වෙබ් ලිපිනය:

Wednesday, September 30, 2015

අක්බාර් මුදලාලිගේ කෑම සහ ගෙදර කෑම

පේරාදෙණිය සරසවියේ අක්බාර් ශාලාවේ කෑම කා ඇති අය බ්ලොග් ලියන්නන් අතර නොඅඩුව සිටිති. පේරාදෙණියේ සරසවි බිම මැදින් ගලා යන මහා වාලුකා නදිය ඉංජිනේරු පීඨය අනෙකුත් පීඨ වලින් වෙන් කරයි. ඉංජිනේරු පීඨය හැර අනෙකුත් පීඨ සියල්ලම පිහිටා ඇත්තේ මහවැලි ගඟේ එක් ඉවුරක, ගලහ පාර දෙපැත්තේය. ගං ඉවුරේ අනෙත් පස ලෙව්කේ මැතිඳු මෙන් තනියම සිටගෙන සිටින ඉංජිනේරු පීඨය මහවැලි නදියට අමතරව ගම්පොළ පාරෙන්ද අනෙක් පීඨ වලින් වෙන් වේ.

අනූව දශකයේ මුල කාලයේ, නේවාසික ශාලා රැසක් ඇති පේරාදෙණිය සරසවියේ ගඟෙන් මෙගොඩ පිහිටි එකම නේවාසික ශාලාව අක්බාර්-නෙල් ශාලාව වූ අතර ගඟෙන් මෙගොඩ පිහිටි වැඩි පිරිසකට කෑම ගැනීමට පහසුකම් තිබුණු එකම ආපන ශාලාව වූයේද අක්බාර් කැන්ටිමයි. ඉංජිනේරු පීඨ ආපන ශාලාවේ තිබුණේ සීමිත ඉඩකඩකි.

අක්බාර්-නෙල් ශාලාවේ නේවාසිකව සිටි හෝ නොසිටි ඉංජිනේරු පීඨ සිසුන් බහුතරයක් දිවා ආහාරය ගත්තේ අක්බාර් කැන්ටිමෙනි. සාමාන්‍යයෙන් ඉංජිනේරු පීඨ කාල සටහන් වල 'හිල්' නැත. දිවා ආහාර පැය හැරුණු විට අනෙක් සෑම වැඩ කරන පැයකම දේශනයක් හෝ විද්‍යාගාර සැසියක් සඳහා සහභාගී විය යුතුය. මේ නිසා බහුතරයක් ඉංජිනේරු සිසුන්ට දිවා ආහාරය ගැනීමට සිදුවන්නේ දහවල් දොළහේ සිට එක දක්වා කාලය තුළදීය. ගෙදරින් කෑම ගෙන එන හෝ කෑම උයා ගන්නා සුළුතරයද, පීඨ කැන්ටිමෙන් හෝ ගඟෙන් එගොඩ, මෙගොඩට කිට්ටුවම තිබුණු වූස් කැන්ටිමෙන් හෝ ගෙම්බා කැන්ටිමෙන් කෑම ගැනීමට යන ටික දෙනෙකුද අඩු කළත් දිවා ආහාර පැය තුළ අක්බාර් කැන්ටිමෙන් කෑම ගන්නා පිරිස (ඒ කාලයේ) දහසකට ආසන්න විය යුතුය. වෙනත් පීඨ වල සිසුන් හා සිසුන් නොවන්නන්ද යම් ප්‍රමාණයක් එකතු කළ විට මේ ඇස්තමේන්තුව නරක එකක් නොවේ.

මේ පිරිසට කෑම ලබා දීමට ඇති කාලය ඇත්තටම පැයකටත් වඩා අඩුය. දොළහට දේශන නිමවී අක්බාර් කැන්ටිමට පැමිණීමට අඩු වශයෙන් විනාඩි පහක්වත් ගතවන අතර, කෑම ගෙන නියමිත වේලාවට ඊළඟ දේශනයට සහභාගී වීමටනම් එකට විනාඩි විස්සකට පෙරවත් කෑම පිඟාන ලබාගත යුතුය. මේ අනුව ගණනය කර බැලූ විට අක්බාර් මුදලාලිට එක් පාරිභෝගිකයෙකුට කෑම ලබා දීමට තිබුණේ තත්පර දෙකක පමණ කාලයකි. මේ අයගෙන් අඩක්වත්  අඩු ගැනීමට නැවත පෝලිමට එක් වන අතර අඩු එකකට වඩා කන අයද සිටිති. මුදල් ලබා ගැනීම හෝ ආහාර ලබා දීම සඳහා සමාන්තර කවුන්ටර තිබුණේද නැත. අඩු සඳහා පමණක් වෙනම පෝලිමක් තිබුණේය. මේ අනුව, මගේ උපකල්පන වල අඩුපාඩු සැලකුවද මුදල් අය කර බත් පිඟානක් ලබා දීමට අක්බාර් මුදලාලිට සහ සේවකයින්ට තිබුණු කාලය තත්පර තුනකටනම් වැඩි විය නොහැක. මෙය පහසු කටයුත්තක් නොවන බව නොකිවමනාය.

මේ කාලයේ පේරාදෙණියේ කැම්පස් බත් පිඟානක මිල රුපියල් හතරයි පණහකි. අඩුවක් එකයි පණහකි. නගරයේ හෝටලයක දිවා ආහාර වේලක් මේ කාලයේදී රුපියල් විස්සක් පමණ විය. මේ අනුව කැම්පස් බත බොහෝ සේ ලාබ වුවද ඒ මිලට එය ලබා දීම අපහසු නොවූයේ උයන භාජන වල සිට විදුලි බිල්පත් ගෙවීම දක්වා වියදම්ද, සේවකයන්ගේ නවාතැන් වියදම් ආදියද දැරුවේ සරසවිය මඟින් බැවිනි. අක්බාර් මුදලාලිගේ වියදම බොහෝ දුරට අමු කෑම ද්‍රව්‍ය සඳහා යන විචල්‍ය පිරිවැයයි. අනෙක් අතට, පාලනාධිකාරිය මඟින් නියාමනය කර තිබුණේ මූලික ආහාර වේලක මිලයි. මීට අමතරව විකුණන්නට තිබුණු අන්නාසි කෑලි, ගොටුකොල සම්බෝල, බැදපු මාළු කූරි වැනි බොහෝ දෙනා මිල දී ගත් විශේෂ දීසි වලින් වැඩි ලාභයක් ලබා ගැනීමට අවස්ථාව තිබුණේය.

කැන්ටිම කිරීමේ තිබුණු අපහසුම කාර්යය පාරිභෝගිකයින් කළමනාකරණය කර ගැනීමයි. දිවා ආහාර පැය කළමනාකරණය කර ගැනීම මෙහිදී ඉතා වැදගත් විය. මේ සඳහා අවශ්‍ය වූ ප්‍රාගුණ්‍යය ලබා ගත හැකි වූයේ පළපුරුද්දෙන්ම පමණි.

පිඟානට වැටෙන බත් හැඳි දෙක හෝ ඇඟිලි පුරුක් බාගයක ප්‍රමාණයේ මස් කෑලි තුන හතරක් සමඟ එන මස් හොද්ද ප්‍රමාණවත් නැති බව කියා 'අදින' සරසවි සිසුන් විරල නැත. මේ වෙලාවට "මේ ගාණට මස් රාත්තල් බාගයක් දෙන්න පුලුවන්ද, හලෝ?" වැනි දෙයක් නිකමටවත් කියවුණොත් සිදුවන්නේ කුමක්ද කියා කිවයුතු නැත. අක්බාර් මුදලාලිගේ සේවකයින්ට මෙවැනි අවස්ථා වලට මුහුණ දීම ගැන සුවිශේෂී පළපුරුද්දක් තිබුණේය. ඔවුහු මෙවැනි අවස්ථාවලදී කිසිවිටෙකත් මැසිවිලි නොනැගූහ. මස් භාජනයට යන හැන්ද වහාම නැවත පිඟානට එනු අදාල සිසුවාට පෙනේ. තාවකාලිකව සතුටට පත් වන ඔහුට පිඟානේ මස් වැඩි වී නැති බව පෙනෙන්නේ මේසයට වාඩි වී කන්නට පටන් ගත් පසුය.

මෙවැනි ශිල්පීය දක්ෂතා ප්‍රගුණ කර තිබුණේ මුදලාලිලා කිහිප දෙනෙකු පමණක් නිසා වාර්ෂිකව ටෙන්ඩර් දැම්මත් නැවත නැවතත් කැන්ටිම බොහෝ විට ලැබුණේ එකම පිරිසකටය. නුපුරුදු කෙනෙකු ටෙන්ඩරය ගත්තත් සිසුන් කළමනාකරණය කරගත නොහැකිව 'ඇනගැනීමට' වැඩි දවසක් ගත නොවේ.

සරසවිය මඟින් සියළු මූලික පහසුකම් ලබා දුන්නද හෝටලයක බත් පිඟානක් විකුණන මිලෙන් තුනෙන් එකකට තරු පහේ කෑම වේලක් ලබා දිය නොහැකිය. මේ නිසා සරසවි රෙගුලාසි අනුව ලබා දිය යුතු වූ එළවළු වර්ග තුනට බොහෝ විට අයත් වුණේ කොහෙන් හෝ හොයාගත් ලාබ එළවළුවක් හෝ මැල්ලුමකි. බොහෝ සිසුන් මේසයට වාඩිවන්නේම මේ 'ඩිෆෝල්ට්' එළවළු කුණු බක්කියට දැමීමෙන් පසුවය. අක්බාර් කෑම වේල දිව පිනා යන රසවත් දිව බොජුනක් නොවූ බව නොකිවමනාය.

ඒ දිනවල අක්බාර් කැන්ටිමෙන් දිනපතා කෑම ගත් සිසුන් අතර ජනප්‍රියව තිබූ කියමනක් වූයේ "කවදාහරි දවසක අපේ ගෑණු අක්බාර් මුදලාලිගේ පින්තුරය ගෙදර එල්ලාගෙන මල්, පහන්, හඳුන්කූරු පත්තු කරනු ඇති" බවයි. "අපේ ගෑණු අපට රහට කෑම උයා දිය යුතු බවට" වූ මනෝභාවය අමතක කළහොත් මෙයින් අදහස් කළේ "අවුරුදු හතරක් අක්බාර් මුදලාලිගේ ජරාව කෑමට හුරුවූ අපේ බඩවැල් වලට අපේ අනාගත ගෑණු උයන කෙතරම් නීරස කෑමක් වුවද විරෝධතාවක් නොදක්වා පිළිගත හැකි වනු ඇති බැවින් එහි ගෞරවය අපේ අනාගත බිරින්දෑවරුන්ගෙන් අක්බාර් මුදලාලිට ලැබිය යුතු" බවයි.

අක්බාර් මුදලාලිට මගේ බැචාලාගේ බිරින්දෑවරුන් කිසිවෙකු මල්, පහන්, හඳුන්කූරු පත්තු කරන බව කවුරු හෝ කියනවානම් මා පිළිගන්නේ නැත. එමෙන්ම, අපේ ජනාධිපතිතුමාගේ පුතාගේ නිදන කාමරයේ එල්ලා ඇති පරණ ජනාධිපතිතුමාගේ පුත්තුන්ගේ ඡායාරූපයකට දිනපතා නොවරදවා මල්, පහන්, හඳුන්කූරු පත්තු කරන බව කවුරු හෝ කියනවානම් එයද  මා පිළිගන්නේ නැත.

(Photo credit: www.panoramio.com)

Sunday, September 27, 2015

ඇඟිලි පුරුක් දෙකේ දැනුම් සීමාව

කෑම පිසගැනීමට ඉගෙන ගැනීම හෝමෝ සේපියන්ස්ලාගේ පරිණාමයේ ඉතා වැදගත් පියවරක් විය. මගේ පරිණාමයේදී වෙනත් බොහෝ වැදගත් පියවර මෙන්ම මේ පියවරද මා තැබුවේ ජීවිතයේ පළමු දශකය අවසන් වීමට පෙරය.

සුරංගද කොහෙද ලියා තිබුණු පරිදි මේ කාලයේදී මා සිතා සිටියේ මිනිස්සුන්ට ගෑණු ඕනෑ වෙන්නේ කෑම උයා ගැනීමට බවයි. බල්ලන්, පූසන්, ගෙම්බන්, කැරපොත්තන් හා හූනන් හැරුණු විට ගෙවල් වල ජීවත් වන සත්ත්ව කොට්ඨාශ දෙකකි. මෙයින් වැදගත් සහ ප්‍රධානම සතා මනුස්සයාය. මනුස්සයින්ගේ මූණේ රැවුල් වැවේ. මනුස්සයින්ට ලොකු වූ විට කුඹුරු මඩ කිරීමේ සිට පොල් කැඩීම දක්වා ඕනෑම වැඩක් වාගේ කළ හැකිය. එහෙත්, බැරි වැඩත් කීපයක් තිබේ. ඒවායින්, වැදගත්ම දෙය කෑම ඉවීමයි.

ගෙවල් වල වසන මනුස්සයින් නොවන, හූනන් කැරපොත්තන්ද නොවන අනෙක් සත්ත්ව කොට්ඨාශය හඳුන්වන්නේ ගෑණුන් නමිනි. ගෑණුන්ට පිරිමින් කරන වැඩ බොහොමයක්ම කළ නොහැකිය. එහෙත්, ගෑණුන්ට උයන්නට පුළුවන්ය.

මිනිස්සුන්ගේ ජීවිතයේ ප්‍රධානම සහ වටිනාම කටයුත්ත කෑම ගැනීමයි. තෘප්තිමත් මිනිස් ජීවිතයක් කියන්නේ පැණිරස කෑම දවස පුරාම ඇති තරම් කන්නට ඇති ජීවිතයකි. කවුරුත් ගෙදර නැති වෙලාවක හොරෙන් බැලූ, පුංචි අම්මා කෙනෙකුගේ රෝස පාට නිල් පාට කොළ ඇති සමරු පොතක තිබුණු කරුණු අනුව එවැනි පැණිරස ජීවිතයක් ඇත්නම් අපි වැනි පොඩි ළමයින් පමණක් නොව ඔය ලොකු අය කවුරුත් වුවද කැමතිය.

සූකිරි කන්දකින් හෙමිහිට ගලන ඉබේ
මීපැණි ගඟක් වේවා ජීවිතය ඔබේ

එහෙම තියෙනවනම් කවුද අකැමති? කූඹිනම් ප්‍රශ්නයක් තමයි.

කෑම උයා ගැනීමට කඩෙන් බඩු අවශ්‍යවේ. කඩෙන් බඩු ගැනීමට සල්ලි අවශ්‍ය වේ. සල්ලි හොයා ගැනීමට රස්සාවක් අවශ්‍ය වේ.

රස්සාවක් කිරීමට තරම් ලොකු වූ විට මිනිස්සු කරන්නේ උදේ සිට හවස් වනතුරු මහන්සි වී රස්සාව කිරීමයි. එවිට සල්ලි ලැබේ. සල්ලි තිබේනම් කඩෙන් බඩු ගැනීමට පුළුවන.

බඩු තිබුණත් හාල්, පොල් අමුවෙන් කන්නට බැරිය. (කිවුවාට බැරිමත් නැත.) ඒවා උයා ගත යුතුය. ඒත්, කරුමෙට මේ මනුස්සයා කියන සතාට උයාගන්නා හැටි තියා ප්ලේන්ටියක් හදා ගන්නා හැටිවත් නොතේරේ.

මනුස්සයාට උයාගන්නට නොතේරෙන නිසා ගෑණියෙක් ගේන්නට සිදුවේ. ගෑණුන්ට ඉවීමට අමතරව මැහුම් ගෙතුම් වැනි වෙනත් වැඩ කිහිපයක්ද කළ හැකි වුණත් ගෑණියෙක්ගෙන් ඇති ලොකුම ප්‍රයෝජනය කෑම උයාගැනීමට හැකිකමයි. උයන්නට බැරි ගෑණියෙක්ගෙන් කිසිම වැඩක් නැත. ඒ නිසා ගෑණියෙක් ගෙන ඒමට පෙර ඇයට රසට කෑම උයන්නට හැකි බව තහවුරු කර ගත යුතුය.

ගෑණියෙක් ගේන්නට කලින් ගෑණු ගොඩක් බලන්නට යන්නට සිදුවේ. කඩෙන් සාරි ගන්නකොට වගේය. ඒ හොඳම එක තෝරා ගන්නටය.

ගෑණු බලන්නට ගෙවල් වලට යන දවසට බඩ පැලෙන්නට කන්නට රස කෑම ලැබේ. කොයි ගෙදරිනුත් මේ වගේ රස කෑම ලැබෙන නිසා හොඳම තැන තෝරා ගැනීම ලේසිපාසු කටයුත්තක් නොවේ.

සීයලා ආච්චිලා කියන විදිහට ඕක කරන්නට ක්‍රමයක් තිබේ.

ක්‍රමය සරලය. කළයුත්තේ කිරිහොද්ද රස බැලීමයි.

අල හොද්දේ අල රස ඇත. පතෝල හොද්දේ පතෝල රස ඇත. ඒත් කිරිහොද්දේ පොල්කිරි, මිරිස් තුනපහ, ලුණු ගොරකා හැර වෙනත් අමතර දෙයක් නැති නිසා ඔය දේවල් ගාණට දාන්නට අතේ හුරුවක් නැත්නම් කිරිහොද්ද රහ නැත. කිරිහොද්ද රහ නැත්නම් ඒ ගෙදරින් ගෑණියෙක් ගෙනත් වැඩක් නැත. ගෑණුන්ව විකුණා ගැනීමටනම් කිරිහොද්ද පුළුවන් තරම් රහට හැදිය යුතුය.


අන්තිමේදී මනුස්සයෙක්ටත්, ඒ මනුස්සයාගේ අම්මා තාත්තාටත්, හත්මුතු පරම්පරාවේ නෑයින්ටත් කොහේ හෝ ගෙදරක කිරිහොද්ද රහ වැටුණු විට මඟුලක් සිදුවේ. මේ මඟුල කැවුම්, කොකිස්, මස්, මාළු ඉදෙන අතිශයින්ම රහ කාලයකි. මේ රස කෑම වලින් සංකේතවත් වන්නේ මෙතැන් සිට දිගටම රහට කන්නට ලැබෙන බව විය යුතුය.

මෙතැන් සිට සිදුවන කතන්දරය මේ වගේය. මනුස්සයා උදේ හිට රෑවෙන තුරු හොඳටම මහන්සි වී සල්ලි හම්බ කරයි. ගෑණිට කරන්නට තියෙන්නේ එකම එක පොඩි වැඩකි. උදේ සිට රෑවෙන තුරු බත් ඉවීමයි. මේ පොඩි වැඩේ කිරීම වෙනුවෙන් ගෑණියෙකුට බොහෝ දේ ලැබේ. ඇයට මනුස්සයා විසින් දියයුත්තේ නිකම් කෑම පමණක් නොවේ. කඩෙන් සාරි අරන් දිය යුතුය. නිදාගන්නට ඇඳෙන් බාගයක් ඉඩ දිය යුතුය. ඒ මදිවාට ටික කලක් යනවිට ගෑණුන්ගේ බඩේ ළමයිනුත් හැදේ. ඉන්පසු ඒ අයට ඕනෑ දේවල් අරන් දෙන්නටත් සල්ලි හෙවිය යුතුය.

මනුස්සයාගේ ඇති මේ ලොකුම අඩුපාඩුව නිසා ඔහු ගෙවන මිල වැඩි නැද්ද? මේ ලෝක ධර්මතාවය වෙනස් කළ නොහැකි එකක්ද?

බතක් මාළුවක් උයා ගන්නට පුරුදු වුණොත් ගෑණු ගේන්නට අවශ්‍ය නොවේ. එහෙම වුණොත්, දවසම මහන්සි වී ගෑණුන් හා ළමයින් වෙනුවෙන් සල්ලි හම්බ කරන්නට අවශ්‍ය නැත. ඇඳෙන් බාගයක් වෙන් නොකර හොඳට අතපය දිග හැර නිදාගන්නත් පුළුවන්ය. මේ නුවණ අනිත් මිනිස්සුන්ට පහළ නොවන්නේ ඇයි? සමහර විට උයන එක හිතන තරම්ම ලේසි නැතුව ඇති!

මුල් වරට බතක් ඉවීම අත්හදා බැලීමට මා තීරණය කළේ නිවසේ වැඩිහිටියන් කිසිවකු නොමැති අවස්ථාවකය. වැඩිමල් ඥාති සොයුරියන්ද හා එකතුව සෙල්ලම් ගෙවල් වල පොඩි මැටි මුට්ටි වල ඇත්ත බත් උයා තිබුණත් ඇත්තටම කන්නට බතක් ඉවීම ඊට වඩා භාරදූර කාර්යයකි. මෙය ඒ වන විටද ප්‍රගුණ කර තිබූ ප්ලේන්ටියක් හදා ගැනීමේ කුසලතාවය බොහෝ දුරට ඉක්මවන්නකි.

පැරකුම් ටින්කිරි හාල් හුන්ඩු දෙකක් මැන ගත් පසු පළමුව හාල් ගරා ගැනීමට සිදුවේ. මේ ආච්චිට හාල් ගැරිල්ල ඒ තරම්ම අමාරු නැත. ලොකු ගල් කැටයක් හමු වූ විට නාම්බුවේ ගෙවුඩයක් දැක්කා වගේ තන්තෝසය.

ලිප පත්තු කර ගැනීමද තරමක අභියෝගයකි. මේ කාලයේදී අප ජීවත් වුනේ නාගරික ප්‍රදේශයක පිහිටි නිල නිවාසයකය. ඒ නිසා, හැත්තෑ ගණන් වල වුවද, අපට ලයිට් තිබුණේය. ලයිට් තිබුණත් ලිපනම් දර ලිපකි. දර එකතු කරගැනීමට තරම් ලොකු වත්තක් නැති නිසා දර එන්නේ දර කරත්තයෙනි. දර කෑල්ලක් මුලින්ම පත්තු කර ගැනීම ලේසි නැත. පොල්කට්ටක් ඇත්නම් ඉස්ටාට් එකට හොඳය. ඒත් පොල්කට්ට වුවද පත්තු කර ගැනීම ලේසි නැත.

පොල්කට්ට ඉස්ටාට් කර ගැනීමට ලාම්පුතෙල් හොඳ බේතකි. කලින් සිටි ගෙවල් වලදී මෙන් ඇති තරම් පොල් හනසු හෝ ඔට්ටපාළු නැති නිසා එකම බේත ලාම්පුතෙල්ය. සාමාන්‍යයෙන් ගෙදර ලාම්පු පත්තු නොකළත් ප්‍රධාන වශයෙන්ම ලාම්පුතෙල් අවශ්‍ය වුනේ මේ ලිප ඉස්ටාට් කර ගැනීමේ කටයුත්තටය.

ඔය කාලයේ ලාම්පුතෙල් කරත්තයේ ලාම්පුතෙල් ගැලුමක් තුනයි පනස් හතරකි. පන්දමක් උස්සාගෙන හෙළුවෙන් දුවන මනුස්සයෙකු පින්තාරු කළ රතු පාට ලාම්පුතෙල් කරත්තය ඇදගෙන එන දුඹුරු පාට ගොනාගේ පිටට තට්ටුවක් දමමින් "බූංතේ" කියා උජාරුවෙන් කෑගහගෙන එන ලාම්පුතෙල් කරත්තකාරයාගෙන් ලාම්පුතෙල් ගැනීමට මට කොයිතරම් ආසාවක් තිබුණත් ඒ ආසාව කවදාවත් ඉටු නොවුනේ අපේ ගෙදර සිට යාර සීයක්ටත් වඩා අඩු දුරකින් තිබුණු පෙට්‍රල් ෂෙඩ් එකේ ලාම්පුතෙල් ගැලුමක් ශත හයක් අඩුවට විකිණූ බැවිනි.

හාල් ගැරීමට සහ ලිප පත්තු කිරීමට අමතරව බත් ඉවීමේ ඇති අමාරුම කෑල්ල ගාණට වතුර දැමීමයි. වතුර වැඩි වුණොත් බත බෙරි වේ. අඩු වුණොත් ඇට්ටකුණා වේ. බත් ඉවීම ප්‍රගුණ කළ මුල් දවසේ මට වුනේ ඔය දෙකෙන් දෙවැන්නයි. කෙසේ වුවත්, බත ඉදීගෙන එනවිට අදනම් කන්න වෙන්නේ බත් නොව හාල් බව මට ඒත්තු ගියේය. ඒ නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් වතුර එකතු කර යාන්තමින් වැඩේ ගොඩ දාගත හැකි විය.

මහන්සිවී ගෙදර පැමිණි වැඩිහිටියෝ ගෙදර බතක් ඉදී තිබෙනු දැක මහත් උද්දාමයට පත් වූහ. මේ යුගය කඩෙන් කොත්තු ගේන යුගයක් නොවේ. කෙතරම් පසුවී බඩගින්නේ ගෙදර ආවත් කන්න වෙන්නේ බත ඉදුණු පසුවය.

යාන්තමින් වැඩේ ගොඩ දාගත් මම මේ වීර ක්‍රියාව කිරීමේදී මුහුණ දුන් අභියෝග සහ මා ඒවාට මුහුණ දුන් ආකාරය එකිනෙක විස්තර කළෙමි. මගේ විස්තර කිරීම් අවසානයේදී බතට වතුර තැබීම හා සම්බන්ධ ඉතා සරල ගුරු මුෂ්ටියක් මට ලැබුණේය. හාල් වල මට්ටමේ සිට අතේ ඇඟිලි පුරුක් දෙකක ගැඹුරට වතුර තැබූ විට බෙරි හෝ ඇට්ටකුණා නොවී බත ගාණට ඉදෙනු ඇත.

වැඩිහිටි කාන්තාවකගේ අතේ ඇඟිලි වල දිග සහ නව හැවිරිදි දරුවෙකුගේ ඇඟිලි වල දිග එක සමාන නොවීම මට ලොකු ප්‍රශ්නයක් නොවූයේ මේ සරල ආකෘතිය ප්‍රායෝගිකව හොඳින් වැඩ කළ නිසාය. එතැන් පටන් බතක් නිසි පරිදි උයා ගැනීම සූකිරි කන්දකින් පහළට ගලන මීපැණි ගඟක ඉවුරේ සිට පාන් කෑල්ලක් කන තරම් පහසු කටයුත්තක් විය. රතු කැකුළු, රටින් ගෙනා සුදු හාල්, මිල්චාට් ආදී ලෙස හාල මාරුවෙද්දීත්, මැටි මුට්ටි ඇලුමිනියම් 'රාස්පාන්' වෙද්දීත්, මුට්ටිය වහන නෑඹිලිය එසේම වෙනස් වෙද්දීත්, හුන්ඩු දෙක දෙකහමාර හෝ තුන වෙද්දීත් ඇඟිලි පුරුක් දෙකේ ආකෘතිය නිසියාකාරව වැඩ කළේය.

බත් ඉවීම වැනි භාරදූර කටයුත්තක් මේ තරම් හොඳින් කිරීමට හැකි වූ විට තමන් මහා පොරක් බව සිතීම සාමාන්‍ය දෙයකි. ඒ සමඟම ඇඟිලි පුරුක් දෙකේ නුවණින් තමන්ට කළ නොහැකි දෙයක් නැතැයි සිතේ. මේ අනුව මට තවත් අළුත් වැඩකට අත ගැසීමට සිත් විය. ඒ කොස් තැම්බීමයි. මේ තරම් අපූරුවට බත් තම්බන මට කොස් තැම්බීම කජ්ජක්ද?

මේ සඳහා මා යොදාගත්තේද පෙර මෙන්ම නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවකි. කලින් පළු කළ, කොටසක් උයා ඉතිරිව තිබුණු, කොස් බෑයක් කුස්සියේ පැත්තක තිබුණේය. කොස් ඉවීම බත් ඉවීමට වඩා තරමක් සංකීර්ණය. මදුළු ගැලවිය යුතුය. මදුලෙන් ඇට ඉවත් කළ යුතුය. ඇටෙන් සිබිඩි පැන්නිය යුතුය. ඇට ඉවත් කළ මදුළු තීරුවලට කපා ගත යුතුය. ඉන්පසු සිබිඩි පැන්නූ කොස් ඇට මෙයට එක් කළ යුතුය. කොළා තමයි ඉතිං ඔය ඔක්කොම!

මේ තීරු කැපූ කොස් සහ මදුළු මුට්ටියට දමා වතුර දැමිය යුතුය. ඉන්පසු ඇත්තේ නැකතක් බලා හෝ නොබලා ලිප අවුළුවාගෙන කොස් ටික තම්බා ගැනීම පමණි.

වෘශ්චික ධනු මකර කුම්භ
කොස්ටික බෙරි නොකර තම්බ 

කොස් ටික මුට්ටියට දැමූ විට මුට්ටියෙන් බාගයක් පිරුණේය. මම ඇඟිලි පුරුක් දෙකෙන් මනිමින් වතුර එකතු කළෙමි. කොස් වලට අවශ්‍ය පමණට වතුර  එකතු කිරීම හාල් වලට එකතු කරන තරම් පහසු වුණේ නැත. මුට්ටිය පිරෙන්නම වතුර දැම්මත් ඇඟිලි පුරුක් දෙකනම් වැහුනේ නැත. තවත් වතුර දැමීමට මුට්ටියේ ඉඩ නැති නිසා අන්තිමට කොස් මුට්ටිය ලිපේ තබා ගිනි මෙලවුයෙමි.

පැයකටත් වඩා බලා සිටියෙමි. දර මිටියක්ම ඉවරය. ඒත් තවමත් කොස් හැලියේ වතුර හිඳී නැත. වැඩිහිටියන් නිවසට පැමිණෙන තුරුත් කොස් හැලිය ලිපේ ඉදෙමින් තිබුණේය.

Thursday, September 24, 2015

ඔබේ වීරයාගේ මිල කීයද?

හෝමෝ සේපියන්ලා වන අපට ලොකු බලාපොරොත්තු, සිහින තිබේ. එහෙත්, බොහෝ විට අපට මේ බොහොමයක් සිහින සැබෑ කර ගැනීමට නොලැබේ. අප සිහින දකින, එහෙත් අපට ලඟා වීමට නොහැකි වූ ඉලක්ක වලට ළඟා වූ අය අපේ වීරයෝ වෙති.

රවීගේ වීරයින් ලැයිස්තුවේ උඩින්ම ආගමික ශාස්තෘ වරයෙක් සිටී. වෙනත් අයගේ ලැයිස්තුවල වෙනත් ආගමික ශාස්තෘ වරු සිටිති. එමෙන්ම, දේශපාලනඥයෝ, කලාකරුවෝ, ක්‍රීඩකයෝ, දාර්ශනිකයෝ ආදීහුද මෙවැනි වීර ලැයිස්තු වල සිටිති. පැය අටේ වැඩමුරය වෙනුවෙන් චිකාගෝහිදී දිවිදුන් කම්කරු නායකයින් ඇතැම් අයගේ වීරයන් වන අතර, පොප් රජු ලෙස විරුදාවලි ලත් මයිකල් ජැක්සන් තවත් අයගේ වීරයෙකි.

අපි බොහෝ දෙනෙකු වීරයෝ වීමට කැමැත්තෙමු. ඒ සඳහා, ඇතැම් විට අප කරන්නේ අපේ වීරයෙකුව අනුගමනය කිරීමයි. වෙනත් ඕනෑම අවශ්‍යතාවයක් සපුරා ගැනීම සඳහා මෙන්ම වීරයකු වීමේ අවශ්‍යතාවය වෙනුවෙන්ද මිලක් ගෙවීමට අප සුදානම්ය. මෙමඟින් ඉල්ලුමක් ජනිත වේ.

ඉල්ලුමක් ඇති තැන එය සපයන්නෙකුට ඉඩකඩක් විවෘත වේ.



චේ ගුවේරා බොහෝ දෙනෙකුගේ වීරයෙකි. ටී ෂර්ටයක චේගේ රුව ගසා ගැනීමෙන් තමන්ටත් තරමක් දුරට හෝ මේ වීරයාගේ තැනට ලං විය හැකියැයි සිතන අය සිටිති. එය හඳුනාගන්නා නිෂ්පාදකයෙක් එවැනි ටී ෂර්ටයක් වෙළඳපලට ඉදිරිපත් කරයි. මෙවැන්නක් මිලදී ගන්නා පාරිභෝගිකයෙකු ඇඳුමක් ඇඳීමේ අවශ්‍යතාවය සමඟ වීරයෙක් (හෝ පොරක්) වීමේ අවශ්‍යතාවයද සපුරා ගනී. ඒ නිසා ඇඳුමක් සඳහා සාමාන්‍යයෙන් ගෙවන මිලට වඩා රුපියල් පණහක් හෝ සීයක් වැඩිපුර ගෙවීමට ඔහු හෝ ඇය නොපැකිලේ.

චේ වීරයෙකු ලෙස සලකන තවත් ඇතැමුන් චේ වැනි වීරයෙකු වීම සඳහා ඔහුගේ රුව සහිත ටී ෂර්ටයක් පැළඳීම ප්‍රමාණවත් නොවේයැයි සිතති. ඔවුන් චේ වැනි වීරයෙකු වීම සඳහා ඊට වඩා විශාල මුදලක් ගෙවීමට සුදානම්ය.

කොලොම්බියාවේ අල්වාරෝ චේගේ රුව සහිත ඇඳුමක් වෙනුවෙන් පෙසෝ කිහිපයක් වැඩිපුර ගෙවා පොඩි වීරයෙකු වෙද්දී, ඔහුගේ මිතුරු පාව්ලෝට වැඩි මිලක් ගෙවා ලොකු වීරයෙකු වීමට අවශ්‍ය වේ. කොලොම්බියාවේ ජාතික විමුක්ති හමුදාව මේ සඳහා ඔහුට අවස්ථාවක් සපයයි. තමන්ගේ සරසවි අධ්‍යාපනය, හොඳ රැකියාවක් කිරීමට ඇති අවස්ථාව, මිතුරන් සමඟ විනෝද වීමට ඇති කාලය ආදී සියල්ල අතහරිමින් ලොකු මිලක් ගෙවන පාව්ලෝ ජාතික විමුක්ති හමුදාවෙන් ගෙවන සුළු මාසික දීමනාවෙන් අමාරුවෙන් ජීවිතය ගැට ගසා ගනිමින් වීරයෙකු වීමේ සතුට විඳියි. ඔහුගේ ජීවිතය අහිමි වීමේ අවදානමද මේ මිලට එකතු වේ.

පොඩි කාලේ ක්‍රිකට් ගැන හාන්කවිසියක් නොදැන සිටි තුෂාරගේ දැන් ප්‍රියතම ක්‍රීඩාව ක්‍රිකට්ය. ඔහුට ක්‍රිකට් වලින් ඉහළට ගිය සංගක්කාර වීරයෙකි. වීරයෙකු අනුගමනය කිරීමෙන් පොඩි වීරයෙකු විය හැකිය.

ඇන්ලීන් කිරිපිටි පැකට්ටුවක් රුපියල් හයසීයට විකිණෙද්දී ඇන්ලීන් පානය කළ තුෂාර මේ මිල රුපියල් හයසිය පණහක් වෙද්දී පාවිච්චිය නවත්තයි. ඇන්ලීන් පැකට්ටුවකට තුෂාර දෙන වටිනාකම රුපියල් හයසීයට වැඩිවුණත් හයසිය පණහට වඩා අඩුය. නිෂ්පාදන වියදම් ඉහළ ගොස් ඇති නිසා ෆොන්ටෙරා සමාගමට තවදුරටත් ඇන්ලීන් පැකට්ටුවක් රුපියල් හයසියයකට විකිණිය නොහැක. මේ නිසා තුෂාර තවදුරටත් ඇන්ලීන් බොන්නේ නැත. ඒ නිසා සමාගමට ලාභයක්ද නැත.

සංගක්කාර තමන්ගේ මහන්සියෙන් වීරයෙකුව නිෂ්පාදනය කර තිබේ. මේ වීරයාගේ කොටස් ඔහුගේ රසිකයින් ළඟ ගබඩා කර තිබේ. මෙය සංගක්කාර සතු ප්‍රාග්ධනයකි. ඔහු සතු ප්‍රාග්ධනය ඔහුට අවශ්‍ය විටක මුදල් කළ හැකිය. ඔහුට පෙර මෙසේ ප්‍රාග්ධනය එකතු කළ ක්‍රිකට් ක්‍රීඩකයින් වූ රණතුංගලා සහ ජයසූරියලා ඔවුන් සතුව තිබූ ප්‍රාග්ධනය මැතිවරණ වලදී මුදල් කළහ. සංගක්කාර ප්‍රසිද්ධියේ ඔහුගේ බිරිඳව සිපවැළඳ ගන්නා විට ඔහු කලක් තිස්සේ එකතු කළ ප්‍රාග්ධනයෙන් කොටසක් වැයවේ. එහෙත්, වැඩි ප්‍රමාණය තවමත් ඉතිරි නිසා සංගක්කාර තවමත් වීරයෙකි.

සංගක්කාර ෆොන්ටෙරා සමාගම වෙනුවෙන් වෙළඳ දැන්වීමකට පෙනී සිටී. ඇන්ලීන් කිරිපිටි බීමෙන් තමන් මෙන් වීරයෙකු වීමට හැකි බව ඔහු තමන්ගේ රසිකයින්ට පැහැදිලි කර දෙයි. කිරිපිටි වලට රුපියල් හයසීයකට වඩා ගෙවීමට කැමති නැති තුෂාර, සංගක්කාර වැනි වීරයෙකු වීම සඳහා රුපියල් දෙසීයක් ගෙවීමට කැමතිය. ෆොන්ටෙරා සමාගම මේ දෙක එකතු කර පැකේජයක් සදා රුපියල් හත්සීයකට මිල කරයි. තුෂාර මේ පැකේජය මිල දී ගනී. ඔහු මේ පැකේජයට ගෙවීමට සූදානම් වන මුදලට වඩා රුපියල් සියයක් අඩුවෙන් ඔහුට එය ලැබේ.

ෆොන්ටෙරා සමාගම ඔවුන්ගේ නිෂ්පාදන වියදමට වඩා රුපියල් පණහක් තුෂාරගෙන් එකතු කර ගනී. මෙයින් විසිපහක් සංගක්කාරට යයි. ෆොන්ටෙරා සමාගමට තවත් විසිපහක් ඉතිරි වේ. සියල්ලෝම සතුටෙනි.


වීරයන් වෙඩි තබා, බෝම්බ ගසා හෝ සුදු වෑන් යවා විනාශ කළ නොහැකිය.

ඔබේ වීරයා වෙනුවෙන් ඔබ ගෙවන මිල වැඩියි වගේද?

(ඡායාරූප අන්තර්ජාලයෙනි.)

Tuesday, September 22, 2015

බෝර්ෂ් සුප් සහ වෙරළු අච්චාරු

පසුගිය සතියේ කිහිප දෙනෙකු විසින්ම කටට කෙළ උනන සටහන් ලියා තිබුණේය. රයිගමගේ බෝර්ෂ් සුප් එක සහ නලින් හදා තිබුණු ගාර්ලික් බ්‍රෙඩ් සමඟ එන වෙජිටබල් මික්ස් චිකන් සුප් එක මෙයින් දෙකකි. නාවල වැලිපාක් එක ළඟ හෝටලයේ 'එබිල ඔලුව පීරගන්ට පුලුවන් තරම් තෙල් තිබුණු' මස් හොද්ද ගැන රවී ලියා තිබුණේය. 

කොණ්ඩය පීරීමට කවදාවත් ලොකු උනන්දුවක් නොතිබුණු මට ඔළුව පීරිමටනම් උනන්දුවක් ඇති වුනේ ඉතා කුඩා කාලයේදීමය. ඒ උනන්දුව තවමත් අඩු වී නොමැත. එහෙත්, අවුරුදු හත අටේදී ඔළුව පීරමින් විසඳුම් සෙවූ බොහෝ ප්‍රශ්න වලට තවමත් නිශ්චිත විසඳුම් ලැබී නැති නිසා දැන් මා වඩා හොඳ විසඳුම් මිස නිශ්චිත විසඳුම් සොයන්නේ නැත.

මා පැමිණියේ කොහෙන්ද යන ප්‍රශ්නයට මා හැදුණු වැඩුණු සංස්කෘතියට සාපේක්ෂ පිළිතුරු වෙනත් අයට මෙන්ම මටද කුඩා කාලයේදීම ලැබුණේය. ඒ සමඟම, මට තෝරාගැනීමක් ඇති, යා හැකි තැන් ගැන ඉඟිද ලැබුණේය. සැප පමණක් ඇති, දුකක් ගැන දැන ගැනීමට නොලැබෙන තැනක සිට විඳින සැප සැපක් ලෙස සලකමින් විඳින්නේ කෙසේද යන්න මට අවුරුදු හත අටේදීම මතු වූ පැනයකි. මේ අනුව දුක් පමණක් ඇති තැනක් මඟහැර සැප පමණක් ඇති තැනකට යාම වෙනුවෙන් මහන්සි වීමේ ඕනෑ කමක් ඉතා කුඩා කාලයේදීවත් මට තිබුණේ නැත. එහෙත්, මා ඇතැම් විශේෂ තත්ත්වයන් යටතේදී හැර සම්මත 'නරක වැඩ' කිරීමට පෙළඹුනේද නැත. ඒ එවැනි දෙයින් මට සතුටක් නොලැබුණු බැවිනි.

සත්ත්ව ඝාතනයක් කරනු තබා එවැන්නක් බලා සිටීම පවා මට ඉතා අපහසු දෙයකි. ඒ ප්‍රතිපත්තිමය හේතු මත නොවේ. එහෙත්, කුඩා කළ සිටම සත්ව මාංශ වලට මගේ වූ  කැමැත්ත තවමත් අඩු වී නැත. ඒ නිසා රයිගමගේ බෝර්ෂ් සුප් එක හෝ නලින්ගේ චිකන් සුප් එක රස විඳීමට අවස්ථාවක් ලැබේනම් එය මඟ හැරීම මට පහසු කටයුත්තක් නොවනු ඇත. මේ භෞතිකව සහ සංස්කෘතිකව මා නිර්මාණය වී ඇති ආකාරයයි.

අවුරුදු අටක් හෝ නවයක් වෙද්දී මිනිසා හැදුණේ 'වඳුරන්ගෙන්'යැයි දැනගනිද්දීත් මට ප්‍රශ්න මතු වුණේය. පළමුවැන්න මෙය හරියටම සිදුවුනේ කෙසේද යන්නයි. එය තේරුම් ගැනීමට තවත් අවුරුදු හත අටක් ගත විය. දෙවැනි, අතුරු ප්‍රශ්නයක් වූයේ වඳුරන් කන්නේ කොළ පමණක් නම් මිනිසුන් මස් මාළු කන්නේ ඇයි යන්නයි. මේ දෙක ගලපමින් පොඩි කාලයේදීම මම මගේ ප්‍රශ්න දෙකම විසඳන පිළිතුරක්ද සොයා ගත්තෙමි. මිනිසා වඳුරන්ගෙන් වෙනස්ව බුද්ධිමත් වී ඇත්තේ මස් කෑම නිසා ලැබුණු අමතර පෝෂ්‍ය පදාර්ථයක් හේතුවෙනි.

එක් එක් අයගේ වෙනස් රුචි අරුචිකම් වලට ගරු කිරීමට තරම් පරිණත භාවයක් නොතිබුණු ගැටවර සහ තරුණ වයසේදී ශාක ආහාර වලින් පමණක් යැපෙන මගේ ඇතැම් මිතුරු මිතුරියන්ට එරෙහිව තර්කයක් ලෙස මම මේ මතය ඉදිරිපත් කළ කාලයක් තිබුණේය. මේ මැටි අදහස වෙනත් බොහෝ දෙනෙකුද පිළිගන්නා තර්කානුකුල අදහසක් බව මා දැන ගත්තේ බොහෝ කාලයකට පසුවය.

ආහාර දාමයේ අඩියේම සිටි වානරයින් එහි අඩියේ සිට මුදුන දක්වා වූ පුළුල් පරාසයක් අත් කර ගැනීම මානව පරිණාමයට සමාන්තරව සිදු වී ඇති දෙයකි. මේ අනුව, ශාක භක්ෂක වානරයින් මාංශ ආහාර අනුභවය ඇරඹීම පරිණාමයේ තීරණාත්මක කඩඉමකි. මේ තරමටම, නැත්නම් මෙයටත් වඩා, තීරණාත්මක කඩඉමක් වන්නේ මිනිසා ආහාර පිස ගැනීම ප්‍රගුණ කිරීමයි. බෝර්ෂ් සුප්, චිකන් සුප් හෝ තෙල් පෑදුණු මස් කරියක් දුටු විට මිස අමු කුකුළු මස් හෝ හරක් මස් හෝ පණ ඇති සතෙකු දුටු විට අපේ කටට කෙළ උනන්නේ නැත.

අප යනු අප කන දේවල්යැයි කියමනක් තිබේ (We are what we eat). මෙය ඇත්තක් වන්නේ අපේ උදරයේ සහ අනෙකුත් තැන් වල සමට යටින් තැන්පත් වී ඇති මේද තට්ටු නිසාම නොවේ. ජීව විද්‍යාත්මක සහ සංස්කෘතික පරිණාමයේ අප අද සිටින තැනට පැමිණ සිටින්නේ අවුරුදු ලක්ෂ ගණනක් තිස්සේ අප ආහාරයට ගත් දේවල්ද නිසාය.

සාපේක්ෂව කුඩා මොළයක් ඇති හෝමෝ නැලඩිගේ සංස්කෘතික චර්යාවන් මඟින් තරමක අභියෝගයට ලක් වී ඇතත් මිනිසා අනෙකුත් සතුන්ගෙන් වෙන් කරන ප්‍රධානම සාධකයක් වන්නේ ඔහුගේ ප්‍රමාණයෙන් විශාල මොළයයි. විශාල මොළයක මෙතරම් වැදගත්කමක් ඇත්නම් අනෙකුත් සතුන් පරිණාමය වීමේදී ඔවුන්ට මෙවැනි විශාල මොළයක් නොලැබුණේ ඇයි?

මෙයට හේතුව මේ විශාල මොළය වෙනුවෙන් ගෙවිය යුතු විශාල පිරිවැයයි. ආර්ථික විද්‍යා භාෂාවෙන්නම් 'නොමිලේ දිවාආහාර නොලැබේ'.

මිනිසෙකු කිසිවක් නොකර නිකම් සිටින විට ශරීරය පවත්වා ගැනීම සඳහා වැයවන ශක්තියෙන් විශාල ප්‍රමාණයක් වැයවන්නේ ඔහුගේ මොළය වෙනුවෙනි. මේ වැඩිපුර ශක්තිය සොයා ගත හැකි ක්‍රමයක් නොතිබුණානම් අයවැය හිඟය ක්‍රමයෙන් ඉහළ යෑමෙන් මේ සත්ත්ව විශේෂය වඳවී යා හැකිව තිබුණි.

මොළය හැරුණු විට ශක්තිය වැඩිපුරම අවශ්‍ය වන අනෙක් උපාංගය වනුයේ ආහාර ජීර්ණ පද්ධතියයි. ආහාර පිසගැනීමේ පුරුද්ද නිසා අපට අනෙක් සතුන්ට මෙන් ලොකු ආහාර ජීර්ණ පද්ධතියක් අවශ්‍ය නොවේ. ආහාර පිසගත් විට ඉතා කාර්යක්ෂම ලෙස කෙටි කාලයක් තුල ශරීරයට අවශෝෂණය කරගත හැකිය. මේ අනුව, මොළය ක්‍රමයෙන් විශාල වෙද්දී ආහාර ජීර්ණ පද්ධතිය ඒ හා සමාන්තරව කෙටි වීම නිසා අපට ශක්ති හිඟයකට මුහුණ පෑමට සිදුනොවීය. ඒ නිසා අපේ ශක්ති අවශ්‍යතා වෙනුවෙන් අපට දැන් පැය විසි හතරම උලාකමින් ගත කිරීමට අවශ්‍ය නොවේ.

මෙසේ වඩා කාර්යක්ෂම වන සේ පරිණාමය වී ඇති අපි සාමාන්‍යයෙන් අමු මස් වලට වඩා බෝර්ෂ් සුප් වලට කැමතිය. අමු වෙරළු ගැට වලට වඩා වෙරළු අච්චාරු වලට කැමැත්තෙමු.

ගාලික් බ්‍රෙඩ් සුදුළූනු ගඳ ඇයි?

ප්‍රශ්නය මල්මිගේය. සුදුළූනු පොඩි නොකර උත්තරයක් දෙන්නට බැරි කමක් නැත. ගාලික් බ්‍රෙඩ්වලින් එන්නේ ඒවා හැදී ඇති දේවල්වල ගඳයි. මේ කරුණ හා අදාළව හෝමෝ සේපියන්ස්ලා ගාලික් බ්‍රෙඩ් වලින් වෙනස් වන්නේ නැත.

වෙරළු ගැට වලට සහ අමු මස් වලට වඩා කැමති හෝමෝ සේපියන්ස්ලාද අප අතර සිටිති.

(ඡායාරූපය අන්තර්ජාලයෙනි.)

Sunday, September 20, 2015

කතෘ ප්‍රකාශන රාක්ක වල යට තට්ටුවට යන්නේ ඇයි?

පෙර ලිපියකට ප්‍රතිචාර දක්වමින්, කතෘ ප්‍රකාශන වලට පොත් වෙළෙන්දන්ගෙන් ලැබෙන කුඩම්මාගේ සැලකිලි ගැන නලින් මගේ අවධානය යොමුකරවූවේය. හරී විසින් පෙන්වූ පාරක ගොස් කියවූ අරුණිගේ පැරණි ලිපියක් අනුව "අළුත් කර්තෘවරයෙක් විසින් ලියන ලද අළුත් පොතක් නම් කල පොත් කඩයට බාරදුන් පොත හොයා ගන්නට සර්ච් පාටියක් ද රැගෙන යා යුතු වන්නේය. අහවල් කඩ‍යට පොත් දැම්මා එතැනින් ගන්න කියා සල්ලි රැගෙන පොතක් ලබාගන්න යවන අයව එහෙම පොතක් මෙහෙ නැහැ කියා හරවා යවන කඩ සේවකයෝ සිටිති"

පොතක් ලිවීමේ සිට එය පාඨකයකුගේ අතට ලැබෙන තුරු සිදුවන ක්‍රියාදාමය පිළිබඳව මගේ දැනුම පරිපුර්ණ එකක් නොවේ. මා මෙහිදී බොහෝ දුරට උපයෝගී කරගත්තේ අරුණිගේ හා රසිකගේ ලිපිවලත් නලින්ගේ කොමෙන්ටුවේත් ඇති කරුණුය. කෙසේවුවද, විශ්ලේෂණයක් කිරීමට මේ කරුණු ප්‍රමාණවත්ය.

කතාව පටන්ගන්නට පෙර නොදන්නා අය සඳහා නිදන්ගත පිරිවැය (sunk cost) යන සංකල්පය පහදා දීමට සිදුවේ. රසිකගේ කොමෙන්ටුවක්ට අනුව ඔහුගේ කවිපොත නිෂ්පාදනය කිරීමේ විචල්‍ය පිරිවැය රුපියල් 100කි. රුපියල් 150කට මිල කර ඇති මේ පොත පොත් වෙළෙන්දෙකුට 40%ක වට්ටමක් සහිතව රුපියල් 90කට ලබා දිය යුතුය. මේ අනුව, විකිණෙන පොතකින් රසිකට රුපියල් 10ක් පාඩු වේ.

එසේනම් රසික විසින් මේ පොත් නොවිකිණිය යුතුද?

පොත මුද්‍රණය කිරීමෙන් පසුව ඒ සඳහා වැයකළ රුපියල් 100 නිදන්ගත පිරිවැයකි. පොත නොවිකුණුවත් ඒ මුදල ආපසු නොලැබේ. එවිට සිදුවන්නේ පාඩුව රුපියල් 100ක් වීමයි. පොත විකිණීමෙන් මේ පාඩුව රුපියල් 10ක් දක්වා අඩුකර ගත හැකි බැවින් අනෙක් විකල්පයට සාපේක්ෂව පොත විකිණීමෙන් රුපියල් 90ක වාසියක් සැලසේ.

