිබ්‍යුශන් එක තමයි වැදගත් වෙන්නෙ වගෙ අදහසක්.

      Delete
    12. 1996දී තමයි අවුරුදු පහේ නීතිය දැම්මේ. ග්‍රීන්කාඩ් තිබුණත්, අවම අවුරුදු පහක් ඇමරිකාවේ ඉඳලා නැත්නම් එම පණතින් ආවරණය වන ෆෙඩරල් ප්‍රතිලාභ ගන්න බැහැ. නමුත් කලින් කී පරිදි ප්‍රායෝගිකව මෙය බලපාන්නේ ලොතරැයියෙන් එන අයට. ඉගෙනගන්න හෝ රැකියාවකට එන අයට ග්‍රීන්කාඩ් එක ගන්න කොහොමත් අවුරුදු පහක් විතර යනවා. ඒ වගේම, ෆෙඩරල් රජයෙන් මුදල් වෙන් නොකළත් බොහෝ ප්‍රාන්ත වල මේ අයට ප්‍රාන්ත රජයේ අරමුදල් වලින් ප්‍රතිලාභ දුන්නා/දෙනවා. එය තීරණය වන්නේ ප්‍රාන්තය අනුව. සල්ලි නැති වෙද්දී මෙම ප්‍රතිලාභ කපපු අවස්ථා තියෙනවා. ෆෙඩරල් රජයට වගේ ප්‍රාන්ත වලට සල්ලි අච්චු ගහන්න බැහැ. බදු ආදායම් අඩු වුනොත් වියදම් කපන්න වෙනවා. එහෙම ප්‍රතිලාභ කපලා ඊට එරෙහිව උසාවි ගිහින් මාස කිහිපයකට පසුව පරණ ප්‍රතිලාභත් එක්ක නැවත ගෙවන්න වූ අවස්ථාත් තිබෙනවා. ඔය කතාව අදාළ නිකම් දෙන ආහාර (ආහාර මුද්දර), අඩු ආදායම්ලාභීන්ට දුන් වෛද්‍ය රක්ෂණ වගේ දේවල් වලට. SSI ගන්න කොහොමටත් අවුරුදු දහයක් වැඩ කළ යුතුයි. "සිටිසන්ලටයි, නන්-සිටිසන්ලටයි එක සමාන තත්ව යටතෙ" කියන එක කරන්න අමාරු සංසන්දනයක්. ප්‍රායෝගිකව කණ්ඩායම් දෙකට එක සමාන තත්ත්ව නැහැ. වෙනසට හේතුවම එහෙම නැති එකයි. එක සමාන තත්ත්වනම් බොහෝ විට වෙනසක් නැහැ.

      Delete
    13. ඉගෙනගන්න ගිහින් ඩිග්‍රිය අරන් එතනින් රස්සාවට යන කෙනෙක් පසු කාලයෙ ග්‍රීන් කාඩ් එක ගත්තම මම හිතන්නෙ ටැක්ස් ගෙවන විදිය බොහෝ දුරට සිටිසන් කෙනෙකුට සමානයි. මම එක සමාන තත්වයක් කිව්වෙ ඒ වගෙ අවස්තාවකට. වෙනස සිටිසන්ද නතිද කියන එක විතරයිනෙ. ටැක්ස් ගෙවන්නෙ, සෝශල් බෙනිෆිට්ස් වලට කන්‍රට්‍රිබියුට් කරන්නෙ මම හිතන්නෙ බොහෝ විට සමාන ලෙස.

      Delete
    14. එහෙම කෙනෙක්ට වෙනසක් නැහැ (සාමාන්‍ය ඉගෙන ගන්න වයස පහුවෙලා ආවේ නැත්නම්). ඇමරිකාවේ ඉගෙනගෙන ග්‍රීන්කාඩ් ගත් කෙනෙකුට රස්සාවක් නැතිව ඉන්න වීමේ අවදානම ඉතාම අඩුයි. ඒ වගේම ගොඩක් වෙලාවට රැකියාවෙන්ම accident & disability රක්ෂණයක් ගන්න පුළුවන්. සෞඛ්‍ය රක්ෂණය රැකියාවෙන් කොහොමත් ලැබෙනවා. ඊට අමතරව අවම කාලය වැඩ කරලානම් ෆෙඩරල් රක්ෂණ ලැබෙනවා.

      Delete
    15. ස්තුතීයි

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: