පසුගිය මාර්තු මාසය අවසානය වන විට ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 9,702.8ක් විය. එයින් රුපියල් බිලියන 5,626.2ක් දේශීය ණය වූ අතර ඉතිරි රුපියල් බිලියන 4,076.7 විදේශ ණයයි. දේශීය ණය වලින් වැඩි ප්‍රමාණයක් රුපියල් ණය වන අතර විදේශ ණය වලින් වැඩි ප්‍රමාණයක් වෙනත් විදේශ ව්‍යවහාර මුදලකින් ලබාගත් ණයයි. ඒ නිසා, අපි අපේ පහසුව සඳහා මේ ලිපියේදී දේශීය ණය රුපියල් ණය ලෙසත් විදේශ ණය ඩොලර් වැනි වෙනත් විදේශ ව්‍යවහාර මුදලකින් ලබාගත් ණය ලෙසත් සලකමු.
ලංකාව කලක සිට ණය අර්බුදයක සිරවී සිටින බව දැන් කවුරුත් දන්නා කතාවකි. මේ ආණ්ඩුව බලයට පත් වන තුරු මේ ණය අර්බුදය ගැන වැඩිපුර කතා කළේ විපක්ෂයේ සිටි දේශපාලන පක්ෂ, ආණ්ඩු විරෝධීන් සහ සහ වෙනත් ඇතැම් මැදහත් විශ්ලේෂකයින් විසින් පමණි. ආණ්ඩු විසින් බොහෝ විට කියන්නට උත්සාහ කළේ එවැනි අර්බුදයක් නැති බවයි. මේ කියන්නේ පසුගිය ආණ්ඩුව පැවති කාලය ගැන පමණක් නොවේ.
මේ ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව තත්ත්වයේ වෙනසක් සිදු විය. දැන් ණය අර්බුදය ගැන වැඩිපුරම කතා කරන්නේ බලයේ සිටින ආණ්ඩුවයි. ඒ නිසා ණය අර්බුදයක් ඇතැයි කීම දැන් ආණ්ඩු විරෝධී හෝ ආණ්ඩුවට කඩේ යන ප්‍රකාශයක් ලෙස සැලකෙන්නේ නැත. හොරකම් වැනි වෙනත් දේවල් ගැනද තත්ත්වය එසේය.
ආණ්ඩුවට සම්බන්ධ ඇතැම් දේශපාලනඥයින්ට හදිසියේම නිරීක්ෂණය වී ඇති කරුණක් වන්නේ රටේ හැම තැනම හොරු සිටින බවයි. ඒ අනුව, රටේ හැටියට ආණ්ඩුවේ හොරු සිටීම අමුතු දෙයක් නොවේ.
තවමත් කිසිදු දේශපාලනඥයෙකු විසින් "සොයාගෙන" නැතත්, ආණ්ඩුව පමණක් නොව රටේ සාමාන්‍ය මිනිස්සුන්ගෙන් විශාල පිරිසක්ද පෞද්ගලිකව ණය අර්බුද වල හිර වී සිටිති. එහෙම බැලුවාම රටේ හැටියට ආණ්ඩුව ණය අර්බුදයක සිටීමද අමුතු දෙයක් නොවේ.
ණය අර්බුද වල පැටලී සිටින සාමාන්‍ය මිනිසුන් සැලකිය යුතු ප්‍රමාණයක් විසින් කරන්නේ මාසයෙන් මාසයට ණය රෝල් කිරීමයි. මෙවැනි ඇතැම් අය ක්‍රෙඩිට් කාඩ්පත් දෙකක් නඩත්තු කරමින් එකකින් අනිත් එකේ ණය ගෙවීමත්, අනිත් එකෙන් මුල් එකේ ණය ගෙවීමත් මාරුවෙන් මාරුවට කරති. ක්‍රෙඩිට් කාඩ් වල අධික පොලී අනුපාතික නිසා ණය එන්න එන්නම වැඩි වේ. එවිට විසඳුම බැංකුවට කතා කර ක්‍රෙඩිට් කාඩ් එකේ සීමාව ණය ඉහළ දමා ගැනීමයි. මේ ක්‍රමයට කලක් ඇදගෙන යා හැකි වුවත් කොයි වෙලාවේ හෝ අමාරුවේ වැටෙන බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත.
ව්‍යාපාරිකයින් ලෙස තමන්ව හඳුන්වා ගන්නා ලංකාවේ බොහෝ දෙනෙකු විසින් කරන්නේද ණය රෝල් කිරීමයි. මේ බොහෝ දෙනෙකු ව්‍යාපාරිකයෝ මිස සැබෑ ව්‍යවසායකයෝ නොවෙති. එයින් කියන්නේ සැබෑ ව්‍යවසායකයින්ද නොසිටින බව නොවේ. බැලූ බැල්මට ආණ්ඩුවට පිටින් සිටින කොටසක් මෙන් පෙනෙන ලංකාවේ ව්‍යාපාරිකයින් අතරින්ද සෑහෙන පිරිසක් ඇත්තටම ආණ්ඩුවේම කොටස්ය. මේ අයද දේශපාලනඥයින් හා රජයේ සේවකයින් මෙන්ම විශාල අකාර්යක්ෂම රාජ්‍ය යාන්ත්‍රණයක් තිබීමේ ප්‍රතිලාභ ලබන්නෝය. ආණ්ඩුවේ කොන්ත්‍රාත් මත හෝ රජයට භාණ්ඩ හෝ සේවා සම්පාදනය කිරීම මඟින් ලාභ ලබන්නන්ගේ සිට මන්ත්‍රීවරුන් විසින් බදු රහිතව ගෙන්වන වාහන මිල දී ගන්නන් ඇතුළු බොහෝ දෙනෙක් මේ ගොඩට දැමිය හැකිය.
ලංකාවේ බොහෝ ව්‍යාපාරිකයින් ව්‍යාපාරිකයින් වී සිටින්නේ ඔවුන්ගේ ව්‍යවසායකත්ව හැකියාවන් මත පදනම්ව නොවේ. ඔවුන් සතුව උරුමයෙන් හිමිවූ ප්‍රාග්ධනයක් තිබීම හෝ සමාජ සම්බන්ධතා මත පදනම් වූ ප්‍රාග්ධන ප්‍රවේශ හැකියාවක් තිබීම මත පදනම්වය. මේ දෙකෙන් එකක්වත් නැති ලංකාවේ බොහෝ දෙනෙකුට ව්‍යවසායකත්ව හැකියාවන් තිබුණද ව්‍යාපාරිකයින් වීමට අවස්ථාවක් නොලැබේ. තමන්ගේ හැකියාව අනුව හිමි විය යුතු, එහෙත් පවතින තත්ත්වයන් යටතේ තමන්ට නොලැබෙන අවස්ථාව අධ්‍යාපනය හරහා ඉහළට ගොස් වෘත්තීයවේදීන් වීම මඟින් වෙනත් ආකාරකින් ලබා ගැනීමට ඔවුන් උත්සාහ කරන්නේ එබැවිනි. රජයේ සරසවි වල වෛද්‍ය පීඨ වලට විශාල ඉල්ලුමක් තිබෙන්නේ වෛද්‍යවරුන් වන්නට "ඇඟෙන්ම" උවමනාවක් තිබෙන පිරිසට සමාජ ඉනිමගේ ඉහළට යාමට වෙනත් ප්‍රවේශ මාර්ග නැති තවත් පිරිසක්ද එකතු වීම නිසාය.
සාමාන්‍ය පුද්ගලයෙකුට ලංකාවේ වාණිජ බැංකුවකින් ආයෝජන ණයක් ගැනීම ඉතාම අපහසුය. මෙවැනි අයට බැංකුවකින් පහසුවෙන් ලබාගත හැක්කේ කල්බදු ආකාරයේ පරිභෝජන ණය, උගස් ණය හා ක්‍රෙඩිට්කාඩ් ණය පමණි. ලංකාවේ බැංකු වලින් ව්‍යාපාරික ණය ලබා ගන්නෝ බොහෝ දෙනෙකු එක්කෝ දැනටමත් සැලකිය යුතු ප්‍රාග්ධනයකට හිමිකම් කියන අයයි. එසේ නැත්නම් දේශපාලන හෝ වෙනත් සම්බන්ධතා ඇති අයයි. සරසවි ප්‍රවේශ සුදුසුකම් ලැබීමට තරම් ශාස්ත්‍රාලීය දක්ෂතා නැති, උරුමයෙන් ලැබුණු ප්‍රාග්ධනයක්ද නැති, එහෙත් කිසියම් ආකාරයක දක්ෂතාවන් ඇති අය ප්‍රාදේශීය දේශපාලනඥයින් වන්නට උත්සාහ කරන්නේ ඉහළට නගින්නට ඔවුන්ට ඉතිරි වී ඇති හොඳම විකල්ප ප්‍රවේශ මාර්ගය එය නිසාය. දේශපාලන සම්බන්ධතා ඇතුළු වෙනත් දේ නැතුව පාසැලක කැන්ටිමක් කිරීමේ අවස්ථාව ලබා ගැනීම පවා අසීරු කරුණකි.
ලස්සෙට කොඩි දමා සිටින බව පෙනෙන ඇතැම් ව්‍යාපාරිකයින්ගේ ශුද්ධ වත්කම් සෘණ අගයක් ගන්නවා වන්නටද පුළුවන. වත්කම් මිස බැංකු ණය පිටතට පෙනෙන්නේ නැත. එහෙත්, ඒ හේතුව නිසා මෙවැනි ව්‍යාපාරිකයකුට සිය ව්‍යාපාරය බිඳ නොවැටී පවත්වාගනිමින් හා අත දිගහැර වියදම් කරමින් හොඳ ජීවන තත්ත්වයක්ද පවත්වාගැනීමට නොහැකි වන්නේද නැත. එක් ණයක් ගෙවා ගන්නට අසීරු වන විට තවත් ණයක් ගන්නට පුළුවන.
එක පැත්තකින් මෙවැනි "හිර වී සිටින" ව්‍යාපාරිකයෙකුට බැංකුව තවත් ණය නොදී සිටියොත් වෙන්නේ ඔහුගේ ව්‍යාපාර ක්ෂණිකව බංකොලොත් වී දැනට ලබාගෙන ඇති ණයද ගෙවන්නට නොහැකි වීමයි. එහෙම වුනොත් ණය අනුමත කළ බැංකු කළමනාකරුගේ රැකියාවද අනතුරේය. එහෙම වනවාටත් වඩා වෙන්නට ඉඩ තිබෙන්නේ අදාළ පාරිභෝගිකයා වෙනත් බැංකුවක් වෙත යාමයි. එයද, පළමුව කළමනාකරුගේ ඉලක්කත් පසුව රැකියාවත් අනතුරේ හෙළයි. මෙයට අමතරව මේ ව්‍යාපාරිකයින් බොහෝ දෙනෙකුට බැංකුවකින් ණයක් අනුමත කර ගැනීමේ "ක්‍රමවේදය" ගැන මනා පළපුරුද්දක් තිබේ. බැංකුව රාජ්‍ය බැංකුවක් වුවත්, පෞද්ගලික බැංකුවක් වුවත් පවුලේ සාමාජිකයින් සමඟ තායිලන්තයේ හෝ මැලේසියාවේ සති අන්තයක් ගෙවන්නට අකමැති කළමනාකරුවෝ නැත.
වරින් වර ණය රෝල් කිරීම ලංකාවේ බොහෝ ව්‍යාපාරිකයින්ගේ විශේෂ ප්‍රාගුණ්‍යයකි. ඕකට අවශ්‍යනම් ණය රෝල් කිරීම නොකියා ණය ප්‍රතිව්‍යුහගත කිරීම කියා කියන්නත් පුළුවන.
ව්‍යවසායකයින් යනු වෙනත් අයට නොපෙනෙන දේ දැකිය හැකි අයයි. මෙවැන්නන්ට ඇතැම් විට වෙනත් අයට නොපෙනෙන "සිම්පල් ප්ලෑන්" පෙනේ. ව්‍යවසායකත්වය යනු අධ්‍යාපනය හරහාම බිහිවන දෙයක් නොවේ. එහෙත්, ව්‍යවසායකත්වය තුළින් යා හැකි දුර අධ්‍යාපනය විසින් තීරණය කරයි. අධ්‍යාපනය යනු හැමවිටම විධිමත් අධ්‍යාපනයම නොවූවත්, ඇතැම් සංකීර්ණ විෂයයන් හා අදාළව අලුතෙන් දෙයක් සාර්ථක ලෙස කරන්නටනම් අදාළ විෂ ය යේ මූලධර්ම පිළිබඳව හොඳ අවබෝධයක් තිබිය යුතුය. වතුරෙන් දුවන කාර් හදන්නට පෙර එන්ජිමක ක්‍රියාකාරීත්වය ගැන හා ශක්ති සංස්ථිතිය සිදුවන ආකාරය ගැන මූලික දැනුමක් අවශ්‍ය වේ. ඩෙංගු වලට බෙහෙත් හොයන්නට පෙර ඩෙංගු රෝගය සිරුරේ විවිධ අවයව වල ක්‍රියාකාරිත්වයට බලපාන ආකාරය ගැන මැනවින් අවබෝධ කරගත යුතුය. එවැනි පෙර පුහුණුවක් නැති අයෙකු විසින් ඉදිරිපත් කරන "සිම්පල් ප්ලෑන්" එකක වුවද ගන්නට දෙයක් තිබෙන්නට ඉඩක් නැත්තේම නැතත්, එවැන්නක් ගොන්පාර්ට් එකක් වෙන්නට තිබෙන ඉඩ ඊට වඩා වැඩිය.
ඉතිහාසය පුරා ලංකාව මුහුණ දුන් ප්‍රශ්න වලට විසඳුම් සෙවීමට අපට තිබුණු එක් "සිම්පල් ප්ලෑන්" එකක් වුනේ ඉඟුරු දී මිරිස් ගැනීමයි. පෘතුගීසින් එළවන්නට ලන්දේසීන් සමඟත්, ලන්දේසීන් එළවන්නට ඉංග්‍රීසින් සමඟත් ගිවිසුම් ගැසූ ජාතියකට ඩොලර් ණය වෙනුවට යෙන් ණය ගැනීම හොඳ විසඳුමක් බව පෙනෙන්නට පුළුවන. හොරකම් නැවැත්වීමෙන් පසු ඉතිරිවන මුදලින් සියලු ණය පියවා රට සමෘද්ධිමත් කිරීමේ "සිම්පල් ප්ලෑන්" එක ආකර්ශනීය වූ අයුරින්ම මේ "සිම්පල් ප්ලෑන්" එකද ඇතැම් අයට ආකර්ශනීය විය හැකිය.
මේ හා අදාළ තාක්ෂණික කරුණු ගැන උනන්දුවක් දක්වන්නේනම් කරුණාකර පහත ලිපියද කියවන්න.
සාමාන්‍යයෙන් දවල් තාරකා දැකිය නොහැකිය. අමාවක සඳද දැකිය නොහැකිය. දවල් අහසේ තාරකා නොපෙනුණත්, රෑ මෙන්ම දවාලේත් තාරකා අහසේ ඇති බවත් , ඒවා නොපෙනෙන්නේ ඉර එළියේ දීප්තිය නිසා බවත් අපි දනිමු. ඒ, ඒ බව අප ඉගෙනගෙන ඇති බැවිනි. එමෙන්ම, අමාවක දිනයේද අහසේ හඳ ඇති බවත් , එය අපට නොපෙනෙන්නේ එහි පිහිටීම අනුව හඳේ අපට පෙනෙන පැත්තට ඉර එළිය නොවැටෙන බැවින් බවත් අපි දනිමු. එයද අප දන්නේ ඒ බව අප විසින් ඉගෙනගෙන ඇති බැවිනි. දවල් තාරකා හා අමාවක සඳ අපට සාමාන්‍යයෙන් අපේ දෑසින් ප්‍රත්‍යක්ෂයෙන් දැකිය නොහැකිය. එසේ ප්‍රත්‍යක්ෂයෙන් දැකිය නොහැකි දවල් තාරකා හා අමාවක සඳ යථාර්තයක්යැයි අප සිතන්නේ එක්කෝ තර්ක ඥානයෙනි. එසේ නැත්නම් ඒවා පවතින්නේයැයි අපට කියන අයෙකු විශ්වාස කිරීම නිසාය.
දවල් අහසේ තාරකා ඇති බවත් අමාවක දින අහසේ හඳ ඇති බවත් මිනිස්සු වසර දහස් ගණනක සිට දැන සිටියහ. එපමණක් නොව කිසියම් නිශ්චිත මොහොතක මේ ආකාශ වස්තු අහසේ තිබෙන තැන හරියටම කියන්නටද ඔවුන්ට හැකි විය. ඔවුන්ට එසේ කියන්නට හැකි වුනේ රෑ දකින තරු වල පිහිටීම වෙනස්වන ආකාරයත්, හඳේ වක්‍රය දවසින් දවස වෙනස් වන ආකාරයත් නිරීක්ෂණය කර මේ ආකාශ වස්තූන්ගේ සාපේක්ෂ චලනයන් පිළිබඳව ප්‍රවාද ගොඩනඟාගන්නට ඔවුන් සමත් වූ බැවිනි.
මේ ප්‍රවාද "නිවැරදි බව තහවුරු කරගන්නට" ඔවුන්ට කලාතුරකින් අවස්ථාවක් ලැබුණේය. ඒ පූර්ණ සූර්යග්‍රහණයක් සිදුවන දවසකදීය. පූර්ණ සූර්යග්‍රහණයක් සිදුවන අවස්ථාවක දවල් තාරකා මෙන්ම අමාවක හඳද දෑසින් දැකිය හැකිය.
ප්‍රවාදයක් නිවැරදි බව තහවුරු කරගැනීමට ප්‍රවාදය හා ගැලපෙන ප්‍රත්‍යක්ෂ නිරීක්ෂයක් මෙන්ම ඒ ප්‍රත්‍යක්ෂ නිරීක්ෂණය නිසා ප්‍රවාදය තහවුරු වන බවට විශ්වාසයක්ද අවශ්‍ය වේ. පූර්ණ සූර්යග්‍රහණයක් සිදුවන විට තමන් දැන සිටින හා විශ්වාස කරන ප්‍රවාදය අනුව හඳ හා තාරකා තිබිය යුතු තැන්වල ඒවා තිබෙන බව නිරීක්ෂණය කළ හැකිය. ඒ නිරීක්ෂණය විසින්, පෙර කී ග්‍රහ වස්තූන් අදාළ තැන් වලට පැමිණියේ ප්‍රවාදයෙන් විස්තර කරන ආකාරයට බව තහවුරු නොකළත්, එසේ විශ්වාස කිරීම වඩා පහසු කරයි.
මේ ලිපිය ලියන්නට පටන්ගත් පසුගිය සඳුදා (අගෝස්තු 21) ඇමරිකාවේ ගම් නගර ගණනාවකට කලකට පසු පූර්ණ සූර්යග්‍රහණයක් දර්ශනය විය. මහාද්වීපික ඇමරිකාවේ හැම තැනකටම වාගේ මෙය අඩු වශයෙන් අර්ධ සූර්යග්‍රහණයක් ලෙස දිස්විය.
වසර 1-2 කට වරක් ලෝකයේ කොතැනකට හෝ පූර්ණ සූර්යග්‍රහණයක් දිස්වන නමුත් පෘථිවිය මත කිසියම් නිශ්චිත ස්ථානකට පූර්ණ සූර්යග්‍රහණයක් දර්ශනය වන්නේ සාමාන්‍ය වශයෙන් වසර 375කට පමණ වරකි. ඒ නිසා, පූර්ණ සූර්යග්‍රහණයක් දකින්නට ලැබීම බොහෝ දෙනෙකුට ජීවිතයේ එක් වරක් පමණක් ලැබෙන අවස්ථාවකි.
සඳුදා සිදුවූ සූර්යග්‍රහණයද මා ජීවත්වන නගරයට පූර්ණ සූර්යග්‍රහණයක් සේ දිස් නොවුණේය. එසේ දැක ගැනීමටනම් මා විසින් අඩු වශයෙන් සැතපුම් දෙසීයක්වත් දකුණට යා යුතු විය. එහෙත්, පසුගිය සඳුදා දිනය මගේ රැකියාව හා අදාළ සුවිශේෂී දිනයක් වූ නිසා සූර්යග්‍රහණය ගැන මාස ගණනකට පෙර දැන සිටියත් නිවාඩුවක් ගන්නට හැකියාවක් තිබුණේ නැත.
කෙසේ වුවද, මා ජීවත් වන නගරයේ සිට සූර්යයාගෙන් 92%ක්ම වැසෙනු පෙනෙන්නට නියමිතව තිබුණු නිසා පූර්ණ සූර්යග්‍රහණය දකින්නට නොලැබුණද විශාල පාඩුවක් නොවනු ඇති බව මගේ පූර්ව විශ්වාසය විය. මීට පෙර ඉරෙන් 8%ක් පමණක් නිරාවරණය වී තිබුණු අවස්ථාවක් දැක නොතිබුණු නිසා මගේ විශ්වාසය වූයේ ඉර එතරම් වැසුණු විට පොළොව සෑහෙන තරමට අඳුරු වනු ඇති බවයි. ඒ නිසා, ගෙදර සිටම සූර්යග්‍රහණය නැරඹීමට සැලසුම් කළෙමි.
එහෙත්, අවසානයේදී මගේ බලාපොරොත්තු ඒ අයුරින්මනම් ඉටු නොවුණේය. ඉරෙන් 92%ක් ආවරණය වුවද ඉතිරි 8% නිසා ලැබුණු ආලෝකය පමණක් වුවද සැලකිය යුතු මට්ටමක තිබුණු අතර ඉරෙන් 80%ක් පමණම ආවරණය වී තිබියදීත් පොළොවේ කිසිදු වෙනසක් නොපෙනුණේය. ඉරෙන් 85-90%ක් පමණ ආවරණය වෙද්දී, ඉර එළියේ දීප්තිය තරමක් අඩු වුවත් ඉර වලාකුළු වලින් වැසුණු අඳුරු දිනයක ඇතිවන අඳුරට වඩා මේ අඳුර දැඩි නොවුණේය.
සූර්යග්‍රහණ ගැන කෙතරම් කියවා, අසා තිබුණත් එය දෑසින් දකින විට ලැබෙන අත්දැකීමට ඒ කිසිවක් සමකළ නොහැකිය.
ලංකාවට අවසන් වරට පූර්ණ සූර්යග්‍රහණයක් දර්ශනය වී ඇත්තේ 1955 ජූනි 20 දිනය. ඒ වන විට මා ඉපදී නැත. මේ සූර්යග්‍රහණය පැවතෙද්දී ලංකාවේ බොහෝ දෙනෙකු විසින් ඡවි කල්‍යාණය වර්ධනය කර ගැනීමට වදකහ යුෂ බීමෙන් සිදු වී ඇති අකරතැබ්බය බොහෝ දෙනෙකු දනිති. මේ ගැන මම විස්තර කරනවාට වඩා සී ඩී ෆොන්සේකාගෙන්ම අහන එක හොඳය.
VIDEO
මේ සිද්ධිය බොහෝ දෙනෙක් විස්තර කරන්නේ හොර වෙදෙකුට මුළු රටම රැවටුණු සුවිශේෂී අවස්ථාවක් ලෙසිනි. අදාළ සිද්ධිය මතක තිබෙන වැඩිහිටියන් කියන ආකාරයට මේ වදකහ කතාව ප්‍රවර්ධනය කරන්නට ඒ දවස්වල බොහෝ දෙනෙකු ඉදිරිපත් වී ඇති අතර අන්තිමට වැඩේ වැරදුණු පසු පොලීසියට කුදලාගෙන ගොස් නඩු දමා තිබෙන්නේ එක් අයෙකුට පමණි. ඒ පුද්ගලයාද අන්තිමේදී නිදහස් වී තිබේ. ඒ ඔහු දැනුම් දී ඇත්තේ වදකහ යුෂ තේ හැන්දක් පානය කිරීමට පමණක් බැවින් හා එම මාත්‍රාව අහිතකර නොවන බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා විසින් පෙන්වා දී ඇති බැවිනි.
කොහොමටත් ලංකාවේ බොහෝ දෙනෙක් එකතු වී කරන වැඩ වැරදුණු විට බොහෝ විට සිදුවන්නේ කට්ටියම එකතු වී එක් අයෙකු මත වරද පැටවීමයි. අන්තිමට ඔහුත් වරදින් නිදහස් වීමෙන් ප්‍රශ්නය කෙළවර වේ.
ඉහත පුරුද්ද වගේම ක්ෂණික ප්‍රතිඵල ගන්නට ඖෂධ අධි මාත්‍රා ගැනීමේ පුරුද්දත් වසර හැටකට පසුවත් ලාංකිකයින් වෙතින් ගිලිහී ගොස් නැති තවත් පුරුද්දකි. ලංකාවේ නිපදවන ආහාර බොහොමයක අහිතකර රසායන තිබෙන්නේ ඒවා නිපදවන සමාගම් වල වැරැද්දෙන්ම නොව වඩා හොඳ ප්‍රතිඵල ගන්නට අනුමත ප්‍රමාණ ඉක්මවා ඒවා යෙදීම සාමාන්‍ය භාවිතාවක් වී ඇති බැවිනි.
සූර්යග්‍රහණය වෙලාවේ වදකහ යුෂ පානය කළ විට සම පැහැපත් වන බව ඒ කාලයේ ලාංකිකයින් රැසක් විශ්වාස කර ඇති බව පෙනේ. එමෙන්ම, හමෙන් හෝ සුද්දන් වෙන්නට ඒ දවස්වලත් විශාල උවමනාවක් තිබී ඇති බව ද පෙනේ. වදකහ නිසා ලස්සන වන බවට පැවතී ඇති විශ්වාසය පමණක් නොව ලස්සන කියන එකද අවසාන වශයෙන් විශ්වාසයකි .
මෙවර සූර්යග්‍රහණය සිදු වෙද්දී ඇමරිකාවේ වදකහ යුෂ හෝ සම පැහැපත් කරන ඖෂධ ප්‍රවර්ධනය කෙරුණේ නැතත් ඒ සිද්ධිය මුල් කර ගෙන ඇසේ පැළඳීමට ආරක්ෂක කණ්ණාඩි විශාල ලෙසත්, පොත්, තොරතුරු පත්‍රිකා, ටී ෂර්ට්, කෝප්ප ආදිය තරමක් දුරටත් අළෙවි කෙරුණේය.
නාසා ආයතනය විසින් අනුමත කළ කණ්නාඩියක් පළඳා මිස පියවි ඇසින් හෝ සාමාන්‍ය අවු කණ්ණාඩි පළඳා ඉර දෙස නොබැලිය යුතු බව විශේෂයෙන් අවධාරණය කෙරුණු අතර ඒ නිසා සූර්යග්‍රහණ දිනය ආසන්න වෙද්දී මේ ආරක්ෂක කණ්ණාඩි වල මිල කිහිප ගුණයකින් ඉහළ ගියේය. කෙසේ වුවද, බොහෝ තැන් වල මේ කණ්නාඩි නොමිලේ බෙදා හැරීමද සිදුවිය. "නොමිලේ" කිවුවත් ඇත්තටම වුණේ ලංකාවේ දන්සැල් වලදී මෙන් කිසිවෙකු විසින් වෙනත් අය වෙනුවෙන් වියදම දැරීමයි.
මාධ්‍ය මඟින් දැඩි ලෙස අවධාරණය කෙරුණු පරිදි, මෙවැනි ආරක්ෂක කණ්ණාඩි නැතිව ඉර දෙස බැලීමෙන් පෙනීම ස්ථිර ලෙසම නැති වී යාමේ අවදානමක් තිබුණේය.
සූර්යග්‍රහණයක් ඇති විටක හෝ නැති විටක ඉර දෙස කෙළින් බැලූ විට ඉරේ අධික දීප්තිය නිසා ඇසේ යෂ්ඨි සෛල ඒවායේ උපරිම මට්ටම දක්වා සංවේදී වෙයි. වැඩි වෙලාවක් මෙසේ බලා සිටි විට ඒවා එක් අන්තයක හිර (stuck) වන අතර නැවත සාමාන්‍ය තත්ත්වයට පැමිණීමට කිසියම් වෙලාවක් යයි. මේ කාලය අතර තුළ නැවත සාමාන්‍ය ආලෝකය දෙස බැලූ විට "ඇස් නිලංකාර වී" කිසිවක් නොපෙනේ.
ස්ථිර අන්ධභාවය දක්වා දුරදිග යාමට ඉඩ ඇති මේ තාවකාලික අන්ධභාවයට හේතුව මොළය දෘෂ්ඨිය හා අදාළ සංඥා විශ්ලේෂණය කරන්නේ සාපේක්ෂ පදනමකින් වීමයි. දැඩි ආලෝකයකට ඇස් නිරාවරණය වූ විට ටික වෙලාවක් යනතුරු සාමාන්‍ය ආලෝකය පෙනෙන්නේ අඳුරක් දෙසිනි. පොළොව යට පිහිටි උමඟක් වැනි තැනක දැඩි අඳුරේ වැඩි වෙලාවක් සිටිය විට යෂ්ඨි සෛල අනෙක් අන්තයේ හිර වීම නිසාද මෙවැනිම දෙයක් සිදුවිය හැකිය.
රබර් පටියක් ඕනෑවට වඩා ආතතියකට ලක් කළ විට හෝ දුනු දඟරයක් (spring) ඕනෑවට වඩා පීඩනයකට ලක්කළ විට මෙන් දැඩි ආලෝකයකට හෝ දැඩි අඳුරකට විශාල වෙලාවක් නිරාවරණය වීමෙන් පසු ඇසේ යෂ්ඨි සෛල ද නැවත යථා තත්ත්වයට පත් නොවී එසේම තිබීමේ අවදානමක් තිබේ.
සාමාන්‍යයෙන් සිරුරේ කිසියම් කොටසකට හානි පැමිණෙන්නට පෙර මොළය අපට අනතුරු ඇඟවීමක් කරයි. ඒ වේදනාවක් දැනෙන්නට සැලැස්වීම මඟිනි. එහෙත්, ඉහත අවස්ථා වලදී මොළය එසේ වේදනාවක් දැනෙන්නට සලස්වන්නේ නැති නිසා කිසියම් පුද්ගලයෙකු ස්ථිර අන්ධ භාවයට පත් වන තුරුම වුවත් ඉර දෙස බලා සිටින්නට ඉඩ තිබේ. සාමාන්‍ය අවස්ථාවක ඉර දෙස බලා සිටීම පීඩාකාරී වුවත් සූර්යග්‍රහණයක් සිදුවන විටක එය එසේ නොවන නිසා එවැනි අවස්ථාවක ස්ථිර ලෙස ඇස් අන්ධ වීමේ අවදානම වැඩිය.
ඇතැම් විට ඉතිහාසය පුරා වරින් වර සූර්යග්‍රහණ අවස්ථාවල ඉර දෙස බැලූ ඇතැම් අයගේ දෑස් ස්ථිර ලෙස අන්ධ වූවා විය හැකිය. සූර්යග්‍රහණ "අපල" ගෙන දෙන බවට වන මතයක් ඇති වන්නටද මෙය හේතුවක් වූවා විය හැකිය. කෙසේ වුවද මෑත වසර වලදී මෙවැනි සිද්ධි වාර්තා වී නැති තරම්ය. ඇතැම් කසිණ භාවනා වල ආරම්භක අදියරේදී කරන්නේද ඇසේ කිසියම් කේතු සෛල හෝ යෂ්ඨි සෛල ප්‍රභේදයක් එක් අන්තයක කෙළවර දක්වා උත්තේජනය කිරීම විය හැකිය.
අපේ පෙනීම සිදුවන යාන්ත්‍රනය ගැන මගේ පෙර ලිපි ගණනාවකම කතා කර තිබේ. අප විසින් "මම" ලෙස හඳුනාගන්නා පුද්ගලයාව සංස්කරණය කරගැනීමට දායක වන අපේ ඉන්ද්‍රියයන්ට ලැබෙන බාහිර සංඥා අපේ මොළය තුළ විශ්ලේෂණය කෙරෙන ක්‍රියාවලියේදී මොළයට වැඩිපුරම තොරතුරු ලබාදෙන ඉන්ද්‍රිය ඇසයි. ඒ නිසා අප දන්නා ලෝකය යනු බොහෝ දුරට අප දකින ලෝකයයි.
පසුගිය සතියේ පළ කළ ලිපියකට ප්‍රතිචාර දක්වමින් මධ්‍යස්ථ මතධාරියා විසින් ලියා තිබුණේ මිනිසෙකු යනු කාබනික යන්ත්‍රයක් බවයි. අපේ හැඟීම් දැනීම් මෙන්ම අප විසින් සංස්කරණය කර ගන්නා ලෝකය නිර්මාණය වන ආකාරය කෙරෙහි බලපාන රසායනික ක්‍රියාකාරකම් සැලකූ විට ඔහු යෝජනා කරන වචනය නරක එකක් නොවේ. මේ කාබනික යන්ත්‍රයටද වෙනත් ඕනෑම යන්ත්‍රයකට මෙන් එය නිර්මාණය වී ඇති සැලසුමේ සීමාවන් අතික්‍රමණය කිරීම ඉතා අපහසු කාර්යයකි.
අප 'දකින' යතාර්ථය යනු බොහෝ විට අපේ දෑස් අබියස ඇති බව අපේ මොළය අපට කියන දෙයයි. මේ යථාර්තය සංස්කරණය කිරීම සඳහා මොළය විසින් උපයෝගී කර ගන්නා දෘශ්‍ය සංඥා කේතනය කර විද්‍යුත් සංඥා බවට හරවා දෘෂ්ඨි විතානයේ සිට මොළයට සම්ප්‍රේෂණය කිරීමටත් මොළයේ මතක සෛල වල ඇති තොරතුරු සමඟ සසඳමින් ඒ විද්‍යුත් සංඥා විශ්ලේෂණය කර අප දකින ලෝකය නිර්මාණය කිරීමටත් අපේ ඇස හා මොළය සම්බන්ධ කාබනික උපාංගයට කිසියම් අවම කාලයක් ගතවේ. ඒ නිසා අප දකින ලෝකය හැම විටම වාගේ "අතීතය" වනවා පමණක් නොව මේ කුඩා කාලාන්තරය තුළ "බාහිර පරිසරයේ" සිදුවන වෙනස්කමකට මිනිස් යන්ත්‍රය සංවේදී නැත. මෙය තරමක් දුරට පරිගණකයක් විසින් කෙටි කාලාන්තර ඇතුළත, එකිනෙකට සුළු වශයෙන් වෙනස් දෘශ්‍ය රාමු ගණනාවක් වේගයෙන් මාරු කිරීම මඟින් චලනයක් සිදු වන බව අපට ඒත්තු ගැන්වීම වැනි දෙයකි.
ලෝකයේ පවතින හැම දෙයක්ම හැම මොහොතකම වෙනස් වෙමින් පවතීනම් උත්පාද හා භංග හැර ස්ථිතියක් පවතින්නේ කෙසේද යන්න ඇතැම් අයෙකුට මතු විය හැකි ප්‍රශ්නයකි. ඇතිවීමක් හා නැතිවීමක් ඇත්නම් ඒ දෙක අතර පැවැත්මක්ද තිබිය යුතුය. පැවැත්මක් නැත්නම් ඇතිවීමත් නැති වීමත් ලෙස දෙකක් තිබිය නොහැකිය. පැවැත්මක් ඇත්නම් පවතින්නෙක්ද සිටිය යුතුය. පවතින්නෙක් කිසිසේත්ම නැත්නම් එහි ඇත්තේ ශුන්‍යතාවයයි. (මේ වියුණුවේ පළ කරන ඇතැම් ලිපි වල ඇති ඇතැම් කරුණු ලියන්නේ අප මෙන්ම හැම දෙයම නොදන්නා හා එසේ නොදන්නා බව දන්නා ටික දෙනෙකු ඉලක්ක කරගෙන මිස හැකිතරම් වැඩි පිරිසකට ආමන්ත්‍රණය කිරීමේ අරමුණින් හෝ හැම දෙයම දන්නා අය වෙනුවෙන් නොවේ.)
මිනිස් යන්ත්‍රයේ ජීව විද්‍යාත්මක ක්‍රියාකාරිත්වය මේ ස්ථිති යන්න පැහැදිලි කරයි. වෙනස් නොවන දෙය තිබෙන්නේ බාහිර පරිසරයේ නොවේ. එය තිබෙන්නේ අපේ මනසේය. මේ "වෙනස් නොවීම" අපේ ජීව විද්‍යාත්මක සීමාවකි. යතාර්ථය නිර්මාණය කරගන්නේ මනස විසින් නිසා මේ වෙනස් නොවන, මනසට තවදුරටත් විභාජනය කළ නොහැකි කුඩාම දෘශ්‍ය රාමුව යතාර්ථයේම කොටසක්ද එහි මූලික තැනුම් ඒකකයක්ද වෙයි.
ඒ අනුව, වෙනස් නොවන පුද්ගලයෙකු සිටින ඉතා කුඩා මොහොතක් තිබේ. ඒ කුඩා කාලය තුළ වෙනස් නොවන පුද්ගලයෙකු සිටින්නේ එතරම් කුඩා කාලයක් තුළ සිදුවන වෙනස්වීමකට සංවේදී විය හැකි පරිදි අප ජීව විද්‍යාත්මකව පරිණාමය වී නැති බැවිනි. තමන් කවුද කියා සොයන අයෙකුට අවසාන වශයෙන් "තමන්" හමුවන තැන මෙන්ම මිනිසෙකුට තමන් ඇතුළු ලෝකය අවබෝධ කරගත හැකි සීමාවද මෙයයි. මේ කුඩා මොහොත තුළ "සිටින" මිනිසා ඊළඟ මොහොත තුළ වෙනස් මිනිසෙකු බවට පරිණාමය වෙයි. ඒ මිනිසා එකවර මේ මිනිසාද වෙනත් මිනිසෙකුද වෙයි. "පුද්ගලයෙකුට" "තමන්ව" හඳුනාගත හැකි මේ කුඩා මොහොත තුළ ජීවත්වීම තබා ඒ වෙත එබී බැලීම පවා අප බොහෝ දෙනෙකුට අසීරු කාර්යයකි.
ඇස ඇසුරෙන් මෙය පැහැදිලි කළද, වෙනත් ඉන්ද්‍රියයන් හා අදාළවද මෙවැනි සීමාවන් තිබේ. අප හැමවිටම දකින්නේ "අතීතය" කියා මා පෙර කීවත්, එය එසේ වන්නේ අපට පිටින් අපට වඩා ඉදිරියෙන් පවතීයැයි අප සිතන වෙනත් යතාර්ථයකට සාපේක්ෂවය. එවැනි වෙනත් යතාර්ථයක් අපට මනසින් මිස මසැසින් හෝ අනෙකුත් සිවු ඉන්ද්‍රියන්ගේ උදවුවෙන් කිසිදා දැකිය නොහැකිය. ඒ නිසා දෘශ්‍ය සංඥා විශ්ලේෂණය කරමින් අපේ මොළය විසින් සංස්කරණය කරන යතාර්ථය පුද්ගලයෙකුට සාපේක්ෂව ඔහුගේ හෝ ඇයගේ වර්තමානය මිස අතීතයක් නොවේ.
වර්තමානය යනු පුද්ගලයාගේ ජීව විද්‍යාත්මක ක්‍රියාකාරිත්වයට සම්බන්ධ දෙයක් නිසා කාලය යන සංකල්පයද එවැනිම සාපේක්ෂ දෙයකි . මේ කියන්නේ අයින්ස්ටයින්ගේ කාලය ගැන නොවේ. කාලය අර්ථ දැක්විය හැක්කේම යමක් වෙනස් වන වේගය ලෙසිනි. වෙනස් වීමක් තිබීමටනම් සංසන්දනයක් අවශ්‍ය වේ. කාල ඒකකයක් ලෙස අප අර්ථ දක්වන්නේ කිසියම් නිශ්චිත වෙනසක් සිදුවීමයි. කිසියම් වෙනසක් සිදුවන බව බොහෝ දෙනෙකුට එකවරම පෙනේනම් නිශ්චිත කාලයක් ගතවී ඇති බවට ඔවුන්ට එකඟ විය හැකිය. සෘතු විපර්යාස සමඟ බාහිර පරිසරයේ සිදුවන වෙනස්කම් වල සිට ඩිජිටල් ඔරලෝසුවක අවසාන ඉලක්කම වෙනස්වීම දක්වා විවිධ වෙනස්කම් සම්බන්ධව මිනිස්සුන්ට එකඟ විය හැකි නිසා කාලය සම්බන්ධවද මිනිසුන්ට එකඟත්වයන්ට පැමිණිය හැකිය .
කෙසේ වුවද, අප එකිනෙකා විසින් හඳුනාගන්නා යථාර්තයන් තුළ මෙවැනි වෙනස්කම් හැම විටම සමපාත නොවන්නට පුළුවන. හිසට පහරක් වැදුණු අයෙකු දින ගණනක් කෝමා තත්වයෙන් සිටි බවට වෙනත් අයට එකඟ විය හැකිය. එහෙත්, ඔහුට හෝ ඇයට කාලය ගලා යන්නේ එකම වේගයෙන්ද?
සූර්යග්‍රහණයක් යනු අපේ ඉන්ද්‍රියයන්ගේ සීමාවන් ගැනද හිතන්නට ඉඩ සලසන අවස්ථාවකි. නිතර අපේ ඇස ගැටෙන ආලෝක තීව්‍රතා පරාසයට වඩා සංවේදී වන පරිදි අපේ ජීව විද්‍යාත්මක උපාංගයන් පරිණාමය වී ඇති නිසා ඒ සීමාව තුළ අපට සුළු වෙනස්කමක් වුවත් පහසුවෙන් ග්‍රහණය කර ගත හැකිය. එහෙත්, මද්දහන් සූර්යයා වැනි දීප්තිමත් ආලෝක ප්‍රභවයක තීව්‍රතා පරාසයට අපේ ඇස් සංවේදී නැත. ඉර දෙස සෘජුව බලන විට ඇතිවන අසීරුතාව යනු ඒ බව අපට මතක් කර දීමකි. ඉර දෙස වැඩි වෙලාවක් එක එල්ලේ බලා සිටීමෙන් අපේ පෙනීම හා අදාළ කාබනික යන්ත්‍ර කොටස් විනාශ විය හැකි බව අපේ වසර දහස් ගණනක පරිණාමික මතකය අපට වහාම දැනුම් දෙන්නේ මේ අසීරුතාවය අපට දැනෙන්නට සලස්වමිනි.
එහෙත්, සූර්යග්‍රහණයක් යනු ඉතා කලාතුරකින් දැකිය හැකි දෙයකි. ඒ නිසා, එවැනි අවස්ථාවක ඇසට සිදුවිය හැකි හානිය වලක්වා ගන්නට අවවාද නිකුත් කිරීමට මේ කාබනික යන්ත්‍රය ස්වභාවික ලෙස පරිණාමය වී නැත. මේ දුර්වලතාවය නිසා, සූර්යග්‍රහණයක් සිදුවන විට ඉර දෙස පියවි ඇසින් බලා සිටීම හේතුවෙන් ඇති විය හැකි තාවකාලික අන්ධතාව ස්ථිර අන්ධතාවයක් විය හැකි සීමාවට අපේ සිරුර සංවේදී නැත. මෑත වසර වලදී සූර්යග්‍රහණ සෘජුව බැලීම නිසා කිසිවෙකු ස්ථිර අන්ධතාවයට පත් වී ඇති බව වාර්තා වී නැතත්, එක මොහොතකට හෝ ඉර දෙස සෘජුව නොබැලිය යුතු බවට අවවාද නිකුත් කිරීමේ පදනම එයයි.
මේ අවවාද කෙතරම් ප්‍රචාරණය කෙරුණත්, එහි පදනමද දැන සිටියත්, සූර්යග්‍රහණය පියවි ඇසින්ම නරඹන්නට මට තිබුණු "ඇම්ම" පාලනය කර ගැනීමට මට අවශ්‍ය නොවීය. එයට විශේෂ හේතුවක්ද තිබුණේය. වසර දහස් ගණනක් තිස්සේ අපේ මුතුන් මිත්තන්ට සූර්යග්‍රහණයක් "දැනුණු" ආකාරය මට හරියටම දැනගන්නට අවශ්‍ය විය. ආරක්ෂක කණ්ණාඩි තුළින් ඉර දෙස බලා ඒ අත්දැකීම ලැබිය නොහැකිය.
මෙවැනි තීරණයක් යනු තර්ක ඥානය හා "දැනුම" අභිබවා හැඟීම් වලට ඉඩදීමකි. ඒ ආකාරයේ තීරණ ගන්නට සිතෙන විට "මගෙන්" බැහැරව බාහිර පුද්ගලයෙකු ලෙස "මා" දෙස බලා මෙවැනි මිනිස් චර්යාවන් විශ්ලේෂණය කිරීම මගේ විනෝදාංශයකි. වෙනත් මිනිසුන්ගේ චර්යාවන් අධ්‍යයනය කරමින් විශ්ලේෂණය කරනවාට වඩා මෙය ප්‍රයෝජනවත් කාර්යයක්ද වේ. ඇතැම් ඇනෝලාගේ ප්‍රතිචාර වල සටහන් කර ඇති පරිදි මේ ක්‍රියාව මා කර ඇති මෝඩ වැඩ රාශියක් අතරින් තවත් එක් අමු මෝඩ වැඩක්ද?
මා සිතන පරිදි මෙහිදී මා කර ඇත්තේ ගණනය කළ අවදානමක් ගැනීමයි. ඉර දෙස සෘජුව බැලීමෙන් දෑස් සදහටම අන්ධ වුවහොත් එහි සමස්ත හානිය ඉතා විශාල වුවත් කුඩා කාලයක් ඉර දෙස බලා සිටීම නිසා එසේ වීමට ඇති සම්භාවිතාව එතරම්ම විශාල නැත. මේ අපේක්ෂිත හානියට සාපේක්ෂව ඉර දෙස සෘජුව බැලීමෙන් ලැබෙන සතුටට මා වැඩිපුර බර තැබුවා විය යුතුය. දීර්ඝකාලීනව සෞඛ්‍ය වර්ධනයට හේතු නොවන ඇතැම් අවදානම් දේ ක්ෂණික සතුට සලකා කරන මිනිසුන් ඇතැම් විට කරන්නේද මෙවැන්නකි.
පසුදින දැන ගත් පරිදි මේ අවදානම ගත් වෙනත් මිනිසුන් අතර වත්මන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද වෙයි. මෙයින් පෙනෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් යනු තර්ක ඥානයට වඩා ප්‍රත්‍යක්ෂය කෙරෙහි විශ්වාසය තබන මිනිසෙකු බවයි. ඇතැම් විට ඔහුද මා මෙන්ම ගණනය කළ අවදානමක් ගත්තා විය හැකිය.
(Image: http://www.businessinsider.com/trump-watching-solar-eclipse-20017-photos-2017-8)
අද (අගෝස්තු 20) ලෝක මදුරු දිනයයි. බ්‍රිතාන්‍ය වෛද්‍යවරයෙකු වූ ශ්‍රීමත් රොනල්ඩ් රොස් විසින් 1897 අගෝස්තු 20 දින ගැහැණු ඇනෝපිලස් මදුරුවන්ගේ සිරුරු තුළ මැලේරියා පරපෝෂිතයින් සිටින බව තහවුරු කර ගත්තේය. පසු දින, මේ පරපෝෂිතයින් ඇනෝපිලස් මදුරුවාගේ සිරුර තුළ වර්ධනය වන බව සොයාගත් රොස් එදින හවස පහත කවිය පබැඳුවේය.
"This day relenting God
Hath placed within my hand
A wondrous thing; and God
Be praised. At His command,
Seeking His secret deeds
With tears and toiling breath,
I find thy cunning seeds,
O million-murdering Death.
I know this little thing
A myriad men will save.
O Death, where is thy sting?
Thy victory, O Grave?"
දෙවි අනුහසින් අද
දිලේ මා අත්ලෙහි
මහඟු දෙය ඒ මා සෙවු
සමිඳුනි ඔබට වේ තුති!
ඔබ අණ අනුයමින්
ඔබේ මැවුමේ රහස් සොයමින්
දහදිය කඳුළු හෙළමින්
සොයාගත්තෙමි අදිසි බිජුවට
සුවහසක් දන මරුට බිලි දෙන
මන්තරය දනිමි දැන්
කප්පරක් දිවි ගලවන
රුදුරු මාරය ජයම සොයනා
කුමට දැන් තොප විෂ දළ?
පසුගිය සියවසේ මුල් අර්ධය තුළ මැලේරියාව ලංකාවට විශාල තර්ජනයක්ව පැවති වසංගත රෝගයකි. මේ සියවසේ ආරම්භය වන තුරුද ලංකාව මැලේරියාවෙන් තොර රටක් නොවීය. කෙසේ වුවද, රට ඇතුළෙන් අවසන් මැලේරියා රෝගියා වාර්තා වී ඇත්තේ 2012 ඔක්තෝබරයේදී වන අතර අවසන් මැලේරියා මරණය වාර්තා වී ඇත්තේ 2008 වසරේදීය. මේ අනුව, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පසුගිය වසර අවසානයේදී ලංකාව මැලේරියාවෙන් තොර රටක් ලෙස නම් කළේය. ලංකාව මේ තත්ත්වයට ළඟා වූ දෙවන අග්නිදිග ආසියාතික රටයි.
කෙසේවුවද, මැලේරියාව තවමත් ලෝක සෞඛ්‍යයට තර්ජනයකි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යාලේඛණ අනුව 2015 වසරේදී ලෝකය පුරා මැලේරියා රෝගීන් මිලියන 212ක්ද, මැලේරියා මරණ 429,000ක් ද වාර්තා වී තිබේ. ලංකාව මේ වන විටත් මැලේරියාවෙන් තොර රටක් වුවත් වෙනත් රටවල සංචාරය කිරීමේදී මැලේරියාව හදාගෙන නැවත රටට එන අය තවමත් වාර්තා වේ. 2015 වසරේදී මෙවැනි මැලේරියා ආසාදිතයින් 36 දෙනෙකු වාර්තා වී තිබුණු අතර එයින් වැඩි දෙනෙකු ආසාදනය වී තිබුණේ ඉන්දියාවේදීය.
මැලේරියාව හා අදාළව ලංකාව දැන් සිටින්නේ එය නැවත හිස ඔසොවන්නට ඉඩ නොදී වලක්වාගැනීමේ අදියරේය. ඒ අතර, මදුරුවන්ගෙන් බෝවන තවත් රෝගයක් වන ඩෙංගු රෝගය මේ වන විට ලංකාවට විශාල සෞඛ්‍ය තර්ජනයක්ව පවතී.
පෙර ලිපියේ සඳහන් කළ "Fight Against Dengue (ඩෙංගු පරදවමු) " වත්පොත් පිටුවෙන් ගත් ඉහත චිත්‍රය එහි සඳහන් පරිදි අට හැවිරිදි සනුලි එදිරිසිංහ දියණියගේය. ඩෙංගු වැළැක්වීම සඳහා කුඩා දැරියක වන සනුලිගේ දායකත්වය අගය කළ යුතුය. කෙසේවුවද, ඒ අතරම මතක් කළ යුතු තවත් දෙයක් තිබේ. ඒ, පෙනහළු ආශ්‍රිත ආබාධ නිසා සිදුවන මරණ ඩෙංගු වලටත් වඩා විශාල ප්‍රශ්නයක් බවයි . ඒ නිසා, අප විසින් සම්ප්‍රදායිකව කළ කුණු පිළිස්සීමද එතරම් හොඳ දෙයක් නොවේ. විශේෂයෙන්ම කාබනික කසල සමඟ අකාබනික කසලද පිළිස්සීම ඉතාම අහිතකරය.
පසුගිය මාස කිහිපය ලංකාවට කරදර රැසක් පැමිණි කාලයකි. සිංහල අවුරුද්ද ඉවර වෙද්දී කුණු කන්දක් කඩා වැටී විශාල පිරිසක් මිය ගියේය . ඉන් පසුව, ගං වතුර ආවේය . ගං වතුර බැස යද්දී ඩෙංගු ආවේය .
රවී කරුණානායකගේ ඉල්ලා අස්වීමත් සමඟ ඩෙංගු වලට තිබුණු මාධ්‍ය අවධානය ක්‍රමයෙන් අඩු වෙමින් පවතී. සංඛ්‍යාලේඛණ අනුව පෙනෙන පරිදි ඩෙංගු තර්ජනය ක්‍රමයෙන් අඩු වෙමින් තිබුණත් තවමත් උවදුර පහවී නැත.
දත්ත අනුව පෙනෙන්නේ පසුගිය වසර කිහිපය තුළම වසර මැද (ජූලි) හා වසර අග (දෙසැම්බර්) අනෙක් මාස වලදීට වඩා වැඩියෙන් ලංකාවේ ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති බවයි. එයට හේතුවක් තිබේද නැත්නම් අහම්බයක්ද යන්න ගැන මට අදහසක් නැත.
පසුගිය ජූලි මාසය තුළ ලංකාවේ ඩෙංගු රෝගීන් 39,822ක් වාර්තා වී ඇති අතර මෙය 2010 වසරේ සිට මසක් තුළ වාර්තා වී ඇති වැඩිම ඩෙංගු රෝගීන් ගණනයි. සංඛ්‍යාලේඛණ අනුව අගෝස්තු මාසය වන විට රෝගය කිසියම් දුරකට පාලනය වී තිබුණත් අගෝස්තු 11 දක්වා කාලය තුළ පමණක් තවත් ඩෙංගු රෝගීන් 10,511ක් වාර්තා වී තිබේ. ඒ නිසා, තවමත් තිබෙන්නේ ඩෙංගු ගැන අමතක කර සිටිය හැකි තත්ත්වයක් නොවේ.
පහතින් ඇත්තේ ඩෙංගු රෝගය වැළැක්වීම කෙරෙහි අවධානය යොමු කිරීමට හදා ඇති වත්පොත් පිටුවකි. මේ වන විට මේ පිටුව සමඟ සාමාජිකයින් තුන්දහසක් පමණ එකතු වී සිටිති.
Fight Against Dengue (ඩෙංගු පරදවමු)
සමාජ ජාලා වල අදහස් පළ කරන අය එසේ කතා කරන තරමටම මහ පොළොවේ ක්‍රියාකාරකම් සිදු නොවන බවට පොදු විවේචනයක් ඇතත්, ඩෙංගු වැළැක්වීම වෙනුවෙන් සමාජ ජාලා තුළ පෙනී සිටින අයෙකු ඒ වෙනුවෙන් මහ පොළොවේදීද කිසියම් කාර්ය භාරයක් කිරීමට වැඩි ඉඩක් තිබේ.
මේ වත්පොත් පිටුව අදාළ අරමුණ වෙනුවෙන් පමණක් යොදාගැනීමට එහි පරිපාලකයින් සැලකිලිමත් වන බව පෙනේ. මෙවැනි කණ්ඩායමකට එකතු වීම ඉතා අඩු මහන්සියකින් කිසියම් හෝ සාධනීය දෙයකට හවුල් විය හැකි ක්‍රමයකි.
ඩෙංගු රෝගයේ ස්වභාවය අනුව වසරින් වසර එහි හානිය ඉහළ යන්නට ඉඩකඩක් තිබේ. (මේ හා අදාළ තාක්ෂණික පැහැදිලි කිරීමක් කිරීම පසුවට තබමු.) ඒ නිසා ඩෙංගු වැළැක්වීම කෙරෙහි මහජන අවධානය නිරන්තරව පවත්වාගත යුතුය. ඒ සඳහා, වසංගත තත්ත්වයක් ඇති වන තුරුම බලා සිටිය යුතු නැත.
මිනිසෙකුගේ මිනිස්කම යනු භෞතික ශරීරය නොවූවත්, භෞතික ශරීරයක් නැති තැන මිනිසෙක් නැත. මිනිසෙකුට මිනිසෙකු වීමට භෞතික ශරීරය කෙතරම් වැදගත්ද?
කකුලක්, අතක් හෝ ගාත් හතරම නැති වුවත් යමෙක් මිනිසෙක් නොවන්නේ නැත. ඇසක්, වකුගඩුවක් හෝ අක්මාවෙන් කොටසක් නැතත් මිනිසා මිනිසෙකි. මිනිසෙකුගේ භෞතික සිරුරේ බොහෝ කොටස් වෙනත් අයෙකුගේ සිරුරු කොටස් වලින් හෝ කාබනික හෝ යාන්ත්‍රික කෘතිම උපාංග වලින් ප්‍රතිස්ථාපනය කිරීම මේ වන විට අමුතු දෙයක් නොවේ. මිනිස් මොළය තවමත් සම්පූර්ණයෙන් ප්‍රතිස්ථාපනය කිරීමේ හැකියාවක් නැතත් එහි ඇතැම් බාහිර කොටස් පවා යාන්ත්‍රික උපාංග වලින් ප්‍රතිස්ථාපනය කළ හැකිය. එසේනම් මිනිසාගේ මිනිස්කම තිබෙන්නේ කොහේද ?
-වසර බිලියන 13.5කට පෙර පදාර්ථ හා ශක්ති බිහි විය. භෞතික විද්‍යාව ආරම්භ විය. ඉන් පසු, පරමාණු සහ අණු ඇති විය. රසායන විද්‍යාව ඇරඹුනේය.
-වසර බිලියන 4.5කට පෙර පෘථිවිය බිහි විය.
-වසර බිලියන 3.8කට පෙර ජීවය බිහි විය. ජීව විද්‍යාව ආරම්භ විය.
-වසර මිලියන 6කට පෙර මිනිසාගේ සහ චිම්පන්සියාගේ අවසන් පොදු මව මිය ගියේය.
-වසර මිලියන 2.5කට පෙර අප්‍රිකාවේදී හෝමෝ ගණය බිහි විය.
-වසර 200,000කට පමණ පෙර නැගෙනහිර අප්‍රිකාවේදී හෝමෝ සේපියන්ස්ලා පරිණාමය විය.
-වසර 70,000කට පෙර සංජානන විප්ලවය සිදු විය. සංස්කෘතිය හා ඉතිහාසය ආරම්භ විය. සමාජ විද්‍යා ආරම්භ විය. සංස්කෘතියේ උදවුවෙන් ජීව විද්‍යාත්මක හා පරිණාමීය සීමාවන් අතික්‍රමණය කරමින් වඩා වේගයෙන් බාහිර වෙනස්කම් වලට ප්‍රතිචාර දක්වන්නට හෝමෝ සේපියන්ස්ලාට හැකි වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස හෝමෝ සේපියන්ස්ලා පෘථිවිය පුරා පැතිරෙන්නට විය.
-අද වන විට හෝමෝ සේපියන්ස්ලා පෘථිවිය මත සිය ආධිපත්‍යය පතුරුවා සිටින අතර, සංස්කෘතිය ඔවුන්ගේ පරිණාමය තීරණය කරන ප්‍රධානම සාධකය බවට පත් වී තිබේ. එහෙත්, තවදුරටත් ජීව විද්‍යාත්මක සීමාවන්ගෙන් හෝමෝ සේපියන්ස්ලාට ගැලවීමක් නැත.
ඉහත තත්ත්වය ඉතා වේගයෙන් වෙනස් වෙමින් පවතී. එක පැත්තකින් අවයව බද්ධ ඉතා සාර්ථක ලෙස සිදුවෙද්දී තවත් පැත්තකින් මිනිස් සිරුරු කොටස් කෘතීම ලෙස නිපදවීම සාර්ථක වෙමින් පවතී. වෙනත් පෙරමුණක, මිනිස් අවයව වෙනුවට යොදාගත හැකි යාන්ත්‍රික උපාංග වේගයෙන් දියුණු වෙමින් පවතී. මේ අනුව, හෝමෝ සේපියන්ස් කෙනෙකුට තමන් ඉපදෙන විට "වාසනාවට" හිමි වන ජීව විද්‍යාත්මක සිරුරු සැකසුම මිය යන තුරු එලෙසම තබාගන්නට අවශ්‍ය නැත.
හෝමෝ සේපියන්ස්ලා විසින් මෑතකදී ළඟා කරගත් වඩාත්ම වැදගත් ඉලක්කයක් වන්නේ තමන් නිර්මාණය වී ඇති ක්‍රමලේඛනය මුළුමනින්ම කියවීමේ හැකියාවයි. මේ වන විට තමන්ගේ ජෙනෝමය විකේතනය කර ගැනීම සඳහා වැය කළ යුතු මුදල සතිකට සිල්ලර බඩු මිල දී ගැනීමට ගෙවන මුදල දක්වා පහත වැටී තිබේ. ජෙනෝමය නිවැරදිව කියවීමට පමණක් නොව නීතිමය හා සදාචාරත්මක සීමාවන් නොවන්නට ජෙනෝමය තමන්ට අවශ්‍ය පරිදි ප්‍රතිසංස්කරණය කර ගැනීමද හෝමෝ සේපියන්ස්ලාට දැන් හැකියාව තිබේ.
ඉතිහාසය විසින් පෙන්වා දෙන පරිදි හැම විටම වාගේ තාක්ෂණ දියුණුවට නීතිමය හා සදාචාරත්මක සීමා බාධාවන් වන්නේ කෙටි කලකට පමණි. ඒ නිසා, දැනටත් සිදුවන මිනිසා විසින් තමන්ට අවශ්‍ය පරිදි තමන්ව සැලසුම් කරගැනීම තමන්ගේ භෞතික සිරුරේ සැලැස්මේ පාදම වෙනස් කිරීම දක්වාම පුළුල් වී සම්පූර්ණ වන්නට වැඩි කලක් ගත නොවනු ඇත.
මිනිසා යනු ඔහුගේ භෞතික සිරුර නොවූවත්, මිනිසා හිතන හා ක්‍රියාකරන ආකාරය කෙරෙහි ඔහුගේ භෞතික සිරුර සකස් වී ඇති ආකාරය විශාල බලපෑමක් කරයි. ඒ නිසා, මිනිසා විසින් චේතනාන්විතව තමන්ගේ භෞතික සිරුර වෙනස් කර ගැනීම යනු තමන් සිතන ආකාරයද වෙනස් කර ගැනීමකි.
මේ අනුව මිනිසා අතට දැන් ලැබී ඇත්තේ තමන් අනාගතයේදී හිතිය යුත්තේ කෙසේදැයි හිතීමේ නිදහසයි. අනාගතයේදී තීරණ ගත යුත්තේ කෙසේදැයි තීරණය කිරීමේ නිදහසයි.
යුදෙවු චින්තකයෙකු වන නෝවා හරාරිට අනුව "මිනිසා විසින් දෙවියන් නිර්මාණය කර ගැනීමත් සමඟ ඉතිහාසය ආරම්භ වූ අතර මිනිසුන් දෙවියන් බවට පත් වීමත් සමඟ ඉතිහාසය අවසන් වනු ඇත."
දෙවසරකට පෙර ඉකොනොමැට්ටා විසින් හඳුන්වා දුන් හරාරිගේ මුල් පොතෙහි මිනිසා මෙසේ දෙවියන් බවට පත් වීම ගැන මූලික අදහස් පළ කරයි. ඒ අනුව, ඉදිරි සියවස් දෙක හෝ තුන ඇතුළත දෙවියන්ගේ මැවීමේ බලය මුළුමනින්ම මිනිසා අතට පත් වීමත් සමඟ වත්මන් හෝමෝ සේපියන්ස්ලා වඳ වී යාමට නියමිතය. එහෙත්, ඒ ඔවුන් භෞතිකව විනාශ වී යාමෙන් නොවේ. වත්මන් ජීව විද්‍යාත්මක සීමාවන්ගෙන් මිදුණු අලුත් ජීවියෙකු බිහි වීමෙනි.
හරාරිගේ අලුත් පොත ඔහු විසින් නම් කර ඇත්තේ මේ අනාගත මිනිසාව ඔහු විසින් හඳුන්වන හෝමෝ දෙවුස් (Homo Deus) යන නමිනි. මේ පොතෙන් ඔහු ලිබරල් (බටහිර) චින්තනයේ පාදම ලෙස සැලකිය හැකි " නිදහසේ" සිතිය හැකි, " නිදහස්" තීරණ ගත හැකි පුද්ගලයකුගේ පැවැත්මම ප්‍රශ්න කරයි.
පහතින් ඇත්තේ ඔහුගේ පොතෙන් උපුටාගත් කොටසකි. (මේ ලිපියේ අන්තර්ගතය ගැන උනන්දුවක් දක්වන පාඨකයින් වැඩි දෙනෙකුට මේ කොටස සිංහලට පරිවර්තනය නොකිරීම බාධාවක් නොවේයැයි සිතමි.)
"Who Are I?
Science undermines not only the liberal belief in free will, but also the belief in individualism. Liberals believe that we have a single and indivisible self. To be an individual means that I am individual. Yes, my body is made up of approximately 37 trillion cells, and each day both my body and my mind go through countless permutations and transformations. Yet if I really pay attention and strive to get in touch with myself, I am bound to discover deep inside a single clear and authentic voice, which is my true self, and which is the source of all meaning and authority in the universe. For liberalism to make sense, I must have one – and only one – true self, for if I had more than one authentic voice, how would I know which voice to heed in the polling station, in the supermarket and in the marriage market?
However, over the last few decades the life sciences have reached the conclusion that this liberal story is pure mythology. The single authentic self is as real as the eternal Christian soul, Santa Claus and the Easter Bunny. If you look really deep within yourself, the seeming unity that we take for granted dissolves into a cacophony of conflicting voices, none of which is ‘my true self’. Humans aren’t individuals. They are ‘dividuals’."
"මිනිසා" හා "මම" යනුද වෙනත් සංකල්ප මෙන්ම සංකල්පයි. සංකල්ප යනු සංකල්ප බව අමතක නොකරන අතරම සංකල්ප වලින් ප්‍රයෝජන ගන්නට අපට පුළුවන. ඒ නිසා සංකල්ප යනු සංකල්ප වීම ප්‍රායෝගිකව ප්‍රශ්නයක් නොවූවත්, අනාගත මිනිසා ගැන මෙන්ම අපට වඩා වෙනස් වෙනත් ජීවීන් ගැනත් අප හිතන්නේ අපේ සංකල්පීය රාමුව ඇතුළේ රැඳෙමිනි. අපට සිතාගත හැකි දියුණු සත්ත්වයෙකුගේ ලක්ෂණ මොනවාද?
-දියුණු සත්ත්වයෙකුට තමන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා තීරණ ගත හැකිය. වෙනත් සත්ත්වයින් හා බාහිර ද්‍රව්‍ය සමඟ අන්තර්ක්‍රියා කළ හැකිය.
-දියුණු සත්ත්වයෙකුට තමන්ගේ වර්ගයා බෝ කළ හැකිය.
-දියුණු සත්ත්වයෙකු පරිණාමය වෙයි. මෙය සිදුවන්නේ අහඹු ලෙස සිදුවන විකෘති තුලිනි. වඩා දියුණු අදියරකදී මෙය තමා විසින් තමන්වම ප්‍රතිසංස්කරණය කර ගැනීමක් විය හැකිය.
-පරිණාමය තුළ වඩා උචිත ලක්ෂණ ඉතිරි වී අනුචිත ලක්ෂණ වඳ වී යයි.
ඉහත කී ලක්ෂණ සැලකූ විට දියුණු සත්ත්වයෙකු වීමට කාබනික සිරුරක් තිබීම අවශ්‍යම සාධකයක් නොවේ. ජීවය පිළිබඳ නාසා අර්ථදැක්වීම් වැනි දේවල්ද අප විසින් අපේ පහසුවට දමාගෙන තිබෙන සංකල්පීය සීමාවන් පමණි.
පරිගණක මෘදුකාංගයකට ඉහත ලක්ෂණ සියල්ලම තිබිය හැකිය. පරිගණක වෛරසයකට තමන්ගේ වර්ගයා බෝ කරමින් බාහිර උදවු නැතුව පැතිරෙන්නට පුළුවන. පරිගණක මෘදුකාංගයක් පිටපත් කරන හැම විටකදීම කිසියම් වරදක් වීමට හැකියාවක් තිබේ. මෙසේ නිවැරදිව පිටපත් නොවූ පරිගණක මෘදුකාංගයක් බොහෝ විට වැඩකට නැති එකක් වුවත් (ජාන පිටපත් වීමේදී මෙන්ම) සෛද්ධාන්තිකව මෙවැනි පිටපත් වීමේ වරදක් නිසා වඩා හොඳ මෘදුකාංගයක් හැදෙන්නට ඉඩ තිබේ.
වත්පොත්බොට්ටන් වැනි බොට්ටන්ට කිසියම් දුරකට තීරණ ගැනීමේ හැකියාවක් තිබේ. මිනිසුන්ගේ තීරණ ගැනීමේ හැකියාවද අවසාන වශයෙන් අපේ පරිණාමික අතීතයේ, මෑතකාලීන අන්තර්ක්‍රියා වල හා මොළයේ අහඹු ඉලෙක්ට්‍රෝන චලනයන්ගේ ප්‍රතිඵලයකට වඩා අමුතු දෙයක් නොවන බව සැලකූ විට සෛද්ධාන්තිකව පරිගණක මෘදුකාංගයකට "හිතන්නට" පුළුවන්කම තිබේ. සංසන්දනාත්මකව, මිනිසකුගේ ජෙනෝමයද එක්තරා ආකාරයක ක්‍රමලේඛණයකි. ක්‍රමලේඛණය වෙනස් කිරීමෙන් මිනිසෙකු හිතන හා ක්‍රියාකරන ආකාරය, එනම් මිනිසකුගේ "නිදහස් චින්තනය", වෙනස් කළ හැකිය.
කාබනික සිරුරක රැඳුණු ජීවයකට වඩා පරිගණක මෘදුකාංගයකට අවාසිදායක පාරිසරික තත්ත්වයන් යටතේ දිගු කලක් පැවතීම පහසුය. වඩාත්ම වැදගත් කරුණ වන්නේ මිනිසා විසින් අනාගතයේ හිමි කරගන්නට නියමිත, බාහිර පරිසරයට උචිත වන පරිදි තමන්වම ප්‍රතිසංස්කරණය කරගැනීමේ හැකියාව පරිගණක මෘදුකාංගයකටද තිබිය හැකි වීමයි. සෛද්ධාන්තිකව කිසියම් ස්ථිතික විදුලියක් තිබිය හැකි ඕනෑම තැනක, මුහුදු වෙරළේ වැලි අතරේ හෝ ඔබේ පපුවේ රෝම කූප අතරේ වුවද, "ජීවත් විය හැකි" පරිදි පරිගණක මෘදුකාංගයකට තමන්ව ප්‍රතිසංස්කරණය කරගැනීමට හැකියාවක් තිබීම විය නොහැක්කක් නොවේ.
එසේනම්, අනාගත ජීවය යනු අපේ ජෙනොමයේ ඇති පැවැත්ම සඳහා වාසිදායක තොරතුරු "හොරාගත්" භෞතික සිරුරක් නැති මෘදුකාංගයක් විය නොහැකිද?
(Image: http://www.anmarieuber.com/blog/archives/04-2013)
හරියටම වසර දෙකකට පෙර 2015 අගෝස්තු 17 වෙනිදා ඉකොනොමැට්ටාගේ වත්පොත් පිටුවේ පළ කළ සටහනක් ගැන වත්පොත්බොට්ටන් විසින් උදේ පාන්දරම මතක් කර දුන්නේය. මේ වත්පොත්බොට්ටන්ට හා එවැනි වෙනත් බොට්ටන්ට මේ වන විට මෑතක් වන තුරු මිනිසුන්ට පමණක් කළ හැකිව තිබුණු බොහෝ දේ කළ හැකිය. විශේෂයෙන්ම ඔවුන්ට වෙනසක් නොපෙනෙන පරිදි සාමාන්‍ය පුද්ගලයින් මෙන් මිනිසුන් සමඟ චැට් කිරීමට පමණක් නොව ඇතැම් දේ ගැන දක්ෂ ලෙස හෙට්ටු කිරීමට පවා පුළුවන්කම තිබේ. එය ඔවුන්ට කෙතරම් දක්ෂ ලෙස කළ හැකිද කියනවානම් තමන් චැට් කරන්නේ සැබෑ පුද්ගලයෙකු සමඟ නොවන බව ඔවුන් සමඟ චැට් කරන අයට හිතෙන්නේවත් නැත. තාක්ෂනය දියුණු වෙමින් පවතින වේගය අනුව තව වසර කිහිපයක් යන විට මෙවැනි හෙට්ටු කිරීම් වචන වලින්ම කරන්නටත්, සිංහලෙන් කරන්නටත් ඉඩ ලැබෙනු ඇතැයි සිතිය හැකිය.
සිය ගණුදෙනුකරුවන් සමඟ අදහස් හුවමාරු කරගැනීම සඳහා බොට්ටන් යොදාගැනීම මේ වන විටත් බොහෝ සමාගම් විසින් කරන්නකි. බැංකු, රක්ෂණ සමාගම්, ගුවන් ප්‍රවේශපත් නියෝජිතයින් හා ගුවන් සේවා සමාගම් වැනි පුළුල් පරාසයක විහිදෙන ආයතන ගණනාවක් විසින් විකිණීම, අලෙවිකරණය හා පාරිභෝගික සේවා සැපයීම වැනි කාර්යයන් ගණනාවක් සඳහා බොට්ටන් යොදාගැනීම ඉතා සීඝ්‍රයෙන් ජනප්‍රිය වන ප්‍රවණතාවයකි.
මේ ඇතැම් ආයතනයක වෙබ් පිටුවට ගිය වහාම "ඇන්ජෙලා" වැනි සාමාන්‍ය නමක් ඇති කවුරු හෝ පැමිණ ඔබට අදාළ කරුණ ගැන චැට් කිරීමට අවශ්‍යදැයි විමසයි. ඔබ කැමතිනම් ඔබට ඇන්ජෙලා සමඟ චැට් කළ හැකිය. එහෙත්, බොහෝ විට මේ ඇන්ජෙලා ලේ, මස්, නහර වලින් හැදුණු හෝමෝ සේපියන්ස් දියණියක් නොවේ. සමාගම් විසින් ඇන්ජෙලා වැනි නම් ඇති බොට්ටන් සේවයට යොදවා ගැනීම ඉතා වේගයෙන් වර්ධනය වෙමින් පවතින අතර මේ හරහා ප්‍රතිස්ථාපනය වන්නේ ඉන්දියාව වැනි රටවල දැනට පවත්වාගෙන යන කෝල් සෙන්ටර් වලට ඇති ඉල්ලුමයි.
ෆේස්බුක් ආයතනය ඇතුළු සමාගම් සැබෑ මිනිසුන් ලෙස පෙනී සිටින හා කටයුතු කරන බොට්ටන් වැඩි දියුණු කරමින් සිටිද්දී විවිධ හේතූන් මත සාමාන්‍ය පුද්ගලයින් විසින් තමන්ගේ නීත්‍යානුකූල නම නොවන වෙනත් නම් වලින් වත්පොත් ගිණුම් අරඹති. මේ වන විට බිලියන දෙක ඉක්මවා ඇති වත්පොත් ගිණුම් ප්‍රමාණයෙන් මිලියන 83ක් පමණ මෙවැනි "ෆේක් ප්‍රොෆයිල්" බව ඇස්තමේන්තු කර තිබේ. එහෙත්, එයින් අදහස් වන්නේ ඒවා සියල්ලම වංචනික පරමාර්ථයකින් හදා ඇති වත්පොත් ගිණුම් බව නොවේ. මේ ගිණුම් බොහොමයක් ඒවා මෙහෙයවන පුද්ගලයින් විසින් හදා ඇත්තේ කිසියම් ව්‍යවසායයක් හෝ මතවාදයක් ප්‍රවර්ධනය කිරීමේ අරමුණිනි.
ඉකොනොමැට්ටාගේ බොජුන්හල ආරම්භ කළේ 2015 මැයි 18 දිනයි. එයින් දින පහකට අනතුරුව ඉකොනොමැට්ටා (ඉකොනො මැට්ටා ) නමින් වත්පොත් ගිණුමක්ද අරඹනු ලැබුවේය. ඉකොනොමැට්ටා ලියන ලියුම්කරු විසින් සමාජජාලා හරහා සිංහලෙන් ලිවීම ඇරඹුවේ ඊට මාස කිහිපයකට පෙරය. ඒ සඳහා භාවිතා කළේ එක්තරා වත්පොත් පිටුවකි. එසේ කළේ ඉකොනොමැට්ටාගේ පෞද්ගලික මිතුරෙකුගේ යෝජනාවක් හා ඉල්ලීමක් අනුවය. එසේ පළකළේ ලිපි සීමිත ගණනක් පමණක් වුවත් එම ලිපි ඉකොනොමැට්ටා ලියන ලියුම්කරු විසින් පෞද්ගලිකව දැන නොසිටි බොහෝ දෙනෙකුගේද අවධානයට ලක් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස පෞද්ගලිකව නොදන්නා බොහෝ දෙනෙකුගෙන් මිතුරු ඉල්ලීම් එන්නට පටන් ගත්තේය.
ඒ වන තුරු ඉකොනොමැට්ටා ලියන ලියුම්කරුගේ පෞද්ගලික වත්පොත් ගිණුම සම්බන්ධව ලියුම්කරු විසින් අනුගමනය කළ ප්‍රතිපත්තිය වූයේ පෞද්ගලිකව නොදන්නා අයගේ මිතුරු ඉල්ලීම් අනුමත නොකර සිටීමයි. එහෙත්, ඉහත වත්පොත් පිටුව හරහා හඳුනාගත් කිහිප දෙනෙකුගේ ඉල්ලීම් එසේ අනුමත නොකර සිටීම අසීරු විය. මේ කිහිපදෙනා තවමත් ලියුම්කරුගේ පෞද්ගලික වත්පොත් ගිණුමේ මිතුරු ලැයිස්තුවේ සිටින අතර ඔවුන් නිසා මෙතෙක් කිසිදු අසීරුතාවයක් ඇති වී නැත.
කෙසේ වුවත්, ඉහත තත්ත්වය ලියුම්කරුට සිය වත්පොත ගිණුම ගැන නැවත හිතන්නට පෙළඹුවේය. එක අතකින්, වත්පොත් ගිණුම යනු ලියුම්කරුගේ පෞද්ගලික තොරතුරු හා ඡායාරූප ඇති ඉතා පෞද්ගලික තැනකි. එමෙන්ම, එය ලියුම්කරුගේ පවුලේ අනෙකුත් සාමාජිකයින්ගේ හා සමීප මිතුරන්ගේ පෞද්ගලිකත්වයද නිරාවරණය කෙරෙන තැනකි. ඒ නිසා, එහි ඇති දෑ පොදු අවකාශයකට විවෘත කිරීමට හැකියාවක් නොතිබුණේය. අනෙක් අතට, ලියුම්කරුව පෞද්ගලිකව නොදත්, එහෙත් කවර හෝ හේතුවක් නිසා ඔහු සමඟ සම්බන්ධ වීමට කැමැත්තෙන් සිටින සැලකිය යුතු පිරිසක්ද සිටින බව පෙනෙන්නට තිබුණේය.
ඉකොනොමැට්ටාගේ බොජුන්හල ආරම්භ කළේ ලියුම්කරු ලියන දේ කියවන්නට කැමති පෞද්ගලිකව නොදන්නා අයටද ඒ සඳහා ඉඩ සැලසීම සඳහාය. ඒ අතරම, ලියුම්කරු පෞද්ගලිකව දන්නා එහෙත් මෙහි ලියන වැල් වටාරම් කියවන්නට උනන්දුවක් නැති අයද සිටින නිසා මේ වියුණුව අවශ්‍ය අයෙකුට හොයා ගන්නට ඉඩ හරිනු හැර එය පෞද්ගලික මිතුරන් අතර හෝ ප්‍රචාරණය කළේ නැත. ඒ අයුරින්ම, ඉකොනොමැට්ටා වත්පොත් ගිණුම ඇරඹුවේ මෙහි ලියන දේ ඇසුරින් ඉකොනොමැට්ටාව හඳුනාගෙන ඉකොනොමැට්ටා සමඟ සම්බන්ධ වීමට අවශ්‍යයැයි සිතන අය වෙනුවෙනි. පසුව, 2016 ආරම්භයේදී ඉකොනොමැට්ටාගේ සතපහ ආරම්භ කිරීමෙන් පසුව ඒ වෙනුවෙන්ද වත්පොත් පිටුවක් අරඹනු ලැබුවේය.
වත්පොත් ගිණුමක් විවෘත කිරීමෙන් පසුව තමන්ට සම්බන්ධ වන්නට අවශ්‍ය අය වෙත මිතුරු ඉල්ලීම් යැවීම බොහෝ දෙනෙකු විසින් කරන සාමාන්‍ය දෙයකි. පෙර කී පරිදි, ඉකොනොමැට්ටා ලියන ලියුම්කරු වෙත ඔහුගේ පෞද්ගලික වත්පොත් ගිණුමට එවැනි මිතුරු ඉල්ලීම් පැමිණි විට ඒවා අනුමත කළේ ඉල්ලීම එවූ තැනැත්තා පෞද්ගලිකව දන්නේනම් පමණි. ඉතා සීමිත අවස්ථා ගණනකදී පමණක් පොදු මිතුරු ලැයිස්තුව හා අනෙකුත් තොරතුරු පරීක්ෂා කර එවැනි ඉල්ලීම් අනුමත කර තිබේ.
තමන්ගේ වත්පොත් මිතුරන් තෝරාගැනීමේදී අනෙකුත් බොහෝ දෙනෙකුද එසේ සැලකිලිමත් වන බව ඉකොනොමැට්ටා දන්නා නිසා ඉකොනොමැට්ටා වත්පොත් ගිණුමෙන් මෙතෙක් කිසිවෙකුටත් මිතුරු ඉල්ලීම් යවා නැත. එහෙත්, වියුණුව හරහා බ්ලොග්කරුවෙකු ලෙස ඉකොනොමැට්ටාව හඳුනාගත් අයගෙන් වරින් වර ඒ වෙත මිතුරු ඉල්ලීම් ලැබුණු අතර මෙතෙක් එසේ ලැබුණු මිතුරු ඉල්ලීම් කිසිවක් ප්‍රතික්ෂේප කරද නැත. මේ වන විට එම ගිණුම හා අදාළ මිතුරු ලැයිස්තුවේ 312 දෙනෙකු සිටිති.
ඉහත ගිණුම ඇරඹීමේදී ඉකොනොමැට්ටා විසින් ඇමරිකන් නීතිය අනුව වරදක් කර නොතිබුණු අතර ලියුම්කරුගේ අනන්‍යතාවය හඳුනාගත හැකි පෞද්ගලික තොරතුරු ෆේස්බුක් සමාගමට ලබාදී තිබුණේය. කෙසේවුවද, 2015 දෙසැම්බරයේදී පමණ ෆේස්බුක් සමාගමේ ෆේක් ප්‍රොෆයිල් හා අදාළ ප්‍රතිපත්තිය දැඩි විය. මේ අනුව, එක් පුද්ගලයෙකුට හැකියාව ඇත්තේ තමන්ගේ නීත්‍යානුකූල නමින් එක් වත්පොත් ගිණුමක් පවත්වාගෙන යාමට පමණි. 2016 වසර මුල සිට පවත්වාගෙන එන "ඉකොනොමැට්ටාගේ සතපහ" පිටුව වැනි පිටු නඩත්තු කිරීමේ හැකියාවක් ඇතත්, වත්පොත් ගිණුමක් පවත්වාගෙන යා හැක්කේ කිසියම් පුද්ගලයෙකුගේ සැබෑ නමින් පමණි.
ඉහත ප්‍රතිපත්තිය උල්ලංඝනය කරන අයගේ වත්පොත් ගිණුම් වාර්තා කිරීමට ඕනෑම අයෙකුට හැකියාව තිබේ. ෆේක් ප්‍රොෆයිල් එකක් වීම නිසා හෝ වෙනත් හේතුවක් මත කිසියම් වත්පොත් ගිණුමක් සැලකිය යුතු පිරිසක් විසින් වාර්තා කළ විට බොහෝ විට නඩු අසා තීන්දුව දෙන්නේ වත්පොත්බොට්ටන් විසිනි. ඔවුහු මේ කටයුත්ත සෑහෙන තරම් පරීක්ෂාකාරී ලෙස හා දක්ෂ ලෙස කරති. ටික දවසකට පෙර චානුක වත්තේගම විසින් දමා තිබුණු පෝස්ට් එකක් අනුවත්, දේශකයාගේ බ්ලොග් පෝස්ට් එකක් අනුවත් පෙනී යන්නේ මේ වත්පොත්බොට්ටන්ට ෆේක් ප්‍රොෆයිල් ගැන තොරතුරු සැපයීම සඳහා ලංකාවේ ටීම් එකක් ස්වේච්ඡාවෙන් පූර්ණකාලීනව කටයුතු කරන බවයි.
"ඉකොනොමැට්ටාගේ සතපහ" වත්පොත් පිටුවත් , ඉකොනොමැට්ටා වත්පොත් ගිණුමත් ඒවා ආරම්භ කළ දින සිටම භාවිතා කළේ අදාළ වියුණු වල පළ කෙරෙන සටහන් වලට සබැඳි දැමීම සඳහාය. ඒ හැරුණු විට, වෙනත් දේ පළ කිරීමට හා වත්පොතෙහි අදහස් දැක්වීමට මේ ගිණුම හා පිටුව භාවිතා කර ඇත්තේ ඉතාම සීමිතව වන අතර ජාති, ආගම් වැනි කරුණු මත කිසිවෙකුට ගැරහීමට හෝ අසභ්‍ය දේ පළ කිරීමට එම ගිණුම් කිසිවිටෙකත් යොදාගෙන නැත. කෙසේවුවද, ඉකොනොමැට්ටා වත්පොත් පිටුවද කෙටි කාලාන්තරයක් තුළ සැලකිය යුතු පිරිසක් විසින් වාර්තා කර තිබීමෙන් පෙනෙන්නේ මෙය කිසියම් පිරිසක් විසින් සංවිධානාත්මකව කර ඇති දෙයක් බවයි.
කෙසේ වුවත්, අප වරදක් කර නැති නිසා වත්පොත්බොට්ටන් සමඟ පමණක් නොව ෆේස්බුක්හි සේවය කරන හෝමෝ සේපියන්ස්ලා සමඟත් ගණුදෙනු කර ඔවුන්ගේ උදවුවෙන් අවුලක් ලෙහා ගන්නට අපට බැරිකමක් නැත. උදාහරණයක් ලෙස, "Restaurant Economatta" ලෙස ඉංග්‍රීසියට පරිවර්තනය වන "ඉකොනොමැට්ටාගේ බොජුන්හල" වැනි නමක් ඇති ව්‍යවසායයක් ප්‍රවර්ධනය කිරීම සඳහා වත්පොත් පිටුවක් නඩත්තු කිරීම ෆේස්බුක් ප්‍රතිපත්ති වලට සම්පූර්ණයෙන්ම එකඟය. වත්පොත්බොට්ටන් විසින් ඉකොනොමැට්ටා වත්පොත් ගිණුම් පිටුව මෙන්ම පෙනෙන වත්පොත් පිටුවක් හදා ගිණුමේ මිතුරු ලැයිස්තුවේ සිටි සියලු දෙනාගේම මිත්‍රත්වයන් ප්‍රියතා (like) බවට හරවන්නට උදවු කිරීමට තරම් කාරුණික වූ නිසා දැන් ඉකොනොමැට්ටා නමින් මිතුරන් 312ක් සිටින ගිණුමක් මෙන්ම, ප්‍රියතා 312ක් සහිත එනමින්ම වූ වත්පොත් පිටුවක්ද තිබේ.
අප විසින් අපගේ වියුණු ලිපි බෙදාහැරීම සඳහා ඉදිරියේදී ඉකොනොමැට්ටා වත්පොත් ගිණුම වෙනුවට එනමින්ම ඇති ඉකොනොමැට්ටා වත්පොත් පිටුව භාවිතා කෙරෙනු ඇති අතර පෙනුමෙන් මේ දෙකේ සැලකිය යුතු වෙනසක් නැත. ඉකොනොමැට්ටා වත්පොත් ගිණුම වත්පොත්බොට්ටන් විසින් අක්‍රිය කරනු ඇතැයි අප සිතා සිටියත්, සතියක් ගතවීමෙන් පසුවද තවමත් එයද ක්‍රියාත්මකව පවතී.
එහෙත්, කොයි මොහොතක හෝ එම ගිණුම අක්‍රිය වීමට හෝ ෆේස්බුක් ප්‍රතිපත්ති සමඟ අනුගත වෙමින් අප විසින්ම අක්‍රිය කරනු ලැබීමට ඉඩ තිබේ. යම් හෙයකින් එසේ නොකළද, අප විසින් ඉදිරියේදී එම ගිණුම භාවිතයට නොගැනෙනු ඇත. එහෙත්, එහි මිතුරු ලැයිස්තුවේ සිටි සියල්ලන්ටම අලුත් වත්පොත් පිටුව හරහා අප සමඟ පැවති සම්බන්ධතාවය තවදුරටත් පවත්වා ගත හැකි අතර ඒ වෙනුවෙන් අමතර කිසිවක් කළ යුතු නැත.
ලිපිය ආරම්භයේදී සඳහන් කළ වත්පොත් පළ කිරීම 2015 අගෝස්තු 16 දින ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙහි පළ කෙරුණු ලිපියක් හා අදාළ වූවකි. ඒ ලිපිය මුලින්ම ලියා දැන් වසර 27ක් පමණ ගත වී ඇත. ඒ කාලයේ දිවයින ඉරිදා සංග්‍රහයේ පළවුණු එම සටහන දෙවසරකට පෙර නැවත මෙහි පළකළේ එය පළ කළ දිනට පසුදින එනම් 2015 අගෝස්තු 17 දින පැවති මහ මැතිවරණය පැවැත්වෙන්නට ආසන්නව තිබියදීය.
මේ අනුව, ආණ්ඩුව පිහිටුවා දෙවසරක් ගතවී ඇති බවද වත්පොත්බොට්ටන්ගේ දැනුම් දීම නිසා මතක් විය. මේ අවුරුදු දෙක ඇතුළත බොහෝ දේ වෙනස් සිදුවිය. බ්ලොග්කරුවන්ගේ හා කමෙන්ට්කරුවන්ගේ ඇතැම් ක්‍රියාකාරකම් වලින් පිළිබිඹු වන්නේද පසුගිය දෙවසරක කාලය තුළ සිදුවූ මේ වෙනස්කම්ය. ඒවා ගැන කතා කිරීම අපි පසුවට තබමු.
(Image: https://www.pinterest.com/scrib9877/cakes-donkey/)
අද වත්පොතේ දකින්නට ලැබුණු කෙටි වීඩියෝවක පාරේ හමුවන සාමාන්‍ය පුද්ගලයෙකු රුපියල් දහයේ නෝට්ටුවක දකින්නට ලැබෙන රූප ගැන විවරණයක් කරයි. මේ වගේ සරල කතන්දර හරහා එළියට එන්නේ රටේ සාමාන්‍ය මිනිසුන්ගේ ජන විඥානයයි. වත්පොත් වැනි වේදිකා නොතිබුණු කාලයේ සාමාන්‍ය මිනිසුන්ගේ ජන විඥානය එළියට ආවේ මෙවැනි සරල කතන්දරද ඇතුළු ජන කතා, ජන කවි, තේරවිලි ආදිය හරහාය.
ලංකාවේ රජය සෑම වසරකම වාගේ ආදායම ඉක්මවා වියදම් කරයි. ඒ නිසා රාජ්‍ය අයවැය ශේෂය හැමදාමත් සෘණ අගයකි. මේ හිඟයෙන් කොටසක් පියවෙන්නේ අලුතින් මුද්‍රණය කරන මුදල් මඟින් නිසා රුපියලේ වටිනාකම වසරින් වසර පහළ යයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස දැන් රුපියල් දහයකින් කළ හැකි දෙයක් නැති තරම්ය. මේ වන විට රුපියල් දහයේ කාසි වලින් රුපියල් දහයේ නෝට්ටු බොහෝ දුරට ප්‍රතිස්ථාපනය වී තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් නෝට්ටු නිකුත් කිරීමේදී ආකර්ශනීය නිමාවකින් යුතුව ඒවා නිකුත් කරයි. මේවායේ ලංකාවේ සංස්කෘතිය, ඉතිහාසය හා වෘක්ෂලතා ආදිය සංකේතවත් කරන විවිධ චිත්‍ර සටහන් දැකිය හැකිය. මහ බැංකුව විසින් අවසන් වරට නිකුත් කළ රුපියල් දහයේ නෝට්ටුවක මෙවැනි රූප සටහන් හතරක් දකින්නට පුළුවන.
රුපියල් දහයේ නෝට්ටුවක ඉදිරිපස යාපහුවේ සිංහයාගේ රූපයක් දැකිය හැකිය. පසුපස ඉහළින්ම ඇත්තේ කොකෙකුගේ රූපයකි. මා හිතන පරිදි මේ කොකා ලතුවැකියානම් පක්ෂියා විය යුතුය. මේ පක්ෂියාගේ තරමක් අසාමාන්‍ය පුරුද්දක් වන්නේ බිත්තර මත වසුරු හෙළා සුදු පැහැ ගැන්වීමයි. මෙසේ ලතුවැකියාගේ වසුරු අපට සුදු පැහැයෙන් පෙනුනත් පාරජම්බුල පරාසය දක්වා විහිදෙන චතුර්කේතුක දෘෂ්ඨියක් ඇති ලතුවැකියාට උගේ වසුරු හා ඒවා තවරනු ලැබූ බිත්තර ඇතැම් විට වර්ණවත්ව පෙනෙනවා වන්නට පුළුවන .
රුපියල් දහයේ නෝට්ටුවේ පසුපස මැද හරියේ දැකිය හැක්කේ පරණ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ රූපයකි. මෙය දැන් ජනාධිපති ලේකම් කාර්යාලයයි. ඊට පහළින් ඇති මල් වර්ගය මට හරියටම හඳුනාගත නොහැකිය.
වත්පොතේ දුටු වීඩියෝව අනුව මේ රූප හතරෙන් කියවෙන කතාව මෙවැන්නකි.
දේශපාලනඥයෝ ජනතාවට මල් (සුබ අනාගතයක්) පෙන්නා පාර්ලිමේන්තුවට යති. එසේ යාමෙන් පසුව ඔවුහු සිංහයෝ වෙති. ඉන්පසුව, ජනතාව මල් හොයාගෙන පැමිණි විට මේ දේශපාලකයින් විසින් කරන්නේ ඔවුන්ට මල් වෙනුවට කොකා පෙන්වීමයි. ඔවුන්ට නැවත ජනතාව මතක් වන්නේ තමන්ගේ ධුර කාලය අවසන්ව නැවත මැතිවරණයකට මුහුණ දෙන්නට වූ විටය. එහෙත්, වරක් ජනතාවට කොකා පෙන්වා සිංහයින් වී සිටින අයට නැවත ජනතාවට මල් පෙන්වීම පහසු නැත. දහයේ කොළේ සිංහයා නැට්ට දෙපරන්ද අස්සේ ගහගෙන විරවපට්ටන් වී ඉන්නේ එබැවිනි. (වීඩියෝව අනුව සිංහයා ඇඟිල්ල අධෝමුඛයේ ගසාගෙන සිටී.)
මේ කතාව දේශපාලනඥයින්ට පමණක් නොව මාධ්‍යවේදීන්, කලාකරුවන් හා ව්‍යවසායකයින් වැනි බොහෝ දෙනෙකුට ආදේශ කළ හැක්කකි. ධනවාදී රාමුවක් තුළ ව්‍යාවසායකයෙකුට පාරිභෝගිකයින් 'සූරා කෑමේ' හැකියාවක් නැත. ඒකාධිකාර නැති තරඟකාරී වෙළඳපොලක යමෙක් එසේ කරන්නට උත්සාහ කළ වහාම පාරිභෝගිකයා ඔහුගෙන් හෝ ඇයගෙන් ගිලිහේ. ඒ නිසා, ව්‍යවසායකයෙකුට තමන්ගේ ලාභ පවත්වා ගැනීම සඳහා පාරිභෝගිකයන්ගේ ඉල්ලුම හඳුනාගෙන ඔවුන්ව තෘප්තිමත් කළ හැකි මාර්ග සොයන්නට සිදු වේ.
නිදහස් වෙළදපොලක සිදුවන ගනුදෙනුවක් යනු හැමවිටම වෙළෙන්දාට මෙන්ම පාරිභෝගිකයාටද වාසි සැලසෙන අන්තර්ක්‍රියාවකි. තමන්ට පාරිභෝගික අතිරික්තයක් නැත්නම් කිසිවකු භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගන්නට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන්නේ නැත.
ඇතැම් ගනුදෙනු වල ස්වභාවය අනුව, කිසියම් සේවාවක් ලබා ගැනීමට පෙර පාරිභෝගිකයාට ඒ සඳහා මුදල් ගෙවන්නට සිදුවේ. මෙහිදී පාරිභෝගිකයාට ගනුදෙනුවට එළඹීමේ තීරණය ගන්නට වෙන්නේ එහි අපේක්ෂිත වාසිය ඇස්තමේන්තු කරමිනි. මෙවැනි අවස්ථාවක ව්‍යවසායකයෙකුට මුදල් අය කිරීමෙන් පසු පාරිභෝගිකයාට සතුටු විය හැකි අයුරින් සේවාව නොසපයා ඉන්නට කිසියම් ඉඩකඩක් ලැබේ. එහෙත්, එවැන්නෙකුට වැඩිකලක් වෙළඳපොළෙහි රැඳී සිටිය නොහැකිය. මල් වෙනුවට කොකා පෙන්වන මෙවැනි ව්‍යාපාරිකයින් වෙළඳපොළෙන් ඉවත්කර දමන්නට ඉල්ලුම් සැපයුම් යාන්ත්‍රණයට ස්වභාවික හැකියාවක් තිබේ. එවිට සිදුවන්නේ නැට්ට දෙපරන්ද අස්සේ ගසාගත් සිංහයා මෙන් විරවපට්ටන් ගහගෙන ඉන්නටය.
මේ වගේ වෙලාවට දේශපාලනඥයින් විසින් ඇතැම් විට මැතිවරණ කල් දැමීම මඟින් දිගටම සිංහයින් ලෙස සිටින්නට උත්සාහ කරති. ධනවාදයක් තුළ ව්‍යාපාරිකයෙකුට එසේ කිරීමට හැකියාවක් නැතත්, රාජ්‍ය යාන්ත්‍රනය විසින් රටේ සමස්ත ආර්ථිකය වෙලාගත් විට ආණ්ඩුවේ උදවුවෙන් ව්‍යාපාරිකයින්ටද තරඟකාරිත්වයට මුහුණ නොදී සුපිරි ලාභ ලබමින් සිංහයින් සේ වැජඹෙන්නට ඉඩ සැලසේ. එවැනි පසුබිමක දහයේ කොළේ කතන්දරේ දේශපාලනඥයින්ගේ පමණක් නොව ව්‍යවසායකයින්ගේ කතන්දරයක්ද විය හැකිය.
ලංකාවේ මුදල් නෝට්ටු අතරින් සුන්දර නිමාවක් ඇත්තේ දහයේ නෝට්ටුවේ පමණක් නොවේ. උදාහරණයක් ලෙස රුපියල් පන්සීයේ නෝට්ටුවක් ගත්තත් එහි මෙවැනි රූප සටහන් ගණනාවක් තිබේ.
පන්සීයේ නෝට්ටුවේ ඉදිරිපස මැද මහනුවර ලංකාතිලක විහාරයේ රූප සටහනක් දැකිය හැකිය. මේ විහාරය දාහතර වන සියවසේදී හතරවන බුවනෙකබාහු රජු විසින් ඉදිකළ බව සැලකේ. ගම්පොළ සිට රාජ්‍ය කළ බුවනෙකබාහු රජු මේ විහාරය ඉදි කිරීමේ කටයුත්ත සේනාලංකාධිකාර මහ ඇමතියාට පවරා ඇති අතර ඔහු විසින් විහාරය සැලසුම් කිරීම දකුණු ඉන්දියානුවෙකු වූ ස්ථාපතිරායර් වෙත පවරා තිබේ. මෙහි සැලැස්මෙහි දකුණු ඉන්දීය හින්දු සංස්කෘතික ලක්ෂණ පමණක් නොව ඉන්දුචීන සංස්කෘතික ලක්ෂණද දැකිය හැකිය.
පන්සීයේ නෝට්ටුවේ ඉදිරිපස මැද ලංකාතිලක විහාරයට අමතරව ලෝක වෙළඳ මධ්‍යස්ථාන ද්විත්ව කුළුණු හා ලංකා බැංකු මූලස්ථාන ගොඩනැගිල්ල දැකිය හැකිය. මහ බැංකු ගොඩනැඟිල්ල හා හිල්ටන් හෝටලය ඇතුළු වැදගත් තැන් රැසක් පිහිටි මේ ප්‍රදේශය ලංකාවේ ආර්ථිකයේ කේන්ද්‍රය ලෙස සැලකිය හැකි අතර කිහිප වරක්ම එල්ටීටීඊ ප්‍රහාර වලටද ලක්විය.
මේ අනුව, පන්සීයේ නෝට්ටුවේ මැද හරියේ ඇති සංකේත වලින් පිළිබිඹු කරන්නේ ලංකාවේ ප්‍රමුඛ සංස්කෘතිය වන සිංහල බෞද්ධ සංස්කෘතිය වෙනත් සංස්කෘතීන් හා මිශ්‍රව ඇති ආකාරය හා තේ, රබර්, පොල් වලින් ඔබ්බට ගොස් ඇති ලංකාවේ වත්මන් සේවාමූලික ආර්ථිකයයයි. ලංකාවේ මැතිවරණ වල ප්‍රතිඵල තීරණය කරන ප්‍රධාන සාධක වන්නේද පන්සීය කොළයේ මැද ඇති රූප සටහන් වලින් සංකේතවත් වන සංස්කෘතික හා ආර්ථික කරුණුය.
පන්සීයේ නෝට්ටුවේ ඉදිරිපස දකුණු පැත්තේ අළු ගිරවෙකු දැකිය හැකිය. ගිරවා ප්‍රසිද්ධව සිටින්නේ එකම දෙය පුනරුච්චාරනය කිරීමේ හැකියාව ඇති සතෙකු ලෙසය. ලංකාවේ මැතිවරණ ආසන්නව මෙන්ම ඉන් පසුවද එකම කතාව එපා වන තුරු නැවත නැවත අසන්නට ලැබීම සුලභ සිදුවීමකි.
නෝට්ටුවේ ඉදිරිපස වම් පැත්තේ පෙනෙන්නට ඇත්තේ සමනලයෙකි. මේ සමනලයා ශ්‍රී ලංකාවට ආවේණික Ceylon Indigo Royal වර්ගයේ සමනලයෙකි. පහුගිය දවස්වල සමනල විප්ලව ගැනද කතාබහ සිදුවිය.
පන්සීයේ නෝට්ටුවේ පසුපස ඉහළින්ම පද්මනිධි බහිරවයාගේ රූපයක් සහිත මුරගලක් දැකිය හැකිය. මුරගල් වලින් සංකේතවත් කෙරෙන්නේ සම්පත් වල ආරක්ෂාවයි. පරිස්සමට තබන දේවල් ඈලියාවට ගොස් සම්පත් අතුරුදහන් වූ විට බහිරවයා ගිල්ලා වගේ කියාද කියයි.
නෝට්ටුවේ පසුපස මැද ඇත්තේ තෙල්මේ නැටුම නටන නැට්ටුක්කාරයෙකුගේ හා යක් බෙරයක් වයන බෙරවායෙකුගේ රූපයකි. තෙල්මේ නැටුම 'තෙල් මෙහෙය' කිරීමේ අරමුණින් පවත්වන පහතරට සම්ප්‍රදායේ නැටුමකි. මේ නැටුමට ඇත්තේ දකුණු ඉන්දීය මූලයකි. දකුණු ඉන්දීය සංස්කෘතිකාංග සුමට ලෙස සිංහල සංස්කෘතිය තුළට අවශෝෂණය කරගෙන ඇති ආකාරය ගැන ලංකාතිලක විහාරය මෙන්ම තෙල්මේ නැටුමද හොඳ උදාහරණයකි. යක්බෙරය වාදනය කරන්නේද පහතරට නැටුම් වෙනුවෙනි.
බෙර වලින් ලොකු සද්දයක් ආවත් බෙරේ මැද හිස්ය. ඒ නිසා, බෙර පලා කිසිවක් ලබාගත නොහැකිය. ඒ වුනත්, නැට්ටුක්කාරයෙකුට බෙරේ සද්දය වෙනත් සද්ද වලින් වෙන් කර හඳුනා ගන්නට බැරිකමක් නැති නිසා හැංගි හැංගි වෙස් බඳින නැට්ටුක්කාරයින්ට බෙරේ සද්දේ ඇහෙන විට එළියට ඇවිත් නටන්නේ නැතුව සිටින්නට නොහැකිය. එහෙම නටන්නට ආවත් අන්තිමේදී සමහර නැට්ටුක්කාරයින් නටපු නැටුමකුත් නැත. බෙරේ පලුවකුත් නැත.
දහයේ කොළේ කතාව වගේම අවශ්‍ය කෙනෙකුට පන්සීයේ කොළේ කතාවක් වුවත් හදාගන්නට පුළුවන. මම කළේ එහෙම හදාගන්නට අවශ්‍ය කෙනෙක්ට වැදගත් විය හැකි තොරතුරු ටිකක් සටහන් කිරීම පමණය.
VIDEO