දැන් අපි පොත් වෙළෙන්දෙකු සතු විකල්ප දෙකක් සසඳමු.

a . ලේඛකයෙකු ඔහුගේ පොතක් කිසිදු අත්තිකාරමක් නොලබා පොත් වෙළෙන්දාට දෙයි. පොතේ මිල රුපියල් 150කි. එය විකිනුණහොත් වෙළෙන්දාට රුපියල් 60ක ලාභයක් ලැබිය හැකිය. නොවිකුණහොත් සෘජු පාඩුවක් සිදු නොවේ. පොත විකිණූ විට එය නොවිකිණීමට සාපේක්ෂව ලැබෙන වාසිය රුපියල් 60කි.

b. පොත් ප්‍රකාශකයකුගෙන් මේ වෙළෙන්දාම රුපියල් 90ක් ගෙවා පොතක් මිලදී ගනී. පොතේ මිල රුපියල් 150කි. එය විකිනුණහොත් වෙළෙන්දාට රුපියල් 60ක ලාභයක් ලැබිය හැකිය. නොවිකුණහොත් රුපියල් 90ක පාඩුවක් සිදුවේ. රුපියල් 90 නිදන්ගත පිරිවැයක් වී අවසාන නිසා පොත විකිණූ විට එය නොවිකිණීමට සාපේක්ෂව ලැබෙන වාසිය රුපියල් 150කි.

දැන් මේ විකල්ප දෙක අතරින් වඩා වාසිදායක විකල්පය b බව පැහැදිලිය.

පොතක් පේන්නට තැබූ විට විකිණීමට ඇති ඉඩකඩ වැඩිය. ප්‍රකාශකයාගේ පොත විකිණීම වඩා වාසිදායක නිසා එය රාක්කයේ උඩට යයි. කතෘ ප්‍රකාශනය යටට යයි.

යම් ලේඛකයෙක් තමන් විසින්ම පොතක් ප්‍රකාශ කිරීමට පෙළඹෙන්නේ ඇයි?

මේ සඳහා විවිධ හේතු තිබිය හැකිය.

- ප්‍රකාශකයෙකු අදාළ පොත භාරගැනීමට ඉදිරිපත් නොවීම එක් හේතුවකි. මෙසේ වන්නේ ප්‍රකාශකයාට අනුව මේ පොත අලෙවි කිරීම අපහසු පොතක් බැවිනි. කතෘ ප්‍රකාශන අතර මෙවැනි පොත් යම් ප්‍රමාණයක් ඇති බව පොත් වෙළෙන්දා දනී. ප්‍රකාශකයෙකුගේ පොතක්නම් සාමාන්‍යයෙන් විකිණිය හැකි එකක් විය යුතුය. රාක්කයේ උඩ තට්ටුවේ විකිණෙන පොතක් තැබූ විට ඉතා ඉක්මණින් තවත් පොතකට ඒ ඉඩ හිමිවේ. නොවිකිණෙන පොතක් තැබූ විට එය සිදු නොවේ. මෙවැනි 'නොවිකිණෙන' පොතකට අත්තිකාරමක් ගෙවීමට පොත් වෙළෙන්දා සූදානම් නැත.

- ලේඛකයාට තමන්ගේ හිත මිතුරන්ට පිටපත් නොමිලයේ දීමට අවශ්‍ය විය හැකිය. මෙවැන්නෙකු පොත විකිණීමෙන් ලැබෙන මුදල් ලාභය වැඩිපුර නොතකයි.  මෙවැනි ලේඛකයෙකු අත්තිකාරම් නොලබා පොත පොත් හලට දැමීමට අකැමැත්තක් නොදක්වයි.

- ලේඛකයාට තමාගේ පොත විකිණිය හැකි බව හොඳටම සහතික නිසා එයින් වැඩිම ලාභයක් ගැනීමට උත්සාහ දරනවා විය හැකිය. මගේ අදහස අනුව, අරුණිගේ පියා සිටින්නේ මේ ගොඩේය. ඇත්තටම, ඔහු අරුණි සඳහන් කර ඇති පරිදි ලාභ ලබා ඇත්තේ ලේඛකයෙකු වශයෙන්ම නොවේ. පොත් නිෂ්පාදන සහ බෙදාහැරීම් ක්‍රියාවලියේ ඉදිරි පියවර සියල්ල අතට ගැනීම මඟින් 'සිරස් අනුකලනය' (vertical integration) කිරීම මඟිනි. ඔහු ලබන ලාභය ඔහු ලේඛකයෙකු වශයෙන් ලබන ලාභයේත්, ආයෝජකයෙකු, අතරමැදියෙකු සහ ව්‍යවසායකයෙකු ලෙස ලබන ලාභයේත් එකතුවයි.

අරුණිගේ පියාගේ කෘති මාද කලෙක කියවූ ඉතා ජනප්‍රිය පොත් වූ බව අවිවාදිතය. එසේ වුවද, මේ පොත් මිලදී ගැනීමට සමඟි පෙරමුණු රජය කාලයේ පාන් ගැනීමට සිටියාක් මෙන් පොත් සාප්පු ඉදිරිපිට පාඨකයින් පෝලිම් ගැසී සිටියේ නැත. ඒ පොත් විකිණීමටද යම් කාලයක් ගතවන බැවින් අතරමැදියා ලබන 40% ශුද්ධ ලාභයක් නොවේ.

අනෙක් පොත් වලින් නොලැබෙන විශාල ලාභයක් මේ පොත් වලින් අතරමැදියාට ලැබුනේනම් ඔහුට යම් අත්තිකාරමක් ලබාගැනීමට හෝ 40% වට්ටම අඩු කර ගැනීමට පොත් වෙළෙන්දන් සමඟ එකඟතාවකට පැමිණීමේ අවස්ථාව පැවත තිබේ.

Friday, September 18, 2015

කොයිසිටදෝ අපි එන්නේ? කොයිබටදෝ අපි යන්නේ?

හෝමෝ සේපියන්ලා වන අපේ ආරම්භය කොතැනද? ඉදිරියේදී හෝමෝ සේපියන්ලා වන අපට කුමක් වේද?

මේ ප්‍රශ්න කාලයක් තිස්සේම අප විසින් විසඳා ගැනීමට උත්සාහ ගනිමින් සිටිමු. සහශ්‍ර ගනනක් තිස්සේ විවිධ ආගම් හා දර්ශන මඟින් මේ ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට උත්සාහ කර තිබේ. පසුගිය ශතවර්ෂ කිහිපය තුළ මේ අඛණ්ඩ උත්සාහය ඉදිරියට ගෙන ගියේ පරිණාමවාදීන්, පුරා විද්‍යාඥයින්, මානව විද්‍යාඥයින් හා ඉතිහාසඥයින් වැනි අයයි. මෑතකදී ජාන විශ්ලේෂකයින්ද මේ පිරිසට එකතු වූහ.

ඉතා මෑතක් වනතුරුම අපට සිතාගත හැකිව තිබුණු හොඳම පරිණාමයේ කතන්දරය උඩින් ඇති රූපයේ දැක්වෙන ආකාරයේ එකකි. මේ කතාවේ හැටියට වානරයෙකුගේ සිට නූතන මිනිසා දක්වා අප ක්‍රමයෙන් 'රේඛීයව' පරිණාමය වී තිබේ. කතාවේ මුල සිටින ඒක සෛලිකයෙකුගේ සිට වානරයා දක්වාද මේ රේඛාව දික් වේ. මේ අනුව, අප දැනටත් උපයෝගී කරගන්නා පරිණාම ආකෘතිය ගසක් වැනි එකකි. එහි කඳෙන් ලොකු අතුත්, ලොකු අතු වලින් පොඩි අතුත්, පොඩි අතු වලින් ඊටත් වඩා පොඩි අතුත් බෙදේ. ඒවායින් කුඩා රිකිලි බෙදී යයි.

මේ එක් එක් රිකිල්ල අග වෙනස් ජීවී විශේෂයක් සිටී. අප සිටින කුඩා රිකිල්ලේ සිට සිට ආපසු ගිය විට අප වෙනත් ජීවී විශේෂ වලින් වෙන්වූ මං සන්ධි හමුවේ. මේ ආකෘතිය අනුව බෙදී යන රිකිලි දෙකක් නැවත එක්වී අත්තක් වන්නේ නැත.

ඉහත ආකෘතියේ එක් එක් අදියරේදී අප පසු කළ මං සලකුණු ගැන හරියටම දැන ගැනීම සඳහා අපට පොසිල සාක්ෂි උපකාරී විය. එහෙත්, මේ පොසිල එකතු වල අඩුපාඩු තිබුණු නිසා ආකෘතිය සම්පුර්ණ කර ගැනීමට අපට වැඩි වැඩියෙන් පොසිල අවශ්‍ය විය. කෙසේ වුවද, අළුතෙන් හමුවන සංකීර්ණ පොසිල සාක්ෂි වලින් අපේ දැනුම වැඩි වෙද්දී අප දැන සිටි ආකෘතිය වඩාත් ප්‍රශ්නකාරී වී තිබේ.

දැනට වඳ වී ගොස් ඇති වෙනත් මිනිස් වර්ගයක් වන නියන්ඩතාල්ලා ගැන අඩු වශයෙන් සියවස් එකහමාරක සිට අපි දැන සිටියෙමු. ඔවුන් ගැන මෑතකදී අප දැනගත් කරුණු වන්නේ ඔවුන්ද හෝමෝ සේපියන්ස්ලා මෙන්ම දියුණු බුද්ධියක් ඇති කොටසක්ව සිට ඇති බවයි. හෝමෝ සේපියන්ස්ලා අප්‍රිකාවේ සිට මැදපෙරදිග හරහා ආසියාවට සහ යුරෝපයට සංක්‍රමණය වෙද්දී ඒ ප්‍රදේශ වල පැතිරී සිටියේ හෝමෝ නියන්ඩතාලන්සිස්ලාය. ඔවුහු යුරෝපයේ ශීත දේශගුණයට ඔරොත්තු දිය හැකි පරිදි විශාල ශරීර මෙන්ම හෝමෝ සේපියන්ස්ලාටත් වඩා විශාල මොලයක්ද සහිතව සිටි අතර හෝමෝ සේපියන්ස්ලා මෙන්ම ආයුධ තැනීම වැනි කටයුතුද කර තිබේ.

මෑතකාලීනව මේ ක්ෂේත්‍රයේ සිදුවූ අළුත් පොසිල සොයාගැනීම් සමඟ සේපියන්ස්ලාට අමතරව නියන්ඩතාල්ලා වැනි හෝමෝ ගණයේ වෙනත් විශේෂ දුසිමක් පමණ මිහිමත ජීවත් වී ඇති බව දැන් පෙනීයයි. 2010 වසරේදී සයිබීරියාවේ සේපියන්ස්ලා සහ නියන්ඩතාල්ලාද වාසය කළ ගුහාවකින් සොයාගත් ඩෙනිසෝවියන් මානවයා උදාහරණයකි.

මේ වෙනස් මිනිස් විශේෂ කලින් කලට ඔවුන් ජීවත් වූ ප්‍රදේශ වලට උචිත ලෙස අනුවර්තනය වූ අයයි. බාහිර ලෝකය සමඟ සම්බන්ධ නොවී ඉන්දුනීසියාවේ කුඩා දුපතක වෙනම පරිණාමය වූ හෝමෝ ෆ්ලොරසියෙන්සිස් වසර 12,000කට පමණ පෙර වඳ වන විට කිලෝග්‍රෑම් 25 කට වඩා බර නැති අඩි තුනහමාරක් පමණ උස මිනිස් විශේෂයකි. පරිභෝජනය සීමා කර, දිවයින තුළ ඇති සීමිත සම්පත් වලින් යැපීමට හැකි පරිදි කුඩා සිරුරු සහිතව ඔවුහු පරිණාමය වූහ.

මේ කණ්ඩායමට හෝමෝ නැලඩි දැන් අළුතින්ම එකතු වී සිටී. වසර දෙකකට පමණ පෙර දකුණු අප්‍රිකාවෙන් සොයා ගත් පොසිල මත පදනම්ව මේ මානවයා ගැන තොරතුරු පසුගිය සතියේ එළිදැක්වුනේය.

හෝමෝ සේපියන් මොළයක ප්‍රමාණයෙන් අඩකටත් වඩා කුඩා මොලයක් හිමි හෝමෝ නැලඩි ඔස්ට්‍රලොපිතකස් මෙන් වානරයෙක් ලෙස නොව මිනිස් විශේෂයක් ලෙස වර්ග කෙරී ඇත.

දැනට හමු වී ඇති පොසිල සැකිලි පහළොවක පමණ ප්‍රමාණය සමඟ වෙනත් සතුන්ගේ පොසිල මුසු වී ඇත්තේම නැති තරම්ය. එමෙන්ම, මේ සැකිලි වල වයස් සීමා සුසාන භූමියක ඇති සැකිලි වල වයස් සීමා සමඟ සැසඳේ. ඒවා එකවර තැන්පත් වූ ඒවා හෝ වතුරෙන් ගසාගෙන විත් තැන්පත් වූ ඒවාද නොවේ. මේ අනුව මේ සිරුරු සිතා මතාම එක් තැනෙක තැන්පත් කළ ඒවා බැව් අදහස් කෙරේ. මෙය සාපේක්ෂව දියුණු සමාජ ලක්ෂණයකි.

මින් පෙර මෙවැනි අවමංගල චාරිත්‍ර දක්නට ලැබී ඇති පැරණිම කාලය වසර ලක්ෂයකට පෙරය. ඒ නියන්ඩතාල්ලාගේය. හෝමෝ නැලඩි සැකිලි මීට වඩා බොහෝ පැරණියයි අදහස් කෙරේ. කෙසේ වුවද, දැනට දන්නා තොරතුරු අනුව හෝමෝ හෙවත් මිනිස් කුලයේ පළමු සාමාජිකයා ලෙස සැලකිය හැකි හෝමෝ නැලඩි ජීවත් වූ කාලය තවමත් හරියටම නිශ්චය කර නැත. රේඩියෝ කාබන් ක්‍රමයෙන් කාලය නිශ්චය කිරීමටද නොහැකි තරම් මේවා පැරණි වීම එක් හේතුවකි.

කෙසේ වුවද සාපේක්ෂව විශාල මොළයක් නැති, මෙතරම් කලකට ඉහත මිහිමත සිටි ජීවී විශේෂයකගෙන් අවමංගල චාරිත්‍ර වැනි සංකීර්ණ චර්යාවන් දක්නට ලැබීම පර්යේෂකයින්ව විමතියට පත් කර තිබේ. මේ ඇතැම් විද්‍යාඥයින් සිතන්නේ අප දැනට භාවිතා කරන අතු බෙදුණු ගසක් වැනි පරිණාමික ආකෘතිය තව දුරටත් ප්‍රමාණවත් නොවන බවයි.

දැන් පෙනෙන පරිදි පරිණාමයේදී අතු රිකිලි වී බෙදීමට අමතරව රිකිලි එකතු වී අතු නිර්මාණය වීමද සිදු වී තිබේ. අපි කිසිවෙකු කලින් සිතා සිටි පරිදි පිරිසිදු හෝමෝ සේපියන්ස්ලා නොවේ. නියන්ඩතාල්, ඩෙනිසෝවියන් වැනි ජානද අඩු වැඩි වශයෙන් අපට මුසුවී තිබේ. මේ හේතුව සහ වෙනත් හේතුන්ද නිසා අපි උපදින්නේම හරියටම සමාන පුද්ගලයින් ලෙස නොවේ.

ඒ නිසා අපට වෙනස් රුචි අරුචිකම් තිබීමද විය යුත්තකි.

(ඡායාරූපය අන්තර්ජාලයෙනි.)

Wednesday, September 16, 2015

"පොඩිනම, දැන්නම් නරක දේත් හොඳවන වෙලාව!"


"පොඩිනම, දැන්නම් නරක දේත් හොඳවන වෙලාව!"

ජනවහරේ එන කතාවක ගුරු හාමුදුරුවෝ ඇතැම් දරුණු දේ කළ හැකි මන්ත්‍ර ගුරුකම් දැන සිටියත්, පවු සිදුවන බැවින් සාමාන්‍යයෙන් මේ දැනුම භාවිතයට නොගත් බව කියවේ. එහෙත් ඔහු සිය ගෝල හාමුදුරුවන්ටද මේ දැනුම ලබා දී තිබුණේය. කතාවේ කියවෙන්නේ සාමාන්‍යයෙන් ප්‍රයෝජනයට නොගත් මේ දැනුම එහි නරක ආනිසංශ ගැන නොතකා ප්‍රයෝජනයට ගැනීමට සිදුවූ අවස්ථාවක් පිළිබඳවය. එසේ කිරීමට සිදුවන්නේ අවසාන වශයෙන් හොඳ ප්‍රතිඵලයක් බලාපොරොත්තුවෙනි.

අවසාන ප්‍රතිඵලය හොඳක් වේනම් ඒ වෙනුවෙන් නරක දෙයක් කළ යුතුද යන්න සංකීර්ණ ප්‍රශ්නයකි. මේ ප්‍රශ්නයට මගේ පෞද්ගලික පිළිතුර වනුයේ 'වෙනත් කිසියම් හෝ ප්‍රායෝගික විකල්පයක් ඇත්නම්' එසේ නොකළ යුතු බවයි. හොඳ හා නරක යන සංකල්ප වුවද පුද්ගලයාට, කාලයට සහ සමාජයට සාපේක්ෂ වීම ප්‍රශ්නය වඩාත් සංකීර්ණ කරයි.

මේ දිනවල මරණ දඬුවම දීම පිළිබඳව අළුතින් සංවාදයක් ඇතිවී තිබේ. මේ සම්බන්ධව ලියවී ඇති දේ කියවීමෙන් මා තේරුම් ගත් ප්‍රධානම දෙය වූයේ, මා කලින් සිතා සිටි පරිදි, මා නියෝජනය කරන්නේ සමාජයේ බොහෝ දෙනෙකුගේ මතය නොවන බවයි.

අනෙක් ඕනෑම පුද්ගලයෙකුට වඩා කිසිදු විශේෂ වැදගත් කමක් නොමැති සාමාන්‍ය පුද්ගලයෙකු වන මට වෙනත් කෙනෙකු 'හොඳ මඟට' ගැනීමට හෝ උපදේශකයෙකු වීමට අවශ්‍ය නැත. එහෙත්, මා අනෙක් අය තරමට වැදගත් නොවන අයෙකු ලෙසද මා සලකන්නේ නැත. ඒ නිසා මා සිතන ආකාරය වෙනත් 'වැදගත්' පුද්ගලයෙකු සිතන ආකාරයට වඩා නොවැදගත් වීමටත් හේතුවක් නැත.

මගේ අදහස් කිසිදා වෙනස් නොවන නිශ්චිත අදහස් නොවේ. මා කියවන, අසන, අත්දකින දේ අනුව මගේ අදහස්ද පරිණාමය වේ. මගේ අදහස් වෙනත් කෙනෙකු මත පැටවීමට මට අවශ්‍ය නොවන එක් හේතුවක් වන්නේ එයයි. බ්ලොග් වල ලියවෙන වෙනත් අයගේ අදහස් සහ තොරතුරු මගේ සිතීමේ අවකාශය පුළුල් කර ගැනීමට ඉඩ සලසයි. එය මට වඩා හොඳ තීරණ ගැනීමට යම් පිටිවහලක් සපයයි. මා සිතන ආකාරය මා ලියන්නේද වෙනත් අයෙකුට එවැනි ඉඩකඩක් සැලකීමට යම් දායකත්වයක් දීම සලකමිනි.

මරණ දඬුවම සම්බන්ධව අජිත් පැරකුම්, රසික, සහ නොදන්න මගුල් ලියන ලේඛකයා ලියා ඇති දේ සමඟ  මා සිතන ආකාරය බොහෝ දුරට සම්පාත වන නිසා මා ඒවා නැවත ලියන්නේ නැත. මේ අදහස් සමඟ ගැටෙන ලිපියක් රූපේ විසින් පළ කර තිබේ. මේ ලිපිය වටිනා ලිපියකි. එමඟින් සමාජයේ බොහෝ දෙනා සිතන ආකාරය ගැන දැන ගැනීමට කවුළුවක් විවෘත කර දී තිබේ.

මේ අවස්ථාවේදී මරණ දඬුවම දිය යුතුද යන කරුණ ගැන සිතීමට යොදවන කාලය වැදගත් දෙයක් ලෙස මට නොපෙනුණු බැවින් මා මේ ගැන අදහස් නොදැක්වූයෙමි. ඒ තක්සේරුවට හේතු වූයේ මගේ තීරණය මත මරණ දඬුවම දීම හෝ නොදීම තීරණය වීමේ ඉඩකඩක් ළඟපාතක නොපෙනුණු බැවිනි. ඇතැම් විට එවැනි අවස්ථාවක් ඉදිරියේදී මට ලැබෙන්නට වුවද පුළුවන (ඡන්දය ප්‍රකාශ කිරීමක් වැනි). නිහඬව සිටීමෙන් මධ්‍යස්ථ මතයක් පිළිබිඹු වන නිසාත්, මේ සම්බන්ධව මගේ මතය එක් අන්තයකට බරව ඇති බව පෙනෙන නිසාත් එය ප්‍රකාශ කිරීමේ වැදගත් කමක් ඇතැයි සිතේ.


මරණ දඬුවම දීමට පක්ෂව ඉදිරිපත් කෙරී තිබුණු ජනප්‍රිය අදහසක් වූයේ මෙවැනි දෙයක් තමන්ට සිදුවුවහොත් කිසිවකු මෙසේ නොකියනු ඇති බවයි. මගේ සමීපතමයෙකුට මෙවැනි දෙයක් සිදුවුවහොත් එය කළ තැනැත්තාව "කෑලි කෑලි වලට කැපීමෙන්" මට සිදු වූ පාඩුව කිසිසේත්ම සමනය වන්නේ නැත. එහෙත්, එවැනි අවස්ථාවක එසේ ක්‍රියා කිරීමට මා වුවද නොපෙළඹෙනු ඇතැයි මට සහතික විය නොහැකිය. නොදන්නා මඟුල් ලිපියේ පැහැදිලි කර ඇති පරිදි, මෙහිදී සිදුවන්නේ අපේ ආවේග මඟින් අපව පෙළඹවීමයි. මෙවැනි පළිගැනීමකට යොමුවන අයෙකු පසුකාලීනව ඒ ගැන පසුතැවීමටද ලොකු ඉඩක් තිබේ.

මරණ දඬුවම නොදිය යුත්තේ ඇයි යන කරුණ ඉහත ප්‍රතිචාරය තුළම තිබේ. තට්ට සෝමේ අහිංසක මගේ සමීපතමයෙකුට දරුණු දෙයක් කරයි. ආවේගයට පත් වන මා තට්ට සෝමේව කෑලි කෑලි වලට කපයි. දැන් මිනීමරුවා මාය. මට මරණ දඬුවම හිමි වේ. එහෙත්, ආවේගයට මිනීමැරුමක් කළත් නිදහස් වී පැමිණියහොත් මා නැවතත් මිනී නොමරනු ඇත.

මා දුටු තවත් අදහසක් වූයේ මරණයට පත් කිරීම ජීවිතාන්තය දක්වා සිර කර තැබීමට වඩා මානුෂික බවයි. තෝරාගැනීමක් ඇත්නම් යමෙකු මේ දෙකෙන් මරණ දඬුවම තෝරා ගැනීමට ඇත්තේ ඉතා අඩු ඉඩකඩක් බව මගේ අදහසයි.

ඇතැම් අය ආගමික පදනමකින් මරණ දඬුවමට එරෙහිව අදහස් දක්වා තිබේ. උදාහරණයක් ලෙස, මේ පිළිබඳව මඩිහේ පඤ්ඤාසීහ හිමිගේ මතය අතුල සිරිවර්ධන විසින් ඉදිරිපත් කර තිබේ.

ඇතැම් අය මරණ දඬුවමට එරෙහි වන්නේ කිසියම් වරදකින් නිවැරදිකරුවෙකු පෝරකයට යාමේ ඉඩකඩ ගැන සලකමිනි. මෙයින් අනියමින් අදහස් වන්නේ මිනීමරුවා හරියටම හඳුනාගත හැකිනම් මරා දැමීම සුදුසු බවද? එසේ කිරීමෙන් පොදු සමාජයට මිනීමැරීම් නොකිරීමට බලපෑමක් කෙරේද?

මරණ දඬුවම දීමෙන් අපරාධ අඩුවේද? මෙය දත්ත පරීක්ෂා කිරීමෙන්ම නිගමනය කළ යුතු දෙයකි.

ලෝකයේ රටවල් 141ක මේ වන විට මරණ දඬුවම ක්‍රියාත්මක නොවේ. මරණ දඬුවම ක්‍රියාත්මක කරන රටවල් අතුරින් ඉදිරියෙන්ම සිටින්නේ (2010 දත්ත අනුව) චීනය, ඉරානය, උතුරු කොරියාව, යේමනය සහ ඇමරිකා එක්සත් ජනපදයයි. විමධ්‍යගත පාලනයක් ඇති ඇමරිකාවේ ප්‍රාන්ත 31ක මරණ දඬුවම ක්‍රියාත්මක වන අතර ප්‍රාන්ත 19ක එය ක්‍රියාත්මක නොවේ. දත්ත පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ මරණ දඬුවම නැති ප්‍රාන්ත වල මිනීමැරුම් සිදුවීම වඩා අඩු බවයි. ප්‍රගීත් ලියනආරච්චි විසින් මේ දත්ත ඇතුළු වෙනත් තොරතුරු රැසක් ඉදිරිපත් කර ඇති නිසා මා ඒවා නැවතත් එකතු කරන්නේ නැත.

ඇමරිකාව තුල මරණ දඬුවම ක්‍රියාත්මක වීම නීතිය තුල ක්‍රමයෙන් ඉවත්වෙමින් යන දෙයකි. මෑතකාලීනව නෙබ්‍රස්කා (2015), මේරිලන්ඩ් (2013), කනෙක්ටිකට් (2012), ඉලිනෝයි (2011), නිවු මෙක්සිකෝ (2009), නිවු ජර්සි (2007), නිවු යෝර්ක් (2007) ආදී ප්‍රාන්ත වල නීතියෙන් මරණ දඬුවම ඉවත් වූ අතර ඉදිරි වසර තුල මේ රැල්ල ඉතිරි ප්‍රාන්ත කරාද පැතිරෙනු ඇත. මා මෙසේ කියන්නේ සමීක්ෂණ ප්‍රතිඵල අනුව ඇමරිකානුවන්ගෙන් 88%ක් මරණ දඬුවමින් අපරාධ අඩු නොවන බව විශ්වාස කරන බැවිනි.

නිශ්චිත පිළිතුරක් දීම අපහසු ප්‍රශ්නයක් වන්නේ අපරාධකරුවෙකු පුනරුත්ථාපනය කිරීම සහ සිරගත කොට තබා ගැනීම සඳහා යන වියදම පිලිබඳ ප්‍රශ්නයයි. මෙවැනි දෙයක් සමාජයක් ලෙස පොදුවේ තීරණය කළ යුතු දේශපාලනික කරුණකි. යම් හෙයකින් ඉතා පහසුවෙන් පැතිරෙන, මාරාන්තික රෝගයක් පැතිරුනහොත් මේ රෝගය වැළඳුනු පිරිස් එක් තැනෙක රඳවා තබා ඔවුන්ගේ අවශ්‍යතා සැපිරීම හෝ ඉතිරි පිරිසගේ ආරක්ෂාව වෙනුවෙන් මරා දැමීම විකල්ප දෙකකි.

රෝගයක් පැතිරීම මිනීමැරුමකට වඩා අහඹු දෙයක්යැයි යමෙකුට කිව හැකිය. මිනීමරුවෙකුද එක් ආකාරයක රෝගියෙකි. අනෙක් අතට, මා මිනීමරුවකු නොවන්නේ මා එවැන්නකට පෙළඹෙන අවස්ථාවකට මුහුණ නුදුන් නිසා විය හැකිය. ඕනෑම කෙනෙකු ඇතැම් තත්ත්වයන් යටතේදී පොදු සමාජයට හානිකර පුද්ගලයෙකු බවට පත් විය හැකිය. මේ හානියෙන් පොදු සමාජය ආරක්ෂා කර ගැනීම සඳහා මිලක් ගෙවීමට සිදුවේ. එය පොදු සමාජයේ දේශපාලනික තීරණයකි. කෙසේ වුවද, ඒ මිල කැමැත්තෙන්ම ගෙවීමට සුදානම් වීමට සමාජයක් පරිණාමය විය යුතුය. (ඇමරිකාව තුලදීනම් මරණ දඬුවම දීමේ සමස්ත ක්‍රියාවලිය වඩා වියදම් අධික බව පෙන්වා දී තිබේ.)

අජිත් පැරකුම්ගේ වචන වලින් කියවෙන 'පුද්ගලයින්ට මෙන් ම සමාජයට හෝ ආණ්ඩුව වැනි සමාජ සංවිධානයකට හෝ පවා මිනීමැරීමට අයිතියක් නැති බව'  යන්නට 'වෙනත් කිසියම් හෝ ප්‍රායෝගික විකල්පයක් ඇති විට' යන්නද එකතු විය යුතුය. වැඩි යහපත වෙනුවෙන් මිනී මැරීම හැර වෙනත් විකල්පයක් නැති අවස්ථා තිබිය හැකිය. උදාහරණයක් ලෙස මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු තම ඉලක්කය සපුරා ගැනීමට සැරසෙන මොහොතේ ක්ෂණිකව ඔහුව හෝ ඇයව මරා දැමීමෙන් ජීවිත ගණනක් බේරාගත හැකිනම් එයින් වෙන්නේ යහපතකි. මෙහිදී බෝම්බකරුගේ (හෝ බෝම්බකාරියගේ) ජීවිතය කොහොමටත් විනාශ වන නිසා මේ මිනීමැරුමෙන් සිදුවන වැඩි අයහපතක් නැත. එහෙත්, බොහෝ විට තත්ත්වය මේ තරම් සරල නැත.

ඇතැම් අවස්ථාවලදී ජීවිත බේරාගැනීම සඳහා වෙනත් ජීවිත විනාශ කිරීම හැර විකල්පයක් නැති විය හැකිය. මෙවැනි අවස්ථාවක කළ හැකි හොඳම දෙය සෑම ජීවිතයක්ම එක සේ වටිනා ලෙස සලකා අඩුම හානියක් සිදුවන පරිදි කටයුතු කිරීමයි. යුද අත්දැකීම් ඇති විචාරක විසින්ම පෙන්වා දී ඇති පරිදි මානව හිමිකම් සියල්ල හැමවිටම අකුරටම රකිමින් යුද්ධ කරන්නට නොහැකිය. හොඳම යුද්ධයට වඩා නරකම සාමය හොඳ වන්නේ ඒ නිසාය.

එහෙත්, මරණ දඬුවම වෙනුවටනම් ඉතා පැහැදිලි විකල්පයක් තිබේ. 

(ඡායාරූපය: එංගලන්තයේ නොටිංහැම්හි පිහිටි galleries-of-justice කෞතුකාගාරයේ ඇති එල්ලුම්ගසක්. එහි පිවිසෙන අයෙකුට ඩමියක් යොදවා මෙය ක්‍රියාත්මක කරන ආකාරය නැරඹිය හැකිය.)

වෙබ් ලිපිනය: